තෙල පස්කම්ගුණය සඞ්ගයෙකි. මෙහි සෞඛ්‍ය (සුඛභාව)ය අල්පයැ, අල්පාස්වාද ඇත්තේ යැ, මෙහි දුක් බොහෝ යැ. තෙල බිලියකගැ යි දැන නුවණැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සඞ්ගො එසො පරිත්තමෙත්‍ථ සොඛ්‍යං - සඞ්ග යැ යි හෝ බඩිශ යැ යි හෝ ආමිෂ යැ යි හෝ ලග්ගන යැ යි හෝ තෙල පස්කම්ගුණයට නමි. පරිත්තමෙත්‍ථ සොඛ්‍යං යනු: තෙල වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
“මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙක යත්: ඇසින් දත යුතු රූපයෝ ... කයින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මෙ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ කාමසුඛ යැ යි කියනු ලැබෙයි. තෙල සුඛය අල්ප යැ තෙල සුඛය පහත් යැ තෙල සුඛය මඳ යැ තෙල සුඛය ලාමක යැ තෙල සුඛය හීන යැ තෙල සුඛය ස්වල්ප නුයි ‘සඞ්ගො එසො පරිත්තමෙත්‍ථ සොඛ්‍යං’ යනුවේ.
අප්පස්සාදෝ දුක්ඛමෙත්‍ථ භිය්‍යො යනු: කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ බහුපායාස ඇතියහ මෙහි ආදීනව බොහෝ හයි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ ඇටසැකිලි බන්දහ යි වදාරන ලදහ- කාමයෝ මාංශපේශි වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ- කාමයෝ තෘණොල්කා (තණහුලක්) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරනලදහ. කාමයෝ අඞ්ගාරකර්පු(අඟුරුවළ) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සිහිනයක් වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ පිරුළුයෙන් අළ දැයක් වැන්නාහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ වෘක්‍ෂඵල වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා (කඩුව හා මස් ලොඹුව) වැන්නහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සැත්හුල් බන්දහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ බොහෝ දුක් ඇත්තාහ බොහෝ උපායාස ඇත්තාහ මෙහි ආදීනව බොහෝහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දාහු නුයි ‘අප්පස්සාදො දුක්ඛ මෙත්‍ථ භිය්‍යො’ යනු වේ.
ගළො එසො ඉති ඤත්‍වා මතිමා - ‘ගළ’ යැ හෝ ‘බලිස’ යැ හෝ ‘ආමිස’ යැ හෝ ‘ලග්ගන’ යැ හෝ ‘බන්‍ධන’ යැ හෝ ‘පළිබෝධ’ යැ හෝ තෙලෙ පස්කම් ගුණයනට නමෙකි. ඉති යනු: පදසන්ධි යැ, පදසංසර්ග යැ පදපාරිපූරි යැ, අක්‍ෂර සමවාය යැ, ව්‍යඤ්ජනශ්ලිෂ්ටතායැ, පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු මතිමා යනු: දුකෙහි නො සැලෙනුයෙන් ධීර යැ සුවයෙහි නො ඉල්පෙනුයෙන් පණ්ඩිත යැ, මෙලෝ පරලෝ අර්‍ත්‍ථයෙහි කළ පරිචය ඇතියෙන් ප්‍රඥාවත් යැ, ආත්මාර්‍ත්‍ථ පරාර්ථයෙහි නිසලවනුයෙන් බුද්ධිමත් යැ, ගම්භීර උත්තානාර්ත්‍ථයෙහි නොපසුබස්නෙන් ඥානවත් යැ, ගුඪ ප්‍රතිච්ඡන්නාර්ත්‍ථයන් හෙළි කරනුයෙන් විභාවී යැ, නික්ලෙශතායෙන් මොධාවි යැ.
ගළො එසො ඉති ඤත්‍වා මතිමා යනු: නුවණැතියේ (තෙල පස්කම්ගුණ) ගළයෙකැයි දැන බලිසයෙකැයි දැන ආමිෂයෙකැයි දැන ලග්නයෙකැයි දැන බන්‍ධනයෙකැයි දැන පළිබොධයෙකැයි දැන, දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ගළො එසො ඉති ඤත්‍වා මතිමා, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් කීහ. ඒ පසේ සම්බුදුහු:
“සඞ්ගො එසො -පෙ- ඛග්ගවිසාණකප්පො” යි.
8.
දියෙහි දැල බිඳ ගිය මසකු සෙයින් සංයෝජනයන් පළා, දැවුණු තැනට පෙරළා නො එන ගින්නක් සෙයින් (මාර්‍ගඥානයෙන් දැවුණු කෙලෙසුන් කරා පෙරළා නො එමින්) කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි යනු: සංයෝජනයෝ දස දෙනෙකි: කාමරාගසංයෝජන යැ ප්‍රතිඝසංයෝජන යැ මානසංයෝජන යැ දෘෂ්ටිසංයෝජන යැ විචිකිත්සාසංයොජන යැ ශිලව්‍රතපරාමර්ශසංයොජන යැ භවරාගසංයොජන යැ ඊර්‍ෂ්‍යාසංයෝජන යැ මාත්සර්‍ය්‍ය සංයෝජන යැ අවිද්‍යා සංයෝජන යි. සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි යනු: දශසංයෝජනයන් පළා මොනොවට පළා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘සන්දාලයිත්‍වාන සඤ්ඤොජනානි’ යනු වේ.
ජාලංච හෙත්‍වා සලිලම්බුවාරි- ‘ජාලං’ යි හූදැල කියනු ලැබෙයි. ‘සලලං’ යි ජලය කියනු ලැබෙයි. ‘අම්බුවාරි” යි මත්ස්‍යා කියනු ලැබෙයි. යම්සේ මත්ස්‍ය තෙම දැල බිඳ සිදුරු කොට පළා හිරා හිරිහිරිකොට සෙරෙයි වෙසෙයි ඉරියව් පවත්වා ද වැටේ ද පාලනය කෙරේ ද රැකේ ද යාපනය කෙරේද එසෙයින් මැ, තෘෂ්ණාජාලද දෘෂ්ටිජාලදැයි ජාල දෙකෙකි. ... මේ තෘෂ්ණාජාල යැ. මේ දෘෂ්ටිජාල යි. ඒ පසේබුදුන් විසින් තෘෂ්ණා ජාලය ප්‍රහීණ යැ දෘෂ්ටිජාලය දුරලනලද, තෘෂ්ණාජාලය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිජාලය දුරලන ලද වන බැවින් ඒ පසේබුදුහු රූපයෙහි නො ඇලෙති ශබ්දයෙහි නොඇලෙති ගන්‍ධයෙහි නො ඇලෙති ... දෘෂ්ට ශ්‍රැත මුතවිඥාතව්‍ය ධර්‍මයන්හි නො ඇලෙති නො ගනිති නො බැඳෙති ප්‍රතිබද්ධ නො වෙති (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු වෙන් වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘ජාලංච හෙත්‍වා සලිලම්බුවාරි’ යනු වේ.
අග්ගීව දඩ්ඪං අනිවත්තමානො යනු: යම්සේ ගින්න තෘණකාෂ්ට පටන් කොට දවමින් නො නැවැතැ යේ ද එසෙයින් මැ ඒ පසේ බුදුන් විසින් සෝවන් මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එති සෙදගැමි මගින් - අනගැමි මඟින්- රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහාණය කරන ලද වෙත් ද ඒ කෙලෙසුන් කරා වටාලා නො එති පෙරළා නො එති ආපසු නො එත් නුයි. “අග්ගීච දඩ්ඪං අනිවත්තමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
‘සන්දාලයිත්‍වාන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
9.
යටබලා හෙලූ ඇස් ඇතියේ නො ද පාදලොල වූයේ රක්නා ලද ඉඳුරන් ඇතියේ රක්නා ලද මනස ඇතියේ (කෙලෙසුන් විසින්) නො තෙත් වූයේ (කෙළෙස් ගිනින්) නො දැවුණේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො යනු: කිසෙයින් “ඛිත්තචක්බු’ වේ ද යත්: මෙහි කිසි මහණෙක් (සක්දොර උපන් ලෝභ විසින්) ඇසින් ලොල් වූයේ චක්ෂුර්ලෞල්‍යයෙන් සමන්‍විත වෙයි. නුදුටු රූපාලම්බන දැක්ක යුතු යැ දක්නා ලද්ද ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝ චාරිකායෙහි නො නිමි චාරිකායෙහි යෙදුණේ රූපදර්‍ශනය පිණිස හැසිරෙයි මෙසේ “ඛිත්තචක්බු’ වෙයි.
නොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වේමඟට පිළිපන්නේ අසංවර වැ යෙයි: ඇතුන් බලමින් අසුන් බලමින් රිය බලමින් පාබලසෙන් බලමින් ස්ත්‍රීන් බලමින් පුරුෂයන් බලමින් කුමරුන් බලමින් කුමරියන් බලමින් ඇතුළු අවුණ (කඩතුළ) බලමින් ගෙදොර බලමින් උඩ බලමින් යට බලමින් දසනුදස බලමින් යෙයි. මෙසේත් “ඛිත්තචක්බු’ වෙයි.
නොහොත් මහණ ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය අසංවෘත වැ වසන මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය නො රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මෙසේත් ‘ඛිත්තචක්බු’ වෙයි.
තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල අදහා දුන් බොජුන් වළඳා ඔවුහු මෙබඳු වූ විසුළු දැකීමෙහි යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් නළුමුළු භාරතාදිය කියන තැන කස්තල ඝනතාල කුළුතාලම් හෝ මළසිරුරු මන්ත්‍රයෙන් නඟාලීම කළපිඹීම (බුම්මංඩි?) ප්‍රතිභානචිත්‍ර සැඩොලුන්ගේ ඝණදෙවුන්කෙළි වස්කුලල් ඇට දෙවීම් ඇත්පොර අස්පොර මියුපොර වැහැප්පොර ගවපොර බැටළුපොර එළුපොර කුකුළුපොර වටුපොර දඬුපොර මිටුපොර මල්ල පොර යුදපෙරමුණ බල සෙන් ගණන තැන කඳවුරු බලඇණි දැකීම යනු හෝ යැ. මෙසේත් ‘ඛිත්තචක්බු’ වේ.
කිසෙයින් “ඔක්ඛිත්තචක්ඛු’ වේ යැ යත්: මෙසස්නෙහි කිසි මහණෙක් ඇසින් ලොල් නො වූයේ චක්ෂුර්ලෞල්‍යයෙන් යුක්ත නො වූයේ වෙයි: නුදුටු දැය දැක්ක යුතු යැ, දුටු දැය ඉක්මවිය යුතු යැ’යි අරමින් අරමට නොයෙයි, උයනින් උයනට-ගමින් ගමට-නිගමයෙන් නිගමයට-නුවරින් නුවරට- රටින් රටට- දනව්වෙන් දනව්වට රූපදර්‍ශනය පිණිස දීර්‍ඝචාරිකායෙහි නො නිමි චාරිකායෙහි නො යෙදුණේ වෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වෙයි.
නොහොත් මහණ ඇතුළුගමට පිවිසියේ වීදියට බටුයේ සංවර වැ යෙයි: ඇතුන් නො බලමින් අසුන් නො බලමින් රිය නො බලමින් පාබළ සෙන් නො බලමින් ගෑනුන් නො බලමින් පිරිමින් නො බලමින් කුමරුන් නො බලමින් කුමරියන් නො බලමින් ඇතුළු අවුණු නො බලමින් ගෙදොර නො බලමින් උඩ නො බලමින් යට නො බලමින් දිශාවිදිශා නො බලමින් යෙයි. මෙසේත් “ඔක්ඛිත්තචක්බු’ වෙයි.
නොහොත් මහණ ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නේ අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර වැ වසන මොහු අභිධ්‍යා දොම්නස් සංඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී, චක්‍ෂුරින්‍ද්‍රියය රකි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වෙයි.
තවද යම්සේ ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් කම්පල හදහා දෙනලද බොජුන් වළඳා ඔහු මෙබඳු විසුළු දස්නෙහි නො යෙදී වෙසෙති: ඒ මෙසේ යැ: නැටුම් ගැයුම් වැයුම් ... බලඇණි දැකීම යනාදිය යි මෙබඳු විසුළු දස්නෙන් වැළැකුණේ වෙයි. මෙසේත් ‘ඔක්ඛිත්තචක්බු’ වේ.
න ච පාදලොලො යනු: කිසෙයින් ‘පාදලොල’ වේ යැ යත්: මෙහි ඇතැම් මහණෙක් පයින් ලොල්වූයේ පාදලෞල්‍යයෙන් සමන්‍විත වූයේ වෙයි: අරමින් අරමට උයනින් උයනට ගමින් ගමට නිගමයෙන් නිගමයට නුවරින් නුවරට රටින් රටට දනව්වෙන් දනව්වට දීර්‍ඝචාරිකායෙහි නොනිමි චාරිකායෙහි යෙදී වාසය කෙරෙයි. මෙසේත් ‘පාදලොල’ වෙයි.
නොහොත් මහණ ඇතුළු සඟරම්හිදු පාදලොල වූයේ පාදලෞල්‍යයෙන් යුක්ත වූයේ වෙයි, ප්‍රයෝජන නැති වැ කාරණ නැති වැ උඩඟු වූයේ නො සන්හුන් සිත් ඇත්තේ පිරිවෙනින් පිරිවෙනට යෙයි, වෙහෙරින් වෙහෙරට යෙයි, අර්ධයෝගයෙන් අර්ධයෝගයට යෙයි, ප්‍රාසාදයෙන් ප්‍රාසාදයට යෙයි, සඳලුගෙයින් සඳලුගෙට යෙයි, ගුහායෙන් ගුහාවට යෙයි, ලෙනින් ලෙනට යෙයි, කිළියෙන් කිළියට යෙයි, කුළුගෙයින් කුළුගෙට යෙයි, අටල්ලෙන් අටල්ලට යෙයි, මහලින් මහලට යෙයි, උද්දණ්ඩ (එක් වහලින් යුතු ගෙ) යෙන් උද්දණ්ඩයට යෙයි, බඩුහලින් බඩුහලට යෙයි, උවටැන්හලින් උවටැන්හලට යෙයි, මණ්ඩලමාලයෙන් මණ්ඩල මාලයට යෙයි, රුක්මුලින් රුක්මුලට යෙයි, යම් තැනෙකැ භික්‍ෂුහු හිඳිත් නම් එහි හෝ යෙයි, එහි එකක්හට හෝ දෙවැන්නා වෙයි, දෙදෙනකු හට හෝ තෙවැන්නා වෙයි, තිදෙනකු හට හෝ සිව්වැන්නා වෙයි. එහි දී බොහෝ නිරර්‍ත්‍ථක කථා පවසයි. ඒ මෙසේ යැ: රාජකථා යැ. චෞරකථා යැ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා කෙරෙයි. මෙසේත් ‘පාදලොල’ වේ.
න ච පාදලොලො යනු: ඒ පසේ බුදුහු පාදලෞල්‍යයෙන් දුරු වූවාහු වෙන් වූවාහු වෙසෙසින් වෙන්වූවාහු නික්මුණාහු බැහැරවූවාහු මිදුනාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ විවේකයෙහි ඇලුණාහු වෙති, විවේකයෙහි ඇලුණාහු අධ්‍යාත්ම චිත්තසමාධියෙහි ඇලුණාහු බැහැර නො කළ (නො නට) ධ්‍යාන ඇත්තාහු විදර්‍ශනායෙන් යුක්ත වූවාහු ශුන්‍යාගාරභාවනාව වඩන්නාහු ධ්‍යාන කරනසුලු වූවාහු ධ්‍යානයෙහි ඇලුණාහු එකීභාවයෙහි යෙදුණාහු උත්තමාර්‍ත්‍ථ (හෝ ස්වාර්‍ත්‍ථ) ගරුක වූවාහු නුයි ‘ඔක්ඛිත්තචක්බු න ච පාදලොලා’ යනු වේ.
ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානො - ‘ගුත්තින්ද්‍රියො’ යනු: ඒ පසේ බුදුහු ඇසින් රූපයක් දැක නිමිති වශයෙන් නො ගන්නාහු අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නාහු වෙති. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවර කොට වසනුවන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙති, චක්‍ෂුරින්‍ද්‍රියය ගෝපනය කෙරෙති, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙති. කනින් ශබ්ද අසා-නැහැයෙන් ගඳ අසා-දිවින් රස විඳ- කයින් පහස් පැහැසැ- මනසින් දහම් දැන නිමිති වශයෙන් නො ගන්නාහු අනුව්‍යඤ්ජන වශයෙන් නො ගන්නාහු වෙති. යම් කරුණකින් මනින්‍ද්‍රියය අසංවර කොට වසනුවන් අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරයට පැමිණෙති, මනින්‍ද්‍රියය ගෝපනය කෙරෙති, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙත් නුයි ‘ගුත්තින්ද්‍රිය’ නම් වෙති. ‘රක්ඛිතමානසානො’ යනු: ගෝපනය කළ සිත් ඇත්තාහු නුයි ‘ගුත්තින්ද්‍රියො රක්ඛිතමානසානෝ’ යනු වේ.
අනවස්සුතො අපරිඩය්හමානො යනු: මේ කියන ලද මැ යි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් විසින්: ‘ඇවැත්නි, තොපට “අවස්සුත පරියාය (කෙලෙසුන් විසින් තෙත් කරුණ) ද අනවස්සුත පරියාය (කෙලෙසුන් විසින් නො තෙත් කරුණ) ද දෙසමි ඒ අසවු මැනැවින් මෙනෙහි කරවු, කියමි. ‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්‍ෂුහු ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරහු මෙය වදාළහ. ඇවැත්නි, කිසෙයින් අවස්සුත (කෙලෙසුන් විසින් තෙත්) වේ ද යත්: ඇවැත්නි, මෙ සස්නෙහි මහණෙක් ඇසින් රූපයක් දැක ප්‍රිය ස්වභාව වූ රූපයෙහි ඇලෙයි, අප්‍රිය ස්වභාවවූ රූපයෙහි ව්‍යාපාදයට පැමිණෙයි, නො එළඹ සිටි කායස්මෘති ඇතියේ ලඝු වූ සිත් ඇති වැ වාස කෙරෙයි, යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශල ධර්‍මයෝ අනවශේෂ කොට නිරුද්ධ වෙත් ද ඒ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය තත් වූ පරිද්දෙන් නො දනියි. කනින් ශබ්ද අසා ... සිතින් දහම් දැන ප්‍රියස්චහාව වූ දහම්හි ඇලෙයි, අප්‍රියස්වභාව වූ දහම්හි ව්‍යාපාදයට පැමිණෙයි, නො එළඹ සිටි කායස්මෘති ඇතියේ ලඝුවූ සිත් ඇති වැ වෙසෙයි, යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශලධර්‍මයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චිත්ත විමුක්තිය ප්‍රඥා විමුක්තිය තත් වූ පරිද්දෙන් නො දනී. ඇවැත්නි, මේ මහණ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු වූ රූපාලම්බනයෙහි අවස්සුත වූයේ. මනෝවිඥානයෙන් දතයුතු වූ ධර්‍මාලම්බනයෙහි අවස්සුත වූයේ යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වාස කරන ඒ මහණහු කරා මාර තෙමේ චක්ෂුර්ද්වාරයෙනුදු එළැඹෙයි, ශ්‍රොත්‍රද්වාරයෙනුදු ... මනෝ - ද්වාරයෙනුදු ඔහු කරා මාර තෙමේ එළැඹෙයි, මාර තෙම සිදුරු ලබන්නේ මැ යැ, මාර තෙමේ ප්‍රත්‍යය ලබන්නේ මැ යි.
ඇවැත්නි, යම්සේ වියැළි කොලපු වූ බොහෝ කල් ඉක්මගිය බට සෙවෙනි ගෙයක් හෝ තණ සෙවෙනි ගෙයක් හෝ වේ ද ඉදින් පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණසුලකින් යුතු වැ පෙරදිගිනුදු ඒ ගෙය කරා පැමිණේ නම් ගින්න සිදුරු ලබා මැ යැ ප්‍රත්‍යය ලබා මැ යැ, පැසිම් දෙසිනුදු ... උතුරු දෙසිනුදු ... දකුණු දෙසිනුදු- යටදෙසිනුදු- උඩදෙසිනුදු- යම්කිසි දෙසකිනුදු පුරුෂයෙක් ආදීප්ත වූ තණසුලකින් යුතු වැ ඒ ගෙය කරා පැමිණේ නම් ගින්න අතුරු ලබා මැ යැ, ගින්න අරමුණු ලබා මැ යැ, එසෙයින් මැ ඇවැත්නි, මෙසේ වාසය කරන මහණහු කරා චක්ෂුද්වාරයෙනුදු මාර තෙමේ පැමිණේ, නම් මාර තෙමේ අතුරු ලබා මැ යැ මාර තෙමේ ප්‍රත්‍යය ලබා මැ යැ ශ්‍රොත්‍රද්වාරයෙනුදු ... මනොද්වාරයෙනුදු ඔහු කරා මාර තෙමේ එළැඹේ නම් මාර තෙමේ අතුරු ලබා මැ යැ මාර තෙමේ අරමුණු ලබා මැ යි.
තවද ඇවැත්නි, මෙසේ වාසය කරනසුලු භික්‍ෂුහු රූපාලම්බනයෝ මැඩපීහු යැ, මහණ රූපයන් නො මැඩපී යැ, ශබ්දාලම්බනයෝ භික්‍ෂුහු මැඩපීහු යැ, මහණ තෙම ශබ්දාලම්බනයන් නො මැඩපීයැ. ගන්‍ධාලම්බනයෝ භික්‍ෂුහු මැඩපීහු යැ. මහණ තෙමේ ගන්‍ධාලම්බනයන් නො මැඩ පී යැ, රසාලම්බනයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ රසයන් නො මැඩපී යැ. ස්ප්‍රෂ්ටව්‍යයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ ස්ප්‍රෂ්ටව්‍යයන් නො මැඩපී යැ, ධර්‍මාලම්බනයෝ භික්‍ෂුව මැඩපීහු යැ, මහණ නො මැඩපී යැ. ඇවැත්නි, මේ මහණ තෙමේ රූපයන් විසින් මඩනාලද යැ ශබ්දයන් විසින් මඩනා ලද යැ, ගන්‍ධයන් විසින් මඩනා ලද යැ, රසයන් විසින් මඩනාලද යැ, ස්ප්‍රෂ්ටව්‍යයන් විසින් මඩනාලද යැ, ධර්‍මයන් විසින් මඩනාලද යැ, ක්ලේශයනට ප්‍රත්‍යය වූ පුනර්‍භවය ඇති කරන්නා වූ දරථ සහිත වූ දුඃඛ- විපාක වූ ලාමක අකුශල ධර්‍මයෝ ඒ භික්‍ෂුව අභිභවනය කළාහුයැ. ඇවැත්නි, මෙසේ ‘අවස්සුත’ වූයේ වේ.
ඇවැත්නි, කිසෙයින් අනවස්සුත වේද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූපයක් දැක ප්‍රියස්වභාව රූපයෙහි නො ඇලෙයි, අප්‍රිය ස්වභාවරූපයෙහි (ද්වේෂ විසින්) ව්‍යාපාදයට නො පැමිණෙයි, එළැඹසිටි කාගියාසී ඇති වැ අප්‍රමාණ සිත් ඇති වැ වාස කෙරෙයි. යම් තැනෙක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ චිත්තවිමුක්තිය ද ප්‍රඥාවිමුක්තිය ද ඇති සැටියෙන් දැනගනියි. කනින් ශබ්ද අසා...මනසින් දහම් දැන ප්‍රියස්වභාව ධර්‍මයෙහි නො ඇලෙයි, අප්‍රිය ස්වභාව ධර්‍මයෙහි ව්‍යාපාදයට නො පැමිණෙයි, එළඹසිටි කාගියාසී ඇති වැ අප්‍රමාණ සිත් ඇති වැ වාස කෙරෙයි. යම් තැනෙක ඔහුට උපන් ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂ වැ නිරුද්ධ වෙත් නම් ඒ චිත්ත විමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද යථාභූතයෙන් දැනගනී. ඇවැත්නි, මේ මහණ චක්‍ෂුර්විඥානයෙන් දතයුතු රූපයෙහි අනවස්සුත යැ ... මනසින් දතයුතු දහම්හි අනවස්සුත යයි කියනු ලැබේ. ඇවැත්නි, මෙසේ වාස කරන ඒ මහණහු කරා චක්ෂුද්වාරයෙනුදු ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙම අතුරු නො ලබන්නේ මැයැ, මාර තෙම ප්‍රත්‍යය නො ලබන්නේ මැයි. ශ්‍රොත්‍රද්වාරයෙනුදු ඉදින් ඔහු කරා ... මනොද්වාරයෙනුදු ඉදින් ඔහු කරා මාර තෙම එළැඹේ නම් මාර තෙම අතුරු නොලබන්නේ මැ යැ. මාර තෙම ප්‍රත්‍යය නො ලබන්නේ මැ යි.
