(ආයුෂ්මත් පෝසාල මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ සිඳුනා ලද සැක ඇති යම් සර්‍වඥ කෙනෙක් ස්වකීය වූ ද පරකීය වූ ද අතීතය (පූර්වෙනිවාසානුස්මෘතිඥානයෙන්) ප්‍රකාශ කෙරෙත් ද, සියලු ධර්‍මයන් ගේ පරතෙරට ගිය ඒ සර්‍වඥයන් කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි.
යො අතීතං ආදිසති- ‘යො’ යනු: යම් භාග්‍යවත් කෙනෙක් ස්වයම්භූ වූවාහු (තමනට) ආචාර්‍ය්‍යයන් නැත්තාහු පෙර නොඇසූ සිව්සස් දහම්හි සත්‍යයන් තුමූ අවබෝධ කළසේක් ද එහිදු සර්‍වඥභාවයට පැමිණියාහු බලධර්‍මයන්හි දු වශීභාවයට පැමිණියාහු වෙත් ද උන්වහන්සේ යැ. අතීතං ආදියති යනු: බුදුහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතයත් වදාරති අනාගතයත් වදාරති වර්තමානයත් වදාරත්. කිසෙයින් බුදුහු තමන්ගේ අතීතය වදාරත්ද යත්: බුදුහු තමන්ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති ජාති තුනකුදු වදාරති ජාති සතරකුදු වදාරති ජාති පසකුදු වදාරති ජාති දසයකුදු- ජාති විස්සකුදු- ජාති තිසකුදු- ජාති සතලිසකුදු- ජාති පසනකුදු- ජාති සියයකුදු- ජාති දහසකුදු- ජාති සුවහසකුදු- නො එක් සංවර්ත්තකල්පයනුදු- නො එක් විවර්ත්තකල්පයනුදු- නො එක් සංවර්ත්තවිවර්ත්තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැ සටහන් ඇතියෙම් මෙ බඳු ආහාර ඇතියෙම් මෙ බඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන්මි, එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනා සුලු වූයෙම් මෙබඳු ආයුඃපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි, ඒ මම් එතැනින් ච්‍යුත වැ මෙහි උපන්මි. මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ අතීතය වදාරත්.
කිසෙයින් බුදුහු මෙරමා ගේ අතීතය වදාරති යැ යත්: බුදුහු මෙරමා ගේ අතීතය එක් ජාතියකුදු වදාරති ජාති දෙකකුදු වදාරති... නො එක් සංවර්‍ත විවර්‍තකල්පයනුදු වදාරති: අසෝ තැන මෙබඳු නම් ඇතියේ මෙබඳු ගෝත්‍ර ඇතියේ මෙබඳු පැහැසටහන් ඇතියේ මෙබඳු ආහාර ඇතියේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃපර්‍ය්‍යන්ත ඇතියේ විය. හේ එතැනින් ච්‍යුත වැ අසෝ තැන උපන, එහිදු මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගෝත්‍ර ඇත්තේ මෙබඳු පැහැසටහන් ඇත්තේ මෙබඳු ආහාර ඇත්තේ මෙබඳු සුවදුක් විඳුනේ මෙබඳු ආයුඃ පර්‍ය්‍යන්ත ඇත්තේ විය. හේ එයින් ච්‍යුත වැ මෙහි උපනැ’යි මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්වේනිවාසය වදාරති. මෙසෙයින් බුදුහු මෙරමාගේ අතීතය වදාරත්.
බුදුහු පන්සියක් ජාතකයෙන් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති. “මහාපදානිය” සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාසුදස්සනිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මහාගොවින්දිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරති, ‘මාඝදෙවිය’ සුතත් වදාරන්නාහු තමන්ගේ ද මෙරමාගේ ද අතීතය වදාරත්. මේ වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්:
“චුන්‍දයෙනි, අතීත කාලය අරභයා තථාගතයන්ට සති-අනුසාරී ඥානය වෙයි, හේ යම් තාක් කැමති වේ නම් ඒ තාක් සිහි කෙරෙයි චුන්‍දයෙනි, අනාගතයත් ... චුන්‍දයෙනි, ප්‍රත්‍යුත්පන්න කාලයත් අරභයා තථාගතයනට බෝධියෙන් උපන් ඥානය උපදී: ‘මේ අන්තිම ජාතිය වෙයි දැන් පුනර්‍භවයෙක් නැතැ’යි. ඉන්‍ද්‍රියපරාවරතාඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, සත්ත්‍වයන්ගේ ආශය අනුශය දන්නා නුවණ තථාගතයන් ගේ තථාගත බල වෙයි, යමක ප්‍රාතිහාර්‍ය්‍යඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, මහාකරුණා සමාපත්තිඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වෙයි, (අතීතාදි) සියලු තැන්හි නො ඇලුණු අප්‍රතිහත වූ අනාවරණඥානය තථාගතයන් ගේ තථාගතබල වේ. මෙසෙයින් බුදුහු තමන් වහන්සේ ගේ ද මෙරමාගේ ද අතීතයත් දක්වනසේක, අනාගතයත් දක්වනසේක, ප්‍රත්‍යුත්පන්නයත් දක්වන සේක වදාරන සේක දෙසනසේක පනවනසේක සිහිටුවන සේක විවරණ කරනසේක විභාග කරන සේක ප්‍රකට කරන සේක ප්‍රකාශ කරනසේක් නුයි “යො අතීතං ආදිසති” යනු වේ. ඉච්චායස්මා පොසාලො...
අනෙජො ඡින්නසංසයො- ‘එජා’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් අධික රාගයෙක් ... අභිධ්‍යායෙක් ලෝභ අකුශලමූලයෙක් වේ ද එය යි. ඒ එජා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව භාග්‍යවත් බුදුන් ට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ-(මුදුන් සුන්) තාලවස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද මත්තෙහි නූපදනා පියවි ඇත්තීයැ එහෙයින් බුදුහු “අනෙජයහ”, එජා ප්‍රහීණ වන බැවින් අනේජයහ. බුදුහු ලාභයෙහිදු නො සැලෙති ...දුකෙහි දු කම්පා නො වෙති නො සැලෙති නො වෙවුළති වෙසෙසින් නො වෙවුළති අතිශයින් නො වෙවුළත් නුයි ‘අනෙජො’ යනු වේ. ඡින්නසංසයො යනු: ‘සංසයො’ යි විචිකිත්සාව කියනු ලැබෙයි. දුඃඛසත්‍යයෙහි සැකය ... චිත්තයාගේ තදබව මනෝවිලේඛය යි. ඒ සැකය භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහීණ යැ සිඳින ලද වෙසෙසින් සිඳින ලද මොනොවට සිඳින ලද සන්හිඳිණ දුරලන ලද බැහැර කරන ලද උපතට නො නිසි වූයේ යැ නුවණ ගින්නෙන් දවන ලද. එහෙයින් බුදුහු සිඳුනා ලද සැක ඇත්තාහු නුයි “අනෙජො ඡින්නසංසයො” යනු වේ.
පාරගුං සබ්බධම්මානං යනු: බුදුහු අභිඥාපාරගූ වෙති පරිඥා පාරගූ වෙති ප්‍රහාණ පාරගූ වෙති භාවනා පාරගූ වෙති සාක්‍ෂාත්ක්‍රියා පාරගූ වෙති සමාපත්ති පාරගූ ද වෙත්. සියලු (පඤ්චස්කන්ධාදි) ධර්‍මයන්ගේ අභිඥා (ඥාතපරිඥා) වෙන් නිර්‍වාණපාරයට ගියහ ... ජාතිමරණසංසාරය පුනර්‍භවය ඔවුනට නැත්නුයි ‘පාරගුං සබ්බධම්මානං’ යනු වේ.
අත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇතියමෝ ආම්හ ... තෙල භාරය උසුලනු මැනව නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“යො අතීතං ආදිසති -පෙ- අත්‍ථි පඤ්හෙන ආගමං” යි.
14. 2.
ශාක්‍යමුනීන්‍ද්‍රයන් වහන්ස, ඉක්මවන ලද රූපසංඥා ඇති තදඞ්ග විෂ්කම්භන විසින් සියලු රූපකාය ප්‍රහාණය කරනසුලු වූ අධ්‍යාත්මයෙහිදු බාහ්‍යයෙහිදු කිසිවක් නැතැ යි දක්න හු (ආකිඤ්චඤ්ඤායතනලාභීහු) ගේ ඥානය පුළුවුස්මි. එබඳු වූ පුද්ගල තෙම කිසෙයින් (මත්තෙහි ඥානයට) පැමිණවිය යුත්තේ ද?
විභූතරූපසඤ්ඤිස්ස යනු: රූපසංඥා කවරැ යත් රූපාවචර සමවත් සමවන්නහුගේ වේවයි (විපාක විසින්) එහි උපන්නහු ගේ වේවයි ඉහාත්මසුඛ විහරණ ඇත්තහු ගේ වේවයි සංඥාවක් හඳුනන අයුරෙක් හැඳින ගත් බවෙක් වේ ද මේ රූපසංඥා යි. විභූතරූපසඤ්ඤිස්ස යනු: සතර අරූපසමාපත්තීන් ලද්දහුට රූපසංඥාවෝ අප්‍රකට වූවාහු නැසුණාහු ඉක්මුණාහු මොනොවට ඉක්මුණාහු වෙසෙසින් ඉක්ම සිටියාහු වෙත් නුයි ‘විභූතරූපසඤ්ඤිස්ස’ යනු වේ.
සබ්බකායප්පහායිනො යනු: ඒ අරූපසමාපත්ති ලාභීහු ගේ ප්‍රතිසන්‍ධි ඇති හැම රූප කය තදඞ්ග සමතික්‍රමණයෙන් ප්‍රහීණ යැ ඔහුගේ රූප කය විෂ්කම්භන ප්‍රහාණයෙන් ප්‍රහීණ නුයි ‘සබ්බකායප්පහායිනො’ යනු වේ.
