“මහණෙනි, මහණහු සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ විසිය යුතු. මේ තොපට අප ගෙ අනුශාසනය වේ.”
මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ (මේ කයෙහි) කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා, කයෙහි විදසුන් නුවණින් කය අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, වේදනා ලොවැ කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා, වේදනාවන්හි විදසුන් නුවණින් වේදනාව අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා සිත්හි විදසුන් නුවණින් සිත අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්‍දය හා දොම්නස හා සන්හිඳුවා, නීවරණාදී ධර්‍මයන්හි විදසුන් නුවණින් නීවරණාදිය අනුව බලනුයේ වාස කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිහි ඇත්තේ වේ.
මහණෙනි, මහණතෙම කෙසේ නම් සම්‍යක්ප්‍රඥා ඇත්තේ වේ ද: මහණෙනි, මෙහි මහණ තෙම ඉදිරි ගමනෙහි පෙරළා ඊමෙහි (කය නම් ලත් ඇටසැකිල්ලෙක් යෑම් ආදිය කරන්නේ යැයි) නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. ඉදිරි බැලීමෙහි දෙපස බැලීමෙහි නුවණින් සලකා දැන ම එය කරන්නේ වෙයි. අත් පා හැකිලීමෙහි දිගු කිරීමෙහි නුවණින් දැන ම එය කරන්නේ වෙයි. සංඝාටිය ද පාත්‍රය ද සිවුරු ද දැරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද විකා කෑ යුතු දැය කෑමෙහි ද මී සකුරු ආදීන් රසවිඳීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද නිදිවැරීමෙහි ද කීමෙහි ද නිහඬ වීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම මෙසේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, මහණ සිහි ඇති වැ නුවණ ඇති ව විසිය යුතු. මේ තොපට අපගේ අනුශාසනය යි.
[අම්බපාලි ආරාමය පිළිගැනීම]
41. අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල්පුරට නොදුරු වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝවැඩ දක්වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු කළ සේක. එහි සිත සතුටු කැරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එය සිතට ගන්නව ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමඟ ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැද සිටියා ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවැසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය.
42. විසල්පුර වැසි ලිච්ඡවි රජදරුවෝ භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩිසේක් විසල්පුර අම්බපාලිවනයෙහි වසන සේක් ලැ යි ඇසූහ. ඉක්බිති තෙල ලිච්ඡවීහු උතුම් උතුම් යාන යොදවා, උතුම් උතුම් යාන නැඟ, උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ විසල්පුරයෙන් නික්මුණාහ. ඔවුන් අතුරෙහි ඇතැම් ලිච්ඡවීහු නිල් අඟරා ඇත්තාහු නිල් වත් දරන්නාහු නිල්මිණෙන් හා නිල්මලින් සැරහුණා හු නිල්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රන්වන් අඟරා ඇත්තාහු රන්වන් වත් දරන්නාහු රන්වන් මිණෙන් හා රන්වන් මලින් සැරහුණාහු රන්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රත් අඟරා ඇත්තාහු රත් වත් දරන්නාහු රත් මිණෙන් හා රත් මලින් සැරහුණාහු රත්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු සුදු අඟරා ඇත්තාහු සුදු වත් දරන්නාහු සුදුමිණෙන් හා සුදු මලින් සැරහුණාහු සුදු වන් වෙත්.
43. ඉක්බිති අම්බපාලි ගණිකා තොම තමාට ඉදිරියෙන් රිය නැඟ යන තරුණ ලිච්ඡවීන්ගේ යාන තම රියහිසින් ඔවුන් රියහිස් ද, තම රියසකින් ඔවුන් රියසක් ද, තම රියැ වියගසින් ඔවුන් රියැ වියගස් ද හැන ඉවත් කෙරෙමින් ගියා ය. එකලැ ලිච්ඡවීහු අම්බපාලි ගණිකාවට ‘හෙම්බා අම්බපාලිය, තරුණ තරුණ ලිච්ඡවීන්ගේ රියහිසින් රියහිස ද රියසකින් රියසක ද රියවියෙන් රියවිය ද ගටා ඉවත් කෙරෙමින් යුහු යුහු ව කුමට යෙයි ද?’ යි විචාළාහ. “ආර්‍ය්‍යපුත්‍රයිනි, එසේම ය. සෙට බතට මා විසින් බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ නිමතන ලද සේකැ” යි ඕ කිවූ ය. ‘හෙම්බා අම්බපාලි ය, මේ බත (මේ බතට කළ නිමන්ත්‍රණය) කහවණු ලක්‍ෂයක් ගෙන අපට දෙව’ යි ලිච්ඡවීහු කීහ.‘ආර්‍ය්‍යපුත්‍රයිනි, මම දනවු සහිත විසල්පුර දෙන්නහු නුමුදු මෙසේ මහත් අනුසස් ඇති මෙ බත (බතට කළ නිමන්ත්‍රණය) ඔබට පවරා නො දෙමි’යි ඕ කිවු ය. එ කලැ ඒ ලිච්ඡවීහු ‘පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ, පින්වත්නි, ඒකාන්තයෙන් අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ’ යි ඇඟිලි පෙළුහ. (අසුර ගැසූහ.)
44. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලිවනය කරා ගියහ. භාග්‍යවතුන් වහන්සේ දුරින් ම එන ඒ ලිච්ඡවීන් දුටු සේක් ම ය. දැක භික්‍ෂූන් අමතා ‘මහණෙනි, යම් භික්‍ෂු කෙනෙකුන් විසින් තවුතිසාවැසි දෙවියෝ නො දක්නා ලදහු ද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවී පිරිස බලවු. තෙල ලිච්ඡවි පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවි පිරිස තවුතිසා වැසි දෙවි පිරිසට ළං කොට (සම කොට) සලකවු’ යැ යි වදාළ සේක.
45. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයට යෝග්‍ය බිම යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, පාගමන් ඇත්තාහු ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. එහි සමාදන් කරවූ සේක. එහි සිත් තියුණු කරවූ සේක. එහි සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එහි සමාදන් කරවන ලද, එහි සිත් තියුණු කරවන ලද, එහි සතුටු කරවන ලද ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට අපගේ බත ඉවසන සේක්ව’ යි කීහ. ‘ලිච්ඡවීනි, මා විසින් සෙට දවසට අම්බපාලී ගණිකාවගේ බත ඉවසන ලදැ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ඒ ලිච්ඡවීහු ‘භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ. භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ’ යි ඇඟිලි පෙළූහ. ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන, අනුමෝදන් ව, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මැ ගියහ.
46. ඉක්බිති අම්බපාලි ගණිකා බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතප්වූවා ය. පෙරැත්ත කොට වැළැඳවූවා ය. ඉක්බිත්තෙන් අම්බපාලි ගණිකා තොම බොජුන් වැළැඳූ, පාත්‍රයෙන් ඉවතට ගන්නා ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස් වැ එක්තරා මිටි අස්නක් ගෙන උන්නා ය. එසේ එකත්පස්වැ හුන් අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මේ අරම බුදුපාමොක් බික්සඟනට දෙමි’ යි කීවා ය. භාග්‍යවතුන් වහන්සේ අරම පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, එහි ඇය සමාදන් කරවා, එහි උත්සාහවත් කරවා සිත සතුටු කරවා හුනස්නෙන් නැගී වැඩි සේක.
47. භාග්‍යවතුන් වහන්සේ ඒ අම්බපාලිවනයෙහිදු වසමින් “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය, ශිලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැ යි වදාළ සේක.
[බේලුවගම්හි ජීවිතසංස්කාර - අධිෂ්ඨානය]
48. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිවනයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, බේලුවගම කරා යන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා බේලුව ගමට වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි බේලුව ගමෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා “මහණෙනි, තෙපි මෙහි එවු. විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරු පැවිද්දන් ද, දැක හඳුනන පැවිද්දන් ද, දැඩිමිතුරු පැවිද්දන් ද වසන තන්හි වස් එළැඹෙවු. මම මේ බේලුව ගමෙහි ම වස් එළැඹෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ මහණහු විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරන් දැක හඳුනන්නන් දැඩි මිතුරන් වසන තන්හි වස් එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි වස් එළැඹි සේක.
49. එකල්හි වස් එළැඹි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයෙක් උපන. මරණය වෙතට පැමිණැවීමෙහි සමත් වූ දැඩි වේදනා පැවැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇති ව නුවණින් සලකමින් එයින් නො පෙළෙමින් ඒ වේදනාව ඉවැසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේට ‘යම්බඳු වූ මම් උවටුවන් නො අමතා බික්සඟනට නො දන්වා පිරිනිවෙන්නෙම් නම් එය මට නො සුදුසු ය. මම මේ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩලා ජීවිතසංස්කාරය (දිවි පවත්වනුවට සමත් පලසමවත) ඉටා වසන්නෙම් නම් මැනැවැ’ යි මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධය වීර්‍ය්‍යයෙන් මැඩ ජීවිතසංස්කාරය ඉටා වුසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය සන්හිඳුණේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි සේක්, ගිලන් බැවින් නැගි නොබෝ කල් ඇති සේක්, වෙහෙරෙන් නික්මැ වෙහෙර ඉදිරිපසැ සෙවණෙහි පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක.
