116. මහණෙනි, මම් එක් සමයෙක්හි උක්කට්ඨාපුරය සමීපයෙහි වූ ශුභගවනයෙහි මහරුක් මුලැ වෙසෙමි. මහණෙනි, එකලා වැ චිත්ත විවේකයෙන් යුක්ත වූ ඒ මට “මේ දීර්‍ඝකාලය තුළ ශුද්ධාවාසයන් හැර මා නො වුසූ විරූ අන් සත්‍වාවාසයෙක් වේ ද, එය සුලභරූප නො වේ (දුර්‍ලභ ය). ශුද්ධාවාසි දෙවියෝ යම් තැනෙක ඇද්ද එතැනට එළැඹෙන්නෙම් නම් යෙහෙකැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති මම් බල ඇති පුරුෂයෙක් යම්සේ හැකුළූ හෝ අත දිගු කරන්නේ ද, දිගු කළ හෝ අත හකුලන්නේ ද, එසේ ම උක්කට්ඨායෙහි ශුභගවනයෙහි වෘක්‍ෂරාජ මූලයෙහි අතුරුදහන් වැ අවිහ දෙවියන් අත්රෙහි පහළ වීමි.
117. මහණෙනි, ඒ දෙව්නකාහි නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා කරා එළැඹුණහ. එළැඹ මා වැඳ එක් පසෙක සිටියහ. මහණෙනි, එක් පසෙක සිටියා වූ ම ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් කලෙක භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් එක්අනූ වන කප ය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, ක්‍ෂත්‍රියකුලයෙහි උපන්හ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට ආයුෂප්‍රමාණය වස් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු පළොල් රුක්මුලැ බුදු වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්හට ඛණ්ඩ තිස්ස නම් භද්‍රයුගල වූ අගසවු යුවලෙක් විය. නිදුකාණන් වන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සව්වන් පිළිබඳ තුන් සන්නිපාත කෙනෙක් වූහ: සව්වන් පිළිබඳ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් එක්සිය අටසැට දහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් සියදහසෙක් විය. සව්වන්ගේ එක් සන්නිපාතයෙක් භික්‍ෂූන් අසූදහසෙක් විය. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ හැම දෙන ම රහතුන් වූ ශ්‍රාවකයන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට අශෝක නම් භික්‍ෂූ අග්‍ර උපස්ථායක් වූ උවටු විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්‍හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ පිය තෙම බන්‍ධුමත් නම් රජ වී ය. වැදූ මෑණියෝ බන්‍ධුමතී නම් දේවි වූහ. බන්‍ධුමත් රජහුගේ රාජධානිය බන්‍ධුමතී නම් නගරය විය. නිදුකාණන් වහන්ස, භගවත් වූ අර්‍හත් වූ විපස්සී සම්මාසම්බුදුන්ගේ අභිනිෂ්ක්‍රමණය මෙසේ විය. පැවිද්ද මෙසේ විය. ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීම මෙසේ විය. අභිසම්බෝධිය මෙසේ විය. දම්සක් පැවැත්වීම මෙසේ විය. නිදුකාණන් වහන්ස, ඒ අපි විපස්සී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට මෙහි උපන්‍නමෝ යැ” යි (සැළ කළහ) ...
