Cūḷaniddesa

Lesser Exposition

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 1940 segments

පෙන්වන කොටස් 1-100 න් 1940

සූත්‍රාන්තපිටකයෙහි
කුදුගත්සඟියේ
චූලනිර්දේශය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
පාරායණ වර්‍ගය
වස්තු ගාථා
1. වෙද මන්ත්‍රයෙහි පරතෙරට ගිය (බාවරි) බමුණු අකිඤ්චනභාවය (පරිග්‍රභොපකරණයන්ගෙන් විවික්ත බව) පතනුයේ කොසොල් රට රම්‍ය වූ (සැවැත්) නුවරින් නික්මැ දක්‍ෂිණාපථයට ගියේ යැ.
2. හෙ තෙම අස්සක රජහුගේ ද මූලක රජහුගේ දැයි දෙ රජුන් ගේ දෙ රට ආසන්න පෙදෙසෙහි (හෙවත් ඒ දෙරට අතුරෙහි) ගොදාවරී නදී තීරයෙහි (වූ අසපුයෙහි) කෙණෙසි අහරින් හා වෙනෙහි කඳු මුල් පලයෙන් හා (යැපෙමින්) විසී.
3. ඒ ගොදාවරී තීරය මැ (නොහොත් ඒ බමුණහු මැ) නිසා මහත් වූ ගමෙක් ද විය. හේ එගමින් උපන් කරවුවරින් මහා යඥයක් කෙළේ යැ (මහ දනක් දුන.)
4. හේ මහදන් දී යළි අසපුවට පිවිසියේ යැ. ඔහු පිවිසි කල්හි අන් බමුණෙක් (එහි) ආයේ යි.
5. (ගමන්හි) ගැටුණු පා ඇති පිපාසිත වූ මල බැඳුණු දත් ඇති දුහුලි වැකුණු හිස ඇති හෙ ද ඔහු කරා එළඹැ (කහවණු) පන්සියයක් ඉල්ලී යැ.
6. බාවරී තවුස් ඔහු දැක අස්නෙකින් පැවැරී යැ, සුව ද අරෝග බව ද විචාළේ යැ, මෙවදන් ද කී:
7. “මා සතු යම් දේයධර්‍මයෙක් වී නම් මා විසින් එ හැම දෙන ලද. බමුණ, මබස් හදහව, මට (කහවණු) පන්සියෙක් නැති.”
8. ඉදින් භවත් තෙමේ යදනා (ඉල්ලන) මට නො දෙන්නේ නම් (මින්) සත්වන දවසැ තා හිස් සත් කඬ වැ පැළේවා!
9. ඒ කුහක බමුණු තෙම කොහොන් වත් සකස් කොට බිය දනවන වදන් තෙපලී යැ. ඔහුගේ එවදන් අසා බාවරී තවුස් දොම්නස් වී යැ.
10. හේ ශෝකශල්‍යයෙන් විදුනා ලදුයේ නිරාහාර වැ වියැළෙයි, තවද මෙබඳු සිත් ඇති ඔහුගේ සිත ධ්‍යානයෙහි නො ඇලෙයි.
11. (එ අරම්හි අරක්ගත්) වැඩ කැමැති දෙවියෙක් බියපත් වූ දුකට පැමිණි බාවරී බමුණු කරා එළැඹ මෙ බස් කිව;
12. “හේ මුදුන් (හිස) නො දනී, හේ ධන කැමැති කුහකයෙක, මුදුන්හි හෝ මුදුන් පැළුමෙහි නුවණෙක් ඔහුට නැති.”
13. “ඉදින් භවතී මුදුනුදු මුදුන් පැළුමුදු දනී නම් මා විසින් විචාරන ලද තෝ එය මට කියව. තී ගේ එ වදන් අසම්හ.”
14. “මම ද තෙල නො දන්මි. මට මෙහි ලා නුවණෙක් නැති. මුදුනුදු මුදුන් පැළුමුදු යන මෙය ජිනයන්ගේ මැ දර්‍ශනයෙකි.”
15. “එසේ කලැ මේ පොළෝ මඬලෙහි කවරෙක් නම් මුදුනුදු මුදුන් පැළුමුදු දනී ද? දෙවිය, එය මට කියව.”
