Pali BJTතිස්සො අකුසලධාතුයො: කාමධාතු, බ්යාපාදධාතු, විහිංසාධාතු.
Sinhala BJTඅකුශලධාතු තුනෙක: කාම ධාතු, ව්‍යාපාද ධාතු, විහිංසා ධාතු …
Pali BJTතිස්සො කුසලධාතුයො: නෙක්ඛම්මධාතු, අබ්යාපාදධාතු, අවිහිංසාධාතු.
Sinhala BJTකුශල ධාතු තුනෙක: නෛෂ්කාම්‍ය ධාතු, අව්‍යාපාද ධාතු, අවිහිංසා ධාතු …
Pali BJTඅපරාපි තිස්සො ධාතුයො: කාමධාතු, රූපධාතු, අරූපධාතු.
Sinhala BJTඅන්‍ය ද ධාතු තුනෙක: කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු …
Pali BJTඅපරාපි තිස්සො ධාතුයො: රූපධාතු, අරූපධාතු, නිරොධධාතු.
Sinhala BJTඅන්‍ය ද ධාතු තුනෙක: රූප ධාතු, අරූප ධාතු, නිරෝධ ධාතු …
Pali BJTඅපරාපි තිස්සො ධාතුයො: හීනධාතු, මජ්ඣිමධාතු, පණීතධාතු.
Sinhala BJTඅන්‍ය ද ධාතු තුනෙක: හීන ධාතු, මධ්‍යම ධාතු, ප්‍රණීත ධාතු …
Pali BJTතිස්සො තණ්හා: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා.
Sinhala BJTතෘෂ්ණා තුනෙක: කාමතෘෂ්ණා, භවතෘෂ්ණා, විභවතෘෂ්ණා …
Pali BJTඅපරාපි තිස්සො තණ්හා: කාමතණ්හා, රූපතණ්හා, අරූපතණ්හා.
Sinhala BJTඅන්‍ය ද තෘෂ්ණා තුනෙක: කාමතෘෂ්ණා, රූපතෘෂ්ණා, අරූපතෘෂ්ණා …
Pali BJTඅපරාපි තිස්සො තණ්හා: රූපතණ්හා, අරූපතණ්හා, නිරොධතණ්හා.
Sinhala BJTඅන්‍ය ද තෘෂ්ණා තුනෙක: රූපතෘෂ්ණා, අරූපතෘෂ්ණා, නිරෝධතෘෂ්ණා …
Pali BJTතීණි සංයොජනානි: සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාසො.
Sinhala BJTසංයෝජන තුනෙක: සත්කායදෘෂ්ටි, විචිකිත්සා, ශීලව්‍රතපරාමර්‍ශ …
Pali BJTතයො ආසවා: කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො.
Sinhala BJTආස්‍රව තුනෙක: කාමාස්‍රව, භවාස්‍රව, අවිද්‍යාස්‍රව …
Pali BJTතයො භවා: කාමභවො, රූපභවො, අරූපභවො.
Sinhala BJTභව තුනෙක: කාමභව, රූපභව, අරූපභව …
Pali BJTතිස්සො එසනා: කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා.
Sinhala BJTඒෂණා තුනෙක: කාම ඒෂණා, භව ඒෂණා, බ්‍රහ්මචර්‍ය්‍යා ඒෂණා …
Pali BJTතිස්සො විධා: සෙය්යො’හමස්මී ති විධා, සදිසො’හමස්මීති විධා, හීනො’හමස්මීති විධා.
Sinhala BJTවිධා (මාන) තුනෙක: මම් උතුම් වෙමි යි විධාවෙක, මම් සමානයෙමි යි විධාවෙක, මම් හීනයෙමි යි විධාවෙක …
Pali BJTතයො අද්ධා: අතීතො අද්ධා, අනාගතො අද්ධා, පච්චුප්පන්නො අද්ධා.
Sinhala BJTඅධ්ව (කාල) තුනෙක: අතීත කාලය, අනාගත කාලය, වර්‍තමාන කාලය …
Pali BJTතයො අන්තා: සක්කායො අන්තො, සක්කායසමුදයො අන්තො, සක්කායනිරොධො අන්තො.
Sinhala BJTඅන්ත තුනෙක: සත්කායය (පංචස්කන්‍ධය) එක් අන්තයෙක, සත්කාය සමුදයය (පුරිම තෘෂ්ණාවය), සත්කාය නිරෝධය (නිවන හා මග) …
Pali BJTතිස්සො වෙදනා: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා.
Sinhala BJTවේදනා තුනෙක: සුඛවේදනා ය, දුඃඛවේදනා ය. අදුඃඛඅසුඛවේදනා ය …
Pali BJTතිස්සො දුක්ඛතා: දුක්ඛදුක්ඛතා, සඞ්ඛාරදුක්ඛතා, විපරිණාමදුක්ඛතා.
Sinhala BJTදුඃඛතා තුනෙක: දුඃඛදුඃඛතා (දුක් වේදනා) ය, සංස්කාරදුඃඛතා ය (අදුඃඛඅසුඛවේදනා ය), විපරිණාමදුඃඛතා ය (සුඛවේදනා ය) …
Pali BJTතයො රාසී: මිච්ඡත්තනියතො රාසි, සම්මත්තනියතො රාසි, අනියතො රාසි.
Sinhala BJTරාශි තුනෙක: මිථ්‍යාත්‍වනියත රාශිය (නියත මිසදිට හා ආනන්තර්‍ය්‍යකර්‍ම), සම්‍යක්ත්‍වනියත රාශිය (සතර ආර්‍ය්‍යමාර්‍ගය). අනියත රාශිය (අවශේෂ ධර්‍ම) …
Pali BJTතිස්සො කඞ්ඛා:{1} අතීතං වා අද්ධානං ආරබ්භ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, අනාගතං වා අද්ධානං ආරබ්භ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති, එතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කඞ්ඛති විචිකිච්ඡති නාධිමුච්චති න සම්පසීදති.
Sinhala BJTකාඞ්ක්‍ෂා (සැක) තුනෙක: අතීත කාලය ඇරැබැ සැක කරයි, නිශ්චය කට නොහැකි ව වෙහෙසෙයි, ඇලෙනු නොහැකි වෙයි; නො පැහැදෙයි, අනාගත කාලය ඇරැබැ හෝ සැක කරයි, නිශ්චය කට නො හැකි වැ වෙහෙසෙයි, ඇලෙනු නො හැකි වෙයි; දැන් වර්‍තමාන කාලය ඇරැබැ හෝ සැක කෙරෙයි, නිශ්චය කට නො හැකි වැ වෙසෙයි, ඇලෙනු නොහැකි වෙයි, නො පැහැදෙයි.
Pali BJTතීණි තථාගතස්ස අරක්ඛෙය්යානි: පරිසුද්ධකායසමාචාරො ආවුසො තථාගතො, නත්ථි තථාගතස්ස කායදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්ය මා මෙ ඉදං පරො අඤ්ඤාසීති; පරිසුද්ධවචීසමාචාරො ආවුසො තථාගතො, නත්ථි තථාගතස්ස වචීදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්ය ‘මා මෙ ඉදං පරො අඤ්ඤාසීති; පරිසුද්ධමනොසමාචාරො ආවුසො, තථාගතො, නත්ථි තථාගතස්ස මනොදුච්චරිතං යං තථාගතො රක්ඛෙය්ය මා මෙ ඉදං පරො අඤ්ඤාසීති.
Sinhala BJTතථාගතයන් වහන්සේගේ නොරැක්කැ යුතු තැන් තුනෙකි: ඇවැත්නි, තථාගතයන් වහන්සේ පිරිසිදු කායසමාචාර ඇති සේක. මගේ මේ ක්‍රියාව මෙරමා නහමක් දනී වා යි තථාගතයන් වහන්සේ යමක් රක්නාසේක් ද (තථාගතයන් වහන්සේ විසින් රැක්කැ යුදු ද), එසේ වූ තථාගතයන් වහන්සේගේ කාය දුශ්චරිතයෙක් නැත. තථාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාචාර ඇති සේක. මෙය මෙරමා නො දනී වා’ යි යමක් තථාගතයන් වහන්සේ රක්නා සේක් ද (රැක්ක යුතු ද) එසේ වූ තථාගතයන් වහන්සේගේ වාග් දුශ්චරිතයෙක් නැත, තථාගතයන් වහන්සේ පිරිසිදු වාක්සමාචාර ඇති සේක. මෙය මෙරමා නො දනී වා’ යි යමක් තථාගතයන් වහන්සේ රක්නා සේක් ද (රැක්කැ යුතු ද) එසේ වූ තථාගතයන් වහන්සේගේ මනෝදුශ්චරිතයෙක් නැත.
Pali BJTතයො කිඤ්චනා: රාගො කිඤ්චනං, දොසො කිඤ්චනං, මොහො කිඤ්චනං.
Sinhala BJTකිඤ්චන (සත්‍වයන් බඳනා පරිබෝධ) තුනෙකි: රාගය කිඤ්නයෙකි (පරිබෝධයෙකි). ද්වේෂය කිඤ්චනයෙකි (පරිබෝධයෙකි), මෝහය කිඤ්චනයෙකි (පරිබෝධයෙකි).
Pali BJTතයො අග්ගී: රාගග්ගි, දොසග්ගි, මොහග්ගි.
Sinhala BJTඅග්නි (ගිනි) තුනෙක: රාග ගින්න ය, ද්වේෂ ගින්න ය, මෝහ ගින්න ය.
Pali BJTඅපරෙ පි තයො අග්ගී: ආහුනෙය්යග්ගි, ගහපතග්ගි, දක්ඛිණෙය්යග්ගි.
Sinhala BJTතව ද අග්නි තුනෙක: ආහුනෙයාග්නිය (මාපිය නැමැති ගින්න ය), ගෘහපත්‍යග්නිය (ගෙහිමියා නැමැති ගින්න ය), දක්‍ෂිණේයාග්නිය (භික්‍ෂුසඞ්ඝ නැමැති ගින්න ය).
Pali BJTතිවිධෙන රූපසඞ්ගහො: සනිදස්සනසප්පටිඝං රූපං, අනිදස්සනසප්පටිඝං රූපං{1}, අනිදස්සනඅප්පටිඝං රූපං.
Sinhala BJTතුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය (රූපයන් ගණන් ගැන්ම) වේ: නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) සහිත ප්‍රතිඝ (ඇසට ගොදුරු වීම් වශයෙන් හැපීම්) සහිත රූපයෙක (රූපායතනය ය), නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) නොමැති ප්‍රතිඝ (ශ්‍රොත්‍රාදියේ හැපීම්) සහිත රූපයෙක (චක්‍ෂුරායතනාදි නව ආයතන ය), නිදර්‍ශන (චක්‍ෂුර්විඥාන) නැති, ප්‍රතිඝ (හැපීම්) නැති රූපයෙක (ශුක්‍ෂමරූප ය).
Pali BJTතයො සඞ්ඛාරා: පුඤ්ඤාභිසඞ්ඛාරො, අපුඤ්ඤාභිසඞ්ඛාරො, ආනෙඤ්ජාභිසඞ්ඛාරො.
Sinhala BJTසංස්කාර තුනෙක: පුණ්‍යාභිසංස්කාරය (කාමාවචර රූපාවචර කුශල චේතනා ය), අපුණ්‍යාභිසංස්කාරය (අකුශල චේතනා), ආනෙඤ්ජාභිසංස්කාරය (අරූපාවචර කුශල චේතනා ය).
Pali BJTතයො පුග්ගලා: සෙක්ඛො පුග්ගලො, අසෙක්ඛො පුග්ගලො, නෙවසෙක්ඛොනාසෙක්ඛො පුග්ගලො.
Sinhala BJTපුද්ගලයෝ ති දෙනෙක: ශෛක්‍ෂ පුද්ගලයා ය, අශෛක්‍ෂ පුද්ගලයා ය, නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ පුද්ගලයා ය.
Pali BJTතයො ථෙරා: ජාතිථෙරො, ධම්මථෙරො, සම්මතිථෙරො.{2}
Sinhala BJTස්ථවිර ති දෙනෙකි: ජාතිස්ථවිරය (මහලුගිහි ය), ධර්‍මස්ථවිර ය (ථේරකරණිය ධර්‍ම වූ සිල්වත්බව් ආදී සතර ධර්‍මයෙන් යුක්ත පැවිද්දා ය), සම්මති ස්ථවිරය (නමින් පමණක් ස්ථවිර වූයේ ය).
Pali BJTතීණි පුඤ්ඤකිරියවත්ථූනි: දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු.
Sinhala BJTපුණ්‍යක්‍රියාවස්තු (පුණ්‍යක්‍රියා වූ ද ඒ ඒ ආනිසංසයන වස්තු කාරණ වූ ද දෑ) තුනෙක: දානමය පුණ්‍යක්‍රියාවස්තුව, ශීලමය පුණ්‍යක්‍රියාවස්තුව, භාවනාමය පුණ්‍යක්‍රියා වස්තුව.
Pali BJTතීණි චොදනාවත්ථූනි: දිට්ඨෙන, සුතෙන, පරිසංකාය.
Sinhala BJTචෝදනාවස්තු (චෝදනාවනට කරුණු වූ දෑ) තුනෙක: දැකීමෙන් චෝදනා කෙරෙති, ඇසීමෙන් චෝදනා කෙරෙති, සැක කිරීමෙන් චෝදනා කෙරෙති.
Pali BJTතිස්සො කාමූපපත්තියො{3}: සන්තාවුසො සත්තා පච්චුපට්ඨිතකාමා, තෙ පච්චුපට්ඨිතෙසු කාමෙසු වසං වත්තෙන්ති සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා කාමූපපත්ති. සන්තාවුසො සත්තා නිම්මිතකාමා, තෙ නිම්මිනිත්වා නිම්මිනිත්වා කාමෙසු වසං වත්තෙන්ති සෙය්යථාපි දෙවා නිම්මානරතී. අයං දුතියා කාමූපපත්ති. සන්තාවුසො සත්තා පරනිම්මිතකාමා, තෙ පරනිම්මිතෙසු කාමෙසු වසං වත්තෙන්ති, සෙය්යථාපි දෙවා පරනිම්මිතවසවත්තී. අයං තතියා කාමූපපත්ති.
Sinhala BJTකාමෝපපත්ති (කම් සුව විඳුම්) තුනෙක: ඇවැත්නි, එළැඹැ සිටි කාම ඇති (නිබඳ වැ පැවැති කාමවස්තු ඇති) සත්‍ව කෙනෙක් ඇත. මිනිස්සු ද ඇතැම් දෙවියෝ ද (යාමාදි සතර දෙව්ලෝ වැස්සෝ ද) ඇතැම් විනිපාතිකයෝ ද (නිරිසතුන් හැර සෙසු ආපායිකයෝ ද) යන ඒ සත්‍වයෝ එළඹැ සිටි කාමවස්තූන්හි සිය වශය (කැමැති සේ පවත්නා බව) පවත්වත්. මේ පළමු කාමෝපපත්තිය ය. ඇවැත්නි, මවාගන්නා ලද කාමවස්තු ඇති සත්‍ව කෙනෙක් ඇත. ඔහු නිර්‍මාණරති දෙවියෝ යම් සේ ද එසේ ම නිර්මිත කොට කොට ගෙන කාමවස්තූන්හි වශය පවත්වත්. මේ දෙවෙනි කාමෝපපත්තිය ය. ඇවැත්නි, මෙරමා විසින් මවන ලද කාමවස්තූන් පරිභෝග කරන සත්‍ව කෙනෙක් ඇත. ඔහු පරනිර්මිත වශවර්ත්තී දෙවියෝ යම්සේ ද එසේ අනුන් විසින් නිර්මිත කරන ලද කාමවස්තූන්හි වශය පවත්වත්. මේ තෙවෙනි කාමෝපපත්තිය ය.
Pali BJTතිස්සො සුඛූපපත්තියො:{1} සන්තාවුසො සත්තා උප්පාදෙත්වා උප්පාදෙත්වා සුඛං විහරන්ති, සෙය්යථාපි දෙවා බ්රහ්මකායිකා. අයං පඨමා සුඛූපපත්ති. සන්තාවුසො සත්තා සුඛෙන අභිස්සන්නා පරිස්සන්නා පරිපූරා පරිප්ඵුටා. තෙ කදාචි කරහචි උදානං උදානෙන්ති අහො සුඛං අහො සුඛන්ති, සෙය්යථාපි දෙවා ආභස්සරා. අයං දුතියා සුඛූපපත්ති. සන්තාවුසො සත්තා සුඛෙන අභිස්සන්නා පරිස්සන්නා පරිපූරා පරිප්ඵුටා. තෙ සන්තංයෙව තුසිතා සුඛං පටිසංවෙදෙන්ති, සෙය්යථාපි දෙවා සුභකිණ්හා. අයං තතියා සුඛූපපත්ති.
Sinhala BJTසුඛෝපපත්ති (සුව ලැබීම්) තුනෙක: ඇවැත්නි, බ්‍රහ්මකායික දෙවියෝ යම් සේ ද, එසේ උපදව උපදවා පළමු දහන් සුව විඳුනා සත් කෙනෙක් ඇත. මේ පළමු සුව ලැබීම ය. ඇවැත්නි, ආභාස්වර දෙවියෝ යම් සේ ද, එසේ (දෙවෙනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් ම තෙමුණු, පිරුණු, පැතිරැගත් සත් කෙනෙක් ඇත. ඔහු කිසි විටෙක ‘අහෝ සුවයෙකැ! අහෝ සුවයෙකැ!’ යි උදන් අනත්. මේ දෙවෙනි සුඛෝපපත්තිය ය. ඇවැත්නි, ශුභකෘත්ස්නක දෙවියෝ යම් සේ ද, එසේ (තෙවෙනි දහන්) සුවයෙන් තෙමුණු, හැම ලෙසින් තෙමුණු, පිරුණු, පැතිරැගත් සත් කෙනෙක් ඇත. ඔහු (තමන් ලද දහන් සුවින්) සතුටු වූවාහු, ශාන්ත (ප්‍රණීත) වූ ම සිත් සුවය විඳිත්. මේ තෙවෙනි සුවලැබීම ය.
Pali BJTතිස්සො පඤ්ඤා: සෙක්ඛා පඤ්ඤා, අසෙක්ඛා පඤ්ඤා, නෙවසෙක්ඛානාසෙක්ඛා පඤ්ඤා.
Sinhala BJTප්‍රඥා තුනෙක: ශෛක්‍ෂ ප්‍රඥා ය (සෝවාන් ආදී සත් ආර්‍ය ප්‍රඥා ය), අශෛක්‍ෂ ප්‍රඥා ය (රහත් පල නුවණ ය), නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ප්‍රඥා ය (මාර්‍ගඵලප්‍රඥායෙන් අන්‍ය වූ සියලු ලොවී නුවණ ය).
Pali BJTඅපරාපි තිස්සො පඤ්ඤා: චින්තාමයා පඤ්ඤා, සුතමයා පඤ්ඤා, භාවනාමයා පඤ්ඤා.
Sinhala BJTතව ද ප්‍රඥා තුනෙක: චින්තාමය ප්‍රඥාව, ශ්‍රැතමය ප්‍රඥා ව, භාවනාමය ප්‍රඥාව.
Pali BJTතීණාවුධානි: සුතාවුධං, පවිවෙකාවුධං, පඤ්ඤාවුධං.
Sinhala BJTආයුධ තුනෙක: ශ්‍රැත්‍යායුධය, ප්‍රවිවේකායුධය, ප්‍රඥායුධය.
Pali BJTතීණින්ද්රියානි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං.
Sinhala BJTඉන්‍ද්‍රිය තුනෙක: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රියය (සෝවාන් මඟ නුවණ), අඤ්ඤින්‍ද්‍රිය ය (සෝවාන් පලය පටන් කොට ඉදිරි සතන්හී නුවණ) අඤ්ඤාතාවින්‍ද්‍රිය ය (රහත්පල නුවණ).
Pali BJTතීණි චක්ඛූනි: මංසචක්ඛු, දිබ්බචක්ඛු, පඤ්ඤාචක්ඛු.
Sinhala BJTඇස් තුනෙක: මසැස, දිවැස, පැණැස.
Pali BJTතිස්සො සික්ඛා: අධිසීලසික්ඛා, අධිචිත්තසික්ඛා, අධිපඤ්ඤාසික්ඛා.
Sinhala BJTශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂාව, අධිචිත්තශික්‍ෂාව, අධිප්‍රඥාශික්‍ෂාව.
Pali BJTතිස්සො භාවනා: කායභාවනා, චිත්තභාවනා, පඤ්ඤාභාවනා.
Sinhala BJTභාවනා තුනෙක: කායභාවනාව (රහත්හුගේ පස් දොර), චිත්තභාවනාව (අට සමවත්), ප්‍රඥාභාවනාව (රහත්පල නුවණ)
Pali BJTතීණි අනුත්තරියානි: දස්සනානුත්තරියං, පටිපදානුත්තරියං, විමුත්තානුත්තරියං.
Sinhala BJTඅනුත්තරිය තුනෙක: දස්සනානුත්තරියය (උතුම් දැක් ම විදර්‍ශනාව) පටිපදානුත්තරිය ය (උතුම් ම පිළිපැදීම = ආර්‍ය්‍යමාර්‍ග ය), විමුත්තානුත්තරිය ය (උතුම් ම මිදීම = ආර්‍ය්‍යඵලය).
Pali BJTතයො සමාධී: සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි.
Sinhala BJTසමාධි තුනෙක: සවිතර්‍ක සවිචාර සමාධිය, අවිතර්‍ක විචාරමාත්‍ර සමාධිය, අවිතර්‍ක අවිචාර සමාධිය.
Pali BJTඅපරෙපි තයො සමාධී: සුඤ්ඤතො සමාධි, අනිමිත්තො සමාධි, අප්පණිහිතො සමාධි.
Sinhala BJTඅන්‍ය දු සමාධි තුනෙක: ශුන්‍යතාසමාධිය, අනිමිත්ත සමාධිය, අප්‍රණිහිත සමාධිය.
Pali BJTතීණි සොචෙය්යානි: කායසොචෙය්යං, වචීසොචෙය්යං, මනොසොචෙය්යං.
Sinhala BJTසෞචෙය (පිරිසිදු බව ඇති කරන පිළිපැදුම්) තුනෙක: කායසෞචෙය ය (තුන් කායදුශ්චරිතයෙන් වැළැක්ම), වාක්සෞචෙය ය (සතර වාග් දුශ්චරිතයෙන් වැළැක්ම), මනස්සෞචෙයය (තුන් මනෝදුශ්චරිතයෙන් වැළැක්ම).
Pali BJTතීණි මොනෙය්යානි: කායමොනෙය්යං, වචීමොනෙය්යං, මනොමොනෙය්යං.
Sinhala BJTමෞනෙය (මුනිබව කරන පිළිපැදුම්) තුනෙක්: කායමෞනේයය, වාඞ් මෞනේයය, මනෝමෞනේයය.
Pali BJTතීණි කොසල්ලානි: ආයකොසල්ලං, අපායකොසල්ලං, උපායකොසල්ලං.
Sinhala BJTකෞශල්‍ය (දක්‍ෂතා - දැනුම්) තුනෙක: ආයකෞශල්‍යය (වැඩීම දන්නා නුවණ), අපාය කෞශල්‍යය (නො වැඩීම දන්නා නුවණ), උපාය කෞශල්‍යය (වැඩුම් පිරිහුම් දෙකට කාරණ දන්නා නුවණ).
Pali BJTතයො මදා: ආරොග්යමදො, යොබ්බනමදො, ජීවිතමදො.
Sinhala BJTමද තුනෙක: ආරෝග්‍යමදය (නිරෝග බව නිසා උපදනා උඬගු බව), යෞවන මදය (තරුණ බව නිසා උපදනා උඩඟු බව), ජීවිත මදය (බොහෝ කල් ජීවත් වීමි සුවසේ ජීවත් වීමි ජීවත්වන්නෙමි යන ආදීන් ජීවත්වීම පිළිබඳ ව උපදනා උඩඟු බව).
Pali BJTතීණි ආධිපතෙය්යානි: අත්තාධිපතෙය්යං, ලොකාධිපතෙය්යං, ධම්මාධිපතෙය්යං.
Sinhala BJTආධිපත්‍ය තුනෙක: ආත්මාධිපත්‍යය (ආත්මගෞරවය නිසා පව් නො කරන බව), ලෝකාධිපත්‍යය (ලෝකයා අධිපති කොට ගෙන ලෝකයාගෙන් අපවාද ලැබෙතැ යි සලකා පව් නොකරන බව), ධර්‍මාධිපත්‍යය (ලොවුතුරාදහම් අධිපති කොට ගෙන - ලොවුතුරා දහම් පසක් කළ බැවින් පව් නොකරන බව).
Pali BJTතීණි කථාවත්ථූනි: අතීතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය එවං අහොසි අතීතමද්ධානන්ති, අනාගතං වා අද්ධානං ආරබ්භ කථං කථෙය්ය එවං භවිස්සති අනාගතමද්ධානන්ති, එතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථං කථෙය්ය එවං හොති එතරහි පච්චුප්පන්නං අද්ධානන්ති.
Sinhala BJTකථාවස්තු (කථාවට කරුණු) තුනෙක: අතීතය මෙසේ වී යැ යි අතීත කාලය ඇරැබැ කථා කරන්නේ ය. අනාගතය මෙසේ වන්නේ යැ යි අනාගත කාලය ඇරැබැ හෝ කථා කරන්නේ ය, දැන් පවත්නා කාලය මෙසේ වේ යැ යි වර්‍තමාන කාලය ඇරැබැ හෝ කථා කරන්නේ ය.
Pali BJTතිස්සො විජ්ජා: පුබ්බෙනිවාසානුස්සතිඤාණං විජ්ජා, සත්තානං චුතූපපාතෙ ඤාණං විජ්ජා, ආසවානං ඛයෙ ඤාණං විජ්ජා.
Sinhala BJTවිද්‍යා තුනෙක: පෙරැ වුසූ කඳපිළිවෙළ සිහි කරන නුවණ විද්‍යාවෙක, සතුන්ගේ ච්‍යුති උපපත්ති දන්නා නුවණ විද්‍යාවෙක, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙහි නුවණ (මාර්‍ගඥානය) විද්‍යාවෙක.
Pali BJTතයො විහාරා: දිබ්බො විහාරො, බ්රහ්මා විහාරො, අරියො විහාරො.
Sinhala BJTවිහාර (වුසුම්) තුනෙක: දිව්‍ය විහාරය (අට සමවත් ය), බ්‍රහ්මවිහාරය (අප්‍රාමාණ්‍ය සතරය), ආර්‍ය්‍යවිහාරය (පලසමවත්ය).
Pali BJTතීණි පාටිහාරියානි: ඉද්ධිපාටිහාරියං, ආදෙසනාපාටිහාරියං, අනුසාසනීපාටිහාරියං.
Sinhala BJTප්‍රාතිහාර්‍ය්‍ය තුනෙක: ඍද්ධිප්‍රාතිහාර්‍ය්‍යය, ආදේශනප්‍රාතිහාර්‍ය්‍යය, අනුශාසනිප්‍රාතිහාර්‍ය්‍යය.
Pali BJTඉමෙ ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන තයො ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං -පෙ- අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං.
Sinhala BJTඇවැත්නි, දන්නා දක්නා අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මේ තුන් ධර්‍ම කෙනෙක් මොනොවට වදාරන ලද්දාහ. එහි සියල්ලන් විසින් ම … සමග වැ ගැයිය යුතු … එය … දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.
Pali BJTචතුක්කං
Sinhala BJTචතුෂ්කය
Pali BJT10. අත්ථි ඛො ආවුසො තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන චත්තාරො ධම්මා සම්මදක්ඛාතා. තත්ථ සබ්බෙහෙව සඞ්ගායිතබ්බං න විවදිතබ්බං යථයිදං බ්රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං. තදස්ස බහුජනහිතාය බහුජනසුඛාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමෙ චත්තාරො?
Sinhala BJT10. ඇවැත්නි, දන්නාවූ දක්නාවූ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට වදාරන ලද සතර ධර්‍ම කෙනෙක් ඇත. එහි මෙ සස්න බොහෝ කල් පැවැතියැ හැකි වනු පිණිස, චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින් ම සමග වැ ගැයියැ යුතු, විවාද නො කළ යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, දෙව්මිනිස්නට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය. ඒ කවර සතර ධර්‍මයෝ ද? යත්:
Pali BJTචත්තාරො සතිපට්ඨානා: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වෙදනානුපස්සී -පෙ- චිත්තෙ චිත්තානුපස්සී -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTසතිපට්ඨානයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යාවත් දොම්නසත් බැහැරැ කොට රූ කයෙහි කය අනුව බලන්නේ වෙසෙයි … වේදනාවන්හි වේදනා අනුවැ බලන්නේ … වෙසෙයි. සිත්හි සිත් අනුවැ බලන්නේ … වෙසෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, නුවණින්දන්නේ, සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යාවත් දොම්නසත් බැහැරැ කොට ධර්‍මයන්හි ධර්‍ම අනුවැ බලන්නේ වෙසෙයි.
Pali BJTචත්තාරො සම්මප්පධානා: ඉධාවුසො භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාපාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති.
Sinhala BJTසම්‍යක්ප්‍රධානයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ නූපන් ලාමක අකුසල් දහමුන් නො උපදනා පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් ලාමක අකුසල් දහමුන් බැහැරැ ලනු පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. නූපන් කුසල් දහමුන් ඉපැත්ම පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි. උපන් කුසල් දහමුන් සිටිනු පිණිස, නොනස්නා පිණිස, බොහෝ සෙයින් වනු පිණිස,මහත් වනු පිණිස, භාවනායෙන් පිරෙනු පිණිස ඡන්‍දය උපදවයි, වෑයම් කරයි, වැර වඩයි, සිත ඔසොවයි, පිහිටුවයි.
Pali BJTචත්තාරො ඉද්ධිපාදා: ඉධාවුසො භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. චිත්තසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීරියසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති.
Sinhala BJTඍද්ධිපාදයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙම කත්තුකම්‍යතා ඡන්‍දය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (හෙවත්) චතුෂ්කෘත්‍ය සාධක සම්‍යක්ප්‍රධානවීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි, චිත්තය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන සංස්කාරයෙන් (ප්‍රධාන වීර්‍ය්‍යයෙන්) ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි, වීර්‍ය්‍යය අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධානසංස්කාරයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි. මීමාංසාව (ප්‍රඥාව) අධිපති කොට ගෙන ලත් සමාධියෙන් ද ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ද යුක්ත වූ ඍද්ධිපාදය වඩයි.
Pali BJTචත්තාරි ඣානානි: ඉධාවුසො භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං{1} උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං{2} උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යන්තං අරියා ආචික්ඛන්ති ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති, තං තතියං ඣානං{3} උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං. අත්ථගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං{4} උපසම්පජ්ජ විහරති.
Sinhala BJTධ්‍යාන සතරෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම, විතර්‍ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති ප්‍රථම ධ්‍යානය ලැබ වෙසෙයි; විතර්‍ක විචාර දෙක සංසිඳීමෙන් තමා තුළ පහන්බව ඇති කරන, සිතේ එක් අරමුණෙක ම පිහිටි බව ඇති, විතර්‍ක නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතිය හා සුඛවේදනාව ඇති, ද්වීතිය ධ්‍යානය ලැබ වෙසෙයි: ප්‍රීතිය ද දුරැ ලීමෙන් උපේක්‍ෂක ව ද වෙසෙයි, සිහි ඇත්තේ ද නුවණින් දන්නේ, නාම කයින් සුවය විඳියි. ‘උපේක්‍ෂා ඇති, සිහි ඇති, සුව වුසුම් ඇති යේ යැ’ යි යමක්හු ඇරැබැ ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වෙසෙයි; සුඛවේදනාව ද බැහැරැ කිරීමෙන්, දුක් වේදනාව ද බැහැර කිරීමෙන් පළමුවෙන් ම සොම්නස් දොම්නසුන් පහ වැ යෑමෙන්, සුව ද දුක් ද නොවන, උපේක්‍ෂායෙන් සිද්ධ වූ සිහියැ පිරිසිදු බව ඇති චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙයි.
Pali BJTචතස්සො සමාධිභාවනා: අත්ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති. අත්ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති. අත්ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති. අත්ථාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
Sinhala BJTසමාධිභාවනා සතරෙක: ඇවැත්නි, යමෙක් භාවිත වූයේ (වඩන ලද්දේ) බහුලීකෘත වූයේ (බහුල කොට කරන ලද්දේ) මෙ අත්බව්හි ම සුව වුසුම පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය ලබනු පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ සිහි නුවණ පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත; යමෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස පවත්නේ ද එසේ වූ සමාධිභාවනාවෙක් ඇත.
Pali BJTකතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති? ඉධාවුසො භික්ඛු විවිච්චෙ ව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං -පෙ- පඨමං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති.
Sinhala BJTඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ මෙ අත්බව්හි සුව වුසුම පිණිස පවතී ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන් ව ම, අකුසල් දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍කසහිත … ප්‍රථම ධ්‍යානයට … ද්විතීය ධ්‍යානයට … තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේ. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ මෙ අත්බව්හි සුව වුසුම පිණිස පවතී.
Pali BJTකතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති? ඉධාවුසො භික්ඛු ආලොකසඤ්ඤං මනසි කරොති, දිවාසඤ්ඤං අධිට්ඨාති යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා. ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ඤාණදස්සනපටිලාභාය සංවත්තති.
Sinhala BJTඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය (දිවැස් නුවණ) ලබනු පිණිස පවත්නේ ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ තමා දහවල් දුටු ආලෝකය යම් සේ නම් එසේ ම එය රාත්‍රියෙහි ද, රාත්‍රියෙහි දුටු ආලෝකය යම්සේ නම් එසේ ම එය දහවල් දැ යි (හිරු පහන් ආදීන්ගේ ආලෝකය අරමුණු කොට) ආලෝක සංඥාව මෙනෙහි කෙරෙයි, දහවලැ යි සංඥාව සිතැ පිහිටුවයි. මෙසේ නොවැසුණු (විවෘත වූ) හාත්පසැ නොබැඳුණු සිතින් ආලෝක සහිත ධ්‍යාන සිත වඩයි. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ බහුලීකෘත වූයේ දර්‍ශනඥානය (දිවැස්නුවණ) ලබනු පිණිස පවතී.
Pali BJTකතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති? ඉධාවුසො භික්ඛුනො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථුං ගච්ඡන්ති. විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථුං ගච්ඡන්ති. විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා සතිසම්පජඤ්ඤාය සංවත්තති.
Sinhala BJTඇවැත්නි, කවර සමාධිභාවනාවෙක් භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ස්මෘතිසම්ප්‍රජානනය පිණිස පවත්නේ ද? යත්: මහණෙනි, මෙහි මහණහු විසින් වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්; සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්; විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්, දන්නා ලද්දාහු එළැඹැ සිටිත්, දන්නා ලද්දාහු නැසීමට යෙත්. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ස්මෘතිසම්ප්‍රජානනය පිණිස පවතී.
Pali BJTකතමා චාවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති? ඉධාවුසො භික්ඛු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති. ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථුංගමො. ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සංඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථුගමො. අයං ආවුසො සමාධිභාවනා භාවිතා බහුලීකතා ආසවානං ඛයාය සංවත්තති.
Sinhala BJTඇවැත්නි, කවර සමාධිභාවනායෙක් භාවිත වූයේ, බහුලීකෘත වූයේ, ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස පවත්නේ ද? යත්: ඇවැත්නි, මෙහි මහණ තෙමේ ‘රූපය මෙසේ ය, රූපයේ ඉපැද්ම මෙසේ ය, රූපයේ වැනැස්ම මෙසේ ය, වේදනාව මෙසේ ය, වේදනාවේ ඉපැද්ම මෙසේ ය, වේදනාවේ වැනැස්ම මෙසේ ය, සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය, විඥානයේ ඉපැද්ම මෙසේ ය, විඥානයේ වැනැස්ම මෙසේ යැ’ යි උපාදානස්කන්‍ධ පසෙහි උදය ව්‍යයය (ඉපැද්ම හා වැනැස්ම) අනුව දක්නේ වෙසෙයි. ඇවැත්නි, මේ සමාධිභාවනාව භාවිත වූයේ, බහුලීකෘත වූයේ ආස්‍රවයන්ගේ ක්‍ෂයය පවතී.
Pali BJTචතස්සො අප්පමඤ්ඤා: ඉධාවුසො භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථුං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන{1} ඵරිත්වා විහරති. -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං. තථා තතියං. තථා චතුත්ථුං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බංවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරති.
Sinhala BJTඅප්‍රාමාණ්‍යයෝ සතර දෙනෙක: ඇවැත්නි, මෙහි මහණ තෙමේ මෙත් සහගිය සිතින් එක් දෙසක් පැතිරැගෙන වෙසෙයි, එසේ දෙවෙනි දෙස, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැතිරැ ගෙන වෙසෙයි. මෙ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්‍වලෝකය (පැතිරීම් වශයෙන්) විපුල වූ, (භූමිවශයෙන්) මහද්ගත වූ අප්‍රමාණ සතුන් අරමුණු කොටැති, සතුරන් නැති, ව්‍යාපාද (වෛර) නැති, මෙත් සහගත සිතින් පැතිරැගෙන වෙසෙයි … කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙසක්, එසේ තෙවෙනි දෙස, එසේ සතරවැනි දෙස පැතිරැගෙන වෙසෙයි. මෙ පරිද්දෙන් උඩ යට සරස යන හැම තන්හි සියලු සතුන් තමාට සමතායෙන්, සියලු සතුන්ගෙන් යුත් සත්‍වලෝකය විපුල වූ, මහද්ගත වූ, අප්‍රමාණ සතුන් අරමුණු කොටැති, සතුරන් නැති, ව්‍යාපාද නැති උපේක්‍ෂාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි.
Pali BJTචත්තාරො ආරුප්පං:{2} ඉධාවුසො භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථුගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණන්ති’ විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
Sinhala BJTආරූප්‍ය සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ හැම ලෙසින් රූපසංඥාවන් ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරු වීමෙන්, නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන්, ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතන සමාධියට පැමිණ වෙසෙයි, හැම පරිද්දෙන් ආකිඤ්චඤ්ඤායතන සමාධිය ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාධියට පැමිණ වෙසෙයි.
Pali BJTචත්තාරි අපස්සෙනානි: ඉධාවුසො භික්ඛු සඞ්ඛායෙකං පටිසෙවති, සඞ්ඛායෙකං අධිවාසෙති, සඞ්ඛායෙකං පරිවජ්ජෙති, සඞ්ඛායෙකං විනොදෙති.
Sinhala BJTඅපස්සේන (අපශ්‍රයණ) සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ නුවණින් දැන සේවනය කළ යුතු එක ම සෙවියි, නුවණින් දැන ඉවැසියැ යුතු එක ම ඉවසයි, නුවණින් දැන ඉවත් කළ යුතු එක ම ඉවත් කෙරෙයි, නුවණින් දැන දුරු කළ යුතු එක ම දැය දුරු කෙරෙයි.
Pali BJTචත්තාරො අරියවංසා: ඉධාවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන චීවරෙන, ඉතරීතරචීවරසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච, චීවරහෙතු අනෙසනං අප්පටිරූපං ආපජ්ජති, අලද්ධා ච චීවරං න පරිතස්සති, ලද්ධා ච චීවරං අගථිතො{1} අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති. තාය ච පන ඉතරීතරචීවරසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති යො හි තත්ථ දක්ඛො හොති අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චතාවුසො භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතොති.
Sinhala BJTආර්‍ය්‍යවංශ ධර්‍ම සතරෙක: මහණෙනි, මෙහි මහණ තෙමේ ඉතරෙතර චීවරයෙන් (ලැබුණු යම් කවර හෝ සිවුරෙකින්) සතුටු වෙයි. ලැබුණු කවර හෝ සිවුරෙකින් සතුටු වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, සිවුර හේතු කොට ගෙන නො සුදුසු වූ අනෙෂණයකට නො පැමිණෙයි, සිවුරක් නො ලැබීමෙන් ද නො කලකිරෙයි. සිවුරක් ලැබ ද ලෝභයෙන් නො ගැටගැසුණේ (අධික තෘෂ්ණායෙන්) මුසපත් නොවූයේ, (තෘෂ්ණායෙන්) නොබැඳුණේ (අනෙෂණයෙන් ප්‍රත්‍යය ලැබීමෙහිත් තෘෂ්ණායෙන් බැඳී පරිභෝග කිරීමෙහිත්) දොස් දක්නා සුලු වූයේ, (හුදු ශීත නැසීම පිණිසය යන ආදීන් පස්විකීම් වශයෙන්) නිඃශරණප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි. ඒ ඉතරෙතරචීවර සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඒ චීවරසන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ තෙමේ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන පිණ්ඩපාතෙන, ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච පිණ්ඩපාතහෙතු අනෙසනං අප්පටිරූපං ආපජ්ජති, අලද්ධා ච පිණ්ඩපාතං න පරිතස්සති, ලද්ධා ච පිණ්ඩපාතං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරපිණ්ඩපාතසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති. සො හි තත්ථ දක්ඛො හොති අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චතාවුසො භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතොති.
Sinhala BJTඇවැත්නි, තව ද මහණ තෙමෙ ඉතරෙතර පිණ්ඩපාතයෙන් (යම් කවර හෝ ලැබුණු බොජුනෙකින්) තෘප්ත වෙයි, ඉතරෙතර පිණ්ඩපාතයෙන් තෘප්ත වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, පිණ්ඩපාතය හේතු කොට ගෙන නොසුදුසු අනෙෂණයකට නො පැමිණෙයි, පිණ්ඩපාතය නො ලැබීමෙන් ද නො කලකිරෙයි, පිණ්ඩපාතය ලැබ ද ලෝභයෙන් නො ගැට ගැසුණේ, අධික තෘෂ්ණායෙන් මුස පත් නො වූයේ, (තෘෂ්ණායෙන්) නො බැඳුණේ, එහි දොස් දක්නා සුලු වූයේ, නිඃශරණ ප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි, ඒ ඉතරෙතර පිණ්ඩපාත සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඒ පිණ්ඩපාත සන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ තෙමෙ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරෙන සෙනාසනෙන, ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා ච වණ්ණවාදී, න ච සෙනාසනහෙතු අනෙසනං අප්පටිරූපං ආපජ්ජති, අලද්ධා ච සෙනාසනං න පරිතස්සති ලද්ධා ච සෙනාසනං අගථිතො අමුච්ඡිතො අනජ්ඣාපන්නො ආදීනවදස්සාවී නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති, තාය ච පන ඉතරීතරසෙනාසනසන්තුට්ඨියා නෙවත්තානුක්කංසෙති න පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො හොති අනලසො සම්පජානො පතිස්සතො, අයං වුච්චතාවුසො භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතොති.
Sinhala BJTඇවැත්නි, තව ද මහණ තෙමෙ ඉතරෙතර ශයනාසනයෙන් (ලැබුණු යම් කවර ද සෙනස්නෙකින්) තෘප්ත වෙයි, ඉතරෙතර ශයනාසනයෙන් තෘප්ත වීමෙහි ගුණ කියන සුලු ද වෙයි, ශයනාසන හේතු කොට ගෙන නොසුදුසු අනෙෂණයකට නො පැමිණෙයි, ශයනාසන නොලැබීමෙන් ද නො කලකිරෙයි, ශයනාසන ලැබ ද එහි (ලෝභයෙන්) නො ගැට ගැසුණේ, (අධිකතෘෂ්ණායෙන්) මුසපත් නොවූයේ, (තෘෂ්ණායෙන්) නො බැඳුණේ එහි දොස් දක්නා සුලු වූයේ, නිඃශරණප්‍රඥා ඇත්තේ පරිභෝග කෙරෙයි. ඒ ඉතරෙතර ශයනාසන සන්තෝෂයෙන් තමා හුවා නො දක්වයි, මෙරමා හෙලා නො දකී. හේ වූ කලි ඉතරෙතර ශයනාසන සන්තෝෂයෙහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ, මනා නුවණින් දන්නේ, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ පැරැණි වූ අග්‍ර යැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
Pali BJTපුන චපරං ආවුසො භික්ඛු පහානාරාමො හොති පහානරතො භාවනාරාමො හොති භාවනාරතො, තාය ච පන පහානාරාමතාය පහානරතියා භාවනාරාමතාය භාවනාරතියා නෙව අත්තානුක්කංසෙති න පරං වම්භෙති. යො හි තත්ථ දක්ඛො අනලසො සම්පජානො, පතිස්සතො, අයං වුච්චතාවුසො භික්ඛු පොරාණෙ අග්ගඤ්ඤෙ අරියවංසෙ ඨිතොති.
Sinhala BJTඇවැත්නි, තව ද මහණ තෙමෙ (පංචවිධ) ප්‍රහාණයෙහි ඇලුම් ඇත්තේ, ප්‍රහාණයෙහි ඇලුණේ වෙයි, භාවනායෙහි ඇලුම් ඇත්තේ, භාවනායෙහි ඇලුණේ වෙයි. ඒ ප්‍රහාණාරමතා හේතුයෙන්, ඒ ප්‍රහාණරති හේතුයෙන්, ඒ භාවනාරාමතා හේතුයෙන්, ඒ භාවනාරති හේතුයෙන් තමා නො ම හුවා තබයි, මෙරමා නො ම හෙලා දකී. හේ එහි ව්‍යක්ත වූයේ, අනලස් වූයේ මනා නුවණින් දන්නේ, එළැඹ සිටි සිහි ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ මහණ පැරැණි වූ අග්‍රයැ යි දන්නා ලද, ආර්‍ය්‍යවංශ ධර්‍මයෙහි සිටියේ යැ යි කියනු ලැබේ.
Pali BJTචත්තාරි පධානානි: සංවරප්පධානං, පහානප්පධානං, භාවනාප්පධානං{1}, අනුරක්ඛණප්පධානං{2}.
Sinhala BJTප්‍රධානයෝ (උතුම් වීර්‍ය්‍යයෝ) සතර දෙනෙක: සංවරප්‍රධානය, ප්‍රහාණප්‍රධානය, භාවනාප්‍රධානය, අනුරක්‍ෂණප්‍රධානය යන සතර යැ.
Pali BJTකතමඤ්චාවුසො සංවරප්පධානං? ඉධාවුසො භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී යත්වාධිකරණමෙනං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති චක්ඛුන්ද්රියං, චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨිබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙනං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣාදොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති, රක්ඛති මනින්ද්රියං මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. ඉදං වුච්චතාවුසො සංවරප්පධානං.
Sinhala BJTඇවැත්නි, සංවරප්‍රධාන නම් කවරේ යැ? මහණෙනි, මෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක එහි (කෙලෙස් ඉපැද්මට වස්තු වූ) නිමිත්තක් ගන්නා සුලු නො වෙයි. අනුව්‍යඤ්ජනයක් (හස්ත පාද හෝ සිනහ ආදි ආකාරයක්) ගන්නා සුලු නො වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවර නැති වැ වසන තෙල පුඟුලා ලාමක අකුශලධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳින්නාහු ද එය හවුරනු පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රැකගනී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කනින් හඬ අසා … නාශායෙන් ගඳ ආඝ්‍රාණය කොට … දිවෙන් රස විඳ … කයින් ස්ප්‍රෂ්ටව්‍යයක් පැහැස … මනසින් ධර්‍මාලම්බනයක් සිතා එහි නිමිති ගන්නා සුලු නො වෙයි. අනුව්‍යංජනයක් ගන්නා සුලු නො වෙයි. යම් කරුණෙකින් මනඉන්‍ද්‍රියයෙහි සංවර නැති වැ වසන තෙල පුඟුලා ලාමක අකුශල ධර්‍ම වූ අභිධ්‍යාදෞර්‍මනස්‍යයෝ ලුහුබඳනාහු ද, එය හවුරනු පිණිස පිළිපදී, මන ඉන්‍ද්‍රියය රැකගනී, මන ඉන්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ඇවැත්නි, මෙය සංවරප්‍රධානයැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්චාවුසො පහානප්පධානං? ඉධාවුසො භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. උප්පන්නං බ්යාපාදවිතක්කං -පෙ- උප්පන්නං විහිංසාවිතක්කං -පෙ- උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ නාධිවාසෙති පජහති විනොදෙති බ්යන්තීකරොති අනභාවං ගමෙති. ඉදං වුච්චතාවුසො පහානප්පධානං.
Sinhala BJTඇවැත්නි, ප්‍රහාණප්‍රධානය කවරේ ද? මහණෙනි, මෙහි මහණ තෙමේ උපන් කාමවිතර්‍කය නො ඉවසයි. හැර පියයි බැහැරැ කෙරෙයි, ක්‍ෂීණ කෙරෙයි, යලි නො හටගන්නා බවට පමුණුවයි. උපන් ව්‍යාපාදවිතර්‍කය … උපන් විහිංසාවිතර්‍කය … උපන් උපන් ලාමක අකුසල් දහමුන් නොඉවසයි, හැරපියයි, බැහැරි කෙරෙයි, ක්‍ෂීණ කෙරෙයි, යලි නොහටගන්නා බවට පමුණුවයි. ඇවැත්නි, මෙය ප්‍රහාණප්‍රධාන යැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්චාවුසො භාවනාප්පධානං? ඉධාවුසො භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං: ඉදං වුච්චතාවුසො භාවනාප්පධානං.
Sinhala BJTඇවැත්නි, භාවනාප්‍රධානය කවරේ ද? ඇවැත්නි, මෙහි මහණ තෙමේ නුවණින් සලකා විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ, වොස්සග්ගය (ක්ලේශත්‍යාගයට හා නිවන් පසක් කිරීම) අතට නැඹුරු ව මුහුකුරා යන ස්මෘතිසම්බොධ්‍යඞ්ගය වඩයි … ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වඩයි … වීර්‍ය්‍ය සම්බෝධ්‍යඞ්ගය වඩයි … ප්‍රීතිසම්බෝධ්‍යඞ්ගය වඩයි …ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … සමාධිසම්බෝධ්‍යඞ්ගය වඩයි … විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ, වොස්සග්ගය අතට නැඹුරු වැ මුහුකුරා සම්බෝධ්‍යඞ්ගය වඩයි. ඇවැත්නි, මේ භාවනාප්‍රධානයැ යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්චාවුසො අනුරක්ඛනප්පධානං? ඉධාවුසො භික්ඛු උප්පන්නං භද්දකං{1} සමාධිනිමිත්තං අනුරක්ඛති අට්ඨිකසඤ්ඤං පුලවකසඤ්ඤං{2} විනීලකසඤ්ඤං විච්ඡිද්දකසඤ්ඤං උද්ධුමාතකසඤ්ඤං. ඉදං වුච්චතාවුසො අනුරක්ඛනප්පධානං.
Sinhala BJTඇවැත්නි අනුරක්‍ෂණප්‍රධානය කවරේ ද? ඇවැත්නි මෙහි මහණ තෙමේ අට්ඨිකසඤ්ඤා ය පුලවකසඤ්ඤා ය විනීලකසඤ්ඤා ය විච්ඡිද්දකසඤ්ඤා ය උද්ධුමාතකසඤ්ඤා ය යන මොවුන්ගේ වශයෙන් උපන් යහපත් සමාධිනිමිත්තය (චිත්තසමාධිය) රැකගනී. ඇවැත්නි මෙය අනුරක්‍ෂණප්‍රධාන යැ යි කියනු ලැබේ.
Pali BJTචත්තාරි ඤාණානි: ධම්මෙ ඤාණං, අන්වයෙ ඤාණං, පරියායෙ{3} ඤාණං, සම්මුතියා ඤාණං.”
Sinhala BJTඥාන සතරෙක: සිවුසස් පිළිවිදුනා නුවණ, සිවුසස් නුවණ අනුව ගිය නුවණ, පර සිත් දන්නා නුවණ, සම්මතියෙහි නුවණ (උඩ කී තුන් නුවණින් ඉතිරි සියලු නුවණ.)
Pali BJTඅපරානි පි චත්තාරි ඤාණානි: දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
Sinhala BJTඅන්‍ය වූ ද ඥාන සතරෙක: දුකෙහි නුවණ, දුක උපදවන හේතුයෙහි නුවණ, දුඃඛනිරෝධයෙහි නුවණ, දුක් නැස්මට යන පිළිවෙත්හි නුවණ.
Pali BJTචත්තාරි සොතාපත්තියඞ්ගානි: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසො මනසිකාරො, ධම්මානුධම්මප්පටිපත්ති.
Sinhala BJTශ්‍රෝත ආපත්‍යඞ්ග (සෝවන් මඟ ලබනුවට කරුණු) සතරෙක : සත්පුරුෂ සේවනය, බණ ඇසීම, උපාය මනස්කාරය, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තිය.
Pali BJTචත්තාරි සොතාපන්නස්ස අඞ්ගානි: ඉධාවුසො අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ඉති පි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති.
Sinhala BJTශ්‍රෝත ආපන්නාඞ්ග (සෝවාන් වූවහුගේ අංග) සතරෙක: ඇවැත්නි, මෙහි ආර්‍ය ශ්‍රාවකයා බුදුරජු කෙරෙහි ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව් මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
Pali BJTධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{1} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTධර්‍මය කෙරෙහි ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මොනොවට (ත්‍රිවිධ කල්‍යාණාදි විසින්) මොනොවට වදාරන ලද්දේ ය. එය තමා විසින් දැක්කැ යුතු ය, කල් නොයවා පල දෙන්නේ ය, ‘එව, බලව’ යි විධානයට සුදුසු ය, භාවනා වශයෙන් තම සිතැ එළැවීමට සුදුසු ය. (උද්ඝාටිතඥාදි නුවණැත්තන් විසින්) තම තමා කෙරෙහි දත යුතු යැ’ යි දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
Pali BJTසඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨ පුරිසපුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුණෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
Sinhala BJTසඞ්ඝයා කෙරෙහි ‘පුරුෂ යුගල සතරෙක් වූ, පුරුෂ පුද්ගල අට දෙනෙක් වූ, භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ මනා පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ඍජු වූ පිළිවෙතට පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් පිණිස පිළිපන්නේ වෙයි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචි කර්‍මයට සුදුසු වැ පිළිපන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ දුරැ සිටැ ද ගෙනවුත් සිල්වත්නට දියැ යුතු දන් පිළිගැන්මට සුදුසු ය, ආගන්තුක දානය පිළිගැන්මට සුදුසු ය, හැමට පළමු ව ගෙනවුත් පිදියැ යුතු දන් පිළිගන්නට සුදුසු ය, දක්‍ෂිණාව (පරලොව සඳහා දියැ යුතු දන්) පිළිගන්නට සුදුසු ය, දොහොත් මුදුනැ තබා වැන්දැ යුතු ය, සියලු ලොවට නිරුත්තර පින්කෙත යැ’ යි ගුණ දැන පැහැදීමෙන් සමන්‍විත වෙයි.
Pali BJTඅරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි.
Sinhala BJTමුලැ හෝ අගැ නොබුන් සිකපද ඇති, මැදැ නොබුන් සිකපද ඇති, පිළිවෙළින් දෙක තුන බැගින් නොබුන් සිකපද ඇති, අතරතුරැ නොබුන් සිකපද ඇති, තෘෂ්ණාදාසත්‍වයෙන් මිදුණු බුද්ධාදි විඥයන් විසින් පසස්නා ලද තෘෂ්ණා දෘෂ්ටීන් විසින් පරාමර්‍ශනය නො කරන ලද, සමාධිය පිණිස පවත්නා, ආර්‍ය්‍යයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්‍විත වෙයි.
Pali BJTචත්තාරි සාමඤ්ඤඵලානි: සොතාපත්තිඵලං, සකදාගාමිඵලං, අනාගාමිඵලං, අරහත්තඵලං.
Sinhala BJTශ්‍රාමණ්‍යඵල (මහණකමේ ඵල) සතරෙකි. ශ්‍රෝත ආපත්තිඵලය, සකෘදාගාමිඵලය, අනාගාමි ඵලය, අර්‍හත්ත්‍වය ඵලය.
Pali BJTචතස්සො ධාතුයො: පඨවීධාතු, ආපොධාතු, තෙජොධාතු, වායොධාතු.
Sinhala BJTධාතු සතරෙක: පෘථිවිධාතුව, ආපෝධාතුව, තේජෝධාතුව, වායුධාතුව.
Pali BJTචත්තාරො ආහාරා: කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං.
Sinhala BJTආහාර සතරෙක: දළ වූ හෝ සියුම් වූ කබලීකාරාහාරය, දෙවෙනි ස්පර්‍ශාහාරය, තෙවෙනි මනස්සඤ්චේතනාහාරය, සතර වැනි විඥානාහාරය.
Pali BJTචතස්සො විඤ්ඤාණට්ඨිතියො: රූපූපයං වා ආවුසො විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති, රූපාරම්මණං රූපප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති. වෙදනූපයං වා ආවුසො -පෙ- සඤ්ඤූපයං වා ආවුසො -පෙ- සඞ්ඛාරූපයං වා ආවුසො විඤ්ඤාණං තිට්ඨමානං තිට්ඨති, සඞ්ඛාරාරම්මණං සඞ්ඛාරප්පතිට්ඨං නන්දූපසෙචනං වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජති.
Sinhala BJTවිඥානස්ථිතිහු (සිත සිටුනා තැන්) සතර දෙනෙක: ඇවැත්නි, (පඤ්චවෝකාර භවයෙහි) රූපස්කන්‍ධය ඇසුරු කොට, රූපස්කන්‍ධය ගොදුරු කොටැ රූපස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට, තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී. වැඩීමට වැවීමට මහත් බවට පැමිණේ. ඇවැත්නි, (චතුවෝකාර භවයෙහි) වේදනාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංඥාස්කන්‍ධය ඇසුරු කොට … හෝ සංස්කාරස්කන්‍ධය ඇසුරු කොට, සංස්කාර ස්කන්‍ධය ගොදුරු කොට, සංස්කාර ස්කන්‍ධය ප්‍රතිෂ්ඨා කොට තෘෂ්ණායෙන් තෙමන ලදු වැ අභිසංස්කාර විඥානය එළැඹ සිටිනුයේ සිටී, වැඩීමට වැවීමට මහත් බවට පැමිණෙයි.
Pali BJTචත්තාරි අගතිගමනානි: ඡන්දාගතිං ගච්ඡති, දොසාගතිං ගච්ඡති, මොහාගතිං ගච්ඡති, භයාගතිං ගච්ඡති.
Sinhala BJTඅගතිගමන සතරෙක: ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, බියෙන් අගතියට යේ.
Pali BJTචත්තාරො තණ්හුප්පාදා: චීවරහෙතු වා ආවුසො භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, පිණ්ඩපාතහෙතු වා ආවුසො භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, සෙනාසනහෙතු වා ආවුසො භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති, ඉතිභවාභවහෙතු වා ආවුසො භික්ඛුනො තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති.
Sinhala BJTතෘෂ්ණෝත්පාද (තෘෂ්ණාව උපදනට අරමුණු) සතරෙක: ඇවැත්නි, මහණහට සිවුරු නිසා හෝ තෘෂ්ණාව උපදිනුයේ උපදී, පිණ්ඩපාතය නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, සෙනසුන් නිසා හෝ මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී, ප්‍රත්‍යයයෙහි ප්‍රණීත බව් ප්‍රණීතතර බව් ආදි හේතුයෙන් ද මහණහට තෘෂ්ණාව උපදිනුයේ උපදී.
Pali BJTචතස්සො පටිපදා: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා.
Sinhala BJTප්‍රතිපත්ති සතරෙක: ලැසි වැ පැමිණෙන මාර්‍ගඥානය ඇති දුක සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති දුකසේ පිළිපදනා පිළිවෙත ය, ලැසි වැ ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත ය, වහා ලබන මාර්‍ගඥානය ඇති සුව සේ පිළිපදනා පිළිවෙත යි.
Pali BJTඅපරාපි චතස්සො පටිපදා: අක්ඛමා පටිපදා, ඛමා පටිපදා, දමා පටිපදා, සමා පටිපදා.
Sinhala BJTඅන්‍ය දු ප්‍රතිපත්ති සතරෙක: (ප්‍රධන් වීර්‍ය්‍ය වැඩීමෙහි දී) ශීතාදිය නො ඉවසන බව ඇති පිළිවෙතය, ශීතාදිය ඉවසන බව ඇති පිළිවෙත ය, ඉන්‍ද්‍රිය දමන සංඛ්‍යාත පිළිවෙතය, අකුශල විතරක් සංසිඳුවීම නැමැති පිළිවෙතයි.
Pali BJTචත්තාරි ධම්මපදානි: අනභිජ්ඣා ධම්මපදං, අබ්යාපාදො ධම්මපදං, සම්මාසති ධම්මපදං, සම්මාසමාධි ධම්මපදං.
Sinhala BJTධර්‍මපද (දහම් කොටස්) සතරෙක: අනභිධ්‍යා නම් වූ දහම් කොටස ය, අව්‍යාපාද නම් වූ දහම් කොටස ය, සම්‍යක්ස්මෘති නම් වූ දහම් කොටස ය, සම්‍යක් සමාධි නම් වූ දහම් කොටස යි.
Pali BJTචත්තාරි ධම්මසමාදානානි: අත්ථාවුසො ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛඤ්චෙව ආයතිඤ්ච දුක්ඛවිපාකං, අත්ථාවුසො ධම්මසමාදානං පච්චුප්පන්නදුක්ඛං ආයතිං සුඛවිපාකං. අත්ථාවුසො ධම්මසමාදානං පච්චුප්පන්නසුඛං ආයතිං දුක්ඛවිපාකං, අත්ථාවුසො ධම්මසමාදානං පච්චුප්පන්නසුඛඤ්චෙව ආයතිං ච සුඛවිපාකං.
Sinhala BJTධර්‍මසමාදාන සතරෙක: ඇවැත්නි, වත්මන්හි දුක් සහිත වූ ද මත්තෙහි දු දුක් විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි දුක් ඇති මත්තෙහි සැප විපාක ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වර්‍තමානයෙහි සුව ඇති, මත්තෙහි දුක් ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇත. වත්මන්හි සුව ඇති මත්තෙහි දු සුව ගෙන දෙන ධර්‍මසමාදානයෙක් ඇති.
Pali BJTචත්තාරො ධම්මක්ඛන්ධා: සීලක්ඛන්ධො, සමාධික්ඛන්ධො, පඤ්ඤාක්ඛන්ධො, විමුත්තික්ඛන්ධො.
Sinhala BJTධර්‍මස්කන්‍ධ සතරෙක: ශීලගුණස (ඵලශීලය), සමාධිගුණය (ඵලසමාධිය), ප්‍රඥාගුණය (ඵලප්‍රඥාව), විමුක්තිගුණය (ඵලවිමුක්තියි).
Pali BJTචත්තාරි බලානි: විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං.
Sinhala BJTබල සතරෙක: වීර්‍ය්‍ය බලය, ස්මෘතිබලය, සමාධිබලය, ප්‍රඥාබලයි.
Pali BJTචත්තාරි අධිට්ඨානානි: පඤ්ඤාධිට්ඨානං, සච්චාධිට්ඨානං, චාගාධිට්ඨානං, උපසමාධිට්ඨානං.
Sinhala BJTඅධිෂ්ඨාන (ගුණාධික පුරුෂයන් සිටුනා තැන්) සතරෙක: ප්‍රඥාධිෂ්ඨානය (රහත්පල නුවණ), සත්‍යාධිෂ්ඨානය (සත්‍ය වචනය), ත්‍යාගාධිෂ්ඨානය (ආමිෂ පරිත්‍යාගය), උපශමාධිෂ්ඨානයි (කෙලෙස් සංසිඳුවීම).
Pali BJTචත්තාරි පඤ්හබ්යාකරණානි:{1} එකංසබ්යාකරණීයො පඤ්හො, පටිපුච්ඡාබ්යාකරණීයො පඤ්හො, විභජ්ජබ්යාකරණීයො පඤ්හො, ඨපනීයො පඤ්හො.
Sinhala BJTප්‍රශ්නව්‍යාකරණ සතරෙක: ඒකාන්තයෙන් විසැඳියැ යුතු ප්‍රශ්නය, පිළිවිසැ විසැඳියැ යුතු ප්‍රශ්නය, බෙදා විසැඳියැ යුතු ප්‍රශ්නය, (නොවිසඳා) තබාලියැ යුතු ප්‍රශ්නයි.
Pali BJTචත්තාරි කම්මානි: අත්ථාවුසො කම්මං කණ්හං කණ්හවිපාකං, අත්ථාවුසො කම්මං සුක්කං සුක්කවිපාකං, අත්ථාවුසො කම්මං කණ්හසුක්කං කණ්හසුක්කවිපාකං, අත්ථාවුසො කම්මං අකණ්හං අසුක්කං අකණ්හඅසුක්කවිපාකං කම්මක්ඛයාය සංවත්තති.
Sinhala BJTකර්‍ම සතරෙක: ඇවැත්නි, කළු වූ කළු විපාක ඇති කර්‍මයෙක් (දශ අකුශල කර්‍මපථය) ඇත. ඇවැත්නි, සුදු වූ සුදු විපාක ඇති කර්‍මයෙක් (කුශලකර්‍මපථය) ඇත. ඇවැත්නි, කළු සුදු මිශ්‍ර වූ ද කළු සුදු විපාක ඇත්තාවූ ද කර්‍මයෙක් (සුවදුක් දෙන මිශ්‍ර කර්‍මයෙක්) ද ඇත. ඇවැත්නි, කළු නොවූ ද සුදු නොවූ ද කළු සුදු විපාක නැති යමෙක් කර්‍මක්‍ෂයය පිණිස පවත්නේ ද එබඳු වූ කර්‍මයෙක් (සතර මාර්‍ගඥානය) ඇති.
Pali BJTචත්තාරො සච්ඡිකරණීයා ධම්මා: පුබ්බෙනිවාසො සතියා සච්ඡිකරණීයො, සත්තානං චුතූපපාතො චක්ඛුනා සච්ඡිකරණීයො, අට්ඨ විමොක්ඛා කායෙන සච්ඡිකරණීයා, ආසවානං ඛයො පඤ්ඤාය සච්ඡිකරණීයො.
Sinhala BJTසාක්‍ෂාත්කරණීය ධර්‍ම සතරෙක: පූර්වේනිවාසය (පෙර වුසූ කඳ පිළිවෙළ) සිහියෙන් පසක් කළ යුතු, සත්‍වයන්ගේ ච්‍යුති උපපත්ති දෙක දිවැසින් පසක් කළ යුතු, විමෝක්‍ෂ අට සහජාත නාම කයින් පසක් කළ යුතු. ආස්‍රවයන්ගේ ක්‍ෂයය රහත්පල නුවණින් පසක් කළ යුතු.
Pali BJTචත්තාරො ඔඝා: කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝො.
Sinhala BJTඕඝ (මහවතුරු) සතරෙක: කාම ඕඝය (පංචකාමගුණික රාගය), භව ඕඝය (රූපාරූපභවයන්හි ඡන්‍දරාගය), දෘෂ්ටි ඕඝය (දෙසැට මිස දිටු), අවිද්‍යා ඕඝය.
Pali BJTචත්තාරො යොගා: කාමයොගො, භවයොගො, දිට්ඨියොගො, අවිජ්ජායොගො.
Sinhala BJTයෝග (සතුන් සසරැ යොදන බඳින අකුසල්) සතරෙක: කාමයෝගය, භවයෝගය, දෘෂ්ටියෝගය, අවිද්‍යායෝගයි.
Pali BJTචත්තාරො විසඤ්ඤොගා: කාමයොගවිසඤ්ඤොගො, භවයොගවිසඤ්ඤොගො, දිට්ඨියොගවිසඤ්ඤොගො, අවිජ්ජායොගවිසඤ්ඤොගො.
Sinhala BJTවිසංයෝග (බැඳුම් ලිහෑලුම්) සතරෙක: කාමයෝග විසංයෝගය (ආශුභධ්‍යානයත් එය පාදක කොට ලැබූ අනාගාමි මාර්‍ගයත්), භවයෝගවිසංයෝගය (රහත්මඟ), දෘෂ්ටියෝග විසංයෝගය (සෝවාන් මඟ), අවිද්‍යායෝග විසංයෝගයි (රහත්මඟ).