Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT10. “උපාසිකා චක්ඛුමතො අහොසිං නාමම්පි මය්හං අහු ගොපිකා ති, බුද්ධෙ ච ධම්මෙ ච අභිප්පසන්නා සඞ්ඝඤ්චුපට්ඨාසිං පසන්නචිත්තා.
Sinhala BJT(එයින් කීහු සංගීතිකාරයෝ:) 10. “පසැස් ඇතියාණන්ගේ උවැසියක් වීමි. මගේ නම ‘ගෝපිකා’ යි විය. බුදුරුවන්හි ද දමුරුවන්හි ද වෙසෙසින් පැහැදුණු මම් පහන් සිතැති ව සඟුරුවනට උවටන් කෙළෙමි.
Pali BJTතස්සෙව බුද්ධස්ස සුධම්මතාය සක්කස්ස පුත්තොම්හි මහානුභාවො, මහාජුතීකො තිදිවූපපන්නො ජානන්ති මං ඉධාපි ගොපකො ති.
Sinhala BJTඑ බුදුරජුගේ ම දහමැ සොඳුරු බව් හෙයින් සක්දෙවිඳුගේ මහ තෙදැතිපුතෙක් වැ තිදසපුරැ උපනිමි. මෙහි ද මා ගෝපක යැ’ යි දනිත්.
Pali BJTඅථද්දසං භික්ඛවො දිට්ඨපුබ්බෙ ගන්ධබ්බකායූපගතෙ’වහීනෙ. ඉමෙහි තෙ ගොතමසාවකා සෙ යෙ ච මයං පුබ්බෙ මනුස්සභූතා.
Sinhala BJTඉක්බිති පෙරැ දුටුවිරූ, (පෙරැ) දහන් ලැබ සිට, ගඳෙවු දෙව් රැහේ උපන් මහණුන් දිටිමි. යම් බඳු අපි පෙරැ මිනිස් වූමෝ, සිය නිවෙස්හි දී පා දෙවීම් ආදි විසින් සංග්‍රහ කොට,
Pali BJTඅන්නෙන පානෙන උපට්ඨහිම්හා පාදූපසංගය්හ සකෙ නිවෙසනෙ, කුතොමුඛා නාම ඉමෙ භවන්තො බුද්ධස්ස ධම්මානි පටිග්ගහෙසුං.
Sinhala BJTඅහරින් පැනින් යම් කෙනකුන්හට උවටන් කළමෝ ද, මේ ඒ ගොයුම්සව්වෝ යැ. මේ භවත්හු කවර අතක් බලා ගත්තාහු, බුදු රජුන්ගේ දහම් පිළිගත්තෝ ද?
Pali BJTපච්චත්තං වෙදිතබ්බො හි ධම්මො සුදෙසිතො චක්ඛුමතානුබුද්ධො, අහං හි තුම්හෙව උපාසමානො සුත්වා අරියානං සුභාසිතානි.
Sinhala BJTපසැසියාණන් දැන දෙසූ දහම තමා විසින් ම දත යුතු ය. මම් ද තොප සෙයින් - තොප ම ඇසුරු කෙරෙමින් - ආර්‍ය්‍ය වූ බුදුරජුන්ගේ සුභාෂිතයන් තොප ගෙන් අසා පිළිපැද,
Pali BJTසක්කස්ස පුත්තො’ම්හි මහානුභාවො මහාජුතීකො තිදිවූපපන්නො, තුම්හෙ පන සෙට්ඨමුපාසමානා අනුත්තරං බ්රහ්මචරියං චරිත්වා.
Sinhala BJTතිදස් ලොවැ උපන්නෙම්, සක්දෙවිඳුට මහානුභාව ඇති මහ තෙදැති පුතෙක් වීමි. තෙපි වනාහි උතුම් බුදුරජුන් ඇසුරු කරමින් ලොවුතුරු සසුන් බඹසර සරා,
Pali BJTහීනං කායං උපපන්නා භවන්තො අනානුලොමා භවතොපපත්ති, දුද්දිට්ඨරූපං වත අද්දසාම සහධම්මිකෙ හීනකායූපපන්නෙ.
Sinhala BJTපහත් දෙව්මුළුවෙක උපන්හු ය. භවතුන්ගේ මේ ඉපැත්ම (ඔබ කළ මහණදමට) නො සරි ලන සේ ය. හීන වූ දෙව් මුළුවෙක උපන් සහදැමි වූ තොප දක්නා ඇපි නො දැක්ක යුතු දැක්මක් දුටුම්හ.
Pali BJTගන්ධබ්බකායූපගතා භවන්තො දෙවානමාගච්ඡථ පාරිචරියං, අගාරෙ වසතො මය්හං ඉමං පස්ස විසෙසතං.
Sinhala BJTභවත්හු ගඳැවු දෙව් රැහෙහි උපන්නාහු, සක් දෙවිඳුට වත් සපයනුවට එන්නාහ. ගිහි ගෙහි වුසූ මගේත් මහණ කම් කළ තොපගේත් මේ වෙසෙස දකිවු.
Pali BJTඉත්ථි හුත්වා ස්වජ්ජ පුමොම්හි දෙවො දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො, තෙ චොදිතා ගොතමසාවකෙන සංවෙගමාපාදුං සමෙච්ච ගොපකං.
Sinhala BJTපෙරැ ස්ත්‍රී වූ ඒ මම් අද දෙව් කම්සුවෙන් යුත් පිරිමියෙකිමි” ගෝපක දෙව්පුතු කරා පැමිණ, ගොයුම් සවු වූ ඔහු විසින් චෝදිත වූ ඒ ගඳැවු දෙව් පුත්තු සංවේගයට පැමිණියාහ.
Pali BJT“හන්ද බ්යායමාම වියායමාම මා නො මයං පරපෙස්සා අහුම්හ,” තෙසං දුවෙ විරියං ආරභිංසු අනුස්සරං ගොතමසාසනානි.
Sinhala BJTඔවුන්ගෙන් දෙදෙනෙක් ‘දැන් ඇපි වැර වඩමු, වෑයම් කරමු, ඇපි මෙරමාහට මෙහෙ කරුවෝ නො වමෝ ව’ යි කියා, ගොයුම් බුදුරජුන්ගේ අනුශාසනා සිහි කොට කමටහන්හි වැර වැඩූහ.
Pali BJTඉධෙව චිත්තානි විරාජයිත්වා කාමෙසු ආදීනවමද්දසංසු, තෙ කාමසංයොජනබන්ධනානි පාපිමයොගානි දුරච්චයානි.
Sinhala BJTඔහු මෙහි දී ම පස්කම්හි ඇලුණු සිත් පහ කොට, කාමයන්හි දොස් දුටුහ. ඔහු ඉක්මෙනුවට දුෂ්කර වූ මරහුගේ බැඳුම් වූ කාම සංයෝජන ද කාම බන්‍ධන ද,
Pali BJTනාගොව සන්දානගුණානි ඡෙත්වා දෙවෙ තාවතිංසෙ අතික්කමිංසු, සඉන්දා දෙවා සපජාපතිකා සබ්බෙ සුධම්මාය සභායුපවිට්ඨා.
Sinhala BJTඇතක් හු යදම්සෙයින් සිඳැ පියා, තව්තිසා වැසි දෙවියන් ඉක්මැ (බඹලෝ) ගියහ. ඉන්‍ද්‍රයා සහිත වූ ද, ප්‍රජාපතිහු සහිත වූ ද දෙව් සෙබෙහි යම් දෙවි කෙනෙක් හුන්නාහු ද,
Pali BJTතෙ සංනිසින්නානං අතික්කමිංසු වීරා විරාගා විරජං කරොන්තා, තෙ දිස්වා සංවෙගමකාසි වාසවො දෙවාභිභූ දෙවගණස්ස මජ්ඣෙ.
Sinhala BJTඑසේ හුන් ඒ දෙවියන් අතුරෙන් ශූර වූ ඔහු රාග රජස් දුරැ ලන්නාහු (අනැගැමි මඟ වඩන්නාහු), පහවූ රාග ඇත්තාහු, සෙසු දෙවියන් ඉක්මැ ගියාහ. දෙවියන් මැදැ සෙසු දෙවියන් අබිබවා සිටි සක් දෙවිඳු,
Pali BJTඉමෙ හි තෙ හීනකායූපපන්නා දෙවෙතාවතිංසෙ අතික්කමන්ති, සංවෙගජාතස්ස වචො නිසම්ම සො ගොපකො වාසවමජ්ඣභාසි.
Sinhala BJT‘හීන දෙව් මුළුවෙක උපන් මොහු වනාහි (දහන් වඩා) තව්තිසා වැසි දෙවියන් ඉක්මැ යෙත් යැ’ යි සංවේගය පහළ කෙළේ ය. හටගත් සංවේග ඇති සක් දෙවිඳුගේ වචනය නුවණින් සලකා, ඒ ගෝපක දෙව් පුත් තෙමේ සක් දෙවිඳුට මෙසේ කී ය.
Pali BJT“බුද්ධො ජනින්දත්ථි මනුස්සලොකෙ කාමාභිභූ සක්යමුනීති ඤායති, තස්සෙතෙ පුත්තා සතියා විහීනා චොදිතා මයා තෙ සතිමජ්ඣලත්ථුං.
Sinhala BJT“ජනෙන්‍ද්‍රයෙනි, මිනිස් ලොවැ බුද්ධ නම් කෙනෙක් ඇත. කාමයන් මැඩැලූ ඔබ ශාක්‍යමුනි නම් වෙති. ඔබගේ පුත්‍ර වූ මොහු සිහියෙන් තොර වූවාහු, මා විසින් චෝදනා කරන ලදුවෝ සිහිය ලදුහ.
Pali BJTතිණ්ණං තෙසං වසීනෙත්ථ එකො ගන්ධබ්බකායූපගතො ‘වහීනො ද්වෙ චෙච සම්බොධිපථානුසාරිනො දෙවෙපි හීළෙන්ති සමාහිතත්තා.
