Pali BJTවෙස්සභුස්ස{5} නමත්ථු නහාතකස්ස තපස්සිනො නමත්ථු කකුසන්ධස්ස මාරසෙනාපමද්දිනො
Sinhala BJTසෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා,
Pali BJTකොණාගමනස්ස නමත්ථු බ්රාහ්මණස්ස වුසීමතො කස්සපස්ස නමත්ථු විප්පමුත්තස්ස සබ්බධි.
Sinhala BJTබාහිත පාපී වූ, වැ නිමැ වූ මඟ බඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.
Pali BJTඅඞ්ගීරසස්ස නමත්ථු සක්යපුත්තස්ස සිරීමතො යො ඉමං ධම්මමදෙසෙසි{1} සබ්බදුක්ඛාපනූදනං.
Sinhala BJTයමෙක් සියලු දුක් දුරැ ලන මේ ධර්‍මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා,
Pali BJTයෙ චාපි නිබ්බුතා ලොකෙ යථාභූතං විපස්සිසුං තෙ ජනා අපිසුණා’ මහන්තා වීතසාරදා.
Sinhala BJTලොවැ යම් කෙනෙක් තුමූ නිවුණාහු තත් වූ පරිදි (සත්‍යයන්) විවසුන් නුවණින් දුටුහු ද, මහත් වූ, පහ වූ බිය ඇති, මාත්‍රාභාණි වූ (මුසවා කේලාම් ඈ නො කියන) ඒ ක්‍ෂීණාස්‍රවයෝ,
Pali BJT5. හිතං දෙවමනුස්සානං යං නමස්සන්ති ගොතමං විජ්ජාචරණසම්පන්නං මහන්තං වීතසාරදං.
Sinhala BJT5. දෙව්මිනිස්නට හිත වූ (මෙත් පතුරුවන), විද්‍යා හා චරණධර්‍මයෙන් සම්පූර්‍ණ වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති යම් බඳු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා,
Pali BJTයතො උග්ගච්ඡති සුරියො{2} ආදිච්චො මණ්ඩලී මහා යස්ස චුග්ගච්ඡමානස්ස සංවරී පි නිරුජ්ඣති.
Sinhala BJTමහා රශ්මි මණ්ඩලයක් ඇති, ආදිත්‍යසඞ්ඛ්‍යාත සූර්‍ය්‍ය තෙමේ යම් තැනෙකින් උදා වේ ද, යම් ඒ හිරුහු නැගෙන කල්හි රාත්‍රියත් අතුරුදහන් වේ ද,
Pali BJTයස්ස චුග්ගතෙ සුරියෙ{3} දිවසො’ති පවුච්චති, රහදො පි තත්ථ ගම්භීරො සමුද්දො සරිතොදකො
Sinhala BJTයම් දිගෙක හිරු නැඟි කල්හි දහවලැ යි කියනු ලැබේ ද, ඒ දිගැ, පිවිසුණු නදී ජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාශයය වෙයි.
Pali BJTඑවං නං තත්ථ ජානන්ති සමුද්දො සරිතොදකො, ඉතො සා පුරිමා දිසා ඉති නං ආචික්ඛතී ජනො යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො
Sinhala BJTමෙසේ එහි එය නදීජලය ඇති මුහුද යැ යි දනිත්. කීර්තිමත් ඒ මහ රජෙක් යම් දිශාවක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පෙර දෙස යැ යි මහ ජන තෙමේ කියයි.
Pali BJTගන්ධබ්බානං ආධිපති ධතරට්ඨො’ති නාම සො රමතී නච්චගීතෙහි ගන්ධබ්බෙහි පුරක්ඛතො{4}
Sinhala BJTගන්‍ධර්‍වයනට අධිපති වූ, නම් වශයෙන් ධෘතරාෂ්ට්‍ර යැ යි ප්‍රකට වූ හේ තෙමේ ගඳෙව්වන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම්ගැයුම්නෙන් එහි සිත් අලවා වෙසෙයි.
Pali BJTපුත්තා පි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා
Sinhala BJTඔහුට (ඉන්‍ද්‍ර යන) එක් ම නමක් ඇති පුත්තු ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු අසූවෙක් ද දශයෙක් ද එකෙක් ද (එක් අනූ දෙනෙක්) වෙත්.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම
Sinhala BJTඔහුද සූර්‍ය්‍යබන්‍ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ භය ඇති බුදුරජුන් දැක, ‘පුරුෂාජානේයයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි, අමනුස්සා පි තං වන්දන්ති, සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහජනයා දෙස බලති’ යි කිය අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති, මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,
Pali BJT‘ජිනං වන්දථ ගොතමං’ජිනං වන්දාම ගොතමං’ “විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං”
Sinhala BJT‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි කියම්හ (අසම්හ). ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.
Pali BJT6. යෙන පෙතා පවුච්චන්ති පිසුණා පිට්ඨිමංසිකා, පාණාතිපාතිනො ළුද්දා{1} චොරා නෙකතිකා ජනා
Sinhala BJT6. කලුරිය කළාහු (මළ සිරුරු) යම් දෙසකට ‘ගෙන යනු ලැබෙත් ව’ යි කියනු ලැබෙත් ද, කේලාම් කියන, පිටු මස් කන්නවුන් සේ පිටුපා ගිය කලැ ගරහන, පණිවා කරන, රෞද්‍ර වූ, සොර වූ කපට වූ (අපරාධකාරී) ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබත් වා’ යි කියනු ලැබෙත් ද,
Pali BJTඉතො සා දක්ඛිණා දිසා ඉති නං ආචික්ඛතී ජනො, යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො
Sinhala BJTඒ යම් දිශාවක් යශස්වී මහරජෙකේ පාලනය කෙරෙයි ද, ඒ මෙයින් දකුණු දිග යැ යි මහ ජන තෙමේ කියයි.
Pali BJTකුම්භණ්ඩානං ආධිපති විරූළ්හො ඉති නාමසො, රමති නච්චගීතෙහි කුම්භණ්ඩෙහි පුරක්ඛතො.
Sinhala BJTඑ දෙසෙහි කුම්භාණ්ඩයනට අධිපති වූ, නම් විසින් විරෑඪක යැ යි ප්‍රකට රජ තෙමේ කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලද්දේ නැටුමෙන් ගැයුමෙන් සිත අලවා වෙසෙයි.
Pali BJTපුත්තා පි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා{2}
Sinhala BJTඔහුට එක්ම නමක් ඇති බොහෝ පුත්‍රයෝ ද වෙත්. ඉන්‍ද්‍ර නම් වූ මහ බලැති ඔව්හු එක් අනූ දෙනෙකැ යි මා විසින් අසන ලදී.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං ‘නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම’.
Sinhala BJTඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නින්දෙන් පිබිදුණු බුදුරජාණන් වහන්සේ දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ පුරුෂෝත්තමයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී, එහෙයින්,
Pali BJT‘ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං, විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං’.
Sinhala BJT‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි අපි මෙසේ ප්‍රශ්න වශයෙන් කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳිම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳිම්හ’ යි (ඔහු උත්තර දෙත්).
Pali BJT7. යත්ථ චොග්ගච්ඡති සුරියො ආදිච්චො මණ්ඩලී මහා. යස්ස චොග්ගච්ඡමානස්ස දිවසොපි නිරුජ්ඣති.
Sinhala BJT7. මහ රස්මඬුලු ඇති, ආදිත්‍ය නම් වූ හිරු යම් දිගෙක බස්නේ ද, යම් ඒ හිරු බස්නා කල්හි දහවලත් අතුරුදහන් වේ ද,
Pali BJTයස්ස චොග්ගතෙ සුරියෙ සංවරී’ති පවුච්චති, රහදො පි තත්ථ ගම්භීරො සමුද්දො සරිතොදකො.
Sinhala BJTයම් දිනකට හිරු බැස ගිය කලැ රාත්‍රි යැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිවිසුණු නදීජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලැශයය වෙයි.
Pali BJTඑවං නං තත්ථ ජානන්ති සමුද්දො සරිතොදකො ඉතො සා පච්ඡිමා දිසා ඉති නං ආචික්ඛතී ජනො යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො.
Sinhala BJTමෙසේ එහි එය නදීජලය ඇති මුහුද යැ යි දනිත්. යශස් ඇති ඒ මහරජෙක් යම් දිගක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පැසිම් දෙස යැ යි මහ ජනයා කියයි.
Pali BJTනාගානඤ්ච{1} ආධිපති විරූපක්ඛො’ඉති{2} නාමසො, රමතී නච්චගීතෙහි නාගෙහෙව පුරෙක්ඛතො{3}.
Sinhala BJTනාගයනට අධිපති වූ, නම් විසින් විරෑපාක්‍ෂ යැ යි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් සිත් අලවා එහි වෙසෙයි.
Pali BJTපුත්තා පි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං, අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා
Sinhala BJTඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදි. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙත්.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං, නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම
Sinhala BJTඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති, බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයාණනි, ඔබට නමස්කාර වේ’ වා යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ:
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,
Pali BJT“ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං, විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං”.
Sinhala BJT‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි ප්‍රශ්න කරම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ, විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.
Pali BJT8. යෙන උත්තරකුරු රම්මා{4} මහානෙරු සුදස්සනො. මනුස්සා තත්ථ ජායන්ති අමමා අපරිග්ගහා
Sinhala BJT8. යම් දිග් භාගයක ඉතා දැකුම්කලු මහාමේරු පර්‍වතය වෙයි ද, එහි සිත් කලු වූ උතුරුකුරුව වෙයි. එහි (වස්ත්‍රාදීන්හි) මමත්‍වය නැති, (‘මේ මා බිරිය යැ’ යි) ස්ත්‍රීන් කෙරෙහි පරිග්‍රහයක් (තමා අයත් කැරැ ගැන්මක්) නැති මිනිස්සු උපදිත්.
Pali BJTන තෙ බීජං පවපන්ති නපි නීයන්ති නඞ්ගලා අකට්ඨපාකිමං සාලිං පරිභුඤ්ජන්ති මානුසා
Sinhala BJTඔහු ධාන්‍ය බිජුවට නො වපුරත්. නගුල්හු ද කෙතට නො පමුණුවනු ලැබෙත්. ඒ මිනිස්සු නො සානා ලද බිමැ තමන් ම නැඟී පැසුණු හැල් පරිභෝග කරත්.
Pali BJTඅකණං අථුසං සුද්ධං සුගන්ධං තණ්ඩුලප්ඵලං, තුණ්ඩිකීරෙ පචිත්වාන තතො භුඤ්ජන්ති භොජනං
Sinhala BJTකුඩු නැති, තොහො නැති, ශුද්ධ වූ, සුවඳ ඇති සහල් සැළියෙක බහා පිසැ එයින් ගෙන බොජුන් වළඳත්.
Pali BJTගාවිං එකඛුරං කත්වා අනුයන්ති දිසොදිසං, පසුං එකඛුරං කත්වා අනුයන්ති දිසොදිසං
Sinhala BJTඑහි (වෙසවුණු රජු ගේ පිරිවර) යක්කු එළදෙන එක් කුරැති වාහනයක් කොට ගෙන, දිශායෙන් දිශාවට යෙත්. සිවුපාවකු එක් කුරයක් ඇති වාහනයක් කොටැ ගෙන දෙසින් දෙස යෙත්.
Pali BJTඉත්ථිවාහනං{1} කත්වා අනුයන්ති දිසොදිසං, පුරිසවාහනං කත්වා අනුයන්ති දිසොදිසං.
Sinhala BJTගැබිනි ස්ත්‍රියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. පුරුෂයකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
Pali BJTකුමාරිවාහනං කත්වා අනුයන්ති දිසොදිසං, කුමාරවාහනං කත්වා අනුයන්ති දිසොදිසං.
Sinhala BJTකුමරියක වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්. කුමරකු වාහන කොට ගෙන දෙසින් දෙස යෙත්.
Pali BJTතෙ යානෙ අභිරූහිත්වා සබ්බා දිසා අනුපරියන්ති{2} පචාරා තස්ස රාජිනො: හත්ථියානං අස්සයානං දිබ්බංයානං උපට්ඨිතං.
Sinhala BJTඒ වෙසවුණු රජු ගේ පරිවාරක යක්‍ෂයෝ එළැඹැ සිටි හස්තියාන ද අශ්වයාන ද (අන්‍ය බහුවිධ) දිව්‍ය යාන ද යන එකී යානයන් අරා සියලු දික් සිසාරා යෙත්.
Pali BJTපාසාදා සිවිකා චෙව මහාරාජස්ස යසස්සිනො තස්ස ච නගරා අහු අන්තලික්ඛෙ සුමාපිතා ආටානාටා කුසිනාටා පරකුසිනාටා නාටපුරියා{3} පරකුසිත නාටා{4}.
Sinhala BJTයශස් ඇති ඒ වෙසවුණු මහ රජුට ප්‍රාසාද ද සිවිල්ගෙවල් ද වෙත්. එ රජුව අහසැ මොනොවට මවන ලද ආටානාටා ය, කුසිනාටා ය, පරකුසිනාටා ය, නාටපුරියා ය, පරකුසිනාටා යැ යි නගරයෝ වූහ.
Pali BJTඋත්තරෙන කපිවන්තො{5} ජනොඝමපරෙන ච, නවනවුතියො අම්බරම්බරවතියො ආළකමන්දා නාම රාජධානී
Sinhala BJTඑයින් (ඒ පරකුසිතනාට නුවරින්) ඉඳුරා උතුරුදිගැ කපීවන්ත නම් නුවරෙක් ද, එයින් ඔබ්බෙහි ජනෝඝ නම් නුවරෙක් ද, අන්‍ය නවනවතිය නම් නුවරෙක් ද, අම්බරඅම්බරවතිය නම් නුවරෙක් ද, අන්‍ය ආලකමන්‍දා නම් රාජධානියෙක් ද ඇත.
Pali BJTකුවෙරස්ස ඛො පන මාරිස මහාරාජස්ස විසාණා නාම රාජධානී තස්මා කුවෙරො මහාරාජා වෙස්සවණො’ති පවුච්චති.
Sinhala BJTනිදුකාණනි, කුවේර මහ රජුගේ රජදහන විසාණා නම, එ හෙයින් කුවේර මහ රජ වෙස්සවණ (වෙසවුණු) යැ යි නම් කරනු ලැබෙයි.
Pali BJTපච්චෙසන්තො පකාසෙන්ති තතොලා තත්තලා තතොතලා ඔජසි තෙජසි තතොජසී සූරො රාජා අරිට්ඨො නෙමි.
Sinhala BJTඑහි තතෝලා, තත්තලා, තතොතලා, ඕජසී. තෙජසී. තතෝජසී, සූර, රාජ, සුරරාජ, අරිෂ්ට, නෙමි. අරිෂ්ටනෙමි යන නම් ඇති (දොළොස්) යක් රැටියෝ කරුණු විමසා පවසත්.
Pali BJTරහදො පි තත්ථ ධරණී නාම යතො මෙඝා පවස්සන්ති වස්සා යතො පතායන්ති. සභාපි තත්ථ භගලවතී{6} නාම යත්ථ යක්ඛා පයිරුපාසන්ති.
Sinhala BJTයම් පොකුණෙකින් දිය ඇද ගෙන මේඝයෝ වසිත් ද, යම් පොකුණෙකින් වර්‍ෂාවෝ පැතිරෙත් ද, එසේ වූ ධරණී නම් ජලාශයයෙක් ද එහි වෙයි. එහි තෙරැ යකුන් රැස් වැ හිඳුනා භගලවතී නම් රුවන් මඩුවෙක් වෙයි.
Pali BJTතත්ථ නිච්චඵලා රුක්ඛා නානාදිජගණායුතා මයූරකොඤ්චාභිරුතා{7} කොකිලාදීහි වග්ගුහි.
Sinhala BJTඑහි (ඒ මඩුව හාත්පසැ) විවිධ පක්‍ෂිසමූහයන් ගෙන් යුක්ත වූ, මොනරුන් ද කොස්ලිහිණියන් ද විසින් දුන් නාද ඇති, කෝකිලාදීන් විසින් මනෝඥ නාදයෙන් උන්නාදිත වූ, නිති පල දරන වෘක්‍ෂයෝ වෙත්.
Pali BJTජීවංජීවකසද්දෙත්ථ අථො උට්ඨවචිත්තකා{1} කුකුත්ථකා{2} කුළීරකා වනෙ පොක්ඛරසාතකා.
Sinhala BJTමෙහි පියුම් වෙනෙහි ‘ජීව ජීව’ යැ යි හඬ නඟන (ජීවජීවක නම්) පක්‍ෂි කෙනෙක් ද, තව උට්ඨවචිත්තක නම් පක්‍ෂීහු ද. වලිකුකුළෝ ද, රන්වන් කකුළුවෝ ද, ඒ පොක්ඛරසාතක නම් පක්‍ෂීහු ද වෙත්.
Pali BJTසුකසාළිකසද්දෙත්ථ දණ්ඩමාණවකානි ච සොභති සබ්බකාලං සා කුවෙරනළිනී සදා.
Sinhala BJTමෙහි ගිරවුන්ගේ ද සැළළිහිණියන්ගේ ද හඬ ඇත. දණ්ඩමානවක නම් පක්‍ෂීහු ද මෙහි හැසිරෙත්. මෙසේ හැම කල්හි ඒ කුවේරයා ගේ පියුම් විල නිරතුරු හොබනේ ය.
Pali BJT10. ඉතො සා උත්තරා දිසා ඉති නං ආචික්ඛතී ජනො යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සිසො.
Sinhala BJT10. යශස් ඇති ඒ කුවේර මහරජ යම් දිගක් පාලනය කෙරෙයි ද, ඒ මේ තැනින් උතුරු දෙස යැ යි මහජන තෙමේ කියයි.
Pali BJTයක්ඛානං ආධිපති කුවෙරො ඉති නාමසො{3} රමතී නච්චගීතෙහි යක්ඛෙහි පුරක්ඛතො.
Sinhala BJTනම් විසින් කුවේර යැ යි ප්‍රකට වූ, යක්‍ෂයනට අධිපති වූ, හෙ තෙම් යකුන් විසින් පෙරටු කැරැ ගන්න් ලද්දේ, නෘත්‍ය ගීතයෙන් සිත් අලවා වෙසෙයි.
Pali BJTපුත්තා පි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං, අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා.
Sinhala BJTඔහුට එක් නම් ඇති බොහෝ පුතුන් ද වෙති යි මා විසින් අසන ලදී. ඔහු ඉන්‍ද්‍ර යන නම ඇති මහා බලැති එක් අනූ දෙනෙකි.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං, දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං ‘නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම’
Sinhala BJTඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වු, ක්ලේශනිද්‍රායෙන් පිබිදුණු මහත්ත්‍ව ප්‍රාප්ත, පහ වූ බියැති බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා. උත්තම පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමදිත්.
Pali BJT‘කුසලෙන සමෙක්ඛසි’ අමනුස්සා පි තං වන්දන්ති, සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ: ‘ජිනං වන්දථ ගොතමං’ ‘ජිනං වන්දාම ගොතමං’ විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමන්ති”.
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි (ප්‍රශ්න කොට) කියම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ අපි වඳිමු, විද්‍යා චරණ දෙකින් සම්පූර්‍ණ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳිමු’ යි ඔහු උත්තර දෙත්.
Pali BJT11. අයං ඛො සා මාරිස, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති. යස්ස කස්සචි මාරිස භික්ඛුස්ස වා භික්ඛුනියා වා උපාසකස්ස වා උපාසිකාය වා අයං ආටානාටියා රක්ඛා සුග්ගහිතා භවිස්සති සමත්තාපරියාපුතා,{4}
Sinhala BJT11. නිදුකාණන් වහන්ස, මහණුනට ද මෙහෙණනට ද උවසුවනට ද උවැසියනට ද ගුප්තිය පිණිස, රැක්ම පිණිස, නොවෙහෙසීම පිණිස, සැප විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත නම් මෙය ය. නිදුකාණන් වහන්ස, යම් කිසි මහණක්හු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක විසින් මේ ආටානාටිය පිරිත මනා කොට උගන්නා ලද්දේ, අර්‍ත්‍ථ ව්‍යංජනයෙන් පිරිපුන් කොට පුහුණු කරන ලද්දේ වී නම්,
Pali BJTතඤ්චෙ අමනුස්සො යක්ඛො වා යක්ඛිනී වා යක්ඛපොතකො වා යක්ඛපොතිකා වා යක්ඛමහාමත්තො වා යක්ඛපාරිසජ්ජො වා යක්ඛපචාරො වා, ගන්ධබ්බො වා ගන්ධබ්බී වා ගන්ධබ්බපොතකො වා ගන්ධබ්බපොතිකා වා ගන්ධබ්බමහාමත්තො වා ගන්ධබ්බපාරිසජ්ජො වා ගන්ධබ්බපචාරො වා, කුම්භණ්ඩො වා කුම්භණ්ඩී වා කුම්භණ්ඩපොතකො වා කුම්භණ්ඩපොතිකා වා කුම්භණ්ඩමහාමත්තො වා කුම්භණ්ඩපාරිසජ්ජො වා කුම්භණ්ඩපචාරො වා, නාගො වා නාගිනී{1} වා නාගපොතකො වා නාගපොතිකා වා නාගමහාමත්තො වා නාගපාරිසජ්ජො වා නාගපචාරො වා, පදුට්ඨචිත්තො භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්ය, ඨිතං වා උපතිට්ඨෙය්ය, නිසින්නං වා උපනිසීදෙය්ය, නිපන්නං වා උපනිපජ්ජෙය්ය. න මෙ සො මාරිස, අමනුස්සො ලභෙය්ය ගාමෙසු වා නිගමෙසු වා සක්කාරං වා ගරුකාරං වා. න මෙ සො මාරිස, අමනුස්සො ලභෙය්ය ආළකමන්දාය නාම රාජධානියා වත්ථුං වා වාසං වා. න මෙ සො මාරිස, අමනුස්සො ලභෙය්ය යක්ඛානං සමිතිං ගන්තුං. අපිස්සු නං මාරිස, අමනුස්සා අනවය්හම්පි නං කරෙය්යුං අවිවය්හං. අපිස්සු නං මාරිස, අමනුස්සා අත්තාහි’පි පරිපුණ්ණාහි පරිභාසාහි පරිභාසෙය්යුං. අපිස්සු නං මාරිස, අමනුස්සා රිත්තම්පිස්ස පත්තං සීසෙ නික්කුජ්ජෙය්යුං. අපිස්සු නං මාරිස, අමනුස්සා සත්තධාපි’ස්ස මුද්ධං ඵාලෙය්යුං.
Sinhala BJTයක්‍ෂයෙක් හෝ යක්‍ෂණියක් හෝ යක්‍ෂපෝතකයෙක් හෝ යක්‍ෂපෝතිකාවක් හෝ යක්‍ෂ මහාමාත්‍රයෙක් හෝ යක්‍ෂ පාරිෂද්‍යයෙක් හෝ යක්‍ෂපරිවාරකයෙක් හෝ, ගන්‍ධර්‍වයෙක් හෝ ගන්‍ධර්වියක් හෝ ගන්‍ධර්‍ව පෝතකයෙක් හෝ ගන්‍ධර්‍වපෝතිකාවක් හෝ ගන්‍ධර්‍ව මහාමාත්‍රයෙක් හෝ ගන්‍ධර්‍ව පාරිෂද්‍යයෙක් හෝ ගන්‍ධර්‍ව පරිචාරකයෙක් හෝ කුම්භාණ්ඩයෙක් හෝ කුම්භාණ්ඩියෙක් හෝ කුම්භාණ්ඩ පෝතකයෙක් හෝ කුම්භාණ්ඩ පොතිකාවක් හෝ කුම්භාණ්ඩ මහාමාත්‍රයෙක් හෝ කුම්භාණ්ඩ පාරිෂද්‍යයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ නාගයෙක් හෝ නාගිනියක් හෝ නාගපෝතකයෙක් හෝ නාගපොතිකාවක් හෝ නාග මහාමාත්‍රයෙක් හෝ නාගපාරිෂද්‍යයෙක් හෝ නාග පරිචාරකයෙක් හෝ මෙකී කිසි යම් අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවකු යන්නහු අනුව (පසු පසැ) යන්නේ ද, සිටියහු වෙත සිටින්නේ ද, උන්නහු වෙ ඉඳුනේ ද, හොත්තහු වෙත හෝනේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මාගේ ගම්හි හෝ නියම්ගම්හි හෝ සත්කාරයක් හෝ ගෞරවයක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ ආළකමන්‍දා රාජධානියෙහි වසන ගෙයක් හෝ නවාතැනක් හෝ නො ලබන්නේ ය. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙමේ මගේ යක්‍ෂ සමාගමයට යන්නට හෝ නො ලබන්නේ ය. වැලි දු නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු ආවාහයක් නො කටහැක්කකු ද විවාහයක් නො කටහැක්කකු ද කරන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහුට අත්බව එළවා කියනු ලබන පරිපූර්‍ණ පරිභව වචනයෙන් බණින්නාහ. නිදුකාණන් වහන්ස, තව ද අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහපාත්‍රයක් යැටිකුරු කොට ඔහු හිසැ ලන්නාහ. තව ද නිදුකාණන් වහන්ස, අමනුෂ්‍යයෝ ඔහු හිස සත් කඩක් කොට පළන්නාහු ද වෙත්.
Pali BJT12. සන්ති හි මාරිස, අමනුස්සා චණ්ඩා රුද්දා රභසා. තෙ නෙව මහාරාජානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං ආදියන්ති’ න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ මාරිස, අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
Sinhala BJT12. නිදුකාණන් වහන්ස, නපුරු වූ, සතුරු වූ, කළ දැයට වැඩියක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ඇත. ඔහු සතර වරම් මහරජදරුවන් ගේ බස් නො ම පිළිගනිත්. වරම්රජුන් අයත් සෙනෙවියන් ගේ බස් ද නො ම පිළිගනිත්. වරම්රජුන් යටතැ සිටිනා යක් සෙනෙවියන් ගේ මෙහෙකරුවන් ගේ බස දු නො ම පිළිගනිත්. නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහරජුන් ගේ සතුරෝ නමැ යි කියනු ලබත්.
Pali BJTසෙය්යථාපි මාරිස, රඤ්ඤො මාගධස්ස විජිතෙ මහාචොරා තෙ නෙව රඤ්ඤො මාගධස්ස ආදියන්ති, න රඤ්ඤො මාගධස්ස පුරිසකානං ආදියන්ති, න රඤ්ඤො මාගධස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ මාරිස, මහාචොරා රඤ්ඤො මාගධස්ස අවරුද්ධා නාම වුච්චන්ති, එවමෙව ඛො මාරිස, සන්ති අමනුස්සා චණ්ඩා රුද්ධා රභසා, තෙ නෙව මහාරාජානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං ආදියන්ති, න මහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියන්ති. තෙ ඛො තෙ මාරිස අමනුස්සා මහාරාජානං අවරුද්ධා නාම වුච්චන්ති.
Sinhala BJTනිදුකාණන් වහන්ස, යම්සේ මගධාධිපතී රජු ගේ රටෙහි මහ සොරහු ඇත් ද, ඔහු මගධාධිපති රජු ගේ වචන නො ම පිළිගනිත් ද, මගධාධිපති රජුගේ සෙනෙවියන් ගේ වචන දු නො ම පිළිගනිත් ද, මගධාධිපති රජු ගේ සෙනෙවියන්ගේ මෙහෙකරුවන් වචනත් නො ම පිළිගනිත් ද, නිදුකාණන් වහන්ස, ඒ මහ සොරු මගධාධිපති රජුහු ගේ සතුරෝ නමැ යි කියනු ලැබෙත් ද, එසේ ම නිදුකාණන් වහන්ස, නපුරු වූ සතුරු වූ කළ එකට වැඩියක් කරන්නා වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ම ය. ඔහු වරම් මහ රජුන්ගේ බස් නො ම පිළිගනිත්, වරම් මහ රජුන්ගේ සෙනෙවියන් බස් ද නො ම පිළිගනිත්, වරම් මහරජුන් අයත් සෙනෙවියන්ගේ මෙහෙකරුවන් බස දු නො පිළිගනිත්, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍යයෝ වරම් මහ රජුන්ගේ සතුරෝ යැ යි කියනු ලබත්.
Pali BJT13. යො හි කොචි මාරිස, අමනුස්සො යක්ඛො වා යක්ඛිනී වා යක්ඛපොතකො වා යක්ඛපොතිකා වා යක්ඛමහාමත්තො වා යක්ඛපාරිසජ්ජො වා යක්ඛපචාරො වා, ගන්ධබ්බො වා ගන්ධබ්බී වා ගන්ධබ්බපොතකො වා ගන්ධබ්බපොතිකා වා ගන්ධබ්බමහාමත්තො වා ගන්ධබ්බපාරිසජ්ජො වා ගන්ධබ්බපචාරො වා, කුම්භණ්ඩො වා කුම්භණ්ඩී වා කුම්භණ්ඩපොතකො වා කුම්භණ්ඩපොතිකා වා කුම්භණ්ඩමහාමත්තො වා කුම්භණ්ඩපාරිසජ්ජො වා කුම්භණ්ඩපචාරො වා, නාගො වා නාගිනී වා නාගපොතකො වා නාගපොතිකා වා නාගමහාමත්තො වා නාගපාරිසජ්ජො වා නාගපචාරො වා, පදුට්ඨචිත්තො භික්ඛුං වා භික්ඛුනිං වා උපාසකං වා උපාසිකං වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්ය, ඨිතං වා උපතිට්ඨෙය්ය, නිසින්නං වා උපනිසීදෙය්ය, නිපන්නං වා උපනිපජ්ජෙය්ය, ඉමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං උජ්ඣාපෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං: “අයං යක්ඛො ගණ්හාති, අයං යක්ඛො ආවිසති, අයං යක්ඛො හෙඨෙති, අයං යක්ඛො විහෙඨෙති, අයං යක්ඛො හිංසති, අයං යක්ඛො විහිංසති, අයං යක්ඛො න මුඤ්චතී”ති.
Sinhala BJT13. නිදුකාණන් වහන්ස, යකෙක් හෝ යකින්නක් හෝ යක් දරුවෙක් හෝ යක් දැරියක් හෝ යක් දෙටුවෙක් හෝ යක් පිරිසදැ වූයෙක් හෝ යක් මෙහෙකරුවෙක් හෝ, ගඳෙව්වෙක් හෝ ගඳෙවියක් හෝ ගඳෙවු දරුවෙක් හෝ ගඳෙවු දැරියක් හෝ ගඳෙවු දෙටුවෙක් හෝ ගඳෙවු පිරිසදැ වූයෙක් හෝ ගඳෙවු මෙහෙකරුවෙක් හෝ, කුම්භාණ්ඩයෙක් හෝ කුම්භණ්ඩියක් හෝ කුම්භාණ්ඩ දරුවෙක් හෝ කුම්භාණ්ඩ දැරියක් හෝ කුම්භාණ්ඩ දෙටුවෙක් හෝ කුම්භාණ්ඩ පර්‍ෂත්හි වූයෙක් හෝ කුම්භාණ්ඩ පරිචාරකයෙක් හෝ, නාගයෙක් හෝ නැයිනියක් හෝ නා දරුවෙක් හෝ නා දැරියක් හෝ නා දෙටුවෙක් හෝ නා පිරිසදැ වූයෙක් හෝ නා මෙහෙකරුවෙක් හෝ මෙ කී කිසි අමනුෂ්‍යයෙක් ද්වේෂයෙන් ප්‍රද්විෂ්ට සිතැත්තේ, මහණකු හෝ මෙහෙණක හෝ උවසුවකු හෝ උවැසියක හෝ මෙ කිසිවක්හු යන්නහු පසු පසැ යන්නේ වී නම්, සිටියහු වෙත සිටින්නේ වී නම් හෝ හුන්නහු වෙත හිඳින්නේ වී නම් හෝ හොත්තහු වෙත හෝ නේ වී නම් හෝ, මේ යකුනට, මහයකුනට, යක් සෙනෙවියනට, යක්මහ සෙනෙවියනට, “මේ යක් තෙමේ මා අල්ලා ගනී, මේ යක් තෙමේ මට ආවිෂ්ට වෙයි, මේ යක් තෙමේ මා පෙළයි, මේ යක් තෙමේ වෙසෙසින් මා පෙළයි, මේ යක් තෙමේ මට හිසා කෙරෙයි, මේ යක් තෙමේ මා වෙහෙසයි, මේ යක් තෙමේ මා නො මුදා (අත් නො හරී) යැ” යි දැන්වියැ යුතු, හඬ නඟා කියැ යුතු, ඔවුන් හා කියැ යුතු.
Pali BJT14. කතමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං:
Sinhala BJT14. (එසේ දැන්වියැ යුත්තේ) කවර යකුනට ද? කවර මහ යකුනට ද? කවර යක් සෙනෙවියනට ද? කවර මහ යක් සෙනෙවියනට ද යත්:
Pali BJTඉන්දො සොමො වරුණො ච භාරද්වාජො පජාපති, චන්දනො කාමසෙට්ඨො ච කින්නුඝණ්ඩු නිඝණ්ඩු ච.
Sinhala BJTඉන්‍ද්‍ර ය, සෝම ය, වරුණ ය, භාරද්වාජ ය, ප්‍රජාපති ය, චන්‍දන ය, කාමශ්‍රේෂ්ඨ ය, කින්නිඝණ්ඩු ය, නිඝණ්ඩු ය,
Pali BJTපනාදො ඔපමඤ්ඤො ච දෙවසූතො ච මාතලි, චිත්තසෙනො ච ගන්ධබ්බො නළො රාජා ජනෙසභො.
Sinhala BJTප්‍රණාද ය, ඕපමඤ්ඤ ය, දෙව් සැරි මාතලී ය, චිත්‍රසේන ය, ගන්‍ධර්‍ව ය, නළ ය, රාජ ය, ජනර්ෂ්භ ය,
Pali BJTසාතාගිරො හෙමවතො පුණ්ණකො කරතියො ගුළො, සීවකො{1} මුචලින්දො ච වෙස්සාමිත්තො යුගන්ධරො.
Sinhala BJTසාතාගිර ය, හේමවත ය, පූර්‍ණක ය, කරතිය ය (කාර්තීකෙය ය), ගුඩ ය. සීවක ය, මුචලින්‍ද ය, විශ්වාමිත්‍ර ය, යුගන්‍ධර ය,
Pali BJTගොපාලො සුප්පගෙධො ච{2} හිරි නෙත්ති ච මන්දියො. පඤ්චාලචණ්ඩො ආළවකො පජ්ජන්නො{3} සුමනො සුමුඛො දධීමුඛො, මණි මාණි චරො දීඝො අථො සෙරිස්සකො{4} සහ.
Sinhala BJTගෝපාල ය, සුප්පගේධ ය, හිරිනෙත්ති ය, මන්‍දිය ය, පඤ්චාල චණ්ඩ ය, ආළවක ය, පර්ජන්‍ය ය, සුමන ය, සුමුඛ ය, දධිමුඛ ය, මණි ය, මානී ය, වර ය, දීර්‍ඝ ය, තව ද සේරීසක ය යන මොවුනට ය.
Pali BJT15. ඉමෙසං යක්ඛානං මහායක්ඛානං සෙනාපතීනං මහාසෙනාපතීනං උජ්ඣාපෙතබ්බං වික්කන්දිතබ්බං විරවිතබ්බං:
Sinhala BJT15. මේ යක්‍ෂයනට ද මහා යක්‍ෂයනට ද යක්‍ෂ සේනාපතීනට ද මහා යක්‍ෂ සේනාපතීනට ද,
Pali BJTඅයං යක්ඛො ගණ්හාති, අයං යක්ඛො ආවිසති, අයං යක්ඛො හෙඨෙති, අයං යක්ඛො විහෙඨෙති, අයං යක්ඛො හිංසති, අයං යක්ඛො විහිංසති, අයං යක්ඛො න මුඤ්චතී’ති.
Sinhala BJT‘මේ යක් තෙමේ මා අල්ලා ගනී යැ යි, මේ යක් තෙමේ මට ආවිෂ්ට වේ යැ යි, මේ යක් තෙමේ මා පෙළා යැ යි, මේ යක් තෙමේ වෙසෙසින් පෙළා යැ යි, මේ යක් තෙමේ මට හිංසා කෙරේ යැ යි, මේ යක් තෙමේ මා වෙහෙසා යැ යි, මේ යක් තෙමේ මා නො මුදා යැ’ යි දැන්වියැ යුතු, හඬා නඟා කියැ යුතු.
Pali BJTඅයං ඛො සා මාරිස, ආටානාටියා රක්ඛා භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා’ති.
Sinhala BJTනිදුකාණන් වහන්ස, මේ මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට ගුප්තිය පිණිස, රැකවරණ පිණිස, නො වෙහෙසීම පිණිස, පහසු විහරණ පිණිස වූ ඒ ආටානාටිය පිරිත ය.
Pali BJTහන්ද ච දානි මයං මාරිස, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා”ති.
Sinhala BJTනිදුකාණන් වහන්ස, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ, බොහෝ කටයුතු ඇත්තම්හ” යි වරම් රජුහු කීහ.
Pali BJT‘යස්ස’ දානි තුම්හෙ මහාරාජානො කාලං මඤ්ඤථා’ති.
Sinhala BJT‘මහ රජුනි, තෙපි යම් ගමනකට දැන් කල් වේ යැ යි සලකන්නහු ද, ඒ ගමන කරනු ලැබේ වා’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT16. අථ ඛො චත්තාරො මහාරාජානො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු. තෙපි ඛො යක්ඛා උට්ඨායාසනා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා තත්ථෙවන්තරධායිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා තත්ථෙවන්තරධායිංසූ’ති.
Sinhala BJT16. ඉක්බිති සතර වරම් මහරජහු හුනස්නෙන් නැගී, සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඒ යක්කුද හුනස්නෙන් නැගී, ඇතැම් කෙනෙක් සාදර වැ භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිතැ රැඳැවියැ යුතු වූ කථා නිමවා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වන්සේ දිසාවට දොහොත් නමා, එහි ම අතුරුදහන් වූහ. ආතැම් කෙනෙක් නම් ගොත් අස්වා එහි ම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් නිහඬ වූවාහු, එහි ම අතුරුදහන් වූහ.
Pali BJTපඨමකභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTපළමු බණවර නිමියේ ය.
Pali BJT16. අථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT16. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එ රැය ඇවෑමෙන් භික්‍ෂූන් බණවා මෙසේ වදාළ සේක:
Pali BJTඉමං භික්ඛවෙ, රත්තිං චත්තාරො මහාරාජානො මහතියා ච යක්ඛසෙනාය මහතියා ච ගන්ධබ්බසෙනාය මහතියා ච කුම්භණ්ඩසෙනාය මහතියා ච නාගසෙනාය චතුද්දිසං රක්ඛං ඨපෙත්වා, චතුද්දිසං ගුම්බං ඨපෙත්වා, චතුද්දිසං ඔවරණං ඨපෙත්වා, අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙපි ඛො භික්ඛවෙ, යක්ඛා අප්පෙකච්චෙ මං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු: අප්පෙකච්චෙ මම සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු: අප්පෙකච්චෙ යෙනාහං තෙනඤ්ජලිම්පණාමෙත්වා එකමන්තං නිසීදිංසු: අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු: අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
Sinhala BJTමහණෙනි, මේ ගත වූ රාත්‍රියෙහි සතර වරම් මහරජුහු මහත් යක්‍ෂ සේනායෙන් ද මහත් ගාන්‍ධර්‍ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද සතර දිගැ රකවල් තබා, සතර දිගැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුරකරුවන් රඳවා, රෑ (පෙර යම) ඉක්මි කල්හි, විශිෂ්ට ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිහජුකුළු පව්ව එකලු කොට, මා කරා එළැඹිය හ. එළැඹැ මා සාදර වැ වැඳ, එක් පසෙක හුන්හ. (ඔවුන්ගේ පිරිවර වූ) යක්කු ද ඇතැම් කෙනෙක් මා සාදර වැ වැඳ එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් මා හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිත රැඳැවිය යුතු වූ, කථාව නිමවා, එක් පසෙක හුන්හ, ඇතැම් කෙනෙක් මා දිසාවට දොහොත් නමා පසෙක හුන්හ, ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා පසෙක හුන්හ, ආතැම් කෙනෙක් නිහඬ වැ පසෙකැ හුන්හ.
Pali BJT17. එකමන්තං නිසින්නො ඛො භික්ඛවෙ, වෙස්සවණො මහාරාජා මං එතදවොච:
Sinhala BJT17. මහණෙනි, පසෙක උන් ම වෙසවුණු මහ රජ මට මෙ පවත් කී ය:
Pali BJTසන්ති හි භන්තෙ, උළාරා යක්ඛා භගවතො අප්පසන්නා, සන්ති හි භන්තෙ, උළාරා යක්ඛා භගවතො පසන්නා: සන්ති හි භන්තෙ, මජ්ඣිමා යක්ඛා භගවතො අප්පසන්නා, සන්ති හි භන්තෙ, මජ්ඣිමා යක්ඛා භගවතො පසන්නා: සන්ති හි භන්තෙ, නීචා යක්ඛා භගවතො අප්පසන්නා. සන්ති හි භන්තෙ, නීචා යක්ඛා භගවතො පසන්නා: යෙභුය්යෙන ඛො පන භන්තෙ, යක්ඛා අප්පසන්නා යෙව භගවතො. තං කිස්ස හෙතු? භගවා හි භන්තෙ පාණාතිපාතා වෙරමණියා ධම්මං දෙසෙති, අදින්නාදානා වෙරමණියා ධම්මං දෙසෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ධම්මං දෙසෙති, මුසාවාදා වෙරමණියා ධම්මං දෙසෙති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණියා ධම්මං දෙසෙති. යෙභුය්යෙන ඛො පන භන්තෙ, යක්ඛා අප්පටිවිරතායෙව පාණාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා, අප්පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා, අප්පටිවිරතා මුසාවාදා, අප්පටිවිරතා සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා. තෙසං තං හොති අප්පියං අමනාපං.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහතෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත්මය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නොපහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නොපැහැදුණ හු ම වෙත්. ඒ කවර හෙයින් ද? යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. මුසවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසනා සේක. මත්බවට හා පමාවට හා කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්නාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසාවායෙන් නො වැළැක්කාහු ම ය, මත්බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය. ඔවුනට (භාග්‍යවතුන් වහන්සේ ගේ) ඒ දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ.
Pali BJTසන්ති හි භන්තෙ, භගවතො සාවකා, අරඤ්ඤෙ වනපත්ථානි පන්තානි සෙනාසනානි පටිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි පටිසල්ලානසාරුප්පානි.
Sinhala BJTවහන්ස, යම් කෙනෙක් අල්ප ශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ රහස් ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමඩ සුදුසු වූ, අරණ්‍ය වන ප්‍රස්ථයන් ද, බොහෝ දුරැ සෙනසුන් ද සෙවිත් නම්, භාග්‍යවතුන් වහන්සේගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය.
Pali BJTතත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනො යෙ ඉමස්මිං භගවතො පාවචනෙ අප්පසන්නා තෙසං පසාදාය. උග්ගණ්හාතු භන්තෙ, භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායාති.
Sinhala BJTවහන්ස, මේ භාග්‍යවතුන් වහන්සේගේ සස්න කෙරෙහි නො පහන් වූ, ඒ (යට කී) සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස, මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ ගුප්තිය පිණිස, ආරක්‍ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව’ යි (කීයේ ය.)
Pali BJTඅධිවාසෙසිං ඛො අහං භික්ඛවෙ තුණ්හීභාවෙන.
Sinhala BJTමහණෙනි, මම් නිහඬ වැ ඉවැසීමි.
Pali BJT18. අථ ඛො භික්ඛවෙ, වෙස්සවණො මහාරාජා මෙ අධිවාසනං විදිත්වා තායං වෙලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසි:
Sinhala BJT18. මහණෙනි, ඉක්බිති වෙසවුණු මහ රජ මා ඉවැසූ නියා දැන, එ වේලෙහි මේ ආටානාටිය පිරිත කීයේ ය:
Pali BJTවිපස්සිස්ස නමත්ථු චක්ඛුමන්තස්ස සිරීමතො, සිඛිස්සපි නමත්ථු සබ්බභූතානුකම්පිනො. (1)
Sinhala BJT“පසැස් ඇති සිරිමත් වූ, විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා.
Pali BJTවෙස්සභුස්ස නමත්ථු න්හාතකස්ස තපස්සිනො, නමත්ථු කකුසන්ධස්ස මාරසෙනප්පමද්දිනො. (2)
Sinhala BJTසෝදා හළ කෙලෙස් ඇති, තපස්වී වූ වෙස්සභූ බුදුරජුනට නමස්කාර වේ වා. මරසෙන් මැඩැලූ කකුසඳ බුදුරජුනට නමස්කාර වේ වා.
Pali BJTකොණාගමනස්ස නමත්ථු බ්රාහ්මණස්ස වුසීමතො, කස්සපස්ස ච නමත්ථු විප්පමුත්තස්ස සබ්බධි. (3)
Sinhala BJTබාහිත පාපී වූ, වැස නිමැ වූ මඟබඹසර ඇති, කෝණාගමන බුදුරජුනට නමස්කාර වේ වා. හැම දැයෙහි මිදුණා වූ කසුප් බුදුරජුනට නමස්කාර වේ වා.
Pali BJTඅඞ්ගීරසස්ස නමත්ථු සක්යපුත්තස්ස සිරීමතො, යො ඉමං ධම්මමදෙසෙසි සබ්බදුක්ඛාපනූදනං. (4)
Sinhala BJTයමෙක් සියලු දුක් දුරු ලන මේ ධර්‍මය දෙසී ද, ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍ර අඞ්ගීරසයන් වහන්සේට නමස්කාර වේ වා.
Pali BJTයෙ චාපි නිබ්බුතා ලොකෙ යථාභූතං විපස්සිසුං, තෙ ජනා අපිසුණා මහන්තා වීතසාරදා. (5)
Sinhala BJTලොවැ යම් කෙනෙක් තුමූ නිවුණාහු තත් වූ පරිදි (සත්‍යයන්) විමැසුම් නුවණින් දුටුහු ද, මහත් වූ, පහ වූ බිය ඇති මාත්‍රභාණී වූ ඒ ක්‍ෂීණාස්‍රවයෝ,
Pali BJT19. හිතං දෙවමනුස්සානං යං නමස්සන්ති ගොතමං, විජ්ජාචරණසම්පන්නං මහන්තං වීතසාරදං. (6)
Sinhala BJT19. දෙව්මිනිස්නට හිත වූ, විද්‍යා හා චරණධර්‍මයෙන් සම්පූර්‍ණ වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති, යම් බඳු වූ ගෞතමයන් වහන්සේට නමස්කාර කෙරෙත් ද, ඒ බුදුරජුනට ද ඔබට පළමු වැ සිටි බුදුවරුනට ද නමස්කාර වේ වා.
Pali BJTයතො උග්ගච්ඡති සුරියො ආදිච්චො මණ්ඩලී මහා. යස්ස චුග්ගච්ඡමානස්ස සංවරී පි නිරුජ්ඣති. (7)
Sinhala BJTමහා රශ්මි මණ්ඩලයක් ඇති ආදිත්‍ය සංඛ්‍යාත සූර්‍ය්‍ය තෙමේ යම් තැනෙකින් උදා වේ ද, යම් ඒ හිරුහු නැඟෙන කල්හි රාත්‍රියක් අතුරුදහන් වේ ද,
Pali BJTයස්ස චුග්ගතෙ සුරියෙ දිවසො ති පවුච්චති. රහදො පි තත්ථ ගම්භීරො සමුද්දො සරිතොදකො. (8)
Sinhala BJTයම් දිගෙක හිරු නැඟී කල්හි දහවලැ යි කියනු ලැබේ ද, එ දිගැ පිවිසිණු නදී ජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාසය වෙයි. 8.
Pali BJTඑවං නං තත්ථ ජානන්ති සමුද්දො සරිතොදකො ඉතො සා පුරිමා දිසා ඉති නං ආචික්ඛතී ජනො, යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො. (9)
Sinhala BJTමෙසේ එහි එය නදී ජලය ඇති මුහුද යැ යි දනිත්. කීර්තිමත් ඒ මහ රජෙක් යම් දිශාවක් පාලනය කෙරෙයි ද එය මෙ තැනින් පෙර දෙස යැ යි මහ ජන තෙමේ කිය යි. 9.
Pali BJTගන්ධබ්බානං ආධිපති ධතරට්ඨො ඉති නාමසො, රමතී නච්චගීතෙහි ගන්ධබ්බෙහි පුරක්ඛතො. (10)
Sinhala BJTගාන්‍ධර්‍වයනට අධිපති වූ, නාම වශයෙන් ධෘතරාෂ්ට්‍ර යැ යි ප්‍රකට වූ හෙ තෙමේ ගඳෙව්වන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් එහි සිත් අලවා වෙසෙයි. 10.
Pali BJTපුත්තා පි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං, අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා. (11)
Sinhala BJTඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැයි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු අසූවෙක් ද දශයෙක් ද එකෙක් ද (එක් අනූ දෙනෙක්) වෙත්. 11.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං, නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම (12)
Sinhala BJTඔහු ද සූර්‍ය්‍යබන්‍ධු වූ කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ භය ඇති බුදුරජුන් දැක, ‘පුරුෂාජානේයයෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාර වේ වා’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි අමනුස්සාපි තං වන්දන්ති, සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ. (13)
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි කියා අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්,
Pali BJTජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං, විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං. (14)
Sinhala BJT‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි අසම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ,’ යි ඔහු කියත්,
Pali BJTයෙන පෙතා පවුච්චන්ති පිසුණා පිට්ඨිමංසිකා, පාණාතිපාතිනො ළුද්දා චොරා නෙකතිකා ජනා (15)
Sinhala BJTකලුරිය කළාහු යම් දෙසකට ‘ගෙන යනු ලබත් ව’ යි කියනු ලැබෙත් ද, කේලාම් කියන, පිටුමස් කන්නවුන් සේ පිටු පා ගිය කලැ ගරහන, පණිවා කරන, රෞද්‍ර වූ සොර වූ කපට වූ ජනයෝ යම් දිගකට ගෙන ගොස් නසනු ලබත් ව’ යි කියනු ලැබෙත් ද,
Pali BJTඉතො සා දක්ඛිණා දිසා ඉති නං ආචික්ඛතී ජනො, යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො. (16)
Sinhala BJTඒ යම් දිශාවක් යශස්වී මහ රජෙක් පාලනය කරයි ද, ඒ මෙයින් දකුණු දිග යැ යි මහ ජන තෙමේ කිය යි.
Pali BJTකුම්භණ්ඩානං ආධිපති විරූළ්හො ඉති නාමසො, රමතී නච්චගීතෙහි කුම්භණ්ඩෙහි පුරක්ඛතො. (17)
Sinhala BJTඑ දෙයෙහි කුම්භාණ්ඩයනට අධිපති වූ, නම් විසින් විරෑඪක යැ යි ප්‍රකට රජ තෙමේ කුම්භාණ්ඩයන් විසින් පෙරටු කරන ලද්දේ නැටුමෙන් ගැයුමෙන් සිත් අලවා වෙසෙයි.
Pali BJTපුත්තා පි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං, අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා. (18)
Sinhala BJTඔහුට එක් ම නමක් ඇති බොහෝ පුත්‍රයෝ ද වෙත්. ඉන්‍ද්‍ර නම් වූ මහ බලැති ඔහු එක් අනූ දෙනෙකැ යි මා විසින් අසන ලදී.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම.
Sinhala BJTඔහු ද සූර්‍ය්‍ය බන්‍ධු වූ, මහත් බවට පැමිණි, පහ වූ බිය ඇති, කෙලෙස් නින්දෙන් පිබිදුණු, බුදුරජාණන් වහන්සේ දැක, ‘ආජානේය පුරුෂයාණෙනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයාණනි, ඔබට නමස්කාර වේ ව’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති, සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ. ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං, විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං.
Sinhala BJT‘ඔබ නිපුණ වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිති. මෙය අප විසින් එක්වන් අසන ලදී. එ හෙයින්, ‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි අපි මෙසේ (ප්‍රශ්න වශයෙන්) කියම්හ. ‘අපි ගෞතම ජිනයන් වහන්සේ වඳුම්හ. විද්‍යාචරණසම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි (ඔහු උත්තර දෙත්.)
Pali BJT21. යත්ථ චොග්ගච්ඡති සුරියො ආදිච්චො මණ්ඩලී මහා. යස්ස චොග්ගච්ඡමානස්ස දිවසොපි නිරුජ්ඣති.
Sinhala BJT21. මහ රස් මඬුලු ඇති ආදිත්‍ය නම් වූ හිරු යම් දිගෙක බස්නේ ද, යම් ඒ හිරු බස්නා කල්හි දහවලත් අතුරුදහන් වේ ද,
Pali BJTයස්ස චොග්ගතෙ සුරියෙ සංවරී ති පවුච්චති. රහදො පි තත්ථ ගම්භීරො සමුද්දො සරිතොදකො.
Sinhala BJTයම් දිගකට හිරු බැස ගිය කලැ රාත්‍රි යැ යි කියනු ලැබේ ද, එ දිගැ, පිවිසුණු නදීජලය ඇති සමුද්‍ර නම් වූ ගැඹුරු ජලාශය ය වෙයි.
Pali BJTඑවං නං තත්ථ ජානන්ති සමුද්දො සාරිතොදකො. ඉතො සා පච්ඡිමා දිසා ඉති නං ආචික්ඛතී ජනො යං දිසං අභිපාලෙති මහාරාජා යසස්සි සො.
Sinhala BJTමෙසේ එහි එය පිවිසි නදීජලය ඇති මුහුද යැ යි දනිත්. යශස් ඇති ඒ මහරජෙක් යම් දිගක් පාලනය කෙරෙයි ද, එය මෙ තැනින් පැසිම් දෙසැ යි මහජනයා කිය යි.
Pali BJTනාගානං ආධිපති විරූපක්ඛො ඉති නාමසො, රමතී නච්චගීතෙහි නාගෙහෙව පුරක්ඛතො.
Sinhala BJTනාගයනට අධිපති වූ, නම් විසින් විරූපාක්‍ෂ යැ යි ප්‍රකට වූ හේ නාගයන් විසින් පෙරටු කරන ලද්දේ, නැටුම් ගැයුම්නෙන් නෙත්සිත් අලවා එහි වෙසෙයි.
Pali BJTපුත්තාපි තස්ස බහවො එකනාමා’ති මෙ සුතං අසීතිං දස එකො ච ඉන්දනාමා මහබ්බලා.
Sinhala BJTඔහුට එක් ම නමක් ඇති පුතුන් ද බොහෝ ඇතැ යි මා විසින් අසන ලදී. මහ බලැති ඉන්‍ද්‍ර නම් වූ ඔහු එක් අනූ දෙනෙක් වෙත්.
Pali BJTතෙ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්චබන්ධුනං දූරතො’ව නමස්සන්ති මහන්තං වීතසාරදං. ‘නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම’
Sinhala BJTඔහු ද සූර්‍ය්‍ය බන්‍ධු වූ, කෙලෙස් නින්දෙන් පිබිදියා වූ, මහත්ත්‍වයට පැමිණි, පහ වූ බිය ඇති බුදුරජුන් දැක, ‘ආජානේය පුරුෂයාණනි, ඔබට නමස්කාර වේ වා, පුරුෂෝත්තමයාණනි ඔබට නමස්කාර වේ ව’ යි දුරැ සිට ම නමස්කාර කෙරෙත්.
Pali BJTකුසලෙන සමෙක්ඛසි, අමනුස්සාපි තං වන්දන්ති, සුතං නෙතං අභිණ්හසො තස්මා එවං වදෙමසෙ. ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං, විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං
Sinhala BJT‘ඔබ නිපුණා වූ සර්‍වඥතාඥානයෙන් මහ ජනයා දෙස බලති’ යි අමනුෂ්‍යයෝ ද ඔබ වඳිත්. මෙය අප විසින් එක්වන් අසනලදී. එ හෙයින්, ‘තෙපි ගෞතම ජිනයන් වහන්සේ වඳිහු දැ?’ යි මෙසේ අපි ප්‍රශ්න කරම්හ. ‘ගෞතම ජිනයන් වහන්සේ වඳුම්, විද්‍යාචරණ සම්පන්න වූ ගෞතම බුදුරජාණන් වහන්සේ වඳුම්හ’ යි ඔහු කියත්.