මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලෝකයේ අන්තානන්තය පණවත් ද, මේ ඒ තෙවෙනි කාරණය යි.
55. සිවුවන කාරණයෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා, කුමක් ඇරැබැ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලොවේ අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ තර්‍ක කරන්නේ වෙයි, විමසන්නේ වෙයි. හේ ඒ ඒ කරුණින් තර්‍ක කළ, විමැසුම්නුවණ පමණින් ම මැන ගන්නා ලද සිය වැටහීම මෙසේ පවසයි: “මේ ලොව අනන්තයක් (කෙළෙවරක්) ඇත්තේත් නො වෙයි. අනන්තයක් නැත්තේත් නො වෙයි. යම් මහණබමුණු කෙනෙක් ‘මේ ලොව අන්තවත් ය, වට යැ’ යි කියත් නම්, ඔවුන්ගේ වචන හිස් ය. යම් මහණබමුණු කෙනෙක් ‘මේ ලොව අන්තයක් නැත්තේ යැ යි, කොණක් නැත්තේ යැ’ යි කීහු නම්, ඔවුන්ගේ ද වචන හිස් ය. යම් මහණබමුණු කෙනෙක් ‘මේ ලොව අන්තවත් ද වේ, අනන්ත ද වේ’ යැ යි කියත් නම්, ඔවුන්ගේ ද වචන හිස් ය. මෙ ලොව අන්තයක් ඇත්තේත් නොවේ ම ය. අන්තයක් නැත්තේත් නො වේ ම ය” යනුයි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තික වූවෝ ලොවේ අන්තානන්තය පණවත් නම්, මේ ඒ සිව්වන කාරණය යි.
56. මහණෙනි, ඒ මහණබමුණෝ අන්තානන්තික දෘෂ්ටි ගත්තෝ මේ සතර කරුණින් ලෝකයේ අන්තානන්තය පණවත්. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අන්තානන්තික දෘෂ්ටිගත්තෝ ලෝකයේ අන්තානන්තය පණවත් නම්, ඒ සියල්ලෝ මෙ කී සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණෙක් එයට නැත.
57. මහණෙනි, “මේ දෘෂ්ටීහු හෝ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ මෙබඳු නිරයාදීවිපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු වූ පරලොව් ඇතියෝ වන්නාහ” යි තථාගත තෙමේ ඒ මේ සතර දෘෂ්ටිගතය ම නන් අයුරින් දනී. තථාගත තෙමේ එය ද දනී. එයින් මත්තෙහි වූ (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්‍ශන සර්‍වඥතාඥාන යන මේ ) සියල්ලත් දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ඒ දැනීම පරාමර්‍ශනය නො කෙරෙයි. එය පරාමර්‍ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (මෙහි සුවපත් වමු යි, අසෝ තැන සුවපත් වමුයි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නානාවිධදෘෂ්ටිගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තත් වූ පරිදි දැන උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
58. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්‍ම කෙනෙකුන් පරෝපදේශ රහිතැ වැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්‍ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ ගැඹුරු වූ සර්‍වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්ක හැකි වූ, සෙස්සවුන් විසින් අවබෝධ නො කට හැකි වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්‍කයෙන් බැස ගත නොහැකි වූ සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්‍මයෝ යි.
59. මහණෙනි, අමරාවික්‍ෂේපක වූ සමහර මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වස්තු සතරෙකින් වාග්වික්‍ෂේපයට අමාරාවික්‍ෂේපයට පැමිණෙත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අමරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ තන්හි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වස්තු සතරෙකින් වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද? යත්:
60. මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මේ කුසලැ’ යි ඇති සැටි නො දනී. ‘මේ අකුසලැ’ යි ඇති සැටි නො දනී. ඔහුට ‘මේ කුසලැ’ යි මම් ඇති සැටි නො දනිමි. ‘මේ අකුසලැ’ යි ඇති සැටි නො දනිමි. මම් වනාහි ‘මේ කුසලැ’ යි ඇති සැටි නො දන්නෙම්, ‘මේ අකුසලැ’ යි ඇති සැටියෙන් නො දන්නෙම්, ‘මේ කුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, ‘මේ අකුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, ඒ පැවසුමෙහි මට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ පටහැණිබවෙක් හෝ වන්නේ ය. යම් කරුණෙක්හි මට ඡන්‍දය හෝ රාගය හෝ ද්වේෂය හෝ පටහැණිබව හෝ වන්නේ නම්, ඒ මගේ ප්‍රකාශය බොරුවෙක් වන්නේ ය. මගේ යම් ප්‍රකාශයෙක් බොරු වන්නේ නම්, එය මට දුකෙක් වන්නේ ය. මට යම් දුකෙක් වන්නේ නම්, එය මට ස්වර්‍ග මෝක්‍ෂ දෙකට බාධක වන්නේ යැ” යි මෙසේ සිතෙක් වෙයි.
මෙසේ හෙතෙම මුසාවාදයට බියෙන් මුසාවාදයට පිළිකුලෙන් ‘මෙය කුසලැ’ යි නොම පවසයි. ‘මෙය අකුසලැ’ යි නො ද පවසයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ ම “මෙසේත් මාගේ පිළිගැන්මෙක් නැත. එසේත් මගේ පිළිගැන්මෙක් නැත, ඒ දෙකින් ම අන් පරිද්දකිනුත් පිළිගැන්මෙක් මට නැත. ‘නො පිළිගනිමි’ යි කියා එකෙකුත් මට නැත. ‘නොම නො පිළිගනිමි’ යි කියා එකෙකුත් මට නැතැ. ‘නො ම නො පිළිගනිමි’ යි කියා එකෙකුත් මට නැතැ” යි වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණේ.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අමාරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙන්නාහු නම්, මේ ඒ පළමු කරුණ යි.
61. මහණෙනි, දෙවෙනි කරුණෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අමරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මේ කුසල් යැ’ යි ඇති සැටියෙන් නො දනියි. ‘මේ අකුසල් යැ’ යි ඇති සැටියෙන් නො දනියි. ඔහුට මෙසේ සිතෙක් වෙයි. “මම් වනාහි ‘මේ කුසල් යැ’ යි ඇති සැටියෙන් නොදනිමි. ‘මේ අකුසල් යැ’ යි ඇති සැටියෙන් නො දනිමි. ‘මේ කුසලැ’ යි ඇතිසැටියෙන් නොදන්නෙම් ‘මේ කුසලැ’ යි පැවසුයෙම් නම්, ‘මේ අකුසලැ’ යි ඇතිසැටියෙන් නො දන්නෙම් ‘මේ අකුසලැ’ යි පැවසුයෙම් නම්, එ කරුණෙහි මට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ ප්‍රතිඝයෙක් හෝ වියැ හැක්කේ ය. යමෙක දී මට ඡන්‍දයෙක් හෝ රාගයෙක් හෝ ද්වේෂයෙක් හෝ ප්‍රතිඝයෙක් හෝ වන්නේ නම්, එය මට උපාදානයෙක් වන්නේ ය. යමෙක් මට උපාදානයෙක් වන්නේ නම්, එය මට දුකෙක් වන්නේ ය. මට යම් දුකෙක් වන්නේ නම්, එය මට ස්වර්‍ගමෝක්‍ෂ දෙකට බාධක වන්නේ ය” යනු යි.
මෙසේ හෙ තෙම උපාදානය කෙරෙන් බියෙන්, උපාදානය කෙරෙන් පිළිකුලින් ‘මෙය කුසලැ’ යි කියා හෝ නො පවසයි. ‘මෙය අකුසලැ’ යි කියා හෝ නො පවසයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දේ ම, “‘මෙසේත් මගේ පිළිගැන්මෙක් නැත. එසේත් මගේ පිළිගැන්මෙක් නැත. අන් සැටියෙකිනුත් මගේ පිළිගැනීමෙක් නැත. ‘එසේ නැතැ’ යි කියාත් මගේ පිළිගැන්මෙක් නැත. ‘එසේ නැත්තේත් නො වේ’ යැ යි කියාත් මගේ පිළිගැන්මෙක් නැතැ’” යි වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙයි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමෙක එල්බැ අමාරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
62. මහණෙනි, තෙවෙනි කාරණයෙහිත් - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ අමරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මේ කුසලැ’ යි ඇති සැටියෙන් නො දනී. ‘මේ අකුසලැ’ යි ඇති සැටියෙන් නො දනී. ඔහුට මෙසේ සිතෙක් වෙයි: “මම් වනාහි මේ කුසලැ යි තත් වූ පරිදි නො දනිමි. ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි නො දනිමි. මම ද ‘මේ කුසලැ’ යි තත් වූ පරිදි නො දන්නෙම්, ‘මේ අකුසලැ’ යි තත් වූ පරිදි නො දන්නෙම්, ‘මේ කුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, ‘මේ අකුසලැ’ යි කියා හෝ පවසන්නෙම් නම්, නුවණැති සියුම් බුද්ධි ඇති මෙරමා හා කළ වාද ඇති අස්ලොමක් ඊයෙන් විද පළා ලන දුනුවාවන් බඳු වූ, තමන්ගේ තියුණු නුවණින් අනුන්ගේ ලබ්ධීන් බිඳ ලන්නවුන් බඳු වැ යම් කෙනෙක් හැසිරෙත් ද, එසේ වූ මහණබමුණු කෙනෙක් ඇත්හ, ඔහු ඒ කුශලාකුශලයෙහි මගේ ලබ්ධිය මා අතින් විචාරන්නාහ. ‘කවර කරුණෙකින් මේ අර්‍ත්‍ථය ගනී දැ?’ යි කරුණු විචාරන්නාහ. මා කරුණු කී කල්හි එහි දොස් දක්වා තර්‍ජනය කරන්නාහ. මම් ඔවුනට කරුණු දක්වා මගේ මතය ස්ඵුට කොට කියන්නට සමත් නො වෙමි. යම් කෙනෙක්නට කරුණු දක්වා ස්වමතස්ථාපනය කරන්නට මම් සමත් නො වෙම් ද, එය මට පිඩාවෙක. මට යම් පීඩාවෙක් වේද , එය මට ස්වර්‍ග මෝක්‍ෂ දෙකට බාධක වන්නේ ය” යනු යි.
මෙසේ හෙතෙම ප්‍රශ්න කරණුවට බියෙන්, ප්‍රශ්න කළ හොත් උත්තර දීමට බැරි වෙතැ’යි ලජ්ජායෙන් ‘මේ කුසලැ’ යි ඍජු වැ (ඉඳුරා) නො ම කියයි. ‘මේ අකුසලැ’ යි කියා හෝ ඍජු ව නො කියයි. ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දේ ම, “මගේ මෙසේත් ගැන්මෙක් නැත. මගේ එසේත් ගැන්මෙක් නැත. අන් පරිද්දෙකිනුත් මගේ ගැන්මෙක් නැත. ‘නැතැ’ යි කියා මගේ පිළිගැන්මෙක් නැත. ‘එසේ නැත්තේත් නැතැ’ යි කියාත් මාගේ පිළිගැන්මෙක් නැතැ” යි වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත්.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමෙක එල්බැ අමාරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරණ ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ තුන්වෙනි කාරණය යි.
63. සතර වැන්නෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ‘අමරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මද නුවණැත්තේ වෙයි, බොහෝ සේ මූඪ වෙයි. හේ නුවණ මඳ බැවින්, බොහෝ සේ මූඪ බැවින්, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දේ ම, වාග් වික්‍ෂේපයට අපර්‍ය්‍යන්ත වික්‍ෂේපයට පැමිණෙයි. ඒ මෙසේ ය: ‘පරලොවක් ඇද්දැ?’ යි මෙසේ මා අතින් විචාරයි නම්, ‘පරලොවෙක් ඇතැ’ යි මෙසේ මට හැඟීමෙක් වී නම්, ‘පරලොවක් ඇතැ’ යි මෙසේ එය තට විසඳන්නෙමි. එහෙත් ‘මට මෙසේත් හැඟීමක් නැත. අන් පරිද්දෙනුත් හැඟීමෙක් නැත. මට හැඟීමෙක් නැත්තේත් නො වෙයි, මට හැඟීමෙක් නැති නො වන්නේත් නො වෙයි. ‘පර ලොවක් නැද්දැ?’ යි විචාරයි නම් ... ‘පර ලොවෙක් ඇත්තේත් නැත්තේත් වේ දැ?’ යි විචාරයි නම් ... ‘පරලොවෙක් නො ම ඇත්තේත් නො ම නැත්තේත් වේ දැ?’ යි විචාරයි නම් ... ‘උප්පාදුක(=මැරී උපදනා) සත්‍වයෝ ඇත්තෝ දැ?’ යි විචාරයි නම් ... ‘උප්පාදුක සත්ත්‍වයෝ නැත්තෝ දැ?’ යි ... ‘උප්පාදුක සත්‍වයෝ ඇත්තෝත් නැත්තෝත් වෙත් දැ?’ යි ... ‘උප්පාදුක සත්ත්‍වයෝ නො ම ඇත්තෝත් නො ම නැත්තෝත් වෙද් දැ?’ යි ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵළ විපාක ඇද්දැ?’යි ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵළ විපාක නැද්දැ?’ යි ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵළ විපාක ඇත්තේත් නැත්තේත් වේ දැ’ යි ... ‘සුකෘතදුෂ්කෘතකර්‍මයන්ගේ ඵළ විපාක නොම ඇත්තේත් නොම නැත්තේ ත් වේ දැ?’ යි ... ‘සත්ත්‍වයා මරණින් මතු වන්නේ දැ?’ යි ... ‘සත්ත්‍වයා මරණින් මතු නො වන්නේ දැ?’ යි ... ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද?’ යි විචාරයි නම්, ‘සත්ත්‍වයා මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ යැ’ යි මට හැඟීමෙක් වේ නම්, ‘සත්ත්‍ව තෙමේ මරණින් මතු නො ම වන්නේත් නො ම නො වන්නේත් වේ යැ’ යි එය තට විසඳන්නෙමි. එහෙත් මෙසේ මට හැඟීමෙක් නැත. එසේත් මට හැඟීමෙක් නැත. අන් ලෙසෙකිනුත් මට හැඟීමෙක් නැත. එසේ නැතැ යි කියාත් මට හැඟීමෙක් නැත. නැත්තේ ම නැතැ යි කියාත් මට හැඟීමෙක් නැත” යනු යි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ අමරාවික්‍ෂේපක වූහු, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්‍ෂේපයට අපර්‍ය්‍යන්ත වික්‍ෂේපයට පැමිණෙත් නම්, මේ ඒ සතර වන කාරණය යි.