Sinhala BJTඒ තුන් මහණුන් ගෙන් ගඳැවූ රැහැට පැමිණැ සිටි එකෙක් මෙහි මැ රැඳුණේ ය. සම්බෝධිමාර්‍ගය (අනගැමි මඟ) ඔස්සේ යන දෙදෙනෙක් ම සමාධිගත සිතැත්තාහු දෙවියන් යට පත් කෙරෙත්.
Pali BJTඑතාදිසී ධම්මප්පකාසනෙත්ථ න තත්ථ කිං කඞ්ඛති කොචි සාවකො, නිත්ථිණ්ණඔඝං විචිකිච්ඡඡාජින්නං බුද්ධං නමස්සාම ජිනං ජනින්දං.
Sinhala BJTමෙ සස්නෙහි මෙ බඳු දහම් පවසනු ඇත. එහි ලා කිසිදු සව්වෙක් ‘මේ කෙසේ වන්නෙක් දැ’ යි සැක නො කරයි. තිණූ සතර මහවතුරු ඇති, සුන් සැක ඇති, ජනයනට ඉන්‍ද්‍ර වූ සියලු කෙලෙස් දිනූ බැවින් එක ම ජිනයාණන් වූ ඒ බුදුරජුන් නමදිමු.
Pali BJTයන්තෙ ධම්මං ඉධඤ්ඤාය විසෙසං අජ්ඣගංසු තෙ, කායං බ්රහ්මපුරොහිත දුවෙ තෙසං විසෙසගූ.
Sinhala BJT“ඔවුන් තිදෙනා අතුරෙන් විශේෂගාමී වූ දෙදෙනෙක් මෙහි දී ම ඔබේ දහම දැන ගෙන බ්‍රහ්මපුරෝහිත කය (ප්‍රථමධ්‍යානය) ලැබ එය පාදක කොට විවසුන් වඩා අනඟැමි මඟ ලැබුවාහු ද,
Pali BJTතස්ස ධම්මස්ස පත්තියා ආගතම්හාසි මාරිස, කතාවකාසා භගවතා පඤ්හං පුච්ඡෙමු මාරිසාති.
Sinhala BJTනිදුකාණනි, ඒ දහම ලබනු පිණිස අපි මෙහි ආම්හ. නිදුකාණනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කරන ලද අවකාශ ඇත්තමෝ ප්‍රශ්න විචාරමෝ වා.”
Pali BJT11. අථ ඛො භගවතො එතදහොසි: දීඝරත්තං විසුද්ධො ඛො අයංසක්කො යං කිඤ්චි මං පඤ්හං පුච්ඡිස්සති, සබ්බං තං අත්ථසංහිතං යෙව පුච්ඡිස්සති, නො අනත්ථසංහිතං. යං චස්සාහං පුට්ඨො බ්යාකරිස්සාමි. තං ඛිප්පමෙව ආජානිස්සතී”ති. අථ ඛො භගවා සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT11. “එකල්හි මේ සක් දෙව් වනාහි බොහෝ කලක් ම පිරිසිදු වැ ආයෙක. හේ යම් පැනයක් මා විචාරන්නේ ද, අර්‍ත්‍ථනිඃශ්‍රීත වූ ම (කරුණු සහිත වූ ම) ඒ සියල්ල විචාරන්නේ ය, අර්‍ත්‍ථනිඃශ්‍රීත නො වූවක් නො ම විචාරන්නේ ය. මොහු විසින් යමක් විචාරන ලදුයෙම්, මම් විසඳන්නෙම් නම්, හේ වහා ම එය දැනගන්නේ යැ” යි භගවත් බුදුරජුනට මේ සිත විය, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු බණවා (ගාථායෙන්)
Pali BJT“පුච්ඡ වාසව මං පඤ්හං යං කිඤ්චි මනසිච්ඡසි, තස්ස තස්සෙව පඤ්හස්ස අහං අන්තං කරොමි තෙ”ති.
Sinhala BJT“වාසවයෙනි, සිතින් යමක් කැමැත්තහු ද, ඒ පැනය මා විචාරවු. ඔබගේ ඒ ඒ හැම පැනයක් ම (විසඳා) කෙළවර කරන්නෙමි” යි වදාළ සේක.
Pali BJTපඨමභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTපළමු බණ වර නිමියේ ය.
Pali BJT12. කතාවකාසො සක්කො දෙවානමින්දො භගවතා ඉමං භගවන්තං පඨමං පඤ්හං අපුච්ඡිද: කිංසඤ්ඤොජනා නු ඛො මාරිස දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යෙ චඤ්ඤෙ සන්ති පුථුකායා තෙ ‘අවෙරා අදණ්ඩා අසපත්තා අබ්යාපජ්ජා{1} විහරෙමු අවෙරිනො’ති ඉති චෙ නෙසං හොති. අථ ච පන සවෙරා සදණ්ඩා සසපත්තා සබ්යාපජ්ජා විහරන්ති සවෙරිනො”ති. ඉත්ථං සක්කො දෙවානමින්දො භගවන්තං පඤ්හං අපුච්ඡි.
Sinhala BJT12. සක් දෙවිඳු පැන පුළුවුස්නා පිණිස ලත් අවකාශ ඇත්තේ,{1} භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය: “නිදුකාණන් වහන්ස, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද මෙයින් අන්‍ය යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට ‘වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝදණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී (කෝප මාත්‍ර දු නො උපදවන්නෝ) වැ වසන්නමු’ යි ප්‍රාර්‍ත්‍ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෛර ඇත්තාහු, දණ්ඩ ඇත්තාහු, පසමිතුරන් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, වෛරී වූවාහු වෙසෙත්. කවර සංයෝජනයක් ඇත්තාහු (කවර බැම්මෙකින් බැඳුණාහු) ඔහු එසේ වෙසෙත් ද? යනු යි. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගෙන් මේ පළමු පැනය විචාළේ ය.
Pali BJTතස්ස භගවා පඤ්හං පුට්ඨො බ්යාකාසි:
Sinhala BJTඔහු විසින් පැන විචාරන ලද භගවත්හු එය මෙසේ විසඳා වදාළා හ:
Pali BJT“ඉස්සාමච්ඡරියසඤ්ඤොයොජනා ඛො දෙවානමින්ද දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා, යෙ චඤ්ඤෙ සන්ති පුථුකායා, තෙ ‘අවෙරා අදණ්ඩා අසපත්තා අබ්යාපජ්ජා විහරෙමු අවෙරිනො’ති ඉති චෙ නෙසං හොති. අථ ච පන සවෙරා සදණ්ඩා සසපත්තා සබ්යාපජ්ජා විහරන්ති සවෙරිනො ති. ඉත්ථං භගවා සක්කස්ස දෙවානමින්දස්ස පඤ්හං පුට්ඨො බ්යාකාසි. අත්තමනො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දි අනුමොදි: එවමෙතං භගවා, එවමෙතං සුගත, තිණ්ණා මෙ’ත්ථ කඞ්ඛා විගතා කථංකථා භගවතො පඤ්හස්ස වෙය්යාකරණං සුත්වා”ති.
Sinhala BJT“දෙවිඳ, දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද නාගයෝ ද ගන්‍ධර්‍වයෝ ද අන් යම් බොහෝ දෙනෙක් ඇත් නම් ඔහු ද යන මේ හැම දෙනාට වෙර බැඳුම් නැත්තෝ වැ ආයුධ දණ්ඩ මනෝ දණ්ඩ නැත්තෝ වැ පසමිතුරන් නැත්තෝ වැ දොම්නස් නැත්තෝ වැ අවෛරී වැ වසන්නමු’ යි ප්‍රාර්‍ත්‍ථනාවෙක් වෙයි. එතෙකුදු වුවත් ඔහු වෙර බැඳුම් ඇත්තෝ වැ දණ්ඩ ඇත්තෝ වැ පසමිතුරන් ඇත්තෝ වැ දොම්නස් ඇත්තෝ වැ වෛරී වැ වෙසෙත්. ඔහු ඊර්‍ෂ්‍යාවත් මාත්සර්‍ය්‍යයත් සංයෝජන කොටඇත්තාහු (ඊර්‍ෂ්‍යාමාත්සර්‍ය්‍ය දෙකින් බැඳුණාහු), එසේ වෙසෙත්.” ප්‍රශ්න විචාරනු ලැබූ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳුගේ පැනය මෙ පරිද්දෙන් විසැඳූහ. (එයින්) සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ යැ, සුගතයන් වහන්ස, මෙය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණි{2} විමතිය පහ විණැ” යි සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමොවන් විය.
Pali BJT13. ඉතිහ සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හමපුච්ඡි:
Sinhala BJT13. සක් දෙවිඳු මෙසේ භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන අනුමෙවැ,
Pali BJT“ඉස්සාමච්ඡරියං පන මාරිස, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං, කිස්මිං සති ඉස්සාමච්ඡරියං හොති, කිස්මිං අසති ඉස්සාමච්ඡරියං න හොතී?”ති.
Sinhala BJT“නිදුකාණන් වහන්ස, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක කුමක් නිදන් කොටැත්තේ ද, කුමක් සමුදය (කාරණ) කොටැත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොටැත්තේ ද, කුමක් ප්‍රභව (උපදනා තැන) කොටැත්තේ ද, කුමක් ඇති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක වෙයි ද, කුමක් නැති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක නො වෙයි ද?” යි මත්තෙහි ද පැනයක් පුළුවුත.
Pali BJTඉස්සාමච්ඡරියං ඛො දෙවානමින්ද, පියාප්පියනිදානං පියාප්පියසමුදයං පියාප්පියජාතිකං පියාප්පියපභවං, පියාප්පියෙ සති ඉස්සාමච්ඡරියං හොති, පියාප්පියෙ අසති ඉස්සාමච්ඡරියං න හොතී”ති.
Sinhala BJT“දෙවිඳ, ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක ප්‍රිය අප්‍රිය සත්ත්‍වයන් නිදාන කොටැත්තේ ය, ප්‍රියාප්‍රිය සත්‍වයන් සමුදය (කාරණ) කොට ඇත්තේ ය, ප්‍රියාප්‍රිය සත්‍වයන් ජාති (උත්පත්තිස්ථාන) කොටඇත්තේ ය, ප්‍රියාප්‍රිය සත්‍වයන් ප්‍රභව (උපදනා තැන්) කොට ඇත්තේ ය. ප්‍රියාප්‍රිය සත්‍වයන් ඇති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක වෙයි. ප්‍රියයක්හු හෝ අප්‍රියයක්හු නැති කල්හි ඊර්‍ෂ්‍යා මාත්සර්‍ය්‍ය දෙක නො වේ” යැයි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
Pali BJT14. “පියාප්පියං ඛො පන මාරිස, කිංනිදානං කිංසමුදයං කිංජාතිකං කිංපභවං. කිස්මිං සති පියාප්පියං හොති, කිස්මී අසති පියාප්පියං න හොතී”ති.
Sinhala BJT14. නිදුකාණන් වහන්ස, ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය කුමක් නිදාන කොටැත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොටැත්තේ ද, කුමක් ඇති කල්හි ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය වේ ද, කුමක් නැති කල්හි ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය නො වේ දැ?” යි සක් දෙවිඳු පුළුවුත.
Pali BJT“පියාප්පියං ඛො දෙවානමින්ද, ඡන්දනිදානං ඡන්දසමුදයං ඡන්දජාතිකං ඡන්දප්පභවං ඡන්දෙ සති පියාප්පියං හොති, ඡන්දෙ’ අසති පියාප්පියං න හොතී”ති.
Sinhala BJTදෙවිඳ, ප්‍රියාප්‍රිය සත්‍වසංස්කාරය වනාහි ඡන්‍දය නිදාන කොටැත්තේ ය, ඡන්‍දය සමුදය කොටැත්තේ ය, ඡන්‍දය උත්පත්තිස්ථාන කොටැත්තේ ය, ඡන්‍දය ප්‍රභව කොටැත්තේ ය, ඡන්‍දය ඇති කල්හි ප්‍රියාප්‍රිය සත්‍ව සංස්කාරය වේ, ඡන්‍දය නැති කල්හි ප්‍රියාප්‍රිය සත්‍වසංස්කාරය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
Pali BJT15. “ඡන්දො ඛො පන මාරිස, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො, කිස්මිං සති ඡන්දො හොති, කිස්මිං අසති ඡන්දො න හොතී’ති.
Sinhala BJT15. “නිදුකාණන් වහන්ස, ඡන්‍දය වනාහි කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්ති ස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි ඡන්‍දය වේ ද, කුමක් නැති කල්හි ඡන්‍දය නො වේ ද?” යි සක් දෙවිඳු පුළුවුත.
Pali BJTඡන්දො ඛො දෙවානමින්ද, විතක්කනිදානො විතක්කසමුදයො විතක්කජාතිකො විතක්කපභවො, විතක්කෙ සති ඡන්දො හොති, විතක්කෙ අසති ඡන්දො න හොතී”ති.
Sinhala BJT“දෙවිඳ, ඡන්‍දය වනාහි විනිශ්චය විතර්‍කය නිදාන කොට ඇත්තේ ය, විනිශ්චය විතර්‍කය සමුදය කොට ඇත්තේ ය, විනිශ්චය විතර්‍කය උත්පත්තිස්ථාන කොට ඇත්තේ ය, විනිග්වය විතර්‍කය ප්‍රභව කොට ඇත්තේ ය, විනිශ්චය විතර්‍කය ඇති කල්හි ඡන්‍දය වේ, විනිශ්චය විතර්‍කය නැති කල්හි ඡන්‍දය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
Pali BJT16. විතක්කො ඛො පන මාරිස, කිංනිදානො කිංසමුදයො කිංජාතිකො කිංපභවො, කිස්මිං සති විතක්කො හොති, කිස්මිං අසති විතක්කො න හොතී’ති.
Sinhala BJT16. “නිදුකාණන් වහන්ස, විනිශ්චය විතර්‍කය කුමක් නිදන් කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් උත්පත්තිස්ථාන කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් ඇති කල්හි විනිශ්චය විතර්‍කය වේ ද, කුමක් නැති කල්හි විනිශ්චය විතර්‍කය නො වේ දැ?” යි සක් දෙවිඳු පුළුවුත.
Pali BJTවිතක්කො ඛො දෙවානමින්ද, පපඤ්චසඤ්ඤාසඞ්ඛානිදානො පපඤ්චසඤ්ඤාසඞ්ඛාසමුදයො පපඤ්චසඤ්ඤාසඞ්ඛාජාතිකො පපඤ්චසඤ්ඤාසඞ්ඛාපභවො, පපඤ්චසඤ්ඤාසඞ්ඛාය සති විතක්කො හොති, පපඤ්චසඤ්ඤාසඞ්ඛාය අසති විතක්කො න හොතී”ති.
Sinhala BJT“දෙවිඳ, විනිශ්චය විතර්‍කය වූ කලි තෘෂ්ණා ප්‍රපඤ්ච සම්ප්‍රයුක්ත සංඥාකොටස් නිදන් කොටැත්තේ ය, එය ම සමුදය කොට ඇත්තේ ය. එය ම උත්පත්තිස්ථාන කොට ඇත්තේ ය, එය ප්‍රභව කොට ඇත්තේ ය, එය ඇති කල්හි විනිශ්චය විතර්‍කය වේ, එය නැති කල්හි විනිශ්චය විතර්‍කය නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
Pali BJT17. කථං පටිපන්නො පන මාරිස, භික්ඛු පපඤ්චසඤ්ඤාසඞ්ඛානිරොධසාරුප්පගාමිනීපටිපදං පටිපන්නො හොතී’ති.
Sinhala BJT17. “නිදුකාණන් වහන්ස, මහණ තෙම කෙසේ පිළිපන්නේ ප්‍රපංචසංඥා කොටසුන්ගේ සංසිඳීමට උපාය බැවින් නිසි වූ ද එය අරමුණු කිරීම් වශයෙන් එයට පැමිණෙන්නා වූ ද විවසුන් මඟ පිළිපන්නේ වේදැ?” යි සක් දෙවිඳු පුළුවුත.
Pali BJTසොමනස්සම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. දොමනස්සම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි. උපෙක්ඛම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පි.
Sinhala BJT“දෙවිඳ, මම් සෙවියැ යුතු නො සෙවියැ යුතු විසින් සොම්නස් වේදනාව ද දෙ පරිදි කොට කියමි. දෙවිඳ, සෙවියැ යුතු සොම්නස ද නො සෙවියැ යුතු සොම්නස දැ යි මම් සොම්නස ද දෙ පරිද්දෙකින් කියමි, දොම්නස ද සෙවියැ යුතු දොම්නස ද නො සෙවියැ යුතු දොම්නස දැ යි දෙ පරිදිකොට කියමි. උපේක්‍ෂාව ද සෙවියැ යුතු උපේක්‍ෂාව ද නො සෙවියැ යුතු උපේක්‍ෂාව දැයි දෙ පරිදි කොට කියමි.
Pali BJTසොමනස්සම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා සොමනස්සං ‘ඉමං ඛො මෙ සොමනස්සං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපං සොමනස්සං න සෙවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා සොමනස්සං ‘ඉමං ඛො මෙ සොමනස්සං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපං සොමනස්සං සෙවිතබ්බං. තත්ථ යඤ්චෙ සවිතක්කං සවිචාරං යඤ්චෙ අවිතක්කං අවිචාරං යෙ අවිතක්කඅවිචාරෙ තෙ පණීතතරෙ. සොමනස්සම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්චවුත්තං. දොමනස්සම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා දොමනස්සං ‘ඉමං ඛො මෙ දොමනස්සං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපං දොමනස්සං න සෙවිතබ්බං. තත්ථ යං ජඤ්ඤා දොමනස්සං ‘ඉමං ඛො මෙ දොමනස්සං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපං දොමනස්සං සෙවිතබ්බං. තත්ථ යඤ්චෙ සවිතක්කං සවිචාරං යඤ්චෙ අවිතක්කං අවිචාරං, යෙ අවිතක්කඅවිචාරෙ තෙ පණීතතරෙ. දොමනස්සම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්චවුත්තං.
Sinhala BJTසෙවියැ යුතු සොම්නස ද නොසෙවියැ යුතු සොම්නස දැ යි මම් සොම්නස දෙ පරිද්දෙකින් කියමි යි මෙසේ මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි මේ සොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ යි යම් සොම්නසක් දැන ගන්නේ ද, මෙ බඳු වූ සොම්නස නො සෙවියැ යුතු. මේ සොම්නස සෙවුනා මගේ සතන් හි අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම්හු වැඩෙති’ යි යම් සොම්නසක් දැන ගන්නේ ද, මෙ බඳු සොම්නස සෙවියැ යුතු. එහි ද යම් සොම්නසෙක් ඉදින් විතර්‍ක සහිත විචාරසහිත ද (නෛෂ්කාම්‍ය වශයෙන් විදර්‍ශනා වශයෙන් අනුස්මෘතිභාවනා වශයෙන් ප්‍රථම ධ්‍යාන වශයෙන් විතර්‍ක විචාර සහිත ද), යම් සොම්නසෙක් විතර්‍ක (රහිත ද විචාර රහිත ද ද්විතීය ධ්‍යාන වශයෙන් අවිතර්‍ක වැ අවිචාර වැ උපන්නේ ද) ඔවුන් අතුරෙන් යමක් විතර්‍ක රහිත ද විචාර රහිත ද, එය වඩා උතුම් ය. ‘දෙවිඳ, සොම්නස ද සෙවියැ යුතු එක දැ, නො සෙවියැ යුතු එක දැ යි දෙ පරිද්දෙකින් කියමි’ යි යමක් කියන ලද ද, මෙය ඒ ද්විවිධ සොම්නස සඳහා කියන ලදි. දෙවිඳ, දොම්නස ද සෙවියැ යුතු එක දැ නො සෙවියැ යුතු එක දැ යි දෙ පරිද්දෙකින් මම් කියමි. මෙසේ වනාහි මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි ‘මේ දොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’ යි යමක් දන්නේ ද, මෙ බඳු දොම්නස නො සෙවියැ යුතු යැ. එහි ‘මේ දොම්නස සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම් හු වැඩෙත් යැ’ යි දන්නේ ද, මෙ බඳු දොම්නස සෙවියැ යුතු. එහි විතර්‍ක සහිත විචාර සහිත යම් දොම්නසෙක් වේ ද, විතර්‍ක රහිත විචාර රහිත යම් දොම්නසෙක් වේ ද, ඔවුන් අතුරෙන් යමක් විතර්‍ක රහිත විචාර රහිත දැ (නෛෂ්කාම්‍ය වශයෙන් විදර්‍ශනා වශයෙන් අනුස්මෘති වශයෙන් ප්‍රථමධ්‍යානාදි වශයෙන් උපදනා) මේ දොම්නස වඩා උතුම් යැ. දෙවිඳ, දොම්නස ද සෙවියැ යුතු එක ද නොසෙවියැ යුතු එක දැ යි දොම්නස ද මම් දෙවැදෑරුම් කොට කියමි යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී දොම්නස සඳහා කියන ලදි.
Pali BJTඋපෙක්ඛම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං තත්ථ යං ජඤ්ඤාඋපෙක්ඛං ඉමං ඛො මෙ උපෙක්ඛං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපා උපෙක්ඛා න සෙවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා උපෙක්ඛා ඉමං ඛො මෙ උපෙක්ඛං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපා උපෙක්ඛා සෙවිතබ්බා. තත්ථ යඤ්චෙ සවිතක්කං සවිචාරං යඤ්චෙ අවිතක්කං අවිචාරං යෙ අවිතක්කඅවිචාරෙ තෙ පණීතතරෙ. උපෙක්ඛම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTදෙවිඳ, සෙවියැ යුතු එක ද නොසෙවියැ යුතු එක දැ යි මම් උපේක්‍ෂාව ද දෙ වැදෑරුම් කොට කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද යත්: එහි මේ උපේක්‍ෂාව වනාහි සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ යි යම් උපේක්‍ෂාවක් දන්නේ ද, මෙ බඳු වූ උපේක්‍ෂාව නොසෙවියැ යුතු ය. එහි මෙ උපේක්‍ෂාව සෙවුනා මගේ සතන්හි අකුසල් දහම්හු පිරිහෙත් කුසල් දහම්හු වැඩෙත් යැ යි යම් උපේක්‍ෂාවක් දන්නේ ද මෙ බඳු වූ උපේක්‍ෂාව සෙවියැ යුතු ය. එහි යමක් සවිතර්‍ක සවිචාර ද, යමක් අවිතර්‍ක අවිචාර ද, මොවුන් අතුරෙන් යමක් අවිතර්‍ක අවිචාර ද එය වඩා උතුමි. දෙවිඳ, ‘සෙවියැ යුතු එක ද නො සෙවියැ යුතු එක දැ යි උපේක්‍ෂාව දෙ වැදෑරුම් කොට කියමි’ යි මෙසේ යමෙක් මා විසින් කියන ලද ද, මෙය ඒ (අවිතර්‍ක අවිචාර) උපේක්‍ෂාව සඳහා කියන ලදි.
Pali BJTඑවං පටිපන්නො ඛො දෙවානමින්ද, භික්ඛු පපඤ්චසඤ්ඤාසඞ්ඛානිරොධසාරුප්පගාමිනීපටිපදං පටිපන්නො හොතීති. ඉත්ථං භගවා සක්කස්ස දෙවානමින්දස්ස පඤ්හං පුට්ඨො බ්යාකාසි. අත්තමනො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දි අනුමොදි. “එවමෙතං භගවා, එවමෙතං සුගත, තිණ්ණා මෙ’ත්ථ කඞ්ඛා විගතා කථංකථා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වා”ති.
Sinhala BJTදෙවිඳ, මෙසේ පිළිපන් මහණ තෙම ප්‍රපංච සම්ප්‍රයුක්ත සංඥා කොටසුන්ගේ සංසිඳීමට උපාය බැවින් එයට නිසි වූ ද එය අරමුණු කිරීම් වශයෙන් එයට පැමිණෙන්නා වූ ද විවසුන් මඟට පිළිපන්නේ වේ යැ යි මෙසේ සක් දෙවිඳු විසින් විචාරන ලද පැනය විසඳා වදාළ සේක. සතුටු වූ සක් දෙවිඳු ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ පැන විසඳීම ඇසීමෙන් මෙහි මා තුළැ වූ සැකය ඉක්මිණ, විමතිය පහ වියැ’ යි කියා භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමෙවී ය.
Pali BJT18. ඉතිහ සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි: “කථං පටිපන්නො පන මාරිස, භික්ඛු පාතිමොක්ඛසංවරාය පටිපන්නො හොතී?ති”.
Sinhala BJT18. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් මහණ තෙම පාතිමොක්ඛ සීල සංවරය පිණිස පිළිපන්නෙක් වේ දැ” යි මත්තෙහි දු පැනයක් පුළුවුත.
Pali BJTකායසමාචාරම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. වචීසමාචාරම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. පරියෙසනම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. කායසමාචාරම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ඉමං ඛො මෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපො කායසමාචාරො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා කායසමාචාරං ඉමං ඛො මෙ කායසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපො කායසමාචාරො සෙවිතබ්බො. කායසමාචාරම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJT“දෙවිඳ, සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි. සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි. දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි පය්‍යෙර්‍ෂණය ද මම් දෙවැදෑරුම් කොට කියමි. දෙවිඳ, සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද මම් දෙවැදෑරුම් කොට කියමි යි මෙසේ ම මෙය කියන ලදි. කුමක් සඳහා මෙය කියන ලද ද යත්: එහි මේ කායසමාචාරය සෙවුනා මා සතන්හි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’ යි යම් කාය සමාචාරයක් දන්නේ ද, මෙ බඳු වූ කායසමාචාරය සෙවිය යුතු යැ. එහි මේ කාය සමාචාරය සෙවුනා මා සතනෙහි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙත් යැයි යම් කාය සමාචාරයක් දන්නේ ද මෙබඳු වූ කායසමාචාරය සෙවිය යුතු ය. ‘දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි කායසමාචාරය ද දෙවැදෑරුම් කොට මම් කියමි යි මෙසේ යමක් කියන ලද ද මෙය එකී කාය සමාචාරය සඳහා කියන ලදි.
Pali BJTවචීසමාචාරම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා වචීසමාචාරං ඉමං ඛො මෙ වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපො වචීසමාචාරො න සෙවිතබ්බො. තත්ථ යං ජඤ්ඤා වචීසමාචාරං ඉමං ඛො මෙ වචීසමාචාරං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපො වචීසමාචාරො සෙවිතබ්බො. වචීසමාචාරම්පාහං දෙවානමින්ද දුවිධෙන වදාමි. සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යන්තං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තං.
Sinhala BJTදෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරය ද දෙ වැදෑරුම් කොට මම් කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද? යත්: එහි, ‘මේ වාක්සමාචාරය සෙවුනා මගේ (සතන්හි) අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙත් යැ’ යි යම් වාක්සමාචාර යක් දන්නේ ද, එ බඳු වූ වාක්සමාචාරය නො සෙවියැ යුතු. එහි ‘මේ වාක්සමාචාරය සෙවුනා මගේ (සතන්හි) අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙත් යැ’ යි යම් වාක්සමාචාරයක් දන්නේ ද, මෙබඳු වූ වාක් සමාචාරය සෙවියැ යුතු. ‘දෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි වාක්සමාචාරයද මම් දෙවැදෑරුම් කොට කියමි’ යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී වාක්සමාචාරය සඳහා කියන ලදි.
Pali BJTපරියෙසනම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං. තත්ථ යං ජඤ්ඤා පරියෙසනං ඉමං ඛො මෙ පරියෙසනං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපා පරියෙසනා න සෙවිතබ්බා. තත්ථ යං ජඤ්ඤා පරියෙසනං ඉමං ඛො මෙ පරියෙසනං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති, එවරූපා පරියෙසනා සෙවිතබ්බා. පරියෙසනම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති ඉති යන්තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං. එවං පටිපන්නො ඛො දෙවානමින්ද, භික්ඛු පාතිමොක්ඛසංවරාය පටිපන්නො හොතී’ති.
Sinhala BJTදෙවිඳ, සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි පය්‍යෙර්‍ෂණය ද දෙවැදෑරුම් කොට මම් කියමි. මෙසේ ම මෙය කියන ලදි. මෙය කුමක් සඳහා කියන ලද ද? යත්: එහි ‘මේ පය්‍යෙර්‍ෂණය සෙවුනා මගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත්, කුසල් දහම්හු පිරිහෙති’ යි යම් පය්‍යෙර්‍ෂණයක් දැන ගන්නේ ද, මෙබඳු වූ පර්‍ය්‍යෙෂණය නො සෙවියැ යුතු. එහි ‘මේ පය්‍යෙර්‍ෂණය සෙවුනා මගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත්, කුසල් දහම්හු වැඩෙති’ යි යම් පය්‍යෙර්‍ෂණයක් දැන ගන්නේ ද, ඒ පය්‍යෙර්‍ෂණය ද සෙවියැ යුතු. දෙවිඳ, පර්‍ය්‍යෙෂණයත් සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි යි මෙසේ යමක් කියන ලද ද, මෙය එකී පය්‍යෙර්‍ෂණය ද සඳහා කියන ලදි. දෙවිඳ, මෙසේ පිළිපන් මහණ වනාහි පාතිමොක්ඛ සංවරය පිණිස පිළිපන්නේ වේ යැ යි.
Pali BJTඉත්ථං භගවා සක්කස්ස දෙවානමින්දස්ස පඤ්හං පුට්ඨො බ්යාකාසි. අත්තමනො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දි අනුමොදි: “එවමෙතං භගවා, එවමෙතං සුගත. තිණ්ණා මෙ’ත්ථ කඞ්ඛා විගතා කථංකථා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වා”ති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ සක්දෙවිඳු විසින් පැන පුළුවුස්නා ලද්දාහු එය විසැඳූ සේක. සතුටට පත් සක් දෙවිඳු ‘භාග්‍යවතුන් වහන්සැ, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ යැ. භාග්‍යවතුන් වහන්සේගේ පැන විසැඳුම ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණ, විමතිය පහ වීයැ’ යි භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගත්තේ ය, අනුමෙවී ය.
Pali BJT19. ඉතිහ සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි: “කථං පටිපන්නො පන මාරිස භික්ඛු ඉන්ද්රියසංවරාය පටිපන්නො හොතී?”ති.
Sinhala BJT19. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන අනුමෙවැ ඔබගෙන් “නිදුකාණන් වහන්ස, කෙසේ පිළිපන් මහණ තෙම ඉන්‍ද්‍රිය සංවරය පිණිස පිළිපන්නේ වේ දැ?” යි මත්තෙහි පැනයක් පුළුවුත.
Pali BJT“චක්ඛුවිඤ්ඤෙය්යං රූපම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. සොතවිඤ්ඤෙය්යං සද්දම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ඝානවිඤ්ඤෙය්යං ගන්ධම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. ජිව්හාවිඤ්ඤෙය්යං රසම්පාහං දෙවානමින්ද දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති. මනොවිඤ්ඤෙය්යං ධම්මම්පාහං දෙවානමින්ද, දුවිධෙන වදාමි සෙවිතබ්බම්පි අසෙවිතබ්බම්පී’ති.
Sinhala BJT“දෙවිඳ, ඇසින් දැක දත යුතු රූපය ද සෙවියැ යුත්ත ද නො සෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි ... දෙවිඳ, කනින් අසා දත යුතු ශබ්දය ද ... දෙවිඳ, නැහැයෙන් අසා දත යුතු ගඳ ද ... දිවෙන් ආස්වාද කොට දත යුතු රසය ද ... කයින් පැහැසැ දත යුතු හැපෙන දෑ ද … මනසින් දත යුතු දහම් අරමුණු ද සෙවියැ යුත්ත ද නොසෙවියැ යුත්ත දැ යි දෙවැදෑරුම් කොට මම් කියමි” යි භාග්‍යවතුන් වහන්සේ විසඳා වදාළ සේක.
Pali BJTඑවං වුත්තෙ සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච: ඉමස්ස ඛො අහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. යථාරූපං භන්තෙ, චක්ඛුවිඤ්ඤෙය්යං රූපං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති, එවරූපං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං න සෙවිතබ්බං. යථාරූපඤ්ච ඛො භන්තෙ, චක්ඛුවිඤ්ඤෙය්යං රූපං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති එවරූපං චක්ඛුවිඤ්ඤෙය්යං රූපං සෙවිතබ්බං. යථාරූපඤ්ච ඛො භන්තෙ, සොතවිඤ්ඤෙය්යං සද්දං සෙවතො -පෙ- ඝානවිඤ්ඤෙය්යං ගන්ධං සෙවතො -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යං රසං සෙවතො -පෙ- කායවිඤ්ඤෙය්යං ඵොට්ඨබ්බං සෙවතො -පෙ- මනොවිඤ්ඤෙය්යං ධම්මං සෙවතො අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්තී’ති එවරූපො මනොවිඤ්ඤෙය්යො ධම්මො න සෙවිතබ්බො. යථාරූපඤ්ච ඛො භන්තෙ, මනොවිඤ්ඤෙය්යං ධම්මං සෙවතො අකුසලා ධම්මා පරිහායන්ති කුසලා ධම්මා අභිවඩ්ඪන්තී’ති එවරූපො මනොවිඤ්ඤෙය්යො ධම්මො සෙවිතබ්බො. ඉමස්ස ඛො මෙ භන්තෙ, භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානතො තිණ්ණා මෙ’ත්ථ කඞ්ඛා විගතා කථංකථා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වා”ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරන ලද මේ වචනයේ අරුත් මෙසේ විස්තර වශයෙන් මම් දැනගනිමි. වහන්ස, ඇසින් දැක දත යුතු යම් බඳු රූපයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත් ද කුසල් දහම්හු පිරිහෙත් ද, මෙබඳු වූ චක්‍ෂුර් විඥේය රූපය නො සෙවියැ යුතු. වහන්ස, ඇසින් දැක දත යුතු යම් බඳු රූපයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත් ද කුසල් දහම්හු වැඩෙත් ද, එබඳු වූ චක්‍ෂුර් විඥේය රූපය සෙවියැ යුතු. වහන්ස, යම් බඳු ශ්‍රෝත්‍ර විඥේය ශබ්දයක් සෙවුනහුගේ ... ඝ්‍රාණ විඥේය ගන්‍ධයක් සෙවුනහුගේ ... ජිහ්වා විඥේය රසයක් සෙවුනහුගේ ... කාය විඥේය ස්ප්‍රෂ්ටව්‍යයක් සෙවුනහුගේ ... මනෝ විඥේය ධර්‍මයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු වැඩෙත් ද කුසල් දහම්හු පිරිහෙත් ද, මෙ බඳු මනෝ විඥේය ධර්‍මය නො සෙවියැ යුතු. වැලිදු යම් බඳු මනෝ විඥේය ධර්‍මයක් සෙවුනහුගේ සන්තානයෙහි අකුසල් දහම්හු පිරිහෙත් ද කුසල් දහම්හු වැඩෙත් ද එබඳු වූ මනෝ විඥේය ධර්‍මය සෙවියැ යුතු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මේ වචනයේ අර්‍ත්‍ථය මෙසේ විස්තරයෙන් දැන ගන්නා මට භාග්‍යවතුන් වහන්සේගේ පැන විසඳුම ඇසීමෙන් මෙහි සැකය ඉක්මියේ ය, විමතිය පහ වී යැ” යි සක්දෙවිඳු කී ය.
Pali BJT20. ඉතිහ සක්කා දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං උත්තරිං පඤ්හං අපුච්ඡි: “සබ්බෙව නු ඛො මාරිස සමණබ්රාහ්මණා එකන්තවාදා එකන්තසීලා එකන්තඡන්දා එකන්තඅජ්ඣොසානා”ති.
Sinhala BJT20. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන අනුමෙවැ, මත්තෙහි දු පැනයක් පුළුවුස්නේ, “නිදුකාණන් වහන්ස, සියලු ම මහණබමුණෝ එක් (සමාන) අන්තයක් ඇති (අභින්න) වාද ඇත්තෝ ද? එක් ම (සමාන) ආචාර ඇත්තෝ ද? එක් (සමාන) ලබ්ධි ඇත්තෝ ද? එක් (සමාන) නිෂ්ඨානයක් ඇත්තෝ දැ?” යි පුළුවුත.
Pali BJT“න ඛො දෙවානමින්ද, සබ්බෙ සමණබ්රාහ්මණා එකන්තවාදා එකන්තසීලා එකන්තඡන්දා එකන්තඅජ්ඣොසානා”ති.
Sinhala BJT“දෙවිඳ, සියලු මහණ බමුණෝ සමාන වාද ඇත්තෝ නො වෙත්, සමාන ආචාර ඇත්තෝ නො වෙත්, සමාන ලබ්ධි ඇත්තෝ නො වෙත්, සමාන නිෂ්ඨානයක් ඇත්තෝ නො වෙත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“කස්මා පන මාරිස, න සබ්බෙ සමණබ්රාහ්මණා එකන්තවාදා එකන්තසීලා එකන්තඡන්දා එකන්තඅජ්ඣොසානා?”ති.
Sinhala BJT“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ සමාන වාද ඇත්තෝ සමානාචාර ඇත්තෝ සමාන ලබ්ධි ඇත්තෝ සමාන නිෂ්ඨානයක් ඇත්තෝ නො වෙත් දැ?” යි සක්දෙවිඳු පුළුවුත.
Pali BJT“අනෙකධාතුනානාධාතු ඛො දෙවානමින්ද ලොකො, තස්මිං අනෙකධාතුනානාධාතුස්මිං ලොකෙ යං යදෙව සත්තා ධාතුං අභිනිවිසන්ති, තං තදෙව ථාමසා පරාමස්ස අභිනිවිස්ස වොහරන්ති ‘ඉදමෙව සච්චං මොඝමඤ්ඤන්ති.’ තස්මා න සබ්බෙ සමණබ්රාහ්මණා එකන්තවාදා එකන්තසීලා එකන්තඡන්දා එකන්තඅජ්ඣොසානා”ති.
Sinhala BJT“දෙවිඳ, ලෝවැස්සෝ නොයෙක් අදහස් ඇත්තෝ, නානා අදහස් ඇත්තෝ වෙත්. ඒ නොයෙක් අදහස් ඇති, නානා අදහස් ඇති ලෝවැස්සන් අතුරෙහි සත්‍වයෝ යම් යම් ම අදහසකට වැද ගනිත් ද (අදහසක් ගනිත් ද), ඒ ඒ අදහස ම දැඩි කොට ගෙන මුළු ශක්තියෙන් ම පරාමර්‍ශනය කොට ‘මෙය ම සත්‍ය යැ සෙස්ස හිස් යැ’ යි කියත්. එහෙයින් සියලු මහණබමුණෝ එක් ම වාදයක් ඇත්තෝ නො වෙත්, එක් ම ‘ආචාරයක්’ ඇත්තෝ නො වෙත්, එක් ම ලබ්ධියක් ඇත්තෝ නො වෙත්, එක් ම නිෂ්ඨාවක් ඇත්තෝ නො වෙත්” යැ යි විසඳා වදාළ සේක.
Pali BJT“සබ්බෙව නු ඛො මාරිස, සමණබ්රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානා?”ති.