50. එකල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් අනඳ තෙරණුවෝ වහන්ස, “භාග්‍යවතුන් වහන්සේගේ පහසුව දක්නා ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සහනය දක්නා ලදි. එහෙත් මගේ සිරුර හටගත් තද බව ඇත්තක්හු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන් බව හේතු කොට ගෙන දිශාවෝ ද මට නො පෙනෙත්. සතිපට්ඨාන ධර්‍මයෝ ද මට නොවැටහෙත්. වහන්ස, එතෙකුදු වුවත් යම්තාක් භාග්‍යවතුන් වහන්සේ බික්සඟන ඇරැබ කිසි පශ්චිමාවවාදයක් වදාරන සේක් ද, ඒතාක් ම නො පිරිනිවෙන සේකැ යි කිසි ආස්වාදමාත්‍රයෙක් මට වී යැ” යි සැළ කළහ.
51. අනඳයෙනි, භික්‍ෂුසංඝ තෙම මා කෙරෙහි කුමක් නම් අපේක්‍ෂා කෙරෙයි ද? අනඳයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර යැ යි (ධර්‍ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් දෙ කොටසක් නො කොට) දහම් දෙසන ලදි. අනඳයෙනි, ධර්‍මවිෂයයෙහි තථාගතයන්ගේ ආචාර්‍ය්‍යමුෂ්ටියෙක් නැත. අනඳයෙනි, යමකුට ‘මම් බික්සඟන පරිහරණය කරන්නෙමි’ කියා හෝ ‘බික්සඟන මා උදෙසා වසන්නේ වේව’ යි කියා හෝ මේ සිත වන්නේ ද, අනඳයෙනි, හෙ තෙම බික්සඟන ඇරැබ කිසිවක් ම කියන්නේ ය. අනඳයෙනි, තථාගතයනට “මම බික්සඟන පරිහරණය කරන්නෙමි” කියා හෝ “බික්සඟන මා උදෙසා ම (මා බලා ම) සිටුනේ වේ ව” යි කියා හෝ මෙසේ සිතෙක් නො ම වෙයි. අනඳයෙනි, කවර හෙයින් ඒ තථාගතයෝ බික්සඟන ඇරැබැ කිසිවක් නම් කියන්නෝ ද?
52. අනඳයෙනි, මම් දැන් ජීර්‍ණයෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි. දික් කලක් ඉක්මියෙමි, පැසිම් වියට පැමිණියෙමි. මා වයස දැන් අසූවෙක් වෙයි. අනඳයෙනි, දිරූ ගැලක් චක්‍රබන්‍ධනාදි පිළිසකරින් යැපෙන්නේ ද, එසේ ම තථාගතයන්ගේ කය රහත්පලසමවත් නැමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනඳයෙනි, තථාගතයෝ රූපනිමිත්තාදි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත චිත්තවිමුක්තියට පැමිණ වෙසෙත් ද, අනඳයෙනි, එසමයෙහි තථාගතයන්ගේ කය අතිශයින් පහසු ඇතියෙක් වෙයි. අනඳයෙනි, එහෙයින් තෙපි (ඒ පලසමයත් පිණිස) තමන් ම ද්වීප (පිහිට) කොට ගෙන, තමන් ම ශරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (බාහිර සරණක් නැත්තෝ ව) වසවු. ධර්‍මය ම ද්වීප කොට ඇති ව, ධර්‍මය ම සරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (අන්සරණක් අපේක්‍ෂා නොකරන්නෝ ව) වසවු.
53. අනඳයෙනි, මහණ තෙම කෙසේ නම් තමා ම ද්වීප කොට ඇත්තේ, තමා ම සරණ කොට ඇත්තේ, අනන්‍යශරණ ව, ධර්‍මය ද්වීප කොට ඇත්තේ, ධර්‍මශරණ ව අනන්‍යශරණ ව වෙසේ ද යත්: අනඳයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා කයෙහි කායානුපස්සී ව වෙසෙයි. වේදනාවන්හි වේදනානුපස්සී ව ... සිත්හි චිත්තානුපස්සී ව වෙසෙයි. කෙලෙස් තවන වැර ඇති ව, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැලා (නීවරණාදි) ධර්‍මයන්හි ධම්මානුපස්සී ව වෙසෙයි.
54. අනඳයෙනි, මෙසේ මහණ තෙම තමා ද්වීප කොට ඇති ව, තමා ශරණ කොට ඇති ව අන් සරණක් නැති ව, ධර්‍මය ද්වීප කොට ඇති ව, ධර්‍මය ශරණ කොට ඇති ව අන්සරණක් නැති ව වෙසෙයි. අනඳයෙනි, යම් භික්‍ෂූ කෙනෙක් දැන් හෝ මා ඇවෑමෙන් හෝ තමන් ද්වීප කොට ඇත්තාහු තමන් සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු, ධර්‍මය ද්වීප කොට ඇත්තාහු ධර්‍මය සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු වසන්නෝ නම්, අනඳයෙනි, ශික්‍ෂාකාමී වූ සියලු භික්‍ෂූන් අතුරෙන් සතර සීවටන් වඩන ඒ මාගේ ශ්‍රාවක භික්‍ෂූහු තමෝයෝග සිඳ අග්‍රතම (අත්‍යග්‍ර) වන්නාහ.
