Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 1001-1100 න් 5108

බමුණ, එසේ ම මහණ තෙමේ සිත මේ පරිද්දෙන් එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ නැති වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, සතුන්ගේ මැරුම් දිනුම් දක්නා නුවණ ලබනුවට සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ මිනිස් විසා ඉක්මැවූ පිරිසිදු දිවැසින් ‘අහෝ මේ භවත් සත්ත්‍වයෝ කාදුසිරියෙන් විසීදුසිරියෙන් මන්‍දුසිරියෙන් යුතුහ. අරීපුඟුලනට දොස් නැඟූහ. මිසදිට් ගතුවහ. මිසදිට් විසින් ගත් සදොස් වත් ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ නපුරු කමින් උපන් තමනට තමන් අවශග වැ වැටෙන තැන් වූ නිරා වන්නහ. -
එහෙත් මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කාසුසිරියෙන් විසීසුසිරියෙන් මන්සුසිරියෙන් යුතුවහ, අරීනට දොස් නොනැඟුවහ, සම්දිටුහ, සම්දිටු විසින් ගත් සිල් ඈ ඇතියහ. මොහු කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව් වන්නහැ’යී මෙසේ මැරෙනු ළං වූ ද, පිළිසඳ ගත් කෙණෙහි වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගති පැමිණි ද, දුගති පැමිණි ද, කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ පිරිසිදු වූ මිනිස් විසා ඉක්මැ පැවැති දිවැසින් උස් පහත් මනා පැහැති නොමනා පැහැති සුගී දුගී සතුන් දකී. කම් වූ පරිදි ඒ ඒ භවය කරා එළඹැ සිටි සතුන් දකී.
බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ද ඇති වඩා අනුහස් ද ඇති යඥයෙක.
91. හේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, ආස්‍රවයන්ගේ වැනැස්ම පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. එසේ වූ හෙ තෙමේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් උපදනා කරුණු යැ’ යී ඇති සැටියෙන් දනී. ‘මේ (දුක් වැනැස්මට අරමුණු වන) නිවනැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’ යි ඇති සැටියෙන් දනී. ‘මොහු ආස්‍රවහ’ යී ඇති සැටියෙන් දනී, ‘මේ ආස්‍රව ඉපැත්මට කරුණු යැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට අරමුණු වන නිවනැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධයට පමුණුවන පිළිවෙත’ යි ඇති සැටියෙන් දනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදිණැ’යී පස්විකුම් නුවණ වේ. බව උපත නැවැතිණ. මඟ බඹසර වැසැ නිමැවිණ. සිවු සස්හි සිවු මඟින් කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොටැ නිමැවිණ. මේ කෙලෙස් නසනු පිණිස තවත් කළ යුතු දැයෙක් නැතැ’යි හේ දනී.
92. බමුණ, යම්සේ කඳු මුදුනෙක වූ, පහන්, වෙසෙසින් පහන්, නොබොර විලෙක් වන්නේ නම්, එහි ඉවුරැ ඇස් ඇති මිනිසෙක් සිටියේ, එය තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පිබෙල්ලනුත් සක්බෙල්ලනුත් කැට කැබැලිතිත් මස්කැලත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට මේ විල පහන් ය, වෙසෙසින් පහන් ය, නොබොර ය. මෙහි “මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැටකැබැලිතිත් මස් කැලත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති”යී මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක්වැනැස්මට පමුණුවන පිළිවෙතැ’සි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවහ’ යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධය යැ’ යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරෝධගාමිනී පිළිවෙතැ’යී ඇති සැටියෙන් දනී.
මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ ය’යී දැනීම වේ. “භවෝත්පත්තිය ක්‍ෂීණ විය. මහබඹසර වැස නිමැවිණ. සිවුමඟින් කළ යුතු සොළොස් කිස කොටැ නිමැවිණ. මෙ බව් පිණිස කළ යුතු තව කිසිත් නැතැ” යී හේ දනී.
“බමුණ, මේ පළමු දැක්වුණු (සියලු) යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කටහැකි, (එහෙත්) වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුසස් ද ඇති යඥය ය. බමුණ, මේ යාග සම්පතට වඩා මනෝඥවූ උතුම් වූ අන් යාගසම්පතෙක් නැත.”
93. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි කුළුදත් බමුණු තෙමේ, “වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, යම් සේ යැටිකුරු කොට තැබුණු බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු යමක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් දහම පැවැසිණ, වහන්ස, ඒ මම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද දහම ද බික් සඟන ද සරණ යෙමි. වහන්ස, අද පටන් දිව්හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවද් ගෞතමයන් වහන්සේ මා දැන වදාරණ සේක් වා. භවද් ගෞතමයන් වහන්ස, ඒ මම් සත්සියක් ගොනුන් ද සත්සියක් නාඹු වස්සන් ද සත්සියක් නාඹු වැස්සියන් ද සත් සියක් එළුවන් ද සත්සියක් තරුණ බැටෙළුවන් ද මුදා ලමි. ඔවුනට දිවි දෙමි. නිල්තණ බුදිත්ව යි ද, සිහිල් පැන් බොත්ව යි ද, ඔවුනට සිහිල් පවන ද හමත්ව’යි කියායි.
94. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුළුදත් බමුණුහට දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමාදීනව කථා, කාමයන්ගේ ලාමකබව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි අනුසස් පැවසූ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක කුළුදත් බමුණහු (ඒ දහම් ඇසීමෙන්) නීරෝග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණයන්ගෙන් පහවූ සිතැත්තහු, ඔදවැඩීගිය පහන් සිතැත්තහු දත් සේක් ද, එකල්හි දුඃඛ සමුදය නිරෝධ මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්‍ෂකී ධර්‍මදේශනාවක් වේ නම් එය පැවසූ සේක.
යම් සේ පිරිසිදු වූ පහ වූ කළු බව් ඇති වතෙක් මොනොවට ම රඳන් පිළිගන්නේ ද, එසේ ම කුළුදත් බමුණුහට එ අස්නෙහි ම, යමෙක් උපදනාසුලු නම් ඒ සියල්ල නැසෙන සුලු වේ යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස පහළ විය.
95. ඉක්බිති (මෙසේ) දුටු අරීසස් දහම් ඇති, පැමිණි අරීසස් දහම් ඇති, ප්‍රකට වූ අරීසස් දහම් ඇති, බැසැ ගත් අරීසස් දහම් ඇති, තීණු විසිකිස් ඇති, පහ වූ සැක ඇති, බුදුසස්නැ විසාරද බවට පැමිණි, පරප්‍රත්‍යය රහිත වූ කුළුදත් බමුණු තෙමේ ‘පින්වත් ගෞතම තෙමේ සෙට දිනට මගේ බත බික් සඟන හා ඉවසා වා’යි භාග්‍යවතුන් වහන්සේට කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් එය ඉවැසූ සේක.
97. ඉක්බිති කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැනැ හුනස්නෙන් නැඟී ඔබ වැඳැ පැදකුණු කොට නික්මුණේ ය. ඉන් පසු කුළුදත් බමුණු ඒ රැය ඇවෑමෙන් සිය යාගශාලායෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා, ‘පින්වත් ගෞතමයිනි, දැන් කල් ය. බත නිමියේ යැ’යී භාග්‍යවතුන් වහන්සේට කල් දැන්වී ය.
98. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ බික් සඟන කැටුව කුළුදත් බමුණුගේ යාගාවාටය කරා එළැඹි සේක. එළැඹ පැනැවු අස්නැ වැඩහුන් සේක. එ කල්හි කුළුදත් බමුණු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සැතැප්වී ය. පැවැරැවී ය. ඉන් පසු කුළුදත් බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත්ඇත්තවුත් දැනැ, මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳැගත්තේ ය. එසේ හුන් කුළුදත් බමුණුට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කරුණු දක්වා ගුණදහම් ගන්වා ගුණදහම් වැඩීමෙහි උනන්දු කොට ගුණ වදාරා සිත සතුටු කොට හුනස්නෙන් නැගී නික්මි සේක.
පස්වනු කුළුදත් සුතුර නිමියේය.
මහාලි සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහවෙනෙහි කුළාරහල් මඟ වෙහෙරෙහි වැඩැ වසන සේක.
එ සමයෙහි වූ කලි කොසොල් රට වැසි බොහෝ බමුණු දූතයෝ ද මගද රට වැසි බොහෝ බමුණු දූතයෝ ද කිසි යම් ඇවැසි කටයුත්තෙකින් විසල් පුරැ (අවුත්) වෙසෙති. කොසොල් රටින් පැමිණි ද මගදරටින් පැමිණි ද එ බමුණු දූතයෝ රටේ පැතිරැ පැවැති මේ කතාව ඇසූහ: (මෙ බඳු කතාවෙක් ඔවුන් කනැ වැටිණ.) “සැහැකුලෙන් නික් මැ පැවිදි වූ සැහැපුත් මහණ ගොයුම් තෙමේ වනාහි (මෙ සමයෙහි) විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරැ වෙසෙයි. ‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණිනුත් රහත් ය, සම්මාසම්බුදු ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යී ඒ පින්වත් ගොයුම්හු පිළිබඳ කලණ කිත් හඬ උස් වැ නැංගේ ය. ඒ පින්වත් ගොයුම් තෙමේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත් වග තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත අකුරු සපුව සහිත හැම ලෙසින් පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු බඹසර පවසයි. එ බඳු වූ රහතුන් දැක්ම වූ කලි හිත වැඩ එළවනුයේ වෙයි”යනු යි.
2. ඉක්ඛිති, කොසොල් රටින් ද මගද රටින් ද පැමිණ ඒ බමුණුදූතයෝ මහවෙනෙහි කුළාරහල් වෙහෙරට එළැඹියහ. එ සමයෙහි නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උවටු වෙති. ඉක්බිති ඒ දෙරටින් ම ආ බමුණු දූතයෝ නාගිත තෙරුන් කරා ගියහ. ගොස්, ‘පින්වත් තාගිතයිති, දැන් ඒ පින්වත් ගොයුමාණෝ කොහි වෙසෙත් ද? අපි වනාහි ඒ භවත් ගොයුමාණන් දක්නා රිසියම්හ’යි කීහ.
“ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දක්නට (දැන්) කල් නො වේ ම ය. භාග්‍යවතුන් වහන්සේ (දැන්) පිළිසලනෙහි යෙදුණු සේක් වෙති”යී (නාගිත තෙරණුවෝ වදාළහ.)
එ විටැ ඒ බමුණු දූතයෝ ‘අපි ඒ පින්වත් ගොයුමාණන් දැකැ ම යන්නම්හ’ යී එහි ම එක් පසෙකැ හිඳ ගත්හ.
3. ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද මහත් ලිච්ඡවි පිරිසක් හා මහවනයට කුළාරහලට, එහි නාගිත තෙරුන් වෙත එළැඹියේ ය. එළැඹ, නාගිත තෙරුන් වැඳ පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි ඔට්ඨද්ධ ලිච්ඡවි තෙමේ ද නාගිත තෙරුනට “වහන්ස, දැන් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ කොහි වසන සේක් ද? අපි ඒ භගවත් රහත් සම්මාසම්බුදුන් දක්නා රිස්සමෝ”යී මෙ බස් කී ය.
“මහාලිය, භාග්‍යවතුන් වහන්සේ දක්නට දත් නොකල් ය. භාග්‍යවතුන් වහන්සේ දැන් පිළිසලනෙහි යෙදී හිඳිනා සේකැ”යී තෙරණුවෝ වදාළහ. ඔට්ඨද්ධ ලිච්ඡවී තෙමේත් “ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දැකැ ම යන්නෙමි”යී එහි ම එක් පසෙකැ හිඳැ ගත්තේ ය.
4. එකල්හි වනාහි සිංහ නම් හෙරණ නාගිත තෙරුන් කරා ගියේ ය. ගොස් තෙරුන් වැඳ, පසෙකැ සිටියේ ය. පසෙකැ සිටි හෙරණ තෙම කාශ්‍යපයන් වහන්ස, මේ කොසොල් රටින් ද මගද රටින් ද පැමිණැ සිටින බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නට මෙහි එළැඹියාහ. ඔට්ඨද්ධ ලිච්ඡවී ද මහත් ලිච්ඡවී පිරිසක් හා කැටුව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස මෙහි එළැඹියේ වෙයි. කාශ්‍යපයන් වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී සැළ කෙළේ ය.
“සිංහය, එසේ වී නම්, තෙපි ම භාග්‍යවතුන් වහන්සේට සැළ කරව”යී (තෙරණුවෝ වදාළහ.) “එසේ ය, වහන්සැ’ යී ම සිංහ හෙරණ තෙම නාගිත තෙරුනට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය, ගොස්, භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක සිටියේ ය. එසේ සිට, “වහන්ස, කොසොල් මගද යන දෙ රටින් පැමිණි මේ බොහෝ වූ බමුණු දූතයෝ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියෝ වෙති. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිසක් කැටුව භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස මෙහි එළැඹියේ වෙයි. වහන්ස, මේ ජනමුළුව භාග්‍යවතුන් වහන්සේ දක්නට ලබතොත් මැනැවැ”යී කී ය.
“සිංහය, එසේ නම් විහාරප්‍රාක්ඡායායෙහි (වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි) අස්නක් පණවව”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).
“එසේ ය වහන්සැ”යී ම සිංහ හෙරණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී වෙහෙර ඉදිරියේ සෙවණෙහි අස්නක් පැණැවී ය. එ විටැ භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ වෙහෙර ඉදිරි පසැ සෙවණෙහි පැණැවුණු අස්නැ වැඩැහුන් සේක.
5. ඉක්බිති ඒ කොසොල් මගද දෙරටින් ආ බමුණු දූතයෝ භාග්‍යවතුන් වෙත එළැඹියාහ, එළැඹැ ඔබ හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිහි කටයුතු (සිතැ රැඳවියැ යුතු) කතා නිමවා පසෙකැ හිඳ ගත්හ. ඔට්ඨද්ධ ලිච්ඡවි ද මහත් ලිච්ඡවි පිරිස හා භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ ඔබ වැඳැ පසෙක හිඳැ ගත්තේ ය. එසේ පසෙකැ හිඳැ ගත් ම ඔට්ඨද්ධ ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කී ය:
“වහන්ස, ඊයේ දවසැ ද එයිනුත් පෙර දිනවල ද ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත තෙමේ මා වෙත ආයේ ය. අවුත් මට ‘මහාලිය, යම් දිනෙක පටන් තුන් හවුරුදු පමණ වූ නොබෝ කලක් මම් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කොටැ විසිම් ද, ඒ කාලය තුළැ කම්රස යුත් මිහිරි වූ, සිත් අලවන දෙව් රූ වූ කලි දිටිමි. වැලි කම්රස ඇති, මිහිරි වූ, සිත් අලවන දෙව් හඬ නො ම ඇසීමි’ යී කී ය. වහන්ස, ලිච්ඡවිපුත්‍ර සුනක්ඛත්තයා ඇත්තා වූ ම මිහිරි කම්රස ඇති සිත් අලවන දෙව් හඬ නො ඇසී ද? නැතහොත් නැත්තාවූ ම එසේ වූ දෙව්හඬ නො ඇසී ද?” (යනු යී).
