Cariyāpiṭaka

Basket of Conduct

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 461 segments

පෙන්වන කොටස් 201-300 න් 461

172. මේ ශරීරය ඒකාන්තයෙන් බිඳීයේවා! මෙහි මැ විසිරයේවා! බොල්මිටක් සෙයින් මාගේ සිරුර විසිර යන කල්හි දු ශීලය නො බිඳින්නෙමි.
තුන් වැනි චම්පෙය්‍යනාග චරියා යි.
4. චූළබෝධි චරියාව
173. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් ශීලසම්පන්න වූ චුල්ලබොධි නම් පරිව්‍රාජක වීම් ද, එකල සියලු භවය භය වශයෙන් දැක නෛෂ්ක්‍රම්‍යය තත්ප්‍රතිපක්‍ෂ හෙයින් දැක පැවිදි වීමි.
174. මට රන් බඳු සිවිපැහැ ඇති යම් බමුණු බිරිඳක් වූ නම් ඕ තොමෝ ද සසරෙහි අපේක්‍ෂා රහිත වැ අභිනිෂ්ක්‍රමණ කළා යැ.
175. ඇපි නිරාලය වැ සිඳුනාලද තෘෂ්ණාබන්‍ධන ඇති වැ කුලයෙහි ගණයෙහි අපේක්‍ෂා නැති වැ ගම්නියම්ගම්හි හැසිරෙමින් බරණැස කරා පැමිණියම්හ.
176. එහි නුවණැති ඇපි දෙදෙන කුලයෙහි ගණයෙහි නො ඇලුණමෝ (ජනසඤ්චාර රහිත බැවින්) නිරාකුල වූ නිශ්ශබ්ද වූ රාජෝද්‍යානයෙහි වුසූම්හ.
177. බරණැස්රජ උයන දැක්මට ගොස් බැමිණිය දිටී. (හේ) මා කරා පැමිණ ‘මෝ තොමෝ තොපට කවරැ යැ, කවරක්හුගේ භාර්‍ය්‍යාවකැ’යි (මා) විචාළේ යැ.
178. මෙසේ කී කල්හි මම් ඔහුට මෙවදන් කීමි: මෝ තොමෝ මා ගේ භාර්‍ය්‍යා නො වෙයි. සහධාර්මික වූ සමානශික්‍ෂා ඇත්තකැ’යි කීයෙමි.
179. ඇය පිළිබඳ වැ බලවත් රාගයෙන් බැඳුණේ දසුන් (රාජපුරුෂයන්) ලවා ගන්වා ගෙන බලාත්කාරයෙන් පෙළමින් ඇතොවුරට ඇතුළු කරවී.
180. (ප්‍රව්‍රජ්‍යා ජාති වශයෙන්) මාගේ සහජාව වූ සමාන ශික්‍ෂා ඇති (උදකපාත්‍ර සාක්‍ෂි කොට ගත් බැවින්) ඔදපත්තිකී වූ භාර්‍ය්‍යාව ඇදගෙන යන කල්හි මට කෝප උපන.
181. කෝපය උපන් කල්හි ඒ හා සමග ශීලව්‍රතය සිහි කෙළෙමි. එහි මැ ඒ කෝපය නිග්‍රහ කෙළෙමි. මත්තෙහි වැඩෙන්නට නුදුන්මි.
182. ඉදින් කිසිවෙක් එ බැමිණිය තියුණු සැතින් කොටා නම් සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට සිල් නො මැ බිඳෙන්නෙමි.
183. එ බැමිණි මට අප්‍රිය නො වෙයි, මට බල නැත්තේ නො ද වෙයි, මට සර්‍වඥතාඥානය ප්‍රිය වෙයි, එහෙයින් ශීලය රක්‍ෂා කෙළෙමි’යි.
සතර වැනි චූළබෝධිචරියා යි
5. මහිසරාජ චරියාව
184. තවද අනික් චර්‍ය්‍යාවක් කියමි. යම් කලෙක මම් වෙසෙසින් වැඩුණු කය ඇති ශක්ති ඇති මහත් වූ සිරුරු ඇති බිහිසුණු දැකුම් ඇති මහවෙනෙහි හැසිරෙනසුලු මිහි වැ උපනිම් ද– (එකල්හි)
185-186. තෙල මහවෙනෙහි ප්‍රාග්භාරයෙහි ද ගිරිදුර්‍ගයෙහි ද වෘක්‍ෂමූලයෙහි ද ජලාශය සමීපයෙහි ද කිසි පෙදෙසෙක් මිහිවුන්ට සිටුනාතැන් වෙ ද ඒ ඒ තැන්හි සරනුයෙම් සොඳුරු තැනක් දිටිමි. එතැනට එළඹැ සිටුනෙම් ද හෝනෙම් ද වෙමි.
