Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2301-2400 න් 5108

මහණෙනි, යම් තාක් මහණහු පාපිච්ඡ (ලාමක ඊප්සා ඇත්තෝ) නො වන්නාහු ද, ලාමක ඊප්සාවනට වසඟ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)
මහණෙනි, යම් තාක් මහණහු පාපමිත්‍රයන් ඇත්තෝ නො වන්නාහු ද, පාප සහායයන් ඇත්තෝ නො වන්නාහු ද, පාපයනට නැමුණෝ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)
මහණෙනි, මහණහු යම් තාක් අල්පමාත්‍ර වූ විශේෂාධිගමයෙන් (රහත්බවට වො පැමිණ) අතරැ නිමියා වූ කෘත්‍ය ඇති බවට (ධ්‍යානාදී අල්පමාත්‍රලාභයෙන් තෘප්තියට) නො පැමිණෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (7)
මහණෙනි, යම් තාක් මේ සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මේ සත් අපරිහානිය ධර්‍මයන්හි මහණහු දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.
[3. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
10. මහණෙනි, තොපට අන් අපරිහානිය ධර්‍ම සතක් ද දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, යම්තාක් මහණහු සැදැහැ ඇත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. මහණෙනි, යම්තාක් මහණහු පවට පිළිකුල් සිතැතියෝ වන්නාහු ද … පවට බිය ඇත්තෝ වන්නාහු ද ... බොහෝ ඇසූ පිරූ තැන් ඇතියෝ වන්නාහු ද, ... ඇරැඹූ වැර ඇතියෝ වන්නාහු ද ... එළැඹැ සිටි සිහි ඇතියෝ වන්නාහු ද, ... ප්‍රඥා ඇතියෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.
මහණෙනි, යම්තාක් මෙ කී සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්‍ම කෙරෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
[4. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
11. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මහණෙනි, යම්තාක් මහණහු සතිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... විරියසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්‍මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීමක් නො ම ඇවෙක්සිය යුතු.
[5. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
12. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණහු යම්තාක් අනිත්‍යසංඥාව වඩන්නාහු ද … අනාත්මසංඥාව වඩන්නාහු ද ... අශුභසංඥාව වඩන්නාහු ද ... ආදීනව සංඥාව වඩන්නාහු ද ... ප්‍රහාණසංඥාව වඩන්නාහු ද ... විරාගසංඥාව වඩන්නාහු ද ... නිරෝධසංඥාව වඩන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්‍මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
[6. අනෙක් අපරිහානිය දහම් සයක්]
13. මහණෙනි, අන් අපරිහානිය ධර්‍ම සයක් දෙසන්නෙමි. එය අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණහු යම්තාක් සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය කායකර්‍මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)
මහණෙනි, යම්තාක් මහණහු සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය වාක්කර්‍මය එළවා තබන්නාහු ද ... සබ්‍රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නොහමුයෙහිත් මෛත්‍රීමය මනඃකර්‍මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2-3)
මහණෙනි, යම්තාක් යටත්පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් ආහාර මාත්‍ර වූ දෑ යැ යි දැහැමි වූ දැහැමෙන් ලත් යම් ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු ලාභයන් බෙදා නොදී නො වළඳන්නෝ සිල්වත් සබ්‍රම්සරුන් හා සාධාරණභෝගී වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නො ඇවෙක්සිය යුතු. (4)
මහණෙනි, නොකඩ වූ නොසිදුරු වූ සබල නොවූ, නොකැලැල් වූ තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණා වූ, පැණවතුන් විසින් පසස්නා ලද්දා වූ, තෘෂ්ණාදෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධිය පිණිස පවත්නා වූ යම් සිල් කෙනෙක් වෙත් ද, එබඳු ශීලයන්හි සබ්‍රම්සරුන් හා හමුයෙහිත් නොහමුයෙහිත් යම්තාක් ශීලසාමාන්‍යගත වැ (ශීලයෙන් සමාන බවට පැමිණ) වාස කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)
මහණෙනි, ආර්‍ය වූ (නිදොස් වූ) නෛර්‍ය්‍යාණික වූ යම් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, යමෙක් තථාකාරී වූවහුගේ සියලු දුක් නැසීමට යේ ද, මහණහු යම්තාක් එසේ වූ දෘෂ්ටියෙන් සබ්‍රම්සරුන් හා හමුයේත් නො හමුයේත් දෘෂ්ටිසාමාන්‍යගත වැ (සම්දිටුයෙන් සමාන බවට පැමිණ) වසන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)
මහණෙනි, යම්තාක් මේ අපරිහානිය ධර්‍ම සදෙන මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ අපරිහානිය ධර්‍ම සයෙහි දක්නා ලැබෙන්නාහු ද, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
[භික්‍ෂූනට දෙසූ දැහැමි කථා:]
14. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක් “සිල් මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙබඳු ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල ඇති වේ. මහත් අනුසස් ඇති වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි ශීලසමාධි ආදි වූ මේ දැහැමි කතාව ම බහුල කොට වදාරන සේක.
15. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කැමැති තාක් කල් රජගහ නුවරැ වැස, අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, යම්හ, අඹයැටිඋයන කරා එළැඹෙන්නම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා අඹයැටිඋයන වෙත එළැඹි සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අඹයැටි වෙනෙහි රාජාගාරයෙහි වැඩ වසන සේක් - “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්පල ඇත්තේ මහත් අනුහස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද චිත්තය කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි මහණුනට මේ දැහැමි කතාව ම බහුල කොට කරන සේක.
16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අඹයැටියෙහි කැමැති තාක් කල් වැස අනඳතෙරුන් අමතා ‘අනඳයෙනි, එවු, නාලන්‍දාව කරා යම්හ’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව නාලන්‍ද නුවරට වැඩිසේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක.
[ශාරීපුත්‍ර සිංහනාදය]
17. ඒ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, සම්බෝධි (රහත්මග නුවණ) නම් වූ යමෙක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ (උත්තරීතර ඥානයෙන් යුක්ත වූ) අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය. මතුත් නො වන්නේ ය. දැනුදු නැතැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් මෙසේ ප්‍රසන්නයෙමි” යි සැළ කළහ. එවිට “ශාරිපුත්‍රයෙනි, සම්බෝධිඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අහිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතුත් නො වන්නේ ය, දැනුදු නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් ප්‍රසන්නයෙමි” යි තොප විසින් කියන ලද මේ ශ්‍රේෂ්ඨ වචනය මහත් ම එකෙක. මෙහි ලා තොප විසින් ඒකාන්තය ගන්නා ලද්දේ ය (ප්‍රත්‍යක්‍ෂඥානයෙන් දැන කීවාක් සේ ඒකාන්ත නිශ්චය කථාවෙක් ම කියන ලද්දේ ය.) සිංහනාදය පවත්වන ලද්දේ ය.
ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ඉකුත් කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහ යි කියා ද, ඒ භගවත්හු මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ යි කියාත් ඔබ සිත් තමන් සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, මෙය එසේ නො දන්නා ලද්දේ ම යැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
කිමෙක් ද ශාරිපුත්‍රයෙනි, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ යි ඔබ සිත් සිය සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලදහු දැ? යි භාග්‍යවතුන් වහන්සෝ වදාළ සේක.
“වහන්ස, මෙය එසේ නො දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භගවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේ යැයි ද, භගවත් තෙමේ මෙබඳු දහම් ඇත්තේ ය යි, මෙබඳු ප්‍රඥා ඇත්තේ යැ යි, මෙබඳු විහරණ ඇත්තේ යැ යි, මෙබඳු විමුක්ති ඇත්තේ යැ යි ද කියා මා සිත තොප සිතින් පිරිසිඳ, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් තොප විසින් දන්නා ලදුයෙම් දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, මෙය එසේ නො ම දන්නා ලදැ” යි සැරියුත් තෙරණුවෝ වදාළහ.
