Dīgha Nikāya

Long Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2601-2700 න් 5110

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT“අලං ආනන්ද මා සොචි, මා පරිදෙවි- නනු එතං ආනන්ද, මයා පටිකච්චෙව අක්ඛාතං සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා ‘යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත තථාගතස්සාපි සරීරං මා පලුජ්ජීති. නෙතං ඨානං විජ්ජති. දීඝරත්තං ඛො තෙ ආනන්ද, තථාගතො පච්චුපට්ඨිතො මෙත්තෙන කායකම්මෙන හිතෙන සුඛෙන අද්වයෙන අප්පමාණෙන, මෙත්තෙන වචීකම්මෙන -පෙ- මෙත්තෙන මනොකම්මෙන හිතෙන සුඛෙන අද්වයෙන අප්පමාණෙන. කතපුඤ්ඤො’සි ත්වං ආනන්ද පධානමනුයුඤ්ජ, ඛිප්පං හෙහිසි{1} අනාසවො”ති.
Sinhala BJT“අනඳයෙනි, හැඬීමෙන් වැඩෙක් නැත. ශෝක නො කරවු, නො හඬවු. අනඳයෙනි, ප්‍රිය මනාප සියලු දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියකට පෙරැළීම කල් තබා ම මා කීවා නො වේ ද? අනඳයෙනි, යමෙක් උපන්නේ නම්, වූයේ නම්, සකස් වූයේ නම්, පලුදු වන සුලු වී නම්, ඒ ස්වභාවය ම ඇති තථාගත ශරීරය ද නො නැසේ ව යි පැතුව ද, එය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යාමාන ය (මේ නො වන දැයෙකි). අනඳයෙනි, තොප විසින් හිතවත් වූ, සුව ගෙන දෙන්නා වූ, දෙසැටියක් නැති, (මුව දෝනා පැන් එළැවීම් ආදි) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කාය කර්‍මයෙන් තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත (නිතර උවටන් කරනු ලදුයේ) වෙයි. හිතවත් වූ, සුව ගෙන දෙන, දෙසැටියක් නැති, (මේ මුවදෝනා කලැ යි සැලකිරීම් ආදි විසින් පැවැත්වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත වාක් කර්‍මයෙන් ද ... (මගේ ශාස්තෘන් වහන්සේ නිදුක් නීරෝග වන සේක්වා යන ආදි විසින් පැවැත් වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත මනඃකර්‍මයෙන් ද තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත වී ය. අනඳයෙනි, තෙපි කෘතපුණ්‍යයහ (බොහෝ පින් කළ කෙනෙක), ප්‍රධන් වඩනුයෙහි යෙදෙවු. වහා රහත් වන්නාහු” (යනු යි.)
Pali BJT99. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “යෙ පි තෙ භික්ඛවෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමායෙව උපට්ඨාකා අහෙසුං සෙය්යථාපි මය්හං ආනන්දො. යෙ පි තෙ භික්ඛවෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමායෙව උපට්ඨාකා භවිස්සන්ති සෙය්යථාපි මය්හං ආනන්දො. පණ්ඩිතො භික්ඛවෙ ආනන්දො, මෙධාවී භික්ඛවෙ ආනන්දො, ජානාති ‘අයං කාලො තථාගතං දස්සනාය උපසඞ්කමිතුං භික්ඛූනං, අයං කාලො භික්ඛුනීනං, අයං කාලො උපාසකානං, අයං කාලො උපාසිකානං, අයං කාලො රඤ්ඤො රාජමහාමත්තානං තිත්ථියානං තිත්ථියසාවකානන්ති.’
Sinhala BJT99. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා මෙසේ වදාළ සේක. “මහණෙනි, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙවැන්නක්හු පරම කොටැති උවටුවෝ වූහ. මහණෙනි, මතු දවසැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් පහළ වන්නාහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙබන්දක්හු පරම කොටැති උවටුවෝ වන්නාහ. මහණෙනි, අනඳයෝ නුවණැත්තෝ ය. මහණෙනි, අනඳයෝ පියෙවියෙන් ම නැණවත් හ. ‘තථාගතයන් දක්නා පිණිස එළැඹෙන්නට මහණුනට සුදුසු කල් මේ යැ, මෙහෙණියනට සුදුසු කල් මේ යැ, උවසුවනට සුදුසු කල මේ යැ, උවැසියනට සුදුසු කල මේ යැ. රජක්හට, රජමහ මැත්තනට තොටුවනට, තොටු සව්වනට සුදුසු කල මේ යැ’ යි දනිති.
Pali BJT100. චත්තාරො’මෙ භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. කතමෙ චත්තාරො? සචෙ භික්ඛවෙ, භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙන පි සා අත්තමනා හොති. අතිත්තා’ව, භික්ඛවෙ, භික්ඛුපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. සචෙ භික්ඛවෙ, භික්ඛුනීපරිසා, උපාසකපරිසා, උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තා’ව භික්ඛවෙ, උපාසිකාපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ.
Sinhala BJT100. මහණෙනි, අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම සතර දහම් කෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස ආරාධිත සිතැති වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් සෙදත් නම්, ඔබ වචනයෙන් ද එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ඒ මහණ පිරිස අපිරියත් ම (අතෘප්ත ම) වෙයි. එ කල්හි අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නා වස් එළැඹෙයි ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ දම් දෙස්මෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උවැසි පිරිස අතෘප්තම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දෙනෙක් අනඳයන් කෙරෙහි වෙත්.
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, අච්ඡරියා අබ්භුතා ධම්මා රඤ්ඤෙ චක්කවත්තිම්හි. කතමෙ චත්තාරො? සචෙ භික්ඛවෙ, ඛත්තියපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ රාජා චක්කවත්තී භාසති භාසිතෙනපි සා අත්තමනා හොති, අතිත්තා’ව භික්ඛවෙ, ඛත්තියපරිසා හොති. අථ ඛො රාජා චක්කවත්තී තුණ්හී හොති. සචෙ භික්ඛවෙ බ්රාහ්මණපරිසා, ගහපතිපරිසා, සමණපරිසා රාජානං චක්කවත්තිං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති. තත්ර චෙ රාජා චක්කවත්තී භාසති භාසිතෙන පි සා අත්තමනා හොති, අතිත්තා’ව භික්ඛවෙ, සමණපරිසා හොති. අථ ඛො රාජා චක්කවත්තී තුණ්හී හොති. එවමෙව ඛො භික්ඛවෙ, චත්තාරො’මෙ අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ. සචෙ භික්ඛවෙ, භික්ඛුපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති, තත්ර චෙ ආනන්දො ධම්මං භාසති, භාසිතෙන පි සා අත්තමනා හොති, අතිත්තා’ව භික්ඛවෙ, භික්ඛුපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. සචෙ භික්ඛුනීපරිසා, උපාසකපරිසා, උපාසිකාපරිසා ආනන්දං දස්සනාය උපසඞ්කමති, දස්සනෙන සා අත්තමනා හොති, තත්ර චෙ ආනන්දො ධම්මං භාසති භාසිතෙනපි සා අත්තමනා හොති. අතිත්තා’ව භික්ඛවෙ, උපාසිකාපරිසා හොති. අථ ඛො ආනන්දො තුණ්හී හොති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො අච්ඡරියා අබ්භුතා ධම්මා ආනන්දෙ’ති.
Sinhala BJT“මහණෙනි, මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් සක්විති රජක්හු කෙරෙහි වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් කැත් පිරිසෙක් සක්විති රජුහු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ කතා කෙරෙහි නම්, ඔහු කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, කැත් පිරිස එයින් අතෘප්ත ම වෙයි. එ කල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, ඉදින් බමුණු පිරිසෙක්, ගැහැවි පිරිසෙක්, මහණ පිරිසෙක්, සක්විති රජු දක්නට එළැඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ ඔවුනට කතා කෙරෙයි ද, ඔහුගේ කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එකල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, එසේ ම අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් වෙත්. මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. මහණ පිරිස (ඔබ දැක්මෙහි) අතෘප්ත ම වෙයි. එහි ඉදින් අනඳයෝ දහම දෙසත් නම්, දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ත ම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි, එහි ඉදින් අනඳයෝ දහම් කියත් නම්, ඔබ දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි, උවැසි පිරිස එහි ලා අතෘප්ත ම වෙයි. එ කල්හි යැ අනඳයන් නිහඬ වනුයේ. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දහම් හු අනඳයන් කෙරෙහි වෙත්” යනු යි.
Pali BJT[මහාසුදස්සන සුත්ත දෙසනා.]
Sinhala BJTමහ සුදසුන් දෙසුම
Pali BJT101. එවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “මා භන්තෙ, භගවා ඉමස්මිං කුඩ්ඩනගරකෙ{1} උජ්ජඞ්ගලනගරකෙ සාඛානගරකෙ පරිනිබ්බායී.{2} සන්ති භන්තෙ, අඤ්ඤානි මහානගරානි, සෙය්යථිදං චම්පා රාජගහං සාවත්ථී සාකෙතං කොසම්බී බාරාණසී. එත්ථ භගවා පරිනිබ්බාතු. එත්ථ බහූ ඛත්තියමහාසාලා බ්රාහ්මණමහාසාලා ගහපතිමහාසාලා තථාගතෙ අභිප්පසන්නා. තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති. “මාහෙවං ආනන්ද අවච, මාහෙවං ආනන්ද අවච, කුඩ්ඩනගරකං උජ්ජඞ්ගලනගරකං සාඛානගරකන්ති.”
Sinhala BJT101. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ “වහන්ස, (ගල් සෙල් ආදියෙන් විසම බැවින්) රළු නුවරක් වූ (මහරුක්හි ශාඛාවක් බඳු) අතුනුවරක් වූ මේ කුඩා නුවරෙහි නො පිරිනිවෙන සේක්වා. වහන්ස, චම්පා, රජගහ, සැවැත්, සාකේත, කොසොඹෑ, බරණැස් යන ආදි අන් මහ නුවරහු ඇත. ඒ එකෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පහන් වූ බොහෝ කැත් මහසල්හු ද බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජාසත්කාර කරන්නාහ” යි සැළ කළහ.
Pali BJT‘භූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො නාම අහොසි චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො.
Sinhala BJT“අනඳයෙනි, කුඩා නුවරෙකැ යි, රළු නුවරෙකැ යි, අතු නුවරෙකැ” යි මෙසේ නහමක් කියවු. අනඳයෙනි, බොහෝ පෙර දවසැ මෙහි මුදුනැ අබිසෙස් ලත්, සයුරහිම් සිවු මහදිවයිනට හිමි, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමාන වූ මහ සුදසුන් නම් කැත්රජෙක් විය.
Pali BJTරඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස අයං කුසිනාරා කුසාවතී නාම රාජධානී අහොසි. පුරත්ථිමෙන ච පච්ඡිමෙන ච ද්වාදසයොජනානි ආයාමෙන, උත්තරෙන ච දක්ඛිණෙන ච සත්තයොජනානි විත්ථාරෙන, කුසාවතී ආනන්ද, රාජධානී ඉද්ධා චෙව අහොසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. සෙය්යථාපි ආනන්ද, දෙවානං ආළකමන්දා නාම රාජධානී ඉද්ධා චෙව __හොති__ ඵීතා ච බහුජනා ච ආකිණ්ණයක්ඛා ච සුභික්ඛා ච, එවමෙව ඛො ආනන්ද, කුසාවතී රාජධානී ඉද්ධා චෙව අහොසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. කුසාවතී ආනන්ද, රාජධානී දසහි සද්දෙහි අවිවිත්තා අහොසි දිවා චෙව රත්තිඤ්ච: සෙය්යථිදං හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන භෙරිසද්දෙන මුදිඞ්ගසද්දෙන වීණාසද්දෙන ගීතසද්දෙන සඞ්ඛසද්දෙන සම්මසද්දෙන තාලසද්දෙන අස්නාථ පිවථ ඛාදථාති දසමෙන සද්දෙන. ගච්ඡ ත්වං ආනන්ද, කුසිනාරාං පවිසිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙහි: අජ්ජ ඛො වාසෙට්ඨා රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අභික්කමථ වාසෙට්ඨා, අභික්කමථ වාසෙට්ඨා. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ: අම්හාකඤ්ච නො ගාමක්ඛෙත්තෙ තථාගතස්ස පරිනිබ්බානං අහොසි, න මයං ලභිම්හා පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා”ති.
Sinhala BJTඅනඳයෙනි, මේ කුසිනාරා නුවර මහසුදසුන් රජුහුගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, කුශාවතී රජදහන පෙර දිගින් ද පැසිම් දිගින් ද අයමින් දොළොස් යොදුන් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද විතරින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද සැපතින් පිරුණේ ද බොහෝ ජනයා ඇත්තේ ද මිනිසුන් ගෙන් ගැවැසුණේ ද සුලභ ආහාර පාන ඇත්තේ ද විය. අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්‍දා රාජධානිය යම්සේ සමෘද්ධ ද, ස්ථිත ද, බහුජනවත් ද, යක්‍ෂාකීර්‍ණ ද, සුභික්‍ෂ ද, අනඳයෙනි, එසේ ම කුසාවතී රජදහනත් සමෘද්ධ ද ස්ථිත ද බහුජනවත් ද මනුෂ්‍යාකීර්‍ණ ද සුභික්‍ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රජදහන ඇත් හඬින් අස් හඬින් රිය හඬින් බෙර හඬින් මිහිඟුබෙර හඬින් වෙණ හඬින් ගී හඬින් සක් හඬින් කස් තල් හඬින් අත්තාලම් ඈ හඬින් ‘බුදිවු බොවු කවු’ යි දසවැනි හඬින් දැ යි දස හඬින් නිරතුරු විය. අනඳයෙනි, තෙපි යවු. කුසිනාරාවට පිවිස, කුසිනාරා වාසී මල්ලයනට “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය, වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. වාසිෂ්ටයෙනි, පිටත් වැ එවු. “අප ගම්කෙතෙහි තථාගතයන්ගේ පිරිනිවන වී ය. පැසිම් සෙමෙහි අපි ඔබ දක්නට නො ලදුම්හ’යි පසු වැ විපිළිසැරි නො වවු’ යි සැළ කරවු” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJT“එවම්භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිවාසෙත්වා පත්තචීවරමාදාය අත්තදුතියො කුසිනාරං පාවිසි.
Sinhala BJTඅනඳ තෙරණුවෝ ‘වහන්ස, එසේ යැ’ යි ම භගවත් බුදුරජුනට පිළිවදන් අස්වා, හැඳ පෙරවැ පා සිවුරු ගෙන තමා දෙවෙනි කොටැති ව කුසිනාරාවට වන්හ.
