Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2201-2300 න් 5108

31. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ සූක්‍ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ අරූපී වූ සූක්‍ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අරූපී සූක්‍ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය නො ම හෝනේ යැ යි කියනු සුදුසු ය.”
32. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ අරූපී අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අරූපී අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන ආත්මයක් හෝ විද්‍යාමානත්‍වයෙන් සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි ආනන්තාත්මානුදෘෂ්ටිය නො හෝනේ යැ යි කියනු සුදුසු ය.”
ආනන්‍දය, මෙතෙකින් ම ආත්මය නො පණවන්නේ නො පණවයි.
33. “ආනන්‍දය, කොතෙකින් (දිට්ඨිසමනුපස්සනායෙන්) ආත්මයක් දක්නේ දකී ද යත්:
ආනන්‍දය, වේදනාව ආත්ම යැ යි දක්නේ ‘වේදනාව මාගේ ආත්මය වේ’ යැ යි හෝ මෙසේ දකියි. ‘වේදනාව මගේ ආත්මය නො වේ’ මාගේ ආත්මය වේදනාරහිත යැ’ යි මෙසේ හෝ ආනන්‍දය, ආත්මයක් දක්නේ දකියි. ‘වේදනාව මගේ ආත්මය නො වේ ම ය, මගේ ආත්මය වේදනා රහිත ද නො වේ ම ය, ආත්මය විඳී, මගේ ආත්මය (වේදනාසම්ප්‍රයුක්ත බැවින්) විඳින ස්වභාව ඇත්තේ ම යැ’ යි මෙසේ හෝ ආනන්‍දය, ආත්මයක් දක්නේ දකී.
34. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය යැ’ යි මෙසේ කියා ද, ‘ඇවැත්නි, සුඛවේදනා දුඃඛවේදනා, අදුඃඛාසුඛ වේදනා යි මේ වේදනා තුනෙකි. මේ තුන් වේදනාවන්ගෙන් තෝ කවර වේදනාවක් ආත්ම වශයෙන් දක්නෙහි දැ’ යි හෙ තෙම මෙසේ කිය යුතු (ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කටයුතු). ආනන්‍දය, යම් විටෙක (සත්‍ව තෙමේ) සුඛවේදනාව විඳී ද, එ සමයෙහි හේ දුඃඛවේදනාව නො ම විඳියි, අදුඃඛාසුඛවේදනාව ද නොම විඳියි, එසමයෙහි හේ සුඛ වේදනාව ම විඳියි. ආනන්‍දය, යම් විටෙක දුඃඛවේදනා විඳී ද, එ විටැ සුඛවේදනාව නොම විඳියි, අදුඃඛාසුඛවේදනාව ද නොම විඳියි, එසමයෙහි දුඃඛවේදනා ම විඳී. ආනන්‍දය, යම් විටෙක අදුඃඛාසුඛවේදනාව විඳී ද, එවිටැ සුඛවේදනාව නො ම විඳියි, දුඃඛවේදනාව ද නො ම විඳියි. අදුඃඛාසුඛවේදනාව ම එවිටැ විඳී.
