Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 2001-2100 න් 5108

දේවයිනි, මේ කුමර එකෙණෙහි උපන් වස්සක්හුගේ බඳු මොළොක් සිනිඳු නිල් සියුම් ඇස් පියුම් ඇත්තේ ය ...
දේවයිනි. මෙ කුමරුගේ දෙබැම අතරැ වූ සුදු වූ මොළොක් පුලුන් රොදක් බඳු වූ ඌර්ණාරෝමය වෙයි. දේවයිනි, මෙ කුමරහු දෙබැම අතරැ සුදු මොළොක් පුලුන් පොදක් බඳු ඌර්ණරෝමයෙක් ඇද්ද, මේද මෙ මහපුරිස්හුගේ මහපුරිස්ලකුණෙක් වෙයි.
දේවයිනි, මෙ කුමර නළල්පටින් වෙළන ලද හිසක් සෙයින් පිරිපුන්, නොහොත් නළල්පට සෙයින් හැමතන්හි පිරිමඬුලු වූ හිස ඇත්තේ ය. මේ ද මෙ මහපුරිසුහුගේ මහපුරිසලකුණෙක් වෙයි.
38. දේවයිනි, යමෙකින් සමන්‍විත මහාපුරිසක්හට දෙගතියෙක් ම වේ ද, අන් ගතියෙක් නැද්ද - ඉදින් ගිහිගෙහි වෙසේ නම් සිවු සමුදුර හිම් කොටැති පොළොවට හිමි වූ, දිනූ යුදැති, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමක්හට චක්‍රරත්නය හස්තිරත්නය අශ්වරත්නය මණිරත්නය ස්ත්‍රීරත්නය ගෘහපති රත්නය සත්වනු පරිණායකරත්නය යන මේසත් රුවන් කෙනෙක් වෙත් ද යමක් හට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ, සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත්වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, හේ සයුර හිම් කොටැති මේ පොළොව දණ්ඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, එසේ වූ දෙතිස් මහපුරිසලකුණෙන් මෙ කුමර සමන්‍වාගත වේ” (යැ යි කීහ).
39. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජතෙම නෛමිත්තක බමුණන් කරළුයෙන් පුදා සියලු කැමැති දැයින් සන්තර්පිත කෙළේ ය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම විපස්සී කුමරහට කිරිමවුන් එළැඹැවී ය. ඔවුන් අතුරෙහි ඇතැම් කිරිමවුහු කිරි පොවත්, ඇතැම්හු නාවත්, ඇතැම්හු උසුලාගෙන සිටිත්, ඇතැම්හු ඇකයෙන් පරිහරණය කරත්. මහණෙනි, උපන් කෙණෙහිම විපස්සී කුමරහට ‘ශීතයෙක් හෝ උණුසුමෙක් හෝ තෘණ හෝ දූලි හෝ මොහු නො පෙළාවා’ යි සේසතෙක් දරන ලද්දේ ය. මහණෙනි, උපන් කෙණෙහි ම විපස්සී කුමර තෙම බොහෝ දෙනාට ප්‍රිය ද මනාප ද වී ය. මහණෙනි, යම්සේ උපුල්මලෙක් හෝ පියුම්මලෙක් හෝ සුදුනෙළුම් මලෙක් හෝ බොහෝ දෙනාට ප්‍රියත් මනාපත් වේ ද, එසේ ම විපස්සී කුමර තෙම බොහෝ දෙනාට ප්‍රිය විය, මනාප විය. හෙ තෙම වූ කලී එක් කිරිමවකගේ ඇකයෙන් අන් කිරිමවකගේ ඇකයට පමුණුවනු ලැබේ.
40. මහණෙනි, විපස්සී කුමාර තෙම උපන්නේ ම නොරළු කටහඬැතියේ ද වියත් කට හඬැතියේ ද මිහිරි කටහඬැතියේ ද ඇලුම් කටයුතු කටහඬැතියේ ද විය. මහණෙනි, යම්සේ හිමවුපව්වෙහි නොරළුහඬ ඇත්තාවූ ද වියත් හඬ ඇත්තා වූ ද මිහිරි හඬ ඇත්තා වූ ද ඇලුම් කටයුතු හඬ ඇත්තාවූ ද කුරවිකෙවිලි නම් ලිහිණිවගෙක් ඇත් ද, මහණෙනි, එසේ ම, විපස්සී කුමාර තෙම නොරළු කටහඬැතියේ ද, වියත් කටහඬ ඇතියේ ද, මිහිරි කටහඬඇතියේ ද, ඇලුම් කටයුතු කටහඬඇතියේ ද වී ය. මහණෙනි, උපන්නා වූ ම විපස්සී කුමරහට - යමෙකින් දහවලුත් රෑත් හාත්පසැ යොදුනක් මානය දැක්ක හැකි ද, එසේ වූ කර්‍මවිපාකජ දිවැස පහළ විය. මහණෙනි, උපන්නාවූ ම විපස්සී කුමර තව්තිසාවැසි දෙවියන් සේ ඇසිපිය නො හෙලනුයේ බලයි. මහණෙනි, ‘මෙ කුමර ඇසිපිය නො හෙලනුයේ බලා’යැ යි විපස්සී කුමරහට විපස්සී, විපස්සී යැයි සංඥාව (නම) උපන.
41. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජ විනිශ්චයසභායෙහි හුන්නේ, විපස්සී කුමරහු ඇකයෙහි හිඳුවා ගෙන අර්‍ත්‍ථානුශාසනය කෙරෙයි. මහණෙනි, විපස්සී කුමර එහි පියා ඇකයෙහි හුන්නේ විමස විමසා න්‍යායයෙන් යුක්ති ලෙස අරුත් (දනී, දකී) පවත්වයි. ‘කුමර තෙම න්‍යායයෙන් (යුක්ති ලෙස) විමස විමසා (දනී, දකී) අරුත් පවත්වා යැ යි කියා ම විපස්සී කුමරහට වඩාලාත් විපස්සී, විපස්සී යැ’ යි කියා ම සංඥාව උපන.
42. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ විපස්සී කුමරහට වැසි සෙමෙහි වසනුවට සුදුසු එකක් ද, හිමත් සෙමෙහි වසනුවට සුදුසු එකක් ද, ගිමන් සෙමෙහි වසනුවට සුදුසු එකක් දැ යි ප්‍රසාද තුනක් කැරැවී ය. පස්කම් ගුණ එළැඹැවී ය. මහණෙනි, විපස්සී කුමර තෙම වැසිසමයට සුදුසු පහයෙහි වැසි සාර මසැ පිරිමින් නැති තුරුඋවාරණින් (පුරුෂරහිත තූර්‍ය්‍යයෝපකරණයෙන් හෙවත් තූර්‍ය්‍යභාණ්ඩ ගත් ස්ත්‍රීන් විසින් ම) උවටන් කරනු ලබනුයේ යට පහයට නො බසී.
(පළමු බණවර ය)
43. එකල්හි මහණෙනි, විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක්, බෙහෝ හවුරුදු සිය ගණනක්, බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරා බණවා ‘යහළු සැරිය, මනාප මනාප යානයන් යොදව (පිළියෙල කරව), මනාප බිම් පෙදෙසක්වූ උයන් බිම දක්නට යමු’ කීය. මහණෙනි, රියැදුරු තෙම ‘දේවයිනි එසේ යැ’ යි කියා විපස්සී කුමරහට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදා ‘දේවයිනි, ඔබට මනාප මනාප යානයෝ යොදන ලදහ. යම් ගමනකට කලැයි සිතන සේක් නම් (දැන් ඒ ගමන අරඹනු වටී යැ)’ යි සැළ කළේය.
44. මහණෙනි, ඉක්බිති විපස්සී කුමර භද්‍ර වූ යානයක් නැඟ භද්‍ර වූ භද්‍ර වූ යානයන්ගෙන් උපලක්‍ෂිත වැ උයන්බිම බලා නික්මියේ ය. මහණෙනි, විපස්සී කුමර තෙම උයන් බලා යන්නේ, ගොනැස්සක් මෙන් වක් වූ, තුන් කුදු ගැසුණු, සැරයැටිය පිළිසරණ කොටැති, වෙවුලමින් යන, ජරාතුර වූ, ඉක්මුණු යොවුන් ඇති, ජරපත් මිනිසක්හු දිටී. දැක රියැදුරා අමතා, “යහළු සැරිය, මෙතෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහුගේ හිසකෙස් ද සෙස්සන්ගේ බඳු නො වෙයි. මොහුගේ කය සෙස්සන්ගේ බඳු නො වේ යැ” යි කී ය. “දේවයිනි, මෙ තෙම ජීර්‍ණ (ජරපත්තේ) නමැ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, මේ ජීර්‍ණ නම් කිමැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, ඔහු විසින් බොහෝ කල් ජීවත් විය නොහැක්කේ ය, මෙසේ වූ තැනැත්තේ ජීර්‍ණ නම් වේ” යැ යි රියැදුරු කී ය. “කිම, යහළු සැරිය, මමත් දිරන සුලුයෙම්, දිරුම නො ඉක්මියෙම් වෙම් දැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, ඔබ අපි ද හැම දෙන මෝ දිරන සුල්ලම්හ, දිරුම නො ඉක්මියම්හ” යි රියැදුරු කී ය. යහළු සැරිය, එසේ වී නම් දැන් අද උයන්බිමෙන් කම් නැත. මේ තැනින් ම ඇතොවුරට පෙරළා නික්ම යව” යි කුමර කී ය. මහණෙනි, ‘එසේ යැ දේවයිනි’ යි රියැදුරු තෙම විපස්සී කුමරහට පිළි වදන් දී එතැනින් ම ඇතොවුර කරා පෙරළා නික්මියේ ය. මහණෙනි, එහි විපස්සී කුමර ඇතොවුරට ගියේ (හුදෙකලා වැ හිඳ) දුක් ඇතියේ දොම්නස් ඇතියේ, ‘භවත්නි, යම් ඉපැත්මක් ඇති කලැ එසේ උපන්නහුට ජරාව පැනෙන්නේ ද, එසේ වූ ඒ ඉපැත්මට නින්‍දා වේ වා’ යි සිතිවිලි සිතයි.
