Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො ම වන්නේ ය.”
Pali BJT30. එවමෙව ඛො වාසෙට්ඨ, පඤ්චිමෙ නීවරණා අරියස්ස විනයෙ ආවරණා’ති’පි වුච්චන්ති, නීවරණා’ති’පි වුච්චන්ති, ඔනාහා’ති’පි වුච්චන්ති. පරියොනාහා’ති’පි වුච්චන්ති. කතමෙ පඤ්ච? කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථිනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං. ඉමෙ ඛො වාසෙට්ඨ, පඤ්චනීවරණා අරියස්ස විනයෙ ආවරණා’ති’පි වුච්චන්ති. නීවරණා’ති’පි වුච්චන්ති, ඔනාහා’ති’පි වුච්චන්ති, පරියොනාහා’ති’පි වුච්චන්ති. ඉමෙහි ඛො වාසෙට්ඨ, පඤ්චහි නීවරණෙහි තෙවිජ්ජා බ්රාහ්මණා ආවුටා නිවුටා ඔවුටා{1} පරියොනද්ධා. තෙ වත වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා යෙ ධම්මා බ්රාහ්මණකරණා තෙ ධම්මෙ පහාය වත්තමානා, යෙ ධම්මා අබ්රාහ්මණකරණා තෙ ධම්මෙ සමාදාය වත්තමානා, පඤ්ච නීවරණෙහි ආවුටා නිවුටා ඔවුටා පරියොනද්ධා කායස්ස භෙදා පරම්මරණා බ්රහ්මුනො සහව්යුපගා භවිස්සන්තී’ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT30. [භාග්‍යවත්හු:] “එ පරිද්දෙන් ම වාසෙට්ඨය, මේ ආර්‍ය්‍යවිනයයෙහි මේ පස් නීවරණ කෙනෙක් ආවරණ යැ යි ද කියනු ලැබෙත්. නීවරණ යැ යි ද කියනු ලැබෙත්. අවනාහ (යටිහුරු කොට බැඳීම) යැ යි ද කියනු ලැබෙත්. පර්‍ය්‍යවනාහ (හාත්පස බැඳීම) යැ යි ද කියනු ලැබෙත්. කවර පස් දෙනෙක් ද, යත්: කාමච්ඡන්‍දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථීනමිද්ධනීවරණය, උද්ධච්චකුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යන මොහු ය. වාසෙට්ඨය, ආර්‍ය්‍යවිනයෙහි මේ නීවරණයෝ පස් දෙන ආවරණයැ යි ද කියනු ලැබෙත්. නීවරණයැ යි ද කියනු ලැබෙත්. අවනාහයැ යි ද කියනු ලැබෙත්. පර්‍ය්‍යවනාහ යැ යි ද කියනු ලැබෙත්. වාසෙට්ඨය, තෙවිදු බමුණෝ මේ නීවරණ පසින් ඇවුරුණෝ ද පිළිසන් වූවෝ ද වැසුණෝ ද හාත්පසින් බැඳුණෝ ද වෙති. වාසෙට්ඨය, යම් බ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් වෙත් නම්, ඔවුන් බැහැර කොට පවත්නා, යම් අබ්‍රාහ්මණකරණ ධර්‍ම කෙනෙක් වෙත් නම්, ඔවුන් සමාදන් කොට ගෙන පවත්නා ඒ තෙවිදු බමුණෝ නීවරණ පසින් ඇවුරුණෝ පිළිසන් වූවෝ වැසුණෝ හාත්පසින් බැඳුණෝ කාබුන් මරණින් මතු බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මේ කාරණය විද්‍යාමාන නො වේ (විය නො හැක්කෙකි).
Pali BJT31. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, කින්ති තෙ සුතං බ්රාහ්මණානං වුද්ධානං මහල්ලකානං ආචරියපාචරියානං භාසමානානං:
Sinhala BJT31. වාසෙට්ඨය, එය කිමැ යි සිතහි ද, වැඩී සිටි මහලු වූ ආචාර්‍ය්‍ය - ප්‍රාචාර්‍ය වූ බමුණන් කියන වචනය තා විසින් කෙසේ අසන ලද ද?
Pali BJT“සපරිග්ගහො වා බ්රහ්මා අපරිග්ගහො වා”ති.
Sinhala BJT“බ්‍රහ්මයා ස්ත්‍රීපරිග්‍රහය ඇත්තේ ද?”
Pali BJT“අපරිග්ගහො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “ස්ත්‍රීපරිග්‍රහය නැත්තේය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සවෙරචිත්තො වා අවෙරචිත්තො වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “සවෛර (ව්‍යාපාද සහිත) සිතැත්තේ ද, නැත හොත් අවෛර (ව්‍යාපාද රහිත) සිතැත්තේ ද?”
Pali BJT“අවෙරචිත්තො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “අවෛරසිතැත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සව්යාපජ්ඣචිත්තො වා අව්යාපජ්ඣචිත්තො වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “සව්‍යාබාධ (ථිනමිද්ධ – චිත්ත ගෙලඤ්ඤ සහිත) සිතැත්තේ ද? අව්‍යාබාධ (ථිනමිද්ධ – චිත්ත ගෙලඤ්ඤ රහිත) සිතැත්තේ ද?”
Pali BJT“අව්යාපජ්ඣචිත්තො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “අව්‍යාබාධ (ථීනමිද්ධ - චිත්ත ගෙලඤ්ඤ රහිත)සිතැත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සඞ්කිලිට්ඨචිත්තො වා අසඞ්කිලිට්ඨචිත්තො වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “කිලිටි සිතැත්තේ ද නො හොත් නො කිලිටි සිතැත්තේ ද?”
Pali BJT“අසඞ්කිලිට්ඨචිත්තො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “නොකිලිටි සිතැත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“වසවත්තී වා අවසවත්තී වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වශවර්තී ද (සිත තමා වශයෙහි පවත් වන්නේ ද) නොහොත් අවශවර්ති (සිත තමා යටත් ව පවත්නේ) ද?”
Pali BJT“වසවත්තී භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “වංශවර්තී ය, භවද් ගෞතමයිනි.”
Pali BJT32. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, සපරිග්ගහා වා තෙවිජ්ජා බ්රාහ්මණා අපරිග්ගහා වා?”ති.
Sinhala BJT32. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, එය කිමැ යි සිතහි ද, තෙවිදු බඹුණෝ ස්ත්‍රීපරිග්‍රහ ඇත්තෝ ද, නො හොත් ස්ත්‍රීපරිග්‍රහ නැත්තෝ ද?”
Pali BJT“සපරිග්ගහා භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “ස්ත්‍රීපරිග්‍රහය ඇත්තෝ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සවෙරචිත්තා වා අවෙරචිත්තා වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “සවෛර සිතැත්තෝ ද, නො හොත් අවෛර සිතැත්තෝ ද?”
Pali BJT“සවෙරචිත්තා භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “සවෛර සිතැත්තෝ ය.”
Pali BJT“සව්යාපජ්ඣචිත්තා වා අව්යාපජ්ඣචිත්තා වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “සව්‍යාබාධ සිතැත්තෝ ද, නො හොත් අව්‍යාබාධ සිතැත්තෝ ද?”
Pali BJT“සව්යාපජ්ඣචිත්තා භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “සව්‍යාබාධ සිතැත්තෝ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සඞ්කිලිට්ඨචිත්තා වා අසඞ්කිලිට්ඨචිත්තා වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “කිලිටි සිතැත්තෝ ද, නො හොත් නො කිලිටි සිතැත්තෝ ද?”
Pali BJT‘සඞ්කිලිට්ඨචිත්තා භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “කිලිටි සිතැත්තෝ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“වසවත්තී වා අවසවත්තී වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වශවර්තී ද නො හොත් අවශවර්තී ද?”
Pali BJT“අවසවත්තී භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “අවශවර්තී හ, භවද් ගෞතමයිනි.”
Pali BJT33. ඉති කිර වාසෙට්ඨ, සපරිග්ගහා තෙවිජ්ජා බ්රාහ්මණා. අපරිග්ගහො බ්රහ්මා. අපි නු ඛො සපරිග්ගහානං තෙවිජ්ජානං බ්රාහ්මණානං අපරිග්ගහෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT33. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ තෙවිජ්ජ බ්‍රාහ්මණයෝ ස්ත්‍රීපරිග්‍රහසහිතයෝ ය, බ්‍රහ්මයා ස්ත්‍රීපරිග්‍රහරහිත ය. ස්ත්‍රීපරිග්‍රහසහිත වූ තෙවිදු බමුණන්ගේ ස්ත්‍රීපරිග්‍රහරහිත බඹහු හා සැසැඳීමෙක් වේ ද? ගැළැපීමෙක් වේ ද?”
Pali BJT“නො හිදං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
Pali BJTසාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, සපරිග්ගහා තෙවිජ්ජා බ්රාහ්මණා කායස්ස භෙදා පරම්මරණා අපරිග්ගහස්ස බ්රහ්මුනො සහව්යූපගා භවිස්සන්තීති, නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “මැනැව වාසෙට්ඨය, ස්ත්‍රීපරිග්‍රහසහිත තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු ස්ත්‍රීපරිග්‍රහරහිත බඹහු හා එක් වන බවට පැමිණියෝ වන්නාහ’ යන මේ කාරණය නැත්තේ ය (නො විය හැක්කෙකි).
Pali BJT34. ඉති කිර වාසෙට්ඨ, සවෙරචිත්තා තෙවිජ්ජා බ්රාහ්මණා. අවෙරචිත්තො බ්රහ්මා. අපි නු ඛො සවෙරචිත්තානං තෙවිජ්ජානං බ්රාහ්මණානං අවෙරචිත්තෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT34. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මෙසේ තෙවිදු බමුණෝ වෛරී සිතැත්තෝ ය. බඹා අවෛර සිතැත්තේ ය. වෛරී සිතැති තෙවිදු බමුණන්ගේ අවෛර සිතැති බඹහු හා සැසැඳෙන බවෙක් වේ ද? ගැළැපෙන බවෙක් වේ ද?
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
Pali BJTසාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, සවෙරචිත්තා තෙවිජ්ජා බ්රාහ්මණා කායස්ස භෙදා පරම්මරණා අවෙර චිත්තස්ස බ්රහ්මුනො සහව්යූපගා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT[භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨය. ඒ සවෛර සිතැති තෙවිදු බඹුණෝ කාබුන් මරණින් මතු අවෛර සිතැති බඹහු හා එක් වන බවට පැමිණියෝ වන්නාහ’ යන මේ කාරණය නැත්තේ ය.(නො විය හැක්කෙකි).
Pali BJT35. ඉති කිර වාසෙට්ඨ, සව්යාපජ්ඣචිත්තා තෙවිජ්ජා බ්රාහ්මණා. අව්යාපජ්ඣචිත්තො බ්රහ්මා. අපි නු ඛො සව්යාපජ්ඣචිත්තානං තෙවිජ්ජානං බ්රාහ්මණානං අව්යාපජ්ඣචිත්තෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT35. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මෙසේ තෙවිදු බමුණෝ සව්‍යාබාධ සිත් ඇත්තෝ ය. බ්‍රහ්මයා ව්‍යාබාධ රහිත සිතැත්තේ ය. ව්‍යාබාධ සහිත සිතැති තෙවිදු බමුණන්ගේ අව්‍යාබාධ සිතැති බ්‍රහ්මයා හා සැසැඳීමෙක් වේ ද, ගැළපීමෙක් වේ ද?
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
Pali BJTසාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, සව්යාපජ්ඣචිත්තා තෙවිජ්ජා බ්රාහ්මණා කායස්ස භෙදා පරම්මරණා අව්යාපජ්ඣචිත්තස්ස බ්රහ්මුනො සහව්යූපගා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT[භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨය. සව්‍යාබාධ සිතැති ඒ තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු ව්‍යාබාධරහිත සිතැති බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මෙ කරුණ අවිද්‍යාමාන ය.
Pali BJT36. ඉති කිර වාසෙට්ඨ, සංකිලිට්ඨචිත්තා තෙවිජ්ජා බ්රාහ්මණා. අසංකිලිට්ඨචිත්තො බ්රහ්මා. අපි නු ඛො සංකිලිට්ඨචිත්තානං තෙවිජ්ජානං බ්රාහ්මණානං අසංකිලිට්ඨචිත්තෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT36. වාසෙට්ඨය, මෙසේ ඒ තෙවිදු බමුණෝ කිලිටි සිතැතියෝ ය. බ්‍රහ්මයා නොකිලිටි සිතැත්තේ ය. කිලිටි සිතැති තෙවිදු බමුණන්ගේ නොකිලිටි සිතැති බ්‍රහ්මයා සමග සැසැඳෙන ගැළැපෙන බවෙක් වේ ද?”
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
Pali BJTසාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, සංකිලිට්ඨචිත්තා තෙවිජ්ජා බ්රාහ්මණා කායස්ස භෙදා පරම්මරණා අසංකිලිට්ඨචිත්තස්ස බ්රහ්මුනො සහව්යූපගා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT[භාග්‍යවත්හු:] මැනැව, වාසෙට්ඨය. ඒ කිලිටි සිතැති තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු නො කිලිටි සිතැති බඹහුගේ සහභාවයට පැමිණියෝ වන්නාහ යන මෙ කරුණ අවිද්‍යාමාන ය. (නො වන්නෙකි).
Pali BJT37. ඉති කිර වාසෙට්ඨ, අවසවත්තී තෙවිජ්ජා බ්රාහ්මණා. වසවත්තී බ්රහ්මා. අපි නු ඛො අවසවත්තීනං තෙවිජ්ජානං බ්රාහ්මණානං වසවත්තිනා බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?’ති.
Sinhala BJT37. “වාසෙට්ඨය, මෙසේ තෙවිදු බමුණෝ අවශවර්තීහු ල. බ්‍රහ්මයා වශවර්තී ල. අවශවර්තී තෙවිදු බමුණන්ගේ වශවර්තී බ්‍රහ්මයා හා සැසැඳීමෙක් වේ ද ගැළැපීමෙක් (සම බවෙක්) වේ ද?”
Pali BJT“නො හිදං භො ගොතම.”
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි.”
Pali BJTසාධු වාසෙට්ඨ. තෙ වත වාසෙට්ඨ, අවසවත්තී තෙවිජ්ජා බ්රාහ්මණා කායස්ස භෙදා පරම්මරණා වසවත්තිස්ස බ්රහ්මුනො සහව්යූපගා භවිස්සන්තීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT[භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මැනැව. වාසෙට්ඨය, අවශවර්තී වූ ඒ තෙවිදු බමුණෝ කාබුන් මරණින් මතු වශවර්තී වූ බඹහු හා ඒකීභාවයට පැමිණියෝ වන්නාහ යන මෙ කරුණ අවිද්‍යාමාන ය (නො වන්නෙකි).
Pali BJTඉධ ඛො පන තෙ වාසෙට්ඨ, තෙවිජ්ජා බ්රාහ්මණා ආසීදිත්වා සංසීදන්ති, සංසීදිත්වා විසාදං වා පාපුණන්ති. සුක්ඛතරණං{1} මඤ්ඤෙ පතරන්ති. තස්මා ඉදං තෙවිජ්ජානං බ්රාහ්මණානං තෙවිජ්ජං{2} ඉරණන්ති’පි{3} වුච්චති. තෙවිජ්ජං විපිනන්ති’පි වුච්චති. තෙවිජ්ජං ව්යසනන්ති’පි වුච්චතී”ති.
Sinhala BJTවාසෙට්ඨය, මෙහි වනාහි තෙවිදු බමුණෝ (මඟැ යි වරදවාගෙන) නොමඟට පැමිණ (මඩෙහි සේ) එහි ගැලෙත්. ගැලී නො නොඉවැසියැ හැකි දුකට හෝ පැමිණෙත්. වියැළි නදියෙක අත් පා ගසමින් පිහිනනවුන් සේ වෙහෙසෙත්. එහෙයින් තෙවිදු බමුණන්ගේ මේ ත්‍රිවිද්‍යාව මහ අරණෙකැ යි ද කියනු ලැබේ. මේ ත්‍රිවිද්‍යාව මහ වනයෙකැ යි ද කියනු ලැබේ. මේ ත්‍රිවිද්‍යාව විපතෙකැ යි ද කියනු ලැබේ.
Pali BJT38. එවං වුත්තෙ වාසෙට්ඨො, මාණවො භගවන්තං එතදවොච: “සුතං මෙ තං භො ගොතම, සමණො ගොතමො බ්රහ්මුනො සහව්යතාය මග්ගං ජානාතී”ති.
Sinhala BJT38. මෙසේ වදාළ කල්හි, වාසෙට්ඨ මාණව තෙම “භවද් ගෞතමයිනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයා හා ඒකීභාවයට මඟ දන්නා සේකැ යි මෙය මා විසින් අසන ලදැ” යි කී ය.
Pali BJTතං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, ආසන්නෙ ඉතො මනසාකටං, නයිතො දූරෙ මනසාකටන්ති?”
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, ඒ කිමැයි සිතහි ද, මනසාකටය මෙයට සමීප තන්හි වේ ද? මනසාකටය මෙයින් නොදුරැ ම වේ ද?
Pali BJT“එවං භො ගොතම. ආසන්නෙ ඉතො මනසාකටං. නයිතො දූරෙ මනසාකටන්ති.”
Sinhala BJT[වාසෙට්ඨ:] “එසේ ය, භවද් ගෞතමයිනි, මනසාකටය මෙයට සමීප තන්හි ය. මනසාකටය මෙයින් දුරැ නො වේ.”
Pali BJT39. තං කිම්මඤ්ඤසි වාසෙට්ඨ, ඉධස්ස පුරිසො මනසාකටෙ ජාතවද්ධො, තමෙනං මනසාකටතො තාවදෙව අවසටං මනසාකටස්ස මග්ගං පුච්ඡෙය්යුං, සියා නු ඛො වාසෙට්ඨ තස්ස පුරිසස්ස මනසාකටෙ ජාතවද්ධස්ස මනසාකටස්ස මග්ගං පුට්ඨස්ස දන්ධායිතත්තං වා විත්ථායිතත්තංවා?ති.
Sinhala BJT39. වාසෙට්ඨය, එය කිමැයි සිතහි ද, මෙහි මනසාකටයෙහි උපන් මනසාකටයෙහි වැඩුණු පුරුෂයෙක් වේ නම්, එ කෙණෙහි ම එයින් නික්මුණු ඔහු අතින් මනසාකටයට මඟ විචාරන්නාහු නම්, වාසෙට්ඨය, මනසාකටයෙහි උපන්, එහි ම වැඩුණු, මනසාකටයට මඟ විචාරනු ලැබූ ඔහුගේ (සැකයෙන් සිතසිතා) කල් යවන බවෙක් හෝ (උත්තර දිය නොහැකි බැවින් වන) කයැ තද බවෙක් හෝ වන්නේ ද?
Pali BJT“නො හිදං භො ගොතම. තං කිස්ස හෙතු? අසු හි භො ගොතම පුරිසො මනසාකටෙ ජාතවද්ධො. තස්ස සබ්බානෙව මනසාකටස්ස මග්ගානි සුවිදිතානී”ති.
Sinhala BJT[වාසෙට්ඨ:] “මෙය නො වේ ම ය, භවද් ගෞතමයිනි. ඒ කවර හෙයින? භවද් ගෞතමයිනි, ඒ පුරිස් තෙම මනසාකටයෙහි උපන්නේ ද වැඩුණේ ද වේ. ඔහුට මනසාකටයෙහි සියලු මාර්‍ගයෝ ඉතා ප්‍රකටයහ. එහෙයිනි.”
Pali BJT40. “සියා ඛො වාසෙට්ඨ, තස්ස පුරිසස්ස මනසාකටෙ ජාතවද්ධස්ස මනසාකටස්ස මග්ගං පුට්ඨස්ස දන්ධායිතත්තං වා විත්ථායිතත්තං වා, නත්ථෙව තථාගතස්ස බ්රහ්මලොකෙ වා බ්රහ්මලොකගාමිනියා වා පටිපදාය පුට්ඨස්ස දන්ධායිතත්තං වා විත්ථායිතත්තං වා. බ්රහ්මානඤ්චාහං වාසෙට්ඨ පජානාමි බ්රහ්මලොකඤ්ච බ්රහ්මලොකගාමිනිඤ්ච පටිපදං. යථා පටිපන්නො බ්රහ්මලොකං උපපන්නො, තඤ්චපජානාමී”ති.
Sinhala BJT40. [භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, මනසාකටයෙහි උපන්නා වූ ද, වැඩුණා වූ ද, එසේ මඟ විචාරන ලද එ පුරිස්හට උත්තර දීමට කල් යවන බවක් හෝ උත්තර දිය නොහැකි ව කයැ තද බවක් හෝ වතත්, බඹලොවෙහි (බඹලොව ඇරැබැ) හෝ බඹලොවට යන මගෙහි (මඟ ඇරැබැ) හෝ ප්‍රශ්න කරනු ලැබූ තථාගතයන්ගේ උත්තර දීමට කල් යවන බවෙක් හෝ (ප්‍රශ්නයෙන්) කයැ තද බවෙක් හෝ නො වේ ම ය. වාසෙට්ඨය, මම බඹහු ද බඹ ලොව ද බඹලෝ යන පිළිවෙත ද දනිමි. යම්සේ පිළිපන්නේ බඹලොවට උප්පත්ති වශයෙන් පැමිණියේ නම් ඔහු ද දනිමි.”
Pali BJT41. එවං වුත්තෙ වාසෙට්ඨො, මාණවො භගවන්තං එතදවොච: “සුතං මෙතං භො ගොතම ‘සමණො ගොතමො බ්රහ්මුනො සහව්යතාය මග්ගං දෙසෙතී’ති. සාධු නො භවං ගොතමො බ්රහ්මුනො සහව්යතාය මග්ගං දෙසෙතු. උල්ලුම්පතු භවං ගොතමො බ්රාහ්මණිං පජ”න්ති.
Sinhala BJT41. මෙසේ වදාළ කලැ වාසෙට්ඨ මාණව තෙම “ඟවද් ගෞතමයිනි, ශ්‍රමණගෞතමයන් වහන්සේ බ්‍රහ්මයා හා ඒකීභාවයට මඟ දෙසන සේකැ යි මෙය මා විසින් අසන ලද ය. යාච්ඤා කරමි. භවද් ගෞතමයන් වහන්සේ අපට බ්‍රහ්මසහභාවය පිණිස මඟ දෙසන සේක් වා. භවද් ගෞතමයන් වහන්සේ බමුණුදරු වූ මා අවාමඟින් ඔසොවා බඹලෝමඟැ පිහිටුවන සේක් වා.”
Pali BJT“තෙන හි වාසෙට්ඨ සුණාහි. සාධුකං මනසිකරොහි. භාසිස්සාමී”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වාසෙට්ඨය, එසේ වී නම් අසව. මොනොවට මෙනෙහි කරච. කියන්නෙමි.”
Pali BJT‘එවං භො’ති ඛො වාසෙට්ඨො මාණවො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච:
Sinhala BJT‘භවත්නි, එසේ යැ’ යි වාසෙට්ඨ මාණව තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJT42. ඉධ වාසෙට්ඨ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං, සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං, බ්රහ්මචරියං පකාසෙති.
Sinhala BJT42. වාසෙට්ඨය, මෙහි අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත සම්මත දෙවියන් (රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්‍ත්‍වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන, ප්‍රත්‍යක්‍ෂ කොට, (ඔවුනට) අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද) කොට, මධ්‍යයෙහි භද්‍රක කොට, අවසනැ භද්‍රක කොට, අර්‍ත්‍ථ සහිත කොට, ව්‍යඤ්ජන සහිත කොට, සර්‍වප්‍රකාරයෙන් පරිපූර්‍ණ කොට, පරිශුද්ධ කොට දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්‍ෂාත්‍රයයෙන් සංගෘහිත වූ) ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකෘශ කෙරෙයි.
Pali BJT43. තං ධම්මං සුණාති ගහපති වා ගහපතිපුත්තො වා අඤ්ඤතරස්මිං වා කුලෙ පච්චාජාතො. සො තං ධම්මං සුත්වා තථාගතෙ සද්ධං පටිලභති. සො තෙන සද්ධාපටිලාභෙන සමන්නාගතො ඉති පටිසංචික්ඛති: “සම්බාධො ඝරාවාසො රජාපථො{1}. අබ්භොකාසො පබ්බජ්ජා. නයිදං සුකරං අගාරං අජ්ඣාවසතා එකන්තපරිපුණ්ණං එකන්තපරිසුද්ධං සඞ්ඛලිඛිතං බ්රහ්මචරියං චරිතුං. යන්නූනාහං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජෙය්ය”න්ති.
Sinhala BJT43. ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ ධර්‍මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුරජුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් සමන්‍විත වූයේ, “ගිහිගෙයි විසීම සම්බාධයෙකි, රජස්පථයෙකි, පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළිමහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිසිදු කොට, ශඞ්ඛලිඛිතයක් සේ කොට මේ බඹසර සරන්නට පහසු නො වේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ” යි මෙසේ නුවණින් සලකයි.
Pali BJT44. සො අපරෙන සමයෙන අප්පං වා භොගක්ඛන්ධං පහාය මහන්තං වා භොගක්ඛන්ධං පහාය අප්පං වා ඤාතිපරිවට්ටං පහාය මහන්තං වා ඤාතිපරිවට්ටං පහාය කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජති. සො එවං පබ්බජිතො සමානො පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො, අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී. සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, කායකම්මෙන සමන්නාගතො කුසලෙන, පරිසුද්ධාජීවො, සීලසම්පන්නො, ඉන්ද්රියෙසු ගුත්තද්වාරො, භොජනෙ මත්තඤ්ඤූ, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, සන්තුට්ඨො.
Sinhala BJT44. හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැරැ, මහත් වූ හෝ සම්පත් රැස හැරැ, මඳ වූ හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑපිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම පාතිමොක්‍ඛසංවරයෙන් සමන්‍විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලුව වාසය කෙරෙයි. නොවැරැදි වූ කායවාක්කර්‍මයෙන් සමන්‍විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ, ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ, (සත් තන්හි) සිහියෙන් හා නුවණින් හා යුක්ත වූයේ, සිවුපසයෙහි තුන් වැදෑරුම් සතුටින් සතුටු වූයේ, ශික්‍ෂාපදයන්හි සමාදන් වැ ගෙන හික්මෙයි.
Pali BJT45. කථඤ්ච වාසෙට්ඨ, භික්ඛු සීලසම්පන්නො හොති? ඉධ වාසෙට්ඨ, භික්ඛු පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො. සබ්බපාණභූතහිතානුකම්පී විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං. අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති. දින්නාදායී දින්නපාටිකඞ්ඛී අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං. අබ්රහ්මචරියං පහාය බ්රහ්මචාරී හොති ආරාචාරී{2} විරතො මෙථුනා ගාමධම්මා. ඉදම්පි’ස්ස හොති සීලස්මිං. මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති සච්චවාදී සච්චසන්ධො ථෙතො{3} පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉදම්පි’ස්ස හොති සීලස්මිං. පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතො හොති: ඉතො සුත්වා න අමුත්ර අක්ඛාතා ඉමෙසං භෙදාය, අමුත්ර වා සුත්වා න ඉමෙසං අක්ඛාතා අමූසං භෙදාය. ඉති භින්නානං වා සන්ධාතා, සංහිතානං වා අනුප්පදාතා, සමග්ගාරාමො සමග්ගරතො සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT45. වාසෙට්ඨය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද යත්: වාසෙට්ඨය, මෙහි මහණ තෙමේ ප්‍රාණඝාතය හැරැලා ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නො දරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (අයුධ නො දරන්නේ), පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අදත්තාදාන ය හැරැ ලා නොදුන් දෑ ගැන්මෙන් වැළැක්කේ වෙයි. දුන් දැය ම පිළිගන්නාසුලු වූයේ, දුන් දැය ම කැමැති වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදු සිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ අබ්‍රම්සර දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොරු කීම දුරැ ලා බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදැහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ කේලාම් කීම දුරැ ලා කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන්ගෙන්) බිඳුවනු පිණිස එතන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙ තන්හි නො කියනසුලු වූයේ, මෙසේ බිඳුණවුන් ගළපන්නේ (සමග කරන්නේ) ද, එකට ගැළැපුණවුන් (සමගියට පැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමගියෙන් සිටින්නවුන් හා වාසය කැමැත්තේ, සමගියෙන් වසන්නවුනට කැමැත්තේ, සමග වැ සිටින්නවුනට සතුටු වනුයේ, සමගිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJTඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතො හොති. යා සා වාචා නෙළා කණ්ණසුඛා පෙමනීයා{1} හදයඞ්ගමා පොරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං{2} වාචං භාසිතා හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං. සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතො හොති කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී. නිධානවතිං වාචං භාසිතා හොති කාලෙන සාපදෙසං පරියන්තවතිං අත්ථසඤ්හිතං. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJTහේ රළු බිණුම් දුරැ ලා රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නොගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේ ද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ. හේ බොල් තිස් දෙඩැවිලි හැරැලා බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාලවේලායෙහි කථා කරනසුලු වූයේ, ඇත්ත ම කියනසුලු වූයේ, වැඩ සලසන බසක් ම කියනසුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක් ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT46. බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. එකභත්තිකො හොති රත්තූපරතො පටිවිරතො විකාලභොජනා. නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතො හොති. මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො හොති. උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතො හොති. ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතො හොති. ආමකමංසපටිග්ගහණා පටිවිරතො හොති. ඉත්ථිකුමාරිකපටිග්ගහණා පටිවිරතො හොති. දාසිදාසපටිග්ගහණා පටිවිරතො හොති. අජෙළකපටිග්ගහණා පටිවිරතො හොති. කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතො හොති. හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතො හොති. ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතො හොති. දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. කයවික්කයා පටිවිරතො හොති. තුලාකූටකංසකූටමානකූටා පටිවිරතො හොති. උක්කොටනවඤ්චනනිකතිසාචියොගා පටිවිරතො හොති. ඡෙදනවධබන්ධනවිපරාමොසආලොපසහසාකාරා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT46. හේ බීජසමූහ (පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද සිඳීමෙන් බිඳීමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ අඩු තැන් පිරැවීමට, ඇඟ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මි උසසුන් ද, නොකැප වූ මහඅසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් අසුන් වෙළෙඹුන් ගෙරින් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූත මෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවුඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායයෙන් අනුන් රැවැටීමෙන්, අගනා දැයට හුරු නොඅගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මෙ කී නොකී හැම කෛරාටික කම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම් කිරීමෙන් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT47. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං බීජගාමභූතගාමසමාරම්භං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: මූලබීජං ඛන්ධබීජං ඵලුබීජං අග්ගබීජං බීජබීජමෙව පඤ්චමං. ඉති වා ඉති එවරූපා බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT47. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලවීජ ද (හිඟුරු ආදි පැළ වන මුල් ද), ස්කන්‍ධ වීජ ද (නුග ආදි පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බව ආදි පැළ වන පුරුක් ද), අග්‍රවීජ ද (ඉරිවේරිය ආදි පැළ වන දලු ද), පස් වනු වීජවිජ ද (වී ආදි පැළ වන ඇට ද) යන මෙ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළ වුණු දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැළුම් යැ යි) කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ වීජ – ග්‍රාමභූතග්‍රාමසමාරම්භයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT48. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං සන්නිධිකාරපරිභොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අන්නසන්නිධිං පානසන්නිධිං වත්ථසන්නිධිං යානසන්නිධිං සයනසන්නිධිං ගන්ධසන්නිධිං ආමිසසන්නිධිං. ඉති වා ඉති එවරූපා සන්නිධිකාරපරිභොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT48. යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කන දෑ රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කොට තබා ගැන්ම, වස්ත්‍ර රැස් කොට තබා ගැන්ම, (රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන) යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර (තවත් තල සහල් ඈ වුවමනා ) පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභෝගයෙහි (පසය රැස් කොට තබා ගෙන වැළැඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT49. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විසූකදස්සනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: නච්චං ගීතං වාදිතං පෙක්ඛං අක්ඛානං පාණිස්සරං වෙතාලං කුම්භථූනං සොභනකං චණ්ඩාලං වංසං ධොපනකං හත්ථියුද්ධං අස්සයුද්ධං මහිසයුද්ධං උසභයුද්ධං අජයුද්ධං මෙණ්ඩයුද්ධං කුක්කුටයුද්ධං වට්ටකයුද්ධං දණ්ඩයුද්ධං මුට්ඨියුද්ධං නිබ්බුද්ධං උය්යොධිකං බලග්ගං සෙනාබ්යූහං අණීකදස්සනං. ඉති වා ඉති එවරූපා විසූකදස්සනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT49. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, නැටුම් ගැසුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක් වැ ජනසමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැසුම හෝ අත්තල ගැසුම), වේතාල (දඬුමුවා තාලම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්හථූන (සිවුරස් බෙර වැයුම), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දෙවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්‍දිගීත ගායනය හෝ ප්‍රතිභානවිත්‍ර කිරීම), සණදොවුන් කෙළිය (හෝ අයෝගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධාවනය (මළවුන්ගේ ඇට සෝදා සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT50. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං ජූතප්පමාදට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: අට්ඨපදං දසපදං ආකාසං පරිහාරපථං සන්තිකං ඛලිකං ඝටිකං සලාකාහත්ථං අක්ඛං පඞ්ගචීරං වඞ්කකං මොක්ඛචිකං චිඞ්ගුලකං පත්තාළ්හකං රථකං ධනුකං අක්ඛරිකං මනෙසිකං යථාවජ්ජං. ඉති වා ඉති එවරූපා ජූතප්පමාදට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT50. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඬුලු පැනුම, සන්තිකාක්‍රීඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළනැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රීඩාරථ පැදවීම, කුඩා දුන්නේ විදීම, ඇතිරිකෙළිය (පිටේ හෝ අහසේ අකුරු ඇඳ ඒ කියැවීම්), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන් යන ආදීන් සේ ඉරියවු පැවැත්වීම) යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT51. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං උච්චාසයනමහාසයනං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: ආසන්දිං පල්ලඞ්කං ගොනකං චිත්තකං පටිකං පටලිකං තූලිකං විකතිකං උද්දලොමිං එකන්තලොමිං කට්ඨිස්සං කොසෙය්යං කුත්තකං හත්ථත්ථරං අස්සත්ථරං රථත්ථරං අජිනප්පවෙණිං කාදලිමිගපවරපච්චත්ථරණං සඋත්තරච්ඡදං උභතොලොහිතකූපධානං ඉති වා ඉති එවරූපා උච්චාසයනමහාසයනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT51. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟළා පුටු ය, පළඟය, මහකොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, එළුලොම්මුවා සුදු ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය, තිලිය (පුලුන් මෙත්තය), සිංහරූපාදි රූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, කෝසෙය්‍ය හුයින් වියූ ඇතිරිය, ඇතු පිට එළන ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරි ලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රත්කන්වයින් තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හෙ තෙමේ මේ හෝ මෙ බඳු වූ උස්යහන් මහයහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT52. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං මණ්ඩනවිභූසනට්ඨානානුයොගං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: උච්ඡාදනං පරිමද්දනං නහාපනං සම්බාහනං ආදාසං අඤ්ජනං මාලාවිලෙපනං මුඛචුණ්ණකං මුඛලෙපනං හත්ථබන්ධං සිඛාබන්ධං දණ්ඩකං නාළිකං ඛග්ගං ඡත්තං චිත්රූපාහනං උණ්හීසං මණිං වාළවීජනිං ඔදාතානි වත්ථානි දීඝදසානි. ඉති වා ඉති එවරූපා මණ්ඩනවිභූසනට්ඨානානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT52. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳසුණුයෙන් ඇඟ ඉලීම, අත්පාදෑඟි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඈහි මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිලෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT53. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං තිරච්ඡානකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං [කුමාරකථං කුමාරිකථං] සූරකථං විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT53. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චෝරකථා මහාමාත්‍යකථා සේනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා [කුමාරකථා කුමාරිකථා] ශූරකථා වීථිකථා කුම්භස්ථානකථා නානාත්‍වකථා ලෝකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛ්‍යායිකාකථා ඉතිභවාභවකථා යන මෙබඳු වූ තිරශ්චීන කථාවන්හි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙ බඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT54. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං විග්ගාහිකකථං අනුයුත්තා විහරන්ති, සෙය්යථීදං: න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි. අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි. අහමස්මි සම්මා පටිපන්නො. සහිතං මෙ, අසහිතං තෙ. පුරෙ වචනීයං පච්ඡා අවච. පච්ඡා වචනීයං පුරෙ අවච. ආචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො. නිග්ගහීතො ත්වමසි. චර වාදප්පමොක්ඛාය. නිබ්බෙඨෙහි වා සචෙ පහොසීති. ඉති වා ඉති එවරූපාය විග්ගාහිකකථාය පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT54. යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම් ම මේ දහම් විනය දනිමි. මේ දහම් විනය කිමැ යි තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු චැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුවෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මාගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැඟු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මෙබඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැන්මෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT55. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපං දූතෙය්යපහිණගමනානුයොගමනුයුත්තා විහරන්ති, සෙය්යථිදං: රඤ්ඤං රාජමහාමත්තානං ඛත්තියානං බ්රාහ්මණානං ගහපතිකානං කුමාරානං “ඉධ ගච්ඡ අමුත්රාගච්ඡ. ඉදං හර. අමුත්ර ඉදං ආහරා”ති. ඉති වා ඉති එවරූපා දූතෙය්යපහිණගමනානුයොගා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT55. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මෙහි යන්නැ. අසෝ තැනට එන්නැ. මෙය ගෙනැ යන්නැ අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමැතියන්ගේ ක්‍ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙ බඳු දූත මෙහෙවරෙහි, පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙ වැනි වූ හෝ දූත මෙහෙවරින්, පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT56. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ කුහකා ච හොන්ති ලපකා ච නෙමිත්තිකා ච නිප්පෙසිකා ච ලාභෙන ච ලාභං නිජිගිංසිතාරො. ඉති වා ඉති එවරූපා කුහනලපනා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT56. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම කරන්නෝ වෙත් ද, ලාභාපේක්‍ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාඟය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මෙ බඳු වූ ද කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT57. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: අඞ්ගං නිමිත්තං උප්පාතං සුපිනං ලක්ඛණං මූසිකච්ඡින්නං අග්ගිහොමං දබ්බිහොමං ථුසහොමං __කණහොමං__ තණ්ඩුලහොමං සප්පිහොමං තෙලහොමං මුඛහොමං ලොහිතහොමං අඞ්ගවිජ්ජා වත්ථුවිජ්ජා ඛත්තවිජ්ජා සිවවිජ්ජා භූතවිජ්ජා භූරිවිජ්ජා අහිවිජ්ජා විසවිජ්ජා විච්ඡිකවිජ්ජා මූසිකවිජ්ජා සකුණවිජ්ජා වායසවිජ්ජා පක්කජ්ඣානං සරපරිත්තානං මිගපක්ඛං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT57. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්‍ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්‍ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්‍ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්‍ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්‍ෂය යන මෙ කී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මේ බඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.
Pali BJT58. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: මණිලක්ඛණං වත්ථලක්ඛණං දණ්ඩලක්ඛණං අසිලක්ඛණං උසුලක්ඛණං ධනුලක්ඛණං ආවුධලක්ඛණං ඉත්ථිලක්ඛණං පුරිසලක්ඛණං කුමාරලක්ඛණං කුමාරිලක්ඛණං දාසලක්ඛණං දාසිලක්ඛණං හත්ථිලක්ඛණං අස්සලක්ඛණං මහිසලක්ඛණං උසභලක්ඛණං ගොලක්ඛණං අජලක්ඛණං මෙණ්ඩලක්ඛණං කුක්කුටලක්ඛණං වට්ටකලක්ඛණං ගොධාලක්ඛණං කණ්ණිකාලක්ඛණං කච්ඡපලක්ඛණං මිගලක්ඛණං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT58. යම්සේ ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණු, වත්ලකුණු, දඬුලකුණු, කඩුලකුණු, ඊලකුණු, දුනුලකුණු, අවිලකුණු, ඉතිරිලකුණු, පුරිස්ලකුණු, කුමරලකුණු, කුමරිලකුණු, දස්ලකුණු, දැසිලකුණු, ඇත්ලකුණු, අස්ලකුණු, මියුලකුණු, වහප්ලකුණු, ගොන්ලකුණු, එළුලකුණු, බැටෙළුලකුණු, කුකුළුලකුණු, වටුලකුණු, ගොය්ලකුණු, කැණිලකුණු, කසුබුලකුණු, මුවලකුණු යන ආදි මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී ද මෙබඳු වූ ද තිරග්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT59. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: “රඤ්ඤං නිය්යානං භවිස්සති. රඤ්ඤං අනිය්යානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං උපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං අපයානං භවිස්සති. බාහිරානං රඤ්ඤං උපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං අපයානං භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං ජයො භවිස්සති. බාහිරානං රඤ්ඤං පරාජයො භවිස්සති. බාහිරානං රඤ්ඤං ජයො භවිස්සති. අබ්භන්තරානං රඤ්ඤං පරාජයො භවිස්සති. ඉති ඉමස්ස ජයො භවිස්සති. ඉමස්ස පරාජයො භවිස්සති.” ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT59. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය. අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට රට තුළ හුන් රජුන්ගේ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය. රට ඇතුළතැ සිටින රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. රට තුළැ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය. මොහුම පරාජය වන්නේ යැ’ යි කියමින් මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු වූ මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඵ් මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරග්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT60. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථීදං: “චන්දග්ගාහො භවිස්සති. සුරියග්ගාහො භවිස්සති. නක්ඛත්තග්ගාහො භවිස්සති. චන්දිමසුරියානං පථගමනං භවිස්සති. චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. නක්ඛත්තානං පථගමනං භවිස්සති. නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. උක්කාපාතො භවිස්සති. දිසාඩාහො භවිස්සති. භූමිචාලො භවිස්සති. දෙවදුන්දුභි භවිස්සති. චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සංකිලෙසං වොදානං භවිස්සති. එවංවිපාකො චන්දග්ගාහො භවිස්සති. එවංවිපාකො සුරියග්ගාහො භවිස්සති. __එවංවිපාකො නක්ඛත්තග්ගාහො භවිස්සති__. එවංවිපාකං චන්දිමසුරියානං පථගමනං භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං පථගමනං භවිස්සති. එවංවිපාකං නක්ඛත්තානං උප්පථගමනං භවිස්සති. එවංවිපාකො උක්කාපාතො භවිස්සති. එවංවිපාකො දිසාඩාහො භවිස්සති. එවංවිපාකො භූමිචාලො භවිස්සති. එවංවිපාකො දෙවදුන්දුභි භවිස්සති. එවංවිපාකං චන්දිමසුරියනක්ඛත්තානං උග්ගමනං ඔගමනං සඞ්කිලෙසං වොදානං භවිස්සති”. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT60. යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්‍ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍ය්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත්තරුන් නිසිමගින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමගින් යෑම වන්නේ ය. අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුන්ගේ ද උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය. චන්‍ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සූර්‍ය්‍යග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්‍ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මගින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් දෙදෙනාගේ නොමගින් යෑම මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උත්පථගමනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේය. වැසි නැති වැ අහස්ගෙරැවුම මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත්තරුවල ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ, මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT61. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: “සුබ්බුට්ඨිකා භවිස්සති. දුබ්බුට්ඨිකා භවිස්සති. සුභික්ඛං භවිස්සති. දුබ්භික්ඛං භවිස්සති. ඛෙමං භවිස්සති. භයං භවිස්සති. රොගො භවිස්සති. ආරොග්යං භවිස්සති. මුද්දා ගණනා සංඛානං කාවෙය්යං ලොකායතං”. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT61. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, “මෙ සමයෙහි වැසි වස්නේ ය. මෙ සමයෙහි නියං වන්නේ ය. මෙ සමයෙහි රට සුභික්‍ෂ වන්නේ ය. මෙ සමයෙහි රට දුර්භික්‍ෂ වන්නේ ය. මෙ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මෙ සමයෙහි රටට බිය වන්නේ ය. මෙ කලැ රෝග වන්නේ ය. මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඥා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායතශාස්ත්‍රය යන මේ හෝ මෙ බඳු තිරග්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාඅජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT62. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: ආවාහනං විවාහනං සංවදනං විවදනං සංකිරණං විකිරණං සුභගකරණං දුබ්භගකරණං විරුද්ධගබ්භකරණං ජිව්හානිත්ථම්භනං හනුසංහනනං හත්ථාභිජප්පනං හනුජප්පනං කණ්ණජප්පනං ආදාසපඤ්හං කුමාරිපඤ්හං දෙවපඤ්හං ආදිච්චුපට්ඨානං මහතුපට්ඨානං අබ්භුජ්ජලනං සිරිව්හායනං. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං.