35. “ආනන්‍දය, සුඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය (ප්‍රත්‍යයයන් විසින් සකස් වූයේ ය), ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්‍ෂයධර්‍මය (ක්‍ෂීණ වන සුලු ය), ව්‍යධර්‍මය, (වැනසෙන සුලු ය), විරාගධර්‍ම ය (පහ වන සුලු ය), නිරෝධධර්‍මය (නිරුද්ධවන සුලු ය). ආනන්‍දය, දුඃඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්‍ෂයධර්‍මය, ව්‍යධර්‍මය, විරාගධර්‍ම ය, නිරෝධධර්‍මය. ආනන්‍දය, අදුඃඛාසුඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය, ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්‍ෂයධර්‍මය, ව්‍යධර්‍මය, විරාගධර්‍ම ය, නිරෝධධර්‍මය. සුඛවේදනාව විඳුනා හට ‘මේ මගේ ආත්මය වේ’ යැ යි සිතෙක් වෙයි. ඒ සුඛවේදනාවගේ නිරෝධයෙන් ‘මේ මගේ ආත්මය ව්‍යග්‍ර වී (විසිර ගියේ යැ යි, පහ ව ගියේ යැ)’ යි සිතෙක් වෙයි. දුඃඛවේදනාව විඳුනාහට ‘මේ මගේ ආත්මය වේ ’ යැ යි සිතෙක් වෙයි. ඒ දුඃඛවේදනාවගේ ම නිරෝධයෙන් ‘මගේ ආත්මය ව්‍යග්‍ර වී’ යැ යි සිතෙක් වෙයි. අදුඃඛාසුඛවේදනාව විදුනාහට ‘මේ මගේ ආත්මය යැ’ යි සිතෙක් වෙයි. ඒ අදුඃඛාසුඛවේදනාව නිරුද්ධ වීමෙන් ‘මගේ ආත්මය ව්‍යග්‍ර වී යැ’ යි සිතෙක් වෙයි. මෙසේ හෙ තෙම මෙ අත්බව්හි ම ආත්මයක් දක්නේ අනිත්‍ය වූ සුඛ වූ දුක් වු අනිත්‍යාදි ලක්‍ෂණයන්ගෙන් මිශ්‍ර වූ (අදුඃඛාසුඛ වූ) උපදනසුලු නැසෙන සුලු රූපාදි ස්කන්‍ධයක් දකී. එහෙයින් ආනන්‍දය, ‘වේදනාව මගේ ආත්මයැ’ යි මෙය දක්නට මෙයිනුත් නො රිසියෙයි.
36. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය නොවේ ම ය, මගේ ආත්මය ප්‍රතිසංවේදනා රහිත යැ’ යි මෙසේ කියා නම්, ‘ඇවැත්නි, යම් තැනෙක හැම අයුරින් ම විඳීමෙක් නැත් නම්, එහි මේ මම් වෙමි’ යි කියැ යුතු කිසි ස්කන්‍ධධර්‍මයෙක් වන්නේ දැ?’ යි හෙ තෙම කිය යුතු. (ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු).
“වහන්ස, මෙය (මම වෙමි යි ගත යුතු කිසි ස්කන්‍ධයෙක් එහි) නොවේ ම යැ” යි (අනඳතෙරණුවෝ වාදාළහ.)
“ආනන්‍දය, එහෙයින් ‘වේදනාව මගේ ආත්මය නොවේ ම ය, මගේ ආත්මය ප්‍රතිසංවේදනාරහිත යැ’යි මෙය දක්නට මෙයිනුත් නො රිසියෙ යි.”
37. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය නො වේ ම ය, මගේ ආත්මය වේදනාරහිතත් නො වේ ම ය, මගේ ආත්මය විඳියි, මගේ ආත්මය විඳින සුලු යැ’ යි යමෙක් මෙසේ කියා නම්, ‘ඇවැත්නි, වේදනාවෝත් හැම අයුරින් ම හැම සැටියෙන් ම නො ඉතිරි ව නිරුද්ධ වන්නාහු නම්, හැම අයුරින් ම වේදනාව නැති කල්හි, වේදනාවගේ නිරෝධයෙන් එහි ‘මේ මම් වෙමි’ යි කියා යුතු කිසිදු ස්කන්‍ධධර්‍මයෙක් වන්නේ දැ?යි මෙසේ හෙ තෙම කියැ යුතු (ඔහුගෙන් ප්‍රශ්න කළයුතු).
“වහන්ස, (‘මේ මම් වෙමි’යි කිය යුතු කිසිත් වන්නේ ය යන) මෙය නො වේ ම ය.”
ආනන්‍දය, එහෙයින් මෙයිනුත් වේදනාව මගේ ආත්මය නොවේ ම ය, වේදනා නො වනුයේත් මගේ ආත්මය නො වේ ම ය, (වේදනායෙන් අන්‍ය ධර්‍මයෙක් වූ) මගේ ආත්මය විඳියි, (එසේ වූ) මගේ ආත්මය විඳින සුලු යැ’ යි මෙසේ මෙය දක්නට නො රිසියෙයි.
