Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 1101-1200 න් 5108

32. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත මෙහෙයයි ... හේ ... දිවැසින් මැරෙන මැරී උපදනා ... කම් වූ පරිදි සුගතියට දුගතියට පැමිණි සත්ත්‍වයන් දැන ගනී.
ඇවැත්නි, යම්සේ කඳුමුදුනෙක වූ, පහන් වූ, වෙසෙසින් පෑදුණු, බොර නොවූ දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරැ ඇස් ඇති මිනිසෙක් සිටියේ එය තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පි බෙල්ලනුත් සක්බෙල්ලනුත් කැටකැබිලිතිත් මත්ස්‍යසමූහත් දක්නේ ද, එසේ දක්නා ඔහුට ‘මේ දිය විල පහන් ය. වෙසෙසින් පැහැදුණේ ය. නො කැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැටකැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නෝ ද සිටින්නෝ ද වෙති’යි මෙසේ සිතෙක් වන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇතිසැටියෙන් දනී … මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ’ යි ඇති සැටියෙන් දනී.
මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. සිත භවාස්‍රවය කෙරෙන් ද මිදේ. සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. මිදුණු කල්හි මිදුණේ යැ යී දැනීම වේ. ‘භවෝත්පත්තිය ක්‍ෂීණ විය. මඟ බඹසර වැස නිමැවිණ. කළයුතු දෑ කරණ ලදී. මේ රහත් බව පිණිස අන් කටයුත්තෙක් නැතැ’යි හේ දනී.
33. ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී තම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යී මෙය කියන්නට ඔහුට යුතු දැ? යී [මම් ඇසීමි]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ කියන්නට ඔහුට යුතු නො වේ” [යැ යි දෙ පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලී මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැ’යි කියා හෝ මම් නො කියමි. [මෙසේ ඒ දෙපිරිවැජියනට මම් කීමි.]
34. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඔට්ඨද්ධ ලිච්ඡවී තෙමේ සතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්තේ ය.
සවන මහාලි සූත්‍රය නිමියේ ය.
ජාලිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි මණ්ඩිස්ස නම් පිරිවැජියෙක් ද දඬුමුවා පාත්‍රයක් දරන පැවිද්දක්හුගේ අතැවැසි ජාලිය නම් පිරිවැජියෙක් ද යන දෙ පැවිදි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට සුදුසු වූ, සිතැ රැඳවිය යුතු වූ කථාව නිමවා පසෙක සිටැ ගත්හ. එ දෙ පැවිද්දෝ එසේ පසෙකැ සිටියාහු ම “ඇවැත් ගොයුමාණනි, කිමෙක් ද? හේ ම ජීවයත් හේ ම ශරීරයත් වේ ද? (ජීවයත් ශරීරයත් එකෙක් ම ද?) නොහොත් ජීවය අනෙකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද? (ජීවයත් ශරීරයත් දෙකෙක් දැ?)” යි මෙය කීහ.
2. ඇවැත්නි, එසේ වී නම් අසවු. මොනොවට සිත්හි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘ඇවැත්නි, එසේ යැ’ කියා ඒ දෙ පැවිද්දෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
3. ඇවැත්නි, තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තෙමේ මෙ ලොවැ උපදී ... (සාමඤ්ඤඵල සූත්‍රයෙහි දැක්වුණ පරිදි විස්තර කටයුතු.) ... ඇවැත්නි, මෙසේ මහණ තෙම සිල්වත් වෙයි.
4. ඇවැත්නි, කෙසේ නම් මහණ ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? ඇවැත්නි, මෙහි මහණතෙම ඇසින් රුවක් දැක නිමිති ගන්නා සුලු නො වේ ද, ... ඇවැත්නි, මෙසේ මහණ තෙම ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි.
5. ඇවැත්නි, කෙසේ නම් මහණ සිහිනුවණින් යුත් වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි ඉදිරි බැලීමෙහි දෙ පස බැලීමෙහි ... නුවණින් දැන කරන සුලු වේ ද, ඇවැත්නි, මෙසේ ම මහණ තෙම සිහිනුවණින් යුත් වෙයි.
6. ඇවැත්නි, කෙසේ නම් මහණ සතුටු වේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙම කයැ පරිහරණයට පමණ වූ සිවුරින් සතුටු වේ ද, ... ඇවැත්නි, මෙසේ මහණ තෙම සතුටු වෙයි.
7. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, ... සිහිය අරමුණට යොමු කොට එළවා, ලොව කෙරෙහි අභිධ්‍යාව පහ කොට ... විචිකිච්ඡාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් ණයක් ගෙන කර්‍මාන්තයන් යොදන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් ගිලන් වන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් සිරගෙහි බඳනා ලද්දේ වන්නේ ද, ... යම්සේ පුරුෂයෙක් අනුනට යටත් දාසයෙක් වන්නේ ද, ... යම්සේ ධන ඇති භෝග ඇති පුරුෂයෙක් කතරමඟකට බස්නේ ද, ... හේ පසු කලෙක ඒ කතර තරණය කරන්නේ ද ... එ පරිද්දෙන්, ඇවැත්නි, මහණ තෙම තමා කෙරෙහි පහ වූ නීවරණ පස දකී ...
