තණ්හක්ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්‍ෂය යැ ගතක්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යැ. අනීතිකං යනු: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යි කියනු ලැබෙති. ඊතිප්‍රහාණ යැ ඊතිව්‍යුපශම යැ ඊති දුරැලීම යැ ඊති සන්හිඳුවීම යැ අමාමහනිවන නුයි ‘තණ්හක්ඛයමනීතිකං’ යනු වේ.
යස්ස නත්‍ථි උපමා කච්චි - ‘යස්ස’ යනු: නිර්‍වාණයට යැ. ‘නත්‍ථි උපමා’ යනු: උපමා නැත් ද, කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි කිසි තැනෙකැ කිසිවකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
‘යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචී” යි.
15.
පිඞ්ගිය කිම තෙපි ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතක් පවා වෙන් වැ වසවු ද?
කින්නු තම්හා විප්පවස්සි යනු: කිම බුදුන් කෙරෙන් වෙන් වැ වසවු ද? පහවවු ද? බැහැර වවු ද? වෙන් වවු දැ?යි ‘කින්නු තම්හා විප්පවසසී’ යනු වේ.
මුහුත්තම්පි පිඞ්ගිය යනු: මොහොතෙක්හි දු, ඇසිල්ලෙක්හි දු,ලයෙක් හි දු වියෙක්හි දු ජීවිත කාලයෙක්හි දු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. පිඞ්ගිය යනු: බාවරී බමුණු ඒ බෑනණුවන් නමින් අමතයි.
ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙක් ප්‍රකට වූ, ප්‍රඥාධ්වජ ඇති, ප්‍රඥාකෙතු ඇති, ප්‍රඥාධිපති වූ විචය බහුල වූ ප්‍රවිචය බහුල වූ ප්‍රෙක්ෂණබහුල වූ සමීක්ෂණ බහුල වූ ප්‍රකට විහරණ ඇති ඒ ප්‍රඥාවට බැස සරන එය බහුල කොට ඇති එය ගරු කොට ඇති එයට නැමුණු එයට මැනැවින් නැමුණු එයට බර වූ එහි අධිමුක්ත වූ එය අධිපති කොට ඇති ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
ගොතමා භූරිමෙධසා - ‘භූරි’යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’යි ප්‍රඥාව කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් ප්‍රඥායෙන් උපෙතයහ සමුපෙතයහ උපගතයහ සමුපගතයහ නො වෙන් වූහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කින්නුතම්හා විප්පවස්සි -පො- ගොතම භූරිමෙධසා” යි.
16.
පිඞ්ගිය, යම් කෙනෙක් තොපට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබියයුතු ඵල ඇති තෘෂ්ණා ක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූහු ද, යම් කෙනකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද,
යො තෙ ධම්මදෙසෙසි යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... එහිදු සර්‍වඥ භාවයට පැමිණියාහු බලධර්මයනහිදු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ. ධම්මමදෙසෙසි- ධම්මං යනු: ආදියෙහි කල්‍යාණ වූ මධ්‍යයෙහි කල්‍යාණ වූ ... නිවන ද නිර්‍වාණගාමී ප්‍රතිපදාව ද වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවෘත කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
සන්‍දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’ යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් වි න් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම් සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබති කල් බලති. මේ දහම එසේ නො මැ වෙයි. යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබයි. පර අත්බැව්හි නො වෙයි පර ලෙව්හි නො වෙයි. මෙසෙයින් අකාලික නුයි ‘සන්‍දිට්ඨික මකාලිකං’ යනු වේ.
තණ්හක්ඛයමනීතිකං - ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ ශබ්දතෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වේෂක්‍ෂය යැ මෝහක්‍ෂය යැ ගතික්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං යනු: කුලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘ඊති’ යයි කියනු ලැබෙති. ඊතිප්‍රහාණය ඊතිව්‍යුපශමය ඊති දුරැලීම ඊති සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘තණ්හක්‍ඛය මනීතිකං’ යනු වේ.
යස්ස නත්‍ථි උපමා ක්වචි- ‘යස්ස’ යනු: නිවනට. නත්‍ථි උපමා යනු: උපමා නැත, උපනිධි නැත, සදෘශයෙක් නැත, ප්‍රතිභාගයෙක් නැත, විද්‍යමාන නො වෙයි. නො ලැබේ. කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්මබාහ්‍ය වේවයි කිසිවෙකැ කිසිවක්හි කිසි තැනෙක්හි නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
එයින් කී යැ ඒ බාවරී බමුණු:
“යො තෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචි” යී.
17.
බ්‍රාහ්මණයෙනි, මම් ඒ ඥානධ්වජ ඇති ගෞතමයන් කෙරෙන් විපුලප්‍රඥා ඇති ගෞතමයන් කෙරෙන් මොහොතකුදු වැ නො වෙසෙමි.
නාහං තම්හා විප්පවසාමි යනු: මම් බුදුන් කෙරෙන් වෙන් වැ නො වෙසෙමි, නො පහවෙමි, නො බැහැර වෙමි වෙන් නො වෙම් නුයි ‘නාහං තම්හා විප්පවසාමි’ යනු වේ.
මුහුත්තම්පි බ්‍රාහ්මණ යනු: මොහොතෙක්හිදු ඇසිල්ලෙක්හිදු ලයෙක් හිදු වියෙක්හි දු ආයුකාලයෙක්හිදු නුයි ‘මුහුත්තම්පි’ යනු වේ. බ්‍රාහ්මණ යනු: ගෞරවයෙන් මයිලණුවන් අමතයි.
ගොතමා භූරිපඤ්ඤාණා යනු: පෘථුලඥාන ඇති, ඥානයෙන් ප්‍රකට වූ ප්‍රඥාධ්වජ ඇති ප්‍රඥාකෙතු ඇති ප්‍රඥාධිපති වූ විචයබහුල වූ ප්‍රවිචය බහුල වූ ප්‍රෙක්ෂණ බහුල වූ සමීක්ෂණබහුල වූ ප්‍රකටවිහරණ ඇති තච්චරිත තද්බහුල තද්ගරුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්භාර තද්ධිමුක්ත තද්ධිපති වූ ගෞතමයන් කෙරෙන් නුයි ‘ගොතමා භූරිපඤ්ඤාණා’ යනු වේ.
