Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 1301-1400 න් 5108

“වහන්ස, මෙය නැත් ම ය. (නො ඇසූ විරූ ම ය). පොට්ඨපාද ය, යම් මහණෙක් මෙහි ස්වකසංඥා ඇත්තේ (තමාගේ ප්‍රථමධ්‍යාන සංඥායෙන් සංඥාවත්) වේ ද, හේ එයින් මතුමත්තෙහි දෙවෙනි ධ්‍යානයට ද, එයිනුත් මත්තෙහි තෙවෙනි ධ්‍යානයට දැ යි මෙසේ පිළිවෙළින් (ගොස්) කෙළවරැ සංඥාග්‍රය (ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය) ලබයි. සංඥාග්‍රයෙහි සිටි ඔහුට ‘සිතන්නා වූ (=දහන් සමවදනා වූ) මාගේ ඒ ක්‍රියාව ලාමක ය. නො සිතන (දහන් නොසමවදන) මාගේ ඒ නොසමවැදීම උතුමි. මම් වූ කලි සිතන්නෙම් නම් (පුනා පුනා දහන් සමවදින්නෙම් නම්), මතු සමවත් පිණිස අභිසංස්කාර කරන්නෙම් නම් (කමටහන් වඩන්නෙම් නම්), මාගේ මේ සංඥාවෝත් නිරුද්ධ වන්නාහ. අන් ඖදාරික (භවාඞ්ග) සංඥාවෝත් උපදනාහ. එබැවින් මම නො සිතන්නෙම් වීම් නම්, අභිසංස්කාර නො කරන්නෙම් වීම් නම්, යෙහෙකැ’යි මෙසේ සිතෙක් වෙයි. හේ නො ද සිතයි (දහන් නො සමවදී). අභිසංස්කාර නො කෙරෙයි. (මතු සමවත් පිණිස කමටහන් නො වඩයි). නො සිතන අභිසංස්කාර නො කරන ඔහුගේ ඒ සංඥාවෝ ද නිරුද්ධ වෙත්. අන් ඖදාරික සංඥාවෝ ද පහළ නො වෙත්. එසේ වූ හේ නිරෝධය ස්පර්‍ශ කෙරෙයි. (සංඥාවේදයිතනිරෝධය ලබයි). පොට්ඨපාද ය, මෙසේ වනාහි අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජානසමාපත්තිය (පිළිවෙළින් සංඥානිරෝධයට සමවැදීම) වේ” යැ යි වහන්ස, මෙසේ ම මම් භාග්‍යවතුන් වහන්සේ වදාළා දනිමි”යි පොට්ඨපාද තෙම කී ය.
“පොට්ඨපාද ය, එසේ ම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
[පොට්ඨපාද:] “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එක ම සංඥාග්‍රයක් පණවන සේක් ද? නැතහොත් බොහෝ සංඥාග්‍රයනුත් පණවන සේක් ද?”.
[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, මම එක් සංඥාග්‍රයකුත් පණවමි. බොහෝ සංඥාග්‍රත් පණවමි”.
[පොට්ඨපාද:] “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් එක ම සංඥාග්‍රයකුත් පණවන සේක් ද? බොහෝ සංඥාග්‍රත් පණවන සේක් ද?”.
[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, යම් යම් පරිද්දෙකින් (යම් යම් කසිණාදි අරමුණෙකින් හෝ යම් යම් ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයෙකින්) මහණ තෙම නිරෝධය ස්පර්‍ශ කෙරේ ද, එසේ එසේ (ඒ ඒ කසිණාදියෙන් ඒ ඒ ධ්‍යානයෙන් මම් එක් සංඥාග්‍රයක් පණවමි. බොහෝ සංඥග්‍රත් පණවමි.”
[පොට්ඨපාද:] “වහන්ස, (නිරෝධයයෙන් නැගී සිටුනාහට අර්‍හත්ත්‍වඵලසංඥාව පළමු වත් ප්‍රත්‍යවේක්‍ෂාඥානය පසු වත් උපදී ද? නැත හොත් ප්‍රත්‍යවේක්‍ෂාඥානය පළමුවත් අර්‍හත්ත්‍වඵලසංඥාව පසු වත් උපදී ද? නොහොත් අර්‍හත්ත්‍වඵලසංඥාවත් ප්‍රත්‍යාවේක්‍ෂාඥානයත් යන දෙක ඉදිරි පසු නො ව එක්විට ම උපදීද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාද ය, අර්‍හත්ත්‍වඵලසංඥාව වනාහි පළමු ව උපදී. ප්‍රත්‍යවේක්‍ෂාඥානය පසු ව උපදී. අර්‍හත්ත්‍වඵලසංඥාවගේ ද ඉපැද්මෙන් ප්‍රත්‍යාවේක්‍ෂාඥානයාගේ ඉපැද්ම වේ. හෙ තෙමේ මේ අර්‍හත්ත්‍වඑලසමාධිසංඥා හේතුයෙන් ‘මට ප්‍රත්‍යවේක්‍ෂාඥානය උපනැ’ යි දැන ගනී. පොට්ඨපාද ය, ‘සංඥාව පළමු ව ද ඥානය පසු ව ද උපදී. සංඥාවගේ ඉපැද්මෙන් වනාහි ඥානයාගේ ඉපැද්ම වේ’ ය යනු මෙසේ මේ කරුණින් දත යුතු”.
[පොට්ඨපාද:] “වහන්ස, සංඥාව පුරුෂයාගේ ආත්මය ද? නැතහොත් සංඥාව අනෙකෙකුත් ආත්මය වෙන එකෙකුත් වේ ද?”
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, තෝ කුමක් නම් ආත්මය කොට සලකයි ද?”
[පොට්ඨපාද:] “වහන්ස සතරමහාභූතයන්ගෙන් නිපන් කබලීකාර ආහාරය බුදිනා රූපවත් වූ ඖදාරික දැයක් ආත්ම කොට සලකමි”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, තාගේ ආත්මය සතර මහාභූතයන්ගෙන් නිපන් කබලීකාර ආහාරය බුදිනා රූපවත් ඖදාරික දැයෙක් වන්නේ නම්, මෙසේ ඇති කල්හි තොපට සංඥාව අනෙකෙකුත් ආත්මය වෙන එකෙකුත් වන්නේ ය. පොට්ඨපාදය, මේ කරුණිනුත් ‘සංඥාව අනෙකකුත් ආත්මය වෙන එකෙකුත් වන්නේ ය” යන මෙය දත යුතු”.
පොට්ඨපාදය, සතර මහාභූතයන්ගෙන් උපන් රූපවත් වූ කබලීකාර ආහාර බුදිනා ඒ මේ ආත්මය සිටීවා. වැලි පුරුෂයාට අන්‍ය වූ ම සංඥාවෝ උපදිත්. අන්‍ය වූ ම සංඥාවෝ නිරුද්ධ වෙත්. පොට්ඨපාදයෙනි, ‘සංඥාව අනෙකෙක් ම වන්නේ ය, ආත්මය වෙන එකෙක් ම වන්නේ ය’ යන මෙය මේ කරුණිනුත් දත යුතු”.
[පොට්ඨපාද:] “වහන්ස මම ආත්මය සියලු අඟපසඟ ඇති, නො පිරිහුණු ඉඳුරන් ඇති මනෝමය දැයක් කොට සලකමි”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, තාගේ ආත්මය සියලු අඟපසඟ ඇති, නො පිරිහුණු ඉඳුරන් ඇති මනෝමය දැයෙක් වන්නේ නම්, එසේ ඇති කල්හි ද තාහට සංඥාව අනෙකෙක් ම ආත්මය වෙන එකෙක් ම වන්නේ ය. පොට්ඨපාදය, මේ කරුණිනුත් ‘සංඥාව අනෙකෙකුත් ආත්මය වෙන එකෙකුත් වන්නේ ය’ යන මෙය දත යුතු”.
පොට්ඨපාද ය, සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති මේ මනෝමය ආත්මය සිටීවා. වැලි මේ පුරුෂයාට අන්‍ය වූ ම සංඥාවෝ උපදිත්. අන්‍ය වූ ම සංඥාවෝ නිරුද්ධ වෙත්. පොට්ඨපාදයෙනි, ‘සංඥාව අනෙකෙක් ම ද ආත්මය වෙන එකෙක් ම ද වන්නේ ය’ යන මෙය මේ කරුණිනුත් දත යුතු.”
[පොට්ඨපාද:] “වහන්ස, මම ආත්මය සංඥාමය වූ අරූපී දැයෙක් කොට සලකමි”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, තාහට ආත්මය සංඥාමය අරූපී දැයෙක් වන්නේ නම්, මෙසේ ඇති කල්හි ද සංඥාව අනෙකෙක් ම ද, ආත්මය වෙන එකෙක් ම ද වන්නේ ය. පොට්ඨපාදය, ‘සංඥාව අනෙකෙක් ම වන්නේ ය, ආත්මය වෙන එකෙක් ම වන්නේ ය’ යන මෙය මේ කරුණිනුත් දත යුතු. පොට්ඨපාදය, මේ සංඥාමය වූ අරූපී ආත්මය සිටීවා. එසේ කලැ මේ පුරුෂයාට අන්‍ය ම සංඥාවෝ උපදිත්. අන්‍ය ම සංඥාවෝ නිරුද්ධ වෙත්. පොට්ඨපාදය, ‘සංඥාව අන් එකෙක් ම ද ආත්මය ද වෙන එකෙක් ම ද වන්නේ ය’ යන මෙය මේ කාරණයෙනුත් මෙසේ දත යුතු”.
[පොට්ඨපාද :] “වහන්ස, ‘සංඥාව පුරුෂයාගේ ආත්මය ද නොහොත් සංඥාව එකෙකුත් ආත්මය අනෙකෙකුත් වේ ද’ යන මෙය මා විසින් දැන ගන්නට හැකි ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍ය රුචික වූ, අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු අන්‍ය තීර්‍ත්‍ථායතනයෙක ආචාර්‍ය්‍ය වූ තා විසින් ‘සංඥාව පුරුෂයාගේ ආත්මය දැ’යි හෝ ‘සංඥාව අනෙකෙක, ආත්මය අනෙකෙකැ’යි හෝ මෙය දත නො හැක්ක”.
[පොට්ඨපාද:] ‘වහන්ස ඉඳින් අන්‍යදෘෂ්ටික වූ අන්‍යලබ්ධික වූ අන්‍යරුචික වූ, අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු අන්‍ය තීර්‍ත්‍ථායතනයෙක ආචාර්‍ය්‍ය වූ මා විසින් ‘සංඥාව පුරුෂයාගේ ආත්මය ද? නැතහොත් සංඥාව අනෙකෙකුත් ආත්මය වෙන එකෙකුත් වේදැ’ යි හෝ මෙය නො දත හැකි නම්, කිමෙක් ද වහන්ස, ‘ලෝකය (ආත්මය) ශාශ්වතය’ යන මෙ කීම සත්‍ය ද (මෙයට වෙනස්) සෙසු කීම් හිස් (අසත්‍ය) ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘ලෝකය ශාශ්වත ය’ යන මෙයම සත්‍ය ය, ‘සෙස්ස හිස් යැ’යි මෙය මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිම? ‘ලෝකය (ආත්මය) අශාශ්වත ය’ යන මෙය ම සත්‍ය ද? මෙයින් අන්‍ය සෙසු කීම් හිස් ද ?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘ලෝකය අශාශ්වතය’ යන මෙයම සත්‍ය ය, ‘සෙස්ස හිස් යැ’යි මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? ‘ලොව (ආත්මය) අන්තවත් ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස් ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ලොව (ආත්මය) අන්තවත් ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිම ලොව (ආත්මය) අනන්ත ද? මෙය ම (මේ ලොව අනන්ත යන්න ම) සත්‍ය ද? සෙස්ස හිස් ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘ලොව අනන්ත ය, මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’ යන මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාදය:] “වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් එකෙක් ම ද? මෙය ම සත්‍ය ද? සෙස්ස මිථ්‍යා ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම ය, මෙය ම සත්‍ය ය, සෙසු සියල්ල මිථ්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙක් ද? මෙය ම සත්‍ය ද? සෙසු සියල්ල මිථ්‍යා ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘ජීවයත් ශරීරයත් වෙන් වෙන් වූ දෙදෙනෙකැ යි, මෙය ම සත්‍ය යැ යි, අන් සියල්ල මිථ්‍යා යැ’ යි මෙය ද මා විසින් නො පවසන ලදි”.
