සූත්‍රාන්තපිටකයෙහි
දික් සඟිය
සීලස්කන්‍ධ වර්‍ගය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
1.
බ්‍රහ්මජාල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමඟ රජගහනුවරටත් නාලන්‍දා නුවරටත් අතරෙහි දීර්‍ඝමාර්‍ගයට පිළිපන්සේක් වෙති. සුප්පිය නම් පිරිවැජියාත් බඹදත් නම් තරුණ අතැවැස්සා සමඟ රජගහ නුවරටත් නාලන්‍දා නුවරටත් අතරැ වූ දික් මඟට පිළිපන්නේ වේ.
එහි දී සුප්පිය පිරිවැජි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්‍මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහුගේ අතැවැසි තරුණ බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේ පසසයි, ධර්‍මය පසසයි, සංඝයා පසසයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් බික්සඟපිරිසත් අනුව ගියෝ වෙත්.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරයෙහි (රජ ගෙහි) බික්සඟන සමඟ එක් රැයක් නවාතැනට එළැඹිසේක. බඹදත් නම් තරුණ අතැවැස්සා හා සුප්පිය පිරිවැජ්ජාත් එක් රැයක් විසීමට එහි ම එළැඹියේ ය. එහි දී ද සුප්පියපිරිවැජ්ජා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට නින්‍දා කෙරෙයි, ධර්‍මයට නින්‍දා කෙරෙයි, සංඝයාට නින්‍දා කෙරෙයි. ඔහුගේ අතැවැසි තරුණ බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම්ගුණ කියයි, සඟගුණ කියයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ වැ වෙසෙත්.
3. ඉක්බිති රෑ අලුයම්හි නැගී සිටි, නිෂීදන ශාලායෙහි රැස් වැ හුන් බොහෝ භික්‍ෂූන් අතරැ මේ කථාව පහළ විය: “ඇවැත්නි, සත්ත්‍වයන්ගේ ආශයානුශයයන් දක්නා, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියාව කොතරම් මැනවින් සියල්ල දන්නා ලද්දේ ද යන මෙය ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. මේ සුප්පියපිරිවැජියා වනාහි නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්‍මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් මොහු තරුණ අතැවැසි බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදු ගුණ කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධකථා ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂුසංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති” යනු යි.
4. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ගේ මේ කථාව දැන, නිෂීදනශාලාව කරා එළැඹිසේක. එළැඹ, පණවන ලද අස්නෙහි හිඳගත් සේක. හිඳ ගෙන ම, භික්‍ෂූන් අමතා “මහණෙනි, තෙපි දැන් කවර කථාවෙකින් හුන්නෝ වහු ද? කවර නම් අතුරු කථාවෙක් තොප විසින් අඩාළ කරන ලද දැ?” යි විචාරා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි, ඒ භික්‍ෂුහු “වහන්ස, මෙහි රෑ අලුයම්හි නැගී සිටි, නිෂීදනශාලායෙහි රැස් ව හුන් අප අතරැ මේ කථාව පහළ විය: ‘ඇවැත්නි, සත්ත්‍වයන්ගේ ආශයානුශය දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්‍වයන් එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියා කොතරම් මැනවින් දන්නා ලද ද’ යන මෙය ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් කරුණින් බුදු රජාණන් වහන්සේට දොස් කියයි, ධර්‍මයට දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහු තරුණ අතැවැසි බඹදතා නොයෙක් කරුණින් බුදුගුණ කියයි, දහම්ගුණ කියයි, සඟගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා විරුද්ධ කථා ඇති වැ භාග්‍යවතුන් වහන්සේත් භික්‍ෂු සංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති” යි, වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ විය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙහි එළැඹි සේකැ”යි භාග්‍යවතුන් වහන්සේට සැල කළහ.
5. (ඒ භික්‍ෂූන්ගේ කථාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්) “මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්‍මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්, ඒ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නොසතුට නො ම ඉපැදැවියැ යුතු ය. සිතැ අමනාප බව නොකට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්‍මයට හෝ දොස් කියතොත් සඞ්ඝයාට හෝ දොස් කියතොත් ඒ දොස් කීමෙහි තෙපි කිපෙන්නහු නම්, නොසතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාධා) වන්නේ ය. “මහණෙනි, අනුන් මට හෝ ධර්‍මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්, එසේ කල්හි තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිත ද (සත්‍ය කථාවෙක් ද) නැතහොත් දුර්‍භාෂිත ද (අසත්‍ය කථාවෙක් දැ) යි දැනැ ගත හැකි වන්නහු දැ?” යි ප්‍රශ්න කළ සේක.
“වහන්ස, මෙය නොවන්නේ ම යැ (කිපුණොත් කියන කථාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නො වන්නමෝ මැ යැ)” යි ඒ භික්‍ෂූහු උත්තර දුන්හ.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “මහණෙනි, අනුන් මට හෝ ධර්‍මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් ‘මේ කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි අවිද්‍යාමාන යැ’ යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු ය”.
6. “මහණෙනි, අනුන් මාගේ හෝ ධර්‍මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ප්‍රීතිය නො ඉපදැවිය යුතු ය. සොම්නස නො කළ යුතු ය. සිතෙහි ප්‍රීතියෙන් ඉල්පුණුබව නො කළ යුතු ය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියතොත්, ධර්‍මයේ හෝ ගුණ කියතොත්, සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තෙපි ප්‍රීති වන්නහු නම්, සතුටු වන්නහු නම්, තොපට ම එයින් අන්තරාය වේ. (=තොපගේ ම ධ්‍යානාදීගුණලාභයට එය බාධක වේ.) මහණෙනි, අනුන් මාගේ හෝ ධර්‍මයේ හෝ සඞ්ඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින් ‘මේ කරුණිනුත් මෙය ඇත්ත ය. මේ කරුණිනුත් මෙය එසේ ම ඇති එකෙක. මෙය අප කෙරෙහි ඇත්තේ වේ. මෙය අප තුළ විද්‍යාමාන ම යැ’ යි ඇතිගුණ ඇතිගුණ වශයෙන් පිළින කට යුතු යි.
7. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් (=ඔවුන් වහන්සේ කෙරෙහි වූ යම් ගුණයක් කරණ කොට ගෙන) කියන්නේ නම්, ඔහු කියන ඒ ගුණය අල්පමාත්‍ර එකෙක. ස්වල්පමාත්‍ර එකෙක. ආචාරශීලගුණ පමණක් ම වූ මඳ දැයෙක. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් කියන්නේ නම්, ඔහු කියන ඒ අල්පමාත්‍ර වූ ස්වල්පමාත්‍ර වූ ශීලමාත්‍ර වූ ගුණය කවරේ ද? යත්:-
8. “ශ්‍රමණගෞතම තෙමේ පණිවා හැර දමා, පණිවායෙන් වැළැක්කේ ය. බහා තැබූ දඬුමුඟුරු ඇත්තේ ය. (දඬු මුගුරු නො දරන්නේ ය). බහා තැබූ ආයුධ ඇත්තේ ය (ආයුධ නො දරන්නේ ය). පවට පිළිකුල් කරන්නේ ය. මෛත්‍රියට පැමිණියේ ය (මෛත්‍රියෙන් යුක්තය). සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
9. “ශ්‍රමණගෞතම තෙමේ අයිනාදන් හැර දමා අයිනාදනින් වැළකුණේ ය. දුන් දැය ම පිළිගන්නාසුලු ය. දුන් දැය ම සිතිනුත් කැමැති වැ ඉවසන සුලු ය. නොසොර වූ පිරිසිදුසිතින් යුතු වැ වෙසේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
10. “ශ්‍රමණගෞතම තෙමේ අබ්රම්සර දුරු කොට බඹසර හැසිරෙන්නේ ය. ගැමි දහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ එයින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
11. “ශ්‍රමණගෞතම තෙමේ බොරු කීම දුරැලා, බොරු කීමෙන් වැළැක්කේ ය. ඇත්ත කියන්නේ ය. ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ ය. තහවුරු වැ පිහිටි කථා ඇත්තේ ය. ඇදැහිය යුතු කථා ඇත්තේ ය. ලොව නො රවටන්නෙකැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
12. “ශ්‍රමණගෞතම තෙමේ පිසුණු බස් දුරැ ලා, පිසුණු බිණීමෙන් වැළැක්කේ ය. මෙ තැනින් අසා ගෙන මොවුන් බිඳුවනු පිණිස එ තන්හි නො කියනසුලු ය. එ තැනින් අසා ගෙන ඔවුන් බිඳුවනු පිණිස මෙ තන්හි නො කියන සුලු ය. මෙ සේ බිඳුණවුන් ගළපන්නේ (සමඟි කරන්නේ) ද වෙයි. එකට ගැළැපුණවුන්හට (=සමඟියට පැමිණ සිටිනවුන් හට) රුකුල් දෙන්නේ ද වෙයි. සමඟියෙන් සිටිනවුන් හා වාසය කැමැත්තේ ය. සමඟියෙන් වසන්නවුන්ට කැමැත්තේ ය. සමඟ ව සිටින්නවුනට සතුටු ය. සමඟිය ඇති කරන බස් කියන්නේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
13. “ශ්‍රමණ ගෞතම තෙමේ රළුබිණුම් දුරැ ලා, රළුබිණුම්වලින් වැළැක්කේ ය. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුයෙන් සිතැ වැදැගන්නා, නොගැමි (මොළොක්) වු, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාට මනාප යම් බසෙක් වේ නම්, එ බඳු වූ බස් කියන්නේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
14. “ශ්‍රමණ ගෞතම තෙමේ හිස් දෙඩුම් හැරැ දමා, හිස් දෙඩුමෙන් වැළැක්කේ ය. සුදුසු කාලයෙහි කථා කරන්නේ ය. ඇත්තක් ම කියන්නේ ය. වැඩ සලසන බසක් ම කියන්නේ ය. නවලොවුතුරාදහම් ඇසුරු කොට ම කියන්නේ ය. හික්මුම ඇසුරු කළ (=හික්මුම් ඇති කරන) බසක් ම කියන්නේ ය. සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, සීමාවක් ඇති (=ප්‍රමාණවත් වු), දෙ ලෝ වැඩ පසස්නා වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
15. “ශ්‍රමණගෞතම තෙමේ බීජසමූහ (=පැළ වන දෑ) ද, භූත සමූහ (=පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ ය. එක් වේලේ (පෙරවරු) වළඳන බත් ඇත්තේ ය. රෑබොජුනෙන් වැළැක්කේ ය. නොකල්බොජුනෙන් වැළැක්කේ ය. නටනු - ගයනු - වයනු - විසුළුදස්නෙන් වැළැක්කේ ය. ඇඟ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ ය. පමණ ඉක්මැ වූ උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ ය. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමු (නොපිසූ) ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ ය. අමුමස් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. එළුබැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ ය. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ ය. ගිහියනට දූතමෙහෙවර කැරුමෙහි ද, ගෙන් ගෙට පණිවුඩ පණත් ගෙනයෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ ය. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ ය. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් ආදිය පෑමෙන්, හොරමිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ ය. අල්ලස් ගෙන හිමියන් නොහිමි කැරුමෙන්, නානාඋපායයෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායාවෙන්, මෙකී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ ය. අත්පා ආදිය සිඳුමෙන්, මැරුමෙන්, රැහැන් ආදියෙන් බැඳුමෙන්, මං පැහැරුමෙන්, ගම් පැහැරුමෙන්, සැහැසිකම් කැරුමෙන් වැළැක්කේ ය” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
චුල්ලසීලය නිමි.
16. “තව ද, යම් සේ සමහර භවත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ ද (හිඟුරු ඈ පැළ වන මුල් ද) ස්කන්‍ධබීජ ද (නුග ඈ පැළ වන කඳ ද) පරුබීජ ද (උක් උණ බට ඈ පැළවන පුරුක් ද) අග්‍රබීජ ද (ඉරිවේරිය ඈ පැළ වන දළු ද) පස් වන බීජබීජ ද (වී ඈ පැළ වන ඇට ද) යන මෙ කී බිජසමුහ ද (=පැළ වන දෑ ද), භූතසමූහ ද (=පැළ වුණු දෑ ද), පෙළීමෙහි (=සිඳුම් බිඳුම් තැළුම් තැවුම් යැ යි කියන ලද සමාරම්භයෙහි) යෙදුණෝ වැ වෙසෙත් ද, මේ ආදී වූ හෝ මෙ බඳු වූ බීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් ශ්‍රමණ ගෞතම තෙමේ වැළැක්කේ යැ” යි , මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන ලෞකික ජන තෙමේ කියන්නේ ය.
17. “යම් සේ වනාහි සමහර පින්වත් මහණබමුණු කෙනෙක් (ගිහියන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අන්නසන්නිධි (=කෑම රැස් කොට තබා ගැන්ම), පානසන්නිධි (=බොන දෑ රැස් කොට තබා ගැන්ම), වස්ත්‍රසන්නිධි (=වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම), යානසන්නිධි (=රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද රැස් කොට තබා ගැන්ම), ශයනසන්නිධි (=යහන් රැස්කොට තබා ගැන්ම), ගන්‍ධසන්නිධි (=සුවඳ දෑ රැස්කොට තබා ගැන්ම), ආමිසසන්නිධි (=ඉහත කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස්කොට තබා ගැන්ම) යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (=පසය රැස් කොට තබා ගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ සන්නිධිකාර පරිභෝගයෙන් (=පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙන්) වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
18. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ ගිහියන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (=නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියෙහි දක්වන නැටුම්), ආඛ්‍යාන (=මහාභාරත රාමායණාදී කථා කීම හෝ ඇසීම්), පාණිස්වර (=අතින් ලොහොබෙර ගැසීම් හෝ අත්තල ගැසීම්), වේතාල (=ලීමුවා තාලම්පට ගැසීම් හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම්), කුම්භථූන (සිවුරස් බෙර වැයීම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඬලෙහි දී දෙවතාවනට ස්තෝත්‍රවශයෙන් නාන්‍දීගීත ගායනය නොහොත් ප්‍රතිභානචිත්‍ර කිරීම්), සණදොවුන් කෙළිය(හෝ අයෝගුඩ ක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රීඩාව, අස්ථිධාවනය (=මළවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කැරුම), ඇත් යුද (=ඇතුන් පිට නැග යුද කැරුම), අස් යුද (=අසුන් නැග යුද කැරුම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යාම, බලසෙන් ගණින තැන් දක්නට යෑම, බලසෙන් බෙදන තැනට යෑම, අත්ඇනි අස්ඇනිඈ බලඇනි දක්නට යෑම යන විසුළුදස්නෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ විසුළුදස්නෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තාථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
19. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලුපැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලිගැසුම, ලහඅත් කෙළිය, ගුළකෙළිය, කොළනළා පිඹීම, කෙළි නගුලින් සෑම, කරණම්පැනුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ආදිය මැනුම, කුඩා රිය පැදවීම, කුඩා දුනුයෙන් විදුම, ඇකිරි කෙළිය, සිතු දෑ කීම, විකලාංගානුකරණය යන ආදී වූ හෝ මෙ බඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද , මහණගොයුම් තෙමේ එසේ පමාවට කරුණු වූ දූ කෙළිවලැ යෙදීමෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මේ පරිද්දෙන් හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
20. “යම් සේ වනාහි සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පලඟය, මහකොඳුපලස ය, වියමනින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, එළුලොම්මුවා සුදුඇතිරිය, ගන මල් යෙදූ එළුලොම්ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය), සිංහාදී රූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙ පැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කොට තැනූ පසතුරුණ, කෝසෙය්‍ය නූලින් වියූ පසතුරුණ, සොළොසක් නිළියනට සිටැ නටන්නට තරම් දිග පුලුල ඇති එළුලොම්මුවා ඇතිරිය, ඇතුන් පිටැ එළන ඇතිරිය, අසුන් පිටැ එළන ඇතිරිය, රියවලැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන්දිවිසමින් මසා කළ පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතුකොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන ආදි වූ හෝ මෙ බඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද, මහණගොයුම් තෙමේ මේ ආදී වූ හෝ මේ බඳු වූ උස්යහනින් මහයහනින් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
21. “යම් සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත් පා ආදියේ මනා සටහන් ගන්වනු පිණිස තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස් ආදියේ මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, ඇඟ ඔප්ගන්වනුවට අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදී ඇඟ උනු තැන් පිරැවීමටත් ඇඟ සැරසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ එබඳු දෑ පරිභෝග කැරුමෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
22. “යම්සේ සමහර පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමාත්‍යකථා, සේනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්‍ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, ශූරකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්‍ව ප්‍රේතකථා, නානාත්‍වකථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභවකථා, යන මේ කී හෝ අන් මෙබඳු වූ තිරශ්චීනකථාවල යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මේ ආදී හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
23. “යම් සේ අතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘තෝ මේ දහම්විනය නො දන්නෙහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම්විනය කිමැ’ යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි ය. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුවෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුවෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණි. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැඟූ දොසින් මිදෙන්නට හැසිරෙව (=ඒ ඒ තැන ගොස් උගනුව). හැක්කෙහි නම් එය විසඳව’ යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, මහණගොයුම් තෙමේ මෙ බඳු වූ බැණුමෙන් දෙඩුමෙන් වැළැක්කේ යැ” යි කියා හෝ, මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
24. “යම් සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහෙන් දුන් බොජුන් වළඳා ‘මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ. අසෝ තැනට මෙය ගෙනෙන්නැ යි (කළ නියෝග පිළිගෙන) රජුන්ගේ, රජමහමැතියන්ගේ, ක්‍ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, රජකුමරුවන්ගේ මෙ බඳු වූ දූතමෙහෙවරෙහි, පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, මහණගොයුම් තෙමේ මෙ බඳු දැයෙන් වැළැක්කේ යැ” යි, මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
25. “යම් සේ වනාහි සමහර පින්වත් මහණබමුණෝ අනුන් සැදෑහෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර තකා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවුපසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, මහණගොයුම් තෙමේ මෙ කී හෝ මෙ බඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
මජ්ඣිමසීලය නිමි.
26. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණ බමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්‍ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්න විද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාවය, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙකී හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ වනාහි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
27. “යම්සේ වනාහි ඇතැම් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු ය, දඬුලකුණු ය, වත්ලකුණු ය, කඩුලකුණු ය, ඊලකුණු ය, දුනුලකුණු ය, අවිලකුණු ය, ඉතිරිලකුණු ය, පුරිස්ලකුණු ය, කුමරලකුණු ය, කුමරිලකුණු ය, දස්ලකුණු ය, දැසිලකුණු ය, ඇත්ලකුණු ය, අස්ලකුණු ය, මියුලකුණු ය, වහප්ලකුණු ය, ගොන්ලකුණු ය, එළුලකුණු ය, බැටෙළුලකුණු ය, කුකුළුලකුණු ය, වටුලකුණු ය, ගොයිලකුණු ය, කැණිලකුණු ය, කසුබුලකුණු ය, මුවලකුණුය යන ආදි වූ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු වූ මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ වනාහි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මෙබඳු වූ මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ යැ” යි මහණෙනි, මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
28. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ (අනුන්) සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘අසෝ දිනැ (අසෝ නැකැතින්) අසෝ රජුන්ගේ සිය නුවරින් (යුද සඳහා) නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් රට ඇතුළත වූ රජුන්ගේ පිටත සිටින සතුරුරජුන් හමුවට යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරුරජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරුරජුන්ගේ රට ඇතුළත සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. (අසෝ නැකතින්) ඇතුළත සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළත සිටින රජුනට ජය වන්නේ ය. පිටත සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. (අසෝ නැකතින්) පිටත සිටින සතුරුරජුනට ජය වන්නේ ය. රට ඇතුළත සිටින රජුනට පරාජය වන්නේ යැ යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුට පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මෙබඳු වූ මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, ශ්‍රමණගෞතම තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
29. “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ නක්‍ෂත්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනාගේ නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත් තරුවල ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුව වන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ පථගමනය (නිසි මඟ යෑම) මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳු හිරු දෙදෙනාගේ උත්පථ (අනියම් මඟ) ගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු විපාක ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙබඳු විපාක ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙබඳු පල දෙන්නේ ය. දිග්දාහය මෙබඳු පල දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල දෙන්නේ යැ’ යි කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ යැ” යි තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ මෙසේ හෝ කියන්නේ ය.
30. “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘මේ සමයෙහි වැසි වස්නේ ය. මෙසමයෙහි නියං වන්නේ ය. මෙසමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මෙසමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු නැති වන්නේ ය. මෙසමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග දුරු වන්නේ යැ’ යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් දිගටම කියා ගෙන යමින් ගිණීම) ද, සංඛ්‍යානය (පිණ්ඩ ගණනාව) ද, කාව්‍ය ශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ යැ” යි මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
31. “යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ අනුන් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් සමග වන්නට නකත් කීම, අඹු සැමියන් වෙන් වන්නට නැකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති කරනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු කිරීම් ආදී නිඃශ්‍රීක බව ඇති කරන යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම , නැසෙන්නට යන දරු ගබ රැකෙන්නට පිළියම් කිරීම, මන්ත්‍රාදි බලයෙන් දිවගුළු බැඳීම, මන්ත්‍රාදියෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුළු වැටෙනුවට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම (අංජනම් බැලීම), කුමරියකට දේවතාවේශය කරවා ප්‍රශ්න ඇසීම (කුමරියක ලවා පේන කියැවීම), ජීවිකා පිණිස හිරු වැඳීම හා පිදීම, බහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරි කත කැඳවීම යන මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මහණගොයුම් තෙමේ මේ හෝ මෙබඳු අන්‍ය වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ යැ” යි, මෙසේ හෝ මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
32. “යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම (දෙවියනට බාර වීම), ප්‍රණිධිකර්‍ම (බාර ඔප්පු කිරීම), භූරිකර්‍ම (බිම ගෙහි ඉඳ පිරුවැහු මන්ත්‍රයට උපචාර කිරීම), පණ්ඩකයා (බෙහෙත් බලයෙන් ) පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තු කර්‍මය (අළුත් බිම්හි ගෙවල් නැංවීම), වාස්තු පරිකිරණය (ගෙබිම්හි උවදුරු දුරැ ලන්නට බිලියම් කිරීම), මතුරු දපා මුව සේදීම, මතුරු දපා අනුන් නෑවීම, අනුනට සෙත් පතා ගිනි පිදීම, වමන කැරැවීම, විරේක කැරැවීම, ඌර්‍ධව විරේචනය, අධෝ විරේචනය (වස්ති කිරීම), ශීර්‍ෂ විරේචනය, ගිහියන්ගේ කන් ලෙඩට තෙල් පිසීම, ඇස සිසිල් කරන බේත් තෙල් පිසීම, නස්‍ය කිරීම, ඇස පටල කැපෙන්නට කාරම් අඳුන් සාදා දීම, ඇසැ සිසිල ගන්වන අඳුන් සාදා දීම, අනුන් ඇසැ උල් ඇන ලෙඩට බේත් කිරීම, ශල්‍යකර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කාය චිකිත්සාව), කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ යි මෙසේ වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, මේ හෝ මෙබඳු අන් සියලු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් මහණගොයුම් තෙමේ වැළැක්කේ යැ” යි මෙසේ හෝ තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ කියන්නේ ය.
33. මහණෙනි, තථාගතයන්ගේ ගුණ කියන පුහුදුන් තෙමේ යමෙකින් එය කියන්නේ නම්, මේ (ඔහු කියන) ඒ ගුණය වනාහි මඳ වූ සුළු වූ හුදෙක් සිල් පමණක් ම වූ එකෙක.
මහාසීලය නිමි.
34. මහණෙනි, තථාගත තෙමේ යම් දහම් කෙනෙකුන් අනුන්ගේ උපදෙස් නැති වැ විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වා ද, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියනු කැමැත්තෝ යම් දහම් කෙනෙකුන්ගෙන් එය මොනොවට කිය හැකි වන්නෝ ද, එසේ වූ, ගැඹුරු වූ, එ හෙයින් ම දුක සේ දැක්ක යුතු, දුක සේ දැන ගත යුතු, ශාන්ත වූ, උතුම් වූ, තර්‍කයෙන් බැස ගත නොහැකි වූ, (හෙවත් ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් ම බැස ගත යුතු වූ), සියුම් වූ, නුවණැත්තන් විසින් ම දත යුතු වූ , අන්‍ය වූ ම ධර්‍ම කෙනෙක් ඇත්තාහ. මහණෙනි, තථාගත බුදු රජ තෙමේ යම් දහම් කෙනෙකුන් අනුන්ගේ උපදෙස් නැති වැ විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වා ද, ... සියුම් වූ, නුවණැත්තන් විසින් ම දත යුතු වූ ඒ ධර්‍මයෝ නම් කවුරු ද? යත්:
35. මහණෙනි, පූර්‍වාන්තකල්පික වූ (අතීත ආත්මභාවසංඛ්‍යාත ගත වූ ස්කන්‍ධපරම්පරා කොටස තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් වරදවා කල්පනා කොට ගත්), ඒ අතීත ස්කන්‍ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇති සමහර මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඔහු අතීතස්කන්‍ධපරම්පරා කොටස ඇරැබැ කරුණු අටොළොසෙකින් අනේකප්‍රකාර දෘෂ්ටිප්‍රකාශක වචන කියත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අතීත ස්කන්‍ධපරම්පරා කොටස වරදවා කල්පනා කොට ගත්තෝ, අතීත ස්කන්‍ධපරම්පරා කොටස අනුවැ පහළ කොට ගත් දෘෂ්ටි ඇත්තෝ, අතීත ස්කන්‍ධපරම්පරා කොටස ඇරැබැ අටළොස් කරුණෙකින් නොයෙක් වැදෑරුම් දෘෂ්ටිප්‍රකාශකවචන කියත් ද? යත්:
36. මහණෙනි, යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ යි (සදාභාවී යැ යි) කරුණු සතරෙකින් පණවත් (උගන්වත්) ද, එසේ වූ ශාශ්වත දෘෂ්ටි ගත් ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ. ඒ භවත් මහණබමුණෝ කුමක් ඇසුරු කොට, කිමෙකැ එල්බැ, ශාශ්වතදෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ යි කරුණු සතරෙකින් ලොවට කියා පාත් ද? යත්:
37. මහණෙනි, මෙහි කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ වීර්‍ය්‍යය ප්‍රත්‍යය කොට ගෙන (වැර වඩා), උත්සාහය ප්‍රත්‍යය කොට ගෙන (උත්සාහ වඩා), යලි යලි වීර්‍ය්‍යයෙහි යෙදීමට පැමිණ (පුන පුනා වැර වඩා), නොපමා බවට පැමිණ (එළඹැ සිටිය සිහිය නිසා), නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි අනේකවිධ වූ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. ඒ මෙසේ යි: “අසෝ තැනැ වීමි, එහි මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මේ බඳු සුව දුක් විඳින්නෙම් වීමි, මෙ තෙක් වයස් සීමාවක් ඇතියෙම් වීමී, ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳින්නනෙම් වීමි, මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දශයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සිය ගණන් ජාතීන් ද, නොයෙක් දහස් ගණන් ජාතීන් ද, නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාමගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
මෙසේ ධ්‍යානානුභාවයෙන් යුක්ත හෙ තෙමේ දෘෂ්ටිගතික වූයේ මෙලෙස කියයි: “ආත්මයත් ලෝකයත් ශාශ්වත ය (සදාභාවී ය), වඳ ය (අඵල ය හෙවත් කිසිවක් නො උපදවන්නේ ය), ගිරි කුළක් සේ නිශ්චල වැ සිටියේ වෙයි. ගැඹුරු වළ කැන සිටුවන ලද ඉන්‍ද්‍රකීලයක් සේ ස්ථීර වැ සිටියේ වෙයි. ඒ සත්ත්‍වයෝ ම මෙයින් අන් තැනට යෙති. භවයෙන් භවයට හැසිරෙති, මැරෙති, මැරී උපදිති, (මහාපෘථිවි ආදී) සදාභාවී වස්තූන් මෙන් ඒ ආත්මය ද ලෝකය ද සදාභාවී වැ විද්‍යාමාන ම ය. එසේ (මා) කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි වීර්‍ය්‍ය වඩා, උත්සාහ වඩා, පුන පුනා වැර වඩා, නොපමා බව නිසා, නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි නොයෙක්වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙම් ද, එබඳු වූ චිත්තසමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි, එහි මෙ නම් ඇතියෙම් විමි … ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද, ජාති දෙකක් ද, … නොයෙක් සියදහස් ගණන් ජාතීන් ද, මෙසේ පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නාම ගෝත්‍ර වශයෙන් උද්දේශ සහිත කොට, නොයෙක්වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කාරණයෙනුත් මම, යම්සේ ආත්මයත් ලෝකයත් ශාශ්වත ද, වඳ ද, ගිරිකුළක් සේ තහවුරු වැ සිටියේ ද, ඉන්‍ද්‍රකීලයක් සේ නිසල වැ සිටියේ ද, ඒ සත්ත්‍වයෝ ම මෙයින් අන් තැනට යෙතැ යි, ඒ සත්ත්‍වයෝ ම භවයෙන් භවයට යෙතැ යි, ඒ සත්ත්‍වයෝ ම මැරෙතැ යි, මැරී යලි උපදිතැ යි මෙසේ ආත්මයත් ලෝකයත් පොළොව ආදී නො නැසී පවත්නා වස්තුනට සම වැ හැම කල්හි ම විද්‍යාමාන යහ යි මෙය දනිමි.”
මහණෙනි, යමක් අරමුණු කොට ඇතැම් මහණබමුණෝ ශාශ්වත දෘෂ්ටි ඇත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද, මේ ඒ පළමු කාරණය යි.
38. දෙවෙනි කාරණයෙහිත් භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් අරමුණු කොට ශාශ්වතදෘෂ්ටික වූවෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහ කොට, වීර්‍ය්‍ය කොට, පුන පුනා වැර වඩා, ස්මෘතිසම්ප්‍රයුක්ත බව නිසා, සම්‍යග්මනස්කාරය{*} නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි අනේකවිධ වූ පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරේ ද, එසේ වූ චිත්ත සමාධියක් ලබයි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි, එහි මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳින්නෙම් වීමි, මෙ තෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමී, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි, එහි ද මෙ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මේ බඳු සුව දුක් විඳින්නෙම් වීමි, මෙ තෙක් ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි මෙසේ එක් සංවර්‍තවිවර්‍තයක් ද, සංවර්‍තවිවර්‍ත දෙකක්ද, සංවර්‍තවිවර්‍ත තුනක් ද, සංවර්‍තවිවර්‍ත සතරක් ද, සංවර්‍තවිවර්‍ත පහක් ද, සංවර්‍තවිවර්‍ත දශයක් ද, පැහැ සටහන් ආදී ආකාර සහිත කොට, නම් ගොත් විසින් උදෙසුම් සහිත කොට, නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
මෙබඳු ධ්‍යානානුභාව ඇති හේ දෘෂ්ටිගතික වූයේ මෙසේ කියයි: “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරි කුලක් සේ නිසල ය, ඉන්‍ද්‍රකීලයක් සේ තහවුරු ය, ඒ සත්ත්‍වයෝ ම මෙයින් අන් තැනකට යෙති, භවයෙන් භවයට හැවිදිති, මැරෙති , මැරී උපදිති, (මහාපෘථිව්‍යාදී) සදාකාලික වස්තූන් මෙන් ආත්මය ද ලෝකය ද හැම කල්හි විද්‍යාමාන ම ය. “මෙසේ මා කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහ කොට, වීර්‍ය්‍ය කොට, පුන පුනා වැර වඩා, ස්මෘතිසම්ප්‍රයුක්ත බව නිසා, සම්‍යග්මනස්කාරය නිසා, යම් සමාධියෙකින් සිත මනා ව පිහිටි කල්හි නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: ‘අසෝ තැන විමි ... මෙසේ එක් සංවර්‍තවිවර්‍තයක් ද, සංවර්‍තවිවර්‍ත දෙකක් ද ... සංවර්‍තවිවර්‍ත දශයක් ද ආකාර සහිත කොට උද්දේශ සහිත කොට පෙරැ විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කාරණයෙනුත් යම්සේ ආත්මයත් ලෝකයත් සදාකාලික ද, වඳ ද, ගිරිකුළයක් සේ නිසල ද, ඉන්‍ද්‍රකීලයක් සේ තහවුරු ද, ඒ සත්ත්‍වයෝ ම මෙයින් අන් තැනකට යෙත් ද, භවයෙන් භවයට හැවිදිත් ද, මැරෙත් ද, මැරී උපදිත් ද (මහාපෘථිව්‍යාදිය මෙන්) හැම දා ම ඇත්තාහු ද, එසේ මේ කාරණය දනිමි.”
මහණෙනි, සමහර මහණ බමුණෝ යමක් නිසා යමෙක එල්බැ ගෙන ශාශ්වතදෘෂ්ටිගතික වූවෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණයයි.
39. තෙවෙනි කාරණයෙහි ද භවත් මහණබමුණෝ කුමක් නිසා, කිමෙක එල්බැ ගෙන, ශාශ්වත දෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද? යත් :
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් උත්සාහය නිසා, වීර්‍ය්‍ය නිසා, පුන පුනා වැර වැඩුම් නිසා, අප්‍රමාදය නිසා, සම්‍යඞ්මනස්කාරය නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි නන් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරේ ද, එසේ වූ චිත්ත සමාධියක් ලබයි. එය (සිහි කරනුයේ) මෙසේ ය: “අසෝ තැන වීමි, එහි මේ නම් ඇතියෙම් වීමි, මේ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමි, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුවදුක් විඳින්නෙම් වීමි, මෙතෙක් ආයු සීමාවක් ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව අසෝ තැන උපනිමි, එහිද මේ නම් ඇතියෙම් වීමි, මෙ නම් ගෝත්‍ර ඇතියෙම් වීමි, මෙබඳු පැහැ ඇතියෙම් වීමී, මෙබඳු ආහාර ඇතියෙම් වීමි, මෙබඳු සුව දුක් විඳින්නෙම් වීමි. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැව මෙහි උපනිමි” යි සංවර්‍තවිවර්‍ත දශයක් ද, සංවර්‍තවිවර්‍ත විස්සක් ද, සංවර්‍තවිවර්‍ත තිසක් ද, සංවර්‍තවිවර්‍ත සතළිසක් දැ යි මෙසේ ආකාර සහිත වූඋද්දේශ සහිත වූ නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි.
හේ මෙසේ කියයි: “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරි කුලක් සේ නිසල ය, ඉඳුකිලක් සේ තරය, ඒ සත්හු ම මෙයින් අන් තැනට යෙති, භවයෙන් භවයට යෙති, මැරෙති මැරී උපදිති, මහාපෘථිව්‍යාදී ශාශ්වත වස්තුනට සම ව හැම කල්හිම ඇත්තාහු ය. මෙසේ මා කියනුයේ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහය නිසා, වීර්‍ය්‍යය නිසා, පුන පුනා වැර වැඩුම් නිසා, නොපමා බව නිසා, මනාසේ මෙනෙහි කැරුම් නිසා, යම් සමාධියෙකින් සිත මොනොවට පිහිටි කල්හි නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. ඒ මෙසේ ය: “අසෝ තැන වීමි, එයින් සැව මෙහි උපනිමි” යි සංවර්‍තවිවර්‍ත දශයක් ද ... සංවර්‍තවිවර්‍ත සතළිසක් දැ යි මෙ සේ ආකාර සහිත, උද්දේශ සහිත නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. මේ කරුණින් මම් යම්සේ ආත්මයත් ලෝකයත් ශාශ්වත ද, වඳ ද, ගිරි කුළක් සේ නිසල ද, ඉඳුකිලක් සේ තහවුරු ද, ඒ සත්හු ම මෙයින් අන් තැනට යෙත් ද, භවයෙන් භවයට හැවිදිත් ද, මැරෙත් ද, මැරී උපදිත් ද, මහාපෘථිව්‍යාදී ශාශ්වත වස්තූන් හා සම වැ හැම දා ම ඇත්තාහු ද , එසේ මේ කාරණය දනිමි” යනු යි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ ශාශ්වතදෘෂ්ටි ඇත්තෝ, යමක් නිසා, යමෙක එල්බැ ගෙන, ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම්, මේ ඒ තෙවෙනි කාරණයයි.
40. සිවු වන කරුණෙහි ද, භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ගෙන ශාශ්වතවාදී වූවෝ, ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්‍ක කරන්නේ වෙයි, විමසන්නේ වෙයි. හේ ඒ ඒ කරුණින් තර්‍ක කොට, විමැසුම් නුවණ පමණින් ම කාරණය මැන “ආත්මයත් ලෝකයත් සදාකාලික ය, වඳ ය, ගිරිකුලක් සේ නිසල ය, ඉඳුකිලක් සේ තර වැ සිටියේ ය, ඒ සත්හු ම මෙයින් අන් තැනකට යෙත්, භවයෙන් භවයට යෙත්, මැරෙත්, මැරී උපදිත්, මහාපෘථිව්‍යාදී ශාශ්වතීනට (සදාකාලික වස්තූන්හට) සම වැ හැමදා ම ඇත්තාහ” යි, මෙසේ තමාගේ හුදු වැටහීම කියයි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් නිසා, යමක් ඇරැබැ, ශාශ්වත දෘෂ්ටි ගත්තෝ ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම් මේ ඒ සිව්වන කාරණයයි.
41. මහණෙනි, ශාශ්වතදෘෂ්ටි ගත් ඒ මහණබමුණෝ මේ සතර කරුණින් ආත්මයද ලෝකය ද ශාශ්වත කොට පණවත්. මහණෙනි, ශාශ්වත දෘෂ්ටි ගත් යම් මහණ බමුණු කෙනෙක් ආත්මයත් ලෝකයත් ශාශ්වත කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ කරුණු සතරින් ම හෝ මොවුන් අතුරෙන් එකෙකින් හෝ එසේ පණවත්. මේ සතර කරුණින් පිටත අන් කරුණෙක් ඔවුනට නැත.
42. මහණෙනි, මේ දෘෂ්ටීහු (හෝ දෘෂ්ටිකාරණයෝ) මෙසේ ගන්නා ලද්දෝ, මෙ සේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු වූ නිරයාදී විපාකගති ඇත්තෝ වන්නාහ, මෙබඳු පරලොවක් ඇතියෝ වන්නාහ’ යි ඒ මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ නන් අයුරින් දනී. තථාගත තෙමේ එයත් දනී. එයින් මත්තෙහි වූ (ශීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥානදර්‍ශන සර්‍වඥතාඥාන යන මේ) සියල්ලත් දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්‍ශනය නො කෙරෙයි, එය පරාමර්‍ශනය නොකරන ඒ තථාගත බුදුහු විසින් තමා ම කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (මෙහි සුව පත් වමු යි අසෝ තැන සුව පත් වමු යි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන් තොටුවෝ නානාවිධ දෘෂ්ටිගහනයට වදිත් ද), තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උත්පත්තිය ද විනාශයද ආස්වාදය ද ආදීනවය ද ඒ වේදනාවන්ගේ නික්මීම ද තත් වූ පරිදි දැන, ඡන්‍දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි.
43. මහණෙනි, තථාගත තෙමේ යම් ධර්‍ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම්, යම් ධර්‍ම කෙනෙකුන් කරණ කොට ගෙන තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ - ගැඹුරු වූ, සර්‍වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්සවුන් විසින් නො දැක්ක හැකි වූ, එ හෙයින් ම සෙස්සවුන් විසින් අවබෝධ නො කට හැකි වූ, ශාන්ත වූ ප්‍රණීත වූ, තර්‍කයෙන් බැස නො ගත හැකි වූ, සියුම් වූ, ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්‍මයෝ ය.
පළමු බණවර යි.
44. මහණෙනි, යම් කෙනෙක් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොට ද කරුණු සතරෙකින් පණවත් නම්, එසේ වූ ඒකත්‍යශාශ්වතික වූ ද ඒකත්‍යඅශාශ්වතික වූ ද ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත්තාහ. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවාහු (එක් කොටසක් සදාකාලික යැයි ද එක් කොටසක් සදාකාලික නොවේ යැයි ද යන දෘෂ්ටි ඇත්තාහු) ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත යැ යිත් එක් කොටසක් අශාශ්වතැ යිත් කියා සතර කරුණෙකින් පණවත් ද? යත්:
45. මහණෙනි, දික් කලක් ඇවෑමෙන් කිසි සමයෙක මේ ලොව නස්නේ ද, එබඳු වූ කාලයෙක් වේ ම ය. එසේ ලොව නැසෙන කල්හි සත්හු බෙහෙවින් ආභස්සර බඹලොවැ උපදින්නෝ වෙති. ඔහු එහි ධ්‍යානචිත්ත බලයෙන් උපන්නෝ වෙති, ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙති, තුමූ ම බැබළෙන්නෝ වෙති, අහසෙහි හැසිරෙන්නෝ වෙති, සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැළඳ සිටින්නෝ වෙති. එහි ඔහු ඉතා බොහෝ කලක් සිටිත්.
මහණෙනි, දික් කලක් ඉක්මීමෙන් යම් කිසි සමයෙක මෙලොව නැවත හටගන්නේ නම් එසේ වූ කාලයෙක් වෙයි. එසේ ලොව හට ගන්නා කල්හි හිස් බඹවිමනෙක් පහළ වෙයි. ඒ කල්හි එක්තරා සත්ත්‍වයෙක් ආයු ගෙවී යෑමෙන් හෝ පින් ගෙවී යෑමෙන් ආභස්සර බඹ ලොවින් සැව ඒ හිස් බඹවිමනෙහි උපදී. හෙ තෙමේ එහි ධ්‍යාන සිතින් උපන්නේ ප්‍රීතියම ආහාර කොට ඇත්තේ වෙයි. සිය සිරුරු එළියෙන් ම බබළන්නේ වෙයි, ආකාශචාරී වෙයි, සිත්කලු වස්ත්‍රාභරණ ඇති වැ සිටින්නේ වෙයි. හේ එහි ඉතා බොහෝ කලක් සිටියි. එහි ඔහු හුදකලා වැ බොහෝ කලක් වුසූ හෙයින් ‘අන් සත්හු ද මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’ යි ප්‍රාර්‍ත්‍ථනාවෙක් තෘෂ්ණාවෙක් ඔහුට පහළ වෙයි. ඉක්බිති එක්තරා සත්ත්‍ව කෙනෙක් ද, ආයු ගෙවීමෙන් හෝ පින් ගෙවීමෙන් හෝ ආභස්සර ලොවින් සැව ඒ බඹවිමනට, ඔහුගේ සහභාවයට පැමිණෙත්. ඔහු ද එහි ධ්‍යානමනසින් උපන්නෝ ප්‍රීතිය ම ආහාර කොට ඇත්තෝ වෙත්, ස්වයම්ප්‍රභ වෙත්, ආකාශචාරී වෙත්, සිත්කලු උයන් විමන් ආදියෙහි සිටින්නෝ (නොහොත් සිත්කලු වස්ත්‍රාභරණ හැඳ පැලැඳ සිටින්නෝ) වෙත්. ඔහු එහි ඉතා දික් කලක් සිටිත්.
මහණෙනි, එහි යම් සත්ත්‍වයෙක් පළමු වැ උපන්නේ ද, ඔහුට මෙසේ සිතෙක් වෙයි. “මම බ්‍රහ්ම වෙමි, මහා බ්‍රහ්ම වෙමි, අන් හැම මැඩ පවත්වා සිටින්නෙම් වෙමි, අනුන් විසින් නොමඩනා ලදුයෙම් වෙමි, ඒකාන්තයෙන් සියල්ල දක්නෙම් වෙමි, සියල්ලන් වශයෙහි පවත්වන්නෙම් වෙමි, ඊශ්වර වෙමි, කර්‍තෘ වෙමි, මවන්නා වෙමි, ලොවට උත්තම වෙමි, ලොව සකස් කරන්නා වෙමි, පුරුදු කළ වශිතා ඇත්තෙමි, උපන්නවුන්ගේ ද, උපදින්නවුන්ගේ ද පියා වෙමි. මා විසින් මේ සත්ත්‍වයෝ මවන ලදහ. ඒ (එසේ සිතනුයේ ) කවර හෙයින? යත්: ‘අන් සත්ත්‍ව කෙනෙකුත් මෙහි මේ අත්බවට එන්නාහු නම් යෙහෙකැ’යි පූර්‍වයෙහි මට මේ සිත පහළ විය. මෙසේ මාගේ ප්‍රාර්‍ත්‍ථනාව ද විය. මේ සත්ත්‍වයෝත් මගේ ඒ ප්‍රාර්‍ත්‍ථනාව අනු ව මේ අත්බවට ආහ” යනු යි. යම් සත්ත්‍ව කෙනෙක් පසුව උපන්නෝ ද ඔවුනට මේ සිත වෙයි. ‘මේ භවත් තෙමේ බ්‍රහ්ම ය, මහා බ්‍රහ්ම ය, අනුන් මැඩ පවත්වා සිටින්නා ය, අනුන් විසින් නො මැඩුණේ ය, ඒකාන්තයෙන් සියල්ල දක්නේ ය, ලොව තමා වශයෙහි පවත්වන්නේ ය, ඊශ්වර ය, කර්‍තෘ ය, නිර්‍මාතෘය, උත්තමයා ය, ලොව සකස් කරන්නා ය, පුරුදු කළ වශිතා ඇත්තා ය, උපන් උපදනා සියල්ලන්ගේ පියා ය. මේ භවත් බඹහු විසින් අප මවන ලද්දමෝ වමු. ඒ කවර හෙයින? යත්: මොහු වනාහි අපට පළමු ව මෙහි උපන්නහු අපි දුටුවමු. අපි වනාහි පසු වැ උපන්නම්හ” යනුයි.
46. මහණෙනි, එහි යම් සත්ත්‍වයෙක් පළමු වැ උපන්නේ ද, හේ සෙස්සනට වඩා දීර්‍ඝායුෂ්ක වෙයි, සෙස්සනට වඩා වර්‍ණවත් වෙයි, සෙස්සනට වඩා මහායශස් ඇත්තේ වෙයි. යම් කෙනෙක් වනාහි පසු වැ උපන්නෝ ද ඔහු පළමු උපන්නහුට වඩා මන්‍දායුෂ්ක ද වෙති, ඔහුට වඩා වර්‍ණයෙන් හීන ද වෙති, ඔහුට වඩා අල්පයශස් ඇත්තෝ ද වෙති. මහණෙනි, යම් හෙයෙකින් ඔවුන් අතුරෙන් කිසි සත්ත්‍වයෙක් ඒ බ්‍රහ්මනිකායයෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ ය යන කාරණයෙක් ඇද්ද මෙය විද්‍යාමාන ය (වන එකෙක).
එසේ හේ මේ මිනිසත්බවට ආයේ ම ගිහි ගෙයින් පැවිදි බිමට වදී. ගිහි ගෙයින් පැවිදි බිමට වන්නේ ම, හේ උත්සාහ වඩා වැර වඩා පුන පුනා වෑයම් කොට නොපමා බව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි මෙයින් පෙරැ වූ ජාතිය සිහි කෙරේ ද, එයින් ඔබ්බෙහි සිහි නො කෙරේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හෙ තෙම මෙසේ කියයි:
“යම් ඒ භවත් බ්‍රහ්මයෙක් මහාබ්‍රහ්ම ද, අනුන් මැඩ පවත්වන්නේ ද, ඊශ්වර ද, කාරක ද, නිර්‍මාපක ද, උත්තම ද, ලොව සකස් කරන්නේ ද, පුරුදු කළ වශීතා ඇත්තේ ද, උපනුන්හටත් උපදනාවුන්හටත් පීතෘ ද, යම් භවත් මහබඹක්හු විසින් අප මවන ලදුමෝ ද, ඒ මහබඹ තෙමේ නිත්‍ය ය, ධ්‍රැව ය (නො මැරෙන්නේ ය), සදාකාලික ය, නොවෙනස් වන ස්වභාව ඇත්තේ , මහාපෘථිවි ආදී ශාශ්වත වස්තූන් හා සම වැ එසේ ම නොවෙනස් වැ සිටින්නේ ය. යම් බඳු අපි ඒ භවත් බඹහු විසින් මවන ලදුමෝ ද, ඒ අපි අනිත්‍යම්හ, අධ්‍රැවයම්හ, අල්පායුෂ්කයම්හ, මැරෙන ස්වභාවය ඇත්තම්හ, එ බැවින් බඹ ලොවින් සැව මෙහි මේ මිනිසත් බවට ආම්හ” යනු යි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ ඒකත්‍යශාශ්වතිකත් ඒකත්‍යඅශාශ්වතිකත් වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොටත් එක් කොටසක් අශාශ්වත කොටත් පණවත් නම්, මේ ඒ පළමු කාරණය යි.
47. දෙවෙනි කාරණයෙහිත් - පින්වත් මහණ බමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වතත් එක්කොටසක් අශාශ්වතත් කොට පණවත් ද? යත්:
මහණෙනි, ඛිඩ්ඩාපදෝසික නම් දෙවි කෙනෙක් ඇත්තාහ. ඔහු ආහාරෝපභෝගකාලය ඉක්මවා මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රීඩායෙහි ද යෙදුනෝ වැ වෙසෙත්. බොජුන් ගන්නා කාලසීමාව ද ඉක්මවා මෙවුන්දම්හි ද කායික වාචසික ක්‍රිඩායෙහි ද ඇලෙන ස්වභාවයට පැමිණ වසන ඔවුන්ගේ බොජුන් ගැන්මෙහි සිහි නැති වේ. එසේ සිහි නැති වීමෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත වෙත්.
මෙසේ වූ එක්තරා සත්ත්‍වයෙක් ඒ දේවනිකායයෙන් සැව මේ මිනිස් බවට පැමිණේ ය යන යමක් ඇද්ද, මෙය ඇති එකෙක. එසේ මේ මිනිසත්බවට පැමිණියා වූ ම හේ ගිහිගෙන් නික්ම පැවිදි වේ. පැවිදි වූයේ ම උත්සාහ වඩා, වැර වඩා, පුනපුනා වැර වඩා, එළැඹ සිටි සිහිය වඩා, නුවණ වඩා, යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි ඒ පෙරැ අත්බව සිහි කෙරේ ද, එයින් යට සිහි නොකෙරේ ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.
හේ මෙසේ කියයි: “යම් පින්වත් දෙවි කෙනෙක් ඛිඩ්ඩාපදෝසික නො වෙත් ද, ඔහු බොජුන් වේලාව ඉක්මවා මෙවුන්දම්හිත් කායික වාචසික ක්‍රිඩායෙහිත් ඇලෙන ස්වභාවයට පැමිණියෝ වැ නො වෙසෙත්. එසේ වේලාව ඉක්මවා මෙවුන්දම්හිත් සෙසු කායික වාචසික ක්‍රිඩායෙහිත් ඇලෙන ස්වභාවයට පැමිණ නොවසන ඔවුනට බොජුන් ගැන්මෙහි සිහි නැති නොවේ. එසේ සිහි නැති නොවනුයෙන් ඒ දෙවියෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත නො වෙත්. ඔහු නිත්‍ය හ. ඒකාන්ත හ. සදාකාලික හ. නො පෙරැළෙන සුලු හ. ශාශ්වතිනට (පෘථිවි ආදී සදාකාලික වස්තුනට) සම වැ එසේ ම සිටුනාහ. යම් බඳු වූ අපි වනාහි ඛිඩ්ඩාපදෝසික වමෝ ද, ඒ අපි වේලාව ඉක්මවා හෂික්‍රීඩාරතිධර්‍මයට පැමිණියෝ වැ වසන ඒ අපට බොජුන් ගැන්මෙහි සිහි නැති විය. සිහි නැති වීමෙන් මෙසේ අපි ඒ දිව්‍යනිකායයෙන් ච්‍යුත වූවමෝ එ හෙයින් ම අනිත්‍ය වූවමෝ අධ්‍රැව වූවමෝ අල්පායුෂ්ක වූවමෝ මැරෙන ස්වභාවය ඇත්තමෝ මේ මිනිස්බවට පැමිණියම්හ” යනුයි.
මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වතද කොට පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
48. තෙවෙනි කරුණෙහි ද - පින්වත් බමුණබමුණෝ කුමක් උදෙසා කුමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද, ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් කොටසක් ශාශ්වත වශයෙනුත් කොටසක් අශාශ්වත වශයෙනුත් පණවත් ද? යත්:
මහණෙනි, මනෝපදෝසික නම් දෙවි කෙනෙක් ඇත්හ. ඔහු කිපුණු සිතින් බොහෝ වේලා උනුන් බලත්. ඔහු කිපුණු සිතින් උනුන් බලන්නෝ, උනුන් කෙරෙහි හිත් දූෂිත කෙරෙත්. මෙසේ උනුන් කෙරෙහි දූෂිත කළ සිත් ඇති ඔහු (එ හෙයින් ම) මිරිකුණු කය ඇත්තෝ මිරිකුණු සිත් ඇත්තෝ ඒ දේවනිකායයෙන් ච්‍යුත වෙත්.
එක්තරා සත්ත්‍වයෙක් ඒ දේවනිකායෙන් සැව මේ මිනිසත්බවට පැමිණේ ය යන යමක් ඇද්ද, මහණෙනි, මේ කාරණය ඇති එකෙකි. එසේ හේ මේ මිනිසත්බවට පැමිණියේ ම ගිහිගෙන් නික්මැ පැවිදි බිමට පැමිණේ. පැවිදි බිමට පැමිණි හෙ තෙමේ උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා නැවත නැවත වැර වැඩුම් නිසා නොපමාව නිසා නුවණ නිසා, යම්සේ සිත මොනවට පිහිටි කල්හි ඒ පෙර අත්බව සිහි කෙරේ ද, එයින් යට සිහි නොකෙරේ ද, එබඳු වූ චිත්ත සමාධියක් ලබයි.
හේ මෙසේ කියයි: “යම් පින්වත් දෙවි කෙනෙක් මනෝපදෝසික නොවෙත් ද, ඔහු බොහෝ වේලාවක් උනුන් කිපි සිතින් නො බලත්. ඉතා බොහෝ වේලාවක් කිපි සිතින් උනුන් නො බලන ඔහු උනුන් කෙරෙහි සිත් රිදුවා නො ගනිත්. උනුන් කෙරෙහි සිත් රිදුවා නො ගත් ඔහු ක්ලාන්ත නො වූ කය ඇත්තෝ, ක්ලාන්ත නො වූ සිත් ඇත්තෝ, ඒ දිව්‍ය නිකායයෙන් ච්‍යුත නො වෙත්. යම් බඳු වූ අපි වනාහි මනෝපදෝසික වූමු ද, ඒ අපි බොහෝ වේලාවක් උනුන් කිපී සිතින් බැලුම්හ. ඒ අපි ඉතා බොහෝ වේලා උනුන් කිපි සිතින් බලන්නමෝ උනුන් කෙරෙහි සිත් රිදුවා ගතුම්හ. ඒ අපි උනුන් කෙරෙහි රිදුවා ගත් සිත් ඇත්තමෝ ක්ලාන්ත වූ කය ඇත්තමෝ ක්ලාන්ත වූ සිත් ඇත්තමෝ මෙසේ ඒ දේවනිකායයෙන් ච්‍යුත වූවමෝ (එහෙයින් ම) අනිත්‍යයම්හ. අධ්‍රැවයම්හ. අල්පායුෂ්කයම්හ. මැරෙන ස්වභාවය ඇත්තමෝ මේ මිනිස්බවට ආම්හ” යනු යි.
මහණෙනි, ඇතැම් මහණබමුණෝ යමක් උදෙසා යමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත් නම්, මේ ඒ තෙවෙනි කාරණය යි.
49. මහණෙනි, සතර වන කරුණෙහි - භවත් මහණබමුණෝ කුමක් උදෙසා කුමක් ඇරැබැ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොටත් එක් කොටසක් අශාශ්වත කොටත් පණවත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ තර්‍ක විතර්‍ක කරන්නේ වෙයි, අයෝනිසෝමනස්කාරයෙන් විමසන්නේ වෙයි. හේ තර්‍ක කොට ගන්නා ලද, නොනුවණින් විමසා ගැන්ම අනුවැ පැවැති, තමාගේ හුදු වැටැහීම මෙසේ පවසයි: “ඇස යැ යි ද, කණ යැ යි ද, දිව යැ යි ද, කය යැ යි ද, කියා මේ යමක් කියනු ලැබේ නම්, එසේ වූ මේ ආත්මය අනිත්‍ය ය, අධ්‍රැව ය, අශාශ්වත ය, පෙරැළෙනසුලු ය. සිත ය කියා හෝ මනසය කියා හෝ විඥානය කියා හෝ යමක් කියනු ලැබේ නම්, එසේ වූ මේ ආත්මය වනාහි නිත්‍ය ය, ධ්‍රැවය, ශාශ්වත ය, නොපෙරැළෙනසුලු ය, (මහාපෘථිව්‍යාදී) සදාකාලික වස්තූන් හා සම වැ එසේ ම නො වෙනස් වැ සිටුනේ ය” යනු යි.
මහණෙනි, යමක් උදෙසා යමක් ඇරැබැ ඇතැම් මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත කොට ද එක් කොටසක් අශාශ්වත කොටද පණවත් නම්, මේ ඒ සතරවන කාරණය යි.
මහණෙනි, ඒ මහණබමුණෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යආශාශ්වතික ද වූවෝ මේ සතර කරුණින් ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත්.
මහණෙනි, යම් මහණකෙනෙක් හෝ යම් බමුණුකෙනෙක් හෝ ඒකත්‍යශාශ්වතික ද ඒකත්‍යඅශාශ්වතික ද වූවෝ ආත්මයත් ලෝකයත් එක් කොටසක් ශාශ්වත ද එක් කොටසක් අශාශ්වත ද කොට පණවත් නම්, ඒ සියල්ලෝ මේ සතර කරුණින් ම හෝ මොවුන් අතුරෙන් එක් කරුණෙකින් හෝ එසේ පණවත්. මෙයින් පිටත් අන් කරුණක් නැත.
50. මහණෙනි, ‘මේ දෘෂ්ටිකාරණයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමර්‍ශනය කරන ලද්දෝ මෙබඳු නිරයාදී විපාකගති ඇත්තෝ වෙත්, මෙබඳු පරලොව් ඇතියෝ වෙත් යැ’ යි මේ සතර දෘෂ්ටිගතය ම තථාගත තෙමේ දන්නේ ය. තථාගත තෙමේ එය ද එයින් මත්තෙහි වූ සියල්ල ද දනී. එය දන්නේ, ‘මෙය මම් දනිමි’ යි ඒ දැන්ම තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් පරාමර්‍ශනය නො කෙරෙ යි. එය පරාමර්‍ශනය නො කරන්නා වූ ඔහු විසින් ම තමාගේ කෙලෙස් නිවීම දන්නා ලද්දේ ය. (සුව ඇති තැන් පතපතා අන්‍යතීර්‍ත්‍ථකයෝ නානාදෘෂ්ටිගහනයට පිවිසෙත් නම්) තථාගත තෙමේ ඒ වේදනාවන්ගේ උපත ද නැස්ම ද රසය ද දොස ද නික්මුම ද ඇති සැටි දැන උපාදාන රහිතව මිදුණේ වෙයි.
51. මහණෙනි, තථාගත බුදුරජ යම් ධර්‍ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට පවසා නම්, තථාගත බුදුහුගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ යම් ධර්‍ම කෙනෙකුන් කරණ කොට ගෙන කියන්නෝ නම්, මේ වනාහි ගැඹුරු වූ දූර්දර්ශී වූ දුරනුබෝධ වූ ශාන්ත වූ ප්‍රණීත වූ අතර්‍කාවචර වූ සියුම් වූ පණ්ඩිතවේදනීය වූ ඒ ධර්‍මයෝ ය.
52. මහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ලොව කෙළවරක් ඇති නැතිබව පිළිබඳ උපදවා ගත් දෘෂ්ටි ඇත්තෝ, කරුණු සතරෙකින් ලොවෙහි අන්තය හෝ අනන්තය පණවත්. ඒ භවත් මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අන්තානන්තකවාද ඇත්තෝ කරුණු සතරෙකින් ලොවැ අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුනපුනා වැර වැඩුම් නිසා අප්‍රමාදය නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි ලොවෙහි අන්තසංඥී වැ වෙසේ නම්, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හේ මෙසේ කියයි: “මෙ ලොව අන්තවත් ය, හාත්පසින් ම වට ය.{*} ඒ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහය නිසා ... යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි ලොවෙහි අන්තසංඥී ව වෙසෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. මේ කරුණින් මෙලොව යම්සේ අන්තවත් ද, හාත්පසින් වට ද, එසේ මෙය මම් දනිමි” යනු යි.
මහණෙනි, යමක් නිසා යමක් ඇරැබැ ඇතැම් මහණ බමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ඇත්තෝ ලොවෙහි අන්තානන්තය පණවත් නම්, මේ ඒ පළමු වන කාරණය යි.
53. දෙවෙනි කරුණෙහි ද - භවත් මහණබමුණෝ කුමක් නිසා කිමෙක එල්බැ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලොවෙහි අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහය නිසා පුන පුනා වැර වැඩුම් නිසා නොපමාව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් (ධ්‍යානයෙකින්) සිත මනා වැ පිහිටි කල්හි ලොවෙහි අනන්තසංඥි වැ වෙසේ ද, එසේ වූ චිත්තසමාධියක් උපදවයි. හේ මෙසේ කියයි: “මේ ලොව අනන්ත ය, අපරියන්ත ය. යම් ඒ මහණබමුණු කෙනෙක් ‘මේ ලෝකය කෙළෙවරක් ඇත්තේ ය. හාත්පසින් වට යැ’ යි මෙසේ කීහු ද, ඔවුන්ගේ කීම බොරු ය. මේ ලෝකය අනන්ත ය, අපරියන්ත ය. කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහය නිසා ... යම් සමාධියෙකින් සිත මනා වැ පිහිටි කල්හි ලොවෙහි අනන්තසංඥී වැ වෙසෙම් ද, එබඳු වූ චිත්තසමාධියක් ලැබීමි. ලෝකය යම් සේ අනන්ත ද අපර්‍ය්‍යන්ත ද, මම් මේ කාරණයෙන් මෙය එසේ දනිමි” යනුයි.
මහණෙනි, යමක් නිසා යමෙක එල්බැ ඇතැම් මහණබමුණෝ අන්තානන්තිකදෘෂ්ටි ගත්තෝ ලෝකය පිළිබඳ අන්තානන්තය පණවත් නම්, මේ ඒ දෙවෙනි කාරණය යි.
54. මහණෙනි, තෙවෙනි කරුණෙහි ද - මහණබමුණෝ කුමක් නිසා කුමක් ඇරැබැ අන්තානන්තිකදෘෂ්ටි ඇත්තෝ ලොවැ අන්තානන්තය පණවත් ද? යත්:
මහණෙනි, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ උත්සාහය නිසා වීර්‍ය්‍යය නිසා පුන පුනා වැර වැඩුම් නිසා නොපමාබව නිසා නුවණ නිසා, යම් සමාධියෙකින් සිත මොනවට පිහිටි කල්හි, ‘ලොවෙහි උඩින් යටින් කෙළවරක් ඇතැ’යි යන සංඥා ඇති වැ , එහෙත් ‘ලොවෙහි සරසින් කෙළවරක් නැතැ’ යි යන සංඥා ඇති වැ වෙසේ ද, එසේ වූ චිත්තසමාධියක් ලබයි. හේ මෙසේ කියයි: “මේ ලොව කෙළවරක් ඇත්තේ ද කෙළවරක් නැත්තේ ද වේ. යම් මහණබමුණුකෙනෙක් ‘මෙලොව කෙළවරක් ඇත්තේ ය, වට යැ’ යි කීහු ද, ඔවුන්ගේ වචනය හිස් ය. යම් මහණබමුණු කෙනෙක් වනාහි ‘මේ ලොව කෙළවරක් නැත්තේ ය. සීමාවක් නැත්තේ යැ’යි කීහු ද, ඔවුන්ගේ වචන ද හිස් ය. මේ ලොව අන්තවත් ද අනන්ත ද වේ. ඒ කවර හෙයින? යත්: මම් වනාහි උත්සාහය වඩා, වීර්‍ය්‍යය වඩා ... යම් සමාධියෙකින් සිත සමාහිත කල්හි ලොවෙහි උඩින් යටින් කෙළෙවරක් ඇතැයි ද සරසින් කෙළවරක් නැතැ යි ද යන සංඥා ඇති වැ වෙසෙම් ද, එසේ වූ චිත්තසමාධියක් ලැබීමි. ලෝකය යම් සේ කෙළෙවරක් ඇත්තේත් නැත්තේත් වේ ද, මේ කරුණින් එසේ මෙය මම් දනිම්.” යනු යි.