Sinhala BJT“නිදුකාණන් වහන්ස, සියලු ම මහණබමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ ද? අත්‍යන්ත යෝගක්‍ෂේමය (නිර්‍වාණය) ඇත්තෝ ද? අත්‍යන්තය පිණිස (නිවන සඳහා) බඹසර සරන්නෝ ද (ආර්‍ය්‍යමාර්‍ගාධිගමය කරන්නෝ ද)? අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ ද (නිර්‍වාණගාමීහු ද)?” යි සක් දෙවිඳු පුළුවුත.
Pali BJT“න ඛො දෙවානමින්ද, සබ්බෙ සමණබ්රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානා”ති.
Sinhala BJT“දෙවිඳ, සියලු මහණබමුණෝ අත්‍යන්තනිෂ්ඨාව ඇත්තෝ නො ම වෙත්, අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො ම වෙති” යි විසඳූ සේක.
Pali BJT“කස්මා පන මාරිස, න සබ්බෙ සමණබ්රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානා”ති.
Sinhala BJT“නිදුකාණන් වහන්ස, කවර හෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ නො ම වෙත් ද? අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො ම වෙත් දැ?”යි සක් දෙවිඳු පුළුවුත.
Pali BJT“යෙ ඛො දෙවානමින්ද, භික්ඛූ තණ්හාසඞ්ඛයවිමුත්තා තෙ අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානා. තස්මා න සබ්බෙ සමණබ්රාහ්මණා අච්චන්තනිට්ඨා අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්රහ්මචාරී අච්චන්තපරියොසානා”ති.
Sinhala BJT“දෙවිඳ, යම් මහණ බමුණු කෙනෙක් තෘෂ්ණා සංක්‍ෂයයෙන් (මාර්‍ගයෙන් හෝ නිවන අරමුණු කොට) කෙලෙසුන් කෙරෙන් මිදුණාහු ද, ඔහු අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තාහු, අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තාහු, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තාහු වෙත්. එහෙයින් සියලු මහණ බමුණෝ අත්‍යන්ත නිෂ්ඨාව ඇත්තෝ නො වෙත්, අත්‍යන්ත යෝගක්‍ෂේමය ඇත්තෝ, අත්‍යන්ත බ්‍රහ්මචාරීහු, අත්‍යන්ත පර්‍ය්‍යවසානය ඇත්තෝ නො වෙත්” යි භාග්‍යවතුන් වහන්සේ විසැඳූ සේක.
Pali BJTඉත්ථං භගවා සක්කස්ස දෙවානමින්දස්ස පඤ්හං පුට්ඨො බ්යාකාසි. අත්තමනො සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දි අනුමොදි. එවමෙතං භගවා එවමෙතං සුගත තිණ්ණා මෙ’ත්ථ කඞ්ඛා විගතා කථංකථා භගවතො පඤ්හවෙය්යාකරණං සුත්වා”ති.
Sinhala BJTමෙසේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු විසින් පැන පුළුවුස්නා ලද සේක් ඒ විසැඳූ සේක. සතුටු වූ සක් දෙවිඳු “භාග්‍යවතුන් වහන්ස, එය එසේ යැ, සුගතයන් වහන්ස, එය එසේ ය, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රශ්නව්‍යාකරණය (පැන විසඳීම) ඇසීමෙන් මෙහි මගේ සැකය ඉක්මිණ, විමතිය පහ වී යැ” යි භගවත් බුදුරජුන්ගේ භාෂිතය පිළිගත්තේ ය, අනුමෙවී ය.
Pali BJT21. ඉතිහ සක්කො දෙවානමින්දො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා භගවන්තං එතදවොච: එජා භන්තෙ රොගො එජා ගණ්ඩො එජා සල්ලං එජා ඉමං පුරිසං පරිකඩ්ඪති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. තස්මා අයං පුරිසො උච්චාවචමාපජ්ජති. යෙස්වාහං භන්තෙ, පඤ්හානං ඉතො බහිද්ධා අඤ්ඤෙසු සමණබ්රාහ්මණෙසු ඔකාසකම්මම්පි නාලත්ථං, තෙ මෙ භගවතා බ්යාකතා. දීඝරත්තානුසයිතඤ්ච පන මෙ විචිකිච්ඡා-කථංකථාසල්ලං, තඤ්ච භගවතා අබ්බුළ්හන්ති.
Sinhala BJT21. මෙසේ සක් දෙවිඳු භගවත් බුදුරජුන්ගේ වචනය පිළිගෙන, අනුමෙවැ “වහන්ස, තෘෂ්ණාව රෝගයෙක, තෘෂ්ණාව ගඩක, තෘෂ්ණාව හුලෙක, තෘෂ්ණාව මේ පුරුෂයා (කර්‍මානුරූප ව) ඒ ඒ භවයෙක ම ඉපැද්ම පිණිස හාත්පසින් අදී. එ හෙයින් මේ පුරුෂ තෙම උස් බවට පහත් බවට පැමිණේ. වහන්ස, යම් ප්‍රශ්නයනට මෙයින් බැහැර අන් මහණ බමුණන් කෙරෙහි අවකාශ කිරීම් පමණ දු නො ලදුයෙම් ද, දීර්‍ඝ කාලයක් මා සිත් සතන්හි ලැග හොත් ඒ ප්‍රශ්නයෝ මට භාග්‍යවතුන් වහන්සේ විසින් විසඳා වදාරන ලදහ. මා තුළ යම් සැක විමති නැමැති හුලෙක් වී ද, එය ද භාග්‍යවතුන් වහන්සේ විසින් උදුරා දමන ලදුයේ යැ” යි මෙ බස් පැවැසී ය.
Pali BJT22. අභිජානාසි නො ත්වං දෙවානමින්ද, ඉමෙ පඤ්හෙ අඤ්ඤෙ සමණබ්රාහ්මණෙ පුච්ඡිතා”ති.
Sinhala BJT22. “දෙවිඳ, මේ ප්‍රශ්න අන් මහණ බමුණන් වෙතින් විචාළා දන්නෙහි දැ?” යි භගවත්හු වදාළාහ.
Pali BJT“අභිජානාමහං භන්තෙ, ඉමෙ පඤ්හෙ අඤ්ඤෙ සමණබ්රාහ්මණෙ පුච්ඡිතා”ති.
Sinhala BJT“වහන්ස, අන් මහණ බමුණන් වෙතින් මේ ප්‍රශ්න විචාළා දනිමි”යි සක් දෙවිඳු කී ය.
Pali BJT“යථාකථං පන තෙ දෙවානමින්ද බ්යාකංසු, සචෙ තෙ අගරු භාසස්සූ”ති.
Sinhala BJT“දෙවිඳ, කෙසේ නම් ඔහු මේ ප්‍රශ්න විසැඳූහු ද, ඉදින් ඔබට බරෙක් නො වේ නම්, කිව මැනැවැ” යි භගවත්හු වදාළාහ.
Pali BJT“න ඛො මෙ භන්තෙ, ගරු යත්ථස්ස භගවා නිසින්නො භගවන්තරූපො වා”ති.
Sinhala BJT“වහන්ස, යම් තැනෙක භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නෙක් වැඩහුන් සේක් වී නම්, එය කියනු මට බරෙක් නො වේ” යැ යි සක් දෙවිඳු කී ය.
Pali BJT“තෙන හි දෙවානමින්ද භාසස්සූ”ති.
Sinhala BJT“එසේ වී නම්, දෙවිඳ, කියන්නැ” යි භගවත්හු වදාළාහ.
Pali BJT“යෙ ස්වාහං{1} භන්තෙ, මඤ්ඤාමි සමණබ්රාහ්මණා ආරඤ්ඤකා පන්තසෙනාසනා’ති, ත්යාහං උපසඞ්කමිත්වා ඉමෙ පඤ්හෙ පුච්ඡාමි. තෙ මයා පුට්ඨා න සම්පායන්ති, අසම්පායන්තා මමං යෙව පටිපුච්ඡන්ති’ කො නාමො ආයස්මා?’ති. තෙසාහං පුට්ඨො බ්යාකරොමි: “අහං ඛො මාරිස, සක්කො දෙවානමින්දො’ති. තෙ මමං යෙව උත්තරිං පටිපුච්ඡන්ති ‘කිං පනායස්මා දෙවානමින්ද කම්මං කත්වා ඉමං ඨානං පත්තො’ති. තෙසාහං යථාසුතං යථාපරියත්තං ධම්මං දෙසෙමි. තෙ තාවතකෙනෙව අත්තමනා හොන්ති ‘සක්කො ච නො දෙවානමින්දො දිට්ඨො යඤ්ච නො අපුච්ඡිම්හ තඤ්ච නො බ්යාකාසී’ති. තෙ අඤ්ඤදත්ථු මමං යෙව සාවකා සම්පජ්ජන්ති, න චාහං තෙසං. අහං ඛො පන භන්තෙ, භගවතො සාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJT“වහන්ස, වනවාසීහු යැ යි, ගම්කොළවරැ සෙනසුන්හි වසන්නෝ යැ යි, යම් මහණ බමුණු කෙනකු මම් සිතීම් ද, මම් ඔවුන් කරා ගොස් මේ ප්‍රශ්න විචාළෙමි. ඔහු මා විසින් විචාරන ලද්දාහු, “ආයුෂ්මත් තෙමේ කිනම් වේ දැ?” යි මා ම පුළුවුසිත්. මම් ඔවුන් විසින් පුළුවුස්නා ලදිම් ‘නිදුකාණනි, මම් සක් දෙවිඳුමි’ යි කියමි. ඔහු “ආයුෂ්මත් දේවේන්‍ද්‍ර තෙමේ කවර නම් කර්‍මයක් කොට මේ තැනට පත් වී දැ?” යි මත්තෙහි මා ම පුළුවුසිත්. මම් ඔවුනට මා අසා ඇති පරිදි මා ඉගෙන ඇති පරිදි (සප්ත ව්‍රත පද) ධර්‍මය දෙසමි. ඔහු එ පමණින් ම, ‘අප විසින් සක් දෙවිඳු දක්නා ලද්දේ ද වේ, අපි යමක් විචාළමෝ ද එය ද අපට විසඳා කීයේ යැ’ යි එ පමණින් ම සතුටු වෙත්, ඔහු ඒකාන්තයෙන් මගේ ම ශ්‍රාවකයෝ වෙත්, මම ඔවුන්ගේ ශ්‍රාවක නො වෙමි. වහන්ස, මම් වූ කලී සිවු අවාහි නොවැටෙන සැහැවි ඇති, මාර්‍ග ධර්‍ම නියාමයෙන් නියත වූ (අවශ්‍යයෙන් ම උපරිමාර්‍ගාධිමය කරන සුලු) භාග්‍යවතුන් වහන්සේගේ සෝවාන් සව්වෙක් වෙමි” යි සක් දෙවිඳු පැවැසීය.
Pali BJT23. “අභිජානාසි නො ත්වං දෙවානමින්ද, ඉතො පුබ්බෙ එවරූපං වෙද පටිලාභං සොමනස්සපටිලාභන්ති?”
Sinhala BJT23. “දෙවිඳ, මෙයින් පෙරැ තොප මෙ බඳු සතුටක් ලැබීම, සොම්නසක් ලැබීම දනිවු දැ” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“අභිජානාමහං භන්තෙ, ඉතො පුබ්බෙ එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභන්ති.”
Sinhala BJT“වහන්ස, මම් මෙයින් පෙරැ මෙබඳු සතුටක් ලැබීම සොම්නසක් ලැබීම දනිමි” යි සක් දෙවිඳු කී ය.
Pali BJT“යථාකථං පන ත්වං දෙවානමින්ද, අභිජානාසි ඉතො පුබ්බෙ එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභන්ති?”
Sinhala BJT“දෙවිඳ, මෙයින් පෙර තොප කෙසේ වූ මෙබඳු සතුටක් ලැබීම සොම්නසක් ලැබීම දනිවු දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“භූතපුබ්බං භන්තෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්යූළ්හො අහොසි. තස්මිං ඛො පන භන්තෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු, අසුරා පරාජියිංසු. තස්ස මය්හං භන්තෙ, තං සඞ්ගාමං අභිවිජිනිත්වා විජිතසඞ්ගාමස්ස එතදහොසි: ‘යා චෙව දානි දිබ්බා ඔජා යා ච අසුරා ඔජා උභයමෙත්ථ දෙවා පරිභුඤ්ජිස්සන්තතී ති. සො ඛො පන මෙ භන්තෙ, වෙදපටිලාභො සොමනස්සපටිලාභො සදණ්ඩාවචරො සසත්ථාවචරො න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. යො ඛො පන මෙ අයං භන්තෙ, භගවතො ධම්මං සුත්වා වෙදපටිලාභො සොමනස්සපටිලාභො, සො අදණ්ඩාවචරො අසත්ථාවචරො එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතී”ති.
Sinhala BJT“වහන්ස, පෙරැ වූවක් කියමි. පෙරැ දෙවියන්ගේ ද අසුරයන්ගේ ද, යුද්ධයෙක් එළැඹැ සිටියේ විය. වහන්ස, ඒ යුද්ධයෙහි දෙවියෝ ජය ගත්හ. අසුරයෝ පැරැදුණාහ. වහන්ස, ඒ යුද්ධය දිනා, දිනූ යුද්ධය ඇති ඒ මට “දැන් යම් දිව්‍ය ඕජසෙක් වේ ද යම් අසුර ඕජසෙකුත් වේ ද, මේ දෙකොටස ම දැන් දෙවියෝ පරිභෝග කරන්නාහ” යි මට මේ සිත විය. වහන්ස, මගේ ඒ යම් සතුට ලැබීමෙක් සොම්නස ලැබීමෙක් වී ද දඬුගෙන හැසිරීම සහිත වූ අවි ගෙන හැසිරීම සහිත වූ ඒ සතුට ලැබීම, ඒ සොම්නස ලැබීම සසරැ කලකිරීම පිණිස නො පවතී, විරාගය පිණිස නො පවතී, නිරෝධය පිණිස නො පවතී, කෙලෙස් සන්සිඳීම පිණිස නො පවතී, විශිෂ්ට ඥානය පිණිස නො පවතී, සත්‍යාවබෝධය පිණිස නො පවතී, නිවන පිණිස නො පවතී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය ඇසීමෙන් මට යම් සතුට ලැබීමෙක්, සොම්නස ලැබීමෙක් වී ද, එය දඬුගෙන හැසිරීම් නැති එකෙක, අවි ගෙන හැසිරීම් නැති එකෙක, ඒකාන්තයෙන් සසර කලකිරෙනු පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශ ව්‍යුපශමය පිණිස, විශිෂ්ටඥානය පිණිස සත්‍යාවබෝධය පිණිස, නිර්‍වාණය පිණිස පවතී” යැ යි සක් දෙවිඳු කී ය.
Pali BJT24. “කිං පන ත්වං දෙවානමින්ද, අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්ස පටිලාභං පවෙදෙසී?”ති.
Sinhala BJT24. “දෙවිඳ, තෝ කවර නම් කරුණක් දක්නෙහි මෙබඳු සතුට ලැබීමක්, සොම්නස ලැබීමක් දන්වහි දැ?” යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
Pali BJT“ඡ ඛො අහං භන්තෙ, අත්ථවසෙ සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමී”ති.
Sinhala BJT“වහන්ස, මම් කරුණු සයක් දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීමක් සොම්නස ලැබීමක් දන්වමි.
Pali BJT“ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සතො, පුනරායු ච මෙ ලද්ධො එවං ජානාහි මාරිසා”ති.
Sinhala BJT‘නිදුකාණන් වහන්ස, මෙහි ම සිටුනා දෙවි වූ ම මා විසින් (ආයු ගෙවී) මෙහි දී ම සැව අනතුරු වැ මෙහි ම ඉපැදීමෙන් පුනරායුෂය ද ලද්දේ ය. මෙ කරුණ මෙසේ දැන වදාළ මැනැවි.
Pali BJTඉමං ඛො අහං භන්තෙ, පඨමං අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මේ පළමු වන කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම, සොම්නස ලැබීම දන්වමි.
Pali BJTචුතො’හං දිවියා කායා ආයුං හිත්වා අමානුසං, අමූළ්හො ගබ්භමෙස්සාමි යත්ථ මෙ රමතී මනො.
Sinhala BJT‘මම් දිව්‍ය ආයුෂ හැර දමා දෙව් අත් බැවින් සැව, යම් තැනෙක මා සිත ඇලෙයි ද, එහි සිහි නොමුළා වැ (කැත් කුල ආදියෙක) මවු කුසකට එළැඹෙන්නෙමි.”
Pali BJTඉමං ඛො අහං භන්තෙ, දුතියං අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මම් මේ දෙවෙනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුටක් ලැබීම, සොම්නසක් ලැබීම දන්වමි.
Pali BJTස්වාහං අමූළ්හපඤ්ඤස්ස විහරං සාසනෙ රතො, ඤායෙන විහරිස්සාමි සම්පජානො පතිස්සතො.
Sinhala BJT‘ඒ මම් සස්නෙහි ඇලුණෙම්, නොමුළා වූ ප්‍රඥා ඇති වැ වසන්නෙම්, ප්‍රඥා ඇත්තෙම්, එළැඹැ සිටි සිහි ඇත්තෙම්, න්‍යායයෙන් (අරීසවු බවට නිසි වූ කරුණින්) යුතු වැ වසන්නෙමි.’
Pali BJTඉමං ඛො අහං භන්තෙ, තතියං අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මේ තුන් වැනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.
Pali BJTඤායෙන මෙ චරතො ච සම්බොධි චෙ භවිස්සති, අඤ්ඤථා විහරිස්සාමි ස්වෙව මන්තො භවිස්සති.
Sinhala BJT“න්‍යායයෙන් (අරී සවු බවට ගැළපෙන කරුණින්) හැසිරෙන මට ඉදින් සම්බෝධිය වන්නේ නම් (සෙදැගැමිවන්නෙම් නම්) නොලත් විශේෂාධිගමය ලබනු කැමැත්තෙම් වසන්නෙමි. එය ම මිනිස් ලොවැ මගේ කෙළවර අත්බව වන්නේ ය.”
Pali BJTඉමං ඛො අහං භන්තෙ, චතුත්ථං අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මේ සතර වන කරුණ දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.
Pali BJTචුතො’හං මානුසා කායා ආයුං හිත්වාන මානුසං, පුන දෙව භවිස්සාමි දෙවලොකම්හි උත්තමො.
Sinhala BJT‘මනුෂ්‍යයායුෂය හැරැ මිනිසත් බැවින් සැවැ දෙව් ලොවැ යලිදු උතුම් දෙවියෙක් වන්නෙමි.’
Pali BJTඉමං ඛො අහං භන්තෙ, පඤ්චමං අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මේ පස් වන කරුණ දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම මෙබඳු වූ සොම්නස ලැබීම දන්වමි.
Pali BJTතෙ පණීතතරා දෙවා අකනිට්ඨා යසස්සිනො, අන්තිමෙ වත්තමානම්හි සො නිවාසො භවිස්සති.
Sinhala BJT‘යශස් ඇති, සියලු දෙවියනට වඩා උතුම් වූ, අකනිටා බඹලොව් වැසි ඒ යම් දෙවි කෙනෙක් ඇද්ද, මගේ අන්තිම අත්බව පවත්නා කල්හි ඔවුන් අතුරෙහි මගේ නිවාසය වන්නේ ය.’
Pali BJTඉමං ඛො අහං භන්තෙ, ඡට්ඨං අත්ථවසං සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මේ සවැනි කරුණ දක්නෙම්, මෙබඳු වූ සතුට ලැබීම සොම්නස ලැබීම දන්වමි.
Pali BJTඉමෙ ඛො අහං භන්තෙ, ඡ අත්ථවසෙ සම්පස්සමානො එවරූපං වෙදපටිලාභං සොමනස්සපටිලාභං පවෙදෙමි.
Sinhala BJTවහන්ස, මම් මේ කරුණු සය දක්නෙම්, මෙ බඳු වූ සතුට ලැබීම, සොම්නස ලැබීම දන්වමි.
Pali BJT25. “අපරියොසිතසඞ්කප්පො විචිකිච්ඡී කථංකථී, විචරිං{1} දීඝමද්ධානං අන්වෙසන්තො තථාගතං.
Sinhala BJT25. නො නිමි මනෝරථය ඇති වැ, සැක කරන සුලු වැ, විමති ඇති වැ, තථාගත කෙනකු සොයනුයෙම් දික් කලක් සසරැ හැවිද්දෙමි.
Pali BJTය්යාස්සු මඤ්ඤාමි සමණෙ පවිවිත්තවිහාරිනො, සම්බුද්ධා{2} ඉති මඤ්ඤානො ගච්ඡාමි තෙ උපාසිතුං.
Sinhala BJTයම් මහණුන් ත්‍රිවිධ විවේකයෙන් විවික්ත වැ වසන්නන් කොට හඟිම් ද, මේ බුදුවරු යි හඟින්නෙම් ඔවුන් ඇසුරු කරන්නට යෙමි.
Pali BJTකථං ආරාධනා හොති කථං හොති විරාධනා, ඉති පුට්ඨා න සම්භොන්ති{3} මග්ගෙ පටිපදාසු ච.
Sinhala BJT‘ආර්‍ය්‍ය මාර්‍ගයට බස්නා පිළිවෙත කෙසේ වේ ද? ආර්‍ය්‍යමාර්‍ගයට බාධක පිළිවෙත (අනුපාය ප්‍රතිපත්තිය) කෙසේ වේ දැ?’ යි මා විසින් විචාරන ලද්දා වූ ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ද ප්‍රතිපත්තීන්හි ද විචාළ කරුණු මොනොවට විසඳා කියන්නට ඔහු නො හැකි වෙත්.
Pali BJTත්යාස්සු යදා මං ජානන්ති සක්කො දෙවානමාගතො. ත්යාස්සු මමෙව පුච්ඡන්ති කිං කත්වා පාපුණී ඉදං.
Sinhala BJTඔහු යම් කලෙක ‘දෙවියන් අතුරෙන් සක් දෙව් තෙමේ ආයේ යැ’ යි මා දැනැ හැඳිනැ ගනිත් ද, එ කල, ‘කුමක් කොට මේ සක් දෙව් පදයට පැමිණියෙහි දැ?’ යි මා ම පිළිවිසිත්.
Pali BJTතෙසං යථාසුතං ධම්මං දෙසයාමි ජනෙසුත, තෙන අත්තමනා හොන්ති{1} දිට්ඨො නො වාසවො’ති ච.
Sinhala BJTඔවුනට මම් අසා ඇති පරිදි ජනයා අතර ප්‍රකට වූ සප්ත ව්‍රත පද ධර්‍මය දෙසමි. එයින් ඔහු ‘අප විසින් වාසව (ශක්‍ර) තෙම දක්නා ලදැ’ යි කියාත් සතුටු වෙත්.
Pali BJTයදා ච බුද්ධමද්දක්ඛිං විචිකිච්ඡාවිතාරණං, සො’ම්හි වීතභයො අජ්ජ සම්බුද්ධං පයිරුපාසිය{2}
Sinhala BJTවැලි යම් කලෙක සැක දුරු කරන බුදුරජුන් දුටුයෙම් ද, ඒ අද ඒ සම්බුදු රජුන් ඇසුරු කොට ඒ මම් පහ වූ බිය ඇත්තෙකිම් වෙමි.
Pali BJTතණ්හාසල්ලස්ස හන්තාරං බුද්ධමප්පටිපුග්ගලං අහං වන්දෙ මහාවීරං බුද්ධමාදිච්චබන්ධුනං{3}
Sinhala BJTතෘෂ්ණා නැමැතිහුල නසාලූ, සම පුඟුලක්හු නැති, බුදුරජුන් මම් වඳිමි. මහාවීර වූ සූර්‍ය්‍යබන්‍ධූන් වහන්සේ වඳිමි.
Pali BJTයං කරොමසි{4} බ්රහ්මුනො සමං දෙවෙහි මාරිස, තදජ්ජ තුය්හං කස්සාම හන්ද සාමං කරොම තෙ.
Sinhala BJTපෙරැ දෙවියන් සමඟ බඹහට යම් නමස්කාරයක් කළමෝ ද, නිදුකාණන් වහන්ස, අද ඔබට ඒ නමස්කාරය කරන්නමු. දැන් ඔබට පිණිපා කරම්හ.
Pali BJTත්වමෙව අසි සම්බුද්ධො තුවං සත්ථා අනුත්තරො, සදෙවකස්මිං ලොකස්මිං නත්ථි තෙ පටිපුග්ගලො”ති.
Sinhala BJT‘ඔබ ම සම්බුදුහු වෙති, ඔබ ම නිරුත්තර ශාස්තෘහු වෙති. දෙවියන් සහිත ලොවැ ඔබට සම පුඟුලෙක් නැත.”
Pali BJT26. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බපුත්තං ආමන්තෙසි. බහූපකාරො ඛො මෙ’සි ත්වං තාත පඤ්චසිඛං යං ත්වං භගවන්තං පඨමං පසාදෙසි. තයා තාත පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමිම්හ අරහන්තං සම්මාසම්බුද්ධං. පෙත්තිකෙ ච ඨානෙ ඨපයිස්සාමි, ගන්ධබ්බරාජා භවිස්සසි, භද්දඤ්ච තෙ සුරියවච්ඡසං දම්මි, සා හි තෙ අභිපත්ථිතා”ති.
Sinhala BJT26. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳෙවු පුතු බණවා ‘දරුව පන්සිළු, පළමු කොට තෝ භාග්‍යවතුන් වහන්සේ පැහැදැවූයෙහි (සිත් ගත්තෙහි) ය. ඒ තෝ මට බොහෝ උපකාරී වූයෙහි ය. දරුව, පළමු කොට තා විසින් පහදවන ලද අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නට පසු වැ අපි එළඹුණම්හ. තා (අද සිට) පිය තනතුරෙහි තබන්නෙමි. තෝ අද සිට ගන්‍ධර්‍වයනට රජ වන්නෙහි ය. හිරුහු සේ බබලන භද්‍රා දෙවඟන තට දෙමි. තා විසින් ඕ වෙසෙසින් පතන ලද්දී යැ” යි කී ය.
Pali BJTඅථ ඛො සක්කො දෙවානමින්දො පාණිනා පඨවිං පරාමසිත්වා තික්ඛත්තුං උදානං උදානෙසි: “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස, නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සා”ති.
Sinhala BJTඉක්බිති සක් දෙවිඳු අත්ලෙන් පොළොව ස්පර්‍ශ කොට “ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා, ඒ භගවත් අර්‍හත් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේ වා, ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා” යි තුන් වරක් උදන් ඇනී ය.
Pali BJTඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ සක්කස්ස දෙවානමින්දස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං සබ්බන්තං නිරොධධම්මන්ති.” අඤ්ඤෙසඤ්ච අසීතියා දෙවතාසහස්සානං.
Sinhala BJTමේ නිර්‍ගාථක සූත්‍රය වදාරනුලබන කල්හි සක් දෙවිඳු ට ද අන් අසූ දහසක් දෙවියනට ද ‘යමක් උපදනා සුලු ද ඒ සියල්ල නැසෙන සුලු යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස (සෝවාන් මඟ නුවණ) පහළ විය.
Pali BJTඉති යෙ සක්කෙන දෙවානමින්දෙන අජ්ඣිට්ඨපඤ්හා පුට්ඨා, තෙ භගවතා බ්යාකතා. තස්මා ඉමස්ස වෙය්යාකරණස්ස සක්කපඤ්හා’ත්වෙව අධිවචනන්ති.
Sinhala BJTමෙසේ සක් දෙවිඳු විසින් පතන ලද විචාරන ලද යම් ප්‍රශ්න කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් විසින් විසඳන ලදුහ. එහෙයින් මේ නිර්‍ගාථක සූත්‍රයට සක්කපඤ්හ (ශක්‍රප්‍රශ්න) යැ යි ම නමෙක් වෙයි.
Pali BJTසක්කපඤ්හසුත්තං නිට්ඨිතං අට්ඨමං.
Sinhala BJTඅටවන සක්කපඤ්හ සූත්‍රය නිමියේ ය.
Pali BJT9.
Sinhala BJT9.
Pali BJTමහාසතිපට්ඨානසුත්තං
Sinhala BJTමහා සතිපට්ඨාන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං: එකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං භගවා එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද එහි වැඩ වෙසෙන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි මහණුන් ඇමැතූ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ම එ මහණහු ඔබට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මේ (මතු දැක්වෙන) දහම වදාළ සේක:
Pali BJT2. එකායනො අයං භික්ඛවෙ මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථඞ්ගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං,
Sinhala BJT2. “මහණෙනි, සතර සීවටන් (සතිපට්ඨාන) නම් වූ යම් දහමෙක් ඇද්ද, මෙය සත්‍වයන්ගේ පිරිසිදුව පිණිස ද, සෝවලප් ඉක්මෙනු පිණිස ද, දුක්දොම්නසුන් දුරුවනු පිණිස ද, අරී අටැඟි මඟට පැමිණෙනු පිණිස ද, නිවන් පසක් කරනු පිණිස ද එක් මැ මඟ වෙයි. ඒ කවර සීවටන් කෙනෙක් ද? යත්: මහණෙනි, මෙ සස්නැ මහණ තෙමෙ කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණ ඇති ව, එළැඹැ සිටි සිහි ඇති වැ, ලොව (සිරුර) කෙරෙහි අභිධ්‍යාව (කාමච්ඡන්‍දය) ද, දොම්නස (ව්‍යාපාදය) ද, (සෙසු නීවරණ ද) (තදඞ්ග වශයෙන් ද විෂ්කම්භණ වශයෙන් ද) සන්හිඳුවා කයෙහි කායානුපස්සී වැ (කරජ කය අනිත්‍යාදි වශයෙන් නොයෙක් අයුරින් පුන පුනා බලනුයේ) වෙසෙයි.