මධුරා- යනු: මෙ වදාරන ලද මැයි භාග්‍යවතුන් විසින්: ‘මහණෙනි. මේ කාමගුණයෝ පස් දෙනෙක් වෙති: කවර පස්දෙනෙකැ යත්: ඉෂ්ට වූ කාන්තවූ මන වඩන්නා වූ ප්‍රියස්චහාව ඇති කාමයෙන් යුක්ත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ යැ. කනින් දතයුතු ශබ්දයෝ යැ.- නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ යැ- දිවින් දතයුතු රසයෝ යැ.- ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණවූ කයින් දතයුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි, මොහු පඤ්චකාමගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදීද මෙ සුවය නො සෙවිය යුතු නො වැඩිය යුතු පුනපුනා නො වැඩියයුතු කාම සුව යැ මීළඟ සුව යැ පුහුදුන්සුව යැ අනාර්‍ය්‍ය සුව යැයි කියනු ලැබේ. තෙල සුවයට බියවියයුතු යැ යි කියමි’. ‘කාමා හි චිත්‍රා මධුරා’ යනු වේ. මනෝරමා- ‘මනෝ’ යනු: ‘යම් සිතෙක් ... තජ්ජාමනොවිඤ්ඤාණධාතුවක් වේ ද, එයයි. සිත අලවති පසසති තුටු කෙරෙති පිනවත් නුයි ‘කාම හි චිත්‍රා මධුරා මනෝරමා’ යනු වේ.
විරූපරූපෙන මථෙන්ති චිත්තං යනු; නන්වැදෑරුම් වූ රූපයෙන්..... නන්වැදෑරුම් වූ ස්ප්‍රෂ්ටව්‍යයෙන් සිත අලළති තුටු කෙරෙති ප්‍රහර්‍ෂ කෙරෙත් නුයි ‘විරූපරූපෙන මථෙන්ති චිත්තං’ යනු වේ.
ආදිනවං කාමගුණෙසු දිස්වා යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, කාමයන්ගේ ආදීනව කවරැයත්: මහණෙනි, මෙ ලොව කුල පුත්‍රයෙක් හස්තමුද්‍රායෙන් වේවයි ගණනින් වේවයි පිණ්ඩගණනින් වේවයි කෘෂිකර්‍මයෙන් වේවයි වෙණෙදහමින් වේවයි ගවයන් රැකීමෙන් වේවයි ධනුශ්ශිල්පයෙන් වේවයි රාජසේවායෙන් වේවයි එක්තරා ශිල්පයෙකින් වේවයි ශීතයට පෙරටු වැ උෂ්ණයට පෙරටු වැ මැසි මදුරු වා අව් පහසින් පෙළෙමින් සාපවසින් මැරෙමින් දිවි රකි. මහණෙනි, මේ කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනව යැ. කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්‍ධ යි.”
මහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නො නිපයෙත් නම් ශෝක කෙරෙයි ක්ලාන්ත වෙයි වැලපෙයි උර පැහැර හඬයි. එකත්නෙන් මාගේ උත්සාහය සිස් යැ එකත්නෙන් මාගේ වෑයම අඵල යැයි සම්මෝහයට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන්ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනව වෙයි කාමය හේතු කොට ඇති කාමය නිදාන කොට ඇති කාමය අධිකරණ කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්‍ධ යි.
මහණෙනි, ඉදින් මෙසේ වීර්‍ය්‍ය කරන ඝටනා කරන වෑයම් කරන ඒ කුලපුත්හට ඒ භෝගයෝ නිපයෙත් නම් හෙ තෙමෙ කවර උපායෙකින් මාගේ භෝගයන් රජවරු නො මැ හරනාහු ද, සොරු නො හරනා හු ද, ගින්න නො දවා ද, ජලය වහනය නො කෙරේ ද, අප්‍රියදායාදයෝ නො හරනාහු දැ යි ඒ භෝගයන් ගේ ආරක්‍ෂාව කරුණු කොට දුක් දොම්නස් විඳී. මෙසෙයින් රක්ෂණ ගෝපන කරන ඔහුගේ ඒ භෝගයන් රජවරු හෝ ගෙන යති, සොරු හෝ ගෙන යති, ගින්න හෝ දවයි, ජලය හෝ උල්පවා ගෙන යයි, අප්‍රියදායාදයෝ හෝ ගෙන යති. හෙතෙම ශෝක කෙරෙයි ... මට යමකුත් වී නම් එ ද නැතැ’යි විසංඥ බවට පැමිණෙයි. මහණෙනි, මෙ ද කාමයන් ගේ සාංදෘෂ්ටික ආදීනවයෙකි. කාමය හේතු කොට ඇති ...කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට රජවරු ද රජුන් හා සමග විවාද කෙරෙති ක්‍ෂත්‍රියයෝ ද ක්‍ෂත්‍රියයන් හා සමග විවාද කෙරෙති, බ්‍රාහ්මණයෝ ද බ්‍රාහ්මණයන් හා සමග විවාද කෙරෙති, ගෘහපතියෝ ද ගෘහපතියන් හා සමග විවාද කෙරෙති, මව ද පුතා හා සමග විවාද කෙරෙයි, පුතා ද මව හා සමග විවාද කෙරෙයි, පියා ද පුතා හා සමග විවාද කෙරෙයි, පුතා ද පියා හා සමග විවාද කෙරෙයි, බෑයා ද බූන හා සමග විවාද කෙරෙයි, බූන ද බෑයා හා සමග විවාද කෙරෙයි, යහළුවා ද යහළුවා හා සමග විවාද කෙරේ. ඔහු එහි කලහ- විග්‍රහ- විවාදයට පැමිණියාහු උනුනට අතිනුදු පහර දෙති. කැටිනුදු පහර දෙති, දඩිනුදු පහර දෙති, සැතිනුදු පහර දෙති, ඔහු එහි දී මරණයට ද පැමිණෙති, මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන්ගේ සාංදෘෂ්ටික ආදිනවයෙකි, කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කඩුපළඟ ගෙන දුනුහියවුරු බැඳ ගෙන දෙපසැ රැස් වැ සරයනුදු විඳිනු ලබන කල්හි සැත්දු විඳිනු ලබන කල්හි කඩු දු සිසාරනු ලබන කල්හි යුදට පිවිසෙති. ඔහු එහි සැරයෙනුදු විදුනා ලැබෙති සැතිනුදු විදුනා ලැබෙති අසිපතිනුදු හිස සිඳුනා ලැබෙති ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදීනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කඩුපළඟ ගෙන දුනුහියවුරු බැඳ ගෙන සරයනුදු විදිනු ලබන කල්හි සැතුදු විදිනු ලබන කල්හි අසිපතුදු සිසාරන කල්හි තෙල් කලල් වැකි පවුරු පා වෙත දිව යෙති. ඔහු සඞ්ග්‍රාමයෙහි සරයෙනුදු විදුනා ලැබෙති, සැතිනුදු විදුනා ලැබෙති, (ඔවුනට) කකාළ ගොමිනුදු ඉස්ති, අහිවර්ග නම් යතුරිනුදු මඩිති, කඩුයෙනුදු හිස සිඳුති. ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදිනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට ගෘහසන්‍ධිදු සිඳුති, මහාවිලෝප ද කෙරෙති, ඒකාගාරික කමුදු කෙරෙති, කඩපළාසොරකමුදුකෙරෙති, වීරඹුසොරකමුදු කෙරෙත්, රජවරු ඔහු අල්වාගෙන විවිධ කම්කටොලු කරවති: කසයෙනුදු තළති වේවැලිනුදු තළති මුගුරිනුදු තළති අතුදු සිඳුති ... අසිපතින් හිස්දු සිඳුති. ඔහු එහි මරණයට ද මරණමාත්‍ර දුකට ද පැමිණෙත්. මහණෙනි, මෙ ද කාමයන් ගේ ප්‍රත්‍යක්‍ෂ ආදිනවයෙකි. කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
තවද මහණෙනි, කාමය හේතු කොට කාමය මුල් කොට කාමය කරුණු කොට කාමය මැ හේතු කොට කයින් දුසිරිත් කෙරෙති, වචනයෙන් දුසිරිත් කෙරෙති, මනසින් දුසිරිත් කෙරෙත්. ඔහු කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයෙහි උපදිත්, මහණෙනි, මෙ ද කාමයන් ගේ සාම්පරායික ආදීනව වූ කාමය හේතු කොට ඇති කාමය මුල් කොට ඇති කාමය කරුණු කොට ඇති කාමය මැ හේතු කොට ඇති දුඃඛස්කන්ධයෙකි.
