Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 1601-1700 න් 1940

පියවිප්පයොගං විජිගුච්ඡමානො - ප්‍රියයෝ දෙදෙනෙකි: සත්ත්‍වයෝ හෝ සංස්කාරයෝ හෝ යි. ප්‍රියසත්ත්‍වයෝ කවරහ යත්: මෙලොවැ යමක්හට වැඩ කැමැති හිත කැමැති පහසු කැමැති සතර යෝගයෙන් නිර්‍භය කැමැති මවක් වේවයි පියෙක් වේවයි බෑයෙක් වේවයි බුනක් වේවයි පුතෙක් වේවයි දුවක් වේවයි මිතුරෙක් වේවයි සගයහළුවෙක් වේවයි නෑයෙක් වේවයි සහලේනෑයෙක් වේවයි යම් කෙනෙක් වෙත් ද, මොහු ප්‍රියසත්ත්‍වයෝ යි. ප්‍රිය සංස්කාරයෝ කවරහ යත්: මනවඩන රූපයෝ යැ. මනවඩන ශබ්දයෝ යැ. මනවඩන ගන්‍ධයෝ යැ මනවඩන රසයෝ යැ මනවඩන ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ යන මොහු ප්‍රිය සංස්කාරයෝ යි. පියවිප්පයොගං විජිගුච්ඡමානො යනු: ප්‍රියයන්ගේ විප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් (ඉන්) පෙළෙනුයෙම් ලජ්ජා වනුයෙම් නුයි. ‘පියවිප්පයොගං විජිගුච්ඡමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“බිඩ්ඩා රතී හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
ඉතරීතර (කුදුමහත් ප්‍රත්‍යය) යෙන් සතුටු වනුයේ බඹවිහරණ පතළ සිව්දිග ඇතියේ ප්‍රතිඝ රහිත වූයේ ද වෙයි. උවදුරු සහනුයේ තැති ගැනුම් නැත්තේ කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
චාතුද්දිසො අප්පටිඝො ච හොති - “චාතුද්දිසො’ යනු: ඒ පසේබුදුහු මෛත්‍රිසහගත සිතින් එක් දෙසක් අරමුණු කොට වාස කෙරෙති. එසෙයින් දෙ වැනි දෙස එසෙයින් තෙ වැනි දෙස එසෙයින් සතර වැනි දෙස මෙසෙයින් උඩ යට සරස හැම තන්හි හැම දෙන ආත්මසම බැවින් (හෝ මුළු සිතින්) හැම සතුන් ඇති ලොව මෛත්‍රි සහගත වූ (එරණ විසින්) විපුල වූ (භූමි විසින්) මහද්ගත වූ (ආලම්බන) විසින් අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ සිතින් ස්පර්‍ශ (අරමුණු) කොට වාස කෙරෙති. කරුණා සහගත වූ ...මෘදුතා සහගත වූ ... උපේක්‍ෂාසහගත වූ ... සිතින් යුක්ත වැ වාස කෙරෙත්. චාතුද්දිසො අප්පටිඝො ච හොති යනු: මෛත්‍රිය භාවිත බැවින් පෙරදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, දකුණුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, අවරදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, උතුරු දිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු ප්‍රතිකූල නො වෙති, පැදුම් අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, දකුණු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, පැළ අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, උතුරු අනුදිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, යට දෙස යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙති, උඩ දෙස යම් සත්ත්‍ව කෙනෙක් ඇත්නම් ඔහු අප්‍රතිකූල වෙති, දසනුදසැ යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු අප්‍රතිකූල වෙත්. කරුණාව භාවිත බැවින්-මෘදුතාව භාවිත බැවින්-උපේක්‍ෂාව භාවිත බැවින් පැදුම් දිග යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙති. ....දිශාවිදිශාවන්හි යම් සත්ත්‍ව කෙනෙක් ඇත් නම් ඔහු නො පිළිකුල් වෙත් නුයි ‘චාතුද්දිසො අප්පටිඝො ච හොති” යනු වේ:
සන්තුස්සමානො ඉතරීතරෙන යනු: ඒ පසේබුදුහු කුදුමහත් සිවුරින් සන්තුෂ්ට වෙති, ඉතිරීතර චීවරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ, චීවර හේතුයෙන් අයුතු අනෙසනයට ද නොපැමිණෙති, සිවුරු නො ලැබ (චීවරලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. යළි (දැහැමින් සෙමෙන්) සිවුරු ලැබ ලොභග්‍රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණ ප්‍රඥා ඇත්තාහු වළඳති. තවද ඒ ඉතරීතර චීවරසන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්ර්කෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙත්.
යම් කෙනෙක් ඒ චීවර සන්තෝෂයෙහි දක්‍ෂ වූවාහු අනලස වූවාහු සම්‍යග්ඥාන ඇත්තාහු ස්මෘතිසම්ප්‍රයුත්ත වූවාහු වෙත් ද මේ පසේ බුදුහු පෞරාණික වූ ‘අග්‍ර’ යයි දතයුතු ආර්යවංශයෙහි සිටියාහ’යි කියනු ලැබෙත්. ඉතරීතර පිණ්ඩපාතයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ශයනාසනයෙන් සන්තුෂ්ට වෙති ... ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාරයෙන් සන්තුෂ්ට වෙති. ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාරසන්තුෂ්ටියෙහි ගුණ කියන සුල්ලහ. ගිලන්පස බෙහෙසත් පිරිකර හෙයින් අයුතු අනෙසනයට නො ද පැමිණෙති, යළි ගිලන්පසබෙහෙසත් පිරිකර නො ලැබ (ලාභයෙහි) තෘෂ්ණා නො කෙරෙති. (දැහැමින් සෙමෙන්) ගිලන්පසබෙහෙසත් පිරිකර ලැබ ද, ලොභග්‍රන්ථ නැති වැ තෘෂ්ණායෙන් මුසපත් නො වැ නො වතළාහු ආදීනව දක්නාහු නිස්සරණප්‍රඥා ඇති වැ වළඳති. තවද ඒ ඉතරීතර ග්ලානප්‍රත්‍යය භෛසජ්‍යපරිෂ්කාර සන්තුෂ්ටියෙන් නො මැ ආත්මොත්කර්ෂ කෙරෙති, නො ද පරවම්භන කෙරෙති, යම් කෙනෙක් එහි දක්‍ෂ වූවාහු අනලස වූවාහු සම්‍යක්ඥාන ඇත්තාහු සිහි ඇත්තාහු වෙත්ද, මේ පසේ බුදුහුපෞරාණික වූ ‘අග්‍ර’ යයි දතයුතු ආර්‍ය්‍යවංශ යෙහි සිටියාහ’යි කියනු ලැබෙත් නුයි ‘සන්තුස්සමානො ඉතරීතරෙන’ යනු වේ.