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චී ති පස්සතෝ- ‘නත්‍ථි කිඤ්චි’ යනු: ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති යැ. කවර කරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යනු ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති වේ ද යත්: යම් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියකට සිහි ඇති වැ සමවැද එයින් නැඟී එ මැ විඥානය අභාවයට පමුණුවයි ද වෙසෙසින් අභාවයට පමුණුවයි ද අතුරුදහන් කෙරෙයි ද ‘කිසිවක් නැතැ’යි දකී ද එකරුණින් ‘නත්‍ථි කිඤ්චි’ යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති වේ නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධා ච නත්‍ථි කිඤ්චීති පස්සතෝ’ යනු වේ.
ඤාණං සක්කානුපුච්ඡාමි- ‘සක්ක’ යනු: බුදුහු ශාක්‍යයහ: ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූවාහු නුයි ද ශාක්‍යයහ ... ප්‍රහීණ වූ බිය හා බිය අරමුණු ඇත්තාහු පහවූ ලොමුදහ ඇත්තාහු නුයි ද ශාක්‍යයහ. ඤාණං සක්කානුපුච්ඡාමි- ඔහුගේ ඥානය කෙබඳු වූයේ කවර සටහන් ඇතියේ කවර ප්‍රකාර වූයේ කුමක් හා සමාන වූයේ කැමැති වියයුතු දැ යි පුළුවුස්මි නුයි ‘ඤාණං සක්කානුපුච්ඡාමි’ යනු වේ.
කථං නෙය්‍යො තථාවිධො- හෙතෙම කිසෙයින් (නිවනට) පැමිණ විය යුත්තේ ද විනයනය කළ යුත්තේ ද (සැක සිඳීමෙන්) අනුනයනය කළ යුත්තේ ද පැනවිය යුත්තේ ද නිශ්චය කරවිය යුත්තේ ද දැක්විය යුත්තේ ද පැහැදවිය යුත්තේ ද කිසෙයින් ඔහු විසින් මත්තෙහි ඥානය ඉපැදවිය යුතුද. තථා විධො යනු: යමෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ලාභී වූයේ ද එබඳු වූයේ තාදෘශ වූයේ එබඳු සටහන් ඇතියේ එබඳු ප්‍රකාර ඇතියේ තත්ප්‍රතිභාග වූයේ නු යි ‘කථං නෙය්‍යො තථාවිධො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“විභූතරූපසඤ්ඤිස්ස -පෙ- කථං නෙය්‍යො තථාවිධො” යි.
14. 3.
(බුදුහු මෙසේ වදාළහ: පොසාලය,) හැම විඥානස්ථිතීන් වෙසෙසින් දන්නා වූ තථාගත තෙමේ ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ත වූ එය පරායණ කොට ඇති වැ සිටුනා මේ පුඟුලා දනී.
විඤ්ඤාණට්ඨිතියො සබ්බා යනු: බුදුහු කර්මාභිසංස්කාරයන් ගේ වශයෙන් සතර විඥාන ස්ථිතීන් දන්නා සේක. ප්‍රතිසන්‍ධි වශයෙන් සප්ත විඥානස්ථිතීන් දන්නා සේක.
කිසෙයින් බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි උපය විසින්) රූපයට පැමිණි හෝ රූපය අරමුණු කොට ඇතියේ රූපය ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටී. (සප්‍රීතික) තෘෂ්ණා ජලයෙන් තෙමනලදුයේ වෘද්ධියට විරූඪ බවට විපුල බවට පැමිණෙයි, මහණෙනි, (තෘෂ්ණා- දෘෂ්ටි විසින්) වේදනාවට පැමිණි හෝ ... මහණෙනි, සංඥාවට පැමිණි හෝ ... මහණෙනි, සංස්කාරයන්ට පැමිණි හෝ විඥානය සිටුනේ සංස්කාරයන් අරමුණු කොට ඇති යේ සංස්කාරයන් ප්‍රතිෂ්ඨා කොට ඇතියේ සිටියි. තෘෂ්ණොදකයෙන් තෙමන ලදුයේ වෘද්ධියට විරූඪබවට විපුල බවට පැමිණේ යයි මෙසේ බුදුහු අභිසංස්කාර වශයෙන් සතර විඥානස්ථිතීන් දන්නා සේක.
කිසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි වශයෙන් සප්තවිඥානස්ථිතීන් දන්නා සේක් ද යත්: භාග්‍යවතුන් විසින් මෙය වදාරන ලද මැ යි. “මහණෙනි, මිනිසුන් ද ඇතැම් දෙවියන් ද ඇතැම් විනිපාතිකයන් ද සෙයින් (වර්‍ණ සංස්ථානාදි විසින්) නානාත්‍වකාය ඇති නානාත්‍ව වූ ප්‍රතිසන්‍ධි සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ” මේ පළමු වන විඥානස්ථිතිය යැ. මහණෙනි, ප්‍රථමධ්‍යානයෙන් උපන් (බ්‍රහ්මපාරිසජ්ජාදි වූ) බ්‍රහ්මකායික දෙවියන් සෙයින් නානාත්‍වකාය වූ එකත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ දෙ වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ආභාස්වර දෙවියන් සෙයින් ඒකත්‍වකාය ඇති නානාත්‍වසංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ තුන් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, ශුභකෘත්ස්න දෙවියන් සෙයින් ඒකත්‍වකාය වූ ඒකත්‍ව සංඥා ඇති සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සතර වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥා ඉක්ම වීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් ගේ අමනසිකාරයෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ පස් වැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ. මේ සවැනි විඥානස්ථිතිය යැ. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ, මේ සත් වැනි විඥානස්ථිතිය යි. මෙසෙයින් බුදුහු ප්‍රතිසන්‍ධි විසින් සප්තවිඥානස්ථිතීන් දන්නාසේක් නුයි ‘විඤ්ඤාණට්ඨිතියො සබ්බා’ යනු වේ. පොසාලා’ ති භගවා යනු...
අභිජානං තථාගතො- ‘අභිජානං’ යනු: වෙසෙසින් දන්නේ එකතින් දන්නේ නොයෙක් අයුරින් දන්නේ ඒ ඒ කරුණු පිණිස දන්නේ ප්‍රතිවේධ කරනුයේ. තථාගතො යනු: භාග්‍යවතුන් විසින් මෙය වදාරණ ලද මැ යි: “චුන්දය, අතීත වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් තෙල තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, අතීත වූ ද භූත වූ තථ්‍ය වූ අර්ත්ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ එ මැ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙති. චුන්දය, අනාගත වූ ද ... චුන්දය වර්‍තමාන වූ ද අභූත වූ අතථ්‍ය වූ අනර්‍ත්‍ථසංහිතයෙක් වී නම් එය තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අනර්‍ත්‍ථ සංහිතයෙක් වී නම් එ ද තථාගතයෝ ප්‍රකාශ නො කෙරෙති. චුන්දය, ප්‍රත්‍යුත්පන්න වූ ද භූත වූ තථ්‍ය වූ අර්ත්ථසංහිතයෙක් වී නම් එහි ලා තථාගතයෝ ඒ ප්‍රශ්නය ප්‍රකාශ කිරීම පිණිස කල් දන්නාහු වෙත්. චුන්දය, මෙසෙයින් තථාගතයෝ අතීතානාගත ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්හි කාලවාදී භූතවාදී අර්ත්ථවාදී ධර්‍මවාදී විනයවාදී වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙති.
චුන්දය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් දෙවිමිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව විසින් යම් රූපාලම්බනයක් ශබ්දාලම්බනයක් ගන්ධරසස්ප්‍රෂ්ටව්‍යාලම්බනයක් (සුඛදුඃඛාදි) ධර්‍මාලම්බනයක් (සොයා හෝ නො සොයා හෝ) ලබන ලද ද (ලද හෝ නො ලද හෝ) සොයන ලද ද සිතින් විමසන ලද ද එ සියල්ල තථාගතයන් විසින් අවබෝධ කරන ලද, එහෙයින් ‘තථාගත’යි කියනු ලැබෙයි. චුන්දය යම් රාත්‍රියෙක තථාගතයෝ අනුත්තර වූ සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙත් ද යම් රාත්‍රියෙක අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් ද තෙල අතුරෙහි යමක් බෙණෙත් ද පවසත් ද දක්වත් ද ඒ සියල්ල එසෙයින් මැ වෙයි. අන් සෙයෙකින් නො වේ. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙයි. චුන්දය, තථාගතයෝ යම්සේ බෙණෙත් නම් එසේ කරන සුලු වෙති, යම්සේ කෙරෙත් නම් එසේ බණන සුලු වෙත්. මෙසේ යථාවාදී තථාකාරී ද යථාකාරී තථාවාදී ද වෙත්. එහෙයින් ‘තථාගත’ යි කියනු ලැබෙයි. චුන්දය, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙවි මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව කෙරෙහි තථාගතයෝ ‘අභිභූ’ වූහ, අන්‍යයන් විසින් අනභිභූතයහ, ඒකාන්තයෙන් සියල්ල දක්නාහ, සියලු ජනයා වශයෙහි පවත්වන්නාහ, එහෙයින් ‘තථාගත’ යී කියනු ලැබේ නුයි ‘අභිජානං තථාගතො’ යනු වේ.
තිට්ඨන්තමෙතං ජානාති- බුදුහු මෙලොවැ සිටියහු මැ කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ‘මේ පුද්ගල කාබුන් මරණින්’ මත්තෙහි සැප නැති දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට වදනේ යයි දැනගනිති. බුදුහු මෙලොවැ සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් ‘මේ පුද්ගල තෙම කා බුන් මරණින් මත්තෙහි තිරිසන්යෝනට වදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් මේ පුද්ගල කා බුන් මරණින් මත්තෙහි ප්‍රේත විෂයට වදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ ‘කර්මාභිසංස්කාර වශයෙන් මේ පුද්ගල කා බුන් මරණින් මත්තෙහි මිනිසුන් කෙරෙහි උපදනේ යැ’යි දැනගනිති. බුදුහු මෙහි සිටියාහු මැ කර්මාභිසංස්කාර වශයෙන් ‘මේ පුද්ගල සුප්‍රතිපන්න වූයේ කා බුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට වදනේ යැ’යි දැන ගනිත් යයි.
භාග්‍යවතුන් විසින් මේ වදාරන ලද මැ යි:
ශාරිපුත්‍රයෙනි, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මාගේ සිතින් මෙසේ ඔහු ගේ සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි අය රහිත වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට යම්සේ පැමිණේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි, එමඟට පැමිණියේ යයි’ - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ මාගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි තිරිසන්යෝනට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි එමඟට පිළිපන්නේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම කා බුන් මරණින් මත්තෙහි යම්සේ ප්‍රේතවිෂයට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි, එමඟට ද පැමිණියේ යැ’යි- ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: මේ පුද්ගල තෙම යම්සේ කාබුන් මරණින් මත්තෙහි මිනිසුන් කෙරෙහි උපදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසේ ඉරියවු පවත්වයි, එමඟට ද පැමිණියේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ කා බුන් මරණින් මත්තෙහි සුගති වූ ස්වර්‍ගලෝකයට වදනේ ද එසෙයින් පිළිපන්නේ යැ එසේ ඉරියවු පවත්වයි එමඟට ද පැමිණියේ යැ’යි - ශාරිපුත්‍රය, මම් මෙලොවැ ඇතැම් පුද්ගලයකු මෙසේ සිතින් සිත පිරිසිඳ දැනගනිමි: ‘මේ පුද්ගල තෙම යම්සේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය මෙ අත්බැව්හි මැ තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වාස කෙරේ ද එසෙයින් පිළිපන්නේ යැ එසෙයින් ඉරියවු පවත්වයි එමඟට ද පැමිණියේ යැ’යි ‘තිට්ඨන්තමෙතං ජානාති’ යනු වේ.
අධිමුත්තං තප්පරායණං - ‘අධිමුත්තං’ යනු: ආකිඤ්චඤ්ඤායතනයෙහි අධිමුක්ති විමොක්ෂයෙන් ඇලුණහු ඒ සමාධියෙහි ඇලුණහු ඒ ධ්‍යානයෙහි ඇලුණහු ඒ ධ්‍යානය අධිපති කොට ඇත්තහු. නොහොත් බුදුහු ‘මේ පුද්ගල තෙම රූපයෙහි ඇලුණේ යැ ශබ්දයෙහි ඇලුණේ යැ ගන්‍ධයෙහි ඇලුණේ යැ රසයෙහි ඇලුණේ යැ ස්ප්‍රෂ්ටව්‍යයෙහි ඇලුණේ යැ කුලයෙහි ඇලුණේ යැ ගණයා කෙරෙහි ඇලුණේ යැ ආවාසයෙහි ඇලුණේ යැ ලාභයෙහි ඇලුණේ යැ යශස්හි ඇලුණේ යැ ප්‍රශංසායෙහි ඇලුණේ යැ සුඛයෙහි ඇලුණේ යැ චීවරයෙහි ඇලුණේ යැ පිණ්ඩපාතයෙහි ඇලුණේ යැ ශයනාසනයෙහි ඇලුණේ යැ ගිලන්පස බෙහෙසත් පිරිකරෙහි ඇලුණේ යැ සූත්‍රාන්තයෙහි ඇලුණේ යැ විනයෙහි ඇලුණේ යැ අභිධර්‍මයෙහි ඇලුණේ යැ ආරණ්‍යකාඞ්ගයෙහි ඇලුණේ යැ පිණ්ඩපාතිකාඞ්ගයෙහි ඇලුණේ යැ පාංශුකූලිකාඞ්ගයෙහි ඇලුණේ යැ ත්‍රෛචීවරීකාඞ්ගයෙහි ඇලුණේ යැ සපදානචාරිකඞ්ගයෙහි ඇලුණේ යැ ඛලුපච්ඡාභත්තිකඞ්ගයෙහි ඇලුණේ යැ නෙසජ්ජිකඞ්ගයෙහි ඇලුණේ යැ යථාසන්තතිකඞ්ගයෙහි ඇලුණේ යැ ප්‍රථමධ්‍යානයෙහි ඇලුණේ යැ ද්විතීයධ්‍යානයෙහි ඇලුණේ යැ
තෘතීයධ්‍යානයෙහි ඇලුණේ යැ චතුර්ත්ථධ්‍යානයෙහි ඇලුණේ යැ ආකාසානඤ්චායතන සමාපත්තියෙහි ඇලුණේ යැ විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ඇලුණේ යැ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි ඇලුණේ යැ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි ඇලුණේ යැ’යි ‘අධිමුත්තං’ යනු වේ. තප්පරායණං යනු: ආකිඤ්චඤ්ඤායතනමය වූ එය පිහිට කොට ඇත්තහු කර්‍මය පිහිට කොට ඇත්තහු (ප්‍රවෘත්ති) විපාකය පිහිට කොට ඇත්තහු කර්මචෙතනාව ගරු කොට ඇත්තහු ප්‍රතිසන්‍ධිය ගරු කොට ඇත්තහු, නොහොත් බුදුහු මෙසේ දැනගනිති: ‘මේ පුද්ගල තෙමේ රූප පරායණ යැ ... නෙවසඤ්ඤානාසඤ්ඤායතනපරායණ’ යයි ‘අධිමුත්තං තප්පරායණං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“විඤ්ඤාණට්ඨිතියො සබ්බා -පෙ- අධිමුත්තං තප්පරායණං” යි.
14. 4.
ආකිඤ්චඤ්ඤායතනයෙහි උපදවන අරූපරාග සංඛ්‍යාත නන්‍දිය ‘සංයොගයෙකැ’ යි දැන තෙල මෙසේ මැ විශිෂ්ටඥානයෙන් දැන ඉක්බිති එහි (අනිත්‍යාදි විසින්) විදර්‍ශනා කෙරෙයි. වැස නිමවූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇති බාහිතපාපී වූ ඒ රහත්හු ගේ තෙල අර්හත්මාර්ගඥානය අවිපරීත වේ යයි.
ආකිඤ්චඤ්ඤාසම්භවං - ආකිඤ්චඤ්ඤාසම්භව’ යි ආකිඤ්චඤ්ඤායතනයෙහි ඉපදීම පිණිස පවත්නා කර්මාභිසංස්කාරය කියනු ලැබෙයි. ආකිඤ්චඤ්ඤායතන සංවත්තනික වූ කර්මාභිසංස්කාරය ‘ආකිඤ්චඤ්ඤාසම්භව’ යි දැන ‘ලග්නයෙකැ’ යි දැන ‘බන්‍ධනයෙකැ’යි දැන ‘පළිබොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘ආකිඤ්චඤ්ඤාසම්භවං ඤත්‍වා’ යනු වේ.
නන්‍දිසංයොජනං ඉති - ‘නන්‍දිසංයොජන’යි අරූපරාගය කියනු ලැබෙයි. අරූපරාගයෙන් ඒ කර්‍මය ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ යැ, අරූපරාගය නන්‍දිසංයොජනයෙකැ’ යි දැන බන්‍ධනයෙකැ’ යි දැන පරිරොධයෙකැ’ යි දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට. ඉති යනු: පදසන්ධි යැ පදසංසර්ග යැ පදපාරිපූරි යැ අක්ෂරසමවාය යැ ව්‍යඤ්ජනශ්ලිෂ්ටතා යැ පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු.
එවමෙතං අභිඤ්ඤාය - තෙල මෙසේ දැන දැනගෙන තුලනය කොට තීරණය කොට විභාවන කොට විභූත කොට නුයි ‘එවමෙතං අභිඤ්ඤාය’ යනු වේ.
තතො තත්‍ථ විපස්සතී - ‘තත්‍ථ’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සම වැද එයින් නැඟී සිටි එහි උපන් චිත්තචෛතසිකධර්මයන් අනිත්‍ය හෙයින් විදර්‍ශනා කෙරෙයි දුඃඛ හෙයින් විදර්‍ශනා කෙරෙයි රෝග හෙයින් ... නිස්සරණ හෙයින් විදර්‍ශනා කෙරෙයි දකියි අවලෝකනය කෙරෙයි සිතයි විමසා නුයි ‘තතො තත්‍ථ විපස්සතී’ යනු වේ.
එතං ඤාණං තථං තස්ස - ඒ රහත් පුඟුල්හු ගේ තෙල රහත්මඟනුවණ තථ්‍ය යැ භූත යැ යථාස්වභාව ඇත්තේ යැ අවිපරීත නුයි “එතං ඤාණං තථං තස්ස” යනු වේ.
බ්‍රාහ්මණස්ස වුසීමතො - ‘බ්‍රාහ්මණ’ යනු: (සත්කාය දෘෂ්ටි ආදි) සප්තධර්ම කෙනකුන් දුරු කළ වන බැවින් බ්‍රාහ්මණ යැ ... (තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රය නැති බැවින්) ‘අසිත’ යයි ද (ලොකධර්මයෙන් නිර්විකාර බැවින්) ‘තාදී’ යයි ද කියනු ලැබේ. හෙතෙම ‘බ්‍රාහ්මණ’ නම් වෙයි. බ්‍රාහ්මණස්ස වුසීමතො යනු: පෘථග්ජන කල්‍යාණයා පටන් සප්ත ශෛක්‍ෂයෝ නො පැමිණි රහත්බවට පැමිණෙනු පිණිස අවබෝධ නො කළ රහත්බව අවබෝධ කරනු පිණිස පසක් නො කළ රහත්බව පසක් කරනු පිණිස වෙසෙති වැද වෙසෙති වෙසෙසින් වෙසෙති සර්‍වප්‍රකාරයෙන් වෙසෙති, රහත්පුඟුල් තෙම වැස නිමවූ බඹසර ඇත්තේ කළ (සිව්මඟ) කිස ඇත්තේ බහා තබන ලද (කෙලෙස්) බර ඇත්තේ පැමිණි උත්තමාර්ත්ථ ඇත්තේ ක්‍ෂය කළ භවසංයෝජන ඇත්තේ මොනොවට රහත්මඟින් (කෙලෙසුන් කෙරෙන්) මිදුණේ වෙයි. හෙතෙම වැස නිමවූ බඹසරවස් ඇත්තේ යැ පරිචිත චරණ ධර්‍ම ඇත්තේ යැ ... ජාතිමරණ සංඛ්‍යාත පුනර්‍භවය ඔහුට නැත් නුයි ‘බ්‍රාහ්මණස්ස වුසීමතො’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආකිඤ්චඤ්ඤාසම්භවං -පෙ- බ්‍රාහ්මණස්ස වුසීමතො” යි.
