සීහොව සද්දෙසු අසන්තසන්තො - යම්සේ සිංහමෘගරාජ ශබ්දයෙහි ත්‍රස්ත නො වන සුලු වූයේ උත්‍රස්ත නො වන සුලු වූයේ හාත්පසින් ත්‍රස්ත නො වන සුලු වූයේ උද්වේග නො වනුයේ නො සැක වූයේ උත්‍රස්ත නො වනුයේ නො බිය වූයේ නො සැලෙනුයේ ත්‍රස්ත නො වනුයේ පලා නො යනුයේ වේ ද, එසෙයින් පසේ බුදුහු ද ශබ්දවිෂයෙහි ත්‍රස්ත නො වන සුලු වූවාහු උත්‍රස්ත නො වන්නාහු හාත්පසින් ත්‍රස්ත නො වනසුලු වූවාහු උද්වේග නො වන්නාහු නො සැක වන්නාහු උත්‍රස්ත නො වන්නාහු නො බිය වන්නාහු නො සැලෙන්නාහු ත්‍රස්ත නො වන්නාහු පලා නො යන්නාහු වෙති. ප්‍රහීණ වූ භය හා භය අරමුණු ඇත්තාහු විගත ලොමහර්ෂ ඇති වැ වාස කෙරෙත් නුයි ‘සීහොව සද්දෙසු අසන්තසන්තො” යනු වේ.
වාතොව ජාලම්හි අසජ්ජමානෝ - “වාතො” යනු පෙරදිගින් හමන වාතයෝ යැ අවරදිගින් හමන වාතයෝ යැ. උතුරු දිගින් හමන වාතයෝ යැ. දකුණු දිගින් හමන වාතයෝ යැ. රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ. ශීතවාතයෝ යැ උෂ්ණවාතයෝ යැ. අල්පවාතයෝ යැ අධිමාත්‍ර වාතයෝ යැ. කෘෂ්ණ පක්ෂවාතයෝ යැ. වේරම්බවාතයෝ යැ පක්ෂවාතයෝ යැ. සුපර්ණවාතයෝ යැ තාලවෘන්තවාතයෝ යැ. විධූපනවාතයෝ යි. “ජාල” යි හුයින් කළ දැල කියනු ලැබෙයි. යම්සේ වාතය දැලෙහි නො ලැගේ ද නො ගනී ද නො බැඳේ ද, හාත්පසින් නො බැඳේද එසෙයින් මැ-දැල් දෙකෙකි: තෘෂ්ණාජාලය ද දෘෂ්ටිජාලය දැ යි. . . මේ දෘෂ්ටිජාලය යි. ඒ පසේබුදුනට තෘෂ්ණාජාලය ප්‍රහීණ යැ. දෘෂ්ටිජාලය දුරලන ලද, තෘෂ්ණාජාලය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ලැගෙති. ශබ්දයෙහි නො ලැගෙති. . . දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍ය ධර්‍මයන්හි නො ලැගෙති නො ගනිති නො බැඳෙති හාත්පසින් නො බැඳෙත් නික්ම ගියාහු බැහැර වූවාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි “වාතොව ජාලම්හි අසජ්ජමානෝ” යනු වේ.
පදුමං ව තොයෙන අලිප්පමානො - “පදුම” යි නෙලුම්මල කියනු ලැබෙයි. “තොය” යි උදකය කියනු ලැබේ යම්සේ නෙලුම් මල දිය හා සමග නො තැවැරේ ද වෙසෙසින් නො තැවැරේ ද හාත්පසින් නො තැවැරේ ද අලිප්ත වූයේ අපලිප්ත වූයේ අනුපලිප්ත වේ ද එසෙයින් මැ ලේපයෝ දෙදෙනෙකි: තෘෂ්ණා ලේපය ද දෘෂ්ටිලේපය ද යි ... මේ දෘෂ්ටිලේප යයි කියනු ලැබේ. ඒ පසේබුදුනට තෘෂ්ණාලේපය ප්‍රහීණයැ දෘෂ්ටිලේපය දුරලන ලද තෘෂ්ණා ලේපය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිලේපය දුරැලූ බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නො ඇලෙති . . දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්මයන්හි නො ඇලෙති, වෙසෙසින් නො ඇලෙති, හාත්පසින් නො ඇලෙති, අලිප්ත වූවාහු අපලිප්ත වූවාහු අනුපලිප්ත වූවාහු නික්ම ගියාහු බැහැර වූවාහු වෙසෙසින් මිදුණහු විසංයුක්ත වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වෙසෙත් නුයි ‘පදුමං ව තොයෙන අලිප්පමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනුවේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“සීහෝ ව සද්දෙසු අසන්තසන්තො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.
8.
මෘගයනට රජ වූ කේශරසිංහ තෙමේ දළ බල කොට ඇතියේ යම් සේ (කායබලයෙන්) ලාහෙලා හැසිරේද (තේජසින්) අභිභවා හැසිරේ ද, එසෙයින් වනයෙහි දුර සෙනසුන් සෙවුනේ යැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සිහො යථා දඨාබලී පසය්හ රාජා මිගානං අභිභූය්‍ය චාරි යනු: යම්සේ සිංහ මෘගරාජ දළ බල කොට ඇතියේ දළ අවි කොට ඇතියේ හැම තිරිසන් ගිය සතුන් මැඩ අභිභවා යටපත් කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද නුවණ බල කොට ඇතියාහු නුවණ අවි කොට ඇතියාහු සියලු ප්‍රාණීන් සියලු පුද්ගලයන් ප්‍රඥායෙන් මැඩ අභිභවා යට කොට හාත්පසින් ගෙන මර්දනය කොට හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්නු යි ‘සීහො යථා දඨාබලී පසස්හ රාජා මිගානං අභිභූය්‍ය චාරී” යනු වේ.
සෙවෙථ පන්තානි සේනාසනානි යනු; යම්සේ සිංහරාජ අරණ්‍යයෙහි වල් වැද හැසිරේ ද වෙසේ ද ඉරියවු පවත්වා ද වැටේ ද රැකේ ද යැපේ ද යාපනය කෙරේ ද, එසෙයින් පසේබුදුහු අල්පශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන් ගේ රහස්‍ය කාරණයට නිසි වූ විවේකයට නිසි වූ වනසෙනසුන් ද වෙනෙහි දුර සෙනසුන් ද වනකෙළවර සෙනසුන් ද ඇසුරු කෙරෙති. ඒ පසේබුදුහු එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හිඳුති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැපෙරළා යෙති, එකලාවැ රහසැ හිඳුති, එකලාවැ සක්මනට බසිති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, යපනය කෙරෙත් නුයි ‘සෙවෙථ පන්තානි සේනාසනානි ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“සීහො යථා දාඨාඛලී පසය්හ -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො” යි.
9.
යුක්තප්‍රාප්තකාලයෙහි මෛත්‍රිය ද උපේක්‍ෂාව ද කරුණාව ද මෘදුතාව ද යන චතුර්විධ විමුක්තිය සෙවුනේ සියලු ලෝකයා හා සමඟ අවිරොධ වෙමින් කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේයි.
මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමාතො මුදිතඤ්ච කාලෙ යනු: ඒ පසේබුදුහු මෛත්‍රි සහගත සිතින් එක් දෙසක් ස්පර්‍ශ කොට වෙසෙති, එසෙයින් දෙ වැනි දෙස ද එසෙයින් තෙ වැනි දෙස ද එසෙයින් සිව් වැනි දෙස ද ස්පර්‍ශ කොට වෙසෙති, මෙසේ උඩ යැ යට යැ සරස යැ යන සියලු තැන්හි සර්‍වාත්මතායෙන් සියලු සත්ත්‍වයන් ඇති ලොව මෛත්‍රී සහගත වූ විපුල වූ මහද්ගතවූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක වූ සිතින් ස්පර්‍ශ කොට වෙසෙත් නුයි “මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආදෙසව මානො මුදිතඤ්ච කාලෙ”යනු වේ.
සබ්බේන ලොකෙන අවිරුද්ධමානො යනු: මෙත් වැඩු බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - දකුණු දිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - පෙර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද - අවර අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත්ද දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද යටදිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- උඩ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද- දශ දිශායෙහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙති, කරුණා වැඩු බැවින් මෘදුතා වැඩු බැවින් - උපෙක්ෂා වැඩූ බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද . . . දශදිශායෛහි යම් සත්ත්‍ව කෙනෙක් වෙත් ද ඔහු අප්‍රතිකූල වූවාහු වෙත්.
සබ්බේන ලොකෙන අවිරුජ්ඣමානො යනු: සියලු ලො වැ සතුන් හා සමග අවිරුද්ධ වන්නාහු අප්‍රතිවිරුද්ධ වන්නාහු නො ගටනු ලබන්නාහු නො නසනු ලබන්නාහු නුයි “සබ්බෙන ලොකෙන අවිරුජ්ඣමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
10.
රාගය ද ද්වේෂය ද මෝහය ද දුරු කොට දස සංයෝජනයන් ප්‍රදාලනය කොට ජීවිතක්ෂයෙහි ත්‍රස්ත නො වනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
රාගඤ්ච දොසඤ්ච පහාය මොහං - “රාගො” යනු: “යම් රාගයෙක් සංරාගයෙක් . . අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. දෝසෝ යනු: “චිත්තයා ගේ යම් ආඝාතයෙක් ... සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයා ගේ නො සතුටු බවෙක් වේ ද එය යි. මොහො යනු: “දුඃඛසත්‍යයෙහි නො දැනීම යැ ... අවිද්‍යා ලඞ්ගියක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං යනු: ඒ පසේබුදුහු රාගය ද ද්වේෂය ද මෝහය ද හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි “රාගඤ්ච දෝසඤ්ච පහාය මොහං”යනු වේ.
සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි - සංයෝජන දශයෙකි: කාම රාගසංයොජන යැ ප්‍රතිඝසංයෝජන යැ. . . අවිද්‍යා සංයෝජන යි. සන්‍දාලයිත්‍වාන සංයොජනානි යනු: සංයෝජනයන් සන්‍දාලනය කොට ප්‍රදාලනය කොට සම්ප්‍රදාලනය කොට දුරු කොට බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනාති”යනු වේ.
අසන්තසං ජීවිතසඞ්ඛයම්හි යනු: ඒ පසේ බුදුහු දිවි කෙළවර ත්‍රස්ත නො වන සුල්ලහ උත්‍රස්ත නො වනුවහ උද්වේග නො වනුවහ නො සැක වනුවහ නො තැතිගනුවහ නො බිය සුල්ලහ නො සැලෙනුවහ උත්‍රාස නො වනුවහ නො පලායන සුල්ලෙහ ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇතියහ පහ වූ ලොමුදහ ඇති වැ වෙසෙත් නුයි. “අසන්තසං ජීවිතසඩ්ඛයම්හි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“රාගඤව දොසඤච පහාය මොහං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
11.
අර්‍ත්‍ථය කාරණ කොට ඇත්තාහු භජනය කෙරෙති සේවනය ද කෙරෙති. (අර්‍ත්‍ථ ප්‍රතිලාභ කාරණයෙන්) නිෂ්කාරණ වූ ආර්යමිත්‍රයෝ දුර්‍ලභ වෙති. ආත්මාර්‍ත්‍ථයෙහි ප්‍රඥා ඇති මනුෂ්‍යයෝ අපවිත්‍ර වූ කායකර්‍මාදියෙන් යුක්ත වූවාහු යැ. (එහෙයින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
භජන්ති සෙවන්ති ව කාරණත්වා යනු: ආත්මාර්‍ත්‍ථ හේතුයෙන් පරාර්ථ හේතුයෙන් උභයාර්ථ හේතුයෙන් ඓහලෞකිකාර්ථ හේතුයෙන් පාරලෞකිකාර්ථ හේතුයෙන් භජනය කෙරෙති, මොනොවට භජනය කෙරෙති සේවනය කෙරෙති නිරතුරු සේවනය කෙරෙති සංසෙවනය කෙරෙති ප්‍රතිසේවනය කෙරෙත් නුයි ‘භජන්ති සෙවන්ති ව කාරණත්‍ථා”යනු වේ.
නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා යනු: අගාර්‍ය්‍යමිත්‍ර ද ප්‍රව්‍රජිතමිත්‍ර දැ යි මිත්‍රයෝ දෙදෙනෙකි . . . මේ ප්‍රව්‍රජිත මිත්‍ර යි. නික්කාරණ දුල්ලභා අජ්ජමිත්තා- මේ උභයමිත්‍රයෝ (අර්‍ත්‍ථත් ප්‍රතිලාභහේතුයෙන්) අකාරණ වූවාහු නිෂ්කාරණ වූවාහු අහේතු අප්‍රත්‍යය වූවාහු දුර්‍ලභ වෙති. දුක සේ ලැබිය හැකි වෙති. අතිශයින් දුක සේ ලැබිය හැකි වෙත් නුයි” නික්කාරණා දුල්ලභා අජ්ජමිත්තා”යනු වේ.
අත්තත්ථ පඤ්ඤා අසුචී මනුස්සා. – ‘අත්තත්ථපඤ්ඤා’ යනු: තම හට වැඩ පිණිස ආත්මහේතුයෙන් ආත්ම ප්‍රත්‍යයෙන් ආත්මකාරණයෙන් භජනය කෙරෙහි සංභජනය කෙරෙති සේවනය කෙරෙති නිස්සේවනය කෙරෙති සංසේවනය කෙරෙති ප්‍රතිසේවනය කෙරෙහි හැසිරෙති මැනැවින් හැසිරෙති පර්‍ය්‍යුපාසනය කෙරෙති පුළුවුස්ති ප්‍රශ්න කෙරෙත් නුයි ‘අත්තත්ථ පඤ්ඤා’ යනු වේ. අසූචි මනුස්සා යනු: අපවිත්‍ර වූ කාය කර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ වාක්කර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ මනඃකර්‍මයෙන් සමන්‍විත වූවාහු නුයි අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රාණ වධයෙන්- අපවිත්‍ර වූ අදත්තාදානයෙන් - අපවිත්‍ර වූ කාමමිථ්‍යාචාරයෙන්- අපවිත්‍ර වූ මෘෂාවාදයෙන්- අපවිත්‍ර වූ පිශුනවචනයෙන් අපවිත්‍ර වූ පරුෂ වචනයෙන්- අපවිත්‍ර වූ පලාපවචනයෙන්- අපවිත්‍ර වූ අධ්‍යයෙන් - අපවිත්‍ර වූ ව්‍යාපාදයෙන් යුක්ත වූවාහුනු යි. ‘අසුචි මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූවාහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ චේතනායෙන් යුක්ත වූවාහු නුයි අසුවී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රාර්‍ත්‍ථනයෙන් යුක්ත වූවහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූ ප්‍රණිධියෙන් යුක්ත වූවාහු නුයි ‘අසුචී මනුස්සා’ යනු වේ. අපවිත්‍ර වූවාහු හිත වූවාහු නිහීන වූවාහු අවම වූවාහු ලාමක වූවාහු අප්‍රත්‍යය වූවාහු අල්ප වූවාහුනුයි ‘අත්තත්ථ පඤ්ඤා අසුවීමනුස්සා’ යනු වේ.
ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ” යනු: ඒ පසේබුදුහු ප්‍රව්‍රජ්‍යා කොටසිහ ඒකයන ... චරෙ යනු: චර්‍ය්‍යා අටෙකි: ... ඛග්ගවිසාණකප්පො යනු: යම් සේ කගවෙහෙණ නම් මෘගයාගේ හඟ එකෙක් මැ වේ ද අද්විතීය වේ ද ... ‘ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ එ පසේ බුදුහු:
“හජන්ති සේවන්ති ච කාරණත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
සතර වැනි වර්‍ග යි.
ඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය නිමියේ යි.
1. අජිත යැ තිස්ස මෙත්තෙය්‍ය යැ පූර්‍ණක යැ යළි මෙත්තගූ යැ ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ.
2. තෝදෙය්‍ය - කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකර්ණි යැ භද්‍රාවුධ යැ උදය යැ පෝසාල බ්‍රාහ්මණ යැ නුවණැති මෝඝරාජ යැ. මහර්ෂි වූ පිඞ්ගිය යැ යන -
3. මේ සොළොස් බමුණනට අනුශාසන ද (එ මැ) පාරායණ සූත්‍රයන්ගේ නිර්දේශ ද එතෙක් මැ වෙති.
4. තවද එසේ මැ ඛග්ගවිසාණ සූත්‍රයන්ගේ නිර්දේශ දැ යි සපුරා දක්වන ලද නිර්දේශයෝ ද්විප්‍රකාරහ යි දත යුත්තා හ.
සුළු නිදෙස් පෙළ නිමි.