ආදිනවං කාමගුණෙසු දිස්වා යනු: කාමගුණයෙහි ආදීනව දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘ආදීනවං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“කාමා හි චිත්‍රා -පෙ- ඒකෝ වරෙ ඛග්ගවිසාණකප්පො” යි.
7.
(ආගන්තුක ව්‍යසන හේතු වූ) ඊතිය ද ගණ්ඩය ද උපද්‍රවය ද රාගය ද (ඇතුළත පෙළන) ශල්‍යය ද භය ද යන තෙල පස්කම් ගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
ඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච, රෝගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං යනු: මෙ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, තෙල “භය” යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘දුක’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘රෝග’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ගණ්ඩ’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘ශල්‍ය’ යනු කාමයනට නමෙක, මහණෙනි, තෙල ‘සඞ්ග’ යනු කාමයට නමෙක. මහණෙනි, තෙල ‘ගර්හ’ යනු කාමයනට නමෙකි. මහණෙනි, වැළිත් කවර හෙයින් තෙල “භය” යනු කාමයට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාගයෙන් රක්ත වූයේ ඡන්‍දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකහයෙනුදු නො මිද්දේ ද, සාම්ප්‍රරායික භයෙනුදු නො මිද්දේ ද, එහෙයින් තෙල ‘භය’ යනු කාමයනට අධිවචන වෙයි. කවර හෙයින් මහණෙනි, තෙල ‘දුක’ යනු රෝග යනු ගණ්ඩ යනු ශල්‍ය යනු- සඞ්ග යනු දුක යනු- ගර්හ යනු කාමයනට අධිවචන වේ යැ යත්: යම් හෙයකින් මහණෙනි, කාමරාග යෙන් රක්ත වූයේ ඡන්‍දරාගයෙන් බැඳුණේ දෘෂ්ටිධාර්මිකගහයෙනුදු නො මිදේ ද සාම්පරායික ගර්හයෙනුදු නො මිදේ ද එහෙයින් තෙල ‘ගර්හ යනු කාමයනට අධිවචන වේ” යයි.
1-2. ‘භය ද දුක ද රෝගය ද ගණ්ඩයද ශල්‍යයද සඞ්ගයද පඞ්ක යැ ගර්‍භය යන දෙක ද යන මොහු කාමයෝ යි කියනු ලැබෙති යම් කාමයෙක්හි ඇලුණු මධුරස්භාවයෙන් බැසගත් පෘථග්ජන තෙම පුනර්‍භවයට (පරලෝකයෙහි ෂඩායතන ගර්හයට) යේ නම් ඔහු යැ.
3. යම් හෙයකින් මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍යය ඇත්තේ සම්‍යග්ඥානය නො හරී ද, එබඳු වූ හෙතෙම මේ කර්දම (මඩ) දුර්‍ගය ඉක්මවා ජාතියෙන් යුක්ත වූ සැලෙන ප්‍රජාව බලා”යි.
ඊතී ච ගණ්‌ඩො ච උපද්‌දවො ච, රෝගො ච සල්‌ලඤ්‌ච භයඤ්‌ච මෙතං; එතං භයං කාමගුණෙසු දිස්වා, යනු: පස්කම්ගුණයෙහි තෙල බිය දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට නුයි ‘එතං භයං කාමගුණෙසු දිස්වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො යනු වේ.
එයින් වදාළහ එ පසේබුදුහු:
ඊතී ච ගණ්‌ඩො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
8.
සිහිලස ද උණුසුම ද සාපවස් ද වා - අවු- වැසි - මදුරුවන් හා සපුන්ද යන තෙල සියල්ල මැඩ ගෙන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, - ‘සීතං’ යනු: දෙ කරුණෙකින් ශීත වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ ශීත වෙයි: පිටත ඍතු වශයෙන් හෝ ශීත වේ. උණ්හං යනු: දෙ කරුණෙකින් උෂ්ණ වෙයි: ඇතුළත ධාතුකෝප වශයෙන් හෝ උෂ්ණ වෙයි, පිටත ඍතු වශයෙන් හෝ උෂ්ණ වේ. බුදා යි සාය කියනු ලැබෙයි. පිපාසා යි පැන් බොනු කැමැත්ත කියනු ලැබේ නුයි “සීතඤ්‌ච උණ්‌හඤ්‌ච ඛුදං පිපාසං, -’ යනු වේ.
වාතාතපෙ ඩංසසරීසපෙ ච - ‘වාතා’ යනු: පෙරදිග වාතයෝ යැ පැළදිග වාතයෝ යැ උතුරුදිග වාතයෝ යැ දකුණුදිග වාතයෝ යැ රජස් සහිත වාතයෝ යැ රජස් රහිත වාතයෝ යැ ශීතවාතයෝ යැ උෂ්ණ වාතයෝ යැ මඳපවන් යැ අධිකවාතයෝ යැ කාලවාතයෝ යැ වේරම්බ වාතයෝ යැ පියාපත් පවන යැ ගුරුළුපවන යැ තල්පත්වන යැ (වල්විදුනා ආදියෙන් සලන) විධූපන වාතයෝ යි. ‘ආතප’ යි සූර්යසන්තාපය කියනු ලැබෙයි. ‘ඩංස’ යි ඇට මැස්සෝ කියනු ලැබෙති. ‘සිරිසංපා’ යි සර්‍පයෝ කියනු ලැබෙත් නුයි ‘වාතාතපෙ ඩංසසරීසපෙ ච’ යනු වේ.
සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති යනු: අභිභවනය කොට වතුරුවා හාත්පසින් මැඩගෙන නුයි ‘සබ්‌බානිපෙතානි අභිසම්‌භවිත්‌වාති එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“සීතඤ්‌ච උණ්‌හඤ්‌ච -පෙ- එකොචරෙ ඛග්ගවිසාණකප්පො” යි
9.
ඇත්මුළ හැරපියා අරනෙහි සිත්සේ වෙසෙන මොනොවට වැඩුණු කඳ ඇති පද්මකුල සම්භව වූ (වීර්‍ය්‍යයබල ජව ආදියෙන් මහත් වූ ඇත්රජක්හු සෙයින් හටගත් අශෛක්‍ෂ ශීලස්කන්‍ධාදිය ඇති යම් පද්ම සදෘශ බෝධ්‍යඞ්ග ඇතියෙම් (හෝ ආර්‍ය්‍යජාති ඇතියෙම්) උදාර වූ ශීලසමාධි ප්‍රඥා ඇතියෙම් ගණයා හැරපියා අරනෙහි සිත්සේ වාස කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
නාගොව යූථානි විවජ්‌ජයිත්‌වා, - නාග යි හස්තිනාග කියනු ලැබෙයි. පසේ බුදුහු ද නාග නම් වෙති. කවර කරුණෙකින් පසේ බුදුහුද ‘නාග’ නම් වෙතී යත්: පව් නො කෙරෙතී ‘නාග’ යැ, අගතියට නො යෙත් ‘නාගයැ, (පුහුන් කෙලෙසුන් කරා) නො එතී ‘නාග’ යැ කිසෙයින් ඒ පසේබුදු ‘පව් නො කෙරෙතී නාග නම් වෙතී යත්: අගුයි පීඩාකරවූ පුනර්‍භවය දෙන්නා වූ දරථ සහිත වූ දුඃඛවිපාක උපදවන මත්තෙහි ජාති ජරාමරණයට ප්‍රත්‍යය වූ ලාමක අකුශලධර්‍මයෝ කියනු ලැබෙත්.