[පොට්ඨපාද:] “වහන්ස, සත්ත්‍ව (ආත්ම) තෙම මරණින් මත්තෙහි වේ ද? මෙය ම සත්‍ය ද? (මෙයට විරුද්ධ) සෙසු සියල්ල මිථ්‍යා ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, සත්ත්‍ව (ආත්ම) තෙම මරණින් මත්තෙහි වේ යැ යි, මෙයම සත්‍ය යැ යි, සෙසු සියල්ල මිථ්‍යා’යි මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? සත්ත්‍ව (ආත්ම) තෙමෙ මරණින් මතු නො වේ ද? මෙය ම සත්‍ය ද? සෙසු සියල්ල මිථ්‍යා ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘සත්ත්‍ව (ආත්ම) තෙම මරණින් මතු නො වේ ය, මෙය ම සත්‍ය ය, සෙසු සියල්ල මිථ්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිම, තථාගත (සත්ත්‍ව) තෙම මරණින් මතු වන්නේත් නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස මිථ්‍යා ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ‘තථාගත (සත්ත්‍ව) තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස මිථ්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී”.
[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? තථාගත (සත්ත්‍ව) තෙම මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද? මෙය ම සත්‍ය ද? සෙස්ස මිථ්‍යා ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, තථාගත තෙම මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ යැ යි ද, මෙය ම සත්‍ය යැ යි සෙස්ස මිථ්‍යා යැ යි ද යන මෙයත් මා විසින් නො පවසන ලදි”.
[පොට්ඨපාද:] “වහන්ස, කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නො පවසන ලද ද?”.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදයෙනි, මේ (ලොව ශාශ්වතය යන ආදී) දෘෂ්ටි දෙලෝවැඩ හෝ අත්වැඩ පරවැඩ අසළේ නො වෙයි. ලොවුතුරු දහම් අසළේ නො වෙයි. සසුන් බඹසරෙහි ආදිය වූ අධිශීල ශික්‍ෂා මාත්‍රයෙකුත් නො වෙයි. සසරැ කලකිරෙනු පිණිස, සසරැ නො ඇලෙනු පිණිස, සසර ගමන නවත්වනු පිණිස, සසරවට සංහිඳුවනු පිණිස, සසරවට පසක් කරනු පිණිස, සසරවට අවබෝධ කරනු පිණිස, අමා මහානිවන් පසක් කරනු පිණිස නො පවතී. එහෙයින් එය මා විසින් නො පවසන ලදි.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදයෙනි, දුක් නම් මේ මැ යි මා විසින් කියන ලදි. දුඃඛසමුදය නම් මේ මැ යි, දුඃඛනිරෝධය නම් මේ මැ යි, දුඃබනිරෝධයට යන පිළිවෙත නම් මේ මැ යි මා විසින් කියන ලදි.
[පොට්ඨපාද:] “වහන්ස, කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද ද?”
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදයෙනි, මෙය ම දෙලෝ වැඩ ද අත්වැඩ පරවැඩ ද අසළේ වෙයි. මේ ලොවුතුරු දහම් අසළේ වෙයි. මෙය (දැනුම්) සසුන්බඹසරට ආදි වූ අධිශීලශික්‍ෂාව වැඩීම පිණිස පවත්නේ වෙයි. මෙය ම සසරැ කලකිරීම් පිණිස, සසරැ නොඇල්ම පිණිස, දුක් නසනු පිණිස, දුක් සංහිඳුවනු පිණිස, දුක් පසක් කරනු පිණිස, සසරවට දැන ගනු පිණිස, අමා මහ නිවන් පසක් කරනු පිණිස පවතී. එහෙයින් මෙය මා විසින් කියන ලදි.”
[පොට්ඨපාද:] “භාග්‍යවතුන් වහන්ස, ඒ එසේ ය. සුගතයන් වහන්ස, ඒ එසේ ය. භාග්‍යවතුන් වහන්සේ යම් පිණ්ඩපාත ගමනකට කලැ යි හඟිනා සේක් ද, දැන් එයට කාලය ය.”
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී නික්මි සේක.
එකල්හි ඒ පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේ නික්මැ, වැඩි නොබෝ වේලායෙහි පොට්ඨපාද පිරිවැජියාට හාත්පසින් වචන නැමැති අඩයටියෙන් මතුමත්තෙහි අනින්නාහු ‘මහණ ගොයුම් යමක් කියා නම්, ‘ඒ එසේ ය, භාග්‍යවතුන් වහන්සේ, ඒ එසේ ය, සුගතයන් වහන්සැ’ යි ඔහුගේ ඒ ඒ හැම වචනයක් ම සතුටින් පිළිගනී. ‘ලෝකය (ආත්මය) ශාශ්වත යැ’ යි කියා හෝ, ‘ලෝකය අශාශ්වතැ’යි’ යි කියා හෝ ලෝකය (ආත්මය) අන්තවත් යැ’ යි කියා හෝ ‘ලෝකය අනන්ත යැ’ යි කියා හෝ, ‘ශරීරයත් ජීවයත් එකෙක් මැ යැ’ යි කියා හෝ, ‘ඒ වෙන් වෙන් දෙකෙක් මැ යැ’ යි කියා හෝ, ‘සත්ත්‍වයා (ආත්මය) මරණින් මතු වෙතැ’ යි කියා හෝ ‘නො වෙතැ යි’ කියා හෝ ‘වන්නේත් නොවන්නේත් ඇතැ’ යි කියා හෝ ‘නොම වන්නේත් නො ම නොවන්නේත් ඇතැ’ යි කියා හෝ මහණ ගොයුම්හු ඒකාන්ත කොට දෙසූ කිසි දහමක් අපි නො දනිමු”යි කීහ.