පරිස්සයානං සහිතා අජම්හී- ‘පරිස්සයා’ යනු: උපද්‍රව දෙකෙකි: ප්‍රකට උපද්‍රව ද ප්‍රතිච්ඡන්න උපද්‍රව දැ යි. ප්‍රකට උපද්‍රව නම් කවරැ යත්: සිහ යැ වග යැ වලස් යැ තරස් යැ කොක්නා යැ මියු යැ ඇත් යැ සප් යැ නුහුසු යැ පත්තෑ යැ කළ සොරකම් ඇති හෝ කළ සොරකම් නැති හෝ සොරු හෝ සැහැසියෝ යැ. චක්ෂුරෝග යැ ශ්‍රෝත්‍රරෝග යැ ඝ්‍රාණයොග යැ ජිහ්වාරෝග යැ කායරෝග යැ ශීර්ෂරෝග යැ කර්ණරෝග යැ මුඛරෝග යැ දන්ත රෝග යැ කාශ යැ ශ්වාස යැ පීනස යැ දාහ යැ ජීවර යැ කුක්ෂිරෝග යැ මූර්ඡා යැ රක්තාතීසාර යැ ආමශුල යැ විසූචිකා යැ කුෂ්ට යැ ගණ්ඩ යැ කිලාසකුෂ්ට යැ ක්‍ෂය යැ අපස්මාර යැ දද යැ කැසි යැ කස් යැ ව්‍රණ යැ විතච්ඡිකා (තලරෝග) යැ රක්තපිත්ත යැ මධුමේහ යැ අර්ශස් යැ පොළ යැ භගන්‍දරා යැ පිතින් නැගි ආබාධ යැ සෙමින් නැඟි ආබාධ යැ වයින් නැඟි ආබාධ යැ සන්නිපාතික ආබාධ යැ ඍතුපරිණාමයෙන් උපන් ආබාධ යැ විෂම වූ ඊර්‍ය්‍යාපථයෙන් නැඟි ආබාධ යැ උපක්‍රමයෙන් උපන් ආබාධ යැ කර්‍මවිපාකයෙන් උපන් ආබාධ යැ ශීත යැ උෂ්ණ යැ ජිඝත්සා යැ පිපාසා යැ උච්චාර යැ ප්‍රස්‍රාව යැ මැසි-මදුරු-වා-අව්-දික්දෑ යන මොවුන්ගේ පහසින් උපත් පීඩන යැ යන මේ හෝ යි, මොහු ප්‍රකට උපද්‍රාවයෝ යි කියනු ලැබෙත්.
ප්‍රතිච්ඡන්න උපද්‍රව කවරැ යත්: කායදුශ්චරිත යැ වාග්දුශ්චරිත යැ මනෝදුශ්චරිත යැ කාමච්ඡන්‍දනීවරණ යැ ව්‍යාපාදනීවරණ යැ ථීනමිද්ධනීවරණ යැ උද්ධච්ච කුක්කුච්චනීවරණ යැ විචිකිච්ඡානීවරණ යැ රාග යැ ද්වේෂ යැ මෝහ යැ ක්‍රෝධ යැ උපනාහ යැ මකු බව යැ පලාස (යුගග්‍රාහ) යැ ඊර්‍ෂ්‍යා යැ මාත්සර්‍ය්‍ය යැ. මායා යැ සඨ බව යැ ස්තම්භ යැ සාරම්භ යැ මාන යැ අතිමාන යැ මද යැ ප්‍රමාද යැ, සියලු ක්ලේශයෝ යැ. සියලු දුශ්චරිතයෝ යැ. සියලු දරථයෝ යැ. සියලු පරිදාහයෝ යැ. සියලු සන්තාපයෝ යැ. සියලු අකුශලාභිසංස්කාරයෝ යැ යන මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යි කියනු ලැබෙත්.
පරිස්සයා යනු: කවර හෙයින් පරිස්සය වෙතී ය: පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති, එහි ආසය ඇත්තාහු නුයි ‘පරිස්සය’ නම් වෙති.
කිසෙයින් ‘පරිසහනය කෙරෙත්’ නුයි පරිස්සය නම් වෙතී යත්: ඒ උපද්‍රවයෝ ඒ පුඟුල්හු සහනය කෙරෙති, පරිසහනය කෙරෙති මැඩගෙන සිටිති, හාත්පසින් අල්වා ගනිති, මිරිකාගනිත්, මෙසෙයින් පරිසහනය කෙරෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති.
කිසෙයින් ‘පරිහානයට වැටෙත්’ නුයි ‘පරිස්සය’ නම් වෙතී යත්: ඒ උපද්‍රවයෝ කුශලධර්‍මයන්ගේ අන්තරාය පිණිස පරිහානය (හැරීම) පිණිස පවතිත්. කවර කුශලධර්‍මයන්ගේ ද යත්: සම්‍යක් ප්‍රතිපත් යැ අනුලොමප්‍රතිපත් යැ අප්‍රත්‍යනික ප්‍රතිපත් යැ අවිරුද්ධ ප්‍රතිපත් යැ අන්‍වර්ථ ප්‍රතිපත් යැ ධර්මානුධර්මප්‍රතිපත් යැ ශීලයෙහි පරිපූරකාරිත්ව යැ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා යැ භෝජනයෙහි මාත්‍රඥතා යැ ජාගර්‍ය්‍යානුයෝග යැ ස්මෘති සම්ප්‍රඥාන යැ. චතුර්විධ ස්මෘති ප්‍රස්ථානයන් ගේ භාවනානුයෝග යැ චතුර්විධ ඍද්ධිපාදයන් ගේ භාවනානුයෝග යැ පඤ්චේන්‍ද්‍රියයන්ගේ භාවනානුයෝග යැ පඤ්චබලයන්ගේ භාවනානුයෝග යැ සප්තබොධ්‍යයන්ගේ භාවනානුයෝග යැ ආර්‍ය්‍යාෂ්ටාඞ්ගිකමාර්ගයාගේ භාවනානුයෝග යැ යන මේ කුශලධර්‍මයන් ගේ අන්තරාය පිණිස පරිහානය පිණිස වැටෙත්. මෙසෙයින් පරිහානයට වැටෙත් නුයි ‘පරිස්සය’ නම් වෙති.
කිසෙයින් ‘එහි ආසය ඇත්තාහු’ නුයි ‘පරිස්සය’ නම් වෙතී යත්: ඒ අත්බැව්හි තෙල ලාමක අකුශලධර්‍මයෝ ආත්මභාවය ඇසිරි කොට උපදිත්, යම්සේ බිලය ඇසුරු කරන ප්‍රාණීහු බිලයෙහි හොවිත් ද, දිය ඇසුරු කරන ප්‍රාණීහු දියෙහි හොවිත් ද, වනය ඇසුරු කරන ප්‍රාණීහු වෙනෙහි හොවිත් ද, රුක ඇසුරු කරන ප්‍රාණීහු රුක්හි හොවිත් ද, එසෙයින් මැ අත්බැව ඇසුරු කරන තෙල ලාමක අකුශලධර්‍මයෝ ඒ අත්බැව්හි උපදිත්, මෙසෙයිනුදු තත්‍රාසය (එහි ආසය) ඇත්තාහු නුයි ‘පරිස්සය’ නම් වෙත්.
මෙ වදාරන ලද මැ යි බුදුන් විසින්:
“මහණෙනි, සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකසේ නො සුවසේ වෙසෙයි. මහණෙනි, කෙසේ නම් සාන්තේවාසික වූ සාචරියක වූ මහණ දුකයේ නො සුවසේ වෙසෙයි යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණක් හට ඇසින් රූපයක් දැක සරසංකල්ප (නොයෙක් අරමුණුහි හැසිරෙන හෙයින් සංකල්පනය කටයුතු) වූ සංයෝජනයන්ට හිත වූ යම් ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද ඒ අකුශල ධර්‍මයෝ ඔහුගේ සිත තුළ වෙසෙති සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික’ යයි කියනු ලැබෙයි. යම් හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද, ඔහු කෙරෙහි පවතිත් ද, එහෙයින් ‘සාචරියක’ යයි කියනු ලැබේ. තවද මහණෙනි, මහණක්හට කනින් ශබ්දයක් අසා ... නැහැයෙන් ගඳක් අසා...දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැසැ ... සිතින් දහමක් දැන නානාලම්බනයෙහි හැසිරීම් වශයෙන් පරිකල්පිත වූ සංයෝජනීය වූ යම් ලාමක අකුශලධර්‍ම කෙනෙක් උපදිත් ද, ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහුගේ සිතතුළ වෙසෙති, ඔහුගේ සන්තානයට පිවිස වෙසෙති. එහෙයින් ‘සාන්තේවාසික” යයි කියනු ලැබෙයි. යම්හෙයකින් ඒ ලාමක අකුශලධර්‍මයෝ ඔහු හසුරුවත් ද ඔහු කෙරෙහි පවතිත්ද, එහෙයින් ‘සාචරියක’ යයිකියනු ලැබේ. මෙසෙයින් මහණෙනි, මහණ තෙම සාන්තේවාසික වූයේ සාචරියක වූයේ දුකසේ වෙසෙයි, සුවසේ නො වෙසේයයි’ මෙසෙයිනුදු තත්‍රාසය වෙත් නුයි උපද්‍රව නම් වෙත්.
මෙ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්:
“මහණෙනි මෙ ඇතුළත මලයෝ ඇතුළත අමිත්‍රයෝ ඇතුළත සතුරෝ ඇතුළත වධකයෝ ඇතුළත පසමිතුරෝ තිදෙනෙක් වෙති. කවර තිදෙනෙක්ද යත්: මහණෙනි, ලෝභය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි, ද්වේෂය ... මහණෙනි, මෝහය ඇතුළත මලයෙක, ඇතුළත අමිත්‍රයෙක, ඇතුළත සතුරෙක, ඇතුළත වධකයෙක, ඇතුළත පසමිතුරෙකි. මහණෙනි මොහු තිදෙන ඇතුළත මලයෝ යැ. ඇතුළත අමිත්‍රයෝ යැ. ඇතුළත සතුරෝ යැ, ඇතුළත වධකයෝ යැ, ඇතුළත පසමිතුරෝ යි.
1. ලෝභය අනර්‍ත්‍ථ උපදවන්නේ යැ, ලෝභය සිත චලනය කරන්නේ යැ, හේ ඇතුළත (සිත්හි) මැ උපන් භයහේතුයෙක, ඒ භය බාලජන තෙමේ නො දනියි.
2. ලෝභී වූයේ (ලෞකික ලෝකෝත්තර) අර්‍ත්‍ථය නො දනියි. (අර්ත්ථයට හේතු වූ) ධර්‍මය නො දකියි. යම් කලෙක්හි ලෝභය තෙම මිනිසා මැඩගනී ද, එකල්හි බහල වූ අන්‍ධකාරය වේ.
3. ද්වේෂය අනර්ත්ථජනක යැ. ද්වේෂය සිත චලනය කෙරෙයි. හේ සිත්හි උපන් භය කාරණයෙක, බාලජන තෙම එය අවබෝධ නො කෙරෙයි.
4. කිපියේ අර්‍ත්‍ථය නො දනියි. ධර්‍මය නො දකියි. ක්‍රෝධය මිනිසා යටපත් කරන කල්හි බහල වූ අන්‍ධකාරය වේ.
5. මෝහය අනර්‍ත්‍ථ උපදවයි. මෝහය සිත කලඹයි. හේ සිත තුළ උපදනා භය කාරණයෙක, බාලජන තෙම එය අවබෝධ නො කෙරෙයි.
6. මුළා වූයේ අර්‍ත්‍ථය නො දනියි. ධර්‍මය නො දකියි. මෝහය මිනිසා මැඩගන්නා කල්හි බහල වූ අන්‍ධකාරය වේ.
මෙසේත් ‘තත්‍රාසය වෙත්’ නුයි පරිස්සය නම් වෙත්.
මේ වදාරනලද මැ යි බුදුන් විසින්:
“මහරජ, පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනා ධර්‍මයෝ තිදෙනෙක් අහිත පිණිස දුක් පිණිස අසුඛවිහරණය පිණිස උපදිති. කවර තිදෙනෙකැ යත්: මහරජ, ලෝභධර්මය පුරුෂයා ගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, ද්වෙෂධර්මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදනේ අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, මෝහධර්‍මය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදයෙන් අහිතයට දුකට නො සුවවිහරණයට උපදියි. මහරජ, මේ ධර්‍මයෝ තිදෙන පුරුෂයා ගේ අධ්‍යාත්මයෙහි උපදනාහු අහිත පිණිස දුක් පිණිස අඵාසුවිහරණය පිණිස උපදිත්...”
7. ලෝභය ද ද්වේෂය ද මෝහය ද ස්වසන්තානයෙහි උපන්නාහු ස්වකීය ඵලය ත්වක්සාර හුණගසක් මෙන් පව්සිත් ඇති පුරුෂයා නසත්’යි.
මෙසෙයිනුදු ‘තත්‍රාසය’ නුයි ‘පරිස්සය’ නම් වෙත්.
වදාරන ලද මැ යි බුදුන් විසින්:
8. රාගය ද ද්වේෂය ද කුශලධර්‍මයෙහි උත්කණ්ඨාව ද පස්කම්හි ඇලීම හා ලෝමහර්ෂය ද මේ ආත්මභාවය නිදාන කොට ඇත්තාහු යැ. මෙ අත්බැවින් උපන්නාහු යැ, ලාමක වූ මනොවිතර්කයෝ මෙ අත්බැවින් ඉපැද, කුඩා දරුවන් දික් හුයකින් පය බැඳ හරන ලද කවුඩකු සෙයින් සිත (බැඳ භවයෙහි) හැර පියත්.
මෙසෙයිනුදු ‘තත්‍රාසය’ නුයි. ‘පරිස්සය නම් වෙත්.
පරිස්සානං සහිතා යනු: උපද්‍රව ඉවසනුයේ අරියනුයේ මැඩගත්තේ හාත්පසින් මැඩගත්තේ බැහැර කෙළේ නුයි ‘පරිස්සායානං සහිතා” යනුවේ.
අජම්හී යනු: ඒ පසේ බුදුහු නො බියසුල්ලහ නො තැතිගනුවහ උත්‍රස්ත නො වනුවහ නො පලායන සුල්ලහ. ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇති වැ පහ වූ ලොමුදහගහැනුම් ඇති වැ වාස කෙරෙත් නුයි. ‘පරිස්සයානං සහිතා අජම්හී ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේබුදුහු:
“චාතුද්දීසො අප්පටිඝො -පො- ඒකෝ චරෙ ඛග්ගවිසාණ්කප්පො” යි
ඇතැම් පැවිද්දෝ ද යළි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමට දුෂ්කර වෙති. (එහෙයින්) පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
දුස්සඞ්ගහා පබ්බජිතා’පි එකෙ යනු: මෙලොවැ ඇතැම් පැවිද්දෝ ත් නිස දෙනු ලබන කල්හිදු උදෙස් දෙනුලබන කල්හිදු පරිපෘච්ඡා දෙනු ලබන කල්හිදු සිවුරු දෙනුලබන කල්හිදු පාත්‍ර දෙනු ලබන කල්හිදු ලොහො තලි දෙනු ලබන කල්හිදු ඩබරා දෙනුලබන කල්හිදු පෙරහන දෙනු ලබන කල්හිදු ථවිකා (පසුඹි) දෙනු ලබන කල්හිදු වහන් දෙනු ලබන කල්හිදු කාබහන් දෙනු ලබන කල්හිදු නො අසති, කන් යොමු නො කෙරෙති, දැනගනු පිණිස සිත නො පිහිටුවති අවවාද නො අසන්නාහු වචන නො කරන්නාහු විරුද්ධවැ පවත්නාහු ඉවත බලත්නුයි. ‘දුස්සඩ්ගහා පබ්බජිතාපි එකෙ’ යනු වේ.
අථො ගහට්ඨා ඝරමාවසන්තා යනු: මෙලොවැ ඇතැම් ගෘහස්ථයෝ ද ඇතකුදු දෙනු ලබන කල්හි ....රියකුදු - කෙතකුදු - වත්නකුදු - අමුරනුදු-රත්රනුදු දෙනු ලබන කල්හි ගමකුදු- නියම්ගමකුදු - නුවරකුදු- රටකුදුදනව්වකුදු දෙනු ලබන කල්හි නො අසති ...
අප්පොස්සුක්කො පරපුත්තෙසු හුත්‍වා යනු: තමා හැර හැම දෙන මෙ අරුත්හි පරපුත්‍ර නම් වෙති. ඒ පරපුත්‍රයන් කෙරෙහි අල්පොත්සුක වැ ව්‍යාපෘත නො වැ අපේක්‍ෂා රහිත වත්නුයි ‘අප්පොස්සුක්කෝ පරපුත්තෙසු හුත්‍වා ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“දුස්සඞ්ගහා පබ්බජිතා පි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
ගිලිහුණු පත්‍ර ඇති කොබළලරුකක් සෙයින් (කෙහෙ රවුළු ඈ) ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට මාර්ගවීර්‍ය්‍ය ඇත්තේ ගිහි (කාම) බන්ධනයන් (මාර්‍ගඥානයෙන්) සිඳපියා කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
වොරොපයිත්වා ගිහිඛ්‍යඤ්ජනානි- ‘ගිහිඛ්‍යඤජන’ යි කෙස් ද රවුළු ද මල් ද ගඳ ද විලෙවුන් ද අබරණ ද පළඳනා ද වස්තූ ද පොරෝනා ද හිස් වෙළුම ද සුවඳසුණු ගැල්වීම (තෙල්ගල්වා) පිරිමැදීම සුවඳපැනින් නැහැවීම (මල්‍යයන්ගේ අත්පා සෙයින් මුගුරින් මැඩ කරන) සම්බාහනය කැටපත් අඳුන් මල්ගඳවිලෙවුන් මුවසුණු මුඛලෙපන හස්තබන්ධ ශිඛාබන්ධ සෝලුලීය (ලීලාදණඩ) චිත්‍රනාළිකා විසිතුරු කොපු ඇති කඩු විචිත්‍ර ඡත්‍ර විසිතුරු වහන් නළල්පට මිණි වල්විදුනා දික්දහවලු ඇති සුදුවත් යන මොහු හෝ කියනු ලැබෙති. වොරොපයිත්වා ගිහිඛ්‍යඤජනානි’ යනු: ගිහිව්‍යඤ්ජනයන් බැහැර කොට මැනැවින් බැහැර කොට බහා තබා පටිප්පස්සම්භනය කොට නුයි ‘වොරොපයිත්වා ගිහිඛ්‍යඤජනානි’ යනු වේ.
සංසීනපත්තො යථා කොවිළාරො- යම්සේ කොබළලරුකක්හු ගේ පත්‍රයෝ ගිලිහුණාහු ද මොනොවට ගිලිහුණාහු ද වැටුණාහු ද වෙසෙසින් වැටුණාහු ද එසෙයින් මැ ඒ පසේබුදුන් ගේ ගිහිව්‍යඤ්ජනයෙන් ගිලිහුණාහු මොනොවට ගිලිහුණාහු වැටුණාහු වෙසෙසින් වැටුණාහු වෙත් නුයි ‘සංසීනපත්තො යථා කොවිළාරො’ යනු වේ.
ඡෙත්‍වාන වීරො ගිහිබන්ධනානි- ‘විරෝ’ යනු: වීර්‍ය්‍ය්‍යවත් නුයි වීර යැ ප්‍රභූ නුයි වීරයැ, වශයෙහි පවත්නේ නුයි වීරයැ, සමර්ථසිත් ඇත්තේ නුයි වීර යැ, ශූර නුයි වීර යැ, වික්‍රම ඇත්තේ යැ. බිය නැත්තේ යැ නො තැති ගන්නේයැ, උත්‍රාස නැත්තේයැ නො පලායන්නේ යැ ප්‍රහීණ කළ බිය හා බිය අරමුණු ඇත්තේ නුයි. වීරයැ, පහ වු ලොමුදහගැනුම් ඇත්තේ නුයි වීර යැ.
1. ‘මෙලොවැ සියලු පාපයන් ගෙන් වෙන් වූ වීර්‍ය්‍ය්‍යයට නිවාස වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම නිරයදුක් ඉක්මැ සිටියේ වෙයි. වීර්‍ය්‍ය්‍යය ඇති ප්‍රධන්වීර්‍ය්‍ය ඇති ඒ වීර තෙම තථ බැවින් ‘තාදි’ යයි කියනු ලැබේ’ යයි.
‘ගිහිබන්ධන’යි අඹුදරුවෝ ද දැසිදස්හු ද එළුබැටළුවෝ ද කුකුළුවෝ ද හූරෝ ද ඇත්- ගව- අස්- වෙළඹහු ද කෙත්වතු ද අමුරන් ද රත්රන් ද ගම්නියම්ගම් රජදහන් ද රටදනවු ද කොටු ද කොටු ගුළු ද යම්කිසි සිත් අලවන වස්තු කෙනෙක් වෙත් නම් ඔහු කියනු ලැබෙත්. ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි’ යනු: ඒ පසේබුත් වීරයෝ ගිහිබන්‍ධනයන් සිඳපියා මොනවට සිඳපියා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනභාවයට පමුණුවා නුයි ‘ඡෙත්‍වාන වීරො ගිහිබන්‍ධනානි ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“වොරොපයිත්වා -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
ප්‍රථමවර්ගය යි.
දෙ වැනි වර්‍ගය
ඉදින් නිපුණ වූ සාධු (අර්‍පණ-උපචාර) විහරණ ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු ලබන්නේ නම් හැම උවදුරු මැඩලා එයින් තුටු වැ සිහි ඇතිව හැසිරෙන් නේ යි.
සචෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු ලැබේ නම් ප්‍රතිලාභ කෙරේ නම් අධිගම කෙරේ නම් විඳී නම් නුයි ‘සචෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චරං’ යනු: එක් වැ හැසිරෙන. සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ද්විතීය ධ්‍යානයෙනුදු -තෘතීය ධ්‍යානයෙනුදු- චතුර්ත්‍ථධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති මෛත්‍රීචිත්ත විමුක්තියෙනුදු සාධු විහාර ඇති කරුණායෙනුදු - මෘදුතයායෙනුදු - උපෙක්ෂා චිත්තවිමුක්තියෙනුදු සාධුවිහාර ඇති, ආකාසානඤ්චායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති විඤ්ඤාණඤ්චායතන -පෙ- ආකිඤ්චඤ්ඤායතන -පෙ- නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු සාධුවිහාර ඇති නිරෝධසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති ඵලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධි ඇති නුවණ ඇති විමසන නුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි- ‘පරිස්සය’ යනු: ප්‍රකට උපද්‍රව යැ ප්‍රතිච්ඡන්න උපද්‍රව යැයි උපද්‍රව දෙකෙකි.....මොහු ප්‍රකට උපද්‍රව යෝයි කියනු ලැබෙති. මොහු ප්‍රතිච්ඡන්න උපද්‍රවයෝ යි කියනු ලැබෙත්..... මෙසේත් තත්‍රාසය නුයි පරිස්සය නම් වෙත්.....අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි යනු: හැම උවදුරු මැඩගෙන අභිභවන කොට යට කොට හාත්පසින් මැඩගෙන මර්දනය කොට නුයි ‘අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි’ යනු වේ.
චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා යනු: ඒ පසේබුදුහු ඒ පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් වූ නුවණැති විමසන නුවණැති තුලිතඥාන ඇති සහායයකු සමග සියමන් ඇති වැ තුටුසිත් ඇති වැ හටුසිත් ඇති වැ පහටුසිත් ඇති වැ උදග්‍රසිත් ඇති වැ මුදිතසිත් ඇති වැ හැසිරෙන්නේ යැ වාසය කරන්නේ යැ ඉරියවු පවත්වන්නේ යැ වැටෙන්නේ යැ ඉරියවු රක්නේ යැ යැපෙන්නේ යැ යාපනය කරන්නේ නුයි ‘චරෙය්‍ය තෙනත්තමනො’ යනු වේ. සතීමා යනු: ඒ පසේබුදුහු ස්මෘතිමත් වෙති පරම වූ ස්මෘති නිපකභාවයෙන් සමන්‍වාගත වූවාහු චිරකෘත (කළ බොහෝ කල් ඉක්මුණු දැය) ද චිරහාෂිත ද සිහි කරන්නාහු පුනපුනා සිහි කරන්නාහු වෙත් නුයි ‘චරෙය්‍ය තෙනත්තමනෝ සතීමා’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“සචෙ ලභෙථ නිපකං සහායෙ -පෙ- චරෙය්‍ය තෙනත්තමනො සතීමා” යි.
ඉදින් පියවින් නිපුණ වූ සාධුවිහාර ඇති ප්‍රාඥ වූ සමග හැසිරෙන සහායකයකු නො ලැබේ නම් දිනූ රට හැරපියා එකලාව යන රජක්හු සෙයින් බාලයා හැරපියා කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනේ යි.
නො චෙ ලභෙථ නිපකං සහායං යනු: ඉදින් පියවින් නිපුණ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසුම් නුවණ ඇති තුලිතඥාන ඇති සහායකයකු නො ලැබේ නම් ප්‍රතිලාභ නො කෙරේ නම් අධිගම නො කෙරේ නම් නො විඳී නම් නුයි ‘නො චෙ ලභෙථ නිපකං සහායං’ යනු වේ.
සද්ධිං චරං සාධුවිහාරි ධීරං- ‘සද්ධිං චර’ යනු: එක් වැ හැසිරෙන සාධුවිහාරිං යනු: ප්‍රථමධ්‍යානයෙනුදු සාධුවිහාර ඇති ... නිරෝධසමාපත්ති යෙනුදු සාධුවිහාර ඇති, එලසමාපත්තියෙනුදු සාධුවිහාර ඇති. ධීරං යනු: ප්‍රාඥ වූ පණ්ඩිත වූ ප්‍රඥා ඇති බුද්ධිමත් නුවණැති විමසනනුවණ ඇති තුලිතඥාන ඇති නුයි ‘සද්ධිං චරං සාධුවිහාරි ධීරං’ යනු වේ.
රාජාව රට්ඨං විජිතං පහාය යනු: යම්සේ මුදුනෙහි බිසෙව්ලත් දිනන ලද සඞ්ග්‍රාම ඇති නසනලද පසමිතුරන් ඇති මුදුන්පත් අදහස් ඇති පිරිපුන් කොටු කොටුගුළු ඇති ක්‍ෂත්‍රිය රජ කෙනෙක් රට ද දනවු ද කොටුදු බොහෝ වූ කළ නොකළ රන් ඇති කොටුගුළුදු නුවර ද හැරපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය පැවිද්දට පැමිණ පළිබෝධ රහිත (කිසිත් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙත් ද වෙසෙත් ද ඉරියවු පවත්වත් ද පවතිත් ද රැකෙත් ද යැපෙත් ද යාපනය කෙරෙත් ද එසෙයින් පසේ බුදුහු ද හැම ගිහිගේ පළිබෝධය සිඳපියා අඹුදරු පළිබෝධය සිඳපියා ඥාති පළිබෝධය සිඳපියා සගයහළු පළිබෝධය සිඳපියා කෙහෙරවුළු බහාලා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍යශාසනයට පැමිණ අකිඤ්චනභාවයට පැමිණ එකලා වැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි. ‘රාජා’ ව රට්ඨං විජිතං පහාය ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“නො චෙ ලභෙථ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
එකත්නෙන් සහායසම්පත් පසසම්හ. ශ්‍රේෂ්ඨ වූ සම වූ සහායයෝ සෙවියයුත්තාහ. නිරවද්‍ය භෝජන (ආජීව) ඇත්තේ තුලුන් නො ලැබ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
අද්ධා පසංසාම සහාය සම්පදං - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිසැක වචන යැ නිශ්ශඞ්කාවචනයැ අදෛවධවචන යැ නො දෙහිත් වචන යැ නියොගවචන යැ නො බොල් වචන යැ අවිරුද්ධවචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. සහාය සම්පදං යනු: යම් සහායයෙක් අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් - අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන්- අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන්- අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශන ස්කන්‍ධයෙන් සමන්‍වාගත වේ ද, හේ සහායසම්පත් යි කියනු ලැබේ. අද්ධා පසංසාම සහාය සම්පදං යනු: සහායසම්පත් පසසම්හ තෙමම්හ කීර්‍තනය කරම්හ ගුණකියම්හ නුයි. ‘අද්ධා පසංසාම සහායසම්පදං’ යනු වේ.
සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා යනු: සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන්ශ්‍රේෂ්ඨ වෙති සහායයෝ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් විමුක්තියෙන් විමුක්තිඥාන දර්‍ශනයෙන් සමසදෘශ වෙති. ශ්‍රේෂ්ඨසහායයෝ හෝ සදෘශ්සහායයෝ හෝ සේවනය කළයුත්තාහ. භජනය කළයුත්තාහ පර්‍ය්‍යුපාසන කළ යුත්තාහ පිළිවිසිය යුත්තාහ පරිප්‍රශ්න කළ යුත්තාහු නුයි ‘සෙට්ඨා සමා සෙවිතබ්බා සහායං’ යනු වේ.
එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: ‘සාවජ්ජභෝජි’ පුද්ගලයෙක් ඇත, ‘අනවජ්ජොභොජි’ පුද්ගලයෙක් ඇති.
සාවජ්ජභෝජී පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් උසස් කොට බිණීමෙන් නිමිති කරන බැවින් මෙරමා ගුණ නසන බැවින් ලාභයෙන් ලාභය සොයන බැවින් දැව දීමෙන් හුණදඩු දීමෙන් (තල් ආදී) පත්‍ර දීමෙන් පුෂ්පදානයෙන් ඵලදානයෙන් නහනු දීමෙන් සුණු දීමෙන් මැටි දීමෙන් දැහැටිදඬු දීමෙන් මුවදෝනා දිය දීමෙන් චාටුබස් කියන බැවින් මුද්ගසූපයක් වැනි වීමෙන් (දරුවන් වැඩිමාදී) පරිභටහාවයෙන් මෙරමා පිටුමස් කන බැවින් වාස්තුවිද්‍යායෙන් තිරශ්චීන විද්‍යාවෙන් අඞ්ගවිද්‍යාවෙන් නක්ෂත්‍රවිද්‍යාවෙන් දූතමෙහෙවරින් හසුන් ගෙනයෑමෙන් පා මෙහෙවරින් වෙදකමින් පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් දානානුප්‍රදානයෙන් නො දැහැමින් නො සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට දිවි රකී. මේ ‘සාවජ්ජභොජි පුද්ගල’යි කියනු ලැබේ.
“අනවජ්ජභොජි’ පුද්ගල කවරැ යත්: මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් විස්මය කරවීමෙන් නො වැ උසස් කොට බිණීමෙන් නො වැ නිමිති කරන බැවින් නොවැ මෙරමා ගුණ නසන බැවින් නො වැ ලාභයෙන් ලාභය සොයන බැවින් නො වැ දැව දීමෙන් නො වැ හුණදඞු දීමෙන් නොවැ පත්‍රදානයෙන් නො වැ පුෂ්පදානයෙන් නො වැ ඵලදානයෙන් නො වැ නහනු දීමෙන් නො වැ සුණු දීමෙන් නො වැ මැටි දීමෙන් නො වැ දැහැටිදඬු දීමෙන් නො වැ මුවදෝනා දිය දීමෙන් නො වැ චාටුබස් කියන බැවින් නො වැ මුද්ගසූපයක් වැනි වීමෙන් නො වැ පරිභට භාවයෙන් නො වැ මෙරමා පිටුමස් කන බැවින් නො වැ වාස්තුවිද්‍යාවෙන් නො වැ තිරශ්චීන විද්‍යාවෙන් නො වැ අඞ්ගවිද්‍යාවෙන් නො වැ නක්ෂත්‍රවිද්‍යාවෙන් නො වැ දූතමෙහෙවරින් නො වැ හසුන් ගෙන යෑමෙන් නො වැ පාමෙහෙවරින් නො වැ වෙදකමින් නො වැ පිණ්ඩප්‍රතිපිණ්ඩකයෙන් නො වැ දානානුප්‍රදානයෙන් නොවැ දැහැමින් සෙමෙන් ලැබ ලබා, පැමිණ, විඳ, ප්‍රතිලාභ කොට දිවිරකී. මේ
‘අනවජ්ජභොජි පුද්ගල’ යි කියනු ලැබේ. එතෙ අලද්ධා අනවජ්ජභෝජි යනු: තෙල අනවජ්ජභෝජි පුද්ගලයන් නො ලැබ නො ලබා නො පැමිණ නො විඳ ප්‍රතිලාභ නො කොට නුයි ‘එතෙ අලද්ධා අනවජ්ජභොජි ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“අද්ධා පසංසාම -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
තරහල් පුතක්හු විසින් මැනැවින් නිමවන ලද දිළියෙනසුලු රන්වලය දෙක අත්හි ගැටෙනු දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
දිස්වා සුවණ්ණස්ස පභස්සරාති- ‘දිස්වා’ යනු: දැක බලා තුලනය කොට තීරණය කොට විමසා ප්‍රකට කොට සුවණ්ණස්ස යනු: රත්රනැ. පහස්සරානි යනු: පරිශුද්ධ වූ පර්‍ය්‍යවදාත වූ නුයි ‘දිස්වා සුවණ්ණස්ස පහස්සරානි’ යනු වේ.
කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි- ‘කම්මාරපුත්ත’ යි රන්කරු කියනු ලැබෙයි. කම්මාරපුත්ත සුනිට්ඨිතානි යනු: රන්කරු විසින් මොනොවට නිමවන ලද මැනැවින් කළ මොනොවට පිරියම් කරන ලද නුයි ‘කම්මාරපුත්තෙන සුනිටඨතානි’ යනු වේ.
සංඝට්ටයන්තානි දුවෙ භූජස්මිං- ‘භූජ’ යි හස්තය කියනු ලැබෙයි. යම්සේ එක් අතෙකැ නුරුවලා දෙක ගැටේ ද, එසෙයින් මැ සත්ත්‍වයෝ තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් නරකයෙහි ගැටෙති, තිරිසන්යොන්හි ගැටෙති. ප්‍රේතවිෂයෙහි ගැටෙති මිනිස්ලොවැ ගැටෙති, දෙව්ලොව ගැටෙති, ගතියෙන් ගතිය උපපත්තියෙන් උපපත්තිය ප්‍රතිසන්‍ධියෙන් ප්‍රතිසන්‍ධිය භවයෙන් භවය සසරින් සසර වටින් වට ගටති මොනොවට ගටති ගැටෙමින් හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති පවතිති රැකෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘සංඝට්ටයන්තානි දුවෙ භූජස්මිං ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’ යනු වේ.
එයින් වදාළහ. එ පසේබුදුහු:
“දිස්වා සුවණ්ණස්ස -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
මෙසෙයින් (ගණවාසය ඇති කල්හි) මට දෙ වැන්නකු හා සමග වාග්භිලාපය (දෙතිස් තිරිසන් කථා) වන්නේ යැ, (ඔහු කෙරෙහි) ඇල්ම හෝ වන්නේ යැ, ආයතිභවයෙහි තෙල බිය දැක්මින් කගවෙහෙණහඟක් සෙයින් එකලා වැ සරනෙම්.
එවං දුතියෙන සහා මමස්ස යනු: තෘෂ්ණාව දෙ වැනි කොට ඇත්තේ හෝ පුද්ගලයකු දෙ වැනි කොට ඇත්තේ හෝ වෙයි. කිසෙයින් ‘තණ්හාදුතිය වේ’ යැ යත්: ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ....ධර්‍මතෘෂ්ණ යි, යමක්හු විසින් තෙල තෘෂ්ණාව ප්‍රහාණය නො කරන ලද ද හේ ‘තණ්හාදුතිය’ යි කියනු ලැබෙයි.
තෘෂ්ණාව දෙ වැනි කොට ඇති පුරුෂ තෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ මෙ අත්බැවින් අන් අත්බවකට පැමිණීම වූ සසර නොඉක්මවා යි.
මෙසෙයින් ‘තණ්හාදුතිය’ නම් වෙයි.
කිසෙයින් ‘පුද්ගලදුතිය’ වේ යැ යත්: මෙලොවැ ඇතැමෙක් අර්‍ත්‍ථ හේතුයෙන් නො වැ කාරණහේතුයෙන් නොවැ උද්ධත වූයේ නො සන්හුන් සිත් ඇත්තේ එකකුට දෙ වැන්නෙක් හෝ වෙයි, දෙදෙනකුන්හට තෙ වැන්නෙක් හෝ වෙයි තිදෙනකුන්හට සතරවැන්නෙක් හෝ වෙයි, එහිදී බොහෝ කොට හිස් බස් තෙපලයි: හේ මෙසේයි: රාජකථා චෞරකථා මහාමාත්‍ර (මහඇමැතියන් පිළිබඳ) කථා සේනා කථා භය කථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්තුකථා යානකථා ශයනකථා මාලාකථා ගන්‍ධකථා ඥාතිකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා
පුරුෂකථා ශුරකථා වීථි පිළිබඳ කථා දියතොට (හෝ කළ දැසියන් පිළිබඳ) කථා පූර්වප්‍රෙත (පෙර නෑයන් පිළිබඳ) කථා නානාස්වභාව (නිරර්‍ත්‍ථක) කථා ලෝකායත කථා සමුද්‍රාඛ්‍යාන කථා වෘද්ධි-හානි මෙසේ වේ යැ යන කථා කියයි. මෙසෙයින් ‘පුද්ගලදුතිය’ වේ නුයි ‘එවං දූතියෙන සභා මමස්ස’ යනු වේ.
වාචාභිලාපො අභිසජ්ජනා වා- ‘වාචාභිලාප’ යි දෙතිස් තිරිසන් කථා කියනු ලැබෙයි. හෙ මෙසේයි: රාජකථා යැ ... මෙසෙයින් වෘද්ධි-හානි වේ යැ යන කථා යි. අභිසජ්ජනා වා යනු: සඞ්ග දෙකෙකි: තෘෂ්ණාසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යි ... මේ තෘෂ්ණා සඞ්ග යැ...මේ දෘෂ්ටිසඞ්ග නුයි ‘වාචාභිලාපො අභිසජ්ජනා වා’ යනු වේ.
එතං භයං ආයති. පෙක්ඛමානො- ‘භය’ යනු; ජාතිය නිසා උපදනා බිය ජරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය මුහුදුරළ නිසා උපදනා බිය මස්කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දිය සුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා (සුසුකා) බිය දිවි පැවැතුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැතිගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය, තැති ගන්නා බව, ලොමුදහ ගැනීම, චිත්තයාගේ උද්වේගය, උත්‍රාස යි. එතං භයං ආයති. පෙක්ඛමානො යනු: තෙල බිය ආයති භවයෙහි බලමින් දැක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් විමසම්නි නුයි ‘එතං භයං ආයතිං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණ කප්පො’ යනු වේ.
එයින් වදාළහ එ පසේ බුදුහු:
“එවං දුතියෙන -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
විසිතුරු වූ මධුර වූ (බාලජනයන්ගේ) සිත් අලවන්නා වූ කාමයෝ විවිධස්වභාවයෙන් සිත අලළති. කාමගුණයෙහි ආදීනව දැක කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
කාමා හි චිත්‍රා මධුරා මනෝරමා- ‘කාමා’ යනු: උද්දාන විසින් කාමයෝ දෙදෙනෙකි: වස්තුකාම යැ ක්ලේශකාම යැ යි. මොහු ‘වස්තු කාමයෝ’යි කියනු ලැබෙති ... මොහු ‘ක්ලේශකාමයෝ’ යි කියනු ලැබෙත්. චිත්‍රා යනු: ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන්නා වූ ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ රාගෝත්පත්තියට කාරණ වූ නන්වැදෑරුම් වූ රූපයෝ යැ, ශබ්දයෝ යැ, ගන්‍ධයෝ යැ, රසයෝ යැ, ස්ප්‍රෂ්ටව්‍යයෝ යි.