1. “(බුදුහු සඟිය අමතා මෙසේ වදාළහ:) යමෙක් ලෝකයෙහි අල්පමාත්‍ර වූ ද පාපයක් නො කෙරේ නම් එබඳු වූයේ ‘නාග’ යයි කියනු ලැබෙයි. හෙතෙම කාමාදි සියලු යෝගයන් ද සංයොජනභෙද වූ බන්ධනයන් ද හැරපියා ස්කන්‍ධාදි සියලු තැන්හි කිසි සගයෙකිත් නො ඇලෙයි, විවිධ විමුක්තියෙන් මිදුණේ ලාභාලාභාදියෙහි තාදී වූයේ ද වේ.
මෙසෙයින් ඒ පසේ බුදුහු ‘පව් නො කෙරෙතී’ නාග නම් වෙති.
කිසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී’ නාග නම් වෙති යත්: ඒ පසේ බුදුහු ඡන්‍දයෙන් අගතියට නො යෙති, ද්වේෂයෙන් අගතියට නො යෙති, මෝහයෙන් අගතියට නො යෙති, භයින් අගතියට නො යෙති, රාග වශයෙන් නො යෙති, ද්වේෂ වශයෙන් නො යෙති, මාන වශයෙන්- දෘෂ්ටි වශයෙන්- ඖද්ධත්‍ය වශයෙන්- විචිකිත්සා වශයෙන්- අනුශය වශයෙන් නො යෙති, වර්‍ග වූ ධර්‍මයන් විසින් නො යැවෙති, නො පමුණුවනු ලැබෙති, නො ගෙන යනු ලැබෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ‘නො යෙතී ‘නාග’ නම් වෙත්.
කිසෙයින් ඒ පසේ බුදුහු ‘නො එතී’ නාග නම් වෙතී යත්: සෝවාන් මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එති, සෙදගැමි මඟින්... අනගැමි මඟින් ... රහත්මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූවාහු නම් ඒ කෙලෙසුන් කරා වටලා නො එති, පෙරළා නො එති, ආපසු නො එත් මෙසෙයින් ඒ පසේබුදුහු ‘නො එතී’ නාග නම් වෙති.
නාගොව යූථානි විවජ්‌ජයිත්‌වා, යනු: යම්සේ ඒ හස්තිනාග ඇත්මුළ හැරපියා දුරු කොට වර්‍ජනය කොට එකලා වැ අරනෙහි වල්වැද හැසිරේ ද ඉරියව් පවත්වා ද රැකේ ද යැපේද යාපනය කෙරේ ද, එසෙයින් පසේ බුදුහු ද ගණය හැරපියා දුරුකොට වර්‍ජනය කොට එකලා වැ අරනෙහි අල්පශබ්ද ඇති අල්පනිර්ඝෝෂ ඇති ජනවාත රහිත වූ මිනිසුන්ගේ රහස් කමට නිසි වූ විවේකයට සරුප් වූ දුරු සෙනසුන් ප්‍රාන්ත සෙනසුන් සේවනය කෙරෙති. ඔබ එකලා වැ යෙති එකලා වැ සිටිති එකලා වැ හිඳිති එකලා වැ ශයනය කෙරෙති, එකලා වැ පිඬු පිණිස ගම්වදිති එකලා වැ පෙරළා එති එකලා වැ රහසැ හිඳිති එකලා වැ සක්මන් කරති එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියව් පවත්වති වැටෙති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘නාගා’ ච පරිවජ්ජයිත්වා’ යනු වේ.
සඤ්‌ජාතඛන්‌ධො පදුමී උළාරො යනු: යම්සේ ඒ හස්තිනාග වැඩුණු කඳ ඇත්තේ සත්රියන් පමණ හෝ අටරියන් පමණ හෝ වෙයි. පසේ බුදුහු ද අයෙක් වූ ශීලස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් වැඩුණු කඳ ඇතියහ. යම්සේ ඒ හස්තිනාග තෙමේ පද්මකුල සම්භව වූයේ ද එසෙයින් පසේබුදුහු ද සප්තබෝධ්‍යඞ්ග පුෂ්පයෙන් පියුම් බන්දහ: ස්මෘති සම්බොධ්‍යඞ්ගපුෂ්පයෙන, ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙන, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙන, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙන, ප්‍රශබ්ධිසම්බොධ්‍යඞ්ග පුෂ්පයෙන, සමාධිසම්බොධ්‍යඞ්ග පුෂ්පයෙන, උපෙක්ෂා සම්බෝධ්‍යඞ්ග පුෂ්පයෙනි. යම්සේ ඒ හස්තිනාග තෙම වීර්‍ය්‍යයෙන් බලයෙන් ජවයෙන් ශුරත්වයෙන් මහත් වේ ද, එසෙයින් පසේබුදුහුදු ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්‍ශනයෙන් මහත් වෙත් නුයි ‘සඤ්‌ජාතඛන්‌ධො පදුමී උළාරො’ යනු වේ.
යථාභිරන්‌තං විහරං අරඤ්‌ඤෙ යනු: යම්සේ ඒ හස්තිනාග සිත්සේ වෙනෙහි වෙසේ ද, එසෙයින් බුදුහු ද සිත්සේ වෙනෙහි වෙසෙති. ප්‍රථම ධ්‍යානයෙනුදු සිත්සේ වෙනත් වෙසෙති. ද්විතීය ධ්‍යානයෙනුදු - තෘතීය ධ්‍යානයෙනුදු- චතුර්ථධ්‍යානයෙනුදු- සිත්සේ වෙනෙහි වෙසෙති. මෛත්‍රිචිත්ත විමුක්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති කරුණා චිත්තවිමුක්තියෙනුදු - මෘදුතාචිත්තවිමුක්තියෙනුදු උපෙක්ෂාචිත්තවිමුක්ති යෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති. ආකාශානඤ්චායතනසමාපත්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙති. විඤ්ඤාණඤචායතනසමාපත්තියෙනුදු ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙනුදු නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමා පත්තියෙනුදු -. නිරොධසමාපත්තියෙනුදු ඵලසමාපත්තියෙනුදු සිත්සේ වෙනෙහි වෙසෙත් නුයි ‘යථාභිරන්තං විහරං අරේඤ ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“නාගො ච යුථානි විවජ්ජයිත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
10.
යමෙක් යම් කරුණකින් සාමයික විමුක්තිය (ලෞකික සමාපත්තිය) අධිගම කෙරේ නම් ගණයෙහි ඇලුණහුට ඒ අස්ථාන යැ යන පසේබුදුන්ගේ වචනය අසා කගවෙහෙණ හඟෙක් සෙයින් එකලා වැ සරනෙම්.
අට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌ස, යං ඵස්‌සයෙ සාමයිකං විමුත්‌තිං යනු: මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “ආනන්‍දය, එකැතින් ඒ මහණ ස්වගණයා කෙරෙහි ඇලෙනුයේ ස්වගණයා කෙරෙහි ඇලුණේ ස්වගණයා කෙරෙහි ඇලුම් කරන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලුම් කරණ බැව්හි යෙදුණේ ‘යම් නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් පලසමවත් සුවයෙක් මාර්ගසුඛයෙක් වේ ද එ සුවය කැමැතියේ ලබනසුලු නිදුකින් ලබනසුලු විපුල වැ ලබනසුලු වන්නේ යැ’ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්‍දය, යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාසය කෙරේද ඒ මහණහට මෙය කැමැති විය යුතුයැ: යම් නෛෂ්ක්‍රම්‍ය සුඛයෙක් ප්‍රවිවේක සුඛයෙක් ඵලසමාපත්ති සුඛයෙක් මාර්ගසුඛයෙක් වේ නම් ඒ සුඛය කැමැති සේ ලබනසුලු නිදුකින් ලබන සුලු විපුල වැ ලබන සුලු වන්නේ යැ යන තෙල කරුණ පැනෙයි. ආනන්‍දය; එකැතින් ඒ මහණ තෙම ස්වගණයෙහි ඇලුම් ඇත්තේ ස්වගණයෙහි ඇලුණේ ස්වගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ගණයෙහි ඇලුම් ඇත්තේ ගණයෙහි ඇලුණේ ගණයෙහි තුටු වූයේ ගණයෙහි ඇලෙන බැව්හි යෙදුණේ ලෞකික ශාන්තවිමුක්තියට හෝ ලෝකෝත්තර වූ අකෝප්‍යය (මාර්‍ගය) ට හෝ පැමිණ වාස කරන්නේ යැ යන තෙල කරුණ නො පැනෙයි. තවද ආනන්‍දය යම් මහණෙක් එකලා වැ ගණයෙන් පහ වැ වාස කෙරේ ද, එ මහණහට මෙය කැමැති වියයුතු යැ: ලෞකික ශාන්තවිමුක්තියට පැමිණ හෝ ලෝකෝත්තර මාර්‍ගයට පැමිණ හෝ වාසය කරන්නේ යැයි තෙල කරුණ පැනේ යයි ‘අට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌සෙ යං ඵස්‌සයෙ සාමයිකං විමුත්‌තිං’ යනු වේ.
ආදිච්‌චබන්‌ධුස්‌ස වචො නිසම්‌ම - ‘ආදිච්චෝ’ යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ පසේ බුදුහු දු ගෝත්‍රයෙන් ගෞතම යැ ඒ පසේ බුදුහු සූර්යයාහට ගොත්‍රඥාතීහ, ගෝත්‍ර බන්ධූහ, එයින් පසේ බුදුහු ආදිත්‍යබන්‍ධු වෙති. ආදිච්‌චබන්‌ධුස්ස වචො නිසම්මා යනු: සූර්යයබන්ධූහුගේ වචනය වාක්පථය දේශනාව අනුශාසනාව අසා අසාගෙන උගෙනැ විමසා සලකා නුයි ‘ආදිච්‌චබන්‌ධුස්‌ස වචො නිසම්‌ම, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“අට්‌ඨානතං සඞ්‌ගණිකාරතස්‌ස, - පෙ - ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
දෙ වැනි වග නිමි.
තුන් වැනි වර්‍ගය
1.
දෘෂ්ටිවිසූකයන් (සත්කායදෘෂ්ටිය හෝ දෙ සැට මිථ්‍යාදෘෂ්ටිය ප්‍රථමමාර්ගයෙන්) ඉක්මවූයෙම් සම්මත්තිනියාමයට පැමිණියෙම් ලබන ලද ශේෂමාර්ග ඇතියෙම් උපන් ප්‍රත්‍යෙකබෝධිඥාන ඇතියෙම් වෙමි. එහෙයින් අනෙකක්හු විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුතු වූයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො- ‘දෘෂ්ටිවිසූකයෝ’ යි විංශද්වස්තුක සත්කාය දෘෂ්ටි කියනු ලැබෙති. “මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නා සත්පුරුෂධර්‍මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්‍මයෙහි නො හික්මුණු අශ්‍රැතවත් පෘථග්ජන තෙම රූපය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දකී. වේදනාව- සංඥාව- සංස්කාරයන් විඥානය ආත්ම විසින් සංඥාවිපර්‍ය්‍යාසයෙන් දකී. ආත්මය විඥානය ඇතියක් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දකී. යම් මෙබඳු දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩි වැ ගැන්මෙක් පිහිටාගැන්මෙක් වැදගැම්මෙක් පරාමර්‍ශයෙක් කුමඟෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාස්වභාවයෙක් (අනර්‍ත්‍ථයට නිවාසවූ තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රහණයෙක් විපරීත ග්‍රහණයෙක් විපල්ලාසගාහයෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථාස්වභාව යැයි ගැන්මෙක් යම් පමණ දෙසැට දෘෂ්ටිගතයෙක් වේ ද මොහු දෘෂ්ටි විසූකයෝ යි.” දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො යනු: දෘෂ්ටිවිසූකයන් බැහැර කෙළෙම් ඉක්ම වූයෙම් මොනොවට ඉක්ම වූයෙම් වෙසෙසින් ඉක්මවූයෙම් නු යි ‘දිට්‌ඨීවිසූකානි උපාතිවත්‌තො, යනු වේ.
පත්‌තො නියාමං පටිලද්‌ධමග්‌ගො - ‘නියාමයෝ’ යි සතරමාර්ගය ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය කියනු ලැබෙති. හෙමෙසේයි යැ: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යක් වචන යැ සම්‍යක්කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක්ස්මෘති යැ සම්‍යක්සමාධි යැ යි සතර ආර්‍ය්‍ය මාර්‍ගයෙන් සමන්‍වාගත වූයෙම් සම්මත්තනියාමයට පැමිණියෙම් මොනොවට පැමිණියෙම් අධිගම කෙළෙම් ස්පර්‍ශ කෙළෙම් ප්‍රත්‍යක්‍ෂ කෙළෙම් නුයි ‘පත්තෙ නියාමං’ යනු වේ. පටිලද්ධමග්ගො යනු: ලබන ලද මාර්‍ග ඇතියෙම් ප්‍රතිලාභ කළ මාර්‍ග ඇතියෙම් අධිගම කළ මාර්‍ග ඇතියෙම් ස්පර්‍ශ කළ මාර්‍ග ඇතියෙම් ප්‍රත්‍යක්‍ෂ කළ මාර්‍ග ඇතියෙම් නුයි ‘පත්තෝ නියාමං පටිලද්ධමග්ගෝ’ යනු වේ.
උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, - ඒ පසේ බුදුනට ප්‍රත්‍යෙක බොධිඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. “හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ඥානය උපත මොනොවට උපත නිපන වෙසෙසින් නිපන පහළ විය. ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’ යි... “හැම ධර්‍ම යෝ අනාත්මහයි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි ඥානය උපන, මොනොවට උපන නිපන වෙසෙසින් නිපන පහළ වී නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි’ යනු වේ. අනඤ්‌ඤනෙය්‍යො යනු: ඒ පසේබුදුහු මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණ විය යුත්තාහ. අනෙකහු විසින් නො හැදැහැවිය යුත්තාහ. පර ප්‍රත්‍යය රහිතයහ මෙරමා පිළිබැදි ඥානගති නැතියහ. මුළා නො වූවාහු සම්පත් ඥාන ඇතියාහු සිහි ඇතියාහු ඇති සැටියෙන් දකිති, දකිති. හැම සංස්කාර යෝ දුඃඛයහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’ යි... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි මෙරමා විසින් සත්‍යාවබෝධයට නො පැමිණවිය යුත්තාහ. අනෙකක්හු විසින් නො හැ දැහැවීය යුත්තාහ, පරපත්‍යය රහිතය, මෙරමා පිළිබැඳි ඥානගති නැතියහ. නො මුළා වැ සම්‍යග් ඥාන ඇති වැ සිහි ඇති වැ ඇති සැටියෙන් දනිති, දකිත් නුයි ‘උප්‌පන්‌නඤාණොම්‌හි අනඤ්‌ඤනෙය්‍යො, ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො.’ යනු වේ.
එයින් වදාළහ ඒ පසේ බුදුහු:
“දිට්‌ඨිවිසූකානි උපාතිවත්‌තොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො.” යි.
2.
(රසතෘෂ්ණායෙහි) ලොල් නො වූයෙම් කුහක නො වූයෙම් (මිහිරිරස බුදිනු කැමැති) පවස් නැතියෙන් මතු නො වූයෙම් බැහැර කළ රාගාදිකසට හා මෝහය හා ඇතියෙම් මුළුලොව්හි තෘෂ්ණා රහිත වැ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
නිල්‌ලොලුපො නික්‌කුහො නිප්‌පිපාසො, - ‘ලොලුප්ප’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙන් බලවත් රාගයෙක්... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේද එයයි, ඒ ලොලුප්ප සඞ්ඛ්‍යාත තෘෂ්ණාව පසේබුදුනට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, හිස්සුන් තාලවස්තුවක් සෙයින් කරන ලද යැ. අනු අභාවය කරන ලදය, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේයැ, එයින් පසේබුදුහු ‘නිල්ලොලුප’ නම් වෙති. නික්‌කුහො යනු: කුහනවස්තූහු තිදෙනෙකි: ප්‍රත්‍යය ප්‍රතිෂේධ සංඛ්‍යාත කුහනවස්තූහු යැ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ සාමන්තජල්ප සඞ්ඛ්‍යාත කුහනවස්තු යැ යි.
