Pali BJTසමණො ඛලු භො ගොතමො සීලවා අරියසීලී කුසලසීලී කුසලසීලෙන සමන්නාගතො .....
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි සිල්වත් හ, පිරිසිදු සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශීලයෙන් සමන්‍විත හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා. -පෙ-
Sinhala BJTමහණ ගොයුම්හු වූ කලි කලණ තෙපුල් ඇත්තෝ ය, කලණ මිහිරි බස් කියන්නෝ ය, නිදොස් වූ, කෙලතොලු නොවූ, කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්‍විතයෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො බහුන්නං ආචරියපාචරියො. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය ද වෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො ඛීණකාමරාගො විගතචාපල්ලො. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පහ වූ කාමරාග ඇත්තෝ ය, පහ වූ චපල බව් ඇත්තෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො කම්මවාදී කිරියවාදී අපාපපුරෙක්ඛාරො බ්රහ්මඤ්ඤාය පජාය. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි කර්‍මවාදී ද ක්‍රියාවාදි ද වෙති. ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති. සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැසිරෙති (නොහොත් තමනට විරුද්ධ වූ බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති) ...
Pali BJTසමණො ඛලු භො ගොතමො උච්චා කුලා පබ්බජිතො අසම්භින්නඛත්තියකුලා. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි අමිශ්‍ර (පිරිසිදු) කැත්කුලය වූ උසස් කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො අඩ්ඪා කුලා පබ්බජිතො මහද්ධනා මහාභොගා. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහත් ධන ඇති මහත් භෝග ඇති සමෘද්ධ කුලයෙන් නික්මැ පැවිදි වූවෝ ය ...
Pali BJTසමණං ඛලු භො ගොතමං තිරොරට්ඨා තිරොජනපදා සම්පුච්ඡිතුං ආගච්ඡන්ති. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති ...
Pali BJTසමණං ඛලු භො ගොතමං අනෙකානි දෙවතාසහස්සානි පාණෙහි සරණං ගතානි. -පෙ-
Sinhala BJTභවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහණ ගොයුමන් දිවිහිමියෙන් සරණ ගියහ ...
Pali BJTසමණං ඛලු භො ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො ‘ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ ති. -පෙ-
Sinhala BJTභවත්නි, ‘මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්හට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වූ යහපත් ගුණඝෝෂයෙක් ඉතා උස් වැ නැංගේ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි සමන්නාගතො. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්‍විත හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො එහිසාගතවාදී සඛිලො සම්මොදකො අබ්භාකුටිකො උත්තානමුඛො පුබ්බභාසී. -පෙ-
Sinhala BJTභවත්නි,මහණ ගොයුම්හු වූ කලි තමන් වෙත පැමිණෙන්නවුන් ‘එන්න, මෙහි ආ සේ මැනැවැ’යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය, පිළිසඳරෙහි දක්‍ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය, පැමිණියවුනට තුමූ පළමුයෙන් කථා කරන සුලු හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො චතුන්නං පරිසානං සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදු හ, ගුරුකාර කරන ලදු හ, බුහුමන් කරන ලදු හ, පුදන ලදු හ, යටත් පැවැතුම් දක්වන ලදු හ ...
Pali BJTසමණෙ ඛලු භො ගොතමෙ බහූ දෙවා ච මනුස්සා ච අභිප්පසන්නා. -පෙ-
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ ...
Pali BJTසමණො ඛලු භො ගොතමො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති, න තස්මිං ගාමෙ වා නිගමෙ වා අමනුස්සා මනුස්සෙ විහෙඨෙන්ති -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු තුමූ යම් ගමෙක නියම්ගමෙක හෝ වෙසෙත් නම්, එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා නො කෙරෙත් ...
Pali BJTසමණො ඛලු භො ගොතමො සඞ්ඝී ගණී ගණාචරියො පුථුතිත්ථකරානං අග්ගමක්ඛායති -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මහ සඟපිරිස් ඇත්තෝ ය, ගණනායක හ, ගණාචාර්‍ය හ, බොහෝ තීර්‍ත්‍ථංකරයන් අතුරෙහි අග්‍ර හ යි කියනු ලැබෙති ...
Pali BJTයථා ඛො පන භො එකෙසං සමණබ්රාහ්මණානං යථා වා තථා වා යසො සමුදාගච්ඡති න හෙවං සමණස්ස ගොතමස්ස යසො සමුදාගතො. අථ ඛො අනුත්තරාය විජ්ජාචරණසම්පදාය සමණස්ස ගොතමස්ස යසො සමුදාගතො.....
Sinhala BJTයම් සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතා ආදි පිටතට පෙන්වන යම්තම් ව්‍රතමාත්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන්ගේ වූ කලි යශස එසේ වැඩුණෙක් නො වේ. වැලි තමන් තුළැ ම වූ නිරුත්තර විද්‍යාචරණසම්පතින් වැඩුණේ වෙයි ...
Pali BJTසමණං ඛලු භො ගොතමං රාජා මාගධො සෙනියො බිම්බිසාරො සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූ කලි මගධාධිපති සේනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග දිවි හිම කොට සරණ ගියේ ය ...
Pali BJTසමණං ඛලු භො ගොතමං රාජා පසෙනදී කොසලො සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුමන් වූ කලි කෝශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග දිවි හිමියෙන් සරණ ගියේ ය ...
Pali BJTසමණං ඛලු භො ගොතමං බ්රාහ්මණො පොක්ඛරසාතී සපුත්තො සභරියො සපරිසො සාමච්චො පාණෙහි සරණං ගතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග දිවිහිමියෙන් සරණ ගියේ ය ...
Pali BJTසමණො ඛලු භො ගොතමො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි මගධාධිපති සේනිය බිම්සර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි කෝශලාධිපති පසේනදි රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො බ්රාහ්මණස්ස පොක්ඛරසාතිස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වූ කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද වෙති ...
Pali BJTසමණො ඛලු භො ගොතමො චම්පං අනුප්පත්තො චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. යෙ ඛො පන භො කෙචි සමණා වා බ්රාහ්මණා වා අම්හාකං ගාමක්ඛෙත්තං ආගච්ඡන්ති, අතිථී නො තෙ හොන්ති. අතිථී ඛො පනම්හෙහි සක්කාතබ්බා ගරුකාතබ්බා මානෙතබ්බා පූජෙතබ්බා අපචෙතබ්බා. යම්පි භො සමණො ගොතමො චම්පං අනුප්පත්තො චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. අතිථම්හාකං සමණො ගොතමො. අතිථි ඛො පනම්හෙහි සක්කාතබ්බො ගරුකාතබ්බො මානෙතබ්බො පූජෙතබ්බො අපචෙතබ්බො. ඉමිනාපඞ්ගෙන න අරහති සො භවං ගොතමො අම්හාකං දස්සනාය උපසඞ්කමිතුං. අථ ඛො පන මයමෙව අරහාම තං භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJTභවත්නි, මහණ ගොයුම්හු වනාහි (දැන්) චම්පාවට පැමිණියෝ චම්පාවට නොදුරු තන්හි වූ ගර්‍ගරා පොකුණතෙරැ වෙසෙති. භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපේ ගම්කෙතට එත් නම් උහු අපට අමුත්තෝ වෙත්. අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ ය, ගුරුකාර කළ යුත්තෝ ය, බුහුමන් කළ යුත්තෝ ය, පිදියැ යුත්තෝ ය, යටත් පැවැතුම් දැක්වියැ යුත්තෝ ය. යම් හෙයෙකින් මහණ ගොයුම්හු චම්පාවට පැමිණියෝ චම්පාව සමීපයේ ගර්‍ගරා පොකුණ තෙරැ වෙසෙත් ද, එ හෙයින් ඔබ අපේ අමුත්තෝ ය. ඒ අමුත්තෝ චනාභි අප විසින් සත්කාර කටයුතු හ, ගරු කටයුතු හ, බුහුමන් කටයුතු භ, පිදියැ යුතු හ, යටත් පැවැතුම් දැක්වියැ යුතු හ. මේ කරුණිනුත් ඒ භවද්ගෞතමයන් අප දක්නට එනු නො වටී. වැළි අපි ම ඔබ දක්නට යෑ යුතු වමු.
Pali BJTඑත්තකෙ ඛො අහං භො තස්ස භොතො ගොතමස්ස ගුණෙ පරියාපුණාමි. නො ච ඛො සො භවං ගොතමො එත්තකවණ්ණො. අපරිමාණවණ්ණො හි සො භවං ගොතමො”ති.
Sinhala BJTභවත්නි, ඒ භවද්ගෞතමයන් පිළිබඳ වූ මෙ පමණක් ගුණ මම දනිමි. එහෙත් ඒ භවත් ගෞතමයෝ නම් මෙ පමණක් ම ගුණ ඇත්තෝ නො වෙති. වැළි දු ඔබ පමණ කට නොහැකි ගුණ ඇත්තෝ ය” යනු යි.
Pali BJT9. එවං වුත්තෙ තෙ බ්රාහ්මණා සොණදණ්ඩං බ්රාහ්මණං එතදවොචුං: ‘යථා ඛො භවං සොණදණ්ඩො, සමණස්ස ගොතමස්ස වණ්ණෙ භාසති ඉතො චෙ’පි සො භවං ගොතමො යොජනසතෙ විහරති, අලමෙව සද්ධෙන කුලපුත්තෙන දස්සනාය උපසඞ්කමිතුං අපි පුටොසෙන{1}. තෙන හි භො සබ්බෙව මයං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමා”ති.
Sinhala BJT9. මෙසේ කී කල්හි ඒ බමුණෝ සෝණදණ්ඩ බමුණා බණවා, “භවත් සෝණදණ්ඩ ය, භවත් සෝණදණ්‍ඩයා, මහණ ගොයුමන්ගේ ගුණ කියන සැටියෙන් ඒ භවද්ගෞතමයන් මෙයින් යොදුන් සියක් දුරැ වසතත්, සැදැහැති කුලපුතුහු විසින් පාථේය (මග වියදම්) ගෙන ද ඔබ දක්නට එළැඹෙනු වටී ම ය. එ බැවින් භවත්නි, අපි සියල්ලෝ ම ඒ මහණ ගොයුමන් දක්නට යන්නමු”යි කීහ.
