Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 1201-1300 න් 1940

මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
මෙය වදාරන ලද මැ යැ භාග්‍යවතුන් විසින්: මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම රූපයාගේ පැවැත්ම යම්තාක් ද එතෙක් රූපය විමසයි. වේදනාවගේ පැවැත්ම යම්තාක් ද එතෙක් වේදනාව විමසයි. සංඥාවගේ පැවැත්ම යම්තාක් ද එතෙක් සංඥාව විමසයි. සංස්කාරයන් ගේ පැවැත්ම යම්තාක් ද එතෙක් සංස්කාරයන් විමසයි. විඥානයා ගේ පැවැත්ම යම්තාක් ද එතෙක් විඥානය විමසයි. ඔහට (දෘෂ්ටි විසින්) ‘මම’ යි හෝ (තෘෂ්ණ විසින්) ‘මාගේ’ යයි හෝ (මාන විසින්) ‘වෙමී’ හෝ යමක් වේ නම් එ ද ඔහට නො වේ” යයි මෙසේත් ලෝකය ශුන්‍ය හෙයින් බලා.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: ලෝකය ශුන්‍ය හෙයින් බලව ප්‍රත්‍යවේක්‍ෂා කරව දකුව තුලනය කරව තීරණය කරව විභාවන කරව ප්‍රකට කරව නුයි ‘සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු’ යනු වේ.
මෝඝරාජ සදාසතො- ‘මෝඝරාජ’ යනු: බුදුහු එ බමුණු නමින් අමතති. සදා යනු: හැම කල්හි ... පශ්චිම වයඃස්කන්ධයෙහි. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇති යේ: කයෙහි කායානුපස්සනා සතිපට්ඨානය වඩමින් සිහි ඇතියේ ... හෙතෙම ‘සතෝ’යි කියනු ලැබේ නුයි ‘මෝඝරාජ සදා සතෝ’ යනු වේ.
අත්තානුදිට්ඨිං ඌහච්ච- ‘අත්තානුදිට්ඨි’ යි විංශද්වස්තුක වූ සත්කාය දෘෂ්ටිය කියනු ලැබෙයි. මෙලොවැ (බුද්ධාදි) ආර්‍ය්‍යයන් නො දක්නාසුලු (සතිපට්ඨානාදි හෙද) ආර්‍ය්‍යධර්‍මයෙහි අදක්‍ෂ වූ ආර්‍ය්‍යධර්‍මයෙහි නො හික්මුණු (ආගම-අධිගම නැති බැවින්) අශ්‍රැතවත් වූ පෘථග්ජන තෙම රූපය ආත්ම හෙයින් (විපරීත දෘෂ්ටියෙන්) දකියි. ආත්මය රූපවත් යැ හෝ ආත්මයෙහි හෝ රූපය, රූපයෙහි හෝ ආත්මය දකියි. වේදනාව - සංඥාව - සංස්කාරයන්- විඥානය ආත්ම හෙයින් දකියි. ආත්මය විඥානවත් යැ හෝ, ආත්මයෙහි හෝ විඥානය, විඥානයෙහි හෝ ආත්මය දකියි. මෙ බඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිසූකයෙක් දෘෂ්ටිවිස්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා ගැන්මෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාස්වභාවයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් විපරීත කොට ගැන්මෙක් වැරද ගැන්මෙක් මිථ්‍යාග්‍රාහයෙක් යථා ස්වභාව නැත්තෙහි යථාස්වභාව ඇතැ යි ගැන්මෙන් යම් පමණ දෙ සැට දෘෂ්ටිගතයෝ වෙත් ද, මේ අත්තානුදිට්ඨි නම. අත්තානුදිට්ඨිං ඌහච්ච යනු: සත්කායදෘෂ්ටිය උපුරා මොනොවට උපුරා උදුරා මොනොවට උදුරා උපුටා මොනොවට උපුටා හැරපියා දුරු කොට විගතාන්ත කොට අනු අභාවයට පමුණුවා නුයි ‘අත්තානුදිට්ඨිං ඌහච්ච’ යනු වේ.
එවං මච්චුතරො සියා යනු: මෙසෙයින් මෘත්‍යුහු ද තරණය කරව ජරාව ද තරණය කරව මරණය ද තරණය කරව උත්තරණය කරව ප්‍රතරණය කරව සමතික්‍රමණය කරව ඉක්මව”යි ‘එවං මච්චුතරො සියා’ යනු වේ.
එවං ලෝකං අවෙක්ඛන්තං යනු: මෙසේ ලොව බලන්නාහු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්‍රකට කරන්නහු නුයි ‘එවං ලෝකං අවෙක්ඛන්තං’ යනු වේ.
මච්චුරාජා න පස්සති යනු: මෘත්‍යු ද මෘත්‍යුරාජ වෙයි, මාර තෙමේ ද මෘත්‍යුරාජ වෙයි, මරණය ද මෘත්‍යුරාජ වේ. න පස්සති යනු: මෘත්‍යුරාජ තෙම නො දකියි නො දක්නේ යැ නො පැමිණෙයි නො ලැබෙයි ප්‍රතිලාභ නො කෙරේ. මේ වදාරන ලද මැ හැ භාග්‍යවතුන් විසින්: “මහණෙනි, වල්මුව තෙමේ අරනෙහි මහවෙනෙහි හැසිරෙනුයේ විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හො වී. ඒ කවර හෙයින යත්: මහණෙනි, වැද්දාගේ ඇස්හමුවට නො ගියේ ය ද එහෙයිනි. මහණෙනි, එසෙයින් මැ මහණ තෙම කාමයෙන් වෙන් වැ මැ අකුසල් දහමින් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේක (නීවරණවිගම) යෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාස කෙරේ ද, මහණෙනි, මෙ මහණ මාරයා අඳ කෙළේ යැ, කෙලෙස් පා රහිත කොට මාරචක්‍ෂුස නසා පාපී මරහුගේ අදර්‍ශනයට (නිවනට) ගියේ යැ යි කියනු ලැබේ.”
තවද මහණෙනි මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානයට ... තෘතීය ධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වාස කෙරේ. මහණෙනි, මෙ මහණමාරයා අඳ කෙළේ යැ, කෙලෙස් පා රහිත කොට මාර චක්‍ෂුස නසා පාපී මරහු ගේ අදර්‍ශනයට ගියේ යැ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ගේ විරාගයෙන් ප්‍රතිඝසංඥාවන් ගේ ප්‍රහාණයෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්ත යැ’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරේ ද මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, කෙලෙස්පා රහිත කොට මාරචක්‍ෂුස නසා පාපිමත්හුගේ අදර්‍ශනයට ගියේ යැ යි කියනු ලැබේ.
තවද මහණෙනි, මහණ තෙම ආකාසානඤ්චායතනය ඉක්ම විඥානය අනන්ත යැ යි විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාස කෙරේ ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාස කෙරේ ද, සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්ම සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාස කෙරේ ද, විදර්‍ශනාඥානයෙන් දැක ඔහුට ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත් ද, මහණෙනි, මෙ මහණ මරහු අඳ කෙළේ යැ, කෙලෙස්පා රහිත කොට, මාරචක්‍ෂුස නසා, පාපිමත්හුගේ අදර්‍ශන විෂයට ගියේ යැ, ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කෙළේ යැ, හේ විස්වැසි වැ යෙයි, විස්වැසි වැ සිටියි, විස්වැසි වැ හිඳියි, විස්වැසි වැ හොවී යයි කියනු ලැබේ. ඒ කවර හෙයින යත්: යම් හෙයෙකින් මහණ පාපිමත්හු ගේ පරාඞ්මුඛයට ගියේ ද එහෙයිනැ’යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“සුඤ්ඤතො ලෝකං -පෙ- මච්චුරාජා න පස්සති” යී.
ගාථා පර්‍ය්‍යවසානය හා සමග ... මම් ශ්‍රාවකයෙමී’
මෝඝරාජ සූත්‍රනිර්දේශය නිමි.
16. පිඞ්ගිය සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත් පිඞ්ගිය මෙසේ විචාරයි:) මම් ජීර්‍ණයෙමි දුර්වලයෙමි විවර්ණයෙමි, (මාගේ) නේත්‍රයෝ ශුද්ධ නො වෙති, ශ්‍රවණය පහසු නො වෙයි, මම් (මුඹ වහන්සේ ගේ දහම්, පසක් නො කොට) අතුරෙහි මැ මුළා වූයෙම් නහමක් නැසෙම්වා, මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් දහමක් මම් දැනගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො ‘ජිණ්ණොහමස්මි’ යනු: ජිර්ණයෙමි වෘද්ධයෙමි මහලුයෙමි තුන් වැනි විය ඉක්ම ගියේ අන්තිම වයසට පැමිණියෙමි ජාතියෙන් එක්සිය විසිවස් ඇත්තෙමි. අබලො යනු: බල රහිතයෙමි දුර්වලයෙම් අල්පබල ඇතියෙමි අල්පවීර්‍ය්‍ය ඇතියෙමි. විවණ්ණො යනු: පෙරැළුණු සිවිපැහැ ඇතියෙමි පහ වූ සිවිපැහැ ඇතියෙමි දුරු වූ සිවිපැහැ ඇතියෙමි පළමු යම් සොඳුරු සිවිපැහැයෙක් වී නම් ඒ අතුරු දහන්වී යැ ආදීනව පහළ වී නුයි ’ජිණ්ණොහමස්මි අබලො විවණ්ණො’ යනු වේ.
මෙසේ ආයුෂ්මත් පිඞ්ගිය යනු....
නෙත්තා න සුද්ධා සවනං න ඵාසු යනු: නේත්‍රයෝ අශුද්ධයහ විශුද්ධ නො වෙති අපරිශුද්ධයහ ප්‍රසන්න නො වෙති පෙර මෙන් ඇසින් රූ නොදක්මි නුයි ‘නෙත්තාන සුද්ධා’ යනු වේ. සවනංන ඵාසු යනු: ශ්‍රොත්‍රයෝ අශුද්ධයහ විශුද්ධ නො වෙති පරිශුද්ධ නො වෙති ප්‍රසන්න නො වෙති පෙර මෙන් කනින් හඬ නො අසම්නුයි ‘නෙත්තා න සුද්ධා සවනං න ඵාසු’ යනු වේ.
මාහං නස්සං මොමුහො අන්තරාව- ‘මාහං නස්සං’ යනු: මම් නහමක් නැසෙම්වයි මම් නහමක් වැනැසෙම්වයි මම් නහමක් විනාශ වෙම්වයි. මොමූහො යනු: අතිශයින් මූඪ වූයෙම් මෝහයෙන් මුළා වූයෙම් අවිද්වත් වූයෙම් අවිද්‍යාවට පැමිණියෙම් අඥාන වූයෙම් අපණ්ඩිත වූයෙම් දුෂ්ප්‍රාඥ වූයෙම්. අන්තරාව යනු: මුඹ වහන්සේගේ ධර්‍මය දෘෂ්ටිය ප්‍රතිපදාව මාර්‍ගය අවබෝධ නො කොට අධිගම නො කොට නො දැන නො ලැබ ස්පර්‍ශ නො කොට ප්‍රත්‍යක්‍ෂ නො කොට අතුරෙහි මැ කලුරිය කරන්නෙම් නුයි ‘මාහං නස්සං මොමූහො අන්තරාව’ යනු වේ.
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං - ‘ධම්මං’ යනු: ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ අර්‍ත්‍ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ පරිශුද්ධ වූ ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා වූ සතර සතිපට්ඨානයන් සතර සම්‍යක් ප්‍රධානයන් සතර ඍද්ධිපාදයන් පඤ්චේන්‍ද්‍රියයන් පඤ්ච බලයන් සප්ත බොධ්‍යඞ්ගයන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය නිර්‍වාණය හා නිර්‍වාණ ගාමී ප්‍රතිපත්ති හා වදාළ මැනැව දෙසුව මැනැව පැනැවුව මැනැව පිහිටුව මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව පහළ කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව නුයි ‘ආචික්ඛ ධම්මං’ යනු වේ. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් දැනගන්නෙම් නම් ඒකාන්තයෙන් දැනගන්නෙම් නම් විවිධාකාරයෙන් දැනගන්නෙම් නම් නොයෙක් අයුරින් දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් ස්පර්‍ශ කරන්නෙම් නම් ප්‍රත්‍යක්‍ෂ කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං යනු වේ.
ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ජිණ්ණොහමස්මි -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යී.
(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) රූපනිමිතින් නැසෙනුවන් දැක (කුශල ධර්‍මයෙහි) ප්‍රමාද වූ ජනයෝ රූපනිමිතින් පෙළෙති. එහෙයින් පිඞ්ගිය, තෙපි (කුශල ධර්‍මයෙහි) අප්‍රමත්ත වැ පුනර්‍භවය නො වනු පිණිස රූපය දුරු කරව.
දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද වෙති. සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූපප්‍රත්‍යයෙන් රූපකාරණයෙන් නැසෙති වැනැසෙති වෙසෙසින් නසනු ලැබෙත්. රූපය ඇති කල්හි නො එක් කම්කටොලු කරවති: කසයෙනුදු තළති, වේවැලිනිදු තළති, අඩදඬියේ (මුගුරි) නුදු තළති, අත් ද සිඳිති, පා ද සිඳිති, අත්පා ද සිඳිති, කනුදු සිඳිති,
නැහැය ද සිඳිති, කන්නාසා ද සිඳිති, කාඩිසැළි කම්කටොලු ද කෙරෙති, සක්මුඬු කම්කටොලු ද කෙරෙති, රාහුමුඛ කම්කටොලු ද කෙරෙති, ගිනි වළලු කම්කටොලු ද කෙරෙති, අත් දල්වන කම්කටොලු ද කෙරෙති, එරුවත් කම්කටොලු ද කෙරෙති, තිහිරිවත් කම්කටොලු ද කෙරෙති, එණෙය්‍යක කම්කටොලු ද කෙරෙති, බිලියෙන් මස් සිඳුණා කම් කටොලු ද කෙරෙති, කහාපණක කම්කටොලු කෙරෙති, කොස්සෙන් කාරම් ගල්වති, පරිඝපරිවර්තන කම්කටොලු ද කෙරෙති, පිදුරුපිටු කම්කටොලු ද කෙරෙති, කකාළ තෙල් ද ඉස්වති, ශුනකයන් (කීණ බල්ලන්) ලවා ද කවති, දිවස්හුල ද හිඳුවති. කඩුවෙනුදු හිස සිඳිත්. මෙසෙයින් සත්ත්‍වයෝ රූප හේතුයෙන් රූප ප්‍රත්‍යයෙන් රූප කාරණයෙන් නැසෙති වැනැසෙති නසනු ලැබෙති වනසනු ලැබෙත්. මෙසේ නැසෙනුවත් වැනැසෙනුවත් නසනු ලබනුවන් වෙසෙසින් නසනු ලබනුවන් දැක බලා තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘දිස්වාන රූපෙසු විහඤ්ඤ මානෙ’ යනු වේ.
පිඞ්ගිය යනු: බුදුහු එ බමුණු නමින් අමතති. භගවා යනු: තෙල ගෞරව නාම යැ ... මේ ‘භගවා’ යනු: බෝමුල්හි අර්‍හත්ඵල ප්‍රත්‍යක්‍ෂයෙන් උපන් ප්‍රඥප්තියක් නුයි’ පිඞ්ගියා’ ති භගවා’ යනු වේ.
රුප්පන්ති රූපෙසු ජනා පමත්තා රුප්පන්ති යනු: නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. චක්‍ෂු රෝගයෙන් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත්. ශ්‍රොත්‍රරොගයෙන්...කායරොගයෙන් මැසි-මදුරු-වා-අවු-දිග්දෑ පහසින් නැසෙති කිපෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු හටගත් දොම්නස් ඇත්තාහු වෙත් නුයි ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. නොහොත් ඇස හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති... චිත්තවිඝාතයට පැමිණියාහු වෙත්. කන-නැහැය-දිව-කය- රූපය- ශබ්දය-ගන්‍ධය-රසය-ස්ප්‍රෂ්ටව්‍යය- කුලය- ගණය- ආවාසය- ලාභය- යසස- ප්‍රශංසාව- සුඛය- සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර හෙන කල්හි පිරිහෙන කල්හි හාත්පසින් හෙන කල්හි නැසෙන කල්හි විගත වන කල්හි අතුරුදහන් වන කල්හි නැසෙති කිපෙති (පෙරැළෙති පෙළෙති ගැටෙති පීඩිත වූවාහු චිත්ත විඝාතයට පැමිණියාහු වෙත් නුයි මෙසේත් ‘රූප්පන්ති රූපෙසු’ යනු වේ. ජනා යනු: ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද වෛශ්‍යෙයෝ ද ශුද්‍රයෝ ද ගෘහස්ථයෝ ද ප්‍රව්‍රජිතයෝ ද දෙවියෝ ද මිනිස්සු ද පමත්තා යි, ප්‍රමාදය කිය යුතු යි: කාය දුශ්චරිතයෙන් වේවයි වාග්දුශ්චරිතයෙන් වේවයි මනෝදුශ්චරිතයෙන් වේවයි පස්කම් ගුණයෙහි සිත බැස ගැන්ම බැස ගැන්මට අනුබල දීම, කුශල ධර්‍මයන්ගේ හෝ වැඩීම සකසා නො කරනබව, සතතයෙන් නො කරනබව, නො බැස ගත් ක්‍රියා ඇති බව, පසු බට පැවතුම් ඇති බව, බහා තුබූ කුශලච්ඡන්‍ද ඇති බව, බහා තැබූ වීර්‍ය්‍යධුර ඇති බව, ආසේවන නො කිරීම, අභාවනය, පුන පුනා නො කිරීම, අනධිෂ්ඨානය, අනනුයොගය, ප්‍රමාදය වෙයි. මෙ බඳු යම් ප්‍රමාදයෙක් ප්‍රමාද අයුරෙකි හටගත් ප්‍රමාද ඇති බවෙක් වේ ද මේ ප්‍රමාද යැ කියනු ලැබේ. මේ ප්‍රමාදයෙන් සමන්‍වාගත ජනයෝ ප්‍රමත්තයෝ නුයි ‘රූප්පන්ති රූපෙසු ජනා පමත්තා’ යනු වේ.
තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො- තස්මා යනු: එයින් එ කරුණින් එ හෙයින් තත්ප්‍රත්‍යයෙන් තන්නිදානයෙන් මෙසේ රූපයන්හි ආදීනව දකිමින් නුයි ‘තස්මා තුවං පිඞ්ගිය‘ යනු වේ. අප්පමත්තො යනු: සකසා කරනසුලු සතතයෙන් කරනසුලු... කුශලධර්‍මයන්හි අප්‍රමාද වූයේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො‘ යනු වේ.
ජහස්සු රූපං අපුනබ්හවාය- ‘රූපං’ යනු: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද, ජහස්ස රූපං යනු: රූපය හැරපියව රූපය වෙසෙසින් හැරපියව රූපය දුරලව රූපය විගතාන්ත කරව රූපය අනුඅභාවයට පමුණුව. අපුනබ්හවාය යනු: යම් සේ තා ගේ රූපය මෙ අත්බැව්හි මැ නිරුද්ධ වන්නේ නම්, වටාලා පිළිසිඳ ඇති භවයෙක් නූපදී නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාම භවයෙහි හෝ රූප භවයෙහි හෝ අරූප භවයෙහි හෝ සංඥා භවයෙහි හෝ අසංඥා භවයෙහි හෝ නෛවසංඥානාසංඥාභවයෙහි හෝ එකවොකාර භවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවෝකාර භවයෙහි හෝ පුනර්ගතයෙහි හෝ උපප්‍රාප්තියෙහි හෝ ප්‍රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තයෙහි හෝ නූපදී නම් මොනොවට නූපදී නම් නො නිපදනේ නම් මොනොවට නො නිපදනේ නම් මෙ අත් බැව්හි මැ නිරුද්ධ වන්නේ නම් සන්හිඳෙන්නේ නම් අස්තයට යේ නම්, නවත්නේ නම් නුයි ‘ජහස්සු රූපං අපුනබ්භවාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“දිස්වාන රූපෙසු -පෙ- ජහස්සු රූපං අපුනබ්හවාය” යි.
සතර දිග යැ සතර අනුදිග යැ උඩ යැ යට යැ යන මේ දසදික් කෙනෙක් වෙත් ද ලොවැ මෙ හැම තන්හි මුඹ වහන්සේ විසින් නො දක්නා ලද නො අසන ලද ආඝ්‍රාණ ස්වාදන ස්පර්‍ශන නො කරන ලද යළි නො දන්නා ලද කිසිවක්‍ නැති මේ පහණසෑ වෙහෙරෙහි දී මැ ජාතිජරාවගේ ප්‍රහාණය වූ යම් (නිර්‍වාණ) දහමක් මම් දැන ගන්නෙම් නම් ඒ දහම වදාළ මැනැව.
දිසා චතස්සො විදිසා චතස්සො උද්ධං අධෝ දසදිසා ඉමායො යනු දස දික්හු යැ.
න තුය්හං අදිට්ඨං අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්‍ථි ලෝකේ යනු: මුඹ වහන්සේ විසින් නුදුටු නො ඇසු නො වුන් නො දත් කිසි අත්මාර්ථයෙක් හෝ පරාර්ථයෙක් හෝ උභයාර්ථයෙක් හෝ දෘෂ්ටධාර්මිකාර්ථයෙක් හෝ සම්පරායිකාර්ථයෙක් හෝ උත්තානාර්ථයෙක් හෝ ගම්භීරාර්ථයෙක් හෝ ගුඪාර්ථයෙක් හෝ ප්‍රතිච්ඡන්නාර්ථයෙක් හෝ ඥෙයාර්ථයෙක් හෝ නීතාර්ථයෙක් හෝ නිරවද්‍යාර්ථයෙක් හෝ නික්ලේශාර්ථයෙක් හෝ ව්‍යවදානාර්ථයෙක් හෝ පරමාර්ථාර්ථයෙක් හෝ නැත. නො වෙයි විද්‍යාමාන නො වෙයි නො ලැබේ නුයි ‘න තුය්හං අදිට්ඨං, අසුතාමුතං වා අථො අවිඤ්ඤාතං කිඤ්චනමත්ථි ලෝකේ’ යනු වේ.
ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං- ‘ධම්මං’ යනු: ආදි කල්‍යාණ වූ .... නිර්‍වාණය ද නිර්‍වාණගාමිනී ප්‍රතිපත් ද වදාළ මැනැවැ දෙසුව මැනැවැ පැනැවුව මැනැවැ පිහිටුව මැනැවැ විවෘති කළ මැනැවැ විභාග කළ මැනැවැ නො ගැඹුරු කළ මැනැවැ ප්‍රකාශ කළ මැනැව. යමහං විජඤ්ඤං යනු: යම් දහමක් මම් දැනගන්නෙම් නම් හාත්පසින් දැනගන්නෙම් නම් වෙසෙසින් දැනගන්නෙම් නම් මොනොවට දැනගන්නෙම් නම් ප්‍රතිවේධ කරන්නෙම් නම් අධිගම කරන්නෙම් නම් පහස්නෙම් නම් පසක් කරන්නෙම් නම් නුයි ‘ආචික්ඛ ධම්මං යමහං විජඤ්ඤං’ යනු වේ.
ජාතිජරාය ඉධ විප්පහානං යනු: මෙ අත්බැව්හි මැ ජාතිජරාමරණයාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නුයි ‘ජාතිජරාය ඉධ විප්පහානං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“දිසා චතස්සො -පෙ- ජාතිජරාය ඉධ විප්පහානං” යි.
(බුදුහු මෙසේ වදාළහ: පිඞ්ගිය,) (යම් හෙයකින් තෙපි) තෘෂ්ණායෙහි ගැලී සිටි සත්ත්‍වයන් හටගත් සිත් තැවුල් ඇතියන් ජරායෙන් මඩනා ලදුවන් වැ දක්නවු ද, එහෙයින් පිඞ්ගිය, තෙපි අප්‍රමත්ත වැ පුනර්‍භවය නොවනු පිණිස තෘෂ්ණාව දුරු කරව යි.
තණ්හාධිපතිපන්නෙ මනුජෙ පෙක්ඛමානො- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ.... ධර්‍මතෘෂ්ණා යි. තණ්හාධිපන්නෙ යනු තෘෂ්ණායෙහි ගැලුණවුන් තෘෂ්ණාව අනුව ගියවුන් තෘෂ්ණායෙහි පිවිසියන් තෘෂ්ණායෙන් වැසුණවුන් තෘෂ්ණාවට පැමිණියවුන් ප්‍රතිපන්නයන් මඬනා ලද්දවුන් හාත්පසින් මැඩ ගත් සිත් ඇතියන්. මනුජෙ යනු: සත්ත්‍වයනට නමෙකි. පෙක්ඛමානො යනු: බලනුයේ දක්නේ අවලෝකනය කරනුයේ සිතනුයේ විමසනුයේ නුයි ‘තන්හාධිපන්නෙ මනුජෙ පෙක්ඛමානො’ යනු වේ.
පිඞ්ගියාති භගවා යනු....
සන්තාපජාතෙ ජරසා පරෙතෙ- ‘සන්තාපජාතෙ’ යනු: ජාතියෙන් හටගත් තැවුලි ඇතියන් ජරායෙන් හටගත් තැවුලි ඇතියන් ව්‍යාධියෙන් හටගත් තැවුලි ඇතියන් මරණයෙන් හටගත් තැවුලි ඇතියන් ශෝක පරිදෙවදුඃඛදෞර්මනස්‍යයන්ගෙන් හටගත් තැවුලි ඇතියන් නිරෑදුකින් හටගත් තැවුලි ඇතියන්... දෘෂ්ටි ව්‍යසනදුඃඛයෙන් හටගත් තැවුලි ඇතියන් හටගත් දුක් ඇතියන් හටගත් උවදුරු ඇතියන් හටගත් උපසර්‍ග ඇතියනැ’ යි ‘සන්තාපජාතෙ’ යනු වේ. ‘ජරසා පරෙතෙ’ යනු: ජරායෙන් පහස්නා ලදුවන් මඬනාලදුවන් ඇතුළත පිවිසියන් සමන්‍වාගත වූවන් ජාතියෙහි පිවිසියන් ජරායෙන් වැසුණවුන් ව්‍යාධියෙන් මඬනාලදුවන් මරණයෙන් පහළ වුන් රක්‍ෂාස්ථාන රහිතයන් නිලීනස්ථාන රහිතයන් සරණරහිතයන් අසරණිභූතයනැ’යි ‘සන්තාපජාතෙ ජරසා පරෙතෙ’ යනු වේ.
තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් එ පසයෙන් ඒ නිදානයෙන්, මෙසේ තෘෂ්ණායෙහි ආදීනව දක්නේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය යනු වේ. අප්පමත්තො යනු: සකසා කරනසුලු... කුසල් දහම්හි නො පමා වූයේ නුයි ‘තස්මා තුවං පිඞ්ගිය අප්පමත්තො‘ යනු වේ.
ජයස්සු තණ්හං අපුනබ්හවාය- ‘තණ්හා’ යනු: රූපතෘෂ්ණා යැ... ධර්‍මතෘෂ්ණා යි. ජයස්සු තණ්හං යනු: තෘෂ්ණාව හැරපියව තෘෂ්ණාව වෙසෙසින් හැරපියව තෘෂ්ණාව දුරු කරව තෘෂ්ණාව විගතාන්ත කරව තෘෂ්ණාව අනු අභාවයට පමුණුව. අපුනබ්භවාය යනු: යම්සේ තාගේ... වටාලා පිළිසඳ ඇති භවය නූපදනේ නම්, කාමධාතුයෙහි හෝ රූපධාතුයෙහි හෝ අරූපධාතුයෙහි හෝ කාමභවයෙහි හෝ රූපභවයෙහි හෝ අරූපභවයෙහි හෝ සංඥාභවයෙහි හෝ අසංඥාභවයෙහි හෝ නෛවසංඥානාසංඥාභවයෙහි හෝ ඒකවොකාරභවයෙහි හෝ චතුවෝකාරභවයෙහි හෝ පඤ්චවොකාරභවයෙහි හෝ පුනර්ගතියෙහි හෝ උපප්‍රාප්තියෙහි හෝ ප්‍රතිසන්ධියෙහි හෝ භවයෙහි හෝ සංසාරයෙහි හෝ වෘත්තියෙහි හෝ නූපදනේ නම් (අවයව ප්‍රාදුර්භාවයෙන්) මොනොවට නූපදනේ නම් නො නිපදනේ නම් වෙසෙසින් නො නිපදනේ නම් මෙ අත් බැව්හි ම නිරුද්ධ වන්නේ නම් සන්හිඳෙන්නේ නම් අස්තයට යන්නේ නම් නො පවත්නේ නම් නුයි ‘ජයස්සු තණ්හං අපුනබ්භවාය’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තණ්හාධිපන්නෙ -පෙ- ජහස්සු තණ්හං අපුනබ්භවාය” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා මැ එ බමුණු හා සමග එක් අදහස් ඇති එක් පියෝ ඇති එක් රිසි ඇති වඩන ලද එක් බැවුන් ඇති යම් කෙනෙක් වූහු නම් ඒ නොයෙක් දහස්ගණන් ප්‍රාණීන්ට ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි රාගාදි රජස් රහිත වූ රාගාදි මල රහිත වූ ධර්‍මචක්‍ෂුස පහළ විය. එ බමුණුහට ‘යම් කිසි සමුදය ස්වභාවයෙක් වේ නම් එ හැම නිරෝධ ස්වභාවය ඇතැ’ යි විරජ වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස උපන.
ධර්මචක්ෂුස්හුගේ ප්‍රතිලාභය හා සමඟ අඳුන්දිවිසම් දළමඬුලු ඝණ වැහැරි දඬ කමඬලා හා කෙස් මස් හා අතුරුදහන් වීය. පිඞ්ගිය තෙමේ මුඬුහිස් ඇත්තේ හන්පෙරවි කසාවත් ඇත්තේ සඟළ-පා-සිවුරු ධරනුයේ අන්‍වර්ථ ප්‍රතිපත්ති (ඉෂ්ටාර්ථලාභ) යෙන් බදැඳිලි වැ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ශාස්තෘ වන සේක, මම් ශ්‍රාවකයෙමී” භාග්‍යවතුන් නමදිමින් හුන්නේ යි.
පිඞ්ගිය සූත්‍රනිර්දේශය නිමි.
17. පාරායණානුගීති නිර්‍දෙශය
“භාග්‍යවතුන් වහන්සේ මගධරටැ පහණසෑ නම් වෙහෙරෙහි වැඩ වසනසේක් මේ පාරායණ සූත්‍රය වදාළසේක (බාවරි) ඇතැවැසි (පිඞ්ගිය හා සමග) සොළොස් බමුණන් විසින් අයදනා ලදහු පුළුවුත්හු පැන විසඳුසේක.”
ඉදමවො ච භගවා යනු: මේ පාරායණ සූත්‍රය වදාළහ. භගවා යනු: තෙල ගෞරවනාම යැ ... මේ ‘භගවත්’ යනු බෝමුල්හි සිව්සස් පසක් කිරීමෙන් උපන් ප්‍රඥප්තියක් නුයි ‘ඉදමවො ච භගවා’ යනු වේ.
මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ - මගධෙසු යනු: ‘මගධ’ නම් ඇති දනවියෙහි. විහරන්තො යනු: හැසිරෙන්නාහු වෙසෙන්නාහු ඉරියවු පවත්වන්නාහු වැටෙන්නාහු පාලනය කරන්නාහු යැපෙන්නාහු යාපනය කරන්නාහු. පාසාණකෙ චෙතියෙ යනු: ‘පාසාණක චේතිය’ යි බුද්ධාසනය කියනු ලැබේ නුයි ‘මගධෙසු විහරන්තො පාසාණකෙ චෙතියෙ’ යනු වේ.
පරිචාරකසොළසානං බ්‍රහ්මණනාං යනු: පිඞ්ගිය බ්‍රාහ්මණ තෙම බාවරී බමුණු ගේ ඇතැවැසි වූයේ පසැහි හැසිරෙනුයේ පරිචාරක වූයේ ශිෂ්‍ය වූයේ යි. පිඞ්ගිය හා සමග ඔහු සොළොස් දෙනෙක් වෙත් නුයි මෙසේත් ‘පරිචාරකසොළසානං බ්‍රාහ්මණනාං’ යනු වේ. නොහොත් ඒ සොළොස් බමුණුහු භාග්‍යවත් බුදුන්ගේ ඇතැවැසියහ, පසැ හැසිරෙනුවහ, පරිචාරකයහ, ශිෂ්‍යහ’යි මෙසේත් ‘පරිචාරකසොළසානං බ්‍රාහ්මණනාං’ යනු වේ.
අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ඛ්‍යාකාසි- ‘අජ්ඣිට්ඨො’ යනු: අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු. පුට්ඨො පුට්ඨො යනු: පුළුවුස්නා ලදහු පුළුවුස්නා ලදහු විචාරන ලදහු විචාරන ලදහු යදනා ලදහු යදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු පහදවන ලදහු. පඤ්හං ඛ්‍යාකාසි යනු: පැන විසඳූහ වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘත කළහ විභාග කළහ පහළ කළහ පැවැසූහ යි ‘අජ්ඣිට්ඨො පුට්ඨො පුට්ඨො පඤ්හං ඛ්‍යාකාසි’ යනු වේ. එයින් තෙල කියනු ලැබෙයි: “ඉදමවොච භගවා -පෙ- පඤ්හං ඛ්‍යාකාසි” යි.
“එකෙකි පැනයෙකැ පෙළ අරුත් දැන පෙළ දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියෙහි (යමෙක්) පිළිපදනේ නම් හේ ජරාමරණයාගේ පරතෙරට යන්නේ මැ යැ, යම් හෙයෙකින් මේ ධර්‍මයෝ (නිර්‍වාණ) පාරගමනාර්භ වෙත් ද එහෙයින් මේ ධර්‍මපර්‍ය්‍යාය ‘පාරායණ’ යී මැ නම් වී”
එකමෙකස්ස චෙ’පි පඤ්හස්ස යනු: එකෙකි අජිත ප්‍රශ්නයාගේ ද එකෙකි තිස්සමෙත්තෙය්‍ය ප්‍රශ්නයාගේ ද එකෙකි පුණ්ණක ප්‍රශ්නයාගේ ද එකෙකි මෙත්තගූ ප්‍රශ්නයාගේ ද එකෙකි ධෝතක ප්‍රශ්නයාගේ ද එකෙකි උපසීව ප්‍රශ්නයාගේ ද එකෙකි නන්‍දක ප්‍රශ්නයාගේ ද එකෙකි හේමක ප්‍රශ්නයාගේ ද එකෙකි තෝදෙය්‍ය ප්‍රශ්නයාගේ ද එකෙකි කප්ප ප්‍රශ්නයාගේ ද එකෙකි ජතුකණ්ණි ප්‍රශ්නයාගේ ද එකෙකි භද්‍රාවුධ ප්‍රශ්නයාගේ ද එකෙකි උදය ප්‍රශ්නයාගේ ද එකෙකි පෝසාල ප්‍රශ්නයාගේ ද එකෙකි මෝඝරාජ ප්‍රශ්නයාගේ ද එකෙකි පිඞ්ගිය ප්‍රශ්නයාගේ ද.
අත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු: එ මැ ප්‍රශ්නය ධර්‍ම යැ, විසර්ජනය අර්‍ත්‍ථ යි. අත්‍ථමඤ්ඤාය යනු: අරුත් දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට පහළ කොට නුයි ‘අත්‍ථමඤ්ඤාය’ යනු වේ. ධම්මමඤ්ඤාය යනු: පෙළ දහම දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘අත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය’ යනු වේ.
ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය යනු: සම්‍යක් ප්‍රතිපදාවට අනුලෝම ප්‍රතිපදාවට ප්‍රත්‍යනීක (අවිරුද්ධ) ප්‍රතිපදාවට අන්වර්ත්ථ ප්‍රතිපදාවට ධර්‍මානුධර්‍ම ප්‍රතිපදාවට පිළිපදනේ නම් නුයි ‘ධම්මානුධම්මං පටිපජ්ජෙය්‍ය’ යනු වේ.
ගච්ඡෙය්‍යෙ ව ජරාමරණස්ස පාරං- ජරාමරණයාගේ පාරය යි අමාමහ නිවන කියනු ලැබෙයි: යම් සියලු සංස්කාරයන්ගේ ශමථයෙක් සියලු උපධීන්ගේ දුරැලීමෙක් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එයයි. ගච්ඡෙය්‍යෙ’ව ජරාමරණස්ස පාරං යනු: ජරාමරණයාගේ පාරයට යන්නේ යැ පාරයට පැමිණෙන්නේ යැ පාරය ස්පර්‍ශ කරන්නේ යැ පාරය ප්‍රත්‍යක්‍ෂ කරන්නේ නුයි ‘ගච්ඡෙය්‍යෙ’ව ජරාමරණස්ස පාරං’ යනු වේ.
පාරං ගමනියා ඉමෙ ධම්මා යනු: මේ ධර්‍මයෝ පාරගමනාර්භ වූවාහු පාරයට පමුණුවති පාරයට මැනැවින් පමුණුවති පාරයට මොනොවට පමුණුවති ජරාමරණයාගේ තරණය පිණිස පවතිත් නුයි ‘පාරං ගමනියා ඉමෙ ධම්මා’ යනු වේ.
තස්මා ඉමස්ස ධම්මපරියායස්ස - ‘තස්මා’ යනු: එයින් එ කරුණින් එ හෙයින් තත් ප්‍රත්‍යයෙන් තත්නිදානයෙන්. ඉමස්ස ධම්මපරියායස්ස යනු: මේ පාරායණ සුත්‍රයට නුයි ‘තස්මා ඉමස්ස ධම්මපරියායස්ස’ යනු වේ.
පාරායනංනෙත්‍ව’ච අධිවචනං යනු: ‘පාරං’ යි අමාමහනිවන කියනු ලැබෙයි ... නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ ද එය යි. ‘අයන’ යි මාර්‍ගය කියනු ලැබෙයි. අධිවචනං යනු: සංඛ්‍යා යැ සමඤ්ඤා යැ ප්‍රඥප්ති යැ ව්‍යවහාර යැ නාම යැ නාමකර්ම යැ නාමධෙය යැ නිරුක්ති යැ ව්‍යඤ්ජන යැ අභිලාප නු යි ‘පාරායනංනෙත්‍ව’ච අධිවචනං’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“එකමෙකස්ස වෙ’පි -පෙ- පාරායනංත්‍වෙ’ච අධිවචනං” යි.
1. අජිත යැ, තිස්සමෙත්තෙය්‍ය යැ, පූර්‍ණක යැ, යළි මෙත්තගූ යැ, ධෝතක යැ, උපසීව යැ, නන්‍ද යැ, යළි හේමක යැ,
2. තෝදෙය්‍ය - කප්ප දෙදෙනා යැ, පණ්ඩිත වූ ජතුකර්ණී යැ, භද්‍රාවුධ යැ, උදය යැ, පෝසාල බ්‍රාහ්මණ යැ, නුවණැති මෝඝරාජ යැ, මහර්ෂී වූ පිඞ්ගිය යැ යන,
3. මොහු සමෘද්ධි වූ පසළොස්චරණ ධර්‍ම ඇති ඍෂි වූ බුදුන් කරා පැමිණියහ. සියුම් ප්‍රශ්නයන් පුළුවුස්නාහු බුද්ධශ්‍රේෂ්ඨයන් කරා පැමිණියාහ.
එතෙ බුද්ධං උපාගඤ්ඡුං - ‘එතෙ’ යනු: පාරායන සමාගමයෙහි වූ සොළොස් බමුණෝ යි. බුද්ධෝ යනු: යම් ඒ භාග්‍යවත් කෙනෙක් තුමූ මැ සර්‍වඥ වූවාහු ආචාර්‍ය්‍යයකු නැති වැ පෙර නො ඇසූවිරූ දහම්හි තුමූ මැ සිව්සස් අවබෝධ කළාහු ද, ඒ සත්‍යයන්හි දු සර්‍වඥ බවට පැමිණියාහු ද බල ධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු ද ඔහු යැ. බුද්ධ යනු: කවර අරුතින් බුද්ධ නම් වී ද යත්: සිව්සස් අවබෝධ කළේ නුයි ‘බුද්ධ’ යැ, ප්‍රජාවට අවබෝධ කරවනුයේ නුයි ‘බුද්ධ’ යැ, සර්‍වඥ බැවින් ‘බුද්ධ’ යැ, සියල්ල දක්නා හෙයින් ‘බුද්ධ’ යැ, අනෙකක්හු විසින් අවබෝධ නො කැරැවිය යුතු හෙයින් ‘බුද්ධ’ යැ, විවිධ ගුණ පහළ කරන හෙයින් ‘බුද්ධ’ යැ, ක්ෂීණාස්‍රවසංඛ්‍යායෙන් ‘බුද්ධ’ යැ නිරුපක්ලෙස සංඛ්‍යායෙන් ‘බුද්ධය’ යැ, ඒකාන්තයෙන් වීතරාග නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතද්වේෂ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් වීතමෝහ නුයි ‘බුද්ධ’ යැ, ඒකාන්තයෙන් කෙලෙස් රහිත නුයි ‘බුද්ධ’ යැ, ඒකායනමාර්ගයට ගියේ නුයි ‘බුද්ධ’ යැ, එකලා වැ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළේ නුයි ‘බුද්ධ’ යැ, අබුද්ධිය නැසූ බැවින් බුද්ධිප්‍රතිලාභය හේතු කොට ගෙන ‘බුද්ධ’ යැ, බුද්ධ යන තෙල නාමය මෑණියන් විසින් නො කරන ලද, පියාණන් විසින් නො කරන ලද, බෑයකු විසින් නො කරන ලද, බූනක විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරන ලද, නෑසහලේ නෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරන ලද. භාග්‍යවත් බුදුවරයනට යම් ‘බුද්ධ’ යන නාමයෙක වේ නම් අර්‍හත්ඵලයාගේ අන්තයෙහි උපන් තෙල නාමය මහබෝමැඩ දී සර්‍වඥතාඥානයාගේ ප්‍රතිලාභය සමග අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් ප්‍රඥප්තියකි. එතෙ බුද්ධං උපාගඤ්ඡු යනු: තුලුහු බුදුන් කරා පැමිණියහ. එළැඹියහ පර්‍ය්‍යුපාසන කළහ (සමීපයෙහි හුන්හ) පැන පුළුවුත්හ තුලනය කළාහු නුයි ‘එතෙ බුද්ධං උපාගඤ්ඡු’ යනු වේ.
සම්පන්න චරණං ඉසිං - ‘චරණ’ යි ශීලපාරමීප්‍රාප්තිය කියනු ලැබෙයි: ශීල සංවරය ද චරණ යැ ඉන්‍ද්‍රිය සංවරය ද චරණ යැ භෝජනයෙහි මාත්‍රඥතාව ද චරණ යැ ජාගර්‍ය්‍යානුයෝගය ද චරණ යැ (ශ්‍රද්ධාදි) සප්ත ධර්‍මයෝ ද චරණ යැ සතර ධ්‍යානයෝ ද චරණ යි. සම්පන්න චරණං යනු: සමෘද්ධ වූ (ශීලාදි) චරණ ඇති ශ්‍රේෂ්ඨ චරණ ඇති ජ්‍යේෂ්ඨ චරණ ඇති ප්‍රමුඛචරණ ඇති උත්තමචරණ ඇති ප්‍රවරචරණ ඇති. ඉසි යනු: බුදුහු ඍෂිහ, මහත් වු ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ඍෂිහ ... මහායශස්ක සත්ත්‍වයන් විසින් හෝ බුදුහු කොහි යැ, භාග්‍යවත්හු කොහි යැ, දෙවදෙවයෝ කොහි යැ, නරශ්‍රෙෂ්ඨයෝ කොහි යැ’යි එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කරන ලද්දා හු නුයි ඍෂි නම් වෙත් නුයි ‘සම්පන්න චරණං ඉසිං’ යනු වේ.
පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ - ‘පුච්ඡන්තා’ යනු: පුළුවුස්නාහු යදනාහු අධ්‍යෙෂණ කරන්නාහු පහදවන්නාහු. නිපුණෙ පඤ්හෙ යනු: ගැඹුරු වූ දුකසේ දැක්ක යුතු වූ දුකසේ අවබෝධ කටයුතු වූ ශාන්ත වූ ප්‍රණීත වූ තර්කාවචර (තර්‍කයෙන් නො බැසගත යුතු වූ) සියුම් වූ පණ්ඩිතයන් විසින් දත යුතු වූ ප්‍රශ්නය නු යි ‘පුච්ඡන්තා නිපුණෙ පඤ්හෙ’ යනු වේ.
බුද්ධසෙට්ඨං උපාගමුං - ‘බුද්ධෝ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක්... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. සෙට්ඨං යනු: අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ජ්‍යේෂ්ඨ වූ ප්‍රමුඛ වූ උත්තම වූ ප්‍රවර වූ බුද්ධ ශ්‍රේෂ්ඨයන් කරා. උපාගමුං යනු: සමීපයට පැමිණියහ එළැඹියහ පර්‍ය්‍යුපාසන කළහ. පැන පුළුවුත්හ තුලනය කළාහු නුයි ‘බුද්ධ සෙට්ඨං උපාගමුං’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“එතෙ බුද්ධං -පෙ- බුද්ධසෙට්ඨං උපාගමුං” යී.
පැන පුළුවුස්නා ලද බුදුහු ඔවුනට ඇති සැටියෙන් ප්‍රකාශ කළහ. සර්‍වඥ මුනීහු පැන විසඳීමෙන් බමුණන් තුටු කළහ.
තෙසං බුද්ධෝ ඛ්‍යාකාසි - ‘තෙසං’ යනු: පාරායන සමාගමයෙහි වූ සොළොස් බමුණනට. බුද්ධෝ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යන නාමය සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. බ්‍යාකාසි යනු: ඔවුනට බුදුහු විවරණ කළහ. වදාළහ දෙසූහ පැනැවූහ පිහිටුවූහ විවෘති කළහ විභාග කළහ පාළ කළහ ප්‍රකාශ කළාහු නුයි ‘තෙසං බුද්ධෝ බ්‍යාකාසි’ යනු වේ.
පඤ්හෙ පුට්ඨො යථාතථං - ‘පඤ්හෙ පුට්ඨො යනු: ප්‍රශ්නයන් පුළුවුස්නා ලදහු විචාරන ලදහු අයදනා ලදහු අධ්‍යෙෂණ කරන ලදහු පහදවන ලදහු. යථා තථං යනු: යම්සේ වදාළ යුතු නම් එසේ වදාළය, යම්සේ දෙසිය යුතු නම් එසේ දෙසූය, යම්සේ පැනැවිය යුතු නම් එසේ පැනැවූහ, යම්සේ පිහිටුවිය යුතු නම් එසේ පිහිටුවූහ, යම්සේ විවෘති කළ යුතු නම් එසේ විවෘති කළහ, යම්සේ විභාග කළ යුතු නම් එසේ විභාග කළහ, යම්සේ පාළ කළ යුතු නම් එසේ පාළ කළහ, යම්සේ ප්‍රකාශ කළ යුතු නම් එසේ ප්‍රකාශ කළාහු නුයි ‘පඤ්හෙ පුට්ඨො යථා තථං’ යනු වේ.
පඤ්හානං වෙය්‍යාකරණෙන යනු: පැන විසඳීමෙන් පැවැසීමෙන් දෙසීමෙන් පැනැවීමෙන් පිහිටුවීමෙන් විවෘති කිරීමෙන් විභාග කිරීමෙන් පාළ කිරීමෙන් ප්‍රකාශ කිරීමෙනැ’යි ‘පඤ්හානං වෙය්‍යාකරණෙන’ යනු වේ.
තොසෙසි බ්‍රාහ්මණෙ මුනි - ‘තොසෙසි’ යනු: තුටු කළහ, විවිධාකාරයෙන් තුටු කළහ, පැහැද වූහ, සිද්ධියට පැමිණවූහ, සියමන ඇතියන් කළහ. බ්‍රාහ්මණෙ යනු: පාරායන සමාගමයෙහි වූ බ්‍රාහ්මණයන්. මුනි - ‘මොන’ යි ඥානය කියනු ලැබෙයි. ... රාගාදි සඞ්ගය හා තෘෂ්ණා දෘෂ්ටි ජාලය ඉක්ම සිටි හේ ‘මුනි’ නම් වේ නුයි ‘තොසෙසි බ්‍රාහ්මණෙ මුනි’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“තෙසං බුද්ධෝ බ්‍යාකාසි -පෙ- තොසෙසි බ්‍රාහ්මණෙ මුනි” යි.
ඔහු පසැස් ඇති සූර්‍ය්‍ය බන්‍ධු වූ බුදුරජුන් විසින් තුටු කරන ලද්දාහු උත්තම ප්‍රාඥ වූ සර්‍වඥයන් වහන්සේ වෙත බඹසරවස් වුසූහ.
තෙ තොසිතා චක්‍ඛුමතා - ‘තෙ’ යනු: පාරායණසමාගමයෙහි වූ සොළොස් බමුණහු යැ. තොසිතා යනු: තුටු කරන ලද්දාහු විවිධාකාරයෙන් තුටු කරන ලද්දාහු පහදවන ලද්දාහු සිද්ධියට පමුණුවන ලද්දාහු (සොම්නස් විසින්) සියමන ඇතියන් කරන ලද්දාහු නුයි ‘තෙ තොසිතා’ යනු වේ. චක්‍ඛුමතා යනු: බුදුහු පසැසින් චක්ෂුර්මත්හ: මසැසිනුදු චක්ෂුර්මත්හ, දිවැසිනුදු චක්ෂුර්මත්හ ... බුදුහු සමතැසිනුදු චක්ෂුර්මත්හ’යි ‘තෙ තොසිතා චක්‍ඛුමාතා’ යනු වේ.
බුද්ධෙනාදිච්චබන්‍ධුනා - ‘බුද්ධ’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ... මේ ‘බුද්ධ’ යනු සාක්‍ෂාත් ප්‍රඥප්තියකි. ආදිච්චබන්‍ධුනා - ‘ආදිච්ච’යි සූර්‍ය්‍යයා කියනු ලැබෙයි. හේ ගෝත්‍රයෙන් ගෞතම යැ. බුදුහු ද ගෝත්‍රයෙන් ගෞතම යැ බුදුහු සූර්‍ය්‍යහට ගෝත්‍රයෙන් ඥාතීහ ගෝත්‍රයෙන් බන්ධුහ එයින් බුදුහු ‘ආදිත්‍ය බන්‍ධු නම් වෙතී” ‘බුද්ධෙනා දිච්ච බන්‍ධුනා’ යනු වේ.
බ්‍රහ්මචරියමචරිංසු - ‘බ්‍රහ්මචරිය’ යි අසද්ධර්‍ම සමාපත්තියෙන් දුරුවීම වෙන්වීම සර්‍වාකාරයෙන් වෙන්වීම, විරමණභාවය, විරමණය, නො කිරීම, අකරණය, ඊට නො පැමිණීම, මර්‍ය්‍යාදා නො ඉක්මවීම, හේතු නැසීම කියනු ලැබෙයි. තවද නිෂ්පර්‍ය්‍යාය විසින් ‘බ්‍රහ්මචරිය’ යි ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය කියනු ලැබෙයි. හේ මෙසේයි: සම්‍යග්දෘෂ්ටි යැ සම්‍යක්සංකල්ප යැ සම්‍යග් වචන යැ සම්‍යක් කර්‍මාන්ත යැ සම්‍යගාජීව යැ සම්‍යග්ව්‍යායාම යැ සම්‍යක් ස්මෘති යැ සම්‍යක් සමාධි යි. බ්‍රහ්මචරියමචරිංසු යනු: බ්‍රහ්මචාර්‍ය්‍යායෙහි හැසුරුණහ වෙසෙසින් හැසුරුණහ මොනොවට ගෙන පැවැත්තාහු නුයි ‘බ්‍රහ්මචරියමචරිංසු’ යනු වේ.
වරපඤ්ඤස්ස සන්තිකේ යනු: උතුම් ප්‍රඥා ඇතියහුගේ අග්‍රප්‍රඥා ඇතියහු ගේ ශ්‍රෙෂ්ඨප්‍රඥා ඇතියහුගේ ජ්‍යෙෂ්ඨප්‍රඥා ඇතියහු ගේ අධිකප්‍රඥා ඇතිය හුගේ උත්තමප්‍රඥා ඇතියහුගේ ප්‍රවර ප්‍රඥා ඇතියහු ගේ. සන්තිකේ යනු: සමීපයෙහි වෙතැ ආසන්නයෙහි නුදුරෙහි ඉතා ළඟැනුයි ‘වරපඤ්ඤස්ස සන්තිකේ’ යනු වේ.
එයින් තෙල කියනු ලැබෙයි:
“තෙ තොසිතා චක්‍ඛුමතා -පෙ- වරපඤ්ඤස්ස සන්තිකේ” යී.
එකෙකි පැනයට යම්සේ බුදුරදුන් විසින් වදාළ විසැඳුම් වේ ද, යමෙක් එසේ පිළිපදනේ නම් හෙතෙම අපාර සංඛ්‍යාත සසරින් පරතෙරට යන්නේ යැ.
එකමෙකස්ස පඤ්හස්ස යනු: එකෙකි අජිත පැනයට එකෙකි තිස්සමෙත්තෙය්‍ය පැනයට ... එකෙකි පිඞ්ගිය පැනයට නුයි ‘එකමෙකස්ස පඤ්හස්ස’ යනු වේ.