45. මහණෙනි, එ කල්හි බන්‍ධුමත් රජ තෙම රියැදුරා කැඳවා, “කිමෙක් ද යහළු සැරියැ, කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? කිමෙක් ද යහළු සැරිය, කුමර උයන් බිමෙහි සතුටු වූයේ දැ?” යි ඇසීය. “දේවයිනි, කුමර තෙම උයන්බිමැ නො මැ ඇලුණේය. දේවයිනි, කුමර තෙම උයන් බිමෙහි නො මැ සතුටු වූයේ යැ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිම් කරා නික්මැ යනුයේ කුමක් නම් දිටී දැ?” යි රජ පුළුවුත.
“දේවයිනි, කුමරතෙම උයන්බිම කරා නික්මැ යනුයේ ගොනැස්සක් මෙන් වක් වූ, තුන් කුදු ගැසුණු, සැරයැටිය පිළිසරණ කොටැති, වෙවුලමින් යන, ජරාතුර වූ, ගිය යොවුන් ඇති, ජීර්‍ණ මිනිසක්හු දිටී ය. දැක මා අමතා ‘යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහුගේ හිසකෙස් ද සෙස්සන්ගේ මෙන් නො වෙයි. මොහුගේ කය ද සෙස්සන්ගේ මෙන් නො වේ’ යැ යි කී ය. ‘දේවයිනි, මෙ තෙම ජීර්‍ණ නම් වේ’ යැ යි කීමි. ‘යහළු සැරිය, ජීර්‍ණ නම් කිමැ’ යි හේ පුළුවුත. ‘දැන් ඔහු විසින් බොහෝ කලක් ජීවත් විය හැකි නො වන්නේ ය. මේ ජීර්‍ණ නමැ’ යි කීමි. ‘කිම යහළු සැරිය, මමත් දිරන සුල්ලෙම් ද? දිරුම නො ඉක්මියෙම් දැ?’ යි කුමර ඇසී. ‘දේවයිනි, මුබත් අපිත් සැම දෙන ම දිරන සුල්ලම්හ. ජරාව නො ඉක්මියම්හ’ යි මම් කීමි. ‘එසේ වී නම් යහළු සැරිය, අද දැන් උයන්බිමෙන් කම් නැත. මෙයින් ම ඇතොවුර කරා යව’ යි ඔබ කීහ. ‘එසේ ය, දේවයිනි’ යි කියා මම් විපස්සී කුමාරයනට පිළිවදන් දී, එයින් ම පෙරළා ඇතොවුරට ගියෙමි. දේවයිනි, ඇතොවුරට ගිය එ කුමරාණෝ දුක් දොම්නස් ඇත්තෝ, යමෙකින් උපන්නහුට ජරාව පැණෙන්නේ ද, භවත්නි, ඒ ඉපැත්ම නින්‍දාවට භාජන වේ වා’ යි සිතිවිලි සිතන්නාහ” යි රියැදුරු කී යැ.
46. මහණෙනි, එකලැ බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා වා. විපස්සී කුමර තෙම ගිහි ගෙන් නික්මැ පැවිදි නො වේවා. බහුණන්ගේ බස් සබා නො වේවා” යි මෙ සිත විය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ විපස්සී කුමර යම්සේ රජය කරවන්නේ ද, විපස්සී කුමර යම්සේ ගිහි ගෙන් නික්මැ පැවිදි නො වන්නේ ද, යම්සේ නෛමිත්තික බ්‍රාහ්මණයන්ගේ බස් නො සබා වන්නේ ද, එසේ වඩාලාත් පස්කම් ගුණ එළැවී යැ. මහණෙනි, එකලැ විපස්සී කුමර පස් කම්ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් පිණවා ලයි.
47. මහණෙනි, එකල්හි විපස්සී කුමර බොහෝ හවුරුදු ගණනෙක, බොහෝ අවුරුදු සිය ගණනෙක, බොහෝ වහුරුදු දහස්ගණනෙක ඇවෑමෙන් රියැදුරු බණවා යහළු ‘සැරිය, උතුම් උතුම් යානයන් යොදවා. ප්‍රියභූමිවූ උයන්බිම දක්නට යම්හයි කීය. මහණෙනි, ‘එසේ යැ දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරුනට පිළිවදන් දී උතුම් උතුම් යානයන් යොදා ‘දේවයිනි, උතුම් යාන යොදන ලද, යම් ගමනකට කල් යැ යි සිතන්නහු නම්, දැන් එයට සුදුසු යැ’ කී ය.
48. මහණෙනි, එකල්හි විපස්සී කුමර උතුම් යානයක් නැඟ උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත ව උයන්බිම බලා නික්මිණ. මහණෙනි, විපස්සී කුමර තෙම උයන්බිම් යනුයේ ගිලන් වූ දුකට පත්, දැඩි සේ ගිලන් වූ, සිය මලමූයෙහි ගැලී හෝනා, අනුන් විසින් නගා සිටුවනු ලබන, අනුන් විසින් හොවනු ලබන පුරුෂයකු දිටී ය. දැක, රියැදුරු බණවා, ‘යහළු සැරිය, මේ මිනිස් තෙම කුමක් කරනු ලැබුයේ ද? මොහුගේ ඇස් ද සෙස්සන්ගේ මෙන් නො වේ. මොහුගේ කටහඬ ද සෙස්සන්ගේ මෙන් නො වේ යැ’ යි කී ය. ‘දේවයිනි, මේ වූකලී ලෙඩින් පෙළුණේ’ යි හේ පිළිවදන් දින. ‘යහළු සැරිය, මේ ලෙඩින් පෙළුණේ යනු කිමැ?’ යි කුමර පුළුවුත. ‘දේවයිනි, මේ ලෙඩින් පෙළුණේ නම් වේ. මෙ තෙම ඒ ලෙඩින් නැඟී සිටුනේ නම් මැනැවැ’ යි (පැතියැ යුත්තෙකු) රියැදුරු කී ය.
“යහළු සැරිය, කිමෙක් ද මමත් ලෙඩින් පෙළෙන සුළු වෙම් ද? ලෙඩ නො ඉක්මියෙම් වෙම් දැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, මුබත් අපිත් යන හැම දෙන මෝ ලෙඩින් පෙළෙන සුල්ලම්හ, ලෙඩ නො ඉක්මියම්හ” යි රියැදුරු කීය. “එසේ නම් යහළු සැරිය, අද දැන් උයන් බිමෙන් කම් නැත. මෙ තැනින් ම ඇතොවුරට පෙරළා නික්මෙව” යි කුමර කී ය. ‘එසේ යැ දේවයිනි’ යි කියා රියැදුරා තෙම විපස්සී කුමරහට පිළිවදන් දී එතැනින් ම ඇතොවුර බලා නික්මුණේ ය. මහණෙනි, එහි විපස්සී තෙම දුක් ඇති යේ, දොම්නස් ඇතියේ “භවත්නි, යම් ඉපැත්මෙකින් උපන්නහුට ජරාවෙක් පැණෙන්නේ නම්, ව්‍යාධියෙක් පැණෙන්නේ නම්, ඒ ඉපැත්ම නින්‍දාවට භාජන වේවා’ යි සිතිවිලි සිතයි.
49. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම රියැදුරා කැඳවා, “යහළු සැරිය, කිමෙක් ද කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? කිමෙක් ද, යහළු සැරිය, කුමර උයන් බිම සතුටු වී දැ?” යි පුළුවුත. “දේවයිනි, කුමරුවාණෝ උයන්බිමැ නො ම ඇලුණහ. දේවයිනි, කුමරුවාණෝ උයන්බිමැ නො ම සතුටු වූහ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිමට යනුයේ කුමක් දිටී දැ” යි රජ පුළුවුත.
50. “දේවයිනි, කුමරුවාණෝ උයන් බිම වඩිනුවෝ දුකට පත් දැඩි ගිලන් වූ සිය මලමූයෙහි ගැලී හෝනා අනුන් විසින් නඟා සිටුවනු ලබන අනුන් විසින් හිඳුවනු ලබන ලෙඩින් පෙළුණු මිනිසක්හු දුටහ. දැක, මා බණවා ‘යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයේ ද? මොහුගේ ඇසුදු සෙස්සන්ගේ සේ නො වෙයි, මොහුගේ කටහඬ ද සෙස්සන්ගේ මෙන් නොවේ යැ’ යි කිවුය. ‘දේවයිනි, මේ වූ කලි ලෙඩින් පෙළුණේ නමැ’ යි මම් කීමි. ‘යහළු සැරිය, මේ ලෙඩින් පෙළුණේ නම් කිමැ?’ යි කුමරාණෝ පුළුවුත්හ. ‘මෙ තෙම ඒ ලෙසින් නැගී සිටුනේ නම් ඉතා යෙහෙකැ’ යි පැතියැ යුතු වූ රෝගියෙක් නමැ’ යි කීමි. ‘කිමෙක් ද යහළු සැරිය, මමත් ලෙඩින් පෙළෙන සුල්ලෙම් ද? ලෙඩ නො ඉක්මියෙම් දැ?” යි කුමරාණෝ පුළුවුත්හ. “දේවයිනි, මුබත් අපිත් යන හැම දෙන ම ව්‍යාධිය ස්වභාව කොට ඇත්තම්හ, ව්‍යාධිය නො ඉක්මියම්හ’ යි මම් කීමි. “එසේ නම් යහළු සැරිය, අද දැන් උයන්බිමෙන් කම් නැත. මෙ තැනින් ම ඇතොවුර බලා නික්මැ යා” යි කුමරාණෝ කීහ. “දේවයිනි, මම් ද එසේ යැ, දේවයිනි, කියා විපස්සී කුමාරයනට පිළිවදන් දී එ තැනින් ම ඇතොවුර බලා නික්මියෙමි. දේවයිනි, ඇතොවුර වන් ඒ කුමරාණෝ දුක් ඇත්තෝ දොම්නස් ඇත්තෝ ‘යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ නම්, ව්‍යාධිය පැණෙන්නේ නම් ඒ ඉපැද්ම නින්‍දාවට භාජන වේවා’ යි සිතිවිලි සිතත්” යැයි රියැදුරු කී ය.
51. මහණෙනි, එකලැ බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා, විපස්සී කුමර ගිහිගෙන් නික්මැ පැවිදි නො වේ වා, නෛමිත්තික බ්‍රාහ්මණයන්ගේ බස සත්‍ය නො වේ වා” යි මේ සිත විය.
52. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජ තෙම යම්සේ විපස්සී කුමරු රජය කරවන්නේ ද, විපස්සී කුමරු ගිහිගෙය හැර පැවිදි නො වන්නේ ද, යම් සේ නිමිති කී බමුණන්ගේ බස බොරු වන්නේ ද, එසේ විපස්සී කුමරහට වඩාලාත් පස්කම්ගුණ එළැවී යැ. මහණෙනි, එහි විපස්සී කුමර තෙම පස්කම්ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි.
53. මහණෙනි, ඉක්බිති විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක්, බොහෝ හවුරුදු සියගණනක්, බොහෝ හවුරුදු දහස්ගණනක් ඇවෑමෙන් රියැදුරු බණවා, “යහළු සැරිය, උතුම් යානයන් යොදවා සුභූමි වූ උයන්බිම දක්නට යම්හ” යි කී ය. මහණෙනි, ‘එසේ යැ, දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී උතුම් උතුම් යානයන් යොදා, “දේවයිනි, මුබට උතුම් උතුම් යාන යොදන ලද. යම් ගමනකට කල් යැ යි සිතත් නම් දැන් එයට සුදුසු යැ” යි සැළ කෙළේ ය. මහණෙනි, එකල්හි විපස්සී කුමර තෙම උතුම් යානයක් නැඟ උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ උයන්බිම බලා නික්මියේ ය.
54. මහණෙනි, විපස්සී කුමර උයන්බිම බලා යන්නේ එක්රැස් වැ නන්වැදෑරුම් රතුවතින් සිවිගෙයක් කරන මහ ජනමුළුවක් දිටී. දැක රියැදුරා අමතා “යහළු සැරිය, මහ ජනමුළුවක් රැස් වැ නන්වැදෑරුම් රත්වතින් සිවිගෙයක් කුමට කෙරෙයි දැ?” යි විචාළේ ය. “දේවයිනි, මෙහි මේ (මිනිසෙක්) කලුරිය කෙළේ නම් වේ” යැ යි රියැදුරා කී ය. “යහළු සැරිය, එසේ නම් ඒ කලුරිය කළහු වෙතට රිය පදුව” යි කුමර කී ය. ‘එසේය දේවයිනි’ යි විපස්සී කුමරහට පිළිවදන් දී රියැදුරු තෙම ඒ කලුරිය කළහු වෙත රිය පැදවී ය.
55. මහණෙනි, විපස්සී කුමර තෙම ඉවත් වූ සිත් සතන් ඇති කලුරිය කළහු දිටී. දැක රියැදුරු බණවා “යහළු සැරිය, මේ කලුරිය කෙළේ යනු කිමැ?” යි පුළුවුත. “දේවයිනි, දැන් මව හෝ පියා හෝ අන් සහලේ නෑ කෙනෙක් හෝ ඔහු නො දක්නාහ. හේ ද මව හෝ පියා හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නේ ය. මෙසේ වූ තැනැත්තේ කලුරිය කෙළේ නම් වේ යැ” යි රියැදුරු කී ය. “කිමෙක් ද යහළු සැරිය, මමත් මැරෙන සුල්ලෙම් ද? මරණය නො ඉක්මියෙම් ද? පිය රජ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ මා නො දක්නාහු ද? මමත් පියරජු හෝ මාතෘදේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නෙම් දැ?” යි කුමර පුළුවුත.
“දේවයිනි, මුබ ද අපි ද යන හැම දෙන ම මැරෙන සුල්ලම්හ, මරණය නො ඉක්මියම්හ. පියරජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේනෑයෝ හෝ මුබත් නො දක්නාහ. මුබ ද පියරජාණන් හෝ මාතෘ දේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දකිති’ යි රියැදුරු කී ය. “යහළු සැරිය, එසේ නම් අද උයන්බිමෙන් කම් නැත, මෙ තැනින් ම ඇතොවුර බලා නික්මෙව” යි කුමර කී ය. මහණෙනි, රියැදුරු තෙම ‘එසේ ය, දේවයිනි’ යි කියා විපස්සී කුමර හට පිළිවදන් දී එතැනින් ම ඇතොවුර බලා නික්මිණ. මහණෙනි, විපස්සී කුමර එහි ඇතොවුරට ගියේ, දුක් ඇතියේ, දොම්නස් ඇතියේ, “භවත්නි, යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ ද, ව්‍යාධිය පැණෙන්නේ ද, මරණය පැණෙන්නේ ද, එසේ වූ ඒ ඉපැද්ම නින්‍දාවට භාජන වේ වා” යි කී ය.
56. මහණෙනි, එ කල්හි බන්‍ධුමත් රජ රියැදුරු කැඳවා “යහළු සැරිය, කිම, කුමර තෙම උයන්බිමැ ඇලුණේ ද? යහළු සැරිය, කිම, කුමර තෙම උයන්බිම කෙරෙහි සතුටු වී දැ?” යි පුළුවුත. “දේවයිනි, කුමාරයාණෝ උයන්බිමැ නො ම ඇලුණහ. දේවයිනි, කුමාරයාණෝ උයන්බිම කෙරෙහි නො ම සතුටු වූහ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, කුමර උයන්බිම යනුයේ කුමක් දුටු දැ?” යි රජ පුළුවුත.
57. “දේවයිනි, කුමරාණෝ උයන්බිම උයන්බිම් යනුවෝ රැස් වැ රත්පෑ වතින් සිවිකාවක් කරන මහජන මුළුවක් දුටු. දැක මා අමතා ‘යහළු සැරිය, කවර හෙයින් එ මහජනමුළුවෙක් රැස් වූයේ වේ ද, නන් රත්පෑ වතින් සිවිගෙයකුත් කෙරේ දැ?’ යි විචාළේ ය. ‘දේවයිනි, මෙ තෙමේ කලුරිය කෙළේ නම් වේ’ යැ යි මම් කීමි. ‘එසේ වී නම්, යහළු සැරිය, ඒ කලුරිය කළහු හොත් තැනට රිය පදව’ යි කුමරාණෝ කීහ. ‘එසේ යැ දේවයිනි’ යි මම් විපස්සී කුමරාණන්ට පිළිවදන් දී ඒ කලුරිය කළාහු වෙත රථය ගෙන ගියෙමි. දේවයිනි, කුමරාණෝ සිත්සතන් ඉවත් ව ගිය කලුරිය කළහු දුටුහ. දැක ‘යහළු සැරිය, මේ කලුරිය කෙළේ යනු කිම් දැ?’ යි මා විචාළේය. ‘දේවයිනි, දැන් ඔහු මාපියෝ හෝ අන් සහලේ නෑයෝ හෝ නො දක්නාහ. හෙ ද මව හෝ පියා හෝ අන් සහලේ නෑයන් හෝ නො දක්නේය. මෙ කලුරිය කෙළේ නම් වේ’ යැ යි මම් කීමි. ‘යහළු සැරිය, කිම, මමත් මැරෙන සුල්ලෙම් ද, මරණය නො ඉක්මියෙම් ද? මාත් පිය රජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ නො දක්නාහු ද? මමත් පිය රජාණන් හෝ මාතෘදේවිය හෝ අන් සහලේ නෑයන් හෝ නො දැක්ක හෙම් දැ?’ යි කුමරාණෝ මා පුළුවුත් හ. ‘දේවයිනි, මුබත් අපිත් යන හැම දෙනමෝ මැරෙන සුල්ලම්හ, මරණය නො ඉක්මියම්හ. පිය රජාණෝ හෝ මාතෘ දේවි හෝ අන් සහලේ නෑයෝ හෝ මුබත් නො දක්නාහ, මුබ ද පියරජාණන් හෝ මාතෘ දේවිය හෝ අන් සහලේ නෑයන් හෝ දැක්ක නො හෙති’ යි මම් කීමි.
‘යහළු සැරිය, එසේ වී නම් අද උයන් බිමෙන් කම් නැත . මෙ තැනින් ම ඇතොවුර බලා නික්මෙව’ යි කුමරාණෝ කීහ. දේවයිනි, මම් ‘එසේ ය, දේවයිනි’ යි කියා විපස්සී කුමරාණනට පිළිවදන් දී, එ තැනින් ම ඇතොවුර බලා නික්මිණිමි. දේවයිනි, ඒ කුමරාණෝ ඇතොවුර වන්නෝ දුක් ඇත්තෝ, දොම්නස් ඇත්තෝ, ‘භවත්නි, යම් ඉපැද්මෙකින් උපන්නාහට ජරාව පැණෙන්නේ නම්, ව්‍යාධිය පැණෙන්නේ නම්, මරණය පැනෙන්නේ නම්, ඒ ඉපැත්ම නින්‍දාර්‍හ වේ වා’ යි සිතිවිලි සිතත්” යැ යි රියැදුරු සැළ කළේ ය.