මෙසේ කී කල්හි පොට්ඨපාද පිරිවැජි තෙමේ “භවත්නි, ලෝකය ශාශ්වත යැ’ යි හෝ ‘ලෝකය අශාශ්වත යැ’ යි හෝ ... ‘සත්ත්‍ව (ආත්ම) තෙම මරණින් මතු නො ම වන්නේත් වේ, නො ම නොවන්නේත් වේ යැ’සි හෝ මහණ ගොයුම් වහන්සේ විසින් ඒකාන්ත කොට දෙසන ලද කිසි දහමක් මමත් නො දනිමි. එතෙකුදු වුවත් මහණ ගොයුම් වහන්සේ ධර්‍මස්ථිත වූ ලොවුතුරා දහම් (උපදවන,) ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, ඒකාන්තයෙන් විද්‍යාමාන, සත්‍ය වූ අවිපරීත පිළිවෙතක් (මඟක්) පණවන සේක, ලොවුතුරා දහම් උපදවන, ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, ඒකාන්තායෙන් විද්‍යාමාන සත්‍ය සැබෑ පිළිවෙතක් පණවන මහණ ගොයුම් වහන්සේගේ සුභාෂිත වචනය සුභාෂිත විසින් මා වැනි සිහිනුවණැතියෙක් කෙසේ නම් සතුටින් පිළිගත නො හෙන්නේ දැ?” යි ඒ පිරිවැජියනට කී ය.
ඉක්බිත්තෙන් දෙතුන් දිනක් ඇවෑමෙන් ඇත්සැරිපුත් චිත්‍ර නමැත්තෙක් ද පොට්ඨපාද පරිව්‍රාජක ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ ඇත්සැරිපුත් චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ ය. පොට්ඨාපාද පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ (සිහි කටයුතු වූ) කථාව කොට නිමවා, එකත්පස් වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් පොට්ඨපාද පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “වහන්ස, එදා භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලායෙහි ඒ පිරිවැජියෝ මට “මේ භවත් පොට්ඨපාද තෙම මහණගොයුමන් කියන කියන දැය එසේ ය, භාග්‍යවතුන් වහන්ස, එසේ ය, සුගතයන් වහන්සැ’ යි කියමින් සතුටින් පිළිගනී: ‘ලොව (ආත්මය) ශාශ්වත යැ යි හෝ ලොව අශාශ්වත යැ’ යි හෝ ‘ලොව අනන්තවත් යැ’ යි හෝ ‘අනන්ත යැ’ යි හෝ ජීවයත් ශරීරයත් එකෙක් ම යැ යි හෝ ජීවයත් ශරීරයත් වෙන් වෙන් දෙකෙකැ යි හෝ ආත්මය මරණින් මතු වෙතැ යි හෝ සත්ත්‍වයා (ආත්මය) මරණින් මතු නො වෙතැ යි හෝ ආත්මය මරණින් මතු වන්නේත් නොවන්නේත් වේ යැ යි හෝ ආත්මය මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වෙයි හෝ මහණ ගොයුම්හු ඒකාන්ත කොට දෙසූ කිසි දහමක් අපි නො දනුම්හ’ යි කියමින් වචන නැමැති අඩයටියෙන් හාත්පසින් මට පුන පුනා ඇන්නා හ. වහන්ස, ඔවුන් විසින් එසේ කියනු ලැබූ මම ඒ පිරිවැජියනට ‘භවත්නි, ලොව ශාශ්වත යැ යි හෝ ... ආත්මය මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ යැ යි හෝ මහණ ගොයුමන් වහන්සේ ඒකාන්ත කොට දෙසූ කිසි දහමක් මමත් නො දනිමි. එහෙත් මහණ ගොයුම්න් වහන්සේ ලෙවුතුරා දහම් උපදවන, ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, ඒකාන්තයෙන් විද්‍යාමාන, සත්‍ය වූ අවිපරීත පිළිවෙතක් පණවන සේක. ඒකාන්තයෙන් ලොවුතුරා දහම් උපදවන, ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, ඒකාන්තයෙන් විද්‍යාමාන, සත්‍ය වූ අවිපරීත පිළිවෙතක් පණවන මහණ ගොයුමන් වහන්සේගේ සුභාෂිත වචනය සුභාෂිත විසින් සිහි නුවණැති මා වැන්නෙක් කෙසේ නම් සතුටින් නොපිළිගනු හැකි වන්නේ දැ?’ යිකීමි.”
[එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:] “පොට්ඨපාදය, ඒ සියලු පිරිවැජියෝ නුවණැස් නැතියෝ ය, අන්‍ධයෝ ය. ඔවුන් අතුරෙහි සුභාෂිත - දුර්‍භාෂිත දන්නා නුවණැස් ඇතියේ තො ම ය. පොට්ඨපාදය, ඒකාන්ත කොට මා විසින් දෙසුණු පැණැවු දහම් ද ඇත. පොට්ඨපාදය, ඒකාන්ත නො කොට මා විසින් දෙසුණු පැණැවු දහම් ද ඇත.
පොට්ඨපාදය, මා විසින් ඒකාන්ත නොකොට දෙසුණු පැණැවු ඒ දහම්හු කවරහ? පොට්ඨපාදය, ලොව (ආත්මය) ශාශ්වත යැ යි හෝ ඒකාන්ත නො කොට මා විසින් දහම් දෙසන ලදි, පණවන ලදි. පොට්ඨපාදය, ලොව (ආත්මය) අශාශ්වත යැ යි හෝ ඒකාන්ත නො කොට දහම් දෙසන ලදි, පණවන ලදි. පොට්ඨපාදය, ලොව (ආත්මය) අනන්තවත් යැ යි කියා හෝ ... ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ යි කියා හෝ ... අනන්ත යැයි කියා හෝ ... ලොව (ආත්මය) ජීවයත් ශරීරයත් වෙන් වෙන් දෙකෙක් මැ යි කියා හෝ ... තථාගතයා (ආත්මය) මරණින් මතු වෙයි කියා හෝ ... තථාගතයා (ආත්මය) මරණින් මතු නො වෙයි කියා හෝ ... තථාගතයා (ආත්මය) මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි කියා හෝ ... තථාගතයා (ආත්මය) මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් මෙහි කියා හෝ මා විසින් ඒකාන්ත නො කොට දහම් දෙසන ලද්දේ, පණවන ලද්දේ වෙයි.
