Pali BJTපුථූ සීහා’ව සල්ලීනා ලොමහංසාභිසම්භුනො, ඔදාතමනසා සුද්ධා විප්පසන්නා මනාවිලා.{5}
Sinhala BJTලොමුදහ ගැනුම් මැඩැලූ, පිරිසිදු සිතැති, නො කිලිටි වූ, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු ඒ රහත්හු විවික්ත වූ බොහෝ සිංහයන් සේ ගිරි ගුහා ඇසුරු කළාහු වෙත්.”
Pali BJTභිය්යො පඤ්චසතෙ ඤත්වා වනෙ කාපිලවත්ථවෙ, තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ.
Sinhala BJTකිඹුල්වත් පුර අසල වෙනෙහි දී ශාස්තෘහු සස්නැ ඇලුණු පන්සියකට වැඩි සව්වන් දැන, ඉක්බිති ඔවුන් අමතා,
Pali BJTදෙවකායා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො. තෙ ච ආතප්පමකරුං සුත්වා බුද්ධස්ස සාසනං.
Sinhala BJT‘මහණෙනි, දේව සමූහයෝ පැමිණියාහ. ඔවුන් දිවැස් නුවණින් දනිවු’ යි වදාළහ. ඔහු ද බුදුරජුන්ගේ හස්න අසා දිවැස උපදවනුවට වැර වැඩූහ.
Pali BJTතෙසං පාතුරහු ඤාණං අමනුස්සානදස්සනං, අප්පෙකෙ සතමද්දක්ඛුං සහස්සං අථ සත්තරිං.
Sinhala BJTවහා ම ඔවුනට අමනුෂ්‍යයන් දක්නා නුවණ පහළ විය. ඇතැම් මහණ කෙනෙක් අමනුෂ්‍යයන් සියයක් දුටුහු, ඇතැම් මහණ කෙනෙක් දහසක් අමනුෂ්‍යයන් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් සැත්තෑදහසක් දුටුහු.
Pali BJTසතං එකෙ සහස්සානං අමනුස්සානමද්දසුං, අප්පෙකෙ’නන්තමද්දක්ඛුං දිසා සබ්බා ඵුටා අහු.{1}
Sinhala BJTඇතැම් මහණ කෙනෙක් සියදහසක් දුටුහු. ඇතැම් මහණ කෙනෙක් අනන්ත දෙව් බඹුන් දුටුහු. සියලු දිශාවෝ දෙව්බඹුන් ගෙන් පැතිරගත්තෝ වූහ.
Pali BJT5. තඤ්ච සබ්බං අභිඤ්ඤාය වවත්ථිත්වාන{2} චක්ඛුමා, තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ.
Sinhala BJT5. පසැස් ඇති ශාස්තෲන්වහන්සේ ඒ සියල්ල වෙසෙසි නුවණින් දැනැ වෙන් කොට දැක ඉක්බිති සස්නැ ඇලුණු ඒ සිය සව්වන් බණවා,
Pali BJT“දෙවකායා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො, යෙ වො’හං කිත්තයිස්සාමි ගිරාහි අනුපුබ්බසො.
Sinhala BJT“මහණෙනි, දෙව්මුළුවෝ එළැඹියාහ. වචනවලින් පිළිවෙළින් ඒ යම් දෙවිකෙනෙකු හෙළි කරන්නෙම් ද ඔවුන් දැන ගනිවු” යැ යි වදාළ සේක.
Pali BJTසත්තසහස්සා තෙ යක්ඛා භුම්මා කාපිලවත්ථවා, ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො. මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං,
Sinhala BJT“කිඹුල්වත්පුර වැසි, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සත්දහසක් බූමාටු දෙවියෝ සතුටු වන්නාහු, රහත් මහණ මුළුව දක්නට වනය කරා එළැඹියාහ.
Pali BJTඡ සහස්සා හෙමවතා යක්ඛා නානත්තවණ්ණිනො. ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTහිමවත් වැසි, නන්වැදෑරුම් පැහැ සපු ඇති, ඉදුමත්, බබළන පැහැපත්, යශස් ඇති සදහසෙක් දෙවියෝ සතුටු වන්නාහු ඒ රහත් මහණ දක්නට වනය කරා එළැඹියාහ.
Pali BJT6. සාතාගිරා තිසහස්සා යක්ඛා නානත්තවණ්ණිනො ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං
Sinhala BJT6. සාතගිරි පර්‍වතවාසී, නන්වැදෑරුම් පැහැසපුව ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යසස් ඇති තුන්දහසෙක් දෙවියෝ සතුටු වෙමින් භික්‍ෂූ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.
Pali BJTඉච්චෙතෙ සොළසසහස්සා යක්ඛා නානත්තවණ්ණිනො ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTමෙසේ නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති සොළොස් දහසෙක් දෙවියෝ සතුටු වෙමින් රහත් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
Pali BJTවෙස්සාමිත්තා පඤ්චසතා යක්ඛා නානත්තවණ්ණිනො, ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං
Sinhala BJTවිශ්වාමිත්‍රපර්‍වතවාසී, නන්වැදෑරුම් පැහැසපු ඇති, ඉදුමත්, පැහැපත්, යසස් ඇති පන්සියයෙක් දෙවියෝ සතුටු වෙමින් ඒ රහත් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
Pali BJTකුම්භීරො රාජගහිකො වෙපුල්ලස්ස නිවෙසනං{a} භිය්යො නං සතසහස්සං යක්ඛානං පයිරුපාසති කුම්භීරො රාජගහිකො සොපාග සමිතිං වනං.
Sinhala BJTරජගහ නුවර වැසි කුම්භීර නම් යක් සෙනෙවියෙක් වෙයි. විපුලගිරි පව්ව ඔහු වසන තැන ය. සිය දහසකටත් වැඩි යක්කු ඔහු ඇසුරු කෙරෙත්. රජගහවැසි ඒ කුම්භීර තෙමේ ද භික්‍ෂූ සමාගමය දක්නට වනයට පැමිණි යේ ය.
Pali BJT7. පුරිමඤ්ච දිසං රාජා ධතරට්ඨො පසාසති.{b} ගන්ධබ්බානං ආධිපති මහාරාජා යසස්සි සො.
Sinhala BJT7. පෙර දිගට රජ වූ දහරට් (ධෘතරාෂ්ට්‍ර) තෙම එ දෙස පාලනය කරයි. ගන්‍ධර්‍වයනට අධිපති යශස් ඇති ඒ (වරම්) මහරජ ද
Pali BJTපුත්තාපි තස්ස බහවො ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTමහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඉන්‍ද්‍ර යන නම ඇති බොහෝ වූ ඔහු පුත්තු ද සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා එළැඹියාහ.
Pali BJTදක්ඛිණඤ්ච දිසං රාජා විරූළ්හො තං පසාසති කුම්භණ්ඩානං අධිපති මහාරාජා යසස්සි සො.
Sinhala BJTවිරුළු (විරූඪක) වරම් රජ ඒ දකුණු දෙස පාලනය කෙරෙයි. කුම්භාණ්ඩයනට අධිපති වූ ඒ යශස්වී මහරජ ද,
Pali BJTපුත්තාපි තස්ස බහවො ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTමහත් බල ඇති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්‍ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
Pali BJTපච්ඡිමඤ්ච දිසං රාජා විරූපක්ඛො පසාසති නාගාණඤ්ච අධිපති මහාරාජා යසස්සි සො.
Sinhala BJTවිරූඇසි (විරූපාක්‍ෂ) වරම් රජ ඒ පැසිම් දෙස පාලනය කෙරෙයි. නාගයනට අධිපති වූ යශස්වී වූ ඒ වරම් මහරජ ද,
Pali BJTපුත්තාපි තස්ස බහවො ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTමහ බලැති, ඉදුමත්, බබළන, පැහැපත්, යශස් ඇති ඔහුගේ ඉන්‍ද්‍ර නම් වූ බොහෝ පුත්තු ද, සතුටු වන්නාහු භික්‍ෂූසමාගමය දක්නට වනයට එළැඹියාහ.
Pali BJTඋත්තරඤ්ච දිසං රාජා කුවෙරො තං පසාසති යක්ඛානඤ්ච අධිපති මහාරාජා යසස්සිසො.
Sinhala BJTවෙසවුණු (කුවේර) වරම් රජ ඒ උතුරු දිග පාලනය කෙරෙයි. යක්‍ෂයනට අධිපති වූ යශස්වී වූ ඒ මහරජු ද
Pali BJTපුත්තාපි තස්ස බහවො ඉන්දනාමා මහබ්බලා ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTඉන්‍ද්‍ර යන නමැති මහ බලැති, ඉදුමත්, ද්‍යුතිමත්, වර්‍ණවත්, යශස්වී වූ ඔහුගේ බොහෝ පුත්තු ද සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
Pali BJT8. පුරිමං දිසං ධතරට්ඨො දක්ඛිණෙන විරූළ්හකො පච්ඡිමෙන විරූපක්ඛො කුවෙරො උත්තරං දිසං. චත්තාරො තෙ මහාරාජා සමන්තා චතුරො දිසා දදල්ලමානා අට්ඨංසු වනෙ කාපිලවත්ථවෙ.
Sinhala BJT8. ධෘතරාෂ්ට්‍ර වරම් රජ පෙර දිග ද, විරූඪක වරම් රජ දකුණු දිග ද, විරූපාක්‍ෂ වරම් රජ පැසිම් දිග ද, කුවේර වරම් රජ උතුරු දිග දැ යි ඒ සතර වරම් මහරජුහු කිඹුල්වත් පුර වනයෙහි හාත්පසැ අතිසයින් බබළමින් සිටියාහ.
Pali BJT9. තෙසං මායාවිනො දාසා ආගුං වඤ්චනිකා සඨා මායා කුටෙණ්ඩු වෙටෙණ්ඩු විටුච්ච විටුඩො සහ
Sinhala BJT9. ඔවුන්ගේ මායාවී වූ වංචනික වූ ශඨ වූ කපට වූ කුටෙණ්ඩු, වේටෙණ්ඩු, විටු, විටුඩ යන දාසයෝ ද,
Pali BJTචන්දනො කාමසෙට්ඨා ච කින්නිඝණ්ඩු නිඝණ්ඩු ච, පනාදො ඔපමඤ්ඤො ච දෙවසූතො ච මාතලි. චිත්තසෙනො ච ගන්ධබ්බො නළො රාජා ජනෙසභො{1}
Sinhala BJTචන්‍දන, කාමසෙට්ඨ, කින්නිඝණ්ඩු, නිඝණ්ඩු, පනාද, ඕපමඤ්ඤ, දෙව්රියැදුරු මාතලී යන දෙවියෝද, චිත්‍ර, සේන, චිත්‍රසේන යන ගඳැවු තිදෙනා ද, නළ නම් දෙව්රජ ද, ජනවසභ දෙව්පුත් ද,
Pali BJTආගුං පඤ්චසිඛො චෙව තිම්බරු සුරියවච්චසා එතෙ චඤ්ඤෙ ච රාජානො ගන්ධබ්බා සහ රාජූහි, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTපන්සිළු දෙව්පුත් ද, තිම්බරූ නම් ගඳැවූ රජ ද, සුරියවච්චසා දෙව්දූ ද යන මේ සියල්ලෝ ද, අන් ගඳැවු රජුහු ද සතුටු වන්නාහු සිය රජුන් සමඟ භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
Pali BJTඅථාගුං{1} නාභසා නාගා වෙසාලා සහ තච්ඡකා කම්බලස්සතරා ආගුං{2} පායාගා සහ ඤාතිහි.
Sinhala BJTතව ද ආකාශස්ථ නාගයෝ ද, විසාලා නාගපුර වැසි නාගයෝ තක්‍ෂක නම් නාගයන් කැටුව ආහ. කම්බල අස්සතර යන කුල දෙකේ නාගයෝ ද ප්‍රයාගවාසී නාගයෝ ද නෑයන් කැටුව ආහ.
Pali BJTයාමුනා ධතරට්ඨො ච ආගුං{3} නාගා යසස්සිනො එරාවණො මහානාගො සොපාග සමිතිං වනං
Sinhala BJTයශස් ඇති, යමුනානදි වසන නාගයෝ ද, ධෘතරාෂ්ට්‍ර කුලයට අයත් නාගයෝ ද, ඓරාවන නම් ඒ මහානාගයා ද භික්‍ෂූ සමාගමය දක්නට වනයට පැමිණියාහ.
Pali BJT10. යෙ නාගරාජෙ සහසා හරන්ති දිබ්බා දිජා පක්ඛි විසුද්ධචක්ඛූ, වෙහාසයා{4} තෙ වනමජ්ඣපත්තා චිත්රා සුපණ්ණා ඉති තෙසං නාමානි{5}.
Sinhala BJT10. පිරිසිදු ඇස් ඇති යම් දිව්‍ය ගරුඬ පක්‍ෂි කෙනෙක් නාරජුන් වහා ඩැහැගෙන යෙත් ද, ඔහු අහසින් වනයට පැමිණියාහ. චිත්‍ර ද සුපර්‍ණ ද යනු ඔවුන්ගේ නම් ය.
Pali BJTඅභයං තදා නාගරාජානමාසි සුපණ්ණතො ඛෙමමකාසි බුද්ධො, සණ්හාහි වාචාහි උපව්හයන්තා නාගා සුපණ්ණා සරණමගංසු{6} බුද්ධං.
Sinhala BJTඑ දා නාරජුනට අභය (බිය නැති බව) විය. බුදුරජුහු ගරුඬයන් කෙරෙන් නිරුපද්‍රැත බව කළහ. නාගයෝ ද ගරුඬයෝ ද මොළොක් බසින් උනුන් කැඳවන්නාහු බුදුරජුන් සරණ ගියාහ.
Pali BJT11. ජිතා වජිරහත්ථෙන සමුද්දං අසුරා සිතා භාතරො වාසවස්සෙතෙ ඉද්ධිමන්තො යසස්සිනො.
Sinhala BJT11. විදුරත් (සක්දෙව්) විසින් දිනන ලද, මුහුද ඇසුරු කළ, සක් දෙව් රජුගේ භ්‍රාතෘ වූ, ඉදුමත්, යශස් ඇති අසුරයෝ ද,
Pali BJTකාලකඤ්ඡා මහාභිස්මා{7} අසුරා දානවෙඝසා වෙපචිත්ති සුචිත්තී ච පහාරාදො නමුචි සහ.
Sinhala BJTකාලකංජ දානවේඝස යන නම් ඇති මහ බියකුරු අසුරයෝ ද, වේපචිත්ති සුචිත්ති යන අසුරයෝ ද, පහාරාද (ප්‍රහ්ලාද) නම් අසුර ද නමුචිහු කැටුව ආහ.
Pali BJTසතඤ්ච බලිපුත්තානං සබ්බෙ වෙරොචනාමකා සන්නය්හිත්වා බලිං සෙනං{8} රාහුභද්දමුපාගමුං, ‘සමයො’ දානි භද්දන්තෙ භික්ඛූනං සමිතිං වනං’.
Sinhala BJTහැම දෙනා ම වේරෝච යන නම් ඇති, බලි අසුරයා පුත් සිය දෙනා ද බල සෙන් සන්නද්ධ කොට ගෙන රාහු අසුරිඳු වෙත එළැඹියාහ. ‘ඔබට සෙත් වේ වා’! දැන් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනයට යන්නට කල් පැමිණියේ යැ යි ඔහු සැළ කළාහ.
Pali BJT12. ආපො ච දෙවා පඨවී ච තෙජො වායො තදාගමුං වරුණා වාරුණා{9} දෙවා සොමො ච යසසා සහ. මෙත්තාකරුණාකායිකා ආගුං දෙවා යසස්සිනො
Sinhala BJT12. අබ් දේවතාවෝ ද පෘථිවි දේවතාවෝ ද තේජෝ දේවතාවෝ ද වායු දේවතාවෝ ද එයට ආහ. වරුණ, වාරුණ යන දෙව්හු ද සෝම දෙවියා ද යශස් නම් දෙවියා කැටුව ආහ. යශස් ඇති මෙත්තාකායික කරුණා කායික දෙවියෝ ද ආහ.
Pali BJTදසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො. ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTනන් වැදැරුම් පැහැති දස පරිද්දෙන් වූ ඉදුමත් වූ ද්‍යුතිමත් වූ වර්‍ණවත් වූ යශස්වී වූ දශ දේව සමූහයෝ සතුටු වන්නාහු, භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා දස අයුරෙකින් එළැඹුණාහ.
Pali BJT13. වෙණ්හූ ව දෙවා{10} සහලී ච අස්මා ච දුවෙ යමා චන්දස්සූපනිසා දෙවා චන්දමාගුං පුරක්ඛත්වා.
Sinhala BJT13. විෂ්ණු දේවනිකායයේ දෙවියෝ ද, සහලී නිකායේ දෙවියෝ ද, අසම නම් නිකායේ දෙවියෝ ද යම නම් දේව නිකාය දෙකෙක දෙවියෝ ද ආහ. සඳමඬල නිසා වසන දෙවියෝ (සඳ මඬලට අධිපති) සඳු දෙව්පුතු පෙරටු කොට ආහ.