ඇවැත්නි, යම්සේ බොල්මැටි ඇති තෙත්මැටි අලෙව්දුන් කුළුගෙයක් හෝ කූටාගාරශාලාවක් හෝ වේ ද, ඉදින් පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණහුලකින් යුතු වැ පැදුන්දෙසිනුදු ඒ කුටාගාරගාලාව කරා එළැඹේ නම් ගින්න නො මැ අතුරු ලැබෙන්නේ ද ගින්න ප්‍රත්‍යය නො ලැබෙන්නේ ද, ඉදින් පැළදෙසිනුදු එය කරා-ඉදින් උතුරු දෙසිනුදු එය කරා-ඉදින් දකුණුදෙසිනුදු එය කරා- ඉදින් යට දෙසිනුදු එය කරා-ඉදින් උඩදෙසිනුදු එය කරා-ඉදින් යම්කිසි දෙසකිනුදු එය කරා පුරුෂයෙක් ගිනි ඇවිළගත් තණහුලකින් යුතු වැ එළඹේ නම් ගින්න නො මැ අතුරු ලැබෙන්නේ ද, ප්‍රත්‍යය නො ලැබෙන්නේ ද, එසෙයින් මැ ඇවැත්නි, මෙබඳු විහරණ ඇති ඒ මහණහු කරා චක්ෂුර්ද්වාරයෙනුදු ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙමේ නො මැ අතුරු ලැබෙන්නේ යැ ප්‍රත්‍යය නො ලැබෙන්නේ යැ, ඉදින් ශ්‍රොත්‍රද්වාරයෙනුදු ඔහු කරා ... මනෝද්වාරයෙනුදු ඔහු කරා ඉදින් මාර තෙම එළැඹේ නම් මාර තෙමේ නො මැ අතුරු ලැබෙන්නේ යැ මාර තෙමේ ප්‍රත්‍යය නො ලැබෙන්නේ මැ යි. තවද ඇවැත්නි, මෙබඳු විහරණ ඇති මහණ තෙම රූපයන් මැඩපී යැ. රූපයෝ මහණහු නො මැඩපූහ. මහණ ශබ්දයන් මැඩපී යැ, ශබ්දයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ගන්‍ධයන් මැඩපීයැ, ගන්‍ධයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම රසයන් මැඩපීයැ, රසයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ස්ප්‍රෂ්ටව්‍යයන් මැඩපීයැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ මහණහු නො මැඩපූහ. මහණ තෙම ධර්‍මයන් මැඩපී යැ, ධර්‍මයෝ මහණහු නො මැඩපූහ. ඇවැත්නි මෙ මහණ රූපය මැඩලූයේ යැ, ශබ්දය මැඩලූයේ යැ, ගන්‍ධය මැඩලූයේ යැ, රසය මැඩලූයේ යැ, ස්ප්‍රෂ්ටව්‍යය මැඩලූයේ යැ, ධර්‍මය මැඩලූයේ යයි කියනු ලැබෙයි. කිසි කෙලෙස් කෙනකුන් විසින් නො මඩනා ලද්දේ ‘අභිභූ’ නම් වෙයි. සාංක්ලේශික වූ පුනර්‍භවය ඇතිකරන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක ඇති ආයතිභවයෙහි ජාති ජරාමරණ පිණිස පවත්නා වූ ඒ ලාමක අකුශලධර්‍මයන් මැඩලයි. ඇවැත්නි මෙසෙයින් ‘අන්වස්සුත’ වේ නුයි ‘අනවස්සුතො’ යනු වේ.
අනවස්සුතො අපරිඩය්හමානො යනු: රාගයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ ද්වේෂයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ මෝහයෙන් උපන් පරිදාහයෙන් නො දැවෙනුයේ නුයි ‘අනවස්සුතො අපරිඩය්හමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“ඔක්ඛිත්තචක්ඛු -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි
10.
(කෙස්රැවුළු ආදී) ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට සැදුණු පත්‍ර ඇති පරසතුරුකක් සෙයින් කහවත් ඇති වැ, අභිනිෂ්ක්‍රමණ කොට කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙයි.
ඔහාරයිත්‍වා ගිහිබ්‍යඤ්ජානානි- ‘ගිහිව්‍යඤ්ජනයෝ’ : කෙස් ද රවුළු ද ... දික්දාවලු ඇති වස්ත්‍ර යනාදිය හෝ කියනු ලැබෙති. ඔහාරයිත්‍වා ගිහි බ්‍යඤජනානි යනු: ගිහිබ්‍යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහාතබා දුරු කොට නුයි “ඔහාරයීත්‍වා ගිහිබ්‍යඤ්ජනානි’ යනු වේ.
සඤ්ජන්නපත්තො යථා පාරිච්ඡත්තකො යනු: යම්සේ ඒ පරසතු නම් වූ කොබළලරුක බොල්පත්පලු ඇත්තේ ඝන සෙවනලු ඇත්තේ වේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු පරිපූර්‍ණ පාත්‍රචීවර ධරනුවාහු නුයි ‘සඤ්ඡන්නපත්තො යථා පාරිච්ඡත්තකො’ යනු වේ.
කාසායවත්ථො අභිනික්ඛමිත්‍වා යනු: ඒ පසේ බුදුහු හැම ගෘහවාසපළිබොධ සිඳ අඹුදරු පළිබෝධ සිඳ ඥාතිපළිබොධ සිඳ සගයහළු පළිබෝධ සිඳ සන්නිධිපළිබොධ සිඳ කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චනභාවයට (කිසිත් නැති බවට) පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි “කාසායවත්ථො අභිනික්ඛමිත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“ඔහාරයිත්‍වා -පො- ඒකෝ චරෙ බග්ගවිසාණප්පො” යි.
තුන් වැනි වර්‍ගයි.
සතර වැනි වර්‍ගය
1.