ශාරිපුත්‍රයෙනි, මෙ කරුණෙහි ලා තොපට අයුඅනාවත්මන් යන තෙකලට අයත් වූ රහත් සම්මාසම්බුදුවරුන් විෂයයෙහි චේතස්පර්‍ය්‍යායඥානයෙක් නැත. ශාරීපුත්‍රයෙනි, එසේ කලැ තොප විසින් “වහන්ස, සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතු කල්හිත් නො වන්නේ ය, දැනුදු නැතැයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ මම් ප්‍රසන්නයෙමි” යි මේ මහත් අභීත වචනය කවර කරුණෙකින් කියන ලද ද? ඒකාන්තය ගන්නා ලද ද? සිංහනාදය පවත්වන ලද දැ?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
18. “වහන්ස, අයුඅනාවත්මන් යන තෙකලට අයත් රහත් සම්මා සම්බුදුවරුන් විෂයයෙහි චේතස්පර්‍ය්‍යාය ඥානයෙක් මට නැත. එතෙකුදු වුවත් ධර්‍මාන්‍වයය (සර්‍වඥතාඥානදිධර්‍ම පිළිබඳ අනුබෝධ ඥානය) මා විසින් ලබන ලද්දේ ය.
වහන්ස, යම්සේ තර වූ පවුරුපා ඇති, දැඩි වූ පවුරු හා තොරණ ඇති, එක් ම දොරක් ඇති පසල් නුවරෙක් වේ ද, පණ්ඩිත වූ කීමෙහි බිණීමෙහි හුරුබුහුටි වූ, තැනට නිසි නුවණ ඇති, තමා නො දන්නවුන් නුවරට එනු නොදී වළක්වාලන, දන්නවුන් නුවරට පිවිස්වන දොරොටුපල්ලෙක් වන්නේ ද, හෙතෙම නුවර පවුරුමගැ හැවිදුනේ, යටත් පිරිසෙයින් බළලකුට නික්මිය හැකි තරම් වූ ප්‍රාකාරසන්‍ධියක් (ගඩොල් බැම්ම ඇද හැලුණු තැනක්) හෝ පවුරැ සිදුරු වූ තැනක් හෝ නො දක්නේ ද, ඔහුට ‘යම් මහත් සිරුර ඇති සත්ත්‍ව කෙනෙක් මෙ නුවර වදිත් හෝ මෙයින් නික්මෙත් හෝ ඒ සියල්ලෝ ම මේ මහ වහසල්දොරින් ම පිවිසෙන්නාහු හෝ නික්මෙන්නාහු හෝ වෙති’ යි මෙසේ සිතෙක් වන්නේ ද, වහන්ස, එ පරිද්දෙන් ම ‘ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පස් වීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිත් ඇති ව, සත් සම්බෝධ්‍යඞ්ගයන් තත් වූ පරිදි බවා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කළහ. වහන්ස, මතු කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ සියලු භගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැත්තාහු, සත් සම්බොදහ තත් වූ පරිදි වඩා, නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගත කරන්නාහ. වහන්ස, මෙ සමයෙහි රහත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරන පංච නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනොවට පිහිටි සිතැති සේක්, තත් වූ පරිදි සත් සම්බොදඟ වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධි ගතකළ සේකැ යි මා විසින් ධර්‍මානුබෝධය ලබන ලද්දේ යැ” යි සැරියුත් තෙරණුවෝ කීහ.
19. එසමයෙහි ද භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් වඩන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥායෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රව කෙරෙන් මොනොවට මිදේ” යැ යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.
20. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරෙහි කැමැති තෙක් කල් වැස අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, එවු, පළොල්ගමට (පාටලිග්‍රාමයට) යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්ස’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා පළොල්ගමට වැඩි සේක. පළොල්ගම් වැසි උවසුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ පළොල්ගම් වැඩි සේක් ල’ යි ඇසූහ. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක උන්නාවූ පළොල්ගැමි උවසුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසා වදාරන සේක් වා’ යි භාග්‍යවතුන් වහන්සේට මෙ බස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.
21. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ගොස් ආවාස ගෙය හැම බුමුතුරුණු අතුරා, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ පළොල්ගැමි උවසුවෝ “වහන්ස, ආවාසගෙය හැම බුමුතුරුණින් වසන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. දියසැළෙක් තබන ලද්දේ ය. තෙල් පහනෙක් නැංවිණ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට බලාපොරොත්තු සේක් ද, එයට කල් වේ” යැ යි මෙ බස් කීහ.
22. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි හැඳ පෙරෙවැ පා සිවුර ගෙන බික්සඟුන් හා අවාස ගෙය කරා වැඩි සේක. වැඩ, පා දෙවැ ආවාස ගෙට පිවිසැ මැදුම් ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩහුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් බිත නිසා පෙරදිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පළොල්ගැමි උවසුවෝ ද පා දෙවැ ආවාස ගෙට වැද පෙර දිගැ බිත නිසා පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ.
[පළොල්ගම උවසුන්ට අවවාද:]
23. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවන් අමතා මෙසේ වදාළ සේක: ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්හි මේ දොස් පසෙක. කවර පසෙක් ද?
ගැහැවියෙනි, මෙහි සිල්විපන් දුසිල් තෙමේ පමා කරුණෙන් මහත් භෝගහානියට (භෝගයෙන් පිරිහීමට) යෙයි. මේ දුසිල්හු සිල්විපතැ පළමු දොස වෙයි.
තවද, ගැහැවියනි, සිල්විපන් දුසිල්හට ලාමක කිත්හඬෙක් (අපවාද කථාවෙක්) උස් වැ නැඟෙයි. මේ දුසිල්හු සිල්විපතැ දෙවෙනි දොස වෙයි.
තව ද ගැහැවියනි, සිල්විපන් දුසිල් තෙම කැත්පිරිස කරා හෝ බමුණු පිරිස කරා හෝ ගැහැවිපිරිස කරා හෝ මහණපිරිස කරා හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ නම්, බිය සැක ඇත්තේ, තෙද නැත්තේ එළැඹෙයි. මේ දුසිල්හු සිල් විපත්හි තෙවැනි දොස ය.
තව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හු සිල්විපත්හි සිවුවන දොස ය.
තව ද ගැහැවියෙනි, සිල්විපන් දුසිල් තෙම කා බුන් මරණින් මතු සුවයෙන් පහ වූ, දුකට කරුණු වූ, විවසවැ පතිත වන තැන වූ නිරයට උත්පත්ති විසින් පැමිණෙයි. මේ දුසිල්හු සිල්විපතැ පස්වන දොස වෙයි.
ගැහැවියනි, දුසිල්හු සිල්විපත්හි මේ දොස් පස වෙයි.
24. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සම්පත්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද?
ගැහැවියෙනි, මෙහි සිල්සපන් සිල්වත් තෙම නොපමා කරුණින් භෝග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පළමු අනුහස ය.
තව ද, ගැහැවියනි, සිල්සපන් සිල්වත්හු පිළිබඳ කලණ කිත්හඬෙක් උස් වැ නැඟෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි දෙවෙනි අනුහස ය.
තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කැත්පිරිසක් හෝ බමුණුපිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ මහණපිරිසක් හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ ද, නොබිය වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි තෙවෙනි අනුහස ය.
තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ සිහි මුළා නොවී කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි සිවුවන අනුහස ය.
තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති සග ලොවට යෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පස්වැනි අනුහස යි.
ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සපුයෙහි මේ අනුසස් පස ය.
25. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවනට රෑ බොහෝ වේලාවක් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත සතුටු කොට, “ගැහැවියෙනි, රැය බොහෝ ඉක්මිණ. යම් ගමනක් යෑ යුතු නම් එයට කල් දනිවු” යි නික්ම යෑමට උද්‍යෝගවත් කළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ඒ පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී ඔබ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුන් නික්මුණු නොබෝ කල්හි ශුන්‍යාගාරයට පිවිසි සේක.
[පාටලීනගරය මැවීම]
26. එ සමයෙහි මගද මහමැති සුනීධ වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනු පිණිස (වැදෑ රජුන්ගේ) ආයමුඛ (අය ලැබෙන දොරටු පසිඳින පිණිස) පළොල්ගමැ නුවරක් කෙරෙති. එකලැ දහස දහස (වර්‍ග වශයෙන්) දේවතාවෝ පළොල්ගමැ ගෙවතු තම තමනට වෙන් කොට ගනිත්. යම් පෙදෙසෙක මහ තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් කරන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට මැදුම් රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට හීන තෙද ඇති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ.
27. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා දහස් දහස් ගණන් දේවතාවන් දුටු සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයමැ නැගී සිට අනඳ තෙරුන් අමතා “අනඳයෙනි, කවරහු පළොල්ගමැ නුවරක් කෙරෙද් දැ?” යි අසා වදාළ සේක. “වහන්ස, මගද මහමැති සුනීධ - වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනුවට පළොල්ගමැ නුවරක් මවති” යි අනඳ තෙරණුවෝ සැළ කළහ.
28. “අනඳයෙනි, තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට මවන්නාක් මෙන් මගදමහමැති සුනීධ - වස්සකාර දෙ බමුණෝ වැදෑවන් පිළිබහනුවට (වැදෑරජුන්ගේ අයමුඛ වසනු සඳහා) පළොල්ගමැ නුවරක් මවත්. අනඳයෙනි, මෙහි මම් මිනිසැස් ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා බොහෝ දහස් දහස් ගණන් දේවතාවන් දිටිමි. යම් පෙදෙසෙකැ මහ තෙදැති දේවතාවෝ ගෙවතු අරක්ගනිත් ද, එහි නිවෙස් මවන්නට මහ තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට මැදුම් තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට හීන තෙදැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. ආර්‍ය්‍යන්ගේ ආයතනය (රැස්වෙන තැන) යම්තාක් ද, වණික්පථය (ගනුදෙනු කරන වෙළෙඳුන් වසන තැන) යම්තාක් ද ඔවුනතුරෙන් මේ පැළලුප් නුවර (නොයෙක් රටින් ගෙනෙන වෙළෙඳ) බඩුපොදි ලිහා තබන අග්‍ර නගරය වන්නේ ය. අනඳයෙනි, මේ පැළලුප්නුවරට ගින්නෙන් හෝ, දියෙන් හෝ, අන්‍යෝන්‍යය භේදයෙන් හෝ (තුන් පරිද්දෙකින්) අන්තරාය තුනෙක් වන්නේ යැ” යි වදාළ සේක.
29. එ කලැ මගදමහමැති සුනීධ - වස්සකාර දෙබමුණෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවියැ යුතු කථා අවසන්‍ කොට එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන “භවද් ගෞතමයෝ බික්සඟුන් හා අපගේ බත අදට ඉවසත්ව” යි මෙබස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසා වදාළ සේක.
30. ඉක්බිත්තෙන් මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන සිය ආවාස ගෙය කරා ගියහ. ගොස් සිය ආවාසයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා ‘භවද් ගෞතමයිනි, දැන් කල් වෙයි. බත පිළියෙල කොට නිමියේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවූහ.
31. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟුන් කැටුව මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාගේ ආවාස ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන සියතින් ම ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් බුදුපාමොක් බික්සඟුන් සැතැප්වූහ, පෙරැත්ත කොට වැළැඳැවූහ.
32. ඉක්බිති මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙන වැළැඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හුන්හ. එක් පසෙක හුන්නාවූ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා වශයෙන් දහම් දෙසූසේක:
පණ්ඩිත ස්වභාව ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, එ තන්හිදී සංයත වූ බඹසර රක්නා සිල්වතුන් වළඳවා, එහි යම් දේවතා කෙනෙක් වූවාහු නම්, ඔවුනට ඒ දානමය පින පමුණුවන්නේ ය. මෙසේ පින්දීමෙන් පුදන ලද ඒ දේවතාවෝ ඒ පින් දුන්නාහු (ආරක්‍ෂා කිරීම් වශයෙන්) පුදත්. කලින් කලැ බිලියම් කිරීම් වශයෙන් මානිත වූ ඒ දේවතාවෝ (ඔහුගේ උවදුරු දුරු කිරීම් වශයෙන්) ඔහුට බුහුමන් කෙරෙත්. ඒ පින් අනුමෝදන් වීමෙන්, මවක් තම කුසින් උපන් දරුවකුට සෙයින් ඔහුට අනුකම්පා කෙරෙත්. මෙසේ දේවතාවන් විසින් අනුකම්පා කරන ලද පුරුෂ තෙම හැම කල්හි යහපත ම දකී.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී වැඩි සේක.