187. එකල්හි ලාමක වූ නිහීන ආචාර ඇති ලෝල වූ වඳුරෙක් එහි පැමිණ (මාගේ) කඳටෙහි ද නළලෙහි ද බැමෙහි ද සුලුදිය කෙරෙයි වසුරු කෙරෙයි–
188. එක් දවසකුදු දෙවැනි දවස්හි දු තෙවැනි දවස්හි දු සිව්වැනි දවස්හි දු හැම කල්හි දු එ මා දූෂණය කෙරෙයි. එ වඳුරු විසින් උපද්‍රැතයෙම් වෙමි.
189. එ රුක්හි (අධිපති වැ වෙසෙන) දෙවි (ඔහු විසින්) පෙළනලද මා දැක මට මෙවදන් කී : හීන වූ ලාමක වූ තෙල වඳුරු හඟිනුදු ඇන කුරයෙනුදු මැඩ නසව’යි කී.
190. එසඳ එ දෙවියා එසේ කී කල්හි මම් ඔහුට මෙ වදන් කීමි: කුමක් හෙයින් තෙපි (කුණප සදෘශ හෙයින්) කුණප වූ ලාමක වූ අනාර්‍ය්‍ය වූවහු සමග මා තවරා දැ’යි.
191. ඉදින් මම් ඔහුට කිපෙම් නම් ඔහුට ද වඩා හීනතරයෙම් වෙමි. මා ගේ සිලුදු බිඳෙන්නේ යැ. නුවණැති දෙවිමිනිස්හු ද මට ගරහන්නාහ’යි.
192. (නුවණැතියන් විසින්) ගර්හිත වූ ජීවිතයට ද වඩා පවිත්‍ර වූ ශීලයෙන් යුක්ත වැ මරණය මැ උතුමැ, කිම මම් ජීවිතය නිමිති කොට ද මෙරමා වෙහෙසනු කරන්නෙම් ද?
193. මේ තෙම මා මෙන් හඟිනේ අන් මිහිවුන්ට ද මෙසේ කරන්නේ යැ එහිලා ඔහු මැ (හඟින් ඇන මොහු) නසන්නාහ, ඒ නැසීම මට මිදීම වන්නේ යි.
194. හීන මධ්‍යම උත්කෘෂ්ටයන් නිමිති කොට ඔවුන් විසින් කළ අවමානය ඉවසනුයේ සප්‍රාඥ තෙමේ මෙසේ සිතින් ප්‍රාර්‍ත්‍ථනා කළ පරිදි (සර්‍වඥතාඥානය) ප්‍රතිවේධ කෙරේ යයි.
පස් වැනි මහිසරාජචරියා යි.
6. රුරුමිගරාජ චරියාව
195. නැවත ද අනෙක් චර්‍ය්‍යාවක් කියමි. යම් කලෙකැ මම මොනොවට තැවූ රන් බඳු පැහැ ඇති විශුද්ධ වූ සිල් හා එකඟ වූ සිත් ඇති රුරු නම් මෘගරාජ වීම් ද,
196. එකල්හි පුෂ්පඵලාදීන් රමණීය වූ ජනවාස රහිත වූ මිනිසුන්ගේ හැසිරීම් නැති රම්‍ය ප්‍රදේශයෙක්හි වූ, එහි සිත්කලු ගං ඉවුරෙකැ වාසයට පැමිණියෙමි.
197. එකල්හි උඩුහොයැ ධනහිමියන් විසින් (ණය නො දෙනුයෙන්) පෙළනලද පුරුෂයෙක් (මෙයින්) රැකෙම්වා හෝ මියෙම්වා හො’යි ගඟෙහි පැන්නේ යැ.
198. හෙතෙම රෑදාවල් ගඟ මහවතුරෙහි ඉල්පෙනුයේ බැගෑ හඬින් හඬමින් ගඟමැද යෙයි.
199. මම් බැගෑපත් වැ හඬන්නා වූ ඔහුගේ හඬ අසා ගංඉවුරෙහි සිට තෝ කවර මිනිසෙක්හි දැ යි විචාළෙමි.
200. එකල්හි හෙ ද මා විසින් පුළුවුස්නාලද්දේ ‘මම් ණයහිමි ධනිකයන් කෙරෙන් බියපත් වූයෙම් තැතිගත්තෙම් මහානදියට පැනපීමි’යි තමාගේ ක්‍රියාව ප්‍රකාශ කෙළේ යැ.