පොට්ඨපාදය, කවර හෙයින් මා විසින් ඒ දහම්හු ඒකාන්ත කොට නො දෙසන ලද්දාහු ද, නො පණවන ලද්දාහු ද? යත්: පොට්ඨපාදය, මේ (ලොව ශාශ්වත ය යන ආදි වූ) දෘෂ්ටිහු දෙලෝවැඩ හෝ අත්වැඩ පර වැඩ හෝ අසළෝ නො වෙති. ලොවුතුරා දහම් අසළෝ නො වෙති. සසුන් බඹසරට ආදිය වූ අධිශීලශික්‍ෂාමාත්‍ර ද නො වෙති. සසරවටැ කලකිරෙනු පිණිස, සසරැ නො ඇලෙනු පිණිස, දුක් නසනු පිණිස, දුක් සංහිඳුවනු පිණිස, සසරදුක් පසක් කරනු පිණිස, සසරවට අවබෝධ කරනු පිණිස, අමා මහනිවන් සාක්‍ෂාත් කරනු පිණිස නො පවත්නාහ. එ හෙයින් මා විසින් ඒ දහම්හු ඒකාන්ත කොට නො දෙසන ලදහ, නො පණවන ලදහ.
පොට්ඨපාදය, මා විසින් ඒකාන්ත කොට දෙසන ලද පණවන ලද ඒ දහම්හු කවරහු ද? පොට්ඨපාදය, ‘මෙ දුකැ’යි කියා ම මා විසින් ඒකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේ ය, පණවන ලද්දේ ය. ‘මේ දුක් හටගැන්මේ හේතු යැ’ යි කියා ම මා විසින් ඒකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේ ය, පණවන ලද්දේ ය. පොට්ඨපාදය, ‘මේ දුක්නැස්ම යැ’ යි කියා ම මා විසින් ඒකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේ ය, පණවන ලද්දේ ය. පොට්ඨපාදය, ‘මේ දුක් නැස්මට යන පිළිවෙතැ’ යි කියා ම මා විසින් ඒකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේ ය, පණවන ලද්දේ ය.
පොට්ඨපාදය, කවර හෙයින් මා විසින් ඒ ධර්‍මයෝ ඒකාන්ත කොට දෙසන ලදහු ද, පණවන ලදහු ද යත්: පොට්ඨපාදය, මොහු තමන් අනුන් දෙපසගේ ම අභිවෘද්ධිය ඇසුරු කළාහු වෙත්. මොහු ලොවුතුරා දහම් ඇසුරු කළාහු වෙත්. මොහු ආදිබ්‍රහ්මචර්‍ය්‍යක (මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යායාගේ පූර්‍ව භාගප්‍රතිපත්හු) වෙති. මොහු සසර කලකිරෙනු පිණිස, සසර නොඇල්ම පිණිස, සසර දුක් නසනු පිණිස, සසර දුක් සංහිඳෙනු පිණිස, විශිෂ්ටඥානය පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන් පසක් කරනු පිණිස පවතිත්. එහෙයින් මා විසින් ඒ ධර්‍මයෝ ඒකාන්ත කොට දෙසන ලදහ, පණවන ලදහ.
පොට්ඨපාදය, ‘ආත්මය මරණින් මතු ඒකාන්තයෙන් සුවපත් වේ යැ යි, නිත්‍ය වේ යැ’යි මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. මම් ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, ආත්මය මරණින් මතු ඒකාන්තයෙන් සුවපත් වේ, නිත්‍ය වේ යැ’යි තෙපි මෙබඳු වාද ඇත්තෝ ය, මෙබඳු දෘෂ්ටි ඇත්තෝ ය යනු සැබෑ දැ? යි මෙසේ විචාරමි. මෙසේ විචාරන ලද ඔහු මට ‘එසේ යැ’ යි පිළිණ කෙරෙත් නම්, ‘ආයුෂ්මත්නි, තෙපි ඒකාන්ත සුව ඇති ලෝකය (අසෝ දෙසැ ඇතැ යි) දන්නාහු දක්නාහු වසවු දැ?’යි ඔවුන් පිළිවිසිමි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘නැතැ’යි කියත්. ඔවුනට මම් ‘ආයුෂ්මත්නි’ තෙපි එක් රැයක් හෝ එක් දහවලක් හෝ අඩරැයක් හෝ අඩදහවලක් හෝ ඒකාන්තයෙන් සුවපත් වූ ආත්මයක් දනිවු දැ?’ යි මෙසේ කියමි. මෙසේ විචාරන ලද ඔහු ‘නැතැ’යි කියත්. ඔවුනට මම් ‘ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කිරීමට මේ මඟ ය, මේ පිළිවෙත යැ යි තෙපි දනිවු දැ?’යි මම කියමි. මෙසේ විචාරන ලද්දාහු ‘නො දනිමු’ යි ඔහු කියත්. ඔවුනට මම ‘ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොව උපන් යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් ‘නිදුකාණෙනි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනු පිණිස, සුපිළිපන්නාහු වවු. නිදුකාණෙනි, ඍජු ව පිළිපන්නහු වවු. නිදුකාණනි, අපි දු මෙසේ පිළිපන්නමෝ ඒකාන්ත සුව ඇති ලොවට පැමිණියම්හ’යි කියන්නවුන්ගේ වචනය අසවු දැ?’ යි මෙසේ පිළිවිසිමි. මෙසේ මා විසින් විචාරන ලද ඔහු ‘එ වැන්නක් නො ඇසූමු’ යි කියත්.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ඒ කිමැ යි සිතයි ද? මෙසේ ඇති කල්හි ඒ මහණබමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැති එකෙක් (ප්‍රතිපාක්‍ෂිකයන්ගේ නිග්‍රහයට ගොදුරු එකෙක්) නො වේ ද?”
[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් ඒ මහණබමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැති එකෙක් ය.
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ‘මේ දනව්වෙහි යම් දනවුකැලණක් වේ නම් ඇය පතමි. ඇය කැමැත්තෙමි’ යි කියන්නේ ද, ඔහුට අන්‍යයෝ ‘එම්බා පුරුෂය, තෝ යම් දනවුකැලණක පතයි නම්, කැමැත්තෙහි නම්, ඕ කැත්කතක් නො හොත් බමුණුකතක් හෝ වෙස්කතක් හෝ සුදුරුකතක් යැ යි ඇය දන්නෙහි දැ?” යි මෙසේ කියන්නාහු ද, මෙසේ පුළුවුස්නා ලැබූ හෙ තෙමේ ‘නො දනිමි’ යි කියන්නේ ය. අන්හු ඔහුට ‘එම්බා පුරුෂය, තෝ යම් දනවුකැලණක පතයි නම්, කැමැත්තෙහි නම්, ‘ඒ දනවුකැලණ මෙ නමැත්තී යැ යි මෙගොත් ඇත්තී යැ යි හෝ කළු හෝ හෙළලු හෝ පඬුවන් සිවිය ඇත්තීයැයි හෝ, අසෝ ගමැ හෝ නියම්ගමැ හෝ නුවරැ හෝ වෙසෙන්නී යැ යි දනුදැ?’ යි මෙසේ කියන්නාහු නම්, මෙසේ විචාරන ලද හේ ‘එය නො දනිමි’ යි කියන්නේ ය. ඔහුට අන්හු ‘එම්බා පුරුෂය, යම් ස්ත්‍රියක තෝ නො දන්නෙහි නම්, නො දක්නෙහි නම්, තෝ ඇය පතයි ද? ඇය කැමැත්තෙහි දැ?’ යි කියන්නාහු නම්, මෙසේ විචාරන ලද්දේ ‘ඵසේ’ යැ යි හේ කියන්නේ ය.
“පොට්ඨපාදය, එය කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් නො වන්නේ ද?”
[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කලැ ඒ පුරුෂයාගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණ නැතියෙක් වෙයි.”
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, එසේ ම යම් මහණ කෙනෙක් බමුණු කෙනෙක් ආත්මය මරණින් මත්තෙහි ඒකාන්ත සුව ඇත්තේ සදාභාවී වේ යැ යි මෙබඳු වාද ඇතියෝ මෙබඳු දෘෂ්ටි ඇතියෝ වෙත් ද, මම් ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, තෙපි ආත්මය මරණින් මත්තෙහි ඒකාන්ත සුව ඇත්තේ සදාභාවී වේ යැ යි, මෙබඳු වාද ඇතියහු ද? මෙබඳු දෘෂ්ටි ඇතියහු දැ?” යි මෙසේ අසමි. මා විසින් මෙසේ විචාරන ලද ඔහු ‘එසේ යැ’ යි ඉදින් පිළින කරන්නාහු නම්, ‘ආයුෂ්මත්නි, තෙපි ඒකාන්ත සුව ඇති ලෝකයක් දන්නාහු දක්නාහු වසවු දැ?’ යි මම් ඔවුන් පුළුවුසිමි. එසේ විචාරන ලද ඔහු ‘නැතැ’ යි කියත්.
“ආයුෂ්මත්නි, තෙපි එක් රැයක් හෝ අඩරැයක් හෝ අඩදහවලක් හෝ ඒකාන්තයෙන් සුව ඇති ආත්මයක් දනිවු දැ?” යි මෙසේ ඔවුන් විචාරමි. මෙසේ විචාරන ලද ඔහු ‘නො දනුම්හ’ යි කියත්.
ආයුෂ්මත් නි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට මඟ මේ යැ, පිළිවෙත මේ යැ’යි තෙපි දනිවු දැ? යි මෙසේ ඔවුන් විචාරමි. මෙසේ විචාරන ලද ඔහු ‘නො දනුම්හ’ යි කියත්,
“ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොවට උත්පත්ති විසින් පැමිණි යම් දේවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් ‘නිදුකාණනි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට සුපිළිපන්නහු වවු, ඍජු ව පිළිපන්නහු වවු. නිදුකාණෙනි, අපි දු මෙසේ පිළිපන්නමෝ ඒකාන්ත සුව ඇති ලොවට උත්පත්ති විසින් පැමිණියම්හ’ යි කියන්නවුන්ගේ හඬ අසවු දැ?”යි මෙසේ ඔවුන් විචාරම්. මෙසේ විචාරන ලද්දාහු (එසේ වූ හඬක්) නො අසම්හ” යි ඔහු කියත්,
පොට්ඨපාදය, එය කිමැ යි සිතයි ද? ඒ මහණබමුණුවරුන්ගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් නො වෙයි ද?”
[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කලැ, ඒ මහණ බමුණන්ගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණ නැතියෙක් වෙයි.”
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් පහයකට නඟිනු වස් සිවුමං හන්දියෙකැ හිණක් බඳින්නේ ද, අන්හු ඔහුට ‘එම්බා පුරුෂය, තෝ යම් පහයකට නඟිනු වස් හිණක් කෙරෙහි නම්, ඒ පහය පෙර දිගැ හෝ පැසිම් දිගැ හෝ දකුණු දිගැ හෝ උතුරු දිගැ හෝ වේ යැ යි දනිහි දැයි” යි කියන්නාහු ද, මෙසේ විචාරන ලද හෙ තෙමේ නො දනිමි’යි කියන්නේ ය. (එ විට) ඔහු ‘එම්බා පුරුෂය, තෝ යමක් නො දන්නෙහි නම්, නො දක්නෙහි නම්, එසේ වූ පහයකට නඟිනුවට හිණක් කෙරෙයි දැ?’ යි මෙසේ ඒ පුරුෂයා පුළුවුස්නාහ. මෙසේ විචාරන ලද හේ තෙමේ ‘එසේ යැ’ යි කියන්නේ ය.
පොට්ඨපාදය, එය කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ, ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් නො වේ ද?”
[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් වෙයි.”
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, එසේ ම ‘ආත්මය මරණින් මත්තෙහි ඒකාන්ත සුව ඇත්තේ සදාභාවී වේ යැ’ යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් මහණබමුණු කෙනෙක් ඇත් ද, ඔවුන් කරණ එළැඹ ‘ආයුෂ්මත්නි, තෙපි ආත්මය මරණින් මතු ඒකාන්ත සුවැත්තේ සදාභාවී වේ යැ යි මෙබඳු වූ වාද ඇත්තහු ය, මෙබඳු දෘෂ්ටි ඇත්තහු ය යනු සැබෑවෙක් දැ?” යි මෙසේ විචාරමි. මෙසේ මා විසින් විචාරන ලද ඔහු ‘එසේ යැ’ යි පිළින කෙරෙත්. ‘ආයුෂ්මත්නි, තෙපි ඒකාන්ත සුව ඇති ලොවක් දන්නාහු දක්නාහු වෙසෙවු දැ? යි මෙසේ ඔවුන් පුළුවුස්මි. මෙසේ පුළුවුස්නා ලද ඔහු ‘එසේ දන්නමෝ දක්නමෝ නො වසමු’ යි කියත්. ‘ආයුෂ්මත්නි, තෙපි එක් රැයක් හෝ එක් දාවලක් හෝ අඩරැයක් හෝ අඩ දාවලක් හෝ ඒකාන්ත සුව ඇති ආත්මයක් දනිවු දැ? යි මෙසේ ඔවුන් පුළුවුස්මි. මෙසේ පුළුවුස්නා ලද ඔහු ‘නො දනුම්හ’ යි කියත්. ‘ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට මඟ මේ යැ, පිළිවෙත මේ යැ යි තෙපි දනිවු දැ?’ යි මෙසේ ඔවුන් පුළුවුස්මි. මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘නො දනුම්හ’ යි ඔහු කියත්. ‘ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොවකට උත්පත්ති වශයෙන් පැමිණි යම් දේවතා කෙනෙක් වෙත් නම්, ‘නිදුකාණනි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට සුපිළිපන්නහු වවු, ඍජු ව පිළිපන්නහු වවු. නිදුකාණෙනි, අපි දු මෙසේ පිළිපන්නමෝ ඒකාන්ත සුව ඇති ලොවට පැමිණියම්හ’ යි මෙසේ කියන්නවුන් හඬ අසවු දැ?’ යි මෙසේ ඔවුන් පුළුවුස්මි. මෙසේ මා විසින් පුළුවුස්නා ලද ඔහු ‘එවැන්නක් නො අසම්හ’ යි කියත්.
පොට්ඨපාදය, එය කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ ඒ මහණ බමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් වනුයේ නො වේ ද?”
[පොට්ඨපාද:] “වහන්ස මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් ඒ මහණබමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් වෙයි”
[භාග්‍යවත්හු:] “පොට්ඨපාදය, ඖදාරික වූ ආත්මප්‍රතිලාභය, මනෝමය වූ ආත්මප්‍රතිලාභය, අරූප ආත්මප්‍රතිලාභය යැ යි මේ ආත්මභාවප්‍රතිලාභ තුනෙකි.”
පොට්ඨපාදය, ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ සතර මහාභූතයන්ගෙන් පහළ වූ, කබලීකාරාහාරය අනුභව කරන යමෙක් වේ ද, මෙය ඖදාරික ආත්මභාවප්‍රතිලාභ යැ.
මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වූ ධ්‍යාන සිතින් නිපන්, සියලු අඟපසඟින් යුත්, නොපිරිහුණු ඉඳුරන් ඇති යමෙක්වේ ද, මෙය මනෝමය ආත්මප්‍රතිලාභ යැ.
අරූපාත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් නොවූ සංඥාමය වූ යම් අත්බවෙක් වේ ද, මේ අරූපාත්මප්‍රතිලාභ යැ.
පොට්ඨපාදය, යම්සේ පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, මාර්‍ගඵලප්‍රඥාවන්ගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තෙපි තුමූ පසක් කොට ලැබ වසන්නහු ද, ඒ ඖදාරික ආත්මභාවප්‍රතිලාභයාගේ ද ප්‍රහාණය පිණිස දහම් දෙසමි.
පොට්ඨපාදය, ‘සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ, ප්‍රඥාවගේ පිරීම ද විපුලබව ද තුමූ ම මේ අත්බව්හි ම පසක් කොට ලැබ වසන්නමු. එහෙත් එසේ වූ (තොපගේ) විහරණය දුක් වේ’ යැ යි කිසි විටෙක තට මෙ බඳු සිතෙක් විය හැකි ය.
පොට්ඨපාදය, මෙය වනාහි එසේ නො දත යුතු. සිත කෙලෙසන දහුම්හු පහ වන්නාහ. සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ. ප්‍රඥාවගේ පිරිපුන්බව ද විපුල බව ද මෙ අත්බව්හි ම තොපි තුමූ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු. සිතැ සතුට ද වන්නේ ය. ප්‍රීතිය ද සංහුන් බව ද සිහිය ද නුවණ ද වන්නේ ය. විහරණය ද සැප වන්නේ ය.
පොට්ඨපාදය, යම්සේ පිළිපන්නවුන්ගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීම් ද විපුල බව ද මෙ අත්බව්හි ම තෙපි තුමූ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට වසන්නහු ද, එසේ වූ මනෝමය ආත්මප්‍රතිලාභයාගේ ද ප්‍රහාණය පිණිස මම දහම් දෙසමි.
පොට්ඨපාදය, ‘සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ, ප්‍රඥාවගේ පිරීම් ද, විපුල බව ද මෙ අත්බව්හි ම තුමූ ම පසක් කොට ලැබ වසන්නමු, එහෙත් ඒ විහරණය වූ කලි දුක් සහිත යැ’යි තට මෙසේ සිතෙක් විය හැකි ය.
පොට්ඨපාදය, මෙය එසේ නො දත යුතු. සිත කෙලෙසන දහම්හු ද පහ වන්නාහ. සිත පිරිසුදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ. ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මෙ අත්බව්හි ම තුමූ ම දැන පසක් කොට ලැබ වසන්නාහ. සතුට ද ප්‍රීතිය ද සිතැ සංහුන් බව ද සිහිය ද නුවණ ද වන්නේ ය. විහරණය ද සැප වන්නේ ය.
පොට්ඨපාදය, යම්සේ පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීම් ද විපුල බව ද මේ අත්බව්හි ම තුමූ ම දැන වසන්නාහු ද, එසේ අරූප වූ ආත්මභාවප්‍රතිලාභයාගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමි.
පොට්ඨපාදය, ‘සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ, ප්‍රඥාවගේ පිරීම් ද විපුල බව ද මෙ අත්බව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නමු. එහෙත් විහරණය දුක් සහිත යැ’යි තට මෙසේ සිතෙක් විය හැකි ය.
පොට්ඨපාදය, මෙය එසේ නො දත යුතු. සිත කෙලෙසන දහම්හු ද පහ වන්නාහ. සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ. ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත්බව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු. සතුට ද ප්‍රීතිය ද සංහුන් බව ද සිහිය ද නුවණ ද වන්නේ ය. විහරණය ද සැප වන්නේ ය.
පොට්ඨපාදය, ‘යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තෙපි තුමූ ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස භවත්හු දම් දෙසත් නම්, ඇවැත්නි, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ දැ?’ යි අන්හු මෙසේ අප විචාරන්නාහු නම්, මෙසේ ඔවුන් විසින් විචාරන ලද අපි ‘ඇවැත්නි, අපි යමක්හුගේ ප්‍රහාණය පිණිස දම් දෙසමෝ ද යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තෙපි තුමූ ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, ඇවැත්නි, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභය මේ යැ’ යි මෙසේ හෙළි කොට කියන්නමු.
පොට්ඨපාදය, ‘යම්සේ පිළිපන්නාවූ තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මෙ අත්බව්හි ම තුමූ ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, ඇවැත්නි, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස භවත්හු දහම් දෙසත්නම්, ඒ මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ දැ? යි අන්හු මෙසේ අප විචාරන්නාහු නම්, එසේ ඔවුන් විසින් පුළුවුස්නා ලද අපි “ඇවැත්නි, අපි යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමෝ නම්, යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු ප්‍රහීණවන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමූ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නාහු නම්, මේ ඒ මනෝමය ආත්මප්‍රතිලාභය වේ යැ” යි මෙසේ හෙළි කොට කියන්නමු.
ඉදින් පොට්ඨපාදය, ‘යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමූ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු නම්, ඇවැත්නි, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම දෙසවු නම්, ඒ අරූප ආත්මප්‍රතිලාභය කවරේ දැ?’ යි මෙසේ අන්හු අප විචාරන්නාහු නම්, එසේ ඔවුන් විසින් පුළුවුස්නා ලද අපි “ඇවැත්නි, යමක්හුගේ ප්‍රහාණය පිණිස අපි දහම් දෙසමෝ ද, යම් බඳු ව පිළිපන්නවුන්ගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමූ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, මේ ඒ අරූප ආත්මප්‍රතිලාභය වේ යැ” යි මෙසේ හෙළි කොට කියන්නමු.
පොට්ඨපාදය, එය කිමැයි සිතහි ද, මෙසේ ඇති කල්හි අප වචනය ප්‍රතිහරණ සහිතයෙක් වන්නේ නො වේ ද?
[පොට්ඨපාද:] වහන්ස, මෙසේ ඇති කල්හි ඔබ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණ සහිතයෙක් වේ.
[භාග්‍යවත්හු:] පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් පහයකට නඟිනුවට එම පහය යටැ හිණක් බඳනේ ද, එසේ වූ ඔහු බණවා අන්හු ‘හෙම්බා පුරුෂය, තෝ යම් පහයකට නඟිනුවට හිණක් කෙරෙහි නම්, ඒ පහය පෙර දිගැ හෝ දකුණු දිගැ හෝ පැසිම් දිගැ හෝ උතුරු දිගැ හෝ ඇතැ යි දනු ද? උස් වූ හෝ මිටි වූ හෝ මැදුම් පමණ වූ හෝ එකෙකැ යි දනු දැ?’ යි විචාරන්නාහු නම්, ඒ පුරුෂ තෙම ‘ඇවැත්නි, යම් පහයකට නඟිනුවට ඒ පහය යට මම් යම් හිණක් කෙරෙම් නම්, මේ ඒ පහය යැ’යි කියන්නේ ය.
“පොට්ඨපාදය, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ සහිත වන්නේ නො වේ ද?”
[පොට්ඨපාද:] වහන්ස, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ සහිත වේ.
[භාග්‍යවත්හු:] පොට්ඨපාදය, යම්සේ (යමක් සඳහා) පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමූ ම දැන පසක් කොට ලැබ වසන්නහු නම්, ඇවැත්නි, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභය කවරේ යැ? ... ඇවැත්නි, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසවු නම්, ඒ මනෝමය ආත්මප්‍රතිලාභය කවරේ යැ? ... ඒ අරූප ආත්මප්‍රතිලාභය කවරේ යැ? යි අප විචාරන්නාහු ද, ඔවුන් විසින් මෙසේ විචාරන ලද අපි මේ (මතු දැක්වෙන) පරිදි විසඳන්නමු:
“ඇවැත්නි, යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමෝ නම්, යම්සේ (යමක් ප්‍රහීණ කරණු සඳහා) පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වැඩෙන්නාහු නම්, යමෙක ප්‍රහාණයෙන් ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමූ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු නම්, මේ ඒ ඖදාරික වූ ආත්ම ප්‍රතිලාභය ය … මේ ඒ මනෝමය ආත්මප්‍රතිලාභය ය ... මේ ඒ අරූපආත්මප්‍රතිලාභය යැ” යනු යි.
පොට්ඨපාදය, ඒ කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ අප වචනය ප්‍රතිහරණ නැතියක් (ප්‍රතිවිරුද්ධ කථා ඉදිරිපත් නොකළ හැක්කක්) වනුයේ නො වේ ද?”
[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කලැ ඔබ වචනය ප්‍රතිහරණ නැතියෙක් වෙයි.”
මෙසේ කී කල්හි ඇත්සැරිපුත් චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට මේ බස් පැවැසී ය. “වහන්ස යම් කලෙක්හි ඖදාරික ආත්මප්‍රතිලාභය වේ නම්, එ සමයෙහි ඔහුගේ මනෝමය ආත්මප්‍රතිලාභය හිස් වෙයි ද? (අභාවයට යෙයි ද?) ඔහුගේ අරූප ආත්මප්‍රතිලාභයත් හිස් වෙයි ද? එ කලැ, ඔහුගේ ඖදාරික ආත්මප්‍රතිලාභය ම සත්‍ය වෙයි ද?
වහන්ස, යම් කලෙක මනෝමය ආත්මප්‍රතිලාභය වේ නම්, එ කලැ ඔහුගේ ඖදාරික ආත්මප්‍රතිලාභය නැති වෙයිද? අරූපාත්මප්‍රතිලාභයත් නැති වෙයි ද? එ කල්හි ඔහුගේ මනෝමය ආත්මප්‍රතිලාභය ම ඇති වෙයි ද?