58. මහණෙනි, එකල්හි බන්‍ධුමත් රජහට “විපස්සී කුමර රජය නො ම නො කරවා වා, විපස්සී කුමර ගිහි ගෙන් නික්මැ පැවිද්දට නො ම වදී වා, නිමිත්තපාඨක බමුණන් බස් සබා නො වේ වා” යි මේ සිත වී ය. මහණෙනි, ඉක්බිති බන්‍ධුමත් රජ තෙම, යම්සේ විපස්සී කුමර රජය කරවනු කැමැති වන්නේ ද, යම්සේ විපස්සී කුමර ගිහිගෙන් නික්මැ නො ම පැවිදි වන්නේ ද, යම්සේ නිමිත්තපාඨක බමුණන් බස් බොරු වන්නේ ද, එසේ විපස්සී කුමරහට වඩාලාත් පස්කම්ගුණ එළැවී ය. මහණෙනි, විපස්සී කුමාර තෙම එහි පස්කම්ගුණයෙන් සමර්පිත වැ සමන්‍විත වැ ඉඳුරන් හසුරුවයි.
59. මහණෙනි, එකල්හි විපස්සී කුමර තෙම බොහෝ හවුරුදු ගණනක් බොහෝ හවුරුදු සිය ගණනක් බොහෝ හවුරුදු දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු අමතා, “යහළු සැරිය, උතුම් උතුම් යාන යොදව, සුභූමියවූ උයන් බිම දක්නා පිණිස යම්හ” යි කී ය. මහණෙනි, ‘දේවයිනි, එසේ යැ’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී උතුම් උතුම් යාන යොදා ‘දේවයිනි, මුබට උතුම් උතුම් යාන යොදන ලද. යම් ගමනකට කල් සිතත් නම් දැන් ඒ කාලය පැමිණියේ යැ’ යි දැන්වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම උතුම් යානයක් අරා උතුම් උතුම් යානයන්ගෙන් උපලක්‍ෂිත වැ උයන්බිම බලා නික්මිණ.
60. මහණෙනි, විපස්සී කුමාර තෙම උයන්බිම බලා නික්ම යනුයේ, හිසමුඬු, පැවිදි වූ, කසාවත් සන් පුරිසක්හු දුටුයේ ය. දැක, රියැදුරා අමතා, යහළු සැරිය, මෙ මිනිස් තෙම කුමක් කරනු ලැබුයෙක් ද? මොහු හිස ද සෙස්සන්ගේ මෙන් නො වේ, වස්ත්‍ර ද සෙස්සන්ගේ මෙන් නො වේ” යැ යි කී ය. “දේවයිනි, පැවිද්දා නම් මෙ තෙමේ” යි රියැදුරු කී ය. “යහළු සැරිය, මේ පැවිද්දා නම් කිමැ?” යි කුමර පුළුවුත. “දේවයිනි, මෙ තෙම ‘දහම් පුරනු මැනැව’ යි, කෙලෙසුන් සංහිඳුවනු මැනැවැ යි, කුසල් දරනු මැනැවැ යි, පින් කරනු මැනැවැයි, අවිහිංසාව මැනැවැ යි, සත්ත්‍වානුකම්පාව මැනැවැ යි සිතා එය පුරනු පිණිස පැවිදි වූයේ නම් වේ” යැ යි රියැදුරු කී ය. “යහළු සැරිය, ඒ පැවිද්දා නම් මැනැව, යහළු සැරිය, ධර්‍මචර්‍ය්‍යාව මැනැව. ශමචර්‍ය්‍යාව මැනැව. කුශල ක්‍රියාවමැනැව. පුණ්‍යක්‍රියාව මැනැව. අවිහිංසාව මැනැව. සත්ත්‍වානුකම්පාව මැනැව. යහළු සැරිය, එසේ නම් ඒ පැවිද්දා වෙතට රිය පදුව” යි කුමර කීය.
මහණෙනි, රියැදුරු තෙම ‘දේවයිනි, එසේ යැ’ යි කියා විපස්සී කුමරහට පිළිවදන් දී, ඒ පැවිද්දා වෙතට රිය පැදවී ය. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම ඒ පැවිද්දා බණවා, “යහළු, මුබ කුමක් කරනු ලැබුවෝ ද? මුබ හිස ද සෙස්සන්ගේ මෙන් නො වේ. මුබ හන් පෙරෙවි වත් ද සෙස්සන්ගේ මෙන් නො වේ” යැ යි කී ය. “දේවයිනි, මම් පැවිදි නම් වෙමි” යි හේ කී ය. “යහළු, භවත් කවර හෙයින් පැවිදි නම් වෙයි හො?” යි කුමර පුළුවුත. “දේවයිනි, මම ‘ධර්‍මචර්‍ය්‍යාව මැනැව, ශමචර්‍ය්‍යාව මැනැව, කුශලක්‍රියාව මැනැව, පුණ්‍යක්‍රියාව මැනැව, අවිහිංසාව මැනැව, සත්‍වානුකම්පාව මැනැවැ’ යි පැවිදි වූයෙමි’ යි හේ කී ය. “යහළු, මුබ ‘ධර්‍මචර්‍ය්‍යාව මැනැවැ යි, ශමචර්‍ය්‍යාව මැනැවැ යි, කුශලක්‍රියාව මැනැවැ යි, පුණ්‍යක්‍රියාව මැනැවැ යි, අවිහිංසාව මැනැවැ යි, සත්‍වානුකම්පාව මැනැවැ’ යි පැවිදි වූ සේ යහපතැ” යි විපස්සී කුමර කී ය.
61. මහණෙනි, ඉක්බිති විපස්සී කුමාර තෙම රියැදුරා බණවා “එසේ නම් යහළු සැරිය, රිය ගෙන මෙ තැනින් ම ඇතොවුර බලා යා. මම් මෙහි ම කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් පැවිදි වදනෙමි” යි කී ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’ යි කියා රියැදුරු තෙම විපස්සී කුමරහට පිළිවදන් දී රිය ගෙන එ තැනින් ම ඇතොවුර බලා නික්මියේ ය.
62. විපස්සී කුමර එහිදී ම කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් පැවිද්දට වන. මහණෙනි, බන්‍ධුමතී රජදහන්හි සුවාසූදහසක් පමණ වූ මහජනමුළුව ‘විපස්සී කුමරාණෝ කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වන්හ’ යි ඇසී. ඇසීමෙන් ඔවුනට “යමෙක විපස්සී කුමරාණෝ කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිදි වන්හු නම්, ඒ දහම්විනය ඇති සස්න සුලු එකෙක් නො වේ ම ය. ඒ පැවිද්ද සුලු නො වේ ම ය. විපස්සී කුමරාණෝත් කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිදි වූහු නම්, අප ගැන කියනු ම කිමැ?” යි මේ සිත් වි ය. මහණෙනි, ඉක්බිති සුවාසූදහසක් පමණ වූ ඒ මහජනමුළුව කෙහෙරවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි වන් විපස්සී බෝසතු අනුව පැවිදි වූහ. මහණෙනි, විපස්සී බෝසත් තෙම ඒ පිරිස විසින් පිරිවරන ලදු ව ගම්නියම්ගම්දනවුරජදහන්හි සැරි සරයි.
63. මහණෙනි, එ කල්හි හුදෙකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ විපස්සී බෝසත්හට “යම්බඳුවූ මම් ගණයා විසින් පිරිවරන ලදු ව වෙසෙම් ද, එය මට නො සුදුසු ය. මම් එකලා වැ, ගණයා කෙරෙන් වෙන් නැ, වෙසෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්තසංකල්පනාවෙක් උපන. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත් තෙම පසු කලෙක එකලා වැ ගණයාගෙන් වෙන් වැ විසී ය. ඒ සුවාසූදහසක් පැවිද්දෝ අන් දෙසට ම ගියහ, විපස්සී බෝසත් අන් දෙසෙක ගියේ ය.
64. මහණෙනි, එ කල්හි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වැ (බෝමැඩැ) එක් රැයක් විසීමට පැමිණි විපස්සී බෝසත්හට “ඛේදයෙක, මෙ ලෝවැසි තෙම දුකට පැමිණියේ ය. හේ උපදනේ ද දිරනුයේ ද මියෙනුයේ ද වෙයි. එසේ චුත වනුයේ ද යලි උපදනේ ද වේ. එතෙකුදු වුවත් මේ දුඃඛයාගේ, මේ ජරාමරණ දෙක්හි නිඃසරණය නො දනියි. කවර දාක නම් මේ දුකේ නිඃසරණය පැණෙන්නේ දැ” යි මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
65. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “කුමක් ඇති කලැ ජරාමරණ වේ ද, කිමෙක පසයෙන් ජරාමරණ වේ දැ” යි මේ සිත විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “ජාතිය ඇති කලැ ජරාමරණ වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ” යැ යි උපායමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය, අවබෝධ වීයයි සේ යි.
66. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කිමෙක පසයෙන් ජාතිය වේ දැ” මේ සිත විය. එකල්හි විපස්සී බෝසත්හට භවය ඇති කල්හි ජාතිය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ’ යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
67. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි භවය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් භවය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හට “උපාදානය ඇති කල්හි භවය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
68. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි උපාදානය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් උපාදානය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “තෘෂ්ණාව ඇති කල්හි උපාදානය වේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
69. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
70. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් වේදනාව වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “ස්පර්‍ශය ඇති කල්හි වේදනාව වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
71. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ස්පර්‍ශය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “ෂඩායතනය ඇති කල්හි ස්පර්‍ශය වේ. ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
72. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “නාමරූපය ඇති කල්හි ෂඩායතනය වේ. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
73. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි නාමරූපය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් නාමරූපය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “විඥානය ඇති කල්හි නාමරූපය වේ. විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
74. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් ඇති කල්හි විඥානය වේ ද, කිමෙක ප්‍රත්‍යයයෙන් විඥානය වේ දැ” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “නාමරූපය ඇති කල්හි විඥානය වේ. නාමරූපප්‍රත්‍යයෙන් විඥානය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
75. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “මේ විඥානය පෙරළා නවතී ම ය. නාමරූපදෙකින් බැහැරට නො යෙ යි. මෙතෙකින් උපදනේ හෝ දිරනුයේ හෝ මියෙනුයේ හෝ චුත වන්නේ හෝ නැවැත උපදිනුයේ හෝ වේ. එනම්: නාමරූපපත්‍යයයෙන් විඥානය වේ, විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතනය වේ, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ද ශෝකපරිදේව දුක් දොම්නස් උපායාසයෝ ද පහළ වෙත්. මෙසේ මේ සියලු දුක් රැසේ ඉපැද්ම වේ” යි මේ සිත විය.
76. මහණෙනි, විපස්සී බෝසත්හට ‘ඉපැත්ම, ඉපැත්ම’ යැ යි පෙරැ නො ඇසූ ධර්‍මවිෂයෙහි ඇස පහළ විය, නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.
77. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ දැ?” යි සිත විය. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “ජාතිය නැති කලැ ජරාමරණය නො වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණනිරෝධය වේ යැ” යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
78. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ජාතිය නො වේ ද? කිමෙක නිරෝධයෙන් ජාතිනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි විපස්සී බෝසත්හට “භවය නැති කලැ ජාතිය නො වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
79. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ භවය නො වේ ද? කිමෙක නිරෝධයෙන් භවනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “උපාදානය නැති කලැ භවය නො වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
80. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ උපාදානය නො වේ ද? කිමෙක නිරෝධයෙන් උපාදානනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කලැ විපස්සී බෝසත්හට “තෘෂ්ණාව නැති කල්හි උපාදානය නො වේ, තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
81. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ තෘෂ්ණාව නො වේ ද? කිමෙක නිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “වේදනාව නැති කලැ තෘෂ්ණාව නො වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
82. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ වේදනාව නො වේ ද? කිමෙක නිරෝධයෙන් වේදනානිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “ස්පර්‍ශය නැති කලැ වේදනාව නො වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
83. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ස්පර්‍ශය නො වේ ද? කිමෙක නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “ෂඩායතනය නැති කලැ ස්පර්‍ශය නො වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
84. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නැති කලැ ෂඩායතන නො වේ ද? කිමෙක නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකලැ විපස්සී බෝසත්හට “නාමරූප නැති කලැ ෂඩායතන නො වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
85. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නම් නැති කලැ නාමරූප නො වේ ද? කිමෙක නිරෝධයෙන් නාමරූපනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හට “විඥානය නැති කලැ නාමරූපය නො වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
86. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “කුමක් නම් නැති කලැ විඥානය නො වේ ද? කිමෙක නිරෝධයෙන් විඥානනිරෝධය වේ දැ?” යි මේ සිත විය. මහණෙනි, එ කලැ විපස්සී බෝසත්හට “නාමරූපය නැති කලැ විඥානය නො වේ. නාමරූපනිරෝධයෙන් විඥානනිරෝධය වේ” යැ යි යෝනිසෝමනස්කාරයෙන් ප්‍රඥාභිසමය විය.
87. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත්හට “නාමරූප නිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූප නිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුක් රැසේ නිරෝධය වේ” යැ යි මේ සිත විය. මහණෙනි, විපස්සී බෝසත්හට ‘නිරෝධය, නිරෝධයැ’ යි ම පෙර නො ඇසූ දහම්හි ඇස උපන, නුවණ උපන, ප්‍රඥාව උපන, විද්‍යාව උපන, ආලෝකය උපන.
88. මහණෙනි, ඉක්බිත්තෙන් විපස්සී බෝසත් තෙම පසු කලෙක “රූපය මෙසේ ය, රූපසමුදයය මෙසේ ය, රූපනිරෝධය මෙසේ ය. වේදනාව මෙසේ ය, වේදනාසමුදයය මෙසේ ය, වේදනානිරෝධය මෙසේ ය. සංඥාව මෙසේ ය, සංඥසමුදයය මෙසේ ය, සංඥානිරෝධය මෙසේ ය. සංස්කාරයෝ මෙසේ ය, සංස්කාරසමුදයය මෙසේ ය, සංස්කාරනිරෝධය මෙසේ ය. විඥානය මෙසේ ය, විඥානසමුදයය මෙසේ ය, විඥානනිරෝධය මෙසේ යැ” යි උපාදානස්කන්‍ධ පසෙහි ඉපැත්මත් නැස්මත් අනුව බලන සුලු ව විසී ය. උපාදානස්කන්‍ධ පසෙහි උදය ව්‍යයය අනුව බලන සුලු ව වසන ඒ බෝසත්හුගේ සිත නොබෝ කලෙකින් ම උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදුණේ ය.
දෙවෙනි බණවර නිමියේ ය.
89. මහණෙනි, ඉක්බිත්තෙන් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදු රජුට මම් දහම් දෙසන්නෙම් නම් මනා ම නු” යි මේ සිත විය. මහණෙනි, එ කල්හි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදු රජහට ‘මා විසින් අවබෝධ කරන ලද මේ ධර්‍මය ගැඹුරු ය, දුකසේ දැක්ක යුතුය, දුකසේ අවබෝධ කටයුතු ය, ශාන්තය, ප්‍රණීත ය, තර්‍කයෙන් බැස ගත නො හැක්කේ ය, සියුම් නුවණැත්තවුන් විසින් දැන ගත යුතු ය. මේ සත්මුළුව ආලය සංඛ්‍යාත කාමතුණ තෘෂ්ණාවන්ගෙන් සතුටු වන්නේ ය, ආලයයන්හි ඇලුණේ ය, ආලයයන්හි ප්‍රමුදිත ය. ආලයයන්ගෙන් සතුටුවන, ආලයයන්හි ඇලුණ, ආලයයන්හි දැඩි සේ මුදිත වූ සත්මුළුව විසින් ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පාද නම් වූ යමෙක් ඇද්ද, ඒ මේ කාරණය දක්නට දුෂ්කර ය. සර්‍වසංස්කාරශමථය, සර්‍වොපධිප්‍රතිනිඃසර්‍ගය, තෘෂ්ණාක්‍ෂයය, විරාගය, නිරෝධය, නිර්‍වාණයැ යි කියන ලද යම් මේ දහමෙක් වේ ද, මේ කාරණය ද දැක්ම දුෂ්කර ය. ඉදින් මම් දහම් දෙසීම් නම්, අන්හුත් මගේ ඒ දහම් දැන නො ගන්නාහු නම්, එය මා කයට ක්ලමථයෙක් වන්නේ ය. මා කයට වෙහෙසෙක් වන්නේ යැ’ යි මේ සිත විය. මහණෙනි, එපමණක් නො ව වැලිදු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුට පෙරැ නො ඇසූවිරූ, සිතත් සිතත් ආශ්චර්‍ය්‍ය එළවන මේ ගාථාවෝ ද වැටහුණහ:
“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්‍මය ප්‍රකාශ කරන්නට දැන් නො සුදුසු ය. (දැන් එය පැවැසීමෙන් වන වැඩෙක් නැත) මෙය රාගද්වේෂාදි කෙලෙසුන්ගෙන් මැඩුණවුන් විසින් සුවසේ අවබෝධ කට හැකි නො වේ. උඩුහොයට යන (නිත්‍යසංඥාදියට විරුද්ධ අනිත්‍ය සංඥාදි වශයෙන් පැවැති) නිපුණ වූ ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ අණු (සූක්‍ෂම) වූ මේ ධර්‍මය රාගයෙන් රත් වූ අවිද්‍යාරාශියෙන් ඇවුරුණු සත්‍වයෝ නො දක්නාහ.”
මහණෙනි, මෙසේ නුවණින් සලකන භගවත් අර්‍හත් විපස්සී සම්මා සම්බුදුන්ගේ සිත මන්‍දෝත්සාහී බවට නැමුණේ ය, දහම් දෙසුමට නො නැමුණේ ය.
90. මහණෙනි, එ කල්හි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව සිය සිතින් දැනගැන්මෙන් එක්තරා මහබඹකුහට “භවත්නි, යම් ලොවෙක භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සිත මන්‍දෝත්සාහ බවට නැමේ ද, දහම් දෙසුමට නො නැමේ ද, ඒ ලෝකය නැසේ ම ය. භවත්නි, ඒ ලෝකය ඒකාන්තයෙන් වැනැසේම ය” යි මේ සිත විය. මහණෙනි, එකෙණෙහි ඒ මහබඹ තෙම ශක්තිමත් පුරුෂයෙක් යම් සේ හැකුලු අත දිගු කරන්නේ ද, දිගු කළ අත හෝ හකුලන්නේ ද, එ සෙයින් ම බඹලොවැ අතුරුදහන් වූයේ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් ඉදිරියෙහි පහළ විය.
91. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහබඹ තෙම උතුරුසඟ එකස් කොට දකුණු දණමඬල බිමැ හැන භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් දෙසට ඇඳිලි නමා වැඳ “වහන්ස, භගවත්හු දහම් දෙසත් වා. සුගත්හු දහම් දෙසත් වා. අල්පරජස්කස්වභාව (පැණැස්හි අල්ප වූ රාගාදි රජස්) ඇති සත්හු ඇත්හ. ඔහු දහම් නො අසන බැවින් පිරිහෙති. දහම් දත හෙන්නෝ වන්නාහ” යි ඔබට මේ බස් කී ය.