Pali BJTසුරියස්සූපනිසා{1} දෙවා සුරියමාගුං{2} පුරක්ඛිත්වා නක්ඛත්තානි පුරක්ඛත්වා ආගුං මන්දවලාහකා වසූනං වාසවො සෙට්ඨො සක්කොපාග{3} පුරින්දදො
Sinhala BJTහිරුමඬල නිසා වසන දෙවියෝ (හිරුමඬලට අධිපති) හිරුදෙව් පුතු පෙරටු කොට ගෙන ආහ. නකත් තරු ඇසිරැ වසන දෙවියෝ නකත් තරුනට අධිපති දෙවියන් පෙරටු කොට ගෙන ද ආහ. මන්‍දවලාහක දෙවියෝ ද ආහ. වසු දෙවතාවනට නායක වූ පුරින්‍දද යන අපර නාමධෙයයක් ඇති සක් දෙවිඳු ද ආයේ ය.
Pali BJTදසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTනන් පැහැති ඉදුමත් ද්‍යුතිමත් වර්‍ණවත් යශස්වී වූ දස දේවනිකාය කෙනෙක් සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ ඒ සමාගමය දක්නට දස සැටියෙකින් වනයට ආහ.
Pali BJT14. අථාගුං සහභූ දෙවා ජලමග්ගි සිඛාරිව අරිට්ඨකා ච රොජො ච උම්මාපුප්ඵනිභාසිනො.
Sinhala BJT14. ඉක්බිත් සහභූ නම් දෙවියෝ ගිනිසිළු මෙන් දිලියෙන්නාහු වනයට ආහ. දියබෙරලිය මල් පැහැති අරිට්ඨක නම් දෙවියෝ ද රෝජ නම් දෙවියෝ ද,
Pali BJTවරුණා සහ ධම්මා ච අච්චුතා ච අනෙජකා සූලෙය්ය රුචිරා ආගුං ආගුං වාසවනෙසිනො,
Sinhala BJTවරුණ, ධම්ම, අච්චුත, අනෝජක යන නම් ඇති දෙවියෝ ද ආහ. සූලෙය්‍ය රුචිර යන දෙවියෝ ද ආහ. වාසවනේසි නම් දෙවියෝ ද ආහ.
Pali BJTදසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො, මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTනන් පැහැති ඍද්ධිමත් ද්‍යුතිමත් වර්‍ණවත් යශස්වී වූ මේ දශ දේවසමූහයෝ සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.
Pali BJT15. සමානා මහාසමානා{4} මානුසා මානුසුත්තමා ඛිඩ්ඩාපදූසිකා ආගුං ආගුං මනොපදූසිකා.
Sinhala BJT15. සමාන, මහාසමාන, මානුස, මානුසුත්තම, ඛිඩ්ඩාපදෝසික නම් දෙවියෝ ද ආහ, මනෝපදෝසික නම් දෙවියෝ ද ආහ.
Pali BJTඅථාගුං හරයො දෙවා යෙ ච ලොහිතවාසිනො පාරගා මහාපාරගා ආගුං දෙවා යසස්සිනො.
Sinhala BJTඉක්බිති හරි නම් දෙවියෝ ද ආහ. රතුවත් හඳනා යම් දෙවි කෙනෙක් ඇද් ද, ඔහු ද යශස් ඇති පාරග මහාපාරග නම් වූ දෙවියෝ දැ යි
Pali BJTදසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො. ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTමේ දස දෙව්මුළුහු භික්‍ෂූන්ගේ ඒ සමිතිය දක්නට වනය කරා දස පරිද්දෙකින් ආහ.
Pali BJT16. සුක්කා කරම්හා{5} අරුණා ආගුං වෙඛනසා{6} සහ ඔදාතගය්හා පාමොක්ඛා ආගුං දෙවා විචක්ඛණා.
Sinhala BJT16. සුක්ක කරුම්හ වරුණ යන දෙවියෝ වේඛනස යන දෙවියන් හා ආහ. ඕදාතගය්හ පාමොක්ඛ විචක්ඛණ යන දෙවියෝ ද ආහ.
Pali BJTසදාමත්තා හාරගජා මිස්සකා ච යසස්සිනො ථනයං ආග පජ්ජන්නො{7} යො දිසා අභිවස්සති.
Sinhala BJTයශස් ඇති සදාමත්ත භාරගජ යන නමැති දෙවියෝ ද මිස්සක නම් දෙවියෝ ද ආහ. යමෙක් දිශාවන් තෙමන්නේ ද, ඒ පර්ජන්‍ය දෙවි ද අහස ගුගුරුවමින් ආය.
Pali BJTදසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTනානා වර්‍ණ ඇති ඍද්ධිමත් වූ ද්‍යුතිමත් වූ වර්‍ණවත් වූ යශස්වී වූ මේ සියලු දශ දේව සමූහයෝ සතුටු වන්නාහු භික්‍ෂූන්ගේ සමාගමය දක්නට දස පරිද්දෙන් වනයට ආහ.
Pali BJT17. ඛෙමියා තුසිතා යාමා කට්ඨකා ච යසස්සිනො ලම්බීතකා ලාමසෙට්ඨා ජොතිනාමා ච ආසවා, නිම්මාණරතිනො ආගුං අථාගුං පරනිම්මිතා.
Sinhala BJT17. කීර්තිමත් ඛේමිය නම් දෙවියෝ ද තුසිත යාම කට්ඨක ලම්බිත කාලාම සෙට්ඨ ජෝති ආසව නම් දෙවියෝ ද, නිම්මානරතී නම් දෙවියෝ ද ආහ. ඉක්බිති පරනිම්මිත නම් දෙවියෝ ද ආහ.
Pali BJTදසෙතෙ දසධා කායා සබ්බෙ නානත්තවණ්ණිනො ඉද්ධිමන්තො ජුතිමන්තො වණ්ණවන්තො යසස්සිනො මොදමානා අභික්කාමුං භික්ඛූනං සමිතිං වනං.
Sinhala BJTනන් පැහැති ඍද්ධිමත් ද්‍යුතිමත් වර්‍ණවත් යශස් ඇති මේ දශ දේව නිකායයෝ සතුටු වෙමින් භික්‍ෂූන්ගේ සමාගමය දක්නට දස අයුරින් වනයට එළැඹියාහ.
Pali BJT18. සට්ඨෙතෙ දෙවනිකායා සබ්බෙ නානත්තවණ්ණිනො, නාමන්වයෙන ආගඤ්ඡුං{1} යෙ චඤ්ඤෙ සදිසා සහ.
Sinhala BJT18. නන් පැහැති, මේ සියලු සැටෙක් දේව නිකායයෝ, තව ද තමනට සමාන යම් අන් දෙව් කෙනෙක් ඇද්ද, ඔවුන් ද කැටුවැ නම් පිළිවෙළින් ආහ.
Pali BJTපවුත්ථජාතිමඛිලං{2} ඔඝතිණ්ණමනාසවං, දක්ඛෙමොඝතරං නාගං චන්දංව අසිතාතිගං
Sinhala BJT‘වැසැ නිමැවූ ජාති ඇති, කෙලෙස් හුල් නැති, සතර කෙලෙස් මහ වතුරු තිනූ, ආසව නැති අරී සඟන ද, ඕඝයන් තිනූ, අගතියට නොයන (නොහොත් පව් නැති) අඳුරු පැහැ ඉක්මි සඳුහු වැනි බුදුරජු ද දකුම්හ’ යි ආහ.
Pali BJTසුබ්රහ්මා පරමත්තො{3} ච පුත්තා ඉද්ධිමතො සහ, සනඞ්කුමාරො තිස්සො ච සොපාග සමිතිං වනං.
Sinhala BJTඍද්ධිමත් බුදුරජුගේ (ආර්‍ය්‍ය) ශ්‍රාවක පුත්‍ර වූ සුබ්‍රහ්ම පරමාත්ම යන දෙවිහු ද සනත්කුමාර බඹහු හා ආහ. ඒ තිස්ස නම් බ්‍රහ්ම ද භික්‍ෂූන්ගේ සමාගමයට වනයට ආ ය.
Pali BJTසහස්සං බ්රහ්මලොකානං මහාබ්රහ්මාභිතිට්ඨති, උපපන්නො ජුතිමන්තො භිස්මාකායො යසස්සි සො.
Sinhala BJTමහබඹ තෙම බඹලෝ දහසක් අභිභවා සිටී. බඹලොවැ උපන්, ද්‍යුතිමත් බිහිසුණු මහකයක් ඇති, කීර්තිමත් හෙ තෙමේ ද ආයේ ය.
Pali BJTදසෙත්ථ ඉස්සරා ආගුං පච්චෙකවසවත්තිනො, තෙසඤ්ච මජ්ඣතො ආග හාරිතො පරිවාරිතො.
Sinhala BJTවෙන් වෙන්වැ තම පිරිස් සිය වශයෙහි පවත්වන, ඊශ්වර වූ බඹහු දස දෙනෙක් ද මෙහි ආහ. ඔවුන් මැදින් බඹ පිරිස විසින් පිරිවැරුණු හාරිත නම් බ්‍රහ්ම තෙම ආයේ ය.
Pali BJT19. තෙ ච සබ්බෙ අභික්කන්තෙ සඉන්දෙ{4} දෙවෙ සබ්රහ්මකෙ, මාරසෙනා අභික්කාමුං{5} පස්ස කණ්හස්ස මන්දියං
Sinhala BJT19. එළැඹැ සිටි ඉන්‍ද්‍රයා සහිත බ්‍රහ්මයා සහිත ඒ සියලු දෙවියන් කරා මරසෙන්හු පැමිණියාහ. බලව මරහුගේ මුළා වෙක සැටි!
Pali BJT‘එථ ගණ්හථ බන්ධථ රාගෙන බන්ධමත්ථු වො, සමන්තා පරිවාරෙථ මා වො මුඤ්චිත්ථ කොචි නං’.
Sinhala BJT“එවු, ගනිවු, බඳිවු, මොහු හැම රාගයෙන් බඳනා ලදුවෝ ම වෙත් වා. හාත්පසින් පිරිවරවු (වටා මුර කොට සිටිවු). තෙපි ඒ කිසිවකු දු නො මුදවු.”
Pali BJTඉති තත්ථ මහාසෙනො කණ්හසෙනං අපෙසයි, පාණිනා ථලමාහච්ච සරං කත්වාන භෙරවං.
Sinhala BJTමෙසේ බිහිසුණු හඬ කොට, අත්ලෙන් පොළොව පැහැරැ මහසෙන් (මරදෙව්පුත්) තෙම මරසෙන් එහි යැවී ය.
Pali BJT20. යථා පාවුස්සකො මෙඝො ථනයන්තො සවිජ්ජුකො. තදා සො පච්චුදාවත්ති සඞ්කුද්ධො අසයංවසී.
Sinhala BJT20. යම් සේ වැසි සමයෙහි වසින මේඝය ගර්‍ජනා කරනුයේ විදුලිය සහිත වනුයේ ද, එසේ ම එදා ඒ මරදෙව් පුත් ඒ දෙව්පිරිස තමා වශයෙහි පැවැත්විය නුහුණුයේ, ඉතා කිපියේ, පෙරැළා නැඟී ගියේ ය.
Pali BJTතඤ්ච සබ්බං අභිඤ්ඤාය වවත්ථිත්වාන චක්ඛුමා තතො ආමන්තයී සත්ථා සාවකෙ සාසනෙ රතෙ මාරසෙනා අභික්කන්තා තෙ විජානාථ භික්ඛවො.
Sinhala BJTපසැස් ඇති ශාස්තෘන් වහන්සේ ඒ සියල්ල දැන, වෙසෙසා දැක, ඉක්බිති සස්නැ ඇලුණු ඒ සව්වන් බණවා, “මහණෙනි, මරසෙන්හු ආහ. ඔවුන් දැනැගනිවු” යි වදාළ සේක.
Pali BJTතෙච ආතප්පමකරුං සුත්වා බුද්ධස්ස සාසනං වීතරාගෙහපක්කාමුං නෙසං ලොමම්පි ඉඤ්ජයුං
Sinhala BJTඔහු ද බුදුරජුන්ගේ අනුශාසනය අසා වැර වැඩූහ. පහ වූ රාග ඇති ඒ භික්‍ෂූන් කෙරෙන් මරසෙන්හු ඉවත් ව ගියහ. ඒ රහතුන්ගේ ලෝමයකුදු සොලවනු නො හැකි වූහ.
Pali BJTසබ්බෙ විජිතසඞ්ගාමා භයාතීතා යසස්සිනො මොදන්ති සහ භූතෙහි සාවකා තෙ ජනෙසුතා”ති.
Sinhala BJTජනයා කෙරෙහි ප්‍රකට වූ ඒ සියලු බුදු සව්වෝ දිනූ මර යුද ඇතියාහු, බිය ඉක්මියාහු, එහෙයින් ම කීර්තිමත් වූවාහු, අරිසව්වන් හා සතුටු වෙත්.
Pali BJTමහාසමයසුත්තං සමත්තං.
Sinhala BJTසත්වැනි මහාසමය සූත්‍රය නිමියේ ය.
Pali BJT8.
Sinhala BJT8.
Pali BJTසක්කපඤ්හසුත්තං
Sinhala BJTසක්කපඤ්හ සූත්‍රය
Pali BJTඑවං මෙ සුතං එකං සමයං භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. තෙන ඛො පන සමයෙන සක්කස්ස දෙවානමින්දස්ස උස්සුක්කං උදපාදි භගවන්තං දස්සනාය. අථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරති අරහං සම්මාසම්බුද්ධොති. අද්දසා ඛො සක්කො දෙවානමින්දො භගවන්තං මගධෙසු විහරන්තං, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. දිස්වාන දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි: අයං මාරිසා භගවා මගධෙසු විහරති පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්රාහ්මණගාමො තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන මාරිසා මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති. එවං භද්දන්තවාති ඛො දෙවා තාවතිංසා සක්කස්ස දෙවානමින්දස්ස පච්චස්සොසුං.
Sinhala BJTමා විසින් මෙසේ අසන ලදි: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද රටෙහි, රජගහ පුරයට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියත නම් පව්වෙහි ඉඳුසලු ලෙනැ වැඩ වෙසෙති. එ සමයෙහි සක් දෙවිඳුට භගවත් බුදුරජු දක්නට උත්සුක බවෙක් උපන. එ කල්හි ඔහුට ‘අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දන් කොහි වැඩ වසන සේක් දෝ?’ යි මේ සිත විය. සක් දෙවිඳු මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණුගමෙක් වී ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ භගවත් බුදුරජුන් වැඩ වසන්නවුන් දුටුයේ ම ය. දැක, තවුතිසා වැසි දෙවියන් බණවා, “නිදුකාණනි, මේ භාග්‍යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගින් අඹසඬ නම් යම් බමුණුගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක නම් පව්වෙහි ඉඳුසල් ලෙනෙහි වැඩ වසන සේක. නිදුකාණනි, ඉදින් අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නට එළඹෙන්නමෝ නම් ඒ ඉතා යෙහෙකැ” යි මෙ බස් පැවැසී ය. ‘එසේ ය පින්වතුන් වහන්සැ’ යි ම තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට පිළිවදන් දුන්හ.
Pali BJT2. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං{1} ආමන්තෙසි: අයංතාත පඤ්චසිඛ භගවා මගධෙසු විහරති, පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ ඉන්දසාලගුහායං. යදි පන තාත පඤ්චසිඛ මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති”. “එවං භද්දන්තවා’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුං වීණං ආදාය සක්කස්ස දෙවානමින්දස්ස දනුචරියං උපාගමි. අථ ඛො සක්කො දෙවානමින්දො දෙවෙහි තාවතිංසෙහි පරිවුතො පඤ්චසිඛෙන ගන්ධබ්බදෙවපුත්තෙන පුරක්ඛතො. සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙව දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො මගධෙසු පාචීනතො රාජගහස්ස අම්බසණ්ඩා නාම බ්රාහ්මණගාමො, තස්සුත්තරතො වෙදියකෙ පබ්බතෙ පච්චුට්ඨාසි.
Sinhala BJT2. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු පුතු බණවා, ‘දරුව පන්සිළු, මේ භාග්‍යවතුන් වහන්සේ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ අඹසඬ නම් යම් බමුණු ගමෙක් ඇද්ද, එයට උතුරු දිගැ වේදියක පව්වෙහි ඉඳුසල් ලෙනැ වැඩ වසන සේක. දරුව පන්සිළුව, අපි ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස ඔබ වෙත එළඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ’ යි කී ය. ‘එසේ ය, ඔබට වැඩෙක් වේවා’ යි පන්සිළු ගඳෙවු දෙව්පුත් තෙම සක් දෙවිඳුට පිළිවදන් දී බේළුවපාණ්ඩු වීණාව ගෙන සක් දෙවිඳු අනුව යන බවට වන (අනුව යන්නට නික්මිණ.) ඉක්බිති සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවැරුණේ පන්සිළු ගඳෙවු දෙව්පුතු විසින් පෙරටු කරන ලදුයේ බල ඇති මිනිසක්හු වක් කළ අතක් දික් කරන සේ ම දික් කළ අතක් හෝ වක් කරන සේ ම (කෙණෙන්) තව්තිසා දෙව් ලොවින් අතුරු දන් වැ මගද රටැ රජගහ නුවරට පෙර දිගැ පිහිටි අඹසඬ බමුණු ගමට උතුරු දිගැ වේදියක පව්වෙහි පහළ විය.
Pali BJT3. තෙන ඛො පන සමයෙන වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො හොති අම්බසණ්ඩා ච බ්රාහ්මණගාමො, යථා තං දෙවානං දෙවානුභාවෙන. අපිස්සුදං පරිතො ගාමෙසු මනුස්සා එවමාහංසු: ආදිත්තස්සු නාමජ්ජ වෙදියකො පබ්බතො ඣායතිස්සු{1} නාමජ්ජ වෙදියකො පබ්බතො, ජලතිස්සු{2} නාමජ්ජ වෙදියකො පබ්බතො, කිංසු නාමජ්ජ වෙදියකො පබ්බතො අතිරිව ඔභාසජාතො අම්බසණ්ඩා ච බ්රාහ්මණගාමො”ති සංවිග්ගා ලොමහට්ඨජාතා අහෙසුං.
Sinhala BJT3. එ සමයෙහි වනාහි දෙවියන්ගේ දෙව් තෙදින් සෙයින් වේදියක පව්ව ද අඹසඬු බමුණුගම ද ඉතා ම බැබැලුණේ විය. ඒ කොතරම් මහත් වැ බැබැලුණේ ද යත හොත්: අවට ගම්හි මිනිස්සු “අද වේදියක පව්ව ගිනි ඇවිලගත්තේ වන, අද වේදියක පව්ව දැවෙන්නේ වන. අද වේදියක පව්ව දල්වෙනුයේ වන, අඹසඬු නියම්ගම ද ඉතා ම එකලු වැ ඇතැ’ යි සතුටු සොම්නස් වැ පිපී ගිය ලොම් ඇත්තෝ වූහ.
Pali BJTඅථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං ආමන්තෙසි: දුරුපසඞ්කමා ඛො තාත පඤ්චසිඛ තථාගතා මාදිසෙන, ඣායී ඣානරතා, තදන්තරපටිසල්ලීනා{3}. යදි පන ත්වං තාත පඤ්චසිඛ භගවන්තං පඨමං පසාදෙය්යාසි, තයා තාත පඨමං පසාදිතං පච්ඡා මයං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යාම අරහන්තං සම්මාසම්බුද්ධන්ති.” “එවං භද්දන්තවා”ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා බෙලුවපණ්ඩුවීණං{4} ආදාය යෙන ඉන්දසාලගුහා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එත්තාවතා මෙ භගවා නෙව අතිදූරෙ භවිස්සති න අච්චාසනෙන සද්දඤ්ච මෙ සොස්සතී’ති එකමන්තං අට්ඨාසි එකමන්තං ඨිතො ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙව පුත්තො බෙලුවපණ්ඩුවීණං අස්සාවෙසි. ඉමා ච ගාථා අභාසි බුද්ධුපසංහිතා ධම්මුපසංහිතා සඞ්ඝුපසංහිතා අරහන්තුපසංහිතා කාමූපසංහිතා:
Sinhala BJTඑක ලැ සක්දෙවිඳු ගඳෙවු දෙව්පුත් පන්සිළුහු බණවා, “දරුව පන්සිළු, දහන් කරන, දහන්හි ඇලුණු, මේ දැන් චිත්තවිවේකයෙහි යෙදුණු තථාගතයන් කරා මා වැන්නක්හු විසින් දුක සේ එළැඹිය යුතු ද! දරුව පන්සිළු, ඉදින් තෝ පළමු කොට භාග්‍යවතුන් වහන්සේගේ සිත් ගත්තෙහි වී නම්, දරුව, පළමු කොට තා විසින් පහදවා ගන්නා ලද සිතැති ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ දක්නට පසු වැ අපි එළැඹෙන්නම් හ’ යි කී ය. පන්සිළු ගඳෙවු දෙව්පුත් ‘එසේ යැ, ඔබට වැඩෙක් වේව’ යි සක් දෙවිඳු කී බස පිළිගෙන, බේළුවපාණ්ඩු වීණාව ගෙනැ, ඉඳු සලු ලෙන කරා එළඹියේ ය, එළැඹ, ‘මෙතෙකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුර ද නො වන්නේ ය, ඉතා ළං ද නො වන්නේ ය, මගේ කටහඬ ද ඔබ අසන්නාහ’ යි සිතා, එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම බේළුව පාණ්ඩු වීණාව හැඬැවී ය. බුදුරජුන් පිළිබඳ වූ ද දහම පිළිබඳ වූ ද රහතුන් පිළිබඳ වූ ද කාමගුණ හා පිළිබඳ වූ ද මේ ගාථා ගැයි ය:
Pali BJT4. වන්දෙ තෙ පිතරං භද්දෙ තිම්බරුං සුරියවච්චසෙ, යෙන ජාතා’සි කල්යාණී ආනන්දජනනී මම.
Sinhala BJT4. ගාථාවල අදහස : “ළහිරුරස් බඳු සිරුර කැලුම් ඇති, හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණ කොට ගෙන උපන්නෙහි ද, තීගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි. ‘ළහිරු රස් සෙයින් නැඟෙන සිරුරු කැලුම් ඇත්තිය, හොබනා අඟපසඟ ඇත්තිය, මට සතුට දෙනුවිය, සොඳුර, යමක්හු කරණ කොට ගෙන තෝ උපන්නෙහි ද, තීගේ පිය වූ තිම්බරු නම් ගඳෙවු රජුහු වඳිමි.
Pali BJTවාතො’ව සෙදතං{5} කන්තො පානීයං’ව පිපාසතො, අඞ්ගීරසී පියාමෙ’සි ධම්මො අරහතාමිව.
Sinhala BJTසොසුලුවනට සුළඟ සේද, පැවැසියනට පැන් සේද, රහත්නට දහම් සේ ද තෝ මට ප්‍රියයෙහි ය.
Pali BJTආතුරස්සෙව භෙසජ්ජං, භොජනං’ව ජිඝච්ඡතො, පරිනිබ්බාපය මං භද්දෙ ජලන්තමිව වාරිනා.
Sinhala BJTගිලන්හට බෙහෙද සේ ද, සා ඇතියනට බොජුන් සේ ද තෝ මට ප්‍රියයෙහි ය. සොඳුර, ඇවිලෙන ගින්න දියෙන් සේ (තී නිසා උපන් කාමරාග දැවිල්ලෙන් තැවුණු) මා නිවව.
Pali BJTසීතොදකං{1} පොක්ඛරණිං යුත්ත{2} කිඤ්ජක්ඛරෙණුනා, නාගො ඝම්මාභිතත්තොව ඔගාහෙ තෙ ථනූදරං.
Sinhala BJTගිම් තැවුලෙන් බෙහෙවින් තැවුණු ඇතක්හු පියුම් කෙසුරුයෙන් යුත් සිහිල් දිය ඇති පොකුණකට බස්නහු සෙයින් (කවර දා) මම් ති ගේ තනබඩ තුරට බස්නෙම් දෝ!
Pali BJTඅච්චඞ්කුසොව නාගො’ව ජිතම්මෙ තුත්තතොමරං, කාරණං නප්පජානාමි සම්මත්තො ලක්ඛණූරුයා.
Sinhala BJTඅකුස ඉක්මි (අකුසින් මැඩැලිය නො හෙන) ඇතක්හු ‘කම්මුල විදුනා කටුවත් පා විදුනා කටුවත් මා විසින් දිනන ලදැ’ යි මදයෙන් මත් බැවින් කරුණු නො දන්නා සේ, තී ගේ ලක්‍ෂණ සම්පන්න ඌරු යුගලයෙන් මත් වූ මම් රාගය දුරැ ලන්නට කිසි දු කරුණක් නො දනිමි.
Pali BJTතයි ගෙධිතචිත්තො’ස්මි චිත්තං විපරිණාමිතං, පටිගන්තුං න සක්කොමි වඞ්කඝස්තො’ව අම්බුජො.
Sinhala BJTතී කෙරෙහි ගිජු වූ සිතැත්තෙමි. ම සිත පෙරැළී ගියේ ය. බිලිය ගිල ගත් මසක්හු සෙයින් තී කෙරෙහි බැඳුණු සිත මුදා ගන්නට නො හැක්කෙමි.
Pali BJTවාමූරු සජ මං භද්දෙ සජ මං මන්දලොචනෙ, පලිස්සජ මං කල්යාණි එතම්මෙ අභිපත්ථිතං.
Sinhala BJTමනා ඌරු යුගලයක් ඇති සොඳුර, මා වැලැඳැ ගන්න. මඳ බැල් මෙන් බලන ඇසැත්තිය මා වැලැඳැ ගන්න, කල්‍යණිය, මා හාත්පසින් වැලැඳ ගන්න. මෙය මා වෙසෙසින් පැතූ දෑ ය.
Pali BJTඅප්පකො වත මෙ සන්තො කාමො වෙල්ලිතකෙසියා, අනෙකභාවො{3} සමපාදි{4} අරහන්තෙ’ව දක්ඛිණා.
Sinhala BJTරහතක්හට දුන් මඳ වූ ද දක්‍ෂිණාව මහත් පල දෙන්නා සේ, අක් බඹුරු කෙහෙ ඇති තී කෙරෙහි මට ඇති වූ ස්වල්ප (එක්) කාමුක සිත දන් නොයෙක් බව් ඇත්තේ (මහත් බවට පැමිණියේ) වෙයි.
Pali BJTයම්මෙ අත්ථි කතං පුඤ්ඤං අරහන්තෙසු තාදිසු, තම්මෙ සබ්බඞ්ගකල්යාණි තයා සද්ධිං විපච්චතං.
Sinhala BJTසියලු අවයවයන්හි සොඳුරු බව ඇත්තිය, අට ලෝ දහමින් නො සැලෙන රහතුන් විෂයයෙහි මා කළ යම් පිනෙක් ඇද්ද, එය තී සහිතවූ මට පල දේවා.
Pali BJTයම්මෙ අත්ථි කතං පුඤ්ඤං අස්මිං පඨවිමණ්ඩලෙ; තම්මෙ සබ්බඞ්ගකල්යාණි තයා සද්ධිං විපච්චතං.
Sinhala BJTහැම අවයවයන්හි සොඳුරුබව ඇත්තිය, මේ පොළෝ මඬලැ මා කළ යම් පිනෙක් ඇද්ද, ඒ සියල්ල තී සහිත වූ මට පල දේ වා.
Pali BJTසක්යපුත්තො’ව ඣානෙන එකොදි නිපකො සතො, අමතං මුනි ජිගිංසානො තමහං සුරියවච්චසෙ.
Sinhala BJTසූර්‍ය්‍ය වර්චසාව, සැහැපුත් මුනිහු දහන් වැඩීමෙන් එකඟ සිතැති වැ, ප්‍රඥායෙන් යුක්ත වැ, සිහි ඇති වැ නිවන් සොයා ගියා සේ, මම් තී සොයා යෙමි.
Pali BJTයථාපි මුනි නන්දෙය්ය පත්වා සම්බොධිමුත්තමං එවං නන්දෙය්යං කල්යාණි මිස්සීභාවඞ්ගතො තයා.
Sinhala BJTකල්‍යාණ අඟ පසඟ ඇත්තිය, සැහැමුනිහු උතුම් සම්බෝධිය ලැබ යම් සේ සතුටු වූහු ද, එසේ ම මම තී හා එක්වීම ලැබුයෙම් සතුටු වන්නෙමි.
Pali BJTසක්කො චෙ මෙ වරං දජ්ජා තාවතිංසානමිස්සරො,{a} තාහං භද්දෙ වරෙය්යාහෙ එවං කාමො දළ්හො මම.
Sinhala BJTතවුතිසා වැස්සනට අධිපති සක් දෙවිඳු මට වරයක් දෙන්නේ වී නම්, සොඳුර, දෙ දෙව් ලොව රජයද හැරපියා තී ම පතන්නෙමි. තී කෙරෙහි මා ඇල්ම මේ සා දැඩි ය.
Pali BJTසාලං’ව න චිරං ඵුල්ලං පිතරං තෙ සුමෙධසෙ, වන්දමානො නමස්සා’මි, යස්සාසෙතාදිසී පජා ති.
Sinhala BJTසොඳුරු නුවණැත්තිය, යමකුහට තී සේ වූ දුවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) ති ගේ ඒ පියා වඳිමින් නමදිමි.”
Pali BJT5. එවං වුත්තෙ භගවා පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං එතදවොච: ‘සංසන්දති ඛො තෙ පඤ්චසිඛ තන්තිස්සරො ගීතස්සරෙන ගීතස්සරො ච තන්තිස්සරෙන. න ච පන තෙ පඤ්චසිඛ, තන්තිස්සරො ගීතස්සරං අතිවත්තති. ගීතස්සරො ච තන්තිස්සරං. කදා සංයූළ්හා පන තෙ පඤ්චසිඛ, ඉමා ගාථා බුද්ධුපසංහිතා ධම්මුපසංහිතා සඞ්ඝුපසංහිතා අර්හන්තුපසංහිතා කාමූපසංහිතා’ති.
Sinhala BJT5. පන්සිළුහු මෙසේ කී කල්හි භාග්‍යවතුන්වහන්සේ ඔහු අමතා, “පන්සිළුව, තගේ වෙණෙහි තත් හඬ තගේ ගී හඬ හා ද, තගේ ගී හඬත් තත් හඬ හා ද සැසැඳේ. පන්සිළුව, තගේ තත් හඬ ගී හඬ නො ඉක්මෙයි. තගේ ගී හඬත් තත්හඬ ඉක්මැ නො යෙයි. පන්සිළුව, බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කම් ගුණ අසළ, මේ ගාථා තා විසින් කවර දාක රැසැයිණි දැ?” යි අසා වදාළ සේක.
Pali BJTඑකමිදාහං භන්තෙ, සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පනාහං භන්තෙ, සමයෙන භද්දානාම සුරියවච්චසා තිම්බරුනො ගන්ධබ්බරඤ්ඤො ධීතා තමභිකඞ්ඛාමි, සා ඛො පන භන්තෙ, භගිනී පරකාමිනී හොති. සිඛණ්ඩී නාම මාතලිස්ස සඞ්ගාහකස්ස පුත්තො තමභිකඞ්ඛති. යතො ඛො අහං භන්තෙ, තං භගිනිං නාලත්ථං කෙනචි පරියායෙන, අථාහං බෙලුවපණ්ඩුවීණං ආදාය යෙන තිම්බරුනො ගන්ධබ්බරඤ්ඤො නිවෙසනං තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා බෙලුවපණ්ඩුවීණං අස්සාවෙසිං, ඉමා ච ගාථායො අභාසිං බුද්ධුපසංහිතා ධම්මුපසංහිතා සඞ්ඝුපසංහිතා අරහන්තුපසංහිතා කාමූපසංහිතා.
Sinhala BJT“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අළුත එක් සමයෙක උරුවෙල් දනවුයෙහි නිල්දලා ගං තෙරැ අජපල් නුග මුලැ වැඩ වෙසෙති. වහන්ස, එ සමයෙහි මම් තිම්බරු නම් ගඳැවු රජුහු දූ වූ භිරුරස් බඳු ශෝභා ඇති භද්‍රා නම් යම් දෙවඟනක් වේ ද, ඇය පතන්නෙම් වීමි. වහන්ස, ඒ ගඳැවු දූ අනෙකක්හු පතන්නී ය. මාතලි නම් රියැදුරා පුත් සිඛණ්ඩී නම් ගඳැවු පුතෙක් ඇත. ඕ ඔහු පතන්නී ය, වහන්ස, යම් විටෙක කිසිදු කරුණෙකින් ඒ ගඳෙවු දුව නො ලදුයෙම් ද, එ විට මම් බේළුව පණ්ඩු වීණාව ගෙන, තිම්බරු ගඳැවු රජුහු නිවෙස කරා එළැඹියෙමි, එළැඹ ඒ වෙණ හැඬැවීමි. බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කාමගුණ අසළ, මේ ගාථා ද ගැයිමි.
Pali BJTවන්දෙ තෙ පිතරං භද්දෙ තිම්බරුං සුරියවට්ටසෙ, යෙන ජාතාසි කල්යාණී ආනන්දජනනී මම. -පෙ-
Sinhala BJT“ළහිරු රස්බඳු සිරුරු කැලුමැති හැම සිරුරඟින් හොබනා, මට සතුට දනවන සොඳුරිය, තෝ යමක්හු කරණකොටගෙන උපන්නෙහි ද, තිගේ පිය වූ ඒ තිම්බරු නම් ගඳැවු රජුහු වඳිමි.
Pali BJTසාලංව න චිරං ඵුල්ලං පිතරං තෙ සුමෙධසෙ, වන්දමානො නමස්සාමි යස්සා සෙතාදිසී පජාති.
Sinhala BJTසොඳුරු නුවණැත්තිය, යමකු හට තී සේ වූ දුවක් ඇද්ද, බොහෝ කලකට පසු අළුතැ පිපුණු සල් රුකක් බඳු (තී නිසා සිරිමත් වූ) තිගේ ඒ පියා වඳිමින් නමදිමි” යි.
Pali BJT6. එවං වුත්තෙ භන්තෙ, භද්දා සුරියවච්චසා මං එතදවොච: න ඛො මෙ මාරිස සො භගවා සම්මුඛා දිට්ඨො. අපි ච සුතො යෙව මෙ සො භගවා දෙවානං තාවතිංසානං සුධම්මායං සභායං උපනච්චන්තියා, යතො ඛො ත්වං මාරිස තං භගවන්තං කිත්තෙසි හොතු නො අජ්ජ සමාගමොති. ‘සො යෙව නො භන්තෙ, තස්සා භගිනියා සද්ධිං සමාගමො අහොසි, න ච දානි තතො පච්ඡා”ති.
Sinhala BJT6. වහන්ස, මෙසේ මා ගැයූ කල්හි සූර්‍ය්‍යවර්චසීනම් වූ ඒ භද්‍රා තොමෝ “නිදුකාණනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මා විසින් හමුයෙහි නො දක්නා ලද සේක. එතෙකුදු වුවත් තව්තිසා වැසි දෙවියන්ගේ සුදම් සෙබෙහි නටන මා විසින් ඒ භාග්‍යවතුන් වහන්සේ අසන ලදහ. (ඒ භාග්‍යවතුන්ගේ තතු අසන ලදුයේ ය). නිදුකාණනි, යම් හෙයෙකින් ඔබ ඒ භගවත් බුදුරජුන්ගේ ගුණ කියත් ද, එ හෙයින් අද අපගේ සමාගමය වේ වා’ යි කිවූ ය. වහන්ස, එ දා ඒ දෙව් දූ හා සමාගමය විය. එයින් පසු දැන් (මේ දවස දක්වා) එසේ වූ සමාගමයෙක් නො වී යැ” යි පන්සිළු කීය.
Pali BJTඅථ ඛො සක්කස්ස දෙවානමින්දස්ස එතදහොසි: පටිසම්මොදති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො භගවතා, භගවා ච පඤ්චසිඛෙනා”ති.
Sinhala BJTඑවිට සක්දෙවිඳුට “පන්සිළු ගඳැවු දෙව්පුත් භගවත් බුදුරජුන් හා කතා බස් කෙරෙයි. භගවත්හු ද පන්සිළු හා කතා කෙරෙති” යි මේ සිත විය.
Pali BJT7. අථ ඛො සක්කො දෙවානමින්දො පඤ්චසිඛං ගන්ධබ්බදෙවපුත්තං ආමන්තෙසි: අභිවාදෙහි මෙත්ථං තාත පඤ්චසිඛ භගවන්තං: සක්කො භන්තෙ දෙවානමින්දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්දතී’ති:
Sinhala BJT7. ඉක්බිති සක් දෙවිඳු පන්සිළු ගඳැවු දෙව්පුතු ඇමතී ය. “දරුව පන්සිළුව, ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් හිස නමා වඳී” යැ යි කියා මගේ වැඳුමෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව” යි කී ය.
Pali BJT‘එවං භද්දන්තවා’ති ඛො පඤ්චසිඛො ගන්ධබ්බදෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා භගවන්තං අභිවාදෙසි: ‘සක්කො භන්තෙ, දෙවානමින්දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්දතී’ති.
Sinhala BJT‘එසේ ය, ඔබට වැඩෙක් වේව’ යි ම පන්සිළු ගඳැවු දෙව් පුත් සක්දෙව් බස පිළිගෙන, ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් හිස නමා වඳී” යැ යි කියා භගවත් බුදුරජුන් සාදර වැ වැන්දේ ය.
Pali BJT‘එවං සුඛී හොතු පඤ්චසිඛ සක්කො දෙවානමින්දො සාමච්චො සපරිජනො, සුඛකාමා හි දෙවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා, යෙ චඤ්ඤෙ සන්ති පුථුකායා’ති.
Sinhala BJT“පන්සිළුව, මෙසේ ඇමැතියන් සහිත, පිරිවර ජනයා සහිත සක් දෙවිඳු සුව පත් වේ වා. දෙවියෝත් මිනිස්සුත් අසුරයෝත් නාගයෝත් ගන්‍ධර්‍වයෝත් මෙයින් අන්‍ය යම් බොහෝ සත්‍ව කෙනෙක් වෙත් නම් ඔහු හැම ද යන මේ සියල්ලෝ සුව කැමැත්තාහු ම ය.
Pali BJTඑවඤ්ච පන තථාගතා එවරූපෙ මහෙසක්ඛෙ යක්ඛෙ අභිවදන්ති.
Sinhala BJTතථාගතවරු වනාහි මහත් යශස් ඇති මෙ බඳු යක්‍ෂයනට ඔවුන්ගේ වැඳීම පිළිගැනුම් විසින් මෙසේ වදාරත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT8. අභිවදිතො සක්කො දෙවානමින්දො භගවතො ඉන්දසාලගුහං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. දෙවා පි තාවතිංසා ඉන්දසාලගුහං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. පඤ්චසිඛොපි ගන්ධබ්බදෙවපුත්තො ඉන්දසාලගුහං පවිසිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි.
Sinhala BJT8. මෙසේ භගවත් බුදුරජුන් විසින් ආසිරි බසින් සෙත් පතනු ලැබූ සක් දෙවිඳු ඉඳුසලු ලෙන් වැද, භාග්‍යවත් බුදුරජුන් වැඳ, එක් පසෙක සිටියේ ය. තව්තිසා වැසි දෙවියෝ ද, ඉඳුසල් ලෙන් වැද, භගවත් බුදුරජුන් වැඳ, එක් පසෙක සිටියා හ. පන්සිළු ගඳැවු දෙව් පුත් ද ඉඳුසල් ලෙන් වැද භගවත් බුදුරජුන් වැඳ එක් පසෙක සිටියේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන ඉන්දසාලගුහා විසමා සන්තී සමා සමපාදි, සම්බාධා සන්තී උරුන්දා සමපාදි. අන්ධකාරො ගුහායං අන්තරධායි, ආලොකො උදපාදි යථා තං දෙවානං දෙවානුභාවෙන.
Sinhala BJTඑ සමයෙහි වනාහි පියෙවියෙන් විසම වූ ඉඳුසල් ලෙන දෙවියන්ගේ දේවානුභාවයෙන් සෙයින් සම විය, එය පියෙවියෙන් ඉඩ මඳ වූ නමුදු එ සමයෙහි මහත් ඉඩ ඇතියේ විය. ලෙනෙහි අඳුර පහ විය. එළිය පහළ විය.
Pali BJTඅථ ඛො භගවා සක්කං දෙවානමින්දං එතදවොච: ‘අච්ඡරියමිදං ආයස්මතො කොසියස්ස අබ්භුතමිදආයස්මතො කොසියස්ස තාව බහුකිච්චස්ස බහුකරණීයස්ස යදිදං ඉධාං ගමනන්ති.’
Sinhala BJTඉක්බිති භගවත්හු සක්දෙවිඳුහු අමතා, “ඒසා බොහෝ කිස් ඇති, ඒසා බොහෝ කටයුතු ඇති, ආයුෂ්මත් කෞෂිකයන්ගේ මෙහි මේ යම් පැමිණීමෙක් වේ ද, එය ආශ්චර්‍ය්‍ය ය, ආයුෂ්මත් කෞෂිකයන්ගේ මේ ඊම අද්භූත යැ” යි වදාළාහ.
Pali BJTචිරප්පතිකාහං භන්තෙ භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො. අපි ච දෙවානං තාවතිංසානං කෙහිචි කෙහිචි කිච්චකරණීයෙහි බ්යාවටො එවාහං නාසක්ඛිං භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං. එකමිදං භන්තෙ සමයං භගවා සාවත්ථියං විහරති සළලාගාරකෙ. අථඛ්වාහං භන්තෙ සාවත්ථිං අගමාසිං භගවන්තං දස්සනාය. තෙන ඛො පන භන්තෙ සමයෙන භගවා අඤ්ඤතරෙන සමාධිනා නිසින්නො හොති.
Sinhala BJT“වහන්ස, බොහෝ දවසෙක සිට මැ භාග්‍යවතුන් වහන්සේ දක්නට එනු කැමැති වීමි. එහෙත් තව්තිසා වැසි දෙවියන්ගේ වැඩ කටයුතු වල ව්‍යාපෘත වූයෙම් ම භාග්‍යවතුන් වහන්සේ දක්නට එනු නො හැකි විමි. වහන්ස, එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල (දෙව් රම්හි) සළලාගාර ගඳකිළියෙහි වසන සේක. වහන්ස, එ කල, මම් භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත් නුවරට ගියෙමි. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ එක්තරා සමාධියෙකින් හුන් සේක් වෙති.
Pali BJTභුඤ්ජතී නාම වෙස්සවණස්ස මහාරාජස්ස පරිචාරිකා භගවන්තං පච්චුපට්ඨිතා හොති පඤ්ජලිකා නමස්සමානා අථඛ්වාහං භන්තෙ භුඤ්ජතිං එතදවොචං: “අභිවාදෙහි මෙ ත්වං භගිනි භගවන්තං, සක්කො භන්තෙ දෙවානමින්දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්දතී”ති. එවං වුත්තෙ භන්තෙ සා භුඤ්ජති මං එතදවොච: ‘අකාලො ඛො මාරිස භගවන්තං දස්සනාය, පටිසල්ලීනො භගවා’ති. “තෙන හි භගිනි යදා භගවා තම්හා සමාධිම්හා වුට්ඨිතො හොති අථ මම වචනෙන භගවන්තං අභිවාදෙහි. සක්කො භන්තෙ දෙවානමින්දො සාමච්චො සපරිජනො භගවතො පාදෙ සිරසා වන්දතී”ති.
Sinhala BJTවෙසවුණු රජුගේ භුංජතී නම් පාදපරිචාරිකාවක් දොහොත් මුදුන් තබා වැඳ ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිටියා ය. වහන්ස, එ කල මම් භුංජතිය බණවා, ‘බිහිනිය, තෝ ඇමැතියන් සහිත පිරිවර ජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳී යැ යි කියා මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව’ යි කීමි, වහන්ස, මා එසේ කී කලැ ඒ භුංජතී තොමෝ ‘නිදුකාණනි, දැන් භාග්‍යවතුන් වහන්සේ දක්නට නො කල් ය. භාග්‍යවතුන් වහන්සේ සමවත් සම වැද වැඩ ඉන්නා සේකැ’ යි කිවු ය. ‘බිහිනිය, එසේ වී නම්, යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැඟී සිටින සේක් ද, එ විටැ ‘වහන්ස, ඇමැත්තන් සහිත පිරිවර ජනයා සහිත සක් දෙවිඳු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වඳී’ යැයි මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේ වඳුව’ යි කීමි. වහන්ස, කිමෙක් ද? මා බසින් ඒ බිහිනී භාග්‍යවතුන් වහන්සේ වැන්දා ද? භාග්‍යවතුන් වහන්සේ ඇගේ වචනය සිහි කරන සේක් දැ?” යි සක්දෙවිඳු කී ය.
Pali BJT“කච්චි මෙ සා භන්තෙ භගිනී භගවන්තං අභිවාදෙසි, සරති භගවා තස්සා භගිනියා වචනන්තී?” “අභිවාදෙසි මං සා දෙවානමින්ද භගිනී, සරාමහං තස්සා භගිනියා වචනං. අපි චාහං ආයස්මතො ච නෙමිසද්දෙන තම්හා සමාධිම්හා වුට්ඨිතො”ති.
Sinhala BJT“දෙවිඳ, ඒ බිහිනී මා වැන්දා ය. මම් ඇගේ වචනය සිහි කරමි. තව ද ආයුෂ්මත්හුගේ රියෙහි නිම්වළල්ල හඬ නඟන්නා හා ම මම් සමවතින් නැඟී සිටියෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“යෙ තෙ භන්තෙ, දෙවා අම්හෙහි පඨමතරං තාවතිංසකායං උපපන්නා, තෙසං මෙ සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: “යදා තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා, දිබ්බා කායා පරිපූරන්ති හායන්ති අසුරකායා’ති, තං මෙ ඉදං භන්තෙ, සක්ඛිදිට්ඨං යතො තථාගතො ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො, දිබ්බා කායා පරිපූරන්ති, හායන්ති අසුරකායා ති. ඉධෙව භන්තෙ, කපිලවත්ථුස්මිං ගොපිකා නාම සක්යධීතා අහොසි බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා සීලෙසු පරිපූරකාරිනී. සා ඉත්ථිත්තං විරාජෙත්වා පුරිසත්තං භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා දෙවානං තාවතිංසානං සහබ්යතං අම්හාකං පුත්තත්තං අජ්ඣුපගතා. තත්රපි නං එවං ජානන්ති ‘ගොපකො දෙවපුත්තො ගොපකො දෙවපුත්තො’ති.
Sinhala BJT“වහන්ස, යම් කලෙක අර්‍හත් සම්‍යක්සම්බුද්ධ තථාගත කෙනෙක් ලොවැ උපදනාහු ද, ඒ කලැ දෙව් මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ අපට පෙරටු වැ තව්තිසා දෙව්ලොවැ ඉපිදැ සිටි දෙවියන් හමුයෙහි දී මා විසින් අසන ලද්දේ ය, ඔවුන් හමුයෙහි දී පිළිගන්නා ලද්දේ ය. වහන්ස, ‘යම් කලෙක තථාගත අර්‍හත් සම්‍යක්සම්බුද්ධ කෙනෙක් ලොවැ පහළ වන්නෝ ද, එ කලැ දෙව්මුළුහු පිරෙත්, අසුර මුළුහු පිරිහෙත්’ යන මෙ කරුණ මා විසින් සියැසින් ම දක්නා ලද්දේ ය. වහන්ස, මෙ කිඹුල්වත් පුරෙහි ම බුදුරුවන්හි පහන්, දමුරුවන්හි පහන්, සඟුරුවන්හි පහන්, සිල් සපුරා රක්නා සුලු ගෝපිකා නම් සැහැ දුවක් වූ ය. ඕ ගැහැනු බවට ඇලුම් හැරැ පියා පිරිමි බව පතා, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණියා, අපගේ පුත් බව ලැබූහ. එහි දූ ඔහු ‘ගෝපක දෙව් පුතැ’ යි ‘ගෝපක දෙව් පුතැ’ යි දනිත්.
Pali BJT9. අඤ්ඤෙ පි භන්තෙ, තයො භික්ඛූ භගවති බ්රහ්මචරියං චරිත්වා හීනං ගන්ධබ්බකායං උපපන්නා. තෙ පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගිභූතා පරිචාරයමානා අම්හාකං උපට්ඨානමාගච්ඡන්ති අම්හාකං පාරිචරියං. තෙ අම්හාකං උපට්ඨානමාගතෙ අම්හාකං පාරිචරියං ගොපකො නාම දෙවපුත්තො පටිචොදෙසි: “කුතොමුඛා නාම තුම්හෙ මාරිසා තස්ස භගවතො ධම්මං අස්සුත්ථා අහං හි නාම ඉත්ථිකා සමාන බුද්ධෙ පසන්නා ධම්මෙ පසන්නා සඞ්ඝෙ පසන්නා සීලෙසු පරිපූරකාරිනී ඉත්ථිත්තං විරාජෙත්වා පුරිසත්තං භාවෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා දෙවානං තාවතිංසානං සහබ්යතං සක්කස්ස දෙවානමින්දස්ස පුත්තත්තං අජ්ඣුපගතා.
Sinhala BJT9. වහන්ස, අන් මහණහු ති දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර කොට හීන වූ ගඳැවු මුළුවෙක උපන්නාහුය. ඔහු පස් කම් ගුණයන්ගෙන් සමර්පිත වැ සමන්‍විත වැ පසිඳුරන් හසුරුවන්නාහු, ගැයුම් වැයුම් ආදියෙන් අපට වත් කරනුවට අප උවටන් හලට එත්. අපට වත් කරනුවට අප උවටන් හලට ආ ඔවුනට ගෝපක දෙව්පුත් තෙම ‘නිදුකාණනි, තෙපි කොහි යොමු කළ මුහුණු ඇති වැ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දහම් ඇසූහු ද? මම් වනාහි ස්ත්‍රියක් ව සිට ද බුදුරුවන් දමරුවන් සඟුරුවන් කෙරෙහි පහන් වැ, සිල් පුරන්නීම් ඉතිරිබව්හි ඇල්ම හැරැ පියා, පිරිමිබව් පතා කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට, තව්තිසා වැසි දෙවියන් හා එක් වීමට පැමිණියෙම්, සක් දෙවිඳුගේ පුත් බව ලදිමි.
Pali BJTඉධාපි මං එවං ජානන්ති ගොපකො දෙවපුත්තො ගොපකො දෙවපුත්තොති. තුම්හෙ පන මාරිසා භගවති බ්රහ්මචරියං චරිත්වා හීනං ගන්ධබ්බකායං උපපන්නා. දුද්දිට්ඨරූපං වත භො අද්දසාම යෙ මයං අද්දසාම සහධම්මිකෙ හීනං ගන්ධබ්බකායං උපපන්නෙ’ති”. තෙසං භන්තෙ ගොපකෙන දෙවපුත්තෙන පටිචොදිතානං ද්වෙ දෙවා දිට්ඨෙව ධම්මෙ සතිං පටිලභිංසු කායං බ්රහ්මපුරොහිතං, එකො පන දෙවො කාමෙ අජ්ඣාවසි.
Sinhala BJTමෙහිදු මා ‘ගොපක දෙව් පුතැ’ යි දනිත්. නිදුකාණනි, තෙපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර කොට, හීන වූ ගඳැවු රැහැට වන්නහු ය. භවත්නි, යම්බඳු වූ ඇපි හීන වූ ගඳැවු රුහැකැ උපන් සහදැමියන් දකුමෝ ද, ඒ අපි නො දැක්ක යුතු දැයක් දුටුම්හ’ යි ඔවුනට චෝදනා කළේ ය. වහන්ස, ගොපක දෙව්පුතු විසින් චෝදිත (සිහි කරවන ලද) ඒ තිදෙනා අතුරෙන් දෙදෙනෙක් දෙව්හු මෙ අත් බව්හි ම පළමු දහන් සිහිය පිළිලැබ (ධ්‍යානය පාදක කොට විවසුන් වඩා ඇනැගැමි පෙලෙහි පිහිටා) එ කෙණෙහි ම සැවැ බඹ ලොවැ, බඹපෙරෙවි (බ්‍රහ්මපුරෝහිත) අත් බව ලදුහ. එක් දෙවියෙක් වනාහි කාමයන්හි ඇලුණේ එහි මැ රැඳුණේ ය.