ගොතමා භූරිමෙධසා- ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිසම විපුල වූ පතළ වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. යම් ප්‍රඥායෙක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යක්දෘෂ්ටියෙක් වේ ද එයයි. බුදුහු මේ මෙධායෙන් ප්‍රඥායෙන් උපේතයහ සමුපේතයහ එළඹ සිටියහ මැනැවින් එළඹ සිටියහ යුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘ගොතමා භූරිමෙධසා’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“නාහං තම්හා විප්පවසාමි -පෙ- ගොතමා භූරිමෙධසා” යි.
18.
යම් කෙනෙක් මට තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති තෘෂ්ණාක්‍ෂය වූ කෙලෙස් උවදුරු නැති දහම් දෙසූ සේක් ද, යම් කෙනෙකුන්හට කිසි තැනෙක්හි උපමා නැද්ද උන් වහන්සේ යි.
යො මෙ ධම්මමදෙසෙසි යනු: යම් භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු රහිත වැ පෙර නො ඇසූ විරූ දහම් විෂයෙහි තුමූ මැ සිව්සස් අවබෝධ කළාහු ද ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද බලයන්හි දු වශී බවට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි- ‘ධම්මං’ යනු: ආදි කල්‍යාණ වූ... පර්‍ය්‍යාවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල පිරිපුන් පිරිසිදු සසුන් බඹසර, සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රධානය, සතර ඍද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබලය, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය නිවන හා නිර්‍වාණ ගාමිනී ප්‍රතිපදාව හා වදාළහ දෙසූහ පැනවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
සන්‍දිට්ඨික මකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති නො ද කාලාන්තරයෙහි ලැබිය යුතු ඵල ඇති ‘එව බලව’යි දැක්වීමට නිසි තමා සිත්හි එළවීමට නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. නොහොත් යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය වඩා ද, ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි ලබා නුයි මෙසේත් ‘සන්දිට්ඨිකං’ යනු වේ. අකාලිකං යනු: යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ ලබත්ද කල් බලත් ද මෙ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගිකමාර්ගය වඩා ද, ඒ මාර්‍ගයට අනන්තර වැ සමනන්තර වැ එකත්නෙන් ඵලය අධිගම කෙරෙයි විඳියි. ලබයි පර අත්බැව්හි නො වෙයි පරලෙව්හි නො වේ. මෙසෙයින් අකාලික නුයි ‘සන්දිට්ඨිකමකාලිකං’ යනු වේ.
තණ්හක්ඛයමනීතිකං- ‘තණ්හා’ යනු රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හක්ඛයං යනු: තෘෂ්ණාක්‍ෂය යැ රාගක්‍ෂය යැ ද්වෙෂක්ෂය යැ මෝහක්‍ෂය යැ ගතික්ෂය යැ උපප්‍රාප්තික්ෂය යැ ප්‍රතිසන්ධික්ෂය යැ භවක්ෂය යැ සංසාරක්ෂය යැ වෘත්තක්ෂය යි. අනීතිකං- ‘ඊති’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ඊතිප්‍රහාණය ඊති සන්හිඳුවීම ඊති දුරැලීම ඊති නො පැවැත්ම අමාමහ නිවන නුයි ‘තණ්හක්ඛයමනීතිකං’ යනු වේ.
යස්ස නත්‍ථි උපමා කච්චි- ‘යස්ස’ යනු: නිර්‍වාණයට. නත්‍ථි උපමා යනු: උපමා නැති උපනිධි නැති සදෘශයෙක් නැති ප්‍රතිභාගයෙක් නැති නො වේ නො පැනේ නො ලැබේ. කච්චි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්ම බාහ්‍ය වේවයි කිසිවකැ කිසිවෙක්හි කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“යො මෙ ධම්මමදෙසෙසි -පෙ- යස්ස නත්‍ථි උපමා ක්වචි” යී.
19.
බ්‍රාහ්මණයෙනි: (මම්,) අප්‍රමත්ත වූයෙම් ද්වරැයැ ඇසින් මෙන් මනසින් ඒ ගෞතම බුදුන් දක්මි, නමස්කාර කෙරෙමින් මැ රැය ඉක්මවමි, එයින් මැ අවිප්‍රවාසය හඟිමි.
පස්සාමිනං මනසා චක්ඛුනා වා- යම්සේ ඇස් ඇති පුරුෂයෙක් ආලෝකයෙහි රූපගතයන් බලා නම් දකී නමි අවලෝකනය කෙරේ නම් නිධ්‍යාන කෙරේ නම් විමසා නම් එසෙයින් මැ මම් භාග්‍යවත් බුදුන් මනසින් බලමි දකිමි අවලොකනය කෙරෙමි නිධ්‍යාන කෙරෙමි පිරික්සම් නුයි ‘පස්සාමිනං මනසා චක්ඛුනා වා’ යනු වේ.
රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො යනු: රැයිදු දවහල්හිදු අප්‍රමත්ත වැ බුද්ධානුස්මෘතිය මනසින් වඩනුයෙම් නුයි ‘රත්තිං දිවං බ්‍රාහ්මණ අප්පමත්තො’ යනු වේ.
නමස්සමානො විවසෙමි රත්තිං- ‘නමස්සමානො’ යනු: කයින් හෝ නමස්කාර කරනුයෙම් වචනයෙන් හෝ නමස්කාර කරනුයෙම් සිතින් හෝ නමස්කාර කරනුයෙම් අන්‍වර්ථ ප්‍රතිපත්තියෙන් හො නමස්කාර කරනුයෙම් ධර්මානුධර්මප්‍රතිපත්තියෙන් හෝ නමස්කාර කරනුයෙම් සත්කාර කරනුයෙම් ගරු කරනුයෙම් මාන්න කරනු යෙම් පූජා කරනුයෙම් දිවරැය ගෙවමි ඉක්මවමි අතික්‍රමණය කෙරෙම් නුයි ‘නමස්සමානො විවසෙමි රත්තිං’ යනු වේ.
තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං- ඒ බුද්ධානු ස්මෘතිය වඩනුයෙම් උන්වහන්සේ අවිප්‍රවාස කොට හඟිමි උන් වහන්සේ අවිප්‍රවාස වූවන් කොට හඟිමි, දනිමි මෙසේ දනිමි මෙසේ එකත්නෙන් දනිමි මෙසේ අනෙකප්‍රකාරයෙන් දනිමි මෙසේ සකාරණ වැ දනිමි මෙසේ ප්‍රතිවේධ කෙරෙම් නුයි ‘තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“පස්සාමි නං මනසා -පෙ- තෙනෙව මඤ්ඤාමි අවිප්පවාසං” යි.
20.
මාගේ ශ්‍රද්ධාව ද ප්‍රීතිය ද මනස ද ස්මෘතිය ද ගෞතමසාශනයෙන් පහ වැ නො යෙති. විපුල ප්‍රඥා ඇති උන් වහන්සේ යම් යම් දෙසකට වඩනාසේක් ද ඒ ඒ දෙසට මැ මම් නම්‍ර වූයෙම් වෙමි.
සද්ධා ච පීති ච මනෝ සතිමා- ‘සද්ධා’ යනු, භාග්‍යවතුන් ඇරැබ යම් ශ්‍රද්ධාවක් හදහන අයුරෙක් ගුණයෙහි බැසගැනීමෙක් අතිශය ප්‍රසාදයෙක් හැදෑරීමෙක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් ... ප්‍රීති යනු: බුදුන් ඇරැබ යම් ප්‍රීතියක් ප්‍රමුදිත බවෙක් ආමොදනයෙක් ප්‍රමෝදනයෙක් හර්‍ෂයෙක් ප්‍රහර්‍ෂයෙක් විත්තියක් තුෂ්ටියක් උදග්‍ර බවෙක් චිත්තයාගේ සතුටු බවෙක් වේ ද එය යි. මනෝ යනු: භාග්‍යවතුන් ඇරැබ යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයයෙක් පණ්ඩර වූ භවාඞ්ගමනසෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප මනෝවිඥාන ධාතුයෙක් වේ ද එය යි. සති යනු: භාග්‍යවතුන් ඇරැබ යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද ඒ නුයි ‘සද්ධා ච පීති ච මනෝ සතීච’ යනු වේ.
නාපෙන්ති මෙ ගොතමසාසනම්හා යනු: මේ සතර ධර්‍මයෝ ගෞතමශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් ද්වෙද්වෙශාසනයෙන් අර්‍හත් ශාසනයෙන්. නාපෙන්ති යනු: නො පහ වෙති නො යෙති නො හරිති නො නැසෙත් නුයි ‘නාපෙන්ති මෙ ගොතමසාසනම්හා’ යනු වේ.
යං යං දිසං වජති භූරිපඤ්ඤො - ‘යං යං දිසං’ යනු: පෙරදිගට හෝ පෑළදිගට හෝ දකුණුදිගට හෝ උතුරුදිගට හෝ යේ ද ගමන් කෙරේ ද පිය නඟා ද ඉදිරියට හේ ද. ‘භූරිපඤ්ඤො’ යනු: පෘථුලප්‍රඥා ඇත්තේ මහා ප්‍රඥා ඇත්තේ තීක්‍ෂණ ප්‍රඥා ඇත්තේ විපුල ප්‍රඥා ඇත්තේ හර්‍ෂබහුල ප්‍රඥා ඇත්තේ ජවනප්‍රඥා ඇත්තේ නිර්වේධික ප්‍රඥා ඇත්තේ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. පෘථිවිය හා සම වූ ඒ විපුල වූ (විස්තෘත වූ) ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ නුයි ‘යං යං දිසං වජති භූරිපඤ්ඤො’ යනු වේ.
ස තෙන තෙනෙ’ව නතො’හමස්මි යනු: ඒ බුදුහු යම් දිසාභාගයෙක්හි වෙත් ද ඒ දිසාභාගයෙහි මැ නැමුණෙම් එයට නිම්න වූයෙම් එයට නැඹුරු වූයෙම් එයට බර වූයෙම් එහි අධිමුක්ත වූයෙම් එය අධිපති කොට ඇතියෙම් නුයි ‘ස තෙන තෙනෙ’ව නතො’හමස්මි’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“සද්ධා ච පීතී ච -පෙ- ස තෙන තෙනෙ’ව නතො’හමස්මි” යි.
21.
ජීර්‍ණ වූ (එයින් මැ) අල්පවීර්‍ය්‍ය ඇති මාගේ කය එ කරුණින් මැ එහි නො යෙයි. සංකල්ප ගමනින් එක්වන් යෙමි. එහෙයින් බ්‍රාහ්මණයෙනි, මාගේ සිත ඒ බුදුන් ඇති තැන්හි යෙදුණේ වෙයි.
ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස- ‘ජිණ්ණස්ස’ යනු: ජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ ත්‍රිවිධ වයෝ කොට්ඨාශයන් ඉක්මගිය තුන් වැනි වයසට පැමිණි. දුබ්බලථාමකස්ස යනු: දුර්වලවීර්‍ය්‍ය ඇති අල්පවීර්‍ය්‍ය ඇති මන්දවීර්‍ය්‍ය ඇති නුයි ‘ජිණ්ණස්ස මෙ දුබ්බලථාමකස්ස’ යනු වේ.
තෙනෙව කායෝ න පලෙති තත්‍ථ - බුදුහු යම් තැනෙක්හි වෙත් ද කය එතැනින් පලා නො යෙයි, නො යෙයි, ගමනය නො කෙරෙයි, නො පෙරටයේ නුයි ‘තෙනෙව කායෝ න පලෙති තත්‍ථ’ යනු වේ.
සඞ්කප්පයත්තාය වජාමි නිච්චං යනු: සංකල්ප ගමනින් විතර්‍ක ගමනින් ඥාන ගමනින් ප්‍රඥා ගමනින් බුද්ධි ගමනින් යෙමි ගමනය කෙරෙමි පෙරට යෙම් නුයි ‘සඞ්කප්පයත්තාය වජාමි නිච්චං’ යනු වේ.
මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො- ‘මනෝ’ යනු: යම් සිතෙක් මනසෙක් මානසයෙක් ... තදනුරූපමනොවිඥාන ධාතුයෙක් වේ ද එය යි. මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො යනු: බුදුහු යම් තැනෙක්හි වෙත් ද සිත එතැන්හි යුක්ත යැ ප්‍රයුක්ත යැ සංයුක්ත නුයි ‘මනෝ හි මෙ බ්‍රාහ්මණ තෙන යුත්තො’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“ජිණ්ණස්ස මෙ -පෙ- මනෝ හි මෙ බ්‍රාහ්මණෙ තෙන යුත්තො” යි.
22.
කාමපඞ්කයොහි හෝනෙම් හාත්පසින් සැලෙනුයෙම් ශාස්තෘ සඞ්ඛ්‍යාත ද්වීපයෙන් ද්වීපයට පා වැ ගියෙමි. ඉක්බිති (පහණසෑ වෙහෙරෙහි දී චතුරෝඝය තරණය කළ ආශ්‍රව රහිත වූ සම්බුදුන් දිටිමි.)
පඞ්කෙසයානො පරිඵන්දමානො- ‘පඞ්කෙසයානො’ යනු: කාමපඞ්ක (මඩ) යෙහි කාමකර්දමයෙහි කාමක්ලේශයෙහි කාමපලිපයෙහි කාම පරිදාහයෙහි කාමපරිරොධයෙහි හෝනෙම් ශයනය කරනු යෙම් වසනුයෙම් වෙසෙසින් වසනුයෙම් සර්‍වප්‍රකාරයෙන් වසනුයෙම් නුයි ‘පඞ්කෙසයානො’ යනු වේ. පරිඵන්දමානො යනු: තෘෂ්ණාස්පන්දයෙන් ස්පන්දනය වනුයෙම් (සැලෙනුයෙම්) දෘෂ්ටිස්පන්දයෙන් සැලෙනුයෙම් ක්ලෙශස්පන්දයෙන් සැලෙනුයෙම් ප්‍රයෝගස්පන්දයෙන් සැලෙනුයෙම් විපාකස්පන්දයෙන් සැලෙනුයෙම් මනොදුශ්චරිතස්පන්දයෙන් සැලෙනුයෙම් රක්ත වැ රාගයෙන් සැලෙනුයෙම් දුෂ්ට වැ ද්වේෂයෙන් සැලෙනුයෙම් මූඪ වැ මෝහයෙන් සැලෙනුයෙම් විනිබද්ධ වැ මානයෙන් සැලෙනුයෙම් පරාමෘෂ්ට වැ දෘෂ්ටියෙන් සැලෙනුයෙම් වික්ෂෙපගත වැ ඖද්ධත්‍යයෙන් සැලෙනුයෙම් නිශ්චයට නො පැමිණ විචිකිත්සායෙන් සැලෙනුයෙම් ථාමගත වැ අනුශයෙන් සැලෙනුයෙම් ලාභයෙන් සැලෙනුයෙම් අලාභයෙන් සැලෙනුයෙම් යසසින් සැලෙනුයෙම් අයසසින් සැලෙනුයෙම් ප්‍රශංසායෙන් සැලෙනුයෙම් නින්‍දායෙන් සැලෙනුයෙම් සුඛයෙන් සැලෙනුයෙම් දුඃඛයෙන් සැලෙනුයෙම්
ජාතියෙන් සැලෙනුයෙම් ජරායෙන් සැලෙනුයෙම් ව්‍යාධියෙන් සැලෙනුයෙම් මරණයෙන් සැලෙනුයෙම් ශෝකපරිදේව දුඃඛ දෞර්‍මනස්‍ය උපායාසයෙන් සැලෙනුයෙම් නිරෑදුකින් සැලෙනුයෙම් තිරිසන්යොන්හි වූ දුකින් සැලෙනුයෙම් ප්‍රේතවිෂයෙහි වූ දුකින් සැලෙනුයෙම් මානුෂික දුකින් සැලෙනුයෙම් ගර්භාවක්‍රාන්තිමූලක දුකින් සැලෙනුයෙම් ගර්‍භතිස්ථිතිමූලක දුකින් සැලෙනුයෙම් ගර්භාව්‍යුත්ථාන මූලක දුකින් සැලෙනුයෙම් උපන්හු පිළිදග්නා දුකින් උපන්හු පරාඅයත්කොට ඇති දුකින් - ආත්මොපක්‍රම දුකින්- පරොපක්‍රම දුකින්- සංස්කාර දුකින්- විපරිණාම දුකින්- චක්‍ෂුරෝගයෙන් වන දුකින්- ශ්‍රෝත රෝගයෙන් වන දුකින්- ඝ්‍රාණරොගයෙන් වන දුකින්- ජිහ්වාරොගයෙන් වන දුකින්- කායරොගයෙන් වන දුකින්- ශීර්ෂරොගයෙන් වන දුකින්- කර්‍ණරෝගයෙන් වන දුකින්- මුඛරොගයෙන් වන දුකින්- දන්ත රෝගයෙන් වන දුකින්- කාශයෙන් ශ්වාසයෙන් පීනසින් දාහයෙන් ජ්වරයෙන් කුස්රොවින් මූර්ඡායෙන් ප්‍රස්කන්දිකායෙන් (අතීසාරයෙන්) ආමශූලරොගයෙන් විශූචිකායෙන් (මහාවිරෙචනයෙන්) කුෂ්ටරෝගයෙන් ගණ්ඩයෙන් කබර රෝගයෙන් ශුෂ්කරොගයෙන් අපස්මාරයෙන් පිළිකායෙන් කණ්ඩුතියෙන් කැසීමෙන් රඛසා (නියහිරින් පහළ තැන උපදනා රෝග) යෙන් විතච්ඡිකා (අතුල්පතුල් හිරිතැලෙන) රෝගයෙන් රත්පිතින් මධුමෙහයෙන් අර්ශසින් ලෙහෙ පිළිකායෙන් භගන්දරායෙන් පිතින් උපදනා රොවින් සෙමින් උපදනා රොවින් වයින් උපදනා රොවින් සන්නිපාතික රොවින් ඍතු පරිණාමයෙන් උපදනා රොවින් (ස්ථානනිසද්‍යාදි) විෂමපරිහාරයෙන් උපදනා රොවින් උපක්‍රමයෙන් උපදනා රොවින් කර්‍මවිපාකයෙන් උපදනා රොවින් ශීතයෙන් උෂ්ණයෙන් සයින් පවසින් මලමූ පහ කිරීමෙන් මැසි මදුරු-වා-අව් දිග්දෑ පහසින් වන දුකින් මවගේ මරණයෙන් වන දුකින් පියාගේ මරණයෙන් වන දුකින් පුතාගේ මරණයෙන් වන දුකින් දුව ගේ මරණයෙන් වන දුකින්, ඥාතිව්‍යසන දුකින් භොග ව්‍යසන දුකින් රෝග ව්‍යසන දුකින් ශීල ව්‍යසන දුකින් දෘෂ්ටි ව්‍යසන දුකින් සැලෙනුයෙම් මොනොවට සැලෙනුයෙම් වෙසෙසින් සැලෙනුයෙම් කම්පනය වනුයෙම් වෙසෙසින් කම්පනය වනුයෙම් අතිශයින් කම්පනය වනුයෙම් නුයි ‘පඞ්කෙ සයානො පරිඵන්දමානො’ යනු වේ.
