Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 501-600 න් 1940

(බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය), ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නා ලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්මප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණධර්‍මය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපද් ධර්‍මය ද තොපට ප්‍රකාශ කරන්නෙමි.”
කිත්තයිස්සාමි තෙ ධම්මං යනු: ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ (අර්‍ත්‍ථසම්පත්තියෙන්) සාර්‍ත්‍ථ වූ (ව්‍යඤ්ජන සම්පත්තියෙන්) සව්‍යඤ්ජන වූ කේවල (සකල) පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය යැ. සතර සීවටන් යැ සතර සම්‍යක්ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්චබල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ යළි නිර්‍වාණය ද නිර්වාණගාමිනීප්‍රතිපදාව ද කීර්‍තනය කරන්නෙමි ප්‍රකාශ කරන්නෙමි, දෙසන්නෙමි, පනවන්නෙමි, පිහිටුවන්නෙමි, විවෘත කරන්නෙමි, විභාග කරන්නෙමි, නො ගැඹුරු කරන්නෙමි, පවසන්නෙම් නුයි ‘කිත්තයිස්සාමි තෙ ධම්මං’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු එ බමුණු නමින් අමතත්.
දිට්ඨෙ ධම්මේ අනිතීහං යනු: ‘දිට්ඨෙ ධම්මේ’ යනු: දක්නාලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරන ලද දහම්හි ප්‍රකට වූ දහම්හි වැඩූ දහම්හි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’ යි...යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ ද එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දක්නා ලද දහම්හි දන්නා ලද දහම්හි තුලනය කරන ලද දහම්හි තීරණය කරනලද දහම්හි ප්‍රකට වූ දහම්හි වැඩූ දහම්හි නුයි මෙසේ ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් දුක (ලක්‍ෂණ රස සහිත වැ) දක්නා ලද කල්හි දුක කියන්නෙමි.
සමුදය දක්නාලද කල්හි සමුදය කියන්නෙමි, මාර්‍ගය දක්නා ලද කල්හි මාර්‍ගය කියන්නෙමි, නිරෝධය දක්නා ලද කල්හි නිරෝධය කියන්නෙම්, නුයි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. නොහොත් මෙ අත්බැව්හි තමා විසින් දැක්ක යුතු යැ කල් නො යවා පල දෙන්නේ යැ ‘එව බලව’ යන විධියට නිසි යැ තමන් තමන් සිත්හි එළවීමට නිසි යැ නුවණැතියන් විසින් තමන් තමන් සිත්හි ලා දතයුතු යැ’ යි මෙසේ ත් ‘දිට්ඨෙ ධම්මේ’ යනු වේ. අනිතීහං යනු: ‘මෙසේ මෙසේ ලැ’යි නො වැ ‘මෙසේ වී ලැ’ යි නො වැ පරම්පරාකථාවෙන් නො වැ පිටකසම්පදායෙන් නො වැ තර්කහේතුවෙන් නො වැ න්‍යායහේතුවෙන් නො වැ (මේ මැනැ වැ යි) ආකාර සැලැකීමෙන් නො වැ අප විසින් විමසා ගන්නා ලද දෘෂ්ටිය හා සම යයි නො වැ තුමූ මැ තමන්මැ තමන් විසින් අවබෝධ කළ තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍ම යැ, එය කියන්නෙම් නුයි ‘දිට්ඨෙ ධම්මේ අනිතීහං’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු: යමක් විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි- ‘හැම දහම්හු අනිත්‍ය’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතො යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ, කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ......හේ ‘සිහි ඇතියේ’ යයි කියනු ලැබෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ, පාලනය කරනුයේ යාපනය කරනුයේ යැපෙනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ..... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: විඍත වන හෙයින් විසත්තිකා යැ, විශාල වන හෙයින් විසත්තිකා යැ, විඍෂ්ට වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්‍ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ; වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛ විෂය එළවන හෙයින් හෝ විසත්තිකා යැ (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ විෂඵල හෙයින් විසත්තිකා යැ විෂපරිභොග හෙයින් විසත්තිකා යැ, යළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්ප්‍රෂ්ටව්‍යයෙහි, කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි, චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ගිලානප්‍රත්‍යයෙහි, කාමධාතුයෙහි රූප ධාතුයෙහි, අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි
සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි එකස්කන්‍ධ භවයෙහි චතුඃස්කන්ධ භවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි, අතීතකාලයෙහි අනාගතකාලයෙහි ප්‍රත්‍යුත්පන්නකාලයෙහි, දෘෂ්ටශ්‍රැතමුතවිඥාතව්‍යධර්මයන්හි විඍත විස්තෘත නුයි ‘විසත්තිකා’ නමි. ලෝකෝ යනු: අපායලෝකයෙහි මනුෂ්‍යලොකයෙහි දෙවලොකයෙහි ස්කන්‍ධලෝකයෙහි ධාතුලොකයෙහි ආයතනලෝකයෙහි යි. තරෙ ලෝකේ විසත්තිකං යනු: මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි. ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව සිහි ඇතියේ (කාමයන් දුරු කෙරෙමින්) තරණය කරන්නේ යැ, (කෙලෙසුන් දුරු කෙරෙමින්) උත්තරණය කරන්නේ යැ, (ප්‍රතිෂ්ඨාහෙතු සිඳිමින්) ප්‍රතරණය කරන්නේ යැ (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කරන්නේ යැ, (ප්‍රතිසන්‍ධියට අභව්‍යොත්පත්තික කෙරෙමින්) ඉක්මවන්නේ නුයි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“කිත්තයිස්සාමි තෙ ධම්මං -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යි.
මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේගේ ඒ (ධර්මද්‍යොතක) වචනය ද රුස්මි. උත්තම වූ ඒ ධර්‍මය ද රුස්මි.
තඤ්වාහං අභිනන්‍දාමි යනු: තං’ යනු, මුඹ වහන්සේ ගේ කියමන වාක්‍යපථය දේශනය අනුශාසනය අනුශාසනිය. නන්‍දාමි යනු: සතුටු වෙමි, මුදිත වෙමි, අනුමෝදන් වෙමි, රුස්මි, ඉවසමි, අයදිමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඉස්නෙමි, අභිජල්පනය කෙරෙම් නුයි ‘තඤ්වාහං අභිනන්‍දාමි’ යනු වේ.
මහේසි ධම්මමුත්තමං යනු: බුදුහු මහර්ෂී යැ: මහත් වූ ශීලස්කන්‍ධය එෂණ - ගවේෂණ - පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සමාධි ස්කන්‍ධය- මහත් වූ ප්‍රඥා ස්කන්‍ධය- මහත් වූ විමුක්තිස්කන්‍ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ,
මහත් වූ තමස්කායයාගේ ප්‍රදාලනය, මහත් වූ විපර්‍ය්‍යාසයා ගේ බිඳීම, මහත් වූ තෘෂ්ණාශල්‍යය ඉදිරීම, මහත් වූ දෘෂ්ටිසංඞ්ඝාටය ලිහීම, මහත් වූ මානඩ්වජය ලිහලීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම, මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ (කෙලෙස්) තැවුලිය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ, මහත් වූ සතිපට්ඨානයන්- මහත් සම්‍යක් ප්‍රධානයන්- මහත් ඍද්ධිපාදයන්- මහත් ඉන්‍ද්‍රියයන්- මහත් බලයන්- මහත් බෝධ්‍යඞ්ගයන්- මහත් වූ ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය- මහත් වූ පරමාර්‍ත්‍ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂී යැ. නොහොත් මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් ‘කොහි යැ බුදුහු, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවිවූවෝ, කොහි යැ නර ශ්‍රෙෂ්ඨයෝ ය’යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත නුයි ‘මහේසි’ යනු වේ.