“මහාලිය, නැත්තා වූ දෙව් හඬ නො ව ඇත්තා වූ ම මිහිරි වූ, කම්රස යුත් සිත් අදනා දෙව්හඬ ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්ත තෙම නො ඇසී යැ”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
6. “වහන්ස, යම් හෙයෙකින් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා නැත්තා වූ හඬක් නො ව ඇත්තා වූ ම, මිහිරි වූ, කම්රස යුත්, සිත් අදනා දෙව්හඬ නො ඇසී නම්, එයට හේතු කවර යැ? ප්‍රත්‍යයය කවරයැ?” (යී මහාලී පුළුවුත).
“මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වූ, කම් රසයෙන් යුත්, සිත් අලවන දෙව් රූ දක්නා පිණිස පෙර දිගට සමාධිය එක්කොටසක් වඩන ලද්දේ වෙයි ද, මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස සමාධිය වඩන ලද්දේ නො වෙයි ද, හේ එසේ මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස නො වැ දෙව් රූ දක්නා පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි පෙර දිගැ වූ මිහිරි … දෙව්රූ දකී. එහෙත් මිහිරි … දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණ විසින් මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස නො වැ මිහිරි වූ … දෙව් රූ පිළිබඳ එක් කොටසක් ම පිණිස පෙර දිගට සමාධිය වඩන ලද කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
7. තවද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත්, සිත් අලවන දෙව්හඬ අසනු පිණිස නොවැ, මිහිරි වූ … දෙව්රූ දක්නා පිණිස දකුණු දෙසට, … පැසිම් දෙසට, … උතුරු දෙසට, … උඩ දෙසට, … යට දෙසට, … සරසට සමාධිය එක් කොටසක් වඩන ලද්දේ වෙයි ද, හේ මිහිරි වූ ... දෙව්හඬ අසනු පිණිස නොවැ, මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස දකුණු දෙසට … උඩ දෙසට ... යට දෙසට … සරසට සමාධිය එක් කොටසක් වඩන ලද කල්හි, මිහිරි වූ … දෙව් රූ දකී, එහෙත් මිහිරි වූ … දෙව්හඬ නො අසයි. ඒ කවර හෙයින යත්: මහාලිය, එ මහණහු විසින් මිහිරි වූ ... දෙවිහඬ අසනු පිණිස නො වැ, මිහිරි වූ දෙව් රූ දක්නා පිණිස දකුණු දෙසට … උඩ දෙසට … යට දෙසට … සරසට සමාධිය එක් කොටසක් වඩනා ලද කල්හි මෙය මෙසේ ම වෙයි.
8. මහාලිය, මෙහි මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නො වැ මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වඩන ලද්දේ වෙයි නම්, එසේ හෙ තෙම, මිහිරි වූ … දෙව්රූ දක්නා පිණිස නො වැ මිහිරි … දෙව්හඬ අසනු පිණිස පෙරදිගට එක් කොටසක් සමාධිය වැඩු කල්හි, පෙර දිගැ, මිහිරි … දෙව්හඬ අසයි. මිහිරි … දෙව් රූ නො ම දකී. ඒ කවර හෙයින යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස නොවැ, මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස පෙර දිගට සමාධිය එක් කොටසක් වැඩූ කල්හි මෙය මෙසේ වෙයි. එ හෙයිනි.
9. තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස නොවැ මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස දකුණු දිගට … පැසිම් දිගට … උතුරු දිගට … උඩට … යටට … සරසට සමාධිය එක් කොටසක් වඩන ලද්දේ වෙයි ද, හේ මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස නොවැ මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස දකුණු දිගට … උඩට ... යටට ... සරසට වඩන ලද සමාධිය ඇති කල්හි මිහිරි වූ … දෙව් රූ නො දකී, (එහෙත්) මිහිරි වූ … දෙව්හඬ අසයි. ඒ කවර හෙයින? යත්: මහාලිය, මිහිරි වූ … දෙව් රූ දක්නට නොවැ, මිහිරි වූ … දෙව් හඬ අසනුවට දකුණු දිගට … උඩට … යටට ... සරසට සමාධිය එක් කොටසක් වැඩූ කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
10. මහාලිය, මෙහි මහණක්හු විසින් මිහිරි වූ කම්රසයෙන් යුත් සිත් අලවන දෙව්රූ දක්නා පිණිස ද, මිහිරි වූ … දෙව්හඬ අසනු පිණිස ද යන දෙ කොටස ම පිණිස පෙර දිගට සමාධිය වඩන ලද්දේ වෙයි ද, හේ මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස ද මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස දැ යි මෙසේ දෙ කොටස ම පිණිස (තමා විසින්) වඩනා ලද සමාධිය ඇති කල්හි මිහිරි වූ … පෙර දිගැ දෙව් රූ ද දකී, මිහිරි වූ … පෙර දිගැ දෙව් හඬ ද අසයි. ඒ කවර හෙයින? යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ … දෙව් රූ දක්නට ද, මිහිරි වූ … දෙව් හඬ අසනුවට දැ යි මෙසේ මේ දෙ කොටස ම පිණිස පෙර දිගට වඩන ලද සමාධිය ඇති කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
11. තව ද මහාලිය, මහණහු විසින් මිහිරි වූ ... දෙව් රූ දක්නා පිණිස ද, මිහිරි වූ … දෙව් හඬ අසනු පිණිස දැ යි මේ දෙ කොටස ම පිණිස දකුණු දිගට … උඩ දෙසට ... යට දෙසට ... සරසට සමාධිය වඩන ලද්දේ වෙයි ද, හේ එසේ … දෙව් රූ දක්නා පිණිස ද දෙව් හඬ අසනු පිණිස දැයි මෙ පරිද්දෙන් මේ දෙ කොටස ම පිණිස දකුණු දිගට … උඩ දෙසට ... යට දෙසට ... සරසට (තමා විසින්) වඩනා ලද සමාධිය ඇති කල්හි, … දෙව් රූ ද දකී, … දෙව් හඬ ද අසයි. ඒ කවර හෙයින? යත්: මහාලිය, මහණහු විසින් මිහිරි වූ … දෙව් රූ දක්නා පිණිස ද … දෙව් හඬ අසනු පිණිස දැ යි (මෙසේ) මේ දෙකොටස ම පිණිස දකුණු දිගට … උඩ දෙසට ... යට දෙසට ... සරසට වඩන ලද සමාධිය ඇති කල්හි මෙය මෙසේ වෙයි. එහෙයිනි.
“මහාලිය, යම් හෙයෙකින් ලිච්ඡවීපුත්‍ර සුනක්ඛත්තයා නැත්තා වූ නොවැ ඇත්තා වූ ම මිහිරි, කම්රෙසෙන් යුත් සිත් අදනා දෙව් හඬ නො ඇසී ද, මේ එයට හේතුව යැ, මේ එයට ප්‍රත්‍යය යැ”(යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
12. “වහන්ස, භික්‍ෂූහු මෙසේ මේ සමාධීන් පසක් කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර රකිත් යැ යි සිතමි” යී (මහාලි කී ය.)
13. “මහාලිය, මහණහු මේ සමාධීන් පසක් කරනු පිණිස මා කෙරෙහි බඹසර නො රකිත්. මහාලිය, යම් දෑ පසක් කරනු පිණිස මහණහු මා වෙත බඹසර රකිත් නම්, ඒ වඩා උසස් වූ වඩා උතුම් වූ අන්‍ය වූ ම දහම් කෙතෙක් ඇතියහ” (යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
14. වහන්ස, යමක් පසක් කරනු පිණිස භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ කෙරේ බඹසර රකිත් නම් ඒ වඩා උසස් වූ වඩා උතුම් අන් දහම්හු කවුරු දැ?” (යී මහාලී පුළුවුත.)
15. “මහාලිය, මෙ සස්නැ මහණ තෙමේ තුන් සංයෝජනයන් (සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන තුන) නැසීමෙන් අපායනට නො වැටෙන සුලු, මාර්‍ගධර්‍මනියාමයෙන් නිශ්චිත ගති ඇති, සම්බෝධිය (මතු තුන් මඟ) පරම ගතිය කොටැති, සෝවාන් පුගුලෙක් වේ ද, මහාලිය, යම් දහමක් පසක් කරනු පිණිස මහණහු මා කෙරෙහි බඹසර සරත් නම්, ඒ මේ දහම් ද (සෝවාන් මඟ ද) යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
තව ද මහාලිය, මහණ තෙමේ තුන් සංයෝජනයන් නැසී යෑමෙන් රා දොස් මොහො තුන තුනී වීමෙන් සෙදැගැමි වේ. එක් වරක් ම මෙ ලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහාලිය, යම් දහමක් පසක් කරනු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මේ දහම ද යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
තව ද මහාලිය, මහණ තෙමේ ඕරම්භාගිය (කාමභවය භජනය කරන) සංයෝජන පස මුළුල්ල ම නැසීමෙන් ඕපපාතික අත්බව ලබන්නෙක් වෙයි. (ශුද්ධාවාස බඹලොවැ උපදින්නේ වෙයි.) එ බඹලොව්හි ම පිරිනිවෙන සුලු වෙයි. එ ලොවින් (නැවැත පිළිසඳ ගැනුම් විසින්) මෙහි නො එන සුලු වෙයි. මහාලිය, යම් දහමක් පසක් කරනු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මෙය ද උඩ කී සමාධීන්ට වඩා උසස්ය, වඩා උතුම් ය.
තව ද මහාලිය, මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂීණවීමෙන් ආස්‍රව රහිත වූ අර්‍හත්ත්‍වඵල සමාධිය ද අර්‍හත්ත්‍වඵල ඥානය ද මෙ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් පසක් කොටැ ලැබ ගෙන වෙසෙයි. මහාලිය, යමක් පසක් කරනු පිණිස මහණහු මා වෙතැ බඹසර සරත් නම්, මෙය ද යට කී සමාධීන්ට වඩා උසස් ය, වඩා උතුම් ය.
මහාලිය, මහණහු යම් දහම් කෙනකුන් පසක් කරන කරුණින් (පසක් කරනු පිණිස) මා වෙතැ බඹසර සෙරෙත් නම්, මේ යට කී සමාධීන්ට වඩා උසස් වූ, වඩා උතුම් වූ ඒ දහම්හු”යැ යි (වදාළ සේක.)
16. (එ විටැ මහාලි තෙම) ‘වහන්ස, (ඔබ වදාළ) මෙකී දහමුන් පසක් කරනුවට මඟෙක් ඇත්තේ ද? පිළිපැද්මෙක් ඇත්තේ ද?” යි (විචාළේ ය.)
“මහාලිය, මේ දහම් පසක් කරනුවට මඟෙක් ඇත්තේ ය, පිළිපැද්මෙක් ඇත්තේ යැ” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
17. “වහන්ස, මේ දහම් පසක් කරනුවට ඇති ඒ මඟ, ඒ පිළිපැදීම කවරේ ද?” (යි මහාලි පුළුවුත.)
(එ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “ඒ මේ අරී අටැඟි මඟ ම ය. එ නම්: සම්‍යග්දෘෂ්ටිය, සම්‍යක්සංකල්පය, සම්‍යග්වචනය, සම්‍යක්කර්‍මාන්තය, සම්‍යගාජීවය, සම්‍යග්ව්‍යායාමය, සම්‍යක්ස්මෘතිය, සම්‍යක්සමාධිය යන අට ය. මහාලිය, එකී දහම් පසක් කරනුවට මේ ම මඟ ය, මේ ම පිළිපැද්ම ය.”
18. මහාලිය, මම් එක් කලෙක කොසොඹෑ නුවරට නොදුරෙහි වූ ඝෝසිතාරාමයෙහි වෙසෙමි. එ කලැ මණ්ඩිස්ස නම් පිරිවැජි ද, ලීමුවා පයක් දරන පිරිවැජ්ජක්හු අතැවැසි ජාලිය නම් පිරිවැජි දෑ යි මේ දෙ පැවිද්දෝ මා වෙත එළැඹැ මා හා සතුටු වූහ. සතුටු වියැ යුතු සිතැ රැඳැවියැ යුතු කතා නිමවා පසෙකැ සිටියහ. පසෙකැ සිටි ඒ දෙ පැවිද්දෝ “කිමෙක් ද ඇවැත්නි, ගොයුම් තෙමේ ‘ජීවයත් හේ ම ද? ශරීරයත් හේ ම ද? (ජීවයත් ශරීරයත් දෙක ම එකක් ද?) නො හොත් ජීවය එකෙකුත් ශරීරය අනෙකෙකුත් වේ ද?”යි විචාළහ.
“ඇවැත්නි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. කියන්නෙමි”යි (මම් කීමි.)
‘එසේ ය. ඇවැත්නි’යි ඒ දෙ පැවිද්දෝ මට පිළිවදන් දුන්හ. මම් මතු දැක්වෙන මේ දැ කීයෙමි.
19. “ඇවැත්නි, රහත් වූ සම්මාසම්බුදු වූ … තථාගත තෙම ලොවැ පහළ වෙයි [යටැ සාමඤඤඑලසූත්‍රයෙහි ආ පරිදි ම විස්තර කළ යුතු.]
තමා කෙරෙහි මෙ නීවරණ පස නැසුණවුන් දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීත සිතැත්තහුගේ කය සංසිඳෙයි. සංසුන් කයැත්තේ සුව විඳී. සුවැත්තහුගේ සිත එකඟ වේ.
20. හේ කාමයන්ගෙන් වෙන් වැ ම සෙසු අකුසල් දහමුන් ගෙන් (ද) වෙන් වැ ම, විතර්‍ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති පළමු දහන් ලැබැ වෙසේ. හේ මේ කය ම විවේකයෙන් උපන් පීතී සුවයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟින් යුත් මුළුකයෙහි විවේකජ පීති සුවය පැතිරැ වැදැ නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම් සේ සමත් කිලිඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නානසුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නානසුණු පිඬ කා වැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුළතත් පිටතත් සහිත වැ හැමතැන ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,
ඇවැත්නි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකජ ප්‍රීතිසුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, හාත්පසින් ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළුකයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ඒ ම ජීව යැ ඒ මැ ශරිරයැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ ඔහු විසින් කියන්නට යුතු දැ?” යි මම ඇසීමි.
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් ශරීරයත් එකක් මැ යැ’ යි හෝ ‘ඒ වෙන වෙන දෙකෙකැ’ යි හෝ කියනු ඔහුට යුතු යැ” යී (දෙ පැවිද්දෝ කීහ.)
ඇවැත්නි, මම් වූ කලි මෙසේ දනිම් මෙසේ දකිමි. එහෙත් මම ‘හේ ම ජීව යැ, හේ ම ශරීර යැ’ යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ නො කියමි යි (මම් කීමි.)
21. ඇවැත්නි, තව ද මහණ තෙමේ විතර්‍ක විචාර සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහද වන සිත එකඟ බව ඇති, විතර්‍කය නැති විචාරය තැති, සමාධියෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි දහනට පැමිණැ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හාත්පසින් තෙමයි, පුරා ලයි. හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහු කයැ විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
22. ඇවැත්නි, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේ ද, [යටැ සාමඤ්ඤඵල සූත්‍රයෙහි ආ පරිදි මෙ තැන විස්තර කළ යුතු.]
ඒ මුළු විලෙහි ශීතල ජලය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත්තේ ද, ඇවැත්නි, එසේ ම මහණ තෙමෙ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි. හැම තැන ම පැතිරැ ගනී. ඔහුගේ ඒ සියලු කයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
23. තව ද ඇවැත්නි, මහණ තෙම ප්‍රීතියගේ ද සංහිඳීමෙන් උපපේක්‍ෂායෙන් ද යුතු වැ, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ යැ’යි කියත් ද, හෝ එසේ වූ ඒ තෙවෙනි දහනට පැමිණැ වෙසෙයි. හේ මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරාලයි. හැම තැන ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
24. ඇවැත්නි, යම් සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ ... පඬෙරවලැ හෝ සිහිල් දියෙන් පැතිරැ නො ගත් තැනෙක් නො වන්නේ ද,
එසේ ම, ඇවැත්නි, මහණ තෙම් මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහු මුළු කයෙහි නිෂ්ප්‍රිතීක සුඛයෙන් පැතිරැ වැද නො ගත් කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යමෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ ම යැ, ශරීරයත් හේ මැ යැ’ යී හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකකැ’යි ඔහු විසින් කියන්නට යුතු වේ දැ? යී [මම ඇසීමි.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ නම්, මෙසේ දක්නේ නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ මෙය කියන්නට ඔහුට යුතු යැ” යි [දෙ පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් මම ‘ජීවයත් හේ ම ය, ශරීරයත් හේ මැ යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යී හෝ නො කියමි.
25. තව ද ඇවැත්නි, මහණ තෙම සුඛ වේදනාව ද දුක් වේදනාව ද දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් සොම්නස් දෙක පහ වීමෙන්, දුක් නො වූ සුඛ ද නො වූ, උපේක්‍ෂාස්මෘතියෙන් පිරිසිදු වූ සිවු වන දහන ලැබැ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙන හුන්නේ වෙයි. ඔහු සියලු කයැ පිරිසිදු පබසර සිතින් නොපහස්නා ලද කිසි ද තැනෙක් නො වෙයි.
ඇවැත්නි, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිස ඇතුළු මුළු කය ම වසා ගෙන හුන්නේ වේ නම්, ඔහු මුළු කයෙහි සුදු වතින් වැදැ නො ගත් (නොවැසුණු) කිසි ද තැනෙක් නො වන්නේ ද, ඇවැත්නි, එසේ ම මහණතෙම මෙ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ ගෙත හුන්නේ වෙයි. ඔහු මුළු කය පිරිසිදු පබසර සිතින් නො පහස්නා ලද කිසි ද තැනෙක් නොවෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ’ යැ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’ යි හෝ මෙය කියන්නට ඔහුට යුතු දැ? යි [මම් ඇසීමි.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’ යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැ’යි හෝ මෙය කියන්නට ඔහුට යුතු යැ” යි [දෙ පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙය මෙසේ දනිමි, මෙසේ දකිමි. එතෙකුදු වුවත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’ යී හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි යි [මම් කීමි.]
26. ඇවැත්නි, තව ද ඒ මහණ තෙම මෙසේ සිත සමාධිගත කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, කිලිටි පහ වැ ගිය කල්හි, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, විදර්‍ශනාභාවනාවට යෝග්‍ය වූ කල්හි, ස්ථිත කල්හි, නිසලබවට පැමිණ කල්හි, විවසුන්නුවණ පිණිස සිත අභිමුඛ කෙරෙයි. එය අතට නමා හරී. හෙ තෙම ‘මගේ මේ කය වූ කලි රූපවත් ය. සිවු මහාභූතයන්ගෙන් සැදුණේ ය. මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුණේ ය. අනිස බව ද, දුගඳ හරනුවට සුවඳවිලෙවුත් ඉලියැ යුතු බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාවය කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ’යි මෙසේ දැන ගනී. ඇවැත්නි, ... සියලු අයුරින් පිරිපුන් වෙරෙළුමිණෙක් යම් සේ ද එහි නිල් හුයෙක් ... පඬුවන් හුයෙක් හෝ අවුනන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එය අතෙහි කොට ‘මේ ... සියලු අයුරින් පිරිපුන් වෙරෙළු මිණෙක. මෙහි නිල් පැහැ හුයෙක් හෝ ... පඬුවන් හුයෙක් හෝ අවුනන ලදැ යි සලකා බලන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... විවසුන්නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ ‘මගේ මේ කය වනාහි රූපවත් ය ... මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ’යි මෙසේ දැන ගනී.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දන්නේ තම මෙසේ දක්නේ නම්, ‘එය ම ජිව යැ, එය ම ශරීර යැ’ යි හෝ ‘අනෙකෙක් ජීව යැ අනෙකෙක් ශරීර යැ’යි හෝ මෙය කියන්නට යුතු දැ? [යි මම ඇසීමි.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’සි හෝ නො කියමි.
27. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... මනෝමය ශරීරයක් මවනු පිණිස සිත යොමු කෙරෙයි ... ඇවැත්නි, යම්සේ මිනිසෙක් මුදු තණ ගසෙකින් තණබඩය බැහැරැ කරන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙම සිත මෙසේ සමාහිත කල්හි ... මනෝමය ශරීරයක් මවන්නට සිත යොමු කෙරෙයි ... හේ මේ කයින් ... නො පිරිහුණු ඉඳුරන් ඇති අන් කයක් මවයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ’ යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ මෙය කියන්නට යුතු දැ?යි [මම් ඇසීම්].
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ නො කියමි.
28. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධි කොටස් ලබනු පිණිස සිත යොමු කෙරෙයි ... ඇවැත්නි, යම්සේ දක්‍ෂ වූ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැස්සෙක් මොනොවට සකස් කළ මැටියෙන් යම් යම් ම බඳුන් වෙසෙසක් කැමැති වන්නේ නම්, එය එය ම කරන්නේ ද, ... ඇවැත්නි, එසේ ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... ඍද්ධි කොටස් ලබනු පිණිස සිත යොමු කෙරෙයි ... හේ අනේකවිධ වූ ඍද්ධි කොටස් පසක් කෙරෙයි (ලබයි) ... බඹලොව දක්වාත් කයින් වශයෙහි පවත්වයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’ යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’ යි හෝ ඔහු විසින් මෙය කියන්නට යුතු දැ? යි [මම ඇසීමි.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හෝ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකක, ශරීරය අනෙකෙකැ’යි හෝ නො කියමි.
29. ඇවැත්නි, තව ද මහණ තෙම් මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ දිවකනින් ... දිව්‍ය වූ ද මානුෂක වූ ද උභය ශබ්ද ම අසයි ... ඇවැත්නි, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ නම්, හේ බෙරහඬත් ... අසන්නේ ද, ‘මේ බෙරහඩැ’යි ... ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, ඇවැත්නි, ඒ පරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ දිවකනින් දිව්‍ය වූ ද මානුෂක වූ ද දුරැ වූ ද ළඟැ වූ ද උභය ශබ්ද ම අසයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු දැ?”යි [මම්ඇසීමි.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකකැ’යි හෝ නො කියමි.
30. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හේ අන් සතුන්ගේ අන් පුඟුලන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දනී. හේ සරාග සිත සරාග සිතැ යි ද දනී ... නොමිදුණු සිත නො මිදුණු සිතැ යි ද දනී. ඇවැත්නි, ... ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යම්සේ කැටපතෙක හෝ ... දිය බඳුනෙක හෝ මුවසටහන පිරික්සා බලනුයේ තලකැලැල් සහිත වූවක් තලකැලැල් සහිත යැ යි දැන ගන්නේ ද, තලකැලැල් රහිත වූවක් තලකැලැල් රහිත යැ යි දැන ගන්නේ ද, ඇවැත්නි, එ පරිද්දෙන් ම මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හෝ අන් සතුන්ගේ අත් පුඟුලන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැන ගනී. හේ සරාග සිත සරාග සිතැ යි ද ... නොමිදුණු සිත නොමිදුණු සිතැ යි ද දැන ගනී.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දකී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’ යි හෝ කියන්නට යුතු ද?යි [මම ඇසීම්.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙය දනිමි, මෙය දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ’යි හෝ නො කියමි.
31. ඇවැත්නි, තව ද මහණ තෙම මෙසේ සිත සමාහිත කල්හි ... පෙරැ වුසූ කඳ පිළිවෙළ දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි ... හෝ එක් ජාතියක් ද ... නොයෙක් සංවර්‍තතවිවර්‍තත කල්ප ද යන අනේකවිධ පූර්‍වනිවාසය සිහි කරයි. ‘අසෝ තැන මෙනම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් වීම් ... මෙසේ ආකාරසහිත උද්දේශ සහිත නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.
ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ මෙය කියන්නට යුතු ද?යි [මම් ඇසීම්.]
“ඇවැත්නි, යම් මහණෙක් මෙසේ දනී නම්, මෙසේ දකී නම්, ඔහු විසින් ‘ජීවයත් හේ මැ යැ, ශරීරයත් හේ මැ යැ’යි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ කියන්නට යුතු යැ”යි [පිරිවැජියෝ කීහ.]
ඇවැත්නි, මම් වූ කලි මෙසේ දනිමි, මෙසේ දකිමි. එහෙත් ‘ජීවයත් හේ මැ යැ ශරීරයත් හේ මැ යැ’සි හෝ ‘ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ’යි හෝ මම් නො කියමි.