Pali BJTඅථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො මහතා බ්රාහ්මණගණෙන සද්ධිං යෙන ගග්ගරා පොක්ඛරණී තෙනුපසඞ්කමි.
Sinhala BJTඉක්බිති සෝණදණ්ඩ බමුණු තෙමෙ මහත් බඹුණු ගණයා හා ගර්‍ගරා පොකුණ අතට ගියේ ය.
Pali BJT10. අථ ඛො සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස තිරොවනසණ්ඩගතස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි:
Sinhala BJT10. එ කල්හි වනාහි වනලැහැබ තුළට පිවිසි සෝණදණ්ඩ බමුණාට මෙසේ චිත්‍තසංකල්පනාවෙක් පහළ විය:
Pali BJT“අහඤ්චෙව ඛො පන සමණං ගොතමං පඤ්හං පුච්ඡෙය්යං, තත්ර චෙ මං සමණො ගොතමො එවං වදෙය්ය: ‘න ඛො එස බ්රාහ්මණ පඤ්හො එවං පුච්ඡිතබ්බො, එවං නාමෙස බ්රාහ්මණ පඤ්හො පුච්ඡිතබ්බො’ති. තෙන මං අයං පරිසා පරිභවෙය්ය: ‘බාලො සොණදණ්ඩො බ්රාහ්මණො අබ්යත්තො, නාසක්ඛි සමණං ගොතමං යොනිසො පඤ්හං පුච්ඡිතුන්ති’. යං ඛො පනායං පරිසා පරිභවෙය්ය, යසො’පි තස්ස හායෙථ, යස්ස ඛො පන යසො හායෙථ භොගා’පි තස්ස හායෙය්යුං. යසොලද්ධා ඛො පනම්හාකං භොගා. මඤ්චෙව ඛො පන සමණො ගොතමො පඤ්හං පුච්ඡෙය්ය, තස්ස චාහං පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං න ආරාධෙය්යං, තත්ර චෙ මං සමණො ගොතමො එවං වදෙය්ය: ‘න ඛො එස බ්රාහ්මණ පඤ්හො එවං ව්යාකාතබ්බො. එවං නාමෙස බ්රාහ්මණ පඤ්හො ව්යාකාතබ්බො’ති, තෙන මං අයං පරිසා පරිභවෙය්ය: ‘බාලො සොණදණ්ඩො බ්රාහ්මණො, අබ්යත්තො නාසක්ඛි සමණස්ස ගොතමස්ස පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙතුන්ති. යං ඛො පනායං පරිසා පරිභවෙය්ය, යසො’පි තස්ස හායෙථ. යස්ස ඛො පන යසො හායෙථ භොගාපි තස්ස හායෙය්යුං. යසොලද්ධා ඛො පනම්හාකං භොගා. අහඤ්චෙව ඛො පන එවං සමීපගතො සමානො අදිස්වා’ව සමණං ගොතමං නිවත්තෙය්යං, තෙන මං අයං පරිසා පරිභවෙය්ය: ‘බාලො සොණදණ්ඩො බ්රාහ්මණො අබ්යත්තො මානත්ථද්ධො භීතො ච. නො විසහි සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. කථං හි නාම සමීපගතො සමානො අදිස්වා සමණං ගොතමං නිවත්තිස්සතී?’ති. යං ඛො පනායං පරිසා පරිභවෙය්ය යසො’පි තස්ස හායෙථ. යස්ස ඛො පන යසො හායෙථ, භොගා’පි තස්ස හායෙය්යුං, යසොලද්ධා ඛො පනම්හාකං භොගා”ති.
Sinhala BJT“ඉදින් මම් මහණ ගොයුමන් අතින් ප්‍රශ්නයක් විචාරන්නෙම් නම්, (එවිට) ‘බමුණ, මේ පැණය මෙසේ නොචිචාළ මනා යැ’යි මහණ ගොයුම්හු මට කියන්නෝ නම්, එයින් මේ පිරිස ‘සෝණදණ්ඩයා අනුවණ ය, නොවියත් ය, මහණ ගොයුමන් අතින් නුවණින් පැණ විචාරන්නට නො හැකි වීයැ’ යි මා නිගන්නාහ. මේ පිරිස යමකු නිගන්නාහු නම්, ඔහුගේ යශස් ද පිරිහෙන්නේ ය. යමක්හුගේ යශස් පිරිහෙන්නේ නම්, ඔහුගේ භෝග සම්පත් ද පිරිහෙන්නේ ය. අපේ භෝගයෝ වනාහි යශස් හේතුවෙන් ලැබුණෝ ය. තව ද මහණ ගොයුම්හු මා අතින් පැණ විචාරන්නෝ නම්, ඒ පැණ විසැඳීමෙන් මම ඔවුන්ගේ සිත් නො ගත්තෙම් නම්, එහි දී මහණ ගොයුම්හු ‘බමුණ, මේ පැණය මෙසේ විසඳියැ යුතු නො වේ. බමුණ, මෙය විසැඳියැ යුත්තේ මෙසේ ම යැ’යි මට කියන්නෝ නම්, එයින් මේ පිරිස මට ‘සෝණදණ්ඩ බමුණා අනුවණ ය, නොවියත් ය, පැණ විසැඳීමෙන් මහණ ගොයුමන්ගේ සිත ගන්නට නො හැකි වී ය’ යි නිගා කරන්නාහ. මේ පිරිස යමක්හට නිගා කරන්නාහු නම්, ඔහු යශස් ද පිරිහෙන්නේ ය. යමකුගේ යශස පිරිහෙන්නේ නම්, ඔහුගේ භෝග ද පිරිහෙන්නේ ය. අපේ භෝගසම්පත් වනාහි යශස් හේතුයෙන් ලැබුණු දෑ ය. මමත් මෙසේ ළඟට පැමිණියෙම් ම මහණ ගොයුමන් නොදැක පෙරළා යන්නෙම් නම්, එයින් මේ පිරිස ‘සෝණදණ්ඩ බමුණා අනුවණ ය, නොවියත් ය, දැඩි මන් ඇත්තේ ය, බිය ගත්තේ ද වේ, මහණ ගොයුමන් දකිනු පිණිස එළැඹෙන්නට නො හැකි විය. මෙසේ ළඟට පැමිණියේ ම මහණ ගොයුමන් නොදැක කෙසේ නම් පෙරළා යෑ හැකි වන්නේ දැ?’ යි මට පරිභව කරන්නාහ. මෙ පිරිස යමකුට පරිභව කරන්නාහු නම් ඔහුගේ යශස ද පිරිහෙන්නේ ය. යමකුගේ යශස පිරිහෙන්නේ නම්, ඔහුගේ භෝගයෝ ද පිරිහෙන්නාහ. අපේ භෝගයෝ යශස්හේතුවෙන් ලද්දෝ ය (එ බැවිනි)” යනු යි.
Pali BJT11. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. චම්පෙය්යකාපි ඛො බ්රාහ්මණගහපතිකා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
Sinhala BJT11. ඉක්බිති සෝණදණ්ඩ බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කෙළේ ය. සිතැ රැඳවිය යුතු වූ පිළිසඳර කතා අවසන් කොට පසෙක ඉඳගත්තේ ය. චම්පානගරවාසී බමුණෝත් ගැහැවියෝත් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කළහ. සිතැ රැඳවියැ යුතු පිළිසඳර කොට නිමවා පසෙක හිඳගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා වැඳ පසෙක ඉඳගත්හ. කෙනෙක් නම් ගොත් අස්වා පසෙක ඉඳගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳගත්හ.
Pali BJT12. තත්රපි සුදං සොණදණ්ඩො බ්රාහ්මණො එතදෙව බහුලමනුවිතක්කෙන්තො නිසින්නො හොති: “අහං චෙව ඛො පන සමණං ගොතමං පඤ්හං පුච්ඡෙය්යං තත්ර චෙ මං සමණො ගොතමො එවං වදෙය්ය ‘න ඛො එස බ්රාහ්මණ පඤ්හො පුච්ඡිතබ්බො’ති, තෙන මං අයං පරිසා පරිභවෙය්ය ‘බාලො සොණදණ්ඩො බ්රාහ්මණො අබ්යත්තො, නාසක්ඛි සමණං ගොතමං යොනිසො පඤ්හං පුච්ඡිතුන්ති’. යං ඛො පනායං පරිසා පරිභවෙය්ය යසොපි තස්ස හායෙථ. යස්ස ඛො පන යසො හායෙථ භොගාපි තස්ස හායෙය්යුං. යසොලද්ධා ඛො පනම්හාකං භොගා. මඤ්චෙව ඛො පන සමණො ගොතමො පඤ්හං පුච්ඡෙය්ය, තස්ස චාහං පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං න ආරාධෙය්යං, තත්ර චෙ මං සමණො ගොතමො එවං වදෙය්ය ‘න ඛො එස බ්රාහ්මණ, පඤ්හො එවං ව්යාකාතබ්බො, එවං නාමෙස බ්රාහ්මණ පඤ්හො ව්යාකාතබ්බො’ති, තෙන මං අයං පරිසා පරිභවෙය්ය: ‘බාලො සොණදණ්ඩො බ්රාහ්මණො අබ්යත්තො, නාසක්ඛි සමණස්ස ගොතමස්ස පඤ්හස්ස වෙය්යාකරණෙන චිත්තං ආරාධෙතුන්ති’. යං ඛො පනායං පරිසා පරිභවෙය්ය යසො’පි තස්ස හායෙථ. යස්ස ඛො පන යසො හායෙථ භොගාපි තස්ස හායෙය්යුං. යසොලද්ධා ඛො පනම්හාකං භොගා. අහො වත මං සමණො ගොතමො සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පඤ්හං පුච්ඡෙය්ය. අද්ධාවතස්සාහං චිත්තං ආරාධෙය්යං පඤ්හස්ස වෙය්යාකරණෙනා”ති.
Sinhala BJT12. එහි ද සෝණදණ්ඩ තෙමේ “මම මහණ ගොයුමන් අතින් ප්‍රශ්න විචාරන්නෙම් නම්, (එ විටැ) ‘බමුණ, මේ පැණය මෙසේ නො විචාළ මනා යැ’යි මහණ ගොයුම්හු මට කියන්නෝ නම්, එයින් මේ පිරිස ‘සෝණදණ්ඩයා අනුවණ ය, නොවියත් යැ’ යි මට පරිභව කරන්නාහ. මේ පිරිස යමකුට පරිභව කරන්නාහු නම් ඔහුගේ යශස ද පිරිහෙන්නේ ය. යමකුගේ යශස පිරිහෙන්නේ නම්, ඔහුගේ භෝගයෝ ද පිරිහෙන්නාහ. අපේ භෝගයෝ යශස්හේතුයෙන් ලද්දෝ ය. (එ බැවිනි.) මහණ ගොයුමන් ස්‍වකීය ආචාර්‍ය්‍යවාදය වූ ත්‍රිවිද්‍යාවිෂයයෙහි පැණ විචාරතොත් යෙහෙක. එසේ කලැ පැණ විසැඳීමෙන් ඒකාන්තයෙන් ම ඔබ සිත් ගත හැකි වන්නෙමි”යි මේ සිතිවිල්ල ම බෙහෙවින් සිතමින් හුන්නේ වෙයි.
Pali BJT13. අථ ඛො භගවතො සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය එතදහොසි: “විහඤ්ඤති ඛො අයං සොණදණ්ඩො බ්රාහ්මණො සකෙන චිත්තෙන. යන්නූනාහං සොණදණ්ඩං බ්රාහ්මණං සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පඤ්හං පුච්ඡෙය්යන්ති.”
Sinhala BJT13. එ කලැ වනාහි භාග්‍යවතුන් වහන්සේට සිය සිතින් සෝණදණ්ඩ බමුණාගේ සිත දැක්මෙන් “මේ සෝණදණ්ඩ බමුණා සිය සිතිවිල්ලෙන් වෙහෙසෙයි. මම මොහුගෙන් සිය ආචාර්‍ය්‍යවාද වූ ත්‍රිවිද්‍යාවිෂයයෙහි ප්‍රශ්නයක් විචාරන්නෙම් නම් යෙහෙකැ”යි මෙ සිත වී ය.
Pali BJTඅථ ඛො භගවා සොණදණ්ඩං බ්රාහ්මණං එතදවොච: “කතීහි පන බ්රාහ්මණ අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤපෙන්ති බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා?”ති
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සෝණදණ්ඩ බමුණා අමතා, “බමුණ, අංග කීයෙකින් සමන්‍විතයහු බමුණකු කොට බමුණෝ පණවත් ද? (අංග කීයෙකින් සමන්‍විතයා) ‘මම බමුණෙකිමි’යි කියන්නේ ද? බොරු කීමකට නො පැමිණෙන්නේ දැ?”යි මෙය අසා වදාළ සේක.
Pali BJT14. අථ ඛො සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස එතදහොසි: යං වත නො අහොසි ඉච්ඡිතං, යං ආකඞ්ඛිතං, යං අධිප්පෙතං, යං අභිපත්ථිතං ‘අහො වත මං සමණො ගොතමො සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පඤ්හං පුච්ඡෙය්ය, අද්ධා වතස්සාහං චිත්තං ආරාධෙය්යං පඤ්හස්ස වෙය්යාකරණෙනා’ති, තත්ර මං සමණො ගොතමො සකෙ ආචරියකෙ තෙවිජ්ජකෙ පඤ්හං පුච්ඡති. අද්ධා වතස්සාහං චිත්තං ආරාධෙස්සාමි පඤ්හස්ස වෙය්යාකරණෙනා’ති.
Sinhala BJT14. එ විටැ සෝණදණ්ඩ බමුණාට “මහණ ගොයුමන් මගෙන් සිය ආචාර්‍ය්‍යවාදය වූ ත්‍රිවිද්‍යාවිෂයයෙහි පැණ විචාළොත් යෙහෙක, පැණ විසැඳීමෙන් ඒකාන්තයෙන් ඔවුන් සිත ගත හෙන්නෙමි’යි යමක් අප විසින් රුස්නා ලද ද, යමක් ඇවෙක්සිණි ද, යමක් අදහස් කරණලද ද, යමක් වෙසෙසින් පැනිණි ද, එහි ලා ඔබ මගෙන් සිය ඇදුරන් ඉගැන්වූ ත්‍රිවිද්‍යාවිෂයයෙහි ප්‍රශ්න විචාරති. ඒකාන්තයෙන් මම පැණ විසැඳීමෙන් ඔබ සිත සතුටු කරන්නෙමි”යි මෙ සිත වී ය.
Pali BJT15. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො අබ්භුන්නාමෙත්වා කායං අනුවිලොකෙත්වා පරිසං භගවන්තං එතදවොච: “පඤ්චහි භො ගොතම, අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤාපෙන්ති ‘බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්ය. කතමෙහි පඤ්චහි?
Sinhala BJT15. ඉක්බිති සෝණදණ්ඩ බමුණු තෙමෙ කය ඍජු කොට, හාත්පස බමුණු ගැහැවි පිරිස දෙස බලා, භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: “භවත් ගෞතමයිනි, බමුණෝ අංග පසෙකින් යුත්තහු බමුණකු කොට පණවත්. හේ ‘මම බමුණුමි’යි කියනුයේ (එය) මැනැවින් ම කියන්නේ ය. බොරු කීමකට නො පැමිණෙන්නේ ය. කවර අංග පසෙකින් ද? යත්:
Pali BJTඉධ භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අජ්ඣායකො හොති මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො:
Sinhala BJT“භවද්ගෞතමයිනි, මෙහි බමුණු තෙමේ මවු පසින් ද පිය පසින් ද යන දෙපසින් මැ අභිජාත ය, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇතියේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය. වේද හදාරන්නෙක් වෙයි, වේදයන් සිතැ ලා දරන්නෙක් වෙයි, නිඝණ්ඩු ද කෛටභශාස්ත්‍ර ද සහිත, ශික්‍ෂා හා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොටැති, ත්‍රිවේදයන්ගේ පර තෙරට පැමිණියෙක් වෙයි. පදපාඨ දන්නෙක් වෙයි සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක් වෙයි. ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ ශාස්ත්‍රයෙහිත් නිපුණයෙක් වෙයි.
Pali BJTඅභිරූපො හොති දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුද්දාවකාසො දස්සනාය. සීලවා හොති වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො, පණ්ඩිතො ච හොති මෙධාවී, පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. ඉමෙහි ඛො භො ගොතම, පඤ්චහි අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යාති.
Sinhala BJTවිශිෂ්ට රූපශෝභා ඇත්තේ, දැකුම් කටයුත්තේ, ප්‍රසාද එළවන සුලු වූයේ, උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් සමන්‍විත වූයේ වෙයි. උතුම් රන්වන් පැහැ ඈතියේ ය. උතුම් ශරීරප්‍රභා ඇතියේ ය. ආරෝහ පරිණාහ සම්පත්තියෙන් හා අවයවයන්ගේ පරිපුර්‍ණත්‍වයෙන් හා සිරුරෙහි දැකීමට නොමඳ වූ අවකාශ ඇතියේ වෙයි. වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු ශීලයෙන් සමන්‍විත වූයේ, සිල්වත් වෙයි. පණ්ඩිත ද නුවණැත්තේ ද එහෙයින් ම යාග සැන්ද ඔසොවන්නවුන් අතුරෙහි පළමු වැන්නා හෝ දෙවැන්නා වෙයි. භවද්ගෞතමයිනි, මෙ අංග පසින් සමන්‍විතයා බමුණකු කොට බමුණෝ පණවත්. හේ ‘මම බමුණෙකිමි’ යි කියන්නේ මොනොවට කියන්නේ ය, බොරු කීමට නොවැටෙන්නේ ය යනු යි.
Pali BJT16. “ඉමෙසං පන බ්රාහ්මණ පඤ්චන්නං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපෙත්වා චතූහි අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණං පඤ්ඤාපෙතුං බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා?”ති
Sinhala BJT16. [භාග්‍යවතුන් වහන්සේ:] “බමුණ, මෙ අංග පස අතුරෙන් එක් අංගයක් හැර අංග සතරෙකින් සමන්‍විතයක්හු බමුණකු කොට පණවන්නට හැක්කේ ද? (එසේ පැනැවීමෙන්) ‘මම බමුණෙකිමි’යිත් කියන්නේ නො වැරැදිලෙස කිය හැකි වන්නේ ද? බොරු, කීමකට නො පැමිණෙන්නේ ද?”
Pali BJT17. “සක්කා භො ගොතම. ඉමෙසං හි භො ගොතම, පඤ්චන්නං අඞ්ගානං වණ්ණං ඨපයාම. කිං හි වණ්ණො කරිස්සති? යතො ඛො භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අජ්ඣායකො ච හොති මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො, වෙය්යාකරණො, ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. සීලවා ච හොති වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො, පණ්ඩිතො ච හොති මෙධාවී පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. ඉමෙහි ඛො භො ගොතම, චතූහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤාපෙන්ති බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJT17. [සෝණදණ්ඩ:] “හැකි ය, භවද් ගෞතමයිනි. භවද්ගෞතමයිනි, මේ අංග පස අතුරෙන් වර්‍ණසෞන්‍දර්‍ය්‍ය හැරැ ලමු. වර්‍ණය කුමක් කරන්නේ ද? භවද් ගෞතමයිනි, යම් හෙයෙකින් බමුණු තෙමේ මවුපියදෙපසින් අභිජාත වේ නම්, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියේ නම් ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ නම්, නො ගරහනලද්දේ නම්, වේද හදාරන්නෙක්, වේද සිතැ ලා දරන්නෙක්, නිඝණ්ඩු කෛටභශාස්ත්‍ර ද සහිත, ශික්‍ෂා හා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොටැති, තුන් වේදයන්ගේ පරතෙර පැමිණියෙක් වේ නම්, පදපාඨ ද සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක්, ලොකායන ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණවිද්‍යායෙහිත් නිපුණයෙක් වේ නම්, වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු ශීලයෙන් යුක්ත වූයේ සිල්වත් වේ නම්, පණ්ඩිතත් නුවණැත්තේත්, එ හෙයින් ම යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනිත් වේ නම්, භවද් ගෞතමයිනි, මෙ කී අංග සතරින් සමන්‍විතයා බමුණකු කොට බමුණෝ පණවත්. හේ ‘බමුණෙකිමි’ යි කියන්නේ ද මොනොවට ම කියන්නේ ය, බොරු කීමකට නො වැටෙන්නේ ය.”
Pali BJT18. “ඉමෙසං පන බ්රාහ්මණ චතුන්නං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපයිත්වා තීහි අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණං පඤ්ඤාපෙතුං බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා?”ති.
Sinhala BJT18. [භාග්‍යවතුන් වහන්සේ:] ‘බමුණ, මේ අංග සතරින් එකක් හැර අංග තුනෙකින් යුක්තයක්හු බමුණකු කොට පණවන්නට හැක්කේ ද? හේ ‘මම බමුණෙකිමි’යිත් කියන්නේ නොවැරැදි ලෙස කියැ හැකි වන්නේ ද? බොරු කීමකට නො වැටෙන්නේ ද?”
Pali BJT19. “සක්කා භො ගොතම. ඉමෙසං හි භො ගොතම, චතුන්නං අඞ්ගානං මන්තෙ ඨපයාම. කිං හි මන්තා කරිස්සන්ති? යතො ඛො භො ගොතම, බ්රාහ්මණො උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, සීලවා ච හොති වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො, පණ්ඩිතො ච හොති මෙධාවී, පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. ඉමෙහි ඛො භො ගොතම, තීහි අඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤාපෙන්ති බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJT19. [සෝණදණ්ඩ:] “භවද් ගෞතමයිනි, හැක්කේ ය. භවද් ගෞතමයිනි, මේ අංග සතරින් වේදයන් හැරැ දමමු. වේදයෝ කුමක් කරන්නෝ ද? භවද් ගෞතමයිනි, යම් හෙයෙකින් බමුණු තෙමේ මාපිය දෙපසින් අභිජාත වේ නම්, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියේ නම්, ජාතිවාදයෙන් නො හෙළන ලදුයේ නොගරහන ලදුයේ නම්, වැඩුණු සිල් ඇති වැඩුණු සිලින් යුත් සිල්වතෙක් වේ නම්, පණ්ඩිතත් නුවණැතිත් එ හෙයින් ම යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනිත් වේ නම්, භවද් ගෞතමයිනි, මේ අංග තුනින් සමන්‍විතයා බමුණකු කොට බමුණෝ පණවත්. හේ ‘මම බමුණුමි’යි කියනුයේ ද කරුණු සහිත වැ ම කියන්නේ ය, බොරු කීමකට ද නො පැමිණෙන්නේ ය”.
Pali BJT20. “ඉමෙසං පන බ්රාහ්මණ, තිණ්ණං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපෙත්වා ද්වීහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණං පඤ්ඤාපෙතුං, බ්රාහ්මණොස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා?”ති.
Sinhala BJT20. [භාග්‍යවතුන් වහන්සේ:] “බමුණ, මේ අංග තුනින් එක් අංගයක් හැරැ දමා අංග දෙකෙකින් සමන්‍විතයහු බමුණකු කොට පැණැවියැ හැක්කේ ද? හේ ‘මම බමුණෙකිමි’යිත් කියනුයේ, කරුණු සහිත වැ කියැ හැකි වන්නේ ද? බොරු කීමකට නො පැමිණෙන්නේ ද?”
Pali BJT21. “සක්කා භො ගොතම. ඉමෙසං හි භො ගොතම, තිණ්ණං අඞ්ගානං ජාතිං ඨපයාම. කිං හි ජාති කරිස්සති? යතො ඛො භො ගොතම බ්රාහ්මණො සීලවා ච හොති වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො, පණ්ඩිතො ච හොති මෙධාවී පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. ඉමෙහි ඛො භො ගොතම, ද්වීහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJT21. [සෝණදණ්ඩ:] “භවද්ගෞතමයිනි, හැක්කේ ය. භවද්ගෞතමයිනි, මේ අංග තුනෙන් ජාතිය හැරැ දමමු. ජාතිය කුමක් කරන්නේ ද? භවද්‍ගෞතමයිනි, යම් හෙයකින් බමුණු තෙමේ වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු සිලින් යුත් වූයේ සිල්වත් වේ ද, පණ්ඩිතත් නුවණැත්තේත් එහෙයින් ම යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනිත් වේ ද, භවද්ගෞතමයිනි, මේ අංග දෙකින් සමන්‍විතයක්හු බමුණකු කොට බමුණෝ පණවත්. හේ ද ‘මම බමුණුමි’ යිත් කියනුයේ කරුණු සහිත වැ කියන්නේ ය, බොරු කීමකට නො පැමිණෙන්නේ ය.”
Pali BJT22. එවං වුත්තෙ තෙ බ්රාහ්මණා සොණදණ්ඩං බ්රාහ්මණං එතදවොචුං: “මා භවං සොණදණ්ඩො එවං අවච. මා භවං සොණදණ්ඩො එවං අවච. අපවදතෙව භවං සොණදණ්ඩො වණ්ණං, අපවදති මන්තෙ, අපවදති ජාතිං. එකංසෙන භවං සොණදණ්ඩො සමණස්සෙව ගොතමස්ස වාදං අනුපක්ඛන්දතී”ති.
Sinhala BJT22. මෙසේ කී කල්හි ඒ බමුණෝ සෝණදණ්ඩ බමුණුහට “භවත් සෝණදණ්ඩ තෙමේ මෙසේ නො කියා වා. භවත් සෝණදණ්ඩ තෙමේ මෙසේ නො කියා වා. භවත් සෝණදණ්ඩ තෙමේ වර්‍ණසෞන්‍දර්‍ය්‍යය බැහැර කෙරේ ම ය, භවත් සෝණදණ්ඩ වේදයන් බැහැර කෙරේ ම ය, ජාතිය බැහැරැ කෙරේ ම ය. භවත් සෝණදණ්ඩ තෙමේ ඒකාන්තයෙන් ශ්‍රමණ ගෞතමයන්ගේ සමයයට වැදැ ගනී” යැ යි මේ වවන කීහ.
Pali BJT23. අථ ඛො භගවා තෙ බ්රාහ්මණෙ එතදවොච: “සචෙ ඛො තුම්හාකං බ්රාහ්මණා එවං හොති, ‘අප්පස්සුතො ච සොණදණ්ඩො බ්රාහ්මණො, අකල්යාණවාක්කරණො ච සොණදණ්ඩො බ්රාහ්මණො, දුප්පඤ්ඤො ච සොණදණ්ඩො බ්රාහ්මණො, න ච පහොති සොණදණ්ඩො බ්රාහ්මණො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතුන්ති, තිට්ඨතු සොණදණ්ඩො බ්රාහ්මණො, තුම්හෙ මයා සද්ධිං මන්තව්හො. සචෙ පන තුම්හාකං බ්රාහ්මණා එවං හොති: “බහුස්සුතො ච සොණදණ්ඩො බ්රාහ්මණො, කල්යාණවාක්කරණො ච සොණදණ්ඩො බ්රාහ්මණො, පණ්ඩිතො ච සොණදණ්ඩො බ්රාහ්මණො, පහොති ච සොණදණ්ඩො බ්රාහ්මණො සමණෙන ගොතමෙන සද්ධිං අස්මිං වචනෙ පටිමන්තෙතුන්ති’ තිට්ඨථ තුම්හෙ, සොණදණ්ඩො බ්රාහ්මණො මයා සද්ධිං පටිමන්තෙතූ”ති.
Sinhala BJT23. එ විට භාග්‍යවතුන් වහන්සේ ඒ බමුණනට වදාරන සේක්: “බමුණනි, ඉදින් සෝණදණ්ඩ බමුණා අල්පශ්‍රැත යැ යි ද නොමනා බස් දොඩන්නෙකැ යි ද නුවණ නැත්තෙකැ යි ද, මේ වචනයෙහි ශ්‍රමණ ගෞතමයන් හා සාකච්ඡා කරන්නට සමත් නො වෙතැයි’ ද කියා තොපට මෙසේ සිතෙක් වේ නම්, සෝණදණ්ඩ බමුණු තෙමේ සිටි වා. තෙපි මා හා සාකච්ඡා කරවු. බමුණනි, ඉදින් සෝණදණ්ඩ බමුණු තෙමේ බහුශ්‍රුත යැ යි ද, මනා වචන කියන්නෙකැ යි ද, පණ්ඩිත යැ යි ද, මේ වචනයෙහි ශ්‍රමණගෞතමයන් හා සාකච්ඡා කරන්නට සමත් වෙතැ යි ද කියා මෙසේ තොපට සිතෙක් වේ නම්, තෙපි සිටිවු. සෝණදණ්ඩ බමුණු තෙමේ ම මා හා සාකච්ඡා කෙරේ වා” යි මෙය වදාළ සේක.
Pali BJT24. එවං වුත්තෙ සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “තිට්ඨතු භවං ගොතමො. තුණ්හී භවං ගොතමො හොතු. අහමෙව තෙසං සහධම්මෙන පටිවචනං කරිස්සාමී”ති.
Sinhala BJT24. මෙසේ වදාළ කල්හි, සෝණදණ්ඩ බමුණු තෙම “භවද්ගෞතම තෙමේ සිටී වා, භවද්ගෞතම තෙමේ නිහඬ වේ වා. මම ම ඔවුනට කරුණු සහිත වැ උත්තර දෙන්නෙමි” ය භාග්‍යවතුන් වහන්සේට කී ය.
Pali BJTඅථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො තෙ බ්රාහ්මණෙ එතදවොච: “මා භවන්තො එවං අවචුත්ථ, මා භවන්තො එවං අවචුත්ථ: ‘අපවදතෙව භවං සොණදණ්ඩො වණ්ණං, අපවදති මන්තෙ, අපවදති ජාතිං, එකංසෙන. භවං සොණදණ්ඩො සමණස්සෙව ගොතමස්ස වාදං අනුපක්ඛන්දතී’ති. නාහං භො අපවදාමි වණ්ණං වා මන්තෙ වා ජාතිං වා”ති.
Sinhala BJTඉක්බිති සෝණදණ්ඩ බමුණු ඒ බමුණන් බණවා “භවත්හු ‘භවත් සෝණදණ්ඩයා වර්‍ණය බැහැර කෙරෙයි, වේදයන් බැහැර කෙරෙයි, ජාතිය බැහැර කෙරෙයි, ඒකාන්තයෙන් භවත් සෝණදණ්ඩ තෙමේ ශ්‍රමණ ගෞතමයන්ගේ සමයයට වැද ගනී’ යැ යි මෙසේ නො කියත් වා. මම වර්‍ණය හෝ වේදයන් හෝ ජාතිය හෝ බැහැර නො කරමි” යි කී ය.
Pali BJT25. තෙන ඛො පන සමයෙන සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස භාගිනෙය්යා අඞ්ගකො නාම මාණවකො තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො තෙ බ්රාහ්මණෙ එතදවොච: “පස්සන්ති නො භොන්තො ඉමං අඞ්ගකං මාණවකං අම්හාකං භාගිනෙය්යන්ති?”
Sinhala BJT25. එ වේලෙහි සෝණදණ්ඩ බමුණාගේ බෑනණු වූ අඞ්ගක නම් මාණවක තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඉක්බිති සෝණදණ්ඩ බමුණු “භවත්හු අප බෑනණු වූ මේ අඞ්ගක මාණවකයා දකිත් දැ?” යි කී ය.
Pali BJT“එවං භො”.
Sinhala BJT“භවත, එසේ යැ” යි බමුණෝ කීහ.
Pali BJT“අඞ්ගකො ඛො භො මාණවකො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුද්දාවකාසො දස්සනාය. නාස්ස ඉමිස්සං පරිසායං සමසමො අත්ථි වණ්ණෙන, ඨපෙත්වා සමණං ගොතමං.
Sinhala BJT(එ විට සෝණදණ්ඩ බමුණු මෙසේ කී ය:) “භවත්නි, අඞ්ගක මාණවක තෙමේ විශිෂ්‍ට රූපය ඇත්තේ ය, දැකුම් කටයුතු ය, උතුම් වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් යුක්ත ය, උතුම් රන් පැහැ ඇත්තේ ය, උතුම් සිරුරුපැහැ ඇත්තේ ය, සිය සිරුර දැක්මට නොමඳ අවකාශ ඇත්තේ ය. ශ්‍රමණ ගෞතමයන් හැර මේ පිරිසෙහි හැම අයුරින් ම ඔහුට සම එකෙක් නැත.
Pali BJTඅඞ්ගකො ඛො භො මාණවකො අජ්ඣායකො මන්තධරො, තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං. පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො. අහමස්ස මන්තෙ වාචෙතා.
Sinhala BJTභවත්නි, අඞ්ගක මාණවක තෙමේ වේද හදාරන්නෙක, වේදමන්ත්‍රයන් සිත්හි ලා දරන්නෙක, නිඝණ්ඩු ද කෛටභශාස්ත්‍ර ද සහිත අක්‍ෂරප්‍රභේද සහිත ත්‍රිවේදයෙහි පාරප්‍රාප්තයෙක. පදපාඨ දන්නෙක, සියලු ව්‍යාකරණ විධිත් දන්නෙක, ලෝකායතශාස්ත්‍රයෙහි ද මහාපුරුෂලක්‍ෂණවිද්‍යායෙහි ද නිපුණයෙක. මොහුට වේද කියැවූ තැනැත්තේ මම ය.
Pali BJTඅඞ්ගකො ඛො භො මාණවකො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. අහමස්ස මාතාපිතරො ජානාමි.
Sinhala BJTභවත්නි, අඞ්ගක මාණවක තෙමේ මවු පිය යන දෙ පසින් ම අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෙක, ජාතිවාදයෙන් නොහෙළන ලද්දෙක, නොගරහන ලද්දෙක. මම මොහුගේ මවු පියන් දනිමි.
Pali BJTඅඞ්ගකො ඛො භො මාණවකො පාණම්පි හනෙය්ය අදින්නම්පි ආදියෙය්ය පරදාරම්පි ගච්ඡෙය්ය මුසාපි භණෙය්ය මජ්ජම්පි පිවෙය්ය, එත්ථදානි භො කිං වණ්ණො කරිස්සති, කිං මන්තා, කිං ජාති?
Sinhala BJTභවත්නි, අඞ්ගක මාණවකයා වනාහි ප්‍රාණඝාත ද කරන්නේ නම්, නොදුන් දෑත් ගන්නේ නම්, පරඹුවන් කරා යන්නේ නම්, බොරුත් කියන්නේ නම්, මත්පැනුත් බොන්නේ නම්, භවත්නි, මෙහි වර්‍ණසෞන්‍දර්‍ය්‍යය කුමක් කරන්නේ ද (බමුණු බව රක්නට සමත් වන්නේ ද)? වේදයෝ කුමක් කරන්නෝ ද? ජාතිය කුමක් කරන්නේ ද?
Pali BJTයතො ඛො භො බ්රාහ්මණො සීලවා ච හොති වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො, පණ්ඩිතො ච හොති මෙධාවී පඨමො වා දුතියො වා සුජං පග්ගණ්හන්තානං. ඉමෙහි ඛො භො ද්වීහඞ්ගෙහි සමන්නාගතං බ්රාහ්මණා බ්රාහ්මණං පඤ්ඤාපෙන්ති. බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය, න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා”ති.
Sinhala BJTභවත්නි, යම් හෙයෙකින් බමුණු තෙමේ වැඩුණු සිල් ඇත්තේ, වැඩුණු සිලින් යුත් වූයේ, සිල්වත් වේ ද, පණ්ඩිත වේ ද, නුවණැති වේ ද, යාග සැන්ද ඔසොවන්නන් අතුරෙහි පළමු හෝ දෙවෙනි වේ ද, භවත්නි, මේ අඞ්ග දෙකින් සමන්‍විතයා වූ කලී බමුණකු කොට බමුණෝ පණවත්. හේ ‘මම බමුණුමි’යි කියන්නේ ද කරුණු සහිත වැ කියන්නේ ය, බොරු කීමකට නො පැමිණෙන්නේ ය.”
Pali BJT26. “ඉමෙසං පන බ්රාහ්මණ, ද්වින්නං අඞ්ගානං සක්කා එකං අඞ්ගං ඨපයිත්වා එකෙන අඞ්ගෙන සමන්නාගතං බ්රාහ්මණං පඤ්ඤාපෙතුං, බ්රාහ්මණො’ස්මීති ච වදමානො සම්මා වදෙය්ය. න ච පන මුසාවාදං ආපජ්ජෙය්යා?”ති
Sinhala BJT26. [භාග්‍යවතුන් වහන්සේ:] බ්‍රාහ්මණය, මේ අඞ්ග දෙකින් එක් අඞ්ගයක් හැරැ දමා එක් අඞ්ගයෙකින් සමන්‍විතයා බමුණකු කොට පණවන්නට හැක්කේ ද? හේ ‘බමුණෙකිමි’යි කියන්නේ, කරුණු සහිත වැ කියන්නේ ද? බොරු කීමකට නො පැමිණෙන්නේ ද?”
Pali BJT“නො හිදං භො ගොතම. සීලපරිධොතා හි භො ගොතම පඤ්ඤා. පඤ්ඤාපරිධොතං සීලං. යත්ථ සීලං තත්ථ පඤ්ඤා, යත්ථ පඤ්ඤා තත්ථ සීලං. සීලවතො පඤ්ඤා, පඤ්ඤවතො සීලං. සීලපඤ්ඤාණං ච පන ලොකස්මිං අග්ගමක්ඛායති. සෙය්යථාපි භො ගොතම හත්ථෙන වා හත්ථං ධොවෙය්ය, පාදෙන වා පාදං ධොවෙය්ය, එවමෙව ඛො භො ගොතම සීලපරිධොතා පඤ්ඤා, පඤ්ඤාපරිධොතං සීලං. යත්ථ සීලං තත්ථ පඤ්ඤා, යත්ථ පඤ්ඤා තත්ථ සීලං. සීලවතො පඤ්ඤා, පඤ්ඤවතො සීලං. සීලපඤ්ඤාණඤ්ච පන ලොකස්මිං අග්ගමක්ඛායති.
Sinhala BJT[සෝණදණ්ඩ:] භවද්ගෞතමයිනි, මෙය නො වේ ම ය. භවද්ගෞතමයිනි, ප්‍රඥාව ශීලයෙන් පිරිසිදු වෙයි. ශීලය ප්‍රඥායෙන් පිරිසිදු වෙයි. යම් තැනෙක ශීලය වේ නම්, එහි ප්‍රඥාව වේ. යම් තැනෙක ප්‍රඥාව වේ නම් එහි ශීලය වේ. සිල්වත්හට නුවණ වේ. නුවණැත්තාට සිල් ඇති වේ. ශීල ප්‍රඥා දෙක වූ කලි ලොවැ අග්‍ර යැ යි කියනු ලැබේ. භවද් ගෞතමයිනි, යම් සේ අතින් අත හෝ පයින් පය හෝ සෝදන්නේ ද, එසේ ම ප්‍රඥාව ශීලයෙන් පරිශෝධිත වේ. ශීලය ප්‍රඥායෙන් පරිධොත වේ. යම් තැනෙක ශීලය වේ නම්, .... ශීල ප්‍රඥා දෙක වූ කලි ලොවැ අග්‍ර යැ යි කියනු ලැබේ.
Pali BJT“එවමෙතං බ්රාහ්මණ. සීලපරිධොතා හි බ්රාහ්මණ පඤ්ඤා, පඤ්ඤාපරිධොතං සීලං. යත්ථ සීලං තත්ථ පඤ්ඤා, යත්ථ පඤ්ඤා තත්ථ සීලං. සීලවතො පඤ්ඤා, පඤ්ඤවතො සීලං. සීලපඤ්ඤාණඤ්ච පන ලොකස්මිං අග්ගමක්ඛායති.
Sinhala BJT[භාග්‍යවතුන් වහන්සේ:] බ්‍රාහ්මණය, මෙය එසේ ය. බ්‍රාහ්මණය, ප්‍රඥාව ශීලයෙන් පිරිසිදු වේ. ශීලය ප්‍රඥායෙන් පිරිසිදු වේ. සිල් ඇති තැන ප්‍රඥාව වේ. ප්‍රඥාව ඇති තැන සිල් වේ. සිල්ඇත්තහුට ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇත්තහුට සිල් ඇත. ශීල ප්‍රඥා දෙක වනාහි ලොවැ අග්‍ර යැ යි කියනු ලැබේ.
Pali BJT“කතමං පන තං බ්රාහ්මණ සීලං? කතමා සා පඤ්ඤා”? ති
Sinhala BJTබ්‍රාහ්මණය, ඒ ශීලය කවර යැ? ඒ ප්‍රඥාව කවර යැ?
Pali BJT“එත්තකපරමා’ව මයං භො ගොතම එතස්මිං අත්ථෙ. සාධු වත භවන්තංයෙව ගොතමං පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො”ති.
Sinhala BJT[සෝණදණ්ඩ:] භවද් ගෞතමයිනි, මේ කරුණෙහි මේ ශීල ප්‍රඥා යන වචන දෙක දැනීම ම පරම කොටැත්තමු. (මේ වචන දනු විනා එහි අර්‍ත්‍ථාදි වශයෙන් මෙයින් වැඩියක් නො දනිමු.) යාච්ඤා කරම්හ. භවද් ගෞතමයනට ම මේ වචනයේ අර්‍ත්‍ථ වැටහේ වා (භවද් ගෞතමයෝ ම මෙහි අර්‍ත්‍ථ වදාරත් වා).
Pali BJT“තෙන හි බ්රාහ්මණ සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමී”ති.
Sinhala BJT[භාග්‍යවතුන් වහන්සේ:] “බමුණ, එසේ නම් අසන්නැ. මොනොවට මෙනෙහි කරන්නැ. එය කියන්නෙමි.”
Pali BJT“එවං භො’ති ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJTසෝණදණ්ඩ තෙමේ ‘භවත, එසේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ මතු දැක්වෙන ධර්‍මය වදාළ සේක:
Pali BJT25. “ඉධ බ්රාහ්මණ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො -පෙ-.
Sinhala BJT25. “බමුණ, අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ... තථාගත තෙමේ මෙ ලොවැ පහළ වෙයි ...
Pali BJT(යථා සාමඤ්ඤඵලෙ එවං විත්ථාරෙතබ්බං.) එවං ඛො බ්රාහ්මණ භික්ඛු සීලසම්පන්නො හොති. ඉදං ඛො තං බ්රාහ්මණ සීලං -පෙ-. පඨමං ඣානං උපසම්පජ්ජ විහරති ..... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. -පෙ- අයං ඛො සො බ්රාහ්මණ සමාධි -පෙ- ආසවානං ඛයඤාණාය චිත්තං අභිනීහරති, අභිනින්නාමෙති -පෙ- නාපරං ඉත්ථත්තායාති පජානාති, ඉදම්පි’ස්ස හොති පඤ්ඤාය. අයං ඛො සා බ්රාහ්මණ, පඤ්ඤා”ති.
Sinhala BJT(සාමඤ්ඤඵලසුත්තයෙහි ආ සේ විස්තර කළ යුතු.) … බමුණ, මෙසේ මහණ තෙමේ ශීලසම්පන්න වෙයි. බමුණ, මේ ඒ ශීලය යි. ... පළමු ධ්‍යානය ලැබ වෙසෙයි … දෙවෙනි ධ්‍යානය ලැබ වෙසෙයි ... තෙවෙනි ධ්‍යානය ලැබ වෙසෙයි … සිවු වන ධ්‍යානය ලැබ වෙසෙයි ... බමුණ, මේ ඒ සමාධියයි. ආශ්‍රවක්‍ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. ‘මේ ක්ලේශක්‍ෂයය පිණිස කළ යුතු අන් කිසිත් නැතැ’යි දැනැ ගනී. මේ ඔහුගේ ප්‍රඥාව වේ. බමුණ, මේ ඒ ප්‍රඥාව ය.”
Pali BJT26. එවං වුත්තෙ සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති, එවමෙව භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං. අධිවාසෙතු ච මෙ භවං ගොතමො ස්වාතනාය භත්තං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJT26. මෙසේ වදාළ කල්හි සෝණදණ්ඩ බ්‍රාහ්මණ තෙම, “භවද් ගෞතමයිනි, ධර්‍මදේශනා අභිකාන්ත ය. භවද් ගෞතමයිනි, ධර්‍මදේශනාව අභිකාන්ත ය. භවද් ගෞතමයිනි, යම්සේ යැටිකුරු කොට තැබූ බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ හෝ කියන්නේ වේ ද, ‘ඇස් ඇතියන් රූප දකිතැ’ යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ හෝ වේ ද, භවද්ගෞතමයිනි. එ පරිද්දෙන් ම, භවද්ගෞතමයන් විසින් මට නොයෙක් අයුරින් ධර්‍මය පැවැසිණ. භවද්ගෞතමයිනි, ඒ මම භවද් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසංඝයා ද සරණ යෙමි. භවද් ගෞතමයන් වහන්සේ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට සලකන සේක් වා. භවද්ගෞතමයන් වහන්සේ භික්‍ෂුසංඝයා හා සෙට දවසට මගේ බත ඉවසන සේක්වා” යි කීයේ ය. භාග්‍යවතුන්වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක.
Pali BJT27. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො තස්සා රත්තියා අච්චයෙන සකෙ නිවෙසනෙ පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා භගවතො කාලං ආරොචාපෙසි: කාලො භො ගොතම, නිට්ඨිතං භත්තන්ති.
Sinhala BJT27. ඉක්බිත්තෙන් සෝණදණ්ඩ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම් දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පැදකුණු කොට නික්මැ ගියේ ය. ඉන් පසු සෝණදණ්ඩ බමුණු තෙම ඒ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය පිළියෙල කරවා ‘ භවද්ගෞතමයන් වහන්ස, බත පිළියෙල කොට නිමියේ ය. දැන් වඩින්නට කාලය වේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවී ය.
Pali BJT28. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සද්ධිං භික්ඛුසඞ්ඝෙන යෙන සොණදණ්ඩස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො බුද්ධපමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි.
Sinhala BJT28. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟන හා සෝණදණ්ඩ බමුණාගේ ගෙට එළැඹි සේක. එළැඹ පණවා තුබුණු අස්නෙහි වැඩ හුන් සේක. එ කල්හි සෝණදණ්ඩ බමුණු තෙමේ බුදුපාමොක් සඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්වී ය, පැවැරැවී ය.
Pali BJT29. අථ ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සොණදණ්ඩො බ්රාහ්මණො භගවන්තං එතදවොච:
Sinhala BJT29. එයට පසු සෝණදණ්ඩ බමුණු තෙම වළඳා අවසන් කළ, පාත්‍රයෙන් ඉවතට ගත් අතැති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙන හිඳ ගත්තේ ය. එකත්පසෙක හුන් සෝණදණ්ඩ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ බස් පැවැසී ය:
Pali BJT“අහඤ්චෙව ඛො පන භො ගොතම, පරිසගතො සමානො ආසනා වුට්ඨහිත්වා භවන්තං ගොතමං අභිවාදෙය්යං, තෙන මං සා පරිසා පරිභවෙය්ය. යං ඛො පන සා පරිසා පරිභවෙය්ය යසො’පි තස්ස හායෙථ. යස්ස ඛො පන යසො හායෙථ භොගාපි තස්ස හායෙය්යුං. යසොලද්ධා ඛො පනම්හාකං භොගා.
Sinhala BJT“භවද්ගෞතමයිනි, මම් වූ කලි පිරිස් මැදට පැමිණියෙම් ම අස්නෙන් නැගී සිට භවත් ගෞතමයන් වැන්දෙම් වීම් නම්, එයින් ඒ පිරිස මට බැණ වදිති. යමකුට ඒ පිරිස බැණ වදිත් නම් ඔහුගේ යශස් ද පිරිහෙන්නේ ය. යමක්හුගේ යශස් පිරිහෙන්නේ ද, ඔහුගේ භෝග සම්පත් ද පිරිහෙන්නේ ය. අපේ භෝගසම්පත් වූ කලි යශසින් ලබන ලද්දේ ය.
Pali BJTඅහඤ්චෙව ඛො පන භො ගොතම, පරිසගතො සමානො අඤ්ජලිං පග්ගණ්හෙය්යං, ආසනා මෙ තං භවං ගොතමො පච්චුට්ඨානං ධාරෙතු.
Sinhala BJTතව ද භවද්ගෞතමයිනි, මම් පිරිසට පැමිණියෙම් ම දොහොත් මුදුන් තැබුයෙම් වීම් නම්, එය මා හුනස්නෙන් නැගී සිටිම් කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.
Pali BJTඅහඤ්චෙව ඛො පන භො ගොතම, පරිසගතො සමානො වෙඨනං ඔමුඤ්චෙය්යං, සිරසා මෙ තං භවං ගොතමො අභිවාදනං ධාරෙතු.
Sinhala BJTතව ද භවද්ගෞතමයෙනි, මම් පිරිස් මැදට ගියෙම් ම හිස්වෙළුම මුදා හෙළූයෙම් වීම් නම්, භවද්ගෞතමයන් වහන්සේ එය මා හිස නමා කළ වැඳීමක් කොට සලකන සේක් වා.
Pali BJTඅහඤ්චෙව ඛො පන භො ගොතම, යානගතො සමානො යානා පච්චොරොහිත්වා භවන්තං ගොතමං අභිවාදෙය්යං, තෙන මං සා පරිසා පරිභවෙය්ය. යං ඛො පන සා පරිසා පරිභවෙය්ය යසො’පි තස්ස හායෙථ. යස්ස ඛො පන යසො හායෙථ භොගාපි තස්ස හායෙය්යුං. යසොලද්ධා ඛො පනම්හාකං භොගා.
Sinhala BJTතව ද භවද්ගෞතමයිනි, මම් යානයක් නැඟ උන්නෙම් ම එයින් බැස, භවද්ගෞතමයන් වහන්සේ වැන්දෙම් නම්, එයින් ඒ පිරිස මට පරිභව කරති. එසේ පරිභව ලද්දහුගේ යශස් ද පිරිහේ. යශසින් පිරිහුණහුගේ භෝග ද පිරිහෙන්නේ ය. අපේ භෝගයෝ යශසින් ලබන ලද්දෝ ය. (එ බැවිනි)
Pali BJTඅහඤ්චෙව ඛො පන භො ගොතම, යානගතො සමානො පතොදලට්ඨිං අබ්භුන්නාමෙය්යං, යානා මෙ තං භවං ගොතමො පච්චොරොහනං ධාරෙතු.
Sinhala BJTභවද්ගෞතමයින්, මම් වනාහි යානයක් නැඟ උන්නෙම් ම කෙවිට ඉදිරියට නමා ලීම් නම්, එය මා යානයෙන් බැසීම කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.
Pali BJTඅහඤ්චෙව ඛො පන භො ගොතම, යානගතො සමානො ඡත්තං අපනාමෙය්යං, සිරසා මෙ තං භවං ගොතමො අභිවාදනං ධාරෙතූ”ති.
Sinhala BJTතව ද මම් යානයෙක උන්නෙම් ම ඡත්‍රය ඉවතට නමා හෙළීම් නම්, එය මා හිස නමා කළ වැඳීමක් කොට භවද්ගෞතමයන් වහන්සේ සලකන සේක් වා.”
Pali BJTඅථ ඛො භගවා සොණදණ්ඩං බ්රාහ්මණං ධම්මියා කථාය සන්දස්සෙත්වා සමාදපෙත්වා සමුත්තෙජෙත්වා සම්පහංසෙත්වා උට්ඨායාසනා පක්කාමීති.
Sinhala BJTඉන් පසු භාග්‍යවතුන් වහන්සේ සෝණදණ්ඩ බමුණාට දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වා, කුසල් දහම් ගන්වා, කුසල් වැඩුමෙහි උත්සාහවත් කොට, ඔහු තුළැ වූ ගුණ දක්වා සතුටු කොට, හුනස්නෙන් නැඟී නික්මැ වැඩි සේක.
Pali BJTසොණදණ්ඩසුත්තං නිට්ඨිතං චතුත්ථං.
Sinhala BJTසිවුවන සෝණදණ්ඩ සූත්‍රය නිමියේ ය.
Pali BJT5.
Sinhala BJT5.
Pali BJTකූටදන්තසුත්තං
Sinhala BJTකූටදන්ත සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං. එකං සමයං භගවා මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි, යෙන ඛාණුමතං නාම මගධානං බ්රාහ්මණගාමො තදවසරි. තත්ර සුදං භගවා ඛාණුමතෙ විහරති අම්බලට්ඨිකායං.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියක් භික්‍ෂූන් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ, සැරි සරන සේක්, මගධ රටැ ඛාණුමත නම් බමුණු ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ඛාණුමත ගමැ අඹයැටිඋයන්හි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන කූටදන්තො බ්රාහ්මණො ඛාණුමතං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨොදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා මාගධෙන සෙනියෙන බිම්බිසාරෙන දින්නං රාජදායං බ්රහ්මදෙය්යං.
Sinhala BJTඑ සමයෙහි වනාහි කුළුදත් (කූටදන්ත) බඹුණු තෙමේ මගධාධිපති සේනිය බිම්බිසාර රජුහු විසින් දුන් රාජදායාද්‍යය වූ, ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ, බහු ජනාකීර්‍ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ ඛාණුමත ගමැ වෙසෙයි.
Pali BJTතෙන ඛො පන සමයෙන කූටදන්තස්ස බ්රාහ්මණස්ස මහායඤ්ඤො උපක්ඛටො හොති. සත්ත ච උසභසතානි සත්ත ච වච්ඡතරසතානි සත්ත ච වච්ඡතරීසතානි සත්ත ච අජසතානි සත්ත ච උරබ්භසතානි ථූණූපනීතානි හොන්ති යඤ්ඤත්ථාය.
Sinhala BJTඑ සමයෙහි කුළුදත් බඹුණුහුගේ මහායාගයෙක් පිළියෙල කැරුණේ වෙයි. සත්සියක් ගොන් ද, සත්සියක් නාඹුවස්සෝ ද, සත්සියක් නාඹුවැස්සියෝ ද, සත්සියක් එළුවෝ ද, සත්සියක් තරුණ බැටෙළුවෝ ද (පොරගසන එළුවෝ ද තවත් සත්සියය බැගින් බොහෝ මෘගපක්‍ෂීහු ද) යාග පිණිස යාග ටැඹ වෙතට පමුණුවන ලදහ.
Pali BJT2. අස්සොසුං ඛො ඛාණුමතකා බ්රාහ්මණගහපතිකා: “සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි ඛාණුමතං අනුප්පත්තො ඛාණුමතෙ විහරති අම්බලට්ඨිකායං.
Sinhala BJT2. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද රටෙහි පැතිරැ පැවැති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මතු දැක්වෙන යස ගී ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍රවූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ මහණ ගොයුම්හු භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ සැරි සරනුවෝ ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතයට සමීපයෙහි වූ අඹයැටි වෙනෙහි වෙසෙති.
Pali BJT‘තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො’: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතී”ති.
Sinhala BJT‘ඒ භගවත් තෙමේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, අවශේෂ මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ සත්ත්‍වවර්‍ගයා තෙමේ ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදී) මනා අරුත් ඇති, සම්පූර්‍ණ ව්‍යඤ්ජන ඇති, හැම අයුරින් පිරිපුන්, පිරිසිදු දහම් දෙසයි. එසේ දෙසනුයේ සියලු සසුන් බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලි හිත වැඩ සලසන්නෙකැ’ යි ඒ භවද්ගෞතමයන් පිළිබඳ මෙසේ වූ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය” යනු යි.
Pali BJTඅථ ඛො ඛාණුමතකා බ්රාහ්මණගහපතිකා ඛාණුමතා නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා යෙන අම්බලට්ඨිකා තෙනුපසඞ්කමන්ති.
Sinhala BJTඉක්බිති ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝද ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ වැ මුළු මුළු වූවෝ, එකි එකී පැත්තෙඟි මුළු දුන්නෝ, ගමින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වූවෝ අඹයැටි උයන අතට යෙති.
Pali BJT3. තෙන ඛො පන සමයෙන කූටදන්තො බ්රාහ්මණො උපරිපාසාදෙ දිවාසෙය්යං උපගතො හොති. අද්දසා ඛො කූටදන්තො බ්රාහ්මණො ඛාණුමතකෙ බ්රාහ්මණගහපතිකෙ ඛාණුමතා නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතෙ යෙන අම්බලට්ඨිකා තෙනුපසඞ්කමන්තෙ. දිස්වා ඛත්තං ආමන්තෙසි: “කින්නු ඛො භො ඛත්තෙ, ඛාණුමතකා බ්රාහ්මණගහපතිකා ඛාණුමතා නික්ඛමිත්වා සඞ්ඝසඞ්ඝී ගණීභූතා යෙන අම්බලට්ඨිකා තෙනුපසඞ්කමන්තී”? ති.
Sinhala BJT3. එ සමයෙහි කුළුදත් බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහන් පැමිණියේ වේ. හේ (කවළියෙන් බලනුයේ) ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ රැස් වැ එකි එකී පසැ මුළු මුළු වැ, ගමින් පිටතැ දී මහමුළුවෙක් වැ එකතු වැ, අඹයැටිය කරා යන ඛාණුමත ගමැ වැසි බමුණන් ද ගැහැවියන් ද දිටී ය. දැක ඛත්තූහු (අසන තැන් බණුවා) බණවා “භවත් ඛත්තුව, කවර හෙයින් ඛාණුමත ගමැ වැසි බමුණෝත් ගැහැවියෝත් ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වී තැනින් තැන මුළු මුළු වැ, ගමින් පිටතැ දී මහමුළුවක් වැ එකතු වැ අඹයැටිය දෙසට යෙත් දැ? යි” යි විචාළේ ය.
Pali BJT“අත්ථි ඛො භො සමණො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො මගධෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි ඛාණුමතං අනුප්පත්තො ඛාණුමතෙ විහරති අම්බලට්ඨිකායං. තං ඛො පන භවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. තමෙතෙ භවන්තං ගොතමං දස්සනාය උපසඞ්කමන්තී”ති.
Sinhala BJT“භවත, කරුණෙක් ඇත. සැහැපුත් වූ, සැහැකුලෙන් නික්මැ පැවිදි වූ, මහණ ගොයුම්හු භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහ පැවිදි මුළුවක් හා මගද රටැ සැරි සරනුවෝ ඛාණුමත ගමට පැමිණියෝ එය අසලැ අඹයැටි උයන්හි වෙසෙති. ඒ පින්වත් ගොයුම් තෙමේ මේ මේ කරුණින් රහත් ය, සම්මාසම්බුදු ය, විදුසරණ දෙකින් යුතු ය, සුගත ය, ලොව දන්නේ යැ, නොදැමුණන් දමනුයෙහි හැමට ම වැඩි සැරි දෑ ය, දෙව්මිනිස්නට සසු ය, බුදු ය, භගවත් යැ’යි මෙසේ ඔබ පිළිබඳ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය. මොහු පින්වත් ගොයුමාණන් දක්නට එහි යෙත්”යැ යි ඛත්තු තෙමේ කීය.
Pali BJT4. අථ ඛො කූටදන්තස්ස බ්රාහ්මණස්ස එතදහොසි “සුතං ඛො පන මෙ තං: සමණො ගොතමො තිවිධං යඤ්ඤසම්පදං සොළසපරික්ඛාරං ජානාතීති. න ඛො පනාහං ජානාමි තිවිධං යඤ්ඤසම්පදං සොළසපරික්ඛාරං. ඉච්ඡාමි චාහං මහායඤ්ඤං යජිතුං. යන්නූනාහං සමණං ගොතමං උපසඞ්කමිත්වා තිවිධං යඤ්ඤසම්පදං සොළසපරික්ඛාරං පුච්ඡෙය්යන්ති”.
Sinhala BJT4. එ විටැ, කුළුදත් බමුණාට, “මහණ ගොයුම්හු තුන් යාගසම්පත් හා සොළොස් පිරිකර දනිතැ යි මා විසින් ඇසිණ. මම් වූ කලි තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් නො දනිමි. වැලි දු මහායාගයක් යදනට මම් රිසියෙමි. මහණ ගොයුමාණන් කරා එළැඹ තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් විචාළෙම් නම් යෙහෙකැ” යි මේ සිත වී ය.
Pali BJTඅථ ඛො කූටදන්තො බ්රාහ්මණො ඛත්තං ආමන්තෙසි “තෙන හි භො ඛත්තෙ යෙන ඛාණුමතකා බ්රාහ්මණගහපතිකා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා ඛාණුමතකෙ බ්රාහ්මණගහපතිකෙ එවං වදෙහි ‘කූටදන්තො භො බ්රාහ්මණො එවමාහ: ආගමෙන්තු කිර භවන්තො. කූටදන්තො’පි බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී”ති.
Sinhala BJTඉක්බිති කුළුදත් බමුණා ඛත්තූහු බණවා, “භවත් ඛත්තුව, එසේ වී නම් ඛාණුමත ගමැ වැසි ඒ බමුණු ගැහැවියන් වෙත එළැඹෙන්න. එළැඹ ‘භවත්නි, භවත්හු කුඩා තමක් බලා පොරොත්තු වෙත් වා. කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ යි මෙසේ කීයේ යැ’ යි මෙ පරිදි සැළ කරන්නැ”යි කී ය.
Pali BJT‘එවං භො’ති ඛො සො ඛත්තා කූටදන්තස්ස බ්රාහ්මණස්ස පටිස්සුත්වා යෙන ඛාණුමතකා බ්රාහ්මණගහපතිකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ඛාණුමතකෙ බ්රාහ්මණගහපතිකෙ එතදවොච “කූටදන්තො භො බ්රාහ්මණො එවමාහ: ආගමෙන්තු කිර භොන්තො. කූටදන්තො’පි බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී”ති.
Sinhala BJT‘භවත, එසේ යැ’යි කියා ඒ ඛත්තු තෙම කුළුදත් බමුණාට පිළිවදන් දී ඛාණුමත ගමැ වැසි බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹියේ ය. එළැඹ, ඔවුනට “භවත්නි, භවත්හු කුඩා තමක් බලා පොරොත්තු වෙත් වා. කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ’යි කුළුදත් බමුණු මෙසේ කීහ”යි මේ පවත් සැළ කෙළේ ය.
Pali BJT5. තෙන ඛො පන සමයෙන අනෙකානි බ්රාහ්මණසතානි ඛාණුමතෙ පටිවසන්ති ‘කූටදන්තස්ස බ්රාහ්මණස්ස මහායඤ්ඤං අනුභවිස්සාමා’ති. අස්සොසුං ඛො තෙ බ්රාහ්මණා ‘කූටදන්තො කිර බ්රාහ්මණො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී’ති. අථ ඛො තෙ බ්රාහ්මණා යෙන කූටදන්තො බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා කූටදන්තං බ්රාහ්මණං එතදවොචුං ‘සච්චං කිර භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සතී?’ති
Sinhala BJT5. එ සමයෙහි වනාහි බොහෝ සිය ගණන් බමුණෝ ‘කුළුදත් බමුණාගේ මහා යාගය වළඳන්නමු’යි ඛාණුමතයෙහි වෙසෙත්. ඒ බමුණෝ ‘කුළුදත් බමුණා මහණ ගොයුමාණන් දක්නට ඔබ කරා යෙතැ’යි ඇසූහ. ඉක්බිති ඔහු කුළුදත් බමුණු කරා එළැඹුණහ. එළැඹ ‘පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේ ල. ඒ සැබෑ දැ?’ යි ඇසූහ.
Pali BJT“එවං ඛො මෙ භො හොති: අහම්පි සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සාමී”ති.
Sinhala BJT“හවත්ති, මමත් මහණ ගොයුමාණන් දක්නට ඔබ වෙත් යන්නෙමැ යි මට මෙසේ සිතෙක් වේ ම යැ”යි කුළුදත් පැවැසී ය.
Pali BJT6. “මා භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමි. න අරහති භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සචෙ භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සති භොතො කූටදන්තස්ස යසො හායිස්සති. සමණස්ස ගොතමස්ස යසො අභිවඩ්ඪිස්සති. යම්පි භොතො කූටදන්තස්ස යසො හායිස්සති. සමණස්ස ගොතමස්ස යසො අභිවඩ්ඪිස්සති, ඉමිනාපඞ්ගෙන න අරහති භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං කූටදන්තං දස්සනාය උපසඞ්කමිතුං
Sinhala BJT6. [එ බස් අසා එ බමුණෝ කුළුදතුට මෙසේ කීහු:] “පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමන් දක්නට නො යේ වා. පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නට නො නිස්සේ ය. ඉදින් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේ නම්, පින්වත් කුළුදතුගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමාණන්ගේ යශස් වැඩෙන්නේ ය. ‘පින්වත් කුළුදතුගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමාණන්ගේ යශස් වැඩෙන්නේ’ය යන යමෙක් ඇද්ද, මේ කරුණිනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යනුවට නො නිස්සේ ය. මහණ ගොයුම්හු ම පින්වත් කුළුදතු දක්නට එනුවට නිස්සෝ ය.
Pali BJTභවං හි කූටදන්තො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච, සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන. යම්පි භවං කූටදන්තො උභතො සුජාතො මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො යාව සත්තමා පිතාමහයුගා, අක්ඛිත්තො අනුපක්කුට්ඨො ජාතිවාදෙන, ඉමිනාපඞ්ගෙන න අරහති භවං කූටදන්තො සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිතුං. සමණො ත්වෙව ගොතමො අරහති භවන්තං කූටදන්තං දස්සනාය උපසඞ්කමිතුං.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ මවු පිය දෙපසින් ම අභිජාත ය. සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ ය. කුල පිළිබඳ තෙප්ලෙන් නො හෙලන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය. පින්වත් කුළුදත් තෙමේ මවු පිය දෙපසින් ම අභිජාත ය … නො ගරහන ලද්දේ ය යන යමෙක් ඇද්ද, මේ කරුණිනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමන් දක්නට යන්නට නො නිස්සේ ය. මහණ ගොයුම්හු ම පින්වත් කුළුදතු දක්නට එන්නට නිස්සේ ය.
Pali BJTභවං හි කූටදන්තො අඩ්ඪො මහද්ධනො මහාභොගො -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ ඉසුරුමත් ය, මහත් ධන ඇත්තේ ය, මහත් භෝග ඇත්තේ ය ...
Pali BJTභවං හි කූටදන්තො අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානං පාරගූ සනිඝණ්ඩුකෙටුභානං සාක්ඛරප්පභෙදානං ඉතිහාසපඤ්චමානං, පදකො වෙය්යාකරණො ලොකායතමහාපුරිසලක්ඛණෙසු අනවයො -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ වේද හදාරන්නේ ය, වේදමන්ත්‍රයන් සිත්හි ලා දරන්නේ ය, නිඝණ්ඩු ද කෛටභශාස්ත්‍ර ද සහිත, ශික්‍ෂා හා නිරුක්ති සහිත, ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයන්ගේ පර තෙර පත්තේ ය, පදපාඨ දන්නේය, සෙසු සියලු වියරණ විදි ද දන්නේ ය, ලෝකායතශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්‍ෂණ විද්‍යායෙහිත් නිපුණ ය ...
Pali BJTභවං හි කූටදන්තො අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො, බ්රහ්මවණ්ණී බ්රහ්මවච්චසී අක්ඛුද්දාවකාසො දස්සනාය -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ අන්හට වැඩි තරම් වූ රූ සපුව ඇත්තේ ය, දැකුම් කටයුතු ය, දක්නහුට ප්‍රසාද එළවන සුලු ය, උතුම් පැහැසපුයෙත් යුතු ය, උතුම් රන්වන් පැහැ ඇත්තේ ය, උතුම් සිරුරු පැහැ ඇත්තේ ය, සිය සිරුරු සෙස්සන් විසින් දක්නට නොමඳ අවකාශ ඇත්තේ ය ...
Pali BJTභවං හි කූටදන්තො සීලවා වුද්ධසීලී වුද්ධසීලෙන සමන්නාගතො -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය, වැඩුණු ශීලයෙන් යුක්ත ය ...
Pali BJTභවං හි කූටදන්තො කල්යාණවාචො කල්යාණවාක්කරණො පොරියා වාචාය සමන්නාගතො විස්සට්ඨාය අනෙලගලාය අත්ථස්ස විඤ්ඤාපනියා -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ කලණ තෙපුල් ඇත්තේ ය, කලණ මිහිරි බස් කියන්නේ ය, නිදොස්, නොකෙළතොලු, කී දෑ හඟවනු හැකි සිලිටි බසින් සමන්‍විත ය ...
Pali BJTභවං හි කූටදන්තො බහුන්නං ආචරියපාචරියො. තීණි මාණවකසතානි මන්තෙ වාචෙති. බහූ ඛො පන නානාදිසා නානාජනපදා මාණවකා ආගච්ඡන්ති භොතො කූටදන්තස්ස සන්තිකෙ මන්තත්ථිකා මන්තෙ අධීයිතුකාමා.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය්‍ය ද ප්‍රාචාර්‍ය්‍ය ද වෙයි. තුන්සියක් බමුණු දරුවනට වේදයන් කියවයි. නන් දෙසින් නන් දනව්වෙන් බොහෝ බමුණු දරුවෝ වේදය ඉගැන්ම පතනුවෝ, වේදයන් උගනු කැමැත්තෝ පින්වත් කුළුදත්හු වෙත එති ...
Pali BJTභවං හි කූටදන්තො ජිණ්ණො වුද්ධො මහල්ලකො අද්ධගතො වයො අනුප්පත්තො. සමණො ගොතමො තරුණො චෙව තරුණපබ්බජිතො ච -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ ජරායෙන් දැදුරැ ය, වයසින් වැඩුණේ ය, මහලු ය, බොහෝ කල් ඉක්මැවූයෙක, පැසිම් වියට පැමිණියෙක. මහණ ගොයුම්හු වූ කලි ළදරුත් ළදරු පැවිද්දෙකුත් වේ ...
Pali BJTභවං හි කූටදන්තො රඤ්ඤො මාගධස්ස සෙනියස්ස බිම්බිසාරස්ස සක්කතො ගරුකතො මානිතො පූජිතො අපචිතො -පෙ-.
Sinhala BJTපින්වත් කුළුදත් තෙමේ මගධාධිපති සේනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගරු කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක, පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක ...