[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය. ඒ ස්ත්‍රීපරිග්‍රහ නැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු ස්ත්‍රීපරිග්‍රහ නැති බඹහුගේ සහභාවයට පැමිණෙන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන ය (ඇති එකෙක, වියැ යුත්තෙක).
83. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ භික්‍ෂු තෙම වෙර සිත් නැත්තේ ය. බඹා ද වෙරසිත් නැත්තේ ය. වෙරසිත් නැති බඹා හා වෙර සිත් නැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සමබවෙක් වේ ද?”
[වාසෙට්ඨ:] “එසේ ය, භව්ද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ඒ වෙරසිත් නැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු වෙරසිත් නැති බඹහුගේ සහභාවයව ගියෙක් වන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන ය.”
84. “වාසෙට්ඨය, මෙසේ මහණ තෙම නිදුක් සිතැත්තේ ය. බඹ ද නිදුක් සිතැත්තේ ය. නිදුක් සිතැති බඹා හා නිදුක් සිතැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද?”
[වාසෙට්ඨ:] “එසේය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ඒ නිදුක් සිතැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු නිදුක් සිතැති බඹහුගේ සහභාවයව ගියෙක් වන්නේ ය යන මේ කාරණය විද්‍යාමාන ය.”
85. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ භික්‍ෂු තෙම නොකිලිටි සිතැත්තේ ය. බඹා ද නොකිලිටි සිතැත්තේ ය. නොකිලිටි සිතැති බඹහු හා නො කිලිටි සිතැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සමබවෙක් වේ ද?”
[වාසෙට්ඨ:] “එසේය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ඒ නොකිලිටි සිතැති භික්‍ෂු තෙම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතු නොකිලිටි සිතැති බඹහුගේ සහභාවයට පැමිණියෙක් වන්නේ ය යන මෙ කාරණය ඇත්තේ ය (විය යුතු ය).”
86. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ භික්‍ෂුතෙම පුරුදුකළ චිත්තවශිතා ඇත්තේ ය. බඹා ද පුරුදුකළ චිත්තවශිතා ඇත්තේ ය. පුරුදු කළ චිත්තවශිතා ඇති බඹා හා පුරුදු කළ චිත්තවශිතා ඇති භික්‍ෂූහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සමබවෙක් වේද?”
[වාසෙට්ඨ:] “එසේය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය. ඒ පුරුදු කළ චිත්තවශීතා ඇති භික්‍ෂු තෙම කාබුන් මරණින් මතු ඒකාන්තයෙන් පුරුදු කළ චිත්තවශිතා ඇති බඹහුගේ සහව්‍යතාවට ගියෙක් වන්නේ ය යන මේ කාරණය ඇත්තේ ය. (වියැයුත්තේ ය).”
87. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ භාරද්වාජ මාණවයෝ දෙදෙන “භවද් ගෞතමයිනි, දේශනාව අභිකාන්ත යැ. භවද් ගෞතමයිනි, දේශනාව අභිකාන්ත යැ. භවද්ගෞතමයිනි, යම්සේ යැටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ ද, පිළිසන් දැයක් වැසුම් හරින්නේ ද, මංමුළං වූවක්හට මඟ කියන්නේ ද, ඇස් ඇතියන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භවද් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පවසන ලද යැ. ඒ අපි භවද් ගෞතමයන් වහන්සේ ද, ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද ශරණ යම්හ. භවද් ගෞතමයන් වහන්සේ අප අද පටන් දිව් හිම් කොට සරණ ගිය උවසුවන් කොට දරන සේක් වා (සලකා වදාරන සේක් වා)” යි මෙ බස් කිවු ය.
තෙළෙස්වන තෙවිජ්ජ සූත්‍රය නිමියේ ය.
ප්‍රථම ශීලස්කන්‍ධවර්‍ගය නිමි.
සූත්‍රාන්තපිටකයෙහි
දික් සඟිය
(ද්විතීය භාගය)
මහා වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1.
මහාපදාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි කරෙරිකුටිකායේහි (ලුණුවරණ රුක අසල කරන ලද කිළියෙහි) වැඩ වසන සේක. එ කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ (බත්කිස කොට නැඟී සිට) කරෙරිමණ්ඩලමාළයෙහි (යටකී කරෙරිමණ්ඩපය අසලැ නිෂීදන ශාලායෙහි) එක් වැ හුන් එක් රැස් වූ බෙහෝ භික්‍ෂූන් අතරැ ‘පෙරැ වුසූ කඳපිළිවෙළ මෙසේත් වේ. පෙරැ වුසූ කඳ පිළිවෙළ මෙසේත් වේ’ යැ යි පූර්‍වනිවාසප්‍රතිසංයුක්ත වූ දැහැමි කතාවෙක් පහළ විය.
2. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම්ඉම ඉක්මැ අසනුවට සමත් වූ පිරිසිදු දිවකනින් ඒ මහණුන්ගේ මේ කථාසංලාපය අසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී කරෙරිමණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පනවා තුබුණු අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, දැන් තෙපි කවර නම් කතාවෙකින් මෙහි හුන්නහු ද? තොපගේ කවර නම් අතුරු කතාවෙක් අඩාළ වී දැ?’ යි අසා වදාළ සේක.
3. මෙසේ වදාළ කල්හි මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආ, මෙහි කරෙරිමණ්ඩලමාළයෙහි එක්වැහුන් එක් රැස් වූ අප අතරැ ‘පූර්‍වනිවාසය මෙසේත් වේ, පූර්‍වනිවාසය මෙසේත් වේ’ යැ යි පූර්‍වනිවාසප්‍රතිසංයුක්ත දැහැමි කතාවෙක් උපන. වහන්ස, අපගේ මේ අතුරු කතාව අඩාළ විය. එකලැ භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ” යි මෙ බස් පැවැසූහ.
4. “මහණෙනි, තෙපි පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දහම්කතාවක් අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.
“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පෙරැ වුසූ කඳපිළිවෙළ පිළිබඳ වූ දැහැමි කතාවක් කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය ය. සුගතයන් වහන්ස, එයට මේ කාලය ය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා මහණහු සිත්හි ලා දරන්නාහ” යි භික්‍ෂූහු කීහ. “මහණෙනි, එසේ වී නම්, අසවු. මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ වහන්සැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) ධර්‍මකථාව වදාළ සේක.
5. මහණෙනි, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් පෙරැ එක් අනූවන කප ය. මහණෙනි, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් යටැ එක්තිස්වන කප ය. මහණෙනි, ඒ එක් තිස්වන කපෙහි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ලොවැ පහළ වූහ. මහණෙනි, මෙ බදුරුකප්හි ම අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් මෙ සමයෙහි ලොවැ පහළ වීමි.
6. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ. කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, කැත්කුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලයෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුතුලෙහි උපන්හ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ජාතියෙන් බ්‍රාහ්මණ වූහ, බමුණුකුලෙහි උපන්හ. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ජාතියෙන් ක්‍ෂත්‍රිය වීමි, කැත්කුලෙහි උපන්මි.
7. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භගවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩිණ්‍ය වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ.
මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භගවත්හු ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, මෙ සමයෙහි අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මම් ගෝත්‍රයෙන් ගෞතම වෙමි.
8. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු අසූදහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු සැත්තෑදහසෙක් විය. මහණෙනි, අර්‍හත්සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු සැටදහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු හතළිස්දහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු තිස්දහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්ගේ ආයුෂ්ප්‍රමාණය හවුරුදු විසිදහසෙක් විය. මහණෙනි, මෙ කලැ මාගේ ආයුෂ්ප්‍රමාණය අල්පය, ස්වල්පය, ලඝු ය. යමෙක් (මෙ සමයෙහි) බොහෝ කල් ජීවත් වන්නේ නම් හෙ තෙම හවුරුදු සීයක් හෝ ස්වල්පයක් වැඩියෙන් හෝ ජීවත් වන්නේ ය.
9. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්හු පළොල් රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්හු හෙළඹරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්හු සල්රුකක් මුලැ සත්‍යාවබෝධය කලහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවත්හු මහරිරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්හු දිඹුල්රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්හු නුගරුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් ඇසතු රුකක් මුලැ සත්‍යාවබෝධය කෙළෙමි.
10. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්හට ඛණ්ඩය ය තිස්ස යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්හට අභිභූ ය සම්භව යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්හට සෝණ ය උත්තර යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්හට විධුර ය සඤ්ජීව යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්හට භිය්යොස ය උත්තර යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට තිස්ස ය භාරද්වාජ යැ යි භද්‍රයුගල වූ අක්සවුයුවලෙක් විය. මහණෙනි, මෙ කලැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ මාහට භද්‍රයුගල වූ සැරියුත් ය මුගලන් යැ යි අක්සවුයුවලෙක් වෙයි.
11. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් විය: එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් එක් ලක්‍ෂ අටසැටදහසෙක් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් ලක්‍ෂයෙක් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් මහණුන් අසූදහසෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන්ගේ හැම දෙනා ම රහතුන් වූ සව්වන් පිළිබඳ මේ සන්නිපාතයෝ තිදෙනෙක් වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්ගේ ශ්‍රාවකසන්නිපාත තුනෙක් විය: එකෙක් මහණුන් ලක්‍ෂයක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් අසූදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් සැත්තෑදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන් පිළිබඳ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්හට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ: එකෙක් මහණුන් අසූදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් භික්‍ෂූන් සැත්තෑ දහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. එකෙක් මහණුන් සැටදහසක් වූ ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවතුන්ගේ සියල්ලන් ම රහතුන් වූ සව්වන් සම්බන්‍ධ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්ගේ මහණුන් සතළිස්දහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතකේ විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ භාග්‍යවතුන්ගේ හැම දෙනා ම රහතුන් වූ සව්වන් සම්බන්‍ධ මේ එක සන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්ගේ මහණුන් තිස්දහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් සන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට මහණුන් විසිදහසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවතුන්හට හැම දෙනා ම රහතුන් වූ සව්වන්ගේ මේ එක් සන්නිපාතයෙක් විය. මහණෙනි, මෙ සමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මා හට මහණුන් එක්දහස් දෙසිය පණසක් වූ එක් ශ්‍රාවකසන්නිපාතයෙක් විය. මහණෙනි, මා හට හැම දෙනා ම රහතුන් වූ සව්වන් සම්බන්‍ධ මෙ එක් සන්නිපාතයෙක් විය.
12. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවත්නට අශෝක නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්නට ඛේමඞ්කර නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්නට උපශාන්ත නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කකුසන්‍ධ නම් භාග්‍යවත්නට බුද්ධිජ නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය.
මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්නට සොත්‍ථිජ නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කාශ්‍යප නම් භාග්‍යවත්නට සර්‍වමිත්‍ර නම් මහණෙක් උපස්ථායක, අග්‍රෝපස්ථායක විය. මහණෙනි, මෙ සමයෙහි අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ මට ආනන්‍ද නම් මහණ උපස්ථායක, අග්‍රෝපස්ථායක වෙයි.
13. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ විපස්සී භාග්‍යවත්නට බන්‍ධුමත් නම් රජ පිය වී ය, බන්‍ධුමතී නම් දෙවි විජාත මාතෘ වූය. බන්‍ධුමතී නම් නුවර බන්‍ධුමත් රජුගේ රජදහන විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්නට අරුණ නම් රජ පිය වී ය, ප්‍රභාවතී නම් දෙවි වැදූ මව වූ ය අරුණවතී නම් නුවර අරුණ රජුගේ රජදහන විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්නට සුප්‍රතීත නම් රජ පිය වී ය. යශෝවතී නම් දෙවි වැදූ මවු වූ ය. අනෝම නම් නුවර සුප්‍රතීත රජුහුගේ රජදහන් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ කකුසන්‍ධ නම් භාග්‍යවත්නට අග්ගිදත්ත නම් බමුණු පිය විය, විශාඛා නම් බැමිණි වැදූ මවු වූ ය. මහණෙනි, එසමයෙහි ක්‍ෂේම නම් රජෙක් විය. ක්‍ෂේමවතී නුවර රජුහුගේ රජදහන විය. මහණෙනි, අර්‍හත් සමයක්සම්බුද්ධ වූ කෝණාගමන නම් භාග්‍යවත්නට යඤ්ඤදත්ත නම් බමුණු පිය වීය, උත්තරා නම් බැමිණි වැදූ මවු වූ ය. එසමයෙහි මහණෙනි, ශෝභ නම් රජෙක් විය. ශෝභාවතී නම් නුවර ශෝභ රජුහුගේ රජදහන් විය. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ කාශ්‍යප භාග්‍යවත්නට බ්‍රහ්මදත්ත නම් බමුණු පිය විය. ධනවතී නම් බැමිණි වැදූ මවු වූ ය. මහණෙනි, එ සමයෙහි කිකී නම් රජෙක් විය. බරණැස් නම් නුවර කිකී රජුහුගේ රජදහන වි ය. මහණෙනි, මෙ සමයෙහි රහත් වූ සම්මාසම්බුදු වූ මාහට සුදොවුන් රජ පිය වී ය. මායාදේවී වැදූ මවු වූ හ. “කිඹුල්වත් නම් නුවර රජදහන් වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා සුගතයන් වහන්සේ හුනස්නෙන් නැඳී වෙහෙරට පිවිසි සේක.
14. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලායෙහි මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම්බඳු වූ තථාගතයන් වහන්සේ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්නෝ වූහ යි ද, මෙබඳු නම් ඇත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු සිල් ඇත්තෝ මෙබඳු දහම් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’යි පිරිනිවියා වූ, සිඳැලූ තෘෂ්ණාමානදෘෂ්ටිප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විපාකවට්ට දුක ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින් සිහි කළ සේක ද, නම් විසින් සිහි කළ සේක් ද,
ගොත් විසින් සිහි කළ සේක් ද, ආයු පමණ විසින් සිහි කළ සේක් ද, ශ්‍රාවකයුග විසින් සිහි කළ සේක් ද, ශ්‍රාවක සන්නිපාත විසින් සිහි කළ සේක් ද, ඒ තථාගතයන් වහන්සේගේ ඒසා මහත් ඍද්ධි ඇති නියාව, ඒසා මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. ඇවැත්නි, කිමෙක් ද? යම් ධර්‍මධාතුවක් (යම් සියල්ල දක්නා නුවණක්) මොනොවට පිළිවිදි බැවින් තථාගතයන් වහන්සේ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්හ යි ද, මෙබඳු නමැත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි ද පිරිනියාවූ, සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවටදුක් ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින්, නම් විසින්, ගොත් විසින්, ආයු පමණ විසින්, ශ්‍රාවකයුග විසින්, ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, ඒ ධර්‍මධාතුව තථාගතයන් වහන්සේ විසින් ම පිළිවිදුනා ලද ද? නැතහොත් යමෙකින් තථාගතයන් වහන්සේ ‘ඒ භගවත්හු මෙබඳුජාති ඇත්තෝ මෙබඳු නම් ඇත්තෝ මෙබඳු ගොත් ඇත්තෝ මෙබඳු සිල් ඇත්තෝ මෙබඳු දහම් ඇත්තෝ මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවට දුක් ඉක්මි, ඉකුත් බුදුවරුන් ජාති විසින් නම් විසින් ගොත් විසින් ආයුපමණ විසින් ශ්‍රාවකයුග විසින් ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, මෙ කරුණ දේවතා කෙනෙක් තථාගතයන් වහන්සේට සැළ කළෝ දැ?” යි ඒ මහණුන්ගේ මේ අතුරු කථාවෙක් අඩාළ වූයේ වෙයි.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවතින් නැගී සිට කරෙරිමණ්ඩලමාළයට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත ආසනයෙහි හුන් සේක. වැඩ හිඳ මහණුන් බණවා, “මහණෙනි, තෙපි දැන් එක් ව කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක මෙසේ වදාළ කලැ ඒ මහණහු “වහන්ස, භාග්‍යවතුන්වන්සේ නික්මැ වැඩි නොබෝ කල්හි අපගේ මෙසේ වූ අතුරු කථාවෙක් උපන:
ඇවැත්නි, යම්බඳු වූ තථාගතයන් වහන්සේ “ඒ භාග්‍යවත්හු මෙබඳු ජාතියෙහි උපන්හ, මෙබඳු ගොත් ඇතියෝ, මෙබඳු සිල් ඇතියෝ, මෙබඳු දහම් ඇතියෝ, මෙබඳු ප්‍රඥා ඇතියෝ, මෙබඳු විහරණ ඇතියෝ, මෙබඳු විමුක්ති ඇතියෝ වූහ’ යි පිරිනිවි, සිඳැලූ තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විවාවට දුක ඉක්මි ඉකුත් බුදුවරුන් ජාති විසින් නම් විසින් ගොත් විසින් ආයුප්‍රමාණ විසින් ශ්‍රාවකයුග විසින් ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් ද, ඒ තථාගතයන් වහන්සේගේ එසේ වූ මහත් ඍද්ධි ඇති නියාව, මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය, අද්භූතය. ඇවැත්නි, කිම? යම් ධර්‍මධාතුවක් මොනොවට පිළිවිඳි බැවින් තථාගතයන් වහන්සේ, ඒ භාග්‍යවත්හු මෙබඳු දැයෙහි උපන්හයි, මෙබඳු නමැත්තෝ මෙබඳු ගොතැත්තෝ, මෙබඳු සිල් ඇත්තෝ, මෙබඳු දහමැත්තෝ, මෙබඳු පැණැත්තෝ, මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි පිරිනිවී, සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වටැති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වටැති, සියලු විපාකවට්ට දුක ඉක්මි, ඉකුත් බුදුවරුන් දෑ නම් ගොත් විසින්, ආයුප්‍රමාණ විසින්, ශ්‍රාවකයුග විසින්, ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කළ සේක් නම්, ඒ ධර්‍මධාතුව තථාගතයන් වහන්සේ විසින් ම පිළිවිදුනා ලද ද? නැතහොත් යමෙකින් තථාගතයන් වහන්සේ ඒ භාග්‍යවත්හු ‘මෙබඳු ජාති නාම ගෝත්‍ර ශීල ධර්‍ම ප්‍රඥා විහරණ විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, ඇම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති, සියලු විපාකවට්ට දුක ඉක්මි, අතීත බුදුවරුන් ජාති නාම ගෝත්‍ර ආයුෂ් ප්‍රමාණ ශ්‍රාවකයුග ශ්‍රාවක සන්නිපාත විසින් සිහිකරන සේක් නම්, මෙකරුණ දේවතා කෙනෙක් තථාගතයන් වහන්සේට සැළ කළාහු දැ?’ යි අපගේ මේ අතුරු කථාව අඩාළ විය. එ කලැ භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩවදාළ සේකැ” යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
16. “මහණෙනි, යම් ධර්‍මධාතුවක් පිළිවිදි බැවින් තථාගතයෝ ‘ඒ භාග්‍යවත්හු මෙබඳු ජාති නාම ගෝත්‍ර ශීල ධර්‍ම ප්‍රඥා විහරණ විමුක්ති ඇත්තෝ වූහ’ යි සිඳැලූ ප්‍රපඤ්ච ඇති, සිඳැලූ කම්වට ඇති, හැම ලෙසින් ක්‍ෂීණ කළ කම්වට ඇති සියලු විපාකවට්ට දුක ඉක්මි, අතීත බුදුවරුන් ජාති නාම ගෝත්‍ර ආයුෂ්ප්‍රමාණ ශ්‍රාවකයුග ශ්‍රාවකසන්නිපාත විසින් සිහි කරන්නාහු නම්, ඒ ධර්‍මධාතුව තථාගතයන් විසින් මොනොවට ම පිළිවිදුනා ලද්දේ ය. මෙ කරුණ දේවතාවෝ ද තථාගතයනට සැළ කළහ. මහණෙනි, තෙපි වඩාලාත් පෙරැවුසු කඳපිළිවෙළ පිළිබඳ වූ ධර්‍ම කථාව අසන්නට කැමැත්තහු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
17. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩාලාත් පෙරැවුසු කඳපිළිවෙළ පිළිබඳ දහම් කතාව කරන සේක යන යමෙක් ඇද්ද, භාග්‍යවතුන් වහන්ස, එයට මේ කාලය වෙයි. සුගතයන් වහන්ස, එයට මේ කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු සිතැ ලා දරන්නාහ” යි ඒ මහණහු කීහ. “මහණෙනි, එසේ වී නම් අසවු, මොනොවට මෙනෙහි කරවු, කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
18. මහණෙනි, යම් කලෙක රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ලොවැ පහළ වූහු නම්, ඒ මෙයින් එක්අනු වන කපය. මහණෙනි, රහත් සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ජාතියෙන් ක්‍ෂත්‍රිය වූහ, ක්‍ෂත්‍රිය කුලයෙහි උපන්හ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු ගෝත්‍රයෙන් කෞණ්ඩින්‍ය වූහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට හවුරුදු අසූදහසෙක් ආයුෂ්ප්‍රමාණය විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්හු පළොල්රුකක් මුලැ සත්‍යාවබෝධය කළහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට ඛණ්ඩය තිස්ස යැ යි නම් වූ භද්‍රයුග වූ සවුයුවලෙක් විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනෙක් විය: එයින් එක් ශ්‍රාවකසන්නිපාතයෙක් අටසැට ලක්‍ෂයක් භික්‍ෂූන්ගෙන් යුක්ත විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් භික්‍ෂූන් ලක්‍ෂයෙන් විය. එක් ශ්‍රාවකසන්නිපාතයෙක් භික්‍ෂූන් අසූ දහසෙක් විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදුවූ විපස්සී භාග්‍යවත්නට හැම දෙනා ක්‍ෂීණාශ්‍රව වූ සව්වන්ගේ මේ තුන් සන්නිපාත කෙනෙක් වූහ. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට අශෝක නම් මහණෙක් අග්‍රෝපස්ථායක වූ උවසු විය. මහණෙනි, රහත් වූ සම්මාසම්බුදු වූ විපස්සී භාග්‍යවත්නට බන්‍ධුමත් නම් රජෙක් පිතෘ විය, බන්‍ධුමතී නම් දේවියක් වැදූ මව වූ ය. බන්‍ධුමතී නම් නුවර බන්‍ධුමත් රජුගේ රජදහන විය.
19. මහණෙනි, එකල්හි විපස්සී බෝසත්හු තුසී දෙව්නකායෙන් සැව සිහි ඇත්තේ නුවණැත්තේ මවුකුසට බටුයේ ය. මේ මෙහි ධර්‍මතා යි (ස්‍වභාවය යි).
20. මහණෙනි, මේ ධර්‍මතා යැ: යම් කලෙක බෝසත්හු තුසී දෙව්නකායෙන් සැව මව කුස පිළිසිඳ ගන්නාහු නම්, එ කලැ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත සත්‍වප්‍රජායෙහි, දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. නිති විවැරුණු, නො හැවුරුණු (යටින් පිහිටක් නැති), ඇස් අඳුරු කරන ගනඳුරු ඇති යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, මේසා මහඉදුහු ඇති මේසා මහ තෙදැති සඳ හිරුහු ඒ යම් තැනෙක සිය එළියෙන් අඳුරු දුරැලන්නට නොහැකි වෙත් ද, එහි පවා දෙවියන්ගේ දෙව්එළිය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි:-
එහි යම් සත් කෙනෙක් උපන්නෝ ද, ඔහු ද ඒ එළියෙන් ‘භවත්නි, මෙහි උපන් අන් සත් කෙනෙක් ඇත්හ’ යි උනුන් හැඳින ගනිත්. මෙ දසදහස් ලෝදා ද හාත්පසින් සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දෙවියන්‍ගේ දේවානුභාවය ඉක්මැ ම අප්‍රමාණ වූ විපුල ආලෝකයෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
21. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසට බටුවෝ වෙද්ද, එකලැ සිවුදෙනෙක් දෙව්පුත්තු (සිවු වරම්රජුහු) ‘ඒ බෝසතුන් හෝ බෝසත්මව හෝ කිසි මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ නො පෙළාව’ යි සතර දිගැ රකවළට වෙත පැමිණෙත්. මෙහි මේ ධර්‍මතා යි.
22. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එකල්හි පියෙවියෙන් ම සිල්වත් වූ බෝසත්මව පණිවායෙන් වැළැකුණී වෙයි. අයිනාදනින් වැළකුණී වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළැකුණී වෙයි, මුසවායෙන් වැළැකුණී වෙයි, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැකුණී වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
23. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එ තැන් පටන් කොට බෝසත්මවට පිරිමින් කෙරෙහි කාමගුණනිංඃශ්‍රිත වූ සිතෙක් නො පහළ වේ. රාගයෙන් රත් වූ සිතැති කිසිදු පුරුෂයෙක් හු විසින් බෝසත් මව ඉක්මියැ හැකි නො වේ. මෙහි මේ ධර්‍මතා යි.
24. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව කුසට බටුයේ වේ ද, එතැන් පටන් කොට බෝසත්මව පස්කම්සුව ලබන්නී වෙයි. ඕ පස්කම් ගුණයෙන් සමර්පිත ව සංයුක්ත ව ඉඳුරන් හසුරුවයි. මෙ මෙහි ධර්‍මතා යි.
25. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත් තෙම මව් කුසැ පිළිසිඳ ගත්තේ වේ ද, එතැන් පටන් කොට බෝසත්මවට කිසි ම ආබාධයෙක් නො උපදී. බෝසත්මව සුවැත්තී ක්ලාන්ත නොවූ කයැත්තී වෙයි. බෝසත්මව සිය කුසතුළැ වූ බෝසත්හු සියලු අඟපසඟ ඇත්තහු, නොපිරිහුණු ඉඳුරන් ඇත්තහු දකී. මේ මෙහි ධර්‍මතා යි.
මහණෙනි, යම්සේ ශෝභන වූ, ජාතිමත් වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, පිරිසිදු, වෙසෙසින් පහන්, හැම අයුරින් පිරිපුන් වෙරළුමිණෙක් වේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ ලෙහෙවන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වේ ද, එය ඇස්ඇති පුරුෂයෙක් අතෙහි කොට ‘මේ වෙරළුමිණ හොබනේ ය, ජාතිමත් ය, අටැස් ය, මොනොවට පිරියම් කරන ලද්දේ ය, පිරිසිදු ය, වෙසෙසින් පහන් ය, හැම සැටියෙන් පිරිපුන් ය. මෙහි මේ නිල්වන් හෝ රන්වන් හෝ ලෙහෙවන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වේ යැ’ යි සලකා බලන්නේ ද, එසේ ම මහණෙනි, යම් කලෙක බෝසත්හු මවකුසැ පිළිසිඳ ගත්තෝ වෙත් ද, එකලැ බෝසත්මවට කිසිදු ආබාධයෙක් නො උපදී. බෝසත්මව අක්ලාන්ත කය ඇත්තී සුවපත් වෙයි. බෝසත් මව සිය කුසතුළැ වූ බෝසතුන් සියලු අඟපසඟ ඇතියවුන් නොපිරිහුණු ඉඳුරන් ඇතියවුන් දකී. මේ මෙහි ධර්‍මතා යි.
26. මහණෙනි, මේ ධර්‍මතා යි: බෝසත්හු උපන් සත්දවසැ බෝසත්මව කලුරිය කෙරෙයි. (කලුරිය කොට) තුසීදෙව්ලොවැ උපදී. මේ මෙහි ධර්‍මතා යි.
27. මහණෙනි, මේ ධර්‍මතා යි: යම්සේ අන් ස්ත්‍රීහු නව මසක් හෝ දසමසක් කුසින් ගබ රැක වදත් ද, බෝසත්මව එසේ බෝසතුන් නො ම ප්‍රසූත කෙරෙයි. බෝසත්මව පුරා දස මසක් ම බෝසතුන් කුසින් උසුලා ප්‍රසූත කෙරෙයි. මේ මෙහි ධර්‍මතා යි.
28. මහණෙනි, මේ ධර්‍මතා යි: යම්සේ අන් ස්ත්‍රීහු හිඳ හෝ වැදහෙට වදත් ද, බෝසත්මව බෝසතුන් එසේ ප්‍රසූත නො කරයි. බෝසත් මව සිටියා ම බෝසතුන් ප්‍රසූත කෙරෙයි. මේ මෙහි ධර්‍මතා යි.
29. මහණෙනි මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව් කුසින් බිහි වෙත් ද, එවිට පළමුවෙන් දෙවියෝ ද පසුව මිනිස්සු ද ඔබ පිළිගනිත්. මේ මෙහි ධර්‍මතා යි.
30. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව් කුසින් නික්මෙත් ද, එකල්හි බෝසත්හු පොළොවට නො පැමිණියෝ ම වෙති. (නොපැමිණියැදී ම) සතර දෙව්පුත් කෙනෙක් ඔබ පිළිගෙන, ‘දේවිනි, සතුටු වන්න, ඔබට මහායශස්ක පුතෙක් උපනැ’ යි කියා මව ඉදිරියෙහි තබත්. මේ මෙහි ධර්‍මතා යි.
31. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, විශද වැ ම, දියෙන් නොවැකුණෝ, සෙමින් නොවැකුණෝ, ලෙයින් නොවැකුණෝ, කිසිදු අශුචියෙකින් නොවැකුණෝ පිරිසිදු වැ නිර්‍මල වැ නික්මෙති.
මහණෙනි, කසී සළුවෙක තබන ලද මිණිරුවනෙක් වේ නම් එය කසීසළුව නො වකා ද (කසීසළුවෙහි නො තැවරේ ද) කසීසළුවත් මිණිරුවන නො වකා ද (කසීසළුව මිණිරුවනෙහි නො තැවරේ ද) - ඒ කවර හෙයින? ඒ දෙක ම පිරිසිදු බැවිනි. මහණෙනි, එසේ ම යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, විශද වැ ම, දියෙන් නොවැකුණෝම, සෙමින් නොවැකුණෝම, ලෙයින් නොවැකුණෝම, කිසිදු අශූචියෙකින් නොවැකුණෝම, පිරිසිදුවැම නිර්‍මලවැම නික්මෙත්. මේ මෙහි ධර්‍මතා යි.
32. මහණෙනි මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි යමෙකින් බෝසතුන්ගේත් මවගේත් දියකිස කෙරෙත් ද, එසේ වූ එකක් උණුදිය වූත් එකක් සිහිල් දිය වූත් දියදහර දෙකෙක් අහසින් පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
33. මහණෙනි, මේ ධර්‍මතා යි: උපන් නොබෝ වේලෙහි ම දෙව්සේසත් දරුනු ලබත් ම බෝසත්තෙම සම පියෙන් පොළොවැ පිහිටා උතුරු දෙසට මුහුණ ලා සත් පියවරක් යෙති. හැම දිගුන් අනුව බලති. “මම් ලොවට අග්‍ර වෙමි. මම් ලොවට දෙටු වෙමි. මම් ලොවට සෙට වෙමි. මේ අන්තිම ඉපැත්ම ය. දැන් මට මතු භවයෙක් නැතැ” යි උතුම් බස් පවසත්. මේ මෙහි ධර්‍මතා යි.
34. මහණෙනි, මේ ධර්‍මතා යි: යම් විටෙක බෝසත්හු මව කුසින් නික්මෙත් ද, එකල්හි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම පමණ කට නොහැකි මහත් එළියෙක් පහළ වෙයි. (රුක් ඈ කිසිවෙක) ගැටුම් නැති, කිසිවෙකින් නොවැසුණු, අඳුරු වූ, ගනඳුරු ඇති, මේ සා මහත් ඉදුහ ඇති මහත් තෙද ඇති මේ සඳහිරුන් සිය එළියෙන් බබුලුවනු නොහැකි යම් ලෝඇඳිරි නිරයෝ වෙත් ද, එහි දු දෙවියන්ගේ දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ මහත් එළියෙක් පහළ වෙයි. එහි යම් සත් කෙනෙක් උපන්නාහු නම් ඔහු ද ඒ එළියෙන් භවත්නි, මෙහි උපන් අන් සත්හු ද ඇතැ’ යි උනුන් හැඳින ගනිත්. මේ දසදහසක් ලෝදා ද සැලෙයි, වෙසෙසින් සැලෙයි, වෙවුලයි. දේවානුභාවය ඉක්මැ ම අපමණ වූ ම මහත් එළියෙක් ලොවැ පහළ වෙයි. මේ මෙහි ධර්‍මතා යි.
35. මහණෙනි, විපස්සී කුමරුන් උපන් කල්හි ‘දේවයිනි, ඔබට පුතෙක් උපන. දේවයන් වහන්සේ ඔහු දකින සේක්වා’ යි බන්‍ධුමත් රජුට දැන්වූහ. මහණෙනි, බන්‍ධුමත් රජ විපස්සී කුමරුන් දුටුයේ ම ය, දැක නිමිත්තපාඨක බමුණන් කැඳවා
“භවත් නෛමිත්තිකබ්‍රාහ්මණයෝ කුමාරයා දකිත්ව” යි මෙ බස් පැවැසී ය: නෛමිත්තික බ්‍රාහ්මණයෝ විපස්සී කුමරහු දුටුවාහු ම ය. දැක බන්‍ධුමත් රජුට ‘දේවයිනි, සතුටු වන්න, ඔබට මහත් යශස් ඇති පුතෙක් උපන. මහරජුනි, යම්බඳු ඔබගේ කුලයෙහි මෙබඳු පුතෙක් උපන්නේ ද, ඒ ඔබට ලාභ ය. මහරජුනි, ඒ ඔබ විසින් ලබන ලද මනා ලාභයෙකි.’
36. “දේවයිනි, යමෙකින් සමන්‍විත මහපුරිස්හට නිෂ්ඨා (නිෂ්පත්ති) දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද, මේ කුමර එසේ වූ දෙතිස් මහපුරිස්ලකුණින් සමන්‍විත ය. ඉදින් මේ තෙම ගිහිගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනව්හි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ ධර්‍මරාජ වූ සක්විත්තෙක් වෙයි.
චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත්රුවන් කෙනෙක් ඔහුට වෙත්. ඔහුට ශූර වූ වීර්‍ය්‍යප්‍රකෘතික (වීර්‍ය්‍යමය) වූ සතුරු සෙන් මැඩලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත්. හේ සයුර හිම් කොටැති මේ පොළෙව දංඩෙන් තොර වැ සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති ව වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැර කරන ලද කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වෙයි.
37. යමෙකින් සමන්‍විත මහ පුරිස්හට නිෂ්ඨා දෙකෙක් ම වේ ද, අන් නිෂ්ඨාවෙක් නැද්ද - ඉදින් ගිහි ගෙහි වෙසේ නම්, සිවුසමුදුර හිම් කොටැති පොළොවට අධිපති, දිනූ යුද ඇති, දනවුහි තහවුරුබවට පැමිණි, සත්රුවනින් සමන්‍විත, දැහැමි වූ දහම්රජ වූ සක්විත්තෙක් වේ ද, යමකුහට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මණිරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, සත්වනු පරිණායකරත්නය යන මේ සත් රුවන් කෙනෙක් වෙත් ද, යමකුට අභීත වූ වීර්‍ය්‍යප්‍රකෘතික වූ සතුරු සෙන් මැඩ ලනුයෙහි සමත් වූ දහසකට වැඩි පුත්තු වෙත් ද, යමෙකින් සමන්‍විතයෙක් සයුර හිම් කොටැති මේ පෙළොව දංඩෙන් සැතින් තොර වැ දැහැමින් දිනා එහි අධිපති වැ වෙසේ ද, ඉදින් ගිහි ගෙන් නික්මැ පැවිදි වදී නම් ලොවැ බැහැරැ කළ කෙලෙස් සෙවෙනි ඇති රහත් සම්මාසම්බුදුවරයෙක් වේ ද, ඒ කවර දෙතිස් මහපුරිස්ලකුණින් මෙ කුමර සමන්‍විත වේ ද යත්:
දේවයිනි, මෙ කුමර සුපිහිටි පා (එක පැහැර බිම පහස්නා පතුල්) ඇත්තේ ය. දේවයිනි, මෙකුමර සුපිහිටි පා ඇත්තේ ය යන යමෙක් ඇද්ද, මෙ ද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
දේවයිනි, මේ කුමරුහුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම සැටියෙන් පිරිපුන් චක්‍රයෝ හටගත්තාහු වෙත්. දේවයිනි, මෙ කුමරුගේ යැටි පතුල්හි දහසක් අර ඇති, නිම්වළලු සහිත, නැබ සහිත, හැම අයුරින් පිරිපුන් චත්‍රයෝ හටගත්තාහු වෙත් ද, මේත් මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වේ.
දේවයිනි, මෙ කුමර (පිරිපුන්) දික් විළුම් ඇත්තේ ය. දේවයිනි, මේ කුමර දික් විළුම් ඇතියේ වේද, මේද මේ මහපුරිස්හුගේ මහපුරිස් ලකුණෙක් වෙයි.
දේවයිනි, මෙ කුමර (මුලින් දළ අගින් සිහින්) දික් ඇඟිලි ඇත්තේ ය.
දේවයිනි, මෙ කුමර මොළොක් තුරුණු අත්පා ඇතියේ ය ...
දේවයිනි, මෙ කුමර (අත සතර ඇඟිලි පය පස් ඇඟිලි ඒකප්‍රමාණ වැ ඇති බැවින් ජාල කවුළුවක්) බඳු අත් පා ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර උස් (නැඟී පිහිටි) බොලට ඇත්තේ ය ...
දේවයිනි, මේ කුමර ඒණිමුවන්ගේ බඳු කෙංඩා ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර තෙම සිටියේ ම නො නැමි දෙ අත්ලෙන් දෙදණ ස්පර්‍ශය කෙරෙයි, පිරිමදී ...
දේවයිනි, මේ කුමර කෝශයෙහි අවහිත වස්ත්‍රගුහ්‍ය (අංගජාතය) ඇත්තේ ය ...
දේවයිනි, මේ කුමර රන්වන් ය. කසුන්කඳක් බඳු පහන් සිවි පැහැ ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර සියුම් සිවිය ඇත්තේ ය. සිවිය සියුම් බැවින් දූලි හෝ දැලි අඟැ නො ඇලෙයි.
දේවයිනි, මෙ කුමර එකෙකි ලොම් ඇත්තේ ය. ලෝමකූපයන්හි (එක් එක් ලෝමකූපයෙක) එකෙකි ලොම් හටගත්තේ ය.
දේවයිනි, මේ කුමර උඩුඅග් ලොම් ඇත්තේ ය. (මුඹගේ සිරුරැ) නිල් වූ අඳුන්වන් ලොම්හු කොඬොල් අයුරින් කරකැවී දක්‍ෂිණාවර්‍තක ව ඇත ...
දේවයිනි, මෙ කුමර බ්‍රහ්මයාගේ සෙයින් ඍජු වූ ගාත්‍ර ඇත්තේ ය ...
දේවයිනි, මේ කුමර උස් ව පිරුණු මස් ඇති බැවින් (දෙඅත්පිට දෙපාපිට දෙඋර කඳ යන) සත් තන්හි උත්සන්න (පිරිපුන්) මාංශ ඇත්තේ ය.
දේවයිනි, මෙ කුමර සිංහයාගේ පෙරඩකය බඳු පිරිපුන් සිරුර ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර චිත වූ (පිරිපුන්) අන්තරාංස (පිටැ දෙ අංසයන් අතර මැදකොටස) ඇත්තේ ය ...
දේවයිනි, මේ කුමර සම වූ කඳ හා සම වූ අතු ඇති (අයම්විතරින් සම වූ) නුගරුකක් සෙයින් පරිමණ්ඩල වෙයි. මුඹගේ කය යම් පමණ ද, බඹයත් එපමණ ම වෙයි. බඹය යම් පමණ ද, කයත් එපමණ ම වෙ.
දේවයිනි, මේ කුමර සම වට කඳට ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර රසග්‍රාසාග්‍රය. (රසයන්ගෙන් ග්‍රාසයෙහි - රසවිඳීමෙහි ඌර්‍ධවාග්‍ර වූ රසනහර ඇත්තේ ය).
දේවයිනි, මෙ කුමර සිංහයාගේ අධස්තාත් හනුව සෙයින් පිරිපුන් හනු ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර නොඅඩු සතළිස් දත් ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර සම වූ දත් ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර විවරරහිත දත් ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර ඉතා සුදු (දිලියෙන පැහැ ඇති) දත් ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර මොළොක් දික්පුළුල් දිව ඇත්තේ ය ...
දේවයිනි, මෙ කුමර බ්‍රහ්මයාගේ ස්වර බඳු විශුද්ධස්වර ඇත්තේ ය. කුරවිකෙවිල්‍ලන්ගේ බඳු මිහිරි හඬින් බණන සුලු ය ...
දේවයිනි, මෙ කුමර නිල් වුවමනා තන්හි ඉතා පිරිසිදු නිල් පැහැ ඇස් ඇත්තේ ය ...