[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො ම වන්නේ ය.”
30. [භාග්‍යවත්හු:] “එ පරිද්දෙන් ම වාසෙට්ඨය, මේ ආර්‍ය්‍යවිනයයෙහි මේ පස් නීවරණ කෙනෙක් ආවරණ යැ යි ද කියනු ලැබෙත්. නීවරණ යැ යි ද කියනු ලැබෙත්. අවනාහ (යටිහුරු කොට බැඳීම) යැ යි ද කියනු ලැබෙත්. පර්‍ය්‍යවනාහ (හාත්පස බැඳීම) යැ යි ද කියනු ලැබෙත්. කවර පස් දෙනෙක් ද, යත්: කාමච්ඡන්‍දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධනීවරණය, උද්ධච්චකුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යන මොහු ය. වාසෙට්ඨය, ආර්‍ය්‍යවිනයෙහි මේ නීවරණයෝ පස් දෙන ආවරණයැ යි ද කියනු ලැබෙත්. නීවරණයැ යි ද කියනු ලැබෙත්. අවනාහයැ යි ද කියනු ලැබෙත්. පර්‍ය්‍යවනාහ යැ යි ද කියනු ලැබෙත්. වාසෙට්ඨය, තෙවිදු බමුණෝ මේ නීවරණ පසින් ඇවුරුණෝ ද පිළිසන් වූවෝ ද වැසුණෝ ද හාත්පසින් බැඳුණෝ ද වෙති. වාසෙට්ඨය, යම් බ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් වෙත් නම්, ඔවුන් බැහැර කොට පවත්නා, යම් අබ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් වෙත් නම්, ඔවුන් සමාදන් කොට ගෙන පවත්නා ඒ තෙවිදු බමුණෝ නීවරණ පසින් ඇවුරුණෝ පිළිසන් වූවෝ වැසුණෝ හාත්පසින් බැඳුණෝ කාබුන් මරණින් මතු බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මේ කාරණය විද්‍යාමාන නො වේ (විය නො හැක්කෙකි).
31. වාසෙට්ඨය, එය කිමැ යි සිතහි ද, වැඩී සිටි මහලු වූ ආචාර්‍ය්‍ය - ප්‍රාචාර්‍ය වූ බමුණන් කියන වචනය තා විසින් කෙසේ අසන ලද ද?
“බ්‍රහ්මයා ස්ත්‍රීපරිග්‍රහය ඇත්තේ ද?”
[වාසෙට්ඨ:] “ස්ත්‍රීපරිග්‍රහය නැත්තේය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “සවෛර (ව්‍යාපාද සහිත) සිතැත්තේ ද, නැත හොත් අවෛර (ව්‍යාපාද රහිත) සිතැත්තේ ද?”
[වාසෙට්ඨ:] “අවෛරසිතැත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “සව්‍යාබාධ (ථිනමිද්ධ – චිත්ත ගෙලඤ්ඤ සහිත) සිතැත්තේ ද? අව්‍යාබාධ (ථිනමිද්ධ – චිත්ත ගෙලඤ්ඤ රහිත) සිතැත්තේ ද?”
[වාසෙට්ඨ:] “අව්‍යාබාධ (ථීනමිද්ධ - චිත්ත ගෙලඤ්ඤ රහිත)සිතැත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “කිලිටි සිතැත්තේ ද නො හොත් නො කිලිටි සිතැත්තේ ද?”
[වාසෙට්ඨ:] “නොකිලිටි සිතැත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “වශවර්තී ද (සිත තමා වශයෙහි පවත් වන්නේ ද) නොහොත් අවශවර්ති (සිත තමා යටත් ව පවත්නේ) ද?”
[වාසෙට්ඨ:] “වංශවර්තී ය, භවද් ගෞතමයිනි.”
32. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, එය කිමැ යි සිතහි ද, තෙවිදු බඹුණෝ ස්ත්‍රීපරිග්‍රහ ඇත්තෝ ද, නො හොත් ස්ත්‍රීපරිග්‍රහ නැත්තෝ ද?”
[වාසෙට්ඨ:] “ස්ත්‍රීපරිග්‍රහය ඇත්තෝ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “සවෛර සිතැත්තෝ ද, නො හොත් අවෛර සිතැත්තෝ ද?”