92. මහණෙනි, එ කල්හි භගවත් විපස්සී සම්මාසම්බුදුහු ඒ මහබඹහු බණවා, “බ්‍රහ්මය, මට ඉදින් මම දහම් දෙසන්නෙම් මනා මැ නු” යි මේ සිත විය. “බ්‍රහ්මය, ඒ මට ‘මා විසින් අවබෝධ කරන ලද මේ ධර්‍මය වූ කලි ගැඹුරු ය, දුකසේ දැක්ක යුතු ය, දුකසේ අනුබෝධ කටයුතු ය, ශාන්ත ය, ප්‍රණීත ය, තර්‍කයෙන් බැස ගත නො හැකි ය, සියුම් ය, පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ සත්‍වප්‍රජාව ආලයාරාමය (පස්කම්ගුණයෙහි බැඳුණේ ය) ආලයරත ය (පස්කම්ගුණයෙහි ඇලුණේ ය) ආලයසම්මුදිත ය (පස්කම්ගුණයෙහි සතුටු වූයේ ය). ආලයාරාමය වූ ආලයරත වූ ආලයසම්මුදිත වූ සත්ත්‍වප්‍රජාව විසින් ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුප්පාද සංඛ්‍යාත මේ කාරණය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපධීන්ගේ දුරැ ලීම, තෘෂ්ණාක්‍ෂයය, විරාගය, නිරෝධය, නිර්‍වාණය යන මේ කරුණ ද දුකසේ දැක්ක යුතු ය. මමත් දහම් දෙසන්නෙම් නම්, අන්හු මා දෙසන දහම් දැන නො ගන්නාහු නම්, එය මට ක්ලාන්තයෙකි. එය මට වෙහෙසෙකි” යි මේ සිත විය. තව ද, බ්‍රහ්මය, පෙර නොඇසූවිරූ, සිතත් ආශ්චර්‍ය්‍ය එළවන මේ ගාථාවෝ මට වැටහුණාහ.
“මා විසින් දුකසේ අවබෝධ කරන ලද ධර්‍මය ප්‍රකාශ කරන්නට දැන් නො සුදුසු ය. රාගද්වේෂාදි කෙලෙසුන්ගෙන් මැඩුණවුන් විසින් මේ ධර්‍මය සුවසේ අවබෝධ කට හැකි නො වේ. උඩුහොයට (නිවන් කරා) යන සුලු, නිපුණ වූ, ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ, සියුම් වූ මේ ධර්‍මය රාගයෙන් රත් වූ මොහඳුරුරැසින් ඇවුරුණාහු නො දක්නාහ.”
“බ්‍රහ්මය, මෙසේ සලකන මගේ සිත අල්පොත්සුක බවට නැමුණේ ය, දහම් දෙසීමට නො නැමුණේ යැ” යි (විපස්සී බුදුහු වදාළහ).
මහණෙනි, දෙවෙනි වර ද ඒ මහාබ්‍රහ්මණ තෙම ... මහණෙනි, තෙවෙනි වර ද ඒ මහාබ්‍රහ්ම තෙම භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදු රජුනට “වහන්ස, භගවත් තෙමේ දහම් දෙසා වා. සුගත තෙමේ දහම් දෙසා වා. (පැණැස්හි) මඳ කෙලෙස් රජස් ඇති සත්හු ඇත්හ. දහම් නො අසන බැවින් ඔහු පිරිහෙත්. දහම් දත හෙන්නෝ ඇතිවන්නාහ” යි මෙ බස් කිවු ය.
93. මහණෙනි, එකලැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බඹහුගේ අයදනා ද ලැබ, සතුන් කෙරෙහි කරුණාව ද නිසා බුදු ඇසින් ලොව බැලූහ. මහණෙනි, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බුදුඇසින් ලොව බලනුවෝ අල්ප කෙලෙස් රජස් ඇතියන් ද, බොහෝ කෙලෙස් රජස් ඇතියන් ද, තියුණු (සැදැහැ ඈ) ඉඳුරන් ඇතියන් ද, මෘදු වූ (සැදැහැ ඈ) ඉඳුරන් ඇතියන් ද, (සැදැහැ ඈ) මනා අයුරු ඇතියන් ද, නොමනා අයුරු ඇතියන් ද, සුවසේ අඟවනු හැකියන් ද, දුකසේ අඟවනු හැකියන් ද, පරලොවත් වරදත් භය වශයෙන් දක්නාසුලු වැ වසන ඇතැම් පුගුලන් ද, පරලොවත් වරදත් භය වශයෙන් නො දක්නාසුලු ව වසන ඇතැම් පුගුලන් දැ යි මෙසේ නානාවිධ වූ සත්ත්‍වයන් දුටුහ.
යම්සේ උපුල්විලෙක හෝ රත්පියුම්විලෙක හෝ හෙළපියුම්විලෙක හෝ ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැගුණාහු දිය තුළැ ම ගිලී වැඩෙන්නාහු වෙත් ද, ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළ පියුම් හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු (දිය මතුපිටැ) දිය හා සම වැ සිටියාහු වෙත් ද, ඇතැම් උපුල්හු හෝ රත්පියුම්හු හෝ හෙළ පියුම්හු හෝ දියෙහි උපන්නාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැගුණාහු දියෙන් නො තැවරී සිටිත් ද, මහණෙනි, එසේ ම භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බුදු ඇසින් ලොව බලනුවෝ අල්පරජස්ක සත්‍වයන් ද, මහාරජස්ක සත්‍වයන් ද, තියුණු ඉඳුරන් ඇති සත්‍වයන් ද, මොළොක් ඉඳුරන් ඇති සත්‍වයන් ද, මනා අයුරු ඇති සත්‍වයන් ද, නොමනා අයුරු ඇති සත්‍වයන් ද, සුව සේ ඇඟැවිය හැකි සත්‍වයන් ද, දුක සේ ඇඟැවිය හැකි සත්‍වයන් ද, පරලොවත් වරදත් භය විසින් දක්නා සුලු ව වසන ඇතැම් සත්‍වයන් ද, පරලොවත් වරදත් භය විසින් නොදක්නා සුලු ව වසන ඇතැම් සත්‍වයන් ද දුටුහ.
94. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහාබ්‍රහ්ම තෙම තම සිතින් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව දැන ඔබට ගාථායෙන් කී ය:
“සෙල්මුවා පව්වක් මතැ සිටියෙක් හාත්පස සිටින දනමුළුව යම්සේ දක්නේ ද, සොඳුරු නුවණ ඇති සමතැසියාණන් වහන්ස, පහ වූ ශෝක ඇති ඔබ ඒ සෙල්පව්ව බඳු වූ (ලොවුතුරා) දහම්මුවා පහය අරා, ශෝකයට බටුවාවූ ජාතිජරායෙන් මැඩුණු දනමුළුව බලාවදාළ මැනැව. දිනූ මරයුද ඇති ණය නැති සාර්‍ත්‍ථවාහයන් වහන්ස, නැගී සිටිනු මැනැව. ලොවැ සැරිසරනු මැනැව. භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසන්නැ. දහම් දැනැ ගන්නෝ ඇති වන්නාහ.”
95. මහණෙනි, එකලැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ඒ මහාබ්‍රහ්මයාට ගාථායෙන් මෙසේ වදාළහ:
“බ්‍රහ්මය, කන් ඇති යම් තෙනෙක් වෙත් නම්, ඔහු සැදැහැ මුදත් වා (ශ්‍රද්ධාව යොමු කොට තබත්වා) ඔවුනට අමාදොර හරන ලදි. නො දත හෙන්නවුනට දහම් දෙසීම වෙහෙස පමණෙකැ යි හැඟීම ඇතියෙම් ප්‍රගුණ වූ උතුම් දහම් සත්නට නො කීමි.”
මහණෙනි, ඉක්බිත්තෙන් ඒ මහාබ්‍රහ්ම තෙම ‘භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දම් දෙසනුවට කරන ලද පිළින ඇතියෙමි’ යි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් ආදරයෙන් වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදහන් විය.
96. මහණෙනි, එකල්හි “මම් කාට නම් පළමු කොට දහම් දෙසන්නෙම් ද, කවරෙක් මේ දහම වහා අවබෝධ කරන්නේ දැ” යි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට මේ සිත විය. ඉක්බිති භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “මේ ඛණ්ඩ නම් රාජපුත්‍ර ද තිස්ස නම් පෙරෙව් පුත් ද යන පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති දික් කලක් අල්පරජස්කස්වභාවය ඇති මොහු බන්‍ධුමතී රාජධානියෙහි වෙසෙත්. ඛණ්ඩ රාජපුත්‍රයාටත් තිස්ස පෙරෙවිපුතුටත් මම් පළමු කොට දහම් දෙසීම් නම් මැනැවි. ඔහු මේ දහම වහා ම දැනැගන්නාහ” යි මේ සිත විය.
97. මහණෙනි, ඉක්බිති භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු කාබලැති මිනිසෙක් යම්සේ වක්කළ අත දික් කරන්නේ ද දික් කළ අත වක්කරන්නේ ද එසේ ම බෝරුක්මුලැ අතුරුදහන් ව බන්‍ධුමතී රජදහන්හි ක්‍ෂේම නම් මුවවෙනෙහි පහළ වූහ. මහණෙනි, ඉක්බිත්තෙන් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු උයන්පලු බණවා “යහලු දායපාලයෙනි, තෙපි මෙහි එවු. බන්‍ධුමතී රජදහනට පිවිසැ ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද ‘ස්වාමීනි, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බන්‍ධුමතී රාජධානියට වැඩියාහු ක්‍ෂේම නම් මෘගදාවයෙහි වෙසෙති. ඔබ මුබ (දෙදෙනා) දක්නා කැමැත්තාහ’ යි මෙසේ කියව” යි වදාළහ. මහණෙනි ‘එසේ ය, වහන්සැ’ යි කියා උයන්පල් තෙම භගවත් අර්‍හත් විපස්සී සම්මා සම්බුදුනට පිළිවදන් දී බන්‍ධුමතී රජදහන් වැද, ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද “ස්වාමිනී, භගවත් අර්‍හත් විපස්සී සම්මා සම්බුදුරජහු බන්‍ධුමතී රජදහනට වැඩ ඛේම නම් මුවලැව්හි වැඩවෙසෙති. ඔබ මුබ දෙදෙනා දක්නා කැමැත්තාහ” යි සැළ කෙළේ ය.