Pali BJTමල්ලානං වන්දනා
Sinhala BJTමල්ලයන්ගේ වැඳීම
Pali BJT102. තෙන ඛො පන සමයෙන කොසිනාරකා මල්ලා සන්ථාගාරෙ සන්නිපතිතා හොන්ති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො ආයස්මා ආනන්දො යෙන කොසිනාරකානං මල්ලානං සන්ථාගාරං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙසි: “අජ්ජ ඛො වාසෙට්ඨා රත්තියා පච්ඡිමෙ යාමෙ තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. අභික්කමථ වාසෙට්ඨා, අභික්කමථ වාසෙට්ඨා. මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ! ‘අම්හාකඤ්ච නො ගාමක්ඛෙත්තෙ තථාගතස්ස පරිනිබ්බානං අහොසි, නං මයං ලභිම්හා පච්ඡිමෙ කාලෙ තථාගතං දස්සනායා”ති.
Sinhala BJT102. එ සමයෙහි කුසිනාරාවාසී මල්ලයෝ කිසි කරුණෙකින් සන්‍ථාගාරයෙහි (කාරණාකාරණ විචාරණ පිණිස රැස් වන හලෙහි) කැටි වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්‍ථානාගාරය වෙත වැඩියාහ. වැඩ, “වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. වාසිෂ්ටයෙනි, නික්මැ යවු. ‘අප ගම්කෙතැ තථාගතයන් වහන්සේගේ පිරිනිවන වී ය. අපි පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලදුම්හ’ යි පසු වැ විපිළිසර ඇතියෝ නො වවු” යි කුසිනාරා වැසි මල්ලයනට සැළ කළහ.
Pali BJTඉදමායස්මතො ආනන්දස්ස වචනං සුත්වා මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියො ච අඝාවිනො දුම්මනා චෙතොදුක්ඛසමප්පිතා අප්පෙකච්චෙ කෙසෙ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති විවට්ටන්ති “අතිඛිප්පං භගවා පරිනිබ්බායිස්සති, අතිඛිප්පං සුගතො පරිනිබ්බායිස්සති, අතිඛිප්පං චක්ඛු{1} ලොකෙ අන්තරධායිස්සතී”ති.
Sinhala BJTඅනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ලයෝ ද මල්ල ලෙහෙලියෝ ද (විවා නො පත් මල්ල තරුණියෝ ද) මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝක ඇත්තාහු, ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරි නිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වන්නේ යැ’ යි කෙහෙ උවා (කෙස් මුදා) හඬත්, දොහොත් හුවා (දෙ අත් හිසැ තබා) හඬත්, මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, පෙරැළෙන්නාහු වැටී හොත් තෙනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඉවතට ද පෙරැළී යෙත්.
Pali BJTඅථ ඛො මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියො ච අඝාවිනො දුම්මනා චෙතොදුක්ඛසමප්පිතා යෙන උපවත්තනං මල්ලානං සාලවනං යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමිංසු. අථ ඛො ආයස්මතො ආනන්දස්ස එතදහොසි: සචෙ ඛො අහං කොසිනාරකෙ මල්ලෙ එකමෙකං භගවන්තං වන්දාපෙස්සමිං, අවන්දිතො’ව භගවා කොසිනාරකෙහි මල්ලෙහි භවිස්සති. අථායං රත්ති විභායිස්සති. යන්නූනාහං කොසිනාරකෙ මල්ලෙ කුලපරිවත්තසො කුලපරිවත්තසො ඨපෙත්වා භගවන්තං වන්දාපෙය්යං ‘ඉත්ථන්නාමො භන්තෙ මල්ලො සපුත්තො සභරියො සපරිසො සාමච්චො භගවතො පාදෙ සිරසා වන්දතී’ති.
Sinhala BJTඉක්බිති මල්ලයෝ ද මල්ල පුත්හු ද මල්ල ලෙහෙලියෝ ද මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දෙම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝකයෙන් යුක්ත වූවාහු, මල්ලයන්ගේ උපවර්‍තන නම් සල් වනයට, අනඳ තෙරුන් වෙතට එළැඹුණාහ. එ කල්හි, “ඉදින් මම් කුසිනාරා වැසි එකක් එකක්හු ලවා භාග්‍යවතුන් වහන්සේ වැන්දැවීම් නම්, කුසිනාරා පුරැ මල්ලයන් විසින් නො වඳනා ලද සේක් ම වන්නාහ. එ කල්හි මේ රෑ පාන් වන්නේ ය. මම් කුසිනාරා වැසි මල්ලයන් කුල පරම්පරා විසින් යි වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම අඹුදරු සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ සැළ කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේ වැන්දෑවීම් නම් යෙහෙකැ” යි අනඳ තෙරුනට මේ සිත විය.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො කොසිනාරකෙ මල්ලෙ කුලපරිවත්තසො කුලපරිවත්තසො ඨපෙත්වා භගවන්තං වන්දාපෙසි: ‘ඉත්ථන්නාමො භන්තෙ, මල්ලො සපුත්තො සභරියො සපරිසො සාමච්චො භගවතො පාදෙ සිරසා වන්දතී’ති. අථ ඛො ආයස්මා ආනන්දො එතෙන උපායෙන පඨමෙනෙව යාමෙන කොසිනාරකෙ මල්ලෙ භගවන්තං වන්දාපෙසි.
Sinhala BJTඉක්බිති අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන් කුල පරපුර විසින් වෙන වෙන ම සිටුවා ‘වහන්ස, මෙ නම් මල්ල තෙම දරුවන් සහිත වැ, බිරිය සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිස බිමැ තබා වඳී’ යැ යි කියා භගවත් (බුදුරජුන්) වැන්දැවූ හ. එ කල්හි අනඳ තෙරණුවෝ මෙ නයින් පළමු යම්හි ම කුසිනාරා නුවරැ මල්ලයන් ලවා භගවත් බුදුරජුන් වැන්දවූහ.
Pali BJTසුභද්ද පරිබ්බාජක වත්ථු
Sinhala BJTසුභද්‍ර පරිව්‍රාජක වස්තුව
Pali BJT103. තෙන ඛො පන සමයෙන සුභද්දො නාම පරිබ්බාජකො කුසිනාරායං පටිවසති. අස්සොසි ඛො සුභද්දො පරිබ්බාජකො: ‘අජ්ජ කිර රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සතී’ති. අථ ඛො සුභද්දස්ස පරිබ්බාජකස්ස එතදහොසි: “සුතං ඛො පන මෙ’තං පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා’ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති.
Sinhala BJT103. එ සමයෙහි සුභද්‍ර නම් පිරිවැජියෙක් කුසිනාරායෙහි වෙසෙයි. “අද රෑ පැසිම් යම්හි ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ පිරිනිවන වෙතැ” යි සුභද්‍ර පිරිවැජි ඇසුයේ ම ය. ඉක්බිති ඔහුට “කිසි කලෙක ම (කලාතුරෙකින් ම) තථාගත අර්‍හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන වචනයෙක් මා විසින් අසන ලද්දේ ම ය. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමාණන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය.
Pali BJTඅත්ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො. එවං පසන්නො අහං සමණෙ ගොතමෙ ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං, යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යන්ති’. අථ ඛො සුභද්දො පරිබ්බාජකො යෙන උපවත්තනං මල්ලානං සාලවනං යෙන ආයස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං එතදවොච: සුතං මෙතං භො ආනන්ද පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: “කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධා”ති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මෙ අයං කඞ්ඛාධම්මො උප්පන්නො, “එවං පසන්නො අහං සමණෙ ගොතමෙ, පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං යථාහං ඉමං කඞ්ඛාධම්මං පජහෙය්යං. සාධාහං භො ආනන්ද, ලභෙය්යං සමණං ගොතමං දස්සනායා”ති.
Sinhala BJTමට උපන් සැකයෙක් ද ඇත. යම්සේ මේ සැකය දුරැලියැ හෙම් ද එසේ මට දහම්දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි “මෙසේ මම් මහණ ගොයුම් වහන්සේ කෙරෙහි පැහැදුණෙම් වෙමි” යි මේ සිත විය. ඉක්බිත්තෙන් සුභද්‍ර පිරිවැජි තෙම මල්ල රජුන්ගේ උපවර්‍තන සල්වනය යම් තැනෙක ද, අනඳ තෙරණුවෝ යම් තැනෙක ද, එ තැනට එළැඹියේ ය. එළැඹ අනඳ තෙරුන් අමතා “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්‍හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ” යි වයසින් වැඩි සිටි මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මේ වචනය මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වී යන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ’ යි මෙසේ මහණ ගොයුමන් වහන්සේ කෙරෙහි මම් පැහැදුණෙකිම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ වචන කී ය.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච: ‘අලං ආවුසො සුභද්ද, මා තථාගතං විහෙඨෙසි, කිලන්තො භගවා”ති. දුතියම්පි ඛො සුභද්දො පරිබ්බාජකො -පෙ- තතියම්පි ඛො සුභද්දො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: “සුතං මෙතං භො ආනන්ද පරිබ්බාජකානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං: කදාචි කරහචි තථාගතා ලොකෙ උප්පජ්ජන්ති අරහන්තො සම්මාසම්බුද්ධාති. අජ්ජෙව රත්තියා පච්ඡිමෙ යාමෙ සමණස්ස ගොතමස්ස පරිනිබ්බානං භවිස්සති. අත්ථි ච මෙ අයං කඞ්ඛා ධම්මො උප්පන්නො, එවං පසන්නො අහං සමණෙ ගොතමෙ, ‘පහොති මෙ සමණො ගොතමො තථා ධම්මං දෙසෙතුං යථාහං ඉමං කඞ්ඛා ධම්මං පජහෙය්යං’. සාධාහං භො ආනන්ද, ලභෙය්යං සමණං ගොතමං දස්සනායා”ති. තතියම්පි ඛො ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච: “අලං ආවුසො සුභද්ද, මා තථාගතං විහෙඨෙසි, කිලන්තො භගවා”ති.
Sinhala BJTමෙසේ කී කල්හි අනඳ තෙරණුවෝ ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනැ සේකැ’ යි වදාළහ. දෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි ... තෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි අනඳ තෙරුනට “පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්‍හත් සම්මාසම්බුදු වරු ලොවැ උපදනාහ’ යි වයෝවෘද්ධ වූ මහලු වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍ය පිරිවැජියන් කියන මෙ බස් මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ සමත් සේකැ’ යි මෙසේ ඔබ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ’ යි මෙ බස් පැවැසී ය. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට ‘ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනා සේකැ’ යි වදාළහ.
Pali BJT104. අස්සොසි ඛො භගවා ආයස්මතො ආනන්දස්ස සුභද්දෙන පරිබ්බාජකෙන සද්ධිං ඉමං කථාසල්ලාපං. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “අලං ආනන්ද මා සුභද්දං වාරෙසි, ලභතං ආනන්ද සුභද්දො තථාගතං දස්සනාය. යං කිඤ්චි මං සුභද්දො පුච්ඡිස්සති, සබ්බන්තං අඤ්ඤාපෙක්ඛො’ව පුච්ඡිස්සති නො විහෙසාපෙක්ඛො. යඤ්චස්සාහං පුට්ඨො බ්යාකරිස්සාමි, තං ඛිප්පමෙව ආජානිස්සතී”ති.
Sinhala BJT104. සුභද්‍ර පිරිවැජියා හා පැවැති අනඳ තෙරුන්ගේ මේ කථා සංවාදය භගවත් බුදුරජුහු ඇසූහු ම ය. ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, කම් නැත. සුභද්‍රයා නහමක් වළක්වවු. සුභද්‍ර තෙමේ තථාගතයන් දක්නට ලබා වා. සුභද්‍රයා යම් කිසිවක් මා විචාරන්නේ ද, ඒ සියල්ල දැනගනුයෙහි අපේක්‍ෂා ඇත්තේ ම, වෙහෙසන අදහසක් නැත්තේ ම විචාරයි. විචාරනු ලැබූ මම් යමක් ඔහුට හෙළි කරන්නෙම් ද, යුහු ව ම හේ එය දැනගන්නේ යැ” යි වදාළ සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො සුභද්දං පරිබ්බාජකං එතදවොච: “ගච්ඡාවුසො සුභද්ද, කරොති තෙ භගවා ඔකාසන්ති. අථ ඛො සුභද්දො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුභද්දො පරිබ්බාජකො භගවන්තං එතදවොච: ‘යෙ’මෙ භො ගොතම, සමණබ්රාහ්මණා සඞ්ඝිනො ගණිනො ගණාචරියා ඤාතා යසස්සිනො තිත්ථකරා සාධුසම්මතා බහුජනස්ස, සෙය්යථිදං: පූරණො කස්සපො, මක්ඛලි ගොසාලො, අජිතො කෙසකම්බලො, පකුධො කච්චායනො, සඤ්ජයො බෙලට්ඨපුත්තො, නිගණ්ඨො නාතපුත්තො, සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ නාබ්භඤ්ඤිංසූ?”ති.
Sinhala BJTඑ කල්හි අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට, “ඇවැත්නි, සුභද්‍රයෙනි, යන්නැ. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේකැ” යි කීහ. එවිටැ සුභද්‍ර පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ හා සතුටු වන්නට නිසි, සිතැ රැඳෙන්නට නිසි කථා නිම කොට එක් පසෙක ඉඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට කථා කොට “භවද් ගෞතමයිනි, ශ්‍රාවක සංඝයා ඇති, සවු ගණ ඇති, ගණැදුරු වූ, ප්‍රකට වූ, යශස් ඇති බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත වූ, කාශ්‍යපගෝත්‍රික පුරාණ, ගෝශාලමස්කරි, කේශකම්බල දැරු අජිත, කාත්‍යායන ගෝත්‍රික පකුධ, වෛරාටිපුත්‍ර සංයත, ඥාතපුත්‍ර නිර්ග්‍රන්‍ථ යන යම් මේ තීර්‍ත්‍ථංකර කෙනෙක් වූහු ද, ඔහු හැම දෙනා තමන් පිළිණ කළ සේ සත්‍යය දැන ගත්තාහු ද? ඔහු හැම දෙනාම එසේ නො ම දැන ගත්තාහු ද? නො හොත් (ඔවුන් අතුරෙන්) එක්තරා කෙනෙක් දැන ගත්තාහු එක්තරා කෙනෙක් නො ම දැන ගත්තාහු දැ?” යි මෙ පැණය විචාළේ ය.
Pali BJT“අලං සුභද්දං, තිට්ඨතෙතං සබ්බෙ තෙ සකාය පටිඤ්ඤාය අබ්භඤ්ඤිංසු, සබ්බෙව න අබ්භඤ්ඤිංසු, උදාහු එකච්චෙ අබ්භඤ්ඤිංසු, එකච්චෙ නාබ්භඤ්ඤිංසූ”ති. ධම්මං තෙ සුභද්ද, දෙසිස්සාමි. තං සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමී”ති. ‘එවං භන්තෙ’ති ඛො සුභද්දො පරිබ්බාජකො භගවතො පච්චස්සොසි, භගවා එතදවොච:
Sinhala BJT“සුභද්‍රයෙනි, එයින් වැඩෙක් නැත. ‘ඒ සියලු දෙනා තමන් පිළින කරන පරිදි සත්‍යය දැන ගත්තාහු ද? සියල්ලෝ ම නො දැන ගත්තාහු ද? නො හොත් එක්තරා කෙනෙක් දැන ගත්තාහු, එක්තරා කෙනෙක් නො දැන ගත්තාහු ද?’ යන මේ කරුණ සිටි වා (පසෙකැ තැබේ වා). සුභද්‍රයෙනි, තොපට දහමක් දෙසන්නෙමි. එය අසවු, මෙනෙහි කරවු. කියන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ ය, වහන්සැ” යි ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදු රජුනට පිළිවදන් ඇස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT105. “යස්මිං ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො න උපලබ්භති, සමණො පි න උපලබ්භති, දුතියො පි තත්ථ සමණො න උපලබ්භති, තතියො පි තත්ථ සමණො න උපලබ්භති, චතුත්ථො පි තත්ථ සමණො න උපලබ්භති. යස්මිඤ්ච ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, සමණොපි තත්ථ උපලබ්භති, දුතියො පි තත්ථ සමණො උපලබ්භති, තතියො පි තත්ථ සමණො උපලබ්භති, චතුත්ථො පි තත්ථ සමණො උපලබ්භති. ඉමස්මිං ඛො සුභද්ද, ධම්මවිනයෙ අරියො අට්ඨඞ්ගිකො මග්ගො උපලබ්භති, ඉධෙ ව සුභද්ද සමණො, ඉධ දුතියො සමණො, ඉධ තතියො සමණො, ඉධ චතුත්ථො සමණො. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ. ඉමෙ ච{1} සුභද්ද, භික්ඛූ සම්මා විහරෙය්යුං අසුඤ්ඤො ලොකො අරහන්තෙහි අස්සා”ති.
Sinhala BJT105. “සුභද්‍රයෙනි, යම් ධර්‍ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), දෙවෙනි සෙදැගැමි මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දු සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත, දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ (දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභදුයෙනි, මෙහි ම (පළමු) සෝවාන් මහණ ද ඇත, මෙහි ම දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, මෙහි ම තෙවෙනි අනැගැමි මහණ ද ඇත, මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්‍රයෝ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණහු ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.”
Pali BJT“එකූනතිංසො වයසා සුභද්ද යං පබ්බජිං කිං කුසලානුඑසී වස්සානි පඤ්ඤාස සමාධිකානි යතො අහං පබ්බජිතො සුභද්ද ඤායස්ස ධම්මස්ස පදෙසවත්තී ඉතො බහිද්ධා සමණොපි නත්ථි.{1} දුතියොපි සමණො නත්ථි, තතියොපි සමණො නත්ථි, චතුත්ථොපි සමණො නත්ථි. සුඤ්ඤා පරප්පවාදා සමණෙහි අඤ්ඤෙ ඉමෙ ච සුභද්ද භික්ඛූ සම්මා විහරෙය්යුං අසුඤ්ඤො ලොකො අරහන්තෙහී”ති{2}
Sinhala BJT“සුභද්‍රයෙනි, කුසල් නම් (නිවන් මඟ නම්) කිම් දැ යි සොයනුයෙම් මම් පැවිදි වීමි යන යමක් ඇද්ද, එය වයසින් එකුන්තිසක් ඇත්තෙම් කෙළෙමි. සුභදුයෙනි, යම් කලෙක මම් පැවිදි වීම් ද, එ දා සිට මෙ දෑතුරෙහි මඳක් වැඩි පස් පනස් වසෙක් ඉකුත් විය. අරීමඟ දහමැ විවසුන් වැඩීම් වශයෙන් ඒකදේශයෙක්හි දු (එක් කොටසෙක නමුදු) පවත්නා මහණෙක් මෙ සස්නෙන් බැහැරැ නැත. පළමු මහණ ද මෙ සස්නෙන් බැහැරැ නැත. දෙවෙනි මහණ ද නැත. තෙවෙනි මහණ ද නැත. සිවුවන මහණ ද නැත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ හිස් හ. සුභද්‍රයෙනි, මේ මහණහු නිසි පරිදි (සම්‍යක්ප්‍රතිපන්න වැ) වසන්නා හු නම්, ලොව රහතුන් ගෙන් නොසිස් වන්නේ ය.”
Pali BJT106. එවං වුත්තෙ සුභද්දො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ, සෙය්යථා පි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තී’ති, එවමෙව භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භන්තෙ, භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJT106. මෙසේ වදාළ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට, “වහන්ස, දම් දෙසුම ඉතා මනා ය, වහන්ස, දම් දෙසුම ඉතා මනා ය. යම් සේ මුණින් නමා තුබූ බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ ද, මං මුළා වූවක් හට මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූප දකිති යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එ සේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් මට දහම් පැවැසිණ. වහන්ස එයැසූ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂූ සංඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලබම් වා, උපසපුව ලබම් වා” යි කී ය.
Pali BJT“යො ඛො සුභද්ද, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති, පබ්බජ්ජං, ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අපි ච මෙත්ථ පුග්ගලවෙමත්තතා විදිතා”ති. “සචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ, ආකඞ්ඛන්තා පබ්බජ්ජං, ආකඞ්ඛන්තා උපසම්පදං, චත්තාරො මාසෙ පරිවසන්ති, චතුන්නං මාසානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය. අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නං වස්සානං අච්චයෙන ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායා”ති.
Sinhala BJT“සුභද්‍රයෙනි, පෙරැ අන් තොටු වූයෙක් මෙ සස්නැ පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්, හේ සිවු මසක් පිරිවෙස් වෙසෙයි. සිවු මස ඇවෑමෙන් සතුටු වූ මහණහු ඔහු භික්‍ෂූත්‍වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. වැළිදු මෙහි ලා මා විසින් පුඟුල් වෙසෙස දන්නා ලද්දේ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, “ඉදින් වහන්ස, පෙරැ අන් තොටු වූවාහු මෙ සස්නැ පැවිද්ද පතන්නාහු, උපසපුව පතන්නාහු, සිවු මසක් පිරිවෙස් වසන්නාහු නම්, සිවු මස ඇවෑමෙන් සතුටු සිතැති මහණහු භික්‍ෂූත්‍වය පිණිස පැවිදි කරන්නාහු, උපසපන් කරන්නාහු නම්, මම් (සිවුමසක් නො ව) සිවුවසක් ම පිරිවෙස් වසන්නෙමි. සිවු වස ඇවෑමෙන් සතුටු වූ සිතැති මහණහු භික්‍ෂුභාවය පිණිස මා පැවිදි කෙරෙත් වා, උපසපන් කෙරෙත් වා” යි පිරිවැජි කී ය.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: තෙනහානන්ද, සුභද්දං පබ්බාජෙථා’ති. ‘එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. අථ ඛො සුභද්දො පරිබ්බාජකො ආයස්මන්තං ආනන්දං එතදවොච: “ලාභා වො ආවුසො ආනන්ද, සුලද්ධං වො ආවුසො ආනන්ද, යෙ{1} එත්ථ සත්ථු සම්මුඛා අන්තෙවාසාභිසෙකෙන අභිසිත්තා’ති.{2}
Sinhala BJTඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, “අනඳයෙනි, එසේ වී නම් සුභද්‍රයා පැවිදි කරන්නැ” යි වදාළහ. “එසේ ය වහන්සැ” යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම අනඳ තෙරුනට “ඇවැත් අනඳයෙනි, යම් කෙනෙක් මෙහි ශාස්තෘන් හමුයෙහි අන්තේවාසිකාභිසේකයෙන් අභිෂික්ත ද, ඒ ඔබට මහත් ලාභ කෙනෙක, ඒ ඔබ විසින් ලද සේ මැනැවැ” යි කී ය.
Pali BJTඅලත්ථ ඛො සුභද්දො පරිබ්බාජකො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා සුභද්දො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො, නචිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ඛො පනායස්මා සුභද්දො අරහතං අහොසි. සො ච{3}, භගවතො පච්ඡිමො සක්ඛිසාවකො අහොසී ති.
Sinhala BJTසුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුන් වෙතැ පැවිද්ද ලැබී ය, උපසපුව ලැබී ය. ආයුෂ්මත් සුභද්‍ර තෙම උපසපන් වූ නොබෝ කල් ඇත්තේ ම හුදෙකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ කමටහන කරා මෙහෙයූ සිතැති වැ වසනුයේ, යමක් පිණිස කුලදරුවෝ මනා ව ම ගිහිගෙන් නික්ම සසුන් වදනා හු ද, ඒ මඟබඹසරැ කෙළවර වූ ලොවුතුරා රහත් බව මේ අත් බව්හි ම නොබෝ කල්හි ම තෙමේ ම නුවණින් දැන පසක් කොට ලැබ විසී ය. හේ “ඉපැත්ම නැවැතිණ, මහ බඹසර වැස නිමැවිණ. කළ යුතු දෑ කොට නිමැවිණ. මේ රහත් බව පිණිස තව කළ යුතු දැයෙක් නැතැ” යි වෙසෙසින් දත්තේ ය. ආයුෂ්මත් සුභද්‍රයෝ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූ හ. ඔබ භගවත් බුදුරජුන්ගේ අන්තිම ප්‍රත්‍යක්‍ෂ ශ්‍රාවක (ඔබ ධරමාණ කල්හි ම රහත් වූ අන්තිම ශ්‍රාවක) වූහ.
Pali BJTපඤ්චමො භාණවාරො.
Sinhala BJTපස් වන බණවර යි.
Pali BJTතථාගතස්ස පච්ඡිමා වාචා
Sinhala BJTතථාගතයන් වහන්සේගේ අන්තිම වචනය
Pali BJT107. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙති.
Sinhala BJT107. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක:
Pali BJT“සියා ඛො පනානන්ද, තුම්හාකං එවමස්ස අතීතසත්ථුකං පාවචනං, නත්ථි නො සත්ථාති. න ඛො පනෙතං ආනන්ද, එවං දට්ඨබ්බං. යො ඛො ආනන්ද, මයා ධම්මො ච විනයො ච දෙසිතො පඤ්ඤත්තො සො වො මමච්චයෙන සත්ථා ති. යථා ඛො පනානන්ද, එතරහි භික්ඛූ අඤ්ඤමඤ්ඤං ආවුසොවාදෙන සමුදාචරන්ති, න ඛො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං. ථෙරතරෙන ආනන්ද, භික්ඛුනා නවකතරො භික්ඛු නාමෙන වා ගොත්තෙන වා ආවුසොවාදෙන වා සමුදාචරිතබ්බො. නවකතරෙන භික්ඛුනා ථෙරතරො භික්ඛු භන්තෙති වා ආයස්මාති වා සමුදාචරිතබ්බො.
Sinhala BJT“අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැ යි ‘අපගේ ශාස්තෘහු නැතැ’ යි තොපට මෙ බඳු සිතක් ඇති විය හැක්කේ ම ය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නො වෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයෙකුත් දෙසිණි ද පැණැවිණි ද එය මා ඇවෑමෙන් තොපට ශාස්තෘ වෙයි. අනෙකක් කියම්. අනඳයෙනි, දැන් මහණහු උනුනට ආවුසෝවාදයෙන් (ඇවැත්නි යි යන වචනයෙන්) කතා කෙරෙත් ද, මා ඇවෑමෙන් එසේ කතා නො කළ යුතු. අනඳයෙනි, (උපසපුයෙන්) වඩා මහලු වූ මහණහු විසින් (උපසපුයෙන්) වඩා බාල වූ මහණ තෙම සංඥානාමයෙන් හෝ ඔහු අයත් ගෝත්‍රයේ නමින් හෝ ආවුසෝවාදයෙන් හෝ ඇමැතියැ යුතු. වඩා බාල මහණහු විසින් වඩා මහලු මහණ තෙම ‘වහන්සැ’ යි හෝ ‘ආයුෂ්මත්නි’ යි හෝ කියා ඇමැතියැ යුතු.
Pali BJTආකඞ්ඛමානො ආනන්ද, සඞ්ඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහනතු.{1}
Sinhala BJTඅනඳයෙනි, ඉදින් සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මා ඇවෑමෙන් කුඩා අනු කුඩා සික පද සමූහනනය කෙරේ වා (උදුරා ඉවත් කෙරේවා).
Pali BJTඡන්නස්ස ආනන්ද, භික්ඛුනො මමච්චයෙන බ්රහ්මදණ්ඩො දාතබ්බො”ති. “කතමො පන භන්තෙ, බ්රහ්මදණ්ඩො?”ති. “ඡන්නො ආනන්ද, භික්ඛු යං ඉච්ඡෙය්ය තං වදෙය්ය, සො භික්ඛූහි නෙව වත්තබ්බො න ඔවදිතබ්බො න අනුසාසිතබ්බො”ති.
Sinhala BJTඅනඳයෙනි, මා ඇවෑමෙන් ඡන්න මහණහට බ්‍රහ්මදණ්ඩනය දියැ යුතු. ‘වහන්ස, බ්‍රහ්මමදණ්ඩනය නම් කවරේ දැ’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. ‘අනඳයෙනි, ඡන්න මහණ යමක් කැමැත්තෙන් ද එය කියා වා. මහණුන් විසින් හෙ තෙම කිසිවක් නො කියැ යුතු (ඔහු හා කතා නො කළ යුතු), නො ම ඔවා දියැ යුතු, අනුශාසනා නො ම කට යුතු. (බ්‍රහ්ම දණ්ඩන නම් මේ යැ.)’
Pali BJT108. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සියා ඛො පන භික්ඛවෙ, එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා, පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ: සම්මුඛීභූතො නො සත්ථා අහොසි, න මයං සක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. දුතියම්පි ඛො භගවා -පෙ- තතියම්පි ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: සියා ඛො පන භික්ඛවෙ, එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා පුච්ඡථ භික්ඛවෙ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, සම්මුඛීභූතො නො සත්ථා අහොසි, න මයං සක්ඛිම්හ භගවන්තං සම්මුඛා පටිපුච්ඡිතුන්ති. තතියම්පි ඛො තෙ භික්ඛූ තුණ්හී අහෙසුං. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සියා ඛො පන භික්ඛවෙ, සත්ථුගාරවෙනාපි න පුච්ඡෙය්යාථ. සහායකො පි භික්ඛවෙ, සහායකස්ස ආරොචෙතූ’ති. එවං වුත්තෙ තෙ භික්ඛූ තුණ්හී අහෙසුං.
Sinhala BJT108. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණුන් බණවා වදාරනසේක්, ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්‍ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙන් ඇත් නම්, මහණෙනි, එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළ සේක. මෙසේ වදාළකල්හි ඒ මහණහු නිහඬ වූහ. භගවත්හු දෙවෙනි වර ද ... තෙවෙනි වරද ‘මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්‍ගය කෙරෙහි, පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ ඇත් නම් එය විචාරවු. ‘ශාස්තෘහු අපට හමු වූහ, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නො හැකි වූ මු’ යි පසු වැ විපිළිසැරි නො වවු’ යි වදාළහ. තෙවෙනි වරැ ද ඒ මහණහු නිහඬ වූහු. එ විට භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, ‘මහණෙනි, ශාස්තෘහු කෙරෙහි ගෞරවයෙනුදු තොප නො විචාරනු විය හැක්ක. (එසේ කලැ) යහලු මහණ තෙමේ යහලු මහණකුට හෝ සැළ කෙරේ වා’ යි වදාළ හ. මෙසේ වදාළ කල්හි ද ඒ මහණහු නිහඬ වුහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, එවං පසන්නො අහං භන්තෙ, ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ ‘නත්ථි එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා’ති.
Sinhala BJTඑ කල්හි අනඳ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍ය! වහන්ස, අද්භූත ය! වහන්ස, බුදුරජුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟ කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ එක් මහණක්හට දු සැකයෙක් හෝ විමතියෙන් හෝ නැතැ’ යි මෙසේ මේ භික්‍ෂූ සංඝයා කෙරෙහි මම් පැහැදුණෙමි’ යි භගවත් බුදුරජුනට සැළ කළහ.
Pali BJT“පසාදා ඛො ත්වං ආනන්ද වදෙසි. ඤාණමෙව හෙත්ථ ආනන්ද තථාගතස්ස. නත්ථි ඉමස්මිං භික්ඛුසඞ්ඝෙ එකභික්ඛුස්සාපි කඞ්ඛා වා විමති වා බුද්ධෙ වා ධම්මෙ වා සඞ්ඝෙ වා මග්ගෙ වා පටිපදාය වා. ඉමෙසං හි ආනන්ද, පඤ්චන්නං භික්ඛුසතානං යො පච්ඡිමකො භික්ඛු සො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති.
Sinhala BJT“අනඳයෙනි, තෙපි පැහැදීමෙන් (ප්‍රසාදය හේතු කොට ගෙන) මෙසේ කියවු. අනඳයෙනි, තථාගතයන්ගේ වූකලි මෙ කරුණෙහි ලා ‘මෙ මහණ මුළුයෙහි එක් මහණකුට ද බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟෙහි හෝ පිළිවෙතෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ නැත. අනඳයෙනි, මේ පන්සියක් මහණුන් අතුරැ යම් පැසිම් සවු මහණෙක් වේ ද, හේ සිවු අවාහි නො වැටෙන සුලු සම්‍යක්ත්‍ව නියමයෙන් නියත වූ, සම්බෝධිය (ඉදිරි මාර්‍ගත්‍රයය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තේ මැ” යි දැනීම ඇත්තෙකු වි වදාළ සේක.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “හන්ද’දානි භික්ඛවෙ, ආමන්තයාමි වො, වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථා”ති.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: “මහණෙනි. දැන් තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැවූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වූ (සපුරවු)”
Pali BJTඅයං තථාගතස්ස පච්ඡිමා වාචා{1}.
Sinhala BJTමේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය.
Pali BJTභගවතො පරිනිබ්බානං
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ පිරිනිවීම
Pali BJT109. අථ ඛො භගවා පඨමං ඣානං සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජි.
Sinhala BJT109. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළමු දහන් සම වැදුණු සේක. පළමු දැහැනෙන් නැඟී දෙවෙනි දහන් සම වැදුණු සේක. දෙවෙනි දැහැනෙන් නැඟී තෙවෙනි දහන් සම වැදුණු සේක. තෙවෙනි දැහැනෙන් නැඟී සිවුවැනි දහන් සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී ආකාසානඤ්චායතන දහන් සමවත් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟි විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච, “පරිනිබ්බුතො භන්තෙ අනුරුද්ධ භගවා’ති. “න ආවුසො ආනන්ද, භගවා පරිනිබ්බුතො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො”ති.
Sinhala BJTඑ කල්හි අනඳ තෙරණුවෝ ‘අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක් දැ?’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘ඇවැත් අනඳයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො පිරිනිවි සේක. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේකැ’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ.
Pali BJTඅථ ඛො භගවා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනසමාපත්තියා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා පඨමං ඣානං සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියං ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියං ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථං ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා සමනන්තරා භගවා පරිනිබ්බායි.
Sinhala BJTඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතන සමවතින් නැඟී ආකාසානඤ්චායතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී පළමු දහනට සමවන් සේක. පළමු දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී සිවුවැනි දහනට සමවන් සේක. සිවුවැනි දැහැනින් නැඟී එයට අනතුරු වැ පිරිනිවි සේක.
Pali BJT110. පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා මහාභූමිචාලො අහොසි, භිංසනකො සලොමහංසො. දෙවදුන්දුභියො ච ඵලිංසු. පරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා බ්රහ්මා සහම්පති ඉමං ගාථං අභාසි:
Sinhala BJT110. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ බිහිසුණු වූ ලොමුදහ ගැනුම් ඇති කරන මහද් භූමිචලනයෙක් විය. දෙව්බෙර පැළිණ. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවන හා මැ සහම්පති මහ බඹ “සබ්බේව නික්ඛිපිස්සන්ති ... සම්බුද්ධෝ පිරිනිබ්බුතො” යි මේ ගීය ගැයී ය.
Pali BJT“සබ්බෙව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං{1} යථා එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතො”ති.
Sinhala BJTඑහි අදහස: “ලොවැ හැම සත්හු ම යම් සේ (ජීවිතේන්‍ද්‍රිය පරිහාණියෙන්) සිරුර හැරදමත් ද, එසේ ම දශවැදෑරුම් ඥාණබලයට පැමිණි, ලොවැ ඔබට සමපුඟුලක්හු නැති, තථාගත වූ සම්බුද්ධ වූ මෙ බඳු වූ ශාස්තෘන් වහන්සේ පිරිනිවි සේක.”
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTභගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ සක්දෙවිඳු “අනිච්චාවත සංඛාරා ... තෙසං වූපසමෝ සුඛො” යි මේ ගය කී ය.
Pali BJT“අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො”ති.
Sinhala BJTඑහි අදහස: “පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනැසෙන සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.”
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා ආයස්මා අනුරුද්ධො ඉමා ගාථායො අභාසි:
Sinhala BJTභගවත් බුදුරජුන් පිරිනිවි කල්හි පිරිනිවෙනු හා මැ අනුරුත් තෙරණුවෝ “නාහු අස්සාසපස්සාසා ... විමොක්ඛො චෙතසො අහු” යි මේ ගාථා වදාළහ.
Pali BJT“නාහු අස්සාසපස්සාසො ඨිතචිත්තස්ස තාදිනො, අනෙජො සන්තිමාරබ්භ යං කාලමකරී මුනි.
Sinhala BJTඑහි අදහස: “තහවුරු සිතැති, අටලෝ දහමින් නොසැලෙන බුදුරජුන්ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නැවැතුණාහ (නො පැවැත්මට පැමිණියාහ). ඒ මුනිහු තෘෂ්ණා නැතියාහු, නිවන් අරමුණු කොට කලුරිය කළාහ
Pali BJTඅසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයී, පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහූ”ති.{2}
Sinhala BJTඔබ (නො හැකුලුණු සිතින් මරණාන්තික) වේදනාව ඉවැසූහ. පහනක් නිවෙනු සෙයින් ඔබ සිතැ මිදීම විය.”
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා ආයස්මා ආනන්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTභගවත් බුදුරජුන් පිරිනිවි කල්හි ඔබ පිරිනිවෙන්නා හා මැ අනඳ තෙරණුවෝ මේ “තදාසි යං හිංසනකං ... සම්බුද්ධෝ පරිනිබ්බුතෙ” යි මේ ගය වදාළහ.
Pali BJT“තදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං සබ්බාකාරවරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙ”ති.
Sinhala BJTඑහි අදහස: “(සිල් ආදි) සියලු උතුම් කරුණින් යුත් සම්මාසම්බුදු රජුන් පිරිනිවි කල්හි, එ කෙණෙහි මහත් බිහිසුණු පොළෝ සැලීමෙක් විය. එකෙණෙහි මහත් ලොමුදහ ගැන්මෙක් විය.”
Pali BJT111. “පරිනිබ්බුතෙ භගවති යෙ තෙ තත්ථ භික්ඛූ අවීතරාගා අප්පෙකච්චෙ බාහා පග්ගය්හ කන්දන්ති ඡින්නපාතං පතන්ති ආවට්ටන්ති විවට්ටන්ති:” අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරහිතන්ති. යෙ පන තෙ භික්ඛූ වීතරාගා තෙ සතා සම්පජානා ‘අධිවාසෙන්ති අනිච්චා සඞ්ඛාරා, තං කුතෙත්ථ ලබ්භා’ති.
Sinhala BJT111. එහි නොපහ වූ රාගය ඇති යම් මහණ කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, “භාග්‍යවතුන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක! සුගතයන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක!! ලොවේ ඇස ඉතා යුහු වැ අතුරුදහන් වී යැ!!!” යි ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, මැදින් බිඳී වැටුණවුන් සේ වැටෙත්. (පෙරැළෙන්නාහු) වැටුණ තැනට ම පෙරැළී එත්, වැටුණු තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. යම් මහණ කෙනෙක් පහ වූ රාග ඇත්තාහු ද, ඔහු එළැඹැවූ සිහි ඇත්තාහු නුවණින් සලකන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔවුන් නොනැසෙන බවෙක් කොයින් ලැබෙන්නේ දැ’ යි සලකන්නෝ ඉවසත්.
Pali BJT112. අථ ඛො ආයස්මා අනුරුද්ධො භික්ඛූ ආමන්තෙසි: අලං ආවුසො, මා සොචිත්ථ මා පරිදෙවිත්ථ. නනු එතං ආවුසො, භගවතා පටිගච්චෙව අක්ඛාතං, සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො, තං කුතෙත්ථ ආවුසො, ලබ්භා යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජති. දෙවතා ආවුසො, උජ්ඣායන්තී”ති.
Sinhala BJT112. ඉක්බිති අනුරුත් තෙරණුවෝ භික්‍ෂූන් අමතා, “ඇවැත්නි, හැඬුමෙන් වැඩෙක් නැත. නො ම සොවිවු. නො ම වැලැපෙවු. ප්‍රිය මනාප හැම දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදුයේ නො වේ ද? ඇවැත්නි, යමෙක් උපන්නේ ද, වූයේ ද පසයෙන් සකස් වූයේ ද, නැසෙන සුලු ද, එය නො නැසේ ව” යි යන්න කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යමාන ය. ඇවැත්නි, දේවතාවෝ ද තොප හැඬුමට දොස් කියත්” යි වදාළහ.
Pali BJT“කථම්භූතා පන භන්තෙ, අනුරුද්ධ දෙවතා මනසි කරොති? සන්තාවුසො ආනන්ද, දෙවතා ආකාසෙ පඨවිසඤ්ඤිනියො කෙසෙ පකිරිය කන්දන්ති බාහා පග්ගය්හ කන්දන්ති ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරහිතන්ති. සන්තාවුසො ආනන්ද, දෙවතා පඨවියා පඨවිසඤ්ඤිනියො කෙසෙ පකිරිය -පෙ- අන්තරහිතො ති. යා පන තා දෙවතා වීතරාගා තා සතා සම්පජානා අධිවාසෙන්ති ‘අනිච්චා සඞ්ඛාරා තං කුතෙත්ථ ලබ්භා’ති.
Sinhala BJT“වහන්ස, අනුරුත් තෙරුනි, ඔබ කෙසේ වූ දේවතා කෙනකු මෙනෙහි කරත් දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. “ඇවැත් අනඳයිනි, අහ සැ පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැ යි, සුගතයන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැයි, ලොවැ ඇස ඉතා වහා අතුරු දහන් වී යැ’ යි කෙහෙ මුදා වැලැපෙත්. හිසැ අත් හුවා වැලැපෙත්. මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්. බිමැ පෙරැළෙන්නාහු වැටී හොත් තැනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. අනඳයෙනි, පොළොවෙහි පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු “... අතුරුදහන් වී යැ” යි කෙසේ මුදා වැලැපෙත්. යම් දේවතා කෙනෙක් පහ වූ රාග ඇත්තෝ ද (අනාගාමී හෝ රහත් වූ වෝ ද), ඔහු “සංස්කාරයෝ අනිත්‍යහ, (ඔහු නො නැසෙත් යන) එය මෙහි කොයින් ලැබේ දෑ?” එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසත්.”
Pali BJT113. අථ ඛො ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච ආනන්දො තං රත්තාවසෙසං ධම්මියා කථාය වීතිනාමෙසුං. අථ ඛො ආයස්මා අනුරුද්ධො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: ගච්ඡාවුසො ආනන්ද, කුසිනාරං. කුසිනාරං පවිසිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙහි: ‘පරිනිබ්බුතො වාසිට්ඨා භගවා, යස්ස’දානි කාලං මඤ්ඤථා’ති. එවම්භන්තෙ’ති ඛො ආයස්මා ආනන්දො ආයස්මතො අනුරුද්ධස්ස පටිස්සුත්වා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය අත්තදුතියො කුසිනාරං පාවිසි. තෙන ඛො පන සමයෙන කොසිනාරකා මල්ලා සන්ථාගාරෙ සන්නිපතිතා හොන්ති තෙනෙව කරණීයෙන. අථ ඛො ආයස්මා ආනන්දො යෙන කොසිනාරකානං මල්ලානං සන්ථාගාරං තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා කොසිනාරකානං මල්ලානං ආරොචෙසි: “පරිනිබ්බුතො වාසිට්ඨා භගවා, යස්ස’දානි කාලං මඤ්ඤථා”ති. ඉදමායස්මතො ආනන්දස්ස වචනං සුත්වා මල්ලා ච මල්ලපුත්තා ච මල්ලසුණිසා ච මල්ලපජාපතියො ච අඝාවිනො දුම්මනා චෙතො දුක්ඛසමප්පිතා අප්පෙකච්චෙ කෙසෙ පකිරිය කන්දන්ති, බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති ආවට්ටන්ති විවට්ටන්ති අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛු ලොකෙ අන්තරහින්ති.”
Sinhala BJT113. එ කල්හි අනුරුත් තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ඒ රැය ඉතිරි කොටස දැහැමි කතායෙන් ගෙවූහ. ඉක්බිති අනුරුත් තෙරණුවෝ අනඳ තෙරුන් අමතා, “ඇවැත්නි, අනඳයෙනි, කුසිනාරාවට යන්න. කුසිනාරාවට වැද, “වාසිෂ්ඨයිනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු ද එයට (දැන් කාලය වේ යැ යි) කාලය දනිවු” යැ යි කුසිනාරාවාසී මල්ල රජුනට සැළ කරවු” යැ යි වදාළාහ. ‘එසේ යැ වහන්සැ’ යි ම අනඳ තෙරණුවෝ අනුරුත් තෙරුනට පිළිවදන් දී, පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, තමා දෙවැනි කොටැති වැ, කුසිනාරාවට පිවිසියාහ. එ සමයෙහි කුසිනාරා වැසි මල්ලයෝ ඒ කටයුත්තෙන් ම සන්‍ථාගාරයෙහි රැස්වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්‍ථාගාරය කරා එළැඹියාහ. එළැඹ ඔවුනට ‘වාසිෂ්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු නම් එයට කල් දනිවු’ යැ යි සැළ කළාහ. අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ල රජහු ද, මල්ල රජුන් පුත්තු ද, මල්ල රජුන් ලෙහෙළියෝ ද, මල්ල රජුන් බිරියෝ ද, දුක් ඇත්තාහු දොම්නස් ඇත්තාහු, සිත්හි උපන් දුකින් යුක්ත වූවාහු, “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක! ඉතා වහා සුගතයන් වහන්‍සේ පිරිනිවි සේක!! ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වී යැ!!!’ යි ඇතැම් කෙනෙක් කෙහෙමුදා හඬත්, ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, වැටී හොත් තැනට පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට පෙරැළී යෙත්.