[වාසෙට්ඨ:] “සවෛර සිතැත්තෝ ය.”
[භාග්‍යවත්හු:] “සව්‍යාබාධ සිතැත්තෝ ද, නො හොත් අව්‍යාබාධ සිතැත්තෝ ද?”
[වාසෙට්ඨ:] “සව්‍යාබාධ සිතැත්තෝ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “කිලිටි සිතැත්තෝ ද, නො හොත් නො කිලිටි සිතැත්තෝ ද?”
[වාසෙට්ඨ:] “කිලිටි සිතැත්තෝ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “වශවර්තී ද නො හොත් අවශවර්තී ද?”
[වාසෙට්ඨ:] “අවශවර්තී හ, භවද් ගෞතමයිනි.”
33. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ තෙවිජ්ජ බ්‍රාහ්මණයෝ ස්ත්‍රීපරිග්‍රහසහිතයෝ ය, බ්‍රහ්මයා ස්ත්‍රීපරිග්‍රහරහිත ය. ස්ත්‍රීපරිග්‍රහසහිත වූ තෙවිදු බමුණන්ගේ ස්ත්‍රීපරිග්‍රහරහිත බඹහු හා සැසැඳීමෙක් වේ ද? ගැළැපීමෙක් වේ ද?”
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ස්ත්‍රීපරිග්‍රහසහිත තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු ස්ත්‍රීපරිග්‍රහරහිත බඹහු හා එක් වන බවට පැමිණියෝ වන්නාහ’ යන මේ කාරණය නැත්තේ ය (නො විය හැක්කෙකි).
34. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ තෙවිදු බමුණෝ වෛරී සිතැත්තෝ ය. බඹා අවෛර සිතැත්තේ ය. වෛරී සිතැති තෙවිදු බමුණන්ගේ අවෛර සිතැති බඹහු හා සැසැඳෙන බවෙක් වේ ද? ගැළැපෙන බවෙක් වේ ද?
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨය. ඒ සවෛර සිතැති තෙවිදු බඹුණෝ කාබුන් මරණින් මතු අවෛර සිතැති බඹහු හා එක් වන බවට පැමිණියෝ වන්නාහ’ යන මේ කාරණය නැත්තේ ය.(නො විය හැක්කෙකි).
35. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මෙසේ තෙවිදු බමුණෝ සව්‍යාබාධ සිත් ඇත්තෝ ය. බ්‍රහ්මයා ව්‍යාබාධ රහිත සිතැත්තේ ය. ව්‍යාබාධ සහිත සිතැති තෙවිදු බමුණන්ගේ අව්‍යාබාධ සිතැති බ්‍රහ්මයා හා සැසැඳීමෙක් වේ ද, ගැළපීමෙක් වේ ද?
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨය. සව්‍යාබාධ සිතැති ඒ තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු ව්‍යාබාධරහිත සිතැති බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මෙ කරුණ අවිද්‍යාමාන ය.
36. වාසෙට්ඨය, මෙසේ ඒ තෙවිදු බමුණෝ කිලිටි සිතැතියෝ ය. බ්‍රහ්මයා නොකිලිටි සිතැත්තේ ය. කිලිටි සිතැති තෙවිදු බමුණන්ගේ නොකිලිටි සිතැති බ්‍රහ්මයා සමග සැසැඳෙන ගැළැපෙන බවෙක් වේ ද?”
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨය. ඒ කිලිටි සිතැති තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු නො කිලිටි සිතැති බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මෙ කරුණ අවිද්‍යාමාන ය. (නො වන්නෙකි).
37. “වාසෙට්ඨය, මෙසේ තෙවිදු බමුණෝ අවශවර්තීහු ල. බ්‍රහ්මයා වශවර්තී ල. අවශවර්තී තෙවිදු බමුණන්ගේ වශවර්තී බ්‍රහ්මයා හා සැසැඳීමෙක් වේ ද ගැළැපීමෙක් (සම බවෙක්) වේ ද?”
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මැනැව. වාසෙට්ඨය, අවශවර්තී වූ ඒ තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු වශවර්තී වූ බඹහු හා ඒකීභාවයට පැමිණියෝ වන්නාහ යන මෙ කරුණ අවිද්‍යාමාන ය (නො වන්නෙකි).
වාසෙට්ඨය, මෙහි වනාහි තෙවිදු බමුණෝ (මඟැ යි වරදවාගෙන) නොමඟට පැමිණ (මඩෙහි සේ) එහි ගැලෙත්. ගැලී නො නොඉවැසියැ හැකි දුකට හෝ පැමිණෙත්. වියැළි නදියෙක අත් පා ගසමින් පිහිනනවුන් සේ වෙහෙසෙත්. එහෙයින් තෙවිදු බමුණන්ගේ මේ ත්‍රිවිද්‍යාව මහ අරණෙකැ යි ද කියනු ලැබේ. මේ ත්‍රිවිද්‍යාව මහ වනයෙකැ යි ද කියනු ලැබේ. මේ ත්‍රිවිද්‍යාව විපතෙකැ යි ද කියනු ලැබේ.
38. මෙසේ වදාළ කල්හි, වාසෙට්ඨ මාණව තෙම “භවද් ගෞතමයිනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයා හා ඒකීභාවයට මඟ දන්නා සේකැ යි මෙය මා විසින් අසන ලදැ” යි කී ය.
[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, ඒ කිමැයි සිතහි ද, මනසාකටය මෙයට සමීප තන්හි වේ ද? මනසාකටය මෙයින් නොදුරැ ම වේ ද?
[වාසෙට්ඨ:] “එසේ ය, භවද් ගෞතමයිනි, මනසාකටය මෙයට සමීප තන්හි ය. මනසාකටය මෙයින් දුරැ නො වේ.”
39. වාසෙට්ඨය, එය කිමැයි සිතහි ද, මෙහි මනසාකටයෙහි උපන් මනසාකටයෙහි වැඩුණු පුරුෂයෙක් වේ නම්, එ කෙණෙහි ම එයින් නික්මුණු ඔහු අතින් මනසාකටයට මඟ විචාරන්නාහු නම්, වාසෙට්ඨය, මනසාකටයෙහි උපන්, එහි ම වැඩුණු, මනසාකටයට මඟ විචාරනු ලැබූ ඔහුගේ (සැකයෙන් සිතසිතා) කල් යවන බවෙක් හෝ (උත්තර දිය නොහැකි බැවින් වන) කයැ තද බවෙක් හෝ වන්නේ ද?
[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි. ඒ කවර හෙයින? භවද් ගෞතමයිනි, ඒ පුරිස් තෙම මනසාකටයෙහි උපන්නේ ද වැඩුණේ ද වේ. ඔහුට මනසාකටයෙහි සියලු මාර්‍ගයෝ ඉතා ප්‍රකටයහ. එහෙයිනි.”
40. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මනසාකටයෙහි උපන්නා වූ ද, වැඩුණා වූ ද, එසේ මඟ විචාරන ලද එ පුරිස්හට උත්තර දීමට කල් යවන බවක් හෝ උත්තර දිය නොහැකි ව කයැ තද බවක් හෝ වතත්, බඹලොවෙහි (බඹලොව ඇරැබැ) හෝ බඹලොවට යන මගෙහි (මඟ ඇරැබැ) හෝ ප්‍රශ්න කරනු ලැබූ තථාගතයන්ගේ උත්තර දීමට කල් යවන බවෙක් හෝ (ප්‍රශ්නයෙන්) කයැ තද බවෙක් හෝ නො වේ ම ය. වාසෙට්ඨය, මම බඹහු ද බඹ ලොව ද බඹලෝ යන පිළිවෙත ද දනිමි. යම්සේ පිළිපන්නේ බඹලොවට උප්පත්ති වශයෙන් පැමිණියේ නම් ඔහු ද දනිමි.”
41. මෙසේ වදාළ කලැ වාසෙට්ඨ මාණව තෙම “ඟවද් ගෞතමයිනි, ශ්‍රමණගෞතමයන් වහන්සේ බ්‍රහ්මයා හා ඒකීභාවයට මඟ දෙසන සේකැ යි මෙය මා විසින් අසන ලද ය. යාච්ඤා කරමි. භවද් ගෞතමයන් වහන්සේ අපට බ්‍රහ්මසහභාවය පිණිස මඟ දෙසන සේක් වා. භවද් ගෞතමයන් වහන්සේ බමුණුදරු වූ මා අවාමඟින් ඔසොවා බඹලෝමඟැ පිහිටුවන සේක් වා.”