201. ඔහුට කරුණා උපදවා මාගේ දිවි පුදා රැය අඳුරෙහි ගඟට පිවිස ඔහු (පිට හිඳුවා එයින්) බැහැර කෙළෙමි.
202. (විඩා හැරපියා) අස්වැසුණුකල් දැන මම් ඔහුට මෙ වදන් කීමි: තොප අතින් එක්වරයක් ඉල්වමි. ‘නහමක් මා කිසිවක්හට කියව’යි.
203. හෙ නුවරට ගොස් (රන්මුවකු) පුළුවුස්නාලදුයේ ධනය නිමිති කොට ඇතියේ (රජුට මා) දැන්විය. හෙතෙම රජු ගෙන මා වෙත එළැඹියේ යැ.
204. (මා විසින් ඔහුට කළ) යම් පමණ උපකාරයෙක් වී ද, එහැම මා විසින් රජුට දන්වන ලද. රජ එබස් අසා මිත්‍රද්‍රෝහි වූ අනාර්‍ය්‍ය වූ මොහු මෙතැන්හි මැ නසාපියමි’යි ඒ පුරුෂයාහට හීය දුන්නෙහි සැදී යැ.
205. මම් ඔහු රක්නෙම් ‘මහරජ තෙල පුරුෂයා සිටීවා. මම් තොපට රීසිදෑ කරනුයෙම් වෙමි’යි මාගේ ආත්මයෙන් ඔහු පරිවර්‍තන කෙළෙමි. (මරණයෙන් මුදවාලීමි)
206. මාගේ ශීලය මැ රැකපීමි. මාගේ දිවි නො රැක්කෙමි. එකල්හි සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට මම් සිල්වත් වීමී.
සවැනි රුරුමිගරාජ චරියා යි.
7. මාතඞ්ග චරියාව
207. තවද අන් චරියාවක් කියමි: යම් කලෙක මම් ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති ශීල සම්පන්න වූ සමාහිත වූ සිත් ඇති නමින් මාතඞ්ග නම් තාපස වැ උපනිම් ද,
208. (එකල ජාතිමත්ත නම්) බමුණු ද මමද (පැවිදි වැ) අපි දෙදෙන ගං ඉවුරෙකැ වාසය කළම්හ. මම් උඩුගඟ වසමි, එ බමුණු යටිගඟ වෙසෙයි.
209. හෙතෙම ගංතෙර හැසිරෙනුයේ උඩුගඟැ පිහිටි මා ගේ අසපුව දිටී. එහි දී මට පරිභව බැණ මා මුදුන් පැළේව’යි ශාප කෙළේ යැ.
210. ඉදින් මම ජටිලයාහට කිපියෙම් නම්, ඉදින් මම සිල් නො රැකියෙම් නම් මම ඔහු දෙස බලා ඔහු හළු මෙන් කරන්නට සමර්‍ත්‍ථයෙමි.
211. කුපිත වූ දූෂිත සිත් ඇති ඒ ජටිල තෙම මට යම් ශාපයක් කෙළේ ද, ඒ ශාපය ඔහු මත්තෙහි මැ වැටිණ. ඒ ශාපය උපායෙන් මුදාලීමි.
212. මා ගේ ශීලපාරමිතාව මැ ආරක්‍ෂා කෙළෙමි. ජීවිතය ආරක්‍ෂා නො කෙළෙමි. සර්‍වඥතාඥානය මැ සඳහා එකල්හි සිල්වත් වූයෙමි යි.
සත් වැනි මාතඞ්ග චරියා යි.
8. ධම්මදේවපුත්ත චරියාව
213. තවද අන් චරියාවක් කියමි: යම් කලෙකැ මම් මහායශස්ක වූ මහත්ඍද්ධි ඇති සියලු ලොවට අනුකම්පා කරන ධර්‍ම නම් දිව්‍ය පුත්‍ර වැ උපනිම් ද,
214. එකල්හි මම මහාජනයා දශකුශල කර්‍මපථයෙහි සමාදන් කරවමින් මිත්‍රයන් සහිත වූයෙම් පරිවාරජනයා සහිත වූයෙම් ගම්නියම්ගම්හි හැසිරෙමි.
215. පාපිෂ්ඨ වූ තද මසුරු වූ දිව්‍ය පුත්‍රයෙක් ද දශඅකුශලධර්‍මයන් ප්‍රකාශ කෙරෙමින් මිත්‍රයන් සහිත වූයේ පරිවාර ජනයා සහිත වැ පෘථිවිය ආසන්නයෙහි හැසිරෙයි.
216. ධර්‍මවාදී වූ මම ද අධර්‍මවාදී වූ දිව්‍යපුත්‍ර ද යන අපි දෙදෙන ඔවුනොවුන්ට ඉඳුරා විරුද්ධ වූවමෝ එක් දවසක් ප්‍රතිපථයෙහි තමා රියහිසින් මෙරමා රියහිස ගටමින් හමු වූම්හ.
217. එවිට ඒ ධාර්මික අධාර්මික දෙදෙනා ගේ මඟීන් ඉවත්වීම නිමිති කොට භය ජනක වූ කලහයෙක් විය. මහාසඞ්ග්‍රාමයෙක් එළඹ සිටියේ යැ.
218. ඉදින් මම් ඒ අධාර්මිකදේවතාවාට කිපුණෙම් නම් (එයින් මාගේ) තපෝගුණ බිඳී යන්නේ යැ. ඉදින් මම කිපියෙම් නම් පරිවාර සහිත වූ ඔහු ධූලි කරන්නට පොහොසත්මි.
219. වැළිදු මම ශීලසංරක්‍ෂණය පිණිස සිත සන්හිඳුවාගෙන මාගේ පරිවාරජනයා හා සමඟ ඉවත් වැ ඒ පාපී වූ දේවතාවාට මාර්‍ගය දිනිමි.
220. යථෝක්ත නයින් සිත සන්හිඳුවා ගෙන මාර්‍ගයෙන් ඉවත්වනු හා සමඟ එකෙණෙහි පාපී වූ දෙවියාට පෘථිවි තොමෝ විවර දුන.
අටවැනි ධම්මදේවපුත්ත චරියා යි.
9. අලීනසත්ත චරියාව
221. පඤ්චාල රටැ පිහිටි, දඹදිව අගනුවර වූ කම්පිල්ල නම් නගර වරයෙහි ආචාරශීලයෙන් හා රාජගුණයෙන් ද යුක්ත වූ ජයද්දිස නම් රජෙක් වී.
222. මම් එරජහට බහුශ්‍රුත වූ සිල්වත් වූ ගුණසම්පන්න වූ හැම කල්හි අනුරක්ත වූ පරිවාර ජනයා ඇති අලීනසත්ත, නම් පුත්‍ර වැ උපන්මි.
223. (එක් දවසක්) මා ගේ පියරජ මුවදඩ ගොස් පෝරිසාදයා වෙත එළැඹියේ යැ. ඒ පෝරිසාද තෙම ‘තෝ මට ගොදුරු වූයෙහි, නහමක් සැලෙව යි මපියාණන් (අත) අල්ලාගත්තේ යැ.
224. ඒ පෝරිසාදයා ගේ වචනය අසා බියපත් වූයේ ත්‍රස්ත වැ කම්පා වූයේ යැ, පෝරිසාදයා දැක රජහුගේ ඌරුස්තම්භය විය.
225. (රජ) මේ මුවමස ගෙන මා මුදාහරුව’යි කී. පෙරළා ඊමට ප්‍රතිඥා දී අවුත් ඒ නන්‍ද බමුණුට ධනය දී (ඉක්බිති) පිය රජ තෙම මා කැඳවී.
226. පුත, රජය පිළිගනුව, මේ පුරය රක්නෙහි, නහමක් පමා වෙව, නැවත මා ගේ ඊමට මවිසින් පෝරිසාදයාහට ප්‍රතිඥා දෙනලද.
227. මම් මාපියන් වැඳ පියා සඳහා ආත්මය පරිත්‍යාග කොට දුන්න හා කඩුව බහා තබා පෝරිසාදයා වෙත එළඹියෙමි.
228. ආයුධ ගත් අත් ඇති වැ පැමිණි මා දැක හේ ත්‍රස්ත වී නම් මා ඔහු තැතිගැන්වූ කල්හි ඒ හේතුවින් මාගේ ශීලය බිඳෙන්නේ යැ.
229. ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ඔහුට අප්‍රිය වූ බසක් නො කීමි. මෙත්සිත් ඇතියෙම් හිතවාදී වැ මෙවදන් කීමි.
230. මහපියාණෙනි, මහගිනි දල්වාලව. මම් රුකට නැඟී පනින්නෙමි. තෙපි පැලැහුණු කල් දැන මා (මස්) කව.
231. මෙසෙයින් ශීලව්‍රත හේතුයෙන් මාගේ දිවි නො රැක්කෙමි මම හැම කල්හි ප්‍රාණවධ කරන ඔහු පැවිදි කරවීමි.
නව වැනි අලීනසත්ත චරියා යි.
10. සඞ්ඛපාල චරියාව
232. තවද අනෙකක් කියමි. යම් කලෙක මම් නාගර්ද්ධි ඇති, දළ මැ අවි කොට ