Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 1001-1100 න් 1940

තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - ‘වීර’ යනු: බුදුහු වීරයහ වීර්‍ය්‍යවත් නුයි වීරයහ ප්‍රභූවූවාහු නුයි වීරයහ විවිධගුණ වහනය කෙරෙත් නුයි වීරයහ සමර්ත්ථ සිත් ඇත්තාහු නුයි වීරයහ ... විගතලොමහර්ෂ ඇත්තාහු නුයි වීරයහ.
1. මෙලොව්හි හැම පාපයන්ගෙන් වෙන් වූයේ (එහෙයින් මැ) නිරෑදුක් ඉක්මසිටී, වීර්‍ය්‍යයට නිවාස වූ, ඒ ක්‍ෂීණාස්‍රව තෙම වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. එබඳු වූයේ ප්‍රධන්වීර්‍ය්‍ය ඇත්තේ යැ වීර යැ (නිර්විකාර බැවින්) තාදී යැ යි කියනු ලැබේ.
තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා - මුඹ වහන්සේ ගේ වචනය වාඞ්මාර්‍ගය දේශනාව අනුශාසනාව, අභිකඞ්ඛමානා - කැමැති වන්නාහු ඉස්නාහු ආස්වාද කරන්නාහු ප්‍රාර්‍ත්‍ථනා කරන්නාහු රුස්නාහු අභිජල්පනය කරන්නාහු නුයි ‘තව වීර වාක්‍යං අභිකඞ්ඛමානා’ යනු වේ.
තෙසං තුවං සාධු වියාකරොහි - ‘තෙසං’ යනු: ඒ ක්‍ෂත්‍රියයන්ගේ බ්‍රාහ්මණයන්ගේ වෛශ්‍යයන් ගේ ශුද්‍රයන් ගේ ගිහියන් ගේ පැවිද්දන්ගේ දෙවියන්ගේ මිනිසුන්ගේ, ‘තුවං’ යි භාග්‍යවතුන් (සඳහා) බෙණෙයි. සාධු වියාකරොහි - මැනැවින් වදාළ මැනැව දෙසනු මැනැව පනවනු මැනැව පිහිටුවනු මැනැව විවරණ කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැවැ යි ‘තෙසං තුවං සාධු වියාකරොහි’ යනු වේ.
තථා හි තෙ විදිතො එස ධම්මෝ - යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම එපරිද්දෙන් දන්නාලද ද තුලනය කරනලද ද තීරණය කරන ලද ද ප්‍රකට කරන ලද ද විභාවන කරන ලද ද එහෙයිනැ යි.
එයින් කී යැ එ බමුණු:
“නානා ජනා ජනපදෙහි -පෙ- තථා හි තෙ විදිතො එස ධම්මෝ” යි.
(බුදුහු මෙසේ වදාළහ: භද්‍රාවුධය,) අතීතානාගතවර්‍තමානයෙහි වූ හැම ආදානතෘෂ්ණාව (තෘෂ්ණොපාදානය) දුරු කරවු, යම් හෙයකින් ලොවැ (අතීතරූපාදි) යම් යම් වස්තුවක් දැඩි කොට ගනිත් ද එහෙයින් මැ ස්කන්‍ධමාර තෙම සත්ත්‍වයා අනු වැ යේ.
ආදානතණ්හං විනයෙථ සබ්බං - ‘ආදානතණ්හා’ යි රූපතෘෂ්ණාව කියනු ලැබෙයි .. ආදාන තණ්හා - යි කවර කරුණෙකින් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ ද යත්: ඒ තෘෂ්ණායෙන් රූපය ආදානය කෙරෙති උපාදානය කෙරෙති ගනිති පරාමර්‍ශය කෙරෙති අභිනිවේශය කෙරෙත්. වේදනාව- සංඥාව- සංස්කාරයන් - විඥානය - ගතිය - උත්පත්තිය - ප්‍රතිසන්‍ධිය - භවය - සංසාරය වර්‍තය ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත්. එ කරුණෙන් ‘ආදානතණ්හා’ යි කියනු ලැබේ. විනයෙථ සබ්බං - සියලු ආදානතෘෂ්ණාව හරනේ යැ වෙසෙසින් හරනේ යැ දුරු කරන්නේ යැ බැහැර කරන්නේ යැ විගතාන්ත කරන්නේ යැ අනු අභාවයට පමුණු වන්නේ නුයි ‘ආදානතණ්හං විනයෙථ සබ්බං’ යනු වේ. භද්‍රාවුධා’ ති භගවා......
උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ- ‘උද්ධං’ යි අනාගතය කියනු ලැබෙයි, අධෝ යි අතීතය කියනු ලැබෙයි, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වර්තමානය යි. උද්ධං යනු දේවලෝක යැ, අධෝ යනු නිරයලෝක යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු මනුෂ්‍යලෝක යි. උද්ධං යනු කුශලධර්‍මයෝ යැ, අධෝ යනු අකුශලධර්‍මයෝ යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු අව්‍යාකෘත ධර්‍මයෝ යි. උද්ධං යනු සුඛවේදනා යැ, අධෝ යනු දුඃඛවේදනා යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු උපෙක්ෂා වේදනා යි. උද්ධං යනු අරූපධාතු යැ, අධෝ යනු කාමධාතු යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු රූපධාතු යි. උද්ධං යනු පාදතලයෙන් උඩ යැ, අධෝ යනු කේශමස්තකයෙන් යට යැ, තිරියඤ්චා’පි මජ්ඣෙ යනු වෙමධ්‍යයෙහි නුයි ‘උද්ධං අධෝ තිරියඤ්චා’පි මජ්ඣෙ’ යනු වේ.
යං යං හි ලෝකස්මිං උපාදියන්ති- යම් යම් රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක් ආදානය උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවෙෂය කෙරෙත් ද, ලෝකස්මිං යනු: අපායලෝකයෙහි ... ආයතනලෝකයෙහි නුයි ‘යං යං හි ලෝකස්මිං උපාදියන්ති’ යනු වේ.
තෙනෙව මාරො අන්වෙති ජන්තුං- එ මැ (උපාදාන ප්‍රත්‍යයෙන් උපන්) කර්මාභිසංස්කාරයන්ගේ වශයෙන් ප්‍රතිසන්ධික වූ ස්කන්ධමාර ධාතුමාර ආයතනමාර ගතිමාර උපපත්තිමාර ප්‍රතිසන්ධිමාර භවමාර සංසාරමාර වෘත්තමාර තෙමේ අනු වැ යෙයි අනුගමනය කෙරෙයි අනු වැ යන්නේ වේ. ජන්තු යනු: සත්ත්‍ව- නර- මාණව- පුරුෂ- පුද්ගල- ජීව- ජාගු- ජන්තු- ඉන්දගු- (හින්දගු) මනුජයා නුයි ‘තෙනෙව මාරො අන්වෙති ජන්තුං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“ආදානතණ්හං -පෙ- තෙනෙව මාරො අන්වෙති ජන්තුං” යි.
එහෙයින් ස්මෘතිමත් වූ (සංස්කාරයන් අනිත්‍යාදි වශයෙන්) දන්නා වූ මහණ තෙම මේ ප්‍රජාව මෘත්‍යුධෙයයෙහි ඇලිනැ’යි දක්මින් (රූපාදි) ආදානයෙහි ඇලුණු සියලු ලොවැ (රූපාදි) කිසිවක් නො ගන්නේ යැ’ යි.
තස්මා පජානං න උපාදියෙථ- ‘තස්මා’ යනු: එහෙයින් එ කරුණෙන් ඒ හේතුයෙන් ඒ ප්‍රත්‍යයෙන් ඒ නිදානයෙන් ආදානතෘෂ්ණාව පිළිබඳ වූ තෙල ආදීනවය දක්නේ නුයි ‘තස්මා’ යනු වේ. පජානං යනු දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ අනිත්‍යහ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, සියලු සංස්කාරයෝ දුඃඛහ’යි ... යම් කිසි සමුදය ධර්‍මයෙක් වේ නම් එ හැම නිරුද්ධ වන ස්වභාවය ඇතැ’යි දන්නේ ප්‍රකර්‍ෂයෙන් දන්නේ හාත්පසින් දන්නේ වෙසෙසින් දන්නේ ප්‍රතිජානනය කරන්නේ ප්‍රතිවේධ කරනුයේ, න උපාදියෙථ යනු: රූපය නො ගන්නේ යැ උපාදානය නො කරන්නේ යැ ග්‍රහණය නො කරන්නේ යැ අභිනිවේශය නො කරන්නේ යැ, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්ත්තය- ආදානය නො කරන්නේ යැ උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය නො කරන්නේ නුයි ‘තස්මා පජානං න උපාදියෙථ’ යනු වේ.
භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ- ‘භික්ඛු’ යනු: පෘථග්ජන කල්‍යාණ භික්‍ෂු හෝ ශෛක්‍ෂ භික්‍ෂු හෝ යැ. සතෝ යනු: සතර කරුණෙකින් සිහි ඇතියේ කයෙහි කායානුපස්සනාව සීවටන් වඩමින් සිහි ඇතියේ... හේ සිහි ඇතියේ යැ යි කියනු ලැබේනුයි ‘භික්ඛු සතෝ’ යනු වේ. ‘කිඤ්චනං’ යනු: කිසි රූපගතයක් වෙදනාගතයක් සංඥාගතයක් සංස්කාරගතයක් විඥානගතයක්. ‘සබ්බලොකෙ’ යනු: සියලු අපාය ලෝකයෙහු සියලු මනුෂ්‍යලෝකයෙහි සියලු දේවලෝකයෙහි සියලු ස්කන්‍ධලෝකයෙහි සියලු ධාතුලෝකයෙහි සියලු ආයතනලෝකයෙහි නුයි ‘භික්ඛු සතෝ කිඤ්චනං සබ්බලොකෙ’ යනු වේ.
ආදානසත්තෙ ඉති පෙක්ඛමානො- යම් කෙනෙක් රූපය ආදානය කෙරෙත් ද උපාදානය ග්‍රහණය පරාමර්‍ශය අභිනිවේශය කෙරෙත් ද, වේදනාව- සංඥාව- සංස්කාරයන්- විඥානය- ගතිය- උපප්‍රාප්තිය- ප්‍රතිසන්‍ධිය- භවය- සංසාරය- වර්‍තය- ආදානය කෙරෙත් ද, උපාදානය- ග්‍රහණය- පරාමර්‍ශය- අභිනිවේශය කෙරෙත් ද ඔහු ‘ආදානසත්ත’ කියනු ලැබෙත්. ඉති යනු පද සන්‍ධි යැ ... පදානුපූර්‍වතා යැ තෙල ‘ඉති’ යනු. පෙක්ඛමානො- දක්නේ බලනුයේ අවලෝකනය කරනුයේ සිතනුයේ පුනපුනා සිතනුයේ පිරික්සනුයේ නුයි ‘ආදාන සත්තෙ ඉති පෙක්ඛමානො’ යනු වේ.
පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං - ‘පජා’ යනු: සත්ත්‍වයනට නමෙකි. මච්චුධෙය්‍යෙ යි ක්ලේශයෝ ද ස්කන්‍ධයෝ ද අභිසංස්කාරයෝ ද කියනු ලැබෙත්. ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි ඇලුණී යැ වෙසෙසින් ඇලුණී යැ හාත්පසින් ඇලුණී යැ ලග්න වූ යැ ලග්නිත වූ යැ පරිරෝධ වූ යැ යම්සේ භිත්ති ඛිලයෙකැ හෝ නාගදන්තයෙකැ හෝ භාණ්ඩයෙක් සක්ත විසක්ත ආසක්ත ලග්න ලග්නිත පරිරුද්ධ වේ ද එසෙයින් ප්‍රජා තොමෝ මෘත්‍යුධෙයයෙහි මාරධෙයයෙහි මරණධෙයයෙහි සක්ත යැ විසක්ත යැ ආසක්ත යැ ලග්න යැ ලග්නිත යැ පරිරුද්ධ නු යි ‘පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“තස්මා පජානං න උපාදියෙථ -පෙ- පජං ඉමං මච්චුධෙය්‍යෙ විසත්තං” යි.
ගාථා පර්‍ය්‍යාවසානය හා සමග ... වහන්ස, බුදුහු මාගේ ශාස්තෘ යැ, මම් ශ්‍රාවකයෙමි’යි.
භද්‍රාවුධ සූත්‍රනිර්දේශය නිමි.
13. උදය සූත්‍ර නිර්‍දෙශය
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි:) ධ්‍යාන කරන සුලු වූ විගතරජස් ඇති වැ වැඩහුන් සිව්මඟින් කළ (සොළොස් වැදෑරුම්) කිස ඇති අනාස්‍රව සියලු ධර්‍මයන් ගේ පරතෙර පැමිණි භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් අර්ත්‍ථී වැ ආයෙමි, අවිද්‍යාව බිඳුනා අඤ්ඤාවිමොක්ඛ සඞ්ඛ්‍යාත නිවන වදාළ මැනැව.
ඣායිං විරජමාසීනං- “ඣායී” යනු: බුදුහු ධ්‍යාන කරන සුල්ලහ. ප්‍රථම ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ද්විතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, තෘතීය ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, චතුර්ථධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සවිතර්‍ක සවිචාරධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අවිතර්‍කවිචාරමාත්‍ර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අවිතර්‍ක අවිචාර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සප්‍රීතික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, නිෂ්ප්‍රීතික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, සුඛවේදනා සහගත ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, උපේක්‍ෂාසහගත ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ශුන්‍යත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අනිමිත්ත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, අප්‍රණිහිත වූ ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ලෞකික ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ලෝකෝත්තර ධ්‍යානයෙනුදු ධ්‍යාන කෙරෙති, ධ්‍යානයෙහි ඇලුණාහු යැ එකත්වයෙහි යෙදුණාහු යැ, ස්වාර්‍ත්‍ථ සඞ්ඛ්‍යාත අර්‍හත්‍වය ගරු කරන්නාහු නුයි ‘ඣායී’ නම් වෙත්. විරජං යනු: රාගය රජසෙක, ද්වේෂය රජසෙක, මෝහය රජසෙක, ක්‍රෝධය රජසෙක, බද්ධවෛරය රජසෙක ... හැම අකුශලාභිසංස්කාරයෝ රජස්හු යැ, ඒ රජස්හු භාග්‍යවත් බුදුන් විසින් ප්‍රහාණය කරන ලද්දාහු මුලුසුන් කරන ලද්දාහු මුල් උදුළ තල්වත්තක් සෙයින් කරන ලද්දාහු අනුඅභාවය කරන ලද්දාහු ආයතිභවයෙහි නූපදනා පියවි ඇතියහ. එයින් බුදුහු කෙලෙස් නැතියහ පහවූ කෙලෙස් ඇතියහ බැහැර කළ කෙලෙස් ඇතියහ කෙලෙසින් දුරු වූහ කෙලෙස් ප්‍රහීණයහ කෙලෙසින් මිදුණහ හැම කෙලෙසුන් ඉක්ම සිටිහය.
1. රාගය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු රාගයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල රාග රජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ රාග රජස් ඇත්තාහ’යි කියනු ලැබෙති.
2. ද්වේෂය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු ද්වේෂයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල ද්වෙෂරජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ ද්වේෂ රජස් ඇත්තාහ’යි කියනු ලැබෙති.
3. මෝහය රජසෙකි. ධූලි වූකලි ‘රජස්’ යි නොද කියනු ලැබෙයි, තෙල ‘රජස්’ යනු මෝහයට නමෙකි. යම්හෙයෙකින් පසැස් ඇති බුදුහු තෙල මොහරජස දුරු කොට සිටිසේක් ද එහෙයින් පස්මරුන් දිනූ බුදුහු ‘පහවූ මෝහරජස් ඇත්තාහ’යි කියනු ලැබෙත් නුයි.
‘විරජං’ යනු වේ.
ආසීනං යනු: බුදුහු පහණ සෑයෙහි වැඩහුන්නාහු නුයි “ආසීන” වූහ.
4. පර්වතපාර්ශ්වයෙහි වැඩහුන් වෘත්තදුඃඛයාගේ පරතෙරට ගිය මුනිහු ත්‍රිවිද්‍යා ඇති පස්මරුන් දුරු කළ ශ්‍රාවකයෝ ඇසුරු කෙරෙත් නුයි,
මෙසේත් බුදුහු ‘ආසීන’ වූහ. නොහොත් බුදුහු සියලු ක්ලේශොත්සුකයන් දුරැ ලූ හෙයින් “ආසීනයහ. වැස නිමවූ ආර්‍ය්‍යවාස ඇත්තාහු පරිචිත වූ චරණධර්‍ම ඇත්තාහ ... ඒ භාග්‍යවත්හට පුනර්‍භව සඞ්ඛ්‍යාත වූ ජාතිමරණ සංසාරය නැත් නුයි මෙසේත් බුදුහු ‘ආසීන’ වූවාහු නුයි “ඣායිං විරජමාසීනං” යනු වේ. මෙසෙයින් ආයුෂ්මත් උදය ...
කතකිච්චං අනාසවං යනු: භාග්‍යවත් බුදුන් විසින් කෘත්‍යාකෘත්‍යය කටයුතු නො කටයුතු ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, මුල් උදුළ තාල වස්තුවක් මෙන් කරන ලද, අනු අභාවය කරන ලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යි එහෙයින් බුදුහු කෘත්‍යකෘත්‍යයහ.
5. සිඳුනාලද තෘෂ්ණාස්‍රොතස් ඇති යම් මහණක්හට රූපාදියෙහි පැතුරුණු තෘෂ්ණා නැද්ද, කෘත්‍යාකෘත්‍ය ප්‍රහීණ කළ ඒ මහණහට (ක්ලේශ) පරිදාහයෙක් නැතැ’යි.
කතකිච්චං අනාසවං- ‘අනාසවා’ යනු: ආස්‍රව සතරෙකි: කාමාස්‍රව යැ භවාස්‍රව යැ දෘෂ්ට්‍යාස්‍රව යැ අවිද්‍යාස්‍රව යි. ඒ ආස්‍රවයෝ භාග්‍යවත් බුදුනට ප්‍රහීණයෝ යැ උසුන් මුල් ඇත්තාහු යැ (මුල් උදුළ) තාලවාස්තුවක් මෙන් කරන ලද්දාහු යැ අනු අභාවය කරන ලද්දාහු යැ මත්තෙහි නූපදනා ස්වභාව ඇත්තාහු යැ. එහෙයින් බුදුහු අනාස්‍රව වූවාහු නු යි ‘කතකිච්චං අනාසවං’ යනු වේ.
පාරගුං සබ්බධම්මානං-බුදුහු අභිඥායෙන් පාරයට ගියහ, පරිඥාපාරයට ගියහ, ප්‍රහාණපාරයට ගියහ, භාවනාපාරයට ගියහ, සච්ඡිකිරියාපාරයට ගියහ, සමාපත්තිපාරයට ගියහ, සියලු (පඤ්චස්කන්ධාදි) ධර්‍මයන්ගේ අභිඥා සඞ්ඛ්‍යාත ඥාන පරිඥායෙන් නිර්‍වාණපාරයට ගියහ, සියලු (ජාත්‍යාදි) දුඃඛයන් ගේ තීරණ පරිඥායෙන් පාරයට ගියහ, සියලු (කාය දුශ්චරිතාදි) ක්ලේශයන්ගේ ප්‍රහාණ පරිඥායෙන් පාරයට ගියහ, ස්‍රොතාපත්‍යාදි සතර මාර්‍ගයන්ගේ භාවනායෙන් පාරයට ගියහ, ඵලනිර්වාණ වශයෙන් ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් නිර්‍වාණයාගේ පාරයට ගියහ,
සියලු රූපා රූප සමාපත්තීන්ගේ සමාපත්තියෙන් පාරයට ගියහ. ඒ බුදුහු ආර්‍ය්‍යශීලයෙහි වශීභාවයට අවසානයට පැමිණියහ, ආර්‍ය්‍යසමාධියෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ, ආර්‍ය්‍යවිමුක්තියෙහි වශීභාවයට පරතෙරට පැමිණියහ. ඒ බුදුහු මාර්‍ගයෙන් පරතෙරට ගියහ, ඵලයෙන් පරතෙරට පැමිණියහ. (මාර්‍ගයෙන් සංස්කාර ලෝකයෙහි) අන්තයට ගියහ, (ඵලයෙන්) අන්තයට පැමිණියහ. (මාර්‍ගයෙන් සංස්කාරයන් ගේ) කෙළවරට ගියහ, (ඵලයෙන්) කෙළවරට පැමිණියහ. (මාර්‍ගයෙන් ආයතනාදි ලෝකයෙහි) පර්‍ය්‍යන්තයට ගියහ, (ඵලයෙන්) පර්‍ය්‍යන්තයට පැමිණියහ. (මාර්‍ගයෙන්) අවසානයට ගියහ, (ඵලයෙන්) අවසානයට පැමිණියහ. (මාර්‍ගයෙන්) ත්‍රාණයට ගියහ, (ඵලයෙන්) ත්‍රාණ ප්‍රාප්තයහ. (මාර්‍ගයෙන්) ලෙනයට ගියහ, (ඵලයෙන්) ලෙනප්‍රාප්තයහ. සරණයට ගියහ, සරණ ප්‍රාප්තයහ. අභයට ගියහ, අභයප්‍රාප්තයහ. අච්‍යුතයට ගියහ, අච්‍යුතයට පැමිණියහ. අමෘතයට ගියහ, අමෘතයට පැමිණියහ. නිර්‍වාණයට ගියහ, නිර්වාණප්‍රාප්තයහ. ඒ බුදුහු (දශවිධ ආර්‍ය්‍යවාසය) වැස නිමවූහ ... ඒ සර්වඥයන්ට පුනර්‍භවයෙක් නැත් නුයි ‘පාරගුං සබ්බධම්මානං’ යනු වේ.
අත්‍ථි පඤ්හෙන ආගමං යනු: ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇති වැ ආම්හ, පැන පුළුවුස්නා කැමැති වැ ආම්හ, ප්‍රශ්න අසනු කැමැති වැ ආම්හ’ යි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇතියන් ගේ පැන පුළුවුස්නා කැමැතියන් ගේ ප්‍රශ්න අසනු කැමැතියන්ගේ ඊමෙක් පෙරට ඊමෙක් එළැඹීමෙක් පර්ය්‍යුපාසනයෙක් ඇත් නුයි මෙසේත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ. නොහොත් මුඹ වහන්සේට ප්‍රශ්නාගමයෙක් ඇති, මුඹ වහන්සේ වැළිත් ප්‍රභූ වූවහු යැ මා විසින් පුළුවුස්නා ලද්ද කියන්නට විසඳන්නට මුඹ වහන්සේ සමර්‍ත්‍ථය වු යැ, තෙල භාරය උසුලනු මැනැවැ යි මෙසේ ත් ‘අත්‍ථි පඤ්හෙන ආගමං’ යනු වේ.
අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑහි- ‘අඤ්ඤාවිමොක්‍ඛ’ යී අර්‍හත්ඵල විමෝක්‍ෂය කියනු ලැබෙයි, අර්‍හත් ඵල විමෝක්‍ෂය වදාළ මැනැව කිව මැනැව දෙසනු මැනැව පනවනු මැනැව විවරණය කළ මැනැව විභාග කළ මැනැව ප්‍රකට කළ මැනැව ප්‍රකාශ කළ මැනැව නුයි ‘අඤ්ඤාවිමොක්‍ඛං පබ්‍රෑහි’ යනු වේ.
අවිජ්ජාය පභෙදනං- අවිද්‍යාව බිඳීම ප්‍රකර්‍ෂයෙන් බිඳීම ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම සන්හිඳුවීම අමාමහනිවන නුයි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“ඣායිං විරජමාසීනං -පෙ- අවිජ්ජාය පභෙදනං” යී.
(බුදුහු මෙසේ වදාළහ: උදය,) කාමච්ඡන්දයන් ගේ ද දෞර්මනස්‍යයන්ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය ද ථීනමිද්ධයා ගේ දුරැලීම ද කෞකෘත්‍යයාගේ වැළකීම ද ඇති.
පහානං කාමච්ඡන්දානං- ‘ඡන්‍දො’ යනු: වස්තුකාමයෙහි යම් කාමච්ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපිපාසායෙක් කාමපරිදාහයෙක් කාමමූර්ඡායෙක් කාමයන්හි බැසගැනීමෙක් කාමඔඝයෙක් කාම යෝගයෙක් කාම උපාදානයෙක් කාමච්ඡන්‍ද නීවරණයෙක් වේ ද එය යි. පහානං කාමච්ඡන්දානං- කාමච්ඡන්දයන්ගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි ‘පහානං කාමච්ඡන්දානං’ යනු වේ. උදයාති භගවා...
දොමනස්සානචූභයං - ‘දොමනස්සං’ යනු: චෛතසික වූ යම් අමධුර බවෙක් චෛතසික දුකෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදනායෙක් වේ ද, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අමධුර වූ දුඃඛ වේදයිතයෙක් වේ ද, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛවේදනායෙක් වේ ද එය යි. දොමනස්සානචූභයං- කාමච්ඡන්‍දයාගේ ද දෞර්මනස්‍යා ගේ ද යන දෙදෙනාගේ ප්‍රහාණය සන්හිඳීම දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමාමහනිවන නුයි ‘දොමනස්සානචූභයං’ යනු වේ.
ථීනස්ස ච පනූදනං- ‘ථීනං’ යනු: චිත්තයාගේ යම් ගිලන්බවෙක් අකර්මණ්‍යබවෙක් එලෙන අයුරෙක් හැකිළීමෙක් වෙසෙසින් එලෙන අයුරෙක් හැකිළීමෙක් හැකිළෙන අයුරෙක් හැකිළෙන බවෙක් චිත්තයාගේ නො පැතිරීමෙක් නො පැතිරෙන අයුරෙක් වේ ද එය යි. ථීනස්ස ච පනූදනං - ථීනයාගේ ද බැහැර කිරීම ප්‍රහාණය ව්‍යුපශමය දුරැලීම ප්‍රතිප්‍රශ්‍රබ්ධිය අමෘත සඞ්ඛ්‍යාත නිර්‍වාණය නුයි “ථීනස්ස ච පනූදනං” යනු වේ.
කක්කුච්චානං නිවාරණං - ‘කුක්කුච්ච’ නම්: අත්කුකුස ද කුකුස් යැ, පාකුකුස ද කුකුස් යැ, අත්පා කුකුස ද කුකුස් යැ, අකූපයෙහි කැප සංඥා ඇති බව යැ, කැපයෙහි අකැප සංඥා ඇති බව යැ, අවද්‍යයෙහ වද්‍යසංඥා ඇති බව යැ, වද්‍යයෙහි අවද්‍යසංඥා ඇති බව යැ, මෙබඳු වූ යම් කුකුසක් කුකුස් අයුරෙක් කුකුසට පැමිණිබවෙක් චිත්තයාගේ විපිළිසරයෙක් මනෝවිලේඛයෙක් වේ නම් මේ කුකුසැ යි කියනු ලැබේ.
තවද දෙ කරුණෙකින් කුකුස චිත්තයාගේ විපිළිසර මනෝවිලේඛය උපදී: කළ බැවින් ද නො කළ බැවින් දැ යි කිසෙයින් කළ බැවින් ද නො කළ බැවින් ද කුකුස සිත්හි විපිළිසර මනෝවිලේඛය උපදී ද යත්: ‘මා විසින් කායදුශ්චරිතය කරන ලද, මා විසින් කායසුචරිතය නොකරන ලදැ’යි කුකුස චිත්තවිප්පටිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් වාග්දුශ්චරිතය කරන ලද මා විසින් වාක්සුචරිතය නො කරනලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. ‘මා විසින් මනෝදුශ්චරිතය කරන ලද මා විසින් මනස්සුචරිතය නො කරනලදැ’යි... ‘මා විසින් ප්‍රාණවධ කරන ලද, මා විසින් ප්‍රාණඝාත විරමණය නො කරන ලදැ’යි කුකුස ... මනෝවිලේඛය උපදී. ‘මා විසින් අදත්තාදානය කරන ලද- මා විසින් කාමමිථ්‍යාචාරය කරන ලද- මා විසින් මෘෂාවාද කියන ලද- මා විසින් පිසුණුබස් කියන ලද- මා විසින් පරොස්බස් කියන ලද- මා විසින් හිස්බස් කියන ලද- මා විසින් අභිධ්‍යා කරන ලද- මා විසින් ව්‍යාපාද කරන ලද- මා විසින් මිථ්‍යාදෘෂ්ටි ගන්නා ලද, මා විසින් සම්‍යග්දෘෂ්ටි නො ගන්නාලදැ’යි කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදියි. මෙසෙයින් කෘත හෙයින් ද අකෘත හෙයින් ද කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදී.
නොහොත් ‘ප්‍රාතිමොක්ෂශීලයෙහි පරිපූරකාරී නො වූයෙමී’ කෞකෘත්‍යය චිත්තවිප්‍රතිසාරය මනෝවිලේඛය උපදියි, ඉන්‍ද්‍රියයන්හි අගොපිතද්වාර ඇත්තෙම් වූයෙමී ... භෝජනයෙහි අමාත්‍රඥයෙම් විමි... නිදි දුරු කිරීමෙහි නො යෙදුණෙම් වීමි ... ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් යුක්තයෙම් නො වූයෙමි ... මා විසින් සතර සතිපට්ඨානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර සම්‍යක්ප්‍රධානයෝ නො වඩන ලදහ යි ... මා විසින් සතර ඍද්ධිපාදයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චේන්‍ද්‍රියයෝ නො වඩන ලදහ යි ... මා විසින් පඤ්චබලයෝ නො වඩන ලදහ යි ... මා විසින් සප්තබෝධ්‍යඞ්ගයෝ නො වඩන ලදහ යි ... මා විසින් ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය නො වඩන ලදැ යි ... මා විසින් දුඃඛසත්‍යය අපරිඥාත යැ යි... මා විසින් සමුදය අප්‍රහීණ යැ යි... මා විසින් මාර්‍ගය නොවඩන ලදැයි ... මා විසින් නිරෝධය ප්‍රත්‍යක්‍ෂ නො කරන ලදැ යි කෞකෘත්‍යය චිත්තයාගේ විප්‍රතිසාරය මනෝවිලේඛය උපදී. කුක්කුච්චානං නිවාරණං යනු: කෞකෘත්‍යයන්ගේ ඇවිරීම වැළහීම ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමෘත සඞ්ඛ්‍යාත වූ නිර්‍වාණය නුයි ‘කුක්කුච්චානං නිවාරණං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“පහානං කාමච්ඡන්දානං -පෙ- කුක්කුච්චානං නිවාරණං” යි.
චතුර්ථධ්‍යානොපෙක්ෂා ස්මෘති දෙකින් සංශුද්ධිය ඇති ධර්‍මතර්‍ක සඞ්ඛ්‍යාත සම්‍යක් සංකල්පය පෙරටු කොට ඇති අර්‍හත් ඵලවිමොක්ෂය අවිද්‍යාවගේ බිඳීම යැ යි ප්‍රකාශ කරමි.
උපෙක්ඛාසතිසංසුද්ධං- ‘උපෙක්ඛා’ යනු: චතුර්ත්ථධ්‍යානයෙහි යම් උපේක්‍ෂාවක් උපෙක්ෂා කරන අයුරෙක් අධ්‍යුපේක්‍ෂණයෙක් චිත්තයාගේ අනූනාධික බවෙක් චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද එය යි. සති යනු: චතුර්ත්ථධ්‍යානයෙහි උපේක්‍ෂාව අරභයා (උපන්) යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක් ස්මෘතියක් වේ ද එය යි. උපෙක්ඛා සතිසංසුද්ධං - චතුර්ත්ථධ්‍යානයෙහි උපේක්‍ෂාව ද ස්මෘතිය ද ශුද්ධ වූවාහු විශුද්ධ වූවාහු වෙසෙසින් ශුද්ධ වූවාහු හාත්පසින් ශුද්ධ වූවාහු ප්‍රභාස්වර වූවාහු නිර්දෝෂ වූවාහු උපක්ලේශ රහිත වූවාහු මෘදු වූවාහු කර්‍මක්‍ෂම වූවාහු ස්ථිත වූවාහු නිශ්චල බවට පැමිණියාහු වෙත් නුයි ‘උපෙක්ඛා සතිසංසුද්ධං’ යනු වේ.
ධම්මතක්කපුරෙජවං- ‘ධම්මතක්ක’ යි සම්‍යක් සංකල්පය කියනු ලැබෙයි. ඒ අඤ්ඤාවිමොක්ඛය (රහත් මඟ) ට ආදියෙහි වෙයි පෙරටුයෙහි වෙයි පෙරදැරි වේ නු යි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සම්‍යග්දෘෂ්ටිය කියනු ලැබෙයි. ඕ ආඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්‍වඞ්ගම වේනුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ. නොහොත් ‘ධම්මතක්ක’ යි සතර මාර්‍ගයන්ගේ පූර්වභාගවිදර්ශනාව කියනු ලැබෙයි. ඕ අඤ්ඤාවිමොක්ඛයට ආදියෙහි වෙයි, පෙරටුයෙහි වෙයි, පූර්‍වඞ්ගම වේ නුයි මෙසේත් ‘ධම්මතක්කපුරෙජවං’ යනු වේ.
අඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි- ‘අඤ්ඤාවිමොක්ඛ’යි අර්‍හත්‍ව විමෝක්‍ෂ (රහත්මඟ) කියනු ලැබෙයි. රහත් මඟ කියමී දක්වමි දෙසමි පනවමි පිහිටුවමි විවරණ කෙරෙමි විභාග කෙරෙමි ප්‍රකට කෙරෙමි ප්‍රකාශ කෙරෙම් නුයි ‘අඤ්ඤාවිමොක්ඛං පබ්‍රෑමි’ යනු වේ.
අවිජ්ජාය පභෙදනං- ‘අවිජ්ජා’ යනු: දුක නො දැනීම ...අවිද්‍යාව මෝහ අකුශලමූලය යි. අවිජ්ජාය පභෙදනං යනු: අවිද්‍යාව බිඳීම ප්‍රහාණය සන්හිඳීම දුරැලීම නො පැවැත්ම අමාමහනිවන නු යි ‘අවිජ්ජාය පභෙදනං’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“උපෙක්ඛාසති සංසුද්ධං -පෙ- අවිජ්ජාය පභෙදනං” යි.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි ලෝවැසි තෙම කුමක් සංයෝජන කොට ඇත්තේ ද? ඒ ලෝ වැසියා ගේ විවරණය (හැසිරීමට කරුණ) කිම? කිනම් දහමක්හු ගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ ද?
කිං සු සංයොජනො ලෝකෝ - ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය කිම? ලෝවැසි තෙම කුමකින් යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යෙදුණේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ නො හැර සිටියේ නුයි ‘කිංසු සංයොජනො ලෝකෝ’ යනු වේ.
කිං සු තස්ස විචාරණං - ඒ ලෝවැසියාගේ හැසිරීම වෙසෙසින් හැසිරීම පුනපුනා හැසිරීම කිම? ලෝවැසි තෙම කුමක් කරණ කොට හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුන පුනා හැසිරේ ද නුයි ‘කිං සු තස්ස විචාරණං’ යනු වේ.
කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති - කවර ධර්‍මයක් හුගේ ප්‍රහාණයෙන් ව්‍යුපශම යෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් ‘නිර්‍වාණ’ යයි කියනු ලැබෙයි පවසනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි දක්වනු ලැබෙයි වහරනු ලැබේ ද නුයි ‘කිස්සස්ස විප්පහානෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කිං සු සංයොජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
ලෝවැසි තෙම තෘෂ්ණාව සංයෝජන කොට ඇත්තේ යැ විතර්‍කය ඔහුට විචාරණය වෙයි. තෘෂ්ණාවගේ ප්‍රහාණයෙන් ‘නිවනැ’ යි කියනු ලැබේ.
නන්‍දිසංයොජනො ලෝකෝ - ‘නන්දි’ යි තෘෂ්ණාව කියනු ලැබෙයි. යම් රාගයෙක් බලවත් රාගයෙක් ... අභිධ්‍යාවක් ලෝභ අකුශලමූලයෙක් වේ ද මේ ‘නන්දි’ යි කියනු ලැබෙයි. යම් නන්‍දියක් ලෝවැසියාගේ සංයෝජනය ලැගීම බන්‍ධනය උපක්ලේශය වේ ද මේ නන්දියෙන් ලෝකය යුක්ත වූයේ ප්‍රයුක්ත වූයේ වෙසෙසින් යුක්ත වූයේ එක් වැ යෙදුණේ ලග්න වූයේ ලග්නිත වූයේ පරිරුද්ධ වූයේ නුයි ‘නන්‍දිසංයොජනො ලෝකෝ’ යනු වේ.
විතක්කස්ස විචාරණං- ‘විතක්ක’ නම් නව විතර්කයෙකි: කාමවිතර්‍ක යැ ව්‍යාපාදවිතර්‍ක යැ විහිංසා විතර්‍ක යැ ඥාතිවිතර්‍ක යැ ජනපදවිතර්‍ක යැ අමරවිතර්‍ක යැ පරානුද්දයතා ප්‍රතිසංයුක්ත විතර්‍ක යැ ලාභ සත්කාර ප්‍රශංසා ප්‍රතිසංයුක්තවිතර්ක යැ අනවඥාප්‍රතිසංයුක්ත විතර්‍ක යැ, මොහු නව විතර්‍කයෝ යැ යි කියනු ලැබෙත්. මේ නව විතර්‍කයෝ චාරණ (පැවැත්මට කරුණ) විචාරණ පුනපුනා විචාරණයෝ වෙති. මේ නව විතර්‍කයන් හේතු කොට ගෙන ලෝ වැසි තෙමේ හැසිරෙයි වෙසෙසින් හැසිරෙයි පුනපුනා හැසිරේ නුයි ‘විතක්කස්ස විචාරණං’ යනු වේ.
තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- ‘තණ්හා’ යනු: රූප තෘෂ්ණා යැ ... ධර්‍මතෘෂ්ණා යි. තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති- තෘෂ්ණාව වෙසෙසින් ප්‍රහාණය කිරීමෙන් සන්හිඳුවීමෙන් දුරැලීමෙන් නො පැවැත්මෙන් නිර්‍වාණය වේ යයි කියනු ලැබෙයි දක්වනු ලැබෙයි කථනය කරනු ලැබෙයි බණනු ලැබෙයි පවසනු ලැබෙයි වහරනු ලැබේ නුයි ‘තණ්හාය විප්පහාණෙන නිබ්බානං ඉති වුච්චති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“නන්‍දිසඤේඤාජනො ලෝකෝ -පෙ- නිබ්බානං ඉති වුච්චති” යි.
(ආයුෂ්මත් උදය මෙසේ විචාරයි) ස්මෘති සම්පන්න වැ වාසය කරන්නහු ගේ විඥානය කිසෙයින් නිරුද්ධ වේ ද? භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නා සඳහා පැමිණියම්හ, මුඹ වහන්සේ ගේ ඒ වචනය අසම්හ.
කථං සතස්ස චරතො යනු: කිසෙයින් සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහු ගේ වෙසෙසින් හැසිරෙනුවහු ගේ ඉරියවු පවත්වනුවහු ගේ වැටෙනුවහුගේ රැකෙනුවහු ගේ යැපෙනු වහුගේ යාපනය වන්නහු ගේ නුයි ‘කථං සතස්සස්ස චරතො’ යනු වේ.
විඤ්ඤාණං උපරුජ්ඣති- අභිසංස්කාර විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවත්නේ වේ නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
භගවන්තං පුට්ඨුමාගම්හා- භාග්‍යවත් බුදුනු පුළුවුස්නට විචාරන්නට යදනට අධ්‍යෙෂණයට ආම්හ ආවම්හ එළැඹියම්හ පැමිණියම්හ. මුඹ වහන්සේ හා එක් වූම්හ නුයි ‘භගවන්තං පුටුඨුමාගම්හා’ යනු වේ.
තං සුණොම වචො තව - “තං” යනු: මුඹ වහන්සේගේ වචනය වාක්පථය දෙසුම අනුසස්න අසම්හ උගනුම්හ ධරම්හ වෙසෙසින් ධරම්හ සලකම්හ නුයි ‘තං සුණොම වචො තව’ යනු වේ.
එයින් කී යැ එ බමුණු:
“කථං සතස්ස චරතො -පෙ- තං සුණොම වචො තව” යි.
අධ්‍යාත්මාලම්බනයෙහි ද බාහිරාලම්බනයෙහි ද උපදනා වේදනාව නො පතන, ස්මෘතිමත් වැ හැසිරෙනුවහු ගේ විඥානය මෙසේ නිරුද්ධ වේ යයි.
අජ්ඣත්තඤ්ච බහිද්ධා ච වේදනං නාභිනන්‍දතො - අධ්‍යාත්ම වේදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. බාහිරවෙදනායෙහි වේදනා අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මබාහ්‍යවෙදනායෙහි වේදනාව අනුව බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි, අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි.
අධ්‍යාත්මයෙහි සමුදයධර්මයන් අනුව බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. අධ්‍යාත්මයෙහි ව්‍යයධර්මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනා අනු වැ බලමින් වාස කරනුයේ .. අධ්‍යාත්මයෙහි කලෙකැ සමුදයධර්මයන් කලෙකැ ව්‍යයධර්මයන් අනු වැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ ... බාහ්‍ය වූ සමුදය ධර්‍මයන් අනුවැ බලනසුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි, නො පසසයි,
බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය අධ්‍යවසානය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි බාහිර වේදනායෙහි ව්‍යයධර්මයන් අනු වැ දක්නා සුලු වූයේ වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... බාහ්‍යවෙදනායෙහි සමුදය ව්‍යය ධර්‍මයන් අනු වැ දක්නා සුලු වූයේ වෙදනානුදර්ශීවැ වාස කරන්නේ... කලෙකැ අධ්‍යාත්මයෙහි කලෙකැ බාහ්‍යයෙහි සමුදයව්‍යය ධර්‍මයන් අනු වැ බලන සුලු වූයේ වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරන්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය බැසගැනීම ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි, මේ දොළොස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ ... අනභාවයට පමුණුවයි.
නොහොත් වේදනාව අනිත්‍ය වශයෙන් දක්නේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරුකෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. වේදනාව දුක් හෙයින් - රෝග හෙයින් - ගඬ හෙයින් - ශල්‍ය හෙයින් අඝ හෙයින් - ආබාධ හෙයින් ... නිස්සරණ හෙයින් දක්නේ වේදනාවට සතුටු නොවෙයි නො පසසයි බැසගෙන නො සිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවෙෂය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවයි. මේ සූසාලිස් අයුරින් වේදනායෙහි වේදනානුදර්ශී වැ වාස කරනුයේ වේදනාවට සතුටු නො වෙයි නො පසසයි බැසගෙන නොසිටියි අභිනන්‍දනය අභිවදනය ග්‍රාහය පරාමර්‍ශය අභිනිවේශය දුරු කෙරෙයි බැහැර කෙරෙයි විගතාන්ත කෙරෙයි අනභාවයට පමුණුවා නුයි ‘අජ්ඣත්තඤ්ච බහිද්ධාච වේදනං නාභිනන්දතො’ යනු වේ.
එවං සතස්ස චරතො - මෙසේ සිහි ඇති වැ සම්‍යග්ඥාන ඇති වැ හැසිරෙනුවහුට වෙසෙසින් හැසිරෙනුවහුට ඉරියවු පවත්වනුවහුට වැටෙනුවහුට රැකෙනුවහුට යැපෙනුවහුට යාපනය වන්නහුට නුයි ‘එවං සතස්ස චරතො’ යනු වේ.
විඤ්ඤාණං උපරුජ්ඣති - පුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය අපුණ්‍යාභිසංස්කාර සහගත වූ විඥානය ආනෙඤ්ජාභිසංස්කාර සහගත වූ විඥානය නිරුද්ධ වෙයි සන්හිඳෙයි අස්තයට යෙයි නො පවතී නුයි ‘විඤ්ඤාණං උපරුජ්ඣති’ යනු වේ.
එයින් වදාළහ බුදුහු:
“අජ්ඣත්තඤ්ච බහිද්ධා ච -පෙ- විඤ්ඤාණං උපරුජ්ඣති” යි.
ගාථාදේශනාවසානය හා සමග ... වහන්ස, භාග්‍යවත්හු මාගේ ශාස්තෘහ, මම් ශ්‍රාවක යෙමි’යි.
උදය සූත්‍රනිර්දේශය නිමි.
14. පෝසාල සූත්‍ර නිර්‍දෙශය