38. “ආනන්‍දය, යම් කලෙක මහණ වේදනාව ආත්ම කොට නො දකී ද, ආත්මය වේදනා නොවූවක් කොට හෝ නො දකී ද, ‘මගේ ආත්මය විඳියි, මගේ ආත්මය විඳුනා සුලු යැ’යි හෝ නො ම දකී ද, එසේ නො දක්නා හෙ තෙම ලොවැ කිසිත් (ආත්ම ආත්මීය වශයෙන්) නො ගනුයේ තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන් පරිතස්සනායෙන් පරිතස්සනා නො කෙරෙයි. පරිතස්සනා නො කරන්නේ තෙමේ ම කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි, ‘සසර ඉපැත්ම ක්‍ෂීණ වීයැ යි, මග බඹසර වැස නිමැවිණැ යි, කළ යුතු දෑ කරන ලද්දේ යැ යි, මේ රහත් බව පිණිස කළයුතු අනෙකක් නැතැ’ යි දැනගනී.
39. “ආනන්‍දය, මෙසේ (ආත්මදර්‍ශන නැති) මිදුණු සිතැති රහත් මහණහු ඇරැබ යමෙක් ‘තථාගත තෙම මරණින් මත්තෙහි වේ යැ යි මොහුගේ (රහත් වූවහුගේ) දෘෂ්ටිය මෙසේ යැ’ යි කියන්නේ නම්, ඒ කීම (රහත් තෙම කිසිවක් නො දනී යැ යි කීයූවක් වන බැවින්) නො යුතු ය. ‘තථාගත තෙම මරණින් මත්තෙහි නොවේ යැ යි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නොයුතු ය. ‘තථාගත තෙම මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ යැ යි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නො යුතු ය. ‘තථාගත තෙම මරණින් මතු නො ම වෙයි, නො ම නො වෙයි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නො යුතු ය. ඒ කවර හෙයින: ආනන්‍දය, ව්‍යවහාර යම් පමණ ද, ව්‍යවහාරවිෂය යම් පමණ ද, නිර්වචන යම් පමණ ද, නිර්වචනවිෂය යම් පමණ ද, ප්‍රඥප්තිය (පැණවීම) යම් පමණ ද, ප්‍රඥප්තිවිෂය යම් පමණ ද, ප්‍රඥාව යම් පමණ ද, ප්‍රඥායෙන් බැස ගත යුතු පඤ්චස්කන්‍ධය යම් පමණ ද, යම්තාක් සසරවට පවතී ද, රහත් මහණ එය වෙසෙසින් දැන මිදුණේ වෙයි. ‘එය දැන මිදුණු මහණ නො දනී, නො දකී, එබැවින් මොහුගේ දෘෂ්ටිය මෙසේ යැ’ යි යම් කීමෙක් ඇද්ද, එය නො යුතු යැ.”
40. ආනන්‍දය, මේ විඥානස්ථිති (විඥානය පිහිටි තැන්) සත් දෙනෙකි, මේ ආයතනයෝ දෙදෙනෙකි. විඥානස්ථිති සත කවරහ යත්:
ආනන්‍දය, මනුෂ්‍යයෝ ද සමහර දෙවියෝ ද සමහර විනිපාතිකයෝ ද (වෙමානික ප්‍රේතයෝ) ද යන කායනානාත්‍වය හා සංඥානානාත්‍වය ඇති සත්ත්‍වයෝ ඇත. මේ ප්‍රථම විඥානස්ථිතිය යැ.
ආනන්‍දය, ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය යන කායනානාත්‍වය ඇති (ප්‍රමාණ විසින් කයින් වෙනස් වූ), සංඥාඒකත්‍වය ඇති (ප්‍රථම ධ්‍යාන සංඥා විසින් සමාන වූ) සත්ත්‍වයෝ ඇත. මේ දෙවෙනි විඥානස්ථිතිය යි.
ආනන්‍දය, ආභාස්වර (විහිදෙන ප්‍රභා ඇති) දෙවියෝ ය යන (ප්‍රභා විසින්) කායඒකත්‍වය ඇති (අවිතර්‍ක විචාර - අවිතර්‍ක අවිචාර ධ්‍යාන විසින්) සංඥානානාත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ තෙවෙනි විඥානස්ථිතියයි.
ආනන්‍දය, ශුභකෘත්ස්නක දෙවියෝ ය යන කායඒකත්‍වය ඇති (චතුර්‍ත්‍ථ ධ්‍යාන විසින්) සංඥා ඒකත්‍වය ඇති සත්‍ව කෙනෙක් ඇත. මේ සතරවන විඥානස්ථිතියයි.
ආනන්‍දය, හැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන්, නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ’ යි දහන් වඩා ආකාසානඤ්චායතන භූමියට පැමිණි සත්‍වයෝ ඇත. මේ පස්වන විඥානස්ථිති ය යි.
ආනන්‍දය, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම ‘විඥානය අනන්තයැ’යි දහන් වඩා විඤ්ඤාණඤ්චායතන භූමියට පැමිණි සත්‍වයෝ ඇත. මේ සවන විඥානස්ථීතියයි
ආනන්‍දය, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’ යි නාස්තිභාවප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්‍වයෝ ඇත. මේ සත්වන විඥානස්ථිතිය යි.
අසංඥසත්‍වායතනය ආයතන විසින් පළමු වැන්නයි නේවසඤ්ඤානාසඤ්ඤායතනය ම දෙවැන්න යි.
41. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් මනුෂ්‍යයෝ ද ඇතැම් දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද යන නානත්තාකය නානාත්තසඤ්ඤී වූ යම් මේ ප්‍රථම විඥානස්ථිතියෙක් වේ ද, යමෙක් එයත් දනී නම් එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම්, එහි ආශ්වාදයත් (රසයත්) දනී නම්, එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්‍දනයට (පිළිගන්නට) සුදුසු ද?”
“වහන්ස, මෙය නොසුදුසු යැ.”
“ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ දෙවෙනි විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ තෙවෙනි විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ සිවුවන විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ පස්වන විඥානස්ථිතියෙක් ඇද්ද … යම් මේ සවන විඥානස්ථිතියෙක් ඇද්ද … ආනන්‍දය, ඔවුන් අතුරෙන් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔවුන් පිළිබඳ වූ යම් මේ සත්වන විඥානස්ථිතියෙක් වේ ද, ආනන්‍දය, යමෙක් ඒ විඥානස්ථිතියත් දනී ද, එයට කාරණයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි ආදීනවයත් දනී ද, එහි නිඃසරණයත් දනී ද, එසේ දන්නා වූ ඔහු විසින් එය අභිනන්‍දනයට සුදුසු ද?”
“වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.”
“ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ අසංඥසත්ත්‍වායතනයෙක් වේද, ආනන්‍දය, යමෙක් එයත් දනී ද, එහි සමුදයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි දෝෂයත් දනී ද, එහි නික්මීමත් දනී ද, ඔහු විසින් එය අභිනන්‍දනයට පිළිගන්නට සුදුසු ද?”
“වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.”
“ආනන්‍දය, ඔවුන් අතුරෙන් යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් වේ ද, ආනන්‍දය, යමෙක් එයත් දනී ද, එයට කාරණයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි නිඃසරණයත් දනී ද, ඔහු විසින් එය පිළිගන්නට සුදුසු ද?”
“වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.”
“ආනන්‍දය, යම් කලෙක මහණ මේ විඥානස්ථිති සතේ ද මේ ආයතන දෙක්හි ද සමුදයත්, අස්තගමයත්, ආස්වාදයත්, ආදීනවයත්, නිෂ්සරණයත් තතු වූ පරිදි දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද, ආනන්‍දය, මේ මහණ ප්‍රඥාවිමුක්ත (ප්‍රඥා බලයෙන් නාම රූප කයින් මිදුණේ) යැ යි කියනු ලැබේ.”
42. “ආනන්‍දය, මේ විමෝක්‍ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:
රූපී වූයේ (තමාගේ කේසාදියෙහි නීලකසිණාදී වශයෙන් ඉපිදැවූ රූපධ්‍යාන සතරෙන් එකක් ඇත්තේ තමා කෙරෙහි වූ නීලකසිණාදී) රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමු විමෝක්‍ෂය යි.
අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ (තමාගේ කේසාදින්හී ඉපැදැ වූ රූපසංඥා නැත්තේ, බාහිර අරමුණෙහි පිරියම් වඩා බාහිර අරමුණෙහි ම ඉපිදැ වූ රූපධ්‍යාන ඇත්තේ) බාහිර නීලකසිණාදී රූපයන් දකි. මේ දෙවෙනි විමෝක්‍ෂයයි.
(පිරිසිදු වූ නීලාදී වර්‍ණකසිණ අරමුණක් ගෙන) ‘ඒ අරමුණ ශුභ යැ’ යි එහි වැදගත්තේ වෙයි. මේ තෙවෙනි විමෝක්‍ෂයයි.
හැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ ව යෑමෙන් නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත’ යැ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂයයි.
හැම අයුරින් ම ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’ යි විඥානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂයයි.
හැම අයුරින් ම විඥානඤ්චායතනය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන යට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂයයි.
හැම අයුරින් ම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂයයි.
හැම අයුරින් ම නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අට වන විමෝක්‍ෂයයි.
ආනන්‍දය, මේ විමෝක්‍ෂ අට යි.
“ආනන්‍දය, යම් කලෙක මහණ තෙම මේ අෂ්ට විමෝක්‍ෂයන් අනුලොම්විසිනුත් (මුල පටන් අවසන දක්වාත්) සමවදී ද, පිළිලොම්විසිනුත් (අග සිට මුල දක්වාත්) සමවදී ද, අනුලොම්පිළිලොම් විසිනුත් සමවදී ද කැමැති තැනෙක, කැමැති සමවතකට, කැමැති තාක් කල් සමවැදීමත් එයින් නැගී සිටීමත් කෙරේ ද, ආස්‍රවයන් ද ක්‍ෂය කිරීමෙන් ආනාසුව වූ චිත්තවිමුක්තිය (ඵලසමාධිය) ද ප්‍රඥාවිමුක්තිය (ඵලඥානය) ද මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා වෙසේ ද, ආනන්‍දය, මේ මහණ උභතෝභාගවිමුක්ත (අරූපසමාපත්තියෙන් රූපකාය කෙරෙන් ද, මාර්‍ගයෙන් නාමකාය කෙරෙන් දැයි දෙපසින් ම මිදුණේ) යැ යි කියනු ලැබේ. ආනන්‍දය, මේ උභතෝභාගවිමුක්තියෙන් උත්තරීතර (මෙයට වැඩි තරම්) වූ ප්‍රණීතතර (මෙයට වඩා උතුම්) වූ උභතෝභාග විමුක්තියෙක් නැත.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආරාධිත සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
දෙවැනි මහානිදාන සූත්‍රය නිමියේ යි.
මහාපරිනිර්‍වාණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි වෛදේහීපුත්‍ර වූ මගධදේශාධිපති අජාසත් රජ වැදෑ රජුන් මැඩැ ලනු පිණිස යනු කැමැත්තේ වෙයි. හෙ තෙම ‘මම් වූ කලි මේසා මහත් රාජර්ධියෙන් සමන්‍විත මේසා මහත් ආනුභාව ඇති වැදෑ රජුන් මුලින් සිඳලන්නෙමි, වජ්ජීන් වනසන්නෙමි, වජ්ජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියයි.
2. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධදේශාධිපති අජාසත් රජ මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණහු බැණැවීය:
“බමුණාණනි, මෙහි එන්න, භාග්‍යවතුන් වහන්සේ වෙත යවු. ගොස් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් (පාමුල හිස තබා) වඳිවු. ‘වහන්ස, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ භාග්‍යවගුන් වහන්සේගේ පාමුල හිස තබා වඳියි. භාග්‍යවතුන් වහන්සේගේ නිරාබාධ බව, නිරෝග බව, හෑල්ලු පැවැත්ම, කායබලය, සැප විහරණය විචාරා’ යැ යි නිරාබාධ බව, නීරෝග බව, හෑල්ලු පැවැත්ම, කාය බලය, සැප විහරණය විචාරන්න.
‘වහන්ස, වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාසත් රජ වැදෑරජුන් මඩිනුවට යනු කැමැත්තේ වෙයි. හෙතෙම ‘මේසා මහඉදුමත් මේසා මහතෙදැති වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි, වැදෑ රජුන් වනසන්නෙමි, වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙපරිද්දෙන් කියා’ යැ යි මෙසේත් කියන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබට යම්සේ වදාරන සේක් ද, එය මොනොවට ඉගෙන මට සැළ කරන්න. තථාගතවරු නො සැබෑ බසක් නො බෙණෙත්” යැ යි කී ය.
3. ‘එසේ ය, පින්වතාණනි’ යි කියා මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර වූ අජාසත් රජුට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදවා, මනාප යානයක් නැඟ, මනාප මනාප යානයන් ගෙන් උපලක්‍ෂිත ව රජගහපුරයෙන් නික්මියේ ය. ගිජුකුළු පව්ව වෙත එළැඹියේ ය. යානයෙන් යෑමට සුදුසු බිම යම් තාක් ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පාගමන් ඇත්තේ ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳැවිය යුතු වූ කථාව අවසන් කොට එක් පසෙක හිඳගත. එක් පසෙක හුන්නා වූ මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය:
“භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ හිස නමා භවද් ගෞතමයන්ගේ පා වඳී. ඔබ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා විචාරයි. භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාසත් රජ වැදෑ රජුන් මඩින්නට යනු කැමැත්තේ ය. ‘මෙසේ වූ මහත් රාජර්ද්ධි ඇති මෙසේ වූ මහත් අනුභාව ඇති මේ වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි යි, මේ වැදෑ රජුන් වනසන්නෙමි යි, මේ වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියා” යි භාග්‍යවතුන් වහන්සේ ට සැළ කෙළේය.
[වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සත]
4. ඒ වේලෙහි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පවන් සලමින් පිටුපසින් සිටියාහු වෙති. එකලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක:
“අනඳයෙනි, වැදෑ රජුහු නිරතුරු (දවස තෙවරක්) රැස් වන්නාහු ය, රැස් වනු බහුල කොට ඇත්තාහ යි මෙය තොප විසින් අසන ලද දැ?” යි අසා වදාළ සේක.
“වහන්ස, වැඳැ රජුහු නිරතුරු රැස්වන්නාහ, රැස් වනු බහුල කොට ඇත්තාහ’ යි මෙය මා විසින් අසන ලදැ” යි අනඳ තෙරණුවෝ පිළිතුරු දුන්හ.
“අනඳයෙනි, වැදෑ රජුහු යම්තාක් එක්වන් රැස්වීම් ඇත්තාහු ද, රැස් වනු බහුල කොට ඇත්තෝ වන්නාහු ද, ඒතාක් අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය (කැමැතිවිය) යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (1)
“අනඳයෙනි, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත් ය, සමඟ වැ නැගී සිටිත් ය, සමඟ වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
“වහන්ස, වැදෑ රජුහු සමඟ වැ රැස් වෙත්, සමඟ වැ නැඟී සිටිත්, සමඟ වැ වැදෑකරණී කෙරෙත් යැයි මෙය මා විසින් අසන ලදි.”
“අනඳයෙනි, යම්තාක් වැදෑ රජුහු සමඟ වැ රැස් වන්නාහු ද, සමඟ වැ නැගීසිටින්නාහු ද, සමඟ වැ වැදෑකරණී කරන්නාහු ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑ රජුන්ගේ වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (2)
“අනඳයෙනි, වැදෑ රජුහු (පෙර තම පරපුරෙහි රජුන්) නො පනවන ලද්දක් නො පනවත්, පනවන ලද්ද නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා පවතිත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
“වහන්ස, වැදෑ රජුහු පෙර තම පරපුරෙහි රජුන් නො පැනැවූවත් නො පනවත්, පැනැවූවක් නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටිත් යැයි මෙය මා විසින් අසන ලදි.”
“අනඳයෙනි, යම්තාක් වැදෑරජුහු පෙර වැදෑරජුන් නො පැනැවූවක් නො පනවන්නාහු ද, පැනැවූවක් නො සිඳින්නාහු ද, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටින්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (3)
“අනඳයෙනි, වැදෑ රජුන් අතුරෙහි යම් මහලු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය තොප විසින් අසන ලදද?”
“වහන්ස, වැදෑ රජුන් අතුරෙහි යම් මහලු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑරජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය මා විසින් අසන ලදි.”
“අනඳයෙනි, යම් තාක් වැදෑ රජුහු සිය මහලු වැදෑවනට සත්කාර ගුරුකාර මානන පූජන කරන්නාහු නම්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතන්නාහු නම්, ඒ තාක් අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (4)
“අනඳයෙනි, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් ද, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
“වහන්ස, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් නම්, වැදෑ රජුහු ඔවුන් ඇදැගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැයි මෙය මා විසින් අසන ලදි.”
“අනඳයෙනි, යම් තාක් වැදෑරජුහු කුලවමියන් කුලදැරියන් ඇදැ ගෙන ගොස් බලාත්කාරයෙන් තමන් වෙතැ නො වස්වන්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සියැ යුතු.” (5)
“අනඳයෙනි, නුවර ඇතුළත ද පිටත ද වැදැ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලද ද?”
“වහන්ස, නුවර ඇතුළත ද බැහැර ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු එයට සත්කාර ගුරුකාර බුහුමාන පූජා කෙරෙත්, එයට දුන් විරූ කළ විරූ, දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය මා විසින් අසන ලදි.”
“අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම් තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු” (6)
“අනඳයෙනි, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසුවෙන් වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද යැයි තොප විසින් මෙය අසන ලද ද?”
“වහන්ස, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසු සේ වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලදුයේ යැයි මෙය මා විසින් අසන ලදි.”
“අනඳයෙනි, යම් තාක් සිය රටට නොආ රහත්හු ‘කෙසේ නම් එන්නාහු දැ යි, ආ රහත්හු කෙසේ නම් පහසු සේ වසන්නාහු දැ’ යි, වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි දැහැමි රකවළ මොනොවට පිහිටුවන ලද්දේ වන්නේ ද, අනඳයෙනි, ඒතාක් ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.” (7)
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති වස්සකාර බමුණා අමතා, “බමුණ, එක් සමයෙක මම් විසල්පුරැ සාරන්‍දද චෛත්‍ය විහාරයෙහි විසීමි. එහිදී මම් වැදෑ රජුනට මේ අපරිහානිය දහම් සත දෙසීමි. බමුණ, යම්තාක් කල් මේ සත් අපරිහානිය දහම්හු වැදෑවන් කෙරෙහි සිටින්නාහු ද, වැදෑවෝ මේ සත් අපරිහානිය දහම්හි (සිටියාහු) දක්නා ලැබෙත් ද, බමුණ, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම අවෙක්සිය යුතු, පිරිහීම නො ම අවෙක්සිය යුතු’ යැ යි (මෙයින් වජ්ජීන්ගේ විනාශය කල් යන බව දැන) වදාළ සේක.
[1. මේ වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සතය]
6. “මෙසේ (වජ්ජීන් කෙරෙහි අනුකම්පාවෙන්) වදාළ කලැ (මෙයින් වජ්ජීනාසයට ක්‍රමයක් සිතාගත්) මගද මහමැති වස්සකාර බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, මේ එක් එක් අපරිහානිය දහමෙකිනුදු යුත් වූ වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. අපරිහානිය දහම් සතෙකින් යුත් වූ කලැ කියනුම කවර යැ. භවද් ගෞතමයෙනි, වෛදේහීපුත්‍ර මගධාධිපති අජාසත් රජුහු විසින් වැදෑරජුහු සිත්ගැන්මෙන් හෝ උනුන් බිඳුවාලීමෙන් හෝ විනා යුද්ධයෙකින් වූ කලී ගත නො හැක්කාහු ම ය.
‘භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ’ යි කී ය.
“බමුණ, යම් ගමනකට සිතහි නම්, මේ එයට කලැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
ඉක්බිත්තෙන් මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන් ව හුනස්නෙන් නැගී නික්මැ ගියේ ය.
7. මගද මහමැති වස්සකාර බමුණා නික්මැ ගිය නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් බණවා, “අනඳයෙනි, තෙපි යවු. යම් පමණ මහණහු රජගහ නුවර නිසා වෙසෙත් නම්, ඒ හැම උවටන්හලට එක්රැස් කරවු” යැ යි වදාළ සේක.
‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දී රජගහනුවර නිසා වසන තාක් සියලු මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳැ පසෙක සිටියහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ “වහන්ස, යමකට භාග්‍යවතුන් වහන්සේ දැන් කලැයි සිතන සේක් නම්, දැන් ඒ භික්‍ෂුසඞ්ඝසන්නිපාතය කරන ලදැ” යි සැළ කළහ.
8. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී උවටැන්හල කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නැ වැඩහුන් සේක. වැඩහිඳ භික්‍ෂූන් අමතා ‘මහණෙනි, තොපට සත් අපරිහානි දහම් දෙසන්නෙමි. එය අසවු, මොනොවට සිත්හි දරවු, කියන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූ හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, යම්තාක් මහණහු එක්වන් රැස්වන්නාහු, රැස්වීම් බහුල කොටැත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (1)
මහණෙනි, යම්තාක් මහණහු සමග වැ රැස් වන්නාහු ද, සමග වැ නැගී සිටින්නාහු ද, සමග ව සංඝකාර්‍ය්‍ය කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණනුට වැඩීම ම ඇවෙක්සියැ යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2)
මහණෙනි, යම්තාක් මහණහු නොපැනැවුණක් නො පනවන්නාහු ද, පැනැවුණු දෑ නො සිඳින්නාහු ද, පැනැවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (3)
මහණෙනි, චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, සඞ්ඝපිතෘ වූ, සඞ්ඝපරිනායක වූ යම් තෙරහු වෙත් ද, ඔවුනට මහණහු යම්තාක් සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, ඔවුන් පුදන්නාහු ද, ඔවුන් බස ඇසියැ යුතු කොට සිතන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (4)
මහණෙනි, යම්තාක් කල් මහණහු පුනර්‍භවය පිණිස පවත්නා, තමන් කෙරෙහි උපන් තෘෂ්ණාවගේ වශයට නො යෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (5)
මහණෙනි, මහණහු යම් තාක් වන සෙනසුන්හි අපේක්‍ෂාසහිත වන්නාහු ද, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (6)
මහණෙනි, යම්තාක් මහණහු ‘කෙසේ නම් (තමන් සෙනස්නට) නොආ ප්‍රියශීල සබ්රම්සරුහු එන්නාහු ද, ආ ප්‍රියශීල සබ්රම්සරුහු සැප සේ වසන්නාහු දැ’ යි තමන් තමන් කෙරෙහි ම සිහිය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු. (7)
මහණෙනි, යම් තාක් මේ සත් අපරිහානි ධර්‍මයෝ මහණුන් කෙරෙහි සිටින්නාහු ද, මහණහු මේ අපරිහානිය ධර්‍ම සතෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.
[2. අනෙකුදු අපරිහානිය දහම් සතක්]
9. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් දෙසන්නෙමි. එය අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, මහණහු යම්තාක් කර්‍මාරාම (උද්දේසාදිය හැර සිවුරු කිරීම් ආදි කටයුත්තෙහි පමණක් ම යෙදුණෝ) නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු. (1)
මහණෙනි, යම් තාක් මහණහු භස්සාරාම (ස්ත්‍රීපුරුෂවර්‍ණනාදිකථායෙහි, කෙළිකවට බස්හි යෙදුණෝ) නොවන්නාහු ද, භස්සරත නො වන්නාහුද, මහණෙනි, ඒ තාක් මහණනුට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (2)
මහණෙනි, යම්තාක් මහණහු නිද්‍රාරාම (නින්දෙහි බෙහෙවින් යෙදුණෝ) නො වන්නාහු ද, නිද්‍රාරත නො වන්නාහු ද, නිද්‍රාරාමතායෙහි යෙදුණෝ නො වන්නා හු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ඇවෙක්සිය යුතු. (3)
මහණෙනි, යම් තාක් මහණහු ගණසඞ්ගණිකාරාම (බොහෝ දෙනා හා එක් වැ විසීමේ යෙදුණෝ) නො වෙත් ද, ගණසඞ්ගණිකායේහි ඇලුණෝ නො වෙත් ද, ගණසඞ්ඝණිකාරාම බව්හි යෙදුණෝ නො වෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නො ම ඇවෙක්සිය යුතු. (4)