81. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍ය්‍යායඥානය පිණිස (=අනුන්ගේ සිත පිරිසිඳ දන්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්‍වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳැ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැයි ද දනී. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දතී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැ යි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැ යි ද දනී. සංක්‍ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්‍ෂිප්ත (=විසුරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැයි ද දනී.
82. මාණවය, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩපතෙක් හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුවසටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදි දොස් ඇති තැන් සදොස් තැනැ යි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැ යි දන්නේ ද - මාණවය, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරැ කෙරෙයි. හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී. සරාග සිත සරාග සිතැ යි ද දනී. වීතරාග සිත වීතරාගී සිතැ යි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද දනී. සමෝහ සිත සමෝහ සිතැ යි ද දනී, වීතමෝහ සිත වීතමෝහ සිතැ යි ද දනී. සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි ද දනී. වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද ... සෝත්තර සිත සෝත්තර සිතැ යි ද ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ... අසමාහිත සිත අසමාහිත සිතැ සි ද ... විමුක්ත සිත විමුක්ත සිතැ ය ද ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
83. මාණවය, මහණ තෙම මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැයි දනී යන යමක් ඇද්ද, මේත් ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
84. හේ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පත් කල්හි, පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය (=පෙර වුසූ කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද, “අසෝ තන්හි මේ නම් ඇතියෙම් වීමි. මේ ගොත් ඇතියෙම් වීම්. මෙ බඳු පැහැ ඇතියෙම් වීම්. මෙ බඳු ආහාර ඇතියෙම් වීම්. මෙ බඳු සුව දුක් විඳින්නෙම් වීම්. මෙ බඳු (මෙතෙක්) ආයු කෙළවර කොටැතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහි ද මේ නම් ඇතියෙම් වීමි. මේ ගොත් ඇතියෙම් වීම්. මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීම්. මේ බඳු ආහාර ඇතියෙම් වීමි. මෙ බඳු සුවදුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපනිමි”යි මෙසේ අනේකවිධ වූ පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්‍ණාදි වශයෙන් ආකාර සහිත වූ නම්ගොත් විසින් උද්දේශ සහිත වූ බහුවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙයි.
85. මාණවය, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකය යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම වටාලා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙම්, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ මම් ඒ ගමින් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි”යි ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ද - මාණවය, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු කල්හි, දීප්ත කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ ‘අසෝ තන්හි මේ නම් ඇතියෙම් වීම්, මෙ බඳු ගොත් ඇතියෙම් වීමි, මේ බඳු පැහැ ඇතියෙම් වීමි, මෙ බඳු ආහාර ඇතියෙම් වීමි, මේ බඳු සුවදුක් විඳුනෙම් වීම, මේ බඳු ආයුසීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මේ නම් ඇතියෙම්, මේ ගොත් ඇතියෙම්, මේ බඳු පැහැසටහන් ඇතියෙම්, මේ බඳු ආහාර ඇතියෙම්, මෙ බඳු සුවදුක් විඳින්නෙම් වීම්, මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. -
ඒ මම එයින් සැව මෙහි උපනිමි’ යි මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක්ද, ජාති තිහක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප දැයි මෙසේ අනේකවිධ වූ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේශ සහිත වූ පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි.
86. මාණවය, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... අනේකවිධ වූ පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි යන යමෙක් ඇද්ද, මෙ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
87. හේ මෙසේ සිත සමාහිත කල්හි, පිරිසිදු කල්හි, දීප්ත කල්හි කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ! මෙ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ. ආර්‍ය්‍යෝපවාද කළහ, මිසදිටු වශයෙන් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඒ මොහු කරජ කය බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍ම හේතුයෙන් හටගත් ගතිය වූ, (කර්‍මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වූ නිරයට වන්නාහ. මෙ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තාහ, සම්දිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තාහ. ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සඟලොවට වන්නාහ යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තා වූ ද, හීන වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ ද සත්ත්‍වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්‍ණ දුර්වර්‍ණ, සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළඹැ සිටි සත්ත්‍වයන් දකී.
88. මාණවය, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යත එනවුනුත්, සිවුමංහන්දිය මැදැ හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුම්ංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද -
89. මාණවය, එ පරිදි ම එ මහණ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි පිරිසිදු කල්හි දීප්තිමත් කල්හි කෙලෙස් නැති කල්හි උපක්ලේශ පහ වූ කල්හි මෘදු කල්හි කර්‍මක්‍ෂම කල්හි ස්ථිත කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උත්පත්ති දක්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙය. හේ මානුෂක විෂයය ඉක්මි පිරිසිදු වූ දිවැසින් “අහෝ මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ. ඒ මොහු කා බුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්‍මයෙන් උපන් ගතිය වූ, තමනට තමන් අවශග වැ වැටෙන තැන වූ නිරයට වන්හ. එහෙත් මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්හ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්හ. මොහු කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති සග ලොවට වන්නාහ”යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තාවූ ද, පහත්වූ ද, උසස්වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නො මනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්‍වයන් දකී. මෙසේ පිරිසිදු වූ, මානුෂක විෂයය ඉක්මැ පැවැති දිවැසින්, හීන ප්‍රණීත, සුවර්‍ණ දුවර්‍ණ සුගත දුගීත සත්ත්‍වයන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළඹ සිටි සත්ත්‍වයන් දකී.
90. මාණවය, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි පිරිසිදු කල්හි ... සුගත දුර්‍ගත වූ කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී යන යමෙක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
91. හේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණ සිටි කල්හි, ආස්‍රවයන්ගේ ක්‍ෂයය (විනාශය) පිණිස සිත මොනොවට යොමු කෙරෙයි. මොනොවට නැඹුරු ද කෙරෙයි. (එසේ වූ) හෙ තෙමේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් ඉපැද්මට කාරණය’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි (නිවනැ’යි) ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට යන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයෝ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ’යි ඇති සැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන් ද මිදේ. (ඔහු) සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත) මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදුණේ යැ’යි (ප්‍රත්‍යවේක්‍ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්‍ෂීණ විය (හෙවත් නැවැත භවයෙහි නොඋපදවනා ස්වභාවයට පැමිණියෙමි). ‘මඟ බඹසර වැස නිමැවිණි.’ (සිවු සස්හි සතර මඟින් කළ යුතු සොළොස් වැදෑරුම්) කිස කොට නිමැවිණි. මේ බව පිණිස (මේ ක්ලේශක්‍ෂයය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’යි හේ දනී.
මාණවය, යම්සේ කඳු මුදුනෙකැ වූ, පහන් වූ, වෙසෙසින් පහන් වූ, නොකැලඹුණු (-බොර නො වූ) දිය විලෙක්වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුළ හැසිරෙන්නා වූත් සිටුනා වූත් සිප්පිබෙල්ලනුත් සක්බෙල්ලනුත් කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය. නො කැලඹුණේ ය. මෙහි මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැට කැබිලිතිත් මත්ස්‍යසමූහයෝත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති”යි මෙසේ සිතෙක් වන්නේ ද, මාණවය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මන්‍ය වැ ස්ථිත වැ නිශ්චලතාවට පැමිණි කල්හි, ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී, ‘මේ දුකට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්ම’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට යන පිළිවෙතැයි’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයහ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ (ආස්‍රව ඉපැද්මට කරුණැ)’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පැමිණෙන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී.
92. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. භවාස්‍රවය කෙරෙන් ද මිදේ. අවිද්‍යාවස්‍රව්‍ය කෙරෙන් ද මිදේ. මිදුණු කල්හි ‘මිදුණේ යැ’යි දැනීම වේ. “භවෝත්පත්තිය ක්‍ෂීණ විය. මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද්දේ ය, (සිවු සස්හි සිවු මගින්) කළයුතු (සොළොස් වැදෑරුම්) කෘත්‍යය කොටැ නිමැවිණ. මෙ රහත්බව පිණිස (=මේ ක්ලේශක්‍ෂයය පිණිස) කළ යුතු අන් කිසිත් නැතැ’යි හේ දනී. මාණවය, මහණ තෙම මෙසේ සිත සමාධිගත කල්හි ශුද්ධ වූ කල්හි ... කළ යුතු දෑ කොට නිමැවිණ. මෙය පිණිස තවත් කටයුතු දැයෙක් නැතැ යි දනී යන යමෙක් ඇද්ද, මෙය ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
93. මාණවය, ඒ භාග්‍යවතුන් වහන්සේ යමෙක ගුණ වදාරන සුලු වූ සේක් වූහු නම්, යමෙක මේ ජනතාව මොනොවට ගැන් වූ සේක් පිවිස්වූ සේක් වූහු නම්, මේ ඒ ප්‍රඥාස්කන්‍ධය යි. මෙහි ලා මෙයින් මත්තෙහි කටයුත්තෙක් නැත.”
94. [ශුභ:] “භවත් අනඳ තෙරුනි, ධර්‍ම දේශනාව අභිකාන්ත ය. භවත් අනඳ තෙරුනි, ධර්‍ම දේශනාව අභිකාන්ත ය. භවත් අනඳ තෙරුනි, යම්සේ යැටිකුරු කොට තැබූ (මුහුණින් නැමූ) බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එපරිද්දෙන් ම භවත් අනඳ තෙරුන් විසින් මට නොයෙක් අයුරින් ධර්‍මය පවැසිණ. භවත් අනඳ තෙරුනි, ඒ මම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ යෙමි. අද පටන් දිව්හිම් කොට සරණ ගිය උවසක් හු කොට භවත් අනඳ තෙරණුවෝ මා සලකත් වා.”
දසවනු ශුභසූත්‍රය නිමියේ ය.
11.
කේවට්ට සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දා නුවරට නොදුරු නොළං තන්හි වූ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක. එ කල්හි කේවඩ්ඪ නම් ගැහැවිපුත් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සාදර ව වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම කේවඩ්ඪ ගැහැවිපුත් තෙම “වහන්ස, මේ නාලන්‍දා නගරිය සමෘද්ධ ය, ස්ථිත ය (නන් වැදෑරුම් භාණ්ඩයෙන් පිරුණේ ය), බොහෝ ජනයා ඇත්තේ ය, ගැවැසුණු මිනිසුන් ඇත්තේ ය, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේ ය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරුමිනිස්දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්‍යවතුන් වහන්සේ අණ කරන සේක් වා. මෙසේ මේ නාලන්‍දාව වඩාලාත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය.
2. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කේවඩ්ඪ ගැහැවිපුතු බණවා, “කේවඩ්ඪය, ‘මහණෙනි, තෙපි (මෙසේ) එවූ. සුදුවත් හඳින ගිහිනට උතුරුමිනිස්දහමින් පෙළහර කරවු’ යැ යි මහණුනට මෙසේ දහම් නො දෙසමි’යි වදාළ සේක.
3. දෙවෙනි වර ද කේවඩ්ඪ ගැහැවිපුත් තෙම “වහන්ස, මේ නාලන්‍දා නගරිය සමෘද්ධ ය, ස්ථිත ය. බොහෝ ජනයා ඇත්තේ ය. මිනිසුන්ගේ ගැවැසුණේ ය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේ ය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරු මිනිස් දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ යි භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ කේවඩ්ඪ ගැහැවිපුතුට, “කේවඩ්ඪය, ‘මහණෙනි, තෙපි (මෙසේ) එවු. සුදුවත් හඳනා ගිහිනට උතුරුමිනිස් දහමින් පෙළහර කරවු’යි මහණුනට මෙසේ දහම් නො දෙසමි”යි වදාළ සේක.
4. තෙවෙනි වර ද කේවඩ්ඪ ගැහැවිපුත්, වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ (ගුණ නසා) පහත හෙළනුයෙම් නො වෙමි. වැලි දූ මේ නාලන්‍දා නුවර සමෘද්ධ ය. ස්ථිත ය. බොහෝ ජනයා ඇත්තේ ය. මිනිසුන්ගේ ගැවැසුණේ ය. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණේ ය. වහන්ස, යාච්ඤා කරම්, යමෙක් උතුරුමිනිස්දහමින් ඉදුපෙළහර කරන්නේ නම්, එසේ වූ එක් මහණකුට භාග්‍යවතුන් වහන්සේ අණ කරන සේක් වා. මෙසේ මේ නාලන්‍දාව වඩාලාත් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පහදින්නේ යැ යි සිතා ම මෙසේ කියමි”යි මෙ වචන කී ය.
5. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “කේවඩ්ඪය, මා විසින් ම වෙසෙසින් දැන පසක් කොට දෙසන ලද මේ පාතිහාර්‍ය තුනෙකි. කවර තුනෙක් ද? යත්, ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනප්‍රතිහාර්‍ය්‍යය යන තුන ය. කේවඩ්ඪය, ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය කවර යැ? කේවඩ්ඪය, මෙහි මහණ පියෙවියෙන් එකෙක් වැ ම සිටැ බොහෝ පරිදි වෙයි. එසේ බොහෝ වැ සිටැ යලි දු එකෙක් වෙයි. පැනෙන බවට යෙයි. නොපැනෙන බවට ද යෙයි. බිත්තියෙන් පිටතට ද පවුරෙන් පිටතට ද පව්වෙන් පිටතට ද අහසෙහි මෙන් නොගැටෙනුයේ විනිවිද යෙයි. පොළොවෙහි ද දියෙහි මෙන් ගිලීම මතු වීම කෙරෙයි. පොළොවෙහි සේ නොබිඳෙන දියෙහි (දිය නොබිඳැ) යෙයි. අහසෙහි ද පියාපත් ඇති ලිහිණියකු මෙන් පලඟින් යෙයි. මේසා මහ ඉදුමත් මේසා මහ තෙදවත් සඳ හිරු දෙදෙනාපවා අත්ලෙන් ස්පර්‍ශ කෙරෙයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් වශය පවත්වයි. නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ පසක් කෙරෙයි.
6. සැදැහැති පැහැදුණු එක්තරා පුරුෂයෙක්, පියෙවියෙන් එකකු ව සිට බොහෝ පරිදි වන, බොහෝ පරිදි වැ යලි දූ එකකු වන, පැනෙන බවට නොපැනෙන බවට යන, අහසෙහි මෙන් බිත්තියෙන් පිටතට ද පවුරෙන් පිටතට ද නොගැටෙමින් විනිවිද යන, පොළොවෙහි ද දියෙහි මෙන් ගිලීම මතු වීම කරන, පොළොවෙහි සේ නොබිඳෙන දියෙහි යන, අහසෙහි ද පියාපත් ඇති ලිහිණියකු මෙන් පලඟින් යන, මේසා මහ ඉදුමත් මේසා මහතෙදැති සඳහිරු දෙදෙනා අත ගාන, පිරිමදින, බඹලොව දක්වා ද කයින් වශය පවත්වන, මෙසේ නොයෙක් වැදෑරුම් ඉදුකොටස් පසක් කරන එ මහණහු දකී.
7. ඒ සැදැහැති පහන් පුරුෂයා සැදැහැ නැති නොපහන් පුරුෂයකුට ‘භවත, මේ මහණහුගේ මහඉදුමත්බව මහතෙදවත්බව අසිරිමත් ය, පුදුම ය. පියෙවියෙන් එකකු වැ සිට බොහෝ පරිදි වැ යලි එකකු වන ... බඹලොව දක්වාත් කයින් වශය පවත්වන, මෙසේ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධ පසක් කරන අසෝ මහණහු මම දිටිමි’යි කියයි. එ විට ඒ සැදැහැ ඇති පහන් පුඟුලාට ඒ සැදැහැ නැති නොපහන් පුඟුල් තෙම “භවත, ගාන්‍ධාරි නම් විද්‍යාවෙක් ඇත. ඒ මහණ ඒ විදුයෙන් එකෙක් වැ සිට බොහෝ පරිදි වෙයි ... බඹලොව තෙක් ද කයින් වශය පවත්වයි යන මෙසේ වූ නොයෙක් වැදෑරුම් ඍද්ධිවිධය පසක් කෙරේ යැ”යි කියන්නේ ය. කේවඩ්ඪය, ඒ කිමැ යි සිතහි ද? ඒ සැදැහැ නැති නොපහන් තැනැත්තේ ඒ සැදැහැ ඇති පහත් තැනැත්තහුට මෙසේ කියන්නේ ද?” “එසේ කියන්නේ ය වහන්සැ” කේවඩ්ඪ කී ය. “කේවඩ්ඪය, මම ඉදුපෙළහරෙහි මේ දොස දක්නෙම් ඉදුපෙළහරින් පෙළුණකු බඳු වෙමි, ලජ්ජිත වෙමි, එයට පිළිකුල් කෙරෙමි.
8. කේවඩ්ඪය, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යය කවර යැ? කේවඩ්ඪය, මෙහි මහණ තෙම ‘තා මනස මෙසේත් වෙයි. මෙබඳුත් වෙයි. තාගේ සිතීමත් මෙ බඳු වේ’යැ යි අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත ද හෙළි කොට කියයි. චෛතසික (සිතැ සොම්නස හෝ දොම්නස) ද හෙළි කොට කියයි. (නෙක්ඛම්ම විතක්කාදි) කල්පනා කළ දෑ ද, (සිත මෙ නම් අරමුණෙහි හැසිරේ යැ යි) සිත හැසිරෙන අරමුණ ද හෙළි කොට කියයි. ‘තා මනස මෙසේත් වෙයි. තා මනස මෙබඳුත් වෙයි. තගේ සිතත් මෙබඳු වේ’යැ යි මෙසේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත ද හෙළි කොට කියන, චෛතසිකය ද හෙළි කොට කියන, සිත හැසිරීම ද හෙළි කොට කියන, ඒ මහණහු සැදැහැති පැහැදුණු එක්තරා පුඟුලෙක් දකී. ඒ සැදැහැති පැහැදුණු පුඟුල් තෙම එක්තරා සැදැහැ නැති නොපහන් පුඟුලකුට ‘පින්වත, මහණ වහන්දෑගේ මහඉදුමත්බව මහතෙදැතිබව ඒකාන්තයෙන් අසිරිමත් ය. ඒකාන්තයෙන් පුදුම ය. ‘තා මනස මෙසේත් වෙයි, තා මනස මෙබඳුත් වෙයි. තා සිත මෙබඳුත් වේ යැ’යි මෙසේ අසෝ මහණහු අන් සතුන් අන් පුඟුලන් සිත ද හෙළි කොට කියන්නහු, චෛතසිකය ද හෙළි කොට කියන්නහු, කල්පනාව ද හෙළි කොට කියන්නහු, සිතැ හැසිරීම ද හෙළි කොට කියන්නහු දිටිමි’ යි සැළ කෙරෙයි. ඒ සැදැහැති පැහැදුණු පුඟුලාට ඒ සැදැහැ නැති නො පැහැදුණු පුඟුල් තෙම ‘භවත, මණිකා (චින්තාමණි) නම් විද්‍යාවෙක් ඇත් ම ය. ඒ මහණ ‘තා මනස මෙසේත් වෙයි, තා මනස මෙබඳුත් වෙයි, තා සිත මෙබඳුත් වේ’ යැ යි මෙසේ ඒ විද්‍යායෙන් අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත කියයි, චෛතසිකය ද කියයි, විතර්‍කය ද කියයි, චිත්තවිචාරිතය ද කියා යැ යි මෙසේ කියන්නේ ය. ඒ කිමැ යි සිතහි ද? ඒ සැදැහැ නැති නොපැහැදුණු තැනැත්තේ ඒ සැදැහැති පහන් තැනැත්තහුට මෙසේ කියන්නේ ද?” “කියන්නේ ය, වහන්සැ”යි (කේවඩ්ඪ කී ය.) ‘කේවඩ්ඪය, මම් ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයාගේ මේ දොස දක්නෙම්, ආදේශනාප්‍රාතිහාර්‍ය්‍යයෙන් පෙළුණකු බඳු වෙමි, ලජ්ජිත වෙමි, එයට පිළිකුල් කරමි.
9. කේවඩ්ඪය, අනුශාසනප්‍රාතිහාර්‍ය්‍යය කවර යැ? කේවඩ්ඪය, මෙ සස්නැ මහණ තෙම ‘මෙසේ කල්පනා කරවු, මෙසේ මෙනෙහි කරවු, මෙසේ නො මෙනෙහි කරවු, මෙය පහ කරවු, මෙය ලැබ වසවු’යි මෙසේ අනුශාසන කරයි. කේවඩ්ඪය, මේ අනුශාසනප්‍රතිහාර්‍ය්‍යය යැ යි කියනු ලැබේ.
10. කේවඩ්ඪය, තව ද අනෙකක් කියමි. මෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යංජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙයි.
11. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, ‘ගිහිගෙයි විසීම සම්බාධයෙකි, රජස්පථයෙකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්බලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැර, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ. ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නේ, නිවරද වූ කායවාක්කර්‍මයේ සමන්‍විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන් හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි.
12. මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද? යත්: කේවඩ්ඪය, මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නො දරන්නේ), පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ. හේ අදත්තාදානය හැරැ ලා, නොදුන් දෑ ගැන්මෙන් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අබිරම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත කළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ කේලාම් කීම දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මෙ තැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳවනු පිණිස එතන්හි නොකියන සුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳවනු පිණිස මෙ තන්හි නො කියනසුලු වූයේ, මෙසේ බිඳුණවුන් ගළපන්නේ (සමග කරන්නේ) ද, එකට ගැළැපුණවුන් (සමගියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමගියෙන් වසන්නවුනට කැමැත්තේ, සමග වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමගිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි.
නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදගන්නා, නොගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේ ද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොල් හිස් දෙඩැවිලි හැරැලා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාලවේලායෙහි කථා කරන සුලු වූයේ, ඇත්ත ම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක් ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
13. හේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූත සමූහ (පැළ වුණු දෑ) ද සිඳීමෙන් බිඳීමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල්බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මි උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවුඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායයෙන් අනුන් රැවැටීමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මෙ කී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම් කිරීමෙන් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
14. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදි පැළ වන මුල් ද), ස්කන්‍ධ වීජ ද (නුග ආදි පැළවන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදි පැළ වන පුරුක් ද). අග්‍රවීජ ද (ඉරිවේරිය ආදි පැළ වන දලු ද ), පස් වනු වීජවීජ ද (වී ආදී පැළ වන ඇට ද) යන මෙ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැළුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ වීජග්‍රාමභූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
15. යම්සේ ඇතැම් භවත් මහණ බමුණු කෙනෙක් සැදැයෙන් දුන් බොජුන් වළඳා, කන දෑ රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කොට තබා ගැන්ම, වස්ත්‍ර රැස් කොට තබා ගැන්ම, (රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන) යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර (තවත් තල සහල් ඈ වුව මනා) පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
16. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා. නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැසුම හෝ අත්තල ගැසුම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිවුරස් බෙර වැයුම), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දෙවතාවනට ස්ත්‍රෝත්‍ර වශයෙන් නාන්‍දිගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සණ දොවුන් කෙළිය (හෝ ආයෝගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සෝදා සුවඳ කවා තබා නකත්සෙමහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
17. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලු පැනුම, සන්තිකා ක්‍රීඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනලා පිඹුම, කෙළිනඟුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළනැළියේනවැලි ඈ මැනුම, ක්‍රීඩාරථ පැදවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය (පිටේ හෝ අහසේ අකුරු ඇඳ ඒ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකෘතංගානුකරණය (කනුත් කොරුන් යන ආදීන් සේ ඉරියවු පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මෙ හෝ මෙ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
18. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පළඟය, මහකොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය) සිංහරූපාදී රූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසෙය්‍ය හුයින් වියූ ඇතිරිය, ඇතු පිට එළන ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රත්කන්වයින් තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කිරීමෙන් යෙදී වෙසෙද්ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ උස්යහන් මහයහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
19. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පාඈහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඈහි මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම්, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වන දැ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු දැ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
20. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා රාජකථා චෝරකථා මහාමාත්‍යකථා සේනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා කුමාරකථා කුමාරිකථා ශූරකථා වීථිකථා කුම්භස්ථානකථා නානාත්‍වකථා ලෝකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛ්‍යායිකාකථා ඉතිභවාභවකථා යන මේ බඳු වූ තිරශ්චීන කථාවන්හි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
21. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නොදනිහි. මම් ම මේ දහම් විනය දනිමි. මේ දහම් විනය කිමැ යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැඟිණ. මා විසින් නිගන්නා ලද්දෙකි. මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මෙ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණදොඩාගැන්මෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
22. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්නැ, අසෝ තැනට මෙය ගෙනෙන්නැ”යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහැමැතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මේ බඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ අන් මේ වැනි වූ හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මෙ ද ඔහුගේ ශීලයෙක් වේ,
23. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මේ කී ද මේ බඳු වූ ද කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
24. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙ කී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී ද මේ බඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
25. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු, වත්ලකුණු, දඬුලකුණු, කඩුලකුණු, ඊලකුණු, දුනුලකුණු, අවිලකුණු, ඉතිරිලකුණු, පුරිස්ලකුණු, කුමරලකුණු, කුමරිලකුණු, දස්ලකුණු, දැසිලකුණු, ඇත්ලකුණු, අස්ලකුණු, මියුලකුණු, වහප්ලකුණු, ගොන්ලකුණු, එළුලකුණු, බැටෙළුලකුණු, කුකුළුලකුණු, වටුලකුණු, ගොය්ලකුණු, කැණිලකුණු, කසුබුලකුණු, මුවලකුණු යන ආදි මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මෙබඳු වූ ද තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
26. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ අසෝ නැකැතිත් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය. අසෝ නැකැතිත් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතිත් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට රට තුළ හුන් රජුන්ගේ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. රට තුළැ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු වූ මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
27. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳහිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත්තරුන් නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නො මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුන්ගේ ද උදාව බැසීම් කෙලෙසීම් පිරිසිදුබව වන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍ය්‍යග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මගින් යැම් මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල ගෙන දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු පල ගෙන දෙන්නේ යැ” යි කියනුවෝ, මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
28. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මෙ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙඟි නියං වන්නේ ය. මෙ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග නැති බව වන්නේ යැ”යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥාතබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍ර ය, ලෝකායතශාස්ත්‍ර යන මේ හෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
29. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම්, මුදල් ණයට පොලියට දීමට නකත් කීම්, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම්, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම්, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
30. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියකු කිරීම, පිරිමියා පණ්ඩකයකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශීර්‍ෂවිරේචන බේත් දීම්, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත්තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් කිරීම, ගිහියනට ශල්‍ය කර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගළවා දැමීම යැ” යි මෙ ආදි හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
31. කේවඩ්ඪය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. කේවඩ්ඪය, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනැසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි බියක් යම්සේ නො දක්නේ ද, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශීලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් වියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය්‍යය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුඛය විඳී. කේවඩ්ඪය, මෙසේ මහණ තෙමේ ශීලසම්පන්න වේ.
32. “කේවඩ්ඪය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්ගි වැසූ දොර ඇත්තේ වේ ද යත්: කේවඩ්ඪය, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ගුභාදිවශයෙන් අත්පා ආදි අවයවයන්ගේ ආකාර සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස ආස්වාදය කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බන දැන, ශුභාදිවශයෙන් එහි ලකුණ ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් අත් පා ආදි අවයවයන්ගේ ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝතෙන්‍ද්‍රියය ... ඝ්‍රාණේන්‍ද්‍රියය .... ජිව්හෙන්‍ද්‍රියය ... කායේන්‍ද්‍රියය ... මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද, ඒ ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයාගේ ... ඝ්‍රාණේන්‍ද්‍රියයාගේ ... ජීව්හෙන්‍ද්‍රියයාගේ ... කායේන්‍ද්‍රියයාගේ ... මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේකසුඛය (කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය) විඳී. කේවඩ්ඪය, මෙසේ වනාහි මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
33. කේවඩ්ඪය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහි නුවණින්) සමන්‍විත වේ ද යත්: කේවඩ්ඪය, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වට පිට බැලීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිළීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටිකැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි නොබිණීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. කේවඩ්ඪය, මෙසේ වනාහි මහණ තෙමේ සිහි නුවණින් සමන්‍විත වෙයි.
34. කේවඩ්ඪය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද යත්: කේවඩ්ඪය, මෙ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වු ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික්මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. කේවඩ්ඪය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත් බර සහිත ව ම යම් සේ පියා හඹා ද, එසේ ම ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද, පා සිවුරු (ආදි අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. කේවඩ්ඪය, මෙසේ වනාහි මහණ තෙමේ ලද පසයෙහි සතුටු වේ.