118. මහණෙනි, ඒ දෙව් නකාහි ම නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා වෙත ආහ. අවුත් මා වැඳ එක් පසෙක සිටියාහ. මහණෙනි, එක් පසෙක සිටියාවූ ම ඒ දෙවියෝ මට මෙය කීහ:-
“නිදුකාණන් වහන්ස, දැන් මේ බදුරු කපෙහි ම භගවත් අර්‍හත් සම්මාසම්බුදුහු ලොවැ පහළ වූවාහු වෙති. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ජාතියෙන් ක්‍ෂත්‍රිය සේක, ක්‍ෂත්‍රියකුලයෙහි උපන් සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගෝත්‍රයෙන් ගෞතම වන සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ්ප්‍රමාණය අල්පය, ලඝු ය. යමෙක් (මෙ සමයෙහි) බොහෝ කල් ජීවත් වන්නේ නම්, හේ සිය හවුරුද්දක් ජීවත් වෙයි. එයට වැඩි නම් ස්වල්පයකි. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඇසතු රුක් මුලැ බුදු වූ සේක. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සැරියුත් මුගලන් නම් භද්‍රයුගල වූ අක්සවු යුවලෙක් වේ. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට භික්‍ෂූන් එක්දහස්දෙසිය පණසක් වූ සව්වන්ගේ එක් සන්නිපාතයෙක් විය: නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට හැම දෙන ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් ම සන්නිපාතය විය. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ආනන්‍ද නම් භික්‍ෂූ තෙම අග්‍රෝපස්ථායක වූ උවටු වේ. නිදුකාණන් වහන්ස, ශුද්ධෝදන නම් රජ භාග්‍යවතුන් වහන්සේගේ පියා ය. මායා නම් දේවී වැදූ මවු ය. කිඹුල්වත් නම් පුර රජදහන ය. නිදුකාණන් වහන්ස, මෙසේ භාග්‍යවතුන් වහන්සේගේ අභිනිෂ්ක්‍රමණය විය, මෙසේ පැවිද්ද විය, මෙසේ ප්‍රධන් වැඩීම විය, මෙසේ අභිසම්බෝධිය විය, මෙසේ දම්සක්පැවැත්වීම විය. නිදුකාණන් වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට මෙහි උපනුම්හ” යි (කීහ.)
119. මහණෙනි, ඉක්බිති මම් අවිහ දෙවියන් හා අතප්ප දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම් අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් හා සුසුස්ස දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් ද සුදස්ස දෙවියන් ද කැටුව සුදස්සී දෙවියන් කරා ගියෙමි ... මහණෙනි, ඉන් පසු මම් අවිහ දෙවියන් ද අතප්ප දෙවියන් ද සුදස්ස දෙවියන් ද සුදස්සී දෙවියන් ද කැටුව අකනිට්ඨක දෙවියන් වෙත ගියෙමි. මහණෙනි, ඒ දෙව් නකාහි නොයෙක් දහස්ගණන් දෙවියෝ නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා කරා ආහ. අවුත් මා වැඳ එකත්පස් වැ සිටියහ. මහණෙනි, එකත්පස් වැ සිටියා වූ ඒ දෙවියෝ “නිදුකාණන් වහන්ස, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු යම් සමයෙක ලොව පහළ වූහු ද, ඒ මෙයින් යට ඒකානූ වන කප යැ ... යි කීහ.
120. මහණෙනි, ඒ දෙව්නකාහි ම නොයෙක් දහස් ගණන් නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා වෙත එළැඹියහ. එළැඹ මා වැඳ එකත්පස් ව සිටියහ. මහණෙනි, එකත්පස් ව සිටියා වූ ඒ දෙවියෝ මට මෙය කීහ: “නිදුකාණන් වහන්ස, යම් සමයෙක්හි භගවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහු ද, ඒ මෙයින් යට එක්තිස් වන කප ය ... නිදුකාණන් වහන්ස, මේ අපි භගවත් අර්‍හත් සිඛී සම්මා සම්බුදුන් කෙරෙහි බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, යම් සමයෙක භගවත් අර්‍හත් වෙස්සභූ සම්මාසම්බුදුහු ලොවැ වූහු ද, ඒ මෙයින් යට ඒ එක්තිස්වන කප මය ... නිදුකාණන් වහන්ස, ඒ අපි භගවත් වෙස්සභූ සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර වැස ... මෙහි උපනුම්හ” යි කීහ. නිදුකාණන් වහන්ස, මේ බදුරු කපෙහි ම භගවත් අර්‍හත් කකුසන්‍ධ සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... නිදුකාණන් වහන්ස, ඒ අපි කකුසන්‍ධ භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, මෙ බදුරු කපෙහි ම භගවත් අර්‍හත් කෝණාගමන සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... නිදුකාණන් වහන්ස, ඒ අපි කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස ... මෙහි උපනුම්හ. නිදුකාණන් වහන්ස, මේ බදුරුකපෙහි ම භගවත් අර්‍හත් කාශ්‍යප සම්මාසම්බුදුහු ලොවැ පහළ වූහ ... ඒ අපි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වැස කාමච්ඡන්‍දය දුරැ ලා මෙහි උපනුම්හ” යි කීහ.