33. එ කල්හි මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනා ‘ශ්‍රමණ ගෞතමයෝ යම් දොරෙකින් අද නික්මෙන්නාහු නම්, එය ගෞතමද්වාර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගෞතමතීර්‍ත්‍ථ නම් වන්නේ යැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියාහු වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ ගෞතමද්වාර නම් විය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගංගානදිය වෙත වැඩි සේක. එ සමයෙහි ගංගානදිය දෙගොඩ තළා ගළනුයේ, කවුඩන් විසින් සුවසේ පිය හැකි සේ පිරුණේ විය. මෙතෙරින් එතෙර යනු රිසි ඇතැම් මිනිස්සු නැව් සොයත්. ඇතැම් කෙනෙක් පසුරු සොයත්. ඇතැම් කෙනෙක් පසුරු බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ කාබලැතියක්හු යම්සේ වක් කළ අත දික් කරන්නේ ද, දික් කළ අත හෝ වක් කරන්නේ ද, එසේ ම ගංගානදියේ මෙ තෙරැදී බික්සඟන හා අතුරුදහන් වූ සේක් එතෙරැ වැඩ සිටි සේක.
භාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙර යනු කැමැති වූ ඇතැම් මිනිසුන් නැව් සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු බඳනාවුන් ද දුටු සේක් ම ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මෙ උදන් ඇනූ සේක:
“යම් කෙනෙක් ගැඹුරු වූ පුළුල් වූ තෘෂ්ණානදිය තරිත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ග නැමැති හෙය කොට දිය කඩිති නො ඇක්ම එ තෙර (නිවන කරා) යෙත්. එහෙත් මේ කුඩා නදියක් තරනුවට මේ ජන තෙම පසුරක් බඳී. ඒසා තෘෂ්ණා මහා නදිය තිණූ ප්‍රඥා ඇති ජනයෝ මේ සුළු නදිය සැණින් තැරූහ.”
පළමු බණවර නිමියේ ය.
[ආර්‍ය්‍යසත්‍ය ප්‍රතිවේධ කථා]
34. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, එවු, කොටිග්‍රාමයට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා කෝටිග්‍රාමය කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කෝටිග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක:
මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් අනුබෝධ නො කළ හෙයින්, ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. කවර සතර සත්‍යයන් ද? යත්:
“මහණෙනි, දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද තොපගේ ද මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය.
මහණෙනි, ඒ දුඃඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. භවතෘෂ්ණාව මුල් සිඳින ලදි. භවනේත්‍රිය (සතුන් භවයට පමුණුවන තෘෂ්ණා රැහැන) ක්‍ෂීණ විය. දැන් යලි භවෝත්පත්තියෙක් නැත.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශෝභන ගති ඇති ශාස්තෘන් වහන්සේ මෙය වදාරා එයින් මත්තෙහි (ගාථාබන්‍ධන වශයෙනුදු) මෙය වදාළ සේක:
“සතර සත්‍යයන් තත් වූ පරිදි නොදැක්මෙන් ඒ ඒ ජාතීන්හි දික් කලක් ම හැසිරීම විය. දැන් සතර සත්‍යයෝ දක්නා ලදුහ. භවනියන්ත්‍රිය (තෘෂ්ණාව) වැනැසිණ. දුක්මුල සිඳිණ. දැන් මෙයින් මතු භවයෙක් නැත”.
35. භාග්‍යවතුන් වහන්සේ එහි ද කෝටිග්‍රාමයෙහි වැඩවසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වෙයි. සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත්පල මහත් අනුසස් ඇත්තේ වෙයි. ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත මොනොවට කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ” යැයි බොහෝ සේ මේ දැහැමි කතාව ම වදාරන සේක.