දීපා දීපං උපපලචිං යනු: ශාස්තෘහු කෙරෙන් ශාස්තෘහු කරා ධර්‍ම ඛ්‍යානයෙන් ධර්මඛ්‍යානයට ගණයෙන් ගණයට දෘෂ්ටියෙන් දෘෂ්ටියට ප්‍රතිපත්තියෙන් ප්‍රතිපත්තියට මාර්‍ගයෙන් මාර්‍ගයට පාවීමි තරණය කෙළෙමි උත්තරණය කෙළෙමි මැනැවින් උත්තරණය කෙළෙම් නුයි ‘දීපා දීපං උපපලචිං’ යනු වේ.
අථද්දසාසිං සම්බුද්ධං - ‘අථ’ යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පද පරිපූර්ණතා යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල ‘අථ’ යනු පදයන්ගේ අනු පිළිවෙළ නුයි. අද්දසාසිං යනු දිටිමි දුටුයෙමි දර්‍ශනය කෙළෙමි, ප්‍රතිවේධ කෙළෙමි. බුද්ධෝ යනු: යම් භාග්‍යවතුන් කෙනෙක් පරෝපදේශ රහිත වැ සිව්සස් අවබෝධ කළ කෙනෙක් තමහට ආචාර්‍ය්‍යයන් නැති කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු බොධිද්‍රැවමූලයෙහි දී සිව්සස් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි “අථද්දසාසිං සම්බුද්ධං” යනු වේ.
ඔඝතිණ්ණමනාසවං- ‘ඔඝතිණ්ණං’ යනු: බුදුහු කාමෝඝය තරණය කළහ භවොඝය තරණය කළහ දෘෂ්ටි ඕඝය තරණය කළහ අවිද්‍යා ඕඝය තරණය කළහ, හැම සංසාර පථය තරණය කළහ, උත්තීර්‍ණ නිස්තීර්‍ණ අතික්‍රමණ සමතික්‍රමණ කළහ ඉක්ම සිටියහ. උන් වහන්සේ වැසනිම වූ දශ ආර්‍ය්‍යවාස ඇතියහ පුරුදු කළ චරණධර්‍ම ඇතියහ … ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය උන්වහන්සේට නැත් නුයි ‘ඔඝතිණ්ණං’ යනු වේ. අනාසවං යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යැ යි ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන්ට ප්‍රහීණයහ උසුන් මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ. අනු අභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා සැහැවි ඇතියහ. එයින් බුදුහු ‘අනාස්‍රව’ නුයි ‘ඔඝතිණ්ණමනාසවං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“පඞෙකසයානො -පෙ- ඔඝතිණ්ණමනාසවං” යි.
23.
මුක්තශ්‍රද්ධා ඇති වක්කලී ස්ථවිර යැ භද්‍රාවුධ යැ ආලවිගොතම යැ යන මොහු යම් බඳු වූහු ද එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වව පිඞ්ගිය තෙපි මෘත්‍යුධෙය සඞ්ඛ්‍යාත සංසාරයාගේ පාරයට යව.
යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච - යනු: යම් සේ වක්කලී තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධා පුරොගාමී කොට ඇතියාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ භද්‍රාවුධ තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු ද යම්සේ ආලවිගොතම තෙරණුවෝ මුක්තශ්‍රද්ධා ඇතියාහු ශ්‍රද්ධාව ගුරු කොට ඇතියාහු ශ්‍රද්ධාපූර්වාංගම වූවාහු ශ්‍රද්ධායෙහි අධිමුක්ත වූවාහු ශ්‍රද්ධාව අධිපති කොට ඇත්තාහු රහත් බවට පැමිණියාහු දැ යි ‘යථා අහු වක්කලි මුත්තසද්ධො භද්‍රාවුධො ආලවිගොතමො ච’ යනු වේ.
එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං යනු: එසෙයින් මැ තෙපි දු ශ්‍රද්ධාව මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි ... හැම ධර්‍මයෝ අනාත්මහ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව ... යම් කිසි සමුදයස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධස්වභාවය ඇතැ’යි සැදැහැ මුදව වෙසෙසින් මුදව අත්‍යත්ර්ථයෙන් මුදව අධිමෝක්‍ෂ කරව බුහුමන් කරව නුයි ‘එවමෙව ත්වම්පි පමුඤ්චස්සු සද්ධං’ යනු වේ.
ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං: ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද ‘මච්චුධෙය්‍ය’යී කියනු ලැබෙයි. ‘මෘත්‍යුධෙයයාගේ පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන් ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාව ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙන් නිර්‍වාණයෙක් වේ ද එය යි. ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං යනු: තෙපි පරතෙරට යව පාරය අධිගම කරව පාරය දකු පාරය ප්‍රත්‍යක්‍ෂ කරව නුයි ‘ගමිස්සසි ත්‍වං පිඞ්ගිය මච්චුධෙය්‍යස්ස පාරං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“යථා අහු වක්කලි -පෙ- මච්චුධෙය්‍යස්ස පාරං” යී.
24.
තෙල මම් මුනීන්‍ද්‍රයන් වහන්සේගේ වචනය අසා බෙහෙවින් පහදිමි, සම්බුදුහු විවෘත වූ (රාගාදි) සියන් ඇතියහ, ‘(රාගාදි) ඛිල රහිතයහ, ප්‍රතිභාන ප්‍රතිසංවිද්ඥාන ඇතියහ.
එස හීයො පසීදාමි යනු: තෙල මම් බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙමි, ‘හැම සංස්කාරයෝ දුක්හ’යි බෙහෙවින් පහදිමි ... ‘හැම ධර්‍මයෝ අනාත්මහ’යි බෙහෙවින් පහදිමි ... යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එම හැම නිරෝධ ස්වභාවය ඇතැ’යි බෙහෙවින් පහදිමි බෙහෙවින් හදහමි බෙහෙවින් බුහුමන් කෙරෙමි බෙහෙවින් අධිමුක්ත වෙම්’ නුයි ‘එස හීයො පසීදාමි’ යනු වේ.
සුත්‍වාන මුනිනො වචො - ‘මුනි’ යනු: ‘මොන’යි ඥාන ය කියනු ලැබෙයි. ... (රාගාදි) සංගජාලය ඉක්ම සිටි හෝ මුනි නම් වෙයි. සුත්‍වාන මුනිනො වචො යනු: මුඹ වහන්සේගේ වචනය වාක්‍යපථය දේශනාව අනුශාසනය අනුසිට්ඨිය අසා උගෙන ධරා ගෙනැ විමසා ගෙනැ නුයි ‘සුත්‍වාන මුනිනො වචො’ යනු වේ.
විවත්තච්ඡදො සම්බුද්ධෝ - ‘ඡද්නං’ යනු: ඡද්නයෝ පස් දෙනෙකි: තෘෂ්ණාඡද්න යැ දෘෂ්ටි ඡද්න යැ ක්ලේශ ඡද්න යැ දුශ්චරිතඡද්න යැ අවිද්‍යා ඡද්න යැ යි. ඒ ඡද්නයෝ (සියන්) භාග්‍යවත් බුදුන් විසින් විවෘත කරන ලදහ විධ්වංසනය කරන ලදහ උපුරන ලදහ වෙසෙසින් උපුරන ලදහ ප්‍රහීණය හ සිඳුනා ලදහ සන්හිඳුවන ලදහ අප්‍රවෘත්තියට පමුණුවන ලදහ යළි උපදනට නො නිසි කරන ලදහ නුවණගින්නෙන් දවන ලදහ. එයින් බුදුහු ‘විවත්තච්ඡද’ නම් වෙති. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු: බෝධිමූලයෙහි දී අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘විවත්තච්ඡදො සම්බුද්ධෝ’ යනු වේ.
අඛිලො පටිභානවා - ‘අඛිලො’ යනු රාගය ඛිල යැ ද්වේෂය ඛිල යැ මෝහය ඛිල යැ ක්‍රෝධය ඛිල යැ බද්ධවෛරය ඛිල යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ ඛිලයෝ යි. ඒ ඛිලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තු කරන ලදහ අනුඅභාවය කරන ලදහ ආයති භවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අඛිලයහ. පටිභානවා යනු: ප්‍රතිභානවත්හු තිදෙනෙකි: පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යැ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යැ අධිගම ප්‍රතිභාන ඇත්තේ යී. පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් පියවින් සූත්‍ර ගෙය වෛය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූත ධර්‍ම වෙදල්ල යන මේ පිරිවහන ලද වෙයි. ඔහට පර්‍ය්‍යාප්තිය නිසා වැටහෙයි. මේ පර්‍ය්‍යාප්ති ප්‍රතිභාන ඇත්තේ යි.
පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතැමෙක් අර්‍හත්ඵලයෙහි ද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙහි ද (අනිත්‍යාදි) ලක්‍ෂණයෙහි ද හේතුයෙහි ද කාරණාකාරණයෙහි ද ලා පිළිවිස්නේ වෙයි. ඔහට පරිපුච්ඡාව නිසා වැටහෙයි. මේ පරිපුච්ඡා ප්‍රතිභාන ඇත්තේ යි. අධිගම ප්‍රතිභාන ඇත්තේ කවරැ යත්: මෙ සස්නෙහි ඇතමකු විසින් සතර සතිපට්ඨානයෝ සතර සම්‍යක් ප්‍රධානයෝ සතර ඍද්ධිපාදයෝ පඤ්චේන්‍ද්‍රියයෝ පඤ්චබලයෝ සප්තබෝධ්‍යංගයෝ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය සතර ආර්‍ය්‍යමාර්‍ග හා සතර ශ්‍රාමාණ්‍යඵල හා සතර ප්‍රතිසංවිත් හා ෂඩ්භිඥා හා අධිගම කරන ලද වෙති. ඔහු විසින් අර්‍ත්‍ථය දන්නා ලද යැ ධර්‍මය දන්නා ලද යැ නිරුක්ති දන්නා ලද යැ. අර්‍ත්‍ථය දන්නා ලද කල්හි අර්‍ත්‍ථය වටහයි ධර්‍මය දන්නා ලද කල්හි ධර්‍මය වටහයි. නිරුක්තිය දන්නා ලද කල්හි නිරුක්තිය වටහයි. මේ ත්‍රිවිධ ඥානයෙහි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. බුදුහු මේ ප්‍රතිභානප්‍රතිසංවිදායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු එළඹ සිටියාහු මොනොවට එළඹ සිටියාහු සමෘද්ධ වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ප්‍රතිභානවත්හ. යමක්හට පර්‍ය්‍යාප්ති නැද්ද පරිපුච්ඡා නැද්ද අධිගම නැද්ද, කුමක් ඔහට වැටහෙන්නේ ද? යී ‘අඛිලො පටිභානවා’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“එස හීයො පසීදාමි -පෙ- අඛිලො පටිභානවා” යී.
25.
අධිදේවකර ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හීන-ප්‍රණීත වූ (හෝ තමාත් මෙරමා ත් පිළිබඳ වූ) අධිදේවත්වකර සියලු ධර්‍මජාතය දතු වහ. ශාස්තෘහු සැක ඇතියන් වැ මැ ‘නිසැකයම්හ’ යි පිළින කරනුවන්ගේ ප්‍රශ්න කෙළවර කරනුවහ.
අධිදෙවෙ අභිඤ්ඤා - ‘දේව’ යනු: දෙවියෝ තිදෙනෙකි. සම්මුති දේව යැ උත්පත්ති දේව යැ විශුද්ධි දේව යැ යි. සම්මුති දේවයෝ කවරහ යත්: රජවරු ද රාජකුමාරයෝ ද දෙවීහි ද ‘සම්මුති දේවහ’යි කියනු ලැබෙති. මොහු සම්මුති දේවහ යි කියනු ලැබෙත්. උත්පත්ති දේවයෝ කවරහ යත්: සිව්මහරද වැසි දෙවියෝ ද තව්තිසා දෙවියෝ ද ... බ්‍රහ්මකායික දෙවියෝ ද එයින් මත්තෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් ඔහු දු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙති. මොහු උත්පත්ති දේවහ’ යි කියනු ලැබෙත්. විශුද්ධිදේවයෝ කවරහ යත්: තථාගතයෝ ද තථාගත ශ්‍රාවකයෝ ද ක්ෂිණාශ්‍රව රහත්හු ද යම් පසේබුදු කෙනෙක් වෙත් නම් ඔහු දු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙති. මොහු විශුද්ධිදේවහ’යි කියනු ලැබෙත්. බුදුහු සම්මුති දෙවියනට අධිදේවහ’යි දැන උත්පත්ති දෙවියනට අධිදේවහ’යි දැන විශුද්ධි දෙවියනට අධිදේවහ’යි දැන, දැන ගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත (ප්‍රකට) කොට නුයි ‘අධි දෙවෙ අභිඤ්ඤාය’ යනු වේ.
සබ්බං වෙදි පරොපරං යනු: බුදුහු තමාගේ ද මෙරමා ගේ ද අධිදෙව කරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්‍රතිවේධ කළහ. තමහට අධිදෙව කර ධර්‍මයෝ කවරහ යත්: ප්‍රශස්ත ප්‍රතිපදා යැ අවිරුද්ධ ප්‍රතිපදා යැ අප්‍රත්‍යනීක ප්‍රතිපදා යැ අර්ථානුගතප්‍රතිපදා යැ ධර්‍මානුධර්‍ම ප්‍රතිපදා යැ ශීලයෙහි සපුරා කරන බව ය ඉඳුරන්හි පියූ දොර ඇති බව යැ වැළඳීමෙහි පමණ දන්නා බව යැ නිදිවැරීමෙහි යෙදීම යැ ස්මෘති සම්ප්‍රජන්‍ය යැ සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය යැ යන මොහු ‘තමහට අධිදෙවකර ධර්‍මහ’යි කියනු ලැබෙත්. මෙරමාහට අධිදෙවකර ධර්‍මයෝ කවරහ යත්: ප්‍රශස්ත ප්‍රතිපදා යැ ... ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය යැ යන මොහු ‘මෙරමාහට අධිදෙවකර ධර්‍මහ’යි කියනු ලැබෙත්. මෙසෙයින් බුදුහු තමහට ද ‘මෙරමා හට අධිදේවකරධර්මයන් දතුවහ ජානනය කළහ දුටුවහ ප්‍රතිවේධ කළාහු නුයි ‘සබ්බං වෙදි පරොපරං’ යනු වේ.
පඤ්හානන්තකරො සත්‍ථා යනු: බුදුහු පාරායනිය බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නයන් අවසාන කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් (නිගමන) කරනුවහ. සභිය ප්‍රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ. ශක්‍ර ප්‍රශ්නයන් සුයාම ප්‍රශ්නයන් මහණුන්ගේ ප්‍රශ්නයන් මෙහෙණන්ගේ ප්‍රශ්නයන් උවසුවන්ගේ ප්‍රශ්නයන් උවැසියන්ගේ ප්‍රශ්නයන් රජුන්ගේ ප්‍රශ්නයන් ක්‍ෂත්‍රියයන්ගේ ප්‍රශ්නයන් බ්‍රාහ්මණයන්ගේ ප්‍රශ්නයන් වෛශ්‍යයන්ගේ ප්‍රශ්නයන් ශුද්‍රයන්ගේ ප්‍රශ්නයන් දෙවියන්ගේ ප්‍රශ්නයන් බඹුන්ගේ ප්‍රශ්නයන් අවසන් කරනුවහ කෙළවර කරනුවහ මර්‍ය්‍යාදා කරනුවහ පිරිවැටුම් කරනුවහ නුයි පඤ්හානන්තකරො’ යනු වේ. සත්‍ථා යනු: බුදුහු සාර්ථවාහයහ: යම්සේ සාත්තුනායක ගැල්සාත්තු කාන්තාරය තරණය කරවා ද, සොර කතර තරවා ද, වල් කතර තරවා ද, දුබික්කතර තරවා ද, මරු කතර තරවා ද, උත්තරණ නිස්තරණ ප්‍රතරණ කරවා ද, ක්ෂේමභූමියට මැනැවින් පමුණුවා ද, එසෙයින් මැ බුදුහු සාත්තුනායක වූවාහු සත්ත්‍වයන් කතර තරවති: ජාතිකාන්තාරය තරණය කරවති. ජරා-ව්‍යාධි-මරණ-ශෝක-පරිදේව- දුඃඛ-දෞර්‍මනස්‍ය-උපායාස කාන්තාරය තරණය කරවති, රාග- කාන්තාරය තරණය කරවති, ද්වේෂ-මෝහ-මාන-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිත කාන්තාරය තරණය කරවති, රාගගහනය තරණය කරවති, ද්වේෂගහනය- මොහගහනය-දෘෂ්ටි-ක්ලේශ-දුශ්චරිතගහනය තරණය කරවති, උත්තරණ නිස්තරණ ප්‍රතරණ කරවති, ක්ෂේමභූමි වූ අමාමහනිවනට පමුණුවා නුයි මෙසේ ත් බුදුහු සාර්ත්ථවාහ වෙති.
නොහොත් බුදුහු (නිවනට පමුණුවන හෙයින්) නේතෘ වූහ (විනයන කරන හෙයින්) විනේතෘ වූහ අනුනේතෘ වූහ (සැක සිඳඅර්ථය) පනවනුවහ නිශ්චය කරනුවහ (පිළිවෙත් දක්වනුවහ ප්‍රතිපත්ති ඵලයෙන් පහදනුවහු නුයි මෙසේත් බුදුහු සාර්ත්ථවාහ වෙති. නො හොත් බුදුහු (ස්වසන්තානයෙහි) නූපන් මාර්‍ගය උපදවනුහ (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය දනවනුවහ. ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුවහ. මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නා සුල්ලහ මාර්‍ගයෙහි විචක්‍ෂණයහ ඒ බුදුන් විසින් හෙළි කළ මාර්‍ග හේතු කොට මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයන්) පසු පසැ යෙමින් වෙසෙත් නුයි මෙසේත් බුදුහු සාර්ත්ථවාහ නම් වෙත්.
කඞ්ඛීනං පටිජානතං - සශංක වැ අවුත් නිශ්ශංකයෝ වෙති සලෙඛ (විචිකිත්සායෙන් රෙඛිත මනස ඇති) වැ අවුත් නිල්ලෙඛයෝ වෙති ද්වේළ්හක (අනෛකාන්තග්‍රාහ) සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් ද්වෙළ්හක රහිතයෝ වෙති විචිකිත්සා සහිත වැ අවුත් විචිකිත්සා රහිතයෝ වෙති සරාග වැ අවුත් වීතරාගයෝ වෙති සදෝස වැ අවුත් වීතදොසයෝ වෙති සමෝහ වැ අවුත් වීතමෝහයෝ වෙති ක්ලේශ සහිත වැ අවුත් ක්ලේශ රහිතයෝ වෙත් නුයි ‘කඞ්ඛීනං පටිජානතං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“අධිදෙවෙ අභිඤ්ඤාය -පෙ- කඞ්ඛීනං පටිජානතං” යී.
26.
යම් නිවනකට කිසි තැනෙක්හි උපමා නැද්ද (රාගාදියෙන්) ගෙන යා නො හැකි අකෝප්‍ය වූ නිවන එකත්නෙන් අධිගම කරනෙම් මෙහි ලා මට සැකයෙක් නැති, මෙසෙයින් (පිඞ්ගිය තෙපි) මා ශ්‍රද්ධායෙහි අධිමුක්තසිත් ඇතියකු කොට ධරව’ යි.
අසංහීරං අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංහීර’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අසංහීරං යනු: රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රෝධයෙන් බද්ධවෛරයෙන් මකු බැවින් පලාසයෙන් ඊර්‍ෂ්‍යායෙන් මාත්සර්‍ය්‍යයෙන් මායායෙන් සඨබැවින් ස්තම්භයෙන් කරණොත්තරිය කරණයෙන් මානයෙන් අතිමානයෙන් මදයෙන් ප්‍රමාදයෙන් හැම කෙලෙසුන් විසින් හැම දුසිරිත් විසින් හැම පරිදාහ විසින් හැම ආස්‍රව විසින් හැම දරථ විසින් හැම තැවුලි විසින් හැම අකුසලාභිසංස්කාරයන් විසින් අසංහාර්‍ය්‍ය වූ නිවන නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාම ස්වභාව ඇත් නුයි ‘අසංහීර’ නම් වෙයි. අසංකුප්පං යනු: අමාමහනිවන ‘අසංකුප්ප’ යි කියනු ලැබෙයි. යම් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. යමක්හු ගේ උත්පාදය නො පැනේ ද, ව්‍යය නො පැනේ ද, අන්‍යථාභාවයෙක් නො පැනේ ද, ඒ අසංකෝප්‍ය වූ නිවන නිත්‍ය යැ ධ්‍රැව යැ ශාශ්වත යැ අවිපරිණාමස්වභාව ඇත් නුයි ‘අසංහීරං අසංකුප්පං’ යනු වේ.
යස්ස නත්‍ථි උපමා ක්වචි - ‘යස්ස’ යනු: නිවනට. නත්‍ථි උපමා යනු: උපමා නැති. උපනිධි නැති සදෘශයෙක් නැති ප්‍රතිභාගයෙක් නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබේ. ක්වචි යනු: අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි අධ්‍යාත්ම බාහ්‍ය වේවයි කිසිවෙකැ කිසි තැනෙකැ නුයි ‘යස්ස නත්‍ථි උපමා ක්වචි’ යනු වේ.
අද්ධා ගමිස්සාමි න මෙත්‍ථ කඞ්ඛා - ‘අද්ධා’ යනු: ඒකාන්තවචන යැ නිස්සංශයවචන යැ නිසැක වචන යැ ද්විවිධ නො වූ වචන යැ (මෙසේ වී ලැයි) නො දෙහද වචන යැ නියෝග වචන යැ අන්වර්ත්ථ වචන යැ නො සිස් වචන යැ අවිරුද්ධ වචන යැ තෙල ‘අද්ධා’ යනු සනිටුහන් වචන යි. ගමිස්සාමි යනු: අවබෝධ කරනෙමි අධිගම කරනෙමි පහස්නෙමි පසක් කරනෙමි නුයි ‘අද්ධා ගමිස්සාමි’ යනු වේ. න මෙත්‍ථ කංඛා යනු: ‘එත්ථ’ යනු නිවනෙහි සැක නැති විසිකිස නැති දෙහද බව් නැති සංශය නැති, නො වෙයි, නො පැනෙයි, නො ලැබෙයි ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හින අප්‍රවෘත්ත යැ යළි උපදනට නො නිසි කරන ලද යැ නුවණ ගින්නෙන් දවන ලද නුයි ‘අද්ධා ගමිස්සාමි න මෙත්‍ථ කංඛා’ යනු වේ.
එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං - ‘එවං මං ධාරෙහි’ යනු: මෙසෙයින් මා නිවනට නිම්න වූ නිවනට නැඹුරු වූ නිවනට බර වූ නිවනෙහි අධිමුක්ත වූ සිත් ඇතියකු කොට සලකව නුයි ‘එවං මං ධාරෙහි අධිමුත්ත චිත්තං’ යනු වේ.