Pali BJTතං වෙය්යඤ්ජනිකා සමාගතා බහවො බ්යාකංසු නිපුණසම්මතා මනුජා සුචිජනපරිවාරගණො භවති දිජසමසුක්කසුචිසොභනදන්තො.
Sinhala BJTපණ්ඩිතසම්මත වූ බොහෝ ලක්‍ෂණ පාඨක බමුණෝ රැස් වූවාහු, ‘මෙ තෙමේ දෙවරක් උපන් සම වූ සුදු වූ පිරිසිදු වූ ශෝභන දත් ඇත්තේ පිරිසිදු ජනයන් පිරිවර මුළුව කොටැත්තේ වේ’ යැ යි ද,
Pali BJTරඤ්ඤො හොති බහුජනො සුචිපරිවාරො මහතිං මහිං අනුසාසකො, පසය්හ න ච ජනපදතුදනං හිතමපි ච බහුජනසුඛඤ්ච චරන්ති.
Sinhala BJTරජ වූ මොහුට බොහෝ දෙනා පිරිසිදු පිරිවර වෙයි. මහ පොළොව අත් කොට ගෙන පාලනය කරන්නේ ය. අන් කෙනෙකුගෙන් මොහුගේ රටට පීඩාවෙක් නො වෙයි. එ දනවුහි වැස්සෝ උනුනට හිතවැඩ ද බොහෝ දෙනාට සුවය ද සිදු කෙරෙත් යැ යි ද,
Pali BJTඅථ චෙ පබ්බජති භවති විපාපො සමණො සමිතරජො විවත්තඡද්දො, විගතදරථකිලමථො ඉමම්පි ච පරමපි ච{1} පස්සති ලොකං.
Sinhala BJTඉදින් මෙ තෙමේ පැවිදි වන්නේ නම්, පහ වූ පව් ඇති, සංසිඳුවූ කෙලෙස් දූලි ඇති, බැහැරැ කළ කෙලෙස් සෙවෙනි ඇති, පහ වූ කායික පීඩා හා ක්ලාන්ති ඇති ශ්‍රමණයෙක් වනුයේ, මෙ ලොව ද පර ලොව ද දකී යැ යි ද,
Pali BJTතස්සොවාදකරා බහූ ගිහී ච පබ්බජිතා ච අසුචිගරහිතං{2} ධුනන්ති පාපං, ස හි සුචිභි පරිවුතො භවති මලඛීලකලිකිලෙසෙ පනුදෙතී ති{3}
Sinhala BJTඔබගේ අවවාද පිළිපදනා බොහෝ ගිහියෝ ද පැවිද්දෝ ද අශුචි සෙයින් ගර්හිත වූ පාපය වනසත්. හේ වනාහි පිරිසිදු දහමින් පිරිවැරුණේ වෙයි. රාගාදි කෙලෙස් නැමැති මල ද කණු කටු ද ද්වේෂ නැමැති පාපය ද සියලු කෙලෙසුන් ද ප්‍රහීණ කරන්නේ යැ’යි ද කියා පැවැසූහ.
Pali BJTලක්ඛණසුත්තං නිට්ඨිතං සත්තමං.
Sinhala BJTසත්වනු ලක්‍ෂණ සූත්‍රය නිමියේ යැ.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසිගාලසුත්තං
Sinhala BJTසිගාලක සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි.
Pali BJTඑකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිගාලකො{1} ගහපතිපුත්තො කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුද්දිසා{2} නමස්සති, පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා කලන්‍දක නිවාප නම් වූ වේළුවන අරමැ වැඩ වසන සේක. එ කල්හි සිගාලක නම් ගැහැවි පුත් කලින් ම (උදාසනක් සේ ම) නැඟී සිට, රජගහ නුවරින් නික්මැ ගොස්, තෙත් රෙදි ඇත්තේ, තෙත් කෙහෙ ඇත්තේ, දොහොත් මුදුනැ තබා ගත්තේ පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද යන බොහෝ දිශාවන් වඳී.
Pali BJT2. අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො භගවා සිගාලකං ගහපතිපුත්තං කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථං අල්ලකෙසං පඤ්ජලිකං පුථුද්දිසා නමස්සන්තං, පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසං. දිස්වාන සිගාලකං ගහපතිපුත්තං එතදවොච: කින්නු ඛො ත්වං ගහපතිපුත්ත කාලස්සෙව උට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුද්දිසා නමස්සසි, පුරත්ථිමං දිසං දක්ඛිණං දිසං පච්ඡිමං දිසං උත්තරං දිසං හෙට්ඨිමං දිසං උපරිමං දිසන්ති?”
Sinhala BJT2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ, පා සිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසි සේක. භාග්‍යවතුන් වහන්සේ, කලින් ම නැඟී සිට රජගහ නුවරින් නික්මැ, තෙත් වස්ත්‍ර ඇති ව, තෙත් කෙහෙ ඇතිව, දොහොත් මුදුනැ තබා ගෙන, පෙර දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද, දකුණු දෙස ද, අවර දෙස ද, උතුරු දෙස ද, යට දෙස ද, උඩ දෙස ද, වඳනා සිගාලක ගැහැවි පුතු දුටු සේක් ම ය. දැක, ඔහු බණවා, ‘ගැහැවි පුත, කවර හෙයින් තෙපි කල් තබා ම නැඟී සිට රජගහ නුවරින් නික්මැ, තෙත් වස්ත්‍ර ඇත්තෙහි, තෙත් කෙහෙ ඇත්තෙහි, දොහොත් මුදුන් තබාගෙන, පෙර දෙස, දකුණු දෙස, අවර දෙස, උතුරු දෙස, යට දෙස, උඩ දෙස යන බොහෝ දිශාවන් වඳිවු දැ?” යි අසා වදාළ සේක.
Pali BJT“පිතා මං භන්තෙ, කාලං කරොන්තො එවං අවච: ‘දිසා තාත නමස්සෙය්යාසී’ති. සො ඛො අහං භන්තෙ පිතු වචනං සක්කරොන්තො ගරුකරොන්තො මානෙන්තො පූජෙන්තො කාලස්සෙව වුට්ඨාය රාජගහා නික්ඛමිත්වා අල්ලවත්ථො අල්ලකෙසො පඤ්ජලිකො පුථුද්දිසා නමස්සාමි, පුරත්ථිමං දිසං -පෙ- උපරිමං දිසන්ති”.
Sinhala BJT“වහන්ස, මා පියා කලුරිය කරනුයේ, ‘දරුව, දිශාවන් වඳුව’ යි මට මෙසේ කී ය. වහන්ස, ඒ මම් පියාගේ වචනයට සත්කාර කරනුයෙම්, ගරුකාර කරනුයෙම්, බුහුමන් කරනුයෙම්, පූජා කරනුයෙම්, කලින් ම නැඟී සිට රජගහ පුරයෙන් නික්මැ, තෙත් රෙදි ඇති ව, තෙත් කෙහෙ ඇති ව, දොහොත් මුදුනැ තබාගෙන, පෙර දෙස … උඩ දෙස වඳිමි’ යි (සිගාලක තෙමේ) කී ය.
Pali BJT“න ඛො ගහපතිපුත්ත, අරියස්ස විනයෙ එවං ඡද්දිසා නමස්සිතබ්බා”ති.
Sinhala BJT‘ගැහැවි පුත, ආර්‍ය්‍ය විනයයෙහි ස දෙස්හු මෙසේ නො වැන්ද යුත්තාහ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“යථා කථං පන භන්තෙ, අරියස්ස විනයෙ ඡද්දිසා නමස්සිතබ්බා? සාධු මෙ භන්තෙ භගවා තථා ධම්මං දෙසෙතු යථා අරියස්ස විනයෙ ඡදිදිසා නමස්සිතබ්බා”ති.
Sinhala BJT‘වහන්ස, කෙසේ නම් ආර්‍ය්‍ය විනයයෙහි ස දෙස්හු වැන්ද යුත්තාහු ද? වහන්ස, ආර්‍ය්‍යවිනයයෙහි යම්සේ ස දෙස්හු වැන්ද යුත්තාහු නම්, එසේ භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසන සේක් වා’ යි ගැහැවි පුත් කී ය.
Pali BJTඡද්දිසා
Sinhala BJTස දිසා
Pali BJT3. තෙන හි ගහපතිපුත්ත, සුණාහි, සාධුකං මනසි කරොහි, භාසිස්සාමී’ති.
Sinhala BJT3. ‘ගැහැවි පුත, එසේ වී නම් අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT‘එවං භන්තෙ’ති ඛො සිගාලො ගහපතිපුත්තො භගවතො පච්චස්සොසි.
Sinhala BJTඑසේ ය, වහන්සැ’ යි ම සිගාලක ගැහැවි පුත් භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන.
Pali BJTභගවා එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT“යතො ඛො ගහපතිපුත්ත, අරියසාවකස්ස චත්තාරො කම්මකිලෙසා පහීණා හොන්ති, චතූහි ඨානෙහි පාපකම්මං න කරොති, ඡ ච භොගානං අපායමුඛානි න සෙවති, සො එවං චුද්දසපාපකාපගතො, ඡද්දිසාපටිච්ඡාදී,{1} උභයලොකවිජයාය පටිපන්නො හොති, තස්ස අයං චෙව ලොකො ආරද්ධො හොති පරො ච ලොකො. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJT“ගැහැවි පුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ සතර කර්‍මක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද, යම් හෙයෙකින් ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සතර කරුණෙකින් පව්කම් නො කරයි ද, යම් හෙයෙකින් භෝගයන්ගේ විනාශමුඛ සයත් නො සෙවී ද, හෙ තෙමේ මෙසේ තුදුස් ලාමක කම්වලින් පහ වූයේ ස දිසාවන් වසාලනුයේ, දෙලෝ ජය ගැන්ම පිණිස පිළිපන්නේ වෙයි. ඔහු විසින් මෙලොව ද ආරාධිත වෙයි, පරලොව ද ආරාධිත වෙයි. හේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණෙයි.
Pali BJTකම්මකිලෙසා
Sinhala BJTකර්‍ම ක්ලේශ
Pali BJT4. කතමස්ස චත්තාරො කම්මකිලෙසා පහීණා හොන්ති? පාණාතිපාතො ඛො ගහපතිපුත්ත කම්මකිලෙසො, අදින්නාදානං කම්මකිලෙසො, කාමෙසු මිච්ඡාචාරො කම්මකිලෙසො, මුසාවාදො කම්මකිලෙසො. ඉමස්ස චත්තාරො කම්මකිලෙසා පහීණා හොන්තී”ති. ඉදමවොච භගවා. ඉදං වත්වා{2} සුගතො, අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT4. ඔහුගේ කවර සතර දෙනෙක් කර්‍ම ක්ලේශයෝ (අත්බව කිලිටි කරන කර්‍ම) ප්‍රහීණ වෙත් ද? ගැහැවිපුත, ප්‍රාණඝාතය වනාහි කර්‍ම ක්ලේශයෙකි, අදත්තාදානය කර්‍ම ක්ලේශයෙකි, කාමයන්හි වරදවා හැසිරීම කර්‍ම ක්ලේශයෙකි, මෘෂාවාදය කර්‍මක්ලේශයෙකි. ඔහුගේ මේ ක්ලේශයෝ ප්‍රහීණ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ නැවැත ගාථා බන්‍ධන වශයෙන් අනෙකක් වූ මෙය වදාළ සේක:
Pali BJTපාණාතිපාතං අදින්නාදානං මුසාවාදො ච වුච්චති පරදාරගමනඤ්චෙව නප්පසංසන්ති පණ්ඩිතා’ති.
Sinhala BJTපණිවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන මේ දෑ නුවණැත්තෝ නො පසසත්.
Pali BJTඅගතිගමනානි
Sinhala BJTඅගති ගමන
Pali BJT5. කතමෙහි චතූහි ඨානෙහි පාපකම්මං කරොති? ඡන්දාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති, දොසාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති, මොහාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති, භයාගතිං ගච්ඡන්තො පාපකම්මං කරොති. යතො ඛො ගහපතිපුත්ත අරියසාවකො නෙව ඡන්දාගතිං ගච්ඡති, න දොසාගතිං ගච්ඡති, න මොහාගතිං ගච්ඡති, න භයාගතිං ගච්ඡති, ඉමෙහි චතූහි ඨානෙහි පාපකම්මං න කරොතී’ති. ඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT5. (ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ) කවර සතර කරුණෙකින් පව්කම් නො කෙරේ ද යත්: (පුහුදුන්තෙමේ), ඡන්‍දයෙන් අගතියට යනුයේ (කො කටයුත්තක් කරනුයේ) පව්කම් කරයි, ද්වේෂයෙන් අගතියට යනුයේ පව්කම් කරයි, බියෙන් අගතියට යනුයේ පව්කම් කරයි, මෝහයෙන් අගතියට යනුයේ පව්කම් කරයි. ගැහැවිපුත, යම් හෙයෙකින් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඡන්‍දයෙන් අගතියට නො ම යන්නේ ද, ද්වේෂයෙන් අගතියට නො ම යන්නේ ද, බියෙන් අගතියට නොම යන්නේ ද, මෝහයෙන් අගතියට නො ම යන්නේ ද, හේ මේ සතර කරුණින් පව්කම් නො කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, නැවත ගාථාබන්‍ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළ සේක:
Pali BJTඡන්දා දොසා භයා මොහා යො ධම්මං අතිවත්තති, නිහීයති තස්ස යසො{3}කාළපක්ඛෙ’ව චන්දිමා.
Sinhala BJT‘ඡන්‍දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද යමෙක් යුක්තිධර්‍මය ඉක්මැ යේ ද, කළුවර පසැ සඳුහු මෙන්, ඔහුගේ යශස පිරිහෙයි.’
Pali BJTඡන්දා දොසා භයා මොහා යො ධම්මං නාතිවත්තති, ආපූරති තස්ස යසො{1} සුක්කපක්ඛෙ ව{2} චන්දිමා’ති.
Sinhala BJTයමෙක් ඡන්‍දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද යුක්තිධර්‍මය ඉක්මැ නො යේ ද, ඔහුගේ යශස පුර පසැ සඳුහු මෙන් වැඩෙයි.”
Pali BJTඡ අපායමුඛානි
Sinhala BJTඅපායමුඛ සය
Pali BJT6. කතමානි ඡ භොගානං අපායමුඛානි න සෙවති? සුරාමෙරයමජ්ජපමාදට්ඨානානුයොගො ඛො ගහපතිපුත්ත භොගානං අපායමුඛං. විකාලවිසිඛාචරියානුයොගො භොගානං අපායමුඛං. සමජ්ජාභිචරණං භොගානං අපායමුඛං. ජූතප්පමාදට්ඨානානුයොගො භොගානං අපායමුඛං. පාපමිත්තානුයොගො භොගානං අපායමුඛං. ආලස්සානුයොගො භොගානං අපායමුඛං.
Sinhala BJT6. හේ භෝගයන්ගේ කවර විනාශමුඛ සයක් නො සෙවි ද යත්: ගැහැවි පුත, මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. නොකල්හි වීථිසංචාරයෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. උත්සව දර්‍ශනය පිණිස යෑම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. ප්‍රමාදයට කාරණයක් වූ දූකෙළියෙහි යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. පාපමිත්‍රයන් හා පුන පුනා එක් වීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි. අලසබව්හි නැවත නැවත යෙදීම භෝගයන්ගේ විනාශ මුඛයෙකි.
Pali BJTමජ්ජපානාදීනවා
Sinhala BJTමද්‍යපානාදීනව
Pali BJTඡ ඛො’මෙ ගහපතිපුත්ත, ආදීනවා සුරාමෙරයමජ්ජපමාදට්ඨානානුයොගෙ: සන්දිට්ඨිකා ධනජානි, කලහප්පවඩ්ඪනී, රොගානං ආයතනං, අකිත්තිසඤ්ජනනී, කොපීනනිදංසනී පඤ්ඤාය දුබ්බලීකරණීත්වෙව ඡට්ඨං පදං භවති. ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා සුරාමෙරයමජ්ජපමාදට්ඨානානුයොගෙ.
Sinhala BJTගැහැවි පුත, මත්බවටත් ප්‍රමාදයටත් කාරණ වූ රහමෙර පීමෙහි පුන පුනා යෙදීමෙහි මේ දොස් සයෙකි: මෙ ලොවැදීම වන ධන හානිය, කලහ වැඩීම, රෝගයනට කෙතක් වීම. අපකීර්ති ඉපැදැවීම, කයෙහි ගුහ්‍යස්ථාන විවෘත කොට හැසිරීම, නුවණ දුර්‍වල කිරීම යන සවැනි කාරණය ද වෙයි. ගැහැවි පුත, මදයට ප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙහි මේ දොස් සය වේ.
Pali BJTවිකාලචරියාදීනවා
Sinhala BJTවිකාලචරියාදීනව
Pali BJTඡ ඛො’මෙ ගහපතිපුත්ත, ආදීනවා විකාලවිසිඛාචරියානුයොගෙ: අත්තාපි’ස්ස අගුත්තො අරක්ඛිතො හොති පුත්තදාරොපි’ස්ස අගුත්තො අරක්ඛිතො හොති, සාපතෙය්යම්පි’ස්ස අගුත්තං අරක්ඛිතං හොති, සඞ්කියො ච හොති පාපකෙසු ඨානෙසු, අභූතවචනං ච තස්මිං රූහති, බහූනඤ්ච දුක්ඛධම්මානං පුරක්ඛතො හොති. ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා විකාලවිසිඛාචරියානුයොගෙ.
Sinhala BJTගැහැවි පුත, නොකල්හි වීථි සඤ්චාරයෙහි පුන පුනා යෙදීමෙහි මේ දොස් සයෙකි: තෙමේ ද සංගෝපිත නො වූ යේ නො රක්නාලද්දේ වෙයි. ඔහුගේ අඹුදරුවෝ ද අසංගෝපිත වූවාහු නොරක්නා ලද්දාහු වෙත්, ඔහුගේ වස්තුව ද සංගෝපිත නො වූයේ නොරක්නා ලද්දේ වෙයි. පාප ක්‍රියාවන්හි සැක කටයුත්තෙක් ද වෙයි, අභූත දෝෂ කථා ද ඔහු කෙරෙහි නැඟෙයි, තවත් බොහෝ දුක් දොම්නසුන් විසින් පෙරටු කරන ලද්දේ වෙයි, (බොහෝ දුක් ඔහු පසු පස එයි). ගැහැවි පුත, මොහු සදෙන නොකල්හි වීථිසඤ්චාරයෙහි පුන පුනා යෙදීමෙහි දෝෂයෝ ය.
Pali BJTසමජ්ජාභිචරණාදීනවා
Sinhala BJTසමද්‍යාභිචරණාදීනව
Pali BJTඡ ඛො’මෙ ගහපතිපුත්ත, ආදීනවා සමජ්ජාභිචරණෙ: ක්ව{3} නච්චං, ක්ව ගීතං, ක්ව වාදිතං, ක්ව අක්ඛානං, ක්ව පාණිස්සරං, ක්ව කුම්භථූණන්ති? ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා සමජ්ජාභිචරණෙ.
Sinhala BJTගැහැවි පුත, උත්සව දර්‍ශනයට යාමෙහි මේ දොස් සයෙකි: කොහි නැටුම් ඇද්ද? කොහි ගැයුම් ඇත්ද? කොහි වැයුම් ඇද්ද? ආඛ්‍යාන (රාමායණාදී කථා කීම) කොහි ඇද්ද? අත්තාලම් ඈ ගැසීම කොහි ඇද්ද? කළ පිඹීම් ආදිය කොහි ඇද්ද? යි සොයා හැවිදිත්. උත්සව දර්‍ශනයට යෑමෙහි මේ ආදීනව සය ය.
Pali BJTජූතප්පමාදාදීනවා
Sinhala BJTද්‍යුතප්‍රමාදාදීනව
Pali BJTඡ ඛො’මෙ ගහපතිපුත්ත, ආදීනවා ජූතප්පමාදට්ඨානානුයොගෙ: ජයං වෙරං පසවති, ජිතො විත්තමනුසොචති, සන්දිට්ඨිකා ධනජානි, සභාගතස්ස{1} වචනං න රූහති, මිත්තාමච්චානං පරිභූතො හොති, ආවාහවිවාහකානං අපත්ථිතො හොති, අක්ඛධුත්තො අයං පුරිසපුග්ගලො නාලං දාරභරණායා’ති. ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා ජූතප්පමාදට්ඨානානුයොගෙ.
Sinhala BJTගැහැවි පුත, ප්‍රමාදයට කාරණ වූ දූ කෙළියෙහි යෙදීමෙහි මේ දොස් සයෙකි: දිනනුයේ (පැරැදුණුහු තුළ) වෛර උපදවයි, පැරැදුණේ (නටුවාවූ) වස්තුව අනු සොවී. තමා දැක්කැදී ම ධනහානිය වේ. සභාවට ගිය ඔහුගේ වචන නො නැඟේ. මිත්‍රාමාත්‍යයන් විසින් පිරිහෙළන ලද්දෙක් වෙයි. ‘මේ පුරුෂපුද්ගල තෙමේ අක්‍ෂධූර්‍තයෙකැ’ යි අඹුදරුවන් රක්නට නො සමත් වේ යැ’ යි ආවාහක විවාහකයන් විසින් නො පතන ලදුයේ වෙයි. ගැහැවි පුත, මොහු ප්‍රමාදයට කාරණ වූ දූකෙළියෙහි පුනපුනා යෙදුම්හි දෝෂයෝ සදෙන වෙත්.
Pali BJTපාපමිත්තානුයොගාදීනවා
Sinhala BJTපාපමිත්‍රානුයෝගාදීනව
Pali BJTඡ ඛො’මෙ ගහපතිපුත්ත, ආදීනවා පාපමිත්තානුයොගෙ: යෙ ධුත්තා, යෙ සොණ්ඩා, යෙ පිපාසා, යෙ නෙකතිකා, යෙ වඤ්චනිකා, යෙ සාහසිකා. ත්යාස්ස මිත්තා හොන්ති, තෙ සහායා. ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා පාපමිත්තානුයොගෙ.
Sinhala BJTගැහැවි පුත, පාපමිත්‍රානුයෝගයෙහි (ලාමක මිතුරන් ඇසුරු කැරැම්හි) මේ දෝෂ සයෙකි: අක්‍ෂධූර්‍ත (දූකෙළියෙහි යෙදුණු) යම් කෙනෙක් වෙත් ද ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, යම ඉතිරි සොඬ ආදි සොඬහු වෙත් ද, ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, බීමෙහි ලොල්වූ යම් කෙනෙක් වෙත් ද, ඔහු පාපමිත්‍රානුයුක්තයාට මිත්‍ර වෙත්, සහාය වෙත්, යම් නෛකතික (බොරුරන් ආදිය දී රවටන) කෙනෙක් වෙත් ද, ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, යම් වංචනික (සම්මුඛ වචනයෙන් රවටන) කෙනෙක් වෙත් ද, ඔහු ඔහුට මිත්‍ර වෙත්, සහාය වෙත්, ගම් පැහැරීම් ආදි සාහසික කර්‍මයන්හි යෙදුණු යම් කෙනෙක් වෙත් ද, ඔහු පාපමිත්‍රානුයෝගියාට මිත්‍ර වෙත්, සහාය වෙත්. ගැහැවි පුත, පාපමිත්‍රානුයෝගයෙහි මේ දොස් සය ය.
Pali BJTආලස්සාදීනවා
Sinhala BJTආලස්‍යාදීනව
Pali BJTඡ ඛො’මෙ ගහපතිපුත්ත, ආදීනවා ආලස්සානුයොගෙ: අතිසීතන්ති කම්මං න කරොති, අතිඋණ්හන්ති කම්මං න කරොති, අතිසායන්ති කම්මං න කරොති, අතිපාතො’ති කම්මං න කරොති, අතිජාතො’ස්මීති කම්මං න කරොති, අතිධාතො’ස්මීති කම්මං න කරොති. තස්ස එවං කිච්චාපදෙසබහුලස්ස විහරතො අනුප්පන්නා චෙව භොගා නුප්පජ්ජන්ති, උප්පන්නා ච භොගා පරික්ඛයං ගච්ඡන්ති. ඉමෙ ඛො ගහපතිපුත්ත, ඡ ආදීනවා ආලස්සානුයොගෙ”ති.
Sinhala BJTගැහැවි පුත, අලසබව්හි යෙදීමෙහි මේ දෝෂයෝ ස දෙනෙක් වෙත්. ඉතා ශීත යැයි කර්‍මාන්ත නො කෙරෙයි, ඉතා උෂ්ණයැ යි කර්‍මාන්ත නො කෙරෙයි. ඉතා සවස් කාලය වී යැ යි කර්‍මාන්ත නො කෙරෙයි. ඉතා උදාසන යැ යි කර්‍මාන්ත නො කෙරෙයි, ඉතා බඩ සා ඇත්තෙමි යි කර්‍මාන්ත නො කෙරෙයි, ඉතා වැඩියක් අහර ගතිමි යි කර්‍මාන්ත නො කෙරෙයි. මෙසේ කටයුතු අතපසු කිරීම බහුල කොට ඇති ඔහුට නූපන් භෝගයෝ නො උපදිත්; උපන් භෝගයෝ ද විනාශයට යෙත්. ගැහැවි පුතුනි, මේ අලසබව්හි යෙදීමෙහි දොස් සය ය.
Pali BJTඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා යලි ගාථා බන්‍ධන වශයෙන් අනෙකක් වූ මෙය වදාළ සේක.
Pali BJT7. “හොති පානසඛා නාම හොති සම්මියසම්මියො යො ච අත්ථෙසු ජාතෙසු සහායො හොති සො සඛා. (1)
Sinhala BJT7. පානසඛ නම් (මත් පැන් බොන තැනැදී පමණක් යහලු වූ) යහලුවෙක, සම්මීය සම්මීය නම් (හමු වූ තැනදී පමණක් මිතුරු කම් අඟවන) යහලුවෙක, වැඩ ඇති වූ කල්හි යමෙක් යහලු වේ ද එසේ වූ යහලුවෙක් ඇත.
Pali BJTඋස්සූරසෙය්යා පරදාරසෙවනා වෙරප්පසඞ්ගො{1} ච අනත්ථතා ච පාපා ච මිත්තා සුකදරියතා ච එතෙ ඡ ඨානා පුරිසං ධංසයන්ති. (2)
Sinhala BJTඉරු උදා වන තෙක් නිදීම ය, පරඹුවන් සෙවීම ය, වෛර බහුල බව ය, අවැඩ කරන බව ය, පාප මිත්‍රයෝ ය, තද මසුරු බව ය යන මේ කරුණු සය පුරුෂයා වනසයි.
Pali BJTපාපමිත්තො පාපසඛො පාපආචාරගොචරො අස්මා ලොකා පරම්හා ච උභයා ධංසතෙ නරො. (3)
Sinhala BJTලාමක මිතුරන් ඇති, ලාමක යහලුවන් ඇති, ලාමක වූ ආචාර ගෝචර ඇති මිනිස් තෙමේ මොලොවින් ද පරලොවින් ද යන දෙපසින් ම වැනැසෙයි.
Pali BJTඅක්ඛිත්ථියො වාරුණී නච්චගීතං දිවාසොප්පං පාරිචරියා අකාලෙ පාපා ච මිත්තා සුකදරියතා ච එතෙ ඡ ඨානා පුරිසං ධංසයන්ති. (4)
Sinhala BJTදූ කෙළීම ය, පරඹුවන් කරා යෑම ය, මත්පැන් පීම ය, නැටුම් ගැයුම් සොයා යෑම ය, දහවල් නිදීම ය, නොකල්හි වීථි සංචාරය ය, පාප මිත්‍රයෝ ය, දැඩි මසුරු බව ය යන මේ කරුණු සය මිනිසා වනසයි.
Pali BJTඅක්ඛෙහි දිබ්බන්ති සුරං පිවන්ති යන්තිත්ථියො පාණසමා පරෙසං නිහීනසෙවී න ච වුද්ධසෙවි{2} නිහීයරෙ කාළපක්ඛෙ’ව චන්දො. (5)
Sinhala BJTපසැටින් කෙළිත්, රො බොත්, අනුන් ප්‍රාණ සම ව රක්නා අඹුවන් කරා යෙත්. පිරිහුණවුන් සෙව්නාහුයැ වැඩුණවුන් නො සෙව්නාහු ය. ඔහු කළුවර පසැ සඳු සෙයින් පිරිහෙත්.
Pali BJTයො වාරුණී අධනො අකිඤ්චනො පිපාසො පිවං පාපං ගතො{3} උදකමිව ඉණං විගාහති අකුලං{4} කාහිති ඛිප්පමත්තනො. (6)
Sinhala BJTධනය නැති දිළිඳු වූ යමෙක් මත්පැන් බොනුයේ පොකුණක් වෙත් ගියක්හු පැන් බොන්නා සේ මත්පැන් බීමෙහි ගිජු වූයේ ද, හේ ණය ගැති බවට බැසගනී. වහා සිය කුලය අකුලයක් (පිරිහුණු කුලයක්) කරන්නේ ය.
Pali BJTන දිවාසොප්පසීලෙන රත්තිමුට්ඨානදෙස්සිනා{5}, නිච්චං මත්තෙන සොණ්ඩෙන සක්කා ආවසිතුං ඝරං. (7)
Sinhala BJTදහවල් නිදන සුලු, රෑ පිබිදැ සිටීම නොරිසියෙන, නිතර මත් වූ. සොඬ වූ තැනැත්තහු විසින් ගෙහි වසන්නට නො හැක්ක.
Pali BJTඅතිසීතං අතිඋණ්හං අතිසායමිදං අහු, ඉති විස්සට්ඨකම්මන්තෙ අත්ථා අච්චෙන්ති මාණවෙ. (8)
Sinhala BJTධනයෝ ‘දැන් ඉතා ශීත ය, ඉතා ඌෂ්ණ ය, ඉතා සවස් යැ’ යි හරන ලද කර්‍මාන්ත ඇති මිනිසුන් ඉක්මැ යෙත්.
Pali BJTයො’ධ සීතඤ්ච උණ්හඤ්ච තිණා භිය්යො න මඤ්ඤති කරං පුරිසකිච්චානි සො සුඛා{6} න විහායතී”ති. (9)
Sinhala BJTමෙහි යමෙක් ශීතයත් උෂ්ණයත් තණපතකට වැඩියෙන් නො තකා ද, පුරුෂ කාර්‍ය්‍යයන් කරන හෙ තෙමේ සැපය අත් නො හරී.
Pali BJTමිත්තපතිරූපකා
Sinhala BJTමිත්‍රප්‍රතිරූපකයෝ
Pali BJT8. චත්තාරො’ මෙ ගහපතිපුත්ත, අමිත්තා මිත්තපතිරූපකා{1} වෙදිතබ්බා. අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො, අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
Sinhala BJT8. ගැහැවිපුත, මිත්‍ර ප්‍රතිරූපක වූ (මිතුරු වෙසින් පැනෙන) සතර අමිත්‍රයෝ දත යුතු හ. මිත්‍රප්‍රතිරූපක අඤ්ඤදත්‍ථුහර අමිත්‍රයා දතයුතු, මිත්‍රප්‍රතිරූපක වචීපරම අමිත්‍රයා දත යුතු. මිත්‍රප්‍රතිරූපක අනුප්‍රියභාණී අමිත්‍රයා දත යුතු. මිත්‍රප්‍රතිරූපක අපායසහාය අමිත්‍රයා දත යුතු.
Pali BJTචතූහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවිපුත, සතර කරුණෙකින් මිත්‍රප්‍රතිරූපක වූ අඤ්ඤදත්‍ථුහර (ඒකාන්තයෙන් කිසිවක් හැරගෙන ම යන) අමිත්‍රයා දත යුතු:
Pali BJTඅඤ්ඤදත්ථුහරො හොති අප්පෙන බහුමිච්ඡති, භයස්ස කිච්චං කරොති සෙවති අත්ථකාරණා.
Sinhala BJTඒකාන්තයෙන් සිය මිතුරා ගෙන් කිසිවක් හැරගෙන ම යන්නේ වෙයි. අල්ප දැයෙකින් (ස්වල්ප දැයක් දී) බොහෝ දෑ ලබන්නට පතයි. තමාට බියක් (උවදුරක්) උපන් කල්හි පමණක් මිතුරාගේ කටයුතු කෙරෙයි. තමාගේ වැඩ ම කරුණු කොට මිතුරා සෙවී.
Pali BJTඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අඤ්ඤදත්ථුහරො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවි පුත, මේ සතර කරුණින් මිත්‍රප්‍රතිරූපකවූ අඤ්ඤදත්‍ථුහර අමිත්‍රයා දත යුතු.
Pali BJTචතූහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො. අතීතෙන පටිසන්ථරති{2} අනාගතෙන පටිසන්ථරතිං, නිරත්ථකෙන සඞ්ගණ්හාති, පච්චුප්පන්නෙසු කිච්චෙසු බ්යසනං දස්සෙති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි වචීපරමො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවිපුත, මේ සතර කරුණින් මිත්‍රප්‍රතිරූපක වචීපරම (වචනය ම පරම කොටැති) අමිත්‍රයා දත යුතු: අතීතයෙන් සඞ්ග්‍රහ කෙරෙයි, අනාගතයෙන් සඞ්ග්‍රහ කෙරෙයි. නිරර්‍ත්‍ථක කථායෙන් සඞ්ග්‍රහ කෙරෙයි. වර්‍තමාන කාර්‍ය්‍යයන්හි ව්‍යසන දක්වයි. ගැහැවිපුත, මේ සතර කරුණින් වචීපරම වූ මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයා දත යුතු.
Pali BJTචතූහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො. පාපකම්පි’ස්ස{3} අනුජානාති, කල්යාණම්පි’ස්ස අනුජානාති, සම්මුඛා’ස්ස වණ්ණං භාසති, පරම්මුඛා’ස්ස අවණ්ණං භාසති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අනුප්පියභාණී අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවි පුත, සතර කරුණෙකින් අනුප්‍රියභාණී (අනුකූල වූ පිය බස් කියන) මිත්‍රප්‍රතිරූපක අමිත්‍රයා දතයුතු: (පවක් කරමි යි කී කලැ ඒ) ඔහුගේ පාප ක්‍රියාව ද (මැනැවැ යි) අනුදනී, (පිනක් කරමැ යි කී කලැ ඒ) ඔහුගේ පින් කිරිය ද අනුදනී, සම්මුඛයෙහි ඔහුගේ ගුණ කියි, අසම්මුඛයෙහි ඔහුගේ අගුණ කියි. ගැහැවිපුත, මේ සතර කරුණින් මිත්‍රප්‍රතිරූපක වූ අනුප්‍රියභාණී අමිත්‍රයා දත යුතු.
Pali BJTචතූහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො: සුරාමෙරයමජ්ජපමාදට්ඨානානුයොගෙ සහායො හොති, විකාලවිසිඛාචරියානුයොගෙ සහායො හොති, සමජ්ජාභිචරණෙ සහායො හොති, ජූතප්පමාදට්ඨානානුයොගෙ සහායො හොති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අපායසහායො අමිත්තො මිත්තපතිරූපකො වෙදිතබ්බො’ති.
Sinhala BJTගැහැවිපුත, සතර කරුණෙකින් මිත්‍රප්‍රතිරූපක වූ අපායසහාය වූ (වස්තු විනාශ කිරීමෙහි යහළු වූ) අමිත්‍රයා දතයුතු: මත් බවට ප්‍රමාදයට කරුණු වූ රහමෙර පීමේ යෙදීමෙහි යහළු වෙයි, නොකල්හි වීථි සංචාරයේ යෙදීමෙහි යහළු වෙයි. නෘත්‍යගීතාදිය දකිනු අසනු පිණිස යෑමෙහි යහළු වෙයි, ප්‍රමාදයට කාරණ වූ දූකෙළියේ යෙදීමෙහි යහළු වෙයි. ගැහැවිපුත, මේ සතර කරුණින් අපාය සහාය වූ මිත්‍ර ප්‍රතිරූපක අමිත්‍රයා දත යුතු.
Pali BJTඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, අනතුරු වැ ගාථාබන්‍ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළ සේක:
Pali BJT“අඤ්ඤදත්ථුහරො මිත්තො යො ච මිත්තො වචීපරො,{1} අනුප්පියඤ්ච යො ආහ අපායෙසු ච යො සඛා. එතෙ අමිත්තෙ චත්තාරො ඉති විඤ්ඤාය පණ්ඩිතො, ආරකා පරිවජ්ජෙය්ය මග්ගං පටිභයං යථා”ති.
Sinhala BJT“යමෙක් අඤ්ඤදත්‍ථුහර මිත්‍ර නම් වේ ද යමෙක් වචීපරම මිත්‍රනම් වේ ද, යමෙක් අනුප්‍රියභාණී වේ ද, යමෙක් ධන විනාශක ක්‍රියාහි යහලු වේ ද, මෙසේ මේ සතර අමිතුරන් නුවණැත්තේ දැන, උවදුරු ඇති මාර්‍ගයක් සේ දුරින් ම දුරු කරන්නේ ය.”
Pali BJTසුහදමිත්තා
Sinhala BJTසුහෘන්මිත්‍රයෝ
Pali BJT9. චත්තාරො’ මෙ ගහපතිපුත්ත, මිත්තා සුහදා වෙදිතබ්බා: උපකාරො{2} මිත්තො සුහදො වෙදිතබ්බො, සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො, අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො, ආනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො.
Sinhala BJT9. ගැහැවි පුත, මේ සුහෘද වූ සතර මිතුරෝ දත යුතු හ: උපකාරී වූ සුහද මිතුරා දත යුතු. සමාන සුඛ දුඃඛ වූ සුහද සුමිතුරා දත යුතු. අර්‍ත්‍ථාඛ්‍යායී (වැඩට නිසි කරුණු ම කියන) සුහද මිතුරා දත යුතු. ආනුකම්පක (අනුකම්පා කරන) සුහද මිතුරා දත යුතු.
Pali BJTචතූහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි උපකාරො මිත්තො සුහදො වෙදිතබ්බො. පමත්තං රක්ඛති, පමත්තස්ස සාපතෙය්යං රක්ඛති, භීතස්ස සරණං හොති, උප්පන්නෙ කිච්චකරණීයෙ තද්දිගුණං භොගං අනුප්පදෙති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි උපකාරො මිත්තො සුහදො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවි පුත, සතර කරුණෙකින් උපකාරී වූ සුහෘද මිත්‍රයා දතයුතු: මත් වැ වැදැහෙන මිතුරා රැකගනී, මත් වැ වැදැහෙන්නාහුගේ ධනය රැක දෙයි, බියට පැමිණි මිතුරාට පිහිට වෙයි, කළයුතු කාර්‍ය්‍යයක් උපන් කලැ අවශ්‍ය ප්‍රමාණය මෙන් දෙගුණයක් ධනය දෙයි. ගැහැවි පුත, ම සතර කරුණින් උපකාරී වූ සුහෘද මිතුරා දත යුතු.
Pali BJTචතූහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො: ගුය්හමස්ස ආචික්ඛති, ගුය්හමස්ස පරිගූහති, ආපදාසු න විජහති, ජීවිතම්පි’ස්ස අත්ථාය පරිච්චත්තං හොති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි සමානසුඛදුක්ඛො මිත්තො සුහදො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවි පුත, සතර කරුණෙකින් සමාන සුව දුක් ඇති (සැප දුක් දෙක්හි ම සමාන වැ හිතෛෂී ව පවත්නා) මිතුරා දත යුතු: සැඟෙවියැ යුතු රහස් සිය මිතුරාට නොසඟොවා කියයි, ඒ මිතුරාගේ සැඟෙවියැ යුතු රහස් සඟොවා රකියි, විපත්තීන්හිදී නො අත්හරී, මිතුරා විසින් ඔහු පිණිස සිය දිවි වුව ද පරිත්‍යක්ත වෙයි (සිය දිවි ද නො තකා මිතුරාගේ කටයුතු කැරැදෙයි). ගැහැවිපුත, මේ සතර කරුණින් සමාන සුඛ දුඃඛ සුහද මිතුරා දත යුතු.
Pali BJTචතූහි ඛො පන ගහපතිපුත්ත, ඨානෙහි අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො: පාපා නිවාරෙති, කල්යාණෙ නිවෙසෙති, අස්සුතං සාවෙති, සග්ගස්ස මග්ගං ආචික්ඛති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අත්ථක්ඛායී මිත්තො සුහදො වෙදිතබ්බො.
Sinhala BJTගැහැවි පුත, සතර කරුණෙකින් අර්‍ත්‍ථාඛ්‍යායී (දෙලෝවැඩ පවසන) සුහද මිතුරා දත යුතු: පවින් වළක්වයි, පිනෙහි යොදාලයි, පෙරැ නො ඇසූ දහම් අස්වයි, සුගතියට මඟ කියා දෙයි. ගැහැවිපුත, මේ සතර කරුණින් අර්‍ත්‍ථාඛ්‍යායී සුහද මිතුරා දත යුතු.
Pali BJTචතූහි ඛො පන ගහපතිපුත්ත, ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො: අභවෙනස්ස න නන්දති, භවෙනස්ස නන්දති, අවණ්ණං භණමානං නිවාරෙති, වණ්ණං භණමානං පසංසති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, චතූහි ඨානෙහි අනුකම්පකො මිත්තො සුහදො වෙදිතබ්බො”ති.
Sinhala BJTගැහැවි පුත, සතර කරුණෙකින් ආනුකම්පක සුහෘද මිත්‍රයා දත යුතු: ඔහුගේ පිරිහීමෙන් නො සතුටු වෙයි, ඔහුගේ අභිවෘද්ධියෙන් සතුටු වෙයි, මිතුරාගේ අගුණ කියන්නහු වළක්වයි, මිතුරාගේ ගුණ කියන්නහු පසසයි, ගැහැවි පුත, මේ සතර කරුණින් ආනුකම්පක (අනුකම්පා කරන) සුහද මිතුරා දත යුතු.
Pali BJTඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො, අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා, අනතුරු වැ (ගාථාබන්‍ධන විසින්) අනෙකක් වූ මේ වචන වදාළ සේක:
Pali BJT10. “උපකාරො ච යො මිත්තො යො ච මිත්තො සුඛෙ දුඛෙ{1} අත්ථක්ඛායී ච යො මිත්තො යො ච මිත්තො’නුකම්පකො.
Sinhala BJT10. “යම් උපකාරී මිතුරෙක් වේද, සුවදුක් දෙක්හි ම යමෙක් යහළු ද, යම් මිතුරෙක් දෙලෝ වැඩට මඟ කියන්නේ ද, යම් මිතුරෙක් අනුකම්පා කරන්නේ ද,
Pali BJTඑතෙ පි මිත්තෙ චත්තාරො ඉති විඤ්ඤාය පණ්ඩිතො සක්කච්චං පයිරුපාසෙය්ය මාතා පුත්තං’ව ඔරසං.
Sinhala BJTමෙසේ නුවණැත්තේ මේ සතර මිතුරන් ම දැන, මව ළෙහි දා පුතක්හු සෙයින් සත්කාර කොට ඇසුරු කරන්නේ ය,
Pali BJTපණ්ඩිතො සීලසම්පන්නො ජලං අග්ගී ව භාසති භොගෙ සංහරමානස්ස භමරස්සෙව ඉරීයතො භොගා සන්නිචයං යන්ති වම්මිකො’වුපචීයති.
Sinhala BJT(සැබෑමිතුරන් ඇසුරු කරන) නුවණැති සිල්වත් තැනැත්තේ දිලියෙන ගින්නක් සේ බබලයි. (මල නො පෙළා) මල් පැණි රැස් කොට මි බඳින බමරක්හු සෙයින් (මෙරමා නො පෙ ළා) භෝග රැස් කරන්නහුගේ භෝගසම්පත්හු වැඩීමට යෙත්. ක්‍රමයෙන් සුඹසක් පස්කැට රැස් කොට බඳිනු ලබන්නාක් මෙනි.
Pali BJTඑවං භොගෙ සමාහත්වා{2} අලමත්තො කුලෙ ගිහී චතුධා විභජෙ භොගෙ ස වෙ මිත්තානි ගන්ථති.
Sinhala BJTමෙසේ භෝගයන් එක්රැස් කොට ගිහිගෙහි වසන්නට සමර්‍ත්‍ථ වූ ගෘහස්ථ තෙම භෝගයන් සතර කොටසක් කොට බෙදන්නේ ය. හේ ඒකාන්තයෙන් මිතුරන් බැඳගනී (බිඳී යනු නොදී රැකගන්නට සමත් වෙයි).
Pali BJTඑකෙන භොගෙ භුඤ්ජෙය්ය ද්වීහි කම්මං පයොජයෙ චතුත්ථඤ්ච නිධාපෙය්ය ආපදාසු භවිස්සතී”ති.
Sinhala BJTඑක් කොටසෙකින් භෝගසම්පත් වළඳන්නේ ය, කොටස් දෙකෙකින් (කෘෂි වණික්කර්‍මාදි) කර්‍මාන්ත යොදන්නේ ය, විපතක් පැමිණි කල්හි ප්‍රයෝජන පිණිස වන්නේ යැ යි සලකා සතර වන කොටස නිදහන් කොට තබන්නේ ය.”
Pali BJTඡද්දිසාපටිච්ඡාදනං
Sinhala BJTසදිසා වැඳීම
Pali BJT11. කථඤ්ච ගහපතිපුත්ත, අරියසාවකො ඡද්දිසාපටිච්ඡාදී හොති? ඡයිමා ගහපතිපුත්ත, දිසා වෙදිතබ්බා: පුරත්ථිමා දිසා මාතාපිතරො වෙදිතබ්බා දක්ඛිණා දිසා ආචරියා වෙදිතබ්බා. පච්ඡිමා දිසා පුත්තදාරා වෙදිතබ්බා. උත්තරා දිසා මිත්තාමච්චා වෙදිතබ්බා. හෙට්ඨිමා දිසා දාසකම්මකරා වෙදිතබ්බා. උපරිමා දිසා සමණබ්රාහ්මණා වෙදිතබ්බා.
Sinhala BJT11. ගැහැවි පුත, කෙසේ නම් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ සදිසා හවුරන්නේ වේ ද? ගැහැවි පුත, මේ ස දිසා දත යුතු: මාපියෝ පෙර දිසාව යැ යි දත යුතු. ආචාර්‍ය්‍යයෝ දකුණු දෙස යැ යි දත යුතුහ. අඹුදරුවෝ පැසිම් දෙස යැ යි දත යුතු හ. මිත්‍රාමාත්‍යයෝ උතුරු දෙස යැ යි දත යුතු හ. දැසි දස් කම්කරුවෝ යට දෙසැ යි තද යුතු හ. මහණ බමුණෝ උඩ දෙස යැයි දත යුතු හ.
Pali BJTපඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨාතබ්බා: භතො නෙ සම්භරිස්සාමි{1}, කිච්චං නෙසං කරිස්සාමි, කුලවංසං ඨපෙස්සාමි, දායජ්ජං පටිපච්ඡාමි{2}, අථ වා පන පෙතානං කාලකතානං දක්ඛිණං අනුප්පදස්සාමී”ති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති: පාපා නිවාරෙන්ති, කල්යාණෙ නිවෙසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති, පතිරූපෙන දාරෙන සංයොජෙන්ති, සමයෙ දායජ්ජං නිය්යාතෙන්ති{3}. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි පුත්තෙන පුරත්ථිමා දිසා මාතාපිතරො පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි පුත්තං අනුකම්පන්ති. එවමස්ස එසා පුරත්ථිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
Sinhala BJTගැහැවි පුත, කරුණු පසෙකින් පුතු විසින් පෙර දෙස වූ මාපියෝ උපස්ථාන කළ යුතු: ඔවුන් විසින් පෝෂිත වූ මම් මහලු ව සිටින ඔවුන් පෝෂිත කරන්නෙමි යි ද, ඔවුනට (මාපියනට) පැමිණි කටයුතු (ඔවුන් වෙනුවට) මම් කරන්නෙමි යි ද, (මා පිය සතු වස්තුව නො නසා රක්නෙම්) කුල පරපුර රැකගන්නෙමි යි ද, මා පියන්ගෙන් ලත් දෑවෑද්ද (ඔවුන් ඔවා පරිදි පවත්වන්නෙම්) බුත්ති විඳින්නෙමි යි ද, නැවැත, කලුරිය කළ පරලෝ ගි මාපියනට (දන් දී) පින් දෙන්නෙමි යි දැ යි මේ කරුණු පසින් පුතු විසින් පෙර දිසා වූ මා පියෝ උපස්ථිත වූහු (උවටන් කරනු ලදහු) කරුණු පසෙකින් පුතුට අනුකම්පා කෙරෙත්. (මාපියෝ) පුතු පවින් වළක්වත්, පිනෙහි යොදාලත්, ශිල්ප හදාරවත්, සුදුසු වූ ස්ත්‍රියක හා සංයුක්ත කෙරෙත් (ස්ත්‍රියක පාවා දෙත්), සුදුසු කල්හි දෑවෑද්ද (උරුම වූ වස්තුව) පවරා දෙත්. ගැහැවි පුත, මෙකී කරුණු පසින් පුත්‍රයා විසින් පූර්‍ව දිශාව වූ මා පියෝ උවටන් කරනු ලැබුවාහු, මේ දෙවැනි ව කී කරුණු පසින් පුතුට අනුග්‍රහ කරත්. මෙසේ ඔහු විසින් මේ පූර්‍ව දිශාව (එයින් බියක් නො එන පරිදි) උපද්‍රව රහිත කොට ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.
Pali BJT12. පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨාතබ්බා: උට්ඨානෙන, උපට්ඨානෙන, සුස්සුසාය, පාරිචරියාය, සක්කච්චං සිප්පපටිග්ගහණෙන{4}.
Sinhala BJT12. ගැහැවිපුත, දකුණ දිග වූ ආචාර්‍ය්‍යයෝ අතවැස්සා විසින් පස් කරුණෙකින් උපස්ථාතව්‍ය වෙත් (උවටන් කළ යුතු වෙත්): ඇදුරුහු දැක හුනස්නෙන් නැඟී සිටීමෙන් ද, උවටන් කිරීමෙන් ද, උගන්වන දෑ අසනු කැමැතිවීමෙන් ද (නොහොත් හදහා ඇසීමෙන් ද), වතාවත් කිරීමෙන් ද උගන්වන ශිල්ප සකසා පිළිගැනීමෙන් ද යන මේ කරුණු පසිනි.
Pali BJTඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිං අනුකම්පන්ති: සුවිනීතං විනෙන්ති, සුග්ගහිතං ගාහාපෙන්ති, සබ්බසිප්පසුතං සමක්ඛායිනො භවන්ති, මිත්තාමච්චෙසු පටියාදෙන්ති{5}, දිසාසු පරිත්තානං කරොන්ති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අන්තෙවාසිනා දක්ඛිණා දිසා ආචරියා පච්චුපට්ඨිතා, ඉමෙහි පඤ්චහි ඨානෙහි අන්තෙවාසිං අනුකම්පන්ති. එවමස්ස එසා දක්ඛිණා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
Sinhala BJTගැහැවිපුත, අතවැස්සා විසින් මේ කරුණු පසින් දක්‍ෂිණදිශා සංඛ්‍යාත ආචාර්‍ය්‍යයෝ උපස්ථිත වූහු, කරුණු පසෙකින් අතවැස්සාට අනුග්‍රහ කරත්: අතවැස්සා මොනොවට හික්මවත්, ඔහුට මොනොවට උගන්වත්, තමන් අසා ගත් සියලු ශිල්ප (අතවැස්සාට) මොනොවට කියන්නාහු වෙත්. මිත්‍රාමාත්‍යයන් කෙරෙහි පිහිටුවති, දිශාවන්හි ආරක්‍ෂාව සලස්වත්. ගැහැවිපුත, මේ කරුණු පසින් උපස්ථිත වූ (උවටන් කරනු ලැබූ) ආචාර්‍ය්‍යයෝ කරුණු පසෙකින් අතවැස්සාට අනුකම්පා කරත්. මෙසේ ඔහු විසින් මේ දක්‍ෂිණ දිශාව උපද්‍රව රහිත කොට, ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.
Pali BJT13. පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨාතබ්බා: සම්මානනාය, අනවමානනාය,{1} අනතිචරියාය, ඉස්සරියවොස්සග්ගෙන, අලඞ්කාරානුප්පදානෙන. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා, පඤ්චහි ඨානෙහි සාමිකං අනුකම්පති: සුසංවිහිතකම්මන්තා ච හොති, සුසංගහිතපරිජනා ච{2}, අනතිචාරිනී ච, සම්භතං අනුරක්ඛති, දක්ඛා ච හොති, අනලසා සබ්බකිච්චෙසු. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි සාමිකෙන පච්ඡිමා දිසා භරියා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි සාමිකං අනුකම්පති. එවමස්ස එසා පච්ඡිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
Sinhala BJT13. ගැහැවිපුත, කරුණු පසෙකින් සැමියා විසින් පැසිම් දෙස වූ භාර්‍ය්‍යාව උපස්ථාතව්‍ය (උවටන් කළ යුතු) වෙයි: සම්භාවන වචනයෙන් ද අවමන් බස් නොකීමෙන් ද, පරඹුවන් කරා නො යෑමෙන් ද, ගෙහි කටයුතුවල අධිපති බව ඇයට බාර දීමෙන් ද, තමන් පහොසත් පරිදි ඇඳුම් පැලැඳුම් සපයා දීමෙන්ද යන කරුණු පසිනි. ගැහැවි පුත, මේ කරුණු පසින් සැමියා විසින් පශ්චිමදිශා සංඛ්‍යාත භාර්‍ය්‍යාව උවටන් කරනු ලැබුවා, කරුණු පසෙකින් සැමියාට අනුකම්පා කෙරෙයි: (කැඳබත් පිසීම් ඈ විසින් කලට වේලාවට) මනා කොට කරන ලද කර්‍මාන්ත ඇත්තී ද වෙයි, මොනොවට සංග්‍රහ කරන ලද පරිවාර ජනයා ඇත්තී ද වෙයි, සැමියා හැර අන් පුරුෂයකු සිතිනුදු නො පතන්නී වෙයි, සැමියා විසින් ගෙනෙන ලද ධනය රකියි, සියලු කටයුත්තෙහි දක්‍ෂ ද නොමැලි ද වෙයි. ගැහැවිපුත, මේ කරුණු පසින් සැමියා විසින් පශ්චිම දිශාසංඛ්‍යාත භාර්‍ය්‍යාව උපස්ථිත වූවා (උවටන් කරන ලද්දී) මේ පසුවැ කී කරුණු පසින් සැමියාට අනුග්‍රහ කෙරෙයි. මෙසේ ඔහු විසින් මේ පැසිමදෙස නිරුපද්‍රැත ව, ප්‍රතිභය රහිත ව හවුරන ලද්දේ වෙයි.
Pali BJT14. පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි කුලපුත්තෙන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨාතබ්බා: දානෙන, පෙය්යවජ්ජෙන{3}, අත්ථචරියාය සමානත්තතාය, අවිසංවාදනතාය. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති: පමත්තං රක්ඛන්ති, පමත්තස්ස සාපතෙය්යං රක්ඛන්ති, භීතස්ස සරණං හොන්ති, ආපදාසු න විජහන්ති, අපරපජා චස්ස පටිපූජෙන්ති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උත්තරා දිසා මිත්තාමච්චා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති. එවමස්ස එසා උත්තරා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
Sinhala BJT14. ගැහැවි පුත, කුලපුතු විසින් කරුණු පසෙකින් උත්තර දිශා නැමැති මිත්‍රාමාත්‍යයෝ (මිත්‍රයෝ ද සැප දුක දෙකෙහි එක් වැ කටයුතු කරන්නෝ ද) උවටන් කළයුතු හ: දානයෙන් ද ප්‍රිය වචනයෙන් ද අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් ද සමානාත්මතායෙන් ද නොරවටන බැවින් ද යන පසිනි. ගැහැවි පුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උත්තර දිශාව වූ මිත්‍රාමාත්‍යයෝ උවටන් කරන ලද්දාහු, කරුණු පසෙකින් කුලපුතුට අනුකම්පා කරත්: රහමෙරින් මත් වූවහු රැකගනිත්, මත් වැ හොත්තහුගේ වස්තුව රැක දෙත්, උවදුරකට පැමිණියාහට පිහිට වෙත්, විපත්හි දී අත් නො හරිත්, ඔහුගේ දරුමුනුබුරනට ද මමත්‍වයෙන් සංග්‍රහ කරත්. ගැහැවිපුත, මේ කරුණු පසින් කුලපුතු විසින් උත්තරදිශා සංඛ්‍යාත මිත්‍රාමාත්‍යයෝ උවටන් කරන ලදුවෝ, පසු වැ කී කරුණු පසින් කලුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උතුරු දෙස නිරුපද්‍රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි.
Pali BJT15. පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි අයිරකෙන{1} හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨාතබ්බා: යථාබලං කම්මන්තසංවිධානෙන, භත්තවෙතනානුප්පදානෙන, ගිලානුපට්ඨානෙන, අච්ඡරියානං රසානං සංවිභාගෙන, සමයෙ වොස්සග්ගෙන. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අයිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨිතා පඤ්චහි ඨානෙහි අයිරකං අනුකම්පන්ති. පුබ්බුට්ඨායිනො ච හොන්ති, පච්ඡානිපාතිනො ච දින්නාදායිනො ච, සුකතකම්මකරා ච, කිත්තිවණ්ණහරා ච. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි අයිරකෙන හෙට්ඨිමා දිසා දාසකම්මකරා පච්චුපට්ඨිතා ඉමෙහි පඤ්චහි ඨානෙහි අයිරකං අනුකම්පන්ති. එවමස්ස එසා හෙට්ඨිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා.
Sinhala BJT15. ගැහැවි පුත, කරුණු පසෙකින් ස්වාමියා විසින් යට දිසාව යැ යි කියන ලද දැසි දස් කම්කරුවෝ උවටන් කළ යුතු හ: ඔවුන්ගේ ශක්තියට අනුරූප ලෙස කර්‍මාන්ත විධාන කිරීමෙන් ද බත් වැටුප් දීමෙන් ද, ගිලන් වූ කල ඔවුනට නිසි උපස්ථාන යොදාලීමෙන් ද, මිහිරි රස බොජුන් (තමා හුදෙකලාව නො වළඳා) ඔවුනටත් දීමෙන් ද සුදුසු කාලයන්හි වැඩෙන් මුදා හැරීමෙන් ද යන පසිනි. ගැහැවි පුත, මේ කරුණු පසින් ස්වාමියා විසින් යට දෙස යැ යි කියන ලද දැසි දස් කඹුරෝ උවටන් කරන ලද්දාහු මේ කරුණු පසෙකින් ස්වාමියාට අනුග්‍රහ කරත්: ස්වාමියාට පළමුවෙන් ම නැඟී සිටින්නාහු ද වෙත්, ස්වාමියාට පසු ව නිදන්නාහු ද වෙත්, (කිසිත් හොරා නොගන්නාහු) ස්වාමියා දුන් දැය ම ගන්නා සුලු වෙත්, මනා කොට කරන ලද කර්‍මාන්ත ඇත්තාහු ද වෙත්, ස්වාමියාගේ ගුණ කථාව පතුරුවන්නාහු ද වෙත්. ගැහැවිපුත, මේ පස් කරුණින් ස්වාමියා විසින් යට දෙස නැමැති දැසි දස් කඹුරෝ උවටන් කරනු ලැබුවාහු, පසු වැ කී කරුණු පසින් ස්වාමියාට අනුග්‍රහ කරත්. මෙසේ ඔහු විසින් මේ යට දෙස නිරුපද්‍රැත කොට ප්‍රතිභය රහිත කොට හවුරන ලද්දේ වෙයි.
Pali BJT16. පඤ්චහි ඛො ගහපතිපුත්ත, ඨානෙහි කුලපුත්තෙන උපරිමා දිසා සමණබ්රාහ්මණා පච්චුපට්ඨාතබ්බා: මෙත්තෙන කායකම්මෙන මෙත්තෙන වචීකම්මෙන, මෙත්තෙන මනොකම්මෙන, අනාවටද්වාරතාය, ආමිසානුප්පදානෙන. ඉමෙහි ඛො ගහපතිපුත්ත, පඤ්චහි ඨානෙහි කුලපුත්තෙන උපරිමා දිසා සමණබ්රාහ්මණා පච්චුපට්ඨිතා ඡහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති. පාපා නිවාරෙන්ති, කල්යාණෙ නිවෙසෙන්ති, කල්යාණෙන මනසා අනුකම්පන්ති, අස්සුතං සාවෙන්ති, සුතං පරියොදපෙන්ති, සග්ගස්ස මග්ගං ආචික්ඛන්ති. ඉමෙහි ඛො ගහපතිපුත්ත, ඡහි ඨානෙහි කුලපුත්තෙන උපරිමා දිසා සමණබ්රාහ්මණා පච්චුපට්ඨිතා ඉමෙහි ඡහි ඨානෙහි කුලපුත්තං අනුකම්පන්ති. එවමස්ස එසා උපරිමා දිසා පටිච්ඡන්නා හොති ඛෙමා අප්පටිභයා”ති.
Sinhala BJT16. ගැහැවි පුත, කරුණු පසෙකින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කළ යුතු හ: මෛත්‍රී සහගත කායකර්‍මයෙන්, මෛත්‍රී සහගත වාක්කර්‍මයෙන්, මෛත්‍රී සහගත මනඃකර්‍මයෙන්, නො වැසූ දොර ඇති බැවින්, ආහාරපාන සැපයීමෙන් යන පසිනි. ගැහැවිපුත, මේ පස් කරුණින් කුලපුතු විසින් උඩ දිසාව යැ යි කියන ලද මහණ බමුණෝ උපස්ථිත වූවාහු, කරුණු සයෙකින් කුලපුතුට අනුග්‍රහ කෙරෙත්: පවින් වළකාලත්, පිනෙහි යොදාලත්, කලන සිතින් අනුග්‍රහ කෙරෙත්, නො ඇසූ විරූ දහම් අස්වත්, අසා ඇති දහම් (සැක දුරැලැවීමෙන්) පිරිසිදු කරවත්, සුගතියට මඟ කියත්. ගැහැවිපුත, මේ කරුණු සයින් කුලපුතු විසින් උපරිම දිශාසංඛ්‍යාත මහණ බමුණෝ උවටන් කරන ලද්දාහු, මේ කරුණු සයින් කුපුතුට අනුග්‍රහ කෙරෙත්. මෙසේ ඔහු විසින් මේ උඩ දෙස නිරුපද්‍රැත කොට, ප්‍රතිභය රහිත කොට, හවුරන ලද්දේ වෙයි.”
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශාස්තෘ වූ සුගතයන් වහන්සේ මෙය වදාරා ගාථා බන්‍ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළ සේක:
Pali BJT17. “මාතාපිතා දිසා පුබ්බා ආචරියා දක්ඛිණා දිසා පුත්තදාරා දිසා පච්ඡා මිත්තාමච්චා ච උත්තරා.
Sinhala BJT17. මා පියෝ පෙර දෙස ය. ආචාර්‍ය්‍යයෝ දකුණු දෙස ය, අඹුදරුවෝ පැසිම් දෙස ය, මිත්‍රාමාත්‍යයෝ උතුරු දෙස ය.
Pali BJTදාසකම්මකරා හෙට්ඨා උද්ධං සමණබ්රාහ්මණා එතා දිසා නමස්සෙය්ය අලමත්තො කුලෙ ගිහී.
Sinhala BJTදැසි දස් කඹුරෝ යට දෙස ය, මහණ බමුණෝ උඩ දෙස ය. කුලයෙහි (කුලය රැක්මෙහි) සමර්‍ත්‍ථ ස්වභාවය ඇති ගෘහස්ථ තෙමේ මේ ස දිසා නමඳනේය.
Pali BJTපණ්ඩිතො සීලසම්පන්නො සණ්හො ච පටිභානවා, නිවාතවුත්ති අත්ථද්ධො තාදිසො ලභතෙ යසං.
Sinhala BJTපණ්ඩිත වූ, සිල්වත්, සියුම් අරුත් දන්නා, වැටැහෙන නුවණැති, යටත් පැවැතුම් ඇති, හැඩි දැඩි නොවූ, එබඳු තැනැත්තේ යශස් ලබයි.
Pali BJTඋට්ඨානකො අනලසො ආපදාසු න වෙධති, අච්ඡින්නවුත්ති මෙධාවී තාදිසො ලභතෙ යසං.
Sinhala BJTනැඟී සිටුනා (උට්ඨානවීර්‍ය්‍ය යුක්ත) අලස නො වූ තැනැත්තේ ආපදාවන්හිදී නො සැලෙයි. අඛණ්ඩ වෘත්ති ඇති, ස්ථානෝචිත ප්‍රඥා ඇති, එ බඳු තැනැත්තේ යශස් ලබයි.
Pali BJTසඞ්ගාහකො මිත්තකරො වදඤ්ඤූ වීතමච්ඡරො, නෙතා විනෙතා අනුනෙතා තාදිසො ලභතෙ යසං.
Sinhala BJTසිවු සඟරාවතින් සංග්‍රහ කරන, මිතුරන් සොයන, වදාන්‍ය වූ, පහ වූ මසුරු බව ඇති, කරුණු දක්වා මඟ පෙන්වන, හික්මවන, පුන පුනා මඟ පෙන්වන, එබඳු තැනැත්තේ යශස් ලබයි.
Pali BJTදානඤ්ච පෙය්යවජ්ජඤ්ච අත්ථචරියා ච යා ඉධ, සමානත්තතා ච ධම්මෙසු තත්ථ තත්ථ යථාරහං,
Sinhala BJTදානය ද ප්‍රිය වචන ද මෙහි යම් අර්‍ත්‍ථචර්‍ය්‍යාවෙක් වේ නම් එය ද, ඒ ඒ පුඟුලා කෙරෙහි සුදුසු පරිදි, ධර්‍මයන්හි සුදුසු පරිදි සමානාත්මතාව ද,
Pali BJTඑතෙ ඛො සඞ්ගහා ලොකෙ රථස්සාණී’ව යායතො, එතෙ ච සඞ්ගහා නාස්සු න මාතා පුත්තකාරණා, ලභෙථ මානං පූජං වා පිතා වා පුත්තකාරණා.
Sinhala BJTයන මොහු යන්නාවූ රියකට එහි ඇණය මෙන් ලොවැ සඞ්ග්‍රහයෝ ය. මේ සංග්‍රහයෝ නො මැත්තාහු නම්, පුතුගේ කරුණින් මව හෝ පුතුගේ කරුණින් පියා හෝ බුහුමනක් හෝ පූජාවකේ හෝ නොලබන්නේ ය.
Pali BJTයස්මා ච සඞ්ගහෙ එතෙ සමවෙක්ඛන්ති{1} පණ්ඩිතා, තස්මා මහත්තං පප්පොන්ති පාසංසා ච භවන්ති තෙ”ති.
Sinhala BJTයම් හෙයෙකින් පණ්ඩිතයෝ මේ සඞ්ග්‍රහයන් මොනොවට දක්නාහු ද, එහෙයින් මහත්ත්‍වයට පැමිණෙත්. ඔහු සෙසු ලෝ වැස්සා විසින් පැසැසියැ යුත්තෝ ද වෙත්.”
Pali BJT18. එවං වුත්තෙ සිගාලකො{2} ගහපතිපුත්තො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ. සෙය්යථාපි භන්තෙ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති. එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJT18. මෙසේ වදාළ කල්හි ගැහැවිපුත් සිගාලක තෙමේ භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම්සේ යටිකුරු කළ දැයක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මුළා වූවක්හට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියන් රෑප දකිති’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කාරණයෙන් ධර්‍මය පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ සරණ යෙමි, ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් කොට යව්දිව් සරණ ගිය උවසක්හු කොට සලකන සේක් ව’ යි මේ වචන කී ය.
Pali BJTසිගාලසුත්තං නිට්ඨිතං අට්ඨමං.
Sinhala BJTඅට වැනි සිගාලක සූත්‍රය නිමියේ යැ.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTආටානාටියසුත්තං
Sinhala BJTආටානාටිය සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී:
Pali BJTඑකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො චත්තාරො මහාරාජා මහතියා ච යක්ඛසෙනාය මහතියා ච ගන්ධබ්බසෙනාය මහතියා ච කුම්භණ්ඩසෙනාය මහතියා ච නාගසෙනාය, චතුද්දිසං රක්ඛං ඨපෙත්වා, චතුද්දිසං ගුම්බං ඨපෙත්වා, චතුද්දිසං ඔවරණං ඨපෙත්වා, අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ගිජ්ඣකූටං{1} ඔභාසෙත්වා, යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. තෙ පි ඛො යක්ඛා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු.
Sinhala BJTඑක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්‍ෂසේනායෙන් ද මහත් ගන්‍ධර්‍ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර කරුවන් රඳවා, රෑ (පෙරයම) ඉක්මි කල්හි, අභිකාන්ත වූ ශරීරප්‍රභා ඇත්තාහු, සියලු ගිජුකුළු පව්ව එකලු කොට, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියාහ. එළැඹැ ඔබ ආදරයෙන් වැඳ එකත් පස් වැ හුන්හ. (ඔවුන් පිරිවර වූ) ඒ යක්කු ද ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක උන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ, සිතැ රැඳැවියැ යුතු වූ කථාව නිමවා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි නමා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නම් ගොත් අස්වා එක් පසෙක හුන්හ. ඇතැම් කෙනෙක් නිහඬ වැ එක් පසෙක හුන්හ.
Pali BJT2. එකමන්තං නිසින්නො ඛො වෙස්සවණො මහාරාජා භගවන්තං එතදවොච:
Sinhala BJT2. එක් පසෙක හුන් ම වෙසවුණු මහරජ භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කෙළේ ය:
Pali BJT“සන්ති හි භන්තෙ, උළාරා යක්ඛා භගවතො අප්පසන්නා. සන්ති හි භන්තෙ, උළාරා යක්ඛා භගවතො පසන්නා. සන්ති හි භන්තෙ, මජ්ඣිමා යක්ඛා භගවතො අප්පසන්නා. සන්ති හි භන්තෙ, මජ්ඣිමා යක්ඛා භගවතො පසන්නා. සන්ති හි භන්තෙ, නීචා යක්ඛා භගවතො අප්පසන්නා. සන්ති හි භන්තෙ, නීචා යක්ඛා භගවතො පසන්නා.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පැහැදුණු මහ තෙදැති යක්කු වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පැහැදුණු මහ තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට පහන් වූ මැදුම් තෙදැති යක්කු ද වෙත් ම ය, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නො පහන් වූ හීන තෙ ඇති යක්කු ද වෙත් ම ය, වහන්ස භාග්‍යවතුන් වහන්සේට පහන් වූ හීන තෙද ඇති යක්කු ද වෙත් ම ය.
Pali BJTයෙභුය්යෙන ඛො පන භන්තෙ, යක්ඛා අප්පසන්නා යෙව භගවතො. තං කිස්ස හෙතු: භගවා හි භන්තෙ, පාණාතිපාතා වෙරමණියා ධම්මං දෙසෙති, අදින්නාදානා වෙරමණියා ධම්මං දෙසෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ධම්මං දෙසෙති, මුසාවාදා වෙරමණියා ධම්මං දෙසෙති, සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා වෙරමණියා ධම්මං දෙසෙති. යෙභුය්යෙන ඛො පන භන්තෙ, යක්ඛා අප්පටිවිරතා යෙව පාණාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා, අප්පටිවිරතා කාමෙසු මිච්ඡාචාරා, අප්පටිවිරතා මුසාවාදා, අප්පටිවිරතා සුරාමෙරයමජ්ජප්පමාදට්ඨානා. තෙසන්තං හොති අප්පියං අමනාපං. සන්ති හි භන්තෙ භගවතො සාවකා, අරඤ්ඤෙ වනපත්ථානි{1} පන්තානි සෙනාසනානි පටිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහසෙය්යකානි{2} පටිසල්ලානසාරුප්පානි. තත්ථ සන්ති උළාරා යක්ඛා නිවාසිනො යෙ ඉමස්මිං භගවතො පාවචනෙ අප්පසන්නා. තෙසං පසාදාය උග්ගණ්හාතු භන්තෙ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියා රක්ඛාය අවිහිංසාය ඵාසුවිහාරායා”ති.
Sinhala BJTවහන්ස, බොහෝ සෙයින් යක්කු භාග්‍යවතුන් වහන්සේට නො පෑදුණෝ ම වෙත්. ඒ කවර හෙයින් ද යත්: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි පණිවායෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, අයිනාදනින් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක, මුසවායෙන් වළක්නා පිණිස දහම් දෙසන සේක, මත්බවට හා පමාවට කරුණු වූ රහමෙර පීමෙන් වැළැක්ම පිණිස දහම් දෙසන සේක. වහන්ස, යක්කු වනාහි බොහෝ සෙයින් පණිවායෙන් නො වැළැක්කාහු ම ය, අයිනාදනින් නො වැළැක්කාහු ම ය, කාමයන්හි වැරැදැ හැසිරීමෙන් නො වැළැක්කාහු ම ය, මුසවායෙන් නො වැළැක්කාහු ම ය, මත් බවට ද පමාවට ද කාරණ වූ රහමෙර පීමෙන් නො වැළැක්කාහු ම ය, ඔවුනට ඒ (භාග්‍යවතුන් වහන්සේ ගේ) දහම් දෙසුම අප්‍රිය වේ, අමනාප වේ. වහන්ස, යම් කෙනෙක් අල්පශබ්ද ඇති, මඳ වූ හඬ ඇති, පහ වූ ජනවාතය ඇති, මිනිසුන්ගේ හුදෙකලා වැ කළ යුතු ක්‍රියාවනට නිසි වූ, එකලා වැ හිඳීමට සුදුසු වූ, අරණ්‍ය වනප්‍රස්ථයන් (ග්‍රාමෝපාචරයෙන් දුරැ වූ සෙනසුන්) ද, (මනුෂ්‍යෝපචාර විරහිත) බොහෝ දුරැ සෙනසුන් ද සේවනය කෙරෙත් ද භාග්‍යවතුන් වහන්සේ ගේ එසේ වූ ශ්‍රාවකයෝ වෙත් ම ය. මේ භාග්‍යවතුන් වහන්සේ ගේ සස්නෙහි නො පහන් වූ ඒ සෙනසුන්හි නිවැසි මහ තෙදැති යක්කු වෙත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඔවුන් ගේ පැහැදීම පිණිස මහණුන් ගේ මෙහෙණන් ගේ උවසුවන්ගේ උවැසියන් ගේ ගුප්තිය පිණිස, ආරක්‍ෂාව පිණිස, පීඩාවක් නොවනු පිණිස, පහසු වාසය පිණිස, ආටානාටිය පිරිත උගන්නා සේක් ව” යි (කීයේ ය). භාග්‍යවතුන් වහන්සේ නිහඬ වැ ඉවසූ සේක.
Pali BJT3. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො වෙස්සවණො මහාරාජා භගවතො අධිවාසනං විදිත්වා තායං වෙලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසි:
Sinhala BJT3. ඉක්බිති වෙසවුණු මහ රජ භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන, ඒ වේලෙහි මේ ආටානාටිය පිරිත කීයේ ය:
Pali BJT4. “විපස්සිස්ස{3} නමත්ථු චක්ඛුමන්තස්ස සිරීමතො. සිඛිස්ස පි{4} නමත්ථු සබ්බභූතානුකම්පිනො.
Sinhala BJT4. “පසැස් ඇති සිරිමත් වූ විපස්සී බුදුරජුනට නමස්කාර වේ වා. සියලු සත්නට අනුකම්පා ඇති සිඛී බුදුරජුනට ද නමස්කාර වේ වා.