16. පෙරැ කිඹුල්වත් පුරයෙන් නික්මැ ගිය, ලොවට නායක වූ ඔක්කාක රජහු ගේ පරපුරෙහි වූ ලොවැ ප්‍රඥාලෝකය කරන යම් ශාක්‍යපුත්‍රයෙක් වේ ද,
17. බමුණ හේ සම්බුද්ධ යැ, සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියේ යැ, සියලු අභිඥාබලයට පැමිණියේ යැ, සියලු දහම්හි නුවණැස් ඇත්තේ යැ, සියලු කර්‍මයන්ගේ ක්‍ෂයට පැමිණියේ යැ, නිවන් අරමුණෙහි (අරමුණු කොට) (භව විමුක්තියෙන්) මිදුණේ යැ.
18. පසැස් ඇති ඒ භාග්‍යවත් බුදුරජ ලොවැ දහම් දෙසයි. මුඹ උන් වහන්සේ වෙත ගොස් විචාරන්නැ. උන් වහන්සේ එය මුඹට හෙළි කරන සේක.
19. බාවරී තෙම ‘බුදුහු’ යන වදන් අසා ඔද වැඩි සිතැත්තේ විය. ඔහු ගේ ශෝකය ද තුනී විය, විපුල වු ප්‍රීතියට ද පැමිණියේ යි.
20. ඒ බාවරී බමුණු සතුටු වූයේ ඔදවැඩි සිතැත්තේ උපන් සොම්නස් ඇත්තේ “යම් තැනකට ගොස් ද්විපදෝත්තම වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර කරන්නමෝ නම් ඒ ලෝකනායකයෝ කිනම් ගමෙකැ හෝ නියම්ගමෙකැ හෝ යළි කිනම් දනව්වෙකැ හෝ වසන සේක් දැ?” යි එ දෙවියා පිළිවිසී යැ.
21. “පස්මරුන් දිනූ මහාප්‍රාඥ වූ උත්තම විපුල ප්‍රඥා ඇති අප්‍රතිම වූ අනාස්‍රව වූ නරශ්‍රේෂ්ඨ වූ මුදුන් පළාලීම දන්නා වූ ඒ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ කොසොල්රට සැවැත් නුවරැ වසන සේ කැ”යි.
22. ඉක්බිති බාවරී බමුණු වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය අතැවැස්සන් ඇමැතී: එව මාණවකයෙනි, මම් තොපට කියනෙම් මා ගේ වචනය අසවු.
23. “ලෝකයෙහි තෙල යමක්හුගේ එක්වන් පහළවීම දුර්‍ලභ වේ ද, ‘සම්බුදුහු’යි ප්‍රසිද්ධ වූ උන් වහන්සේ දැන් ලොවැ පහළ වූහු ල. තෙපි වහා සැවැතට ගොස් ඒ ද්විපදෝත්තමයන් වහන්සේ දකිවු”(යි කී යැ).
24. “බමුණාණෙනි, ඔවුන් දැක ‘මේ බුදුහ’යි කිසේ දනුම්හ. ඇපි ඔවුන් යම්සේ දත හෙන්නමෝ නම් නො දන්නා අපට එසෙයින් කිව මැනැවැ”යි (කීහ.)
25. පිළිවෙළින් විස්තර කරන ලද පරිපූර්‍ණ වූ දෙතිස් මහපුරිස් ලකුණු වේදයෙහි ආයේ යැ,
26. යමක්හුගේ සිරුරෙහි තෙල දෙතිස් මහපුරිස් ලකුණු ඇද්ද, ඔහුට දෙගතියෙක් මැ වෙයි, තෙ වැන්නෙක් නැති.
27. ඉදින් හේ ගිහිගෙයි වෙසේ නම් නො දඬින් නො සැතින් මේ පොළොව දිනා දැහැමින් අනුශාසනා කෙරෙයි (සක්විති රජ වෙයි).
28. තවද, ඉදින් හේ ගිහිගෙන් නික්මැ සසුන්හි පැවිදි වේ නම් විවට කළ කෙලෙස් සෙවෙණි ඇති වැ අනුත්තර වූ අර්‍හත් සම්බුද්ධ වෙයි.
29. (තෙපි මාගේ) ජාති (වයස්) දු ගොතුදු ලක්‍ෂණ දු උගත් වෙදයනුදු සිසුනු දු යළි අන්‍ය වූ මුදුනුදු මුදුන් පැළුමුදු සිතින් මැ පුළුවුස්ව.
30. ඉදින් හේ අනාවරණඥානදර්ශන ඇති බුදු වේ නම් (තොප) සිතින් පුළුවුත් පැන තෙපුලින් විසඳයි යනු කී යැ.
31-33. බාවරී බමුණුගේ බස් අසා අජිත යැ තිස්සමෙත්තෙය්‍ය යැ පුණ්ණක යැ මෙත්තගූ යැ ධෝතක යැ උපසීව යැ නන්‍ද යැ යළි හේමක යැ තෝදෙය්‍ය, කප්ප දෙදෙනා යැ පණ්ඩිත වූ ජතුකණ්ණී යැ. භද්‍රාවුධ යැ උදය යැ පෝසාල නම් බමුණු යැ ප්‍රාඥ වූ මෝඝරාජ යැ පිංගිය මහතවුස් යැ යන සොළොස් බමුණු අතැවැසියෝ-
34. හැම දෙන වෙන වෙන ශිෂ්‍යගණයා ඇත්තාහු සියලු ලොවැ ප්‍රකට වූවාහු ධ්‍යාන කරන්නාහු ධ්‍යානයෙහි ඇලුණාහු ධෘති සම්පන්න වූවාහු පූර්‍වපුණ්‍යවාසනා ගුණයෙන් වාසිත සිත් ඇත්තාහු-
35. බාවරීහු අභිවාදන කොට යළි ඔහු පැදකුණු කොට සියල්ලෝ දළ මඬුලු අඳුන් දිවිසම් දරන්නාහු උතුරු දෙසට මුහුණලා නික්මැ ගියෝ.
36. මූලක ජනපදයට අයත් පතිට්ඨාන නගරයට ද, මාහිස්සතී නම් පළමු නගරයට ද, එසේ මැ උදේනී නුවරට ද ගෝනද්ධ (ගෝධ) පුරයට ද, වේදිස නුවරට ද, වස්සැවැතට ද-
37. කොසොඹෑ නුවරට ද, සාකේත පුරයට ද, සැවැත් පුරවරයට ද, සේතව්‍ය නුවරට ද, කිඹුල්වත් පුරයට ද, කුසිනාරා පුරයට ද-
38. පාවා නුවරට ද, භොග නගරයට ද, විසල් පුරට ද, මගධ රට අගනුවර වූ රජගහ නුවරට ද, සිත්කලු වූ මනරම් වූ පහණ සෑ වෙහෙරට ද-
39. පවස් ඇතියකු සිහිල් දියකට මෙන්, වෙළෙඳක්හු මහත් ලාභයකට මෙන්, ගිමින් තැවුණක්හු සෙවණකට මෙන් හටගත් සොම්නස් ඇත්තාහු පව්වට නැංගාහ.
40. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ද භික්‍ෂුසංඝයා විසින් පුරස්කෘත වූවාහු වනයෙහි සිංහයකු නාද කරන්නා සේ භික්‍ෂූනට දහම් දෙසන සේක.
41. අජිත මාණව සම්බුදුන් සියගණන් රස් ඇති හිරු සෙයින් පණුරැසි පොහොදවස් සොළොස් කලා පිරුණු සඳු සෙයින් දිටී.
42. ඉක්බිති උන් වහන්සේගේ සිරුරෙහි පිරිපුන් පුරිස් ලකුණු දැක සතුටු වූයේ එකත්පස් වැ සිටියේ මනසින් පැන පුළුවුත් :
43. “අප ඇදුරන් උදෙසා උන්ගේ ජාති (වයස්) කියනු මැන. පුරිස්ලකුණු සහිත කොට ගොත් කියනු මැන, වෙදයන්හි නිමාවට පැමිණීම ද කියනු මැන, හේ කෙතෙක් අතැවැසියන් හදාරවා ද”යි (විචාළේ යැ.)
44. ‘(තොප ඇදුරු උපතින්) එක්සියවිසි හවුරුදු ඇත්තේ යැ, හෙ ද ගෝත්‍රයෙන් ප්‍රාවරී (බාවරී) නමැ, ඔහු ගත මහපුරිස් ලකුණු තුනෙක, ත්‍රිවේදයෙහි පරතෙරට ගියේ යැ.
45. (මහාපුරුෂ) ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද, නිඝණ්ටු සහිත කෙටූහ ශාස්ත්‍ර සහිත ඉතිහාසයෙහි ද, ස්වකීය බ්‍රාහ්මණ ධර්‍මයෙහි ද පරතෙරට ගියේ පන්සියක් අතැවැසියන් හදාරවයි.
46. තෘෂ්ණාව සිඳ හළ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, බාවරී බමුණුගේ පුරුෂලක්ෂණයන් ගේ විස්තරය පවසන්නැ, අපට නහමක් සැක වේවා’යී (සිතින් පුළුවුත්.)
47. මාණවකය, හේ (තමා) දිවින් මුහුණ වසයි. උහුගේ දෙබැම අතුරෙහි උණුලොම් වෙයි. අඞ්ගජාතය කෝෂාවහිත වේ. මෙසේ මෙ කරුණු දනැ’යි (වදාළහ.)
48. සියලු ජන තෙමේ විචාරනු ලබන කිසි පැනයක් නො අසනුයේ විසැඳූ පැන අසා උපන් සොම්නස් ඇත්තේ බඳැදිලි ව මෙසේ සිතයි ;
49. “කවර දෙවියෙක් හෝ බඹෙක් හෝ සුජාපති වූ ඉන්‍ද්‍ර හෝ සිතින් විචාළ පැන විසඳා ද? (ඔවුනතුරෙහි) කවරක්හට තෙල පැන වැටහේ දැ”යි.
50. “භාග්‍යවතුන් වහන්ස, බාවරී තෙම මුදුනුදු මුදුන් පැළුමුදු පුළුවුසි. එය විසඳන්නැ, ඍෂීන් වහන්ස, අපගේ සැකය දුරැලන්නැ”යී.
51. අවිද්‍යාව (සසර හිස් වන බැවින්) මුදු නැ, ශ්‍රද්ධා ස්මෘති සමාධි ඡන්‍ද වීර්‍ය්‍ය යන මොවුන් හා සමග යෙදුණු (අර්හන්මාර්ග) විද්‍යාව මුදුන් පළන යයි දනැ”යි.
52. ඉක්බිති අජිත මාණව මහත් ප්‍රීතියෙන් සංස්තබ්ධ වැ අඳුන් දිවිසම් එකස් කොටැ ලැ (බුදුන්) පාපිට හිස් තබා වැඳ වැටුණේ යැ.
53. නිදුකාණෙනි, පසැස් ඇතියාණෙනි, බාවරී බ්‍රාහ්මණ තෙම ඔද වැඩි සිත් ඇති වැ සොම්නස් වැ භවත්හු පා වඳී යි.
54. “බාවරී බමුණු තෙම සිසුන් හා සමග සුවපත් වේවා! මාණවය තො ද සුවපත් වෙයි! සැරදෙයී!” (වදාළෝ.)
55. “තෙපි කළ අවකාශ ඇතියවු, යම් කිසිවක් පුළුවුස්නට සිතින් කැමැතියවු නම් බාවරිහු ගේ වේවයි තොප හැම ගේ වේවයි එ හැම සංශය පුළුවුස්ව”යි (වදාළෝ.)
56. සම්බුදුන් විසින් කළ අවකාශ ඇති අජිත මාණව ඇඳිලි බැඳ හිඳ එහි පළමු පැනය බුදුන් පිළිවිත්.
වස්තුගාථා නිමි.
1. අජිත මාණව පෘච්ඡා
1-1. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්: ලෝවැසි තෙම කිමෙකින් නිවෘත (වැසුණේ) ද? කවර හෙයින් නො පැනේ ද? කිමෙක් ඔහට අභිලේපන (ලහටු) යැ යි වදාරන සේක් ද? කිමෙක් ඔහට මහද්භය වේ ද?