රසයෙහි ගිජු බව නො කරනුයේ ලොල් නො වූයේ අනෙකක්හු නුපුස්නාසුලු වූයේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩනුයේ කුලයෙහි (කෙලෙස් විසින්) නො ලැගි සිත් ඇත්තේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
රසෙසු ගෙධං අකරණං අලොලො- ‘රසො’ යනු: මුල්රස යැ කඳරස යැ පොතුරස යැ පත්රස යැ මල්රස යැ පලරස යැ, ඇඹුල මිහිර තිත්තරස යැ කුළුරස යැ ලුණුරස යැ කරරස යැ (ගිවුළු ආදි) ලපිල රස යැ කසටරස යැ ඉටුරස යැ අනිටුරුස යැ සිහිල්රස යැ උණුරස යි. රසයෙහි ගිජු වූ ඇතැම් මහණ බමුණෝ ඇති. ඔහු දිවගින් අග්‍රරසයන් පිරියෙස් (සොය) මින් ඇවිදුති, ඔහු ඇඹුල ලැබ නො ඇඹුල පිරියෙස්ති (සොයති) නො ඇඹුල ලැබ ඇඹුල පිරියෙස්ති, (ගිතෙල් ඈ) මිහිරිරස ලැබ නොමිහිරිරස පිරියෙස්ති නො මිහිරිරස ලැබ මිහිරිරස පිරියෙස්ති, තිත්තරස ලැබ අතිත්තකරස පිරියෙස්ති, අතිත්තකරස ලැබ තිත්තරස පිරියෙස්ති, කුළුරස ලැබ නො කුළුරස පිරියෙස්ති, නො කුළුරස ලැබ කුළුරස පිරියෙස්ති, ලුණුරස ලැබ ලුණු නැත්ත පිරියෙස්ති, ලුණුනැත්ත ලැබ ලුණුරස පිරියෙස්ති, කරරස ලැබ අබාරිකය (කරරස නැත්ත) පිරියෙස්ති, කරරස නැත්ත ලැබ කරරස පිරියෙස්ති, කසටරස ලැබ කසටරස නැත්ත පිරියෙස්ති, කසටරස නැත්ත ලැබ කසටරස පිරියෙස්ති, ලපිලරස ලැබ ලපිලරස නැත්ත පිරියෙස්ති, ලපිල රස නැත්ත ලැබ ලපිලරස පිරියෙස්ති, ඉටුරස ලැබ අනිටුරස පිරියෙස්ති, අනිටුරස ලැබ ඉටුරස පිරියෙස්ති, සිහිල්රස ලැබ උණුරස පිරියෙස්ති, උණුරස ලැබ සිහිල් රස පිරියෙසිත්. ඔහු යම් යම් රසයක් ලබත්ද ඒ ඒ රසයෙන් තුටු නො වෙති. මනවඩන රසයන්හි ඇලුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු බැස ගත්තාහු ලැගුණාහු ලග්නිත වූවාහු පරිරුද්ධ වූවාහු මතුමත්තෙහි පිරියෙසිත්. ඒ රසතෘෂ්ණාව ඒ පසේබුදුන් විසින් ප්‍රහීණ යැ, උසුන් මුල් ඇත්තී යැ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලද යැ. අනු අභාවය කරන ලද යැ ආයති භවයෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් ඒ පසේබුදුහු නුවණින් විමසා අහර වළඳති. කෙළි පිණිස නො මැ වළඳති, මද පිණිස-අලඞ්කාර පිණිස - සැරසුම් පිණිස නො වළඳති, යම්තාක් මේ කය පැවැත්ම පිණිස යැපීම පිණිස බඩගිනි වේදනා නැසීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස වළඳත්. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි අලුත් වේදනාත් නූපදවමි මාගේ යැපීම ද වන්නේ යැ අනවද්‍යභාවය ද සුවවිහරණය ද වන්නේ යැ යි. යම්සේ මස්වැඩීම පමණට ව්‍රණය ආලේප කරන්නේ ද, තවද යම්සේ බර ගෙන යන පමණට අක්ෂය තෙල් ගල්වන්නේ ද, තවද යම්සේ කතරමඟ තරණය කරන පමණට පුත්‍රමාංසාහාරය අනුභව කරන්නේ ද, එපරිද්දෙන් මැ පසේ බුදුහු නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට අහර වළඳති, නො මැ කෙළි පිණිස වළඳති ...
මාගේ ජීවිතයාත්‍රාව ද අනවද්‍යතාව ද ඵාසුවිහරණය ද වන්නේ යැ’ යි රසතෘෂ්ණාව දුරු කෙරෙති, බැහැර කෙරෙති, විගතාන්ත කෙරෙති අනභාවයට පමුණුවති. රසතෘෂ්ණාවෙන් දුරු වූවාහු වෙන්වූවාහු වෙසෙසින් වෙන්වූවාහු නික්මුණාහු නික්මැගියාහු වෙසෙසින් මිදුණාහු විසංයුක්ත වූවාහු වන්නාහ, විගතර්‍ම්‍යාදා කළ සිතින් යුක්ත වැ වාසය කෙරෙත් නුයි ‘රසෙසු ගෙධං’ යනුවේ. අලොලො යනු: ‘ලොලුප්ප’යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එයයි. ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඒ පසේබුදුනට ප්‍රහීණ යැ උසුන් මුල් ඇත්තී යැ තාලවස්තුවක් මෙන් කරන ලද අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තී යැ, එයින් පසේ බුදුහු ‘අලෝල’වෙත් නුයි ‘රසෙසු ගෙධං අකරං අලෝලො’යනු වේ.
අනුඤ්ඤපොසී සපදානවාරි- ‘අනඤ්ඤපෝසී’ යනු: ඒ පසේබුදුහු තමන් මැ පෝෂණය කෙරෙති මෙරමා පෝෂණය නො කෙරෙත් නුයි,
1. “තමා විසින් පෝෂණය කළ යුතු අනෙකක්හු නැති දන්නා ලද සත්‍යය ඇති දමනය කළ ඉඳුරන් ඇති නිර්වාණසාරයෙහි පිහිටි වාන්ත වූ ද්වේෂ ඇති ඒ ක්ෂීණස්‍රවයා ‘බ්‍රාහ්මණ’ යයි මම් කියමි”යි.
අනඤ්ඤපොසී සපදාචාරී යනු: ඒ පසේ බුදුහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රක්නාලද කායද්වාරයෙන් යුක්ත වැ රක්නාලද වාග්ද්වාරයෙන් යුක්ත වැ රක්නාලද මනෝද්වාරයෙන් යුක්ත වැ එළඹැසිටි සිහියෙන් යුක්ත වැ සංවර කළ ඉඳුරන් ඇති වැ යට බලාලු ඇස් ඇති වැ පිරිපුන් ඉරියවු ඇති වැ ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙති, කුලයෙන් කුලය නො ඉක්මෙමින් පිඬු පිණිස හැසිරෙත්නුයි ‘අනුඤ්ඤපොසී සපදානචාරී’ යනු වේ.
කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො’- දෙ කරුණෙකින් ඇලුණුසිත් ඇත්තේ වෙයි: තමා හෝ පහත් කොට තබමින් මෙරමා උස් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වෙයි. තමා හෝ උස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වෙයි.
කිසෙයින් තමා නීච කොට තබමින් මෙරමා උස් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇති වේ ද යත්: ‘තෙපි මට බොහෝ උපකාර ඇතියව මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙමි මේ අන්හු ද දෙන්නට හෝ කරන්නට හෝ සිතත් නම් තොප නිසා තොප බලමින් (දෙන්නට සිතති) මව්පියන් සතු මාගේ යම් පැරණි නාමගොත්‍රයෙක් වී නම් මාගේ ඒ නම්ගොත් ද වැසිණි. තොප නිසා මම් අසුවල්හුගේ කුලුපග යැ, අසෝ තැනැත්තිය ගේ කුලුපග යැ යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා නීච කෙරෙමින් පරා උසස් කරනුයේ පිළිබැඳි සිත් ඇතියේ වෙයි. කිසෙයින් තමා උසස් කෙරෙමින් පරා නීච කොට තබනුයේ පිළිබැඳි සිත් ඇති වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇතියෙමි තෙපි මා කරා අවුදු බුදුන් සරණ ගියව, දහම් සරණ ගියව, සඟුන් සරණ ගියව, ප්‍රාණවධයෙන් වැළැක්ක වූ යැ අදත්තාදානයෙන්-කාමමිථ්‍යා චාරයෙන්- මෘෂාවාදයෙන්- මදප්‍රමාදයට කාරණ වූ රහමෙර පීමෙන් වැළැක්කවූ යැ. මම් තොපට උද්දේශ දෙමි, පරිපෘච්ඡා දෙමි, පොහොය පවසමි, නවහම්හි පිහිට වෙමි. එතෙකුදු වත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරව, ගරු කරව, බුහුමන් කරව, පුද කරව යි මෙසේ තමා උස් කොට තබමින් පරා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇතියේ වේ.
කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො යනු: ඒ පසේබුදුහු කුලපළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, ගණපළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, ආවාස පළිබොධයෙන් නො ලැගුණුසිත් ඇත්තාහු වෙති, චීවරපළිබොධයෙන්- පිණ්ඩපාත පළිබොධයෙන්- සෙනාසනපළිබොධයෙන්- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරපළිබොධයෙන් නො ලැගුණු සිත් ඇත්තාහු වෙත් නුයි ‘කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“රසෙසු ගෙධං අකාරං -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
2.
