එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“අසංහීරං අසංකුප්පං -පෙ- එවං මං ධාරෙහි අධිමුත්තචිත්තං” යි.
සොළොස් වැනි පිඞ්ගිය සූත්‍රාන්තය යි.
පරායණ වර්‍ගය නිමි.
ඛග්ගවිසාණ සූත්‍ර නිර්‍දෙශය
ප්‍රථම වර්‍ගය
1.
සියලු සතුන් කෙරෙහි කායවාක්මනොදණ්ඩය හැරපියා ඔවුනතුරෙහි කිසි එකකුදු නො වෙහෙසනුයේ කිසි පුතකු නො කැමැති වන්නේ යැ යහළුවකු ඉස්නේ යැ යනු කොයි නැ..? කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං - “සබ්බෙසු” යනු: සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිශ්ශේෂ කොට හාත්පසින් ගන්නා වචනයෙකි තෙල “සබ්බෙසු” යනු, භූතෙසු - තෘෂ්ණා සහිත සත්ත්‍වයෝ ද රහත්හු ද “භූතයෝ” යි කියනු ලැබෙත්. තසා යනු: යම් කෙනකුන්ගේ තසිනාව (පවස්) තෘෂ්ණාව ප්‍රහීණ නො වූද, යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්‍රාසයෝ ප්‍රහීණ නො වූවාහු ද ඔහු යැ. කවර කරුණින් “තසයෝ’යි කියනු ලැබෙත් ද යත්: ඔහු ත්‍රස්ත වෙති උත්ත්‍රස්ත වෙති පරිත්‍රස්ත වෙති භය වෙති සන්ත්‍රාසයට පැමිණෙති. එකරුණින් “තසයෝ”යි කියනු ලැබෙත්. ථාවරා යනු; යම් කෙනකුන්ගේ තසිනාව තණ්හාව ප්‍රහීණ වූ ද යම් කෙනකුන්ගේ වැළිත් චිත්තොත්‍රාසයෝ ප්‍රහීණ වූවාහුද ඔහු යැ. කවර කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත් ද යත්; ඔහු ත්‍රස්ත නො වෙති උත්ත්‍රස්ත නො වෙති පරිත්‍රස්ත නො වෙති බිය නො වෙති සන්ත්‍රාසයට නො පැමිණෙත්. එ කරුණින් ‘ථාවරයෝ’ යි කියනු ලැබෙත්. දණ්ඩං යනු; දණ්ඩයෝ තිදෙනෙකි: කායදණ්ඩ යැ වාග් දණ්ඩ යැ මනොදණ්ඩ යැ යි. ත්‍රිවිධ කායදුශ්චරිතය කාය දණ්ඩ නම, චතුර්විධ වාග්දුශ්චරිතය වාග්දණ්ඩ නම, ත්‍රිවිධ මනෝදුශ්චරිතය මනෝ දණ්ඩ නමි. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං යනු: සියලු සත්ත්‍වයන් කෙරෙහි දඬුවම් හැර පියා තබා බහාතබා දමා පියා බැහැර කොට සන්හිඳුවා නුයි “සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩා” යනු වේ.
අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං යනු: එකෙකි සතකුදු අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිරබැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ හැම සතුන් මැ අතින් හෝ කැටින් හෝ දඬින් හෝ සැතින් හෝ සිර බැඳුමින් හෝ රැහැනින් හෝ නො වෙහෙසනුයේ නුයි “අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං” යනු වේ.
න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං - “න” යනු: ප්‍රතික්‍ෂේප යැ. “පුත්තා” යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජ පුත්‍ර යැ දින්නකපුත්‍ර යැ අන්තේවාසික පුත්‍ර යැ යි. සහායං - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම ඊම පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද ශයනය පහසු ද ආලපනය පහසු ද සල්ලාපය පහසු ද උල්ලපනය (ඔසොවා කීම) පහසුද සමුල්ලපනය (හාත්පසින් ඔසොවා කීම) පහසු ද ඔහු යැ. න පුත්තමිච්ඡෙය්‍ය කුතො සහායං - යනු: පුතුදු නො කැමැති වන්නේ යැ ආස්වාද නො කරන්නේ යැ නො පතන්නේ යැ ඊප්සා නො කරන්නේ යැ තෘප්ති නූපදවන්නේ යැ. කවර හෙයින් මිත්‍රයකු හෝ සන්දෘෂ්ටයකු හෝ සම්භක්තයකු හෝ සහායයකු හෝ කැමැති වන්නේ ද ආස්වාද කරන්නේ ද ප්‍රාර්‍ත්‍ථනා කරන්නේ ද ඊප්සා කරන්නේ ද තෘප්ති උපදවන්නේ ද නුයි “න පුත්තමිච්ජෙය්‍ය කුතො සහායං” යනු වේ.
ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො - “ඒකෝ’ යනු: ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යයහ, අද්විතීයාර්ත්ථයෙන්අතුල්‍යයහ, තෘෂ්ණා ප්‍රහාණාර්ත්ථයෙන් අතුල්‍යයහ, ඒකාන්ත වීතරාග නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතදෝස නුයි අතුල්‍යයහ, ඒකාන්ත වීතමෝහ නුයි අතුල්‍යයහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, ඒකායනමාර්ගයට ගියාහු නුයි ඒකයහ, එකලා වැ ප්‍රත්‍යෙකසම්බොධිය අවබෝධ කළාහු නු යි ඒකයහ.
කිසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් “එක” වූහ යත්: ඒ පසේබුදුහු හැම ගෘහාවාස පරිරොධය සිඳපියා අඹුදරු ආවරණය සිඳපියා ඥාති පලිබොධය සිඳපියා සන්නිධිපරිරොධය සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳ ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති. වෙසෙති ඉරියවු පවත්වති වැටෙති රැකෙති යැපෙති පවත්වත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ප්‍රව්‍රජ්‍යා සංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් “එක” යහ.
කිසෙයින් ඒ පසේ බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” වූහ. යත්: උන්වහන්සේ මෙසෙයින් පැවිදි වූවාහු එකලා වැ අල්ප ශබ්ද වූ අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ වනයෙහි දුරු සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති, උන් වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬුසිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති, රැකෙති, යැපෙති, පවත්වත්. මෙසෙයින් බුදුහු අද්විතීයාර්ත්ථයෙන් “එක” යහ.
කිසෙයින් ඒ පසේ බුදුහු තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් “එක” වූහ යත්: මෙසෙයින් උන්වහන්සේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙයු සිත් ඇති වැ වසන්නාහු මහාප්‍රධන්වීර්‍ය්‍ය්‍ය කෙරෙමින් තෘෂ්ණාකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුචි නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධමනය කොට විසත්තිකා නම් වූ තෘෂ්ණා ජාලිනිය දුරු කළහ බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
1. තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂතෙම දිගුකලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
2. (අතීතාදි ස්කන්‍ධයන්හි) මෙසේ ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යි දැන පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ තෙම හැසිරෙන්නේ යැ” යි
මෙසේ ඒ පසේ බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ත්ථයෙන් එකයහ.
කිසෙයින් ඒ පසේ බුදුහු ඒකාන්ත චිතරාගනුයි ‘එක’වූහ. යත්: රාගය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතරාග නුයි. “එක” යහ, ද්වේෂය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි “එක” යහ, මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් පහ වූ මෝහය ඇත්තාහු නුයි ‘එක’යහ, ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි “එක” යහ.
කිසෙයින් ඒ පසේබුදුහු එකායන මාර්‍ගයට ගියාහුනුයි ‘එක’වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ, සතර ’සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර සෘද්ධිපාදයෝ යැ. පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ, යන මේ ‘එකායන මාර්‍ගය” යි කියනු ලැබේ.
3. ජාතික්‍ෂය සංඛ්‍යාත නිර්‍වාණය දක්නා සුලු වූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු ඒකායන මාර්‍ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු ය. තවද යම් කෙනෙක් (මතු) තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මෙ මඟින් තරණය කෙරෙත්. මෙසෙයින් ඒ පසේ බුදුහු ඒකායන මාර්‍ගයට ගියාහු නුයි ‘ඒක’යහ.