35. කේවඩ්ඪය, ඒ මහණ තෙමේ මෙ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මෙ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මෙ ආර්‍ය්‍ය ස්මෘතිසම්ප්‍රජානයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මේ කී ජනශුන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා කමටහනට යොමු කොට සිහි එළවා හිඳී.
36. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල්ම හැර විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥා ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙසි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන්බවත්) කුකුසත් (කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංහිඳුණු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසුදු කෙරෙයි.
37. කේවඩ්ඪය, යම්සේ පුරුෂයෙක් ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් තම්, එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම, යම් පරණ ණය මුදල් වී නම්, එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
38. කේවඩ්ඪය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මේ වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන්බව් ඇති ලෙඩෙක් වීමි. මට අහර ද රිසි නො වී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහර ද රිසියෙයි. මා ඇඟපත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද –
39. කේවඩ්ඪය, යම් සේ පුරුෂයෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝගවිනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මාගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද,හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
40. කේවඩ්ඪය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙක යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යෑ නො හැකි දාසයෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
41 කේවඩ්ඪය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙර ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති, ආහාරදුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භයරහිත ගමකට පැමිණියෙම් වෙමි”සි සිතෙක් වන්නේ ද, හෝ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද –
42. කේවඩ්ඪය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල්බවක් මෙන් දිය නැති දික්මඟක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මාණවය, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණුබව යම්සේ ද, නිවහල්බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේ ම (පිළිවෙළින්) මෙ පහ වූ නීවරණ පස (හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
43. තමා කෙරෙහි පහ වූ මේ නීවරණ පස දක්නා ඔහුට සතුව උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාමකය සංහිඳේ. සංහුන් නාමකය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ (එකඟ වේ).
44. හේ කාමන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහ වීමෙන්) උපත් ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධ්‍යානය ලැබ වෙසේ. හේ මේ කරජකය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.
45. කේවඩ්ඪය, යම්සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණුපිඬ කාවැදුණු දිය ඇත්තේ, හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දිය නො වගුරුවන්නේත් වේ ද, කේවඩ්ඪය, එසේ ම මහණ තෙමේ මේ කරජකය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
කේවඩ්ඪය, මහණ තෙම කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් උපත් ප්‍රීතියත් සුවයත් ඇති යම් පළමු දහනක් ලැබ වෙසේ ද, හේ ඒ විවේකජ ප්‍රීතිසුඛයෙන් මේ කය ම තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හාත්පස පැතිරැ ගනී. ඔහුගේ සියලු කයැ විවේකජ ප්‍රීතිසුඛයෙන් නො පැතිරැ ගත් කිසිදු තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
46. කේවඩ්ඪය, නැවැත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ විතර්‍ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු), සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධාන්‍යායට පැමිණ වෙහෙසයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ කයේ විවේකයෙන් උපත් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
47. කේවඩ්ඪය, යම්සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, එයට පෙරදිගින් දිය ඇතුළු වන මගෙක් නො වන්නේ ද, දකුණු දෙසින් ද දිය ඇතුළු වන මගෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මගෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මගෙක් නො වන්නේ ද, වැස්ස ද කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැන ම වැද ගෙන පැතිරැ සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද, කේවඩ්ඪය, එසේ ම මහණ තෙමේ මෙ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. කේවඩ්ඪය, මහණ තෙමේ විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් තමා කෙරෙහි පැහැදීම් ඇති කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍කරහිත, විචාරරහිත, සමාධියෙන් පහළ වූ, ප්‍රීතිය හා සුඛවේදනාව හා ඇති යම් දෙවෙනි ධ්‍යානයට පැමිණැ වෙසේ ද, හේ මේ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි. හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයැ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
48. නැවැත ද (අනෙකක් කියම්:) කේවඩ්ඪය, මහණ තෙමේ ප්‍රීතිය ගේ ද විරාගයෙන් (පහ වීමෙන්, සංහිඳීමෙන්), උපේක්‍ෂක වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. (දහන්) සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ, සිහි ඇත්තේ, සුඛවිහරණ ඇත්තේ යැ’ යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.
හේ මෙ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. හැම පරිදි තෙත් කෙරෙයි. පුරා ලයි. හැම තැන ම පැතිර වැදැ ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රිතීක සුඛයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
49. කේවඩ්ඪය, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ, දියෙහි වැඩුණේ, දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ හැම අක් දක්වාත් මුල් දක්වාත් සිසිල් දියෙන් තෙමුණේ, හැම පරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද, කේවඩ්ඪය, එසේ ම මහණ තෙමේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. හාත්පසින් තෙමයි. පුරා ලයි. හැම පරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
50. නැවැත ද (අනෙකක් කියම්.) කේවඩ්ඪය, මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුඃඛ වේදනාව ද දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහ වීමෙන්, දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්‍ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සතර වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි. කේවඩ්ඪය, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙවැ හුන්නේ වේ නම්, ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නො වන්නේ ද, කේවඩ්ඪය, එසේ ම මහණ තෙමේ මේ කය ම පිරිසිදු ප්‍රභාස්වර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහු කයැ පිරිසිදු පබසර සිතින් වැද ගෙන නොසිටි කිසි ද තැනෙක් නො වෙයි. කේවඩ්ඪය, මහණ තෙම සුඛ වේදනාව ද දුක් වේදනාව ද පහ කිරීමෙන්, පළමුවෙන් ම සොම්නස් දොම්නසුන් පහ වැ යෑමේත්, දුක් ද නොවූ සුව ද නො වූ, උපේක්‍ෂාවත් ස්මෘතියත් යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සිවුවන දහන් ලැබැ වෙසෙයි. එයින් හෙ තෙම මෙ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙත හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි යන යමක් ඇද්ද, මෙ ද ඔහුගේ සමාධියෙක් වෙයි.
51. තව ද (අනෙකක් කියම්) කේවඩ්ඪය, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි නැති වූ කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මෘදු වූ කල්හි, විදර්‍ශනාභාවනාවට යෝග්‍ය කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස, (පරිකර්‍ම) සිත එයට අභිමුඛ කෙරෙයි. ඒ අතට නමා හරියි. හේ “මාගේ මේ කය වූ කලි රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදි අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙඟි බැඳුණේ යැ” යි මෙසේ දැන ගනී.
52. කේවඩ්ඪය, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ මොනොවට පිරියම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදි සියලු ආකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල්වන් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ පඬුවන් වූ හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන්, අටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදි ආකාරයෙන් සම්පූර්‍ණ වූ වෙරළුමිණෙක. මෙහි නිල්වන් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද, කේවඩ්ඪය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් යටපත් වූ කල්හි, උපක්ලේශයන් පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්‍ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි. ඒ අතට නමා හරියි. හෙ තෙම “මාගේ මේ කය වූ කලි රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය. බත් කොමු ආදි අහරින් වැඩුණේ ය. අනිස බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉලියැ යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, ඒ කළත් බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටඇත්තේ ය. මාගේ මේ සිත ද මෙහි ලැග ගන්නේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.
53. කේවඩ්ඪය, මහණ මෙසේ සමාධිගත සිත ... මාගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය. මෙහි බැඳුණේ යැ’ යි මෙසේ දනී යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
54. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් නොමැති වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ (ඍද්ධි ඉපැදැවීමට යෝග්‍ය වු) කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වූ, සියලු අඟපසකින් යුත්, විකල නො වූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි. කේවඩ්ඪය, යම්සේ පුරුෂයෙක් මුදුතණගසෙකින් තණකූර (=තණ බඩය) ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ මුදුතණගස ය, මේ එහි තණබඩය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි, මුදුතණ ගසකෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ’ යි මෙසේ සිතෙක් වන්නේ ද, කේවඩ්ඪය, යම්සේ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද, ඔහුට ‘මේ කඩුව ය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකෙක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, කේවඩ්ඪය, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන් කරන්නේ ද, ඔහුට ‘මේ නයා ය, මේ සැව ය, නයා එකෙක, සැවය අනෙකක, සැවය කෙරෙන්ම නයා ඇද වෙන් කරන ලද්දේයැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, කේවඩ්ඪය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාධිගත වැ පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පත් කල්හි, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුත් අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. කේවඩ්ඪය, මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි ... රූපී වූ මනෝමය වූ සියලු අඟපසඟින් යුත් අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
55. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය (=ඍද්ධියට යෝග්‍ය) කල්හි, ස්ථිත කල්හි, නිශ්චලත්‍වයට පැමිණි කල්හි, ඍද්ධිවිධඥානය පිණිස (අභිඥාපාදක) පරිකර්‍ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ ඍද්ධිවිධය (ඍද්ධි කොට්ඨාසය) නැවත නැවත අනුභව කෙරෙයි (හෙවත් නාම කයින් ස්පර්‍ශ කෙරෙයි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි, ලබයි): පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (ඍද්ධි බලයෙන්) බහු ප්‍රකාර ද වී යලි දු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනී සිටී). අප්‍රකට බව කෙරෙයි (නො පෙනී සිටියි). බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්‍වතයෙන් පිටතට, අහසෙහි මෙන් කිසිවෙක නො ගැටෙනුයේ මැදින් විනිවිද යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම (ගිලීම), උඩට නැගීම (මතු වීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්‍ෂ ඇති සකුණයකු මෙන් අහසෙහි ද පලඟින් (=ඌරුබද්ධාසනායෙන්) යෙයි. මේසා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අතින් පරාමර්‍ශන කෙරෙයි (අල්ලයි), (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්වයි.
56. කේවඩ්ඪය, යම්සේ දක්‍ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද -
කේවඩ්ඪය, යම්සේ දක්‍ෂ දන්තකාරයෙක් (ඇත්දතින් විසිතුරු රූ ඈ කරන්නෙක්) හෝ දන්තකාරයක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ දතෙහි යම් යම් දන්තවිකෘතියක් තමා කැමැති නම්, ඒ ඒ දැය ම කරන්නේ ද නිපදවන්නේ ද, කේවඩ්ඪය, යම්සේ දක්‍ෂ රන්කරුවෙක් හෝ රන්කරුවක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ රනෙහි යම් යම් ස්වර්‍ණවිකෘතියක් තමා කැමැත්තේ නම්, එය එය ම කරන්නේ ද, නිපදවන්නේ ද, එසේ ම කේව්ඪය, මහණ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, පර්‍ය්‍යවදාත කල්හි, අංගණ රහිත කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය කල්හි, ස්ථිත කල්හි, අචල බවට පැමිණැ සිටි කල්හි ඍද්ධිවිධය පිණිස සිත යොමු කෙරෙයි, නමා ලයි. හේ එකෙක් වැ බොහෝ පරිදි වේ ... බඹලොව තෙක් ද කයින් වශය පවත්වයි යන අනේකවිධ ඍද්ධිවිධ අනුභව කෙරෙයි. කේවඩ්ඪය, මහණ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි … බඹලොව දක්වා ද කයින් වශය පවත්වයි, අනේකවිධ ඍද්ධිවිධ අනුභව කෙරේ යන යමක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වේ.
57. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍යශ්‍රෝත්‍රධාතුව පිණිස (=දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්ම සිටි දිව කනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද, ළං වූ ද යන ද්විවිධ ශබ්ද ම අසයි. කේවඩ්ඪය, යම්සේ මිනිසෙක් දික් මඟකව පිළිපන්නේ ද, හේ බෙර හඬත් මිහිඟුබෙර හඬත් පණාබෙර හඬත් ගැටබෙර හඬත් යම් සේ අසන්නේ ද, ඒ අසන ඔහුට මේ බෙර හඬැයි කියාත් මේ මිහිඟුබෙර හඬැ යි කියාත් මේ සක් හඬ යැ, මේ පණාබෙර හඬ යැ, මේ ගැටබෙර හඬ යැ යි කියාත් මෙසේ සිතෙක් වන්නේ ද, කේවඩ්ඪය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මණ්‍ය (කර්‍මක්‍ෂම) වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍යශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය ඉක්ම දිවකන්නුවණින් දිව්‍ය වූත් මානුෂක වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.
58. කේවඩ්ඪය, ඒ මහණ මෙසේ සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි ... දිව්‍ය වූ ද මානුෂක වූ ද, දුරැ වූ ද ළඟැ වූ ද ද්විවිධ ශබ්ද අසයි යන යමෙක් ඇද්ද, මේ ද ඔහුගේ ප්‍රඥාවෙක් වේ.
59. හේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හි, දිප්තිමත් වූ කල්හි, කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍ය්‍යායඥානය පිණිස (=අනුන්ගේ සිත පිරිසිඳ දන්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්‍වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැයි දනී. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැ යි දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැ යි දනී. සංක්‍ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි දනී. වික්‍ෂිප්ත (=විසුරුණු) සිත විසුරුණු සිතැ යි දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි දනී. සමාහිත සිත සමාහිත සිතැ යි දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි දනී.
60. කේවඩ්ඪය, යම්සේ සැරැසෙනසුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩපතෙක හෝ පහන් දියබඳුනෙක හෝ සිය මුවසටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදි දොස් ඇති තැන් සදොස් තැනැ යි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැ යි දන්නේ ද, කේවඩ්ඪය, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරැ කෙරෙයි. හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳැ දනී. සරාග සිත සරාග සිතැ යි දනී. වීතරාග සිත වීතරාග සිතැ යි දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි දනී. වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි දනී. සමෝහ සිත සමෝහ සිතැ යි දනී, වීතමෝහ සිත වීතමෝහ සිතැ යි දනී. සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි දනී. වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැ යි දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ... අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ... සෝත්තර සිත සෝත්තර සිතැ යි ... අනුත්තර සිත අනුත්තර සිතැ යි ... සමාහිත සිත සමාහිත සිතැ යි ... අසමාහිත සිත අසමාහිත සිතැ යි ... විමුක්ත සිත විමුක්ත සිතැ යි ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි දනී.
61. කේවඩ්ඪය, මහණ තෙම මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ කල්හි ... අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි දනී යන යමක් ඇද්ද, මේත් ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
62. හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් නැති වූ කල්හි, උපක්ලේශය පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පත් කල්හි, පූර්‍වෙනිවාසානුස්මෘති ඥානය (=පෙර වුසූ කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍තකල්ප ද, “අසෝ තන්හි මේ නම් ඇතියෙම් වීම්. මේ ගොත් ඇතියෙම් වීම්. මෙ බඳු පැහැ ඇතියෙම් වීමි. මෙ බඳු ආහාර ඇතියෙම් වීමි. මෙ බඳු සුව දුක් විඳින්නෙම් විමි. මෙ බඳු (මෙතෙක්) ආයු කෙළවර කොටැතියෙම් වීම්. ඒ මම් එයින් සැවැ අසෝ තැන උපනිමි. එහි ද මේ නම් ඇතියෙම් වීම්. මේ ගොත් ඇතියෙම් වීමි. මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීම්. මේ බඳු ආහාර ඇතියෙම් වීම්. මෙ බඳු සුවදුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයුසීමාවක් ඇතියෙම් වීම. ඒ මම් එයින් සැව මෙහි උපනිමි”යි, මෙසේ අනේකවිධ වූ පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්‍ණාදි වශයෙන් ආකාර සහිත වූ නම්ගොත් විසින් උද්දේශ සහිත වූ බහුවිධ වූ පූර්වේනිවාසය සිහි කෙරෙයි.
63. කේවඩ්ඪය, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ එ ගමින් සිය ගමට ම වටාලා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙම්, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. ඒ මම් ඒ ගමන් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි”යි ඔහුට මෙ බඳු සිතෙක් වන්නේ ද, කේවඩ්ඪය, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වූ කල්හි, දීප්ත කල්හි, කෙලෙස් රහිත කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මෘදු වු කල්හි, කර්‍මක්‍ෂය වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණි කල්හි, පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ ‘අසෝ තන්හි මේ නම් ඇතියෙම් වීමි, මේ බඳු ගොත් ඇතියෙම් වීමි, මේ බඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මේ බඳු ආහාර ඇතියෙම් වීමි, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීමි, මේ බඳු ආයුසීමා ඇතියෙම් වීමි, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහි ද මේ නම් ඇතියෙම්, මේ ගොත් ඇතියෙම්, මෙ බඳු පැහැසටහන් ඇතියෙම්, මේ බඳු ආහාර ඇතියෙම්, මේ බඳු සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම එයින් සැවැ මෙහි උපනිමි’යි මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක්ද, ජාති තිහක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද, බොහෝ විවර්‍ත කල්ප ද, බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප දැ යි මෙසේ අනේකවිධ වූ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේශ සහිත වූ පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි. කේවඩ්ඪය, මහණ තෙම මෙසේ සමාහිත සිත පිරිසුදු වූ කල්හි ... අනේකවිධ වූ පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි යන යමෙක් ඇද්ද, මෙ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
64. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්ත කල්හි, කෙලෙස් නැති කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මෘදු වූ කල්හි, කර්‍මක්‍ෂම වූ කල්හි, ස්ථිත කල්හි, නිශ්චල බවට පැමිණ කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ! මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද කළහ, මිසදිටු වශයෙන් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඒ මොහු කරජකය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුෂ්ටකර්‍ම හේතුයෙන් හටගත් ගතිය වූ, (කර්‍මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වූ නිරයට වන්නාහ. මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුචරිතයෙන් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්තාහ, සම්දිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තාහ. ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සඟලොවට වන්නාහ’ යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තා වූ ද, හීන වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ ද සත්ත්‍වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්‍ණ දුවර්‍ණ, සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කර්‍මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹ සිටී සත්ත්‍වයන් දකී.
65. කේවඩ්ඪය, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙනවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත් සිවුමංහන්දිය මැද හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මෙ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙති, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, කේවඩ්ඪය, එ පරිදි ම එ මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි දීප්තිමත් කල්හි කෙලෙස් නැති කල්හි උපක්ලේශ පහ වූ කල්හි මෘදු කල්හි කර්‍මක්‍ෂම කල්හි ස්ථිත කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ ලබනු පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ මානුෂක විෂයය ඉක්ම පිරිසිදු වූ දිවැසින් ‘අහෝ! මේ භවත් සත්හු කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද කළහ, මිසදිටුවහ, මිසදිටු වශයෙන් ගත් ව්‍රත ඇතියහ. ඒ මොහු කා බුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ට කර්‍මයෙන් උපන් ගතිය වූ, තමනට තමන් අවශග වැ වැටෙන තැන වූ නිරයට වන්හ. එහෙත් මෙ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් සමන්‍විතයහ, වාක්සුවරිතයෙත් සමන්‍විතයහ, මනඃසුචරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යයනට උපවාද නො කළහ, සම්දිටු ගත්හ, සම්දිටු විසින් ගත් ශීලාදිය ඇත්තාහ. මොහු කා බුන් මරණින් මතු ශෝභන ගති ඇති සගලොවට වන්නාහ”යි මෙසේ මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසඳ ගත්තාවූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නො මනා පැහැ සටහන් ඇති වූ ද, සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද කර්‍මය වූ පරිදි ඒ ඒ භවයට ගිය සත්ත්‍වයන් දකී. මෙසේ පිරිසිදු වූ, මානුෂක විෂයය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත සුවර්‍ණ දුවර්‍ණ සුගත දුර්‍ගත සත්ත්‍වයන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්‍වයන් දකී.
66 කේවඩ්ඪය, මහණ තෙම මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි ... සුගත දුර්‍ගත වූ කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී යන යමෙක් ඇද්ද, මෙ ද ඔහුගේ ප්‍රඥාවෙක් වෙයි.
67. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණැ සිටි කල්හි, ආස්‍රවයන්ගේ ක්‍ෂයය (විනාශය) පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරැ කෙරෙයි. හෙ තෙමේ ‘මේ දුකැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් ඉපැද්මට කාරණය’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’ යි (නිවනැ’ යි) ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට යන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවයෝ යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්ති යැ’යි ඇති සැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන් ද මිදේ, ඔහු සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත) මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදුණේ යැ’ යි (ප්‍රත්‍යවේක්‍ෂණ) ඥානය වේ. ‘භවෝත්පත්තිය ක්‍ෂීණ විය (හෙවත් නැවැත භවයෙහි නොඋපදනා ස්වභාවයට පැමිණියෙමි). ‘මඟබඹසර වැස නිමැවිණි. (සිවු සස්හි සතර මඟින් කළ යුතු සොළොස් වැදෑරුම්) කිස කොටැ නිමැවිණි. මේ බව පිණිස (= මේ ක්ලේශක්‍ෂයය පිණිස) යලි දු කටයුතු දැයක් නැතැ’යි හේ දනී.
68. කේවඩ්ඪය, මෙය අනුශාසනීප්‍රාතිහාර්‍ය්‍යයැ යි කියනු ලැබේ. කේවඩ්ඪය, මොහු මා විසින් ම වෙසෙසින් දැන පසක් කොට පවසන ලද තුන් පෙළහරහු ය.
69. පෙරැ වූවක් කියමි. කේවඩ්ඪය, මේ බික්සඟන අතුරෙහි ම වූ මහණක්හට “පඨවිධාතු ආපෝධාතු තෙජොධාතු වායෝධාතු යන මේ සතර මහාභූතයෝ කොතන්හි දී නිරුද්ධ වෙත් දැ” යි මෙසේ සිතැ විතර්‍කයෙක් උපන. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ යම්සේ සිත සමාධිගත කල්හි දේවයානික මාර්‍ගය (දෙව්බඹලෝ යත හැකි ඍද්ධිවිධඥානය) පහළ වී ද එසේ වූ සමාධියකට සමවන. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ සිවු මහරජයේ දෙවියන් කරා එළැඹියේ ය. එළැඹ ‘ඇවැත්නි, පඨවිධාතු ආපෝධාතු තෙජොධාතු වායෝධාතු යන මේ සතර මහාභූතයෝ කොතන්හි නො ඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?”යි සිවුමහරජයේ දෙවියන් විචාළේ ය. කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි සිවුමහරජයේ දෙවියෝ “මහණ, අපි දු පඨවිධාතු ආපෝධාතු තෙජොධාතු වායෝධාතු යන මේ සතර මහාභූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන නො දනුම්හ. මහණ, අපට වඩා පැහැසපුව ඇති, යස ඉසුරු ආදියෙන් අපට වඩා උසස් වූ සිවු වරම් රජුහු නම් කෙනෙක් ඇත. පඨවිධාතු ආදි සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන ඔහු දන්නාහ යි සිතමු’ යි ඔහු ඒ මහණහට කීහ.
70. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ සිවුවරම් රජුන් කරා එළැඹියේ ය. එළැඹ “ඇවැත්නි, පඨවි අපෝ තේජෝ වායෝ යන මේ සතර මහාභූතයෝ කොතන්හි දී නො ඉතිරි ව නිරුද්ධ වෙත් දැ?” යි විචාළේ ය.
71. කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි සිවුවරම් රජදරුවෝ ඒ මහණහු බණවා, “මහණ, පඨවි ආපෝ තේජෝ වායෝ යන මේ සතර මහාභූතයා කොතන්හි දී නො ඉතිරි ව නිරුද්ධ වෙද්දැ’යි මේ කාරණය අපි දු නො දනුම්හ. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උසස් වූ තෙතිස් නම් දෙවි කෙනෙක් ඇත. ‘පඨවි ආදි මේ සතර මහාභූතයෝ කොහි නිරුද්ධ වෙත් ද යන මෙය ඔහු නම් දන්නාහ යි සිතමු’ යි කීහ.
72. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ තෙතිස් දෙවියන් කරා ගියේ ය. ගොස් ‘ඇවැත්නි, පඨවී ආපෝ තේජෝ වායෝ යන මේ මහාභූත සතර කොහි දි නොඉතිරි ව නිරුද්ධ වෙත් දැ?’ යි විචාළේ ය. කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි තෙතිස් දෙවියෝ එ මහණ බණවා, “මහණ, පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහාභූතයෝ කොහි දී නො ඉතිරි වැ නිරුද්ධ වෙද්ද යන මෙය අපි දු නො දනුම්හ. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ සක්දෙවිඳු නම් කෙනෙක් ඇත. ඔහු පඨවී ආදි මේ සතර මහාභූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන දනිති යි සිතම්හ’ යි කිවු ය.
73. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ සක්දෙවිඳු කරා එළැඹියේ ය. එළැඹ ‘ඇවැත්නි, පඨවි ආපෝ තේජෝ වායෝ යන මෙ සතර මහාභූතයෝ කොහි දී නො ඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?”යි විචාළේ ය. කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි සක්දෙවිඳු ඒ මහණ බණවා, ‘මහණ, පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොහි නිරුද්ධ වෙද්දැ’ යි මම් ද නො දනිමි. මහණ, අපට වඩා පැහැසපුව ද ඇති, අපට වඩා උතුම් ද වූ යාම නම් දෙව් කෙනෙක් ඇත. පඨවි ආපෝ තේජෝ වායෝ යන මෙ සතර මහා භූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන ඔවුන් දනිතැ යි සිතමි” යි කී ය.
74. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ යාම දෙවියන් වෙත ගියේ ය. ගොස් ‘ඇවැත්නි, පඨවි ආපෝ තේජෝ වායෝ යන මේ සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොහි නිරුද්ධ වෙත් දැ?”යි මෙය විචාළේ ය. කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි යාම දෙවියෝ එ මහණ බණවා, “මහණ, පඨවි ආපෝ තේජෝ වායෝ යන මේ සතර මහාභූතයෝ නොඉතිරි ව කොහි නිරුද්ධ වෙත් දැ”යි මෙය අපි ද නො දනුම්හ. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ සුයාම නම් දෙව්පුතෙක් ඇත. ඔහු පඨවි ආදි මේ සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන දනිතැ’යි අපි සිතම්හ’යි කිවු ය.
75. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ සුයාම දෙව්පුත් කරා ගියේ ය. ගොස් “ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහාභූතයෝ කොතන්හි නම් නො ඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?” යි මෙය විචාළේ ය. මෙසේ විචාළ කල්හි සුයාම දෙව්පුත් තෙම ‘මහණ, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයෝ කොහි නිරුද්ධ වෙද්දැ යි මම ද නොදනිමි. මහණ, අපට වඩා පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ තුෂිත නම් දෙව් කෙනෙක් ඇත. ඔවුන් පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වත තැන දනිති යි සිතම්හ” යි කිවු ය.
76. කේවඩ්ඪය, ඉක්බිති ඒ මහණ තුෂිත දෙවියන් වෙත එළැඹියේ ය. එළැඹ “ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොහි නිරුද්ධ වෙද් දැ?”යි විචාළේ ය. මෙසේ කී කල්හි තුෂිත දෙවියෝ ඒ මහණ බණවා, “මහණ, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන අපි දු නො ද නුම්හ. මහණ, අපට වැඩි තරම් පැහැසපුව ඇති, අපට වඩා උතුම් වූ සන්තුෂිත නම් දෙව්පුතෙක් ඇත. ඔහු පෘථිවි ආදී මේ සතර මහාභූතයන් නො ඉතිරි වැ නිරුද්ධ වන තැන දනිති’යි සිතම්හ” යි කිවු ය.
77. කේවඩ්ඪය, එ කල්හි ඒ මහණ සන්තුෂිත දෙව්පුතු කරා එළැඹියේ ය. එළැඹ, ‘ඇවැත්නි, පෘථිවි අප් තේජස් වායු යන මේ සතර මහාභූතයෝ කොහි දී නො ඉතිරි වැ නිරුද්ධ වෙත් දැ?”යි විචාළේ ය. කේවඩ්ඪය, ඔහු මෙසේ විචාළ කල්හි සන්තුෂිත දෙව්පුත් “මහණ, පෘථිවි අප් තේජස් වායු යන සතර මහාභූතයෝ නො ඉතිරි වැ කොහි දී නිරුද්ධ වෙද්දැ”යි මම් නො දනිමි. මහණ, මට වඩා පැහැසපුව ඇති, මට වඩා උතුම් වූ නිර්‍මාණරති නම් දෙව් කෙනෙක් ඇත. ඔවුන් මේ පෘථිවි ආදි සතර මහා භූතයන් නො ඉතිරි ව නිරුද්ධ වන තැන දනිති’යි සිතමි”යි කී ය.