දෙවෙනි බණවර නිමියේ ය.
[චාපාල චේතියෙහිදී ආයුසංස්කාර හැරලීම]
55. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, අනඳතෙරුන් බණවා “අනඳයෙනි, නිසීදනය ගනුව, දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය කරා එළැඹෙන්නමු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නැ වැඩ හුන් සේක. අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
56. “අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය, සාරන්‍දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානයක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්‍ණ කරන ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයකට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරබ්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යනු යි.
57. භාග්‍යවතුන් වහන්සේ විසින් (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නො හැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි, ‘සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්ව’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
58. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද ... තෙවෙනි වර ද “අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය, ගෞතම චෛත්‍යය සිත්කලු ය, සත්තම්බ චෛත්‍යය සිත්කලු ය, බහුපුත්‍ර චෛත්‍යය සිත්කලු ය, සාරන්‍දද චෛත්‍යය සිත්කලු ය, චාපාල චෛත්‍යය සිත්කලු ය.
අනඳයෙනි, යමක්හු විසින් සතර ඉදුපාහු භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, හේ කැමැත්තේ කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තුකෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැති වන්නාහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ” යි අනඳ තෙරුනට වදාළ සේක.
59. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිත්තය ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි දු මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සෙයින් අනඳ තෙරණුවෝ එය දැනගන්නට නො හැකි වූහ. භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා. සුගතයන් වහන්සේ කල්පයක් වැඩසිටුනා සේක් වා” යි යාච්ඤා නො කළහ.
60. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, දැන් යම් විවේකයකට කල් සලකවු නම්, ඒ සඳහා යවු” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හුන්හ. එ කල්හි අනඳ කෙරුන් ගිය නොබෝ කල්හි පවිටු වූ වසවත් මර තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ මර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කී:
61. “වහන්‍ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ භික්‍ෂූහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රුත වූ ධර්‍මධර වූ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූ සාමීචිප්‍රතිපන්න වූ අනුධර්‍මචාරිවූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය්‍ය සහිත (නෛර්‍ය්‍යාණික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්තහ, විනීතහ, විශාරදහ, බහුශ්‍රැතහ, ධර්‍මධරහ, ධර්‍මානුධර්‍මප්‍රතිපන්නහ, සාමිචිප්‍රතිපන්නහ, අනුධර්‍මාචාරීහ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය.”
62. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ භික්‍ෂුණීහු ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රුත වූ ධර්‍මධර වූ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූ සාමීචිප්‍රතිපන්න වූ අනුධර්‍මචාරී වූ ශ්‍රාවිකාවෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍ය වාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා මෙහෙණියෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රුත හ, ධර්‍මධර හ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්‍මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්වත්, උපන් පරප්‍රවාදය කරුණු සහිත මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”
63. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, නො හෙළි කරන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපාසකයෝ ව්‍යක්ත හ, විනීත හ, විශාරද හ, බහුශ්‍රුත හ, ධර්‍මධර හ, ධර්‍මානුධර්‍මප්‍රතිපන්න හ, සාමීචිප්‍රතිපන්න හ, අනුධර්‍මචාරී හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, මතු කෙරෙත්, බෙදා දක්වත්, උපන්පරප්‍රසාදය කරුණු සහිත ව මොනොවට මැඩ, නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා, සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය.”
64. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව යම්තාක් මගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරීණීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නෝ ද, නො පණවන්නෝ ද, නො පිහිටුවන්නෝ ද, විවෘත කොට නො දක්වන්නෝ ද, බෙදා නො දක්වන්නෝ ද, නො හෙළි කරන්නෝ ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මැඩලා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නෝ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා වූ උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න, අනුධර්‍මචාරීණීහු වෙත්. ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පණවත්, පිහිටුවත්, බෙදා දක්වත්. උපන් පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට මැඩ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කල් ය.”
65. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටුව, යම් තාක් මාගේ මේ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ නො වන්නේ ද, වෘද්ධිප්‍රාප්ත නො වන්නේ ද, විස්තීර්‍ණ නො වන්නේ ද, බොහෝ දෙනා විසින් දැන ගන්නා ලද්දක් නො වන්නේ ද, පෘථුල නො වන්නේ ද, ඇති තාක් නුවණැති හැම දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචනය වදාරන ලද්දේ ම ය. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනමාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද විස්තෘත ද බාහුජන්‍ය ද පෘථුල ද ඇති තාක් නුවණැති දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට ලක් යැ” යි කී ය.
66. මෙසේ කී කලැ භාග්‍යවතුන් වහන්සේ පවිටු මරදෙව්පුතුට “පවිට තෝ මන්‍දොත්සාහීවව. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි වදාළ සේක.
67. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි දී සිහි ඇති සේක් මනානුවණින් දන්නා සේක් ම ආයුසංස්කාරය හළ සේක. (මෙ තැන් පටන් කොට තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි. එයින් මත්තෙහි සමවතට නො සමවදිමි’ සිත ඉපිදැවු සේක.) භාග්‍යවතුන් වහන්සේ ආයුස්සංස්කාරය හළ කෙණෙහි ම බිහිසුණු වූ ලොමුදහ ගන්වන මහත් භූමිකම්පනයෙක් විය. දෙව්බෙර පැළිණ (නොකල්හිවැසි වට). එකලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක:
“බුද්ධමුනි තෙම නිවන ද භවය ද තුලනා කරනුයේ (තීරණය කරනුයේ) භවසංස්කාරකර්‍මය (බොමැඩදීම) හළේ ය. විදර්‍ශනා විසින් නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ ශමථ වශයෙන් සමාහිත වූයේ, (මෙසේ ශමථ - විදර්‍ශනා බලයෙන්) කවචයක් (යුදසැට්ටයක්) මෙන් තම අත් බව වැළඳ සිටි සියලු කෙලෙස් බිඳ හළේ ය. (එහෙයින් අභීත ව ආයුසංස්කරාය හළේ ය.)”
[භූමිචලනයෙහි හේතු අට]
68. එකල්හි අනඳ තෙරුනට “භවත්නි, ආශ්චර්‍ය්‍ය ය, භවත්නි, අද්භූත ය. මේ භූමිචලනය මහත් ය. මේ භූමිකම්පනය ඉතා මහත් ය, බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව්බෙර ද පැළිණ (නොකල් වැසි වට). මහත් භූමිචලනය ඇති වන්නට හේතු කවර ය, ප්‍රත්‍යය කවර යැ” යි මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ, “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස, අද්භූත ය. වහන්ස, මේ භූමිචලනය මහත් ය, මේ භූමිචලනය ඉතා මහත් ය. බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලු ය. දෙව් බෙර ද පැළිණ. වහන්ස, මහත් භූමිකම්පනයට හේතු කවර ය? ප්‍රත්‍යය කවර ය?” යි මෙය විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
69. අනඳයෙනි, මහද්භූමිකම්පනය ඇති වන්නට මේ හේතු අටෙක, ප්‍රත්‍යය අටෙක. කවර අටෙක් ද යත්:
අනඳයෙනි, මේ මහ පෙළොව දිය ආධාර කොට පිහිටියේ වෙයි. දිය වාතය ආධාර කොට පිහිටියේ වෙයි. වාතය අහසෙහි සිටියේ වෙයි. අනඳයෙනි, යම් විටෙක මහා වාතයෝ හමත් ද, මහා වාතයෝ හමන්නාහු දිය සොලොවත් ද, දිය සෙලැවුණේ පොළොව සොලොවා ද, එසේ වූ කාලයෙක් වෙයි. මහත් භූමිකම්පනය ඇති වනුවට මේ පළමු හේතුව, පළමු ප්‍රත්‍යය වෙයි. (1)
තවද අනෙකක් කියම්. අනඳයෙනි, ඍද්ධිමත් චිත්තවශිතා ලත් මහණෙක් හෝ බමුණෙක් වෙයි ද, මහත් ඍද්ධි ඇති මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පෘථවිසංඥාව මඳ ලෙස වඩන ලද්දේ වේ ද, අප්සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේ ද, හෙතෙම මේ පොළොව සොලොවයි. උඩු දෙසට සොලොවා යවයි. උඩු යට දෙදෙසට යවමින් හාත්පසින් සෙලොවයි. වඩාත් වෙවුල්වයි. මහත් භූමිකම්පනයට මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය වෙයි. (2)
තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක්හි බෝසත් තෙම තුසී දෙව්නකායෙන් සැව, සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසට බසී ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පස වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ තෙවෙනි හේතුව, තෙවෙනි ප්‍රත්‍යය වෙයි. (3)
තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක බෝසත් තෙම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසින් බිහි වේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පසින් වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය පහළ වන්නට මේ සිවුවන හේතුව, සිවුවන ප්‍රත්‍යය වෙයි. (4)
තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධිසමධිගමය කෙරේ ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්භූමිකම්පනය ඇති වන්නට මේ පස්වන හේතුව, පස්වන ප්‍රත්‍යය වෙයි. (5)
තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර දහම්සක් පවත්වා ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි. (6)
තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ ආයුසංස්කාරය හරී ද, එ කල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය වෙයි. (7)
තව ද අනෙකක් කියම්. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙයි ද, එකලැ මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි. වඩාත් සැලෙයි. වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට අටවැනි හේතුව, අටවැනි ප්‍රත්‍යය වෙයි.
අනඳයෙනි, මේ මහද්භූමිකම්පනය ඇති වන්නට හේතු වූ ප්‍රත්‍යය වූ කරුණු අට ය.
[පිරිස් අට]
70. අනඳයෙනි, මේ පිරිස් අටෙක. කවර අටෙක් ද යත්: කැත්පිරිස බමුණුපිරිස ගැහැවිපිරිස මහණපිරිස සියුමහරැජිපිරිස තව්තිසාපිරිස මරපිරිස බඹපිරිස යන මොහු ය.
අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් කැත්පිරිස් කරා එළැඹුණා දනිමි (සිහි කෙරෙමි). එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම් බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම් බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් දරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.
අනඳයෙනි, මා නොයෙක් සියගණන් බමුණුපිරිස් ... ගැහැවිපිරිස් ... මහණ පිරිස් ... සිවුමහරැජි පිරිස් ... තව්තිසාපිරිස් ... මරපිරිස් ..... බඹපිරිස් කරා එළැඹුණා දනිමි. එහි ද මා විසින් හුන්විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැ යම්බඳු වේ ද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කටහඬ යම්බඳු වේ ද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි, එහි ඔවුන් තියුණු කෙරෙමි, තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කියා ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුණු කොට, තුටු පහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහන් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.
අනඳයෙනි, මේ අට පිරිස් ය.
[අභිභායතන අට]
71. අනඳයෙනි, මේ අභිභායතන අටෙකි. කවර අටෙක් ද? යත්:
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්‍ණ හෝ දුර්වර්‍ණ හෝ පරිත්තාරම්මණ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු අභිහායතනය යි. (1)
එකෙක් අධ්‍යාත්මයේ රූපසංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ නිමිත්තරූපයන් දකි. ඒ රූප මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිහායතනය යි. (2)
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි පරිකර්‍ම සංඥා නැත්තේ පිටත්හි වූ සුවර්‍ණ හෝ දුර්වර්‍ණ වූ පරිත්ත වූ පරිකර්‍ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණු මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෙවෙනි අභිභායතන යි. (3)
එකෙක් අධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සතරවන අභිහායතනය යි. (4)
එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, නිල් වූ නිල්වන් නිල්දැකුම් ඇති නිල් පැහැ ඇති පිටත්හි රූප දකී. නිල්, නිල්වන්, නිල් දැකුම් ඇති, නිල් පැහැ ඇති දියමෙරලිය මලක් යම් සේ වේද, දෙපිට ම මොළොක් කසීවතෙක් යම්සේ නිල් වේ ද, නිල්වන් වේ ද, නිල් දැකුම් ඇත්තේ වේ ද, නිල් පැහැ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ නිල් වූ නිල්වන් වූ නිල්දැකුම් ඇති නිල් පැහැති බාහිර නීලකසිණාලම්බන රූප දකී. ඒ රූප අභිභවා ‘දනිමි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි. (5)
එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර පීත රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැ ඇති පීත වූ කිණිහිරි මලෙක් යම් සේ වේ ද, දෙපස මට සිලිටි වූ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන්පැහැති පීත වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, රන්වන්, රන්වන් දැකුම් ඇති රන්පැහැති බාහිර පීත කසිණ රූපයන් දකී. ඔවුන් මැඩැ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවන අභිභායතනය යි. (6)
එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැති බාහිර රූපයන් දකී. රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් ඇති රත්පැහැ වූ බඳුවද මලෙක් යම්සේ වේ ද, දෙපසැ මට සිලිටි වූ රතු වූ රත්වන් වූ රත්වන් දැකුම් රත්පැහැ වූ කසීවතෙක් හෝ යම්සේ වේද, එසේම එකෙක් අධ්‍යාත්ම රූපයෙහි රූපසංඥා නැත්තේ, රතු වූ රතුවන් වූ රත්වන් දැකුම් ඇති, රත්පැහැ වූ බැහිර රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යි. (7)
එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ, සුදු වූ සුදුවන් වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැ වූ බාහිර රූපාලම්බනයන් දකී. සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදු පැහැ වූ ඕසධී තාරකාව යම් සේ ද, දෙපසැ මට සිලිටි වූ සුදු වූ සුදුවන් දැකුම් ඇති සුදුපැහැති කසීවතෙක් හෝ යම් සේ වේ ද, එසේ ම සුදු වූ සුදුවන් වූ සුදුදැකුම් ඇති සුදුපැහැ වූ බාහිර කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවැනි අභිභායතනය යි. (8)
අනඳයෙනි, මොහු අටදෙන අභිභායතනයෝ ය.
[විමෝක්‍ෂ අට]
72. අනඳයෙනි, මේ විමෝක්‍ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
රූපධ්‍යාන ඇත්තේ නීලකසිණාදි රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමෝක්‍ෂය යි. (1)
අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්‍ෂය යි. (2)
පිරිසිදු වූ කසිණ අරමුණු දහන් ඇසින් දක්නේ, ‘ශුභ ම යැ’ යි එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂය යි. (3)
සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්තය’ යි ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂය යි. (4)
සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂය යි. (5)
සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂය යි. (6)
සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂය යි. (7)
සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සංඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂය යි. (8)
අනඳයෙනි, මොහු අෂ්ට විමෝක්‍ෂයෝ ය.
[මාර ආයාචනය]
73. අනඳයෙනි, එක් කලෙක මම් බුදු වැ පළමු කොට ම උරුවෙල් දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක්මුලැ වෙසෙමි. අනඳයෙනි, එ කලැ පවිටු මරු මා වෙත එළැඹියේ ය. එළැඹ එකත්පස්වැ සිටියේ ය. අනඳයෙනි, එකත්පස් වැ සිටියාවූ ම මර තෙම “වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය” යි මෙ බස් කී ය.
අනඳයෙනි, මෙසේ කියන ලද මම් පවිටු මරහට මෙය කීමි. “පවිට, ම සවු මහණහු යම්තාක් කල් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.”
මා සවු මෙහෙණහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු දක්වා මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.
මා සවු උවසුහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.
මා සවු උවැසීහු යම්තාක් ව්‍යක්ත ද විනීත ද විසාරද ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්‍මචාරී ද නො වන්නාහු නම්, ස්ව ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පණවන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත කොට මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.
යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම්තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි කීමි.
74. අනඳයෙනි, දැනුදු අද චාපාල චෛත්‍යයෙහි මර තෙම මා කරා එළැඹියේ ය. එළැඹ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් ව සිටියේ ම ‘වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන්වහන්සේ විසින් “පවිට, යම්තාක් මා සවු මහණහු ... මෙහණහු ... උවසුහු ... උවැසිහු ව්‍යක්ත ද විනීත ද ... නෛර්‍ය්‍යාණිකකොට දම් නො දෙසන්නාහු නම් ඒ තාක් නො පිරිනිවෙන්නෙමි. යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරිත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම් තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නොවන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි” යි මේ වචන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.
වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර සමෘද්ධ ද ස්ථිත ද විස්තාරිත ද බාහුජන්‍ය ද පෘථුභූත ද දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භගවත්හු පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්වේ යැ” යි කීය.
අනඳයෙනි, මෙසේ කී කල්හි මම් “පවිට, තෝ මන්‍දෝත්සාහ වව, නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි කීමි. අනඳයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යයෙහි දී තථාගතයන් සිහි ඇතියවුන් නුවණින් දන්නවුන් විසින් ආයුසංස්කාරය හරන ලද්දේ යැ” යි වදාළහ.
[ආනන්‍ද - ආයාචනය]
75. මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුව පිණිස කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් ව” කීහ.
“අනඳයෙනි, කම් නැත, තථාගතයන් නො යදින්න, අනඳයෙනි, තථාගතයන් යදනට දැන් කල් නො වෙ” යි වදාළහ.
දෙවනු ද ... තෙවනු ද අනඳ තෙරණුවෝ “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස ... කපක් වැඩ සිටුනා සේක් ව” යි කීහ.
එවිට භගවත්හු “අනඳයෙනි, තථාගතයන්ගේ බෝධිය හදහවු දැයි” අසා වදාළහ. “එසේය, වහන්සැ” යි අනඳ තෙරණුවෝ කීහ. “එසේ නම් අනඳයෙනි, තෙපි කවර හෙයින් තෙවෙනි වර තෙක් තථාගතයන් පෙළවු දැ?” යි අසා වදාළහ.
වහන්ස, “අනඳයෙනි යමක්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු, යානයක් බඳු කරන ලද්දාහු, වාස්තුවක් බඳු කරන ලද්දාහු, පිළිපදනා ලද්දාහු, පුරුදු කරන ලද්දාහු, මොනොවට පුරන ලද්දාහු නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩිතරම් හෝ සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර ඍද්ධිපාදයෝ භාවිත හ, බහුලීකෘත හ, යානීකෘත හ, වාස්තුකෘත හ, අනුෂ්ඨිත හ. පරිචිත හ, සුසමාරබ්ධ හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තෝ කපක් හෝ කපකට වැඩිතරම් කලක් හෝ සිටිය හැකි වන්නාහ” යන මේ වචනය භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් මා විසින් අසන ලදි, භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මා විසින් පිළිගන්නා ලදි” යි අනඳ තෙරණුවෝ කීහ.
“අනඳයෙනි, තෙපි මෙය හදහවුදැ?” යි බුදුරජුහු අසා වදාළහ. ‘එසේ ය, වහන්සැ’ අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ.
“අනඳයෙනි, එබැවින් මෙහි තෙපි තථාගතයන් විසින් මෙසේ ඖදාරික නිමිති කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, යම් හෙයෙකින් එය පිළිවිදිනුවට නො හැකි වූහු ද, ‘වහන්ස, භාග්‍යවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත්වා’ යි තථාගතයන් නො යැදූහු ද, එය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොපගේ වචන දෙකක් පිළිකෙව්නාහ. වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මෙය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය”.
76. අනඳයෙනි, එක් සමයෙක මම් රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා “අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය. ගිජුකුළු පව්ව සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩියක් කල් සිටිය හැකි වන්නේ යැ” යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදුහු නම්, තථාගතයෝ තොප වචන දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.
අනඳයෙනි, එක් සමයෙක්හි මම් ඒ රජගහ නුවරැ ම ගෞතම න්‍යග්‍රෝධය මුලැ වෙසෙමි ... ඒ රජගහ නුවර ම චෝරප්‍රපාතයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම වෛහාර පර්‍වතපාර්‍ශවයෙහි සප්තපර්ණිගුහායෙහි වෙසෙමි - ඒ රජගහ නුවර ම ඍෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලායෙහි වෙසෙමි ... ඒ රජගහ නුවර ම ශීතවනයෙහි සප්පසොණ්ඩික පබ්භාරයෙහි වෙසෙමි … ඒ රජගහ නුවර ම තපෝදාරාමයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි කලන්‍දක නිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙමි ... ඒ රජගහ නුවරෙහි ම මද්දකුච්ඡි මුවලැවුහි වෙසෙමි. අනඳයෙනි, එහි දී ද තොප බණවා ‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, අනඳයෙනි, ගෞතම න්‍යග්‍රෝධය සිත්කලු ය, ... චෝරප්‍රපාතය සිත්කලු ය ... වෛභාරපාර්ශ්වයෙහි සප්තපර්ණීගුහාව සිත්කලු ය ... ඍෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලාව සිත්කලු ය ... ශීතවනයෙහි සප්පසොණ්ඩිකපබ්හාරය සිත්කලු ය ... තපෝදාරාමය සිත්කලු ය ... කලන්‍දකනිවාප නම් වූ වේළුවනය සිත්කලු ය ... මද්දකුච්ඡි මුවවනය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත ද බහුලීකෘත ද යානීකෘත ද වාස්තුකෘත ද, අනුෂ්ඨිත ද පරිචිත ද සුසමාරබ්ධ ද හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් හෝ සිටිය හැකි වන්නේ යැ’ යි කීමි.
අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. ‘භගවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස කපක් හෝ කපකට වැඩියක් වැඩ සිටිත් වා’ යි තථාගතයන් නො ම යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තොපගේ වචන දෙකක් ම තථාගතයෝ පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි තොපගේ ම දුෂ්කෘතය වෙයි, තොපගේ ම වරද වෙයි.
77. අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම උදේන චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද අනඳයෙනි, තොප බණවා “අනඳයෙනි, විසල් පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යමක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත ... සුසමාරබ්ධ වී නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩි කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර ඍද්ධිපාදයෝ භාවිත හ ... සුසමාරබ්ධ හ. ඔබ කැමැත්තාහු කපක් හෝ එයට වැඩියක් කල් හෝ සිටියැ හැකි වන්නාහ” යි කීමි. අනඳයෙනි, මෙසේ තථාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ... එය දැනගන්නට නො හැකි වූහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේ ම දෘෂ්කෘතය ය, මේ තොපගේ ම වරද ය.
අනඳයෙනි, මම් එක් සමයෙක මෙහි විසල්පුරැ ගෞතමක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරෙහි ම සප්තාමුචෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම බහුපුත්‍රක චෛත්‍යයෙහි වෙසෙමි ... මේ විසල්පුරයෙහි ම සාරන්‍දද චෛත්‍යයෙහි වෙසෙමි ... අනඳයෙනි, අද දැන් මේ චාපාල චෛත්‍යයෙහි දී තොප බණවා ‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, චාපාලචෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර ඍද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ නම්, හේ කැමැත්තේ කපක් හෝ කපකට වැඩියක් කල් සිටියැ හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඍද්ධිපාද භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තාහු නම් කපක් හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නාහ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තථාගතයන් විසින් ඖදාරික නිමිත්තය කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, එය දැනගන්නට නො හැකි වූහු. ‘බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුග්‍රහ පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස, භගවත්හු කපක් වැඩසිටිත් වා, සුගත්හු කපක් වැඩසිටිත් ව’ යි තථාගතයන් නො යැදූහ. අනඳයෙනි, ඉදින් තෙපි යැදූහු නම්, තථාගතයෝ තොප කී බස දෙවරක් ම පිළිකෙව්නාහ. තෙවෙනි වරැ ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මේ තොපගේ ම දුෂ්කෘතය වෙයි, තොපගේ ම වරද වෙයි.