1-2. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලෝවැසි තෙම අවිද්‍යායෙන් නිවෘත යැ. මාත්සර්‍ය්‍ය හෙයින් ප්‍රමාද හෙයින් නො පැනෙයි (ප්‍රකාශ නො වෙයි) තෘෂ්ණාව අභිලේපන යැ යි කියමි, (ජාත්‍යාදි) දුක ඔහට මහද්භය වෙයි.
1-3. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්:) හැම තන්හි (රූපාදි ආයතනයන්හි තෘෂ්ණාදි) ස්‍රෝතස්හු ගලා යෙති , ස්‍රෝතසුන්ගේ ආවරණය කවරැ? ස්‍රෝතසුන් ගේ සංවරය වදාළ මැනැව. කවර දහමෙකින් ස්‍රෝතස්හු පියනු ලැබෙත් ද (පසිඳිනු ලැබෙත් ද)?
1-4. (අජිත යැ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) ලොවැ යම් ස්‍රෝතස් කෙනෙක් වෙත් ද, ස්මෘතිය ඔවුනට ආවරණ වෙයි, (එ මැ ස්මෘතිය) ස්‍රෝතසුන්ගේ ‘සංවරය’ යි කියමි, (මාර්‍ග) ප්‍රඥාව විසින් තුලුහු පියනු (පසිඳිනු) ලැබෙත්.
1-5. (ආයුෂ්මත් අජිත මෙසේ පිළිවිත්.) ප්‍රඥාව ද ස්මෘතිය ද (තදවශේෂ) නාමරූපය ද යන තෙල සියල්ල කොහි නිරුද්ධ වේ ද? නිදුකාණෙනි, මා විසින් පුළුවුස්නා ලද මුඹ වහන්සේ තෙල කරුණ මට වදාළ මැනව.
1-6. අජිත තෙපි යම් පැනයක් විචාළ වු ද, එය තොපට කියමි. යම් තැනෙක්හි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද, (පශ්චිම) විඥානයාගේ නිරෝධය හා මැ (පෙර පසු නො වැ) තෙල විඥාන නිරෝධයෙහි මැ තෙල නාමරූපය උපරුද්ධ වෙයි (විඥාන නිරෝධය ඉක්ම නො යෙයි.)
1-7. නිදුකාණෙනි, මෙ ලොවැ (අනිත්‍යාදි විසින්) විමසන ලද ධර්‍ම ඇති යම් (අශෛක්‍ෂ) කෙනෙකුත් වෙත් ද, බොහෝ වූ යම් ශෛක්‍ෂ කෙනෙකුත් වෙත් ද, මා විසින් පුළුවුස්නා ලද (ශෛක්‍ෂාශෛක්‍ෂ ධර්‍මයෙහි) පණ්ඩිත වූ මුඹ වහන්සේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මට වදාළ මැනැව.
1-8. කාමයෙහි ගිජු නො වන්නේ යැ, සිතින් නො කැළඹුණෙක්, වන්නේ යැ, මහණ තෙම සියලු ධර්‍මයන්හි දක්‍ෂ වූයේ ස්මෘතිමත් වැ හැසිරෙන්නේ යි.
අජිත මාණව පෘච්ඡා නිමි.
2. තිස්සමෙත්තෙය්‍ය මාණව පෘච්ඡා
2-1. (ආයුෂ්මත් තිස්ස මෙත්තෙය්‍ය මෙසේ පිළිවිත්:) මෙලොවැ කවරෙක් සතුටු වූයේ ද, කවරක්හට (තෘෂ්ණා-දෘෂ්ටි) ඉඤ්ජනයෝ (කම්පනයෝ) නැද්ද, කවරෙක් අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ ම්‍යධයෙහි ප්‍රඥායෙන් නො ඇලේ ද, කවරක්හු ‘මහාපුරුෂ’ යයි කියනු සේක් ද, කවරෙක් මෙහි තෘෂ්ණා සිබ්බනිය (ගෙතුම) ඉක්මැ ගියේ දැ? යි”
2-2. (‘මෙත්තෙය්‍ය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) කාමයෙහි (ආදීනව දැක) බඹසර ඇති පහ වූ තෘෂ්ණා ඇති හැම කල්හි ස්මෘතිමත් වූ (අනිත්‍යාදි විසින්) දහම් විමසා (රාගාදිය නිවීමෙන්) නිවුණු යම් මහණෙක් වේ ද, ඔහට ඉඤ්ජිතයෝ නැත්තාහ.
2-3. හේ අන්තද්වය විශිෂ්ටඥානයෙන් දැනැ මධ්‍යයෙහි ප්‍රඥායෙන් නො ඇලෙයි, ඔහු ‘මහාපුරුෂ’ යයි කියමි. හේ මෙ ලොව්හි තෘෂ්ණා සිබ්බනිය ඉක්මැ ගියේ යි.
තිස්සමෙත්තෙය්‍යමාණව පෘච්ඡා නිමි.
3. පූර්‍ණක මාණව පෘච්ඡා
3-1. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) තෘෂ්ණා රහිත වූ (එහෙයින්) අටලෝදහම්හි කම්පා රහිත වූ අකුශල මූලාදිය දක්නා සුලු වූ භාග්‍යවතුන් වහන්සේ කරා ප්‍රශ්නයෙන් ප්‍රයෝජන ඇත්තමෝ ආම්හ, මෙලොවැ ඍෂිහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන බොහෝ යාග කරුවෝ කුමක් ඇසිරි කළාහු දෙවියනට දෙය ධර්‍මය පර්‍ය්‍යෙෂණ කෙරෙත් ද? (යාග කෙරෙත් ද?) භාග්‍යවතුන් වහන්ස, එ කරුණ මුඹ වහන්සේ පුළුවුස්මි. තෙල වදාළ මැනැවි.
3-2. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියයෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, පුණ්ණකය, ඔහු ජරාව (සසරදුක) නිසා මේ මනුෂ්‍යාදිභාවය පතන්නාහු (දෙවියනට) යාග කෙරෙත්.
3-3. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) මෙලොවැ මේ ඍෂීහු යැ මනුෂ්‍යයෝ යැ ක්‍ෂත්‍රියෝ යැ බ්‍රාහ්මණයෝ යැ යන යම් බොහෝ යාගකරුවෝ දෙවියනට යාග කෙරෙත් ද, භාග්‍යවතුන් වහන්ස, කිම ඔහු යාගයෙහි අප්‍රමත්ත වූවාහු ජාතිය ත් ජරාව ත් තරණය කළාහු ද? නිදුකාණෙනි, එය මුඹ වහන්සේ විචාරමි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
3-4. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය, ඔහු රූප ප්‍රතිලාභාදිය) ප්‍රාර්‍ත්‍ථනා කෙරෙති, (යාගාදිය) පසසති, ජල්පනය කෙරෙති, පුදති, (රූපාදි) ලාභය සඳහා පුනපුනා කාමයන් මැ (අපට වන්නේ මැනැවැ’යි) කියත්. යාගයෙහි යෙදුණු භවරාගයෙන් රැඳුණු ඔහු ජාති ජරා (ආදි සසරදුක) තරණය නො කළාහ’යි කියමි.
3-5. (ආයුෂ්මත් පුණ්ණක මෙසේ විචාරයි:) නිදුකාණෙනි, යාගයෙහි යෙදුණු ඔහු ඉදින් යාගයන් කරණ කොට ජාතියත් ජරාවත් නො තරණය කළාහු නම් නිදුකාණෙනි, එකල්හි දෙව්මිනිසුලොවැ කවරෙක් ජාතියත් ජරාවත් තරණය කෙළේ ද? එකරුණ පුළුවුස්මි. භාග්‍යවතුන් වහන්ස, තෙල මට වදාළ මැනැවි.
3-6. (බුදුහු මෙසේ වදාළහ: පුණ්ණකය,) සත්ලොවැ (පරාත්මභාව ස්වාත්මභාවාදී) පරාවරයන් නුවණින් විමසා (දත්) යම් ක්‍ෂීණාස්‍රවයක්හට ලොවැ කිසි තැනෙක්හි ඉඤ්ජිතයෙක් නැද්ද, (කෙලෙස් සන්හිඳීමෙන්) ශාන්ත වූ (කායදුශ්චරිතාදී) ධූම විරහිත වූ (රාගාදි) උපද්‍රව රහිත වූ ආශා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රව තෙම ජාති ජරා තරණය කෙළේ යයි කියමි.
පූර්‍ණක මාණවකපෘච්ඡා නිමි.
4. මෙත්තගූ මාණව පෘච්ඡා
4-1. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විචාරමි. වදාළ මැනවි. මුඹ වහන්සේ ඥාන - වේදයාගේ පරතෙරට පැමිණි කෙනකුන් කොට වැඩූ සිත් ඇති කෙනකුන් කොට හඟිමි. ලොවැ අනේක ස්වභාව වූ යම් කිසි දුක් කෙනෙක් වෙත් ද, මේ දුඃඛයෝ කොයින් උපන්නාහු ද?
4-2. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) ජාත්‍යාදි දුකට කාරණය (තෙපි) මා විචාරව, එය ප්‍රත්‍යක්‍ෂ කොට දැනගත්තකු සෙයින් තොපට ප්‍රකාශ කරම්හ. ලොවැ අනෙක ස්වරූප වූ යම් දුක් කෙනෙක් ඇද්ද එ හැම දුඃඛයෝ (තෘෂ්ණාදී) උපධි හේතුයෙන් උපදනාහ.
4-3. අපණ්ඩිත වූ යමෙක් (තෘෂ්ණාදි) උපධිය කෙරේ ද, අඥාන වූ හෙතෙම පුනපුනා සසර දුකට පැමිණෙයි. එහෙයින් (සංස්කාරයන් අනිත්‍යාදි විසින්) දන්නේ සසරදුක ජාතිය ප්‍රභව කොට ඇතැ’යි දක්නේ (තෘෂ්ණාදි) උපධිය නො කරන්නේ යි.
4-4. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) ඇපි යමක් විචාළමෝ ද එය මුඹ වහන්සේ අපට වදාළ සේක. අන් කරුණකුදු මුඹ වහන්සේ විචාරම්හ, එය දැන් වදාළ මැනැව, නුවණැත්තෝ (කාමාදි චතුර්විධ) ඕඝයත්, ජාති, ජරා, ශෝක, පරිදේව දුකත් කෙසේ ඉක්මවත් ද? සර්‍වඥ මුනිවූ මුඹ වහන්සේ අයදිමි. එය මට විසඳා වදාළ මැනැව. යම් හෙයකින් මුඹ වහන්සේ විසින් තෙල දහම (සත්ත්‍වයන් විසින් අවබෝධ කරන සේ පැනවීම් වශයෙන්) දන්නා ලද ද එහෙයිනි.
4-5. (බුදුහු මෙසේ වදාළහ: “මෙත්තගූ මාණවකය,) ස්මෘතිමත් වැ හැසිරෙනුයේ දක්නාලද දුඃඛාදි ධර්‍මයෙහි නොහොත් මෙ අත්බැව්හි මැ ආත්ම ප්‍රත්‍යක්‍ෂ වූ යම් දහමක් දැන ලොවැ විසත්තිකා සඞ්ඛ්‍යාත තෘෂ්ණාව තරණය කරන්නේ නම් ඒ නිර්‍වාණධර්‍මය ද (නිර්‍වාණගාමිනී ප්‍රතිපද්ධර්‍මය ද) තොපට ප්‍රකාශ කරන්නෙමි”යි.
4-6. මහර්ෂීන් වහන්ස, ස්මෘතිමත් වැ හැසිරෙනුයේ යම් දහමක් දැන ලොවැ විසත්තිකා (තෘෂ්ණා)ව තරණය කරන්නේ නම්, මම මුඹ වහන්සේ ගේ ඒ (ධර්මද්‍යොතක) වචනය ද රුස්මි, උත්තම වූ ඒ ධර්‍මය ද රුස්මි.
4-7. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය, අනාගතකාලාදි) උඩ ද (අතීතකාලාදි) යට ද (වර්‍තමාන කාලාදි) මැද සරස ද වූ යම් කිසි ධර්‍මජාතයක් තෙපි දන්නවු නම් තෙල උද්ධාදි ධර්‍මයෙහි තෘෂ්ණාව ද දෘෂ්ටිනිවේසනය ද අභිසංස්කාර විඥානය ද දුරු කරව, දුරු කොට (දෙවැදෑරුම්) භවයෙහි නො සිටිනේ යි.
4-8. මෙසේ වාසය කරනසුලු ස්මෘතිමත් වූ අප්‍රමත්ත වූ මහණ තෙම මමත්වයන් හැරපියා හැසිරෙනුයේ විද්වත් වූයේ මෙ සස්නෙහි මැ නොහොත්, මෙ අත්බව්හි මැ ජාතිය ද ජරාව ද සෝක-පරිදේව දුක ද දුරැලන්නේ යි.
4-9. (ආයුෂ්මත් මෙත්තගූ මෙසේ විචාරයි:) මහර්ෂි වූ මුඹ වහන්සේ ගේ තෙල වචනය පිළිගතිමි. ගෞතමයන් වහන්ස, (මුඹ වහන්සේ විසින් නිරුපධි වූ නිර්‍වාණය මොනොවට ප්‍රකාශ කරනලද. යම් හෙයින් බුදුහු ඒකාන්තයෙන් වෘත්තදුඃඛය දුරැලූහු ද එහෙයින් මැ මුඹ වහන්සේ විසින් තෙල දහම දන්නාලද.
4-10. මුනි වූ සර්‍වඥයන් වහන්ස, මුඹ වහන්සේ යම් කෙනකුන්ට සකසා (හැම කල්හි හෝ) ඔවා දෙන සේක් ද, ඔහුදු දුක් දුරැලන්නාහ’යි හඟිමි. බුද්ධනාගයන් වහන්ස, එහෙයින් එළඹ මුඹ වහන්සේ නමදිමි. භාග්‍යවතුන් වහන්සේ මට එක්වන් අවවාද කරන්නාහු නම් මැනැව.
4-11. (බුදුහු මෙසේ වදාළහ: මෙත්තගූ මාණවකය,) තෙපි බාහිතපාපී බ්‍රාහ්මණ වූ යමක්හු මාර්‍ග ඥානයෙන් නිවනට පැමිණියකු කොට (රාගාදි) කිඤ්චන රහිතයකු කොට කාමයෙහි ද භවයෙහි ද නො ඇලුණාක්හු කොට දන්නවු ද, ඒකාන්තයෙන් හෙතෙම මේ (කාමාදි) චතුරෝඝය තරණය කෙළේ යැ. ඕඝතරණය කළා වූ ද (රාගාදි) ඛිල රහිත වූ (දුඃඛාදියෙහි) කාංක්ෂා රහිත වූ හෙතෙම නිර්‍වාණපාරයට ගියේ ය.
4-12. තවද මෙ සස්නෙහි (ආත්මභවයෙහි හෝ) විද්වත් වූ ඥාන වේදයෙන් නිවනට පැමිණි යම් සත්ත්‍වයෙක් කුදුමහත් භවයෙහි මේ (රාගාදි) සඞ්ගය දුරැලා සිටියේ ද විගත තෘෂ්ණා ඇති හෙතෙම අනුපද්‍රව වූයේ ආශා රහිත වූයේ වෙයි. හෙතෙම ජාති ජරා (මරණය) තරණය කෙළේ යයි කියමි.
මෙත්තගූ මාණවක පෘච්ඡා නිමි.
5. ධෝතක මාණව පෘච්ඡා
5-1. (ආයුෂ්මත් ධෝතක මෙසේ විචාරයි:) භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි, තෙල වදාළ මැනැව. මහර්ෂීන් වහන්ස, මුඹ වහන්සේ ගේ වදන් රුස්නෙමි. මුඹ වහන්සේ ගේ ධර්‍මනිර්ඝෝෂය අසා තමාගේ (රාගාදිය) නිවනු සඳහා (අධිශීලාදියෙහි) හික්මෙන්නෙමි.