64. මහණෙනි, ඒ මහණබමුණෝ අමරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම මේ සතර වස්තුයෙන් වාග්වික්‍ෂේපයට, අපර්‍ය්‍යන්තවික්‍ෂේපයට පැමිණෙත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ අමරාවික්‍ෂේපක වූවෝ, ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලද්දෝ ම වාග්වික්‍ෂේපයට පැමිණෙත් නම්, අපර්‍ය්‍යන්තවික්‍ෂේපයට පැමිණෙත් නම්, ඒ සියල්ලෝ මේ වස්තු සතරින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා වස්තුවෙකින් හෝ වාග් වික්‍ෂේපයට අපර්‍ය්‍යන්තවික්‍ෂේපයට පැමිණෙත්. මෙයින් පිටත් හි වස්තුවෙක් ඔවුනට නැත.
65. මහණෙනි, ‘මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාකගති ඇත්තෝ වන්නාහ, මෙ බඳු පරලොව ඇතියෝ වන්නාහ’ යි තථාගත තෙමේ ඒ කාරණය දනී. තථාගත තෙමේ එය ද එයින් මත්තෙහි දෑ ද දනී. එහෙත් ඒ දැන්ම ‘මම මෙය දනිමි’ යි තෘෂ්ණාමානදෘෂ්ටි වශයෙන් පරාමර්‍ශනය නො කෙරෙයි. එසේ පරාමර්‍ශනය නොකරන ඔහු විසින් පරෝපදේශ නැති වැ (තමා විසින් ම) තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ වෙයි. (‘මෙහි සුවපත් වම්හ’ යි ‘අසෝ තැනැ සුවපත් වම්හ’ යි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නානාවිධ දෘෂ්ටිගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තතු වූ පරිදි දැන ඡන්‍දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්‍ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්‍ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ , සර්‍වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සන් විසින් නො දැක්කැ හැකි වූ, එහෙයින් ම සෙස්සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්‍කයෙන් බැස ගත නොහැකි වූ, සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දතහැකි වූ ඒ ධර්‍මයෝ ය.
66. මහණෙනි, අධිච්චසමුප්පන්න දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු ආත්මය ද ලෝකය ද අකාරණෝත්පන්න කොට (හේතු ප්‍රත්‍යය නැති ව උපන්නවුන් කොට) කරුණු දෙකෙකින් පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ දෙ කරුණෙකින් ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට (ඉබේ පහළ වූවන් කොට) පණවත් ද? යත්:
මහණෙනි, අසංඥසත්‍ව නම් දෙව් කෙනෙක් ඇත්හ. ඒ දෙවියෝ අන් සසංඥ භවයෙක ප්‍රතිසන්‍ධිසංඥාවගේ පහළ වීමෙන් ම ඒ බ්‍රහ්මනිකායෙන් ච්‍යුත වෙත්. ‘එක්තරා සත්ත්‍වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත් බවට පැමිණේ. හේ මේ මිනිසත් බවට ආයේ ම ගිහිගෙයින් නික්මැ පැවිදි බිම් වදී. ගිහි ගෙයින් පැවිදි බිමට වන්නේ ම උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුන පුනා වැර වැඩුම් නිසා සිහිය නිසා සම්‍යඞ්මනස්කාරය නිසා යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි ඒ ප්‍රතිසන්‍ධිසංඥාවගේ උත්පත්තිය සිහි කෙරේ ද, එයින් යට සිහි නො කෙරේද , එසේ වූ චිත්තසමාධියක් ලබයි’ යන යමක් ඇද්ද , මේ කාරණය ඇත්තේ ම ය. (මෙය සිදු වන දැයෙකි.) හෙ තෙමේ “ලෝකය ද ආත්මය ද කාරණ රහිත ව (ඉබේ) පහළ විය. ඒ එසේ මා කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි පෙරැ නො වීමි. ඒ මම් පෙරැ නො ඇති වී දැන් ඇති බවට පිරිනැමුණෙමි” යි මෙසේ කිය යි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, මේ ඒ පළමුවන කාරණය යි.
67. දෙවෙනි කරුණෙහි - භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අධිච්චසමුප්පන්න දෘෂ්ටි ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්‍ක විතර්‍ක කරන්නේ වෙයි. අයෝනිසෝමනස්කාරයෙන් විමසන්නේ වෙයි. හේ තර්‍ක කොට ගන්නා ලද, නොනුවණින් විමසා ගැන්ම අනුවැ පැවති, ‘ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න ය’ යන තමාගේ හුදු වැටහීම මෙසේ කියයි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා යමක් ඇරැබැ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
68. මහණෙනි, ඒ මහණබමුණෝ අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ මේ දෙ කරුණින් ම ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත්.
මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අකාරණෝත්පන්න කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ දෙ කරුණින් ම හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ එසේ පණවත්. මේ දෙකින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.
69. මහණෙනි, ‘මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙ සේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු නිරයාදී විපාකගති ඇත්තෝ වන්නාහ. මෙබඳු වූ පරලොව ඇතියෝ වන්නාහ’ යි තථාගත තෙමේ මේ දෙවැදෑරුම් දෘෂ්ටිගතය ම නන් අයුරින් දනී. තථාගත තෙමේ එය ද දනී ... තථාගත බුදුහුගේ ඇති සැටියෙන් කියන්නට තැත් කරන්නෝ යමෙකින් කියන්නෝ නම් ... ඒ ධර්‍මයෝ වනාහි මොහු වෙති.
70. මහණෙනි, ඒ මහණබමුණෝ පුර්‍වාන්තකල්පික වූවෝ, පූර්‍වාන්තය අනු වැ පහළ කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ මේ කරුණු අටළොසින් පූර්‍වාන්තය ඇරැබැ අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන (දර්‍ශන වාද හඟවන වචන) කියත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ පුර්‍වාන්තකල්පික වූවෝ, පූර්‍වාන්තය අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇත්තෝ පූර්‍වාන්තය ඇරැබැ අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන කියත් ද, ඒ සියල්ලෝ මේ කරුණු අටළොසින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ කියන්නාහ. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.
71. මහණෙනි, “මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු නිරයාදී විපාකගති ඇතියෝ වන්නාහ, මෙබඳු පරාලොව ඇතියෝ වන්නාහ” යි මේ අටොළොස් දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වූ සියල්ලත් දනී. ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පරාමර්‍ශනය නො කෙරෙයි. එය පරාමර්‍ශනය නො කරන ඒ තථාගත බුදුහු විසින් පරෝපදේශ රහිත වැ (තමා විසින් ම) කෙලෙසුන්ගේ නිවීම දන්නා ලද්දේ ය. (යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නන් වැදෑරුම් දෘෂ්ටිගහනයට වදිත් නම්) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නික්මීම ද තත් වූ පරිදි දැන උපාදාන රහිත වැ මිදුණේ වේ.
මහණෙනි, තථාගත තෙමේ යම් ධර්‍ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට පවසා නම්, යම් ධර්‍ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තතනන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ, සර්‍වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්කැ හැකි වූ, සෙස්සන්වුන් විසින් අවබෝධ නො කට හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වු, තර්‍කයෙන් බැස ගත නො හැකි වූ , සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්‍මයෝ ය.
72. මහණෙනි, අපරාන්තකල්පික වු, අනාගත ස්කන්‍ධපරම්පරාව තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් වරදවා කල්පනා කොට ගත්, ඒ අනාගත ස්කන්‍ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇති, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු අනාගත ස්කන්‍ධපරම්පරා කොටස ඇරැබැ කරුණු සුසාළිසෙකින් නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශක වචන කියත්. ඒ භවත් මහණබමුණෝත් කුමක් නිසා කිමෙකැ එල්බැ අපරාන්තකල්පික වූවෝ, අපරාන්තය අනුවැ ගිය දෘෂ්ටි ඇත්තෝ සුසාලිස් කරුණෙකින් අපරාන්තය ඇරැබැ නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශන වචන කියත් ද? යත්:
73. මහණෙනි, උද්ධමාඝාතනික වූ (‘මරණින් මතු ආත්මය ඇතැ’යි කියන) ‘ඒ ආත්මය සංඥා ඇත්තෙකැ’යි දෘෂ්ටි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු මරණින් මත්තෙහි වූ ආත්මය සංඥා ඇත්තක්හු කොට කරුණු සොළොසෙකින් පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් අරැබැ ‘මරණින් මත්තෙහි ආත්මය සංඥියැ’ යි දෘෂ්ටි ඇත්තෝ වස්තු සොළොසෙකින් මරණින් මත්තෙහි ආත්මය සංඥාවත් කොට පණවත් ද? යත්:
කෙනෙක් ‘ආත්මය රූපවත් ය, මරණින් මතු නිත්‍ය ය, සංඥා ඇත්තේ යැ’ යි පණවත්. ඇතැම් කෙනෙක් ‘ආත්මය රූපවත් නොවේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා ඇත්තෙකැ’ යි පණවත්. අන් කෙනෙක් ‘ආත්මය රූපීත් වේ, අරූපීත් වේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය රූපයක් ඇත්තෙක් ද නොවේ, රූපයක් නැත්තෙක් ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. තවත් කෙනෙක් ‘ආත්මය (එය පැතිරැ ඇති ප්‍රදේශ වශයෙන්) කෙළවරක් ඇත්තෙක, එහෙත් මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. තවත් කෙනෙක් ‘ආත්මය (පැතිරැ පැවැති ප්‍රදේශ වශයෙන්) කෙළවරක් නැත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සංඥා සහිත යැ’ යි පණවත්. අන් කෙනෙක් ‘ආත්මය (උඩු යැටි දෙදිගින්) සීමාසහිත ය, සරසින් සීමාරහිත ය, මරණින් මතු නිත්‍ය ය සසංඥයැ’ යි පණවත්. අන් කෙනෙක් ‘ආත්මය (ප්‍රදේශ වශයෙන්) සීමාවක් ඇත්තෙක් ද නොවේ, නැත්තෙක් ද නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය ඒකාකාර සංඥා ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය නානාවිධ සංඥා ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය ප්‍රමාණ වශයෙන් නොමහත් සංඥා ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය අප්‍රමාණසංඥා ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’යි පණවත්. ඇතැම්හු ‘ආත්මය ඒකාන්ත සැප ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. ඇතැම්හු ‘ආත්මය ඒකාන්ත දුක් ඇත්තේ ය, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහර කෙනෙක් ‘ආත්මය සුව ද දුක් ද ඇත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්. සමහරු ‘ආත්මය සුව ද දුක් ද යන දෙක ම නැත්තෙක, මරණින් මතු නිත්‍ය ය, සසංඥ යැ’ යි පණවත්.
74. මහණෙනි, ‘මරණින් මතු ආත්මය ඇතැයි එය සසංඥ යැ’ යි දෘෂ්ටි ගත් ඒ මහණබමුණෝ මේ සොළොස් කරුණින් මරණින් මතු සංඥා සහිත වූ ආත්මයක් පණවත්.
මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මරණින් මතු සංඥා සහිත ආත්මයක් ඇතැ’ යි දෘෂ්ටි ගත්තෝ සංඥා ඇති ආත්මයක් පණවත් ද, ඒ සියල්ලෝ ම මේ වස්තු සොළසින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා වස්තුවෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.
75. මහණෙනි, ‘මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාක ගති ඇත්තෝ, මෙබඳු පරලොව ඇත්තෝ වන්නාහ’ යි ඒ කාරණය තථාගත තෙමේ දනී. තථාගත තෙමේ එයත් දනී, එයින් වැඩි තරම් දෑත් දනී. හේ ඒ තමාගේ දැන්ම ද තෘෂ්ණාදීන් දැඩි කොට නො ගනී. එසේ දැඩි කොට නොගන්නා ඔහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (අන් තොටුවෝ යම් සැප වේදනා පතා දෘෂ්ටි ගනිත් නම් ඔවුන්ගේ ඒ) වේදනාවන්ගේ හට ගැන්ම ද විනාශය ද ආස්වාදය ද ආදීනවය ද නිඃශරණය ද තත් වූ පරිදි දැනීමෙන් ඒ තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වෙයි.
76. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්‍ම කෙනෙකුන් තෙමේ ම දැන පසක් කොට පවසා නම්, යම් ධර්‍ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණය මොනවට කියන්නට තැත් කරනුවෝ කියන්නෝ නම්, මේ ඒ ගැඹුරු වූ දූර්දර්‍ශ වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්‍කාවචර වූ නිපුණ වූ පණ්ඩිතවෙද්‍ය වූ ධර්‍මයෝ ය.
දෙවෙනි බණවර නිමියේ ය.
77. මහණෙනි, උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇති (මරණින් මතු ආත්මය අසංඥී යැ යි පණවන) ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු මරණින් පසු සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත්. ඒ භවත්හු කුමක් නිසා කුමක් ඇරැබැ උද්ධමාඝාතනික අසංඤ්ඤීවාද ඇත්තෝ මරණින් පසු සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද? යත්:
78. මහණෙනි, ඇතැම්හු “ආත්මය රූපවත් ය, මරණින් පසු නො බිඳෙන්නේ ය හෙවත් නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. ඇතැම් කෙනෙක් “ආත්මය අරූපී ය, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. ඇතැම්හු “ආත්මය රූපවත් ද රූපරහිත ද වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී ය” යි පණවත්. ඇතැම්හු “ආත්මය රූපවත් ද නො වේ, අරූපී ද නො වේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තයක් ඇත්තේ වෙයි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තරහිතය යැ යි, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තවත් ද, අනන්ත ද වේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥී යැ” යි පණවත්. සමහරු “ආත්මය අන්තවත් ද නො වේ, අනන්ත ද නො වේ, මරණින් පසු නිත්‍ය ය, අසංඥීයැ” යි පණවත්.
79. මහණෙනි, උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇති ඒ මහණබමුණෝ මේ අට කරුණින් මරණින් මතු සංඥා රහිත අත්මයක් පණවත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඤ්ඤීවාද ඇත්තෝ මරණින් මතු අසංඥී ආත්මයක් පණවන්නෝ නම්, ඒ සියල්ලෝ ම මේ අට කරුණකින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත් කරුණෙක් ඔවුනට නැත.
80. මහණෙනි, තථාගත බුදුහුගේ ඇති පරිදිම වූ ගුණය මොනවට කියනු කැමැත්තෝ කියන්නාහු නම්, ... මේ ඒ ගැඹුරු වූ දුර්දර්‍ශ වූ ... කරුණු යි.
81. මහණෙනි, උද්ධමාඝාතනික නේවසඤ්ඤිනාසඤ්ඤී වාද ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් මරණින් මතු සංඥා නොමැති වූත් අසංඥ නොවූත් ආත්මයක් අට කරුණෙකින් පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා, කුමක් අරමුණු කොට, උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු අසංඥත් නො වූ සසංඥත් නො වූ ආත්මයක් අට කරුණෙකින් පණවත් ද? යත්:
82. “ආත්මය රූපවත් වේ, මරණින් මතු නිත්‍ය ය, අසංඥත් නො ම වේ, සසංඥත් නො වේ යැ” යි සමහරු පණවත්. සමහරු “ආත්මය අරූපී වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො වේ යැ” යි පණවත්. සමහරු “ආත්මය රූපීත් අරූපීත් වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥත් අසංඥත් නො ම වේ යැ” යි පණවත්. සමහරු “ආත්මය රූපී ම ද අරූපී ම ද නො වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ම ද අසංඥ ම ද නොවේ යැ” යි පණවත්. සමහරු “ආත්මය සසීම (සීමාසහිත) වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො ම වේ යැ” යි පණවති. සමහරු “ආත්මය සසීම ද අසීම ද නො වේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥ ද අසංඥ ද නො ම වේ යැ” යි පණවත්. සමහරු “ආත්මය සීමාසහිත මත් නො වේ, සීමා රහිත මත් නොවේ, මරණින් මතු නිත්‍ය ය, සසංඥත් අසංඥත් නො ම වේ” යැ යි පණවත්.
83. මහණෙනි, උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇති, ඒ මහණබමුණෝ මේ අට කරුණකින් මරණින් මතු සසංඥ ද අසංඥ ද නො වූ ආත්මයක් පණවත්. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මතු සංඥා සහිත ම නො වූත් සංඥා රහිත ද නො වූත් ආත්මයක් පණවන්නෝ නම්, ඒ සියල්ලෝ මේ අට කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණක් ඔවුනට නැත.
84. මහණෙනි, ඒ කාරණය ... තථාගත තෙමේ දනී. මහණෙනි, යම් කෙනෙක් තථාගත බුදුහුගේ ඇති සැටියෙන් ම වූ ගුණය කියනු කැමැත්තෝ කියන්නාහු නම් ... මේ ඒ ගැඹුරු වූ දූර්දර්ශී වූ ... කරුණු යි.
85. මහණෙනි, උච්ඡේදදෘෂ්ටික වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු විද්‍යාමාන වූ සත්ත්‍වයාගේ මුල්සුන් වීම, විනාශය, භව විගමය, කරුණු සතෙකින් පණවත්. ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් අරමුණු කොට උච්ඡේදදෘෂ්ටික වූවෝ ඇති සත්හුගේ සීඳීම්, වැනැස්ම, නො පැවැත්මට පැමිණීම සත් කරුණෙක් පණවත් ද? යත්:
86. මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තේ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වේ. (කෙසේ ද යත්:) “පින්වත, යම් හෙයකින් මේ ආත්මභාවය රූපවත් ද, සතර මහා භූතයන්ගෙන් නිපන්නේ වේ ද, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් හටගත්තේ වේද, කරජ කය බිඳීමෙන් මරණින් මතු සිඳේ ද, වැනසේ ද, මරණින් මත්තෙහි නොවේ ද, පින්වත, මේ පමණෙකින් ම මේ ආත්මභාවය මුළුමනින් ම සිඳී ගියේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
87. ඔහුට අනෙකෙක් මෙසේ කිය යි: “භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැතැ යි නො කියමි. භවත මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නොවේ. භවත රූපී වූ, කාමාවචර දෙව්ලෝ සයට ඇතුළත්, කබලීකාර ආහාර වළඳන, දිව්‍ය වූ අන් ආත්මයෙක් ඇත. තෝ එය නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, එකී දිව්‍යාත්මය යම් හෙයෙකින් කය බිඳීමෙන් මරණින් මතු සිඳී යන්නේ ද, වැනසෙන්නේ ද, මරණින් මතු නොවන්නේ ද, මෙ පමණින් ම මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
88. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. භවත, මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නො වෙයි. භවත, රූපී වූ (ධ්‍යාන) සිතින් උපන්, සියලු අඟපසඟ ඇති, නො පිරිහුණු ඉඳුරන් ඇති, දිව්‍ය වූ අන් ආත්මයෙක් ඇත්තේ ම ය. එය තෝ නො දනී. නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය යම් හෙයෙකින් ඒ කය බිඳීමෙන් සිඳීයේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භවත, එතෙකින් ම මේ ආත්මය මුළුමනින් සුන් වූයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
89. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. එතෙකුදු වුවත් මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නො වේ. භවත, හැම ලෙසින් ම රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා නිරුද්ධ වීමෙන්, නානාත්‍වසංඥා නො මෙනෙහි කිරීමෙන්, ‘අහස අනන්ත යැ’ යි ධ්‍යාන වඩා ආකාශානන්තායතන භූමියට පැමිණි අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දනී, නො දකී. එය මම දනිමි, දකිමි. භවත, එ කී ආත්මය වනාහි ඒ (නාම) කය බිඳීමෙන් සිඳී යේ, වැනසේ, මරණින් මතු නො වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, පණවත්.
90. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය, එය නැත්තේ යැ යි නො කියමි. භවත එතෙකුදු වුවත් මේ ආත්මය මෙතෙකින් මුල්සුන් නො වෙයි. භවත, හැම ලෙසින් ම අනන්ත ආකාශ අරමුණ ඉක්මැ ‘විඥානය අනන්තයැ’ යි සමාධි වඩා විඥානානන්තායතනභූමියට පැමිණැ සිටින අන් ආත්මයෙක් ඇත. තෝ එය නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, එකී ආත්මය යම් හෙයකින් ඒ (නාම) කය බිඳී යෑමෙන් මුල් සිඳී යේ ද, වැනසේ ද, මරණින් මත්තෙහි නො වේ ද, භවත, මෙතෙකින් මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
91. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය, එය නැත්තේ යැ”යි නො කියමි. “භවත, එතෙකුදු වුවත් ඒ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නො වේ. භවත, හැම ලෙසින් විඥානානන්තායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’ යි සමාධි වඩා ආකිඤ්චන්‍යායතනභූමියට පැමිණ සිටින අන්‍ය ආත්මයෙක් ඇත. එය තෝ නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය ඒ නාම කය බිඳීමෙන් සිඳෙන බැවින්, වැනැසෙන බැවින්, මරණින් මත්තෙහි නො වන බැවින් භවත, මෙතෙකින් මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්.
92. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන ඒ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. වැලි දු භවත, මේ ආත්මය මෙතෙකින් මුළුමනින් සුන් නොවේ. භවත, හැම පරිද්දෙන් ආකිංචන්‍යායතනය ඉක්මැ, ‘මෙය ශාන්තය මෙය උතුමැ’ යි සමාධි වඩා නේවසංඥානාසංඥාභූමියට පැමිණ සිටින අන්‍ය වූ ආත්මයෙක් ඇත්තේ ම ය. එය තෝ නො දනී, නො දකී. එය මම් දනිමි, දකිමි. භවත, ඒ ආත්මය ඒ නාම කය බිඳීමෙන් සිඳී යන බැවින්, වැනසෙන බැවින්, මරණින් මත්තෙහි නොවන බැවින් මෙතෙකින් ම, භවත, මේ ආත්මය මුළුමනින් සුන් වේ” යනු යි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, පණවත්.
93. මහණෙනි, ඒ මහණබමුණෝ උච්ඡේදදෘෂ්ටි ඇත්තෝ මේ කරුණු සතෙකින් විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය පණවත්. මහණෙනි, යම් උච්ඡේදදෘෂ්ටික මහණබමුණු කෙනෙක් විද්‍යාමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, විභවය පණවත් නම් ඒ සියල්ලෝ මේ කරුණු සතින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත කරුණෙක් ඔවුනට නැත.
94. මහණෙනි, ඒ කාරණය තථාගත තෙමේ දනී ... තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ කියන්නාහු නම්, මේ ඒ ගැඹුරු වූ දූර්දර්‍ශ වූ … කරුණු යි.
95. මහණෙනි, දෘෂ්ටධර්‍මනිර්‍වාණදෘෂ්ටි ගත් සමහර මහණබමුණු කෙනෙක් ඇත්හ. ඔහු විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය කරුණු පසෙකින් පණවත්. ඒ භවත් මහණ බමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ දෘෂ්ටධර්‍මනිර්‍වාණදෘෂ්ටි ගත්තෝ විද්‍යමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය කරුණු පසෙකින් පණවත් ද? යත්:
96. මහණෙනි මෙහි එක්තරා මහණෙක් හෝ බුමුණෙක් හෝ මෙබඳු වාද ඇත්තෝ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි. (කෙසේ ද? යත්:) “භවත, යම් හෙයකින් මේ අත්බව පස්කම්කොටසින් සමර්පිත වැ (මොනවට පිහිටා, ඇලී), සමන්‍විත වැ ඉඳුරන් පිණවා ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ වෙයි” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයා පිළිබඳ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
97. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැතැයි නො කියමි. එතෙකුදු වුවත්, භවත, එය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණයට පැමිණියේ නො වෙයි. ඒ කවර හෙයින? යත්: භවත, පස්කම්හු වූ කලී අනිත්‍ය හ, දුක් හ, පෙරැළෙන සුලු හ. ඔවුන්ගේ පෙරැළීමෙන්, අන් පරිද්දෙකින් වීමෙන් හෝ හැඬුම්, වැලැපුම්, දුක් දොම්නස්, සිත තුළැ දැඩි පෙළුම් උපදී. භවත, යම් විටෙක මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව ම අකුසල් දහමුන්ගෙන් වෙන ව ම, විතර්‍කසහිත විචාරසහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති ප්‍රථමධ්‍යානයට ලැබ වෙසේ ද, භවත, මේ පමණෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
98. ඔහුට අනෙකෙක් මෙසේ කිය යි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. එතෙකුදු වුවත්, භවත, මේ ආත්ම ය, මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබූයේ නො වෙයි. ඒ කවර හෙයින? යත්: යම් බඳු වූ ම විතර්‍කයෙක් විචාරයෙක් වේද , එයින් මෙය ඖදාරික වැ වැටහෙයි. එහෙත් යම් විටෙක මේ ආත්මය විතර්‍කවිචාරයන්ගේ සංසිඳීමෙන් සිය සිත්සතන් වෙසෙසින් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්‍ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති දෙවෙනි ධ්‍යානය ලැබ වෙසේ ද, භවත, මෙ පමණකින් මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
99. ඔහුට අනෙකේ මෙසේ කිය යි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. එය නැත්තේ නො වේ. භවත, එතෙකුදු වුවත් මේ ආත්ම ය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ නොවේ ඒ කවර හෙයින? යත්: එහි යම් ප්‍රීතියෙක් සිතේ ඉල්පුණු බවෙක් වේද, මෙයින් මේ දෙවෙනි ධ්‍යානය ඖදාරික වැ (දළ වැ) වැටහෙයි. භවත, යම් විටෙක වනාහි මේ ආත්මය ප්‍රීතියෙනුත් වෙන් වීමෙන් උපේක්‍ෂාව ඇත්තෙක් වී ද, සිහි ද ඇත්තේ, නුවණින් දක්නේ වෙසේ ද, සුවයත් තම කයින් විඳී ද, ආර්‍ය්‍යයෝ යමක් හේතු කොට ගෙන ඔහුට ‘මේ තෙමේ උපේක්‍ෂා ඇත්තේ ය. සිහි ඇත්තේ ය, සුවවිසුම් ඇත්තේ යැ’ යි කියත් නම්, ඒ තුන්වන ධ්‍යානය ලැබ වෙසේ ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරම දෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
100. ඔහුට අනෙකෙක් මෙසේ කියයි: “භවත, තා කියන මේ ආත්මය ඇත්තේ ම ය. මෙය නැතැයි නො කියමි. එහෙත්, භවත, මේ ආත්මය මෙතෙකින් පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ නො වේ. ඒ කවර හෙයින? යත්: එහි ‘සුව’ යැ යි (ධ්‍යානයෙන් නැගී සිටියහුගේ ඒ සුවයෙහි) සිතේ නැමුණුබවෙක් වේ ද, මෙයින් මේ ධ්‍යාන ඖදාරික වැ (දළ වැ) වැටහේ. භවත, යම් විටෙක වනාහි මේ ආත්මය සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමුවෙන් ම (කලින් ම) සොම්නස් දොම්නස් දුරු වී යෑමෙන්, දුක් නැති සුව නැති උපේක්‍ෂාස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිව්වන ධ්‍යානය ලැබ වෙසේ ද, භවත, මෙතෙකින් ම මේ ආත්මය පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය ලැබුයේ වේ” යනුයි. මෙසේ සමහරු විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්.
101. මහණෙනි, ඒ මහණබමුණෝ දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද ඇත්තෝ මේ කරුණු පසින් විද්‍යාමාන සත්ත්‍වයෝ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත්. මහණෙනි, යම් මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පණවත් නම්, ඒ සියල්ලෝ මේ කරුණු පසින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය පණවත්. මෙයින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.
102. මහණෙනි, ... ඒ කරුණ තථාගත තෙමේ දනී … යම් කෙනෙක් තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ගුණ මොනොවට කියනු කැමැත්තෝ කියන්නාහු නම්, මේ ඒ ගම්භීර වූ දූර්දර්ශී වූ … කරුණුයි.
103. මහණෙනි, ඒ මහණබමුණෝ අපරාන්තකල්පික වූවෝ (තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් අනාගත ස්කන්‍ධ කොටස කල්පනා කොට ගත් ලබ්ධි ඇත්තෝ), අපරාන්තය (අනාගත ස්කන්‍ධ කොටස) අනුව ඇති කැරැ ගත් දෘෂ්ටි ඇත්තෝ මේ කරුණු සූසාළිසෙකින් අනාගත ස්කන්‍ධ කොටස අරමුණු කොට අනේකවිධ අධ්‍යුක්තිපද (දර්‍ශනවාදප්‍රකාශකවචන) කියත්. මහණෙනි, යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපරාන්තකල්පික වූවෝ අපරාන්තානුදෘෂ්ටික වූවෝ අපරාන්තය (අනාගත ස්කන්‍ධ කොටස) අරමුණු කොට දර්‍ශනවාදප්‍රකාශක වචන කියත් නම්, ඔහු හැම මේ කරුණු සූසාළිසෙන් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එසේ කියත්. මෙයින් පිටත්හි කරුණෙක් ඔවුනට නැත.
104. මහණෙනි, එය තථාගත තෙමේ දනී ... යම් කෙනෙක් තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ කියන්නාහු නම්, මේ ඒ ගැඹුරු වූ දුක සේ දැක්ක යුතු වූ … කරුණුයි.
105. මහණෙනි, පුර්‍වාන්තකල්පික වූ ද අපරාන්තකල්පික වූ ද ඒ මහණබමුණෝ අතීත ස්කන්‍ධ පරම්පරා කොටස ද අනාගත ස්කන්‍ධ පරම්පරා කොටස ද අරමුණු කොට මේ කරුණු දෙසැටින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන (දෘෂ්ටිවාද හඟවන වචන) කියාපාත්. මහණෙනි, පුර්‍වාන්තාපරාන්තානුදෘෂ්ටික ද වූ යම් මහණබමුණු කෙනෙක් පූර්‍වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් නම්, ඒ සියල්ලෝ ම මේ දෙසැට කරුණින් ම හෝ මොවුනතුරෙන් එක්තරා කරුණෙකින් හෝ එය කියා පාත්. මෙයින් බැහැරැ වූ කරුණෙක් ඔවුනට නැත.
106. මහණෙනි, ‘මේ දෘෂ්ටිස්ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ මෙසේ පරාමෘෂ්ට වූවෝ මෙ බඳු (පරලො වැ) ගති ඇත්යෝ වන්නාහ. මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ හැ යි මේ කාරණය තථාගත තෙමේ දනී. එය ද තථාගත තෙමේ දනී. එයින් වැඩි දෑ ද දනී. ඒ දැන්ම ද තෘෂ්ණාදෘෂ්ටිවශයෙන් පරාමර්‍ශනය නො කෙරෙයි. එසේ පරාමර්‍ශනය නොකරන ඔහු විසින් පරෝපදේශ රහිත වැ තමා කෙරෙහි ම නිර්‍වාණය දන්නා ලද්දේ ය. වේදනාවන්ගේ ඉපැද් ම ද වැනැස්ම ද රසය ද දොස ද නික්මුම ද තතු වූ පරිදි දැන තථාගත තෙමේ උපාදාන රහිත වැ මිදුණේ වේ.
107. මහණෙනි, තථාගත තෙමේ යම් දහම් කෙනෙකුන් තෙමේ ම වෙසෙසා දැන පසක් කොට ලොවට පවසා ද, යම් දහම් කෙනෙකුන් කරණකොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි ම වූ ගුණ මොනොවට කියනු කැමැතියෝ කියන්නාහු ද, මොහු වනාහි ගැඹුරු වූ, දුක සේ දැක්ක යුතු වූ, දුක සේ අනුබෝධ කටයුතු වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්‍කයෙන් බැස ගත නො හෙන, සියුම් වූ, නුවණැත්තන් විසින් දත යුතු වූ ඒ ධර්‍මයෝ ය.
108. මහණෙනි, එහි (ඒ දෘෂ්ටිවාදීන් අතුරෙහි) යම් මහණ බමුණු කෙනෙක් ශාශ්වතවාද ඇත්තෝ කරුණු සතරෙකින් ආත්මය ද ලෝකය ද ශාශ්වත කොට පණවත් නම්, එය ද තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාවට පැමිණි (තෘෂ්ණායෙන් සමන්‍විත) ඒ දෘෂ්ටිගතිකයන්ගේ (දෘෂ්ටිතෘෂ්ණා හුලින් විදුනා ලද බැවින් වූ) පරිත්‍රාසයෙක්, චංචල බවෙක් ම ය.
109. මහණෙනි, එහි ඒකත්‍යශාශ්වතික වූ ද ඒකත්‍යඅශාශ්වතික ද වූ යම් මහණබමුණු කෙනෙක් කරුණු සතරෙකින් ආත්මය ද ලෝකය ද එක් කොටසක් ශාශ්වතත් එක් කොටසක් අශාශ්වතත් කොට පණවත් නම්, එය ද (එහි තතු) නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැලීමෙක් ම ය.
110. මහණෙනි, එහි යම් මහණ බමුණු කෙනෙකු තුමූ අන්තානන්තික වාද ඇත්තෝ ලොව අන්තවත් බව හෝ අනන්තවත්බව සතර කරුණකින් පණවත් ද, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක්, තෘෂ්ණාවට පැමිණි ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැලෙනබවෙක් ම ය.
111. මහණෙනි, හි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්‍ෂේපක වාද ඇත්තෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ සතර කරුණෙකින් වාග් වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ විඳීමෙක්, තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.
112. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නවාද ඇත්තෝ ආත්මයත් ලෝකයත් අධිච්චසමුප්පන්න යැ (හේතු රහිත ව උපනැ) යි කරුණු දෙකෙකින් පණවත් ද, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ මහණබමුණන්ගේ දෘෂ්ටිවේදනාවෙක්, තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.
113. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පුර්‍වාන්තකල්පික වූවෝ, පුර්‍වාන්තානුදෘෂ්ටික වූවෝ අටළොස් කරුණෙකින් අතීතස්කන්‍ධපරම්පරා කොටස අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියාපාත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සසලබවෙක් ම ය.
114. මහණෙනි, යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ මරණින් මතු සංඥී වූ ආත්මයක් සොළොස් කරුණෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්‍දනයෙක් ම ය.
115. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසඤ්ඤීවාද ඇත්තෝ කරුණු අටෙකින් මරණින් මත්තෙහි සංඥාරහිත ආත්මයක් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, සැසැලුමෙක් ම ය.
116. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ කරුණු අටෙකින් සංඥී නො ම වූත් අසංඥී නො ම වූත් ආත්මයක් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්‍දනයෙක් ම ය.
117. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාදී වූවෝ විද්‍යාමාන වූ සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය, කරුණු සතෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණාගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්‍දනයෙක් ම ය.
118. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටනිර්‍වාණය කරුණු පසෙකින් පණවත් ද, එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචලතාවෙක් ම ය.
119. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අපරාන්තකල්පික වූවෝ, අපරාන්තානුදෘෂ්ටික වූවෝ කරුණු සූසාළිසෙකින් අනාගත ස්කන්‍ධ පරම්පරා කොටස ඇරැබැ අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද , එයත් එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණබමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, චංචල බවෙක් ම ය.
120. මහණෙනි, එහි පූර්‍වාන්තකල්පික වූ ද, අපරාන්තකල්පික වූ ද, පුර්‍වාන්තාපරාන්තකල්පික වූ ද, පූර්‍වාන්තාපරාන්තදෘෂ්ටික වූ ද, යම් මහණබමුණු කෙනෙක් දෙසැටක් කරුණින් පූර්‍වාන්ත අපරාන්ත දෙක අරමුණු කොට අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් නම්, එය ද එහි තතු නොදන්නා නොදක්නා ඒ භවත් මහණ බමුණන්ගේ වේදනාවෙක් ම ය. තෘෂ්ණෝපගත වූ ඔවුන්ගේ පරිත්‍රාසයෙක්, විෂ්පන්‍දනයෙක් ම ය.
121. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ශාශ්වතදෘෂ්ටි ඇත්තෝ සතර කරුණෙකින් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, (එසේ පැණවීමට කරුණු වු) ඒ (දෘෂ්ට්‍යාස්වාද) වේදනාව ද (ෂඩායතනයන් නිසා සිතැ උපදනා) ස්පර්‍ශයාගේ ප්‍රත්‍යයයෙන් වේ.
122. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට කරුණු සතරෙකින් පණවත් නම්, එයට කරුණු වූ ඒ වේදනා ව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
123. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අන්තානන්තිකවාද ඇත්තෝ ලෝකය පිළිබඳ සසීම අසීම බව කරුණු සතරෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
124. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අමරාවික්‍ෂේපක වූවෝ ඒ ඒ කරුණෙහි ප්‍රශ්න විචාරන ලදුවෝ ම සතර කරුණෙකින් වාග්වික්‍ෂේපයට අමරාවික්‍ෂේපයට පැමිණෙත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් ම වේ.
125. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් අධිච්චසමුප්පන්නික වූවෝ ආත්මයත් ලෝකයත් ඉබේ ම පහළ වූවන් කොට කරුණු දෙකෙකින් පණවත් ද, එසේ පැණැවීමට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
126. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් පුර්‍වාන්තකල්පික වූවෝ පූර්‍වාන්තානුදෘෂ්ටික වූවෝ පූර්‍වාන්තය අරමුණු කොට අටළොස් කරුණෙකින් අනේකවිධ දෘෂ්ටිප්‍රකාශක වචන කියා පාත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
127. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික සඤ්ඤීවාද ඇත්තෝ, මරණින් මත්තෙහි සොළොස් කරුණෙකින් සංඥාවත් වූ ආත්මය පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
128. මහණෙනි එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික අසංඥීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සංඥාරහිත ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
129. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උද්ධමාඝාතනික නේවසඤ්ඤීනාසඤ්ඤීවාද ඇත්තෝ මරණින් මත්තෙහි සංඥීත් නො ම වූ අසංඥීත් නො ම වූ ආත්මයක් කරුණු අටෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
130. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් උච්ඡේදවාද ඇත්තෝ විද්‍යමාන සත්ත්‍වයාගේ උච්ඡේදය, විනාශය, භවවිගමය කරුණු සතෙකින් පණවත් ද , එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.
131. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් දෘෂ්ටධර්‍මනිර්‍වාණවාද ඇත්තෝ විද්‍යාමාන සත්ත්‍වයාගේ පරමදෘෂ්ටධර්‍මනිර්‍වාණය පස් කරුණෙකින් පණවත් ද, එයට කරුණු වූ දෘෂ්ටිවේදනාව ද ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේ.