Pali BJTඋස්සඞ්ඛපාදඋද්ධග්ගලොමතාලක්ඛණානි (9-10)
Sinhala BJTඋත්ශංඛපාද උර්‍ධවාග්‍රලෝමතා ලක්‍ෂණ (9,10)
Pali BJT8. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො බහුනො ජනස්ස අත්ථූපසංහිතං ධම්මූපසංහිතං වාචම්භාසිතා අහොසි, බහුජනං නිදංසෙසි, පාණීනං හිතසුඛාවහො ධම්මයාගී, සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිස ලක්ඛණානි පටිලභති, උස්සඞ්ඛපාදො ච හොති උද්ධග්ගලොමො ච. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? අග්ගො ච හොති සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච කාමභොගීනං. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? අග්ගො ච හොති සෙට්ඨො ච පාමොක්ඛො ච උත්තමො ච පවරො ච සබ්බසත්තානං. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT8. මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි, පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම බොහෝ දෙනාට දෙලෝ වැඩ ඇසුරු කළ, දශ කුශලකර්‍මපථ ඇසුරු කළ වචන කියන්නේ වීය. බොහෝ දෙනාට දෙලෝ වැඩ දැක්වී ය. සත්නට හිතසුව එළවනුයේ, ධර්‍මදානය කරන්නේ වීය” යන යමෙක් ඇද්ද, ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, ඒ කර්‍මයාගේ උත්සන්න බැවින්, මහත් බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි … හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණු දෙක ලබයි. මත්තෙහි වූ ගොප් ඇට ඇති පා ඇත්තේ ද, උඩුකුරු වූ අක් ඇති ලොම් ඇත්තේ ද වෙයි. හේ ලකුණුවලින් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි … රජ වනුයේ කුමක් ලබා ද? සියලු සත්නට අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි. බුදු වනුයේ කුමක් ලබා ද? සියලු සත්නට ද අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද ප්‍රමුඛ ද උත්තම ද ප්‍රවර ද වෙයි. බුදු වනුයේ මෙය ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJTඅත්ථධම්මසංහිතං{5} පුරෙ ගිරං එරයං බහුජනං නිදංසයී, පාණීනං හිතසුඛාවහො අහු ධම්මයාගමයජී{6} අමච්ඡරී.
Sinhala BJT“පෙරැ අර්‍ත්‍ථ හා ධර්‍ම හා නිඃශ්‍රිත වූ වචන කියනුයේ, බොහෝ දෙනාට දෙලෝ වැඩ දැක්වීය. ප්‍රාණීනට හිත සුව එළවන්නේ විය, නො මසුරු වැ ධර්‍මයාගය කෙළේ ය.
Pali BJTතෙන සො සුචරිතෙන කම්මුනා සුගතිං වජති තත්ථ මොදති ලක්ඛණානි ච දුවෙ ඉධාගතො උත්තමප්පමුඛතාය{1} වින්දති.
Sinhala BJTහෙ තෙමේ ඒ කුශලකර්‍ම බලයෙන් ස්වර්‍ගයට යෙයි, එහි සතුටු වෙයි. මෙහි ආයේ උතුම් සැප ඇති වන බවට නිමිති වූ ලකුණු දෙකක් ලබයි.
Pali BJTඋබ්භමුප්පතිතලොමවාසසො පාදගණ්ඨිරහූ සාධු සණ්ඨිතා. මංසලොහිතා චිතා තචොත්ථටා උපරිචරණා ච සොභනා{2} අහු.
Sinhala BJTහේ තෙමේ උඩට නැමුණු ලොම් ඇත්තේ වෙයි. පාගැට (ගොප් ඇට) මොනොවට පිහිටියේ වෙයි. ඔහුගේ කෙණ්ඩා ද මසින් ලෙයින් පිරුණාහු, සිවියෙන් වැසුණාහු ශෝභන වෙත්.
Pali BJTගෙහමාවසති චෙ තථාවිධො අග්ගතං වජති කාමභොගිනං, තෙන උත්තරිතරො න විජ්ජති ජම්බුදීපමභිභුය්ය ඉරීයති.
Sinhala BJTඉදින් එබඳු පුද්ගල තෙමේ ගෙහි වසන්නේ නම්, කාම අතුරෙහි අග්‍ර බවට යෙයි. ඔහුට වඩා උතුම් වූවක් ඇති නො වෙයි. දඹදිව (මහපොළොව) අභිභවා වෙසෙයි.
Pali BJTපබ්බජම්පි ච අනොමනික්කමො අග්ගතං වජති සබ්බපාණිනං, තෙන උත්තරිතරො න විජ්ජති සබ්බලොකමභිභුය්ය විහරතී’ති.
Sinhala BJTඅලාමක විහරණ ඇති හෙ තෙමේ පැවිදි වන්නේ ද සියලු සත්නට අක් බවට යෙයි. ඔහුට වැඩිතරම් කිසිවෙක් නොමැති වෙයි. හේ මුළු ලොව අබිබවා වෙසෙයි.
Pali BJTඑණීජඞ්ඝලක්ඛණං (11)
Sinhala BJTඒණිජඞ්ඝා ලක්‍ෂණය (11)
Pali BJT9. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො සක්කච්චං වාචෙතා අහොසි සිප්පං වා විජ්ජං වා චරණං වා කම්මං වා, ‘කින්ති මෙ ඛිප්පං විජානෙය්යුං, කින්ති’මෙ ඛිප්පං පටිපජ්ජෙය්යුං න චිරං කිලිස්සෙය්යුන්ති. සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉදං මහාපුරිසලක්ඛණං පටිලභති, එණිජඞ්ඝො හොති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? යානි තානි රාජාරහානි රාජඞ්ගානි රාජූපභොගානි රාජානුච්ඡවිකානි, තානි ඛිප්පං පටිලභති රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? යානි තානි සමණාරහානි සමණඞ්ගානි සමණූපභොගානි සමණානුච්ඡවිකානි, තානි ඛිප්පං පටිලභති. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT9. මහණෙනි, “තථාගත තෙම පෙර භවයෙහි පළමු වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම, කෙසේ නම් මොහු ශිල්ප ද විද්‍යා ද චරණ ධර්‍ම (ශීලය) ද කර්‍මස්වකතාව ද වහා දැනගන්නාහු ද, කෙසේ නම් මොහු වහා ඒ දෑ පිළිපදනාහු ද, බොහෝ කල් නො වෙහෙසෙන්නාහු දැ යි ඒ ශිල්පාදිය සකසා කියවන්නේ විය” යන යමෙක් ඇද්ද හේ ඒ කර්‍මය කළ බැවින් කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි … එයින් සැව මේ මිනිසත්බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණ ලබයි. ඕලු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. එ ලකුණින් යුත් හෙ තෙම ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි … රජ වන්නේ කුමක් ලබා ද? රජක්හට සුදුසු වූ ඇත් අස් ආදි යාන ද, රජුනට අවයව වූ සේනා ද, රජුනට උපභෝග වූ යම් දෑ ඇද්ද, රජුනට නිසි වූ තවත් යම් දෑ ඇද්ද, ඒ සියල්ල වහා ලබයි … බුදු වනුයේ කුමක් ලබන්නේ ද? ශ්‍රමණයනට සුදුසු වූ ශ්‍රමණාවයව වූ ශ්‍රමණයන්ගේ උපභෝග පරිභෝග වූ ශ්‍රමණයනට නිසි වූ යම් දෑ ඇද්ද, ඒවා වහා ලබයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථා බන්‍ධනයෙන් කියනු ලැබේ:
Pali BJTසිප්පෙසු විජ්ජාචරණෙසු කම්මසු{3} කථං විජානෙය්යු{4} ලහුන්ති ඉච්ඡති. යදූපඝාතාය න හොති කස්සචි වාචෙති ඛිප්පං න චිරං කිලිස්සති.
Sinhala BJT“ශිල්පයන්හි ද විද්‍යා හා චරණයන්හි ද කර්‍මස්වකතායෙහි ද කෙසේ වහා දැන ගන්නේ දැ යි හේ කැමැති වෙයි. යමෙක් කිසිවකුගේත් විනාශය පිණිස නොවේ ද, යමක් උගන්නට බොහෝ කල් නො වෙහෙසෙන්නේ ද, එපරිද්දෙන් ඒ දෑ වහා උගන්වයි.
Pali BJTතං කම්මං කත්වා කුසලං සුඛුද්රයං{1} ජඞ්ඝා මනුඤ්ඤා ලභතෙ සුසණ්ඨිතා, වට්ටා සුජාතා අනුපුබ්බමුග්ගතා උද්ධග්ගලොමා සුඛුමත්තචොත්ථටා.
Sinhala BJTකුසල් වූ සුව වඩන ඒ කර්‍මය කිරීමෙන් මොනොවට පිහිටි, වට වූ, මනාසේ හටගත්, පිළිවෙළින් නැංගාවූ, සියුම් සිවියෙන් වැසුණු, මන වඩන ජඞ්ඝා (කෙණ්ඩා) ද, අක් උඩුකුරු ව සිටි රෝම ද ලබයි.
Pali BJTඑණෙය්යජඞ්ඝො’ති තමාහු පුග්ගලං සම්පත්තියා ඛිප්පමිධාහු ලක්ඛණං, ගෙහානුලොමානි යදාභිකඞ්ඛති අපබ්බජං ඛිප්පමිධාධිගච්ඡති.
Sinhala BJT(එසේ වූ) ඒ පුද්ගලයා එණෙය්‍යජඞ්ඝ (ඕළුමුවන්ගේ කෙණ්ඩා බඳු කෙණ්ඩා ඇත්තේ) යැ යි ලක්‍ෂණපාඨකයෝ කීහු. ඒ ලක්‍ෂණය මෙහි දී වහා සම්පත් ලබනුවට නිමිත්ත යැ යි කීහු. පැවිදි නො වන්නේ යම් කලෙක ගිහිගෙට අනුලොම් වූ (සුදුසු වූ) දෑ කැමැති වේ ද, ඒ කල එය ද මෙහි දී වහා ලබයි.
Pali BJTසචෙ ච පබ්බජ්ජමුපෙති තාදිසො නෙක්ඛම්මඡන්දාභිරතො විචක්ඛණො, අනුච්ඡවිකස්ස යදානුලොමිකං තං වින්දති ඛිප්පමනොමවික්කමො’ති.{2}
Sinhala BJTනෛෂ්කාම්‍ය ඡන්‍දයෙහි ඇලුණු නුවැණැති අලාමක විහරණ ඇති එබඳු පුද්ගල තෙමේ ඉඳින් පැවිදි වන්නේ ද, ඔහුට සුදුසු වූ අනුලොම් වූ යම් දැයෙක් ඇද්ද, එය වහා ලබයි.
Pali BJTසුඛුමච්ඡවිලක්ඛණං (12)
Sinhala BJTශුක්‍ෂමච්ඡවිලක්‍ෂණය (12)
Pali BJT10. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො සමණං වා බ්රාහ්මණං වා උපසඞ්කමිත්වා පරිපුච්ඡිතා අහොසි: කිං භන්තෙ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සෙවිතබ්බං, කිං නසෙවිතබ්බං, කිම්මෙ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං වා පන මෙ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සා? ති. සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉදං මහාපුරිසලක්ඛණං පටිලභති. සුඛුමච්ඡවි හොති සුඛුමත්තා ඡවියා රජොජල්ලං කායෙ න උපලිප්පති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? මහාපඤ්ඤො හොති, නාස්ස හොති කොචි පඤ්ඤාය සදිසො වා, සෙට්ඨො වා කාමභොගීනං. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? මහාපඤ්ඤො හොති පුථුපඤ්ඤො හාසපඤ්ඤො ජවනපඤ්ඤො තික්ඛපඤ්ඤො නිබ්බෙධිකපඤ්ඤො, නාස්ස හොති කොචි පඤ්ඤාය සදිසො වා, සෙට්ඨො වා සබ්බසත්තානං. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT10. මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම, මහණකු හෝ බමුණකු හෝ කරා එළැඹ “වහන්ස, කුසල් නම් කිම? අකුසල් නම් කිම? කිමෙක් වරද සහිත ද? කිමෙක් වරද රහිත ද? කිමෙක් සෙවියැ යුතු ද? කිමෙක් නො සෙවියැ යුතු ද? මා විසින් කිමෙක් කරනු ලබනුයේ බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස වන්නේ ද? මා විසින් කිමෙක් හෝ කරනු ලබනුයේ බොහෝ කල් හිත පිණිස සුව පිණිස වන්නේ දැ?” පුන පුනා ‘විචාරන්නේ විය’ යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් කාබුන් … මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි … හේ එයින් සැව, මෙ මිනිස් බවට ආයේ ම, මේ මහ පුරිස් ලකුණ ලබයි. සියුම් සිවිය ඇත්තේ වෙයි. සිවිය සියුම් බැවින් රජස් දැලි කයෙහි නො ලැගෙයි. ඒ ලක්‍ෂණයෙන් යුත් හෙ තෙමේ ඉදින් ගිහි ගෙයි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? මහා ප්‍රඥා ඇත්තේ වෙයි. කාමභෝගීන් අතුරෙහි ප්‍රඥායෙන් ඔහුට සමානයෙක් හෝ වැඩි තරම් වූයෙක් හෝ නො වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබයි ද? මහ නුවණැත්තේ වෙයි, (ස්කන්‍ධාදී නානාතන්හි) පැතිරැ පැවැති නුවණැත්තේ වෙයි, සතුට බහුල ව මගපල පසක් කරන නුවණැත්තේ වෙයි, ස්කන්‍ධාදියෙහි වහා දිවෙන නුවණැත්තේ වෙයි, තියුණු නුවණැත්තේ වෙයි, විනිවිද යන නුවණ ඇත්තේ වෙයි, සියලු සතුන් අතුරෙහි මොහුට නුවණින් සමාන හෝ විශිෂ්ට වූ කිසිවෙක් නො වෙයි. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක, එහි මෙය (ගාථායෙන්) කියනු ලැබෙයි:
Pali BJTපුරෙ පුරත්ථා පුරිමාසු ජාතිසු අඤ්ඤාතුකාමො පරිපුච්ඡිතා අහු, සුස්සූසිතා පබ්බජිතං උපාසිතා අත්ථන්තරො අත්ථකථං නිසාමයි.
Sinhala BJT‘පෙරැ ඉතා පෙරැ පළමු ජාතීන්හි දී, දැනගනු කැමැත්තේ, ප්‍රශ්න පුළුවුස්නේ විය. ඇසියැටි වනුයේ පැවිද්දහු ඇසුරු කරන්නේ විය. අරුත් දැන ගන්නා සිතැත්තේ අර්‍ත්‍ථකථනය ඇසී ය.
Pali BJTපඤ්ඤාපටිලාභගතෙන{1} කම්මුනා මනුස්සභූතො සුඛුමච්ඡවී අහු, බ්යාකංසු උප්පාදනිමිත්තකොවිදා සුඛුමානි අත්ථානි අවෙච්ච දක්ඛිති.
Sinhala BJTමිනිස් වූයේ, ප්‍රඥාව ලබනු පිණිස පැවැති කර්‍මයෙන් සියුම් සිවි ඇත්තේ විය, උත්පාද ශාස්ත්‍රයෙහි ද ලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද දක්‍ෂ පඬිහු මෙ තෙම සියුම් අරුත් අවබෝධකොට දක්නේ යැ යි පැවැසූහ.
Pali BJTසචෙ න පබ්බජ්ජමුපෙති තාදිසො වත්තෙති චක්කං පඨවිං පසාසති. අත්ථානුසත්ථිසු පරිග්ගහෙසු ච න තෙන සෙය්යො සදිසො ව විජ්ජති.
Sinhala BJTඑබඳු තැනැත්තේ ඉදින් පැවිද්දට නොපැමිණෙන්නේ නම්, අණ සක පවත්වයි, පොළොව පාලනය කෙරෙයි, අර්‍ත්‍ථානුශාසනයන්හි ද, අර්‍ත්‍ථානාර්‍ත්‍ථ පිරිසිඳ දැන්මෙහිද, උන්වහන්සේට වැඩිතරම් හෝ සමාන වූ හෝ එකෙක් නොමැති වෙයි.
Pali BJTසචෙ ච පබ්බජ්ජමුපෙති තාදිසො නෙක්ඛම්මඡන්දාභිරතො විචක්ඛණො, පඤ්ඤාවිසිට්ඨං ලභතෙ අනුත්තරං පප්පොති බොධිං වරභූරිමෙධසො’ති.
Sinhala BJTඑබඳු තැනැත්තේ නෙක්ඛම්ම ඡන්‍දයෙහි ඇලුණේ, ඉදින් පැවිද්දට පැමිණෙන්නේ නම්, විශිෂ්ට ප්‍රඥාව ලබයි, උතුම් වූ මහත් නුවණැත්තේ නිරුත්තර බෝධියට (සම්‍යක්සම්බුද්ධත්‍වයට) පැමිණෙයි.
Pali BJTසුවණ්ණවණ්ණතාලක්ඛණං (13)
Sinhala BJTස්වර්‍ණවර්‍ණතාලක්‍ෂණය (13)
Pali BJT11. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො අක්කොධනො අහොසි අනුපායාසබහුලො, බහුම්පි වුත්තො සමානො නාභිසජ්ජි, න කුප්පි, න බ්යාපජ්ජි නප්පතිත්ථියි, න කොපඤ්ච දොසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. දාතා ච අහොසි සුඛුමානං මුදුකානං අත්ථරණානං පාපුරණානං{2} ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං. සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති. සුවණ්ණවණ්ණො හොති කඤ්චනසන්නිභත්තවො. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී. -පෙ- රාජා සමානො කිං ලභති? ලාභී හොති සුඛුමානං මුදුකානං අත්ථරණානං පාපුරණානං ඛොමසුඛුමානං කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? ලාභී හොති සුඛුමානං මුදුකානං අත්ථරණානං පාපුරණානං ඛොමසුඛුමානං. කප්පාසිකසුඛුමානං කොසෙය්යසුඛුමානං කම්බලසුඛුමානං. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT11. මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ නොකිපෙන සුලු වූයේ, උපායාස බහුල කොට නැත්තේ විය. බොහෝ සේ ද කියන ලදුයේ ම ක්‍රෝධ වශයෙන් නො ගැටුණේ ය, නො කිපුණේ ය, සිතැ කුණු ඇති බවට (ව්‍යාපාදයට) නො පැමිණියේ ය. ක්‍රෝධය සිතැ නො පිහිටුවී ය, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙළේ ය. සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද, පොරෝනා ද, සියුම් කොමු පිළී ද සියුම් කපුපිළි ද සියුම් තිහිරි පිළි ද සියුම් පලස් ද දෙන්නේත් විය, යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් කාබුන් මරණින් මතු මනාගති ඇති සග ලොවට පැමිණියේ ය. එයින් සැව මේ මිනිස් බවට ආයේ ම මේ මහපුරිස් ලකුණ ලබයි. හේ රන්වන් වෙයි. රන් බඳු පැහැති සිවිය ඇත්තේ වෙයි. හේ ඒ ලකුණින් සමන්‍විත වූයේ ගිහිගෙහි වසන්නේ නම් සක්විති රජ වෙයි … රජ වනුයේ කුමක් ලබයි ද? සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පිළි ද සියුම් තිහිරි පිළි ද සියුම් පලස් ද ලබන්නේ වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබයි ද? සියුම් වූ මොළොක් වූ ඇතිරිලි ද පොරෝනා ද සියුම් කොමු පිළි ද සියුම් සියුම් කොමු පිළි ද, සියුම් කපු පිළි ද, සියුම් තිහිරි පිළි ද සියුම් පලස් ද ලබන්නේ වෙයි. බුදු වනුයේ මෙය ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් කියනු ලැබේ.
Pali BJTඅක්කොධඤ්ච අධිට්ඨහි අදාසි{3} දානඤ්ච වත්ථානි සුඛුමානි සුච්ඡවීනි. පුරිමතරභවෙ ඨිතො’භිවිස්සජි{4} මහිමිව සුරො අභිවස්සං.
Sinhala BJT‘පළමු බෙවෙහි සිටියේ අක්‍රෝධය ද ඉටී ය, පොළොව තෙමන මේඝය මෙන් දන් ද දුන්නේ ය. සියුම් වූ මනා පැහැති වස්ත්‍ර ද දුන්නේ ය.
Pali BJTතං කත්වාන ඉතො චුතො දිවං උපපජ්ජ{1} සුකතඵලවිපාකමනුභුත්වා, කණකතනුසන්නිභො ඉධාභිභවති සුරවරතරොරිව ඉන්දො.
Sinhala BJTඒ කර්‍මය කොට මෙයින් සැව, දෙව්ලෝ පැමිණ, කුසල් පල විඳ, මෙ ලොව්හි දී දෙවියනට ශ්‍රේෂ්ඨ වූ ඉන්‍ද්‍රයා මෙන් රන් බඳු පැහැති සිරුර ඇත්තේ වෙයි.
Pali BJTගෙහමාවසති නරො අපබ්බජ්ජ මිච්ඡාමහතිමහිං අනුසාසතී පසය්හ ස හී ච සත්තරතනං පටිලභති විමල{2} සුඛුමච්ඡවිං සුචිඤ්ච.
Sinhala BJTඒ මිනිස් තෙම අප්‍රව්‍රජ්‍යාව (ගිහිබව) කැමැති වන්නේ, ගිහිගෙහි වසන්නේ නම්, මහත් පොළොව අබිබවා අනුශාසන කෙරෙයි (පාලනය කෙරෙයි.) හේ වනාහි මහත් වූ ද සියුම් වූ ද මනා පැහැත්තාවූ ද ඉතා උතුම් වස්ත්‍ර ලබයි.
Pali BJTලාභී අච්ඡාදනවත්ථමොක්ඛපාපුරණානං{3} භවති සදි අනාගාරියතං උපෙති. ස හි{4} පුරිමකතඵලං අනුභවති න භවති කතස්ස පනාසො’ති.
Sinhala BJTඉදින් පැවිද්දට පැමිණෙන්නේ නම්, හඳනා වස්ත්‍ර හා සෙසු වස්ත්‍ර ද (කොඳුපලස් ඈ) පාමොක් පොරෝනා ද ලබන සුලු වෙයි. හේ වනාහි පළමු අත් බව්හි කළ කුශලයන්ගේ ඵලය විඳියි. කළ කුශලයේ විපාක නොදී වැනැසී යෑමෙක් ද නො වෙයි.
Pali BJTකොසොහිතවත්ථගුය්හතාලක්ඛණං (14)
Sinhala BJTකෝෂාවහිත වස්ත්‍රගුහ්‍යතා ලක්‍ෂණය (14)
Pali BJT12. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමංභවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො චිරප්පනට්ඨෙ සුචිරප්පවාසිනො ඤාතී මිත්තෙ සුහජ්ජෙ සඛිනො සමානෙතා අහොසි, මාතරම්පි පුත්තෙන සමානෙතා අහොසි, පුත්තම්පි මාතරා සමානෙතා අහොසි, පිතරම්පි පුත්තෙන සමානෙතා අහොසි, පුත්තම්පි පිතරා සමානෙතා අහොසි, භාතරම්පි භාතරා සමානෙතා අහොසි, භාතරම්පි භගිනියා සමානෙතා අහොසි, භගිනිම්පි භාතරා සමානෙතා අහොසි, සමඞ්ගීකත්වා ච අබ්භනුමොදිතා අහොසි. සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉදං මහාපුරිසලක්ඛණං පටිලභති, කොසොහිතවත්ථගුය්හො හොති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? පහූතපුත්තො හොති, පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? පහූත පුත්තො හොති අනෙකසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ග රූපා පරසෙනප්පමද්දනා. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT12. මහණෙනි, පළමු දෑහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම බොහෝ කල් දක්නට නැති වැ ගිය, ඉතා බොහෝ කල් පිට රටැ වුසූ නෑයන් ද මිතුරන් ද සුහෘදයන් ද යහළුවන් ද එක් තැනට පමුණුවන්නේ (ගළපන්නේ) වී ය, මව ද පුතු හා හමු කරන්නේ විය, පුතු ද මව හා හමු කරන්නේ විය, පියා ද පුතු හා හමු කරන්නේ විය, පුතා ද පියා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවුරා හා හමු කරන්නේ විය, සොහොවුරා ද සොහොවිරිය හා හමු කරන්නේ විය, සොහොවිරිය ද සොවුරා හා හමු කරන්නේ විය, සොහොවිරිය ද සොහොවිරිය හා හමු කරන්නේ විය. සමගිඑකතු කොට ද එයට සතුටු වන්නේ විය යන යමෙක් ඇද්ද, ඒ කර්‍මය කළ බැවින් රැස් කළ බැවින්, හෙ තෙමේ කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණියේ ය … එයින් සැව, මේ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණ බලයි. කෝෂාවහිත වස්ත්‍රගුහ්‍ය ලක්‍ෂණය ඇත්තේ වෙයි. හේ ඒ ලක්‍ෂණයෙන් සමන්‍විත ඉදින් ගිහිගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ඔහුට ශූර වූ (බිය නො ගන්නා) මූර්තිමත් වීර්‍ය්‍යය බඳු වූ සතුරු සෙන් මඩනට සමත්, දහසකට වැඩි තරම් පුත්‍රයෝ වෙත් … බුදු වූ යේ කුමක් ලබයි ද? බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ඔබට වනාහි ශූර වූ උතුම් වීර සාර ස්වභාවය ඇති ප්‍රතිපක්‍ෂ සේනා මඩින්නට පොහොසත් ශ්‍රාවක පුත්‍රයෝ ද නොයෙක් දහස් ගණන් වෙත්. බුදු වනුයේ මේ අනුසස් ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය ගාථා බන්‍ධනයෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJTපුරෙ පුරත්ථා පුරිමාසු ජාතිසු චිරප්පනට්ඨෙ සුචිරප්පවාසිනො, ඤාතී සුහජ්ජෙ සඛිනො සමානයී සමඞ්ගිකත්වා{5} අනුමොදිතා අහු.
Sinhala BJT“පෙරැ, බොහෝ පෙරැ, පළමු දෑහි, බොහෝ කල් නො දක්නා ලද ඉතා බොහෝ කල් වෙන් ව වුසූ නෑයන් ද මිතුරන් ද යහළුවන් ද එකතු කෙළේ ය. සමගි කොට ද එයට සතුටු විය.
Pali BJTසො තෙන{1} කම්මෙන දිවං අපක්කමි{2} සුඛඤ්ච ඛිඩ්ඩා රතියො ච අන්වභි. තතො චවිත්වා පුනරාගතො ඉධ කොසොහිතං වින්දති වත්ථඡාදියං.
Sinhala BJTහේ ඒ කර්‍මයෙන් දෙව්ලෝ ගියේ ය. දෙව් සුව ද ක්‍රීඩාරතීන් ද අනුභව කෙළේ ය. එයින් සැව, යලි මෙහි ආයේ කොශාවහිත වස්ත්‍රගුහ්‍යතා ලක්‍ෂණය ලබයි.
Pali BJTපහූතපුත්තො භවතී තථාවිධො පරොසහස්සං ච භවන්ති අත්රජා. සූරා ච වීරා ච{3} අමිත්තතාපනා ගිහිස්ස පීතිං ජනනා පියංවදා.
Sinhala BJTඑබඳු තැනැත්තේ බොහෝ පුතුන් ඇත්තේ වෙයි. ගිහි වූ මොහුට ශූර වූ ද වීර වූ ද සතුරන් මඩනුයෙහි පොහොසත් වූ, ප්‍රීතිය උපදවන්නා වූ, පිය බස් තෙපලන දහසකට වැඩි දෙනෙක් පුත්‍රයෝ වෙත්.
Pali BJTබහුතරා පබ්බජිතස්ස ඉරීයතො භවන්ති පුත්තා වචනානුසාරිනො. ගිහිස්ස වා පබ්බජිතස්ස වා පුන තං ලක්ඛණං භවති{4} තදත්ථජොතකන්ති.
Sinhala BJTපැවිදි වැ වසන්නහුට ඉතා බොහෝ වූ, වචනය පිළිපදනා, ශ්‍රාවක පුත්‍රයෝ වෙත්. ඒ (කොශාවහිත වස්ත්‍රගුහ්‍ය) ලක්‍ෂණය ගිහියාට හෝ වැලි පැවිදි වූවාහට හෝ ඒ අරුත පවසන්නේ වෙයි.
Pali BJTපඨමභාණවාරො නිට්ඨිතො.
Sinhala BJTපළමු බණවර යැ.
Pali BJTපරිමණ්ඩල-අනොනම-ජ’ණ්ණුපරිමසනලක්ඛණානි (15,16)
Sinhala BJTපරිමණ්ඩලතා - අනවනත - ජානුපරාමර්‍ශනතා ලක්‍ෂණ (15,16)
Pali BJT13. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො මහාජනසඞ්ගහං සමෙක්ඛමානො{5} සමං ජානාති, සාමං ජානාති, පුරිසං ජානාති, පුරිසවිසෙසං ජානාති අයමිදමරහති අයමිදමරහතී’ති. තත්ථ තත්ථ පුරිසවිසෙසකරො පුරෙ අහොසි. සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති, නිග්රොධපරිමණ්ඩලො ච හොති, ඨිතකො’ව අනොනමන්තො උභොහි පාණීතලෙහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො පහූතජාතරූපරජතො පහූතවිත්තූපකරණො පහූතධනධඤ්ඤො පරිපුණ්ණකොසකොට්ඨාගාරො. රාජා සමානො ඉදං ලභති. -පෙ- බුද්ධො සමානො කිං ලභති? අඩ්ඪො හොති මහද්ධනො මහාභොගො. තස්සිමානි ධනානි හොන්ති, සෙය්යථීදං සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT13. මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම මහජනයාට සංග්‍රහ කිරීම සම ව දකිනුයේ (ඒ ඒ තැනැත්හු හා) සම වූවහු දනී, තෙමේ දනී, පුරුෂයා දනී, පුරුෂයන්ගේ වෙසෙස දනී, මෙ තෙමේ මෙයට සුදුසු ය, මෙ තෙමේ මෙයට සුදුසු යැ යි ඒ ඒ දැයෙහි පුරුෂයන්ගේ වෙසෙස දැන කටයුතු කරනුයේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, කාබුන් මරණින් මතු මනාගති ඇති, සග ලොවට යෙයි. හේ එයින් සැව මෙ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණු දෙක ලබයි. නුග රුකක් සේ සම පමණ ඇත්තේ වෙයි. සිටියේ ම නො නැමෙන්නේ දෙ අත්ලෙන් දෙදණ පිරිමදියි, හේ ඒ ලකුණුවලින් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? ආඪ්‍ය වෙයි, මහත් ධන ඇත්තේ වෙයි, මහත් භෝග ඇත්තේ වෙයි. බොහෝ රන් රිදී ඇත්තේ, බොහෝ වස්තු උපකරණ ඇත්තේ, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ, පිරිපුන් වස්තු ගබඩා හා කොටුගුල් ඇත්තේ වෙයි. රජ වනුයේ මෙය ලබයි. … බුදු වනුයේ කුමක් ලබයි ද? ආඪ්‍ය වෙයි, මහත් ධන ඇත්තේ වෙයි, මහත් භෝග ඇත්තේ වෙයි. ඔහුට ශ්‍රද්ධාධනය, ශීලධනය. හිරිධනය, ඔත්තප්පධනය, ශ්‍රැතධනය, ත්‍යාගධනය, ප්‍රඥාධනය යන මේ ධනයෝ වෙත්. බුදු වනුයේ මෙය ලබයි. භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් කියනු ලැබෙයි.
Pali BJTතුලිය පටිවිචය{1} චින්තයිත්වා මහාජනසඞ්ගහනං{2} සමෙක්ඛමානො, අයමිදමරහතීති තත්ථ තත්ථ පුරිසවිසෙසකරො පුරෙ අහොසි.
Sinhala BJT‘පෙර ජාතියෙහි නුවණින් කිරා බලා, නැවැත නැවැත පිරික්සා සිතා, මහජනයාට සංග්‍රහ කිරීම සම ව අපේක්‍ෂා කරනුයේ, ‘මෙ තෙමේ මෙය ලබන්නට සුදුසු වේ යැ’ යි ඒ ඒ තන්හි පුරුෂයන්ගේ වෙසෙස දැන සංග්‍රහ කරනුයේ විය.
Pali BJT{3}ස හි ච පන ඨිතො අනොනමන්තො ඵුසති කරෙහි උභොහි ජණ්ණුකානි, මහිරුහපරිමණ්ඩලො අහොසි සුචරිතකම්මවිපාකසෙසකෙන.
Sinhala BJTඒ කර්‍මයාගේ ඉතිරි වූ විපාකයෙන් හේ සිටියේ ම නො නැමෙනුයේ දෙ අත්ලෙන් දෙ දණහිස් ස්පර්‍ශ කෙරෙයි, නුග රුකෙක පිරිමඩුල්ල මෙන් පිරිමඩුලු වූ සිරුර ඇත්තේ විය.
Pali BJTබහුවිවිධ නිමිත්ත ලක්ඛණඤ්ඤූ අභිනිපුණා මනුජාවියා කරිංසු, බහුවිවිධානි ගිහීනමරහානි පටිලභති දහරො සුසු කුමාරො.
Sinhala BJTබොහෝ විවිධ නිමිත්ත ලක්‍ෂණ දන්නා ඉතා සියුම් නුවණැති බමුණු පඬිහු ‘ළදරු වූ ළපැටි වූ මේ කුමර ගෘහස්ථයනට සුදුසු වූ බොහෝ වූ ද විවිධ වූ ද වස්තූන් ලබතැ යි ද,
Pali BJTඉධ මහීපති’ස්ස කාමභොගී ගිහිපටිරූපකා බහූ භවන්ති, යදි ච ජහති සබ්බකාමභොගං ලභති අනුත්තරමුත්තමං ධනග්ගන්ති.
Sinhala BJTඉදින් මෙහි රජෙක් වී නම් මොහුට ගිහියනට සුදුසු වූ කාමසම්පත් විඳිනුවට අවශ්‍ය වූ බොහෝ උපකරණයෝ වෙත්. ඉදින් සියලු කම්සැපත් අත් හරනේ නම්, නිරුත්තර වූ උතුම් ආර්‍ය ධනය ලබන්නේ යැ’ යි ද හෙළි කොට කීහ.
Pali BJTසීහපුබ්බද්ධකායාදීනි තීණි ලක්ඛණානි (17-19)
Sinhala BJTසිංහපූර්‍වාර්ධකායාදි ත්‍රි ලක්‍ෂණ (17, 18, 19)
Pali BJT14. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො බහුනො ජනස්ස අත්ථකාමො අහොසි හිතකාමො ඵාසුකාමො යොගක්ඛෙමකාමො ‘කින්ති මෙ සද්ධාය වඩ්ඪෙය්යුං, සීලෙන වඩ්ඪෙය්යුං, සුතෙන වඩ්ඪෙය්යුං,{4} චාගෙන වඩ්ඪෙය්යුං, ධම්මෙන වඩ්ඪෙය්යුං, පඤ්ඤාය වඩ්ඪෙය්යුං, ධනධඤ්ඤෙන වඩ්ඪෙය්යුං, ඛෙත්තවත්ථුනා වඩ්ඪෙය්යුං, ද්විපදචතුප්පදෙහි වඩ්ඪෙය්යුං, පුත්තදාරෙහි වඩ්ඪෙය්යුං, දාසකම්මකරපොරිසෙහි වඩ්ඪෙය්යුං, ඤාතිහි වඩ්ඪෙය්යුං, මිත්තෙහි වඩ්ඪෙය්යුං, බන්ධවෙහි වඩ්ඪෙය්යුන්ති.
Sinhala BJT14. මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම, “මේ සත්‍වයෝ කෙසේ නම් සැදැහැයෙන් වැඩෙන්නාහු ද? ශීලයෙන් වැඩෙන්නාහු ද? සුභාෂිතශ්‍රවණයෙන් වැඩෙන්නාහු ද? ත්‍යාගගුණයෙන් වැඩෙන්නාහු ද? ලෞකික ධර්‍මයෝ වැඩෙන්නාහු ද? ප්‍රඥායෙන් වැඩෙන්නාහු ද? ධනධාන්‍යයෙන් වැඩෙන්නාහු ද? කෙත්වතින් වැඩෙන්නාහු ද? දෙපා සිවුපා සතුන්ගෙන්, අඹුදරුවන්ගෙන් දැසි දස් කම්කරු පුරුෂයන්ගෙන් නෑයන්ගෙන් මිතුරන්ගෙන්, (පරම්පරාගත) බන්‍ධුන්ගෙන් වැඩෙන්නාහු දැ?’යි බොහෝ දෙනාට වැඩ කැමැති වූයේ, අභ්‍යුදය කැමැති වූයේ සැප කැමැති වූයේ, නිරුපද්‍රැත බව කැමැති වූයේ විය.
Pali BJTසො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි තීණි මහාපුරිසලක්ඛණානි පටිලභති, සීහපුබ්බද්ධකායො ච හොති චිතන්තරංසො ච සමවත්තක්ඛන්ධො ච. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී. රාජා සමානො කිං ලභති? අපරිහානධම්මො හොති, න පරිහායති ධනධඤ්ඤෙන ඛෙත්තවත්ථුනා ද්විපදචතුප්පදෙහි පුත්තදාරෙහි දාසකම්මකරපොරිසෙහි ඤාතීහි මිත්තෙහි බන්ධවෙහි, න පරිහායති සබ්බසම්පත්තියා. රාජා සමානො ඉදං ලභති. -පෙ- බුද්ධො සමානො කිං ලභති? අපරිහානධම්මො හොති, න පරිහායති සද්ධාය සීලෙන සුතෙන චාගෙන පඤ්ඤාය න පරිහායති සබ්බසම්පත්තියා. බුද්ධො සමානො ඉදං ලභති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJT“හෙ තෙමේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින් … කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට ගියේ ය. හේ එයින් සැව, මේ මිනිසත් බවට ආයේ ම, මේ මහ පුරිස්ලකුණු තුන ලබයි. සිංහයාගේ පෙරඩ කය මෙන් පරිපූර්‍ණ වූ (පූර්‍වාර්ධ අපරාර්ධ යන) සියලු සිරුර ඇත්තේ වෙයි. මසින් පිරුණු පිටිකර ඇත්තේ වෙයි. සම ව වට වූ කඳ ඇත්තේ වෙයි. හේ ඒ ලකුණුවලින් සමන්‍විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? නො පිරිහෙන ස්වභාවය ඇත්තේ වෙයි, ධනධාන්‍යයෙන් කෙත්වතුයෙන්, දෙපාසිවුපාවන්ගෙන්, අඹුදරුවන්ගෙන්, දැසි දස් කම්කරු පුරුෂයන්ගෙන් නෑයන්ගෙන්, මිතුරන්ගෙන්, බන්‍ධූන්ගෙන් නො පිරිහෙයි. සියලු සැපතින් නො පිරිහෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබයි ද? නොපිරිහෙන සැහැවි ඇත්තේ වෙයි. ශ්‍රද්ධායෙන්, ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන් නො පිරිහෙයි. සියලු සැපතින් නො පිරිහෙයි. බුදු වනුයේ මෙය ලබයි.” භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළසේක. එහි මෙය (ගාථායෙන්) මෙසේ කියනු ලැබේ:
Pali BJTසද්ධාය සීලෙන සුතෙන බුද්ධියා චාගෙන ධම්මෙන බහූහි සාධුහි ධනෙන ධඤ්ඤෙන ච ඛෙත්තවත්ථුනා පුත්තෙහි දාරෙහි චතුප්පදෙහි ච.
Sinhala BJTශ්‍රද්ධායෙන් ද ශීලයෙන් ද ශ්‍රැතයෙන් ද ප්‍රඥායෙන් ද ත්‍යාගයෙන් ද ධර්‍මයෙන් ද යන බොහෝ සාධු ගුණවලින් ද, ධනයෙන් ද ධාන්‍යයෙන් ද කෙත්වතුයෙන් ද දරුවන්ගෙන් ද භාර්‍ය්‍යාවන්ගෙන් ද සිවුපාවුන්ගෙන් ද
Pali BJTඤාතීහි මිත්තෙහි ච බන්ධවෙහි ච බලෙන වණ්ණෙන සුඛෙන චූභයං, කථං න හායෙය්යුං පරෙ’ති ඉච්ඡති ඉදං සමිද්ධං ච{1} පනාභිකඞ්ඛති.
Sinhala BJTනෑයන්ගෙන් ද මිත්‍රයන්ගෙන් ද බන්‍ධූන්ගෙන් ද ශරීරශක්තියෙන් ද වර්‍ණයෙන් සැපයෙන් යන දෙකින් දැ අන්‍යයෝ කෙසේ නම් නො පිරිහෙන්නාහු ද?’යි හේ කැමැති වෙයි. මේ අනුන්ගේ සමෘද්ධිය හේ පතයි.
Pali BJTස සීහපුබ්බද්ධසුසණ්ඨිතො අහු සමවත්තක්ඛන්ධො ච චිතන්තරංසො පුබ්බෙ සුචිණ්ණෙන කතෙන කම්මුනා අහානියං පුබ්බනිමිත්තමස්ස තං.
Sinhala BJTපෙරැ කරන ලද, මොනොවට රැස් කරන ලද ඒ කර්‍ම හේතුයෙන් හෙ තෙමේ සිංහයකුගේ පෙරඩ කය බඳුව පිරිපුන් ව සුපිහිටි, කයැත්තේ විය. සම ව වට වූ, මසින් පිරුණු පිටිකර ඇත්තේ විය. තථාගතයන් වහන්සේ නො පිරිහෙන ඒ කර්‍මය ඒ ලක්‍ෂණත්‍රයයාගේ ලැබීමට පෙර නිමිති වෙයි.
Pali BJTගිහීපි ධඤ්ඤෙන ධනෙන වඩ්ඪති පුත්තෙහි දාරෙහි චතුප්පදෙහි ච, අකිඤ්චනො පබ්බජිතො අනුත්තරං පප්පොති සම්බොධිමහානධම්මතන්ති.{2}
Sinhala BJTකුමර තෙමේ ඉදින් ගිහි ව සිටී නම්, ධනයෙන් ද ධාන්‍යයෙන් ද දූ පුතුන්ගෙන් ද භාර්‍ය්‍යාවන්ගෙන් ද සිවුපාවන්ගෙන් ද වැඩෙයි. ඉදින් කිසි ධන රැස් කිරීමෙක් නැති පැවිද්දෙක් වී නම්, නිරුත්තර වූ නොපිරිහෙන ධර්‍මතා වූ බුදුබවට පැමිණේ’යැ යි ලක්‍ෂණශාස්ත්‍රඥ බමුණෝ පැවැසූහ.
Pali BJTරසග්ගසග්ගිතාලක්ඛණං (20)
Sinhala BJTරසග්‍රාසාග්‍රතා ලක්‍ෂණය (20)
Pali BJT15. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො සත්තානං අවිහෙඨකජාතිකො අහොසි පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩෙන වා සත්ථෙන වා. සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, රසග්ගසග්ගී හොති, උද්ධග්ගාස්ස රසහරණියො ගීවාය ජාතා හොන්ති සමාවාහිනියො.{1} සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා- සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය. රාජා සමානො ඉදං ලභති. බුද්ධො සමානො කිං ලභති? අප්පාබාධො හොති අප්පාතඞ්කො සමවෙපාකිනියා ගහණියා සමන්නාගතො නාතිසීතාය නාච්චුණ්හාය මජ්ඣිමාය පධානක්ඛමාය. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT15. මහණෙනි, තථාගත තෙමේ පෙර දෑහි, පෙර බෙවෙහි, පෙරැ වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම අතින් හෝ කැටින් හෝ දඬුමුගුරෙන් හෝ අවියෙන් හෝ සතුන් නො පෙළන ස්වභාවය ඇත්තේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින් රැස් කළ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලෝ ගියේ ය. හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස් ලකුණ ලබයි. අග්‍ර රස එළවන රස නහර ඇත්තේ වෙයි. ඔහුගේ ග්‍රීවායෙහි උඩුකුරු වැ කෙළින් නැඟී සිටි සම ව රසය එළවන රස නහරයෝ හටගත්තාහු වෙත්. හේ ඒ ලකුණින් සමන්‍විත වූයේ ඉදින් ගිහිගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, සමවෙපාකිනි වූ කර්‍මජ තේජෝධාතුයෙන් සමන්‍විත වූයේ, නීරෝග වෙයි, නිදුක් වෙයි. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? යත්: ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ මධ්‍යම වූ ප්‍රධන් වීර්‍ය්‍ය වඩනුවට පොහොසත් වූ. කර්‍මජ තේජෝධාතුයෙන් සමන්‍විත වූයේ, නීරෝග වෙයි, නිදුක් වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි මෙය ගාථායෙන් මෙසේ කියනු ලැබේ:
Pali BJTන පාණිදණ්ඩෙහි පනාථ ලෙඩ්ඩුනා සත්ථෙන වා මරණවධෙන වා පුන, උබ්බාධනාය පරිතජ්ජනාය වා න හෙඨයී ජනතමහෙඨකො අහු.
Sinhala BJT‘හේ අතින් හෝ දඬු මුගුරින් හෝ නොහොත් කැටින් හෝ අවියෙන් හෝ, තවද සිර ගෙහි ලෑමෙන් හෝ තරවටු කිරීමෙන් හෝ ජනතාව නො පෙළී ය. හේ ජනතාව නොපෙළන්නෙක් විය.
Pali BJTතෙනෙව සො සුගතිසු පෙච්ච මොදති සුඛප්ඵලං කරිය සුඛානි වින්දති, සමොජසා{2} රසහරණී සුසණ්ඨිතා ඉධාගතො ලභති රසග්ගසග්ගිතං.
Sinhala BJTඑ හෙයින් ම පර ලෝ ගොස් සුගතීන්හි සතුටු වෙයි. සැප පල දෙන කර්‍ම කිරීමෙන් සුව විඳී. මොනොවට රස එළවන්නාවූ රසනහරයෝ තුමූ ම මොනොවට පිහිටියාහු වෙත්. මෙසේ මෙහි (මේ මිනිස්බවට) පැමිණියේ රසග්‍රාසාග්‍රිතාව (අග්‍රරසනහර ඇති බව) ලබයි.
Pali BJTතෙනාහු නං අතිනිපුණා විචක්ඛණා අයං නරො සුඛබහුලො භවිස්සති ගිහිස්ස වා පබ්බජිතස්ස වා පුන{3} තං ලක්ඛණං භවති තදත්ථජොතකන්ති.
Sinhala BJTඑ හෙයින් ඉතා සියුම් නුවණැති (නිමිත්තපාඨක) පඬිහු ඔබට ‘මෙ මිනිස් තෙමේ සුව බහුල කොටැති වන්නේ’ ය. නැවැත ද ගිහියකුට හෝ පැවිද්දකුට හෝ ඒ කරුණ හෙළි කරන ඒ ලක්‍ෂණය වෙයි.
Pali BJTඅභිනීලනෙත්ත - ගොපඛුමලක්ඛණානි (21, 22)
Sinhala BJTඅභිනීලනේත්‍ර ගෝපඛුමතා ලක්‍ෂණ (21, 22)
Pali BJT16. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො න ච විසටං න ච විසාචී{1} න ච පන විචෙය්ය පෙක්ඛිතා, උජුං තථා පසටමුජුමනො පියචක්ඛුනා බහුජනං උදික්ඛිතා අහොසි. සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති. අභිනීලනෙත්තො ච හොති ගොපඛුමො ච. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? පියදස්සනො හොති, බහුනො ජනස්ස පියො හොති මනාපො බ්රාහ්මණගහපතිකානං නෙගමජානපදානං ගණකානං මහාමත්තානං අනීකට්ඨානං දොවාරිකානං අමච්චානං පාරිසජ්ජානං රාජූනං භොගියානං කුමාරානං. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? පියදස්සනො හොති, බහුනො ජනස්ස පියො හොති මනාපො භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං දෙවානං මනුස්සානං අසුරානං නාගානං ගන්ධබ්බානං. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT16. “මහණෙනි, තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි පෙරැ මිනිස් වූයේ ම, කෝපයෙන් ඇස් ඔරවා බලන්නේ නො වී ය, (ක්‍රෝධපර වැ) හිස ඇළ කොට ඇස් කොනින් බලන්නේ ද නො වී ය. ක්‍රෝධපර ව අනුන් දෙස රහසින් රවා බලන්නේ ද නො වී ය. ඍජු ව ද ඇස් පුරා ද ඍජු සිත් ඇත්තේ සිය ඇසින් බොහෝ දෙනා දෙස බලන්නේ විය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින් කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට ගියේ ය. හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම, මේ මහපුරිස්ලකුණු දෙක ලබයි. වෙසෙසින් නිල්වන් වූ ඇස් ඇත්තේ වෙයි, එකෙණෙහි උපන් රතු වස්සකුගේ ඇස් පියුම් (ඇස්ගුළිය) බඳු ඇස් පියුම් ඇත්තේ වෙයි. මේ ලක්‍ෂණවලින් සමන්‍විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වන්නේ කුමක් ලබයි ද? ප්‍රිය වූ දැකුම් ඇත්තේ වෙයි. බමුණනට, ගැහැවියනට, නිගම්වැසියනට දනවුවැසියනට, ගණකයනට, මහාමාත්‍රයනට, සේනාඞ්ගරක්‍ෂකයනට, ද්වාරපාලයනට, පරම්පරාගත වැ රාජපර්‍ෂද්හි වූවනට, රජුනට, රාජදෙය භෝග සම්පත් විඳුනවුනට රජකුමරුවනට, යන බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබයි ද? ප්‍රිය දැකුම් ඇත්තේ වෙයි. බොහෝ දෙනාට ප්‍රිය වෙයි, මනවඩන්නේ වෙයි. මහණුනට මෙහෙණනට උවසුවනට උවැසියනට දෙවියනට මිනිස්නට අසුරයනට නාගයනට ගඳෙව්වනට ප්‍රිය වෙයි, මනාප වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය (ගාථායෙන්) කියනු ලැබේ:
Pali BJTන ච විසටං න ච විසාචී{1} න ච පන විචෙය්ය පෙක්ඛිතා උජුං තථා පසටමුජුමනො පියචක්ඛුනා බහුජනං උදික්ඛිතා.
Sinhala BJT‘ක්‍රෝධයෙන් ඇස් ඔරවා ද නො බලන්නේ විය. කෝපයෙන් හිස ඇළ කොට ඇස් කොනින් බලන්නේ ද නො වී ය. රහසින් අනුන් දෙස රවා බලන්නේ ද නො වී ය. ඍජු ලෙස, ඇසපුරා, ඍජු සිතැති ව, ප්‍රිය ඇසින් බොහෝ දෙනා දෙස බලන්නේ විය.
Pali BJTසුගතීසු සො ඵලවිපාකං අනුභවති තත්ථ මොදති. ඉධ ච පන භවති ගොපඛුමො අභිනීලනෙත්තනයනො සුදස්සනො.
Sinhala BJTහේ එහි ඵලවිපාකය සුගතීන්හි විඳියි. එයින් එහි සතුටු වෙයි, නැවැත මෙහි උපදනේ ද, එ කෙණෙහි උපන් වස්සකුගේ බඳු ඇසිපියුම් ඇත්තේ, වෙසෙසින් නිල් වූ ඇස් ඇත්තේ, ශෝභන දැකුම් ඇත්තේ වෙයි.
Pali BJTඅභියොගිනො ච නිපුණා බහූ පන නිමිත්තකොවිදා සුඛුමනයනකුසල මනුජා පියදස්සනො’ති අභිනිද්දිසන්ති නං.
Sinhala BJTලක්‍ෂණශාස්ත්‍ර හැදෑරීමෙහි යෙදුණු සියුම් නුවණැති, නිමිති සතර දන්නා, සියුම් නේත්‍රවිද්‍යායෙහි දක්‍ෂ වූ බමුණෝ ‘ප්‍රිය දර්‍ශන ඇත්තේ යැ’යි ඔහු වෙසෙසින් දක්වත්.
Pali BJTපියදස්සනො ගිහී පි සන්තො ච භවති බහුජනපියායිතො, යදි ච න භවති ගිහී සමණො හොති පියො බහූනං සොකනාසනො’ති.
Sinhala BJTගිහි වන්නේ ද ප්‍රිය දැකුම් ඇත්තේ, බොහෝ ජනයා විසින් ප්‍රිය කරන ලද්දේ වෙයි. ඉදින් ගිහි නොවන්නේ නම්, බොහෝ දෙනාට ප්‍රිය වූ, ජනයාගේ ශෝක නසන ශ්‍රමණයෙක් වෙයි.
Pali BJTඋණ්හීසසීසලක්ඛණං (23)
Sinhala BJTඌෂ්ණීෂශීර්‍ෂලක්‍ෂණය (23)
Pali BJT17. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො බහුජනපුබ්බඞ්ගමො අහොසි කුසලෙසු ධම්මෙසු බහුජනානං පාමොක්ඛො කායසුචරිතෙ වචීසුචරිතෙ මනොසුචරිතෙ දානසංවිභාගෙ සීලසමාදානෙ උපොසථූපවාසෙ මත්තෙය්යතාය පෙත්තෙය්යතාය සාමඤ්ඤතාය බ්රහ්මඤ්ඤතාය කුලෙ ජෙට්ඨාපචායිතාය අඤ්ඤතරඤ්ඤතරෙසු ච අධිකුසලෙසු ධම්මෙසු. සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, උණ්හීසසීසො හොති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? මහා’ස්ස ජනො අන්වායිකො හොති, බ්රාහ්මණගහපතිකා නෙගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති. -පෙ- බුද්ධො සමානො කිං ලභති? මහාස්ස ජනො අන්වායිකො හොති භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT17. “මහණෙනි, ‘පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම කුසල් දහම් හි බොහෝ දෙනාට ගණදෙටු විය, කායසුචරිතයෙහි ද වාක්සුචරිතයෙහි ද මනස්සුචරිතයෙහි ද දන් දීමෙහි ද ශීල සමාදානයෙහි ද පෙහෙවස් වුසුම්හි ද මවට උවටන්හි ද පියාට උවටන්හි ද මහණුන් පිදීමෙහි ද බමුණන් පිදීමෙහි ද කුලදෙටුවන් පිදීමෙහි ද තව තවත් අධිකුශලධර්‍මයන්හි ද බොහෝ දෙනාට ප්‍රමුඛ විය’ යන යමෙක් ඇද් ද, හේ, ඒ කර්‍ම කළ හෙයින් … කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට යෙයි. හේ එයින් සැව මේ මිනිසත් බවට ආයේ ම මේ මහ පුරිස් ලකුණ ලබයි. හේ නලල්පට බන් සෙයින් පිරිපුන් නලල ද පිරිපුන් හිස ද ඇත්තේ වෙයි. හේ ඒ ලක්‍ෂණයෙන් යුක්ත වූයේ, ඉදින් ගිහිගෙයි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? මහා ජන තෙමේ ඔහු අනුව යන්නේ වෙයි. බමුණුගැහැවියෝ ද නියම්ගම් දනවු වැසියෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද සේනාඞ්ගරක්‍ෂකයෝ ද ද්වාරපාලයෝ ද ඇමැතියෝ ද පරම්පරාගත ව රාජපර්‍ෂත්හි වූවෝ ද, රජුහු ද, රාජ දත්ත භෝග ලැබ පරිභෝග කරන්නෝ ද, රජකුමරුවෝ ද ඔහු අනුව යන්නෝ වෙත්. රජ වනුයේ මෙය ලබයි. … බුදු වනුයේ කුමක් ලබා ද? මහණ, මෙහෙණ උවසු උවැසි දෙවි මිනිස් අසුර නාග ගන්‍ධර්‍ව යන මහා ජනයා ඔහු අනුව යන්නේ වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය මෙසේ ගාථායෙන් කියනු ලැබේ:
Pali BJTපුබ්බඞ්ගමො සුචරිතෙසු අහු ධම්මෙසු ධම්මචරියාය{1} අභිරතො, අන්වායිකො බහුජනස්ස අහු සග්ගෙසු වෙදයිත්ථ පුඤ්ඤඵලං.
Sinhala BJTහේ සුචරිත ධර්‍මයන්හි පුරෝගාමී විය, ධර්‍මචර්‍ය්‍යායෙහි ඇලුණේ විය. එහි බොහෝ දෙනා ඔහු අනුව යන්නේ විය. එහි පින්පල සගලොව්හි දී වින්දේ ය.
Pali BJTවෙදියිත්වා සො සුචරිතස්ස ඵලං උණ්හීස සීසත්තමිධජ්ඣගමා බ්යාකංසු බ්යඤ්ජන නිමිත්තධරා පුබ්බඞ්ගමො බහුජනස්ස{2} හෙස්සති.
Sinhala BJTහේ සුචරිතයේ ඵලය විඳ, මෙහි උෂ්ණීශීර්‍ෂ බව ලැබී ය. ලක්‍ෂණ ශාස්ත්‍රධරයෝ ‘මෙ තෙමේ බොහෝ දෙනාට පුරෝගාමී වන්නේ යැ’යි පැවැසූහ,
Pali BJTපටිභොගියා මනුජෙසු ඉධ පුබ්බෙව තස්ස අභිහරන්ති තදා යදිඛත්තියො භවති භූමිපති පටිහාරකබහුජනෙ{3} ලභති.
Sinhala BJTමෙහි මිනිසුන් අතුරෙහි වතාවත් කරුවෝ ඒ කල්හි පළමු ළදරු වියෙහි ම ඔහුට කුදුමහත් වතාවත් එළවත්. ඉදින් පොළොවට අධිපති රජෙක් වී නම්, හේ වතාවත් කරන බොහෝ ජනයන් ලබයි.
Pali BJTඅථ චෙපි පබ්බජති සො මනුජො ධම්මෙසු හොති පගුණො විසාවී. තස්සානුසාසනිගුණාභිරතො අන්වායිකො බහුජනො භවතී ති.
Sinhala BJTඉදින් ඒ මිනිස් තෙමේ පැවිදි වන්නේ නම්, ධර්‍මයන්හි (ධ්‍යාන සමාපත්ති ධර්‍මයන්හි) පුහුණු වූ, පුරුදු කළ වශිතා ඇතියෙක් වෙයි. ඔහුගේ අනුශාසන ගුණයෙහි ඇලුණු බොහෝ ජනයා ඔහු අනුව යන්නේ වේ.
Pali BJTඑකෙකලොමතාඋණ්ණාලක්ඛණාදීනි. (24, 25)
Sinhala BJTඒකෙෙකලෝමතා - ඌර්ණාලක්‍ෂණාදීහු (24, 25)
Pali BJT18. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො අහොසි, සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස, සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති: එකෙකලොමො ච හොති, උණ්ණා ච භමුකන්තරෙ ජාතා හොති ඔදාතා මුදුතූලසන්නිභා. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී. රාජා සමානො කිං ලභති? මහා’ස්ස ජනො උපවත්තති බ්රාහ්මණගහපතිකා නෙගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? මහා’ස්ස ජනො උපවත්තති භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT18. “මහණෙනි, ‘තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම මුසවා හැරැ මුසවායින් වැළැක්කේ, ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපනුයේ, තහවුරු බස් ඇත්තේ, හැදැහිය යුතු බස් ඇත්තේ, ලොව නො රවටනුයේ වීය’ යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, ඒ කර්‍මය රැස් කළ බැවින් … කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ එයින් සැව මේ මිනිස් බවට ආයේ ම මේ මහ පුරිස්ලකුණු දෙක ලබයි: එක් එක් ලෝම කූපයෙහි එක් එක් ලෝමයක් ඇත්තේ ද වෙයි, දෙ බැම අතුරෙහි සුදු පැහැති මොළොක් පුලුන් රොදක් බඳු වූ ඌර්ණරෝමයෙක් ද හටගත්තේ වෙයි. හේ ඒ ලක්‍ෂණයන්ගෙන් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබන්නේ ද? බමුණෝ ය, ගැහැවියෝ ය, නිගම්වැස්සෝ ය, දනවුවැස්සෝ ය, ගණකයෝ ය, මහාමාත්‍රයෝ ය, සේනාඞ්ගරක්‍ෂකයෝ ය, ද්වාරපාලයෝ ය, අමාත්‍යයෝ ය, පරම්පරාගත වැ රාජපර්‍ෂත්හි වූවෝ ය, රජුහු ය, රාජදත්ත භෝග ඇත්තෝ ය, රජකුමරුවෝ ය යන මහා ජනයෝ ඔහු අදහස අනුවැ පවත්නාහ. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුර නාග ගන්‍ධර්‍ව යන මහා ජනයා ඔබ අදහස අනුව පවතී. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මෙය ගාථායෙන් කියනු ලැබේ:
Pali BJTසච්චප්පටිඤ්ඤො පුරිමාසු ජාතිසු අද්වෙජ්ඣවාචො අලිකං අවජ්ජයි න සො විසංවාදයිතා පි කස්සචි භූතෙන තච්ඡෙන තථෙන භාසයි.{1}
Sinhala BJT“පෙර දෑහි සත්‍ය ප්‍රතිඥා ඇත්තේ, දෙසැටියෙකින් නො පැවැති ඒකාන්ත වචන ඇත්තේ, මුසා බස් දුරැලී ය. හේ කිසිවකුත් නො රවටන්නේ විය, සත්‍ය වූ තථ්‍ය වූ තත්ත්‍වාකාර වූ වචනයෙන් කථා කෙළේ ය.
Pali BJTසෙතා සුසුක්කා මුදුතූලසන්නිභා උණ්ණාසුජාතා{2} භමුකන්තරෙ අහු න ලොමකූපෙසු දුවෙ අජායිසුං එකෙකලොමූපචිතඞ්ගවා අහු.
Sinhala BJT(එයින්) සුදු පැහැති, ඉතා සුදු වූ, මොළොක් පුලුන් බඳු වූ උර්ණාවෙක් දෙබැම අතුරෙහි මැනැවින් හට ගත්තේ විය. ලෝමකූපයන්හි එකෙක දෙකෙක් නො වී ය. එකි එකී ලොම්කුයෙහි එක් එක් ලෝමයක් ම හට ගත් සිරුර ඇත්තේ වී ය.
Pali BJTතං ලක්ඛණඤ්ඤූ බහවො සමාගතා බ්යාකංසු උප්පාදනිමිත්තකොවිදා. උණ්ණා ච ලොමා ච යථා සුසණ්ඨිතා උපවත්තතී ඊදිසකං බහුජ්ජනො.
Sinhala BJTඋත්පාදශාස්ත්‍ර නිමිත්තශාස්ත්‍රයන්හි දක්‍ෂ වූ ශරීරලක්‍ෂණ දන්නා බොහෝ දෙනෙක් රැස්වූවාහු, “මොහු සිරුරැ ඌර්ණාව ද ලෝමයෝ ද යම්සේ මොනොවට පිහිටියාහු ද, එහෙයින් බොහෝ දෙනා මෙබන්දහු අදහස් අනුව පවතී යැ”යි එය පැවැසූහ.
Pali BJTගිහිම්පි සන්තං උපවත්තතී ජනො බහූ පුරත්ථා පකතෙන කම්මුනා අකිඤ්චනං පබ්බජිතං අනුත්තරං බුද්ධම්පි සන්තං උපවත්තතී ජනො’ති.
Sinhala BJTපූර්‍ව ජාතීන්හි කරන ලද කර්‍ම හේතුයෙන් බහු ජන තෙමේ ගිහි වැ ඉන්නා වූ ද කුමරු අනුව යෙයි. බොහෝ දෙනා කිසි ධන රැස් කිරීමක් නැති, පැවිදි වැ බුදු වූ ම ඔබ අනුව යෙයි.
Pali BJTචත්තාළීසදන්ත - අවිරලදන්ත - ලක්ඛණාදීනි (26, 27)
Sinhala BJTචත්‍වාරිංශත්දන්ත - අවිරලදන්තතාදි - ලක්‍ෂණ (26, 27)
Pali BJT19. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො අහොසි. ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසම්භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසම්භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා සංහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දි සමග්ගකරණිං වාචං භාසිතා අහොසි, සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති: චත්තාළීසදන්තො ච හොති අවිරළදන්තො ච. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? අභෙජ්ජපරිසො හොති අභෙජ්ජා’ස්ස හොන්ති පරිසා බ්රාහ්මණගහපතිකා නෙගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති? -පෙ- බුද්ධො සමානො කිං ලභති? අභෙජ්ජපරිසො හොති අභෙජ්ජා’ස්ස හොන්ති පරිසා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT19. මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි, පළමු බෙවෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම කේලාම් බස් හැර, කේලාම් බසින් වැළැක්කේ විය, මෙතැනින් අසා, මොවුන්ගේ බිඳීම පිණිස පිණිස එ තැන්හි නො කියන්නේ විය, එ තැන්හි හෝ අසා, ඔවුන්ගේ බිඳීම පිණිස, මොවුනට නො කියන්නේ විය, මෙසේ බිඳුණුවන් ගළපන්නේ ද, ගැළපුණවුනට අනුබල දෙන්නේ ද විය, සමගියෙන් සිටිනවුනට කැමැත්තේ, සමගියෙන් සිටිනවුන් කෙරෙහි ඇලුණේ, සමගියෙන් සිටිනවුනට සතුටු වූයේ, සමගිය ඇති කරන බස් කියන්නේ විය” යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින් … සග ලොවට ගියේය. හේ එයින් ච්‍යුත වූයේ මෙ මිනිස්බවට ආයේ ය, මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: දත් සාළිසක් ඇත්තේ, විරළ නොවූ දත් ඇත්තේ ද වෙයි. හේ ඒ ලක්‍ෂණයන්ගෙන් සමන්‍විත වූයේ, ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? නො බිඳියැ හැකි පිරිස් ඇත්තේ වෙයි, බ්‍රාහ්මණ ගෘහපති නිගමවාසී ජනපදවාසී ගණක මහාමාත්‍ර සේනාඞ්ගරක්‍ෂක ද්වාරපාල අමාත්‍ය පාරිෂද්‍ය රාජ කුමාර යන ඔහුගේ පිරිස්හු නොබිඳියැ හැක්කාහු වෙත්. රජ වනුයේ මෙය ලබයි. බුදු වනුයේ කුමක් ලබා ද? නොබිඳියැ හැකි පිරිස් ඇත්තේ වෙයි. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා දිව්‍ය මනුෂ්‍ය අසුර නාග ගන්‍ධර්‍ව යන ඔබ පිරිස්හු නොබිඳියැ හැක්කාහු වෙත්. බුදු වනුයේ මෙය ලබයි”.
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එහි මෙය (ගාථායෙන්) කියනු ලැබේ:
Pali BJTවෙභූතියං සංහිතභෙදකාරිං{1} භෙදප්පවඩ්ඪනවිවාදකාරිං කලහප්පවඩ්ඪනඅකිච්චකාරිං, සංහිතානං භෙදජනනිං න භණි.
Sinhala BJT‘හේ පෙර අත්බව්හි ගැළපුණවුන් (සමගියෙන් සිටිනවුන් බිඳුවන්නේ හෝ භේදවැඩෙන විවාද පහළ කරන්නේ හෝ කලහ වැඩෙන නොකටයුතු කරන්නේ හෝ නො වීය. ගැළපුණුවුන්ගේ භේද උපදවන වචන ද නො කීයේ ය.
Pali BJTඅවිවාදවඩ්ඪනකාරිං සුගිරං භින්නානං සන්ධිජනනිං අභණි. කලහං ජනස්ස පනුදි සමඞ්ගි සංහිතෙහි නන්දති පමොදති ච
Sinhala BJTවිවාද වැඩීම කරන සුලු නොවූ, බිඳුණවුනට සමගිය උපදවන සුලු වචන කීයේ ය. සමඞ්ගී … ජනයාගේ කලහ දුරු කෙළේ ය. සමගියෙහි පිහිටියවුන් හා සතුටු වෙයි, ප්‍රමුදිත ද වෙයි.
Pali BJTසුගතීසු සො ඵලවිපාකං අනුභවති තත්ථ මොදති. දන්තා ඉධ හොන්ති අවිරළා සහිතා චතුරො දසස්ස මුඛජා සුසණ්ඨිතා.
Sinhala BJTසුගතීන්හි ඵලවිපාක විඳියි, එහි සතුටු වෙයි. මෙහි උපන් ඔහුගේ දත් අවිරළ වේ, එකට සම්බන්‍ධ වෙයි. ඔහුගේ දන්තයෝ සතළිසෙක් මොනොවට පිහිටියාහ.
Pali BJTයදි ඛත්තියො භවති භූමිපති අවිභෙදියා’ස්ස පරිසා භවන්ති සමණො ච හොති විරජො වීතමලො පරිසා’ස්ස හොති අනුගතා අචලා’ති.
Sinhala BJTඉදින් පොළොවට ස්වාමී වූ ක්‍ෂත්‍රියයෙක් වී නම්, ඔහුගේ පිරිස්හු නො බිඳැලිය හැකි වෙත්. ඉදින් මහණ වන්නේ නම්, පහ වූ කෙලෙස් ධූලි ඇතියේ, පහ වූ කෙලෙස්මල ඇතියේ වෙයි. ඔබ පිරිස ඔබ අනුව ගියේ ස්ථිර වෙයි.
Pali BJTපහූතජිව්හා - බ්රහ්මස්සර ලක්ඛණානි (28, 29)
Sinhala BJTප්‍රහූතජිහ්වතා - බ්‍රහ්මස්වරතා - ලක්‍ෂණ (28, 29)
Pali BJT20. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො අහොසි, යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා අහොසි, සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති. පහූත ජිව්හො ච හොති බ්රහ්මස්සරො ච කරවීකභාණී. සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? ආදෙය්යවාචො හොති, ආදියන්ති’ස්ස වචනං බ්රාහ්මණගහපතිකා නෙගමජානපදා ගණකා මහාමත්තා අකනිට්ඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? ආදෙය්යවාචො හොති, ආදියන්ති’ස්ස වචනං භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT20. මහණෙනි, “පළමු දෑහි පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මනුෂ්‍ය වනුයේ පරොස් බස් හැර, පරොස් බසින් වැළැක්කේ විය. නිදොස් වූ, කනට සැප වූ, පෙම් කටයුතු වූ, සිතැ වැදැ ගන්නා, නියැරියනට සුදුසු වූ, බොහෝ දෙනාට කාන්ත වූ, බොහෝ දෙනාගේ මන වඩන්නා වූ යම් වචනයෙක් වේ ද, එබඳු වචන කියන්නේ වී ය යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින් රැස් කළ බැවින් … සග ලොවට ගියේ ය. හේ එයින් සැව, මේ මිනිස්බවට ආයේ ම මේ මහපුරිස් ලකුණු දෙක ලබයි: දික් පුලුල් වූ දිව ඇත්තේ වෙයි, බඹහුගේ බඳු ගැඹුරු හඬ ඇත්තේ, කුරවි කොවුලකුගේ බඳු මිහිරි හඬ ඇත්තේ වෙයි. හේ ඒ ලක්‍ෂණයන්ගෙන් සමන්‍විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ ද, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? පිළිගත යුතු වචන ඇත්තේ වෙයි, බමුණෝ ද ගැහැවියෝ ද නිගම්වැසි දනවුවැසි ජනයෝ ද ගණකයෝ ද මහාමාත්‍රයෝ ද සේනාඞ්ග රක්‍ෂකයෝ ද ද්වාරපාලයෝ ද ඇමැතියෝ ද පරම්පරාගත ව රාජපර්‍ෂද්හි වූවෝ ද රජුහු ද රජහු දුන් භෝගසම්පත් බුත්ති විඳින්නෝ ද රජකුමරුවෝ ද යන ඔහුගේ පිරිස්හු ඔහු බස් පිළිගනිත්: රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? පිළිගත යුතු වචන ඇත්තේ වෙයි. මහණ මෙහෙණෝ ද උවසුඋවැසියෝ ද දෙව්හු ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගඳෙවුහු ද ඔබ වචන පිළිගනිත්. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ වදාළ සේක. එහි මේ (ගාථායෙන්) කියනු ලැබේ:
Pali BJTඅක්කොසභණ්ඩනවිහෙසකාරිං උබ්බාධකං{1} බහුජනමද්දනං බාළ්හං{2} ගිරං සො න භණි ඵරුසං මධුරං භණි සුසඤ්හිතං සඛිලං.
Sinhala BJT“හෙ තෙමේ ආක්‍රෝශ කලහ හිංසා යන මේ දෑ කරවන, සිත පෙළන, මහජනයාගේ සිත් රිදුවන. කැකුළු වූ පරොස් බස් නො බිණුයේ ය. ඉතා ප්‍රේම සහිත වූ මෘදු වූ මිහිරි බස් බිණූයේ ය.
Pali BJTමනසො පියා හදයගාමිනියො වාචා සො එරයති කණ්ණසුඛා වාචා සුචිණ්ණඵලමනුභවි සග්ගෙසු වෙදය පුඤ්ඤඵලං.
Sinhala BJTහේ සිතට ප්‍රිය වූ, සිතැ වැදැගන්නාවූ, කනට සැප වූ, වචන කියයි. වාක්සුචරිතයාගේ ඵලය හේ වින්දේ ය. ස්වර්‍ගයන්හි (වාක්සුචරිතමය) පිනේ පල වින්දේ ය.
Pali BJTවෙදිත්වා සො සුචරිතස්ස ඵලං බ්රහ්මස්සරත්තමිධජ්ඣගමා. ජිව්හා’ස්ස හොති විපුලා පුථුලා ආදෙය්යවාක්යවචනො භවති.
Sinhala BJTහේ සුචරිතයේ විපාක ලැබීමෙන් මෙහි දී, බ්‍රහ්මස්වර බව ලැබී ය. ඔහුගේ දිව දික් ද පුලුල් ද වෙයි. හේ පිළිගත යුතු වචන ඇත්තේ වෙයි.
Pali BJTගිහිනො’පි ඉජ්ඣති යථා භණතො අථ චෙ පබ්බජති සො මනුජො ආදියන්ති’ස්ස වචනං ජනතා බහුනො බහුං සුභණිතං{1} භණතො’ති.
Sinhala BJTයම්සේ කියන ගෘහස්ථයාගේ ද වචනය සිදු වන්නේ ද ඉදින් ඒ මිනිස් තෙමේ පැවිදි වන්නේ නම් බොහෝ ජනයාට බොහෝ වූ මනාප වචන කියන ඔබගේ වචන ජනතාවෝ පිළිගනිත් යැ යි නෛමිත්තකයෝ කීහ.
Pali BJTසීහහනුලක්ඛණං (30)
Sinhala BJTසිංහහනු - ලක්‍ෂණය (30)
Pali BJT21. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො අහොසි, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසංහිතං. සො තස්ස කම්මස්ස කතත්තා -පෙ- සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සීහහනු හොති. සො තෙන ලක්ඛණෙන සමන්නාගතො සචෙඅගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්තී -පෙ- රාජා සමානො කිං ලභති? අප්පධංසියො හොති කෙනචි මනුස්සභූතෙන පච්චත්ථිකෙන පච්චාමිත්තෙන. රාජා සමානො ඉදං ලභති -පෙ- බුද්ධො සමානො කිං ලභති? අප්පධංසියො හොති අබ්භන්තරෙහි වා බාහිරෙහි වා පච්චත්ථිකෙහි පච්චාමිත්තෙහි රාගෙන වා දොසෙන වා මොහෙන වා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJT21. මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි, පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම සම්ඵප්‍රලාපය හැර, සම්ඵප්‍රලාපයෙන් වැළැක්කේ, කල් දැන කියනුයේ, සත්‍යය ම කියනුයේ, වැඩ සලසන බසක් ම කියනුයේ, කුසල් දහම් අසළ බසක් ම කියනුයේ, විනය අසළ බසක් ම කියනුයේ විය, සිතැ තබා ගන්නට නිසි වූ, කරුණු සහිත වූ, සසීම වූ අර්‍ත්‍ථනිඃශ්‍රිත වූ වචන සුදුසු කල්හි කියන්නේ වී ය” යන යමෙක් ඇද්ද, හෙ තෙමේ ඒ කර්‍මය කළ බැවින් … සග ලොවට පැමිණියේ ය. එයින් සැව මෙ මිනිස් බවට ආයේ ම මේ මහපුරිස්ලකුණ ලබයි: හේ සිංහයකුගේ යැටි හනුව සේ පිරුණු උඩු යැටි දෙහනු ඇත්තේ වෙයි. ඒ ලක්‍ෂණයෙන් සමන්‍විත වූ හෙ තෙමේ ඉදින් ගිහි ගෙහි වසන්නේ නම්, … සක්විති රජ වෙයි. රජ වනුයේ කුමක් ලබා ද? මිනිස් වූ කිසි දු සතුරෙකු විසින්, පසමිතුරකු විසින්, නෙරැපියැ නො හැක්කේ වෙයි. රජ වනුයේ මෙය ලබයි … බුදු වනුයේ කුමක් ලබා ද? අන් සත්නට උපදනා පරිදි රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ මෙසේ අභ්‍යන්තරික සතුරන් පසමිතුරන් විසින් හෝ මහණක්හු විසින් හෝ බමුණක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ මෙසේ බාහිරක සතුරන් පසමිතුරන් විසින් හෝ ලොවැ කිසි දු කෙනකු විසින් හෝ නෙරැපියැ නොහැක්කේ වෙයි. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය (ගාථා වචන විසින්) කියනු ලැබේ:
Pali BJTසම්ඵප්පලාපං න අබුද්ධතන්තිං{2} අවිකිණ්ණවචනබ්යප්පථො අහොසි. අහිතමපි ච අපනුදි හිතමපි ච බහුජනසුඛඤ්ච අභණි.
Sinhala BJT“හේ පැණවතුන්ගේ වචන පරම්පරාවක් නොවූ සම්ඵප්‍රලාප නො දෙඩී ය. හේ නොවිසුරුණු වචනයැ යි කියන ලද වාඞ්මාර්‍ගය ඇත්තේ විය. අවැඩ හා බැඳුණු බස් ද දුරැ ලී ය. අභිවෘද්ධිදායක වූ ද බොහෝ දෙනාට සුව එළවන්නාවූ ද බස් බිණී ය.
Pali BJTතං කත්වා ඉතො චුතො දිවමුපපජ්ජි සුකතඵලවිපාකමනුභොසි චවිය පුනරිධාගතො සමානො ද්විදුග්ගමවරතරහනුත්තමලත්ථ.
Sinhala BJTඑය කොට මෙයින් සැව, දෙව්ලොවට පැමිණියේ ය. මොනොවට කළ කර්‍මයාගේ ඵලවිපාක වින්දේ ය. එයින් සැව, නැවැත මෙහි ආයේ ම, සිංහහනු ලක්‍ෂණය ලද්දේ ය.
Pali BJTරාජා හොති සුදුප්පධංසියො මනුජින්දො මනුජාධිපති මහානුභාවො, තිදිවපුරවරසමො භවති සුරවරතරො රිව ඉන්දො.
Sinhala BJTමිනිස්නට ඉන්‍ද්‍ර වූ, මනුෂ්‍යාධිපති වූ, මහ තෙදැති, කිසිසේත් බැහැරැ නො කටහැකි රජෙක් වෙයි, සක්දෙව් බඳු වෙයි. සුරශ්‍රේෂ්ඨ වූ ඉන්‍ද්‍රයා බඳු වෙයි.
Pali BJTගන්ධබ්බාසුරයක්ඛරක්ඛසෙහි සුරෙහි න හි භවති සුප්පධංසියො, තථත්තො යදි භවති තථාවිධො ඉධ දිසා ච පටිදිසා ච විදිසාචාති.
Sinhala BJTඉදින් එබඳු ස්වභාවය ඇත්තේ, එබඳු ලක්‍ෂණ ඇත්තේ මෙහි උපදනේ ද, සතර දිග ද අනුදිග ද උඩ යට දෙදිග ද වසන ගඳෙවු යක් රකුස් දෙව් යන කිසි දු කෙනෙකු විසින් හෙලාලි යැ නො හැක්කේ වෙයි.”
Pali BJTසමදන්ත - සුසුක්කදාඨා - ලක්ඛණානි (31, 32)
Sinhala BJTසමදන්ත - සුශුක්ල දංෂ්ට්‍රා ලක්‍ෂණ (31, 32)
Pali BJT22. යම්පි භික්ඛවෙ, තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො මිච්ඡාආජීවං පහාය සම්මාආජීවෙන ජීවිකං කප්පෙසි තුලාකූට-කංසකූට-මානකූට-උක්කොටන-වඤ්චනනිකති-සාචියොග-ඡෙදන-වධබන්ධන විපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතො අහොසි, සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සො තත්ථ අඤ්ඤෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති දිබ්බෙන ආයුනා දිබ්බෙන වණ්ණෙන දිබ්බෙන සුඛෙන දිබ්බෙන යසෙන දිබ්බෙන ආධිපතෙය්යෙන දිබ්බෙහි රූපෙහි දිබ්බෙහි සද්දෙහි දිබ්බෙහි ගන්ධෙහි දිබ්බෙහි රසෙහි දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි: සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති, සමදන්තො ච හොති සුසුක්කදාඨො ච.
Sinhala BJT22. මහණෙනි, “තථාගත තෙමේ පළමු දෑහි පළමු භවයෙහි, පළමු වුසූ තන්හි, පෙරැ මිනිස් වූයේ ම මිථ්‍යා ආජීවය හැර, සම්‍යගාජීවයෙන් දිවි පැවැත්වී ය, තුලාකූට (තරාදියෙන් කරන වඤ්චාව) කංසකූට (රන් තලුතැටියෙන් කරන වඤ්චාව,) මානකූට (මිනීමෙන් කරන වඤ්වාව,) උත්කෝටන (අල්ලස් ගෙන නොහිමියන් හිමියන් කිරීම,) වංචන (නොයෙක් උපායෙන් අනුන් රැවැටීම,) නිකති (බොරු රන් බොරු මැණික් ආදිය දීමෙන් කරන වඤ්චාව) සාචියෝග (උත්කෝටනාදි ක්‍රියා) ඡේදන වධ බන්‍ධන විපරාමෝස (සැඟැවි සිට අන් සතු දෑ පැහැරැ ගැන්ම,) ආලෝප (ගම්පැහැරුම් නුවර පැහැරුම් ආදිය.) සහසාකාර (බලාත්කාරයෙන් ගැන්ම) යන මෙයින් වැළක්කේ වී ය” යන යමෙක් ඇද්ද, හේ ඒ කර්‍මය කළ බැවින්, රැස් කළ බැවින්, බොහෝ සේ කළ බැවින්, මහත් කොට කළ බැවින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙයි. හේ දිව්‍ය ආයුෂයෙන් ද දිව්‍ය වර්‍ණයෙන් ද දිව්‍ය සැපයෙන් ද දිව්‍ය යශසින් ද දිව්‍ය ආධිපත්‍යයෙන් ද දිව්‍ය රූපයන්ගෙන් ද දිව්‍ය ශබ්දයන්ගෙන් ද දිව්‍ය ගන්‍ධයන්ගෙන් ද දිව්‍ය රසයන්ගෙන් ද දිව්‍ය ස්ප්‍රෂ්ටව්‍යයන්ගෙන් ද යන කරුණු දශයෙකින් අන් දෙවියන් ඉක්මැ (මැඩලා) සිටියි. හේ එයින් සැව, මෙ මිනිස්බවට ආයේ ම, මෙ මහපුරිස් ලකුණු දෙක ලබයි: සමදත් ඇත්තේ ද, ඉතා සුදු පැහැ දත් ඇත්තේ ද වෙයි.
Pali BJTසො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්සිමානි සත්ත රතනානි භවන්ති: සෙය්යථීදං චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පනස්ස පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පඨවිං සාගරපරියන්තං අඛීලමනිමිත්තමකණ්ටකං ඉද්ධං ඵීතං ඛෙමං සිවං නිරබ්බුදං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන සමෙන අභිවිජිය අජ්ඣාවසති. රාජා සමානො කිං ලභති? සුචිපරිවාරො හොති, සුචී’ස්ස හොන්ති පරිවාරා බ්රාහ්මණගහපතිකා නෙගමා ජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දොවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානො භොගියා කුමාරා. රාජා සමානො ඉදං ලභති. සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො ලොකෙ විවත්තච්ඡදො. බුද්ධො සමානො කිං ලභති? සුචිපරිවාරො හොති, සුචි’ස්ස හොන්ති පරිවාරා භික්ඛූ භික්ඛුනියො උපාසකා උපාසිකායො දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධො සමානො ඉදං ලභති.
Sinhala BJTහේ ඒ ලක්‍ෂණයන්ගෙන් සමන්‍විත වූයේ, ඉදින් ගිහිගෙහි වසන්නේ වී නම්, දැහැමි වූ ධර්‍මරාජ වූ, සිවුසයුර ඉම් කොටැති සිවු මහ දිවයිනට නායක වූ, සතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත් රුවනින් සමන්‍වාගත සක්විති රජෙක් වෙයි. ඇත්රුවන, අස්රුවන, මිණිරුවන, ඉතිරිරුවන, ගැහැවිරුවන, සත්වනු පුත්රුවන ම යැ යි ඔහුට මේ සත් රුවන් කෙනෙක් වෙත්. ශූර, වීර, ඇඟරුව ඇති, සතුරුසෙන් මඬිනුයෙහි බුහුටි, අයිරා දහස් පුත් කෙනෙක් ඔහුට වෙත්. ඒ සක්විති තෙමේ සයුර හිම් කොට මෙ පොළොව, සතුරු ජන නැමැති හුල්නැති, සතුරු බිය නිමිති නැති, සතුරු ජන නැමැති කටු නැති, නිරුපද්‍රැත, නිවුණු සැනැහුණු, සතුරු අර්බුද නැති ක්‍ෂේම භූමියක් කොට, දඬුවමින් තොර වැ අවියෙන් තොර වැ, දැහැමින් දිනා අධිපති වැ වෙසෙයි. රජ වනුයේ කුමක් ලබයි ද? හේ පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. නියම්ගම් වැසි දනව්වැසි ජනයෝ ද, බමුණු ගැහැවියෝ ද, ගණකයෝ ද මහාමාත්‍රයෝ ද, සේනාඞ්ගරක්‍ෂකයෝ ද, ද්වාරපාලයෝ ද, පරම්පරාගත වැ රාජපර්‍ෂදෙහි වූ ඇමැත්තෝ ද, රජුහු දුන් භෝගසම්පත් විඳුනා ප්‍රභූහු ද, රජුහු ද රජකුමරු වෝ ද යන ඔහුගේ පිරිසිදු පිරිවරජනයෝ ගණනින් මහත් වෙති. රජ වනුයේ මෙය සපුරා ලබයි. ඉදින් ගිහි ගෙන් නික්මැ, සස්නැ පැවිදි වන්නේ නම්, අර්‍හත් වූ ලොවැ බැහැර කොට හළ කෙලෙස් සෙවෙණි ඇති, සම්මාසම්බුදුවරයෙක් වෙයි. බුදු වනුයේ කුමක් ලබයි ද? පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. ඔබට භික්‍ෂූ ද භික්‍ෂුණීහු ද උපාසකයෝ ද උපාසිකාවෝ ද දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ දැ යි මේ පවිත්‍ර වූ පිරිවර සව්වෝ වෙත්. බුදු වනුයේ මෙය ලබයි.”
Pali BJTඑතමත්ථං භගවා අවොච. තත්ථෙතං වුච්චති:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක. එහි මෙය (ගාථා වචන විසින්) කියනු ලැබේ:
Pali BJTමිච්ඡාජීවඤ්ච අවස්සජි සමෙන වුත්තිං සුචිනා සො ජනයිත්ථ ධම්මිකෙන අහිතමපි ච අපානුදි{1} හිතමපි ච බහුජනසුඛඤ්ච ආචරි.{2}
Sinhala BJTහෙ තෙමේ මිථ්‍යාආජීවය ද බැහැරැ ලීය. දැහැමෙන් සෙමෙන් පවිත්‍ර ආජීවයෙන් දිවිපැවැත්ම ඉපැදැවී ය. අහිත දෑ ද බැහැරකෙළේ ය. බොහෝ දෙනාට හිත වැඩ ද බොහෝ දෙනාට සුවය ද සිදු කෙළේ ය.
Pali BJTසග්ගෙ වෙදයති නරො සුඛඵලානි කරිත්වා නිපුණෙහි විදූහි සබ්භි වණ්ණිතානි තිදිවපුරවරසමො අභිරමති රතිඛිඩ්ඩාසමඞ්ගී.
Sinhala BJTමනුෂ්‍ය වූ හෙ තෙමේ නිපුණ වූ නුවණැති සත්පුරුෂයන් විසින් වර්ණිත වූ පින් කම් කොට, ස්වර්‍ගයෙහි සැප විපාක විඳියි. ඒ දිව්‍ය සුඛක්‍රීඩායෙන් යුක්ත වැ සක්දෙවිඳු සේ වෙසෙසින් සුව විඳ වෙසෙයි.
Pali BJTලද්ධා{3} මානුසකං භවං තතො, චවිත්වා{4} සුකතඵලවිපාකං සෙසකෙන පටිලභති ලපනජං සමමපි සුචි සුසුක්කං.{5}
Sinhala BJTඑයින් සැව මිනිසත් බව ලැබ, ඉතිරි කුශලවිපාකයෙන් සම වූ ද ඉතා සුදු වූ ද දත් ලබයි.