Sinhala BJT62. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා කකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කර දීම, බිම පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරුගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳීම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳැවීම යන මේ හෝ අන් මෙ බඳු වූ තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT63. යථා වා පනෙකෙ භොන්තො සමණබ්රාහ්මණා සද්ධාදෙය්යානි භොජනානි භුඤ්ජිත්වා තෙ එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවෙන ජීවිකං කප්පෙන්ති, සෙය්යථිදං: සන්තිකම්මං පණිධිකම්මං භූතකම්මං භූරිකම්මං වස්සකම්මං වොස්සකම්මං වත්ථුකම්මං වත්ථුපරිකිරණං ආචමනං නහාපනං ජුහනං වමනං විරෙචනං උද්ධවිරෙචනං අධොවිරෙචනං සීසවිරෙචනං කණ්ණතෙලං නෙත්තතප්පනං නත්ථුකම්මං අඤ්ජනං පච්චඤ්ජනං සාලාකියං සල්ලකත්තියං දාරකතිකිච්ඡා මූලභෙසජ්ජානං අනුප්පදානං ඔසධීනං පටිමොක්ඛො. ඉති වා ඉති එවරූපාය තිරච්ඡානවිජ්ජාය මිච්ඡාජීවා මිච්ඡාජීවා පටිවිරතො හොති. ඉදම්පි’ස්ස හොති සීලස්මිං
Sinhala BJT63. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්‍ම, ප්‍රණිධිකර්‍ම, භූරිකර්‍ම, පණ්ඩකයා පිරිමියකු කිරීම, පිරිමියා පණ්ඩකයකු කිරීම, වාස්තුකර්‍ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවීම, සෙත් පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, බඩ විරේක කැරැවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම ශීර්‍ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහියන් සඳහා ඇස පටලයට සිසිල ගන්වන නෙත්තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම, ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් කිරීම, ගිහියනට ශල්‍ය කර්‍ම කිරීම, ළදරුවන්ගේ ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම (කායචිකිත්සාව) කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගළවා දැමීම යැ” යි මේ ආදි වූ හෝ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.
Pali BJT64. ස ඛො සො වාසෙට්ඨ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සෙය්යථාපි වාසෙට්ඨ ඛත්තියො මුද්ධාවසිත්තො නිහතපච්චාමිත්තො න කුතොචි භයං සමනුපස්සති යදිදං පච්චත්ථිකතො. එවමෙව ඛො වාසෙට්ඨ, භික්ඛු එවං සීලසම්පන්නො න කුතොචි භයං සමනුපස්සති යදිදං සීලසංවරතො. සො ඉමිනා අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො අජ්ඣත්තං අනවජ්ජසුඛං පටිසංවෙදෙති. එවං ඛො වාසෙට්ඨ භික්ඛු සීලසම්පන්නො හොති.
Sinhala BJT64. වාසෙට්ඨය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීල සංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. වාසෙට්ඨය, ක්‍ෂත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනැසූ සතුරන් ඇති ක්‍ෂත්‍රියයෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි බියක් යම්සේ නො දක්නේ ද, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ, ශිලසංවරහේතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් වියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුඛය විඳී. වාසෙට්ඨය, මෙසේ මහණ තෙමේ ශීලසම්පන්න වේ.
Pali BJT65. කථඤ්ච වාසෙට්ඨ, භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති? ඉධ වාසෙට්ඨ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං චක්ඛුන්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති චක්ඛුන්ද්රියං. චක්ඛුන්ද්රියෙ සංවරං ආපජ්ජති. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී. යත්වාධිකරණමෙතං මනින්ද්රියං අසංවුතං විහරන්තං අභිජ්ඣා දොමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාස්සවෙය්යුං, තස්ස සංවරාය පටිපජ්ජති. රක්ඛති මනින්ද්රියං. මනින්ද්රියෙ සංවරං ආපජ්ජති. සො ඉමිනා අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො අජ්ඣත්තං අබ්යාසෙකසුඛං පටිසංවෙදෙති. එවං ඛො වාසෙට්ඨ භික්ඛු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො හොති.
Sinhala BJT65. වාසෙට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොර ඇත්තේ වේ ද යත්: වාසෙට්ඨය, මෙ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදිවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදිවශයෙන් අත්පා ආදි අවයවයන්ගේ ආකාර සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. චක්‍ෂුරින්‍ද්‍රියය රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ... නාසයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවෙන් රස ආස්වාදය කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්‍ශ කොට ... සිතින් ධර්‍මාලම්බන දැන ශුභාදිවශයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදිවශයෙන් ආකාර සිතට ගන්නේ නො වේ. යම් කරුණෙකින් මන ඉන්‍ද්‍රියය සංවර කොට නොගෙන වසන්හුගේ චිත්තසන්තානය විෂමලෝභ දොම්නස් ආදි ලාමක අකුශල ස්වභාවයෝ ලුහුබඳනාහු ද, ඒ මනඉන්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රෝත ... ඝ්‍රාණ ... ජිහ්වා ... කාය ... මනඉන්‍ද්‍රියය රකී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්‍ද්‍රියසංවරයෙන් සමන්‍විත වූයේ සිය සතන්හි අව්‍යාසේකසුඛය (කෙලෙසුන්ගෙන් මිශ්‍ර නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය) විඳී. වාසෙට්ඨය, මෙසේ මහණ තෙමේ ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තේ වේ.
Pali BJT66. කථඤ්ච වාසෙට්ඨ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති? ඉධ වාසෙට්ඨ, භික්ඛු අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති. ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති. සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හොති. සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති. අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති. උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති. ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. එවං ඛො වාසෙට්ඨ, භික්ඛු සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො හොති.
Sinhala BJT66. වාසෙට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහි නුවණින්) සමන්‍විත වේ ද යත්: වාසෙට්ඨය, මෙ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි (වට පිට බැලීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිළීමෙහි, දිගු කිරීමෙහි නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටිකැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි නොබිණීමෙහි නුවණින් දැන ම කරනුයේ වෙයි. වාසෙට්‍ඨය, මෙසේ මහණ තෙම සිහිනුවණින් සමන්‍විත වෙයි.
Pali BJT67. කථඤ්ච වාසෙට්ඨ, භික්ඛු සන්තුට්ඨො හොති? ඉධ වාසෙට්ඨ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. සෙය්යථාපි වාසෙට්ඨ පක්ඛී සකුණො යෙන යෙනෙව ඩෙති සපත්තභාරො’ව ඩෙති, එවමෙව ඛො වාසෙට්ඨ, භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරියෙන චීවරෙන කුච්ඡිපරිහාරියෙන පිණ්ඩපාතෙන. සො යෙන යෙනෙව පක්කමති සමාදායෙව පක්කමති. එවං ඛො වාසෙට්ඨ, භික්ඛු සන්තුට්ඨො හොති.
Sinhala BJT67. වාසෙට්ඨය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද යත්: වාසෙට්ඨය, මෙ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික්මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. වාසෙට්ඨය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක ට පියා හඹා යේ නම්, පියාපත් බර සහිත ව ම යම් සේ පියා හඹා ද, එසේ ම ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්‍ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද, පා සිවුරු (ආදි අට පිරිකර) රැගෙන ම යෙයි. වාසෙට්ඨය, මෙසේ මහණ තෙමේ ලද පසයෙහි සතුටු වේ.
Pali BJT68. සො ඉමිනා ච අරියෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන ඉන්ද්රියසංවරෙන සමන්නාගතො, ඉමිනා ච අරියෙන සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, ඉමාය ච අරියාය සන්තුට්ඨියා සමන්නාගතො, විවිත්තං සෙනාසනං භජති අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං. සො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJT68. වාසෙට්ඨය, ඒ මහණ තෙමේ මෙ ආර්‍ය ශීලස්කන්‍ධයෙන් ද සමන්‍විත වූයේ, මේ ආර්‍ය ඉන්‍ද්‍රියසංවරයෙන් ද සමන්‍විත වූයේ, මෙ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජානනයෙන් ද සමන්‍විත වූයේ, මෙ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්‍විත වූයේ, අරණ්‍ය වෘක්‍ෂමූල පර්‍වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශුන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා කමටහනට යොමු කොට සිහි එළවා හිඳී.
Pali BJT69. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති. අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. බ්යාපාදපදොසං පහාය අබ්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී. බ්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථිනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති ආලොකසඤ්ඤී සතො සම්පජානො. ථිනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො. උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු. විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති.
Sinhala BJT69. හේ ලොවැ, (පඤ්ච උපාදානස්කන්‍ධය කෙරෙහි) ඇල්ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජ්ඣායෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥා ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන්බවත්) කුකුසත් (කළ නොකළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ), සංහිඳුණු ස්‍වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
Pali BJT70. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො ඉණං ආදාය කම්මන්තෙ පයොජෙය්ය, තස්ස තෙ කම්මන්තා සමිජ්ඣෙය්යුං, සො යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීකරෙය්ය, සියා චස්ස උත්තරිං අවසිට්ඨං දාරභරණාය, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ඉණං ආදාය කම්මන්තෙ පයොජෙසිං. තස්ස මෙ තෙ කම්මන්තා සමිජ්ඣිංසු. සො’හං යානි ච පොරාණානි ඉණමූලානි තානි ච බ්යන්තීඅකාසිං. අත්ථි ච මෙ උත්තරිං අවසිට්ඨං දාරභරණායා”ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT70. වාසෙට්ඨය, යම්සේ පුරුෂයෙක් ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම්, එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම පළමුයෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම යම් පරණ ණය මුදල් වී නම්, එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණය නැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT71. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො ආබාධිකො අස්ස දුක්ඛිතො බාළ්හගිලානො, භත්තං චස්ස නච්ඡාදෙය්ය, න චස්ස කායෙ බලමත්තා, සො අපරෙන සමයෙන තම්හා ආබාධා මුච්චෙය්ය, භත්තඤ්චස්ස ඡාදෙය්ය, සියා චස්ස කායෙ බලමත්තා, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ ආබාධිකො අහොසිං දුක්ඛිතො බාළ්හගිලානො. භත්තං ච මෙ නච්ඡාදෙසි. න චස්ස මෙ ආසි කායෙ බලමත්තා. සො’ම්හි එතරහි තම්හා ආබාධා මුත්තො භත්තඤ්ච මෙ ඡාදෙති. අත්ථි ච මෙ කායෙ බලමත්තා”ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT71. වාසෙට්ඨය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියෙන්නේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන්බව් ඇති ලෙඩෙක් වීමි. මට අහර ද රිසි නො වී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහර ද රිසියෙයි. මා ඇඟපත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT72. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො බන්ධනාගාරෙ බද්ධො අස්ස, සො අපරෙන සමයෙන තම්හා බන්ධනාගාරා මුච්චෙය්ය සොත්ථිනා අබ්බයෙන, න චස්ස කිඤ්චි භොගානං වයො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ බන්ධනාගාරෙ බද්ධො අහොසිං. සො’ම්හි එතරහි තම්හා බන්ධනාගාරා මුත්තො සොත්ථිනා අබ්බයෙන. නත්ථි ච මෙ කිඤ්චි භොගානං වයො”ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT72. වාසෙට්ඨය, යම් සේ පුරුෂයෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝගවිනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලි පෙරැ හිරගෙහි බැඳුණෙම් වීමි. ඒ මම දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිරගෙන් මිදුණෙම් වෙමි. මාගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ”යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT73. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො දාසො අස්ස අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො, සො අපරෙන සමයෙන තම්හා දාසබ්යා මුච්චෙය්ය අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ දාසො අහොසිං අනත්තාධීනො පරාධීනො න යෙනකාමඞ්ගමො. සො’ම්හි එතරහි තම්හා දාසබ්යා මුත්තො අත්තාධීනො අපරාධීනො භුජිස්සො යෙනකාමඞ්ගමො”ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT73. වාසෙට්ඨය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැතියේ, නිදහස් වූයේ, කැමැති අතෙක යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යෑ නො හැකි දාසයෙක් වීමි. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT74. සෙය්යථාපි වාසෙට්ඨ, පුරිසො සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජෙය්ය දුබ්භික්ඛං සප්පටිභයං, සො අපරෙන සමයෙන තං කන්තාරං නිත්ථරෙය්ය, සොත්ථිනා ගාමන්තං අනුපාපුණෙය්ය ඛෙමං අප්පටිභයං, තස්ස එවමස්ස: “අහං ඛො පුබ්බෙ සධනො සභොගො කන්තාරද්ධානමග්ගං පටිපජ්ජිං දුබ්භික්ඛං සප්පටිභයං. සො’ම්හි එතරහි තං කන්තාරං තිණ්ණො සොත්ථිනා ගාමන්තං අනුප්පත්තො ඛෙමං අප්පටිභය”න්ති. සො තතො නිදානං ලභෙථ පාමොජ්ජං, අධිගච්ඡෙය්ය සොමනස්සං-
Sinhala BJT74. වාසෙට්ඨය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්‍ලභ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම වූ කලි පෙර ධන ඇතියෙම්, භෝගසම්පත් ඇතියෙම්, දිය නැති, ආහාරදුර්‍ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළෙමි. නිරුපද්‍රැත භයරහිත ගමකට පැමිණියෙම් වෙමි”යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -
Pali BJT75. එවමෙව ඛො වාසෙට්ඨ, භික්ඛු යථා ඉණං යථා රොගං යථා බන්ධනාගාරං යථා දාසබ්යං යථා කන්තාරද්ධානමග්ගං, එවං ඉමෙ පඤ්ච නීවරණෙ අප්පහීණෙ අත්තනි සමනුපස්සති. සෙය්යථාපි වාසෙට්ඨ, ආනණ්යං, යථා ආරොග්යං, යථා බන්ධනා මොක්ඛං, යථා භුජිස්සං, යථා ඛෙමන්තභූමිං. එවමෙව ඛො වාසෙට්ඨ, භික්ඛු ඉමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සති.
Sinhala BJT75. වාසෙට්ඨය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල්බවක් මෙන් දිය නැති දික්මගක් මෙන් (පිළිවෙළින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. වාසෙට්ඨය, ණය නැති බව යම්සේ ද, ලෙඩ නැති බව යම්සේ ද, හිරගෙන් මිදුණුබව යම්සේ ද, නිවහල්බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේ ම වාසෙට්ඨය, හෙතෙම (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
Pali BJT76. තස්සිමෙ පඤ්ච නීවරණෙ පහීණෙ අත්තනි සමනුපස්සතො පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදෙති. සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJT76. තමා කෙරෙහි පහ වූ මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාමකය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ (එකඟ වේ).
Pali BJT77. සො මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය{1} සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි වාසෙට්ඨ, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසං සරෙන විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො වාසෙට්ඨ, එවං භාවිතාය මෙත්තාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති, න තං තත්රාවතිට්ඨති. අයම්පි ඛො වාසෙට්ඨ, බ්රහ්මුනො{2} සහව්යතාය මග්ගො.
Sinhala BJT77. හේ මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් පැතිරැ ගෙන (අරමුණු කොට) වෙසෙයි. එසේ දෙවෙනි දිශාව ද, තෙවෙනි දිශාව ද, සිවුවන දිශාව ද පැතිරැ ගෙන වෙසෙයි. එසේ ම උඩ දෙස ද, යට දෙස ද, සරස දැ යි මේ හැම තැන ම සර්‍වාත්මතායෙන් (සියල්ල තමා හා සමත්‍වයෙන්) සජීවත් (සියලු සතුන් ඇති) ලොව විපුල වූ ප්‍රමාණරහිත වූ වෛරරහිත වූ නිදුක් මෛත්‍රී සහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹින්නෙක් පහසුවෙන් ම (සිය) සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද (සිවු දිග ම සක්හඬ පතුරුවන්නේ ද), එපරිද්දෙන් ම වාසෙට්ඨය, මෙසේ (අප්‍රමාණ ව) වඩනා ලද මෛත්‍රීචිත්තවිමුක්ති කරණකොට ගෙන, ප්‍රමාණ විසින් කරන ලද යම් කර්‍මයෙක් (හෙවත් යම් කාමාවචර මෛත්‍රී කර්‍මයෙක්) ඇත් නම්, එය එහි අවශිෂ්ට (ඉතිරි) නො වේ. (ඒ මහද්ගතකර්‍ම අතරැ ලැග ගන්නට කාමාවචර කර්‍ම සමත් නො වේ.) එය එහි ඒ මහද්ගත කර්‍මය මැඩ ගෙන ද නො සිටී (කාමාවචරකර්‍ම ඒ මහද්ගතකර්‍ම විපාක මැඩ තමනට ඉඩ ගන්නට ද සමත් නොවෙයි). වාසෙට්ඨය, මේ මෛත්‍රී චිත්ත විමුක්තිය ද බඹහුගේ සහභාවයට මඟ ය.
Pali BJT78. පුන චපරං වාසෙට්ඨ, භික්ඛු කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති. තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි වාසෙට්ඨ, __බලවා__ සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසං සරෙන විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො වාසෙට්ඨ, එවං භාවිතාය කරුණාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති න තං තත්රාවතිට්ඨති. අයම්පි ඛො වාසෙට්ඨ, බ්රහ්මුනො සහව්යතාය මග්ගො.
Sinhala BJT78. තව ද අනෙකක් කියම්. වාසෙට්ඨය, මහණ තෙම කරුණා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසේ, එසේ දෙවෙනි දෙස ද, එසේ තෙවෙනි දෙස ද, එසේ සිවුවන දෙස ද පැතිරැ ගෙන වෙසේ. මෙසේ උඩ දෙස ද යට දෙස ද සරස දැ යි මේ හැම තැන ම සියල්ල තමා හා සමත්‍වයෙන් සියලු සතුන් ඇති ලොව (සියලු සත්ලොව) විපුල වූ මහද්ගත වූ ප්‍රමාණරහිත වූ වෛරරහිත වූ නිදුක් වූ කරුණාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹින්නෙක් පහසුවෙන් ම සිය සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද (සක්හඬින් සිවුදිග ම සක්හඬ පතුරවන්නේ ද,) එ පරිද්දෙන් ම වාසෙට්ඨය, මෙසේ වඩනා ලද කරුණාචිත්තවිමුක්තිය හේතු කොට ගෙන, ප්‍රමිත වූ (කාමාවචර වූ) යම් කර්‍මයෙක් ඇත් නම් එය එහි අතරැ ඉතිරි වැ නො රැඳේ. එය එහි ඒ මහද්ගතකර්‍මය මැඩ ගෙන ද නො සිටී. වාසෙට්ඨය, මේ කරුණාචිත්තවිමුක්තිය ද බ්‍රහ්මසහභාවයට මග වේ.
Pali BJT79. පුන චපරං වාසෙට්ඨ, භික්ඛු මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි වාසෙට්ඨ, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසං __සරෙන__ විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො වාසෙට්ඨ, එවං භාවිතාය මුදිතාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති. න තං තත්රාවතිට්ඨති. අයම්පි ඛො වාසෙට්ඨ, බ්රහ්මුනො සහව්යතාය මග්ගො.
Sinhala BJT79. තව ද අනෙකක් කියමි. වාසෙට්ඨය, මහණ තෙම මුදිතාසහගත සිතින් එක් දෙසක් පැතිර ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස ද, තෙවෙනි දෙස ද, සිවුවන දෙස ද පැතිරැ ගෙන වෙසෙයි. එසේ ම උඩ දෙස ද යට දෙස ද සරස දැ යි මේ හැම තැන ම සියලුදෙනා ම තමා හා සමත්‍වයෙන් සියලු සතුන් ඇති ලොව (සියලු සත්ලොව) විපුල වූ, මහද්ගත වූ, නොපමණ වූ, වෙර නැති, නිදුක් වූ මුදිතාසහගිය සිතින් පැතිරැ ගෙන වෙසෙසි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹන්නෙක් පහසුයෙන් සිය සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද, එ පරිදි ම වාසෙට්ඨය, මෙසේ වඩනා ලද මුදිතාචිත්තවිමුක්තිය කරණ කොට ගෙන, ප්‍රමිත වූ කර්‍ම (කාමාවචර කර්‍ම) අවශිෂ්ට නො වේ. එය මහද්ගත කර්‍ම මැඩැ තමාට ඉඩ ගන්නට නො ද සමත් වේ. වාසෙට්ඨය, මේ මුදිතාචිත්තවිමුක්තිය ද බ්‍රහ්මසහභාවයට මඟය.
Pali BJT80. පුන චපරං වාසෙට්ඨ, භික්ඛු උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරති තථා දුතියං තථා තතියං තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙක්ඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ඣෙන ඵරිත්වා විහරති. සෙය්යථාපි වාසෙට්ඨ, බලවා සඞ්ඛධමො අප්පකසිරෙනෙව චාතුද්දිසං __සරෙන__ විඤ්ඤාපෙය්ය, එවමෙව ඛො වාසෙට්ඨ, එවං භාවිතාය උපෙක්ඛාය චෙතොවිමුත්තියා යං පමාණකතං කම්මං න තං තත්රාවසිස්සති. න තං තත්රාවතිට්ඨති. අයම්පි ඛො වාසෙට්ඨ, බ්රහ්මුනො සහව්යතාය මග්ගො.
Sinhala BJT80. තව ද, අනෙකක් කියමි, වාසෙට්ඨය, මහණ තෙම උපේක්‍ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ ගෙන වෙසෙයි. එසේ දෙවෙනි දෙස ද, තෙවෙනි දෙස ද, සිවු වන දෙස ද, පැතිරැ ගෙන වෙසෙයි. එසේ ම උඩ දෙස ද යට දෙස ද සරස දැ යි මේ හැම තැන ම සියලු දෙනා ම තමා හා සමත්‍වයෙන් සියලු සත්ලොව විපුල වූ මහද්ගත වූ, නොපමණ වූ, වෙර නැති, නිදුක් වූ උපේක්‍ෂාසහගත සිතින් පැතිරැ ගෙන වෙසෙයි. වාසෙට්ඨය, යම්සේ කාබලැති සක්පිඹින්නෙක් පහසුයෙන් සිය සක්හඬින් සිවුදිගුන් හඟවන්නේ ද, එ පරිදි ම වාසෙට්ඨය, මෙසේ වඩනා ලද උපේක්‍ෂාචිත්තවිමුක්තිය හේතු කොට ගෙන ප්‍රමාණකෘත කර්‍ම (කාමාවචරකර්‍ම) අවශිෂ්ට නො වේ. එය මහද්ගතකර්‍ම මැඩ තමහට ඉඩ ගන්නට නො ද සමත් වේ. වාසෙට්ඨය, මේ උපේක්‍ෂාචිත්තවිමුක්තිය ද බ්‍රහ්මසහභාවයට මඟ ය.
Pali BJT81. තං කිං මඤ්ඤසි වාසෙට්ඨ? එවංවිහාරී භික්ඛු සපරිග්ගහො වා අපරිග්ගහො වා?ති.
Sinhala BJT81. වාසෙට්ඨය, ඒ කිමැ යි සිතයි ද? මෙසේ (බඹවෙහෙරින්) වසන මහණ තෙම ස්ත්‍රීපරිග්‍රහය ඇත්තේද? ස්ත්‍රීපරිග්‍රහය නැත්තේ ද?”
Pali BJT“අපරිග්ගහො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “ස්ත්‍රීපරිග්‍රහය නැත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සවෙරචිත්තො වා අවෙරචිත්තො වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වෙර සිතැත්තේ ද? වෙර සිත් නැත්තේ ද?”
Pali BJT“අවෙරචිත්තො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “වෙර සිත් නැත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සබ්යාපජ්ඣ චිත්තො වා අබ්යාපජ්ඣචිත්තො වා?ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “නිදුක් සිත් ඇත්තේ ද? නිදුක් සිත් නැත්තේ ද?”
Pali BJT“අබ්යාපජ්ඣචිත්තො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “නිදුක් සිත් ඇත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“සංකිලිට්ඨචිත්තො වා අසංකිලිට්ඨචිත්තො වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “කිලිටි සිතැත්තේ ද? කිලිටි සිත් නැත්තේ ද?”
Pali BJT“අසංකිලිට්ඨචිත්තො භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “කිලිටි සිත් නැත්තේ ය, භවද් ගෞතමයිනි.”
Pali BJT“වසවත්තී වා අවසවත්තී වා?”ති.
Sinhala BJT[භාග්‍යවත්හු:] “වශවර්ත්තී (චිත්තවශිතා ඇත්තේ) ද? අවශවර්ත්තී (චිත්තවශීතා නැත්තේ) ද?”
Pali BJT“වසවත්තී භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “වශවර්ත්තී (චිත්තවශීතා ඇත්තේ) ය, භවද් ගෞතමයිනි.”
Pali BJT82. ඉති කිර වාසෙට්ඨ, අපරිග්ගහො භික්ඛු. අපරිග්ගහො බ්රහ්මා. අපි නු ඛො අපරිග්ගහස්ස භික්ඛුනො අපරිග්ගහෙන බ්රහ්මුනා සද්ධිං සංසන්දති සමෙතී?”ති.
Sinhala BJT82. [භාග්‍යවත්හු:] වාසෙට්ඨය, මෙසේ වූ කලි භික්‍ෂු තෙම ස්ත්‍රීපරිග්‍රහ නැත්තේ ය. බඹාද ස්ත්‍රීපරිග්‍රහ නැත්තේ ය. ස්ත්‍රීපරිග්‍රහ නැති බඹා හා ස්ත්‍රීපරිග්‍රහ නැති භික්‍ෂුහුගේ සැසැඳෙන බවෙක් වේ ද? සම්බවෙක් වේ ද?”
Pali BJT“එවං භො ගොතම”.
Sinhala BJT[වාසෙට්ඨ:] “එසේ ය, භවද් ගෞතමයිනි.”