[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, එසේ වී නම් අසව. මොනොවට මෙනෙහි කරච. කියන්නෙමි.”
‘භවත්නි, එසේ යැ’ යි වාසෙට්ඨ මාණව තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
42. වාසෙට්ඨය, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්‍ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, (ඔවුනට) අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක කොට, අවසනැ භද්‍රක කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යඤ්ජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට, පරිශුද්ධ කොට දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකෘශ කෙරෙයි.
43. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, “ගිහිගෙයි විසීම සම්බාධයෙකි, රජස්පථයෙකි, පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළිමහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ” යි මෙසේ නුවණින් සලකයි.
44. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්‍ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලුව වාසය කෙරෙයි. නොවැරැදි වූ කායවාක්කර්‍මයෙන් සමන්‍විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන් වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි.
45. වාසෙට්ඨය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්: වාසෙට්ඨය, මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැලා ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (අයුධ නො දරන්නේ), පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අදත්තාදාන ය හැරැ ලා නොදුන් දෑ ගැන්මෙන් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අබ්‍රම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොරු කීම දුරැ ලා බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදැහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ කේලාම් කීම දුරැ ලා කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙ තන්හි නො කියනසුලු වූයේ, මෙසේ බිඳුණවුන් ගළපන්නේ (සමග කරන්නේ) ද, එකට ගැළැපුණවුන් (සමගියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමගියෙන් වසන්නවුනට කැමැත්තේ, සමග වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමගිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
හේ රළු බිණුම් දුරැ ලා රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නොගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේ ද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොල් තිස් දෙඩැවිලි හැරැලා බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාලවේලායෙහි කථා කරනසුලු වූයේ, ඇත්ත ම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක් ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
46. හේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද සිඳීමෙන් බිඳීමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මි උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවුඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායයෙන් අනුන් රැවැටීමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මෙ කී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම් කිරීමෙන් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
47. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදි පැළ වන මුල් ද), ස්කන්‍ධ වීජ ද (නුග ආදි පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බව ආදි පැළ වන පුරුක් ද), අග්‍රවීජ ද (ඉරිවේරිය ආදි පැළ වන දලු ද), පස් වනු වීජවිජ ද (වී ආදි පැළ වන ඇට ද) යන මෙ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැළුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ වීජ – ග්‍රාමභූතග්‍රාමසමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
48. යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කන දෑ රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කොට තබා ගැන්ම, වස්ත්‍ර රැස් කොට තබා ගැන්ම, (රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන) යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර (තවත් තල සහල් ඈ වුවමනා ) පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
49. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැසුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැසුම හෝ අත්තල ගැසුම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්හථූන (සිවුරස් බෙර වැයුම), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දෙවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්‍දිගීත ගායනය හෝ ප්‍රතිභානවිත්‍ර කිරීම), සණදොවුන් කෙළිය (හෝ අයෝගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සෝදා සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
50. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලු පැනුම, සන්තිකාක්‍රීඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළනැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රීඩාරථ පැදවීම, කුඩා දුන්නේ විදීම, ඇතිරිකෙළිය (පිටේ හෝ අහසේ අකුරු ඇඳ ඒ කියැවීම්), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් යන ආදීන් සේ ඉරියවු පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
51. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පළඟය, මහකොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය), සිංහරූපාදි රූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසෙය්‍ය හුයින් වියූ ඇතිරිය, ඇතු පිට එළන ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරි ලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රත්කන්වයින් තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ උස්යහන් මහයහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
52. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පාදෑඟි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඈහි මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
53. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චෝරකථා මහාමාත්‍යකථා සේනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා [කුමාරකථා කුමාරිකථා] ශූරකථා වීථිකථා කුම්භස්ථානකථා නානාත්‍වකථා ලෝකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛ්‍යායිකාකථා ඉතිභවාභවකථා යන මෙබඳු වූ තිරශ්චීන කථාවන්හි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
54. යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම් ම මේ දහම් විනය දනිමි. මේ දහම් විනය කිමැ යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු චැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුවෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මාගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැඟු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මෙබඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැන්මෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
55. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමැතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙ බඳු දූත මෙහෙවරෙහි, පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙ වැනි වූ හෝ දූත මෙහෙවරින්, පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
56. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාඟය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මෙ බඳු වූ ද කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
57. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්‍ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙ කී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මේ බඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
58. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු, වත්ලකුණු, දඬුලකුණු, කඩුලකුණු, ඊලකුණු, දුනුලකුණු, අවිලකුණු, ඉතිරිලකුණු, පුරිස්ලකුණු, කුමරලකුණු, කුමරිලකුණු, දස්ලකුණු, දැසිලකුණු, ඇත්ලකුණු, අස්ලකුණු, මියුලකුණු, වහප්ලකුණු, ගොන්ලකුණු, එළුලකුණු, බැටෙළුලකුණු, කුකුළුලකුණු, වටුලකුණු, ගොය්ලකුණු, කැණිලකුණු, කසුබුලකුණු, මුවලකුණු යන ආදි මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මෙබඳු වූ ද තිරග්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
59. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට රට තුළ හුන් රජුන්ගේ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. රට තුළැ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුම පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු වූ මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඵ් මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරග්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
60. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත්තරුන් නිසිමගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමගින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුන්ගේ ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මගින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් දෙදෙනාගේ නොමගින් යෑම මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේය. වැසි නැති වැ අහස්ගෙරැවුම මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ, මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
61. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මෙ සමයෙහි වැසි වස්නේ ය. මෙ සමයෙහි නියං වන්නේ ය. මෙ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මෙ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මෙ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මෙ සමයෙහි රටට බිය වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායතශාස්ත්‍රය යන මේ හෝ මෙ බඳු තිරග්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාඅජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
62. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා කකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කර දීම, බිම පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරුගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳැවීම යන මේ හෝ අන් මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
63. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියකු කිරීම, පිරිමියා පණ්ඩකයකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, බඩ විරේක කැරැවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම ශීර්‍ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත්තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් කිරීම, ගිහියනට ශල්‍ය කර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගළවා දැමීම යැ” යි මේ ආදි වූ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
64. වාසෙට්ඨය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීල සංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. වාසෙට්ඨය, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනැසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි බියක් යම්සේ නො දක්නේ ද, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශිලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් වියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුඛය විඳී. වාසෙට්ඨය, මෙසේ මහණ තෙමේ ශීලසම්පන්න වේ.
65. වාසෙට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද යත්: වාසෙට්ඨය, මෙ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදිවශයෙන් අත්පා ආදි අවයවයන්ගේ ආකාර සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස ආස්වාදය කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බන දැන ශුභාදිවශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් මන ඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්හුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද, ඒ මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේකසුඛය (කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය) විඳී. වාසෙට්ඨය, මෙසේ මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
66. වාසෙට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහි නුවණින්) සමන්‍විත වේ ද යත්: වාසෙට්ඨය, මෙ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වට පිට බැලීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිළීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටිකැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි නොබිණීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. වාසෙට්‍ඨය, මෙසේ මහණ තෙම සිහිනුවණින් සමන්‍විත වෙයි.
67. වාසෙට්ඨය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද යත්: වාසෙට්ඨය, මෙ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික්මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. වාසෙට්ඨය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක ට පියා හඹා යේ නම්, පියාපත් බර සහිත ව ම යම් සේ පියා හඹා ද, එසේ ම ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද, පා සිවුරු (ආදි අට පිරිකර) රැගෙන ම යෙයි. වාසෙට්ඨය, මෙසේ මහණ තෙමේ ලද පසයෙහි සතුටු වේ.
68. වාසෙට්ඨය, ඒ මහණ තෙමේ මෙ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මෙ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්‍විත වූයේ, මෙ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශුන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා කමටහනට යොමු කොට සිහි එළවා හිඳී.
69. හේ ලොවැ, (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල්ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥා ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන්බවත්) කුකුසත් (කළ නොකළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංහිඳුණු ස්‍වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
70. වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම්, එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම යම් පරණ ණය මුදල් වී නම්, එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
71. වාසෙට්ඨය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන්බව් ඇති ලෙඩෙක් වීමි. මට අහර ද රිසි නො වී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහර ද රිසියෙයි. මා ඇඟපත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
72. වාසෙට්ඨය, යම් සේ පුරුෂයෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝගවිනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලි පෙරැ හිරගෙහි බැඳුණෙම් වීමි. ඒ මම දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදුණෙම් වෙමි. මාගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ”යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
73. වාසෙට්ඨය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙක යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යෑ නො හැකි දාසයෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
74. වාසෙට්ඨය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම වූ කලි පෙර ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති, ආහාරදුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භයරහිත ගමකට පැමිණියෙම් වෙමි”යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
75. වාසෙට්ඨය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල්බවක් මෙන් දිය නැති දික්මගක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. වාසෙට්ඨය, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණුබව යම්සේ ද, නිවහල්බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේ ම වාසෙට්ඨය, හෙතෙම (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
76. තමා කෙරෙහි පහ වූ මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාමකය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ (එකඟ වේ).
77. හේ මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් පැතිරැ ගෙන (අරමුණු කොට) වෙසෙයි. එසේ දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, සිවුවන දිශාව ද පැතිරැ ගෙන වෙසෙයි. එසේ ම උඩ දෙස ද, යට දෙස ද, සරස දැ යි මේ හැම තැන ම සර්‍වාත්මතායෙන් (සියල්ල තමා හා සමත්‍වයෙන්) සජීවත් (සියලු සතුන් ඇති) ලොව විපුල වූ ප්‍රමාණරහිත වූ වෛරරහිත වූ නිදුක් මෛත්‍රී සහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹින්නෙක් පහසුවෙන් ම (සිය) සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද (සිවු දිග ම සක්හඬ පතුරුවන්නේ ද), එපරිද්දෙන් ම වාසෙට්ඨය, මෙසේ (අප්‍රමාණ ව) වඩනා ලද මෛත්‍රීචිත්තවිමුක්ති කරණකොට ගෙන, ප්‍රමාණ විසින් කරන ලද යම් කර්‍මයෙක් (හෙවත් යම් කාමාවචර මෛත්‍රී කර්‍මයෙක්) ඇත් නම්, එය එහි අවශිෂ්ට (ඉතිරි) නො වේ. (ඒ මහද්ගතකර්‍ම අතරැ ලැග ගන්නට කාමාවචර කර්‍ම සමත් නො වේ.) එය එහි ඒ මහද්ගත කර්‍මය මැඩ ගෙන ද නො සිටී (කාමාවචරකර්‍ම ඒ මහද්ගතකර්‍ම විපාක මැඩ තමනට ඉඩ ගන්නට ද සමත් නොවෙයි). වාසෙට්ඨය, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ද බඹහුගේ සහභාවයට මඟ ය.
78. තව ද අනෙකක් කියම්. වාසෙට්ඨය, මහණ තෙම කරුණා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසේ, එසේ දෙවෙනි දෙස ද, එසේ තෙවෙනි දෙස ද, එසේ සිවුවන දෙස ද පැතිරැ ගෙන වෙසේ. මෙසේ උඩ දෙස ද යට දෙස ද සරස දැ යි මේ හැම තැන ම සියල්ල තමා හා සමත්‍වයෙන් සියලු සතුන් ඇති ලොව (සියලු සත්ලොව) විපුල වූ මහද්ගත වූ ප්‍රමාණරහිත වූ වෛරරහිත වූ නිදුක් වූ කරුණාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹින්නෙක් පහසුවෙන් ම සිය සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද (සක්හඬින් සිවුදිග ම සක්හඬ පතුරවන්නේ ද,) එ පරිද්දෙන් ම වාසෙට්ඨය, මෙසේ වඩනා ලද කරුණාචිත්තවිමුක්තිය හේතු කොට ගෙන, ප්‍රමිත වූ (කාමාවචර වූ) යම් කර්‍මයෙක් ඇත් නම් එය එහි අතරැ ඉතිරි වැ නො රැඳේ. එය එහි ඒ මහද්ගතකර්‍මය මැඩ ගෙන ද නො සිටී. වාසෙට්ඨය, මේ කරුණාචිත්තවිමුක්තිය ද බ්‍රහ්මසහභාවයට මග වේ.
79. තව ද අනෙකක් කියමි. වාසෙට්ඨය, මහණ තෙම මුදිතාසහගත සිතින් එක් දෙසක් පැතිර ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස ද, තෙවෙනි දෙස ද, සිවුවන දෙස ද පැතිරැ ගෙන වෙසෙයි. එසේ ම උඩ දෙස ද යට දෙස ද සරස දැ යි මේ හැම තැන ම සියලුදෙනා ම තමා හා සමත්‍වයෙන් සියලු සතුන් ඇති ලොව (සියලු සත්ලොව) විපුල වූ, මහද්ගත වූ, නොපමණ වූ, වෙර නැති, නිදුක් වූ මුදිතාසහගිය සිතින් පැතිරැ ගෙන වෙසෙසි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹන්නෙක් පහසුයෙන් සිය සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද, එ පරිදි ම වාසෙට්ඨය, මෙසේ වඩනා ලද මුදිතාචිත්තවිමුක්තිය කරණ කොට ගෙන, ප්‍රමිත වූ කර්‍ම (කාමාවචර කර්‍ම) අවශිෂ්ට නො වේ. එය මහද්ගත කර්‍ම මැඩැ තමාට ඉඩ ගන්නට නො ද සමත් වේ. වාසෙට්ඨය, මේ මුදිතාචිත්තවිමුක්තිය ද බ්‍රහ්මසහභාවයට මඟය.
80. තව ද, අනෙකක් කියමි, වාසෙට්ඨය, මහණ තෙම උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස ද, තෙවෙනි දෙස ද, සිවු වන දෙස ද, පැතිරැ ගෙන වෙසෙයි. එසේ ම උඩ දෙස ද යට දෙස ද සරස දැ යි මේ හැම තැන ම සියලු දෙනා ම තමා හා සමත්‍වයෙන් සියලු සත්ලොව විපුල වූ මහද්ගත වූ, නොපමණ වූ, වෙර නැති, නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹින්නෙක් පහසුයෙන් සිය සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද, එ පරිදි ම වාසෙට්ඨය, මෙසේ වඩනා ලද උපේක්‍ෂාචිත්තවිමුක්තිය හේතු කොට ගෙන ප්‍රමාණකෘත කර්‍ම (කාමාවචරකර්‍ම) අවශිෂ්ට නො වේ. එය මහද්ගතකර්‍ම මැඩ තමහට ඉඩ ගන්නට නො ද සමත් වේ. වාසෙට්ඨය, මේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය ද බ්‍රහ්මසහභාවයට මඟ ය.
81. වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද? මෙසේ (බඹවෙහෙරින්) වසන මහණ තෙම ස්ත්‍රීපරිග්‍රහය ඇත්තේද? ස්ත්‍රීපරිග්‍රහය නැත්තේ ද?”
[වාසෙට්ඨ:] “ස්ත්‍රීපරිග්‍රහය නැත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “වෙර සිතැත්තේ ද? වෙර සිත් නැත්තේ ද?”
[වාසෙට්ඨ:] “වෙර සිත් නැත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “නිදුක් සිත් ඇත්තේ ද? නිදුක් සිත් නැත්තේ ද?”
[වාසෙට්ඨ:] “නිදුක් සිත් ඇත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “කිලිටි සිතැත්තේ ද? කිලිටි සිත් නැත්තේ ද?”
[වාසෙට්ඨ:] “කිලිටි සිත් නැත්තේ ය, භවද් ගෞතමයිනි.”
[භාග්‍යවත්හු:] “වශවර්ත්තී (චිත්තවශිතා ඇත්තේ) ද? අවශවර්ත්තී (චිත්තවශීතා නැත්තේ) ද?”
[වාසෙට්ඨ:] “වශවර්ත්තී (චිත්තවශීතා ඇත්තේ) ය, භවද් ගෞතමයිනි.”
82. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මෙසේ වූ කලි භික්‍ෂු තෙම ස්ත්‍රීපරිග්‍රහ නැත්තේ ය. බඹාද ස්ත්‍රීපරිග්‍රහ නැත්තේ ය. ස්ත්‍රීපරිග්‍රහ නැති බඹා හා ස්ත්‍රීපරිග්‍රහ නැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සම්බවෙක් වේ ද?”
[වාසෙට්ඨ:] “එසේ ය, භවද් ගෞතමයිනි.”