ගාථා පර්‍ය්‍යවසානය හා සමඟ ... බුදුහු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමී.
පෝසාල සූත්‍රනිර්දේශය නිමි.
15. මෝඝරාජ සූත්‍ර නිර්‍දෙශය
15. 1.
(ආයුෂ්මත් මෝඝරාජ මෙසේ විචාරයි:) මම් දෙවරක් ශාක්‍යමුනිහු විචාළෙමි. චක්‍ෂුර්මත්හු ප්‍රකාශ නො කළහ, දෙවර්ෂීහු තුන්වනවට දක්වා විචාරන ලද්දාහු ප්‍රකාශ කරන සේකැ යි මා විසින් අසන ලද.
ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: එ බමුණු දෙවරක් භාග්‍යවත් බුදුන් පැන පුළුවුත්. ඔහට බුදුහු පැන පුළුවුස්නා ලද්දාහු ‘එයට ඉක්බිති මෙ බමුණුහට ඉන්ද්‍රියපරිපාකය වන්නේ යැ’යි ප්‍රකාශ නො කළහ. සක්කො යනු බුදුහු ශාක්‍යයහ: ශාක්‍යකුලයෙන් නික්ම පැවිදි වූහ යි ද ශාක්‍යයහ, නොහොත් ආඪ්‍යයහ මහද්ධන ඇතියහ ධනවත්හ යි ද ශාක්‍යයහ. උන්වහන්සේට මේ ධනයෝ වෙති; හෙ මෙසේයි: ශ්‍රද්ධා ධන යැ ශීල ධන යැ හිරි ධන යැ ඔත්තප්ප ධන යැ ශ්‍රැත ධන යැ ත්‍යාග ධන යැ ප්‍රඥා ධන යැ සතිපට්ඨාන ධන යැ සම්‍යක්ප්‍රධාන ධන යැ ඍද්ධිපාද ධන යැ ඉන්‍ද්‍රිය ධන යැ බලධන යැ බෝධ්‍යඞ්ග ධන යැ මාර්‍ග ධන යැ ඵලධන යැ නිර්වාණධන යි. මේ අනේකවිධ ධනරත්නයන් ගෙන් ආඪ්‍යයහ, මහද්ධන ඇතියහ, ධනවත්හ යි ද ශාක්‍යයහ. නොහොත් ශාක්‍යයහ, ප්‍රභූහ පරසන්තානයෙහි වීර්‍ය්‍යය උපදවනුහ, සමර්ත්ථ සිත් ඇතියහ, ශූරයහ, පරාක්‍රම ඇතියහ, වික්‍රම ඇතියහ, නො බාන සුල්ලහ, නො සැලෙනුවහ, නො තැතිගනුවහ, නො පලායනසුල්ලභ, දුරු කළ බිය හා බිය අරමුණු ඇතියහ, පහවූ ලොමුදහ ඇතියහ නුයි ද ශාක්‍යයහ. ද්වාහං සක්කං අපුච්ඡිස්සං යනු: මම් දෙවරක් ශාක්‍යයන් වහන්සේ පුළුවුත්මි, අයැදියෙමි, අධ්‍යෙෂණ කෙළෙමි, පැහැද වීම් නුයි ‘ද්වාහං සක්කං අපුච්ඡිස්සං’ යනු වේ. ඉච්චායස්මා මොඝරාජා යනු:...
න මෙ ඛ්‍යාකාසි චක්ඛුමා- ‘න මෙ ඛ්‍යාකාසි’ යනු: මට නො පැවැසූහ නො වදාළහ නො දෙසූහ නො පැනවූහ නො පිහිටවූහ විවරණය නො කළහ විභාග නො කළහ පාළ නො කළහ ප්‍රකාශ නො කළහ. චක්ඛුමා යනු: බුදුහු පසැසින් චක්ෂුෂ්මත්හ: මසැසිනුදු චක්ෂුෂ්මත්හ, දිවැසිනුදු චක්ෂුෂ්මත්හ, පැනැසිනුදු චක්ෂුෂ්මත්හ, බුදු ඇසිනුදු චක්ෂුෂ්මත්හ, සමතැසිනුදු චක්ෂුෂ්මත්හ.
කිසෙයින් බුදුහු මසැසිනුදු චක්ෂුෂ්මත්හ යත්: භාග්‍යවතුන් වහන්සේගේ මසැස්හි පස්පැහැ දිස් වෙයි: නිල් පැහැ යැ රන්වන් පැහැ යැ රත් පැහැ යැ කළු පැහැ යැ සුදු පැහැ යැ යි. තවද බුදුන්ගේ අක්ෂිරොම වෙයි: යම් තැනෙකැ වැළිත් ඇස්ලොම් පිහිටියේ ද එතැන දියමෙරළිය මල් සුදුසු සුනිල් පිරිසිදු දැකුම්කලු නිල්පැහැ වෙයි. එ ඉක්බිති කිණිහිරිමල් සුදුසු සුකසාවන් රන්වන් පිරිසිදු දැකුම්කලු කසාවන් පැහැ වෙයි. බුදුන්ගේ දෙනෙතග රතිඳුගොව් සුදුසු සුරත් පිරිසුදු දැකුම්කලු රත්පැහැ වෙයි.
මැද රුක්පෙණෙල ඇට සුදුහු ඉතා කළු මොළොක් සිනිඳු පිරිසුදු දැකුම්කලු කළුපැහැ වෙයි. ඉනික්බිති දවහත්තරු සුදුසු ඉතා සුදු සිත පඬෙර පිරිසුදු දැකුම්කලු සුදු පුහු වේ. බුදුහු අත්බැව් ඇසුරු කළ පෙර පින්කමින් උපන් ඒ පියවි මසැසින් දහවල්හි දු රැයිදු හාත්පසින් යොදුනක් දකිති. යම් කලෙකැ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරය වේ ද: හිරු අස්තයට ගියේත් වේ ද, කෘෂ්ණපක්ෂයෙහි පොහොය ත් වේ ද, ගහන වූ වන ළැහැබක් වේ ද, මහ කළුවලාකුළු නැඟුණේත් වේ ද, මෙ බඳු වූ චතුරඞ්ගසමන්‍වාගත අන්‍ධකාරයෙහි පවා හාත්පසින් යොදුනක් දකිති. එහි ඒ බිත්තියක් හෝ කවුළුවක් හෝ පවුරක් හෝ ගලක් හෝ ගසක් හෝ වැලක් හෝ රූපදර්ශනයට ආවරණයෙක් නැති. ඉදින් එක් තලැටක් ලකුණු කොට තලගැලෙකැ බහාලන්නේ නම් ඒ තල ඇටය මැ නඟාගන්නා සේ ක. මෙසෙයින් බුදුන්ගේ පියවි මසැස පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු මසැසිනුදු චක්‍ෂුර්මත් වෙති.
කිසෙයින් බුදුහු දිවැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටියා වූ ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්‍රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්‍වයන් දකිති. යභභ, මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනො දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිත්‍ථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ විවිධ කර්‍ම ඇත්තාහු ය. ඔහු කය බිඳීමෙන් මරණින් මත්තෙහි අය රහිත වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්‍වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු මනස්සුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටි වශයෙන් සමාදන් වූ කර්‍ම ඇත්තාහු ය. ඔහු කාබුන් මරණින් මත්තෙහි සුන්‍දරගති ඇති සැපයෙන් අග්‍ර වූ ලෝකයට පැමිණියාහ යි කම් වූ පරිද්දෙන් පැමිණි සත්ත්‍වයන් දන්නා සේක. මෙසෙයින් විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන්නා වූ ද උපදනා වූ ද හීන වූ ප්‍රණීත වූ අභිරූප වූ විරූප වූ සුගතියට ගියා වූ දුගතියට ගියා වූ සත්ත්‍වයන් දකිති. කම් වූ පරිදි (පරලොව) පැමිණි සත්ත්‍වයන් දන්නා සේක. තවද බුදුහු කැමැති වන්නාහු නම් එක් ලෝකධාතුවකුදු බලන සේක. ලෝකධාතු දෙකක් ද තුන් ලෝකධාතුවකුදු - සතර ලෝකධාතුවකුදු - පස් ලෝකධාතුවකුදු බලන සේක. දස ලෝකධාතුවකුදු - විසි ලෝකධාතුවකුදු - තිස් ලෝකධාතුවකුදු - සතලිස් ලෝකධාතුවකුදු - පනස් ලෝකධාතුවකුදු - සියක් ලොකධාතුහු ද බලන සේක. සහස්‍රීචූලනීලොකධාතුව ද බලන සේක. ද්විසහස්‍රී මධ්‍යම ලෝකධාතුව ද බලන සේක. ත්‍රිසහස්‍රී මහා සහස්‍රී ලෝකධාතුව ද බලන සේක. තවද යම් පමණ කැමැති වන සේක් නම් එ පමණ බලන සේක. බුදුන්ගේ දිවැස මෙසෙයින් පිරිසුදු වේ. මෙසෙයින් බුදුහු දිවැසිනුදු චක්‍ෂුර්මත් වෙති.
කිසෙයින් බුදුහු පැනැසිනුදු චක්ෂුර්මත්හ යත්: බුදුහු මහත්ප්‍රඥා ඇතියහ, පතළ ප්‍රඥා ඇතියහ, ශීඝ්‍ර ප්‍රඥා ඇතියහ, දිවෙන ප්‍රඥා ඇතියහ, තියුණු ප්‍රඥා ඇතියහ, විනිවිද යන ප්‍රඥා ඇතියහ, ප්‍රඥා ප්‍රභේදයෙහි නිපුණයහ, ප්‍රභේදයට පැමිණි ඥාන ඇතියහ, අධිගම කළ ප්‍රතිසංවිද් ඇතියහ, චතුර්වෛශාරද්‍යයට පැමිණියහ, දශබලධාරීහ, පුරුෂ ශ්‍රේෂ්ඨයහ, පුරුෂසිංහයහ, පුරුෂනාගයහ, පුරුෂාජානෙයහ, පුරුෂධෞරෙයහ, අනන්තඥාන ඇතියහ, අනන්ත තේජස් ඇතියහ, අනන්ත යශස් ඇතියහ, (ප්‍රඥාධනයෙන්) ආඪ්‍යයහ, මහත් වූ ප්‍රඥාධන ඇතියහ, ප්‍රඥාධනවත්හ, (නිවනට පමුණුවන හෙයින්) නේතෘහ, (වෛනෙය ජනයන් විනයන කරන හෙයින්) විනේතෘහ, (සැක සිඳුනා හෙයින්) අනුනේතෘහ, (අර්‍ත්‍ථය) පනවනුවහ, නිශ්චය කරනුවහ, (පිළිවෙත්) දක්වනුවහ, (ප්‍රතිපත්තිඵලයෙන්) පහදනුවහ, තවද ඒ බුදුහු නූපන්විරූ අරීමඟ සිය සතන්හි ඉපැදවූහ, (වෛනෙය සන්තානයෙහි) අසඤ්ජාත මාර්‍ගය උපදනුවහ, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුවහ, මාර්‍ගය දතුවහ, මාර්‍ගය දන්නාසුල්ලහ, මාර්‍ගයෙහි විචක්‍ෂණයහ, තවද මෙකල්හි මාර්‍ගය අනුව යන ශ්‍රාවකයෝ (ශීලාදි ගුණයෙන්) පසුපස යෙමින් වෙසෙත්.
ඒ බුදුහු දතයුතු ඥේයධර්‍මය දනිති, දැක්කයුතු ඥෙයපථය නුවණැසින් දකිති, (දර්‍ශන පරිණායක හෙයින්) ඇසක් මෙන් වූහ, ඥානමය වූහ ධර්‍මමය වූහ, ශ්‍රේෂ්ඨ වූහ, (දහම් දෙසන හෙයින්) වක්තෘ වූහ, ප්‍රවක්තෘ වූහ, (අර්‍ත්‍ථය දක්වනුයෙන්) නිර්නේතෘ වූහ, අමෘතය දෙනුවහ, ධර්‍ම ස්වාමීහ, තථාගත වූහ. ඒ බුදුන් විසින් (මඟනැණින්) නො දන්නා ලද්දෙක් (නුවණැසින්) නො දක්නා ලද්දෙක් අවිදිතයෙක් නො පසක් කරන ලද්දෙක් ප්‍රඥායෙන් ස්පර්‍ශ නො කරන ලද්දෙක් නැති. ඥේය නම් වූ දතයුතු යම් කිසි ධර්‍මයෙක් වේ ද, අතීතානාගත ප්‍රත්‍යුත්පන්නය ඇතුළු කොට සඞ්ඛතාසඞ්ඛත වූ සියලු ධර්‍මයෝ සර්‍වප්‍රකාරයෙන් භාග්‍යවත් බුදුන් ගේ ඥානමුඛයෙහි ආපාථයට පැමිණෙත්. ආත්මාර්‍ත්‍ථය වේවයි පරාර්‍ත්‍ථය වේවයි උභයාර්‍ත්‍ථය වේවයි දෘෂ්ටධාර්මිකාර්ත්ථය වේවයි සාම්පරායිකාර්‍ත්‍ථය වේවයි උත්තානාර්ත්ථය වේවයි ගම්භීරාර්ත්ථය වේවයි ගූඪාර්ත්ථය වේවයි ප්‍රතිච්ඡන්නාර්ත්ථය වේවයි නෙයාර්ත්ථය වේවයි නීතාර්ත්ථය වේවයි නිර්දොෂාර්ත්ථය වේවයි නික්ලෙශාර්ත්ථය වේවයි පරිශුද්ධාර්ත්ථය වේවයි පරමාර්ත්ථය වේවයි එ හැම බුද්ධඥානය තුළ පිරිවැටෙයි. භාග්‍යවත් බුදුන්ගේ සියලු කායකර්‍මය ඥානය අනුව පවතී, සියලු වාක්කර්‍මය ඥානය අනුව පවතී, සියලු මනඃකර්‍මය ඥානය අනුව පවතී.
අතීතයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය අප්‍රතිහත (අනාවරණ) යැ, අනාගතයෙහි ඥානය අනාවරණ යැ, ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය අනාවරණ යැ දතයුත්ත යම් පමණ ද ඥානය එ පමණ යැ, ඥානය යම් පමණ ද දතයුත්ත එ පමණ යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක්මැ ඥානයෙක් නො පවතී, ඥානය ඉක්මැ ඥෙයපථයෙක් නැති, ඒ ධර්‍මයෝ අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්සේ මනාකොට පැහැසූ සුමුගු පටල දෙකක්හු ගේ යට සුමුගුපටල උපරිමය නො ඉක්මවා ද උඩ සුමුගුපටල හෙට්ඨිමය නො ඉක්ම සිටී ද, ඔවුහු ඔවුනොවුන් ගේ කෙළවර සිටුනාසුලු වෙත් ද, එසෙයින් භාග්‍යවත් බුදුන්ගේ ඥේයයත් ඥානයත් අන්‍යොන්‍යපර්‍ය්‍යන්තයෙහි පවත්නාසුල්ලහ. යම්තාක් ඥේයය ද ඒ තාක් ඥාන යැ, යම්තාක් ඥානය ද ඒ තාක් ඥේය යැ, ඥානය ඥෙයපර්‍ය්‍යන්තික යැ ඥේයය ඥානපර්‍ය්‍යන්තික යැ, ඥේයය ඉක් මැ ඥානය නො පවතී ඥානය ඉක් මැ ඥෙයපථයෙක් නැති. ඒ දහම්හු අන්‍යෝන්‍ය පර්‍ය්‍යන්තයෙහි සිටුනාසුල්ලහ.
සියලු දහම් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී, සියලු දහම්හු භාග්‍යවත් බුදුන්ගේ මනොද්වාරාවර්ජනයට අයත්හු වෙති, රුචිය ප්‍රතිබද්ධයහ, මනසිකාර ප්‍රතිබද්ධයහ, චිත්තෝත්පාද ප්‍රතිබද්ධයහ. සියලු සතුන් විෂයෙහි භාග්‍යවත් බුදුන්ගේ ඥානය පවතී. බුදුහු සියලු සතුන්ගේ ආශය දනිති, අනුශය දනිති චරිතය දනිති, අධිමුක්තිය දනිති. අල්ප වූ රාගාදි රජස් ඇති මහත් වූ රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති සුන්‍දර වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති ගර්හිත වූ (ශ්‍රද්ධාදි) ආකාර ඇති සුවිඥාප්‍ය වූ දුර්විඥාප්‍ය වූ භව්‍යාභව්‍ය සත්ත්‍වයන් දනිති. මරුන් බඹුන් සහිත වූ දෙවියන් සහිත ලෝ වැසි තෙම දෙවිමිනිසුන් සහිත වූ මහණ බමුණන් සහිත ප්‍රජාව බුදුනුවණ තුළ පවතී. තිමි තිමිඞ්ගල පටන් කොට යම් කිසි මස්-කැසුබු කෙනෙක් වෙත් නම්, ඔහු යම්සේ ඇතුළු මහමුහුදෙහි හැසිරෙත් ද, එසෙයින් මරුන් බඹුන් සහිත වූ සදේවක ලෝක තෙමේ ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත සදෙවමනුෂ්‍යප්‍රජාව ඇතුළු බුදුනුවණෙහි පවතී. යම්සේ විනතාපුත් ගුරුළුරජහු පටන් කොට යම් කිසි පක්‍ෂි කෙනෙක් වෙත් නම්, ඔහු අහසැ පෙදෙසකැ හැසිරෙත් ද, එසෙයින් මැ යම් කෙනෙක් නුවණින් සැරියුත් තෙරුන් සම වූවාහු නම්, ඔවුහු ද බුද්ධ ඥානයාගේ පෙදෙසක පවත්නාහු යැ. බුද්ධඥානය දෙවිමිනිසුන්ගේ ප්‍රඥාව පැතිරැ මැඩගෙන සිටී. නිපුණ වූ කළ පරප්‍රවාද ඇති වල්විදුනා දුනුවායන් බඳු ප්‍රසිද්ධ වූ යම් ක්‍ෂත්‍රිය- බ්‍රාහ්මණ- ගෘහපති- ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ප්‍රඥායෙන් දෘෂ්ටිගතයන් බිඳිමින් මෙන් හැසිරෙත් නම් ඔහු ගූඪ වූ ද ප්‍රතිච්ඡන්න වූ ද බොහෝ ප්‍රශ්න රචනා කොට බුදුන් වෙත පැමිණ විචාරත් ද භාග්‍යවතුන් විසින් ඒ ප්‍රශ්නයෝ සකාරණ වැ කියන ලද්දාහු විසඳන ලද්දාහු මැ වෙත්. ඔවුහු භාග්‍යවතුන්ගේ ශ්‍රාවක බවට (උපාසක බවට හෝ) පැමිණියාහු මැ වෙත්. යළි බුදුහු මැ එහි ප්‍රඥායෙන් අතිශයින් ප්‍රකාශ වෙත් නුයි මෙසේ බුදුහු පැනැසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහ.
කිසෙයින් බුදුහු බුදු ඇසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහ යත්: බුදුහු බුදු ඇසින් ලොව බලන සේක් (නුවණැස්හි) අල්ප වූ (රාගාදි) කෙලෙස් රජස් ඇති මහත් වූ කෙලෙස්රජස් ඇති තියුණු වූ (ශ්‍රද්ධාදි) ඉඳුරන් ඇති මෘදු වූ ඉඳුරන් ඇති (ශ්‍රද්ධාදි) සුන්දරාකාර ඇති (අශ්‍රද්ධාදි) ගර්හිත වූ ආකාර ඇති සුවිඥාප්‍යවූ දුර්විඥාප්‍ය වූ සත්ත්‍වයන් ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භය වශයෙන් දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලොව හා වද්‍යයන් භය වශයෙන් දක්නාසුලු වැ නොවසනුවන් දුටුසේක. යම්සේ උපුල්විලෙකැ හෝ පියුම්විලෙකැ හෝ නෙළුඹුවිලෙකැ හෝ ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් නො නැඟුණාහු ඇතුළත ගැලී පොහොනි වූවාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දිය හා සම වැ සිටියාහු ද, ඇතැම් උපුල් පියුම් හෝ නෙළුම් දියෙහි හටගත්තාහු දියෙහි වැඩුණාහු දියෙන් උඩට නැඟී දිය හා නො වැකුණාහු සිටිත් ද එසෙයින් මැ බුදුහු බුදුඇසින් ලොව බලන සේක් අල්පරජස්ක වූ ද මහාරජස්ක වූ ද තියුණු ඉඳුරන් ඇත්තා වූ ද මෘදු ඉඳුරන් ඇත්තා වූ ද සුන්දරාකාර ඇති වූ ද ගර්හිතාකාර ඇති වූ ද සුවිඥාප්‍ය වූ ද දුර්විඥාප්‍ය වූ ද සත්ත්‍වයන්, ඇතැම් කෙනකුන් පරලොකයෙහිත් වද්‍යයෙහිත් භය දක්නාසුලු වැ වසනුවන්, ඇතැම් කෙනකුන් පරලෝක වද්‍යයෙහි භය දක්නාසුලු වැ නොවසනුවන් දුටු සේක.
බුදුහු ‘මේ පුද්ගල තෙමේ රාගචරිතයෙක. මේ ද්වෙෂචරිතයෙක, මේ මොහචරිතයෙක, මේ විතර්කචරිතයෙක, මේ ශ්‍රද්ධාචරිතයෙක, මේ ඥානචරිතයෙකැ’යි දන්නා සේක. බුදුහු රාග බහුල පුද්ගලහට අශුභ කථාව වදාරති. බුදුහු ද්වේෂ බහුල පුද්ගලහට මෛත්‍රීභාවනාව පවසති. බුදුහු මෝහ බහුල පුද්ගලයා උදෙසීමෙහි ද පරිපෘච්ඡා (අටුවා) යෙහි ද කලෙකැ (සුදුසු කල්හි) ධර්‍මශ්‍රවණයෙහි ද කලෙකැ ධර්මසාකච්ඡායෙන් ගුරුන් ඇසුරු කිරීමෙහි ද (ඇදුරන් වෙත) සිටුවන සේක. බුදුහු විතර්‍ක බහුල පුද්ගලහට ආනාපානසතිය දෙසන සේක. ශ්‍රද්ධා බහුල පුද්ගලහට බුදුහු ප්‍රසාද උපදවන සූත්‍රයක් ද බුදුන්ගේ බුද්ධත්ව ප්‍රතිවේධය ද ධර්‍මය ස්වාක්ඛ්‍යාත බව ද සඞ්ඝයා සුප්‍රතිපන්න බව ද තමා සතු ශීලයන් ද පවසන සේක. ඥානචරිත පුද්ගලහට බුදුහු (උදයව්‍යයාදි) විදර්‍ශනා නිමිත්ත වූ අනිත්‍යාකාරය දුඃඛාකාරය අනාත්මාකාරය පවසන සේක.
1) යම්සේ සෙල්මුවා පවු මුදුන්හි සිටි (ඇස් ඇති පුරුෂ) යෙක් හාත්පස ජනතාව බලන්නේ ද, එසෙයින් සුන්‍දර ප්‍රඥා ඇතියාණෙනි, සමන්තචක්ෂුස් වූ භාග්‍යවත්නි, මුඹ වහන්සේ ද දහම්මුවා පහයට නැඟ (තුමූ) පහ වූ ශෝක ඇත්තාහු ශොකාවතීර්ණ වූ ජාතිජරායෙන් මඩනා ලද ජනතාව බලනු මැනැවැ’යි.
මෙසෙයින් බුදුහු බුදු ඇසිනුදු චක්‍ෂුර්මත් වූහ.
කිසෙයින් බුදුහු සමතැසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහ යත්: ‘සමන්තචක්ඛු’ සර්‍වඥතාඥානය කියනු ලැබෙයි. බුදුහු සර්‍වඥතාඥානයෙන් උපෙතයහ, සමුපෙතයහ, උපගතයහ, සමුපගතයහ, නො වෙන් වූහ, පරිපූර්‍ණයහ සමන්‍විත වූහු.
2. ඒ තථාගතයන් විසින් මේ ත්‍රෛධාතුක ලෝකයෙහි (මෙකල හෝ) පැනැසින් නුදුටු කිසිවක් නැත, යළි (අතීත වූ) නො දත් කිසිවක් නැත, (අනාගත වූ) නො දැනෙන කිසි ධර්මජාතයෙකු දු නැති. දතයුතු වූ යම් ධර්මජාතයෙක් වේ නම් ඒ සියල්ල අවබෝධ කළහ. එහෙයින් තථාගතයෝ ‘සමන්තචක්ඛු’ වූහ.
මෙසෙයින් බුදුහු සමතැසිනුදු ‘චක්‍ෂුර්මත්’ වූහු නුයි ‘න මෙ ඛ්‍යාකාසි චක්ඛුමා’ යනු වේ.
යාව තතියඤ්ච දෙවීසි බ්‍යාකරොතී’ ති මෙ සුතං යනු: බුදුහු තුන්වන වට දක්වා කරුණු සහිත වැ පැන පුළුවුස්නා ලද්දාහු ප්‍රකාශ කෙරෙති නො බැහැර කෙරෙතී’ මෙසේ මා විසින් උගන්නා ලද, මෙසේ මා විසින් විමසන ලද, මෙසේ මා විසින් සලකන ලද. දෙවීසි යනු: බුදුහු ‘දෙව’ ද ‘ඍෂි’ දැ යි ‘දේවර්ෂි’ නම. යම්සේ රජපැවිද්දෝ ‘රාජර්ෂීහ’ යි කියනු ලැබෙත් ද බමුණු පැවිද්දෝ ‘බ්‍රාහ්මණර්ෂීහ’ යි කියනු ලැබෙත් ද, එසෙයින් මැ බුදුහු ‘දේව’ ද ‘ඍෂි’ දැ යි දේවර්ෂීහ. නොහොත් බුදුහු පැවිදි වූවාහු නුයි ද ඍෂීහ, මහත් වූ ශීලස්කන්‍ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ඍෂීහ, මහත් වූ සමාධිස්කන්‍ධය- මහත් වූ ප්‍රඥාස්කන්‍ධය- මහත් වූ විමුක්තිස්කන්‍ධය- මහත් වූ විමුක්තිඥාන දර්ශනස්කන්ධය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි ද ඍෂීහ, මහත් වූ තමස්කායයාගේ විදාරණය එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහත් වූ විපර්‍ය්‍යාසයාගේ බිඳීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහත් වූ තෘෂ්ණා ශල්‍යය ඉදිරීම ... මහත් වූ දෘෂ්ටි සඞ්ඝාටය ලිහීම, මහත් වූ මානධ්වජය හෙළීම, මහත් වූ අභිසංස්කාරය සන්හිඳුවීම, මහත් වූ ඕඝය තරණය කිරීම,
මහත් වූ (පස්කඳ) බර බහා තැබීම, මහත් වූ සසරවට සිඳීම, මහත් වූ සන්තාපය නිවීම, මහත් වූ (ක්ලේශ) පරිදාහය සන්හිඳුවීම, මහත් වූ ධර්මධ්වජය එසැවීම එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නු යි ද ඍෂීහ. මහත් වූ, සතිපට්ඨානයන් මහත් වූ සම්‍යක් ප්‍රධානයන් මහත් වූ ඍද්ධිපාදයන් මහත් වූ ඉන්‍ද්‍රියයන් මහත් වූ බලයන් මහත් වූ බෝධ්‍යඞ්ගයන් මහත් වූ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය මහත් වූ පරමාර්ත්ථ වූ අමාමහනිවන එෂණ ගවේෂණ පර්‍ය්‍යෙෂණ කළාහු නුයි ද ඍෂීහ, මහේශාඛ්‍ය වූ සත්ත්‍වයන් විසින් හෝ ‘කොහි යැ බුදුහු’, කොහි යැ භාග්‍යවත්හු, කොහි යැ දෙවියනට දෙවි වූවෝ, කොහි යැ නරශ්‍රෙෂ්ඨයෝ’ යි එෂිත ගවෙෂිත පර්‍ය්‍යෙෂිත වූහු නුයි ද ඍෂී වෙත් නුයි “යාව තතියඤ්ච දෙවීසි ඛ්‍යාකරොතී’ති මෙ සුතං” යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ද්වාහං සක්කං -පෙ- බ්‍යාකරොතී’ති මෙ සුතං” යි.
15. 2.
මේ මිනිස්ලෝවැසි තෙමේ ද අන් ලෝවැසි තෙමේ ද දෙවියන් සහිත වූ බඹලෝවැසි තෙමේ ද යශස්වී වූ ගෞතම ගෝත්‍ර ඇති මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය නො දනී.
අයං ලෝකෝ පරො ලෝකෝ- ‘අයං ලෝකෝ’ යනු: මනුෂ්‍යලෝක යැ ‘පරො ලෝකෝ’ යනු: මිනිස්ලොව තබා සියල්ල පරලොව් නුයි ‘අයං ලෝකෝ පරො ලෝකෝ’ යනු වේ.
බ්‍රහ්මලොකො සදෙවකො යනු: මරුන් සහිත බඹුන් සහිත සදේවකලෝක යැ දෙව්මිනිසුන් සහිත මහණ බමුණන් සහිත ප්‍රජාව නුයි ‘බ්‍රහ්මලොකො සදෙවකො’ යනු වේ.
දිට්ඨිං තෙ නාභිජානාති යනු: මුඹ වහන්සේ ගේ දෘෂ්ටිය ක්‍ෂාන්තිය රුචිය ලබ්ධිය අධ්‍යාශය අභිප්‍රාය ලෝවැසි තෙම නො දනියි: ‘මේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක, මෙ බඳු ක්‍ෂාන්ති ඇත්තෙක, මෙ බඳු රුචි ඇත්තෙක, මෙ බඳු ලබ්ධි ඇත්තෙක, මෙ බඳු අධ්‍යාශය ඇත්තෙක, මෙ බඳු අභිප්‍රාය ඇත්තෙකැ’ යි නො දනියි නො දකියි නො දක්නේ යැ නො පැමිණෙයි නො විඳියි නො ලබා නුයි ‘දිට්ඨිං තෙ නාභිජානාති’ යනු වේ.
ගොතමස්ස යසස්සිනො යනු: බුදුහු යසසට පැමිණියාහු නුයි යශස්වී යැ නොහොත් බුදුහු සත්කෘතයහ ගරුකෘතයහ මානිතයහ පූජිතයහ (අග්‍රදානාදීන්) අපචායන කරන ලදහ සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙසත් පිරිකර ලබනසුල්ලභ’යි ‘ගොතමස්ස යසස්සිනො’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“අයං ලෝකෝ පරො ලෝකෝ -පෙ- ගොතමස්ස යසස්සිනො” යි.
15. 3.
මෙසේ පරමදර්ශී වූ සර්‍වඥයන් කරා පැන පුළුවුස්නෙන් අර්ත්‍ථී වැ ආයෙමි. ලොවැ කිසෙයින් බලන්නහු මෘත්‍යුරාජ තෙමේ නො දකී ද?
එවං අභික්කන්තදස්සාවිං යනු: මෙසෙයින් විශිෂ්ට දර්‍ශන ඇතියහු අග්‍රදර්ශන ඇතියහු ශ්‍රේෂ්ඨ දර්‍ශන ඇතියහු අතිශයින් ශ්‍රේෂ්ඨ දර්‍ශන ඇතියහු උත්තමදර්ශන ඇතියහු පරමදර්ශන ඇතියහු නුයි ‘එවං අභික්කන්තදස්සාවිං’ යනු වේ.
අත්‍ථි පඤ්හෙන ආගමං යනු: පැන පුළුවුස්නෙන අර්‍ත්‍ථ ඇතියමෝ ආම්හ ... තෙල බර උසුලනු මැනැවැ’යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
කථං ලෝකං අවෙක්‍ඛන්තං යනු: කිසෙයින් ලොව බලන්නහු ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහු තුලනය කරන්නහු තීරණය කරන්නහු විභාවන කරන්නහු ප්‍රකට කරන්නහු නුයි ‘කථං ලෝකං අවෙක්‍ඛන්තං’ යනු වේ.
මච්චුරාජා න පස්සති යනු: මෘත්‍යුරාජයා නො දකී ද නො දක්නේ ද නො පැමිණේ ද නො ලබා ද ප්‍රතිලාභ නො කෙරේ දැ’ යි ‘මච්චුරාජා න පස්සති’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“එවං අභික්කන්තදස්සාවිං -පෙ- මච්චුරාජා න පස්සති” යි.
15. 4.
මෝඝරාජය, හැම කල්හි ස්මෘතිමත් වැ සත්කායදෘෂ්ටිය දුරැ කොට ලොව ශුන්‍ය හෙයින් බලව, මෙසෙයින් මෘත්‍යුහු ඉක්මවන්නෙහි, මෙසෙයින් ලොව බලන්නහු මෘත්‍යුරාජ තෙම නො දක්නේ යයි.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු - ‘ලෝකෝ’ යනු: නිරය ලෝක යැ තිරශ්චීනලෝක යැ ප්‍රෙතවිෂයලෝක යැ මනුෂ්‍යලෝක යැ දේවලෝක යැ ස්කන්ධලෝක යැ ධාතුලෝක යැ ආයතනලෝක යැ මෙ ලොව යැ පර ලොව යැ දෙවියන් සහිත බඹලොව යි. “එක්තරා මහණෙක් භාග්‍යවතුන්ට මෙසේ කී යැ: ‘වහන්ස, ‘ලෝක යැ ලෝක යැ’යි. කියනු ලැබෙයි, වහන්ස, කිපමණෙකින් ලෝක ය’යි කියනු ලැබේ දැ යි. මහණ, (යම්හෙයෙකින්) බිඳේ ද එහෙයින් ‘ලෝක’ යි කියනු ලැබෙයි. කුමක් බිඳෙයි යත්: මහණ, චක්‍ෂුස බිඳෙයි රූපයෝ බිඳෙති චක්‍ෂුර්විඥානය බිඳෙයි, චක්ඛුසම්ඵස්සය බිඳෙයි චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් සුව වේවයි දුක්වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳෙයි, ශ්‍රෝත්‍රය බිඳෙයි, ශබ්දයෝ බිඳෙති- ඝ්‍රාණය බිඳෙයි, ගන්‍ධයෝ බිඳෙති- ජිහ්වාව බිඳෙයි, රසයෝ බිඳෙති- කය බිඳෙයි, ස්පර්‍ශයෝ බිඳෙති- මනස බිඳෙයි, ධර්‍මයෝ බිඳෙති, මනෝවිඥානය බිඳෙයි, මනෝසම්ඵස්සය බිඳෙයි, මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් වේදයිතයෙක් උපදී නම් එ ද බිඳේ. මහණ, යම්හෙයෙකින් බිඳේ ද, එහෙයින් ‘ලෝක’යි කියනු ලැබේ” යයි.
සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනු: දෙකරැණෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් හෝ තුච්ඡ සංස්කාරයන් පුනපුනා බැලීම් වශයෙන් හෝ යැ කිසෙයින් නො වසඟ වැ පැවැති සංස්කාරයන් බැලීම් වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි යත්: රූපයෙහි ඉසුරු බැව් නො ලැබෙයි, වේදනායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංඥායෙහි ඉසුරු බැව් නො ලැබෙයි, සංස්කාරයන්හි ඉසුරු බැව් නො ලැබෙයි, විඥානයෙහි ඉසුරු බැව් නො ලැබේ. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි රූපය අනාත්ම යැ ඉදින් මහණෙනි, යම් හෙයකින් මේ රූපය ආත්ම වී නම් මේ රූපය ආබාධ පිණිස නො පවත්නේ යැ. රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා මාගේ රූපය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් රූපය අනාත්ම වෙයි ද එහෙයින් රූපය ආබාධ පිණිස පවත්නේ යැ රූපයෙහි ‘මාගේ රූපය මෙසේ වේවා, මාගේ රූපය නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. වේදනාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ වේදනාව ආත්ම වී නම් මේ වේදනාව ආබාධයට නො වැටෙන්නේ යැ
වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් වේදනාව අනාත්ම වෙයි ද, එහෙයින් වේදනාව ආබාධයට වැටෙන්නේ යැ, වේදනායෙහි ‘මාගේ වේදනාව මෙසේ වේවා, මාගේ වේදනාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංඥාව අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ සංඥාව ආත්ම වී නම් මේ සංඥාව ආබාධයට නො වැටෙන්නේ යැ සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේවා’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් සංඥාව අනාත්ම වෙයි ද එහෙයින් සංඥාව ආබාධයට වැටෙයි. සංඥායෙහි ‘මාගේ සංඥාව මෙසේ වේවා, මාගේ සංඥාව නහමක් මෙසේ වේව’යි නො ද ලැබෙයි. සංස්කාරයෝ අනාත්මයහ, මහණෙනි, ඉදින් මේ සංස්කාරයෝ ආත්ම වූ නම් මේ සංස්කාරයෝ ආබාධයට නො වැටෙන්නාහු යැ, සංස්කාරයන්හි ‘මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයෙකින් සංස්කාරයෝ අනාත්ම වෙත් ද, එහෙයින් සංස්කාරයෝ ආබාධයට වැටෙති. සංස්කාරයන්හි මාගේ සංස්කාරයෝ මෙසේ වෙත්වා, මාගේ සංස්කාරයෝ නහමක් මෙසේ වෙත්ව’යි නො ද ලැබෙයි. විඥානය අනාත්ම යැ මහණෙනි, ඉදින් මේ විඥානය ආත්ම වී නම් මේ විඥානය ආබාධයට නො වැටෙන්නේ ය, විඥානයෙහි ‘මාගේ විඥානය මෙසේ වේවා, මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි ලැබෙන්නේ ද වෙයි. මහණෙනි, වැළිත් යම් හෙයකින් විඥානය අනාත්ම වෙයි ද, එහෙයින් විඥානය ආබාධයට වැටෙයි. විඥානයෙහි (මාගේ විඥානය මෙසේ වේවා මාගේ විඥානය නහමක් මෙසේ වේව’යි නො ද ලැබේ.
කිසෙයින් ‘තුච්ඡසංඛාර සමනුපස්සනා’ වශයෙන් ශුන්‍ය විසින්, ලොව බලා ද යත්: රූපයෙහි (නිත්‍ය සාරාදි) සාරයෙක් නො ලැබෙයි, වේදනායෙහි සාරයෙක් නො ලැබෙයි, සංඥායෙහි සාරයෙක් නො ලැබෙයි, සංස්කාරයන්හි සාරයෙක් නො ලැබෙයි, විඥානයෙහි සාරයෙක් නො ලැබේ. රූපය නිත්‍යසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි සුඛසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි ආත්මසාර සංඛ්‍යාත සාරයෙන් වේවයි නිත්‍යහෙයින් වේවයි ධ්‍රැවහෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව-අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ, නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ-අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යැ. විඥානය නිත්‍ය සාර සාරයෙන් වේවයි සුඛසාර සාරයෙන් වේවයි ආත්මසාර සාරයෙන් වේවයි නිත්‍යයෙන් වේවයි ධ්‍රැවයෙන් වේවයි ශාශ්වතයෙන් වේවයි අවිපරිණාම ස්වභාවයෙන් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි.
යම්සේ නම් බටගස හර රහිත වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ එරඬු ගස අසාර වූයේ නිසරු වූයේ හරයෙන් අපගත වූයේ ද, යම්සේ දිඹුල්ගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ වරණගස අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ එරබදුගස අසාර ද නිසරු ද හරයෙන් අපගත ද, යම්සේ පෙණ පිඬ අසාර ද නිසරු ද හරයෙන් පහවූයේ ද, යම්සේ දිය බුබුළ අසාර ද නිස්සාර ද හරයෙන් අපගත ද, යම්සේ මිරිඟුව අසාර ද නිසරු ද සාරාපගත ද, යම් සේ කෙසෙල් කඳ අසාර ද නිස්සාර ද සාරාපගත ද, යම්සේ මායාව අසාර ද නිස්සාර ද සාරාපගත ද, එසෙයින් මැ රූපය නිත්‍යසාරසාරයෙන් වේවයි සුඛසාරසාරයෙන් වේවයි ආත්මසාරසාරයෙන් වේවයි නිත්‍ය හෙයින් වේවයි ධ්‍රැව හෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. වේදනාව- අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. සංඥාව- අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. සංස්කාරයෝ- අසාරයහ නිස්සාරයහ සාරාපගතයෝ යි. විඥානය නිත්‍යසාරසාරයෙන් වේවයි සුඛසාරසාරයෙන් වේවයි ආත්මසාරයෙන් වේවයි නිත්‍ය හෙයින් වේවයි ධ්‍රැව හෙයින් වේවයි ශාශ්වත හෙයින් වේවයි අවිපරිණාම ස්වභාව හෙයින් වේවයි අසාර යැ නිස්සාර යැ සාරාපගත යි. මෙසෙයින් තුච්ඡ සංඛාරසමනුපස්සනා වශයෙන් ශුන්‍ය විසින් ලොව බලයි. මේ දෙකරුණින් ශුන්‍ය විසින් ලොව බලා.
තවද ස අයුරෙකින් ශුන්‍ය විසින් ලොව බලයි: චක්‍ෂුස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යැ. ශ්‍රෝත්‍රය ශුන්‍ය යැ. ඝ්‍රාණය ශුන්‍ය යැ- ජ්හ්වාව ශුන්‍ය යැ- කය ශුන්‍ය යැ- මනස ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යැ. රූපයෝ ශුන්‍යයහ- ශබ්දයෝ ශුන්‍යයහ- ගන්‍ධයෝ ශුන්‍යයහ- රසයෝ ශුන්‍යයහ- ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයහ- ධර්‍මයෝ ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍යයහ. චක්‍ෂුර්විඥානය ශුන්‍ය යැ ... මනෝවිඥානය ශුන්‍ය යැ- චක්ඛුසම්ඵස්සය ශුන්‍ය යැ ... මනෝසම්ඵස්සය ශුන්‍ය යැ- චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ශුන්‍ය යැ ... මනෝසම්ඵස්සයෙන් උපන් වේදනාව ශුන්‍ය යැ- රූපසංඥාව ශුන්‍ය යැ ... ධර්‍මසංඥාව ශුන්‍ය යැ- රූපසඤ්චේතනාව ශුන්‍ය යැ... ධර්මසඤ්චෙතනාව ශුන්‍ය යැ- රූපතෘෂ්ණාව ශුන්‍ය යැ ... රූපවිතර්‍කය ශුන්‍ය යැ- රූපවිචාරය ශුන්‍ය යැ... ධර්‍මවිචාරය ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ නිත්‍ය හෙයින් හෝ ධ්‍රැව හෙයින් හෝ ශාශ්වත හෙයින් හෝ අවිපරිණාම ස්වභාව හෙයින් හෝ ශුන්‍ය යි. මෙසෙයින් ස අයුරෙකින් ශුන්‍ය විසින් ලොව බලා.
තවද දස අයුරෙකින් ලොව ශුන්‍ය හෙයින් බලයි: රූපය සිස් හෙයින් තුච්ඡ හෙයින් ශුන්‍ය හෙයින් අනාත්ම හෙයින් අසාරක හෙයින් වධක හෙයින් විභව හෙයින් අඝ (දුක්) මූල හෙයින් සාස්‍රව හෙයින් සංඛත හෙයින් බලයි. වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ච්‍යුතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරවර්‍තය සිස් හෙයින් තුච්ඡ හෙයින් ශුන්‍ය හෙයින් අනාත්ම හෙයින් අසාරක හෙයින් වධක හෙයින් විභව හෙයින් අඝමූල හෙයින් සාස්‍රව හෙයින් සංඛත හෙයින් බලයි. මෙසේ දස අයුරෙකින් ලෝකය ශුන්‍ය හෙයින් බලා.
තවද දොළොස් අයුරෙකින් ශුන්‍ය හෙයින් ලෝකය බලයි: රූපය සත්ත්‍ව නො වෙයි, ජීව නො වෙයි, නර නො වෙයි මාණව නො වෙයි ස්ත්‍රී නො වෙයි, පුරුෂ නො වෙයි, ආත්ම නො වෙයි, ආත්මනිය නො වෙයි මම් නො වෙමි, මා ගේ නො වෙයි, කිසිවෙක් නො වෙයි, කිසිවකුගේ නො වේ. මෙසේ දොළොස් අයුරින් ශුන්‍ය හෙයින් ලොව බලයි. තෙල වදාරනලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, මෙ කය තොපගේ නො වෙයි. අනුන්ගේ නො මැ වෙයි, මහණෙනි, මේ රූපය පුරාණ කර්‍මයෙන් උපන, ප්‍රත්‍යයෙන් සකස් කරන ලද, චෙතනාවස්තුක යැ වේදනාවට වස්තු යැ යි දතයුතු යැ. මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ප්‍රතීත්‍යසමුත්පාදය මැ මොනොවට නුවණින් මෙනෙහි කෙරෙයි: ‘මෙසේ මෙය ඇති කල්හි මේ වෙයි මොහු ගේ උපැත්මෙන් මේ උපදී මෙය නැති කල්හි මේ නො වෙයි මොහුගේ නිරෝධයෙන් මේ නිරුද්ධ වෙයි’ “මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාර ප්‍රත්‍යයෙන් විඥානය වෙයි, ... දුඃඛස්කන්ධයා ගේ සමුදය වේ. අවිද්‍යාවගේ මැ අශේෂ විරාග සංඛ්‍යාත නිරෝධයෙන් සංස්කාරනිරෝධය වෙයි සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වෙයි ... මෙසෙයින් මේ අමිශ්‍ර දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යයි මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා. මේ වදාරන ලද මැ යි භාග්‍යවතුන් විසින්: “මහණෙනි, යමක් තොපගේ නො වේ ද එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, කුමක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූපය තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගුකලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, වේදනාව තොපගේ නො වෙයි එය දුරු කරවු,
එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ, මහණෙනි, සංඥාව තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. මහණෙනි, සංස්කාරයෝ තොපගේ නො වෙති ඔවුන් දුරු කරවු, ඔහු තොප විසින් දුරු කරන ලද්දාහු දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නාහ. මහණෙනි, විඥානය තොපගේ නො වෙයි එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යි. මහණෙනි, එය කිමැ යි හඟි වුද? මේ දෙව්රම්හි යම් තෘණකාෂ්ට ශාඛාපලාසජාතයෙක් වේ ද ජන තෙමේ එය ගෙන යන්නේ නම් හෝ දවන්නේ නම් හෝ රිසි වූවක් හෝ කරන්නේ නම් කිම තොපට ‘ජන තෙමේ අප ගෙන යයි හෝ දවයි හෝ රිස්සක් හෝ කෙරේ’ යයි මෙ බඳු සිතෙක් වන්නේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයෙකින් තෙල අපගේ ආත්මය හෝ ආත්මනිය නො වේ ද, එහෙයිනි. එ පරිද්දෙන් මැ මහණෙනි, යමක් තොපගේ නො වේ ද එය දුරු කරවු, එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. මහණෙනි, කුමක් තොපගේ නො වේ ද යත්: මහණෙනි, රූපය තොපගේ නො වෙයි එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ. වේදනාව- සංඥාව- සංස්කාරයෝ- මහණෙනි, විඥානය තොපගේ නො වෙයි එය දුරු කරවු. එය තොප විසින් දුරු කරන ලද්දේ දිගු කලක් හිත පිණිස සුව පිණිස වන්නේ යැ”යි. මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, ‘ලෝකය ශුන්‍ය යැ ලෝකය ශුන්‍ය යැ’යි කියනු ලැබෙයි වහන්ස, කිපමණෙකින් ‘ලෝකය ශුන්‍ය යැයි කියනු ලැබේ ද’යි. යම් හෙයෙකින් ආනන්‍ද, ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය වේ ද එහෙයින් ලෝකය ශුන්‍ය යැ යි කියනු ලැබෙයි. ආනන්‍ද, කුමක් ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය වේ ද යත්: ආනන්‍ද, චක්‍ෂුස ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය යැ, රූපයෝ ශුන්‍යයෝ යැ- චක්‍ෂුර් විඥානය ශුන්‍ය යැ- චක්‍ෂුස්සංස්පර්‍ශය ශුන්‍ය යැ- චක්ෂුස්සංස්පර්ශයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද ආත්ම හෙයින් හෝ ආත්මනිය හෙයින් හෝ ශුන්‍ය යැ, ශ්‍රෝත්‍රය ශුන්‍ය යැ- ශබ්දයෝ ශුන්‍යයෝ යැ- ඝ්‍රාණය ශුන්‍ය යැ- ගන්‍ධයෝ ශුන්‍යයෝ යැ- ජිහ්වාව ශුන්‍ය යැ- රසයෝ ශුන්‍යයෝ යැ- කය ශුන්‍ය යැ- ස්ප්‍රෂ්ටව්‍යයෝ ශුන්‍යයෝ යැ-
මනස ශුන්‍ය යැ- ධර්‍මයෝ ශුන්‍යයෝ යැ- මනෝවිඥානය ශුන්‍ය යැ- මනෝසම්ඵස්සය ශුන්‍ය යැ- මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදනේ නම් එ ද, ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය යැ. යම් හෙයෙකින් ආනන්‍ද, ආත්ම හෙයින් ද ආත්මනිය හෙයින් ද ශුන්‍ය වේ ද එහෙයින් ලෝකය ශුන්‍ය යැ යි කියනු ලැබේ” යයි. මෙසේත් ශුන්‍ය හෙයින් ලෝකය බලා.
මෙ ද වදාරන ලද:
“ගාමණිය, හුදු ධර්‍මසමුත්පාදය හුදු (ක්ලේශාදි) සංස්කාර ප්‍රබන්‍ධය තත් වූ පරිද්දෙන් (විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන්) දක්නාහට බියෙක් නො වෙයි.
යම් කලෙක (යමෙක්) සංස්කාර ලෝකය තෘණකාෂ්ට සම කොට ප්‍රඥායෙන් දකී ද (එකල්හි) හෙතෙම අප්‍රතිසන්‍ධි සංඛ්‍යාත නිර්‍වාණය හැර අන් භවයක් ආත්මභාවයක් හෝ කිසිවක් නොපතා” යි.