Dīgha Nikāya

Long Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 5108 segments

පෙන්වන කොටස් 901-1000 න් 5108

(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන්වැදෑරුම් යාගසම්පතටත් … නිති දනටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් අනුසස් ඇති ඒ යඥය කවරේ ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් වනාහි සතර දිගින් වඩනා භික්‍ෂුසංඝයා උදෙසා වෙහෙරක් කෙරේ නම්, ඒ මේ යඥය මෙහි පළමු කී ... තුන්වැදෑරුම් යාග සම්පතටත් … නිති දනටත් වඩා මද කටයුතු ඇති, වඩා මද උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙකි.”
34. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මෙ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඈත් ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ ... ත්‍රිවිධ යඥසම්පතටත් … මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත්ඵල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඈත.”
(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ විහාරදානයටත් වඩා මද කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් පහන් සිතැත්තේ බුදුන් සරණ යේ ද, දහම් සරණ යේ ද, සඟ සරණ යේ ද, බමුණ, ඒ මේ යඥය වූ කලී මේ පළමු කී … ත්‍රිවිධ යඥසම්පතටත් … විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති එකෙකි.”
35. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණ ගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත්තේ ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් පහන් සිතැති වැ (තිසරණයෙහි පිහිටා) පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැක්ම යන මේ සික කොටස් සමාදන් කොට ගන්නේ නම්, බමුණ මෙය මේ පළමු කී ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති, … වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.”
36. (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් මේ සික කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති … වඩා මහත්පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත් ද?”
(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ … ත්‍රිවිධ යඥසම්පතටත් … මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති ... මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”
(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ යඥසම්පතටත් ... මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති … වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් සඥය කවරේ ද?”
37. (භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, අර්‍හත් වූ, සම්‍යක්සම්බුද්ධ වූ, විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිත් වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙවිමිනිසුන්හට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ මෙ ලොවැ උපදී. හේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත මේ ලොව, – මහණබමුණන් සහිත, දෙව්මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව - තෙමේ ම විශිෂ්ට නුවණින් දැනැ පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල යහපත් මැද යහපත් අග යහපත්, අරුත් සහිත, ව්‍යංජනයෙන් නොඅඩු, හැම අතින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු සසුන් බඹසර හෙළි කෙරෙයි.
38. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ ඒ දහම අසයි. හේ එ දහම අසා තථාගතයන් කෙරෙහි සැදැහැව ලබයි. හේ ඒ සැදැහැ ලැබීමෙන් යුත් වැ “ගිහි ගෙයි විසීම හිරහැර සහිත ය. කෙලෙස් දූලි ගැවැසි මගෙක. පැවිද්ද වූ කලී (කිසි අවහිර නැති) එළි මහනෙක. ගිහි ගෙහි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, මේ සංඛලිඛිතක බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට පහසු නො වේ. එ බැවින් මම් කෙහෙ රවුලු බහා කසාවත් හැඳ, ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැ”යී මෙසේ නුවණින් සලකයි.
හේ පසු කලෙකැ මඳ වූ හෝ ධනසම්පත් හැරැ, බොහෝ වූ හෝ ධනසම්පත් හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑ පිරිස හැරැ, කෙහෙ රවුලු බා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම, පාතිමෝක්ඛසංවරයෙන් ඇවුරුණේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා සම්පූර්‍ණ වූයේ, මඳ වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිකකොටස්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. නිවැරැදි වූ කාවිසිකමින් යුත් වෙයි. පිරිසිදු දිවෙල ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි. බොජුනෙහි පමණ දන්නේ වෙයි. සිහිනුවණින් යුත් වෙයි. ලද පමණින් සතුටු වෙයි.
39. බමුණ, කෙසේ නම් මහණ තෙමේ ශීලසම්පන්න වේ ද? යත්: බමුණ, මෙහි මහණ තෙමේ පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ, ඉවතැ ලූ දඬු ඇත්තේ, ඉවතැ ලු අවි ඇත්තේ, ලජ්ජා ඇත්තේ, මෙත් සිතින් යුත් වූසේ, සියලු සතුන් කෙරෙහි ඉත සිතැති වැ වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
අයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම ගන්නේ, දුන් දැය ම කැමැති වන්නේ, නොසොර වූ පිරිසිදු වූ සිතින් වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
නොබඹසර හැරැ බඹසර රක්නේ, නොබඹසරින් දුරැ වැ වසනුයේ, ගැමිදහම් වූ මෙවුන්දමින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙකි.
මුසවා හැරැ මුසවායෙන් වැළැක්කේ, ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපනුයේ, තහවුරු කතා ඇත්තේ, හැදැහියැ යුතු බස් ඇත්තේ, ලොව නො රවටනුයේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
පෙහෙසුන් බස් හැරැ, පෙහෙසුන් බසින් වැළැක්කේ වෙයි. මොවුන් ඔවුන්ගෙන් බිඳෙනු පිණිස මොබින් අසා ඔබ්බෙහි නො කියන්නේ වෙයි. ඔවුන් මොවුන්ගෙන් බිඳෙනු පිණිස ඔබින් අසා මොබ්බෙහි කියන්නේ හෝ නො වෙයි. මෙසේ බිඳුණවුන් ගළපන්නේ ද ගැළැපුණවුනට අනුබල දෙන්නේ ද වෙයි. සමගියෙන් වසන්නවුන් කෙරෙහි වසන්නට කැමැත්තේ, සමගියෙන් වසන්නවුන් කෙරෙහි ඇලුණේ, සමගියෙන් වසන්නවුනට සතුටු වූයේ, සමගියේ ගුණ දක්වන වචන කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
පරොස් බස් හැරැ, පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිදොස් ද, කන්කලු ද, පෙම් උපදවා ද, සුවසේ ළෙහි වදනේ ද, සියුමැලි ද, බොහෝ දෙනාට ප්‍රිය ද, බොහෝ දෙනාට මනාප ද, එ බඳු බස් තෙපලන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
බොල් දෙඩැවිලි හැරැ, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. කල් දැනැ කියනුයේ, සබ වස් ම කියනුයේ, වැඩ ඇති බස් ම කියනුයේ, දහම් අසළ බස් ම කියනුයේ, විනය අසළ බස් ම කියනුයේ, සුදුසු කලැ කරුණු සහිත, සීමා සහිත, අරුත් සහිත, සිතැ ලා දැරියැ යුතු බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
40. හේ පැල වන දෑ ද පැල වුණු දෑ ද සිඳුම ඈ විකොවුනෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, විකල් බොජුනෙන් වෙන් වූයේ, එක් බතක් ඇත්තේ වෙයි. නටනු ගනු වයනු විසුළුදස්නෙන් වැළැක්කේ වෙයි. සැරැසීමටත් උනු තැන් පිරැවුමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ වෙයි. උසස්නෙන් මහ අස්නෙන් වැළැක්කේ වෙයි. රන් රිදී පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගැහැණුන් දැරියන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත් වත් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහිනට දූත මෙහෙවර කිරීමෙන්, ගෙන් ගෙට යන කුඩා මෙහෙවරින් යන දෙකෙන් ම වැළැක්කේ වෙයි. ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. තුලාකූට කංසකූට මානකූටයෙන් වැළැක්කේ වෙයි. උක්කෝටන වංචන නිකති සාචියෝගයෙන් වැළැක්කේ වෙයි. ඡේදන වධ බන්‍ධන විපරාමෝස ආලෝප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
(සුළු සිල් නිමියේ ය.)
41. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, පැල වන මුල්, පැල වන කඳ, පැල වන පුරුක්, පැල වන කොළිස්, පස් වනු පැල වන ඇට යන මෙබඳු පැල වන දැයත් පැල වුණු දැයත් සිඳුම් බිඳුම් ආදියෙහි යෙදී වෙසෙත් ද, මෙසේ මේ හෝ මෙබඳු වූ පැල වන දැය පැල වුණු දැය සිඳුම් බිඳුම් ඈ විකෝපනයෙන් හේ වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
42. යම්සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අන්නසන්නිධි පානසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නිධි ශයනසන්නිධි ගන්‍ධසන්නිධි ආමිෂසන්නිධි යන මෙබඳු වූ සන්නිධිකාර පරිභෝගයෙහි යෙදුණෝ වෙසෙත් ද, හේ මේ ආදී වූ හෝ අන් මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
43. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම්, නට සමජ්ජා, ආඛ්‍යාන, පාණිස්වර, වේතාල, කුම්භථූන, ශෝභනක, සණදොවුන්කෙළි, උන ගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රීඩා, අස්ථිධාවන, ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බලසෙන් ගණිනා තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, බල ඇණි දක්නට යෑම යන විසුළු දසුන්හි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
44. යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා අටපාකෙළිය, දසපාකෙළිය, අහස් දූකෙළිය, මඬුලු පැනුම්, සන්තිකාක්‍රීඩාව, දාදු කෙළිය, කල්ලි ගැසුම්, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනලා පිඹීම, කෙළිනගුලින් හෑම, කරනම් ගැසුම්, කන්නන්ගුරුවා කෙළිය, කොළනැලියෙන් වැලි ඈ මැනුම්, කෙළිරිය පැදවීම්, කුඩා දුන්නෙන් විදීම, ඈ කිරිකෙළිය, සිතු දෑ කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය යන මේ ආදී වූ හෝ මෙබඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි හෝ මෙබඳු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැකියේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
45. යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළාපුටු ය, පලඟ ය, මහකොඳුපලස ය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණය, කොසෙය්ය හුයින් වියූ ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරි ලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙසෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතු කොට්ට තබා ඇති රතු උඩු වියන් සහිත මහඟු යහන යන මේ ආදි වූ හෝ මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
46. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා කුඩා දරුවන් කිරි සුවඳ හරනට සුවඳ සුණුයෙන් ඉලීම, මනා සටහන් ගන්වනුවට අත් පා ඈහි තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, සැරැසුම් විසින් අඳුන් ගෑම, මල් හා විලෙවුන් හා දැරීම, මුව සුණු හා මුවවිලෙවුන් හා දැරීම, අත්බරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වූ දෑ පරිභෝග කැරුමෙහි යෙදී වෙසෙද්ද, හේ මහණ එබඳු දැය පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
47. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චෝරකථා මහාමාත්‍රකථා සේනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා කුමාරකථා කුමාරිකථා ශුරකථා කුම්භස්ථානකථා පූර්‍වප්‍රේතකථා නානාත්‍වකථා ලෝකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛායිකාකථා ඉතිභවාභවකථා යන මේ හෝ මෙබඳු වූ තිරිසන් කතාවලැ යෙදී වෙසෙත් ද, ඒ මහණ මේ ආදි හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
48. යම්සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම් ම මේ දහම් විනය දනිමි. ‘කිමැ යි මේ දහම් විනය තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුවෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් තෝ නිගැනුණෙහි. මා නැගූ දොසින් මිදෙන්නට හැසිරෙව. හැකි නම් එය විසඳව” යන ආදීන් මෙ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදී වෙසෙත් ද, එ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැනුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වෙයි.
49. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙන යන්නැ, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යී කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහමැතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙනැ යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
50. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා කුහක කම කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
(මැදුම් සිල් නිමියේය.)
51. යම්සේ වනාහි සමහර මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්‍ෂණශාස්ත්‍රය, මුෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘශපක්‍ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ ශීලය වේ.
52. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණූය, දඬුලකුණූය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊ ලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය,මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණීලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය යන ආදි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙබඳු දැයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
53. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘අසෝ දිනැ අසෝ නැකැතින් අසෝ රජුන් (යුද සඳහා) සිය නුවරින් නික්මීම වන්නේ ය, අසෝ නැකැතිත් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ හුන් රජුන් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට යෑම වන්නේ ය. අසෝ නැකැතිත් පිටතැ සිටින සතුරු රජුන් ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතිත් පිටතැ සිටින සතුරු රජුන් රට තුළැ සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය … රට තුළැ රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. ඇතුළතැ සිටින රජුනට පරාජය වන්නේ යැ”යී මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යී කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
54. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සුර්‍ය්‍යග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ නක්‍ෂත්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සඳහිරුන් නිසි මඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ නකත්තරුන් සුමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය … දිග්දාහය වන්නේ ය, … භූමිකම්පා වන්නේ ය, ... වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය, … සඳහිරුන් නකත්තරුන් උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු බව වන්නේ ය, සූර්‍ය්‍යග්‍රහණය ලොවට මෙබඳු පල දෙන්නේ ය, චන්‍ද්‍රග්‍රහණය මෙබඳු පල දෙන්නේ ය, සඳහිරුන් සුමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, ඔවුන් නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, නකත්තරුන්ගේ නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, ඔවුන් නොමඟින් යෑම මෙබඳු පල ගෙන දෙන්නේ ය, උල්කාපතනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල ගෙන දෙන්නේ ය, සඳහිරුන්ගේ ද නකත්තරුන්ගේ ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල ගෙන දෙන්නේ යැ”යි කියනුවෝ, මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මෙබඳු මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යා ආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
55. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “මේ සමයෙහි වැසි වස්නේ ය, මේ සමයෙහි නියං වන්නේ ය, මේ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය, මේ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය, මේ සමයෙහි රටට උවදුරු නැති වන්නේ ය, මේ සමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය, මේ කලැ රෝග වන්නේ ය, මේ කලැ රෝග නැති බව වන්නේ යැ යී පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඛ්‍යා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගණන් කිරීම) ද, සංඛ්‍යානය (පිණ්ඩගණනාව) ද, කව් සතර ද, ලෝකායත ශාස්ත්‍රය ද යන මේ හෝ අන් මේ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ආදි වූ හෝ අන් මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
56. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍රාදිය කැරැ දීම, බිම පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගැබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුළු බැඳීම, මන්ත්‍රාදි බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතැ දේවතාවේශය කොටැ ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ හෝ අන් මෙ බඳු වූ හෝ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ආදි වූ ද, අන් මෙබඳු වූ ද ඒ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
57. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, වාස්තුපරිකිරණ, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, ළය විරේක කැරැවීම්, වස්ති කිරීම, ශීර්‍ෂ විරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහිනට ඇසැ සිසිල ගන්වන බේත් තෙල් පිසීම, ගිහියනට නශ්‍ය දීම, ගිහියනට ඇස පටලයට කාරම් අඳුන් සාදා දීම, ඇසට සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් දීම, ගිහියනට ශල්‍යකර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම, කාරම් බෙහෙත් දීම, කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ’යී මේ ආදී අන් හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.
58. බමුණ, මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවර හේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් ඇති වියැ හැකි බියක් නො දකී. බමුණ, කැත් අබිසෙස්නෙන් මුදුනැ අබිසෙස් ලත්, වැනැසූ සතුරන් ඇති කැත් රජෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි මොන ම බියකුත් යම් සේ නො දක්නේ ද, බමුණ, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීල සම්පන්න වූයේ, ශීලසංවර හේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපැදියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුව විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙමේ ශීල සම්පන්න වේ.
(මහ සිල් නිමියේ ය.)
59. බමුණ, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? යත්: බමුණ, මේ සස්නැ මහණ තෙමේ ඇසින් රුවක් දැක සුබ ඈ විසින් එහි ලකුණු නොගන්නේ වේ. සුබ ඈ විසින් අත් පා ඈ අවයවවල අයුරු සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය නොවසාගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස් ඈ ලාමක අකුසල් දහම්හු පුන පුනා වෑස්සෙත් ද, එහි ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. එය රැක ගනී එහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා … නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට, … දිවෙන් රස ආස්වාද කොට … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට … සිතින් දහම් අරමුණු දැන … සුබ ඈ විසින් එහි ලකුණු ගන්නේ නො වේ, සුබ ඈ විසින් අත් පා ඈ අවයවවල අයුරු සිතට ගත්තේ නො වේ. යම් කරුණෙකින් ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය … ඝ්‍රාණේන්‍ද්‍රියය … ජීහ්වේන්‍ද්‍රියය ... කායේන්‍ද්‍රියය ... මනඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස ආදී ලාමක අකුසල් දහම්හු පුන පුනා වෑස්සෙන්නෝ ද, ඒ ඉන්‍ද්‍රියයන්ගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත්‍ර ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මන ඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී ... ඒ මනින්‍ද්‍රියය රැකැ ගනී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය්‍ය වූ ඉන්‍ද්‍රියයසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි කෙලෙසුන්ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙම ඉන්‍ද්‍රියයන්හි වැසූ දොරැතියේ වේ.
60. බමුණ, මහණ තෙම් කෙසේ නම් සතිසම්පජඤ්ඤයෙන් සමන්‍විත වේ ද? යත්: බමුණ, මේ සස්නැ මහණ ඉදිරි ගමනෙහි, පෙරළා ඊමෙහි, අත්පා ඈ හැකිළීමෙහි, දික් කිරීමෙහි, නුවණින් දැන ම එය කරනුයේ වෙයි. සඟළ සිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. අහර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ඈ කෑමෙහි, රස විඳීමෙහි, මල මූ පහ කිරීමෙහි, යෑමෙහි, සිටුමෙහි, හිඳුමෙහි, පිබිදුමෙහි, බිණුමෙහි, නොබිණුමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. බමුණ, මෙසේ වනාහි මහණ තෙම සිහි නුවණින් සමන්‍විත වෙයි.
61. බමුණ, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද? බමුණ, මෙහි මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරෙන් ද, කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ යන යන අතැ අටපිරිකර පමණක් ගෙන ම නික්මෙයි. බමුණ, යම් සේ පියා හඹන කුරුලු තෙමේ යන යන තැනට පියාපත් බර ඇති ව ම පියා හඹා ද, එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ තමා යන තැනට පාසිවුරු ඈ අටපිරිකර පමණක් ගෙන ම යෙයි. බමුණ, මෙසේ මහණ තෙමේ ලත් පසයෙහි සතුටු වේ.
62. බමුණ, ඒ මහණ මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද … මේ ආර්‍ය්‍යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද … මේ ආර්‍ය්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරන් පවු කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් එළිමහන් පිදුරුලෙන් යන මෙකී මිනිසුන්ගෙන් හිස් කිසි සෙනස්නක් බජයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ පසුබතැ පලක් බැඳ උඩු කය කෙළින් තබා සිහිය කමටහනට යොමු කොට එළවා හිඳී.
63. හේ ලොවැ ඇල්ම හැර, පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ප්‍රද්වේෂය හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ හැම පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය අඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ සිහියෙනුත් යුතු ව වෙසෙයි. මිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් කුකුසත් සිතින් දුරැ ලා, නො උදහස් ව, සංහුන් සිය සිත් සතන් ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නොකරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
64. බමුණ, යම්සේ මිනිසෙක් පොලියට ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්තය සමෘද්ධ වන්නේ නම් හේ වූ තාක් හැම පරණ ණය ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇතොත් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුවෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම් වූ තාක් සියලු පරණ ණය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නා පිණිස ඉතිරි වූ මුදලෙක් ද මට ඇත්තේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ය. හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
65. බමුණ, යම්සේ මිනිසෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත සවි පමණකුත් නො වන්නේ ද, හේ මෑත කලැ ඒ ලෙඩින් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟ පත සවිය ද වන්නේ තම්, ඔහුට “මම් වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන් ලෙඩෙක් වීමි. මට අහරත් නො රිසි වී ය. ඇඟපතත් සවිය නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහරත් රිසියෙයි. ඇඟපතැ සවියත් ඇත්තේ යැ”යී මෙසේ සිතක් වතොත්, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
66. බමුණ, යම්සේ මිනිසෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය නො විසදා පහසුවෙන් එයින් මිදෙන්නේ ද, එයින් ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, ඔහුට “මම් වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන නො විසදා පහසුයෙන් එයින් මිදුණෙම් වෙමි. මාගේ භෝගයනට කිසි විනාශයෙකුත් නැතැ’ යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
67. බමුණ, තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති, දාස පුරුෂයෙක් යම්සේ වන්නේ ද, හේ පසු කලෙක තමා අයත් පැවැතුම් ඇතියේ, මෙරමා, අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙකැ යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුව “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යෑ නොහැකි, දාසයෙකිම් වීමි. ඒ මම් දැන් ඒ දාස භාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, මෙරමා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම්, කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි”යී මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
68. බමුණ, යම්සේ ධනවත් භෝගසම්පත් ඇති පුරුෂයෙක් අහර හිඟ, උවදුරැති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුව සේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති ගම්මානකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති අහර හිඟ බිය ඇති දික් මඟකට බටිමි. ඒ මම් දැන් සුවසේ ඒ කතර තිණූයෙම්. උවදුරු නැති බිය නැති ගමකට බටුයෙම් වෙමි’යී මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
69. බමුණ, එසේ ම මහණ තෙමේ ණයක් මෙන්, ලෙඩක් මෙන්, හිර ගෙයක් මෙන්, වහල් බවක් මෙන්, දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙළින්) මේ නොපහවූ නීවරණ පස තමා කෙරෙහි දකී. ණය නැති බව සේ, නො ලෙඩ බව සේ, හිරෙන් මිදුණු බව සේ, උවදුරු නැති සේ (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් මේ නීවරණ පසේ දුරු වූ අවස්ථාව) තමා කෙරෙහි දකී.
70. මේ නීවරණ පස තමා කෙරෙහි පහ වූවා දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය සිතැ ඇත්තහුගේ නම්කය සංහිඳේ. සංහුන් නම්කය ඇත්තේ සුව විඳී. සුවැත්තහු සිත අරමුණෙහි එකඟ වේ.
71. හේ කාමයන්ගෙන් වෙන් ව ම සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහ වීමෙන්) ප්‍රීතියත් සුවයත් ඇති, පළමු දහන ලැබ වෙසෙයි. හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් පීති සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි (ඒ පීති සුවයෙන්) පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
72. බමුණ, යම්සේ දක්‍ෂ කිලිඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහො තලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දියැත්තේ, හැම තැන ම දියෙන් යුත් වූයේ, ඇතුළත පිටත සහිත ව මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් පීතිසුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති කයෙහි විවේකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ඇති වූත් වඩා මහත් අනුහස් ඇති වූත් යඥයෙකි.
73. බමුණ, නැවැත ද (අනෙකක් කියම්.) මහණ තෙමේ විතර්‍ක විචාර දෙකේ සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති දෙවෙනි දහනට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පහසී. විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් ඔහු සියලු කයේ කිසි ද තැනෙක් නො වෙයි.
74. බමුණ, යම් සේ උල්පතින් මතු වන දිය ඇති විලෙක් වේ ද, එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟක් නොවතත්, දකුණු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, පැසිම් දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, උතුරු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, වැස්සත් කලින් කලැ සුදුසු පරිදි නො වසිතත්, එහෙත් ඒ විලෙන් සිහිල් දිය දහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමන්නේ ද, මුළුල්ල තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැන ම වැද ගෙන සිටී ද, එයින් පැතිරැ වැද නොගත් තැනෙක් නො වන්නේ ද, එසේ ම, බමුණ, මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් පීතිසුවයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.
75. තව ද බමුණ, මහණ තෙමේ ප්‍රීතිය සංහිඳීමෙන් උපේක්‍ෂායෙන් යුතු ව, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. අරී පුඟුලෝ යම් දහනක් හේතු කොට ගෙන දහන් ලැබුවහු ඇරැබ ‘මෙ තෙමේ උපේක්‍ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විසුම් ඇත්තේ යැ’ යී කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි දහන් පැමිණ (ලැබ) වෙසෙයි. හේ මේ කය ම ප්‍රීති රහිත සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ ප්‍රීතිරහිත සුවයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
76. බමුණ, යම් සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි වැඩුණේ දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ සියල්ල අග තෙක් ද මුල් තෙක් ද සිසිල් දියෙන් තෙමුණේ, මුළුල්ල ම තෙමුණේ පිරී ගියේ, හැම තැන ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ වැදැ නොගත් තැනෙක් නො වන්නේ ද, බමුණ, මහණ තෙමේ එ සේම මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, මුළුල්ල ම පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වන්නේ ය.
බමුණ, මේ වනාහි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පල ද මහත් අනුසස් ද ඇති යඥයෙක.
77. තව ද බමුණ, මහණ තෙමේ සුව විඳුමත් දුරැලීමෙන්, දුක් විඳුමත් දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙක දුරු වීමෙන්, නොදුක් ද නොසුව ද වූ, උපේක්‍ෂා ස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිවුවන දහන ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.
78. යම්සේ, බමුණ, මිනිසෙක් හිස සහිත මුළු කය ම සුදු වතින් වසාගෙන හුන්නේ වී නම්, ඔහුගේ ඒ මුළු කයෙහි සුදු වතින් වැදැ නොගත් (නොවැසුණේ) කිසිදු තැනෙක් නොවන්නේ ද, බමුණ, එසේ ම මහණ තෙම මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ ගෙන නොසිටි කිසි දු තැනෙක් වෙයි.
බමුණ, මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.
79. (බමුණ,) ඒ මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කිලිටි පහ වූ කල්හි, පහ වැ ගිය චිත්තෝපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, විවසුන් වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුවණ පිණිස (පිරියම්) සිත එයට යොමු කෙරෙයි, එයට නතු කෙරෙයි. (එසේ වූ) හේ ‘මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුණේ ය. අනිසබව ද දුගඳ හරනුවට සුවඳ විලවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළත් බිඳෙන බව ද, විසිරෙන බව ද යන මෙ කී දෑය ස්වභාව කොට ඇත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය”යී මෙසේ දැනැ ගනී.
80. බමුණ, යම්සේ සොඳුරු පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, දෙවුම් විදුම් ඈ හැම අයුරින් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ නම් ඇස් ඇති පුරුෂයෙක් එය අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු, පිරිසිදු ආරෙක උපන්, අටැස්, මොනොවට පිරියම් කළ, සියුම්, වෙසෙසින් පහන්, පිවිතුරු, දෙවුම් විදුම් ඈ සියලු අයුරින් යුත් වෙරෙළු මිණෙක. මෙහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ” ය යී සලකා බලන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් යට පත් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වූ කල්හි, (විවසුන් බවුනට) යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි. එයට නතු කෙරෙයි. (එසේ වූ) හෙ තෙමේ ‘මේ මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මා පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු අහරින් වැඩුණේ ය, අනිසබව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළිය යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එය කළත් බිඳෙන බව ද, විසිරෙන බව ද යන මෙකී දෑ ස්වභාව කොටැත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ’යී දැන ගනී.
බමුණ, මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, (එහෙත්) වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.
81. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, දුරැ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු ඉපැදවීමට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, මන්මුවා (මනෝමය) සිරුරක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නතු කෙරෙයි. හේ (මෙසේ) මෙ සිරුරින් රූමත්, හැම අඟ පසඟ ඇති, නොවිකළ ඉඳුරන් ඇති මන්මුවා සිරුරක් මවා පියයි.
බමුණ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් මුදුකිලිල ඇද මෑත් කරන්නේ නම්, ඔහුට “මේ මුදුතණ ගස ය, මේ එහි මුදුකිලිල ය, තණ ගස එකෙක, එහි මුදුකිලිල අනෙකෙක, මුදු තණ ගසින් එහි කිලිල මෑත් කරනලදැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, යම් සේ හෝ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇදැ මෑත් කරන්නේ නම්, ඔහුට “මේ කඩුව ය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකෙක, කොපුයෙන් ම් කඩුව ඇද මෑත් කරන ලදැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවෙන් (සිතින්) ඇදැ නඟා ගන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැව ය, නයා එකෙක, සැවය අනෙකෙක, සැවයෙන් ම නයා ඉදිරිණැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,
බමුණ, එසේ ම මහණ තෙමේ මේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි මන්මුවා සිරුරක් මවා පානුවට සිත යොමු කෙරෙයි, නමා හරියි. (එසේ වූ) හේ මේ සිරුරින් රූපවත් වූ, සියලු අඟපසඟින් යුත්, නොවිකළ ඉඳුරන් ඇති, මන්මුවා අන් සිරුරක් මවා පියයි.
බමුණ, මේ වනාහි උඩ දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතින් සිදු කට හැකි, (එහෙත්) එයට වඩා මහත් පල ද වඩා මහත් අනුසස් ද ඇති යඥයෙක.
82. හේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (ඉදුහු වඩනුවට) යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, ඉදුවිද නුවණ පිණිස පිරියම් සිත මෙහෙයයි, නතු කෙරෙයි. (එසේ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා පසක් කෙරෙයි. පියෙවියෙන් එකෙක් වැ සිට ද ඉදුබෙලෙන් බොහෝ වැදෑරුම් වෙයි. බොහෝ වැදෑරුම් විත් යලි එකෙක් ම වෙයි. තමාගේ පෙහෙළි බව කෙරෙයි, යලි නොපෙහෙළි බව කෙරෙයි. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙකත් නොගැටෙනුයේ විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොව්හි ද ගිලීම ද මතු වීම ද කෙරෙයි. නොබිඳෙන දියෙහි පොළොව්හි සේ යෙයි. පියාපත් ඇති සකුනයකු සේ අහස්හි ද පලඟින් යෙයි. මේසා මහත් ඉදු ඇති, මහත් තෙද ඇති මේ සඳ හිරු දෙදෙනා ද අල්ලයි. අත යවා ඔබ මොබ පිරිමදී. බඹලොව දක්වා ද (මුළු ලොව) කයින් විසී කෙරෙයි.
බමුණ, යම් සේ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ මැටියෙන් යම් යම් බඳුන් වෙසෙසක් තෙමේ කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද,
බමුණ, යම්සේ හෝ සමත් දත්වඩුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ දතෙක්හි යම් යම් විසිතුරු රූපාදියක් (දන්තවිකෘතියක්) කැමැත්තේ නම් එය එයම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද,
බමුණ, යම්සේ හෝ සමත් රන්කරුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් අබරණ ආදියක් (ස්වර්‍ණවිකෘතියක්) කැමැත්තේ එය නම් එයම කරන්නේ ද, නිපදවන්නේ ද,
බමුණ, එ පරිද්දෙන් ම මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, පබසර වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහ වඩනුවට යුහු වූ කල්හි, ස්ථිතකල්හි, නිසලබව් පත් කල්හි ඉදුවිද නුවණ පිණිස සිත මෙහෙයයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා විඳී (ලබයි, පසක් කෙරෙයි). පියෙවියෙන් එකක් වැ ම සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනක් වැ යලි එකෙක් ම වෙයි. තෙමේ පෙනී සිටී, නොපෙනී ද සිටී. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට විනිවිද කිසිවෙක නොලැගී අහසෙහි සෙයින් යෙයි. පොළොව්හි ද දියෙහි මෙන් ගිලීමත් මතු වීමත් කෙරෙයි. පොළොව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. ඉගිලෙන පක්‍ෂියකු සේ පලඟින් අහසැ යෙයි. මේ සා මහත් ඉදුහ ඇති මේසා මහත් තෙද ඇති සඳ හිරුන් පවා අල්ලයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් තමා වසයෙහි පවත්වයි.
බමුණ, මේ වනාහි මෙයින් පළමු කී සියලු යඥයනට වඩා මඳ කටයුතු ඇති ද වඩා මඳ තැතින් සිදු කට හැකි ද වූ, එහෙත් ඒ හැමට වඩා මහ පල ද වඩා මහ අනුසස් ද ඇති යඥයෙක.
83. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (දිවකන් නුවණ වඩනුවට) යුහු වූ කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ සිටි දිවකනින් දෙවියන් අයත් වූ ද මිනිසුන් අයත් වූ ද දුරැ වූ ද ළඟැ වූ ද යන දෙවැදෑරුම් හැම හඬ ම අසයි.
84. බමුණ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ නම්, හේ බෙර හඬත් මිහිඟු බෙර හඬත් සක් පණා ගැටබෙර හඬත් අසන්නේ නම්, එය අසන ඔහුට ‘මේ බෙර හඬැ’ යිත් ‘මේ මිහිඟු බෙර හඬැ’ යී ත් ‘මේ සක් පණා ගැටබෙර හඬැ’යිත් මෙසේ සිතෙක් වන්නේ නම්, බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මේ ලෙස සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්‍ෂම වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ වූ දිවකන් නුවණින් දිව්‍ය වූත් මානුෂ වූත් දුරැ වූත් ළඟැ වූත් දැ යී මෙසේ දෙවැදෑරුම් වූ සියලු හඬ අසයි.
බමුණ, මෙය පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතෙකින් සිදු කට හැකි, ඒ හැමට වඩා මහත් පල ද ඇති මහත් අනුසස් ද ඇති යාගයෙකි.
85. හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් කල්හි, කර්‍මක්‍ෂම කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, පර සිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනියි. සරාග සිත සරාග සිතැ යි දනී. රාගරහිත සිත රාගරහිත සිතැ යි ද දනියි. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. සමෝහ සිත සමෝහ සිතැ යි දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැ යි ද දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතැ යි ද දනියි. විසුරුණු සිත විසුරුණු සිතැ යි ද දනියි. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනියි. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනියි. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනියි. නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද දනියි. එකඟ සිත එකඟ සිතැ යි ද දනී. නොඑකඟ සිත නොඑකඟ සිතැ යි ද දනියි. මිදුණු සිත මිදුණු සිතැ යි ද දනී. නොමිදුණු සිත නොමිදුණු සිතැ යි ද දනියි.
86. බමුණ, ළදරු වේවයි තරුණ වේවයි සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු පිවිතුරු කැඩපතෙක හෝ පහන් දියැති බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ඈ දොස් ඇති තැන් දොස් ඇති තැනැ යි දන්නේ ද, ඒ දොස් නැති තැන් දොස් නැති තැනැ යි දන්නේ ද,
බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්‍ෂම කල්හි, ස්ථිත කල්හි, නිසලබව් පත් කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි.
හේ අන් සතුන්ගේ අන් පුගුලන් ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනී: සරාග සිත සරාග සිතැ යි ද දනී. වීතරාග සිත වීතරාග සිතැ යි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද … වීතද්වේෂ සිත වීතද්වේෂ සිතැ යි ද … සමෝහ සිත සමෝහ සිතැ යි ද … වීතමෝහ සිත වීතමෝහ සිතැ යි ද … සංක්‍ෂිප්ත සිත සංක්‍ෂිප්ත සිතැ යි ද … වික්‍ෂිප්ත සිත වික්‍ෂිප්ත සිතැ යි ද … මහද්ගත සිතැ මහද්ගත සිත යි ද … අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද ... සෝත්තර සිත සෝත්තර සිතැ යි ද … නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද … අසමාහිත සිත අසමාහිත සිතැ යි ද … විමුක්ත සිත විමුක්ත සිතැ යි ද … අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.
බමුණ, මේ වනාහි පළඹු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැතෙකින් සිදු කට හැකි ඒ හැමට වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුහස් ද ඇති යාගයෙක.
87. හේ මෙසේ සිත එකඟ වූ කල පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කලැ පෙරැ වුසූ කඳපිළිවෙළ දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ “අසෝ තැනැ මේ නම් ඇතියෙම් වීම්, මේ ගොත් ඇතියෙම් වීම්, මෙබඳු පැහැසටහන් ඇතියෙම් වීම්, මෙබඳු අහරැතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳිනුයෙම් වීමි, මෙබඳු ආයු කෙළවර ඇතියෙම් වීම්, ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි. එහි දු මේ නම් ඇතියෙම් වීම්, මේ ගොත් ඇතියෙම් වීම්. මෙබඳු පැහැ සටහන් ඇතියෙම් වීම්, මෙ බඳු අහරැතියෙම් වීමි, මෙ බඳු සුව දුක් විඳිනුයෙම් වීමි. මෙබඳු ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිසක් ද ජාති පනසක් ද ජාති සියක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද බොහෝ විවර්‍ත කල්ප ද බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද මෙසේ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ පැහැ සටහන් ඈ විසින් අයුරු සහිත, තම ගොත් විසින් උදෙසුම් සහිත බොහෝ වැදෑරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි.
88. බමුණ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, එ ගමිනුත් අන් ගමකට යන්නේ ද, යලි ඒ ගමින් සිය ගමට පෙරළා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. එ ගමිනුත් අසෝ ගමට ගියෙමි, එහි දු මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි, ඒ මම් එ ගමින් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි”යී ඔහුට මෙබඳු සිතෙක් වන්නේ ද,
බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්‍ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි. මොනොවට නතු කෙරෙයි. හේ “අසෝ තැනැ මේ බඳු නම් ඇතියෙම් වීමි, මේ බඳු ගොත් ඇතියෙම් වීමි, මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙ බඳු අහර ඇතියෙම් වීම්, මෙ බඳු සුව දුක් විඳුනෙම් වීම්, මෙ බඳු ආයු සීමා ඇතියෙම් වීම්. ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි, එහි ද මෙබඳු නම් ඇතියෙම් වීම්, මෙබඳු ගොත් ඇතියෙම් වීම්, මෙබඳු පැහැ සටහන් ඇතියෙම් වීම්, මෙ බඳු අහර ඇතියෙම් වීම්, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීම. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීම්. ඒ මම් එසින් සැවැ මෙහි උපනිමි”යී මෙසේ එක් දැයක් ද දෙ දැයක් ද තෙ දැයක් ද සිවු දැයක් ද පස් දැයක් ද දස දැයක් ද විසි දැයක් ද තිස් දැයක් ද සාළිස් දැයක් ද පනස් දැයක් ද සිය දැයක් ද දහස් දැයක් ද සුවහස් දැයක් ද බොහෝ පිරිහෙන කප් ද බොහෝ වැඩෙන කප් ද බොහෝ පිරිහෙන වැඩෙන කප් දැ යී මෙසේ නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙ පරිද්දෙන් අයුරු සහිත උදෙසුම් සහිත පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි.
බමුණ, මේ පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති වඩා මඳ තැතින් සිදු කට හැකි, වඩා මහත් පල ද වඩා මහත් අනුහස් ද ඇති යඥයෙක.
89. ඒ මහණ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්‍ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් සමන්‍විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්‍විතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්‍විතයහ, ආර්‍ය්‍යෝපවාද කළෝ ය. මිසදිට් ගතුවහ, මිසදිට් විසින් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඔහු කා බුන් මරණින් මතු සුවින් තොර, නපුරු කමින් උපන් ගති වූ (කර්‍මයට තමන් යටත් බැවින්) තමනට අවශග වැ වැටෙන තැන් වූ නිරයට වන්නෝය. මේ භවත් සත්ත්‍වයෝ වූ කලි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් සමන්‍විතයහ. ආර්‍ය්‍යයනට උපවාද නොකොළෝය. සම්දිටු ගතුවහ. සම්දිට් විසින් ගත් සිල් ඈ ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු හොබනා ගති ඇති සග ලොව් වන්නෝ යැ”යී මරණාසන්න වූ ද එ කෙණෙහි පිළිසඳ ගතුවන් වූ ද හීන වූ ද උසස් වූ ද මනා පැහැසටහන් ඇති වූ ද නොමනා පැහැසටහන් ඇති වූ ද සුගතියට පැමිණි ද දුගතියට පැමිණි ද කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මිනිස් විසා ඉක්මැ සිටි දිවැසින් පහත් උසස් සුවන් දුවන් සුගී දුගී සතුන් දකී. කම් වූ පරිදි ඒ ඒ බව කරා එළැඹැ සිටි සතුන් දකී.
90. බමුණ, යම්සේ සිවුමං හන්දියෙකැ මහල් ඇති ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, ගෙ වදිනාවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යත එනවුනුත් සිවුමංහන්දිය මැදැ හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙ වදිත්, මොහු ගෙන් නික්මෙත්. මොහු වෙයෙහි ඈත මෑත යෙත්. මොහු සිවුමංහන්දිය මැද හුන්නාහැ’යී මෙසේ සිතෙක් වන්නේ ද,