98. මහණෙනි, එ කල්හි ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරෙවිපුත් ද සොඳුරු යාන යොදවා, සොඳුරු යානයකට නැඟ සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්‍ෂිත වැ බන්‍ධුමතී රජදහනින් නික්මුණාහ. ක්‍ෂේම මෘගදාවය කරා ගියහ. යානයට සුදුසු බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් (එයින් පසු) යානයෙන් බැස පාගමන් ඇත්තාහු ම භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුන් කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක හිඳ ගත්හ. පසෙක හුන් ඔවුනට භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු - දානකථා ද ශීලකථා ද ස්වර්‍ග කථා ද, කාමයන්ගේ දෝෂ ද ලාමක බව ද කිලිටි බව ද කාමයෙන් නික්මීමේ අනුහස් ද යන පිළිවෙළ කථාව දක්වා වදාළහ. භගවත්හු යම් විටෙක නීරෝග සිත් ඇති වූ මොළොක් සිත් ඇති වූ නීවරණරහිත සිත් ඇති වූ ඔදවැඩි සිත් ඇති වූ පහන් සිත් ඇති වූ ඔවුන් දත්තාහු ද, එ කල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ අනුන්ගෙන් නොඇසූ තමන් ම දැනගත් ස්වයම්භූතඥානයෙන් දත් යම් ධර්‍ම දේශනාවෙක් වේ ද, එය දක්වා වදාළහ. යම්සේ පහ වූ කළුපැහැ ඇති පිරිසිදු වස්ත්‍රයෙක් මොනොවට රඳන් උරා ගන්නේ ද, එසේ ම ඛණ්ඩ නම් රජපුතුට ද තිස්ස නම් පෙරෙවිපුතුට ද එ අස්නෙහි ම “උපදනාසුලු සියල්ල නැසෙනසුලු යැ” යි කෙලෙස්රජස් රහිත, පහ වූ කෙලෙස්මල ඇති දහම් ඇස් පහළ විය.
99. ඔහු දුටු සිවුසස් දහම් ඇතියාහු, පැමිණි සිවුසස්දහම් ඇතියාහු, දන්නා ලද සිවුසස් දහම් ඇතියාහු, නුවණින් බැස ගත් සිවුසස් දහම් ඇතියාහු, තිණූ සැක ඇතියාහු, පහවූ සංසය ඇතියාහු, විසාරද බවට පැමිණියාහු, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය නැතියාහු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දම් දෙසූ නියා ඉතා මැනැව. වහන්ස, දම් දෙසූ නියා ඉතා මැනැව. යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද, වැසුණු දැයක් වැස්ම හැර දක්වන්නේ ද, මංමුළා වූවකුට මඟ කියන්නේ ද, ‘ඇස් ඇත්තන් රූප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලබමෝ වා, උපසම්පදාව ලබමෝ වා” යි මේ බස් පැවැසූහ.
100. මහණෙනි, ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරවිපුත් ද භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිද්ද ලදහ, උපසපුව ලදහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු ඔවුනට දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, එය මොනොවට ගැන්වූ හ, එහි ඔවුන් සිත් තියුණු කළහ, එහි සතුටු කළහ. සංස්කාරයන්ගේ ආදීනව ද ලාමක බවද කෙලෙසීම ද, නිවනෙහි අනුසස් ද පැවැසූහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුන් විසින් දැහැමි කතාවෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එදැහැමි කතායෙහි තියුණු කරනු ලබන, එහි සතුටු කරනු ලබන ඔවුන්ගේ සිත් නොබෝ කල්හි ම උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදිණ.
101. මහණෙනි, බන්‍ධුමතී රජදහන්හි ප්‍රාණීන් සුවාසූදහසක් වූ මහ ජනමුළුව “භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බන්‍ධුමතී රජදහනට වැඩියාහු ක්‍ෂේම නම් මෘගදාවයෙහි වැඩ වෙසෙති. ඛණ්ඩ රජපුත් ද තිස්ස පෙරෙවිපුත් ද භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුරජුන් වෙතැ කෙහෙ රවුළු බහවා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වන්හ” යි ඇසී ය. ඇසීමෙන් ඔවුනට “ඛණ්ඩ රජපුතුන් තිස්ස පෙරෙවිපුතුන් කෙහෙරවුළු බහවා ගිහිගෙන් නික්ම යම් සස්නෙක පැවිදි වූහු නම්, ඒ දහම්විනය (සස්න) එසේ මෙසේ එකෙක් නො වේ. ඒ පැවිද්ද ද එසේ මෙසේ එකෙක් නො වේ. ඛණ්ඩ රජපුතුත් තිස්ස පෙරෙවිපුතුත් ගිහි ගෙන් නික්මැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිදි වූහු නම්, අප පැවිදි වනු අරුම දැ!” යි මේ සිත විය.
102. මහණෙනි, ඉක්බිත්තෙන් ප්‍රාණීන් සුවාසූදහසක් වූ ඒ මහදනමුළුව භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් කරා ගියහ. ගොස් ඔබ වැඳ පසෙක හිඳ ගත්හ. ඔවුනට භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු දානකථා ශීලකථා ස්වර්‍ගකථා ද, කාමයන්ගේ ආදීනව ද ලාමකබව ද කෙලෙසීම ද, කාමයෙන් නික්මීමෙහි අනුසස් ද යන පිළිවෙළ කතාව වදාළහ. භගවත්හු යම් විටෙක නීරෝග සිතැති මොළොක් සිතැති නීවරණ රහිත සිතැති ඔදවැඩි සිතැති පහන් සිතැති ඔවුන් දත්තාහු ද, එකල්හි, දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ තමන් විසින් ම අවබෝධ කළ යම් ධර්‍ම දේශනාවෙක් ඇද්ද එය පැවැසූහ. යම්සේ පහ වූ කළුපැහැ ඇති පිරිසිදු වස්ත්‍රය මොනොවට රඳන් උරා ගන්නේ ද, එසේ ම ඒ සුවාසූදහසක් ප්‍රාණීනට එ අස්නෙහි ම “උපදනා සුලු යමෙක් ඇත් ද, ඒ සියල්ල නැසෙන සුලු යැ” යි කෙලෙස්රජස් පහ වූ කෙලෙස්මල පහ වූ දහම් ඇස පහළ විය.
103. දුටු සියුසස් දහම් ඇති, පැමිණි සියුසස්දහම් ඇති, දැනගත් සියුසස්දහම් ඇති, නුවණින් බැස ගත් සියුසස් දහම් ඇති, තරණය කළ විචිකිච්ඡා ඇති, පහ වූ සැක ඇති, විශාරද බවට පැමිණි, ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යය රහිත ඔහු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, යම්සේ යටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද වැසුණ දැයක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවක්හට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරේ තෙල්පහනක් හෝ දරන්නේ ද, එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් වදාරන ලද්දේ ය. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබමෝ වා, උපසපුව ලබමෝ වා” යි මෙ බස් කී හ. මහණෙනි, ඒ සුවාසූ දහසක් මිනිස්සු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ සමීපයෙහි පැවිද්ද ලැබූහ, උපසපුව ලැබූහ.
104. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු දැහැමිකතායෙන් ඔවුනට කරුණු දැක්වූහ. කරුණු ගැන්වූහ, එහි ඔවුන් සිත් තියුණු කළහ, සතුටු කළහ. සංස්කාරයන්ගේ ආදීනව ද, ලාමක බව ද, කෙලෙසීම ද, නිවනෙහි අනුසස් ද පැවසූහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එහි තියුණු කරනු ලබන, සතුටු කරනු ලබන ඔවුන් සිත් නොබෝ කලෙකින් ම උපාදානරහිත ව ආස්‍රවයන්ගෙන් මිදිණ.
105. මහණෙනි, ඒ සුවාසූදහසක් පළමු පැවිද්දෝ ‘භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු බන්‍ධුමතී රාජධානියට වැඩියාහු ක්‍ෂේම නම් මෘගදාවයෙහි වෙසෙත් ල, දහම් ද දෙසත් ලැ’ යි ඇසූහ. මහණෙනි, ඉක්බිත්තෙන් ඒ සුවාසූදහසක් පැවිද්දෝ බන්‍ධුමතී රාජධානිය යම් තැනෙක ද, ක්‍ෂේම මෘගදාවය යම් තැනෙක ද, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු යම් තැනෙක ද, එ තැනට එළැඹියහ. එළැඹ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වැඳ එක් පසෙක හිඳගත්හ.
106. ඔවුනට භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු දානකථා ශීලකථා ස්වර්‍ගකථා ද, කාමයන්ගේ ආදීනව හා ලාමක බව හා කෙලෙසීම ද, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් ද දක්වා වදාළහ. යම් විටෙක භගවත්හු නීරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ පහ වූ සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති ඔවුන් දත්තාහු ද, එ කල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ අනන්‍ය සාධාරණ වූ යම් ධර්‍ම දේශනාවෙක් වේ ද එය ප්‍රකාශ කළහ. පහ වූ කළු පැහැ ඇති ශුද්ධ වස්ත්‍රය යම් සේ මොනොවට රඳන් පිළිගන්නේ ද, ඒ සුවාසූදහසක් පැවිද්දනට එ අස්නෙහි ම ‘උපදනා සුලු සියල්ල නැසෙන සුලු යැ’ යි පහ වූ කෙලෙස්රජස් ඇති, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස පහළ විය.
107. දුටු දහම් ඇති, පැමිණි දහම් ඇති, දැනගත් දහම් ඇති, බැසගත් දහම් ඇති, තිණූ විචිකිච්ඡා ඇති, පහ වූ සැක ඇති, විසාරද බවට පැමිණි ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍යයරහිත වූ ඔහු භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “වහන්ස, දේශනාව ඉතා මැනැවැ, වහන්ස, දේශනාව ඉතා මැනැව. වහන්ස, යැටිකුරු කොට තබනලද්දක් හෝ යම්සේ උඩුකුරු කරන්නේ ද, වැසුණු දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇත්තන් රූප දකිති’ යි අඳුරෙහි තෙල්පහනක් හෝ දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් (අපට) නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ යම්හ. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලබමෝ වා, උපසපුව ලබමෝවා” යි කීහ. මහණෙනි, ඒ සුවාසූදහසක් පැවිද්දෝ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වෙත පැවිද්ද ලදහ. උපසපුව ලදහ.
108. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු උනට දැහැමි කතායෙන් කරුණු දැක්වූහ, කරුණු ගැන්වූහ, එහි ඔවුන් සිත් තියුණු කළහ, සතුටු කළහ. සංස්කාරයන්ගේ දෝෂ ද ලාමක බව ද කෙලෙසීම ද, නිවනෙහි අනුසස් පැවැසූහ. භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වනු ලබන, කරුණු ගන්වනු ලබන, එහි තියුණු කරනු ලබන, සතුටු කරනු ලබන ඔවුන්ගේ සිත් නොබෝ කල්හි ම උපාදානරහිත ව ආස්‍රවයන්ගෙන් මිදිණ.
109. මහණෙනි, එ සමයෙහි වනාහි බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂු සමූහයෙක් වෙසෙයි. මහණෙනි, එ කල්හි හුදෙකලා චිත්තවිවේකයෙන් හුන් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුනට “දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සියඅටසැටදහසක් වූ මහත් භික්‍ෂුසමූහයෙක් වෙසෙයි. ‘මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පායෙන්, දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මුල කලණ මැද කලණ අග කලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු (මඟ) බඹසර පවසවු. මඳ කෙලෙස් රජස් ඇති සත්හු ඇත්හ. දහම් නො අසනුයෙන් ඔහු පිරිහෙත්. දහම් දැනගන්නෝ ඇති වන්නාහ. වැලි සයක් සයක් හවුරුදු ඉක්මිතැන පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ’ යි මහණුනට අනුදත්තෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්තසංකල්පනායෙක් පහළ විය.
110. මහණෙනි, එ කල්හි එක්තරා මහාබ්‍රහ්මයෙක් භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන්ගේ චිත්තසංකල්පනාව සිය සිතින් දැන, බල ඇති පුරුෂයක්හු වක් කළ හෝ අත දික් කරන්නා සේ දික් කළ හෝ අත වක් කරන්නා සේ වහා බඹලොවදී අතුරුදහන් වැ භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති ඒ මහාබ්‍රහ්ම තෙම උතුරුසඟ එකස් කොට, භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් දිසාවට දොහොත් මුදුනැ තබා වැඳ, “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අට සැටදහසක් වූ මහත් බික්සඟ වෙසෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට ‘මහණෙනි, බෙහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පායෙන් දෙව්මිනිස්නට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස සැරි සරවු, දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ, මැදකලණ, අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. මඳ කෙලෙස්රජස් ඇති සත්හු ඇත. දහම් නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. දහම් දැනගන්නෝ ඇති වන්නාහ’ යි භික්‍ෂූනට අනුදන්නා සේක් වා. වැලි දු වහන්ස, අපි මහණුන් අවුරුදු සයක් සයක් ඇවෑමෙන් පාමොක් දෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹෙන සෙයක් කරන්නමු” යි මෙ බස් කී ය. මහණෙනි, මහාබ්‍රහ්ම තෙම මෙය කී ය. මෙය කියා භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුන් වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
111. මහණෙනි, ඉක්බිති භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු සවස්වේලෙහි සමවතින් නැගී සිටියාහු, මහණුන් බණවා මෙය වදාළහ: ‘මහණෙනි, මෙහි එකලා වැ චිත්තවිවේකයෙන් යුක්ත වූ මට ‘දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂූ සමූහයෙක් වෙසෙයි. මම් භික්‍ෂූනට ‘මහණෙනි, බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට වැඩ පිණිස හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මුලකලණ, මැදකලණ, අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්ක ජාතික සත්‍වයෝ ඇත. ධර්‍මය නො ඇසීමෙන් ඔහු පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ. වැලි දු හවුරුදු සයක් සයක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානිය එළැඹිය යුතු ය යි භික්‍ෂූනට අනුදත්තෙම් නම් මැනැවැ’ යි මෙසේ චිත්තසංකල්පයෙක් පහළ විය.
112. මහණෙනි, එකල්හි මහාබ්‍රහ්මයෙක් සිය සිතින් මගේ චිත්ත සංකල්පය දැන බල ඇති මිනිසක්හු වක් කල හෝ අත දික් කරන්නා සේ දික් කළ හෝ අත වක් කරන්නා සේ වහා ම බඹලොවින් අතුරුදහන් ව මා ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති ඒ මහාබ්‍රහ්ම තෙම උතුරු සඟ එකස් කොට මා දෙසට දොහොත් මුදුන් තබා වැඳ, “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. වහන්ස, දැන් බන්‍ධුමතී රාජධානියෙහි භික්‍ෂූන් එක්සිය අටසැටදහසක් වූ මහත් භික්‍ෂුසමූහයෙක් වෙසෙයි. වහන්ස, භාග්‍යවත්හු ‘මහණෙනි, බෙහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ මැදකලණ අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්ක ජාතික සත්හු ඇත. දහම් නොඅසනුයෙන් ඔහු පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ’ යි භික්‍ෂූනට අනුදනිත් වා. වැලිදු වහන්ස, යම්සේ භික්‍ෂූහු හවුරුදු සයක් සයක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹෙන්නාහු ද, එසේ කරන්නමු” යි කීය. මහණෙනි, ඒ මහාබ්‍රහ්ම තෙම මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එ තන්හි ම අතුරුදහන් විය.
113. මහණෙනි, තොපට අනුදනිමි: “බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්‍ත්‍ථ පිණිස, හිත පිණිස, සුව පිණිස සැරි සරවු. දෙදෙනෙක් එක් මගින් නො යවු. මහණෙනි, මුලකලණ මැදකලණ අගකලණ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත දහම් දෙසවු. හැම ලෙසින් පිරිපුන් පිරිසිදු බඹසර පවසවු. අල්පරජස්කජාතික සත්‍වයෝ ඇත. ඔහු දහම් නො ඇසීමෙන් පිරිහෙත්. දහම් දැන ගන්නෝ ඇති වන්නාහ. එතෙකුදු වුවත්, මහණෙනි, හවුරුදු සයක් සයක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹියයුතු යැ” යි (වදාළහ.)
114. මහණෙනි, ඉක්බිත්තෙන් භික්‍ෂූහු බොහෝ සෙයින් එක් දවසින් ම ජනපදචාරිකායේහි නික්මුණහ. එ සමයෙහි දඹදිවැ සුවාසූදහසක් ආවාසයෝ වෙති. එක් හවුරුද්දක් ගිය කලැ ‘නිදුකාණෙනි’ එක් හවුරුද්දෙක් ගත විය. දැන් හවුරුදු පසෙක් ඉතිරි ව ඇත. පස් හවුරුද‍්දෙක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතුයැ” යි දෙවියෝ ශබ්දානුශ්‍රාවණය කළහ (හඬ නැගූහ). හවුරුදු දෙකක් ගත වූ කල්හි “නිදුකාණෙනි, දෙහවුරුද්දෙක් ගත විය. දැන් තව සතර හවුරුද්දෙක් ඉතිරි ව ඇත. සතර හවුරුද්දක් අවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. තුන් හවුරුද්දක් ගත කල්හි “නිදුකාණෙනි, තුන් හවුරුද්දෙක් ගත විය. දැන් තව තුන් හවුරුද්දෙක් ඉතිරි ව ඇත. තුන් හවුරුද්දෙක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. සතර හවුරුද්දක් ගිය කල්හි “නිදුකාණෙනි, සතර හවුරුද්දෙක් ගත විය. දැන් තව හවුරුදු දෙකෙක් ඉතිරි ව ඇත. හවුරුදු දෙක ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. පස් හවුරුද්දක් ගත කල්හි “නිදුකාණෙනි, පස් හවුරුද්දෙක් ගත විය. දැන් එක් හවුරුද්දෙක් ඉතිරි ය. එක් හවුරුද්දක් ඇවෑමෙන් පාමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹිය යුතු යැ” යි දෙවියෝ හඬ නැගූහ. හවුරුදු සයක් ඉක්මි කල්හි “නිදුකාණෙනි, හවුරුදු සයෙක් ගත විය. දැන් පැමොක් උදෙසනුවට බන්‍ධුමතී රාජධානියට එළැඹෙන්නට කල් වේ” යැ යි දෙවියෝ හඬ නැගූහ.
115. මහණෙනි, එකල්හි ඒ මහණහු, ඇතැම් කෙනෙක් තමන්ගේ ඉදුහ බෙලෙන් ද, තව කෙනෙක් දෙවියන්ගේ ඉදුහ බෙලෙන් ද, බන්‍ධුමතී රාජධානියට පාමොක් උදෙසනු පිණිස එක් දවසින් ම එළැඹියහ. මහණෙනි, එහි භගවත් අර්‍හත් විපස්සී සම්මාසම්බුදුහු භික්‍ෂුසමාගමයෙහි මෙසේ පාමොක් උදෙසති:
“පරාපකාරත් පරාපවාදත් ඉවැසීම වූ අධිවාසනක්‍ෂාන්තිය උතුම් තපස යැ යි ද, නිවන සියල්ලෙන් උතුම් ම දහමැ යි ද බුදුවරු වදාරත්. මෙරමා පෙළන්නේ පැවිද්දෙක් නො වේ ම ය. මෙරමා වෙහෙසනුයේ මහණෙක් නො වේ ම ය.
සියලු පව් නොකරනු ද, කුසල් උපදවනු හා වඩනු ද, සිය සිත පිරිසිදු කරනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන ය.
මෙරමාහට උපවාද නොකරනු ද, මෙරමා නොපෙළනු ද, පාමොක් හි සංවරය ද, බතෙහි පමණ දැන්ම ද, ගමින් ඈත සෙනස්නෙහි ඇල්ම ද, අධිචිත්තයෙහි (රූපාරූප අටසමවත්හි) යෙදෙනු ද යන මේ බුදුවරුන්ගේ ශාසන යි.”