121. මහණෙනි, ඒ දෙව්නකාහි ම නොයෙක් දහස් ගණන් දෙවියෝ, නොයෙක් ලක්ෂ ගණන් දෙවියෝ මා වෙත එළැඹියහ. එළැඹ මා වැඳ එකත්පස් වැ සිටියහ. මහණෙනි, එකත්පස්ව සිටියා වූ ඒ දෙවියෝ මට “නිදුකාණන් වහන්ස, මේ බදුරුකපෙහි ම අර්‍හත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ලොවැ පහළ වූ සේක ... නිදුකාණන් වහන්ස, මුබ කෙරෙහි බඹසර වැස කාමයන්හි කාමරාගය දුරු කොට මෙහි උපනුම්හ” යි මෙය කීහ.
122. මහණෙනි, මෙසේ යම් ධර්‍මධාතුවක් මොනොවට පිළිවිදි බැවින් තථාගත තෙමේ “ඒ භගවත්හු මෙ නම් ජාතියෙහි උපන්හ යි ද, මෙ නම් ඇත්තෝ, මෙ නම් ගෝත්‍ර ඇත්තෝ, මෙබඳු ධර්‍ම ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ” යි පිරිනිවියාවූ, සිඳිනලද ප්‍රපඤ්ච ඇති, සිඳින ලද වර්ත්ම ඇති, ක්‍ෂීණ කරන ලද තුන් වට ඇති, සියලු දුක් ඉක්මවූ අතීත බුදුවරුන් ජාති විසිනුත් සිහි කෙරේ ද, නාම විසිනුත් සිහි කෙරේ ද, ගෝත්‍ර විසිනුත් සිහි කෙරේ ද, ආයුෂ්ප්‍රමාණ විසිනුත් සිහි කෙරේ ද, ශ්‍රාවකයුග විසිනුත් සිහි කෙරේ ද, ශ්‍රාවකසන්නිපාත විසිනුත් සිහි කෙරේ ද, මහණෙනි, තථාගත බුදුන් විසින් ම ඒ ධර්‍මධාතුව මොනොවට පිළිවිදුනා ලද්දේ ය ... ‘ඒ භගවත්හු මෙබඳු විමුක්ති ඇත්තෝ වූ හ’ යි ද තථාගත බුදුහු පිරිනිවියා වූ අතීත බුදුවරුන් යමෙකින් සිහි කෙරෙද්ද ... දෙවියෝත් මෙ කරුණ තථාගත බුදුනට දැන්වූහ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ භික්‍ෂූහු සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
පළමු වන මහාපදාන සූත්‍රය නිමියේ යි.
2.
මහානිදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කුරු දනවු වැස්සන්ගේ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද, එහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ “වහන්ස, මේ ප්‍රතීත්‍යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්‍රකට වූවක් මෙන්, ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ යැ” යි කීහ.
2. ආනන්‍දය, එසේ නො කිය. ආනන්‍දය එසේ නො කිය. ආනන්‍දය, මේ ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු ද වේ, ගැඹුරු පෙනුම් ඇත්තේ ද වේ. ආනන්‍දය, මේ ධර්‍මය අනුබෝධ නො කිරීමෙන්, ප්‍රතිවේධ නො කිරීමෙන්, මෙසේ මේ සත්ත්‍වප්‍රජාව (පෙහෙර) හූකැටියක් මෙන් අවුල් වූවා, කැඳ ලූ පෙහෙර හූ මෙන් ගැට ගැසුණී නොහොත් කිරිලි කසල්ලක් බඳු වූවා, මුදුතණ බබුස් තණ සේ අවුල් වූවා සැපයෙන් පහ වූ, නපුරු ගති ඇති, විවශ ව පතිත වීම් ඇති අපාය ද සසර ද ඉක්ම නො යෙයි.
3. ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් ජරාමරණ වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් ජාතිය (ඉපැත් ම)වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ජාතිය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් භවය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් භවය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් උපාදානය වේ නම්, එබඳු ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් උපාදානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ නම්, එබඳු වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් ස්පර්‍ශය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශ්‍ය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි මෙසේ විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් නාමරූප වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, ‘මේ යම් ප්‍රත්‍යයයෙකින් විඥානය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් විඥානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.
ආනන්‍දය, මෙසේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක්රැසේ ඉපැත් ම වේ.”