සිතට ආවරණ වූ පඤ්ච නීවරණයන් හැරපියා හැම උපක්ලේශයන් විදසුන්මගින් දුරු කොට (දෘෂ්ටිනිඃශ්‍රයෙන්) අනිඃශ්‍රිත වූයේ ත්‍රෛධාතුක වූ ස්නේහදෝෂය සිඳපියා කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
පහාය පඤ්චාවරණානි චෙතසො - ඒ පසේබුදුහු කාමච්ඡන්‍දනීවරණය හැර හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා ව්‍යාපාද නීවරණය- ථීනමිද්ධ නීවරණය- උද්ධච්චකුක්කුච්චනීවරණය විචිකිච්ඡා නීවරණය හැර හැරපියා බැහැර කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා කාමච්ඡන්‍දයෙන් වෙන් වැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරේ නුයි ‘පහාය පඤ්චාවරණානි චෙතසො”යනු වේ.
උපක්කිලේසෙ බ්‍යපනුජ්ජ සබ්බේ - රාගය සිතට උපක්ලේශ යැ ද්වේෂය සිතට උපක්ලේශ යැ මෝහය සිතට උපක්ලේශ යැ ක්‍රෝධය - උපනාහය.... සියලු අකුශලාභිසංස්කාරයෝ සිතට උපක්ලේශයෝ යි. උපක්කිලෙසෙබ්‍යපනුපජ්ජ සබ්බේ යනු: සිතට උපක්ලේශ වූ හැම ධර්‍මයන්. ඛ්‍යපනුජ්ජ: බැහැර කොට දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘උපක්කිලේසෙ බ්‍යපනුපජ්ජ සබ්බේ”යනු වේ.
අනිස්සිතො ජෙත්‍ව සිනෙහදොසං- ‘අනිස්සිතො’ යනු: නිඃශ්‍රය දෙකෙකි: තෘෂ්ණා නිඃශ්‍රය ද දෘෂ්ටිනිඃශ්‍රය දැ යි ... මේ දෘෂ්ටි නිඃශ්‍රය යි. සිනෙහො යනු: ස්නෙහ දෙකෙකි: තෘෂ්ණාස්නෙහයද දෘෂ්ටිස්නෙහය දැයි... දෝසෝ යනු: “චිත්තයාගේ යම් ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරොධයෙක් කොපයෙක් ප්‍රකොපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වෙෂයෙක් චිත්තයාගේ ප්‍රකෘතිය හැරීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් ක්‍රොධාකාරයෙක් ක්‍රෝධ බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යකාරයෙක් දුෂිතබවෙක් ව්‍යාපාදයෙක් ව්‍යාපාදාකාරයෙක් ව්‍යාපාදයට පැමිණි බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරොධයෙක් සැඩ බවෙක් නො පිරි පුන් වචන ඇති බවෙක් සිතෙහි නො සතුටුබවෙක් වේද එය යි. අනිස්සිතොඡෙත්‍ව සිනෙහදොසං යනු: ඒ පසේබුදුහු තෘෂ්ණා ස්නෙහයද දෘෂ්ටිස්නෙහයද ද්වේෂය ද සිඳ මුලින් සිඳ සමූලයෙන් සිඳ හැර හැර පියා දුරු කොට විගතාන්ත කොට. අනභාවයට පමුණුවා ඇස ඇසුරු නො කෙළේ කන ඇසුරු නො කෙළේ දෘෂ්ට ශ්‍රැත මුත විඥාතව්‍යධර්මයන් ඇසුරු නො කෙළේ නො ඇලුණේ අනුපගත වූයේ අනධ්‍යවසිත වූයේ අනධිමුක්ත වූයේ නික්ම ගියේ ප්‍රහීණ වූයේ වෙසෙසින් මිදුණේ විසංයුක්ත වූයේ විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරේ නුයි ‘අනිස්සිතො ඡෙත්ව සිනෙහදොසං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“පහාය පඤ්චාවරණානි චෙතසො - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
3.
කායිකසුවය ද දුක ද පිටු දැක පළමු මැ සොම්නස් දොම්නස් ද දුරු කොට චතුර්‍ත්‍ථධ්‍යාන උපෙක්ෂාවද (නීවරණයෙන්) විශුද්ධ වූ ශමථයද ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
විපිට්ඨිකත්‍වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සොමනස්සදොමනස්සං යනු: ඒ පසේබුදුහු කායික සුවය ද දුරු කිරීමෙන් කායික දුක ද දුරු කිරීමෙන් පළමු (ප්‍රථමධ්‍යාන උපචාරයෙහි) මැ සොම්නස් දොම්නසුන් දුරු කිරීමෙන් දුක් නො වූ සුව නො වූ උපේක්‍ෂාව හා ස්මෘතිපාරිශුද්ධිය ඇති සතර වැනි දැහැනට එළැඹ වෙසේ නුයි ‘විපිට්ඨිකත්‍වාන සුඛං දුඛඤ්ච පුබ්බේව ච සෝමනස්ස දොමනස්සයං”යනු වේ.
ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං - “උපෙක්ඛා”යනු: “චතුර්‍ත්‍ථ ධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපේක්‍ෂාකාරයෙක් අධ්‍යුපෙක්ෂාවක් චිත්තයාගේ ශමථයෙක් චිත්තයාගේ නො තද බවෙක් චිත්තයාගේ මධ්‍යස්ථ බවෙක් වේ ද එය”යි. සමථො යනු: “චිත්තයාගේ යම් (අරමුණෙහි නිසල වැ සිටීමෙක් මොනවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් (උද්ධච්ච විචිකිච්ඡා විසින්) චිත්තයාගේ නො පැතිරීමෙක් නො විසිරීමෙක් නො විසුරුණු සිත ඇති බවෙක් ශමථයෙක් සමාධින්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද එය” යි. චතුර්‍ත්‍ථධ්‍යානයෙහි උපේක්‍ෂාව ද ශමථය ද ශුද්ධ වූවාහු වෙති, විශුද්ධ වූවාහු හාත්පසින් පිරිසිදු වූවාහු කෙලෙස් රහිත වූවාහු පහ වූ උපක්ලේශ ඇත්තාහු මෘදු වූවාහු කර්‍මක්‍ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත්. ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං යනු: චතුර්‍ත්‍ථධ්‍යානෝපේක්‍ෂාව ද ශමථය ද ලැබ ලබාගෙන විඳ ප්‍රතිලාභ කොට නුයි “ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“විපිට්ඨිකත්‍වාන සුඛං දුඛඤ්ච -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
4.
පරමාර්‍ත්‍ථ සංඛ්‍යාත නිවනට පැමිණීම පිණිස රුකුළුවැර ඇතියේ නො හැකුළුණු සිත් ඇතියේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇතියේ ස්ථිර වූ ඥානබලයට පැමිණියේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
ආරද්ධවිරියෝ පරමත්‍ථපත්තියා - “පරමත්‍ථ”යි අමාමහ නිවන කියනු ලැබෙයි; යම් ඒ සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය වීමෙක් ක්ලෙශවිරාගයෙක් දුක්ඛනිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. පරමාර්ථයාගේ ප්‍රාප්තිය පිණිස ලාභය පිණිස ප්‍රතිලාභය පිණිස අධිගමය පිණිස ස්පර්‍ශය පිණිස ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස රුකුළුවැර ඇති වැ වාස කෙරෙයි, අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ට පැමිණීම පිණිස බල ඇතියේ දැඩිපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන් හි නො තැබූ ධූර ඇතියේ නුයි “ආරද්ධවිරියෝ පරමත්‍ථ පත්තියා”යනු වේ.
අලීනචිත්තො අකුසීතවුත්ති - ඒ පසේ බුදුහු නූපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ අනුත්පාදය පිණිස කුශලච්ඡන්‍දය උපදවති. වෑයම් කෙරෙති වීර්‍ය්‍යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති උපන් ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස . . . නූපන් කුශලධර්‍මයන්ගේ උත්පාදය පිණිස . . . උපන් කුශලධර්‍මයන්ගේ ස්තිථිය පිණිස නො නැසීම පිණිස පුනපුනා වැඩීම පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ බව පිණිස කුශලච්ඡන්‍දය උපදවති වෑයම් කෙරෙති වීර්‍ය්‍යාරම්භ කෙරෙති සිත උත්සාහ කරවති පිහිටුවති. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ. නොහොත් “ඒකාන්තයෙන් ශරීරයෙහි සමත් නහරත් ඇටත් ඉතිරි වේවා, මස්ලේ වියළේවා, පුරුෂශක්තියෙන් පුරුෂබලයෙන් පුරුෂ වීර්‍ය්‍යයෙන් පුරුෂපරාක්‍රමයෙන් පැමිණිය යුතු ඒ උත්තමාර්‍ත්‍ථයට නො පැමිණ වීර්‍ය්‍යයාගේ ශිථිල බවෙක් නො වන්නේ යයි සිත උත්සාහ ගන්වයි, පිහිටුවයි. මෙසේත් “අලීනචිත්තො අකුසීතවුත්ති”යනු වේ.
1. “තෘෂ්ණා නමැති හුල උපුටා නො ලූ කල්හි (මම් ඛාද්‍යාදිය) නො කමි (යාගු ආදිය) නො බොමි, වෙහෙරින් බැහැර නො යෙමි. (ඇඳ පුටු ආදියෙහි) ඇළය නො තබමි.”
සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලින චිත්තෝ අකුසීත චුත්ති’යනු වේ. මාගේ සිත උපාදාන ග්‍රහණය නොකොට (කාමාදි) ආස්‍රවයන්ගෙන් සමුච්ඡේද විමුක්තියෙන් නො මිදෙන තාක් මෙපලග නො බිඳිමි සිත උත්සාහ ගන්වයි පිහිටුවයි. මෙසේත් ‘අලීන චිත්තෝ අකුසීත වුත්ති’ යනු වේ.
“මාගේ සිත උපාදානග්‍රහණය නො කොට ආශ්‍රවයන් කෙරෙන් නො මිදෙන තාක් මෙ ආසනයෙන් නො නැඟී සිටිමි-සක්මනින් නො බස්මි - ගුරුළුවක් ගෙයින් - ප්‍රාසාදයෙන් - හර්ම්‍යයෙන් - ගුහායෙන් - ලෙනින් - කිළියෙන් - කුළුගෙයින් - අටල්ලෙන් - වටගෙයින් - උද්දණ්ඩයෙන් උවැටැන්හලින් - මඩුයෙන් - රුක්මුලින් - නො නික්මෙමි” සිතට වැර ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති”යනු වේ.
මෙදවස් පෙරවරුයෙහි මැ ආර්‍ය්‍යධර්‍මය (මාගේ සිතට) එළවමි මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි, සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීත චුත්ති” යනු වේ. “මෙ මැදි දහවල්හි මැ . . . පස්වරුයෙහි - පෙරබත්හි - පසුබත්හි - පෙරයමැ - මැදියමැ - අලුයමැ - අවපසැ - පුරපසැ - වැසි කලැ - ගිම්කලැ - හිමත්කලැ - ප්‍රථම වයස්හි - මධ්‍යම වයස්හි - පශ්චිම වයස්හි අරීදහම් එළවමි, මොනොවට එළවමි, අධිගමය කෙරෙමි, ස්පර්‍ශ කෙරෙමි, ප්‍රත්‍යක්‍ෂ කෙරෙමි. සිත දැඩි කොට ගන්වයි, පිහිටුවයි. මෙසේත් ‘අලීනචිත්තො අකුසීතචුත්ති’යනු වේ.
දළ්හනික්කමො ථාමබලුප්පන්නො යනු: ඒ පසේබුදුහු කුශලධර්‍මයන්හි දැඩි වූ වීර්‍ය්‍යසමාදාන ඇති වූහ, සනිටුහන් කළ සමාදාන ඇති වූහ. කායසුචරිතයෙහි වාක්සුචරිතයෙහි මනස්සුචරිතයෙහි දානසංවිභාගයෙහි සීලසමාදානයෙහි පෙහෙවස් විසීමෙහි මවුන් වැටුමෙහි පියන් වැටුමෙහි මහණුන් වැටුමෙහි (බාහිතපාපී) බ්‍රාහ්මණයන් වැටුමෙහි කුලදෙටුවන් පිදීමෙහි අන්‍යාතරන්‍යාතර අධිකුශල ධර්‍මයන්හි දැඩි වූ වීර්‍ය්‍ය ඇති වූවාහු සනිටුහන් කළ සමාදාන ඇති වූවාහු නුයි ‘දළ්හානික්කමො’යනු වේ. ථාමබලුප්පන්නො යනු: ඒ පසේ බුදුහු ථාමයෙන් ද බලයෙන් ද වීර්‍ය්‍යයෙන් ද පරාක්‍රමයෙන් ද ප්‍රඥායෙන් ද යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු නු යි ‘දළ්හනික්කමො ථාමබලුප්පන්නො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“ආරද්ධවිරියො පරමත්‍ථපත්තියා - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
5.
කායවිවේකය ද ධ්‍යාන සංඛ්‍යාත චිත්තවිවේකය ද නො හරනුයේ නිරතුරු (විදර්ශනොපග වූ) පඤ්චස්කන්ධාදි ධර්‍මයන්හි අනුධම්මචාරී වූයේ භවත්‍රයෙහි ආදීනව දක්නේ කගවෙහෙණ හඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
පටිසල්ලානං ඣානමරිඤචමානො යනු: ඒ පසේබුදුහු කායවිවේකයෙහි ඇලුණාහු විවේකයෙහි සතුටු වූවාහු වෙති. අධ්‍යාත්මයෙහි වූ චිත්තසමාධියෙහි යෙදුණාහු බැහැර නො කළ ධ්‍යාන ඇත්තාහු විදර්‍ශනායෙන් සමන්‍විත වූවාහු ශුන්‍යාගාරයෙහි කරන භාවනා වඩන්නාහු යැ, ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුණාහු ඒකාග්‍රතායෙහි යෙදුණාහු ස්වාර්ථගරුක වූවාහු නුයි ‘පටිසල්ලානං’යනු වෙයි. ඣානමරිඤ්චමානො යනු: ඒ පසේ බුදුහු දෙකරුණෙකින් ධ්‍යානය නො හරිති; නූපන් ප්‍රථමධ්‍යානයාගේ හෝ ඉපදීම පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු, නූපන් ද්විතීයධ්‍යානයාගේ හෝ නූපන් තෘතීයධ්‍යානයාගේ හෝ - නූපන් චතුර්‍ත්‍ථධ්‍යානයාගේ හෝ උත්පාදය පිණිස යෙදුණාහු වෙසෙසින් යෙදුණාහු පුන පුනා යෙදුණාහු මොනොවට යෙදුණාහු නුයි මෙසේත් ධ්‍යානය නො හරිති. නොහොත් උපන් ප්‍රථමධ්‍යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති, උපන් ද්විතීයධ්‍යානය හෝ- උපන් තෘතීයධ්‍යානය හෝ - උපන් චතුර්‍ත්‍ථ ධ්‍යානය හෝ ආසේවන කෙරෙති වඩති බහුල කෙරෙති. මෙසේත් ධ්‍යානය නො හරිත් නු යි. “පටිසල්ලානං ඣානමරිඤ්චමානො ”යනු වේ.
ධම්මේසු නිච්චං අනුධම්මචාරි - “ධම්මා”යී සතර සතිපට්ඨානයෝ ... ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. අනුධර්මයෝ කවරහ: සම්‍යක්ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අර්ථානුගතප්‍රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව ශීලයෙහි පරිපූරකාරිත්වය ඉන්‍ද්‍රියයන්හි පියූ දොර ඇති බව භෝජනයෙහි පමණ දන්නා බව නිදි දුරු කිරීමෙහි යෙදීම සිහිනුවණ ඇති බව යන මොහු අනුධර්මයෝ යයි කියනු ලැබෙත්. ධම්මේසු නිච්චං අනුධම්මචාරී යනු: ධර්‍මයන්හි දවසක් පාසා අවිච්ජින්න වැ නිරතුරු එක්වන් අව්‍යාකීර්‍ණ වැ පිළිවෙළින් එක් වැ රළ වැළක් මෙන් අවිරල වැ නො සිඳ එක් වැ පැහැසි වැ පෙරබතැ පසුබතැ පෙරයමැ මැදියමැ, පසුයම, අවපසැ පුරපසළ වසන්හි හිමත්හි ගිමන්හි පෙරවියෙහි මැදිවියෙහි පසුවීයෙහි හැසිරෙයි වෙසෙයි ඉරියවු පවත්වයි වැටෙයි රැකෙයි යැපෙයි යාපනය කෙරේ නුයි “ධම්මේසු නිච්චං අනුධම්මචාරී” යනු වේ.
ආදීනචං සම්මසිතා භවෙසු යනු: “සියලු සංස්කාරයෝ අනිත්‍යහ”යි භවයෙහි ආදීනව සලකනුයේ “සියලු සංස්කාරයෝ දුක්හ” යි . . . “සියලු දහම්හු අනාත්මහ”යි ...... ‘යම් කිසි ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ’යි භවයෙහි ආදීනව සලකනුයේ නුයි ‘ආදීනවං’ සම්මසිතා භවෙසු ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු :
“පටිසල්ලානං ඣානමරිඤ්චමානො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
6.
තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිවන පතනුයේ නො පමා වූයේ කෙළ තොලු නො වූයේ නොහොත් පණ්ඩිත වූයේ ශ්‍රැතවත් වූයේ ස්මෘතිමත් වූයේ පරිඥානය කළ දහම් ඇතියේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් නියාමයට පැමිණියේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කගවෙහෙණහඟක් මෙන් එකලා වැ හැසිරෙන්නේ යි.
තණ්හක්ඛයං පත්‍ථයමප්පමත්තො - “තණ්හා”යනු: රූපතෘෂ්ණායැ . . ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං පත්‍ථයං යනු: රාගක්‍ෂය ද්වේෂක්‍ෂය මෝහක්‍ෂය ගතික්ෂය උප්ප්‍රාප්තික්ෂය ප්‍රතිසන්ධික්ෂය භවක්ෂය සංසාරක්ෂය වෘත්තක්ෂය පතනුයේ ඉස්නේ ඉවසනුයේ රුචි කරනුයේ අභිජල්පනය කරනුයේ නුයි ‘තණ්හක්ඛයං පත්‍ථයෙ”යනු වෙයි. අප්පමත්තො යනු: ඒ පසේ බුදුහු සත්කෘත්‍යකාරී වූවාහු සාතත්‍යකාරී වූවාහු.. කුශලධර්‍මයන්හි අප්‍රමත්ත වූවාහු නුයි ‘තණ්හක්ඛයං පත්‍ථයමප්පමත්තො” යනු වේ.
අනෙළමූගො සුතවා සතීමා - “අනෙළමූගො”යනු: ඒ පසේ බුදුහු පණ්ඩිතයහ ප්‍රඥාවත්හ. බුද්ධිමත්හ ඥානවත්හ. විමංසනප්‍රඥා ඇත්තාහ තුලනය කරන ලද ප්‍රඥා ඇතියහ සුතවා යනු; ඒපසේ බුදුහු බහුශ්‍රුත වෙති ශ්‍රැතධරයහ ශ්‍රැතසන්නිවයහ, යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වූවාහු මධ්‍යකල්‍යාණවූවාහු පර්‍ය්‍යවසාන කල්‍යාණවූවාහු සාර්‍ත්‍ථ සව්‍යඤ්ජනවූවාහු කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කෙරෙත් ද ඔවුන් විසින් එබඳු වූ ධර්‍මයෝ බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරනලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. සතිමා යනු: ඒ පසේ බුදුහු ස්මෘතිමත් වූවාහු වෙති. උත්තම වූ ස්මෘතිනිපකභාවයෙන් සමන්‍විත බැවින් චිරකෘතය ද චිරභාෂිතය ද සිහි කරන්නාහු පුන පුනා සිහි කරන්නාහු වෙත් නුයි “අනෙළමූගො සුතවා සතීමා”යනු වේ.
සඞ්ඛාතධම්මො නියතො පධානවා - “සංඛාතධම්ම”යී ඥානය කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් . . අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. සඞ්ඛ්‍යාත ධම්මෝ යනු: ඒ පසේ බුදුහු විමසන ලද දහම් ඇත්තාහු දන්නා ලද දහම් ඇත්තාහු තුලනය කළ දහම් ඇත්තාහු තීරණය කළ දහම් ඇත්තාහු විභාග කළ දහම් ඇත්තාහු ප්‍රකට කළ දහම් ඇත්තාහු වෙති. “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ”යි විමසන ලද දහම් ඇත්තාහු . . . ‘යම් කිසි ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මයෙක් වේ ද එ හැම නැසෙන පියවි ඇතැ යි විමසන ලද දහම් ඇතියහ, ඥාතධර්මයහ, තුලිත ධර්‍මයහ, තීරිත ධර්‍මයහ, විභූත ධර්‍මයහ, විභාවිත ධර්‍මයහ, නොහොත් ඒ පසේබුදුහු විසින් ස්කන්‍ධයෝ සංක්‍ෂිප්තයහ, ධාතුහු සංක්‍ෂිප්තයහ, ආයතනයෝ සංක්‍ෂිප්තයහ, ගතීහු සංක්‍ෂිප්තයහ, උපප්‍රාප්තීහු සංක්‍ෂිප්තයහ, ප්‍රතිසන්ධිහු - භවයෝ සංසාරයෝ වෘත්තයෝ සංක්‍ෂිප්තයහ, නොහොත් ඒ පසේ බුදුහු ස්කන්‍ධයන්ගේ පර්‍ය්‍යන්තයෙහි සිටියහ, ධාතුපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ආයතනපර්‍ය්‍යන්තයෙහි සිටියහ, ගතිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, උප්ප්‍රාප්ති පර්යන්තයෙහි සිටියහ, ප්‍රතිසන්ධිපර්‍ය්‍යන්තයෙහි සිටියහ, භවපර්යන්තයෙහි සිටියහ, සංසාරපර්‍ය්‍යන්තයෙහි සිටියහ, වෘත්තපර්‍ය්‍යන්තයෙහි සිටියහ, අන්තිමභවයෙහි සිටියහ, අන්තිම ශරීරයෙහි සිටියහ, අන්තිමදේහධරයහ ප්‍රත්‍යෙක සම්බුද්ධ වූහ.
1. “මේ ඒ ප්‍රත්‍යෙකසම්බුද්ධයන්ගේ පශ්චිම කෙළවර යැ. මේ අවසාන ශරීරය වෙයි, උන්වහන්සේට ජාතිමරණ සංසාර සංඛ්‍යාත පුනර්‍භවය නැතැ”යි
ඒ කරුණින් පසේබුදුහු “සංඛාත ධම්ම”නම් වෙති. නියතො යනු: “නියාමයෝ” යි සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ කියනු ලැබෙති, සතර ආර්‍ය්‍යමාර්‍ගයෙන් සමන්‍වාගත වූවාහු නුයි නියතයහ, මාර්‍ගඥාන නියාමයට පැමිණියහ, සම්ප්‍රාප්තයහ, අධිගතයහ, ස්පර්‍ශ කරන ලදහ, ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දාහු නුයි “නියතො” යනු වේ. පධානවා යනු: “පධාන”යි යම් චෛතසික වීර්‍ය්‍යයාරම්භයෙක් කුසීතභාවයෙන් නික්ම යෑමෙක් පරාක්‍රමයෙක් උද්‍යෝගයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ස්ථිර බවෙක් කුශල සන්තානය ධැරීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යච්ඡන්‍දය ඇති බවෙක් නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක් ධුරය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් සම්‍යග් ව්‍යායාමයෙක් වේද එය යි. ඒ පසේ බුදුහු මේ ප්‍රධන් වීර්‍ය්‍යයෙන් උපේතයහ සමුපෙතයහ යුක්තයහ සංයුක්තයහ නො වෙන් වූවහ සම්පූර්ණයහ සමන්‍වාගතයහ, එයින් ඒ පසේබුදුහු ප්‍රධානවත් නුයි ‘සංඛාතධම්මො නියතො පධානවා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“තණ්හක්ඛයං පත්‍ථයං අප්පමත්තො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
7.
ශබ්දයෙහි කේශරසිංහයකු සෙයින් (අනිත්‍යාදියෙහි) ත්‍රස්ත නො වනුයේ දැලෙහි වාතය සෙයින් (ස්කන්‍ධායතනාදියෙහි) නො ලැගෙනුයේ ජලය හා සමග පියුමක් සෙයින් සියලු භවයෙහි භෝග ලෝභය හා සමග නො තැවැරෙනුයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේයි.