Cariyāpiṭaka

Basket of Conduct

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 461 segments

පෙන්වන කොටස් 401-461 න් 461

දසවැනි වූ මව්ඡරාජචරියා යි.
11. කණ්හදීපායන චරියාව
332. නැවත අනෙකක් කියමි. යම් කලෙක මම කණ්හදීපායන නම් ඍෂි වීම් ද එකල්හි මම සාධික වූ පනස්හවුරුද්දක් මුළුල්ලෙහි අධිකුශල ධර්‍මයෙහි නො ඇලුණෙම් බඹසරවස් විසීමි.
333. තෙල මාගේ අනභිරති චිත්තය කිසි එකෙකුදු නො දනි. යම් හෙයකින් මම මාගේ සිත්හි අනභිරතිය ඇතැයි කිසිවක්හට නො කීම් ද එහෙයිනි.
334. මා ගේ යහළු වූ සමාන බඹසරවස් ඇති මණ්ඩව්‍ය නම් වූ මහා ඍෂි තෙම පූර්‍ව කර්‍මයෙකින් යුක්ත වූයේ හුලැ හිඳුවනු ලැබී.
335. මම් ඔහුට උපස්ථාන කොට (හෙවත්) ඔහු කරා එළැඹ නිරෝග බවට පැමිණවීමි. ඔහු පිළිවිස මාගේ යම් අසපුවෙක් වී ද ඒ ස්වකීය අසපුව කරා පැමිණියෙමි.
336. මාගේ යහළු වූ එ බමුණු තෙම භාර්‍ය්‍යාව හා පුත්‍රයා හා රැගෙන තුන් දෙන එක් වැ ආගන්තුක වැ පැමිණියා වූ මා කරා එළඹියාහු යැ.
337. ඔවුන් සමඟ සතුටු වෙමින් සිය අසපුවෙහි හුන්නෙමි. දරු තෙමේ පන්දු කෙළිමින් සර්‍පයකු කෝප කෙළේ යැ.
338. ඉක්බිති ඒ කුමර තෙමේ පන්දුව ගිය මඟ සොයනුයේ අතින් සර්‍පයාගේ හිස ස්පර්‍ශ කෙළේ යැ.
339. ඔහුගේ ස්පර්‍ශයෙහි ලා විෂබල ඇසුරු කළ සර්‍ප තෙමේ අධික වූ කෝපයෙන් කිපියේ දරුවා එ කෙණෙහි දෂ්ට කෙළේ යැ.
340. සර්‍පයා විසින් දෂ්ට කරන ලදුයේ දෂ්ට කළ කාලය හා සමග දරු තෙමේ බිම වැටිණි. එ කරුණෙන් මම් දුකට පැමිණියෙමි. එ දුක (මා ගේ ශරීරයෙහි වූවක් මෙන්) මට පැමිණියේ යැ.
341. මම් දුකට පැමිණි ශෝකශල්‍යයෙන් විදුනාලද ඔවුන් අස්වසා පළමු කොට ශ්‍රේෂ්ඨ වූ ඉතා උතුම් වූ සත්‍යක්‍රියාව කෙළෙමි.
342. මම් පහන්සිත් ඇතියෙම් පිනින් අර්‍ත්‍ථ ඇතියෙම් සත් දවසක් මුළුල්ලෙහි මැ බඹසර හසළෙමි. එයින් මතු මාගේ මේ යම් බඹසර සැරීමෙක් අධිකයක් සහිත පනස් හවුරුද්දක් මුළුල්ලෙහි වී ද (මෙතෙක් කල්)
343. මම් නො කැමැති වැ මැ බඹසර හැසිරෙමි. මේ සත්‍යයෙන් (දරුවාට) සුව වේවා. යඤ්ඤදත්ත තෙමේ නැසුණු විෂ ඇති වැ ජීවත් වේවා.
344. මා විසින් සත්‍යක්‍රියාව කළ කල්හි ඒ සත්‍යක්‍රියාව සමග විෂවේගයෙන් කම්පිත වූයේ (විසංඥ භාවයෙන්) පිබිදී නැගීසිටියේ ය. කුමාර තෙමේ ද අරෝග විය. සත්‍යක්‍රියාවෙන් මා හා සමවූයෙක් නැති. තෙල මාගේ සත්‍යපාරමිතා යි.
එකොළොස් වැනි කණ්හදීපායන චරියා යි.
12. සුතසෝම චරියාව
345. නැවත අනෙකක් කියමි: යම් කලෙක මම සුතසෝම නම් මිහිපල් වූයෙම් ද එකල්හි පෝරිසාදයා විසින් ගන්නා ලදුයෙම් නන්‍ද බ්‍රාහ්මණ කෙරෙහි (තමා හා) කළ ප්‍රතිඥාව සිහි කෙළෙමි.
346. එක්සියක් කැත් රජුන්ගේ අතුල්තලයන් අවුණා තුලුන් (අහර සිඳීමෙන්) මලානික කොට මා යාග කිරීම සඳහා පැමිණ වී යැ.
347. පෝරිසාද තෙම ‘කිමෙක් ද තෙපි (මා අතින්) මිදීම කැමැත්තවු දැ’යි මා විචාළේ යැ ඉදින් තෙපි මා වෙත වටාලා එන්නවු නම් තොප ගේ කැමැත්ත පරිදි කරන්නෙමි’ යි කී.
348. උදෑසන මැ මාගේ පැමිණීම ඔහුට පිළින කොට සිත්කලු වූ ඉඳිපත්නුවරට පැමිණි එකල්හි තුන්සියක් යොදුන් රාජ්‍යය (මව්පියන්ට) පාවාදිනිමි.
349. පුරාතන වූ බුද්ධාදීන් විසින් සෙවුනා ලද සත්‍යවචන සඞ්ඛ්‍යාත සද්ධර්‍මය සිහි කොට නන්‍ද බ්‍රහ්මණයාහට ධනය දී පෝරිසාදයා කරා පැමිණියෙමි.
350. ඒ පෝරිසාදයා වෙත එළැඹීමෙහි ලා කිම මේ තෙම මා නසන්නේ දෝ හෝ, නො නසන්නේ දෝ හෝ’යි සැකයෙක් නැති. සබවස රක්නෙම් දිවි පුදා පෝරිසාදයා වෙත එළැඹියෙමි. සත්‍යවචනයෙන් ම හා සම වූයෙක් නැති. මේ මාගේ සත්‍යපරමාර්‍ත්‍ථ පාරමිතා යි.
දොළොස්වැනි සුතසෝම චරියා යි.
සත්‍යපාරමිතා නිමි.
6. මෛත්‍රී පාරමිතාව
13. සුවණ්ණසාම චරියාව
351. යම් කලෙක මම් මහවෙනෙහි ශක්‍රයා විසින් (උපදෙස් දීමෙන්) උපදවන ලද සාම කුමාර වූයෙම් ද එකල්හි මහවෙනෙහි සිංහ ව්‍යාඝ්‍රයනුදු මෙත් වැඩීමෙන් පැතිර වීමි. (සිහ වගහු පවා මෙත්සිත් ලැබූහ’යි සේයි.)
352. සිහවගුන් විසිනුදු දිවියන් විසිනුදු වලසුන් විසිනුදු මිහිවුන් විසිනුදු පසදමුවන් හූරන් විසිනුදු පිරිවරා වෙනෙහි විසීමි.
353. කිසි සත්ත්‍වයෙක් මා නො තැතිගන්වයි. (මම්) කිසිවක්හට බිය නො වෙමි. එකල්හි මෙත් බලයෙන් වහල්ලදුයෙම් මහවෙනෙහි සිත්අලවා වාසය කෙළෙමි.
තෙළෙස්වැනි සුවණ්ණසාම චරියා යි.
14. ඒකරාජ චරියාව
354. නැවත අන් චරියාවක් කියමි. යම් කලෙක මම් ඒකරාජ යයි ප්‍රසිද්ධ වූයෙම් ද එකල්හි උතුම් වූ දශකුශල කර්‍මපථශීලය සමාදාන වශයෙන් ඉටාගෙන මහපොළොව අනුශාසනා කෙළෙමි.
355. දශකුශලකර්‍මපථයෙහි නිරවශේෂ කොට සමාදන් වැ පවතිමි. සිව්සඟරාවතින් මහාජනයා සඞ්ග්‍රහ කරමි.
356. මෙසේ මෙලොව ද පරලොව ද මා අප්‍රමාද වැ වසන කල්හි දබ්බසේන නම් කොසොල් රජ (සිවුරඟසෙන් රැගෙන මාගේ රාජ්‍යයට) පැමිණ මා ගේ බරණැස් නුවර අසිඳගන්නේ–
357. බලසෙනඟ සහිත වූ රටවැසියා සහිත වූ ඇමති ආදි රාජූපජීවීන් ද නියම්ගම් වැසියන් ද යන සියල්ල අත්පත් කොට ගෙන මාවළෙක වළලැවී.
358. මා ගේ ඇමැතිමඬුලු ද සමෘද්ධ වූ රාජ්‍යය ද ඇතොවුරු ද අසිඳ ගන්නාලදුවහු මම් ප්‍රියපුත්‍රයකු සෙයින් දිටිමි. මෙත් වැඩීමෙන් මා හා සම වූයෙක් නැති. මේ මාගේ මෛත්‍රී පාරමිතාව යි.
තුදුස්වැනි ඒකරාජ චරියා යි.
මෛත්‍රී පාරමිතා නිමි.
7. උපෙක්ඛා පාරමිතාව
15. මහාලෝමහංස චරියාව
359. (ලෝමහංස වැ උපන්) මම මිනීඇටයක් කන්වයින් කොට සොහොනෙකැ ශයනය කෙළෙමි. එකල්හි ගම්දරුවෝ මා වෙත පැමිණ නන්වැදෑරුම් විප්‍රකාර දැක්වූහ.
360. ඔවුන් කෙරෙහි ඇතැම් කෙනෙක් සතුටු වූවාහු සංවේගයට පැමිණි සිත් ඇත්තාහු ගඳමල් ද විවිධ වූ බොහෝ වූ භෝජන ද යන පඬුරු එළවත්.
361. යම් කෙනෙක් මට දුක් උපදවත් ද යම් කෙනෙක් මට සුව උපදවත් ද එ හැම දෙනකුන්ට සම වූයෙම් වෙමි. (උපකාරකයනට) දයාවෙක් හෝ (අපකාරකයනට) කොපයෙක් හෝ නැති.
362. සුවදුක් දෙක්හි දු යශස්හි දු අයශස්හි දු මැදහත් වූයෙම් සියලු අටලෝදහම්හි සම වූයෙම් වෙමි. මේ මාගේ උපේක්‍ෂා පාරමිතා යි.
පසළොස්වැනි මහාලෝමහංස චරියා යි.
උපේක්‍ෂා පාරමිතා නිමි.
උද්දානය:
363. සුධඤ්ජය කුමාර වීමී. සෝමනස්ස නම් කුමාර වීමි. භිසාපදේශයෙන් දැක්වූ මහකඤ්චන චරියාව සමග අයොඝර රාජකුමාර ද වීමි. සෝණ පණ්ඩිත වීමි. මූගපක්ඛ නම් තේමියකුමාර වීමි. කපිරජ වැ උපන්මි. සච්ච නම් තාපස වීමි.
364. වට්ටකපෝතක වීමි. මත්ස්‍යරාජ වීමි. කණ්හදීපායන නම් ඍෂි වීමි. නැවැත සුතසෝම රජ වීමි. සාමකුමාර වැ ද ඒකරාජ වැ ද උපන්මි. ලෝමහංස චරියාවෙහි මා ගේ උපේක්‍ෂා පාරමිතාව විය. මෙසේ මහර්ෂී වූ මා විසින් බෝධිචර්‍ය්‍යායෙහි හැසිරෙන ලද.
365. මෙසේ කුදුමහත් භවයෙහි බහුප්‍රකාර වූ දුක් ද බහු ප්‍රකාර වූ සම්පත් ද විඳ උතුම් සම්බෝධියට පැමිණියෙමි.
366. (දානපාරමිතාදි භේද ඇති) දියයුතු දන් දී නිරවශේෂ කොට (කායිකසංවරාදි භේද ඇති) සිල් පුරා (ත්‍රිවිධ වූ මැ) මහාභිනිෂ්ක්‍රමණයෙහි පරතෙරට පැමිණ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
367. පණ්ඩිතයන් පිළිවිසැ (ප්‍රඥාපාරමිතාව පුරා) උතුම් වූ ප්‍රධන් වීර්‍ය්‍ය කොට ක්‍ෂාන්තියෙහි පරම කෝටියට පැමිණ උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියෙමි.
368. කුශලසමාදානාදියට දෘඪ අධිෂ්ඨාන කොට (ජීවිතාන්තරායෙහි පවා) සත්‍යවචනය ආරක්‍ෂා කොට මෛත්‍රියෙහි පරමොත්කර්‍ෂයට පැමිණ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
369. ලාභාලාභයෙහි දු යශස් අයශස්හි දු සම්මානන අවමානනයෙහි දු සියලු තැන්හි සමසිත් ඇති වැ උතුම් වූ සම්බෝධියට පැමිණියෙමි.
370. කුසීත බව භය විසින් දැක වීර්‍ය්‍යාරම්භය නිර්‍භය විසින් ද දැක (අධිශීලශික්‍ෂාදි) සම්භෝගයෙහි ආරබ්ධවීර්‍ය්‍ය ඇති වවු. මේ බුදුවරුන්ගේ අනුශාසනා යි.
371. විවාදය භය විසින් ද අවිවාදය නිර්‍භය විසින් ද දැක (කායචිත්ත දෙකින්) සමඟ වූවාහු (ඔවුනොවුන් කෙරෙහි මෘදු වූ සිත් ඇත්තාහු වවු) මේ බුදුවරුන්ගේ අනුශාසනායි.
372. (සමෘතිවිප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදය භය විසින් ද අප්‍රමාදය නිර්‍භය විසින් ද දැක අෂ්ටාඞ්ගික වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩවු. මේ බුදුවරුන්ගේ අනුශාසනා යි.
තුන් වැනි යුධඤ්ජයවර්‍ග යි.
මෙසේ බුදුහු තමන් වහන්සේ ගේ පූර්‍වජාතීන්හි ප්‍රතිපත්ති දුෂ්කරක්‍රියාව අතැඹුලක් සෙයින් ප්‍රකාශ කරන සේක් බුද්ධාපදානිය නම් වූ ධර්‍මදේශනාව වදාළසේක.
චරියාපිටකපෙළ නිමි.