4. “ආනන්‍දය, ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේද, මෙය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, හැම අයුරින් ම හැම ලෙසින් ම ජාතිය කිසිවකුට කිසිදු තැනෙක නොවී නම්, විභාග විසින් - දෙවියන්ගේ දෙව්බව පිණිස හෝ ගඳෙව්වන්ගේ ගඳෙව්බව පිණිස හෝ යකුන්ගේ යක්බව පිණිස හෝ උපන් කවර හෝ සතුන්ගේ ඒ ලත් අත්බව පිණිස හෝ මිනිසුන්ගේ මිනිස්බව පිණිස හෝ සිවුපාවුන්ගේ සිවුපාබව පිණිස හෝ පක්‍ෂීන්ගේ පක්‍ෂි බව පිණිස හෝ සරීසෘපයන්ගේ (බඩ ගා යන සතුන්ගේ)සරීසෘප බව පිණිස හෝ ඒ ඒ සතුන්ගේ එසේ වීම පිණිස ජාතිය නො වී නම්, සර්‍වප්‍රකාරයෙන් ම ජාතිය නැති කල්හි ජාතියගේ නිරෝධයෙන් (අභාවයෙන්) ජරාමරණය පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො ම වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
“එහෙයින් ආනන්‍දය, යම් මේ ජාතියෙක් වේ ද, ජරාමරණයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
5. “භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කිසිවෙකුට කිසිදු තැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම කාමභව, රූපභව, අරූපභව යන භවයෙක් නො වී නම්, හැම අයුරින් ම භව නැති කල්හි භවනිරෝධයෙන් ජාතියෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො ම වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
“ආනන්‍දය, එහෙයින් යම් මේ භවයෙක් වේ ද, මෙය ම ජාතියට හේතු ය, මෙය ම ජාතියට නිදාන ය, මෙය ම ජාතියගේ සමුදය ය, මෙය ම ජාතියට ප්‍රත්‍යය ය.”
6. “උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, උපාදානප්‍රත්‍යයයෙන් යම්සේ භවය වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කාමෝපාදානය ද දෘෂ්ට්‍යුපාදාන ද ශීලව්‍රතෝපාදාන ද ආත්මවාදෝපාදාන ද යන මේ උපාදානයෙක් හැම අයුරින් ම හැම ලෙසින් ම කිසිවක්හට කිසිදු තැනෙක නො වී නම්, හැම අයුරින් ම උපාදානයක් නැති කල්හි උපාදානනිරෝධයෙන් භවයෙක් පැනෙන්නේ ද”?
“වහන්ස, මෙය නො වේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් යම් මේ උපාදානයෙක් වේද, මෙය ම භවයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
7. “තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්‍දය, රූපතෘෂ්ණා ශබ්දතෘෂ්ණා ගන්‍ධතෘෂ්ණා රසතෘෂ්ණා ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යන මේ යම් තෘෂ්ණාවෙක් කිසිවක්හු පිළිබඳ ව කිසිදු තැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම නො වී නම්, සර්‍වප්‍රකාරයෙන් ම තෘෂ්ණාව නැති කල්හි තෘෂ්ණාවගේ නිරෝධයෙන් උපාදානයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් තෘෂ්ණාසංඛ්‍යාත මෙය ම උපාදානයාගේ හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම තෘෂ්ණාවගේ ප්‍රත්‍යය ය.”
8. “වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, එය මේ කරුණිනුත් දය යුතු: ආනන්‍දය, චක්ඛුසම්ඵස්සජ වේදනා ය, සෝතසම්ඵස්සජ වේදනා ය, ඝානසම්ඵස්සජ වේදනා ය, ජිව්හාසම්ඵස්සජ වේදනා ය, කායසම්ඵස්සජ වේදනා ය, මනෝසම්ඵස්සජ වේදනා ය, යන මේ යම් වේදනාවෙක් කිසිවක්හට කිසිදු තැනෙක සියලු අයුරින් ම සියලු ලෙසින් ම නො වී නම්, හැම අයුරින් ම වේදනා නැති කල්හි වේදනා නිරෝධයෙන් තෘෂ්ණාව පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් වේදනා යන මෙය ම තෘෂ්ණාවට හේතු වේ, මෙය ම නිදානය වේ, මෙය ම සමුදය වේ, මෙය ම ප්‍රත්‍යයය වේ.”