කිසෙයින් ඒ පසේබුදුහු එකලා වැ අනුත්තර වූ ප්‍රත්‍යෙක සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥාව ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ධර්මවිචයසම්බොධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය “බෝධි’ යයි කියනු ලැබේ. ඒ පසේ බුදුහු ඒ ප්‍රත්‍යෙක බෝධි ඥානයෙන් ‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි අවබෝධ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්ඛහ යි අවබෝධ කළහ, ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි අවබෝධ කළහ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතී දත්හ. සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වේ යැයි දත්හ, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වේ යැයි දත්හ. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැයි දත්හ. ෂඩායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වේ යැයි දත්හ. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වේදනාව වේ යැයි දත්හ. වේදනා ප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැයි දත්හ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වේ යැයි දත්හ. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වේ යැයි දත්හ. භව ප්‍රත්‍යයෙන් ජාතිය වේ යැයි දත්හ. ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැයි දත්හ. අවිද්‍යා නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ යැයි දත්හ. සංස්කාර නිරෝධයෙන් විඥාන නිරෝධය වේ යැයි දත්හ. විඥාන නිරෝධයෙන් නාමරූප නිරෝධය වේ යැයි දත්හ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ යැයි දත්හ. ෂඩායතන නිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ යැයි දත්හ. ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේ යැයි දත්හ. වෙදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ යැයි දත්හ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදානනිරෝධය වේ යැයි දත්හ. උපාදානනිරෝධයෙන් භව නිරෝධය වේ යැයි දත්හ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ යැයි දත්හ. ජාතිනිරෝධයෙන් ජරාමරණ නිරෝධය වේ යැයි දත්හ. ‘මේ (පඤ්ච ස්කන්‍ධය) දුකැ’යි දත්හ. ‘මේ (තෘෂ්ණා සමුදය) දුක්හේතුව යැ” යි දත්හ. ‘මේ (තෘෂ්ණා නිරෝධය) දුක් නැසීම යැ” යි දත්හ. ‘මේ (ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය) දුක් නැසීමට පමුණුවන පිළිවෙතැ” යි දත්හ. “මේ ධර්‍මයෝ දතයුත්තාහ” යි දත්හ. ‘මේ ධර්‍මයෝ හළ යුත්තාහ” යි දත්හ. ‘මේ ධර්‍මයෝ ප්‍රත්‍යක්‍ෂ කළ යුත්තාහ” යි දත්හ. ‘මේ ධර්‍මයෝ වැඩිය යුත්තාහ” යි දත්හ. සවැදෑරුම් ස්පර්‍ශායතනයන්ගේ පහළ වීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ පහළ වීම ද . . . නිස්සරණය ද දත්හ. සතර මහාභූතයන්ගේ පහළ වීම ද නැසීම ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද දත්හ. යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නැසෙන පියවි ඇතැ” යි දත්හ.
නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවැත නැවැත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළ යුතු නම්, නුවණින් ස්පර්‍ශ කළ යුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළ යුතුනම්, එහැම ඒ ප්‍රත්‍යෙක බොධිඥානයෙන් දත්හ, අනුබෝධ කළහ, ප්‍රතිබොධ කළහ, වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළාහු නුයි මෙසෙයින් ඒ පසේබුදුහු එකලා වැ අනුත්තර වූ ප්‍රත්‍යෙක සම්බෝධිය අභිසම්බුද්ධ නුයි “එක” නම් වූහ.
චරෙ යනු: චර්‍ය්‍යා අටෙකි: ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යැ ආයතනචර්‍ය්‍යා යැ ස්මෘතිචර්‍ය්‍යා යැ සමාධිචර්‍ය්‍යා යැ ඥානචර්‍ය්‍යා යැ මාර්ගචර්‍ය්‍යා යැ එලචර්‍ය්‍යා යැ ලොකාර්ත්ථචර්‍ය්‍යා යි. “ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යා යනු සතර ඉරියවුහි යැ. ‘ආයතන චර්‍ය්‍යා’යනු සවැදෑරුම් ආධ්‍යාත්මික බාහිර ආයතනයන්හි යැ. ‘ස්මෘතිචර්‍ය්‍යා’යනු සතර සතිපට්ඨානයන්හි යැ. “සමාධිචර්‍ය්‍යා’යනු සතර ධ්‍යානයන්හි යැ. ‘ඥානචර්‍ය්‍යා’යනු සතර ආර්‍ය සත්‍යයන්හි යැ. “මාර්‍ග චර්‍ය්‍යා’යනු සතර ආර්යමාර්ගයන්හි යැ. ‘පත්තිචරියා’යනු සතර ශ්‍රාමාණ්‍ය ඵලයෙහි යැ. ‘ලොකාර්ත්ථචර්‍ය්‍යා’යනු තථාගත අර්‍හත් ’සම්‍යක් සම්බුද්ධයන් කෙරෙහියැ, එකදේශයෙක්හි පසේබුදුන් කෙරෙහි යැ, එකදේශයෙක්හි ශ්‍රාවකයන් කෙරෙහි යැ. ප්‍රණිධිසම්පන්නයන්ට ඊර්‍ය්‍යාපථචර්‍ය්‍යාව ද, ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරයනට ආයතනචර්‍ය්‍යා ද, අප්‍රමාද විහාරීන්ට ස්මෘතිචර්‍ය්‍යා ද, අධිචිත්තයෙහි යෙදුණවුනට සමාධිචර්‍ය්‍යා ද, බුද්ධිසම්පන්නයනට ඥානචර්‍ය්‍යා ද, සම්‍යක්ප්‍රතිපන්නයනුට මාර්ගචර්‍ය්‍යා ද, අධිගම කළ එල ඇතියනට ඵලචර්‍ය්‍යා ද, තථාගත අර්‍හත් ’සම්‍යක් සම්බුද්ධයනට, එකදෙශයෙක්හි ප්‍රත්‍යෙක බුද්ධයනට, එකදෙශයෙක්හි ශ්‍රාවකයනට ලොකාර්ත්ථචර්‍ය්‍යාව දැ යි මේ අට වැදෑරුම් චර්‍ය්‍යාවෝ වෙති.
අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: අධිමෝක්‍ෂ කරනුයේ ශ්‍රද්ධා වශයෙන් පවතියි, ප්‍රග්‍රහ කරනුයේ වීර්‍ය්‍ය වශයෙන් පවතියි, (අරමුණෙහි) සිහි එළවා තබනුයේ ස්මෘති වශයෙන් පවතියි, අවික්‍ෂේපය කරනුයේ සමාධි වශයෙන් පවතියි, ප්‍රජානනය කරනුයේ ප්‍රඥාවශයෙන් පවතියි, විජානනය (ආවර්ජනවිඥානයෙන් අරමුණු දැනීම) කරනුයේ විඥාන වශයෙන් පවතියි. මෙසෙයින් පිළිපන්හු ගේ කුශල ධර්‍මයෝ අතිශයින් පවතිත් නුයි ආයතන චර්‍ය්‍යා වශයෙන් පවතියි. මෙසෙයින් පිළිපන්නේ විශේෂයට පැමිණේ නුයි විශේෂචර්‍ය්‍යා වශයෙන් පවතී. මොහු අෂ්ටචර්‍ය්‍යාවෝවෙති.
අන්‍ය වූ ද චර්‍ය්‍යා අටෙකි: සම්‍යග්දෘෂ්ටියගේ දර්‍ශන වශයෙන් පැවැත්ම ද සම්‍යක් සංකල්පයාගේ අභිනිරෝපණ වශයෙන් පැවැත්ම ද සම්‍යග්වචනයාගේ පරිග්‍රහ වශයෙන් පැවැත්ම ද සම්‍යක් කර්මාන්තයාගේ සමුත්‍ථාන වශයෙන් පැවැත්ම ද සම්‍යගාජීවයාගේ ව්‍යවදාන වශයෙන් පැවැත්ම ද සම්‍යග් ව්‍යායාමයාගේ ප්‍රග්‍රහ වශයෙන් පැවැත් ම ද, සම්‍යක් ස්මෘතිය ගේ වැටහීම් වශයෙන් පැවැත්ම ද සම්‍යක් සමාධීහු ගේ අවික්‍ෂේප වශයෙන් පැවැත් ම ද යන මොහු අෂ්ටචර්‍ය්‍යාවෝ යි.