Pali BJT114. අථ ඛො කොසිනාරකා මල්ලා පුරිසෙ ආණාපෙසුං “තෙන හි භණෙ කුසිනාරායං ගන්ධමාලඤ්ච සබ්බඤ්ච තාළාවචරං සන්නිපාතෙථා”ති. අථ ඛො කොසිනාරකා මල්ලා ගන්ධමාලඤ්ච සබ්බඤ්ච තාළාවචරං පඤ්ච ච දුස්සයුගසතානි ආදාය යෙන උපවත්තනං මල්ලානං සාලවනං යෙන භගවතො සරීරං තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා චෙලවිතානානි කරොන්තා මණ්ඩලමාළෙ පටියාදෙන්තා ‘එකදිවසං වීතිනාමෙසුං. අථ ඛො කොසිනාරකානං මල්ලානං එතදහොසි. ‘අතිවිකාලො ඛො අජ්ජ භගවතො සරීරං ඣාපෙතුං, ස්වෙදානි මයං භගවතො සරීරං ඣාපෙස්සාමා”ති. අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා චෙලවිතානානි කරොන්තා මණ්ඩලමාළෙ පටියාදෙන්තා දුතියම්පි දිවසං වීතිනාමෙසුං, තතියම්පි දිවසං වීතිනාමෙසුං, චතුත්ථම්පි දිවසං වීතිනාමෙසුං, පඤ්චමම්පි දිවසං වීතිනාමෙසුං, ඡට්ඨම්පි දිවසං වීතිනාමෙසුං. අථ ඛො සත්තමං දිවසං කොසිනාරකානං මල්ලානං එතදහොසි: මයං භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, දක්ඛිණෙන දක්ඛිණං නගරස්ස හරිත්වා බාහිරෙන බාහිරං දක්ඛිණතො නගරස්ස භගවතො සරීරං ඣාපෙස්සාමා’ති.
Sinhala BJT114. එයට පසු කුසිනාරා වාසී මල්ලයෝ පුරුෂයන් බණවා “සගයෙනි, එසේ වී නම් තෙපි කුසිනාරායෙහි සුවඳ දෑ හා මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද රැස්කරවු යැ” යි ඇණැවූහ. ඉක්බිති කුසිනාරා පුරවැසි මල්ලයෝ සුවඳ ද මල් ද සියලු තූර්‍ය්‍ය භාණ්ඩ ද කාසික වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලයන්ගේ උපවර්‍තන සල් උයන යම් තැනෙක ද, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය යම් තැනෙක ද, එ තැනට එළැඹියාහ. එළැඹැ, භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට නැටුමින් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු මහඟු වතින් වියන් බඳනාහු, මඩුලුමල් පිළියෙල කරන්නාහු එක් දවසක් ගෙවූහ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයනට ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නට ඉතා නො කල් ය. සෙට දවසැ අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන කරන්නමු’ යි මේ සිත විය. එයට පසු කුසිනාරා වැසි මල්ලයෝ භගවත් බුදුරජුන් සිරි සිරුරට නැටුම් ගැයුම් වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර කරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු, මහඟු වතින් වියන බඳනාහු, මඬුලුමල් පිළියෙල කරන්නාහු, දෙවෙනි දවස ද ගෙවූහ, තෙවෙනි දවස ද ගෙවූහ, සතරවැනි දවස ද ගෙවූහ, පස්වැනි දවස ද ගෙවූහ, සවැනි දවස ද ගෙවූහ. ඉක්බිති සත්වැනි දවසෙහි කුසිනාරා වැසි මල්ලයනට “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර මානන පූජන කරන්නමෝ, නුවර දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා, (ඇතුළු නුවරට නො පිවිස්වා) නුවර බැහැරින් ම බැහැරට පමුණුවා, නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නෙමු” යි මේ සිත විය.
Pali BJT115. තෙන ඛො පන සමයෙන අට්ඨ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා ‘මයං භගවතො සරීරං උච්චාරෙස්සාමා’ති නසක්කොන්ති උච්චාරෙතුං. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: කො නු ඛො භන්තෙ අනුරුද්ධ, හෙතු කො පච්චයො යෙනිමෙ අට්ඨ මල්ලපාමොක්ඛා සීසං නහාතා අහතානි වත්ථානි නිවත්ථා ‘මයං භගවතො සරීරං උච්චාරෙස්සාමා’ති න සක්කොන්ති උච්චාරෙතුන්ති?” “අඤ්ඤථා ඛො වාසිට්ඨා, තුම්හාකං අධිප්පායො, අඤ්ඤථා දෙවතානං අධිප්පායො”ති. “කථං පන භන්තෙ, දෙවතානං අධිප්පායො”ති. “තුම්හාකං ඛො වාසිට්ඨා, අධිප්පායො: “මයං භගවතො සරීරං නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා දක්ඛිණෙන දක්ඛිණං නගරස්ස හරිත්වා, බාහිරෙන බාහිරං දක්ඛිණතො නගරස්ස භගවතො සරීරං ඣාපෙස්සාමා”ති. දෙවතානං ඛො වාසිට්ඨා, අධිප්පායො “මයං භගවතො සරීරං දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, උත්තරෙන උත්තරං නගරස්ස හරිත්වා, උත්තරෙන ද්වාරෙන නගරං පවෙසෙත්වා, මජ්ඣෙන මජ්ඣං නගරස්ස හරිත්වා, පුරත්ථිමෙන ද්වාරෙන නික්ඛාමෙත්වා, පුරත්ථිමතො නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං, එත්ථ භගවතො සරීරං ඣාපෙස්සාමා”ති. “යථා භන්තෙ, දෙවතානං අධිප්පායො, තථා හොතූ”ති.
Sinhala BJT115. එ සමයෙහි පාමොක් මල්ල රජුහු අට දෙනෙක් ඉස් සෝදා නා අළුත් වස්ත්‍ර හැඳගත්තාහු, “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවා ගෙන යන්නම්හ” යි තැත් කරන්නාහු දු එය ඔසොවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරා වැසි මල්ලයෝ ‘වහන්ස, අනුරුද්ධයෙනි, මේ පාමොක් මල්ලයෝ අට දෙන හිස් සෝදා නා අළුත් වත් හැඳ “අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහය ඔසොවන්නෙමු’ යි තැත් කරන්නාහු එය ඔසොවන්නට යම් හෙයෙකින් නො හැකි වෙත් ද, එයට හේතුව කවර යැ? එයට ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, තොප අදහස අන් සැටියෙක. දෙවියන් අදහස අන් සැටියෙකැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දෙවියන් අදහස කෙසේ දැ?” යි මල්ලයෝ විචාළහ. “වාසිෂ්ඨයෙනි, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගුරුකාර බහුමාන පූජා කෙරෙමින් නුවරැ දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා නුවර බැහැරින් ම බැහැරට පමුණුවා නුවරට දකුණු දිග්හි දී ආදාහන කරන්නමු’ යි තොප අදහස ය. “අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර දෙව් නැටුමින් දෙව් ගැයුමින්, දෙව් මලින් දෙව් සුවඳින් සත්කාර ගුරුකාර බහුමාන පූජනා කෙරෙමින් නුවර උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු දොරින් නුවරට පිවිස්වා, නුවරට මැදින් නුවර මැදට පමුණුවා, නැගෙනහිර දිගැ දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙරදිගැ මල්ලයන්ගේ මුකුට බන්‍ධන නම් යම් සෑයෙක් ඇද්ද, එහි ආදාහනය කරන්නම්හ’ යනු දේවතාවන් ගේ අදහස යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම්සේ ද එසේ වේ වා” යි මල්ලයෝ කීහ.
Pali BJT116. තෙන ඛො පන සමයෙන කුසිනාරා යාව සන්ධිසමලසංකටීරා ජණ්ණුමත්තෙන ඔධිනා මන්දාරවපුප්ඵෙහි සන්ථතා හොති. අථ ඛො දෙවතා ච කොසිනාරකා ච මල්ලා භගවතො සරීරං දිබ්බෙහි ච මානුසකෙහි ච නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරොන්තා ගරුකරොන්තා මානෙන්තා පූජෙන්තා, උත්තරෙන උත්තරං නගරස්ස හරිත්වා, උත්තරෙන ද්වාරෙන නගරං පවෙසෙත්වා, මජ්ඣෙන මජ්ඣං නගරස්ස හරිත්වා, පුරත්ථිමෙන ද්වාරෙන නික්ඛමිත්වා, පුරත්ථිමතො නගරස්ස මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං,{1} තත්ථ භගවතො සරීරං නික්ඛිපිංසු.
Sinhala BJT116. එ සමයෙහි වනාහි කුසිනාරා නුවර ගෘහසන්‍ධි ද වැසිකිළි කාණු ද කැළිකසළ දමන තැන් ද දක්වා ම දනක් පමණ බහල කොට මදාරා මලින් අතුරන ලද්දේ විය. ඉක්බිති දෙවියෝ ද කුසිනාරා පුරැ මල්ල රජදරුවෝ ද භගවත් බුදු රජුන්ගේ ශ්‍රී ශරීරය දිව්‍ය වූ ද මානුෂක වූ ද නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පුදන්නාහු නුවරැ උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු වහසල් දොරින් නුවරට පිවිස්වා, නුවරැ මැදින් නුවරැ මැදට පමුණුවා පෙරදිගැ වහසල් දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙර දිගැ වූ මල්ල රජුන්ගේ මුකුටබන්‍ධන නම් යම් සෑයෙක් (මංගල ශාලාවෙක්) වී ද එහි තැන් පත් කළා හ.
Pali BJT117. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං ආනන්දං එතදවොචුං: “කථං මයං භන්තෙ ආනන්ද, තථාගතස්ස සරීරෙ පටිපජ්ජාමා?”ති. “යථා ඛො වාසිට්ඨා, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බන්ති.” “කථං පන භන්තෙ ආනන්ද, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්තී”ති. “රඤ්ඤො වාසිට්ඨා, චක්කවත්තිස්ස සරීරං අහතෙන වත්ථෙන වෙඨෙන්ති, අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙන්ති. විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙන්ති. එතෙන උපායෙන පඤ්චහි යුගසතෙහි රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජෙත්වා, සබ්බගන්ධානං චිතකං කරිත්වා රඤ්ඤො චක්කවත්තිස්ස සරීරං ඣාපෙන්ති. චාතුම්මහාපථෙ රඤ්ඤො චක්කවත්තිස්ස ථූපං කරොන්ති. එවං ඛො වාසිට්ඨා, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති. යථා ඛො වාසිට්ඨා, රඤ්ඤො චක්කවත්තිස්ස සරීරෙ පටිපජ්ජන්ති, එවං තථාගතස්ස සරීරෙ පටිපජ්ජිතබ්බං. චාතුම්මහාපථෙ තථාගතස්ස ථූපො කාතබ්බො. තත්ථ යෙ මාලං වා ගන්ධං වා චුණ්ණකං වා ආරොපෙස්සන්ති වා අභිවාදෙස්සන්ති වා චිත්තං වා පසාදෙස්සන්ති, තෙසන්තං භවිස්සති දීඝරත්තං හිතාය සුඛායා”ති.
Sinhala BJT117. ඉක්බිති කුසිනාරා පුරැ මල්ල රජුහු “අනඳ තෙරුන් වහන්ස, කෙසේ අපි තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි පිළිපදිමු දැ?” යි අනඳ තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි ද එසේ ම පිළිපැදියැ යුතු” යැ යි අනඳ තෙරණුවෝ වදාළහ. ‘අනඳ තෙරුන් වහන්ස, සක්විති රජුගේ සිරුරෙහි කෙසේ පිළිපදිත් දැ?’ යි මල්ල රජුහු විචාළහ. “වාසිෂ්ඨයිනි, සක්විත්තහුගේ සිරුර අළුත් වතින් වෙළත්. අළුත් වතින් වෙළා මොනොවට නඟා පෑදු කපුපුළුනින් වෙළත්. නඟා පෑදු කපුපුළුනින් වෙළා (යළි) අළුත් වතින් වෙළත්. මේ නයින් යුගල පන් සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, සියලු වගයේ සුවඳ දරින් දර සෑයක් තනා, සක්විති රජුගේ සිරුර දවත්. සිවුමං හන්දියෙක සක්විති රජුට (ඔහු සිරුරැ ඉතිරි වූ අලු ඈ නිදන් කොට) ස්තූපයක් නංවත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි මෙසේ පිළිපදිත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම් සේ පිළිපදිත් ද ,එසේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙහි ද පිළිපැද්ද යුතු. සිවුමං හන්දියෙකැ තථාගතයන් වහන්සේ ට (ඔබ ශාරීරික ධාතූන් නිදහන් කොට ස්තූපක් කළ මනා ය. එහි යම් කෙනෙක් මල් හෝ සුවඳ හෝ ... නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත පහදවන්නාහු හෝ වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ” යි අනඳ තෙරණුවෝ වදාළහ.
Pali BJTඅථ ඛො කොසිනාරකා මල්ලා පුරිසෙ ආණාපෙසුං “තෙන හි භණෙ, මල්ලානං විහතං කප්පාසං සන්නිපාතෙථා”ති. අථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරං අහතෙන වත්ථෙන වෙඨෙසුං. අහතෙන වත්ථෙන වෙඨෙත්වා විහතෙන කප්පාසෙන වෙඨෙසුං. විහතෙන කප්පාසෙන වෙඨෙත්වා අහතෙන වත්ථෙන වෙඨෙසුං. එතෙන උපායෙන පඤ්චහි යුගසතෙහි භගවතො සරීරං වෙඨෙත්වා ආයසාය තෙලදොණියා පක්ඛිපිත්වා{1} අඤ්ඤිස්සා ආයසාය දොණියා පටිකුජ්ජෙත්වා සබ්බගන්ධානං චිතකං කරිත්වා භගවතො සරීරං චිතකං ආරොපෙසුං.
Sinhala BJTඉක්බිති කුසිනාරා පුර වැසි මල්ල රජුහු පුරුෂයන් බණවා ‘එසේ නම් සගයිනි, මල්ල රටැ ඇති නඟා පාදන ලද කපුපුළුන් එක් තැන් කරවු’ යැ යි ඇණැවූහ. එයට පසු කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු භගවත් බුදුරජුන් සිරි සිරුර අළුත් වතින් වෙළූහ. අළුත් වතින් වෙළා නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළූහ. නඟා පාදන ලද කපු පුළුනෙන් වෙළා, නවමු වතින් යලි වෙළූහ. මෙ නයින් යුගල පන්සියෙකින් භගවත් බුදුරජුන් සිරි සිරුර වෙළා, රන්මුවා තෙල් දෙණෙකැ බහා අන් රන්මුවා දෙණෙකින් වසා සියලු වගයේ සුවඳ දරින් චිතකයක් කොට, භගවත් බුදුරජුන්ගේ ශ්‍රී දේහය එයට නැඟූහ.
Pali BJTමහාකස්සපාගමනං.
Sinhala BJTමහසුප් තෙරුන් වැඩම කිරීම
Pali BJT118. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පාවාය කුසිනාරං අද්ධානමග්ගප්පටිපන්නො හොති මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. අථ ඛො ආයස්මා මහාකස්සපො මග්ගා ඔක්කම්ම අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො ආජීවකො{2} කුසිනාරාය මන්දාරවපුප්ඵං ගහෙත්වා පාවං අද්ධානමග්ගප්පටිපන්නො හොති. අද්දසා ඛො ආයස්මා මහාකස්සපො තං ආජීවකං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වා තං ආජීවකං එතදවොච: ‘අපාවුසො අම්හාකං සත්ථාරං ජානාසී?’ති. ආම ආවුසො ජානාමි.
Sinhala BJT118. එ සමයෙහි වූ කලි මහසුප් තෙරණුවෝ පාවා නුවරින් කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික් සඟන කැටුවැ දික් මඟට පිළිපන්නාහු වෙත්. එ කලැ මහසුප් තෙරණුවෝ මහ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලැ වැඩ හුන්හ. එ සමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවරින් මදාරා මලක් ගෙන පාවා නුවර බලා අදන් මඟට පිළිපන්නේ වෙයි. මහසුප් මහතෙරණුවෝ දුරැ ම එන ඒ ආජීවකයා දුටුහු. දැක “ඇවැත්නි, අප ශාස්තෲන් වහන්සේ දනිවු දැ” යි විචාළාහ. “එසේ ය, ඇවැත්නි, දනිමි.
Pali BJTඅජ්ජ සත්තාහපරිනිබ්බුතො සමණො ගොතමො. තතො මෙ ඉදං මන්දාරවපුප්ඵං ගහිතන්ති”. තත්ථ යෙ තෙ භික්ඛූ අවීතරාගා අප්පෙකච්චෙ බාහා පග්ගය්හ කන්දන්ති, ඡින්නපාතං පතන්ති, ආවට්ටන්ති විවට්ටන්ති: අතිඛිප්පං භගවා පරිනිබ්බුතො, අතිඛිප්පං සුගතො පරිනිබ්බුතො, අතිඛිප්පං චක්ඛු ලොකෙ{1} අන්තරහිතන්ති, යෙ පන තෙ භික්ඛූ වීතරාගා, තෙ සතා සම්පජානා අධිවාසෙන්ති: අනිච්චා සඞ්ඛාරා, තං කුතෙත්ථ ලබ්භා”ති.
Sinhala BJTඅදට මහණ ගොයුමාණෝ පිරිනිවී සත් දවසක් ඇත්තෝ යැ. මා විසින් එ තැනින් මේ මදාරා මල ගන්නා ලද යැ” යි ආජීවක කී ය. එහි යම් අවීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු “ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවී සේක, ඉතා වහා ලොව ඇස අතුරුදහන් වි යැ” යි ඇතැම් කෙනෙක් දෝත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බුන් රුකක් සෙයින් ඇද වැටෙත්, හොත් තැනට පෙරැළී එත් හොත් තැනින් ඔබ්බට පෙරැළි යෙත්. යම් වීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔහු නො නැසෙත් යන යමෙක් ඇද්ද, එය මෙහි කොයින් ලැබේ දැ!’ යි එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසා සිටිත්.
Pali BJT119. තෙන ඛො පන සමයෙන සුභද්දො නාම බුඩ්ඪපබ්බජිතො{2} තස්සං පරිසායං නිසින්නො හොති. අථ ඛො සුභද්දො බුඩ්ඪපබ්බජිතො තෙ භික්ඛූ එතදවොච: “අලං ආවුසො, මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ. සුමුත්තා මයං තෙන මහාසමණෙන. උපද්දුතා ච හොම ඉදං වො කප්පති, ඉදං වො න කප්පතී’ති. ඉදානි පන මයං යං ඉච්ඡිස්සාම තං කරිස්සාම, යං න ඉච්ඡිස්සාම න තං කරිස්සාමා”ති. අථ ඛො ආයස්මා මහාකස්සපො භික්ඛූ ආමන්තෙසි: ‘අලං ආවුසො මා සොචිත්ථ, මා පරිදෙවිත්ථ. නනු එතං ආවුසො භගවතා පටිගච්චෙ ව අක්ඛාතං: සබ්බෙහෙව පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො. තං කුතෙත්ථ ආවුසො, ලබ්භා යන්තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං තථාගතස්සාපි සරීරං මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජතී”ති.
Sinhala BJT119. එ සමයෙහි සුභද්‍ර නම් වූ මහලු කලැ පැවිදි වූයෙක් එ පිරිසැ හුන්නේ වෙයි. එ විටැ සුභද්‍ර මහලු පැවිදි තැන ඒ භික්‍ෂූනට “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු. නහමක් වැලැපෙවු. අපි ඒ මහා ශ්‍රමණයා ගෙන් මොනොවට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රැතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු, යමක් නො කැමැති වන්නමෝ ද, එය නො කරන්නමු” යි කීය. එ කලැ මහසුප්‍ තෙරණුවෝ භික්‍ෂූන් අමතා “ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු, නහමක් වැලපෙවු. ඇවැත්නි, ප්‍රිය මනාප හැම දැයින් ම ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන යමෙක් ඇද්ද, මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද? යමෙක් උපන්නේ ද, වූයේ ද, සැකැසුණේ ද. පලුදු වන සුලු ද, එසේ වූ තථාගතයන් වහන්සේගේ සිරුර ද පලුදු නො වේව’ යි යන ඒ කරුණ කොයින් මෙහි ලැබෙන්නේ ද? මෙ කරුණ විද්‍යාමාන නො වේ” යැ යි වදාළහ.
Pali BJT120. තෙන ඛො පන සමයෙන චත්තාරො මල්ලපාමොක්ඛා සීසං න්හාතා අහතානි වත්ථානි නිවත්ථා මයං භගවතො චිතකං ආලිම්පෙස්සාමාති න සක්කොන්ති ආලිම්පෙතුං. අථ ඛො කොසිනාරකා මල්ලා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: කො නු ඛො භන්තෙ අනුරුද්ධ හෙතු, කො පච්චයො, යෙනිමෙ චත්තාරො මල්ලපාමොක්ඛා සීසං න්හාතා අහතානි වත්ථානි නිවත්ථා මයං භගවතො චිතකං ආලිම්පෙස්සාමාති න සක්කොන්ති ආලිම්පෙතුන්ති”? “අඤ්ඤථා ඛො වාසිට්ඨා දෙවතානං අධිප්පායො”ති. “කථං පන භන්තෙ, දෙවතානං අධිප්පායො?”ති. “දෙවතානං ඛො වාසිට්ඨා අධිප්පායො: අයං ආයස්මා මහාකස්සපො පාවාය කුසිනාරං අද්ධානමග්ගපටිපන්නො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි. න තාව භගවතො චිතකො පජ්ජලිස්සති යාවායස්මා මහාකස්සපො භගවතො පාදෙ සිරසා න වන්දිස්සතී”ති. “යථා භන්තෙ දෙවතානං අධිප්පායො තථා හොතූ”ති.
Sinhala BJT120. එසමයෙහි පාමොක් මල්ල රජුහු සිවු දෙනෙක් හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලු වන්නම්හ’ යි (යත්න කරන්නාහු දු) ගිනි අවුලුවන්නට නො හැකි වෙත්. එ විට කුසිනාරාවාසී මල්ල රජුහු ‘වහන්ස, අනුරුත් තෙරුනි, මේ පාමොක් මල්ල රජුහු සතර දෙනා හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භෘග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලුවන්නම්හ’ යි යත්න කරන්නාහු දු, යම් හෙයෙකින් ගිනි අවුලුවන්නට නො හැකි වෙත් ද, ඒ හේතුව කවර යැ? ඒ ප්‍රත්‍යය කවර යැ?” යි අනුරුත් තෙරුන් විචාළහ. “වාසිෂ්ඨයෙනි, දේවතාවන්ගේ අදහස අන් පරිද්දෙකිනැ” යි අනුරුත් තෙරුණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස කෙසේ වේ දැ?” යි මල්ල රජුහු පුළුවුත්හ. “වාසිෂ්ඨයෙනි, මේ මහසුප් තෙරණුවෝ පාවා නුවරින් නික්මැ කුසිනාරාව බලා පන්සියක් පමණ වූ මහ බික්සඟන සමග අදන් මඟ පිළිපන්හ. ‘මහසුප් මහ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා නොවඳනා තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නො ගනී වා’ යනු දේවතාවන්ගේ අදහස වේ යැ” යි අනුරුත් තෙරණුවෝ වදාළහ. “වහන්ස, දේවතාවන්ගේ අදහස යම් සේ ද, එසේ වේ වා” යි මල්ල රජුහු කීහ.
Pali BJT121. අථ ඛො ආයස්මා මහාකස්සපො යෙන කුසිනාරා මකුටබන්ධනං නාම මල්ලානං චෙතියං යෙන භගවතො චිතකො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකංසං චීවරං කත්වා අඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා, පාදතො විවරිත්වා භගවතො පාදෙ සිරසා වන්දි. තානි පි ඛො පඤ්ච භික්ඛුසතානි එකංසං චීවරං කත්වා අඤ්ජලිම්පණාමෙත්වා තික්ඛත්තුං චිතකං පදක්ඛිණං කත්වා භගවතො පාදෙ සිරසා වන්දිංසු. වන්දිතෙසු{1} ච පනායස්මතා මහාකස්සපෙන තෙහි පි පඤ්චහි භික්ඛුසතෙහි, සයමෙව භගවතො චිතකො පජ්ජලි.
Sinhala BJT121. ඉක්බිත්තෙන් මහසුප් තෙරණුවෝ කුසිනාරා නුවරැ මුකුට බන්‍ධන නම් මල්ලයන්ගේ චෛත්‍යය යම් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනෙක ද, එතැනට එළැඹියාහ. එළැඹ සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස් නමා භගවත් බුදු රජුන්ගේ සිරි පා වැන්දාහ. ඒ පන්සියක් භික්‍ෂූහු ද සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට, හිස නමා භගවත් බුදුරජුන්ගේ සිරි පා වැන්දාහ. මහසුප් තෙරුන් විසින් ද ඒ පන්සියක් භික්‍ෂූන් විසින් ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා වඳනා ලද කල්හි, භගවත් බුදුරජුන්ගේ චිතකය තෙමේ ම ගිනි ගත.
Pali BJT122. ඣායමානස්ස ඛො පන භගවතො සරීරස්ස, යං අහොසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා නහාරු ති වා ලසිකා ති වා තස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ, න මසි. සාරීරානෙව අවසිස්සිංසු. සෙය්යථාපි නාම සප්පිස්ස වා තෙලස්ස වා ඣායමානස්ස නෙව ඡාරිකා පඤ්ඤායති න මසි, එවමෙව භගවතො සරීරස්ස ඣායමානස්ස යං අහොසි ඡවීති වා චම්මන්ති වා මංසන්ති වා නහාරූති වා ලසිකාති වා තස්ස නෙව ඡාරිකා පඤ්ඤායිත්ථ’න මසි, සාරීරානෙව අවසිස්සිංසු. තෙසඤ්ච පඤ්චන්නං දුස්සයුගසතානං ද්වෙව දුස්සානි න ඩය්හිංසු යඤ්ච සබ්බබ්භන්තරිමං{2} යඤ්ච බාහිරං. දඩ්ඪෙ ච ඛො පන භගවතො සරීරෙ අන්තළික්ඛා උදකධාරා පාතුභවිත්වා භගවතො චිතකං නිබ්බාපෙසි. උදකං සාලතො පි අබ්භුන්නමිත්වා භගවතො චිතකං නිබ්බාපෙසි. කොසිනාරකා පි මල්ලා සබ්බගන්ධොදකෙන භගවතො චිතකං නිබ්බාපෙසුං.
Sinhala BJT122. දැවෙන්නා වූ, භගවත් බුදුරජුන් සිරි සිරුර සිවියැ යි හෝ සම යි හෝ මසැ යි හෝ නහරැ යි හෝ සඳමිදුලුයැ යි යමෙක් වී ද, එහි අළු නො ම පැනිණ, දැලි ද නො ම පැනිණ. ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. යම් සේ දැවෙන ගිතෙලැ හෝ තලතෙලැ අළුයෙක් නො ම පැනේ ද, දැලියෙක් නො ම පැනේ ද, එසේ ම දැවෙන, භගවත් බුදුරජුන් සිරි සිරුරැ සිවි යැ යි හෝ සමැ යි මසැ යි නහරැ යි හෝ සඳමිදුලු යැ යි යමෙක් වී ද, එහි අළු ද නො පැනිණ, දැලි ද නො පැනිණ, ශාරීරික ධාතුහු ම ඉතිරි වූහ. ඒ පන්සියක් වස්ත්‍ර යුගලයන් අතුරෙන් ද යම් වස්ත්‍රයෙක් හැමට යැටින් වී ද, යම් වස්ත්‍රයෙක් හැමට පිටින් වී ද, ඒ වස්ත්‍ර දෙක ම නො දැවිණ. භගවත් බුදුරජුන් සිරි සිරුර දැවුණු කල්හි අහසින් දිය දහර පහළ වැ චිතකය නිවී ය. වටා සිටි සල් රුක් හි අතු පතරින් ද ජලය මතු වී චිතකය නිවී ය. කුසිනාරාවාසී මල්ල රජුහු ද හැම වර්‍ගයේ සුවඳ කැවූ සුවඳ දියෙන් භගවත් බුදුරජුන්ගේ චිතකය නිවූහ.
Pali BJTඅථ ඛො කොසිනාරකා මල්ලා භගවතො සරීරානි සත්තාහං සන්ථාගාරෙ සත්තිපඤ්ජරං කරිත්වා ධනුපාකාරං පරික්ඛිපාපෙත්වා නච්චෙහි ගීතෙහි වාදිතෙහි මාලෙහි ගන්ධෙහි සක්කරිංසු ගරුකරිංසු මානෙසුං පූජෙසුං.
Sinhala BJTඉක්බිති කුසිනාරා වැසි මල්ල රජදරුවෝ සන්‍ථාගාරයේ අඩයැටි මැදිරියක් කොට දුනුපවුරක් වටා ලවා භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් එහි තුළට වැඩම කරවා නැටුමෙන් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් පුරා සත් දිනක් ගරු කළහ, බුහුමන් කළහ, පිදූහ.
Pali BJTසාරීරිකධාතුවිභජනා
Sinhala BJTශාරීරිකධාතුන් බෙදීම
Pali BJT122. අස්සොසි ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො රාජා මාගධො: අජාතසත්තු වෙදෙහිපුත්තො කොසිනාරතානං මල්ලානං දූතං පාහෙසි “භගවා පි ඛත්තියො අහම්පි ඛත්තියො. අහම්පි අරහාමි භගවතො සාරීරානං භාගං, අහම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති.
Sinhala BJT122. වේදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. එ කලැ වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජ කුසිනාරා වැසි මල්ල රජදරුවනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. මම ද ක්‍ෂ‍්‍ත්‍රියයෙකිමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කරන්නෙමි” යි කියා දූතයකු යැවී ය.
Pali BJTඅස්සොසුං ඛො වොසාලිකා ලිච්ඡවී: ‘භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො’ති. අථ ඛො වෙසාලිකා ලිච්ඡවී කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා පි{1} ඛත්තියො මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.
Sinhala BJTවිසල් පුර වැසි ලිච්ඡවී රජචරුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. එ කලැ විසල් පුරැ වැසි ලිච්ඡවී රජුහු කුසිනාරා වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය යෝ ය. අපි දු ක්‍ෂත්‍රිය යම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද කරන්නමු. පුද උළෙල ද කරන්නමු” යි දූතයකු යැවූහ.
Pali BJTඅස්සොසුං ඛො කාපිලවත්ථවා සක්යා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො කාපිලවත්ථවා සක්යා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා අම්හාකං ඤාතිසෙට්ඨො. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කාරිස්සාමා”ති.
Sinhala BJTකිඹුල්වත් පුරැ වැසි ශාක්‍ය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත් වැසි ශාක්‍යයෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෝ ය. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නෙමු, පුද උළෙලක් ද කරන්නෙමු” යි කියා දූතයකු යැවූහ.
Pali BJTඅස්සොසුං ඛො අල්ලකප්පකා බුලයො “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො අල්ලකප්පකා බුලයො කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා පි ඛත්තියො මයම්පි ඛත්තියා, මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.
Sinhala BJTඅල්ලකප්ප රට වැසි බුලි රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දි පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති අල්ලකප්ප රව වැසි බුලි රජදරුවෝ කුසිනාරාහි වැසි මල්ලයනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රියයෝ ය, අපි ද ක්‍ෂත්‍රියම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසකට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් ද කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි දූතයකු අත කියා යැවූහ.
Pali BJTඅස්සොසුං ඛො රාමගාමකා කොලියා “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො රාමගාමකා කොලියා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: “භගවා පි ඛත්තියො, මයම්පි ඛත්තියා, මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං. මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.
Sinhala BJTරඹගම් නුවරැ වැසි කෝලිය රජුහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා හිදි පිරිනිවී සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති රඹගම් වැසි කෝලිය රජදරුවෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්‍ෂත්‍රියයම් හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් කොටසක් ලබන්නට සුදුසු වමු. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙලක් ද කරන්නමු” යි දූතයකු අතැ කියා යැවූහ.
Pali BJTඅස්සොසි ඛො වෙඨදීපකො බ්රාහ්මණො: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො වෙඨදීපකො බ්රාහ්මණො කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසි: “භගවා තු{1} ඛත්තියො. අහමස්මි බ්රාහ්මණො, අහම්පි අරහාමි භගවතො සාරීරානං භාගං. අහම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති.
Sinhala BJTවේඨදීප නගරාධිපති බ්‍රාහ්මණ තෙමේ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවී සේක් ලැ” යි ඇසී ය. ඉක්බිති වේඨදීපක බමුණු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ වූ කලි ක්‍ෂත්‍රියයෙක. මම බමුණෙකිමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් දු භාග්‍යවතුන් වහන්සේගේ ධාතූනට ස්තූපයක් කරන්නෙමි, පුද උළෙල ද කරන්නෙමි” යි කියා කුසිනාරා පුරවැසි මල්ලයනට දූතයකු යැවී ය.
Pali BJTඅස්සොසුං ඛො පාවෙය්යකා මල්ලා: “භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො”ති. අථ ඛො පාවෙය්යකා මල්ලා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං. භගවා පි ඛත්තියො මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං, මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා”ති.
Sinhala BJTපාවා නුවරැ වැසි මල්ලරජහු “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පාවා පුරැ වැසි මල්ලයෝ “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. ඇපි දු ක්‍ෂත්‍රියයම් හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. ඇපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නෙමු” යි කියා කුසිනාරා වැසි මල්ලයනට දූතයකු යැවූහ.
Pali BJTඑවං වුත්තෙ කොසිනාරකා මල්ලා තෙ සඞ්ඝෙ ගණෙ එතදවොචුං, භගවා අම්හාකං ගාමක්ඛෙත්තෙ පරිනිබ්බුතො, න මයං දස්සාම භගවතො සාරීරානං භාගන්ති.
Sinhala BJTමෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජුහු ඒ රාජ සමූහයනට, ඒ රාජගණයනට “භාග්‍යවතුන් වහන්සේ අප ගම්කෙතෙහි පිරිනිවි සේක. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාරීර ධාතු කොටස් නො දෙන්නෙමු” යි කීහ.
Pali BJT123. එවං වුත්තෙ දොණො බ්රාහ්මණො තෙ සඞ්ඝෙ ගණෙ එතදවොච:
Sinhala BJT123. මෙසේ කී කල්හි ද්‍රෝණ බ්‍රාහ්මණ තෙමෙ ඒ රාජසමූහයන් ඒ රාජගණයන් බණවා මෙ වදන් පැවැසී ය:
Pali BJTසුණන්තු භොන්තො මම එකවාක්යං{1} අම්හාක බුද්ධො අහු ඛන්තිවාදො. න හි සාධු’යං උත්තමපුග්ගලස්ස සරීරභාගෙ සියා සම්පහාරො.
Sinhala BJT“පින්වත්නි, මගේ මේ එක් වචනය අසත් වා. අප බුදුරජහු ක්‍ෂාන්තිවාද වූහ. උතුම් පුඟුලක්හුගේ සිරුරු කොටස් නිමිති කොට අවියෙන් ඇන කොටා ගැන්මෙක් වන්නේ නම්, මෙය නො මැනැවි.
Pali BJTසබ්බෙව භොන්තො සහිතා සමග්ගා සම්මොදමානා කරොමට්ඨභාගෙ. විත්ථාරිකා හොන්තු දිසාසු ථූපා බහූ ජනා චක්ඛුමතො පසන්නා”ති.
Sinhala BJTභවත්නි, අපි හැම දෙනා ම එක්සිත් වැ එකමුතු වැ, සතුටු වෙමින් ධාතූන් අට කොටසක් කරමු. ඒ ඒ දෙසැ ස්තූපයෝ පැතිර පවත්නෝ වෙත් වා. (ඒ හැම දෙසැ) පසැසියාණන් වහන්සේට පැහැදුණු බොහෝ ජනයෝ වෙත්” යනු යි.
Pali BJT124. “තෙන හි බ්රාහ්මණ, ත්වඤ්ඤෙව භගවතො සාරීරානි අට්ඨධා සමං සුවිභත්තං විභජාහී”ති. ‘එවං භො’ති ඛො දොණො බ්රාහ්මණො තෙසං සඞ්ඝානං ගණානං පටිස්සුත්වා භගවතො සාරීරානි අට්ඨධා සමං සුවිභත්තං විභජිත්වා තෙ සඞ්ඝෙ ගණෙ එතදවොච: “ඉමං මෙ භොන්තො තුම්බං දදන්තු, අහම්පි තුම්බස්ස ථූපඤ්ච මහඤ්ච කරිස්සාමී”ති. අදංසු ඛො තෙ දොණස්ස බ්රාහ්මණස්ස තුම්බං.
Sinhala BJT124. (බමුණු මෙසේ කී කල්හි) “බමුණාණනි, එසේ වී නම් ඔබ ම භාග්‍යවතුන් වහන්‍සේගේ ශාරීර ධාතූන් අට කොටසකට සම සේ මනා කොට බෙදන්නැ” යි ඒ රජදරුවෝ කීහු. ‘එසේ යැ පින්වත්නි’ යි කියා ම ද්‍රෝණ බ්‍රාහ්මණ තෙම ඒ රජමුළුවනට ඒ ගණයනට පිළිවදන් දී, භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් සම සේ අට කොටසකට මොනොවට බෙදා ඒ රාජ සමූහයන් ගණයන් බණවා, “භවත්නි, මට මේ (ධාතු බෙදූ) නැළිය දෙත්වා. මම් ද මේ නැළියට ස්තූපයක් කරන්නෙමි. පුද උළෙලක් ද කරන්නෙමි” යි මේ බස් පැවැසී ය. ඔහු ද්‍රෝණ බ්‍රාහ්මණයාට නැළිය දුන්නාහු ම ය.
Pali BJTඅස්සොසුං ඛො පිප්පලිවනියා{2} මොරියා: ‘භගවා කිර කුසිනාරායං පරිනිබ්බුතො’ති. අථ ඛො පිප්පලිවනියා මොරියා කොසිනාරකානං මල්ලානං දූතං පාහෙසුං: භගවා පි ඛත්තියො මයම්පි ඛත්තියා. මයම්පි අරහාම භගවතො සාරීරානං භාගං, මයම්පි භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච කරිස්සාමා’ති. “නත්ථි භගවතො සාරීරානං භාගො, විභත්තානි භගවතො සාරීරානි, ඉතො අඞ්ගාරං හරථා”ති. තෙ තතො අඞ්ගාරං හරිංසු:{3}
Sinhala BJTපිප්පලී වන නගර වාසී මෝරිය රජ දරුවෝ “භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ” යි ඇසූහ. ඉක්බිති පිප්පලිවන නුවරැ වැසි මෝරිය රජුහු කුසිනාරා වැසි මල්ල රජුනට “භාග්‍යවතුන් වහන්සේ ද ක්‍ෂත්‍රිය වූ සේක. අපි දු ක්‍ෂත්‍රියයම් හ. අපිදු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙල ද කරන්නමු” යි කියා දූතයකු යැවූහ. “භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් (ඉතිරි වැ) නැත. භාග්‍යවතුන් වහන්සේගේ සියලු ශාරීර ධාතූහු බෙදා දෙන ලදහ. මෙයින් අඟුරු ගෙනයවු” යැ යි මල්ල රජුහු කියා යැවූහ. ඒ පිප්පලීවනික රජුහු ද (ආදාහනස්ථානයෙන්) අඟුරු ගෙන ගියහ.
Pali BJTධාතුචෙතියපූජා
Sinhala BJTදා සෑ පුද
Pali BJT124. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජගහෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකාසි. වෙසාලිකා පි ලිච්ඡවී වෙසාලියං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. කාපිලවත්ථවා පි සක්යා කපිලවත්ථුස්මිං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. අල්ලකප්පකා පි බුලයො අල්ලකප්පෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. රාමගාමකා පි කොලියා රාමගාමෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. වෙඨදීපකො පි බ්රාහ්මණො වෙඨදීපෙ භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකාසි. පාවෙය්යකාපි මල්ලා පාවායං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. කොසිනාරකා පි මල්ලා කුසිනාරායං භගවතො සාරීරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. දොණො පි බ්රාහ්මණො තුම්බස්ස ථූපඤ්ච මහඤ්ච අකාසි. පිප්පලිවනියා පි මොරියා පිප්පලිවනෙ අඞ්ගාරානං ථූපඤ්ච මහඤ්ච අකංසු. ඉති අට්ඨ සරීරථූපා නවමො තුම්බථූපො දසමො අඞ්ගාරථූපො. එවමෙතං භූතපුබ්බන්ති.
Sinhala BJT124. ඉක්බිත්තෙන් වෛදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ රජගහ පුරයෙහි භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කෙළේ ය. විසල් පුරැ වැසි ලිච්ඡවීහු ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට විසල් පුරැ ස්තූපයක් ද පුද උළෙලක් ද කළහ. කිඹුල්වත් වැසි ශාකයෝ ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කිඹුල්වත් පුරැ කළාහ. අල්ලකප්ප රටැ බුලි රජුහු ද අල්ලකප්ප නුවරැ භගවත් බුදුරජුන‍්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. රඹගම් වැසි කෝලිය රජුහු ද රඹගම් නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. වේඨදීප නුවරැ වැසි බමුණු ද වේඨදීපයෙහි භගවත් බුදුරජුගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පාවා නුවරැ භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු ද භගවත් බුදුරජුන්ගේ ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. ද්‍රෝණ බමුණු ද (ධාතූන් මිනූ) නැළියට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. පිප්ලීවන නුවරැ වැසි මෝරිය රජුහු ද පිප්පලීවන නුවරෙහි (ආදාහන කළ තැනින් ගෙනා) අඟුරු පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. මෙසේ ශාරීරික ධාතූන් තැන්පත් කළ ස්තූප අටෙක, නැළිය තැන්පත් කළ නව වැනි ස්තූපය, දස වැනි අංගාර ස්තූපයැ යි සියලු ස්තූප දශයෙක. මෙසේ මේ දස ස්තූප පළමුවෙන් වී ය.
Pali BJT125. “අට්ඨ දොණා{1} චක්ඛුමතො සරීරා සත්තදොණං ජම්බුදීපෙ මහෙන්ති, එකඤ්ච දොණං පුරිසවරුත්තමස්ස රාමගාමෙ නාගරාජා මහෙන්ති.
Sinhala BJT125. පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රෝණ අටෙකි. එයින් ද්‍රෝණ සතක් ධාතූන් දඹදිවැ පුදත්. පුරුෂ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹගමැ නාරජුහු පුදති.
Pali BJTඑකාහි දාඨා තිදිවෙහි පූජිතා එකා පන ගන්ධාරපුරෙ මහීයති, කාලිඞ්ගරඤ්ඤො විජිතෙ පුනෙකං එකං පුන නාගරාජා මහෙන්ති.
Sinhala BJTඑක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්‍ධාර පුරයෙහි පුදනු ලැබේ. යලි තව ද දළදායෙක් කළිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නාලොවැ) නා රජුහු පුදති.
Pali BJTතස්සෙව තෙජෙන අයං වසුන්ධරා ආයාගසෙට්ඨෙහි මහී අලංකතා එවං ඉමං චක්ඛුමතො සරීරං සුසක්කතං සක්කතසක්කතෙහි.
Sinhala BJTඒ සතර දළදා වහන්සේගේ තෙදින් මේ මුළු පොළොව ශ්‍රේෂ්ඨ පූජෝත්සවයෙන් සැරැසුණේය. මෙසේ පසැසියාණන්ගේ සිරුරුදා සෙසු ජනයා විසින් මොනොවට සත්කාර කරනු ලැබේ. දෙවියන් විසින් ද රජුන් විසින් ද මනා ව සත්කෘත විය.
Pali BJTදෙවින්දනාගින්දනරින්ද පූජිතො මනුස්සසෙට්ඨෙහි තථෙව පූජිතො, තං{2} වන්දථ පඤ්ජලිකා භවිත්වා බුද්ධො හවෙ කප්පසතෙහි දුල්ලභො’ති.
Sinhala BJTදෙවිඳු විසින්ද නයිඳුන් විසින්ද නිරිඳුන් විසින් ද එසේම උතුම් මිනිසුන් විසින් ද පුදන ලද ඒ බුදු රජ තෙම ඒකාන්තයෙන් කල්ප සිය ගණනෙකිනුදු දුර්‍ලභ ය. දොහොත් මුදුනැ තබාගත්තෝ වැ ඔබ නමදි වු.
Pali BJTචත්තාළීස සමා දන්තා කෙසා ලොමා ච සබ්බසො, දෙවා හරිංසු එකෙකං චක්කවාලපරම්පරා”ති.
Sinhala BJTසම සාළිස් දන්තධාතූන් ද කේශ ධාතූන් ද ලෝමධාතූන් ද එක එකක් පාසා සක්වළ පිළිවෙළින් දෙවියෝ ගෙන ගියහ.
Pali BJTමහාපරිනිබ්බානසුත්තං තතියං.
Sinhala BJTතෙවෙනි මහ පිරිනිවන් සුත නිමියේ යි.
Pali BJT4.
Sinhala BJT4.
Pali BJTමහාසුදස්සනසුත්තං
Sinhala BJTමහාසුදස්සන සූත්‍රය
Pali BJT1. එවං මෙ සුතං එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ අන්තරෙන යමකසාලානං පරිනිබ්බානසමයෙ.
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක පිරිනිවන් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ල රජුන්ගේ උපවර්‍තන නම් සල් වෙනෙහි යමා සල්රුක් අතරැ වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච, “මා භන්තෙ, භගවා ඉමස්මිං කුඩ්ඩනගරකෙ උජ්ජඞ්ගලනගරකෙ සාඛානගරකෙ පරිනිබ්බායි. සන්ති භන්තෙ, අඤ්ඤානි මහානගරානි, සෙය්යථිදං, චම්පා රාජගහං සාවත්ථි සාකෙතං කොසම්බී බාරාණසී, එත්ථ භගවා පරිනිබ්බායතු. එත්ථ බහූ ඛත්තියමහාසාලා බ්රාහ්මණමහාසාලා ගහපතිමහාසාලා තථාගතෙ අභිප්පසන්නා, තෙ තථාගතස්ස සරීරපූජං කරිස්සන්තී”ති.
Sinhala BJTඑ කල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළඹැ ඔබ සාදර වැ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන්නාවූ ම අනඳ තෙරණුවෝ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගල් සෙල් ඈයෙන් විසම වූ ශාඛා නගරයක් වූ මේ කුඩා නුවර දී නො පිරිනිවෙන සේක් වා. වහන්ස, චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කෞශාම්බි වාරාණසී යන අන් මහ නුවරවල් ඇත. මේ නුවරෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරවල තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පැහැදුණු බොහෝ කැත් මහසල්හු, බමුණු මහසල්හු, ගැහැවි මහසල්හු ඇත. ඔහු තථාගතයන් වහන්සේගේ සිරුරට පූජා කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහ.
Pali BJT2. “මා හෙවං ආනන්ද අවච මා හෙවං ආනන්ද අවච කුඩ්ඩනගරකං උජ්ජඞ්ගලනගරකං සාඛා නගරකන්ති.
Sinhala BJT2. “අනඳයෙනි, කුඩා නුවරෙකැ යි ගල් සෙල් ඈයින් විසම නුවරෙකැ යි අතු නුවරෙකැ යි මෙසේ නොකිය වු” (යැයි වදාරා මතු දැක්වෙන ඉකුත් වත් වදාළ සේක:)
Pali BJTකුසාවති රාජධානි
Sinhala BJTකුශාවතී රාජධානිය
Pali BJTභූතපුබ්බං ආනන්ද, රාජා මහාසුදස්සනො නාම අහොසි ඛත්තියො මුද්ධාවසිත්තො{1} චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො. රඤ්ඤො ආනන්ද, මහාසුදස්සනස්ස අයං කුසිනාරා කුසාවතී නාම රාජධානී අහොසි. සා ඛො ආනන්ද, කුසාවතී පුරත්ථිමෙන ච පච්ඡිමෙන ච ද්වාදසයොජනානි අහොසි ආයාමෙන, උත්තරෙන ච දක්ඛිණෙන ච සත්තයොජනානි විත්ථාරෙන. කුසාවතී ආනන්ද, රාජධානී ඉද්ධා චෙව අහොසි වීතා ච{2} බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච.
Sinhala BJT“පෙරැ වූවක් කියමි. අනඳයෙනි, (පෙරැ) හිසැ අබිසෙස් ලද, සයුර හිම් කොට සතර මහදිවයිනට අධිපති වූ, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්‍වාගත වූ මහසුදසුන් නම් කැත් රජෙක් විය. අනඳයෙනි, මේ කුසිනාරාව මහසුදසුන් රජුගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, ඒ කුශාවතී රජදහන පෙරැ දෙසින් ද පැසිම් දෙසින් ද දිගින් දොළොස් යොදුන් විය, උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පුලුලින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද හැම සැපතින් පිරුණේ ද, බොහෝ ජනයන් ඇත්තේ, මිනිසුන්ගෙන් ගැවැසුණේ ද, සුභික්‍ෂ ද විය.
Pali BJTසෙය්යථාපි ආනන්ද, දෙවානං ආළකමන්දා නාම රාජධානී ඉද්ධා චෙව ඵීතා ච බහුජනා ච ආකිණ්ණයක්ඛා ච සුභික්ඛා ච, එවමෙව ඛො ආනන්ද, කුසාවතී රාජධානී ඉද්ධා චෙව අහොසි ඵීතා ච බහුජනා ච ආකිණ්ණමනුස්සා ච සුභික්ඛා ච. කුසාවතී ආනන්ද, රාජධානී දසහි සද්දෙහි අවිවිත්තා අහොසි දිවා චෙව රත්තිං ච. සෙය්යථිදං, හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන භෙරිසද්දෙන මුදිඞ්ගසද්දෙන වීණාසද්දෙන ගීතසද්දෙන සම්මසද්දෙන තාලසද්දෙන (සඞ්ඛසද්දෙන) අසනාථ පිවථ ඛාදථාති දසමෙන සද්දෙන.
Sinhala BJTඅනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්‍දා නම් රාජධානිය යම්සේ සමෘද්ධත් හැම සැපතින් පිරුණේත් බොහෝ ජනයන් ඇත්තේත් යකුන්ගෙන් ගැවැසුණේත් සුභික්‍ෂත් වේ ද, එසේ ම අනඳයෙනි, කුශාවතී රාජධානිය සමෘද්ධ ද, සියලු සැපතින් පිරුණේ ද, බොහෝ ජනයන් ඇත්තේ ද, මිනිසුන්ගෙන් ගැවැසුණේ ද, සුභික්‍ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රාජධානිය රෑ ද දහවල් ද ඇත් හඬින් ද අස් හඬින් ද රිය හඬින් ද බෙර හඬින් ද මිහිඟුබෙර හඬින් ද වෙණ හඬින් ද ගී හඬින් ද (යහළුව යහළු වැ යි කැඳවන) පිය බස් හඬින් ද කස්තලු ආදියේ හඬින් ද ‘වළඳවු, කවු, බොවු’ යන දස වැනි හඬින් දැ යි දස හඬින් නොසිස් විය.
Pali BJT3. කුසාවතී ආනන්ද, රාජධානී සත්තහි පාකාරෙහි පරික්ඛිත්තා අහොසි. එකො පාකාරො සොවණ්ණමයො, එකො රූපියමයො, එකො වෙළුරියමයො, එකො ඵළිකමයො, එකො ලොහිතඞ්කමයො{1}, එකො මසාරගල්ලමයො, එකො සබ්බරතනමයො. කුසාවතියා ආනන්ද, රාජධානියා චතුන්නං වණ්ණානං ද්වාරානි අහෙසුං. එකං ද්වාරං සොවණ්ණමයං, එකං රූපියමයං, එකං වෙළුරියමයං, එකං ඵළිකමයං. එකෙකස්මිං ද්වාරෙ සත්ත සත්ත එසිකා නිඛාතා අහෙසුං. තිපොරිසඞ්ගා තිපොරිසනිඛාතා ද්වාදසපොරිසා උබ්බෙධෙන. එකා එසිකා සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵළිකමයා, එකා ලොහිතඞ්කමයා, එකා මසාරගල්ලමයා, එකා සබ්බරතනමයා.
Sinhala BJT3. අනඳයෙනි, කුශාවතී රාජධානිය සත් පවුරෙකින් පිරිකෙවුණේ විය. ඔවුන් අතුරෙන් එක් පවුරෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය, එකෙක් රත්මිණිමුවා විය, එකෙක් මැසිරිගල්මුවා විය, එකෙක් සියල්රුවන්මුවා විය. අනඳයෙනි, කුශාවතී රාජධානියෙහි සතර වර්‍ණයන් සම්බන්‍ධ දොරවල් වූහ. එක් දොරෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. එක් එක් දොරෙහි පුරුෂප්‍රමාණ තුනක් (පසොළොස් රියනක්) වට වූ, පුරුෂ ප්‍රමාණ තුනක් (පසළොස් රියනක්) යට සිටුවන ලද, උසින් දොළොස් පුරුෂ ප්‍රමාණ (සැට රියන්) වූ සතෙක් සතෙක් ඉන්‍ද්‍රඛීලයෝ බිම කැන සිටුවන ලද්දාහු වූහ.
Pali BJTකුසාවතී ආනන්ද, රාජධානී සත්තහි තාලපන්තීහි පරික්ඛිත්තා අහොසි. එකා තාලපන්ති සොවණ්ණමයා, එකා රූපියමයා, එකා වෙළුරියමයා, එකා ඵළිකමයා, එකා ලොහිතඞ්කමයා, එකා මසාරගල්ලමයා, එකා සබ්බරතනමයා. සොවණ්ණමයස්ස තාලස්ස සොවණ්ණමයො ඛන්ධො අහොසි, රූපියමයානි පත්තානි ච ඵලානි ච. රූපියමයස්ස තාලස්ස රූපියමයො ඛන්ධො අහොසි, සොවණ්ණමයානි පත්තානි ච ඵලානි ච. වෙළුරියමයස්ස තාලස්ස වෙළුරියමයො ඛන්ධො අහොසි ඵළිකමයානි පත්තානි ච ඵලානි ච. ඵළිකමයස්ස තාලස්ස ඵළිකමයො ඛන්ධො අහොසි, වෙළුරියමයානි පත්තානි ච ඵලානි ච. ලොහිතඞ්කමයස්ස තාලස්ස ලොහිතඞ්කමයො ඛන්ධො අහොසි, මසාරගල්ලමයානි පත්තානි ච ඵලානි ච. මසාරගල්ලමයස්ස තාලස්ස මසාරගල්ලමයො ඛන්ධො අහොසි, ලොහිතඞ්කමයානි පත්තානි ච ඵලානි ච. සබ්බරතනමයස්ස තාලස්ස සබ්බරතනමයො ඛන්ධො අහොසි, සබ්බරතනමයානි පත්තානි ච ඵලානි ච. තාසං ඛො පනානන්ද, තාලපන්තීනං වාතෙරිතානං සද්දො අහොසි, වග්ගු ච රජනීයො ච කමනීයො ච{2} මදනීයො ච. සෙය්යථාපි ආනන්ද, පඤ්චඞ්ගිකස්ස තුරියස්ස සුවිනීතස්ස සුප්පටිතාළිතස්ස කුසලෙහි සමන්නාහතස්ස සද්දො හොති වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච. එවමෙව ඛො ආනන්ද, තාසං තාලපන්තීනං වාතෙරිතානං සද්දො අහොසි වග්ගු ච රජනීයො ච කමනීයො ච මදනීයො ච. යෙ ඛො පනානන්ද, තෙන සමයෙන කුසාවතියා රාජධානියා ධුත්තා අහෙසුං සොණ්ඩා පිපාසා, තෙ තාසං තාලපන්තීනං වාතෙරිතානං සද්දෙන පරිචාරෙසුං.
Sinhala BJTඅනඳයෙනි, කුශාවතී රාජධානිය තල්රුක් සත් පෙලෙකින් පරික්‍ෂිප්ත විය. එක් තල්රුක් පෙලෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. එකෙක් රත්මිණිමුවා විය, එකෙක් මැසිරිගල්මුවා විය, එකෙක් සව්රුවන්මුවා විය. රන්මුවා තල් රුකැ කඳ රන් මුවා විය, කොළ ද පල ද රිදීමුවා වූහ, රිදීමුවා තල්රුකැ කඳ රිදීමුවා විය, කොළ ද පල ද රන්මුවා වූහ. වෙරළුමිණිමුවා තල්රුකැ කඳ වෙරළුමිණිමුවා විය, කොළ ද පල ද පළිඟුමුවා වූහ. පළිඟුමුවා තල්රුකැ කඳ පළිඟුමුවා විය. කොළ ද පල ද වෙරළුමිණිමුවා වූහ. රන්මිණිමුවා තල් රුකැ කඳ රත්මිණිමුවා විය, කොළ ද පල ද මැසිරිගල්මුවා වූහ. මැසිරිගල්මුවා තල්රුකැ කඳ මැසිරිගල්මුවා විය, කොළ ද පල ද මැසිරිගල්මුවා වූහ. සව්රුවන්මුවා තල්රුකැ කඳ සව්රුවන් මුවා විය. කොළ ද පල ද සව්රුවන්මුවා වූහ. අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ තාලවෘක්‍ෂ පංක්තීන්ගේ මිහිරි වූ ද සිත් අලවන්නාවූ ද කමනීය වූ ද සිත මත් කරන්නා වූ ද හඬෙක් විය. අනඳයෙනි, (ඇදීම් ලිහිල් කිරීම් ඈ විසින්) සුමුස්නා ලද මැදුම් පමණ ගන්වනු පිණිස මොනොවට පුන පුනා තළන ලද ඉතා සමත් වයුවන් විසින් වයන ලද පංචාඞ්ගික තූර්‍ය්‍යයාගේ යම්සේ මිහිරි වූ ද සිත් අලවන්නා වූ ද කමනීය වූ ද සිත මත් කරන්නා වූ ද හඬෙක් වේ ද, එසේ ම සුළඟින් සැලුණු ඒ තාලවෘක්‍ෂ පඞ්ක්තීන්ගේ ද මිහිරි වූ සිත් අදනා කමනීය වූ සිත් මත් කරන හඬෙක් විය. අනඳයෙනි එ සමයෙහි කුශාවතී රාජධානියෙහි සුරා සොඬ වූ, පුන පුනා සුරා බොනු රිසි යම් ධූර්‍ත කෙනෙක් වූහු ද, ඔහු සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලවල හඬින් අත් පා සොලොවා නටමින් ක්‍රීඩා කළහ.