තමා කෙරෙහි ප්‍රහීණ වූ මේ නීවරණ පස දක්නා ඔහු සිත අරමුණෙහි එකඟ වෙයි.
හේ කාමයන් ගෙන් වෙන් ව ම ... පළමු දහන් ලැබ වෙසෙයි ... ඔහු සියලු කය විවේකයෙන් උපන් පීති සුවයෙන් ... පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යමෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘ජීවයත් ශරීරයත් දෙකෙක් ම යැ’යි හෝ මෙය කීමට යුතු ද? (ඔහු විසින් කිය හැකි දැ යි අසා වදාළ සේක.)
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි කියා හෝ කියනු යුතු ය”.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’යි කියා හෝ නො කියමි.
8. තව ද ඇවැත්නි, මහණ තෙම විතර්‍ක විචාර සංහිඳීමෙන් ... දෙවෙනි දහන් ලැබ වෙසෙයි ... ඔහු කය සමාධියෙන් උපන් පීති සුවයෙන් ... නො පැතිරගත් කිසිදු තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, දක්නේ තම්, ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ ඔහු මෙය කියනුවට යුතු ද?”
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’යි හෝ ‘වෙන වෙන දෙකක් ම යැ’ යි හෝ මෙය කියනු යුතු ය”.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි”.
ඇවැත්නි, තව ද මහණ තෙම ප්‍රීතිය ද දුරැලීමෙන් … තෙවෙනි දහන් ලැබ වෙසෙයි. ඔහු විසින් නිෂ්ප්‍රීතික සුඛයෙන් සියලු කයැ පැතිර නොගන්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ තම්, මෙසේ දක්නේ නම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘දෙකෙකැ’ යි හෝ ඔහු කියනු යුතු ද?
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ඔහු විසින් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් ම යැ’ යි මෙය කියනු යුතු ය”.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලී මෙය මෙසේ දනිමි. මෙසේ දකිමි. වැලි දු මම ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි.
9. තව ද ඇවැත්නි, මහණ තෙම සුඛවේදනාවගේ ප්‍රහාණයෙන් දුඃඛ වේදනාවගේ ද ප්‍රහාණයෙන් ... සතරවන දහන් ලැබ වෙසෙයි ... ඔහු විසින් සියලු කයැ පිරිසිදු පැහැසර සිතින් පැතිරැ නො ගන්නා ලද කිසිදු තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ද?
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ තම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ය”.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ නො කියමි.
10. තව ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත එකඟ වූ කල්හි ... ඥානදර්‍ශනය පිණිස සිත යොමු කරයි, එළවා තබයි. ‘මගේ මේ කය රූපී ය. සතර මහාභූතයන්ගෙන් සැදුණේ ය ... බිඳෙන නැසෙන සුලු ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය. යම්සේ ... වෙරෙළු මිණෙක් වේ ද, එහි හුයෙක් අවුනන ලද්දේ වේ ද, ... එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට ‘මේ වෙරෙළු මිණෙක ... එහි මේ නිල් හෝ ... පඬු පැහැ හුයෙක් අවුනන ලදැ’ යි හෝ මෙ පරිද්දෙන් දන්නේ ද, එසේ ම මහණතෙම සිත සමාහිත කල්හි ... දර්‍ශනඥානය පිණිස සිත එළවා තබයි, යොමු කෙරෙයි. හේ ‘මගේ මේ කය රූපී ය ... මගේ මේ සිත මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ’යි දනී ... [පෙර මෙන් විස්තර කටයුතු.]
11. තව ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... මනෝමය කයක් මවනු පිණිස සිත යොමු කෙරෙයි, එළවා තබයි ...
12. තවද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධිවිධඥානය පිණිස සිත එළවයි ... බඹලොව දක්වාත් කයින් වශයෙහි පවත්වයි ...
13. තවද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස ... පරසිත් දන්නා නුවණ පිණිස ... පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස ... [මහාලි සූත්‍රයෙහි මෙන් විස්තර කටයුතු.]
14. නැවත ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... සත්ත්‍වයන්ගේ චුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත එළවා තබයි ... කම් වූ පරිදි පරලොව යන සතුන් දනී.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’යි හෝ කියනු යුතු ද?
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු යුතු ය”.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. වැලි දු මම් ‘ජීවයත් ශරීරයත් එකෙක් ම යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ නො කියමි.
15. නැවත ද ඇවැත්නි, මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ආස්‍රවක්‍ෂයකරඥානය පිණිස සිත එළවයි, යොමු කරයි. හේ ‘මේ දුකැ යි තත් වූ පරිදි දැන ගනියි ... පුනර්‍ජන්මය ක්‍ෂීණ ය, බඹසර වැස නිමැවිණ, කටයුතු දෑ කරන ලදී. මෙය පිණිස තව ද කටයුත්තෙක් නැතැ’යි හෝ දැන ගනී.
ඇවැත්නි, යම් මහණෙක් වනාහි මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ කියනු යුතු ද?
[පිරිවැජියෝ:] “ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු ‘ජීවයත් ශරීරයත් එකෙක් මැ යැ’ යි හෝ ‘වෙන වෙන දෙකෙක් යැ’ යි හෝ කියනු යුතු නො වේ”.
[භාග්‍යවත්හු:] ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එතෙකුදු වුවත් ‘එය ම ජීවය ය, එය ම ශරීරය යැ’යි හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි.
16. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ඒ දෙපැවිද්දෝ සතුටු සිතැත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.
ජාලිය සූත්‍රය නිමියේ ය.
සිංහනාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උජුඤ්ඤා නුවර නිසා කණ්ණකත්‍ථල නම් මුවලැව්හි වැඩ වසන සේක. එ කලැ අචේල කාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔඛ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා කොට නිමවා එකත්පසැ සිටියේ ය.
2. එකත්පසැ සිටියා වූ ම අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, ‘මහණ ගොයුම්හු සියලු තපස ගරහති’ යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්‍රෝශ කෙරෙති’ යි, ‘පිරිහෙලා බෙණෙති’යි මෙ පවත් මා විසින් අසන ලද. භවද් ගෞතමයිනි, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු සියලු තපස ගරහති’යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්‍රෝශ කෙරෙති’යි, ‘පිරිහෙලා බෙණෙති’යි මෙසේ කීහු නම්, කිමෙක් ද, ඔහු භවද් ගෞතමයන් කී දෑ ම කියත් ද? භවද්ගෞතමයනට අභූතයෙන් (නොවූ දැයින්) දොස් නො කියත් ද? භවද් ගෞතමයන් කී දෑ අනුව ම කරුණු කියත් ද? ඔබේ කිසි වාදයෙක් (ඔබේ වචනයෙක්) හෝ අනුවාදයෙක් (ඔබ කී බස අනුව අනුන් කී වචනයෙක්) හෝ කරුණු සහිත වැ නුවණැත්තන් විසින් ගැරැහිය යුතු තැනට නො පැමිණේ ද? (කිම, හැම අයුරින් ම ඔබගේ වාදයෙහි ගැරැහියැ යුතු කාරණයෙක් නැද්ද?) අපි භවද් ගෞතමයනට අභූතයෙන් දොස් නඟනු නො කැමැත්තම්හ” යි මෙය කී ය.
3. “කාශ්‍යපය, ‘මහණ ගොයුම්හු සියලු තපසට ගරහති’ යි, ‘රළු දිවිපෙවෙත් ඇති හැම තවුසාට ඒකාන්තයෙන් ආක්‍රෝශ කෙරෙති’ යි. ‘පිරිහෙලා බෙණෙති’යි, යම් කෙනෙක් කියත් නම්, ඔහු මා කී දෑ කියන්නෝ නො වෙති. ඔහු මට නැති දැයින් බොරුවෙන් දොස් නගන්නාහු ද වෙති.
කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ, දැක්කැ හැකි පිරිසිදු දිවැසින් කාබුන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුකට පිහිටි, විවශ ව වැටෙන තැන වූ නිරයට පැමිණි, කටුක දිවි පෙවෙත් ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි. කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දර්‍ශනෝපචාරය ඉක්මැ දැක්කැ හැකි, පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, මනා ගති ඇති සඟ ලොවට පැමිණි, කටුක දිවිපෙවෙත් ඇති වැ සිටි එක්තරා තවුසකු ද මම දකිමි.
කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ, දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, සැප නැති, නපුරු ගති ඇති, විවස ව පතිත වන තැන වූ නිරයට පැමිණි, මද වූ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණි, මඳ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
කාශ්‍යපය, යම්බඳු වූ මම් මේ තවුසන්ගේ ආගතියක් (පෙරැ භවයෙහි යම් තැනෙකින් සැව මෙහි උපන්නෝ නම් එ තැනත්), ගතියත් (මෙයින් සැව යෑ යුතු තැනත්), ච්‍යුතියත් (ඒ මතු භවයෙන් ච්‍යුත වීමත්), උප්පත්තියත් (ඒ ච්‍යුතියෙන් පසු ව උපදනා තැනත්) මෙසේ තත් වූ පරිදි දනිම් ද, ඒ මම් කුමට සියලු තපසට හෝ ගරහම් ද? කටුක දිවිපෙවෙත් ඇති හැම තවුසාට හෝ ඒකාන්තයෙන් පරිභව කෙරෙම් ද? අවඥා කෙරෙම් ද?
4. කාශ්‍යපය, පණ්ඩිත වූ, තියුණු නුවණැති, මෙරමා හා කළ වාද ඇති, වාලවේධි ධනුර්ධරයන් බඳු වූ ඇතැම් මහණ බමුණු කෙනෙක් තමන් ප්‍රඥායෙන් අනුන්ගේ දෘෂ්ටින් බිඳැ හෙළන්නන් මෙන් වැ හැසිරෙත්. ඔවුන් හා ද ඇතැම් තන්හි මගේ දහම් සම වෙයි. ඇතැම් තන්හි සම නො වෙයි. ඔහු යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘මැනැවැ’යි කියමු. යම් එක්තරා දැයක් නො මැනැවැයි ඔහු කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘නොමැනැවැ’යි කියමු. යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘මැනැවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනැවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනැවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනැව’යි කියත්. යම් එක්තරා දෙයක් ‘මැනැවැ’යි අපි කියමු ද, ඒ එක්තරා දැය ‘නො මැනැවැ’යි අන්හු කියත්.
මම් ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි, අප දහම් යම් තන්හි සම නො වේ ද, ඒ තන්හු සිටිත් වා. යම් තන්හි සම වේ නම් ඒ තන්හි ලා නුවණැත්තෝ ‘අකුසල් වූත් අකුශලසඞ්ඛ්‍යාත වූත් (අකුසල් යැ සි වෙන් කරන ලද්දා වූත්), සාවද්‍ය (සදොස්) වූත් සාවද්‍යසඞ්ඛ්‍යාත වූත් (සදොස් යැ යි වෙන් කරන ලද්දා වූත්), අසේවිතව්‍ය (නො සෙවියැ යුතු) වූත්, අසේවිතව්‍ය සඞ්ඛ්‍යාත වූත් (නො සෙවිය යුතු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්), ආර්‍ය්‍යභාවයට නොසමත් වූත්, ආර්‍ය්‍යභාවයට නො සමත් සේ වෙන් කොට තබන ලද්දා වූත්, කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් (කළු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්) මේ භවතුන්ගේ යම් ධර්‍ම කෙනෙක් වෙත් නම්, කවර කෙනෙක් මෙකී දහම් නිරවශේෂයෙන් බැහැරැ කොට පවත්නෝ ද ? ශ්‍රමණ ගෞතමයෝ ද නැත හොත් අන් භවද් ගණාචාර්‍ය්‍යයෝ දැ?”යි එක් ශාස්තෘවරයකු හා තවත් ශාස්තෘවරයකු ද එක් ශ්‍රාවකගණයක් හා තවත් ශ්‍රාවකගණයක් ද සසඳා ලබ්ධිය විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධියත් කරුණුත් දෙක ම විචාරත් වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, “මේ භවතුන්ගේ අකුශල වූත් අකුශලසඞ්ඛ්‍යාත වූත්, සාවද්‍ය වූත්, සාවද්‍යසඞ්ඛ්‍යාත වූත්, අසේවිතව්‍ය වූත්, අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූත්, ආර්‍ය්‍යභාවයට නොසමත් වූත්, ආර්‍ය්‍යභාවයට නොසමත් යැ යි වෙන් කොට තබන ලද්දා වූත්, කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ශ්‍රමණගෞතමයෝ මේ හැම දහම් නිරවශේෂයෙන් බැහැරැ කොට පවතිත්. අන් භවද් ගණාචාර්‍ය්‍යයෝ වනාහි යම් තමක් (අල්පමාත්‍රයක්)ම බැහැරැ කොට පවතිත්” යැ යි මෙසේ කියන්නාහුය යන මේ කාරණය ඇත්තේ ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු අප ම එහි ලා බෙහෙවින් පසස්නාහ.
5. අනෙකෙක් ද ඇත. කාශ්‍යපය, ‘මේ භවතුන්ගේ කුශල වූත් කුශලසඞ්ඛ්‍යාත වූත්, අනවද්‍ය වූත් අනවද්‍යසඞ්ඛ්‍යාත වූත්, සේවිතව්‍ය වූත් සෙවිතව්‍යසඞ්ඛ්‍යාත වූත්, අලමාර්‍ය (ආර්‍ය්‍යභාවයට සමත්) වූත් අලමාර්‍යසඞ්ඛ්‍යාත වූත්, ශුක්ල වූත් ශුක්ලසඞ්ඛ්‍යාත වූත් යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, කවරෙක් නම් මේ දහම් නිරවශේෂයෙන් සමාදන් කොට ගෙන පවත්නෝ ද? මහණ ගොයුම්හු ද? නැත හොත් අන් භවත් ගණාචාර්‍ය්‍යයෝ දැ?”යි නුවණැත්තෝ ලබ්ධි විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරත් වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, “මේ භවතුන්ගේ කුශල වූත් කුශලසඞ්ඛ්‍යාත වූත් අනවද්‍ය වූත් අනවද්‍යසඞ්ඛ්‍යාත වූත් සේවිතව්‍ය වූත් සෙවිතව්‍යසඞ්ඛ්‍යාත වූත් අලමාර්‍ය වූත් අලමාර්‍යසඞ්ඛ්‍යාත වූත් ශුක්ල වූත් ශුක්ලසඞ්ඛ්‍යාත වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, මහණ ගොයුම්හු මේ දහම් නිරවශේෂයෙන් සමාදන් කොට ගෙන පවතියි. අන්‍ය භවත් ගණාචාර්‍ය්‍යයෝ වූ කලි යම් තමක් ම හෝ සමාදන් කොට පවතිත් යැ යි මෙසේ කියන්නාහ යන මේ කාරණය ඇත්තේ ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු අප ම එහි ලා බෙහෙවින් පසස්නාහ.
6. අනෙකෙක් ද ඇත. කාශ්‍යපය, ‘මේ භවතුන්ගේ අකුශල වූත් අකුශලසඞ්ඛ්‍යාත වූත්, සාවද්‍ය වූත් සාවද්‍යසඞ්ඛ්‍යාත වූත්, අසේවිතව්‍ය වූත් අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූත්, ආර්‍ය්‍යභාවයට නොසමත් වූත් ආර්‍ය්‍යභාවයට නොසමත් යැ යි කියන ලද්දා වූත්, කෘෂ්ණ වූත් කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් යම් ධර්‍මකෙනෙක් වෙත් නම්, කවරෙක් මෙකී දෑ නිරවශේෂයෙන් පහ කොට පවතී ද? ගෞතමශ්‍රාවක සඞ්ඝයා ද නැත හොත් අන් භවත් ගණාචාර්‍ය්‍යශ්‍රාවක සමූහයෝ දැ? යි නුවණැත්තෝ ශාස්තෘවරයා හා ශාස්තෘවරයා හෝ ශ්‍රාවකගණයා හා ශ්‍රාවකගණයා හෝ සසඳා ලබ්ධි විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් විචාරත්වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, ‘මේ භවතුන්ගේ අකුසල් වූත් අකුසල් යි දන්නා ලද්දා වූත්, සදොස් වූත් සදොස් යි දන්නා ලද්දා වූත්, නොසෙවියැ යුතු වූත් නොසෙවියැ යුතු හ යි දන්නා ලද්දා වූත් අරියබව් ලබනුවට නොසමත් වූත්, අරියබව් ලබනුවට නොසමත් හ යි දන්නා ලද්දා වූත්, කළු වූත්, කළු යැ යි දන්නා ලද්දා වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ගොයුම්සවුමුළුව ම මෙකී දෑ නොඉතිරි කොට දුරැලා සිටී. අන් ගණැදුරන්ගේ සවුමුළුහු යම්තමක් ම දුරැ ලා සිටිත්’ යැ යි මෙසේ කියන්නාහ යන මේ කරුණ ඇත්තේ ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු අප ම එහි බෙහෙවින් පසස්නාහ.
7. කාශ්‍යපය, අනෙකෙක් ද ඇත. මේ භවතුන්ගේ කුසල් වූත් කුසල් යි දන්නා ලද්දාවූත්, නිදොස් වූත් නිදොස් යි දන්නා ලද්දාවූත්, සෙවියැ යුතු වූත් සෙවියැ යුතු හ යි දන්නා ලද්දාවූත්, අරියබව් ලබනුවට සමත් වූත් අරියබව් ලබනුවට සමත්හ යි දන්නා ලද්දාවූත්, සුදු වූත් සුදු යැ යි දන්නා ලද්දාවූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, කවරෙක් මේ දැ මුළුල්ල ම සමාදන් කොට ගෙන පවතී ද? ගොයුම්සවුමුළුව ද නැත හොත් අන් භවත් සවුමුළුහු දැ? යි ශාස්තෘහු හා ශාස්තෘහු ද, සවුමුළුව හා සවුමුළුව ද සසඳා නුවණැත්තෝ අප ලබ්ධිය විචාරත් වා, කරුණු විචාරත් චා, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරත් වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු, ‘මේ භවතුන්ගේ කුසල් වූත් කුසල් යි දන්නා ලද්දාවූත්, නිදොස් වූත් නිදොස් යි දන්නා ලද්දාවූත්, සෙවියැ යුතු වූත් සෙවියැ යුතු යැ යි දන්නා ලද්දාවූත්, අරියබවට සමත් වූත් අරියබවට සමත්හ යි දන්නා ලද්දාවූත්, සුදු වූත් සුදුහ යි දන්නා ලද්දාවූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ගොයුම්සවුමුළුව ම මේ දහම් මුළුල්ල සමාදන් කොට ගෙන පවතී. භවත් අන් ගණැඳුරුමුළුහු යම්තමක් ම සමාදන් කොට ගෙන පවතිත් යැ’ යි මෙසේ කියන්නාහ යන මේ කරුණ විද්‍යාමාන ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු, අප ම එහි බෙහෙවින් පසස්නාහ.
8. කාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ “මහණ ගොයුම්හු ම කල් සලකා කථා කරන සුල්ලෝ ය, ඇත්ත ම කියන සුල්ලෝ ස, දෙලෝ වැඩ ඇසිරු කොට ම කියන සුල්ලෝ ය, නවලොවුතුරාදහම් ඇසිරු කොට කියන සුල්ලෝ ය, විනය ඇසිරු කොට ම කියන සුල්ලෝ යැ” යි තෙමේ ම දන්නේ නම්, තෙමේ ම දක්නේ නම්, ඒ මඟ ඇත. ඒ පිළිවෙත ඇත.
කාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ ... තෙමේ ම දන්නේ නම්, තෙමේ ම දක්නේ නම්, ඒ මඟ කවරේ ද? ඒ පිළිවෙත කවරේ ද?
සම්මාදිට්‍ඨි, සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති, සම්මාසමාධි යන මේ අරි අටැඟි මඟ ම ය.
කාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ “මහණ ගොයුම්හු ම කල් සලකා කියන සුලුහ, ඇත්ත ම කියන සුලුහ, වැඩ ඇසිරැ ම කියන සුලුහ, විනය ඇසිරැ ම කියන සුලුහ” යි තෙමේ ම දන්නේ නම් තෙමේ ම දක්නේ නම් මේ ඒ මඟය, මේ ඒ පිළිවෙත ය.”
9. මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය:
“ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණ බමුණන්ගේ මහණකමැ යි කියන ලද, බමුණුකමැ යි කියන ලද මේ තවකම් (තවුස්දම්) කෙනෙක් ඇත්හ: අචේලක (බහාලූ පිළි ඇතියේ) වෙයි. මුක්තාචාර (හරනා ලද ආචාර ඇතියේ) වෙයි. හස්තාවලෙහනක (බොජුන් කිස නිමි කලැ අත ලෝනේ) වෙයි. න ඒහිහදන්තික (වඩින්නැ වහන්සැ යි කැඳවන ලදුයේ නො එන්නේ) වෙයි. න තිට්ඨභදන්තික (වැඩ සිටින්නැ යි කියන ලදුයේ නො සිටුනේ) වෙයි. අභිහට භෝජනය (තමා එන්නට පළමු ගෙනා බොජුන්) නො ඉවසයි. උද්දිස්සකට භෝජනය (තමා උදෙසා පිළියෙල කළ බොජුන්) නො ඉවසයි. නිමන්ත්‍රණය (බොජුන් සඳහා අසෝ තැනට වඩින්නැ යි කළ නිමැතුම) නො ඉවසයි. කුම්භිමුඛයෙන් (කුඹුමුවින් - පිසූ බත් ලූ බඳුනින්) නඟා දුන් අහර නො පිළිගනී. කලෝපිමුඛයෙන් (ඉකිළි පැස්මුවින්){1} නඟා දුන් අහර නො පිළිගනී. එළිපත අතරැ කොට දුන් අහර නො පිළිගනී. දංඩක් අතරැ කොට දුන් අහර නො පිළිගනී. මොහොලක් අතරැ කොට දුන් අහර නො පිළිගනී. වළඳන දෙදෙනකුන්ගෙන් එකකු නැගී සිටැ දුන් අහර නො පිළිගනී. ගැබින්නක දුන් අහර, (දරුවාට) කිරි පොවන්නියක දුන් අහර, සැමියා අතරට ගිය ස්ත්‍රියක දුන් අහර නො පිළිගනී. දුඛික්සෙමෙහි (සමාදන් කොට පිළියෙල කළ බොජුන් අතුරෙන් ගෙන) දුන් අහර නො පිළිගනී. යම් තැනෙක බල්ලෙක් එළැඹ සිටියේ නම් ඌට නොදී ගෙනවුත් දුන් අහර, යම් තැනෙක මැස්සෝ රැස් රැස් වැ හැසිරෙන්නාහු නම් එ තැනින් දුන් අහර නො පිළිගනී. දියමස් ගොඩමස් නො පිළිගනී. රහමෙර නො බොයි. සෞවීරකය (සියලු ශශ්‍යසම්භාරයෙන් කළ කාඩිය) නො බොයි. හේ ඒකාගාරික (එක් ගෙයකින් ම අහර ලැබ නවත්නේ) හෝ ඒකාලෝපික (එක් බත් පිඬෙකින් ම යැපෙන්නේ) වෙයි. ද්වාගාරික (දෙගෙයෙකින් අහර ලැබ නවත්නේ) හෝ ද්වාලෝපික (දෙබත් පිඬුයෙකින් ම යැපෙන්නේ) වෙයි. සත්තාගාරික (සත් ගෙයෙකින් අහර ලැබ නවත්නේ) හෝ සත්තාලෝපික (සත් අහරපිඬෙකින් ම යැපෙන්නේ) වෙයි. එක් දත්තියෙක (කුඩා තලියෙක) බතින් ද යැපෙයි, දත්ති දෙකෙක බතින් ද යැපෙයි. දත්ති සතෙක බතින් ද යැපෙයි. දවසක් හැර දවසක් ද අහර ගනී. දෙදවසක් හැර දවසක් ද අහර ගනී. සත් දවසක් හැර දවසක් ද අහර ගනි. මෙසේ මෙබඳු වූ අඩමසක් හැර දවසක් ද වාර බත් වැළැඳීමේ ව්‍රතයේ යෙදුණේ වෙසෙයි.
10. ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණබමුණන්ගේ ‘මහණකම්’ යැ යි කියන ලද, ‘බමුණුකම්’ යැ යි කියන ලද මේ තවකම් (තවුස්දම්) කෙනෙක් වෙති: අමුපලා බුදිනේ හෝ වෙයි. බොඩහමු බුදිනේ හෝ වෙයි. සියදා වි (හූරු හැල්) බුදිනේ හෝ වෙයි. සම් ලියා ලූ කසට බුදිනේ හෝ වෙයි. ලහටු ද දිය සෙවෙල් ද බුදිනේ හෝ වෙයි. සහල් කුඩු කන්නේ හෝ වෙයි. දඹුබත් කන්නේ හෝ වෙයි. මුරුවට කන්නේ හෝ වෙයි. තණකොළ කන්නේ හෝ වෙයි. ගොම කන්නේ හෝ වෙයි. වන මුල් පල අහර කොටැත්තේ තමා ම වැටුණු පල වළඳනුයේ හෝ යැපෙයි.
11. ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණබමුණන්ගේ ‘මහණුවම්’ යැ යි කියන ලද, ‘බමුණුවම්’ යැ යි කියන ලද මේ තවකම් කෙනෙක් වෙති: හණවැහැරි ද දරයි. අන් හූ හා හන නූල් මුසු කොට වියූ වස්ත්‍ර දරයි. මිනියෙන් බැහැර කොට ලූ වස්ත්‍ර දරයි. ඉවතැ ලූ කඩමාලු රෙදි දරයි. රිටිසුඹුළුයෙන් වියූ වස්ත්‍ර දරයි. අඳුන්මුවසම් දරයි. මැදින් පැළූ අඳුන්මුව සම් දරයි. කුසතණ ගොතා කළ වැහැරි ද දරයි. නියඳවැහැරි ද දරයි. මිනිස් කෙහෙයෙන් කළ කම්බිලි ද දරයි. අස්වලග ලොමින් කළ කම්බිලි දරයි. මහමුහුණු පියාපත් ගොතා කළ වස්ත්‍ර දරයි. කෙහෙ රවුලු ඉදිරීමෙහි යෙදුණේ කේසමස්සුලොවක ද වෙයි. පිළිකෙවු කළ අසුන් ඇත්තේ නැගී සිටුනේ වෙයි. උත්කුටුක වූයේ ද උත්කුටුකවීර්‍ය්‍යයෙහි යෙදුණේ උත්කුටුක (වැ පැන පැන යන්නේ)ද වෙයි. කණ්ටකාපස්සයික (බිමැ කටු ගසා ඊ මතැ සමක් අතුරා එහි ඉඳුම් හිටුම් ඈ කරනුයේ) ද වෙයි. බිමැ කටු ගසා ඊ මතැ ලූ ඇතිරියෙහි ශයනය කෙරෙයි. පුවරුයෙහි ශයනය කරන්නේ ද වෙයි. ථණ්ඩිලසෙය්‍යාව (පිල්කඩෙහි ශයනය) කරන්නේ ද වෙයි. ඒකපස්සයික (එක් ඇලයෙකින් හෝනේ) ද වෙයි. රජස්දැලි දරනුයේ එළිමහනැ වසනුයේ ද වෙයි. අතුරන ලද පරිදි වූ (වෙනස් නොකොට) අස්නැ හිඳුනේ ද වෙයි. විකෘතභෝජනයෙහි (ගූථානුභවයෙහි) යෙදුණේ වෛකෘතික ද වෙයි. අපානකත්‍වයෙහි (සිහිල් දිය නොපීමෙහි) යෙදුණේ සිහිල් දිය නො බොන්නේ ද වෙයි. සවස තෙවැනි කොට (උදේ මද්දහන සවස යන තුන් වේලෙහි පව් සෝදා හරිනු පිණිස) දියට බැස්මෙහි යෙදුණේ වෙසෙයි යනු යි.
12. “කාශ්‍යපය, ඉදින් අචේලකත් වේ ද, මුක්තාචාරත් (හරන ලද ආචාර ඇත්තේත්) වේ ද, හස්තාවලෙහනව්‍රත ඇතියේත් වේ ද ... සත් දවසකට වරක් අහර ගනී ද, මෙසේ මෙ බඳු වූ අඩමසක් හැර දවසක් ද වාරබත් වැළැඳිමේ ව්‍රතයේ යෙදුණේ වෙසේ ද, එහෙත් ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩන ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණුවම් කෙරෙන් දුරැ ම සිටියේ වෙයි, බමුණුවම් කෙරෙන් දුරැ ම සිටියේ වෙයි.
කාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්‍ෂු තෙම ද්වේෂ වෛර රහිත, දොම්නස් ව්‍යාපාද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් (ඵලසමාධියත්) ප්‍රඥාවිමුක්තියත් (ඵලඥානයත්) මෙ අත්බව්හි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, පසක් කොට, ලැබැ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
13. කාශ්‍යපය, තවුස් තෙමේ ඉදින් අමුපලා බුදිනුයේ වේ ද, බොඩහමු බුදිනුයේ වේ ද, ... තමන් ම වැටුණු ඵල බුදින සුලු වූයේ වන මුල් පල අහර කොටැත්තේ යැපේ ද, ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩන ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණකමින් දුරෙහි ම බමුණුකමින් දුරෙහි ම සිටියේ වෙයි.
කාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්‍ෂු තෙම ද්වේෂරහිත ව්‍යාපාදරහිත මෙත්සිත වඩා ද, ආස්‍රවයන්ගේ ද ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් තෙමේ ම මේ අත්බව්හි ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
14. කාශ්‍යපය, තවුස් තෙමේ ඉඳින් හණවැහැරියත් දරා ද හණනූල් අන් හූ හා මුසු කොට වියූ වස්ත්‍රත් දරා ද ... සවස තෙවැනි කොට දියට බැසීමෙහි යෙදුණේ වෙසේ ද, ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩනා ලදුයේ පසක් නොකරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණකමින් දුරෙහි ම බමුණුකමින් දුරෙහි ම සිටියේ වෙයි.
කාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්‍ෂු තෙම ද්වේෂ රහිත ව්‍යාපාද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ද ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් තෙමේ ම මෙ අත්බව්හි ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ”.
15. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, කාශ්‍යප තෙම “භවද් ගෞතමයිනි, මහණකම දුෂ්කර ය. බමුණුකම දුෂ්කර යැ”යි භාග්‍යවතුන් වහන්සේට කී ය.
“කාශ්‍යපය, ‘මහණකම දුෂ්කර ය, බමුණුකම් දුෂ්කර යැ’ යන මෙය ලොවැ ප්‍රකෘති කථාව ය.”
කාශ්‍යපය, තවුස් තෙම අචේලකත් වේද, මුක්තාචාරත් වේ ද .... මෙසේ අඩමසකට වරක් (අඩමසක් හැර දවසක්) මෙබඳු වාර බත් වැළැඳීමේ යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මෙ පමණින් ම මේ (සුළු තවකමින් ම) මහණකම හෝ බමුණුකම දුෂ්කරත් ඉතා දුෂ්කරත් වන්නේ නම්, ‘මහණකම දුෂ්කර යැ සි, බමුණුකම දුෂ්කර යැ’ යන්න කීමට යෝග්‍ය නො වන්නේ ය.
16. කාශ්‍යපය, ගැහැවියක්හු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසින් නුමුදු “මම දැන් අචේලක වෙමි, මුක්තාචාර වෙමි ... මෙසේ අඩමසක් හැර දවසක් දැ යි මෙබඳු වාර බත් වැළැඳීමේ යෙදුණෙම් වෙසෙමි”යි මේ තවකම් කරන්නට හැක්කේ වන්නේය. කාශ්‍යපය, යම් හෙයෙකින් මෙ පමණින් (මේ මඳ පිළිවෙතින්) වෙන් ව ම, මේ තවකමින් වෙන් ව ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ නම්, එහෙයින් ‘මහණකම් දුෂ්කර ය, බමුණුකම් දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා නම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ නම්, කාශ්‍යපය, මෙහි භික්‍ෂුතෙම මහණ යැ යි දු බමුණු යැ යි දු කියනු ලැබේ.
17. කාශ්‍යපය, ඉදින් තවුස් තෙම අමු පලා කන්නේ වේ ද ... තමන් ම වැටුණු පල බුදින සුලු වූයේ වෙනෙහි මුල් පල අහර කොට යැපේ ද, කාශ්‍යපය, මෙ පමණින් ම මේ තවකමින් ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වන්නේ නම් ‘මහණකම දුෂ්කර යැ, බමුණුකම් දුෂ්කර යැ’ යි කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
කාශ්‍යපය, ගැහැවියකු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසින් නමුදු “මම දැන් අමුපලා කන්නෙම් වෙමි ... ස්වයම්පතිත ඵලභෝජි ව වනමූලඵලහාර ඇත්තෙම් යැපෙමි’යි මේ තවකම් කරන්නට හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් ම මේ මඳ පිළිවෙතින් වෙන් ව ම මෙ තවකමින් වෙන් ව ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ ද, එ හෙයින් ‘මහණකම දුෂ්කර ය, බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියනුවට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා නම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ නම්, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
18. කාශ්‍යපය, ඉදින් තවුස් තෙම හණවැහැරි දරා ද, හණනූල් මුසු අන්හුයින් වියූ වස්ත්‍ර දරා ද ... සවස තෙවෙනි කොට දියේ බැසීමෙහි යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින් මේ තවකමින් දුෂ්කරත් සුදුෂ්කරත් වූ මහණකමෙක් බමුණුකමෙක් වන්නේ නම් ‘ මහණකම දුෂ්කර යැ බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
‘මම් දැන් හණවැහැරි දරමි, හණනූල් අන්නූල් හා මුසු කොට වියූ වස්ත්‍ර දරමි ... සවස තෙවෙනි කොටැති ව දියෙහි ගැලීමෙහි යෙදුණෙම් වෙසෙමි’යි ගැහැවියකු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසිනුදු මෙය කරන්නට හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් මේ මඳ පිළිවෙත හැර ම මේ තවකම් හැර ම, මහණකම් හෝ බමුණුකම් දුෂ්කරත් සුදුෂ්කරත් වේ ද, එහෙයින් ‘මහණකම් දුෂ්කර ය, බමුණුකම් දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්‍ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්‍ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
19. මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවද් ගෞතමයිනි, මහණ තෙම දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු යැ” යි මේ වචන කීය.
“කාශ්‍යපය, ‘මහණ තෙමේ දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු ය’ යන මෙය ලොවැ ප්‍රකෘති කථාව ම ය.”
20. කාශ්‍යපය, ඉදින් තවුස් තෙම අචේලක වේ ද, ... මෙසේ මෙබඳු අර්‍ධමාසික පර්‍ය්‍යායභක්‍තභෝජනව්‍රතයෙහි යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින්, මේ තවකමින් දුකසේ දතයුතු ඉතා දුකසේ දතයුතු මහණෙක් බමුණෙක් වන්නේ නම්, ‘මහණ තෙම දුකසේ දත යුත්තේ ය, බමුණු තෙම දුකසේ දත යුත්තේ යැ’ යන මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
ගැහැවියකු හෝ ගැහැවිපුතක්හු හෝ යටත් පිරිසෙයින් කළදැස්සක හෝ විසිනුදු ‘මේ තෙමේ අචේලක වෙයි, මුක්තාචාර වෙයි ... මෙසේ මෙබඳු ආර්‍ධමාසික වූ ද පර්‍ය්‍යායභක්තභෝජනව්‍රතයෙහි යෙදුණේ වෙසේ යැ’ යි ඔහු දත හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් මේ මඳ පිළිවෙත හැර ම මේ තවකම් හැර ම මහණ තෙමේ හෝ බමුණු තෙමේ හෝ දුකසේ දත යුතු වේ ද, ඉතා දුකසේ දත යුතු වේ ද, එහෙයින් ‘මහණ තෙම දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු යැ’යි මෙය කියන්නට යෝග්‍ය ය.