ප්‍රත්‍යය ප්‍රතිෂේධන සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්: මෙ ලෙව්හි ගැහැවියෝ සිවුරු- පිඬුවා- සෙනසුන්- ගිලන්පස බෙහෙසත් පිරිකරින් මහණක්හු නිමන්ත්‍රණය කෙරෙති. හෙතෙම (නැතිගුණ දක්වන) පාපේච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඬනා ලදුයේ අර්ත්‍ථී වූයේ සිවුරු- පිඬුවා සෙනසුන්- ගිලන්පස බෙහෙසත්පිරිකර බොහෝ කැමැති බව නිසා සිවුර පිළිකෙව් කෙරෙයි, පිඬුවා පිළිකෙව් කෙරෙයි සෙනසුන පිළිකෙව් කෙරෙයි, ගිලන්පස බෙහෙසත්පිරිකර පිළිකෙව් කෙරේ. හේ මෙසේ කියයි: මහණහට මහඇගි සිවුරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ සොහොනින් හෝ කසළ ගොඩින් හෝ අවුණුදොරින් හෝ කඩරෙදි අවුළා සඟළ කොට දරන්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි පිඬුවායෙන් කවර අර්‍ත්‍ථ යැ, මහණ සිඟා ලද පිඬු අතරින් දිවි රකින්නේ යැ යන යමෙක් වේ ද, තෙල සාරූප්‍ය වෙයි. මහණහට මහඇගි සෙනසුනින් කවර අර්‍ත්‍ථ යැ, මහණ රුක්මුල් සෙනසුන් ඇත්තේ හෝ සොහොන්හි වසනේ හෝ අබොවස් සෙනසුන් ඇත්තේ හෝ වන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වෙයි, මහණ හට මහඇගි ගිලන්පස බෙහෙසත්පිරිකරින් කවර අර්‍ත්‍ථ යැ, මහණ ගොමුත්‍රයෙන් හෝ අරළුකඩෙකින් හෝ බෙහෙසත් කිස කරන්නේ යැ යන යමෙක් වේ ද තෙල සාරූප්‍ය වේයයි. හේ එතැන් පටන් රළු සිවුරුදරයි. රළු පිඬුවා බුදියි. රළු සෙනසුන් සෙවුන්නේ යැ රළු ගිලන්පස බෙහෙසත් පිරිකර සෙවුන්නේ යැ, ගැහැවියෝ ඔහු මෙසෙසින් දනිති: “මෙ මහණ අපිස් ගුණ ඇත්තේ යැ සතොස්ගුණ ඇත්තේ යැ ප්‍රකර්‍ෂවිවේක ඇත්තේ යැ ගණසඞ්ගණිකා රහිතයැ රුකුළුවැර ඇත්තේ යැ ධූතයෙහි අනුසස් කියන්නේ යැ’යි මතුමත්තෙහි සිවුරු- පිඬුවා- සෙනසුන් -ගිලන්පස බෙහෙසත් පිරිකරින් පවරති. හේ මෙසේ කියයි: තිදෙනකුන්ගේ හමුවීමෙන් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. සැදැහැ ඇති බැවින් සැදැහැති කුල පුත් බොහෝ පින් රැස් කෙරෙයි. දේයධර්‍ම ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරෙයි. දක්‍ෂිණාර්‍හයන් ඇති බැවින් සැදැහැති කුලපුත් බොහෝ පින් රැස් කෙරේ. තොපට මැ මේ සැදැහැ ඇත, දේයධර්‍මය ද ඇති, මම් ද ප්‍රතිග්‍රාහකයෙමි. ඉදින් මම් නො පිළිගන්නෙම් නම් මෙසෙයින් තෙපි පිනින් බැහැර වන්නවු ය. මට මෙයින් අර්‍ත්‍ථ නැති. තොපට මැ අනුග්‍රහ පිණිස පිළිගනිමි, එතැන් පටන් බොහෝ සිවුරු ද පිළිගනී. බොහෝ පිඬුවා ද පිළිගනී. බොහෝ සෙනසුන් ද පිළිගනී. බොහෝ ගිලන්පස බෙහෙසත් පිරිකර ද පිළිගනී. යම් මෙබඳු මුව හැකිළීමෙක් මුව හකුළන බවෙක් විස්මය ගැන්වීමෙන් විස්මය ගන්වන අයුරක් විස්මයකළ බවෙක් වේ ද, මේ ප්‍රත්‍යය ප්‍රතිෂේධනසඞ්ඛ්‍යාත කුහනවස්තූනම්.
ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවස්තු නම් කවරැ යත්; මෙලෙව්හි ඇතැමෙක් පාප ඉච්ඡා ඇත්තේ ඉච්ඡායෙන් මඩනා ලද්දේ බුහුමන් ලබන අදහස් ඇත්තේ මෙසෙයින් ජන තෙම මා බුහුමන් කරන්නේ යැ යි ගමන් සකස් කෙරෙයි, සිටීම සකස් කෙරෙයි, හිඳීම සකස් කෙරෙයි, ශයනය සකස් කෙරේ. පතා (ප්‍රාර්‍ත්‍ථනා තබා) යෙයි, පතා සිටියි. පතා හිඳියි පතා ශයනය කෙරේ. සමාහිතයකුසෙයින් යෙයි, සමාහිතයකු සෙයින් සිටියි, සමාහිතයකු සෙයින් හිඳියි, සමාහිතයකු සෙයින් ශයනය කෙරේ. ජනයා හමුයෙහි ධ්‍යාන කරන්නකු සෙයින් වෙයි. යම් මෙබඳු ඉරියව් පිහිටුවීමෙන් පිහිටුවන අයුරෙන් සකස් කොට තැබීමෙන් මුව හැකිළීමෙක් මුව හකුළන අයුරෙක් විස්මය ගැන්වීමෙක් විශ්වය ගන්වන අයුරෙක් විස්මිත බවෙක් වේ ද, මේ ඊර්‍ය්‍යාපථ සඞ්ඛ්‍යාත කුහනවතු නම.
සාමන්තජල්පන සඞ්ඛ්‍යාත කුහනවස්තුව කවරැ යත්: මෙහි එකෙක් පවිටු අදහස් ඇතියේ ආශායෙන් මඩනා ලදුයේ ජන තෙමේ මා මෙසෙයින් සලකන්නේ වනැ’යි බුහුමන් කරවන සිත් ඇතියේ ලොවුතුරු දහම පිළිබැඳි කොට බස් බෙණෙයි: ‘යම් මහණෙක් මෙබඳු සිවුරක් ධරා නම් ඒ මහණ මහත් ආනුභාව ඇත්තේ යැ’යි බෙණෙයි. යමෙක් මෙබඳු පාත්‍රයක් ධරා නම්- ලොහො තලුවක් ධරා නම් - ඩබරාවක් ධරා නම් - පෙරහනක් ධරා නම් - කෙස්සක් ධරා නම් - වහනක් ධරා නම් - කාබහනක් ධරා නම් - ආයොගයක් ධරා නම් එ මහණ මහේශාක්‍ය යැ’යි බෙණෙයි. යමක් හට මෙබඳු උපාධ්‍යායයෙක් වේ නම් එ මහණ මහේශාක්‍ය යැ’ යි බෙණෙයි. යමක් හට මෙබඳු ආචාර්‍ය්‍යයෙක්- මෙබඳු සමානොපාධ්‍යයයෝ- සමානාචාර්‍ය්‍යයයෝ-මිත්‍රයෝ-දෘෂ්ටමාත්‍රමිත්‍රයෝ- සම්භක්තයෝ-සහායයෝ වෙත් නම්, එ මහණ මහේශාක්‍ය යැ’යි කියයි. යමෙක් මෙබඳු විහාරයෙක වෙසේ නම් - දික් පහයෙක වෙසේ නම්, සිවුරැස් පහයෙක- සඳලු ගෙයෙක ගල්ගුහායෙක- ගල්ලෙනෙක - කිළියෙක- කුළුගෙයෙක අටල්ලෙක- මහලෙක - දික්හලෙක- උවටන් හලෙක මණ්ඩපයෙක-රුක් මුලෙක වෙසේ නම්, එ මහණ මහත් ආනුභාව ඇත්තේ යැ’යි කියයි. නොහොත් ඉතා හැකිළෙනුයේ ඉතා මුහුණ හකුළුවනසුලු වූයේ ඉතා විස්මය කරවනුයේ ඉතා ප්‍රලාප තෙපුල් බණනුයේ තමා ගේ මුඛ වශයෙන් “මේ මහණ මෙබඳු වූ ශාන්ත වූ මේ විහාරසමාපත්තීන් ලැබෙනසුලු යැ’යි (මෙරමා ලවා) සම්භාවනා කරවන ලදුයේ එබඳු ගැඹුරු වූ ගුඪ වූ සියුම් වූ ප්‍රතිච්ඡන්න වූ ලෝකෝත්තර වූ ශුන්‍යතා ප්‍රතිසංයුක්ත වූ කථා කියයි. මෙබඳු වූ යම් මුහුණ හැකුළුමෙක් මුහුණ හකුළුවන බවෙක් විස්මය කැරැවීමෙක් විස්මය පැවැත්වීමෙන් කොහොන් බවෙක් වේ ද, මේ සාමන්තජල්න සංඛ්‍යාත කුහන්වස්තුව යැ’යි කියනු ලැබේ.
ඒ පසේ බුදුනට මේ තුන් කොහොන්වත් ප්‍රහීණ වූවාහු සමුච්ඡින්න වූවාහු සන්හිඳුණාහු දුරලන ලද්දාහු අභව්‍යොත්පත්තික වූවාහු නුවණ ගින්නෙන් දවන ලද්දාහු වෙති. එහෙයින් ඒ පසේ සම්බුදුහු ‘නික්කූහ’ නම් වෙති.
නිප්පිපාසො යනු: ‘පිපාසා’යි තෘෂ්ණාව කියනු ලබයි. “යම් රාගයෙක්... අධිකරාගයෙක් අභිධ්‍යායෙක් ලෝභ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද එය යි.” ඒ පිපාසා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව ඒ පසේ බුදුනට ප්‍රහීණ වූ යැ උසුන් මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරන ලදු යැ, අනුඅභාවය කරන ලදු යැ, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ. එහෙයින් ඒ පසේ සම්බුදුහු ‘නිප්පිපාස’ වූවාහු නුයි ‘නිල්ලොලුපො නික්කූහො නිප්පිපාසො’ යනු වේ.
නිම්මක්ඛො නිද්ධන්තකසාවමොහො - “මක්බො” යනු: “යම් මකුබවෙක් පරගුණ මකන අයුරෙක්, ගුණ මැකූ බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා බවෙක් වේ ද එය යි.” කසාවො යනු: රාගය කසට යැ ද්වේෂය කසට යැ මෝහය කසට යැ ක්‍රෝධය බද්ධවෛරය මකුබව යුගග්‍රාහය ... සියලු අකුශලාභිසංස්කාරයෝ කසටයෝ යි. මොහො යනු: දුක්හි නො දැන්මෙක් දුක් උපදනා හේතුයෙහි නො දැන්මෙක් දුක්ඛනිරෝධයෙහි නො දැන්මෙක් දුක් නිරුද්ධ කරන පිළිවෙත්හි නො දැන්මෙක් ඉදංප්‍රත්‍යතා ප්‍රත්‍යතීත්‍යසමුත්පන්නධර්මයන්හි නො දැන්මෙක්, මෙබඳු වූ යම් නො දැන් මෙක් නො දැක්මෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අප්‍රතිවේධයෙක් නො වැදගැන්මෙක් නො බැසගැන්මෙක් සම වැ නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යයෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපය්‍යුත්ථානයෙක් අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද එය යි. ඒ පසේ බුදුන් විසින් මකුබව ද කසට ද මෝහය ද වමාරනලදහ මැනැවින් වමාරනලදහ වටාලා නූපදනා අයුරින් බැහැර කරන ලදහ ප්‍රහීණයහ මුලුසුන් කරනලදහ සන්හිඳුවන ලදහ ප්‍රතිප්‍රශ්‍රබ්ධයහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණ ගින්නෙන් දවන ලද නුයි ඒ පසේ බුදුහු “නිම්මක්ඛ නිද්ධන්ත කසාව මෝහ” නම් වෙත්.
නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා යනු: ‘ආසා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි: යම් රාගයෙක් බලවත් රාගයෙක්..... අභිධ්‍යායෙක් ලෝභ අකුශල මූලයෙක් වේ ද එය යි. සබ්බලොකෙ යනු: හැම අපායලෝකයෙහි හැම මනුෂ්‍යලෝකයෙහි හැම දිව්‍යලෝකයෙහි හැම ස්කන්‍ධලෝකයෙහි හැම ධාතුලෝකයෙහි හැම ආයතනලෝකයෙහි. නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා යනු: සියලු ලෝකයෙහි ආශා නැති වැ තෘෂ්ණා නැති වැ පිපාසා නැති වැ නුයි ‘නිරාසසො සබ්බලොකෙ භවිත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“නිල්ලොලුපො -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
3.
අනර්‍ත්‍ථ එළවන (විෂමකායකර්මාදි) විෂමයෙහි බැසගත් පාප මිත්‍රයන් දුරලන්නේ යැ, දෘෂ්ටි විසින් ලැගුණු ප්‍රමත්ත වූවහු (පස්කම් ගුණයෙහි වුහුටු සිත් ඇත්තහු) තෙමේ නො සෙවුනේ යැ, කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
පාපං සහායං පරිවජ්ජයෙථ - යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වූයේ ද දුන් දැයෙහි විපාක නැත. යැදි දැයෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්ත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ සම්‍යක් ප්‍රතිපන්න වූ මහණබමුණෝ ලොව නැතැ”යි මිථ්‍යාදෘෂ්ටි සමන්‍වාගත වේ ද, හේ ‘පාපසහාය’ යි කියනු ලැබෙයි. මේ ‘පාපසහාය’ නම් වේ. පාපං සහායං පරිවජ්ජයෙථ යනු: පාප මිත්‍රයා හැරපියන්නේ යැ හාත්පසින් හැර පියන්නේ නුයි “පාපං සහායං පරිවජ්ජයෙථ’ යනු වේ.
අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං- යම් මිතුරෙක් දශවස්තුක මිථ්‍යාදෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද: දුන් දැයෙහි විපාක නැත, යාගයෙහි විපාක නැත. යම් කෙනෙක් මෙලොව ද පරලොවද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු සම්‍යග්ගත වූ එබඳු මහණ බමුණෝ ලොව නැතැ”යි මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත වූයේ ද හේ ‘අනර්ථදර්ශී’යි කියනු ලැබෙයි. විසමෙ නිවිට්ඨං යනු: විෂම වූ කායකර්‍මයෙහි පිවිසුණු විෂම වූ වාක්කර්‍මයෙහි පිවිසුණු විෂම වූ මනෝකර්මයෙහි පිවිසුණු විෂම වූ ප්‍රාණ වධයෙහි පිවිසුණු විෂම වූ අදත්තාදානයෙහි පිවිසුණු විෂම වූ කාමමිථ්‍යාචාරයෙහි පිවිසුණු විෂම වූ මෘෂා වාදයෙහි පිවිසුණු විෂමවූ පිශුනවචනයෙහි පිවිසුණු විෂම වූ පරුෂවචනයෙහි පිවිසුණු විෂම වූ සම්ඵප්‍රලාපයෙහි පිවිසුණු විෂම වූ අභිධ්‍යායෙහි පිවිසුණු විෂම වූ ව්‍යාපාදයෙහි පිවිසුණු විෂම වූ මිථ්‍යාදෘෂ්ටියෙහි පිවිසුණු විෂම වූ සංස්කාරයන්හි පිවිසුණු විෂම වූ පඤ්චකාමගුණයෙහි පිවිසුණු විෂම වූ පඤ්ච නීවරණයෙහි පිවිසුණු වැදගත් ශක්ත වූ ඇලුණු එළඹුණු බැසගත් අධිමුක්ත වූ නුයි ‘අනත්‍ථදස්සිං විසමෙ නිවිට්ඨං’ යනු වේ.
සයං න සෙවෙ පසුතං පමත්තං - ‘පසුතං’ යනු: යමෙකුත් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ ද එහි සරනුයේ එය බහුල කොට ඇතියේ එය ගරු කොට ඇතියේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බර වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පර්‍ය්‍යෙෂණ කෙරේද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරුකොට ඇත්තේ එයට නැමුණේ අතිශයින් නැමුණේ එයට බැහිල් වූයේ එහි අධිමුක්ත වූයේ එය අධිපති කොට ඇත්තේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද ශබ්දයන්ගන්ධයන්-රසයන්-ස්ප්‍රෂ්ටව්‍යයන් ලබා ද, එහි සරනුයේ එය බහුල කොට ඇත්තේ එය ගුරු කොට ඇත්තේ තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත වූයේ එය අධිපති කොට ඇතියේ වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් කාමයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන්- ගන්‍ධයන්- රසයන්- ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද තත්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ වෙයි. යම්සේ කලහ කරනුයේ ‘කලහපසුත’ නම් වේ ද, කර්මකරනුයේ ‘කම්මපසුත’ නම් වේ ද, ගෝචරයෙහි සරනුයේ ‘ගොචරපසුත’ නම් වේද, ධ්‍යාන කරනුයේ ‘ඣ්‍යාන පසුත’ නම් වේ ද එපරිද්දෙන් මැ යමෙක් කාමයන් එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කෙරේ නම් තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පර්‍ය්‍යෙෂණ කෙරේ ද ... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් ලබා ද .... යමෙකුත් තෘෂ්ණා වශයෙන් රූපයන් පරිභෝග කෙරේ ද, ශබ්දයන් - ගන්‍ධයන් - රසයන් - ස්ප්‍රෂ්ටව්‍යයන් පරිභෝග කෙරේ ද, තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තදධිමුක්ත තදධිපති වේ නම් හෙ ද කාමයෙහි ‘පසුත’ නම් වෙයි. පමත්තං යනු: ‘පමාද’ ය කියයුතු වෙයි: කාය දුශ්චරිතයෙහි හෝ වාග්දුශ්චරිතයෙහි හෝ මනෝදුශ්චරිතයෙහි හෝ පස්කම්ගුණයෙහි හෝ සිත බැස ගැනීමෙක් පුනපුනා බැසගැනීමෙක් කුසල්දහම් වැඩීමෙහි නො සකසා කරන බවෙක් සතතයෙන් නො කරන බවෙක් නිරතුරු නො කරන බවෙක් ලීනවෘත්ති ඇති බවෙක්. බහාතැබූ වීර්‍ය්‍යච්ඡන්ද ඇති බවෙක් බහාතැබූ වීර්‍ය්‍යධූර ඇති බවෙක් ආසේවන නො කිරීමෙක් නො වැඩීමෙක්. පුනපුනා නො වැඩීමෙක් නො පිහිටීමෙක්. නො යෙදීමෙක් ප්‍රමාදයෙක් වේ ද මෙබඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙක් ප්‍රමාද වූ බවෙක් වේ ද මේ ප්‍රමාද යයි කියනු ලැබේ. සයං න සෙවෙ පසුත පමත්තං යනු: ලැගුණහු (පසුතයා) නො සෙවුනේ යැ ප්‍රමාද වූවහු ද තෙමේ සේවනය නො කරන්නේ යැ නිසේවන නො කරන්නේ යැ සංසේවන නො කරන්නේ යැ පුනපුනා සේවනය නො කරන්නේ යැ ඇසිරි නො කරන්නේ යැ මැනැවින් ඇසිරි නො කරන්නේ යැ සමාදන් කොට ගෙන නො පවත්නේ නුයි ‘සයං න සෙවෙ පසුතං පමත්තරං එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“පාපං සහායං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
4.
බහුශ්‍රුත වූ ධර්‍මධර වූ උදාර වූ වැටහෙන නුවණ ඇති මිත්‍රයකු භජනය කරන්නේ යැ. (ආත්මාර්‍ත්‍ථාදි) අර්‍ත්‍ථයන් දැන කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: ඇසූ පිරූ තැන් ධරන ඇසූපිරූ තැන් රැස් වූ මිත්‍ර තෙම බහුශ්‍රුත වෙයි. යම් ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ වූවාහු ...... අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය ප්‍රකාශ කෙරෙත් ද එබඳු වූ ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ධරනලද්දාහු වචනයෙන් ප්‍රගුණ කරන ලද්දාහු මනසින් පුනපුනා බලනලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට ප්‍රතිවේධ කරන ලද්දාහු වෙති. ධම්මධරං යනු: සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වෙදල්ල යන දහම් දරන, බහුස්සුතං ධම්මධරං භජෙථ යනු: බහුශ්‍රුත වූ ද ධර්‍මධර වූ ද මිත්‍රයකු භජනය කරන්නේ යැ මොනොවට භජනය කරන්නේ යැ සේවනය කරන්නේ යැ නොයෙක් අයුරින් සේවනය කරන්නේ යැ මොනොවට සේවනය කරන්නේ යැ පුනපුනා සේවනය කරන්නේ නුයි ‘බහුස්සුතං ධම්මධරං භජෙථ’ යනු වේ.
මිත්තං උළාර පටිභානවන්තං යනු: ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් මිත්‍ර තෙම උදාර වෙයි. පටිභාන වන්තං යනු: පර්‍ය්‍යාප්තිප්‍රතිභාන ඇත්තේ යැ පරිපෘච්ඡාප්‍රතිභාන ඇත්තේ යැ අධිගමප්‍රතිභාන ඇත්තේයැයි ප්‍රතිභානවත්හු තිදෙනෙකි. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙසස්නෙහි ඇතැමකු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වෙදල්ල යන බුද්ධවචනය පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්ති නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ වෙයි.
පරිපෘච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍ත්‍ථයෙහි ද න්‍යායයෙහි ද ලක්‍ෂණයෙහි ද කාරණයෙහි ද ස්ථානාස්ථානයෙහි ද (ගැටපද) පිළිවිස්නේ වෙයි. ඔහට පිළිවිසීම නිසා වැටහෙයි මේ පරිපෘච්ඡාප්‍රතිභාන ඇත්තේ යි.
අධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමකු විසින් සතර සීවටන් සතර සම්‍යක්ප්‍රධානය සතර සෘද්ධිපාදය පඤ්චේන්‍ද්‍රියය පඤ්චබලය සප්තබෝධ්‍යඞ්ගය ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ගය සතර ශ්‍රාමණ්‍යඵලය සිව් පිළිසිඹියා, ෂඩභිඥා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථ (හේතුඵල) ය දන්නා ලද යැ ධර්‍මය (හේතුව) දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දත් කලැ අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දත් කලැ ධර්‍මය වටහයි- නිරුක්තිය දත් කලැ නිරුක්තිය වටහයි. මෙතුන් කරුණෙහි ඥානය ‘ප්‍රතිභාන ප්‍රතිසංවිත්’ නම් වෙයි. ඒ පසේබුදුහු මේ ප්‍රතිභාන ප්‍රතිසංවිඥානයෙන් උපෙතයහ සමුපෙතයහ එළඹසිටියහ. සංයුක්තයහ නො වෙනස් වූහ පරිපූර්‍ණයහ සමන්ව ගතයහ. එයින් පසේ බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද, පරිපෘච්ඡා නැද්ද, අධිගම නැද්ද, ඔහුට කුමක් වැටහෙන්නේ ද නුයි ‘මිත්තං උළාරං පටිභානවන්තං’ යනු වේ.
