Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 1601-1700 න් 5108

78. කේවඩ්ඪය, එ කල්හි ඒ මහණ නිර්‍මාණරති දෙවියන් කරා එළඹියේ ය. එළැඹ, ‘ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහා භූතයෝ නො ඉතිරි වැ කොහි දී නිරුද්ධ වෙත් දැ?”යි විචාළේ ය කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි නිර්‍මාණරති දෙවියෝ ඒ මහණ බණවා, ‘මහණ, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහා භූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන අපි දු නො දනුම්හ. අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ සුනිර්මිත නම් දෙව්පුතෙක් ඇත. ඔහු පඨවි ආදි මේ සතර මහාභූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන දනිති’යි සිතම්හ”යි කිවු ය.
79. කේවඩ්ඪය, එ කල්හි එ මහණ සුනිර්මිත දෙව්පුත් කරා එළැඹියේ ය. එළැඹ, සුනිර්මිත දෙව්පුතුට ‘ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහාභූතයෝ කොහි දී නොඉතිරි වැ නිරුද්ධ වෙද්දැ?’ යි විචාළේ ය. කේවඩ්ඪය, මෙසේ විචාළ කල්හි සුනිර්මිත දෙව්පුත් තෙම ඒ මහණහට ‘මහණ, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහා භූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන මමත් නො දනිමි. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ පරනිර්මිතවශවර්තී නම් දෙව් කෙනෙක් ඇත. ඔවුන් මේ පෘථිවි ආදි සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන දනිති’ යි සිතමි”යි කී ය.
80. කේවඩ්ඪය, එ කල්හි ඒ මහණ පරනිර්මිතමශවර්ති දෙවියන් කරා එළැඹියේ ය. එළැඹ, ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයෝ කොතන්හි නො ඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?” යි විචාළේ ය. එසේ විචාළ කල්හි පරනිර්මිතවශවර්ති දෙවියෝ ඒ මහණහු බණවා, ‘මහණ, අපි දු පෘථිවි ආදි මේ සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන නො දනිමු. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ වශවර්තී නම් දෙව්පුතෙක් ඇත. පෘථිවිආදි සතර මහාභූතයෝ නො ඉතිරි ව, කොහි නිරුද්ධ වෙත් දැයි ඔහු දනිති’ යි සිතමි”යි ඔහු කිවු ය.
81. කේවඩ්ඪය, එ කල්හි ඒ මහණ වසවත් දෙව්පුතු කරා එළැඹියේ ය. එළැඹ, ‘ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොතන්හි නිරුද්ධ වෙත් දැ?’යි ඔහු විචාළේ ය. කේවඩ්ඪය, මෙසේ විචාළ කල්හි, වසවත් දෙව්පුත් ඒ මහණහට ‘මහණ, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොතන්හි නිරුද්ධ වෙත් දැ’යි මම ද නොදනිමි. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් බ්‍රහ්මකායික නම් දෙව් කෙනෙක් ඇත. ඔවුන් මේ පෘථිවි ආදි සතර මහාභූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන දනිති’ යි සිතමි”යි කී ය.
82. කේවඩ්ඪය, එ කල්හි එ මහණ යම්සේ සිත සමාහිත කල්හි බ්‍රහ්මයානික මාර්‍ගය (බඹලොව යන මග) පහළ වී ද, එසේ වූ සමාධියකට සමවැදිණ. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ බ්‍රහ්මකායික දෙවියන් කරා එළැඹියේ ය. එළැඹ බ්‍රහ්මකායික දෙවියන් බණවා, ‘ඇවැත්නි, යම් තැනෙක දී පෘථිවිධාතු අප්ධාතු තේජස්ධාතු වායුධාතු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ නිරැද්ධ වෙත් නම්, ඒ කොහි දැ? යි විචාළේ ය. කේවඩ්ඪය, එකල්හි බ්‍රහ්මකායික දෙවියෝ එ මහණහට, ‘මහණ, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොහි නිරුද්ධ වෙද්දැ’යි අපි දු නො දනුම්හ. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ, මහාබ්‍රහ්ම වූ, සියල්ල මැඩ පවත්නා, කිසිවකු විසින් නො මඩනා ලද, ඒකාන්තයෙන් සියල්ල දන්නා, සියල්ල තමා වශයෙහි පවත්වන, සියල්ලට ඊශ්වර වූ, සියල්ලෙහි කතෘ වූ, සියල්ලෙහි මැවුම්කරු වූ, සියල්ලනට ශ්‍රේෂ්ඨ වූ, සියල්ල සකස් කරන, පුරුදු කළ වශීතා ඇති, උපන් ද උපදනා ද සත්නට පිය වූ, බ්‍රහ්මයෙක් ඇත. ‘මේ පෘථිවි අප් තේජස් වායු යන සතර මහා භූතයන් ඉතිරි නොවැ වැ නිරුද්ධ වන තැන ඔහු දනිති යි සිතම්හ’ යි කී ය.
83. “ඇවැත්නි, ඒ මහාබ්‍රහ්මයා දැන් කොහි වෙසේ දැ?”යි. “මහණ, බ්‍රහ්මයා යම් පෙදෙසෙක හෝ යම් දෙසෙක හෝ යම් තැනෙක හෝ ඇතැ යි අපිදු නො දනුම්හ. මහණ, එහෙත් යම් හෙයෙකින් පෙරනිමිති දක්නා ලැබේ ද: (ලොවැ) එළියෙක් හට ගනී ද, ආලෝකයෙක් පහළ වේ ද, එයින් බ්‍රහ්මයා පහළ වන්නේ ය. එළියෙක් හටගනී, අලෝකයෙක් පහළ වෙයි යන යමක් වේ නම්, මෙය බඹහුගේ පහළ වීමට පෙර නිමිත්ත යැ” යි බ්‍රහ්මකායික දෙවියෝ කිවු යැ. කේවඩ්ඪය, එ කල්හි නොබෝ වේලාවෙකින් ම ඒ මහාබ්‍රහ්ම තෙමේ පහළ විය. කේවඩ්ඪය, එ කල්හි ඒ මහණ මහබඹුහු කරන එළැඹියේ ය. එළැඹැ, “ඇවැත්නි, පඨවිධාතු ආපෝධාතු තෙජොධාතු වායෝධාතු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොහි දි නිරුද්ධ වෙත් දැ?”යි මේ කාරණය ඒ මහබඹුහු විචාළේ ය. කේවඩ්ඪය, මෙසේ විචාළ කල, ඒ මහබඹ තෙමේ, ‘මහණ, මම බඹා වෙමි. මහබඹා වෙමි. සියල්ල මැඩ පවත්වන්නෙම් වෙමි. කිසිවකු විසිනුදු නො මඩනා ලදුයෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි. සියල්ල සිය වශයෙහි පවත්වන්නෙම් වෙමි. හැමට ඊශ්වර වෙමි. සියල්ලෙහි කතෘ වෙමි. සියල්ල මවන්නා වෙමි. හැමට ශ්‍රේෂ්ඨ වෙමි. ලොව සතුන් බෙදන්නා වෙමි. පුරුදු කළ වශීතා ඇතියෙම් වෙමි. උපන්නන්ගේ ද උපදින්නවුන්ගේ ද පියා වෙමි”යි ඒ මහණහට කී ය.
84. කේවඩ්ඪය, දෙවෙනි වර ද ඒ මහණ ඒ මහබඹහට, “ඇවැත්නි, තෙපි බඹ වහු ද? මහබඹ වහු ද? ලොව මැඩැ පවත්වන්නෝ වහු ද? කිසිවකු විසින් නො මැඩ ලන ලදුවෝ වහු ද? ඒකාන්තයෙන් සියල්ල දක්නෝ වහු ද? ලොව තමන් වශයෙහි පවත්වන්නෝ වහු ද? ඊශ්වර වහු ද? කතෘ වහු ද? නිර්‍මාතෘ වහු ද? ලොවට ශ්‍රේෂ්ඨ වහු ද? ලොව බෙදන්නෝ වහු ද? පුරුදු වශිතා ඇතියෝ වහු ද? උපන්නවුන්ගේත් උපදනාවුන්ගේත් පියා වහු දැ?’යි මෙසේ තොප නො විචාරමි. වැලි, ඇවැත්නි, පඨවිධාතු ආපෝධාතු තෙජොධාතු වායෝධාතු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොතන්හි නිරුද්ධ වෙද්ද? යි මෙ සෙයින් ම තොප විචාරමි”යි කී ය. කේවඩ්ඪය, දෙවෙනි වර ද ඒ මහබඹ තෙම එ මහණහට “මහණ, මම් බඹා වෙමි. මහබඹා වෙමි. ලොව මැඩැ පවත්වනුයෙම් වෙමි. කිසිවකු විසිනුත් නො මඩිනා ලදුයෙම් වෙමි. ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි. ලොව සිය වශයෙහි පවත්වනුයෙම් වෙමි. ඊශ්වර වෙමි. කතෘ වෙමි. නිර්‍මාතෘ වෙමි. ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. ලොව බෙදන්නෙම් වෙමි. පුරුදු වශිතා ඇතියෙම් වෙමි. උපන් උපදනා හැම ගේ පියා වෙමි” යි මේ බස් කී ය.
85. කේවඩ්ඪය, තෙවෙනි වර ද ඒ මහණ ඒ මහබඹහට “ඇවැත්නි, තෙපි බ්‍රහ්ම වනු ද? මහාබ්‍රහ්ම වහු ද? අභිභූ වහු ද ? අනභිභූත වහු ද? සර්‍වදර්‍ශ වහු ද? වශවර්ති වහුද? ඊශ්වර වහු ද? කර්‍තෘ වහු ද? ශ්‍රේෂ්ඨ වහු ද? ලොව බෙදන්නහු වහු ද? වශී වහු ද? භූතභව්‍යයන්ගේ පීතෘ වහු දැ’යි නො විචාරමි. වැලි, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහා භූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන විචාරමි”යි කී ය.
86. කේවඩ්ඪය, එ කලැ ඒ මහබඹා ඒ මහණහු අතින් ගෙන එක් පසකට ඉවත් කොට, ‘මහණ, බඹහු නොදත් කිසිත් නැතැ යි, බඹහු නොදුටු කිසිත් නැතැ යි, බඹහු පසක් නොකළ කිසිත් නැතැ’ යි මෙ බ්‍රහ්මකායික දෙවියෝ මෙසේ මා දනිත්. මහණ, එහෙයින් ඔවුන් හමුයෙහි මම් හෙළි නො කෙළෙමි. මහණ, ‘පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු යන මේ සතර මහාභූතයෝ නොඉතිරි වැ කොහි දී නිරුද්ධ වෙත් දැ’යි මෙය මමත් නො දනිමි. එහෙයින් මහණ, යම්බඳු යුෂ්මත් ඒ භාග්‍යවතුන් වහන්සේ ම ඉක්මැ ගොස් මේ පැණය විසඳා ගැන්ම පිණිස පිටත්හි සෙවීමට පැමිණෙහි ද, ඒ යුෂ්මත්හු විසින් ම කළ නොමනා දැයෙකි. යුෂ්මත්හු විසින් ම කළ වරදෙකි. මහණ, යුෂ්මත් යන්නැ. ඒ භාග්‍යවතුන් වහන්සේ ම වෙත එළැඹ මේ පැණය විචාරන්නැ. යම්සේ භාග්‍යවතුන් වහන්සේ යුෂ්මත්හට එය විසඳන සේක් ද, එසේ ම එය පිළිගන්නැ”යි කී ය.
87. කේවඩ්ඪය, එ කල්හි එ මහණ යම්සේ ශක්තිමත් මිනිසෙක් වක් කළ අත හෝ දික් කරන්නේ ද, දික් කළ අත හෝ වක් කරන්නේ ද, එසේ ම යුහු ව බඹලොවැ අතුරුදහන් වූයේ මා ඉදිරියේ පෙනී සිටියේ ය. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ මා වැඳ පසෙක හිඳ ගත්තේ ය. කේවඩ්ඪය, එ මහණ පසෙක හුන්නේ ම “වහන්ස, පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු යන මේ සතර මහාභූතයෝ කොතැන්හි නොඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?”යි මෙය විචාළේ ය.
88. කේවඩ්ඪය, එ මහණ මෙසේ විචාළ කලැ මැ මම් එ මහණහට මෙය කීමි: “මහණ, පෙර වූවක් කියමි. මුහුදුවෙළෙන්දෝ තෙර දක්නා ලිහිණියකු ගෙන නැවෙකින් මුහුදු වදිත්. නැව තෙරක් නො දක්නා කලැ තෙර දක්නා ලිහිණියා මුදත්. හේ ද පෙර දිගට යේ ම ය. දකුණු දිගට ද යේ ම ය. පැළදිගට ද යේ ම ය. උතුරු දිගට ද යේ ම ය. උඩට ද යේ ම ය. අනුදිගට ද යේ ම ය. ඉදින් හේ හාත්පසැ තෙරක් දක්නේ නම්, එසේ ගියේ ම වෙයි (යලි නො ම එයි). ඉදින් හේ හාත්පස තෙරක් නො දක්නේ ද, ඒ නැවට ම පෙරළා එයි. මහණ, එ පරිද්දෙන් ම තෝ බඹලොව දක්වාත් සොයනුයෙහි මේ පැණයේ විසැඳීමක් නො ලදුයෙහි ද, එහෙයින් යලි මා වෙත ම පෙරළා ආයෙහි. මහණ, පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු යන මේ සතර මහාභූතයෝ කොතන්හි නො ඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?’යි මෙසේ මේ පැණය නො විචාළ යුතු. මහණ, මේ පැණය මෙසේ (මේ මතු දැක්වෙන පරිදි) ම විචාළ යුතු:
පඨවි ධාතු, ආපෝධාතු, තෙජොධාතු, වායෝධාතු සඞ්ඛ්‍යාත උපාදින්න වූ හෙවත් කර්‍මාදීන් හටගත් මෙ ධර්‍ම සමූහය කොතන්හි නො පිහිටා ද? දික් ලුහුඬු කුදුමහත් ඉටුඅනිටු (උපාදින්න) රූප කොතන්හි (කුමකට පැමිණ) නො පිහිටා ද? නම්රූ දෙක කොතන්හි නො ඉතිරි ව නිරුද්ධ වේ ද?” (මහණ, මෙසේ මෙ පැණය විචාළ යුතු.)
එහි විසැඳීම මෙසේ වෙයි:
දතයුතු බැවින් විඤ්ඤාණ නම් වූ නිවන අනිදර්‍ශන ය. (ඇසින් නො දැක්ක හැකි බැවින් නිදර්‍ශන රහිත ය). උප්පාදවය යන අන්ත නැති බැවින් අන්ත රහිත ය. හැම අතින් (බැස්ස හැකි කමටහන්) තොට ඇත්තේ ය. මෙහි (මේ නිවනට පැමිණ) පෘථිවිධාතුව ද ආපෝධාතුව ද තේජෝධාතුව ද වායුධාතුව ද නො පිහිටයි. මෙහි දික්ලුහුඬු කුදුමහත් ඉටුඅනිටු නාම රූප නො ඉතිරි වැ නිරුද්ධ වෙයි. චරිම (අන්තිම) විඥානයේ නිරෝධයෙන් මේ නිවනෙහි (මෙ නිවනට පැමිණ) මේ ධර්‍ම සමූහය නිරුද්ධ වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. කේවඩ්ඪ ගැහැවිපුත් තෙම සතුටු සිතැතියේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේ ය.
එකොළොස් වන කේවඩ්ඪ සූත්‍රය නිමියේ ය.
ලෝහිච්ච සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල් රටැ සැරි සරන සේක්, සාලවතිකා නම් ගමට බට සේක. එ සමයෙහි ලෝහිච්ච බමුණු තෙම (මිනිස් ගව මියු ඇත් අස් ඈ) සතුන්ගෙන් ගැවැසුණු, තණ දඬු දිය ඇති, බොහෝ ධාන්‍ය ඇති, පසේනදී කොසොල් රජුහු විසින් බඹදෙයෙන් තමහට පමුණු කොට දුන් රාජභෝග්‍ය වූ රාජදාය වූ සාලවතිකා ගමට අධිපති වැ වෙසෙයි.
2. එ සමයෙහි ලෝහිච්ච බමුණුහට “මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල් දහම් ලබන්නේ නම්, කුසල් දහම් ලැබ එය මෙරමාට නො කියැ යුතු ය. (තමන් ලත් කුසල් දම් තෙමේ ම ගරු කොට විසිය යුතු.) අනෙකෙක් (අනුසාසිතයෙක් අනෙකකුට) (අනුසාසකයක් හට) කවර වැඩක් නම් කරන්නේ ද? තමාගේ පරණ බැඳුමක් සිඳ අන්අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, මෙ පරහට කීමේ රුචියත් එසේ ම ලාමක වූ ලෝභ ධර්‍මයෙකැ යි කියමි. අනෙකෙක් අනෙකක්හට කුමක් නම් කරන්නේ දැ?”යි මෙසේ වූ ලාමක මිසදිටෙක් උපන්නේ වෙයි.
3. ලෝහිච්ච බමුණු තෙම (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී යැ. “භවත්නි, සැහැපුත් වූ, සැහැකුලෙන් නික්මැ පැවැදි වූ මහණගොයුම්හු වනාහි මහණුන් පන්සියක් පමණ වූ මහත් මහණමුළුවක් හා කොසොල්රටැ සැරි සරනුවෝ සාලවතිකාවට පැමිණියහ. ඒ භාග්‍යවත්හු මේ මේ කරුණින් රහත්හ, සම්මාසම්බුදුහු, විදුයෙන් හා සරණින් හා යුතුවහ, සුගතහ, ලොව දතුවහ, තමනට වැඩිතරම් එකක්හු නැති පුරිස්දම් සැරියහ, දෙව්මිනිස්නට සථරහ, බුදු හ, භගවත් හ. ඔබ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව - මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ සත්මුළුව තුමූ ම සිය වෙසෙසි නුවණින් දැන පසක් කොට ලොවට දන්වති. ඔබ මුල කලණ මැද කලණ අග කලණ වූ, මනා අරුත් ඇති, පිරිපුන් වියඳුන් ඇති, හැම සැටියෙන් පිරිපුන්, පිරිසිදු දහම් දෙසති. එසේ දෙසනුවෝ සසුන්බඹසර පවසති. එබඳු රහතුන් දැක්ම වූ කලි මනා එකෙකැ’යි ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ මහා කිතුහඞෙක් උස් වැ නැංගේ වේ” යනු යැ.
4. එක්බිති ලෝහිච්ච බමුණු භේසිකා නම් නැහැවියා බණවා, “සගය, භේසිකා, මහණ ගොයුම් වෙත යා. ගොස් ‘පින්වත් ගොයුමාණනි, ලෝහිච්ච බමුණු පින්වත් ගොයුමාණන් ආබාධ නැති නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා විචාරා’යි මා බසින් මහණ ගොයුමාණන් ආබාධ නැති නියා, රෝග නැති නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇතී නියා විචාරව. පින්වත් ගොයුමාණෝ මහණමුළුව හා සෙට දවසට ලෝහිච්ච බමුණාගේ බත ඉවසත් වා යි ද කියව”යි කී ය.
5. “එසේ ය, ස්වාමීනි”යි භේසිකා නැහැවි ලෝහිච්ච බමුණුට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් ම භේසිකා නැහැවි “වහන්ස, ලෝහිච්ච බමුණු භාග්‍යවතුන් වහන්සේ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සැප විහරණ ඇති නියා විචාරයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට ලෝහිච්ච බමුණාගේ බත ඉවසන සේක් ව”යි මෙසේත් කියා යැ යි භාග්‍යවතුන් වහන්සේ ට මෙය කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක.
6. ඉක්බිති භේසිකා නැහැවි තෙම භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන, හුනස්නෙන් නැගී, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට, ලෝහිච්ච බමුණ කරා ගියේ ය. ගොස් “වහන්ස, ලෝහිච්ච බමුණු භාග්‍යවතුන් වහන්සේ නිරාබාධ නියා, නීරෝග නියා හෑල්ලු පැවැතුම් ඇති නියා, කාබල ඇති නියා, සුව වුසුම් ඇති නියා විචාරයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට පිණිස ලෝහිච්ච බමුණුහුගේ බත ඉවසන සේක් ව යි මෙසේ ලෝහිච්ච බමුණු කියායැ යි ඒ භාග්‍යවතුන් වහන්සේට ඔබ වචනයෙන් සැළ කළම්හ”යි ලෝහිච්ච බමුණාට කී ය.