ධම්මමුත්තමං යනු: අමාමහනිවන ‘උතුම් දහමැ’යි කියනු ලැබෙයි: යමක් හැම සංස්කාරයන්ගේ සන්හිඳීම හැම උපධීන්ගේ හැරපීම තෘෂ්ණාක්‍ෂය විරාගය නිරෝධය නිවන වේ ද, එය යි. උත්තමං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අතිශයින් ශ්‍රේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උතුම් වූ ප්‍රවර වූ දහම නුයි ‘මහෙසිධම්මමුත්තමං’ යනු වේ.
යං විදිත්‍වා සතෝ චරං යනු විදිත (දන්නාලද) කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට ‘හැම සංස්කාරයෝ දුක්හ’යි-‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි... යම් කිසිවක් සමුදය ස්වභාවය ඇත් නම් එහැම නිරෝධ ස්වභාවය ඇතැ’යි විදිත කොට තුලනය කොට තීරණය කොට විභාවනය කොට විභූත කොට. සතෝ යනු: සතර කරුණෙකින් ස්මෘතිමත් වූයේ: කයෙහි කායානුපස්සනාසතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ, වේදනාවන්හි-චිත්තයෙහි-ධර්‍මයන්හි ධම්මානුපස්සනා සතිපට්ඨානය වඩමින් ස්මෘතිමත් වූයේ... හෙතෙම ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබේ. චරං යනු: හැසිරෙනුයේ වෙසෙනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ රැකෙනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ නුයි ‘යං විදිත්‍වා සතෝ චරං’ යනු වේ.
තරෙ ලෝකේ විසත්තිකං යනු: තෘෂ්ණාව ‘විසත්තිකා’ යි කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. විසත්තිකා යනු: කවර අරුතෙකින් ‘විසත්තිකා’ නම් වූ යැ යත්: ... විඍත විස්තෘත නුයි විසත්තිකා යැ. ලෝකේ යනු: අපාය ලෝකයෙහි ... ආයතනලෝකයෙහි යැ. තරෙ ලෝකේ විසත්තිකං යනු: මේ විසත්තිකා තොමෝ ස්කන්‍ධලෝකයෙහි මැ වෙයි, ස්කන්‍ධලෝකයෙහි මැ පවත්නා වූ මේ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත් වූයේ තරණය කරන්නේ යැ උත්තරණය කරන්නේ යැ ප්‍රතරණය කරන්නේ යැ මොනොවට ඉක්ම යන්නේ යැ ඉක්ම පවත්නේ යි ‘තරෙ ලෝකේ විසත්තිකං’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“යඤ්චාහං අභිනන්‍දාමි -පෙ- තරෙ ලෝකේ විසත්තිකං” යී.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) (අනාගත කාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමානකාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්‍මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවෙශනය ද අභිසංස්කාරවිඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
යං කිඤ්චි සම්පජානාසි යනු: දන්නෙහි වෙසෙසින් දන්නෙහි ප්‍රකර්‍ෂයෙන් දන්නෙහි මොනොවට දන්නෙහි සිතින් අවබෝධ කරන්නෙහි නුයි ‘යං කිඤ්චි සම්පජානාසි’ යනු වේ. මෙත්තගූ’ති භගවා යනු: බුදුහු ඒ බමුණු නමින් අමතති. භගවා යනු: ගෞරවනාමයෙකි ... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියක් නුයි ‘මෙත්තගූ’ති භගවා’ යනු වේ.
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ යනු: ‘උද්ධං’ යනු අනාගත යැ, ‘අධෝ’ යනු අතීත යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්‍තමාන යැ. උද්ධං යනු දිව්‍ය ලෝක යැ. අධෝ යනු නිරය ලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලොක යැ. නොහොත් උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශල ධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘතධර්‍මයෝ යැ. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යැ. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුක්ඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අදුක්ඛමසුඛවෙදනා යැ. උද්ධං යනු පාතෙලෙන් උඩ, අධෝ යනු කෙස්මතුයෙන් යට, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු දෙ මැද නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ යනු: එතෙසු යනු: කියන ලද, දෙසන ලද, පනවන ලද, පිහිටුවන ලද, විවර කරන ලද, විභාග කරන ලද, නො ගැඹුරු කරන ලද, ප්‍රකාශ කරන ලද ධර්‍මයන්හි තෘෂ්ණැව ‘නන්දි’ යයි කියනු ලැබෙයි, යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද, එය යි. නිවෙසනං යනු: නිවෙශන දෙකෙකි: තෘෂ්ණා නිවෙශන ද දෘෂ්ටි නිවෙශන දැ’යි. තෘෂ්ණා නිවෙශන කවරැ යත්: යම්තාක් තෘෂ්ණා කොට්ඨාසයෙන් ... මේ තෘෂ්ණා නිවෙශන යැ. දෘෂ්ටි නිවෙශන කවරැ යත්: විංශද්වස්තුක වූ සත්කාය දෘෂ්ටි යැ ... මේ දෘෂ්ටි නිවෙශන යි. පනුජ්ජ විඤ්ඤාණං යනු: පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානයැ අපුණ්‍යාභි සංස්කාර සහගත වූ විඥානයැ ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥාන යි. තෙල දහම්හි නන්දියත් නිවෙශනයත් අභිසංස්කාර සහගත වූ විඥානයත්, හැරපියව, අතිශයින් හැරපියව, සිඳුව, අතිශයින් සිඳුව, හරුව, දුරු කරව, විගතාන්ත කරව, අනු අභාවයට යව නුයි ‘එතෙසු නන්දිඤ්ච නිවෙසනඤ්ච පනුජ්ජ විඤ්ඤාණං’ යනු වේ.
භවෙ න තිට්ඨෙ යනු: ‘භවා’ යනු භව දෙදෙකි: කර්‍මභවය ද ප්‍රතිසංන්ධි සංඛ්‍යාත පුනර්‍භවය දැ යි. කර්‍මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්‍මභව නම් වෙයි. ප්‍රතිසන්ධිසංඛ්‍යාත පුනර්‍භවය කවරැ යත්: ප්‍රතිසන්ධියෙහි වූ රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාර යැ විඥාන යැ යන යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, මේ ප්‍රතිසන්ධික පුනර්‍භවය වේ. භවෙ න තිට්ඨෙ යනු: නන්‍දියත් නිවෙශනයත් අභිසංස්කාර සහගත විඥානයත් කර්මභවයත් ප්‍රතිසන්ධික පුනර්භවයත් හැරපියනුයේ දුරු කරනුයේ විගතාත්න කරනුයේ අනු අභාවයට පත් කරනුයේ කර්මභවයෙහි නො සිටුනේ යැ ප්‍රතිසන්ධික පුනර්‍භවයෙහි නො සිටුනේ යැ මොනොවට නො සිටුනේ යැ නුයි ‘පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං කිඤ්චි සම්පජානාසි -පෙ- පනුජ්ජ විඤ්ඤාණං භවෙ න තිට්ඨෙ” යී.
මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැර පියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත් මෙ අත්බැව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
එවං විහාරී සතෝ අප්පමත්තො යනු: එවං විහාරී යි: නන්‍දිය ත් නිවෙශනය ත් අභිසංස්කාර සහගත විඥානය ත් කර්‍මභවය ත් ප්‍රතිසන්ධික පුනර්‍භවය ත් හැරපියනුයේ දුරු කරනුයේ විහතාන්ත කරනුයේ අනුඅභාවයට යවනුයේ නුයි ‘එවං විහාරී’ යනු වේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් .. හේ ‘ස්මෘතිමත් වූයේ’ යි කියනු ලැබෙයි. අප්පමත්තො යනු: කුසල් දහම්හි සකසා කරනුයේ සතත භාවයෙන් කරනුයේ නො නැවැත කරනුයේ නො හැකුළුණු පැවැතුම් ඇතියේ නො තැබූ ඡන්‍දය ඇතියේ නො තැබූ වීර්‍ය්‍ය ධුර ඇතියේ අප්‍රමත්ත වූයේ ‘කිසෙයින් මම් නො පිරිපුන් ශීලස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන්ශීලස්කන්ධය හෝ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්‍යතා කුශලච්ඡන්දයෙක් වෑයමෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, කිසෙයින් මම් නො පිරිපුන් සමාධිස්කන්‍ධය ... ප්‍රඥාස්කන්‍ධය... විමුක්තිස්කන්‍ධය... විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය පුරම් දෝ හෝ පිරිපුන් විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ ඒ ඒ තන්හි ප්‍රඥායෙන් අනුග්‍රහ කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් කර්තුකම්‍යතා කුශලච්ඡන්දයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, කිසෙයින් මම් අපරිඥාත වූ දුඃඛය ඥාතපරිඥායෙන් දැනගනිම් දෝ හෝ නො පුහුන් කෙලෙස් හෝ ප්‍රහාණය කෙරෙම් දෝ හෝ නො වැඩූ මාර්‍ගය හෝ වඩම් දෝ හෝ නො පසක් කළ නිරෝධය හෝ පසක් කෙරෙම් දෝ හො’යි ඒ කුසල් දහම්හි යම් ඡන්‍දයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් නො පසුබස්නා වීර්‍ය්‍යයෙක් ස්මෘතියෙක් සම්ප්‍රඥානයෙක් කෙලෙස් තවන වීර්‍ය්‍යයෙක් ප්‍රධන් වීර්‍ය්‍යයෙක් අධිෂ්ඨානයෙක් අනුයෝගයෙක් නොපමාවෙක් අප්‍රමාදයෙක් වේ ද, එයින් යුක්ත නුයි ‘එවං විහාරී සතෝ අප්පමත්තො’ යනු වේ.
භික්ඛු චරං හිත්‍වා මමායිතානි යනු: ‘භික්ඛු’ යි: පෘථග්ජන කල්‍යාණක මහණ හෝ වෙයි, ශෛක්‍ෂ මහණ හෝ වෙයි. චරං යනු: සරනුයේ වාසය කරනුයේ ඉරියව් පවත්වනුයේ පවත්නේ පාලනය කරනුයේ යැපෙනුයේ යාපනය කරනුයේ. මමායිතානි යනු: තෘෂ්ණාමමත්ව ද, දෘෂ්ටිමමත්ව දැ යි මමත්‍ව දෙකෙකි... මේ තෘෂ්ණා මමත්‍ව යැ... මේ දෘෂ්ටි මමත්‍ව යැ. තෘෂ්ණාමමත්වය හැරපියා දෘෂ්ටිමමත්වය දුරු කොට මමත්වයන් බැහැර කොට හැරපියා වෙසෙසින් බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පත් කොට නුයි ‘භික්ඛු චරං හිත්‍වා මමායිතානි’ යනු වේ.
ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං යනු: ‘ජාති’ යි: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... ජරං යි: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ... සොකො යි: ඥාති ව්‍යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... පරිදෙවො යනු: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහු ගේ හෝ ... ඉධ යනු: මේ දෘෂ්ටියෙහි... මේ මිනිස් ලොවැ. විදවා යනු: ත්‍රිවිද්‍යාවට පැමිණියේ නැණැත්තේ විමසුම් නුවණැත්තේ තුලිතප්‍රඥා ඇත්තේ මෙහි මැ ජාතිය ත් ජරාව ත් සෝකයත් පරිදේවය ත් යන දුක බැහැර කරන්නේ යැ දුරු කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට යවන්නේ නුයි ‘ජාතිං ජරං සොකපරිද්දවඤ්ච ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“එවං විහාරී සතෝ අප්පමත්තො -පෙ- ඉධෙව විදවා පජහෙය්‍ය දුක්ඛං” යි.
(ආයුෂ්මත් මෙත්තගූ මෙසේ කී.) මහර්ෂී වූ, මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගනිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින්) නිරුපධි වූ නිර්‍වාණය මොනවට ප්‍රකාශ කරන ලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද.
එතාභිනන්‍දාමි වචො මහෙසිනො, යනු: ‘එතං’ යි: මුඹ වහන්සේ ගේ කියමන, වාක්‍යපථය දේශනය අනුශාසනය දක්වා කීම පිළිගනිමි, (එයට) සතුටු වෙමි, (එය) අනුමෝදන් වෙමි, ඉස්නෙමි, ඉවසමි, ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි, ඊප්සා කෙරෙමි, අභිජල්පනය කෙරෙමි. මහෙසිනො යනු: කුමක් හෙයින් බුදුහු මරහ්ෂී වෙත් ද? යත්: මහත් වූ, ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි මහර්ෂී හ. ... “නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ” යි මහර්ෂී වෙත් නුයි ‘එතාභිනන්‍දාමි වචො මහෙසිනො’ යනු වේ.
සුකිත්තිතං ගොතම නූපධීකං යනු: ‘සුකිත්තිතං’ යි: මොනොවට ප්‍රකාශ කරන ලද, මොනොවට කියන ලද, මොනොවට දෙසන ලද, මොනොවට පනවන ලද, මොනොවට පිහිටුවන ලද, මොනොවට විවෘත කරන ලද, මොනොවට විභාග කරන ලද, මොනොවට නො ගැඹුරු කරන ලද, මොනොවට පවසන ලද නුයි ‘සුකිත්තිතං’ යනු වේ.
ගොතම නුපධීකං යනු: ක්ලේශයෝ ද, ස්කන්‍ධයෝ ද, අභිසංස්කාරයෝ ද ‘උපධි’ යයි කියනු ලැබෙති. උපධි ප්‍රහාණය, උපධි සන්හිඳුවීම, උපධි හැරපීම, උපධි ප්‍රතිප්‍රශ්‍රබ්ද්ධිය අමාමහනිවන නුයි ‘සුකිත්තිතං ගොතම නුපධීකං’ යනු වේ.
අද්ධා හි භගවා පහාසි දුක්ඛං යනු: ‘අද්ධා’ යනු: ඒකාන්ත වචන යැ, නිස්සංශය වචන යැ, නිසැක වචන යැ, අද්වෛධවචන යැ නො දෙහිත් වචන යැ, නියෝග වචන යැ, අවිරුද්ධවචන යැ, සනිටුහන් වචනයෙකි. මේ ‘අද්ධා’ යනු. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු අර්‍හත්ඵල සාක්‍ෂාත් කරණයෙන් උපන් ප්‍රඥප්තියෙකි. පහාසි දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලූහ, බැහැර කළහ, විනෝදනය කළහ. විගතාන්ත කළහ, අනු අභාවයට යැවූහු නුයි ‘අද්ධා හි භගවා පහාසි දුක්ඛං’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම්මෝ යනු: ඒ එසේ මැ යි, මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නා ලද, තුලනය කරන ලද, තීරණය කරන ලද, ප්‍රකට කරන ලද, විභාවනය කරන ලද නුයි ‘තථා හි තෙ විදිතො එස ධම්මෝ’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“එතාභිනන්දාමි වචො මහෙසිනො -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
මුනි වූ සර්‍වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැවි.
තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං යනු: ‘තෙචා’පි’ යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද. පජහෙය්‍යු දුක්ඛං යනු: ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක සෝක-පරිදේව-දුක්ඛ-දෝමනස්ස-උපායාස දුක දුරැ ලන්නාහ, බැහැර ලන්නාහ, විගතාන්ත කරන්නාහ, අනුඅභාවයට යවන්නාහු’ යි ‘තෙචා’පි නූනපජහෙය්‍යු දුක්ඛං’ යනු වේ.
යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු: ‘යෙ’ යනු: ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද ගෘහස්ථයන් ද ප්‍රව්‍රජිතයන් ද දෙවියන් ද මිනිසුන් ද. ත්‍වං යනු: භාග්‍යවතුන් වහන්සේ අමතයි. මුනී යනු: ඥානය ‘මොන’ යයි කියනු ලැබේ ... ඒ මුනි තෙම සඞ්ගජාලය ඉක්ම සිටුනේ යි. අට්ඨිතං ඕවදෙය්‍ය යනු: නො නැවැත අවවාද කළ මැනැව, සකසා අවවාද කළ මැනැව, එක්වන් අවවාද කළ මැනැව, පුනපුනා අවවාද කළ මැනැව, අනුශාසනා කළ මැනැව නුයි ‘යෙ ත්‍වං මුනී අට්ඨිතං ඕවදෙය්‍ය යනු වේ.
තං තං නමස්සාමි සමෙච්ච නාගං යනු: ‘තං’ යි බුදුන් අමතයි. නමස්සාමි යනු: කයින් හෝ නමදිමි, වචනයෙක් හෝ නමදිමි, සිතින් හෝ නමදිමි, අර්‍ත්‍ථානුගත ප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමදිමි, සත්කාර කෙරෙමි, ගරුකාර කෙරෙමි, මානනය කෙරෙමි, පූජනය කෙරෙමි. සමෙච්ච යනු: එළඹ ප්‍රතිවේධ කොට හමු වැ සමීපයට පැමිණ හමුයෙහි මුඹ වහන්සේ නමදිමි. නාගං යනු: භාග්‍යවතුන් වහන්සේ නාග ද වෙති: පව් නො කෙරෙත් නුයි නාග යැ, අගති වශයෙන් නො යෙත් නුයි නාග යැ, (ප්‍රහීණ කෙලෙසුන් කරා) නො එත් නුයි නාග යැ. කිසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි නාග නම් වෙත් ද යත්: සංක්ලෙශපක්ෂයෙහි වූ පුනර්‍භවය කරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාතිජරාමරණ පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ ‘ආගු’ යයි කියනු ලැබෙති.
12 (බුදුහු මෙසේ වදාළහ: සභියමාණවකයෙනි,) යමෙක් ලොවැ අල්පමාත්‍ර වූ ද, පාපයක් නො කෙරේ ද හෙතෙම හැම සංයොගයෙහි බන්ධනයන් හැර පියා විමුක්ත වූයේ (ස්කන්‍ධාදි) කිසි තැනෙකැ නො ලැගෙයි, එබඳු වූ තාදී තෙම ‘නාග’ යයි කියනු ලැබේ.
මෙසෙයින් බුදුහු පව් නො කෙරෙත් නුයි ‘නාග’ නම් වෙති.
කි සෙයින්, බුදුහු අගතියට නො යෙත් නුයි ‘නාග’ නම් වෙත් ද යත්: බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයෙන් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මෝහ වශයෙන් නො යෙති, මාන වශයෙන් නො යෙති, දෘෂ්ටි වශයෙන් නො යෙති, ඖද්ධත්‍ය වශයෙන් නො යෙති, විචිකිත්සා වශයෙන් නො යෙති, අනුශය වශයෙන් නො යෙති, ව්‍යග්‍ර ධර්‍මයන් විසින් නො යවනු ලැබෙති, නො පමුණුවනු ලැබෙති, නූසුලනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් නො යෙත් නුයි බුදුහු ‘නාග’ නම් වෙති.
කිසෙයින් බුදුහු නො එත් නුයි ‘නාග’ නම් වෙත් ද? යත්: සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා පෙරළා නො එති, පසු වැ නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින් අනගැමි මඟින් රහත් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම්, ඒ කෙලෙසුන් කරා පෙරළා නො එති, පසු වැ නො එති, ආපසු නො එති. මෙසෙයින් බුදුහු නො එතී ‘නාග’ වෙත් නුයි ‘තං තං නමස්සාමි සමෙච්ච නාගං’ යනු වේ.
අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය යනු: භාග්‍යවතුන් වහන්සේ මට නො කඩ කොට අවවාද කරන්නාහු නම් සකසා අවවාද කරන්නාහු නම් එක්වන් අවවාද කරන්නාහු නම් පුනපුනා අවවාද කරන්නාහු නම් අනුශාසනා කරන්නාහු නම් මැනැව නුයි ‘අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය’ යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“තෙ චා’පි නූනපජහෙය්‍යු දුක්ඛං -පෙ- අප්පෙව මං භගවා අට්ඨිතං ඕවදෙය්‍ය” යි.
(බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්‍රාහ්මණ වූ යමක්හු මාර්‍ගඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝ තරණය කළා වූ ද (රාගාදි ඛිල රහිත වූ දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්‍වාණ පාරයට ගියේ යි.
යං බ්‍රාහ්මණං වෙදගුංආභිජඤ්ඤා යනු: බ්‍රාහ්මණො’යි සප්ත ධර්‍ම කෙනකුන් දුරු කළ බැවින් බ්‍රාහ්මණ යැ: සත්කාය දෘෂ්ටිය දුරු කරන ලද වෙයි, විචිකිත්සාව- ශීල ව්‍රත පරාමර්‍ශය-රාගය- ද්වේෂය- මෝහය- මානය- දුරු කරන ලද වෙයි. ඔහු විසින් සාංක්ලේශික වූ පුනර්‍භවය කරන්නා වූ දුක් සහිත වූ දුඃඛවිපාක ඇති ආයති භවයෙහි ජාතිජරාමරණය පිණිස පවත්නා වූ ලාමක අකුශල ධර්‍මයෝ දුරු දරන ලද්දාහු වෙත්.
13. (‘සභිය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) සියලු පාපධර්‍මයන් ප්‍රහීණ කොට එහෙයින් මැ විගතමල වූ (ශ්‍රේෂ්ඨ වූ) මාර්‍ගඵල සමාධියෙන් මොනොවට සමාහිත වු, ලෝකධර්මයන්ගෙන් කම්පිත නො වන හෙයින් ස්ථිතාත්ම වූ සංසාර හේතු ඉක්ම සිටි, නිමවන ලද කෘත්‍ය ඇති හෙයින් කේවලී වූ, ඒ ක්‍ෂීණාස්‍රව තෙම තෘෂ්ණා දෘෂ්ටි නිඃශ්‍රය නැති හෙයින් ‘අසිත’ යයි ද ලෝක ධර්‍මයෙන් නිර්විකාර හෙයින් ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්‍රාහ්මණ’ නම් වේ.
වේදගු යනු: සතර මාර්‍ගයන්හි ඥානය ‘වෙද’ යි කියනු ලැබෙයි.... හෙතෙම සියලු වෛරය ඉක්ම වේදගූ වෙයි. ආභිජඤ්ඤා යනු: වෙසෙසින් දන්නේ යැ එකත්නෙන් දන්නේ යැ නොයෙක් අයුරින් දන්නේ යැ ඒ ඒ කරුණු නිසා දන්නේ යැ ප්‍රතිවේධ කරන්නේ යැ නුයි ‘යං බ්‍රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා’ යනු වේ.
අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: ‘අකිඤ්චනං’ යයි: රාග පළිබෝධ යැ ද්වේෂ පළිබෝධ යැ මෝහ පළිබෝධ යැ මාන පළිබෝධ යැ දෘෂ්ටි පළිබෝධ යැ ක්ලේශ පළිබෝධ යැ දුශ්චරිත පළිබෝධ යි. යමක්හට මේ පළිබෝධයෝ ප්‍රහීණ වූවාහු මුලුසුන් වූවාහු ව්‍යුපශාන්ත වූවාහු සන්හිඳුණාහු අභව්‍යොත්පත්තික (උපදනට නො නිසි) වූවාහු නුවණ ගින්නෙන් දැවුණාහු වෙත් ද, හෙතෙම ‘අකිඤ්චන’ යි කියනු ලැබෙයි. කාමා යනු: උද්දාන විසින් වස්තුකාම යැ ක්ලේශකාම යැ, යි කාම දෙකෙකි ... මොහු වස්තුකාමහ’යි කියනු ලැබෙති... මොහු ක්ලෙශකාමහ’ යි කියනු ලැබෙත්. භවා යනු: කර්‍මභවය ද ප්‍රතිසන්‍ධි සංඛ්‍යාත පුනර්‍භවය දැ යි භව දෙකෙකි.... මේ ප්‍රතිසන්ධික පුනර්‍භව යැ.
අකිඤ්චනං කාමභවෙ අසත්තං යනු: පළිබෝධ රහිත පුඟුලක්හු කාමභවයෙහි ද නො ඇලුණු නො ලැගුණු නො ලග්නා ලද නො බැඳුණු නික්මුණු බැහැර වූ වෙසෙසින් මිදුණු විසංයුක්ත වූ විගතමර්‍ය්‍යාදා කළ සිතින් වාසය කරන්නාහු නුයි ‘අකිඤ්චනං කාමභවෙ අසත්තං’ යනු වේ.
අද්ධා හි සො ඔඝමිමං අතාරී යනු: ‘අද්ධා’ යයි: ඒකාන්තවචන යැ ... තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචනයෙකි. ඕඝං යනු: කාමෝඝ යැ භවොඝ යැ දිට්ඨොඝ යැ අවිජ්ජොඝ යි. අතාරි යනු: තරණ-උත්තරණ-ප්‍රතරණ-සමතික්‍රමණ කෙළේ යැ ඉක්ම (ඵලයෙහි) සිටියේ යැ නුයි ‘අද්ධා හි සො ඔඝමිමං අතාරී’ යනු වේ.
තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො යනු: තිණ්ණො යි: කාමෝඝය තරණය කෙළේ යැ භවොඝය තරණය කෙළේ යැ දිට්ඨොඝය තරණය කෙළේ යැ අවිජ්ජෝඝය තරණය කෙළේ යැ සසර කතර තරණය කෙළේ යැ උත්තරණය කෙළේ යැ නිස්තරණය කෙළේ යැ ඉක්ම වූයේ යැ මොනොවට ඉක්ම වූයේ යැ ඉක්ම සිටියේ යැ හෙතෙම (දශවිධ ආර්‍ය්‍ය වාසය) වැස නිමවූයේ, (ශීලය හා සමාධියෙහි) චීර්ණවශී වූයේ, සසර අදන්මඟ ඉක්ම වූයේ, (පෙර නො ගිය විරූ) නිවන් දෙසට ගියේ, (අනුපාදිශේෂ නිර්‍වාණ) කෝටියට පැමිණ සිටියේ, රක්‍ෂිත බ්‍රහ්මචරියවාස ඇත්තේ, උත්තම සම්‍යග්දෘෂ්ටියට පැමිණියේ, භාවිතමාර්ග ඇත්තේ, ප්‍රහීණ ක්ලේශ ඇත්තේ, ප්‍රතිවේධ කළ (අර්‍හත්ඵල සංඛ්‍යාත) අකෝප්‍යය ඇත්තේ, සාක්‍ෂාත්කෘත නිරෝධ ඇත්තේ වෙයි. ඔහු විසින් දුක පිරිසිඳ දන්නා ලද යැ, සමුදය ප්‍රහාණය කරන ලද යැ, මාර්‍ගය වඩන ලද යැ, නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කරන ලද. ස්වලක්‍ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්‍ෂණාවබෝධයෙන් දන්නා ලද යැ, සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දතයුත්ත සාමාන්‍ය ලක්ෂණාවබෝධයෙන් දන්නා ලද යැ, ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කරන ලද යැ, වැඩිය යුත්ත වඩන ලද යැ, ප්‍රත්‍යක්‍ෂ කළ යුත්ත ප්‍රත්‍යක්‍ෂ කරන ලද. හෙතෙම නඟන ලද අවිද්‍යාපරිඝ ඇත්තේ යැ, සංකීර්‍ණ (විසුරුවන ලද) කර්මාභිසංස්කාර පරිඛා ඇත්තේ යැ, උදුරන ලද තෘෂ්ණා ඒෂිකා ඇත්තේ යැ, (ඕරම්භාගිය සංයෝජන සංඛ්‍යාත) අගුළු රහිත යැ, ආර්‍ය්‍ය (නික්ලේශ) යැ, හෙළන ලද මානධ්වජ ඇත්තේ යැ, තබන ලද (ස්කන්‍ධාදි) බර ඇත්තේ යැ, සංයොග රහිත යැ, (කාමච්ඡන්‍දාදි) පඤ්චාංග විප්‍රහීණ යැ, ෂඩංග (උපේක්‍ෂායෙන්) සමන්‍වාගත යැ, (ස්මෘති සංඛ්‍යාත) එකාරක්ෂා ඇත්තේ යැ, (ප්‍රතිසෙවනාදි) චතුර්විධ අපශ්‍රයන් ඇත්තේ යැ, බැහැර කළ ප්‍රත්‍යෙක සත්‍යය ඇත්තේ යැ, මොනොවට හරන ලද සියලු ඒෂණා (සෙවීම්) ඇත්තේ යැ, නො කැළඹූණු සංකල්ප ඇත්තේ යැ, සන්හිඳුණු කාය සංස්කාර ඇත්තේ යැ, මොනොවට මිදුණු සිත් ඇත්තේ යැ, මොනොවට මිදුණු ප්‍රඥා ඇත්තේ යැ පරිපූර්‍ණ යැ. වුසූ බඹසර ඇත්තේ යැ, උත්තම පුරුෂ යැ, පරම පුරුෂ යැ, පරමප්‍රාප්තියට පැමිණියේ යි.
හෙතෙම (කුශලාකුශල විපාකය) රැස් නො කරයි, (ඵලයෙහි සිටි හෙයින් විපාක) විධවංසනය නො කෙරෙයි, කෙලෙසුන් නසා සිටියේ වෙයි, (අවිද්‍යමාන හෙයින් කෙලෙසුන්) නො මැ දුරු කෙරෙයි, (තෘෂ්ණා-මාන-දෘෂ්ටි විසින්) උපාදානය නො කෙරෙයි, (කෙලෙසුන්) දුරු කොට සිටියේ වෙයි, (තෘෂ්ණා වශයෙන්) නො මැ සීවනය (බැඳීම) කෙරෙයි, (මාන වශයෙන්) උත්කර්ෂණය නො කෙරෙයි, තෘෂ්ණා බන්‍ධනය දුරු කොට සිටියේ වෙයි, (කෙලෙස් ගිනි) නො මැ නිවයි, නො ද දල්වයි, නිවා සිටියේ වෙයි. අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත බැවින් සිටියේ
අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් - ප්‍රඥා ස්කන්‍ධයෙන් - විමුක්ති ස්කන්‍ධයෙන් - විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් සමන්‍වාගත බැවින් සිටියේ, චතුස්සත්‍යය ප්‍රතිවේධ කොට සිටියේ, තෘෂ්ණාව ඉක්ම සිටියේ, කෙලෙස් ගිනි ගෙවා සිටියේ, සසර ගමන් නැති බැවින් සිටියේ, නයග්‍රහණයෙන් ගෙන සිටියේ, විමුක්ති ප්‍රතිසෙවන භාවයෙන් සිටියේ, මෛත්‍රී-පාරිශුද්ධියෙන් සිටියේ, කරුණා - මෘදාතා - උපේක්‍ෂා පාරිශුද්ධියෙන් සිටියේ, අත්‍යන්ත පාරිශුද්ධියෙන් සිටියේ, අතම්මයතා (තෘෂ්ණා-දෘෂ්ටි-මානාභාව) පාරිශුද්ධියෙන් සිටියේ, (හැම කෙලෙසුන් කෙරෙන්) විමුක්ත බැවින් සිටියේ, සන්තුෂ්ට භාවයෙහි සිටියේ, ස්කන්‍ධ පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ධාතු පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ආයතන පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ගති පර්‍ය්‍යන්තයෙහි සිටියේ, උපප්‍රාප්ති පර්‍ය්‍යන්තයෙහි සිටියේ, ප්‍රතිසන්‍ධි පර්‍ය්‍යන්තයෙහි සිටියේ, භව පර්‍ය්‍යන්තයෙහි සිටියේ, සංසාර පර්‍ය්‍යන්තයෙහි සිටියේ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියේ, අන්තිම භවයෙහි සිටියේ, අන්තිම ශරීරයෙහි සිටියේ, අන්තිමදෙහධර වූයේ, අර්‍හන් වූයේ වේ.
14. “ඒ, රහත්හුගේ, මේ පශ්චිම කෙළවර වෙයි, මේ අන්තිම ශරීරය වෙයි, ජාතිමරණ සංසාරය, පුනර්‍භවය ඔහුට නැත්තේ යි.”
තිණ්ණොච පාරං යනු: අමෘත වූ නිර්‍වාණය ‘පාර’ යයි කියනු ලැබෙයි, යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් ක්ලේශවිරාගයෙක් දුඃඛනිරෝධයෙක් වේ ද ඒ නිර්‍වාණය යි. හෙතෙම (මාර්‍ගයෙන්) පාරයට ගියේ, (ඵලයෙන්) පාරයට පැමිණියේ, (සංස්කාර ලෝකයෙහි) අන්තයට ගියේ අන්තයට පැමිණියේ, කෙළවරට ගියේ, කෙළවරට පැමිණියේ, (ආයතනාදි ලෝක) පර්‍ය්‍යන්තයට ගියේ, පර්‍ය්‍යන්තයට පැමිණියේ, අවසානයට ගියේ,අවසානයට පැමිණියේ, ත්‍රාණයට ගියේ, ත්‍රාණයට පැමිණියේ, ලෙනයට ගියේ, ලෙනයට පැමිණියේ, සරණයට ගියේ, සරණයට පැමිණියේ, අභයට (ක්‍ෂේමයට) ගියේ, අභයට පැමිණියේ, අච්‍යුතියට ගියේ, අච්‍යුතියට පැමිණියේ, අමෘතයට ගියේ, අමෘතයට පැමිණියේ, නිර්‍වාණයට ගියේ, නිර්‍වාණයට පැමිණියේ, හෙතෙම (දශවිධ ආර්‍ය්‍යවාස) වැස නිම වූයේ, ... (ශීලයෙන් සමාපත්තීන්හි) චීර්ණවශී වූයේ ... ජාතිමරණසංසාරසංඛ්‍යාත පුනර්‍භවය ඔහුට නැත් නුයි ‘තිණ්ණො ච පාරං’ යනු වේ.
අඛිලො යනු: රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. යමක්හට මේ ඛිලයෝ ප්‍රහීණ වූවාහු ද මුලුසුන් වූවාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද අභව්‍යොත්පත්තික (උපදනට නො නිසි) ද නුවණ ගින්නෙන් දැවුණාහු ද, හෙතෙම ‘අඛිල’ යයි කියනු ලැබේ.
අකඞ්ඛො යනු: දුඃඛයෙහි සැක යැ දුඃඛසමුදයෙහි සැක යැ දුඃඛනිරෝධයෙහි සැක යැ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි සැක යැ, පූර්‍වාන්තයෙහි සැක යැ අවරාන්තයෙහි සැක යැ පූර්වාවරාන්තයෙහි සැක යැ ඉදං ප්‍රත්‍යයතා සංඛ්‍යාත ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක යයි. යම් මෙ බඳු සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් (දෙපසට සැලෙන) ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (නිශ්චය කළ නො හැකි වැ) අරමුණෙහි පසු බැස්මෙක් (අරමුණට බැසගත නො හැකි වැ) හාත්පසින් පසු බැස්මෙක් (අරමුණෙහි) නො බැසගැන්මෙක් චිත්තයා ගේ තද බවෙක් (සිත හිරි අඳනා බඳු) මනෝවිලේඛයෙක් වේ ද එය යි. යමක්හට තෙල සැකය ප්‍රහීණ ද මුලුසුන් වූයේ ද සන්හිඳුණේ ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද වටාලා උපදනට නො නිසි ද නුවණ ගින්නෙන් දවන ලද ද හෙතෙම ‘අකඞ්ඛ’ යයි කියනු ලැබේ නුයි ‘තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යං බ්‍රාහ්මණං වෙදගුං ආභිජඤ්ඤා -පෙ- තිණ්ණො ච පාරං අඛිලො අකඞ්ඛො” යී.
තවද මෙසස්නෙහි (ආත්මභාවයෙහි හෝ) විද්වත් වූ ඥාන වෙදයෙන් නිවනට පැමිණි යම් සත්ත්‍වයෙක් කුදු-මහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්‍රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
විද්වා ච යො වේදගූ නරෝ ඉධ - ‘විද්වා’ යනු: විද්වත් වූයේ විද්‍යාවට පැමිණියේ නුවණැතියේ නුවණින් විමසනුයේ මේධා (තුලනය කළ ඥාන) ඇතියේ. යො යනු: යමෙක් යම් බඳුයෙක් ... දෙවි වේවයි මිනිස් වේවයි. වේදගු යනු: සතර මාර්‍ගයෙහි ඥානය ‘වෙද’ යී කියනු ලැබේ. ප්‍රඥා යැ ප්‍රඥේන්‍ද්‍රිය යැ ප්‍රඥාබල යැ ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග යැ වීමංසා යැ විදර්‍ශනා යැ සම්‍යග්දෘෂ්ටි යි. ඒ මාර්‍ගඥාන වේදයන් ගෙන් ජාතිජරාමරණයාගේ අන්තයට (මාර්‍ගයෙන්) ගියේ (ඵලයෙන්) අන්තයට පැමිණියේ කෙළවරට ගියේ කෙළවරට පැමිණියේ පර්‍ය්‍යන්තයට ගියේ පර්‍ය්‍යන්තයට පැමිණියේ අවසානයට ගියේ අවසානයට පැමිණියේ ත්‍රාණයට ගියේ ත්‍රාණයට පැමිණියේ නිලීනයට ගියේ නිලීනයට පැමිණියේ ප්‍රතිෂ්ඨාවට ගියේ ප්‍රතිෂ්ඨාවට පැමිණියේ නිර්භයට ගියේ නිර්භයට පැමිණියේ අච්‍යුතයට ගියේ අච්‍යුතයට පැමිණියේ අමෘතයට ගියේ අමෘතයට පැමිණියේ නිවනට ගියේ නිවනට පැමිණියේ නොහොත් වෙද (දතයුතු ධර්‍ම) යන් ගේ අන්තයට ගියේ නුයි ‘වේදගූ’ යැ, සතර මාර්‍ගඥාන වෙදයෙන් වෘත්තදුඃඛයාගේ අන්තයට ගියේ නුයි හෝ ‘වේදගූ’ යැ, නොහොත් සප්ත ධර්‍මයන් විදිත වන බැවින් ‘වේදගූ’ යැ: සත්කායදෘෂ්ටිය විදිත (දන්නා ලද) වෙයි. විචිකිත්සාව - ශීලව්‍රත පරාමර්‍ශය - රාගය - ද්වේෂය - මෝහය - මානය විදිත වෙයි. ඔහු විසින් කෙලෙසුන්ට ප්‍රත්‍යය වූ පුනර්‍භවය උපදවන ක්ලේශදරථ සහිත වූ දුඃඛ විපාක දෙන අනාගතයෙහි ජාතිජරාමරණයන්ට ප්‍රත්‍යය වූ ලාමක අකුශල ධර්‍මයෝ විදිත වූවාහු වෙත්.
15 (බුදුහු ‘සභිය’ යි අමතා මෙසේ වදාළහ:) යමෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ ශාස්ත්‍ර යයි කියන ලද යම් වේද කෙනෙක් වෙත් ද, ඒ සියලු වේදයන් මාර්‍ගභාවනායෙන් කෘත්‍ය හෙයින් අනිත්‍යාදි වශයෙන් විමසා එහි ඡන්‍දරාග ප්‍රහාණයෙන් ඒ සියලු වේදයන් ඉක්මවා යළි වේද ප්‍රත්‍යයෙන් හෝ අනි පරිද්දෙකින් උපදනා සියලු වේදනාවන්හි වීතරාග වූයේ ද හෙතෙම පරමාර්‍ත්‍ථ වශයෙන් ‘වේදගූ’ නම් වේ යයි.
නරෝ යනු: සත්ත්‍ව යැ නර යැ මාණව යැ පුරුෂ යැ පුද්ගල යැ ජීව යැ (ජාතියට යේ නුයි) ජාගු යැ (ඉන්‍ද්‍රියයෙන් යේ නුයි) ඉන්දගූ යැ (මරණයට යේ නුයි) හින්දගූ යැ මනුජ යැ: ඉධ යනු: මේ දෘෂ්ටියෙහි ... මේ මිනිස් ලොවැ නුයි ‘විද්වා ච යො වේදගූ නරෝ ඉධ’ යනු වේ.
භවාභවෙ සඞ්ගමිමං විසජ්ජ - ‘භවාභවෙ’ යනු: භව අභව සංඛ්‍යාත කාමභවයෙහි හා රූපාරූපභවයෙහි වූ, කර්මවෘත්තයෙහි විපාක වෘත්තයෙහි, කාමධාතුයෙහි වූ කර්මවෘත්තයෙහි විපාකවෘත්තයෙහි, රූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, අරූපධාතුයෙහි වූ කර්මවෘත්තවිපාකවෘත්තයෙහි, නැවත නැවත උත්පත්තියෙහි, පුනපුනා පස්ගතියෙහි, පුනපුනා උපතෙහි, පුනපුනා පිළිසඳහි, පුනපුනා ආත්මභාවයන්ගේ පහළ වීමෙහි. සඞ්ගා යනු: සඞ්ගයෝ සත් දෙනෙකි: රාග සඞ්ග යැ ද්වේෂ සඞ්ග යැ මොහසඞ්ග යැ මාන-දෘෂ්ටි-ක්ලෙශසඞ්ග යැ දුශ්චරිතසඞ්ග යි. විසජ්ජ යනු: සඞ්ගයන් මොනොවට විසුරුවා හෝ හැර, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළාපියා හෝ හැර, යම්සේ ගමනට සැරසූ දෝලාවක් හෝ රියක් හෝ ගැලක් හෝ යානයක් හෝ විසුරුවත් ද, සුණු කෙරෙත් ද, එසෙයින් මැ සඞ්ගයන් පරිත්‍යාග කොට හෝ හැරපියා, නොහොත් සඞ්ගයන් බඳනා ලදුවන් වෙසෙසින් බඳනා ලදුවන් හාත්පසින් බඳනා ලදුවන් ලැගුණවුන් ලග්නා ලදුවන් අවුරා බඳනා ලද බන්ධනයන් පොළා පියා හෝ හැරපියා නුයි ‘භවාභවෙ සඞ්ගමිමං විසජ්ජා’ යනු වේ.
සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරී සො ජාතිජරන්ති බ්‍රෑමි - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ .....ධර්‍මතෘෂ්ණා යි. යමක්හට තෙල තෘෂ්ණාව ප්‍රහීණ වූ ද, මුලුසුන් වූ ද, සන්හිඳුණා ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූවා ද නුවණගින්නෙන් දැවුණා ද, හෙතෙම ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ යැ පහවගිය තෘෂ්ණා ඇත්තේ යැ හරනා ලද තෘෂ්ණා ඇත්තේ යැ, වමාළ තෘෂ්ණා ඇත්තේ යැ මුදන ලද තෘෂ්ණා ඇත්තේ යැ ගෙවන ලද තෘෂ්ණා ඇත්තේ යැ දුරැලන ලද තෘෂ්ණා ඇත්තේ යැ වීතරාග වූයේ යැ විගතරාග වූයේ යැ ත්‍යක්තරාග වූයේ යැ වාන්තරාග වූයේ යැ මුක්තරාග වූයේ යැ ප්‍රහීණරාග වූයේ යැ ප්‍රතිනිඍෂ්ට රාග වූයේ යැ තෘෂ්ණා රහිත වූයේ යැ නිවියේ යැ සිහිල් වූයේ යැ (කායික චෛතසික) සුඛානුභවනය කරනුයේ ශ්‍රේෂ්ඨ වූ සිතින් යුක්ත වැ වාසය කෙරේ ය යි කියනු ලැබේ. හෙතෙම ‘වීතතණ්හ’ නම.
අනීඝො යනු: රාගය උවදුරෙක ද්වෙශය උවදුරෙක මෝහය උවදුරෙක ක්‍රෝධය උවදුරෙක බද්ධවෛරය උවදුරෙක .....හැම අකුශලාභිසංස්කාරයෝ උවදුරුහ. යමක්හට තෙල උවදුරු ප්‍රහීණ ද මුලුසුන් වූවාහු ද සන්හිඳුණාහු ද ප්‍රතිප්‍රශ්‍රබ්ධ ද යළි උපදනට නො නිසි වූවාහු ද නුවණගින්නෙන් දැවුණාහු ද, හෙතෙම ‘අනීඝ’ යි කියනු ලැබේ. නිරාසො යනු: තෘෂ්ණාව ‘ආසා’ යි කියනු ලැබේ. යම් රාගයෙක් බලවත් රාගයෙක් ...අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. යමක්හට තෙල ආශාව තෘෂ්ණාව ප්‍රහීණ ද මුලුසුන් වූ ද සන්හිඳුණා ද ප්‍රතිප්‍රශ්‍රබ්ද්ධ ද යළි උපදනට නො නිසි වූ ද නුවණගින්නෙන් දවන ලද ද, හෙතෙම නිරාස’යි කියනු ලැබේ. ජාති යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් .....ආයතන ප්‍රතිලාභයෙක් වේ ද, ජරා යනු: ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් ....ඉන්‍ද්‍රියයන් ගේ පැසීමෙක් වේ ද මේ ‘ජරා’ යි කියනු ලැබේ. සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි යනු: යමෙක් ප්‍රහීණ තෘෂ්ණා ඇත්තේ ත් උවදුරු නැත්තේ ත් ආශා රහිත වූයේ ත් වේ ද, හෙතෙම ජාතිජරා මරණය (කාමයන් දුරු කෙරෙමින්) තරණය කෙළේ යැ (කෙලෙස් දුරු කෙරෙමින්) උත්තරණය කෙළේ යැ (ප්‍රතිෂ්ඨා හේතු සිඳිමින්) ප්‍රතරණය කෙළේ යැ (සසර ඉක්මවමින්) සමතික්‍රමණය කෙළේ යැ (යළි උපදනට නො නිසි කෙරෙමින්) වෙසෙසින් ඉක්මවී යැ යි කියමි පවසමි දෙසමි පනවමි තබමි විවෘත කෙරෙමි විභාග කෙරෙමි නො ගැඹුරු කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘සො වීතතණ්හො අනීඝො නිරාසො අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විද්වා ච යො වේදගූ නරෝ ඉධ -පෙ- අතාරි සො ජාතිජරන්ති බ්‍රෑමි” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග .....භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවකයෙමියි.
සතර වැනි මෙත්තගූ සූත්‍ර නිර්දේශයයි.
5. ධෝතක සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි.)භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැව, මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමා ගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.
පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං යනු: ‘පුච්ඡා’යි පෘච්ඡා තුනෙක: අදෘෂ්ටද්‍යොතනා පෘච්ඡා යැ දෘෂ්ටසංසන්දනා පෘච්ඡා යැ විමතිච්ඡෙදනා පෘච්ඡා යි මොහු තුන් පෘච්ඡා යි... නිර්‍වාණ පෘච්ඡා යි. පුච්ඡා මි තං යනු: මුඹ වහන්සේ පුළුවුස්මි, මුඹ වහන්සේ අයදිමි, මුඹ වහන්සේ අධ්‍යෙෂණය කෙරෙමි, මුඹ වහන්සේ පහදවමි, මට කිවමැනව නුයි ‘පුච්ඡාමි තං’ යනු වේ. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි...මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි. බ්‍රෑහි මෙ තං යනු: කිව මැනැවැ පැවැසුව මැනැවැ දෙසුව මැනැව පැනවුව මැනැව තැබුව මැනැවැ විවෘත කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව නුයි ‘පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං’ යනු වේ.
ඉච්චායස්මා ධොතකො යනු: ‘ඉච්චා’යි පදසන්ධි යැ...ආයස්මා යනු: ප්‍රියවචන යැ ගුරුවචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රයාධි වචන යි. ධොතකො යනු: එ බමුණුගේ නාම යැ සඞ්ඛ්‍යාවයැ සංඥාව යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප යැ නුයි ‘ඉච්චායස්මා ධොතකො’ යනු වේ.
වාචාභිකඞ්ඛාමි මහේසි තුය්හං යනු: මුඹ වහන්සේගේ කීම වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනීය කැමැත්තෙමි, වෙසෙසින් කැමැත්තෙමි ඉස්නෙමි ඉවසමි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙමි රුස්නෙමි ජල්පන කෙරෙමි. මහේසි යනු: බුදුහු මහර්ෂීහ: මහත් වූ ශීලස්කන්‍ධය ඵෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙළේ නුයි මහර්ෂීහ...නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කොහි දැ යි මහර්ෂි වෙත් නුයි ‘වාචාභිකඞ්ඛාමි මහේසි තුයිහං’ යනු වේ.
තව සුත්‍වාන නිග්ඝොසං යනු: මුඹ වහන්සේ ගේ වචනය වාක්‍ය මාර්‍ගය අවවාදය අනුශාසනය අසාගෙන උශෙන ධරා සලකා නුයි ‘තව සුත්‍වාන නිග්ඝොසං’යනු වේ.
සික්ඛෙ නිබ්බානමත්තනො යනු: ‘සික්ඛා’ යි ශික්‍ෂා තුනෙක: අධිශීලශික්‍ෂා යැ අධිචිත්තශික්ෂා යැ අධිප්‍රඥාශික්ෂා යි...මේ අධිප්‍රඥ ශික්‍ෂා යි. නිබ්බානමත්තනො යනු: තමාගේ රාගය නිවනු පිණිස ද්වේෂය නිවනු පිණිස මෝහය නිවනු පිණිස ක්‍රෝධය නිවනු පිණිස උපනාහය නිවනු පිණිස...හැම අකුශලාභිසංස්කාරයන්ගේ ශමනය පිණිස මතුමත්තෙහි ශමනය පිණිස සන්හිඳුවීම පිණිස හැරපීම පිණිස ප්‍රතිප්‍රශ්‍රබ්ධිය පිණිස අධිශීලය ද හික්මෙන්නේ යැ අධිචිත්තය ද හික්මෙන්නේ යැ අධිප්‍රඥාව ද හික්මෙන්නේ යැ මේ තුන් ශික්‍ෂාවන් ආවර්‍ජනා කෙරෙමින් හික්මෙන්නේ යැ දනිමින් හික්මෙන්නේ යැ දක්මින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙමින් හික්මෙන්නේ යැ සිත පිහිටුවමින් හික්මෙන්නේ යැ ශ්‍රද්ධායෙන් අධිමුක්තවෙමින් (බැඳෙමින්) හික්මෙන්නේ යැ වීර්යප්‍රග්‍රහය කෙරෙමින් හික්මෙන්නේ යැ සිහි එළවමින් හික්මෙන්නේ යැ චිත්ත සමාධානය කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රඥායෙන් ප්‍රජානනය කෙරෙමින් හික්මෙන්නේ යැ ස්වලක්ෂණාවබෝධයෙන් දතයුත්ත ස්වලක්ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දත යුත්ත සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන් දනිමින් හික්මෙන්නේ යැ ප්‍රහාණය කළයුත්ත ප්‍රහාණය කෙරෙමින් හික්මෙන්නේ යැ භාවනා කළ යුත්ත භාවනා කෙරෙමින් හික්මෙන්නේ යැ ප්‍රත්‍යක්ෂ කළ යුත්ත ප්‍රත්‍යක්ෂ කෙරෙමින් හික්මෙන්නේ යැ හැසිරෙන්නේ යැ මොනොවට හැසිරෙන්නේ යැ සමාදන් ව ගෙන පවත්නේ නුයි ‘සික්ඛෙ නිබ්බානමත්තනො’යනු වේ.
එයින් කී යැ ඒ බමුණු:
“පුච්ඡාමි තං භගවා බ්‍රෑහි මෙ තං -පෙ- සික්ඛෙ නිබ්බාන මත්තනො” යි.
(බුදුහු මෙසේ වදාළහ: ධෝතකය,) එසේ වී නම් මෙහි මැ නුවණැති වැ සිහි ඇති වැ උත්සාහ කරව, මෙහි මාගේ වචන අසා තමාගේ කෙලෙස් නිවනු පිණිස (තුන් ශික්‍ෂා) හික්මෙන්නේ යි.
තෙන හාතප්පං කරොහී යනු: කෙලෙස් තවන වීර්‍ය්‍යය කරව, උත්සාහ කරව, අධිමාත්‍ර උත්සාහ කරව, ස්ථිරවීර්‍ය්‍යය කරව, ධෛර්‍ය්‍යය කරව, වීර්‍ය්‍යය කරව, කර්තුකම්‍යතා කුශලච්ඡන්‍දය උපදව, මොනොවට උපදව, සිහි එළව, මොනොවට සිහි එළව, නිපදව, වෙසෙසින් නිපදව නුයි ‘තෙන හා තප්පං කරොහි’ යනු වේ.
ධොතකා‘ති භගවා යනු: (ධෝතක යනු) බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරවනාමයෙකි... මේ ‘භගවා’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියෙකි යි ‘ධොතකා’ති භගවා’ යනු වේ.
ඉධෙව නිපකො සතෝ යනු: ‘ඉධ’ යි මේ දෘෂ්ටියෙහි මේ ක්‍ෂාන්තියෙහි මේ රුචියෙහි මේ ග්‍රහණයෙහි මේ ධර්‍මයෙහි මේ විනයෙහි මේ ධර්‍මවිනයෙහි මේ ප්‍රවචනයෙහි මේ ශ්‍රෙෂ්ඨචර්‍ය්‍යායයෙහි මේ ශාස්තෘශාසනයෙහි මේ ආත්මභාවයෙහි මේ මනුෂ්‍ය ලෝකයෙහි. නිපකො යනු: භවාඞ්ග ප්‍රඥා ඇත්තේ පණ්ඩිත වූයේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ ඥාන ඇත්තේ විභාවන ප්‍රඥා ඇත්තේ තුලන ප්‍රඥා ඇත්තේ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇත්තේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇත්තේ...හෙතෙම ‘සතෝ’ යි කියනු ලැබේනුයි ‘ඉධෙව නිපකො සතෝ’ යනු වේ.
ඉතො සුත්‍වාන නිග්ඝොසං යනු: මෙහි මාගේ වචනය වාක්‍යපථය දෙශනය අනුශාසනය අසා අසාගෙන උගෙන ධරා සලකා නුයි ‘ඉතො සුත්‍වාන නිග්ඝොසං’ යනු වේ.