9. “ආනන්‍දය, මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය (අරමුණු සෙවීම) වේ. පර්‍ය්‍යෙෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්‍කවිනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව විතර්‍කයෙන් නිශ්චය කොට ගැන් ම) වේ. විනිශ්චය නිසා ඡන්‍දරාගය (විතර්කිත වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ටි විසින් මගේ යැ යි අයත් කරැ ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්, අවි දැරුම්, විග්‍රහ (විරෝධ පෑම්) විවාද, තුවංතුව වාද (ඇනුම් බැණුම්), මුසාබිණුම්, නෙයෙක් ලාමක අකුසල්දහම්හු පහළ වෙත්.
10. “රකවළ කරන කරුණෙන් දඬුමුගුරු දැරුම් අවි දැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබස්, නොයෙක් අකුසල් දහම්හු පහළ වෙති යි මෙය මෙසේ ම කියන ලද්දේ ය. ආනන්‍දය, රකවළ කරන කරුණින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාමිණුම්, නොයෙක් අකුසල් දහම්හු යම්සේ පහළ වෙත් ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගෙත් කිසි තැනෙක්හිත් හැම අයුරින් ම හැම ලෙසින් ම රකවළෙක් නො වී නම්, හැම අයුරින් රකවළක් නැති කල්හි, රකවළ නැති බැවින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබිණුම්, නොයෙක් අකුසල් දහම්හු පහළ වන්නාහු ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසා බිණුම් යන මොවුන්ගේ, නොයෙක් අකුසල් දහමුන්ගේ හට ගැන්මට වස්තුව රැක ගැන්ම යන මෙය ම හේතු ය. මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
11. “මසුරුබව නිසා රැක ගැන්ම වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්‍දය, මසුරුබව නිසා රැක ගැන්ම යම්සේ වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි තැනෙක හැම අයුරින් හැම ලෙසින් මසුරු බවෙක් නො වී නම්, හැම අයුරින් ම මසුරු බව නැති කල්හි, මසුරු බව නැති වීමෙන් වස්තු රැක ගැන්මෙක් පැණෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මසුරුබවය යන මෙය ම වස්තුව රැක ගැන්මට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
12. “පරිග්‍රහය (අයත් කොට ගැනීම) නිසා මසුරුබව වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්‍දය, පරිග්‍රහය නිසා මසුරුබව යම්සේ වේ ද, එය මේ අයුරින් ද දත යුතු: ආනන්‍දය කිසිවක්හුගේ කිසි තැනෙකත් හැම අයුරින් හැම ලෙසින් ම පරිග්‍රහයෙක් නො වී නම්, හැම අයුරින් ම පරිග්‍රහයෙක් නැති කල්හි, පරිග්‍රහනිරෝධයෙන් මසුරුබවෙක් පැණෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මසුරුබවට පරිග්‍රහය යන මෙය නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
13. “අධ්‍යවසානය (මම ය, මාගේ ය යි බලවත් සේ සනිටුහන් කිරීම) නිසා වස්තුපරිග්‍රහය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, අධ්‍යවසානය නිසා වස්තුපරිග්‍රහය යම්සේ වේ ද, එය මෙ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක අධ්‍යවසානයෙක් හැම අයුරින් හැම ලෙසින් නො වී නම්, හැම අයුරින් අධ්‍යවසානය නැති කල්හි, අධ්‍යවසානනිරෝධයෙන් වස්තුපරිග්‍රහයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් අධ්‍යවසානය යන යමෙක් ඇද්ද, පරිග්‍රහහයට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
14. “ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, ඡන්‍දරාගය නිසා අධ්‍යවසානය යම්සේ වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් හැම ලෙසින් ම ඡන්‍දරාගයෙක් නො වී නම්, හැම අයුරින් ඡන්‍දරාගය නැති කල්හි, ඡන්‍දරාගනිරෝධයෙන් අධ්‍යවසානයෙක් පැනේනේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් ඡන්‍දරාගය යන මෙය ම අධ්‍යවසානයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
15. “විනිශ්චය ය නිසා ඡන්‍දරාගය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ විනිශ්චය නිසා ඡන්‍දරාගය වේ ද, එය මේ කාරණයෙනුදු දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් හැම ලෙසින් ම විනිශ්චයයෙක් නො වී නම්, හැම අයුරින් විනිශ්චයයක් නැති කල්හි, විනිශ්චයයාගේ අභාවයෙන් ඡන්‍දරාගයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් විනිශ්චය යන යමෙක් වේ නම්, මෙය ම ඡන්‍දරාගයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
16. “ලාභය නිසා විනිශ්චයය වේයැ යි මෙසේ ම මෙය කියන ලදී. ආනන්‍දය, ලාභය නිසා විනිශ්චය යම්සේ වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක හැම අයුරින් හැම ලෙසින් ලාභයෙක් නො වී නම්, හැම අයුරින් ලාභයෙක් නැති කල්හි, ලාභයාගේ අභාවයෙන් විනිශ්චයයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“එහෙයින් ආනන්‍දය, යම් ලාභයෙක් ඇත් නම්, මෙය ම විනිශ්චයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
17. “පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ පර්‍ය්‍යෙෂණය නිසා ලාභය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක හැම අයුරින් හැම ලෙසින් ම පර්‍ය්‍යෙෂණයෙක් නොවී නම්, හැම අයුරින් ම පර්‍ය්‍යෙෂණයක් නැති කලැ, පර්‍ය්‍යෙෂණයාගේ අභාවයෙන් ලාභයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් පර්‍ය්‍යෙෂණ නම් වූ යමෙක් ඇද්ද, ලාභයට මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
18. “තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදී. ආනන්‍දය, යම්සේ තෘෂ්ණාව නිසා පර්‍ය්‍යෙෂණය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසිවෙකත් හැම අයුරින් ම හැම ලෙසින් ම කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා යන තෘෂ්ණා අතුරෙන් එකකුත් හැම අයුරින් හැම ලෙසින් නො වී නම්, හැම අයුරින් තෘෂ්ණාව නැති කල්හි, තෘෂ්ණාවගේ අභාවයෙන් පර්‍ය්‍යෙෂණයෙක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් තෘෂ්ණාව නම් වූ යමෙක් ඇද්ද, පර්‍ය්‍යෙෂණයට මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
“ආනන්‍දය, මෙසේ වට්ටමූලක තෘෂ්ණාව සමුදාචාරතණ්හාව යන මේ දෙ දහම්හු වට්ඨමූලක - සමුදාචාර වශයෙන් කොටස් දෙකෙකින් වේදනා සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයයෙන් එක ම ප්‍රත්‍යය ඇත්තාහු වෙති. (එක ම වේදනායෙන් උපදනාහු වෙති.)”
19. “ස්පර්‍ශයප්‍රත්‍යයයෙන් වේදනාව වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ ස්පර්‍ශයප්‍රත්‍යයයෙන් වේදනාව වේ ද, මෙ කරුණින් ද එය දත යුතු: ආනන්‍දය, කිසිවක්හුගේ කිසි තැනෙකත් චක්ඛුසම්ඵස්ස, සෝතසම්ඵස්ස, ඝාණසම්ඵස්ස, ජිව්හාසම්ඵස්ස, කායසම්ඵස්ස, මනෝසම්ඵස්ස යන මේ ස්පර්‍ශයෙක් හැම අයුරින් හැම ලෙසින් ම නො වී නම්, හැම අයුරින් ම ස්පර්‍ශයෙක් නැති කල්හි, ස්පර්‍ශයාගේ අභාවයෙන් වේදනාවෙක් පැනෙන්නේ ද?”
“වහන්ස මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් යම් ස්පර්‍ශයෙක් වේ ද, වේදනාවට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
20. “නාමරූපප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, නාමරූපප්‍රත්‍යයයෙන් යම්සේ ස්පර්‍ශය වේ ද, එය මේ කරුණෙනුත් දත යුතු: ආනන්‍දය, යම් ආකාරයන්ගෙන් යම් ලිඞ්ගයන්ගෙන් සංඥාදී ප්‍රඥප්තිය යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේසයන්ගෙන් නාමධර්‍මසමූහයට වේදනා (පැනවීම) වේ ද, ඒ ආකාරයන් ඒ ලිංගයන් ඒ නිමිත්තයන් ඒ උද්දේසයන් නැති කල්හි, රූපකායයෙහි අධිවචනසංස්පර්‍ශය (නාමස්කන්‍ධ වස්තු කොට ගෙන මනෝද්වාරයේ ශබ්දඥානානුගත ව උපදනා මනඃසංස්පර්‍ශය) පැනෙන්නේ ද?”
“වහන්ස මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, යම් ආකාරයන්ගෙන් යම් ලිඞ්ග - නිමිත්ත - උද්දේසයන්ගෙන් රූපකායයාගේ පැණවීම වේ නම්, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි නාමකායයෙහි ප්‍රතිඝසංස්පර්‍ශය (රූපස්කන්‍ධය වාස්තු කොට පස්දොරෙහි උපදනා ස්පර්‍ශය) පැනෙන්නේ ද?.”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, යම් ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමකායයාගේ හා රූපකායයාගේ හා පැනවීම වේ ද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි අධිවචනසංස්පර්‍ශය (මනෝද්වාරිකස්පර්‍ශය) හෝ ප්‍රතිඝ සංස්පර්‍ශය (පඤ්චද්වාරිකස්පර්‍ශය) හෝ පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, යම් ආකාර - ලිඞ්ග - නිමිත්ත - උද්දේසයන්ගෙන් නාමරූපයා ගේ පැණවීම වේද, ඒ ආකාර - ලිංග - නිමිත්ත - උද්දේසයන් නැති කල්හි ස්පර්‍ශයක් පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මේ නාමරූප නම් වූ යමක් ඇද්ද, ස්පර්‍ශයට මෙය ම හේතු ය, මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.”
21. “විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්‍දය, යම්සේ විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්‍දය, විඥානය ද මව්කුසට නො බස්නේ නම් (මව්කුසැ ප්‍රතිසන්‍ධි වශයෙන් නො පහළ වන්නේ නම්) හුදු නාමරූපය (කලලාදිවශයෙන්මිශ්‍ර ව) මව්කුසැ පහළ වන්නේ ද?”’
“වහන්ස, මෙය නොවන්නේ ම ය.”
“ආනන්‍දය, විඥානය මවුකුසකට බැස (ප්‍රතිසන්‍ධිවශයෙන් පහළ වැ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම්) නාමරූපය මෙබඳු (පරිපූර්‍ණ ස්කන්‍ධ) බව පිණිස වන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, ළදරු වූ ම කුමරක්හුගේ හෝ කුමරියකගේ හෝ විඥානය සිඳෙන්නේ නම්, නාමරූපය වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් විඥානය, යන මෙය ම නාමරූපයට හේතු වේ, මෙය ම නිදානය වේ, මෙය ම සමුදය වේ, මෙයම ප්‍රත්‍යය වේ.”
22. “නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්‍දය, යම්සේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, මේ කරුණෙනුත් එය දත යුතු: ආනන්‍දය, විඥානය ද නාමරූපයෙහි පිහිට නො ලබන්නේ නම්, මතු ජාතිජරාමරණ දුක්රැසේ හටගැන්ම පැනෙන්නේ ද?”
“වහන්ස, මෙය නො වන්නේ ම ය.”
“ආනන්‍දය, එහෙයින් මේ නාමරූප යැ යි යමෙක් ඇද්ද, විඥානයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.”
“ආනන්‍දය, යම් නාමරූපයෙක් විඥානය හා උනුනට ප්‍රත්‍යයභාවයෙන් පවත්නේ ද, මෙතෙකින් ම උපදනේ යැ යි හෝ දිරන්නේ යැ යි හෝ මැරෙන්නේ යැ යි හෝ ච්‍යුත වන්නේ යැ යි හෝ ච්‍යුත ව උපදනේ යැ යි හෝ පැනෙන්නේ ය, මෙතෙකින් (සිරිවඩ්ඩකාදී) ආරූඩ නාම ව්‍යවහාරයට මාර්‍ග (විෂය) වේ. මෙතෙකින් නිරුක්තියට (අර්‍ත්‍ථානුගත වශයෙන් පැවැති ව්‍යවහාරයට) මාර්‍ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට (පණ්ඩිතයා ය, ව්‍යක්තයා ය, යන ආදීන් ගුණ හඟවනු විසින් පැවැති ව්‍යවහාරයට) මාර්‍ගය වේ. මෙතෙකින් ප්‍රඥායෙන් දතයුතු ස්කන්‍ධ පඤ්චකය වේ. මෙතෙකින් (කර්‍ම ක්ලේශ විපාක යන) සසරවට වැටෙයි. මෙතෙකින් (වේදනාසංඥාදි) නාමප්‍රඥප්තිය පිණිස ඉත්‍ථම්භාවය හෙවත් පඤ්චස්කන්‍ධය වේ.”
23. “ආනන්‍දය, ආත්මය පනවන තැනැත්තේ කොතෙකින් එය පනවා ද යත්: ආනන්‍දය, රූපවත් වූ හෝ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩූ පරිත්ත කසිණ රූපය සූක්‍ෂම ආත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, සූක්‍ෂම යැ’ යි පනවයි. ආනන්‍දය, රූපවත් වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ රූපය අනන්තාත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, අනන්ත යැ’ යි පනවයි. ආනන්‍දය, අරූපී වූ හෝ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩු කසිණ නිමිත්ත ඉඟුළු අහස් හි පැවැති අරූපස්කන්‍ධ ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය සූක්‍ෂම යැ’ යි පනවයි. ආනන්‍දය, අරූපී වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ නිමිත්ත ඉඟුළු අහස්හි පැවැති අරූපස්කන්‍ධය ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ’ යි පනවයි.
24. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සූක්‍ෂම ආත්මයක් පනවන්නේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා වූ (මරණින් සිඳී යන) හෝ සියුම් ආත්මයක් පනවයි. එහි (ශාස්වත විසින් පරලොවෙහිත්) වන්නාවූ හෝ සියුම් වූ ආත්මයක් පනවනුයේ පණවයි. ‘අතථ වූ(පරවාදියා කියන ශාස්වත නො වූ ම) ආත්මය තථත්‍වය පිණිස (එහි යථාස්භාවය ඔහුට පිළිගැනෙන පිණිස) සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය වැදහේ යැ යි (සන්තානානුගත වැ හෝනේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.”
25. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා හෝ අනන්ත ආත්මයක් පනවනුයේ පනවයි. පරලොව්හිත් වන්නාවූ හෝ අනන්ත ආත්මයක් පනවනුයේ පනවයි. ‘අතථ වූ ම (පරවාදියා කියනා අවිද්‍යාමාන වූ ම) ආත්මය තථත්‍වය පිණිස (ඇති සැටිය ඔහුට පිළිගැනෙනු පිණිස) සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි (සන්තානානුගත ව පවත්නේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.”
26. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ සියුම් ආත්මයක් පනවනුයේ පනවා ද, හේ දැන් පමණක් පවත්නා හෝ අරූපී වූ සියුම් ආත්මයක් පනවන්නේ පනවයි. පරලොව්හි පවත්නා වූ හෝ අරූපී වූ සියුම් ආත්මයක් පනවන්නේ පනවයි. ‘අතථ වූ ම ආත්මය තථත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය.”
27. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හේ දැන් පමණක් පවත්නා හෝ අරූපී වූ අනන්ත ආත්මයක් පනවන්නේ පනවයි. පරලොව්හි ද පවත්නා හෝ අරූපී වූ අනන්ත ආත්මයක් පනවන්නේ පනවයි. ‘අතථ වූ ම ආත්මයක් තථත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය. ආනන්‍දය, ආත්මය පණවන්නේ මෙතෙකින් ම පනවයි.
28. “ආනන්‍දය, ආත්මය, නො පනවන්නේ කොතෙකින් නො පනවා ද යත්:
ආනන්‍දය රූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය රූපවත් ය, සියුම් යැ’ යි හෝ නො පනවයි. ආනන්‍දය රූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය රූපවත් ය, අනන්ත යැ’ යි කියා හෝ නො පනවයි. ආනන්‍දය, අරූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය අරූපී ය, සියුම් යැ’ යි කියා හෝ නො පණවයි. ආනන්‍දය, අරූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ’ යි කි යා හෝ නො පනවයි.
29. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවා ද, හෙ තෙම දැන් (වර්‍තමාන භවයෙහි) හෝ රූපවත් වූ සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නා වූ හෝ රූපවත් සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවයිදු ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට නො වෙයි. ආනන්‍ද ය, මෙසේ වූ ම රූපකසිණලාභියා අනුව සූක්‍ෂමාත්මානුදෘෂ්ටිය නො හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය.”
30. “ආනන්‍දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ රූපවත් වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්‍වය පිණිස සමර්‍ත්‍ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්‍දය, මෙසේ වූ ම අනන්තාත්මානුදෘෂ්ටිය රූපකසිණලාභියා කෙරෙහි නො ම හෝනේ යැ යි කියනු සුදුසු ය.”