යථා බුද්ධෙන දෙසිතං - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වෙත් ද ... මේ ‘බුද්ධ’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියකි. යථා බුද්ධෙන දෙසිතං යනු: යම්සේ බුදුන් විසින් වදාරන ලද ද, දෙසන ලද ද, පනවන ලද ද, තබන ලද ද, විවෘති කරන ලද ද, විභාග කරන ලද ද, පාළ කරන ලද ද, ප්‍රකාශ කරන ලද දැයි ‘යථා බුද්ධෙන දෙසිතං’ යනු වේ.
තථා යො පටිපජ්ජෙය්‍ය යනු: සම්‍යක් ප්‍රතිපදාව අනුලොමප්‍රතිපදාව අවිරුද්ධප්‍රතිපදාව අන්‍වර්ථ ප්‍රතිපදාව ධර්මානුධර්මප්‍රතිපදාව පිළිපදනේ නම් නුයි ‘තථා යො පටිපජ්ජෙය්‍ය’ යනු වේ.
ගචෙඡ පාරං අපාරතො - ‘පාර’ යී අමාමහනිවන කියනු ලැබෙයි: ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ගච්ඡෙ පාරං අපාරතො යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්‍ශ කරන්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේනුයි ‘ගච්ඡෙ පාරං අපාරතො’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“එකමෙකස්ස පඤ්හස්ස -පෙ- ගච්ඡෙ පාරං අපාරතො”යී.
7.
උතුම් වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩනුයේ අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ පාරගමනයට හේ මාර්‍ග වෙයි. එහෙයින් ‘පාරායණ’ නම් වී යයි.
අපාරා පාරං ගච්ඡෙය්‍ය - ‘අපාර’ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙති. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. අපාරා පාරං ගච්ඡෙය්‍ය යනු: අපාරයෙන් පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය පහස්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නුයි ‘අපාරා පාරං ගච්ඡෙය්‍ය’ යනු වේ.
භාවෙන්තොමග්ගමුත්තමං - ‘මග්ගමුත්තමං’ (උත්තමමාර්ග) යි ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්‍ගය කියනු ලැබෙයි. හෙ මෙසේයි. සම්‍යග්දෘෂ්ටි යැ ... සම්‍යක් සමාධි යි. මග්ගමුත්තමං යනු: අග්‍ර මාර්‍ග යැ ශ්‍රේෂ්ඨ ජ්‍යේෂ්ඨ ප්‍රමුඛ උත්තම ප්‍රවර මාර්‍ගය. භාවෙන්තො යනු: වඩනුයේ සෙවුනේ බහුල කරනුයේ නුයි ‘භාවෙන්තො මග්ගමුත්තමං’ යනු වේ.
මග්ගෝ සො පාරං ගමනාය යනු:
1. මග්ග යැ පන්‍ථක යැ පථ යැ පජ්ජ යැ අඤජසය යැ වටුම යැ අයන යැ නාවා යැ උත්තරසෙතු යැ කුල්ල යැ හිසි යැ සඞ්කම යි.
පාරං ගමනාය යනු: පරායට යනු පිණිස පරායට පැමිණෙනු පිණිස පරායට මැනැවින් පැමිණෙනු පිණිස ජරාමරණයාගේ තරණය පිණිස නුයි ‘මග්ගෝ සො පාරං ගමනාය’ යනු වේ.
තස්මා පාරායනං ඉති - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තත්නිදානයෙන්. ‘පාර’ යි අමාමහනිවන කියනු ලැබෙයි. ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්‍ගය කියනු ලැබෙයි. ඉති යනු: පද සන්‍ධි යැ .. තෙල ‘ඉති’ යනු පදානුපූර්‍වතා නුයි ‘තස්මා පාරායනං ඉති’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“අපාරා පාරං ගච්ඡෙය්‍ය -පෙ- තස්මා පාරායනං ඉති” යි.
8.
ආයුෂ්මත් පිඞ්ගිය (බාවරීහට) මෙසේ පැවැසී: පාරායණය බුදුන් වදාළ සෙයින් කියනෙම්, (බුදුහු) යම්සේ (සත්‍යාභිසම්බෝධයෙන්) දුටු සේක් නම් එසේ වදාළහ, නිර්‍මල වු විපුල ප්‍රඥා ඇති ප්‍රහීණ වූ කාම ඇති කෙලෙස් වල් හෝ තෘෂ්ණා විරහිත බුද්ධනාග තෙමේ කුමක් හෙයින් මුසවා කියන්නේ ද?
පාරායනමනුගායිස්සං යනු: ගීතය අනුව ගයනෙම් කථිතය අනුව කියනෙම් භණිතය අනුව බණනෙම් ලපිතය අනුව තෙපලනෙම් භාෂිතය අනුව භාෂණය කරනෙම් නුයි ‘පාරායනමනුගායිස්සං’ යනු වේ.
ඉච්චායස්මා පිඞ්ගියො - ‘ඉච්චා’ යනු: පදසන්ධි යැ ... තෙල ‘ඉච්චා’ යනු: පදානුපූර්‍වතා ද වෙයි. ආයස්මා යනු: ප්‍රිය වචන යැ ගරු වචන යැ තෙල ‘ආයස්මා’ යනු සගෞරව සප්‍රතිශ්‍රය නමෙකි. පිඞ්ගියො යනු: ඒ තෙරුන්ගේ නාම යැ සඞ්ඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නුයි ‘ඉච්චායස්මා පිඞ්ගියො’ යනු වේ.
යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු: දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ අනිත්‍යහ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළහ. ‘හැම සංස්කාරයෝ දුක්හ’යි ... ‘යම් කිසි සමුදය ධර්‍මයෙක් ඇත් නම් ඒ හැම නිරෝධස්වභාවය ඇතැ’යි දුටු පරිදි වදාළහ පැවැසූහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ ප්‍රකට කළහ ප්‍රකාශ කළාහු නුයි යථා අද්දක්‍ඛි තථා අක්‍ඛාසි යනු වේ.
විමලො භූරි මෙධසො - ‘විමලො’ යනු: රාගය මලයෙක ද්වේෂය මලයෙක මෝහය මලයෙක ක්‍රෝධය - උපනාහය ... හැම අකුශලාභිසංස්කාරයෝ මලයෝ යි. ඒ මලයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ මුලසුන් කරනලදහ මුල්උදුළ තල්වත්තක් සෙයින් කරන ලදහ අනුඅභාවය කරන ලදහ (එහෙයින්) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අමලයහ, විමලයහ, නිර්‍මලයහ, කස වූ මල ඇතියහ, වෙසෙසින් ප්‍රහීණ වූ මල ඇතියහ, මලයෙන් විප්‍රමුක්තයහ, හැම ක්ලේශ මලයන් ඉක්ම වූහ. ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි, බුදුහු ඒ පෘථිවි සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මේධා සංඛ්‍යාත ප්‍රඥායෙන් යුක්ත වූවාහු සමුපේත වූවාහු උපගත වූවාහු සමුපගත වූවාහු නො වෙන් වූවාහු පරිපූර්‍ණ වූවාහු සමන්‍වාගත වූවාහු වෙති. එයින් බුදුහු ‘සුමෙධස’ නුයි ‘විමලො භූරි මෙධසො’ යනු වේ.
නික්කාමො නිබ්බනො නාගො - ‘කාමා’ යනු: විස්තර විසින් වස්තු කාමයෝ ද ක්ලේශකාමයෝ දැයි කාම දෙකෙකි. ... මොහු වස්තුකාමයෝ යි කියනු ලැබෙති. ... මොහු ක්ලේශකාමයෝ යි කියනු ලැබෙත්. භාග්‍යවත් බුදුන් විසින් වස්තුකාමයෝ සාමාන්‍ය ලක්‍ෂණාවබොධයෙන් දන්නා ලදහ ක්ලේශකාමයෝ ප්‍රහාණය කරන ලදහ වස්තුකාමයන් පරිඥාත වන බැවින් ක්ලේශකාමයන් ප්‍රහීණ වන බැවින් බුදුහු කාමයන් නො කැමැති වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන් ප්‍රාර්‍ත්‍ථනා නො කෙරෙති, කාමයන් පිහායන (මැනැවින් පැතීම) නො කෙරෙති, කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. යම් කෙනෙක් කාමයන් කැමැති වෙත් ද කාමයන් ඊප්සාකෙරෙත් ද කාමයන් ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත් ද කාමයන් පිහායන කෙරෙත් ද කාමයන් උදෙසා වාග්භේද කෙරෙත් ද, ඔහු කාමකාමීහු රාගරාගීහු සංඥාසංඥීහු වෙති. බුදුහු කාමයන් කැමැති නො වෙති, කාමයන් ඊප්සා නො කෙරෙති, කාමයන්ප්‍රාර්‍ථනා නොකෙරෙති කාමයන් පිහායන නො කෙරෙති කාමයන් උදෙසා වාග්භේද නො කෙරෙත්. එයින් බුදුහු අකාමයහ, නිෂ්කාමයහ, ත්‍යක්තකාමයහ, වාන්තකාමයහ, මුක්තකාමයහ, ප්‍රහීණකාමයහ, ප්‍රතිනිඍෂ්ටකාම (බැහැර කළ කාම ඇති) යහ, වීතරාගයහ, විගතරාගයහ, ත්‍යක්තරාගයහ, වාන්තරාගයහ, මුක්තරාගයහ, ප්‍රහීණරාගයහ ප්‍රතිනිඍෂ්ටරාගයහ, තෘෂ්ණා රහිතයහ, නිවියාහ, සිහිල් වූහ, කායික චෛතසික සුව විඳින්නාහු උතුම් පියවි ඇති සිතින් යුතු වැ වාසය කෙරෙත් නුයි ‘නික්කාමො’ යනු වේ. නිබ්බනො යනු: රාගය (වන සදෘශ වන බැවින) වන යැ, ද්වේෂය වන යැ, මෝහය වන යැ, ක්‍රෝධය වන යැ, බද්ධවෛරය වන යැ ... හැම අකුශලාභිසංස්කාරයෝ වනයෝ යි. ඒ වනයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනුඅභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු වන රහිතයහ පහවූ වන ඇතියහ නිර්වණයහ වනයෙන් පහවූහ වන විප්‍රහීණයහ වන විප්‍රමුක්තයහ හැම වනයන් ඉක්මවූහ නුයි නිබ්බනො යනු වේ. නාගො යනු: බුදුහු නාගයහ පව් නො කෙරෙත් නුයි නාගයහ (අගතියට) නො යෙත් නුයි නාගයහ (පුහුන් කෙලෙසුන් කරා) නො එත් නුයි නාගයහ ... මෙසෙයින් බුදුහු නොඑත් නුයි නාගයහ’යි ‘නික්කාමො නිබ්බනො නාගො’ යනු වේ.
කිස්ස හේතු මුසා භණෙ - ‘කිස්ස හේතු’ යනු: කවර හෙයින් කුමක් හෙයින් කවර කරුණින් කුමක් නිදානකොට කුමක් ප්‍රත්‍යය කොට නුයි ‘කිස්ස හේතු’ යනු වේ. මුසා භණෙ යනු: මුසවා බෙණෙන්නේ ද කියන්නේ ද පවසන්නේ ද වහරන්නේ ද, මුසා භණෙ යනු: මුසාබස් බෙණෙන්නේ ද මුසවා බෙණෙන්නේ ද අනාර්‍ය්‍යවචන බෙණෙන්නේ ද “මෙලොවැ කිසිවෙක් සභායෙහි සිටියේ හෝ ගම්සභායෙහි සිටියේ හෝ නෑයන් මැද සිටියේ හෝ සේනා මැද සිටියේ හෝ රදොල් මැද සිටියේ හෝ සාක්ෂියට කැඳවන ලදුයේ ‘එව එම්බා පුරුෂය, දන්නා දැය කිය’යි සාක්‍ෂි අසන ලදුයේ හෝ නො දන්නේ මැ ‘දනිමී’ කියයි, දන්නේ මැ ‘නො දනිමී’ කියයි, නො දක්නේ මැ ‘දක්මී කියයි, දක්නේ මැ ‘නො දක්මී’ කියයි. මෙසේ තමා නිසා හෝ මෙරමා නිසා හෝ මඳවූ අල්ලසක් නිසා හෝ දැන දැන බොරු කියයි. මේ ‘මොසවජ්ජ’යී කියනු ලැබෙයි.
තවද තුන් අයුරෙකින් මෘෂාවාදය වෙයි: පළමු මැ ඔහුට බොරුවක් කියන්නෙමී සිත වෙයි, කියන්නාහට මුසවා බෙණෙමී සිත වෙයි, කීවහුට මුසවා මා විසින් කියනලදැ’යි සිත වෙයි. මේ තුන් අයුරින් මෘෂාවාද වේ. තවද සතර අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට මුසවා බණන්නෙමී සිත වෙයි, කියන්නාහට මුසවා බෙණෙමී සිත වෙයි, කීවහුට මුසවා මා විසින් කියන ලදැ’යි සිත වෙයි, ලබ්ධිය සඟවාගෙන කියයි. මේ සතර අයුරින් මෘෂාවාද වේ.
තවද පස් අයුරෙකින් - සය - අයුරෙකින් - සත් අයුරෙකින් - අට අයුරෙකින් මෘෂාවාද වෙයි: පළමු මැ ඔහුට මුසවා බණන්නෙමී සිත වෙයි, බණන්නහුට මුසවා බෙණෙමී සිත වෙයි, බිණුවහුට මුසවා මා විසින් බණන ලදැ’යි සිත වෙයි, ලබ්ධිය සඟවා කියයි, කැමැත්ත සඟවා කියයි, රුචිය සඟවා කියයි, සංඥාව සඟවා කියයි, භාවය සඟවා කියයි. මේ අට අයුරින් මෘෂාවාද වේ. කිස්ස හේතු මුසා භණෙ යනු: කුමක් හෙයින් මුසවා බණන්නේ ද කියන්නේ ද දක්වන්නේ ද වහරන්නේ ද’ යී ‘කිස්ස හේතු මුසා භණෙ’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“පාරායනමනුගායිස්සං -පෙ- කිස්ස හේතු මුසා භණෙ” යී.
9.
ප්‍රහීණ වූ මල හා මොහොය හා ඇති මානය හා මකුබව හා දුරැලූ උන් වහන්සේගේ ගුණෝපසංහිත වූ වචනය මම් එකත්නෙන් කිර්තනය කරනෙම්.
පහීනමලමොහස්ස - ‘මලං’ යනු: රාගය මල යැ, ද්වේෂය මල යැ, මෝහය මල යැ, මානය මල යැ, දෘෂ්ටිය මල යැ, ක්ලේශය මල යැ, හැම දුශ්චරිතය මල යැ, හැම භවගාමී කර්‍මය මල යි. මොහො යනු: යම් දුකෙහි නො දැන්මෙක් ... අවිද්‍යා පරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් වේ ද මේ ‘මෝහ’ යි කියනු ලැබේ. මලය ද මෝහය ද භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ, අනු අභාවය කරන ලදහ, ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු ප්‍රහීණ මලමොහ ඇත්තාහු නුයි ‘පහීනමලමොහස්ස’ යනු වේ.
මානමක්ඛප්පහායිනො - ‘මානො’ යනු: එක් අයුරෙකින් මානය වෙයි: චිත්තයාගේ යම් උන්නතියෙක් වේ ද එය යි.
දෙ අයුරෙකින් මානය වෙයි: ආත්මොත්කර්ෂණමාන යැ, පරවම්භන මාන යයි.
තුන් අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයෙමී’ මාන යයි.
සතර අයුරෙකින් මානය වෙයි: ලාභ හෙයින් මානය උපදවයි, යශස් හෙයින් මානය උපදවයි, ප්‍රශංසා හෙයින් මානය උපදවයි, සුඛ හෙයින් මානය උපදවයි.
පස් අයුරෙකින් මානය වෙයි: ‘මනවඩන රූපයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි. ‘මනවඩන ශබ්දයන්-ගන්‍ධයන්-රසයන්_ ස්ප්‍රෂ්ටව්‍යයන් ලබනසුල්ලෙමි’ මානය උපදවයි.
ස අයුරෙකින් මානය වෙයි: චක්ෂූස්සම්පත් හෙයින් මානය උපදවයි, ශ්‍රෝත සම්පත් හෙයින් - ඝ්‍රාණ සම්පත් හෙයින් - ජිහ්වාසම්පත් හෙයින් - කායසම්පත් හෙයින් - මනස්සම්පත් හෙයින් මානය උපදවයි.
සත් අයුරෙකින් මානය වෙයි: මාන යැ අතිමාන යැ මානාතිමාන යැ අවමාන යැ අධිමාන යැ අස්මිමාන යැ මිථ්‍යාමාන යැ යි.
අට අයුරෙකින් මානය වෙයි: ලාභයෙන් මානය උපදවයි, අලාභයෙන් අවමානය (හීනමානය) උපදවයි, යසසින් මානය උපදවයි, අයශසින් අවමානය උපදවයි, ප්‍රශංසායෙන් මානය උපදවයි, නින්‍දායෙන් අවමානය උපදවයි, සුඛයෙන් මානය උපදවයි, දුඃඛයෙන් අවමානය උපදවයි.
නව අයුරෙකින් මානය වෙයි: ‘මම් ශ්‍රෙෂ්ඨයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් ශ්‍රෙෂ්ඨයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් සදෘශයාහට හීනයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට ශ්‍රෙෂ්ඨයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට සදෘශයෙමී’ මාන යැ, ‘මම් හීනයාහට හීනයෙමී’ මාන යැ යි.
දස අයුරෙකින් මානය වෙයි: මෙලොවැ කිසිවෙක් ජාතියෙන් වේවයි ගෝත්‍රයෙන් වේවයි කුලපුත්‍රභාවයෙන් වේවයි වර්‍ණසෞන්‍දර්‍ය්‍යයෙන් වේවයි ධනයෙන් වේවයි අධ්‍යයනයෙන් වේවයි කර්‍මායතනයෙකින් වේවයි ශිල්පායතනයෙකින් වේවයි විද්‍යාවකින් වේවයි ශ්‍රැතයෙන් වේවයි ප්‍රතිභානයෙන් වේවයි එක්තරා වස්තුයෙකින් වේවයි මානය උපදවයි.
මෙබඳු වූ යම් මානයෙක් මඤ්ඤනායෙක් මඤ්ඤනා කළ බවෙක් උන්නතියක් ඔසවා තැබීමෙක් මානධ්වජයෙක් සිත නඟාගැන්මෙක් චිත්තයාගේ කේතුකම්‍යතායෙක් වේ නම් මේ ‘මාන’යි කියනු ලැබේ.
මක්ඛො යනු: යම් ගුණ මැකීමෙක් ගුණ මකන අයුරෙක් ගුණ මැකූ බවෙක් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යා කර්‍මයෙක් වේ ද මේ ‘මක්ඛ’ යි කියනු ලැබේ. භාග්‍යවත් බුදුන් විසින් මානය ද මක්ඛය ද ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ. හිස්සුන් තල්රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු මානමක්ඛප්පහායී වෙත් නුයි ‘මානමක්ඛප්පහායිනො’ යනු වේ.
හන්‍දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං - ‘හන්‍දාහං’ යනු: පදසන්ධි යැ පදසංසර්‍ග යැ පදපූරණ යැ අක්ෂරසමවාය යැ බ්‍යඤ්ජන ශ්ලිෂ්ටතා යැ තෙල ‘හන්‍දාහං’ යනු පදානුපූර්‍වතා ද වෙයි. කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං යනු: ගුණකථනයෙන් යුක්ත වූ සමුපේත වූ එළඹ සිටි මොනොවට එළඹ සිටි (සංයුක්ත වූ) නො වෙන් වූ පරිපූර්‍ණ වූ සමන්‍වාගත වූ වචනය තෙපුල වාක්‍යපථය ප්‍රකාශය කීර්‍තනය කරනෙම් දෙසනෙම් පනවනෙම් පිහිටුවනෙම් විවෘත කරනෙම් විභාග කරනෙම් පාළ කරනෙම් ප්‍රකාශ කරනෙම් නුයි ‘හන්‍දාහං කිත්තයිස්සාමි ගිරං වණ්ණූපසංහිතං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“පහීනමලමොහස්ස -පෙ- ගිරං වණ්ණූපසංහිතං” යී.
10.
බමුණාණෙනි, අවිදු අඳුර දුරැලූ සමතැස් ඇති ලෝකාන්තයට ගිය හැමභවයන් ඉක්ම වූ ආශ්‍රව රහිත වූ සියලු දුක් දුරැලූ සත්‍යනාම ඇති බුදුහු මා විසින් උපාශ්‍රීතයහ.
තමොනුදො බුද්ධෝ සමන්තචක්‍ඛු - ‘තමොනුදො’ යනු: ප්‍රඥා ලෝකය අඳුරු කරන, නුවණැස ඇති නො කරන, නො දැනීම ඇති කරන, පැනැස නසන, පීඩාපක්ෂයෙහි වූ, නිවන පිණිස නො පවත්නා වූ සියලු රාගාන්ධකාරය ද්වේෂාන්ධකාරය මෝහාන්‍ධකාරය මානාන්ධකාරය දෘෂ්ට්‍යන්ධකාරය, ක්ලේශාන්ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ, වෙසෙසින් දුරු කළහ, පරිත්‍යාග කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනුඅභාවයට පැමිණවූහ. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. ‘සමන්තචක්‍ඛු’ යි සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. ... එයින් තථාගතයෝ ‘සමන්තචක්‍ඛු’ නම් වෙත් නුයි ‘තමොනුදො බුද්ධෝ සමන්තචක්‍ඛු’ යනු වේ.
ලොකන්තගූ සබ්බභවාතිවත්තො - ‘ලෝකෝ’ යනු: එක් ලොකයෙක් වෙයි: භවලොකය යි.
ලෝකයෝ දෙදෙනෙක් වෙති: භවලොකය ද සම්භවලොකය දැයි, සම්පත්තිභවලොකය ද සම්පත්තිසම්භවලොකය දැ යි, විපත්තිභවලොකය ද විපත්තිසම්භව ලෝකය දැ යි.
ලෝකයෝ තිදෙනෙක් වෙති: තුන් වේදනා යැ. ලෝකයෝ සතර දෙනෙක් වෙති: සතර ආහාරයෝ යැ. ලෝකයෝ පස් දෙනෙක් වෙති: පඤ්ච උපාදානස්කන්‍ධයෝ යැ. ලෝකයෝ ස දෙනෙක් වෙති: අධ්‍යාත්මික ආයතනයෝ සදෙන යැ. සප්තලොකයෝ: සප්තවිඥානස්ථිතිහු යැ. අෂ්ටලොකයෝ: අෂ්ටලොකධර්මයෝ යැ. නවලොකයෝ: නව සත්තාවාසයෝ යැ. දශලොකයෝ: දශ ආයතනයෝ යැ. ද්වාදශලොකයෝ: දොළොස් ආයතනයෝ යැ. අටළොස් ලෝකයෝ: අටළොස් ධාතුහු යි.
ලොකන්තගූ බුදුහු ලෝකයෙහි අන්තයට ගියහ. අන්තයට පැමිණියහ. කෙළවරට ගියහ කෙළවරට පැමිණියහ. නිවනට ගියහ නිවනට පැමිණියහ. උන් වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ (ශීලයෙහි හා සමාධියෙහි) චීර්ණවශීහ ... ජාතිමරණසංසාරය පුනර්‍භවය උන්වහන්සේට නැත් නුයි ‘ලොකන්තගූ’ යනු වේ. සබ්බභවාතිවත්තො- ‘භවා’ යනු: භවයෝ දෙදෙනෙක් වෙති: කර්‍මභවය ද ප්‍රතිසන්‍ධි ඇති පුනර්‍භවය දැයි. කර්‍මභවය කවරැ යත්: පුණ්‍යාභිසංස්කාර යැ අපුණ්‍යාභිසංස්කාර යැ අනෙඤ්ජාභිසංස්කාර යි. මේ කර්‍මභවය යි. ප්‍රතිසන්ධික පුනර්‍භවය කවරැ යත්: පිළිසඳ ඇති රූප යැ වේදනා යැ සංඥා යැ සංස්කාරයෝ යැ විඥාන යැ යි. මේ ප්‍රතිසන්ධික පුනර්‍භවය යි. බුදුහු කර්‍මභවය ද ප්‍රතිසන්ධිකපුනර්භවය ද ඉක්මවූහ, අතික්‍රමණය කළහ, වෙසෙසින් ඉක්මවූවාහු නුයි ‘ලොකන්තගූ සබ්බභවාතිවත්තො’ යනු වේ.
අනාසවො සබ්බදුක්‍ඛප්පහායිනො - ‘අනාසවො’ යනු: ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණයහ උසුන්මුල් ඇතියහ හිස්සුන් තල් රුකක් සෙයින් අවස්තුක කරන ලදහ අනු අභාවය කරන ලදහ. (එහෙයින් මැ) ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු අනාස්‍රවයහ. සබ්බදුක්‍ඛප්පහායිනො යනු: උන් වහන්සේ විසින් පිළිසඳ ඇති හැම ජාති දුක ජරා දුක ව්‍යාධි දුක මරණ දුක ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්‍ය උපායාස දුක ... දෘෂ්ටිව්‍යසනයෙන් වන දුක ප්‍රහීණ යැ සිඳුනා ලද යැ සන්හිඳුවන ලද යැ ප්‍රතිප්‍රශ්‍රබ්ධ යැ යළි උපදනට නොනිසි යැ නුවණ ගින්නෙන් දවන ලදි. එයින් බුදුහු ‘සබ්බදුක්‍ඛප්පහායී’ වෙත් නුයි ‘අනාසවො සබ්බදුක්‍ඛප්පහායි’ යනු වේ.
සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ - ‘සච්චව්හයො’ යනු: සත්‍ය අභිධාන ඇත්තාහු සුදුසු නම් ඇත්තාහු සුදුසු අභිධාන ඇත්තාහු සත්‍ය සදෘශ අභිධාන ඇත්තාහු, විපස්සී නම් බුදුහු සිඛී නම් බුදුහු වෙස්සභූ නම් බුදුහු කකුසඳ නම් බුදුහු කෝණාගමන නම් බුදුහු කාශ්‍යප නම් බුදුහු යන ඒ භාග්‍යවත් බුදුවරු සදෘශ නම් ඇත්තාහු සදෘශ අභිධාන ඇත්තාහු වෙති. භාග්‍යවත් ශාක්‍යමුනිහු ද ඒ භාග්‍යවත් බුදුවරයනට සුදුසු නම් ඇතියහ, සදෘශ අභිධාන ඇතියහ, එයින් බුදුහු ‘සච්චව්හය’ වෙත්. බ්‍රහ්මෙ උපාසිතො මෙ යනු: මා විසින් ඒ බුදුහු ඇසුරු කරන ලදහ උපසාන කරන ලදහ පර්ය්‍යුපසාන කරන ලදහ ගැටපදයෙන් පුළුවුස්නා ලදහ තුලනය කරන ලදහ’යි ‘සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“තමොනුදො බුද්ධෝ -පෙ- සච්චව්හයො බ්‍රහ්මෙ උපාසිතො මෙ” යී.
11.
යම්සේ පක්‍ෂි මම් ද (බාවරී ආදි) මඳ නුවණැතියන් හැර පියා (අනවතප්තාදි) තෙම වනය හැරපියා බොහෝ පලවැළ ඇති වනයකට පැමිණ වසන්නේ ද, එසෙයින් මහවිලකට හංසයකු සෙයින් පැමිණියෙමි.
ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්‍යා - ‘ද්විජ’ යි පක්‍ෂියා කියනු ලැබෙයි. කවර කරුණෙකින් පක්‍ෂියා ‘ද්විජ’ යි කියනු ලැබෙයි යත්: මව් කුසින් ද බිජුවටින් දැයි දෙයළක් උපදී නුයි ද්විජ යැ, එ කරුණින් පක්‍ෂි තෙම ‘ද්විජ’ යි කියනු ලැබේ නුයි ද්විජ යැ. යථා කුබ්බනකං පහාය යනු: යම් සේ පක්‍ෂි තෙම මඳ වූ පල වැළ ඇති මඳ වූ ගොදුරු ඇති මඳ වූ දිය ඇති කුඩා වනය මඳ වූ වනය ස්වල්ප වූ වනය හැර හැරපියා ඉක්මවා මැනැවින් ඉක්මවා වෙසෙසින් ඉක්මවා බොහෝ පලවැළ ඇති බොහෝ අහර ඇති බොහෝ රුක් ඇති බොහෝ ජලය ඇති අන්‍ය මහවනයකට වන ලැහැබකට පැමිණෙන්නේ නම් ලබන්නේ නම් පිළිලබන්නේ නම් එ වනලැහැබ්හි වාසය කරන්නේ නුයි ‘ද්විජො යථා කුබ්බනකං පහාය බහුප්ඵලං කාන්නමාවසෙය්‍යා’ යනු වේ.
එවම්පහං අප්පදස්සෙ පහාය මහොද්ධිං හංසොරිව අජ්ඣපත්තො - ‘එවං’ යනු: උපමා සම්ප්‍රතිපාදන යැ. අප්පදස්සෙ පහාය යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද, අන්‍ය වූ ඔවුන්ගේ යම් ආචාර්‍ය්‍ය කෙනෙකුත් වෙත් ද ඔහු තුමූ භාග්‍යවත් බුදුන් පිණිස, අල්පදර්ශන ඇතියහ අත්‍යල්ප දර්‍ශන ඇතියහ මඳ වූ දර්‍ශන ඇතියහ පහත් දර්‍ශන ඇතියහ ලාමක දර්‍ශන ඇතියහ නො අගනා දර්‍ශන ඇතියාහු හෝ වෙති. අල්ප දර්ශීන් අත්‍යල්ප දර්ශීන් මන්දදර්ශීන් පහත්දර්ශීන් ලාමකදර්ශීන් අධමදර්ශීන් හැර හැරපියා ඉක්ම මොනොවට ඉක්ම වෙසෙසින් ඉක්ම අප්‍රමාණදර්ශන ඇති අග්‍රදර්ශන ඇති ශ්‍රෙෂ්ඨදර්ශන ඇති විශිෂ්ට දර්‍ශන ඇති ප්‍රමුඛදර්ශන ඇති උත්තමදර්ශන ඇති ප්‍රවරදර්ශන ඇති අසම වූ අසමසම වූ අප්‍රතිසම වූ අප්‍රතිභාග වූ අප්‍රතිපුද්ගල වූ දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ පුරුෂසිංහ වූ පුරුෂ නාග වූ පුරුෂාජානේය වූ පුරුෂනිසභ වූ පුරුෂධෞරය වූ දශබලධාරී වූ භාග්‍යවත් බුදුන් ලදිමි ලැබුයෙමි ප්‍රතිලාභ කෙළෙමි. යම්සේ හංස තෙම නො කැලඹුණු අප්‍රමාණ වූ ජලය ඇති උදකරාශී ඇති මහත් වූ මදොල්විල් හෝ නුතත් දහතළා හෝ මහමුහුද හෝ ලබා නම් විඳී නම් ප්‍රතිලාභ කෙරේ නම් එ පරිද්දෙන් මැ නො කැලඹුණු අප්‍රමාණ ඥානතෙජස් ඇති ප්‍රභේදගත (දශබලඥානාදි) ඥාන ඇති සමතැස් ඇති ප්‍රඥාප්‍රභෙදයෙහි දක්‍ෂ වූ ලබන ලද සිව්පිළිසිඹියා ඇති චතුර්වෛශාරද්‍යප්‍රාප්ත වූ ඵලසමවත්හි අධිමුක්ත වූ පිරිසුදු වූ ආවේණික ආත්මභාව ඇති අද්වය භාණී වූ (ඉෂ්ටානිෂ්ටයෙහි නො සැලෙන බැවින් තාදී වූ ප්‍රතිඥා නො ඉක්මෙන අල්ප නො වූ මහත් වූ ගම්භීර වූ ප්‍රමාණාර්භ නො වූ බැසගත නො හෙන (ශ්‍රද්ධා දි) බොහෝ වූ රත්න ඇති සාගරසම වූ ෂඩඞ්ගෝපේක්‍ෂායෙන් සමන්‍වාගත වූ (තුලනය කළ නො හැකි බැවින්) අතුල වූ විපුල වූ අප්‍රමේය වූ ඒ තාදීගුණ සම්පන්න වූ කථිකයන් අතුරෙහි මඟ කියන සුලු වූ, පර්‍වතයන් අතුරෙහි මේරුපර්‍වතය බඳු වූ පක්‍ෂීන් අතුරෙහි ගුරුළුරජහු බඳු වූ මෘගයන් අතුරෙහි සීරජක්හු බඳු වූ අර්ණවයන් අතුරෙහි සමුද්‍රය බඳු වූ ඒ ශාස්තෘ වූ ජිනප්‍රවර වූ මහර්ෂී වූ භාග්‍යවත් බුදුන් ලදිම් නුයි ‘එවම්පහං අප්පදස්සෙ පහාය මහොදධිං හංසොරිව අජ්ඣපත්තො’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“ද්විජො යථා -පෙ- මහොදධිං හංසොරිව අජ්ඣපත්තො” යි.
12.
පෙර (බාවරී ආදි) යම් කෙනෙක් ගෞතම ශාසනයෙන් පළමු ‘මෙසේ වී ල’ ‘මෙසේ වන්නේ ල’යි (යම් දහමක්) මට ප්‍රකාශ කළාහු නම් එ හැම ‘මෙසේ මෙසේ යැයි උපන් කථායෙක, එහැම (කාමවිතර්‍කාදි) තර්‍ක වඩනා සුලු යැ.
යෙ මෙ පුබ්බේ වියාකංසු - ‘යෙ’ යනු: යම් බාවරී නම් බමුණු කෙනෙකුත් වෙත් ද යම් අන්‍ය වූ ඔවුන්ගේ ආචාර්‍ය්‍ය කෙනෙකුත් වෙත් ද ඔහු ස්වකීය දෘෂ්ටිය සිය කැමැත්ත ස්වරුචිය ස්වලබ්ධිය සිය අදහස ස්වකීය අභිප්‍රාය විවරණ කළහ කීහ දෙසූහ පැනැවූහ තැබූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘යෙ මෙ පුබ්බේ වියාකංසු’ යනු වේ.
හුරං ගොතමසාසනා යනු: ගෞතම ශාසනයෙන් පළමු ගෞතම ශාසනයෙන් ඔබ්බෙහි ගෞතම ශාසනයෙන් පෙර ගෞතම ශාසනයෙන් බුද්ධශාසනයෙන් ජිනශාසනයෙන් තථාගතශාසනයෙන් දේවාතිදේව ශාසනයෙන් අර්‍හත් ශාසනයෙන් ඉතා පළමු නුයි ‘හුරං ගොතමසාසනා’ යනු වේ.
ඉච්චාසි ඉති භවිස්සති යනු: මෙසේ වී ල මෙසේ වන්නේ ලැ’යි ‘ඉච්චාසි ඉති භවිස්සති’ යනු වේ.
සබ්බං තං ඉතිහීතිහං යනු: එ හැම මෙසේ මෙසේ යැයි උපන් කථා යැ මෙසේ ලැ යි උපන් කථා යැ ඇදුරොල්හි ආ කථා යැ අපගේ පිටකයෙහි මෙසේ යැයි උපන් කථා යැ තර්‍ක හෙයින් න්‍යාය හෙයින් ආකාර පරිවිතර්‍කයෙන් තමා සිතා ඉවසාගත් දෘෂ්ටිය හා සැසඳේ යයි කියන කථා යැ තුමූ තමන් විසින් විශිෂ්ටඥානයෙන් දන්නා ලද්දක්, තමහට ප්‍රත්‍යක්‍ෂ වූ ධර්‍මයක් නො කීවාහු නුයි ‘සබ්බං තං ඉතිහීතිහං’ යනු වේ.
සබ්බං තං තක්කවඩ්ඪනං යනු: එ හැම තර්‍ක වඩනාසුලු යැ විතර්‍ක වඩනාසුලු යැ සංකල්ප වඩනාසුලු යැ කාමවිතර්‍ක වඩනාසුලු යැ ව්‍යාපාද විතර්‍ක වඩනාසුලු යැ විහිංසා විතර්‍ක වඩනාසුලු යැ ඥාති විතර්‍ක වඩනාසුලු යැ ජනපද විතර්‍ක වඩනාසුලු යැ අමරා විතර්‍ක වඩනාසුලු යැ පරානුකම්පා ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ ලාභසත්කාර කීර්තිශබ්ද ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ අනවඥා ප්‍රතිසංයුක්ත විතර්‍ක වඩනාසුලු යැ’යි ‘සබ්බං තං තක්කවඩ්ඪනං’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“යෙ මෙ පුබ්බේ වියාකංසු -පෙ- සබ්බං තං තක්කවඩ්ඪනං” යී.
13.
අවිදු අඳුරු දුරු කළා වූ ද්‍යුතිමත් වූ ප්‍රභාකර වූ මහත් වූ ඥාන ධ්වජ ඇති ඒ ගෞතමයන් වහන්සේ විපුල ප්‍රඥා ඇති ගෞතමයන් වහන්සේ (පහණසෑ වෙහෙරෙහි) එකලා වැ වැඩහුන් සේක.
ඒකෝ තමොනුදාසිනො - ‘ඒකෝ’ යනු: බුදුහු ප්‍රව්‍රජා සංඛ්‍යාතාර්ථයෙන් අතුල්‍යහ, අද්විතීයාර්ථයෙන් අතුල්‍යහ, තෘෂ්ණාප්‍රහාණාර්ථයෙන් අසහායහ, එකාන්තවීතරාග නුයි අසහායහ, එකාන්තවීත්‍යාදොස නුයි අසහායහ, එකාන්තවීතමොහ නුයි අසහායහ, ඒකාන්තයෙන් නික්ලේශ නුයි අසහායහ, එකායනමාර්ගයට ගියාහු නුයි අසහායහ, අතුල්‍ය වූ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි එකයහ.
කිසෙයින් බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාත අර්‍ත්‍ථයෙන් ‘එක’ වූහ යත්: බුදුහු තරුණ වූවාහු මැ අඳුන්වන් කෙහෙ ඇත්තාහු භද්‍රයෞවනයෙන් යුත් ප්‍රථම වයසින්සමන්වාගත වූවාහු නො කැමැති වැ (එහෙයින් මැ) කඳුළින් තෙමුණු මුහුණු ඇති හඬන වැලැපෙන මව්පියනට අනාදර කොට ඥාතිසමූහයා හැරපියා හැම ගෘහාවාස පරිරොධයන් සිඳපියා අඹුදරු පලිබොධ සිඳපියා ඥාතිපරිරොධ සිඳපියා සග යහළු පලිබොධ සිඳපියා කෙස්රවුළු බහා කහවත් හැඳපෙරෙවැ ගිහිගෙන් නික්මැ ශාසනයෙහි පිවිදි වැ අකිඤ්චන (කිසිවක් නැති) බවට පැමිණ එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියවු පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ප්‍රව්‍රජ්‍යාසංඛ්‍යාතයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු අද්විතීයාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ පැවිදි වූවාහු එකලා වැ අල්පශබ්ද වූ, අල්පනිර්ඝෝෂ වූ ජනවාත රහිත වූ මිනිසුන්ගේ රාහස්‍යයට ස්ථාන වූ විවේකයට අනුරූප වූ, වනයෙහි දුර සෙනසුන් වනපර්‍ය්‍යන්ත සෙනසුන් ඇසුරු කෙරෙති. උන්වහන්සේ එකලා වැ හැසිරෙති, එකලා වැ යෙති, එකලා වැ සිටිති, එකලා වැ හොවිති, එකලා වැ ගමට පිඬු සිඟා පිවිසෙති, එකලා වැ රහසැ හිඳිති, එකලා වැ සක්මන් කෙරෙති, එකලා වැ හැසිරෙති, වෙසෙති, ඉරියව් පවත්වති, වැටෙති රැකෙති යැපෙති යාපනය වෙත්. මෙසේ බුදුහු ‘අද්විතීයාර්ථයෙන් එකයහ.
කිසෙයින් බුදුහු තෘෂ්ණා ප්‍රහාණාර්ථයෙන් ‘එක’ වූහ යත්: උන්වහන්සේ මෙසේ එකලා වූවාහු අද්විතීය වූවාහු අප්‍රමත්ත වූවාහු කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ නිවනට මෙහෙය වූ සිත් ඇති වැ වසන්නාහු නෙරඤජරා නදීතීරයෙහි බෝරුක් මුල මහාප්‍රධන්වීර්‍ය්‍ය කරනසේක් කෘෂ්ණකර්ම ඇති (නො මිදිය දෙන හෙයින්) නමුච් නම් වූ ප්‍රමත්තයනට බන්‍ධු වූ සෙන් සහිත මරු විධ්වංසන කොට විසත්තිකා නම් වූ තෘෂ්ණාජාලිනිය දුරු කළහ, බැහැර කළහ, විගතාන්ත කළහ, අනභාවයට පැමිණ වූ සේක.
1. ‘තෘෂ්ණාව දෙවැනි කොට ඇති පුරුෂ තෙම දිගු කලක් මුළුල්ලෙහි සැරිසරනුයේ ඉහාත්මභාව, අනාගතාත්මභාව නොහොත් ඉත්ථම්භාව අන්‍යථාභාව සංඛ්‍යාත වූ සංසාරය නො ඉක්මවයි.
2. මෙසේ (අතීතාදි ස්කන්‍ධයන්හි) ආදීනව දැන, තෘෂ්ණාව දුකට කාරණ යයි දැන, පහ වූ තෘෂ්ණා ඇති ආදාන (ග්‍රහණ) රහිත වූ ස්මෘතිමත් වූ ක්‍ෂීණාස්‍රව මහණ හැසිරෙන්නේ යැ’යි.
මෙසෙයින් බුදුහු තෘෂ්ණාප්‍රහීණාර්ථයෙන් ‘එක’ යහ.
කිසෙයින් බුදුහු ‘එකාන්තවීතරාග’ නුයි එක වූහ යත්: රාගය ප්‍රහීණ වන බැවින් ‘එකාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. ද්වේෂය ප්‍රහීණ වන බැවින් ‘එ්කාන්තවීතරාග’ නුයි ‘එක’ යහ. මෝහය ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘එක’ යහ. ක්ලේශයන් ප්‍රහීණ වන බැවින් ඒකාන්තයෙන් නික්ලේශ වූවාහු නුයි ‘එක’ යහ.
කිසෙයින් බුදුහු ඒකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ වූහ යත්: සතර සතිපට්ඨානයෝ යැ ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ගය ‘එකායන මාර්‍ගය’යි කියනු ලැබේ.
3. ජාතික්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණය දක්නාසුලුවූ හිතයෙන් අනුකම්පා කරන සුලු වූ බුදුහු එ්කායනමාර්ගය දන්නා සේක. පෙර යම් කෙනෙක් චතුරෝඝය තරණය කළාහු නම් තෙල මාර්‍ගයෙන් තරණය කළාහු යැ. තවද යම් කෙනෙක් මතු තරණය කරන්නාහු නම්, දැන් තරණය කෙරෙත් නම්, මේ මඟින් තරණය කෙරෙත්.
මෙසෙයින් බුදුහු ඒකායනමාර්ගයට ගියාහු නුයි ‘එක’ යහ.
කිසෙයින් බුදුහු එකලා වැ අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කළාහු නුයි ‘එක’ වූහ යත්: සතර මාර්‍ගඥානය ප්‍රඥේන්‍ද්‍රිය ප්‍රඥාබලය ... ධර්‍මවිචය සම්බෝධ්‍යඞ්ගය වීමංසාව විදර්‍ශනාව සම්‍යග්දෘෂ්ටිය ‘බෝධි’ යයි කියනු ලැබේ. බුදුහු ඒ බොධිඥානයෙන් ‘සියලු සංස්කාරයෝ අනිත්‍යහ’ යි දත්හ. ‘සියලු සංස්කාරයෝ දුක්හ’යි දත්හ. ‘සියලු ධර්‍මයෝ අනාත්ම හ’යි දත්හ. ...යම් කිසිවක් සමුදයධර්‍ම නම් එ හැම නැසෙන පියවි ඇතැ’යි දත්හ.
නොහොත් යම් කිසිවක් දතයුතු නම්, නැවත නැවත දතයුතු නම්, වෙසෙසින් දතයුතු නම්, මැනැවින් දතයුතු නම්, අධිගම කළයුතු නම්, නුවණින් ස්පර්‍ශ කළයුතු නම්, ප්‍රත්‍යක්‍ෂ කළයුතු නම් ඒ සියල්ල ඒ බෝධි ඥානයෙන් දත්හ. අනුබෝධ කළහ. ප්‍රතිබෝධ කළහ. වෙසෙසින් දත්හ, මැනැවින් දත්හ, ස්පර්‍ශ කළහ, ප්‍රත්‍යක්‍ෂ කළහ, මෙසෙයින් බුදුහු එකලා වැ අනුත්තර වූ සම්‍යක්සම්බෝධිය අභිසම්බුද්ධ කළාහු නුයි ‘එක’ නම් වූහ.
තමොනුදො යනු: බුදුහු ප්‍රඥාලෝකය අඳුරු කරන, නුවණැස නූපදවන නොදැනීම ඇතිකරන පැනැස නසන පීඩා කොටසෙහි වූ නිවන පිණිස නො පවත්නා වූ රාගාන්‍ධකාරය ද්වෙෂාන්‍ධකාරය මෝහාන්‍ධකාරය දෘෂ්ට්‍යන්‍ධකාරය ක්ලෙශන්‍ධකාරය දුශ්චරිතාන්ධකාරය දුරු කළහ වෙසෙසින් දුරු කළහ හැරපීහ බැහැර කළහ විගතාන්ත කළහ අනුඅභාවයට පැමිණවූහු. ආසිනො යනු: බුදුහු පහණසෑහි වැඩ හුන්හ නුයි ‘ආසීනො’ යනු වේ.
4. “තිවිද්‍යා ඇති මරහු බැහැර කළ ශ්‍රාවකයෝ පර්වතපාර්ශ්වයෙහි වැඩහුන්, සංසාර දුඃඛයාගේ පාරයට ගිය මුනිහු පර්‍ය්‍යුපාසනය කෙරෙති”යි.
මෙසේත් බුදුහු “ආසීන” වෙති. නොහොත් බුදුහු අල්පොත්සුක බව සංහිඳුවන ලද වන බැවින් ආසීනයහ උන්වහන්සේ වැස නිම වූ දශවිධ ආර්‍ය්‍යවාස ඇතියහ පුරුදු කළ චරණධර්‍ම ඇතියහ ... ජාතිමරණ සංසාර සඞ්ඛ්‍යාත පුනර්‍භවය උන්වහන්සේට නැතැ’යි මෙසේත් බුදුහු ‘ආසීනයහ’යි ‘ඒකෝ තමොනුදාසීනො’ යනු වේ.
ජුතිමා සො පභඞ්කරො ‘ජුතිමා’ යනු ද්‍යුතිමත්හ ස්මෘතිමත්හ පණ්ඩිතයහ ප්‍රඥා ඇතියහ බුද්ධිමත්හ නුවණ ඇතියහ විභාවනප්‍රඥා ඇතියහ තුලන ප්‍රඥා ඇතියහ. පභඞ්කරො යනු: තේජස් කරනුවහ ආලෝක කරනුවහ අවහාස කරනුවහ පහන් කරනුවහ ප්‍රදීපයක් සෙයින් ආලෝක කරනුවහ උද්‍යොතකරයහ ප්‍රද්‍යොතකරනුයහ’යි ‘ජුතිමා සො පභඞ්කරො’ යනු වේ.
ගොතමො භූරිපඤ්ඤාණො යනු: ගොයුම් ගොත්හු පුළුල් නුවණ ඇතියහ ඥානයෙන් ප්‍රකටයහ ප්‍රඥාධ්වජ ඇතියහ ඥානකෙතු ඇතියහ ප්‍රඥාධිපතීහ විමසීම් බහුල කොට ඇතියහ ප්‍රවිචය බහුල කොට ඇතියහ ප්‍රෙක්ෂණ බහුල කොට ඇතියහ එෂණ බහුල කොට ඇතියහ ප්‍රකට කොට දත් විහරණ ඇතියහ එහි (ඥානයෙහි) හැසිරෙනු වහ එය බහුල කොට ඇතියහ එය ගරු කොට ඇතියහ එයට නැඹුරු වූවාහු යැ තත්ප්‍රචණයහ එයට බර වූවාහු යැ එහි අධිමුක්තයහ එය අධිපති කොට ඇතියහ.
5. “ධ්වජය රථයට සලකුණ වෙයි, ධූමය ගින්නට සලකුණ වෙයි, රජ රටට සලකුණ වෙයි, ස්වාමි තෙම ස්ත්‍රියට සලකුණ වේ”යි.
මෙසෙයින් ගොයුම්ගොත්හු පෘථුලප්‍රඥා ඇතියහ ඥානයෙන් ප්‍රකට වූවාහු යැ ඥානධ්වජ ඇතියහ ඥානකේතු ඇතියහ ප්‍රඥාව අධිපති කොට ඇතියහ විමසීම් බහුල කොට ඇතියහ වෙසෙසින් විමසීම් බහුල කොට ඇතියහ ප්‍රෙක්ෂණ බහුල කොට ඇතියහ එෂණ බහුල කොට ඇතියහ ප්‍රකට විහරණ ඇතියහ ඒ ඥානයෙහි හැසිරෙනුවහ එය බහුල කොට ඇතියහ තද්රුක තන්නිම්න තත්ප්‍රවණ තත්ප්‍රාග්හාර තද්ධිමුක්ත තද්ධිපති වූවාහු නුයි ‘ගොතමො භූරිපඤ්ඤාණො’ යනු වේ.
ගොතමො භූරිමෙධසො - ‘භූරි’ යි පෘථිවිය කියනු ලැබෙයි. බුදුහු ඒ පෘථිවිය හා සම වූ විපුල වූ විස්තෘත වූ ප්‍රඥායෙන් සමන්‍වාගතයහ. ‘මේධා’ යි ප්‍රඥාව කියනු ලැබෙයි. “යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් ... අමෝහයෙක් දහම් විමසීමෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි. බුදුහු මේ මෙධායෙන් යුක්තයහ සමුපෙතයහ එළඹ සිටියහ සංයුක්තයහ අවියුක්තයහ පරිපූර්‍ණයහ සමන්‍වාගතයහ, එයින් බුදුහු මනා නුවණ ඇතියාහු නුයි ‘ගොතමො භූරිමෙධසො’ යනු වේ.
එයින් කීහ පිඞ්ගිය තෙරණුවෝ:
“ඒකෝ තමොනුදො ... ගොතමො භූරිමෙධසො” යී.
14.
යම් භාග්‍යවත් කෙනෙක් මට තමා විසින් දැක්ක යුතු ඵල ඇති, නො ද කාලාන්තරයෙහි වින්ද යුතු ඵල ඇති, තෘෂ්ණාක්‍ෂය වූ, උවදුරු නැති, දහම් දෙසූසේක් ද ඒ භාග්‍යවතුන් වහන්සේ යි.
යො මෙ ධම්මමදේසෙසි - ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් (පරෝපදේශ රහිත වැ) තමන් වහන්සේ මැ (සත්‍යයන්) අවබෝධ කළ සේක් ද ආචාර්‍ය්‍යයන් නැත්තාහු ද පෙර නො ඇසූවිරූ දහම්හි සත්‍යයන් තුමූ මැ අවබෝධ කළාහු ද එහි දූ සර්‍වඥභාවයට පැමිණියාහු ද බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු ද උන්වහන්සේ ධම්මමදෙසෙසි - ‘ධම්මං’ යනු: ආදිකල්‍යාණ වූ ... අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාව සතර සතිපට්ඨානය ... ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය නිවන හා නිවනට යන සුලු පිළිවෙත හා වදාළහ දෙසූහ පැනැවූහ තැබූහ විවරණ කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහුනුයි ‘යො මෙ ධම්මමදෙසෙසි’ යනු වේ.
සන්‍දිට්ඨිකමකාලිකං යනු: තමා විසින් දැක්කයුතු ඵල ඇති කල් නො යවා වින්ද යුතු ඵල ඇති ‘එව බලව’යි කීමට නිසි උපනයනයට (එළඹීමට) නිසි නුවණැතියන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික’ නම් වෙයි. නොහොත් යමෙක් මෙ අත් බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි විඳියි ප්‍රතිලාභ කෙරේ නුයි මෙසේත් ‘සන්‍දිට්ඨික මකාලිකං’ යනු වේ. යම්සේ මිනිස්සු කාලික වූ ධනය දී අනතුරු වැ නො ලබත් ද කල් බලත් ද මේ දහම එසෙයින් නො මැ වෙයි. යමෙක් මෙ අත්බැව්හි මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩා ද ඒ මාර්‍ගයට අනතුරු වැ සමනන්තර වැ ඵලය ඒකාන්තයෙන් ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි විඳියි ලබයි. පරාත්මභාවයෙහි පරලෝකයෙහි නො වෙයි මෙසේ අකාලික වේ නුයි ‘සන්‍දිට්ඨිකමකාලිකං’ යනු වේ.