ඛග්ගවිසාණකප්පො යනු; යම් සේ කගවෙහෙණ හට එක් හඟෙක් වේ ද දෙ වැන්නෙක් නැත්තේ ද, එසෙයින් මැ ඒ පසේ බුදුහු එ බන්දහ, තත්සදෘශයහ, තත්ප්‍රතිභාගයහ. යම්සේ ඉතා ලුණු වූයේ ‘ලවණකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා තික්ත වූයේ ‘තිත්තකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා මිහිරි වූයේ ‘මධුරකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා උණු වූයේ ‘අග්නිකල්ප’ යයි කියනු ලැබේ ද, ඉතා සිහිල් වූයේ ‘හිමකල්ප’ යයි කියනු ලැබේ ද, මහදියකඳ ‘සමුද්‍රකල්ප’ යයි කියනු ලැබේ ද, මහා අභිඥාප්‍රාප්ත ශ්‍රාවක තෙම ‘ශාස්තෘ කල්ප’ යයි කියනු ලැබේද, එසෙයින් මැ ඒ පසේ බුදුහු, එ බන්දහ. තත්සදෘශයහ, තත්ප්‍රතිභාගයහ. එකලා වූවාහු දෙවැන්නකු නැත්තාහු මිදුණු බැඳුම් ඇතියාහු මැනැවින් ලොවැ හැසිරෙති වෙසෙති ඉරියවු පවත්වති රැකෙති පාලනය කෙරෙති යැපෙති යාපනය කෙරෙත් නුයි ‘ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. එ පසේ බුදුහු:
“සබ්බෙසු භූතෙසු -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
2.
හටගත් (දර්ශනාදි) සංසර්‍ග ඇතියහු ට ස්නෙහයෝ වෙති, ස්නේහය අනුව යන මෙ දුක උපදි, ස්නේහයෙන් උපන් ආදීනව දක්මින් කගවෙහෙණක සෙයින් එකලා වැ හැසිරෙන්නේ යි.
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා - ‘සංසග්ගා’යනු: දර්‍ශන සංසර්‍ගය ද ශ්‍රවණ සංසර්‍ගය දැ යි සංසර්‍ග දෙකෙකි. දර්‍ශන සංසර්‍ග කවරැ යත්: මෙ ලොවැ ඇතැමෙක් විශිෂ්ට රූ ඇති දැකුම්කලු ප්‍රසාද එළවන උතුම් වූ වර්ණසෞන්දර්ර්‍ය්‍යයෙන් සමන්‍වාගත වූ ස්ත්‍රියක හෝ කුමරියක හෝ දකියි. දැක බලා ‘කෙස් හොබනේ යැ හෝ මුහුණ හොබනේ යැ හෝ ඇස් හොබනේ යැ හෝ කන් හොබනේ යැ හෝ නැහැය හොබනේයැ හෝ ලවන් හොබනේ යැ හෝ දත් හොබනේ යැ හෝ මුඛය හොබනේ යැ හෝ ගෙල හොබනේ යැ හෝ පියවුරු හොබනේ යැ හෝ උරමඬල හොබනේ යැ හෝ උදරය හොබනේ යැ හෝ කටිය හොබනේ යැ හෝ වටොර හොබනේ යැ හෝ දඟයුග හොබනේ යැ හෝ අත් හොබනේ යැ හෝ පා හොබනේ යැ හෝ ඇඟිලි හොබනේ යැ හෝ නිය හොබනේ යැ හෝ ‘යි අනුව්‍යඤ්ජන විසින් නිමිති ගනියි දැක බලා සතුටු වෙයි තුටුවදන් බෙණෙයි පතයි සිහි කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ දර්‍ශන සංසර්‍ග නම.
ශ්‍රවණසංසර්ග කවරැයත්: මෙලොවැ ඇතැමෙක් අසුවල් ගමැ හෝ නියම්ගමැ හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ විශිෂ්ට රූ ඇත්තී යැ දැකුම් කලු යැ ප්‍රසාද එළවන්නී යැ. උතුම් වර්‍ණ සෞන්දර්යයෙන් සමන්‍වාගත යැ” යි අසයි. අසා අසාලා සතුටු වෙයි සතුටු වදන් බෙණෙයි ප්‍රාර්‍ත්‍ථනා කෙරෙයි අනුව්‍යඤ්ජන අල්වා ගනී. ස්නෙහ බන්‍ධනයෙන් බැඳේ. මේ ශ්‍රවණසංසර්ග නමි.
ස්නෙහා යනු ස්නෙහ දෙකෙකි: තෘෂ්ණා ස්නේහය ද දෘෂ්ටිස්නේහය දැ යි. තෘෂ්ණා ස්නේහය කවරැයත්: යම් පමණ තෘෂ්ණා සංඛ්‍යාතයෙන් ‘මේ මාගේ යැ, තෙල මා ගේ යැ. මෙතෙක් මාගේ යැ, මෙතෙකින් මාගේ යැ‘යි හිම් කරන ලද ද, මර්‍ය්‍යාදා කරන ලද ද, අවධිකරන ලද ද, පිරියත් කරන ලද ද, පිරිසිඳගන්නා ලද ද, මමායන කරන ලද ද, රූපයෝ ශබ්දයෝ ගන්‍ධයෝ රසයෝ ස්ප්‍රෂ්ටව්‍යයෝ අතුරුණු පවුරුණු දැසිදස්හු එළුතිරෙළු කුකුළු හූරු ඇත් අස් ගව වෙළඹහු කෙත් වතු අමුරන් රත්රන් ගම්නියම්ගම් රජදහන් රට දනවු කොටු කොටුගුළු මුළුමහපොළොව පවා තෘෂ්ණා වශයෙන් මමායන කෙරේ ද යම් පමණ අටතුරාසියක් තෘෂ්ණා විචරිත වේ ද, මේ තෘෂ්ණා ස්නෙහ නම.
දෘෂ්ටිස්නෙහ කවරැ යත්: විංශද්වස්තුක සත්කායදෘෂ්ටි යැ, දශවස්තුක මිථ්‍යාදෘෂ්ටි යැ දශවස්තුක අන්තග්‍රහාහිකදෘෂ්ටි යැ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්ඵන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (අරමුණ දැඩි වැ ගන්නා) ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් අයථාමාර්ගයෙක් මිථ්‍යාභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාස ග්‍රහණයෙක් විපරීතග්‍රහණයෙක් පෙරළි කොට ගැනීමෙක් මිථ්‍යාග්‍රහණයෙක් අයථාස්වභාවයෙහි යථා ස්වභාව යයි ගැනීමෙක් යම් පමණ දෙසැට දෘෂ්ටියෙහි ඇතුළු කෙනෙක් වෙත්ද මේ ‘දෘෂ්ටිස්නේහ’නමි.
සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා යනු: දර්‍ශන සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු ශ්‍රවණ සංසර්‍ග ප්‍රත්‍යයෙනුදු, තෘෂ්ණාස්නේහයත් දෘෂ්ටි ස්නේහයත් වෙයි උපදියි හට ගනියි මැනැවින් හටගනියි නිපදියි වෙසෙසින් නිපදියි පහළ වේනු නුයි ‘සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා’යනු වේ.
ස්නෙහත්‍වයං දුක්ඛමිදා පහෝති - ‘ස්නෙහා’යනු: තෘෂ්ණාස්නෙහය ද දෘෂ්ටි ස්නේහය දැ යි ස්නෙහ දෙකකි. . . . මේ තෘෂ්ණා ස්නෙහ යැ. . . මේ දෘෂ්ටි ස්නෙහයි. දුක්ඛමිදං පහෝති යනු: මෙලොවැ ඇතැමෙක් කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. ප්‍රාණවධ ද කෙරෙයි, අදත්තාදාන ද කෙරෙයි, ගෘහසන්‍ධි ද සිඳියි. ගමුදු වොලොගනියි. එක් ගෙයක් පැහැරීමුදු කෙරෙයි.
කඩපළා සොරකමුදු කෙරෙයි, විරඹුසොරකමුදු කෙරෙයි මුසවා ද බෙණෙයි. ඔහු ගෙන දේවයෙනි, ‘මේ අපරාධකාරී සොරෙක’මොහුට කැමැති දඩයක් පණවනු මැනැවැ’යි රජහට දක්වති. රජ ඔහුට පරිභව බෙණෙයි. හෙතෙම පරිභව බිණීම් ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳියි. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්‍දිරාග ප්‍රත්‍යයෙනුදු උපන. රජ මෙතෙකිනුදු තුටු නො වෙයි.
රජ ඔහු සිරබැඳුමින් හෝ රැහැන්බැඳුමින් හෝ හැකිලිබැඳුමින් හෝ වේවැල්බැඳුමින් හෝ ලියබැඳුමින් හෝ සිපිරිගෙ බැඳුමින් හෝ පිරිකෙව්බැඳුමින් හෝ ගම්බැඳුමින් හෝ නියම්ගම් බැඳුමින් හෝ නුවර බැඳුමින් හෝ රටබැඳුමින් හෝ දනවුබැඳුමින් හෝ බඳවයි. යටත් පිරිසෙයින් ‘තා මෙයින් බැහැර යන්නට නො ලැබේ’යයි සවචනීයකමුදු කෙරේ. හෙතෙම බන්ධනප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. මෙතෙකිනුදු රජ තුටු නො වෙයි
රජ ඔහු ලවා සියක් හෝ දහසක් හෝ සුවහසක් හෝ ඔහුගේ ධනය ගෙන්වයි. හෙතෙම ධනහානි ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳියි, තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපන යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. මෙතෙකිනුදු රජ තුටු නො වෙයි.
රජ උහුගෙනවිවිධ කම්කටොලු කරවයි: (රාජපුරුෂ) කසයෙනුදු තළයි, වේවැලිනුදු තළයි, අඩදඬියෙනුදු තළයි, අත් ද සිඳියි පා ද සිඳියි, අත් පා ද සිඳියි, කනුදු සිඳියි, නැහැය ද සිඳියි, කන්නාසාද සිඳියි, කාඩිසැළි කම්කටොලුදු කෙරෙයි, සක්මුඩු කම්කටොලුදු කෙරෙයි, රාහුමුඛ කම්කටොලුදු කෙරෙයි, ගිනිවළලු කම්කටොලුදු කෙරෙයි, අත් දල්වන කම්කටොලුදු කෙරෙයි, එරුවත් කම්කටොලුදු කෙරෙයි, තිහිරිවත් කම්කටොලුදු කෙරෙයි, එණෙය්‍යක කම්කටොලු දු කෙරෙයි, බිලියෙන් මස් සිඳුනා කම්කටොලු දු කෙරෙයි, කහාපණික කම්කටොලුදු කෙරෙයි, කොස්සෙන් කාරම් ගල්වන කම්කටොලුදු කෙරෙයි, පරිඝපරිවර්තන කම්කටොලුදු කෙරෙයි, පිදුරුපිටු කම්කටොලුදු කෙරෙයි, කකාළ තෙලුදු ඉසියි. ශුනකයන් (කීණබල්ලන්) ලවා ද කවයි, දිවස්නුලැ ද හිඳුවයි, කඩුවෙනුදු හිස සිඳියි, හෙතෙම කම්කටොලු ප්‍රත්‍යයෙනුදු දුක් දොම්නස් විඳී. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපන යත්; ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. රජ මේ සිව් වැදෑරුම් දඬුවමට ඊශ්වරයැ.
හේ සියකැමින් කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නරකයෙහි උපදී. නිරෑ-පල්ලෝ ඔහු ගෙන පඤ්චවිධ බන්‍ධන නම් වූ කම්කටොලු කරවති: රත් වූ යහුලක් අත්හි ප්‍රවේශ කරවති, රත් වූ යහුලක් දෙ වැනි අත්හි ප්‍රවේශ කරවති, රත් වූ යහුලක් පයැ පිවිසවති, රත් වූ යහුලක් දෙවැනි පයැ පිවිසවති, රත් වූ යහුලක් උරමැද පිවිසවති. හෙතෙම එහි තීව්‍ර වූ ක්‍රෑර වූ කටුක වූ දුක්වේදනා විඳියි. ඒ පව්කම් විගතාන්ත නො වන තාක් නො ද කලුරිය කෙරේ. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපන යත්: ස්නේහ ප්‍රත්‍යයෙනුදු නන්දි ප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන.
නිරයපාලයෝඋහු හොවා පොරොවින් සස්ති, නිරයපාලයෝ උහු පා උඩුහුරුකොට හිස යටිහුරුකොට ගෙනවෑයෙන් සස්ති, නිරයපාලයෝ උහු රියෙහි යොදා හාත්පසින් දැල්වෙන අතිශයින් දිලියෙන ගිනිදැල් සහිත වූ පොළොව්හි ඉදිරියට ඇවිදුවන්නාහු ද නවතන්නාහු ද වෙත්. පව්කම් කළ උහු යමපල්හු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිත වූ මහත් අංගාර පර්‍වතයට නංවති, බස්වන්නාහු ද වෙත්. පව්කම් කළ උහු යමපල්හු ඌර්‍ධවපාද අධඃශීර්‍ෂ කොට ගෙන තප්ත වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ජ්වාලා සහිතවූ ලොහකුම්හියෙහි බහා ලත්. හේ එහි පෙණපිඬු බඳු දේහ ඇති වැ පැසෙයි. හේ එහි පෙණපිඬු බඳු දේහ ඇති වැ පස්නේ වරක් උඩට ද නැගෙයි. වරක් යටට ද බසියි. වරක් සරසට ද යේ. හේ එහි තියුණු වූ රළු වූ කටුක වූ දුක් වේදනා විඳි. යම් තාක් ඒ පව්කම් නො ගෙවේ නම්, ඒ තාක් නො ද මියෙයි. තෙල බිය දුක් දොම්නස් උහුට කොයින් උපනැ යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්‍දිරාග ප්‍රත්‍යයෙනුදු උපන. පව්කම් කළ ඔහු යමපල්හු මහානිරයෙහි බහාලත්. ඒ මහානිරය වූ කලි:
1. (ඒ මහානිරය) සතරකන් ඇත්තේ යැ, සතර දොර යැ, වෙන වෙන මැ කොටස් වශයෙන් බෙදන ලද, යපවුරින් පරික්‍ෂිප්ත යැ, යපියනින් වසන ලද.
2. ඒ මහනිරෑහි යපොළොව ජ්වලිත වූවා තේජසින් යුක්ත යැ, හාත්පසැ සියක් යොදුන් තැනැ සියලු කල්හි පැතිරැ සිටී.
3. (ඒ අෂ්ටමහානරකයෝ) නිරතුරු තවන්නාහු ඝෝර වූවාහු (කල්පස්ථායී) ගිනිසිළු ඇත්තාහු ළං වියැ නො හැක්කාහු ලොමුදහන පියවි ඇත්තාහු බිහිසුණු වූවාහු බිය උපදවන්නාහු දුක් වූවාහු ද වෙත්.
4. පෙරදිගැ බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් (ගොස්) පැසුළු බිතැ වැදෙයි.
5. පැසුළු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් පෙරදිගැ බිතැ වැදෙයි.
6. උතුරු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් දකුණු බිතැ වැදෙයි.
7. දකුණු බිතින් නැඟුණු ගිනිකඳ පව්කම් කළවුන් දවමින් ගොස් උතුරු බිතැ වැදෙයි.
8. යට පොළොවිනුදු බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළවුන් දවමින් ගොස් ඡදනයෙහි (සියන්හි) පැහැරැ සිටී.
9. ඡදනයෙන් බිය එළවන ගිනිකඳ නැඟී පව්කම් කළ සත්ත්‍වයන් දවමින් ගොස් බිමැ පැහැර සිටී.
10. අවීචිනරකය උඩ යට බලනුවහුට හාත්පසින් දිලියෙන අතිශයින් තැවුණු දැල්වුණු යකබලක් මෙනි.
11. එහි මහද්රෞද්‍ර වූ මහ දරුණුකම් කරන සුලු වූ අතිශයින් පව්කම් ඇති සත්ත්‍වයෝ පැසෙති, නො ද මියෙත්.
12. ඒ නිරැවැසියන්ගේ කය ගිනි වැන්න, කර්‍මයන්ගේ දැඩි සේ බල, හළු නො වෙයි, දැලි නො ද වේ.
13. (කිසි කලෙක පූර්‍වද්වාරය, විවර වූ කල්හි) එ දිගට ද දිවෙති, යළි පශ්චිමද්වාරයට ද දිවෙති, උත්තරද්වාරයට ද දිවෙති, යළි දක්ෂිණද්වාරයට ද දිවෙත්.
14. යම් යම් දිශාවකට වේගයෙන් දිවෙත් නම්, (සම්ප්‍රාප්ත කල්හි) ඒ ඒ ද්වාරය වැසෙයි. නික්මැ යන ආශා ඇති ඒ නිරිසත්හු මිදෙන උපාය සොයන්නාහු වෙත්.
15. කර්‍ම හේතුයෙන් ඔහු එයින් නික්මෙන්නට නො ලැබෙති. යම් හෙයකින් ඔවුන් විසින් නො පැසුණු විපාක ඇති පාපකර්‍මය බොහෝ කොට කරන ලද ද එහෙයිනි.
තෙල බිය දුක් දොම්නස් ඔහුට කොයින් උපනැ යත්: ස්නෙහ ප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු උපන. යම් නිරය දුකක් තිරිසන්යොන්හි යම් දුකක් ප්‍රේතවිෂයෙහි යම් දුකක් මිනිසත් බැව්හි යම් දුකකුත් වෙත් නම්, එ දුක් කොයින් උපන්නාහු ද කොයින් හටගත්තාහු ද කොයින් නිපන්නාහු ද කොයින් වෙසෙසින් නිපන්නාහු ද කොයින් පහළ වූවාහු ද යත්: ස්නෙහප්‍රත්‍යයෙනුදු නන්දිප්‍රත්‍යයෙනුදු රාගප්‍රත්‍යයෙනුදු නන්දිරාගප්‍රත්‍යයෙනුදු වෙති උපදිති හටගනිති සඤ්ජාත වෙති නිපදිති වෙසෙසින් නිපදිති පහළ වෙත් නුයි ‘ස්නෙහන්වයං දුක්ඛමිදං පහෝති’යනු වේ.
ආදීනව, ස්නෙහජං පෙක්ඛමානො - ‘ස්නෙහො’යනු: තෘෂ්ණා ස්නෙහ ද දෘෂ්ටිස්නෙහ දැ යි ස්නෙහ දෙකෙකි. . . මේ තෘෂ්ණා ස්නෙහ යැ . . . මේ දෘෂ්ටි ස්නෙහ යි. ආදිනවං ස්නෙහජං පෙක්ඛමානො යනු: ස්නේහයෙන් උපන් ආදීනව ප්‍රෙක්ෂණය කෙරෙමින් දක්මින් බලමින් සිතමින් විමසම්නි නුයි ‘ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“සංසග්ගජාතස්ස -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
3.
සුහද මිතුරනට අනුකම්පා කරන පිළිබැඳි සිත් ඇත්තේ අර්‍ත්‍ථය නසාලයි. සන්‍ථවයෙහි තෙල භය දක්නේ කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං පටිබද්ධචිත්තො - ‘මිත්තා’යනු: ආගාරික මිත්‍ර ද ප්‍රව්‍රජිත මිත්‍ර දැ යි මිත්‍රයෝ දෙදෙනෙකි. ආගාරිකමිත්‍ර කවරැ යත්: මෙලොවැ ඇතැමෙක් නො දිය හැක්ක දෙයි, නො හළ හැක්ක හරියි, නො කළ හැක්ක කරයි, නො ඉවසිය හැක්ක ඉවසයි, තමාගේ සැඟැවිය යුත්ත ඔහුට කියයි, ඔහුගේ ගෝපනය කළ යුත්ත ගෝපනය කෙරෙයි, ආපදාවන්හි නො හරියි, ඔහු පිණිස ජීවිත පරිත්‍යාග ද කෙරෙයි. පිරිහුණු කල්හි අවමන් නො කෙරේ, මේ අගාරික මිත්‍ර යැ. ප්‍රව්‍රජිතමිත්‍ර කවරැ යත්: මෙ සස්නෙහි මහණ ප්‍රිය වූයේත් මනවඩන්නේත් ගුරු වූයේ ත් සම්භාවනාර්හ වූයේ ත් වක්තෘ වූයේ ත් මෙරමා වදන් ඉවසනුයේ ත් ගැඹුරු කථා කියන්නේ ත් වෙයි, නො ද අස්ථානයෙහි යොදයි. අධිශීලයෙහි සමාදන් කරවයි, සතර සතිපට්ඨානයන්ගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි, සතර සම්‍යක් ප්‍රධානයන්ගේ... සතර ඍද්ධිපාදයන්ගේ... පඤ්චේන්ද්‍රියන්ගේ-පඤ්චබලයන්ගේ සප්තබෝධ්‍යඞ්ගයන්ගේ - ආර්‍ය අෂ්ටාකාංගික මාර්‍ගයාගේ භාවනානුයෝගයෙහි සමාදන් කරවයි. මේ ප්‍රව්‍රජිතමිත්‍ර යි. යම් කෙනකුන් ‘හා සමග ඊම පහසු ද යෑම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලාපය පහසු ද සල්ලාපය පහසු ද උසස් කොට බිණීම පහසු ද පුනපුනා උසස් කොට බිණීම පහසු ද ඔහු ‘සුහදයෝ” යි කියනු ලැබෙත්.
මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං යනු: මිත්‍රයනට ද සුහදයනට ද සන්දෘෂ්ට (දුටු විසැඹි) යනට ද සම්භක්ත (දළවිසගැඹි) යනට ද යහළුවනට ද අනුකම්පා කරනුයේ බලනුයේ අනුග්‍රහ කරනුයේ ආත්මාර්‍ත්‍ථය ද පරාර්‍ත්‍ථය ද උභයාර්‍ත්‍ථය ද නසයි, ඓහිකාර්ථය ද නසයි, පාරත්‍රිකාර්ථය ද නසයි, පරමාර්ථාර්ත්ථය ද නසයි, වෙසෙසින් නසයි, පිරිහෙළයි, විද්ධංසන කෙරෙයි, දුරු කෙරෙයි, අතුරුදහන් කෙරේ නුයි ‘මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්‍ථං’යනු වේ. පටිබද්ධචිත්තො යනු: දෙ කරුණෙකින් පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වෙයි. තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබන්නේ හෝ පිළිබැඳිසිත් ඇත්තේ වේ. කිසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබන්නේ පිළිබැඳි සිත් ඇත්තේ වේ ද යත්: තෙපි මට බොහෝ උපකාර ඇතියවු, මම් තොප නිසා සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබමි, අන්‍ය වූ යම් කෙනෙකුත් මට දෙන්නට හෝ කරන්නට සිතත් නම් තොප නිසා යැ තොප මුහුණ බලමිනි,- මාගේ මාපියන් සතු යම් පැරණි නම්ගොතෙකුත් වී නම් එ ද අතුරුදහන් වී යැ, තොප කරණ කොට මම් ‘අසෝ තැනැත්තහු ගේ කුලුපග යැ අසෝ තැනැත්තියගේ කුලුපග යැ, යි ප්‍රකට වෙමි. මෙසෙයින් තමා පහත් කොට තබමින් මෙරමා උසස් කොට තබනුයේ පිළිබැඳි සිත් ඇත්තේ වෙයි.
කිසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ ද යත්: මම් තොපට බොහෝ උපකාර ඇත්තෙමි. තෙපි මා කරා පැමිණ බුදුන් සරණ කොට ගියවු යැ, දහම් සරණ කොට ගිය වූ යැ, සඟුන් සරණ කොට ගියවු යැ, ප්‍රාණවධයෙන් වැළකුණ වු යැ, අදත්තාදානයෙන් වැළකුණවූ යැ, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණු යැ, මුසවායෙන් වැළකුණ වු යැ, මදයට හා ප්‍රමාදයට හා කරුණු වූ රහමෙරින් වැළකුණ වු යැ. මම් තොපට උදෙස් දෙමි, පරිපෘච්ඡා දෙමි, පෙහෙවස් කියමි, නවකම් ඉටමි, එතෙකුදුවත් තෙපි මා හැරපියා අනුනට සත්කාර කරවු, ගරුකාර කරවු, මානන කරවු, පූජන කරවු යයි මෙසෙයින් තමා උසස් කොට තබමින් මෙරමා පහත් කොට තබනුයේ පිළිබැඳිසිත් ඇත්තේ වේ නුයි. ‘හාපෙති අත්‍ථං පටිබද්ධචිත්තො’ යනු වේ.
එතං භයං සන්ථවෙ පෙක්ඛමානො - ‘භයං’යනු: ජාතිය නිසා උපදනා බිය පරාභය ව්‍යාධිභය මරණභය රාජභය චෞරභය අග්නිභය උදකභය තමා නුගුණ කීමෙන් උපදනා බිය මෙරමා නුගුණ කීමෙන් උපදනා බිය දඬුවමින් උපදනා බිය දුගතිය නිසා උපදනා බිය. මුහුදු රළ නිසා උපදනා බිය මස් කැලන්ගෙන් උපදනා (හෝ කිඹුල්) බිය දියසුළි නිසා උපදනා බිය සැඩමසුන් නිසා උපදනා බිය දිවි වැටුම් හෙයින් උපදනා බිය ගර්හාවෙන් උපදනා බිය පිරිස්හි තැති ගැනීමෙන් වන බිය කාමයෙන් වන බිය භයාකාරය තැතිගන්නා බව ලොමුදහ ගැන්ම චිත්තයාගේ උද්වේගය උත්‍රාසය යි. සන්ථවෙ යනු: තෘෂ්ණා සන්‍ථව ද දෘෂ්ටිසන්ථව දැ යි සන්‍ථව දෙකෙකි. . . . මේ තෘෂ්ණාසන්ථව යැ . . . මේ දෘෂ්ටිසන්ථව යි. එතං භයං සන්ථවෙ පෙක්ඛමානො යනු: තෙල බිය සන්‍ථවයෙහි බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් සිතමින් විමසම්නි නුයි ‘එතං භයං සන්ථවෙ පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“මිත්තෙ සුහජ්ජේ -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
4.
අඹුදරුවන් කෙරෙහි වූ යම් අපේක්‍ෂාවක් ඇද්ද එය හුණ ළහැබෙකැ හිවීගිය මහහුණගසෙක් වැන්න, මම් එහි නො ලැගෙන හුණ කිළිලක්සෙයින් කගවෙහෙණහඟක් බඳු වැ එකලා වැ සරනෙම්.
වංසො විසාලො‘ව යථා විසත්තො - ‘වංසො’ යි හුණලැහැබ කියනු ලැබෙයි. යම් සේ හුණ ලැහැබෙහි පැරැණි හුණගස් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පලිබුද්ධ වේද, එසෙයින් මැ, තෘෂ්ණාව ‘විසත්තිකා’යි කියනු ලැබේ. යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් ඉච්ඡාවක් මූර්ඡායෙක් අධ්‍යාවසානයෙක් ගෙධයෙක් පළිගේධයෙක් සංගයෙක් පංකයෙක් එජායෙක් (වඤ්චනාර්ත්ථයෙන්) මායාවක් (සත්ත්‍වයන් උපදවන) ජනිකායේක් සඤ්ජනනියක් (හිවන අර්‍ත්‍ථයෙන්) සිබ්බනියක් ජාලිනියක් (සරිත් සදෘශ වැ ආකර්‍ෂණ කරන හෙයින්) නදියක් වෙසෙසින් ඇලීමෙක් (බඳනා හෙයින්) හුයෙක් (විස්තෘත වන හෙයින්) විසතායෙක් ආයුහනියෙක් (සහාය වන හෙයින්) ද්විතීයායෙක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් (සමුත්ථාපන-ගහන හෙයින්) වනයෙක් (බලවත් භාවයෙන්) වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්ෂායෙක් ප්‍රතිබන්‍ධුයෙක් ආශායෙක් අශංසනයෙක් ආශංසාකළ බවෙක් රූපාශායෙක් ශබ්දාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධානශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් (ජල්පන කරනහෙයින්) ජලිපායෙක් ප්‍රජල්පායෙක් අභිජල්පායෙක් ජල්පනයෙක් ජල්පිත බවෙක් ලෝලුප බවෙක් ලොලුපාකාරයෙක් ලෝලුපායිත බවෙක් නඟුට සලන බවෙක් මධුර අරමුණු කැමැති වන බවෙක් අධර්‍මරාගයෙක් විෂමලෝභයෙක් නිකාන්තියෙක් නිකාමනයෙක් ප්‍රාර්‍ත්‍ථනායෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක්
අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් ශබ්දතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍ය තෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් (කුසල් දහම් වසන හෙයින්) ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලෙශයෙක් අනුශයයෙක් (උපදනා කුශලවාරය ගන්නා) පරියුට්ඨානයෙක් (හාත්පසින් වෙළන හෙයින්) ලතායෙක් (විවිධ වස්තු කැමැති වන හෙයින්) විවිධ විප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාර පාශයෙක් මාරබඩිශයෙක් මාර විෂයයෙක් තෘෂ්ණානදියක් තෘෂ්ණාසංඛ්‍යාත ජාලයෙක් තෘෂ්ණා සංඛ්‍යාත ගර්දුලයෙක් (ශුනක බන්‍ධනයෙක්) තෘෂ්ණා සමුද්‍රයෙක් අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ නම් එය යි.
විසත්තිකා යනු: කවර අරුතෙකින් (තෘෂ්ණාව) විසත්තිකා නම්වූ ද යත්: විශාල වන හෙයින් විසත්තිකා යැ, විසෘත වන හෙයින් විසත්තිකා යැ, විස්තෘත වන හෙයින් විසත්තිකා යැ, විශේෂයෙන් සහ්‍ය (සහනය කළ හැකි) වන හෙයින් විසත්තිකා යැ, වෙසෙසින් සිත හකුළුවන හෙයින් හෝ දුඃඛවිෂය එළවන හෙයින් විසත්තිකා යැ, (අනිත්‍යාදිය) විසංවාදන කරන හෙයින් විසත්තිකා යැ, විෂමූල හෙයින් විසත්තිකා යැ, විෂඵල හෙයින් විසත්තිකා යැ, විෂපරිභෝග හෙයින් විසත්තිකා යැ,
යළි විශාල වූ ඒ තෘෂ්ණාව රූපයෙහි ශබ්දයෙහි ගන්‍ධයෙහි රසයෙහි ස්ප්‍රෂ්ටව්‍යයෙහි කුලයා කෙරෙහි ගණයා කෙරෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හිප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යයෙහි කාමධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි, කාමභවයෙහි රූපභවයෙහි අරූපභවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥා භවයෙහි එකස්කන්ධභවයෙහි චතුෂ්ස්කන්ධභවයෙහි පඤ්චස්කන්‍ධභවයෙහි අතීතකාලයෙහි අනාගතකාලයෙහි ප්‍රත්‍යුත්පන්නකාලයෙහි දෘෂ්ටශ්‍රැත මුතවිඥාතව්‍ය ධර්‍මයන්හි විසෘත විස්තෘත නුයි විසත්තිකා’නම් වේ නුයි “වංසො විසාලොව යථා විසත්තො” යනු වේ.
පුත්තෙසුදාරෙසුච යා අපෙක්ඛා-‘පුත්තා” යනු පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජපුත්‍ර යැ ක්ෂේත්‍රජ පුත්‍ර යැ දින්නක පුත්‍ර යැ අන්තෙවාසීපුත්‍ර යි, ‘දාරා’යි භාර්‍ය්‍යාවෝ කියනු ලැබෙති. ‘අපෙක්ඛෙ‘ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. ‘යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද ඒ නුයි ‘පුත්තේසු දාරෙසු ච යා අපෙක්ඛා’යනු වේ.
වංසකළීරෝ’ච අසජ්ජමානෝ- ‘වංසො” යි හුණ ලැහැබ කියනු ලැබෙයි. යම්සේ හුණලැහැබ්හි තුරුණු හුණකිළිල්හු නො ඇලුණාහු නො ලැගුණාහු පළිබෝධ නැත්තාහු (ලැහැබින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුනාහු වෙත්ද එසෙයින් මැ. අසජ්ජා යනු : සඞ්ග (ඇලීම්) දෙකෙකි : තෘෂ්ණසඞ්ග යැ දෘෂ්ටිසඞ්ග යැ යි... මේ තෘෂ්ණසඞ්ග යැ... මේ දෘෂ්ටිසඞ්ග යි. ඒ පසේ බුදුන් විසින් තෘෂ්ණ සඞ්ගය ප්‍රහීණ යැ දෘෂ්ටිසඞ්ගය බැහැර කරන ලද, තෘෂ්ණාසඞ්ගය ප්‍රහීණ වන බැවින් දෘෂ්ටිසඞ්ගය බැහැර කරන ලද වන බැවින් ඒ පසේ බුදුහු රූපයෙහි නො ඇලෙති, ශබ්දයෙහි නො ඇලෙති, ගන්‍ධයෙහි නො ඇලෙති, රසයෙහි නො ඇලෙති, ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො ඇලෙති, කුලයෙහි ගණයෙහි ආවාසයෙහි ලාභයෙහි යශස්හි ප්‍රශංසායෙහි සුඛයෙහි චීවරයෙහි පිණ්ඩපාතයෙහි ශයනාසනයෙහි ග්ලානප්‍රත්‍යය භෛසජ්‍ය පරිෂ්කාරයෙහි කාම ධාතුයෙහි රූපධාතුයෙහි අරූපධාතුයෙහි කාමභවයෙහි රූපභවයෙහි අරූප භවයෙහි සංඥාභවයෙහි අසංඥාභවයෙහි නෛවසංඥානාසංඥාභවයෙහි ඒකවෝකාරභවයෙහි චතුවෝකාරභවයෙහි පඤ්චවොකාරභවයෙහි අතීතයෙහි අනාගතයෙහි ප්‍රත්‍යුත්පන්නයෙහි දෘෂ්ටශ්‍රැතමුත විඥාතව්‍යධර්මයන්හි නො ඇලෙති, නො ගනිති, නො බැඳෙති, පලිබුද්ධ නොවෙති, ඝටිත නො වෙත්. (එයින්) නික්මුණාහු බැහැර වූවාහු මිදුණාහු විසංයෝග වූවාහු විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත වැ වාස කෙරෙත් නුයි ‘වංසකළීරො’ච අසජ්ජමානෝ එකොචරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“වංසො විසාලො ච -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
5.
යම්සේ අරනෙහි මුවතෙම නො බැඳුණේ කැමැති තැනකට ගොදුරට යේ ද, එසෙයින් ස්වෛරීභාවය අපේක්‍ෂා කරන නුවණැති පුරුෂ තෙම කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනේ යි.
මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකං ගච්ඡති ගොචරාය ‘මිගො’යනු: මෘගයෝ දෙදෙනෙකි: එණිමෘග ද පසද මෘග දැ යි. යම්සේ වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැයේද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, තෙල වදාරන ලද මැ යැ භාග්‍යවතුන් විසින්: “යම්සේ මහණෙනි, වල්මුව තෙම අරනෙහි මහවෙනෙහි සරනුයේ විස්වැසි වැ යේ ද, විස්වැසි වැ සිටී ද, විස්වැසි වැ හිඳී ද, විස්වැසි වැ හොවී ද, ඒ කවර හෙයිනැ යත්:
මහණෙනි, මුව වැදිහු ගේ ඇස්හමුවට නො ගිය හෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ කෙලෙස් මරනු හෝ මරදෙව්පිත් අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්‍ෂුස නසා මර්හු ගේ අදර්‍ශනයට ගියෝ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම විතර්‍කවිචාරයන් ගේ සන්හිඳීමෙන් සන්තානයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරනු අඳ කෙළේ යැ. කෙලෙස්පිය රහිත කොට මාරචක්‍ෂුස නසා මරනුගේ අදර්‍ශනයට ගියේ යැයි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම ප්‍රීතියා ගේ ද විරාගයෙන් උපෙක්ෂා ඇති වැ වාස කෙරෙයි. වැළිත් ස්මෘතිසම්‍යග්ඥාන ඇත්තේ නාමකයින් සම්ප්‍රයුක්ත සුඛවේදනා විඳියි. යම් ධ්‍යානයක් හේතු කොට (බුද්ධාදි) ආර්‍ය්‍යයෝ (ධ්‍යානසමඞ්ගී පුද්ගල තෙම) ‘උපෙක්ෂා ඇත්තේ යැ ස්මෘතිමත් යැ සුඛවිහරණ ඇත්තේ යැ‘යි කියත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, ක්ලෙශපාද රහිතකොට මාරචක්‍ෂුස නසා මරහුගේ අදර්‍ශනයට ගියෝ යැයි කියනු ලැබේ. තව ද මහණෙනි, මහණ තෙම සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් කැලැ මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නො දුක් නො සුව වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්ත්ථධ්‍යානයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ කෙලෙස් පා රහිත කොට මාරචක්‍ෂුස නසා මරහුගේ අදර්‍ශනයට ගියේ යැයි කියනු ලැබෙයි.
තවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තයැ’යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මහණෙනි, මෙ මහණ ‘මරහු අන්‍ධ කෙළේ යැ කෙලෙස්පා නැති කොට මාරචක්‍ෂුස නසා මරහුගේ අදර්‍ශනයට ගියේ ය’යි කියනු ලැබෙයි. තවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්ත යැ’යි. විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි....සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරෙයි ... සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතන ය ඉක්මවා සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරෙයි. යළි මාර්‍ගප්‍රඥායෙන් දැක ඔහු විසින් ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද වෙත්. මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේය. කෙලෙස්පිය නැති කොට මර ඇස නසා මරහුගේ අදර්‍ශනයට ගියේ යැ’යි කියනු ලැබේ. ලොවැ විසත්තිකා නම් වූ, තෘෂ්ණාව තරණය කළ හෙතෙම විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී. ඒ කවර හෙයිනැ යත් : මහණෙනි, මරහුගේ ඇස්හමුවට නො ගිය හෙයිනැ‘යි ‘මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො යෙනිච්ඡකයං ගච්ඡති ගොචරාය’යනුවේ.
විඤ්ඤූ නරෝ සෙරිතං පෙක්ඛමානො- ‘විඤ්ඤූ’යනු: පණ්ඩිත වූයේ ප්‍රඥා ඇත්තේ බුද්ධි ඇත්තේ නුවණැත්තේ විමසන නුවණ ඇත්තේ තුලිතඥාන ඇත්තේ. නරෝ යනු: සත්ත්‍ව යැ මාණව යැ (පුස්නා) බැවින් පොස යැ පුද්ගල යැ ජීව යැ (ච්‍යුතියෙන් ජාතියට යන හෙයින්) ජාගු යැ (උපදනා අරුතින්) ජන්තු යැ. (කර්මාධිපති වැ යන හෙයින්) ඉන්දගු යැ මනුජ යි. සේරී යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරීධර්මයෙක් ද වෙයි, ස්වෛරීපුද්ගලයෙක් ද වෙයි. ස්වෛරීධර්ම කවරැ යත්: සතර සතිපට්ඨාන යැ සතර ‘සම්‍යක් ප්‍රධාන යැ සතර ඍද්ධිපාද යැ පඤ්චේන්‍ද්‍රිය යැ පඤ්ච බල යැ සප්තබෝධ්‍යඞ්ග යැ ආර්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ග යැ යි මේ ස්වෛරීධර්ම යැ. ‘ස්වෛරීපුද්ගල’නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරීධර්මයෙන් සමන්‍වාගත වූයේ ද හේ ‘ස්වෛරීපුද්ගල’යි කියනු ලැබේ.
විඤ්ඤූ නරෝ සෙරිතං පෙක්ඛමානො යනු: නුවණැති පුරුෂ තෙම ස්වෛරීධර්මය බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ ධ්‍යාන කරනුයේ විමසනුයේ නුයි ‘විඤ්ඤූනරෝ සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ග විසාණකප්පො” යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“මිගො අරඤ්ඤම්හි -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
6.
යහළුවන් මැද (සිටියහුට දිවාශයන සඞ්ඛ්‍යාත) වාසයෙහි ද (මහා උපස්ථාන සඞ්ඛ්‍යාත) ස්ථානයෙහි ද ගමනයෙහි ද චාරිකායෙහි ද (මේ අසව දෙව ආදීන්) ඇමැතීම් වෙයි. (එහි කලකුළු මම කාමීන් විසින්) නො ඉස්නා පැවිද්ද ද ධර්මපුද්ගල ස්වෛරීභාවය ද අපේක්‍ෂා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලා වැ සරනෙම්.
ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යම් කෙනකුන් සමග ඊම පහසු ද යෑම පහසුද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද සයනය පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද, ඔහු ‘සහායයෝ ‘යි කියනු ලැබෙත්: ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානෙ ගමනෙ චාරිකාය යනු: සහායයන් මධ්‍යයෙහි විසීමෙහිදු සිටීමෙහිදු ගමන්හිදු චාරිකායෙහිදු ආත්මාර්‍ත්‍ථ පිළිබඳ මන්ත්‍රණ පරාර්ථ පිළිබඳ මන්ත්‍රණ උභයාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ තම අත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරඅත්බැව් පිළිබඳ මන්ත්‍රණ පරමාර්ථාර්ත්ථ පිළිබඳ මන්ත්‍රණ වේ නුයි ‘ආමන්තනා හොති සහායමජෙඣ වාසෙ ච ඨානේ ගමනෙ චාරිකාය’යනු වේ.
අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: භණ්ඩුකර්‍මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් වේ නම් තෙල කරුණ නුවණමඳ වූ අසත්පුරුෂ වූ තීර්‍ත්‍ථකයන් විසින් තීර්‍ත්‍ථකශ්‍රාවකයන් විසින් නො පතන ලද යැ භණ්ඩුකර්‍මය කහවත් හඳනා පොරෝනා බව යැ යන යමෙක් ඇද්ද තෙල කරුණ පණ්ඩිත වූ සත්පුරුෂ වූ බුද්ධශ්‍රාවකයන් විසින් ප්‍රත්‍යෙක සම්බුද්ධයන් විසින් වෙසෙසින් පතනලද යැ. සෙරි යනු: ස්වෛරීහු දෙදෙනෙකි: ස්වෛරී ධර්‍මය ද ස්වෛරී පුද්ගල දැ’යි ස්වෛරීධර්ම නම් කවරැ යත්: සතර සතිපට්ඨාන යැ... ආර්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ග යැ යි. මේ ස්වෛරීධර්ම නම, ස්වෛරී පුද්ගල නම් කවරැ යත්: යමෙක් මේ ස්වෛරී ධර්‍මයෙන් සමන්‍වාගත වූයේ නම් හේ ‘ස්වෛරීපුද්ගල‘යයි කියනු ලැබෙයි. අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො යනු: ස්වෛරී ධර්‍මය බලමින් දක්මින් අවලෝකනය කෙරෙමින් ධ්‍යාන කෙරෙමින් පිරික්සම්නි නුයි ‘අනභිජඣිතං සෙරිතං පෙක්ඛමානො ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො’යනු වේ.
එයින් වදාළහ. ඒ පසේ බුදුහු:
“ආමන්තනා හොති -පෙ- ඒකෝ චරෙ ඛග්ගවිසාණකප්පො” යි.
7.
යහළුවන් මැද ක්‍රීඩාව ද පඤ්චකාම ගුණරතිය ද වෙයි, පුත්‍රයන් කෙරෙහි දු විපුල ප්‍රේමය වෙයි, ප්‍රියවිප්‍රයෝගය ජුගුප්සා කරනුයෙම් කගවෙහෙණ හඟක් සෙයින් එකලාව සරනෙම්.
බිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ- ‘ඛිඩ්ඩා’යනු: ක්‍රීඩා දෙකෙකි කායික ක්‍රීඩා ද වාචසික ක්‍රීඩා දැ යි. කායික ක්‍රීඩා නම් කවරැ යත්; ඇතුන් හා සමග ද කෙළිති, අසුන් හා සමග ද කෙළිති, රිය හා සමග ද කෙළිති, දුන්නෙනුදු කෙළිති, අටපදයෙහිදු කෙළිති, දසපදයෙහි දු කෙළිති, අහස්හි දු කෙළිති, පරිහාරපථයෙහි දු කෙළිති, සන්තිකා කෙළිදු කෙළිති, පසැටිනුදු කෙළිති, ඝටිකායෙන් (කල්ලි) ද කෙළිති, ලහ අතිනුදු කෙළිති, ගුළ (පන්දු) යෙනුදු කෙළිති, පත්නළයෙනුදු කෙළිති, කෙළි නඟුලිනුදු කෙළිති, පරිවර්‍තන කෙළිදු කෙළිති, පත්බමරිනිදු කෙළිති, පත්නැළියෙනුදු කෙළිති කුඩාරියෙනුදු කෙළිති, කෙළි දුන්නෙනුදු කෙළිති, අකුරු කෙළිඳු කෙළිති සිතැඟි කෙළිදු කෙළිති, යථාවද්‍යයෙනුදු කෙළිත්. මේ කායිකක්‍රීඩායැ.
‘වාචසික ක්‍රීඩා’කවරැ යත්: මුවබෙර යැ මුවපනාබෙර යැ මුවපටහ යැ මුඛචාලික යැ (සීරුසන්) මුඛ හෙරුලක යැ මුවඩමරු යැ නාටක යැ ඔල්වරහඬ යැ ගායන යැ සිනාකෙළි යැ යන මේ වාචසික ක්‍රීඩා යි. රති යනු: තෙල ‘රති” යි නො උකටලියට නමෙකි. සහායා - යම් කෙනකුන් හා සමග ඊම පහසු ද යෑම පහසු ද යෑම්ඊම් පහසු ද සිටීම පහසු ද හිඳීම පහසු ද නිදීම පහසු ද ආලපනය පහසු ද සල්ලපනය පහසු ද උල්ලපනය පහසු ද සමුල්ලපනය පහසු ද ඔහු ‘සහාය’යි කියනු ලැබෙත්. බිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ යනු: සහායයන් මධ්‍යයෙහි ක්‍රීඩාව ද රතිය ද වේ නුයි ‘බිඩ්ඩාරතී හොති සහායමජ්ඣෙ’යනු වේ.
පුත්තෙසු ව විපුලං හොති පෙමං- ‘පුත්තා’යනු: පුත්‍රයෝ සතර දෙනෙකි: ආත්මජ පුත්‍ර යැ ක්ෂෙත්‍රජ පුත්‍ර යැ දෙනුලැබ වඩාගත් පුත්‍ර යැ අතැවැසි පුත්‍ර යැයි. පුත්තෙසු ච විපුලං හොති පෙමං යනු: පුත්‍රයන් කෙරෙහි අධික ප්‍රේමය වේ නුයි ‘පුත්තෙසු ච විපුලං හොති පෙමං’යනු වේ.