7. ඉක්බිත්තෙන් ලෝහිච්ච බමුණු එ රැය ඇවෑමෙන් සිය නිවෙස්හි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා භේසිකා නැහැවියා බණවා, “සගය, භේසිකා, මෙහි එව, තෝ මහණගොයුමන් කරා යා. ගොස් ‘පින්වත් ගොයුමාණනි, වඩිනුවට කල් යැ. බත පිළියෙළ කොට නිම වී යැ’යි මහණ ගොයුමාණනට කල් දන්වව’යි කී ය. ‘එසේ ය ස්වාමීනි’ යි කියා ම භේසිකා නැහැවි ලෝහිච්ච බමුණාට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වැඳ පසෙක සිටියේ ය. පසෙක සිටියාවූ භේසිකා නැහැවි “වහන්ස, වඩිනුවට කල් ය. බත පිළියෙල කොට නිම වීයැ” යි සැළ කෙළේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන මහණගණයා හා ශාලවතිකා ගමට වැඩි සේක.
8. එ කල්හි භේසිකා නැහැවි භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඔබ හා ම ගියේ වෙයි. එ කලැ භේසිකා නැහැවි “වහන්ස, මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල්දහම් ලැබ ගන්නේ නම්, කුසල් දහම් ලැබැ එය පරහට නො කිය යුතු ය. අනෙකෙක් අනෙකකුට කවර වැඩක් නම් කරන්නේ ද? පැරැණි බැඳුම සිඳ අන් අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, මේද එසේම ලාමක ලෝභධර්‍මයෙකැයි කියමි. අනෙකෙක් අනෙකකුට කවර වැඩක් කරන්නේ දැ?’ යි ලෝහිච්ච බමුණාට මෙබඳු ලාමක මිසදිටෙක් උපන. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝහිච්ච බමුණහු මේ ලාමක මිසදිටෙන් මුදන සේක් වා” යි භාග්‍යවතුන් වහන්සේට කී ය. “භේසිකා, මැනැව, එය වනු ඇත. භේසිකා, මැනැව. එය වනු ඇතැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
9. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ලෝහිච්ච බමුණාගේ ගෙට එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නැ වැඩ හුන් සේක. එ කලැ ලෝහිච්ච බමුණු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී ය, මොනොවට පැවැරී ය. එයින් පසු ලෝහිච්ච බමුණු දන් වැළැඳූ, පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හිඳ ගන්නේ ය. එක් පසෙක හිඳ ගත්තා වූ ම ලෝහිච්ච බමුණා අමතා, “ලෝහිච්චයෙනි, මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල් දහම් ලැබ ගන්නේ තම්, කුසල් දහම ලැබ එය මෙරමාහට නො කියැ යුතු. අනෙකෙක් අනෙකකුට කවර වැඩක් නම් කරන්නේ ද? පරණ බැඳුම් සිඳ අන් අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, එසේ ම මෙ කරුණ ද ලාමක ලෝභ ධර්‍මයෙකැ යි කියමි. අනෙකෙක් අනෙකකුට කවර වැඩක් නම් කරන්නේ දැ?”යි මෙසේ ලාමක මිසදිටෙක් තොපට උපන්නේ ල. ඒ සැබෑ දැ? යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
[ලෝහිච්ච:] “එසේ ය, පින්වත් ගොයුමාණනි.”
10. [භාග්‍යවත්හු:] “ලෝහිච්චයෙනි, ඒ කිමැ යි සිතවු ද? තෙපි සාලවතිකාවට අධිපති වැ වසනුවෝ නො වහු ද?”
[ලෝහිච්ච:] “එසේ ය, පින්වත් ගොයුමාණනි.”
[භාග්‍යවත්හු:] “ලෝහිච්ච බමුණු සාලවතිකාවව අධිපති වැ වෙසෙයි. සාලවතිකා ගමෙහි උපන් යම් ධනධාන්‍යයෙක් ඇත් නම්, එය ලෝහිච්ච බමුණා ම එකලා වැ වළඳන්නේ නම්, අනුනට නො දෙන්නේ නම් මැනැවැ’යි යමෙක් කියන්නේ ද, මෙසේ කියන හෙ තෙම තොප නිසා ජීවත් වන ඥාතිපරිජනආදීනට ලැබෙන දැයට අන්තරාය කරන්නෙක් හෝ නො කරන්නෙක් වේ ද?”
[ලෝහිච්ච:] “පින්වත් ගොයුමාණනි, හේ ඔවුන් ලබන ඒ දැයට අනතුරු කරන්නෙක් ය.”
[භාග්‍යවත්හු:] “ලෝහිච්චය, ලාභයට අන්තරාය කරන්නේ ම හෙතෙම ඔවුනට හිතානුකම්පා ඇතියෙක් හෝ හිතානුකම්පා නැතියෙක් වේ ද?”
[ලෝහිච්ච:] “පින්වත් ගොයුමාණනි, හිතානුකම්පා නැතියෙක් වේ.”
[භාග්‍යවත්හු:] “හිතානුකම්පා නැතියහුට ඔවුන් කෙරෙහි එළැඹ සිටියේ මිතුරු සිත ද, නැත හොත් සතුරු සිත ද?”
[ලෝහිච්ච:] “සතුරු සිත ය, පින්වත් ගොයුමාණනි.”
[භාග්‍යවත්හු:] “සතුරු සිත එළැඹ සිටි කල්හි මිසදිට් හෝ වේ ද, නැත හොත් සම්දිට් වේ ද?”
[ලෝහිච්ච:] “පින්වත් ගොයුමාණනි, මිසදිට් වේ.”
[භාග්‍යවත්හු:] “ලෝහිච්චය, මම මිසදිට් ගතුවාහට දෙ ගති අතුරෙන් නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන එක්තරා ගතියක් කියමි.”
11. ලෝහිච්චය, ඒ කිමැ යි සිතහි ද ‘පසේනදී කොසොල්රජ කසී කොසොල් දෙ රටට අධිපති වැ වෙසෙයි?
[ලෝහිච්ච:] “එසේය පින්වත් ගොයුමාණනි”
කසීකොසොල් දෙ රටැ යම් ධනධාන්‍යයෙක් උපදනේ නම් එය පසේනදී කොසොල්රජ ම එකලා වැ වළඳන්නේ නම්, අනුනට නො දෙන්නේ නම් මැනැවැ යි යමෙක් මෙසේ කියන්නේ ද, මෙසේ කියන ඒ තැනැන්නේ පසේනදී කොසොල් රජු නිසා ජීවත් වන තොප ද අනුන් ද ඒ හැම දෙනාගේ ලාභයට අන්තරාය කරන්නෙක් වේ ද, නැත හොත් අන්තරාය නොකරන්නේ වේ ද?”
[ලෝහිච්ච:] “පින්වත් ගොයුමාණනි, ලාභයට අන්තාරය කරන්නෙක් වෙයි.”
[භාග්‍යවත්හු:] “ලාභයට අන්තරාය කරන්නේ ම ඔවුනට හිතානුකම්පී වේ ද, නැත හොත් අහිතානුකම්පී වේ ද?”
[ලෝහිච්ච:] “පින්වත් ගොයුමාණනි, අහිතානුකම්පී වෙයි.”
[භාග්‍යවත්හු:] “අහිතානුකම්පීහට ඔවුන් කෙරෙහි එළැඹ සිටියේ මිතුරු සිත ද, නැත හොත් සතුරු සිත ද?”
[ලෝහිච්ච:] “සතුරු සිත ය, පින්වත් ගොයුමාණනි.”
[භාග්‍යවත්හු:] “සතුරු සිත එළැඹ සිටි කලැ හේ මිසදිටු වේ ද නැත හොත් සම්දිටු වේ ද?”
[ලෝහිච්ච:] “මිසදිටු වෙයි, පින්වත් ගොයුමාණනි.”
[භාග්‍යවත්හු:] “ලෝහිච්චය, මිසදිටුවාහට නිරය හෝ තිරිසන් යොන හෝ මේ දෙගතියෙන් එක්තරා ගතියක් මම කියමි.”
12. ලෝහිච්චය, ‘ලෝහිච්ච බමුණා සාලවතිකාවට අධිපති වැ වෙසේ. සාලවතිකායෙහි උපදනා තාක් සියලු ධනධාන්‍ය ලෝහිච්ච බමුණා ම එකලා වැ වළඳන්නේ නම්, අනුනට නො දන්නේ නම් මැනැවැ’යි යමෙක් මෙසේ කියන්නේ ද, මෙසේ කියන හෙ තෙම තොප නිසා ජීවත් වන හැම දෙනාට ලාභාන්තරායකර වෙයි. ලාභාන්තරාය කරන්නේ ම අහිතානුකම්පී වේ. අහිතානුකම්පී තැනැත්තහුට සතුරු සිත එළැඹ සිටියේ වෙයි. සතුරු සිත එළැඹ සිටි කලැ මිසදිටු වෙයි. එ පරිද්දෙන් ම, ලෝහිච්චය, ‘මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල් දහම් ලබන්නේ ය. කුසල් දහම් ලැබ මෙරමාහට නො කියැ යුතු යැ’යි ද, ‘අනෙකෙක් අනෙකකුට කවර වැඩක් කරන්නේ දැ’යි ද, පරණ බැඳුම සිඳ අන් අළුත් බැඳුමක් කරන්නේ යම් සේ ද, එසේම මේ කරුණ ලෝභධර්‍මයෙකැ යි කියමි’ යි ද, ‘අනෙකෙක් අනෙකකුට කවර වැඩක් කරන්නේ දැ’යි ද යමෙක් මෙසේ කියන්නේ නම්, මෙසේ කියන හෙ තෙම - යම් කුලපුත් කෙනෙක් තථාගත බුදුහු දෙසූ දහම්විනය ඇති මේ සසුන් නිසා සෝවාන්පල පසක් කෙරෙත් ද, සෙදැගැමිපල පසක් කෙරෙත් ද, අනගැමිපල පසක් කෙරෙත් ද, රහත්පල පසක් කෙරෙත් ද, (එයට නො පොහොසත්) යම් කෙනෙක් දෙව්ලෝහි උපදිනු පිණිස දෙව්ගබ් මුහුකුරවත් ද (දෙව්ලෝ යන පිළිවෙත් පුරත් ද), හේ ඔවුනට ලාභාන්තරායකර වේ. ලාභාන්තරායකරය කරනුයේ ම අහිතානුකම්පී වෙයි. අහිතානුකම්පී පුඟුලා ට සතුරු සිත එළැඹ සිටියේ වෙයි. සතුරු සිත එළැඹ සිටි කල්හි මිසදිටු වෙයි. ලෝහිච්චය, මේ මිසදිටුහට (මතු) නිරාගතිය හෝ තිරිසන් යොන හෝ මේ දෙගතියෙන් එක්තරා ගතියක් කියමි.
13. ලෝහිච්චය, ‘පසේනදී කොසොල්රජ කසී කොසොල් දෙ රටට අධිපති ව වෙසෙයි. කසී කොසොල් දෙරටැ උපදනා යම් ධනධාන්‍ය රැසෙක් වේ නම්, එය පසේනදී කොසොල්රජ ම එකලා වැ වළඳන්නේ නම්, අනුනට නො දෙන්නේ නම් මැනැවැයි යමෙක් මෙසේ කියන්නේ නම්, එසේ කියනසුලු හෙතෙම පසේනදී කොසොල්රජු නිසා යැපෙන තොපටත් අනුනටත් ලාභාන්තරායකර වෙයි. ලාභාන්තරාය කරන්නේ ම හිතානුකම්පා නැත්තේ වෙයි. හිතානුකම්පා නැතියහුට සතුරු සිත එළැඹ සිටියේ වෙයි. සතුරු සිත එළැඹ සිටි කලැ මිසදිටු වෙයි. ලෝහිච්චය, එසේ ම ‘මෙහි මහණෙක් හෝ බමුණෙක් හෝ කුසල් දහම් ලබන්නේ ය, කුසල් දහම් ලැබ, මෙරමාහට නො දෙසියැ යුතු යැයි ද අනෙකෙක් අනෙකකුට කවර වැඩක් කරන්නේ ද? පරණ බැඳුමක් සිඳ අන් අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, එසේ මේ කරුණ ලාමක ලෝභධර්‍මයෙකැ යි කියමි. අනෙකෙක් අනෙකකුට කුමක් කරන්නේ දැ?’ යි යමෙක් මෙසේ කියන්නේ ද, මෙසේ කියන හෙ තෙම යම් කුලපුත් කෙනෙක් බුදුන් වදහළ දහම් විනය නිසා සෝවාන්පලයත් පසක් කෙරෙත් නම්, සෙදැගැමිපලයත් පසක් කෙරෙත් නම්, අනාගැමිපලයත් පසක් කෙරෙත් නම්, රහත්පලයත් පසක් කෙරෙත් නම්, මෙසේ වූ මහත් ගුණ විශේෂ ලබත් නම්, දිව්‍යභවයන්ගේ පහළ වීම පිණිස දෙව්ගබ් මුහුකුරවත් නම්, ඔවුන් හැමට ලාභාන්තරායකර වෙයි. ලාභාන්තරාය කරන්නේ ම ඔවුනට හිතානුකම්පා නැත්තේ වෙයි. හිතානුකම්පා නැත්තහුට සතුරු සිත එළැඹ සිටී. සතුරු සිත එළැඹ සිටි කල්හි මිසදිටු වෙයි. මිසදිටුහට මතු නිරය හෝ තිරිසන් යොන හෝ මේ දෙ ගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.
14. ලෝහිච්චය, යම් ශාස්තෘ කෙනෙක් ලොවැ චෝදනා ලැබිය. යුත්තෝ ද, යමෙකුත් මෙබඳු ශාස්තෘනට චෝදනා කෙරේ ද, ඒ චෝදනාව ඇත්තත් සත්‍යත් දැහැමින් නොවැරැදිත් වේ ද, එසේ වූ මේ ශාස්තෘහු තිදෙනෙකි. කවර තිදෙනෙක් ද යත්: ලෝහිච්චය, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් යමක් පිණිස ගිහිගෙන් නික්මැ පැවිද්දට වන්නේ වේ ද, ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය (මහණදමේ ඵලය) ඔහු විසින් නො ලද්දේ වෙයි. හේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලැබ ‘මෙය තොපට වැඩ පිණිස වේ. මෙය තොපට සුව පිණිස වේ’ යැ යි සව්වනට දහම දෙසයි. ඔහුගේ සව්වෝ ඔහු බස අසන්නට කැමැති නො වෙත්. ඔහුට කන් යොමු නො කෙරෙත්. දැන ගැන්ම පිණිස සිත නො එළවත්. ඒ ශාස්තෘහුගේ අනුශාසනයෙන් වෙන් ව ම පවතිත්. ‘ආයුෂ්මත්හු වනාහි යමක් පිණිස ගිහිගෙන් නික්මැ පැවිදි බවට පැමිණියෝ ද, ඔබ විසින් ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලද්දේ වෙයි. ඔබ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලැබ ‘මෙය තොපට වැඩ පිණිස වේ. මෙය තොපට සුව පිණිස වේ’ යැ යි සව්වනට දහම දෙසති. ඒ ඔබ බස සව්වෝ අසනු නො රිසියෙත්. එයට කන් යොමු නො කරත්. දැන ගැන්මෙහි සිත නො එළවත්. ශාස්තෘ වූ ඔබගේ අනුශාසනයෙන් වෙන් ව ද පවතිත්’ යි ඒ ශාස්තෘ තෙම මෙසේ චෝදනා කරනු ලැබිය යුතු වන්නේ ය. යම්සේ ඉවත් වැ යන්නියක වෙතට යන්නේ ද, නොකැමැත්තෙන් පිටුපා සිටි තැනැත්තිය වැලැඳ ගන්නේ ද, මෙසේ මේ කරුණ ලාමක ලෝභධර්‍මයක් කොට කියමි. එබඳු ශාස්තෘ වූ අන් තැනැත්තේ අනෙකකුට කවර වැඩක් නම් කරන්නේ ද? ලෝහිච්චය, යම් ශාස්තෘවරයෙක් ලොවැ චෝදනා ලැබිය යුතු ද, මේ ඒ පළමු වන ශාස්තෘ ය. යමෙකුත් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව ඇත්ත ය, සත්‍ය ය, දැහැමි ය, නොවැරැදි ය.
15. තව ද අනෙකක් කියම්. ලෝහිච්චය, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් යමක් පිණිස පැවිද්දට වන්නේ වේ ද, ඔහු විසින් ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලදුයේ වෙයි. හේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලැබ, ‘මෙය තොපට වැඩ පිණිස වේ. මෙය තොපට සුව පිණිස වේ’ යැ යි සව්වනට දහම් දෙසයි. ඒ සව්වෝ ඔහු බස් අසනු කැමැති වෙත්. කන් යොමු කෙරෙත්. දැන ගැන්ම පිණිස සිත එළවා තබත්. ඒ ශාස්තෘහුගේ අනුශාසනයෙන් ඉවත් ව නො පවතිත්. “ආයුෂ්මත් තෙමේ යමක් පිණිස ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ද, ඔබ විසින් ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලද්දේ ය. ඔබ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය නො ලැබ ‘මෙය තොපට වැඩ පිණිස වේ, මෙය තොපට සුව පිණිස වේ’ යැ යි සව්වනට දහම දෙසති. සව්වෝ ඒ ඔබගේ වචනය අසනු කැමැති වෙත්. කන් යොමු කෙරෙත්. දැන ගැන්ම පිණිස සිත එළවා තබත්. ශාස්තෘශාසනයෙන් ඉවත් වැ නො ද පවතිත්. සිය කෙත හැරැ දමා අනුන්ගේ කෙතක් (වල් පැළෑටි උදුරා) ශුද්ධ කළ යුතු කොට සිතන්නේ යම්සේ ද, එසේ මේ කරුණ ලාමක වූ ලෝභධර්‍මයක් කොට කියමි. එබඳු ශාස්තෘ වූ අන් තැනැත්තේ අනෙකකුට කවර වැඩක් කරන්නේ දැ”යි ඒ ශාස්තෘ තෙම චෝදනා ලැබිය යුතු වන්නේ ය. ලෝහිච්චය, ලොව, යමෙක් චෝදනාර්‍හ නම්, මේ ඒ දෙවෙනි ශාස්තෘ ය. යමෙකුත් මෙබඳු ශාස්තෘවරයකුට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව භූත ය, සත්‍ය ය, දැහැමි ය, නො වැරැදි ය.
16. තව ද අනෙකක් කියමි. ලෝහිච්චය, මෙහි එක්තරා ශාස්තෘවරයෙක් යමක් පිණිස ගිහිගෙන් නික්ම පැවිද්දට වන්නේ වේ ද, ඔහු විසින් ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලදුයේ වෙයි. හේ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබ, ‘මෙය තොපට වැඩ පිණිස වෙයි. මෙය තොපට සුව පිණිස වේ’ යැ යි සව්වනට දහම් දෙසයි. සව්වෝ ඔහු බස අසන්නට නො කැමති වෙත්, ඔහුට කන් යොමු නොකෙරෙත්. දැන ගනු පිණිස සිත එළවා නො තබත්. ඒ ශාස්තෘහුගේ අනුශාසනයෙන් බැහැර ව ද පවතිත්. හෙ තෙම මෙසේ චෝදනා ලැබිය යුතු වන්නේ ය: “ආයුෂ්මත් වනාහි යමක් පිණිස ගිහිගෙන් පැවිද්දට වන්නේ වේ ද, ඔබ විසින් ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලද්දේ ය. ඔබ ඒ ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ලැබ, ‘මෙය තොපට වැඩ පිණිස වේ. මෙය තොපට හිත පිණිස වේ’ යැ යි සව්වනට දහම් දෙසති. සව්වෝ ඒ ඔබේ බස් අසනු කැමැති නො වෙත්. ඔබ බසට කන් යොමු නො කෙරෙත්. දැන ගැන්මට සිත එළවා නො තබත්. ඹබ අනුශාසනයෙන් බැහැර ව ද පවතිත්. පරණ බැඳුමක් සිඳ අන් අළුත් බැඳුමක් කරන්නේ යම්සේ ද, මෙසේ මෙ කරුණ ලාමක ලෝභධර්‍මයක් කොට කියමි. එ බඳු ශාස්තෘ වූ අන් තැනැත්තේ අනෙකකුට කවර වැඩක් නම් කරන්නේ දැ”යි ඒ ශාස්තෘ තෙමේ චෝදනා ලැබිය යුතු වන්නේ ය. ලෝහිච්චය, ලොවැ යමෙක් චෝදනා ලැබීමට සුදුසු ද, මේ ඒ තෙවෙනි ශාස්තෘ ය. යමෙකුත් මෙබඳු ශාස්තෘ හට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව භූත ය, සත්‍ය ය, දැහැමි ය, නොවැරැදි ය.
ලෝහිච්චය, ලොවැ යම් කෙනෙක් චෝදනාර්‍හ ද, මේ ඒ තුන් ශාස්තෘහු ය. යමෙකුත් මෙබඳු ශාස්තෘනට චෝදනා කෙරේ ද, ඒ චෝදනාව සැබෑ ය, සත්‍ය ය, දැහැමි ය, නො වැරැදි ය.”
17. මෙසේ වදාළ කල්හි ලෝහිච්ච බමුණු “පින්වත් ගොයුමාණනි, යමෙක් ලොවැ චෝදනා නො ලැබිය යුතු නම්, එසේ වූ කිසි ශාස්තෘවරයෙකුත් ඇද්ද?”යි භාග්‍යවතුන් වහන්සේ (අතින්) විචාළේ ය.
“ලෝහිච්චය, යමෙක් ලොව චෝදනා ලැබිය යුතු නො වේ ද, එසේ වූ ශාස්තෘවරයෙක් ඇත් ම යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“පින්වත් ගොයුමාණනි, යමෙක් ලොවැ චෝදනාර්‍හ තො වේ නම්, ඒ ශාස්තෘ තෙම කවරේ දැ?” යි ලෝහිච්ච බමුණු පුළුවුත.
18. ලෝහිච්චය, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, (ඔවුනට) අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක කොට, අවසනැ භද්‍රක කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යඤ්ජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට පරිශුද්ධ කොට දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, ‘ගිහිගෙයි විසීම සම්බාධයෙකි, රජස්පථයෙකි, පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළිමහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම් කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ”යි මෙසේ නුවණින් සලකයි.
19. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිම්ට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නොවැරැදි වූ කායවාක්කර්‍මයෙන් සමන්‍විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන් වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි.
20. ලෝහිච්චය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්: ලෝහිච්චය, මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැලා ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නෝ), පවට පිළිකුල් කරන්නෝ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අදත්තාදානය හැරැ ලා නොදුන් දෑ ගැන්මෙන් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අබ්රම්සර දුරැ ලා බඹසර සරන්නෝ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොරු කීම දුරැ ලා බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදැහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ කේලාම් කීම දුරැ ලා කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මේ තන්හි නො කියනසුලු වූයේ, මෙසේ බිඳුණවුන් ගළපන්නෝ (සමග කරන්නේ) ද, එකට ගැළැපුණවුන් (සමගියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමගියෙන් වසන්නවුනට කැමැත්තේ, සමග වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමගිය ඇති කරන බස් කියන්නෝ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හෝ රළු බිණුම් දුරැ ලා රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදගන්නා, නොගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේ ද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මෙ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොල් හිස් දෙඩැවිලි හැරැලා බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාලවේලායෙහි කථා කරනසුලු වූයේ, ඇත්ත ම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක් ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මෙ ද ඔහුගේ ශීලයෙක් වේ.
21. හේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද සිඳීමෙන් බිඳීමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල්බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මි උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි.
එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවුඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායයෙන් අනුන් රැවැටීමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මෙ කී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම් කිරීමෙන් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
22. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදි පැළ වන මුල් ද), ස්කන්‍ධ වීජ ද (නුග ආදි පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදි පැළ වන පුරුක් ද), අග්‍රවීජ ද (ඉරිවේරිය ආදි පැළ වන දලු ද), පස් වනු වීජවීජ ද (වී ආදි පැළ වන ඇට ද) යන මෙ කී වීජසමුහ ද (පැළ වත දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැළුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මෙ හෝ මෙ බඳු වූ වීජග්‍රාමභූතග්‍රාමසමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මෙම ද ඔහුගේ ශීලයෙක් වේ.
23. යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කන දෑ රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කොට තබා ගැන්ම, වස්ත්‍ර රැස් කොට තබා ගැන්ම (රිය ගැල් ආදිය පාවහන් ආදිය ද යන) යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර (තවත් තල සහල් ඈ වුවමනා) පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
24. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැසුම හෝ අත්තල ගැසුම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම් හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්හථූන (සිවුරස් බෙර වැයුම), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දෙවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්‍දිගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සණදොවුන් කෙළිය (හෝ අයෝගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සෝදා සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
25. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලු පැනුම්, සන්තිකාක්‍රීඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම්, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනළා පිඹුම්, කෙළිනඟුලින් හෑම, කරණම් ගැසුම්, කන්නංගුරුවා කෙළිය, කොළනැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රීඩාරථ පැදැවීම, කුඩා දුන්නේ විදීම, ඇකිරිකෙළිය (පිටේ හෝ අහසේ අකුරු ඇඳ ඒ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් යන ආදීන් සේ ඉරියවු පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
26. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පළඟය, මහකොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය), සිංහරූපාදි රූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසෙය්‍ය හුයින් වියූ ඇතිරිය, ඇතු පිට එළන ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරි ලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රත්කන්වයින් තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ උස්සහන් මහයහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
27. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳසුණුයෙන් ඇඟ ඉළීම, අත්පාඈහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම්, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඈහි මස් වැඩෙනුවව මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදී ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
28. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චෝරකථා මහාමාත්‍යකථා සේනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා (කුමාරකථා කුමාරිකථා) ශූරකථා වීථිකථා කුම්භස්ථානකථා නානාත්‍වකථා ලෝකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛ්‍යායිකථා ඉතිභවාභවකථා යන මෙ බඳු වූ තිරශ්චීන කථාවන්හි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
29. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන්බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම් ම මේ දහම් විනය දනිමි. මේ දහම විනය කිමැ යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මාගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මෙබඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැන්මෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
30. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ. අසෝ තැනට මෙය ගෙනෙන්නැ”යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජ කුමරුවන්ගේ මෙ බඳු දූත මෙහෙවරෙහි, පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙ වැනි වූ හෝ දූත මෙහෙවරින්, පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මෙ ද ඔහුගේ ශීලයෙක් වේ.
31. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද යම් බඳු වූ ද කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
32. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මුෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙ කී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී ද මේ බඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
33. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු, වත්ලකුණු, දඬුලකුණු, කඩුලකුණු, ඊලකුණු, දුනුලකුණු, අවිලකුණු, ඉතිරිලකුණු, පුරිස්ලකුණු, කුමරලකුණු, කුමරිලකුණු, දස්ලකුණු, දැසිලකුණු, ඇත්ලකුණු, අස්ලකුණු, මියුලකුණු, වහප්ලකුණු, ගොන්කුණු, එළුලකුණු, බැටෙළුලකුණු, කුකුළුලකුණු, වටුලකුණු, ගොය්ලකුණු, කැණිලකුණු, කසුබුලකුණු, මුවලකුණු යන ආදි මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී ද මෙබඳු වූ ද තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
34. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට රට තුළ හුන් රජුන්ගේ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. රට තුළැ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු වූ මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
35. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යැම වන්නේ ය. අසෝ දිනැ නකත්තරුන් නිසිමගින් යෑම වන්නේය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුන්ගේ ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මගින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් දෙදෙනාගේ නොමගින් යෑම මේ බඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස්ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ, මෙ බඳු තිරශ්චීනවිද්‍යායෙන් මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
36. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ ය. මේ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායතශාස්ත්‍රය යන මේ හෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
37. යම්සේ ඇතැම් පින්වත් මහණබඹුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරුගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරැ දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
38. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියකු කිරීම, පිරිමියා පණ්ඩකයකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, බඩ විරේක කැරැවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශීර්‍ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත්තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් කිරීම, ගිහියනට ශල්‍ය කර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගළවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
39. ලෝහිච්චය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. ලෝහිච්චය, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනැසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි බියක් යම්සේ නො දක්නේ ද, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් වියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුඛය විඳී. ලෝහිච්චය, මෙසේ මහණ තෙමේ ශීලසම්පන්න වේ.
40. ලෝහිච්චය, මහණ තෙමේ කෙසේ තම ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද යත්: ලෝහිච්චය, මෙ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදිවශයෙන් අත්පා ආදි අවයවයන්ගේ ආකාර සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස ආස්වාදය කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බන දැන ශුභාදිවශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය ... ඝ්‍රාණේන්‍ද්‍රියය .... ජීහ්වේන්‍ද්‍රියය ... කායේන්‍ද්‍රියය ... මනන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද, ඒ ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයාගේ ... ඝ්‍රාණේන්‍ද්‍රියයාගේ ... ජිහ්වේන්‍ද්‍රියයාගේ ... කායේන්‍ද්‍රියයාගේ ... මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේකසුඛය (කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය) විඳී. ලෝහිච්චය, මෙසේ මහණ තෙමේ ඉන‍්ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
41. ලෝහිච්චය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහි නුවණින්) සමන්‍විත වේ ද යත්: ලෝහිච්චය, මෙ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වට පිට බැලීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිළීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටිකැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි නොබිණිමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ලෝහිච්චය, මෙසේ මහණ තෙම සිහි නුවණින් සමන්‍විත වෙයි.
42. ලෝහිච්චය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද යත්: ලෝහිච්චය, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික්මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. ලෝහිච්චය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක ට පියා හඹා යේ නම්, පියාපත් බර සහිත ව ම යම් සේ පියා හඹා ද, එසේ ම ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද, පා සිවුරු (ආදි අට පිරිකර) රැගෙන ම යයි. ලෝහිච්චය, මෙසේ මහණ තෙමේ ලද පසයෙහි සතුටු වේ.
43. ලෝහිච්චය, ඒ මහණ තෙමේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශුන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා කමටහනට යොමු කොට සිහි එළවා හිඳී.
44. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල්ම හැර, විෂ්කම්භණප්‍රාහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනන හැකි පිරිසිදු සංඥා ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන්බවත්) කුකුසත් (කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංහිඳුණු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
45. ලෝහිච්චය, යම්සේ පුරුෂයෙක් ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හෝ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම්, එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම්, එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, හෝ ඒ ණය නැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
46. ලෝහිච්චය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හෝ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ තම්, “මම් වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන්බව් ඇති ලෙඩෙක් වීමි. මට අහර ද රිසි නො වී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහර ද රිසියෙයි. මා ඇඟපත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේද -
47. ලෝහිච්චය, යම් සේ පුරුෂයෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝගවිනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මාගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ”යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
48. ලෝහිච්චය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙක යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යෑ නො හැකි දාසයෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
49. ලෝහිච්චය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙර ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති, ආහාරදුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භයරහිත ගමකට පැමිණියෙම් වෙමි”යි සිතෙක් වන්නේ ද, හෝ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
50. ලෝහිච්චය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල්බවක් මෙන් දිය නැති දික්මඟක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. ලෝහිච්චය, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණුබව යම්සේ ද, නිවහල්බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේ ම (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
51. තමා කෙරෙහි පහ වූ මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රිතීය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාමකය සංහිඳේ. සංහුන් නාමකය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ (එකඟ වේ).
52. හේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහ වීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධ්‍යානය ලැබ වෙසේ. හේ මේ කරජකය ම විවේකයෙන් උපත් ප්‍රීතිසුඛයෙන් තෙමයි. සියල්ල ම තෙමයි, පුරා ලයි, සියල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
53. ලෝහිච්චය, යම්සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණුපිඬ කාවැදුණු දිය ඇත්තේ, හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළත පිටත සියල්ල ම දියෙන් පැතිරැ ගියේ, දිය නො වගුරුවන්නේත් වේ ද, ලෝහිච්චය, එසේ ම මහණ තෙමේ මේ කරජකය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, සියල්ල ම තෙමයි, පුරා ලයි, සියල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
54. ලෝහිච්චය, මහණ තෙම කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති යම් පළමු දහනක් ලැබ වෙසේ ද, හෝ ඒ විවේකජ ප්‍රීතීසුබයෙන් මේ කය ම තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හාත්පස පැතිරැ ගනී. ඔහුගේ සියලු කයැ විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පැතිරැ ගත් කිසිදු තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
55. ලෝහිච්චය, යම් ශාස්තෘවරයකු නිසා සවු තෙම මෙබඳු මහත් ගුණවිශේෂයක් ලබා ද, ලෝහිච්චය, මේ යමෙක් ලොවැ චෝදනාවට නොසුදුසු නම් එසේ වූ ශාස්තෘවරයෙකි. යමෙක් මෙබඳු ශාස්තෘහට චෝදනා කෙරේ නම්, ඒ චෝදනාව අභූතය, අසත්‍ය ය, නො දැහැමි ය, වරද සහිත ය.
56. ලෝහිච්චය, නැවැත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු), සිතැ එකඟ බව ඇත, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධාන්‍යායට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. සියල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ කයේ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
57. ලෝහිච්චය, සමසේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙරදිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නො වන්නේ ද, වැස්ස ද කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැන ම වැද ගෙන පැතිරැ සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද, ලෝහිච්චය, එසේ ම මහණ තෙමේ මෙ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙසි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය පැතිර වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.