ධර්‍මාදර්‍ශ ධර්‍මපර්‍ය්‍යාය
36. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එවු, නාදිකා ගමට යම්හ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා නාදිකා ගමට වැඩි සේක. වැඩ එහි නාදිකා ගමැ ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක. එකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ ඔබ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවැසූහ:
වහන්ස, නාදිකායෙහි සාළ්හ නම් භික්‍ෂු කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නන්‍දා නම් මෙහෙණ නාදිකා ගමැ කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කරව යැ? වහන්ස, සුදත්ත නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, සුජාතා නම් උවැසි නාදිකායෙහි කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කකුධ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කාලිංග නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, නිකට නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, කටිස්සහ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ? වහන්ස, තුට්ඨ නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේ ය ... සන්තුට්ඨ නම උවසු ... භද්‍ර නම් උවසු … සුභද්‍ර නම් උවසු නාදිකායෙහි කලුරිය කෙළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ?”.
37. “අනඳයෙනි, සාළ්හ මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධිය ද ඵලප්‍රඥාව ද මෙ අත්බවෙහි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා විසී ය. අනඳයෙනි, නන්‍දා මෙහෙණ ඕරම්භාගිය සඤ්ඤෝජන පස ක්‍ෂය කිරීමෙන් (ශුද්ධාවාසයෙහි) උපපාදුක වූවා, එහි පිරිනිවෙන්නී, එ බඹලොවින් පෙරළා මෙහි නොඑන ස්වභාවය ඇත්තී ය. අනඳයෙනි, සුදත්ත උවසු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූ බැවින් සකෘදාගාමී වූයේ, එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. අනඳයෙනි, සුජාතා උවැසි තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවා, අවාදුකට නො වැටෙන සුලු වූවා, ධර්‍මනියමයෙන් රහත්බව් ලබනුවට නියත වූවා, සම්බෝධිපරායණ (ඉහළ තුන් මගට අවශ්‍යයෙන් ම පැමිණිය යුතු) වූවා ය.
අනඳයෙනි, කකුධ නම් උවසු ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහිදී පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන ස්වභාවය ඇත්තේ ය. අනඳයෙනි, කාලිංග උවසු තෙම ... නිකට උවසු තෙම ... කටිස්සහ උවසු තෙම ... තුට්ඨ උවසු තෙම ... සන්තුට්ඨ උවසු තෙම ... භද්‍ර උවසු තෙම ... සුභද්‍ර උවසු තෙම ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහි පිරිනිවෙන සුලු වූයේ, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙයි.
අනඳයෙනි, නාදිකායෙහි පනසකට වැඩි දෙනෙක් උවසුවෝ කලුරිය කළාහු, ඕරම්භාගිය සංයෝජන පස ක්‍ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූවාහු, එහි පිරිනිවෙන සුලු වූවාහු, එ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙත්.
අනඳයෙනි, වැඩියක් සහිත අනූ දෙනෙක් නාදිකායෙහි කලුරිය කළාහු තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන්, රාගද්වේශමෝහයන් තුනී බැවින් සකෘදාගාමී වූවාහු, එක් වරක් ම උත්පත්ති වශයෙන් මෙ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.
අනඳයෙනි, වැඩියක් සහිත පන්සියක් නාදිකායෙහි උවසුවෝ කලුරිය කළාහු, තුන් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් සෝවාන් වූවාහු, අවාහි නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, සම්බෝධිපරායණ (ඉහළ තුන් මඟට අවශ්‍යයෙන් පැමිණිය යුතු) වූහ.
38. අනඳයෙනි, විස්මය ජනක ය! යම් හෙයකින් මිනිස් වූයෙක් කලුරිය කරන්නේ නම්, ඉදින් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි තථාගතයන් කරා එළැඹ මෙ කරුණ විචාරන්නාහු නම්, ඒ (හැම එකක්හුගේම පරලොව ගතිය කීම) තථාගතයන්ගේ කයට වෙහෙසෙක් ම ය. අනඳයෙනි, එහෙයින් යමෙකින් සමන්‍විත ආර්‍ය්‍යශ්‍රාවක කැමැත්තේ ‘ක්‍ෂය කළ නිරය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ තිරිසන් යොන් ඇත්තෙමි’ යි ‘ක්‍ෂය කළ ප්‍රේතවිෂය ය ඇත්තෙමි’ යි, ‘ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාතයන් ඇත්තෙමි’ යි, ‘මම් අවාහි නොවැටෙන සුලු, නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා ප්‍රකාශ කළ හැකි වන්නේ ද, එසේ වූ ධර්‍මාදර්‍ශ නම් ධර්‍මක්‍රමය දෙසන්නෙමි.
අනඳයෙනි, යමෙකින් සමන්‍විත අරි සවු තෙම කැමැත්තේ ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චීනයෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙමි, අවිනිපාත ස්වභාවය ඇති, නියත වූ, සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා පැවැසි යැ හැකි වන්නේ නම්, ඒ ධර්‍මාදර්‍ශ ධර්‍මපර්‍ය්‍යාය කවරේ ද:
අනඳයෙනි, මෙහි අරි සවු තෙම “ඒ භාග්‍යවත් තෙම මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගතය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ”යි බුදුන් කෙරෙහි ගුණ පැහැදීමෙන් සමන්‍විත වෙයි.
“භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනා කොට කියන ලද. තමන් විසින් ම දැක්ක යුතු ය. ඵල දෙනුවට කාලාන්තරයක් ඇති නො වේ. ‘එව, බලව’ යි කීමට නිසි ය. භාවනා වසයෙන් තමසිත්හි එළවනුවට සුදුසු ය. විඥයන් විසින් තමතමා කෙරෙහි දැක්ක යුතු යැ” යි ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
“භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සුපිළිපන් ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම ඍජු ව පිළිපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම න්‍යායප්‍රතිපන්න ය (නිවන් පිණිස පිළිපන්නේ ය). භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සාමීචිප්‍රතිපන්න ය. යම් මේ ප්‍රථම මාර්‍ගස්ථ, ප්‍රථම ඵලස්ථ ආදි විසින් පුරුෂයුග සතර දෙනෙක් ඇද්ද, මේ නියායෙන් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසංඝ තෙම දුරැ සිට ද ගෙනවුත් සිල්වත්නට පිරිනැමියැ යුතු සිවුපස පිළිගනුවට සුදුසු ය. අමුත්තනට පිළියෙල කළ දානය පිළිගන්නට සුදුසු ය. පරලොව සුව පතා දෙන දන් පිළිගන්නට සුදුසු ය. දෝත් මුදුන් තබා වැන්ද යුත්තේ ය. ලොව නිරුත්තර වූ පින්කෙත යැ” යි. සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
කඩ නොවූ, සිදුරු නො වූ (තැනින් තැන සිකපද බිඳීමෙන්) සඛල නො වූ, කැලැල් රහිත වූ, නිදහස් වූ (තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු), නුවණැතියන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදෘෂ්ටි දෙකින් අපරාමෘෂ්ට වූ, උපචාර අර්‍පණා මාර්‍ග ඵල සමාපත්ති පිණිස පවත්නා වූ ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්‍විත වෙයි.
අනඳයෙනි, යමෙකින් සමන්‍විත අරි සවු තෙම කැමැත්තේ, ‘මම් ක්‍ෂීණ නිරය ඇත්තෙමි, ක්‍ෂීණ තිරශ්චීන යෝනි ඇත්තෙමි, ක්‍ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්‍ෂීණ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙමි. අවිනිපාත ස්වාභාවය ඇති, නියත වූ සම්බෝධිපරායණ වූ, සෝවාන් පුඟුලෙකිමි’ යි තෙමේ ම තමා පවසනු හැක්කේ නම්, මේ ඒ ධර්‍මාදර්‍ශ ධර්‍මපර්‍ය්‍යාය වේ.
39. භාග්‍යවතුන් වහන්සේ එහි ද නාදිකා ගමෙහි ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක්, “ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් ඵල මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය, ප්‍රඥායෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ යැ” යි භික්‍ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.
[අම්බපාලිවනයෙහි සීවටන් දෙසීම]
40. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, විසල්පුර කරා එළැඹෙන්නමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟුන් හා විසල්පුරට වැඩි සේක. එහි විසල් පුරැ අම්බපාලි වනයෙහි වැඩ වසන සේක. එහි දී භික්‍ෂූන් අමතා මෙසේ වදාළ සේක.