අඤ්ඤාය අත්‍ථාති විනෙය්‍ය කඞ්ඛං යනු: ආත්මාර්‍ත්‍ථය දැන පරාර්‍ත්‍ථය දැන උභයාර්‍ත්‍ථය දැන දෘෂ්ටධාර්මිකාර්‍ත්‍ථය දැන සාම්පරායිකාර්‍ත්‍ථය දැන පරමාර්ත්‍ථාර්ථය දැන වෙසෙසින් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට ප්‍රකට කොට සැකය දුරලන්නේ යැ වෙසෙසින් දුරලන්නේ යැ. හරනේ යැ හැරපියන්නේ යැ විගතානන කරන්නේ යැ අනු අභාවයට පමුණුවන්නේ නුයි ‘අඤ්ඤාය අත්‍ථානි විනෙය්‍ය කඞ්ඛං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“බහුස්සුතං ධම්මධරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි.
5.
ලෝකයෙහි (කායික වාචසික) ක්‍රීඩාව ද (පඤ්චකාමගුණයෙහි) රතිය ද වස්තුකාමසුඛය ද නො ගැණැ අපේක්‍ෂා නො කරනුයේ විභූෂණ කරුණින් වෙන් වූයේ සත්‍යය කියනසුලු වූයේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකෝ- ‘ඛිඩ්ඩා’ යනු: කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි ක්‍රීඩා දෙකෙකි ... මේ කායික ක්‍රීඩා යැ... මේ වාචසික ක්‍රීඩා යි. රති යනු: තෙල ‘රති’ යනු අනුත්කණ්ඨාවට නමෙකි. කාමසුඛං යනු: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින් “මහණෙනි, මේ කාමගුණයෝ පස්දෙනෙකි: කවර පස්දෙනෙකැ යත්: ඇසින් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූපයෝ යැ. කනින් දතයුතු වූ ....නැහැයෙන් දතයුතු වූ දිවින් දතයුතු වූ කයින් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රිය ස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. මහණෙනි මොහු පඤ්චකාම ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම්ගුණය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මෙ කාමසුඛ යයි කියනු ලැබේ. ලෝකේ යනු: මනුෂ්‍යලෝකයෙහි නුයි ‘ඛිඩ්ඩං රතිං කාමසුඛං ච ලෝකේ’ යනු වේ.
අනලංකාරිත්‍වා අනපෙක්ඛමානො යනු: ලෝකයෙහි කායික වාචසික ක්‍රීඩාව ද පඤ්චකාමගුණයෙහි රතිය ද වස්තුකාමසුඛය ද නො ගුණැ අපේක්‍ෂා රහිත වැ හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා නුයි ‘අනලංකරිත්‍වා අනපේක්ඛමානො’ යනු වේ.
විභූසනට්ඨානා විරතො සච්චවාදී - ‘විභූසා’ යනු: විභූෂණ (සැරැසුම්) දෙකෙකි: ගිහිගෙවැසිහට සැරැසුමෙක් ඇත, පැවිදිහට සැරැසුමෙක් ඇති, ගිහිගෙවැසිහට සැරැසුම් කවරැ යත්: (කතුරෙන්) හිසකෙස් කැපීම ද (දැළි තබා) රවුළු බෑම ද මල්ගඳවිලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්ත්‍ර ද බඳපට ද (හෝ රසන්දම) හිස්වෙළුම ද සුවඳසුණු ඉළීම ඇඟ මැඩීම (දරුවන්) නැහැවීම සම්බාහනය කැටපත අඳුන මල්ගඳවිලෙවුන මුවසුණු මුඛාලෙප හස්තබන්ධන සිළු බැඳුම සෝලුලීය විසිතුරු බෙහෙසත්නළ කඩු ඡත්‍රය විසිතුරු වහන් නළල්පට සිළුමිණ වල්විදුනා දික්දාවලු ඇති සුදුවත් යනාදිය යි. මේ ගිහිගෙවැසිහට සැරැසුමැ.
පැවිදිහට සැරැසුම් කවරැ යත්: චීවරමණ්ඩනය පාත්‍රමණ්ඩනය ශයනාසනමණ්ඩනය මෙ කුණුකය හෝ බාහිර පරිෂ්කාරයන් හෝ මණ්ඩනය සැරසීම කෙලැවීම හාත්පසින් කෙලැවීම කැමැති බව ගිජු බව චපල බව චාපල්‍යය යන මේ පැවිදිහට සැරැසුමි.
සච්චවාදී යනු’ ඒ පසේබුදුහු සත්‍යය කියනසුල්ලහ, සත්‍යයෙන් සත්‍යය ගළපනුවහ, ස්ථිරකථා ඇතියහ, හැදැහියයුතු වචන ඇතියහ, ලොව විසංවාද නො කරනුවහ. විභූෂණකරුණින් දුරු වූවාහු වෙන් වූවාහු අත්‍යර්‍ත්‍ථයෙන් වෙන් වූවාහු නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුතු වැ වාස කෙරෙත් නුයි ‘විභූසනට්ඨානා විරතො සච්චවාදී එකොචරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“ඛිඩ්ඩං රතිං -පෙ- ඒකෝ චෙර ඛග්ගවිසාණකප්පො” යි.
6.
අඹුදරුවන් ද මව්පියන් ද ධනය ද ධාන්‍ය ද බන්ධුසමූහයා ද යන කාමයන් ස්වකීය අවධි වශයෙන් හැරපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
පුත්තං ච දාරං පිතරං ච මාතරං- ‘පුත්තා’ යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජපුත්‍ර යැ දින්නක පුත්‍ර යැ අන්තෙවාසිකපුත්‍ර යැ යි. ‘දරා’ යි භාර්‍ය්‍යාවෝ කියනු ලැබෙති. පිතා යනු; යම් ජනකයෙක් වේ ද හේ යැ. මාතා යනු; යම් ජනිකාවක් වූ නම් හෝ යැයි. ‘පුත්තං ච දාරං පිතරං ච මාතරං’ යනු වේ.
ධනානි ධඤ්ඤානි ච බන්ධවානි- ‘ධනානි’ යි කහවුණු රත්රන් මුතු මැණික් වෙරළුමිණි සක් සල පබළු රිදී රන් ලොහිතඞ්ක මැසිරිගල් කියනු ලැබෙත්. ධඤ්ඤානි යි පූර්‍වාන්න අපරාන්න කියනු ලැබෙති. පුබ්බන්න නම්: හැල් යැ වී යැ යව යැ ගොධුම යැ කඞ්ගු යැ. වරා යැ කුරහමු යැ. අපරන්න නම්: සූපයට හිත වූයේ යි. (උඳු මුං ආදිය යි) බන්ධවානි යනු: බන්ධුහුසතර දෙනෙකි: ඥාතිබන්ධුහුදබන්ධුයැ,ගෝත්‍ර බන්ධුහුද බන්‍ධු යැ, මිත්‍රබන්ධුහුද බන්‍ධු යැ, ශිල්පබන්ධුහුද බන්‍ධු නු යි. ‘ධනානි ධඤ්ඤති ව බන්ධවානි’ යනු වේ.
හිත්‍වාන කාමානි සකොධිකානි- ‘කාමා’ යනු: උද්දාන විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැ යි කාමයෝ දෙදෙනෙකි ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. හිත්‍වාන කාමානි යනු: වස්තුකාමයන් පිරිසිඳ දැන ක්ලේශ කාමයන් හැර හැරපියා දුරු කොට විගතාන්ත කොට අනුඅභාවයට පමුණුවා. හිත්‍වාන කාමානි සකොධිකාති යනු: සෝවන් මගින් යම් කෙලෙස් කෙතෙක් ප්‍රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො එයි. සෙදගැමි මඟින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම්-අනගැමි මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම්- රහත්මගින් යම් කෙලෙස් කෙනෙක් ප්‍රහීණ වූහු නම් ඒ කෙලෙසුන් කරා වටාලා නො එයි, පෙරළා නො එයි, ආපසු නො ඒනුයි ‘හිත්‍වාන කාමානි සංකොධිකාති ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“පුත්තං ච දාරං -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො”යි.
7.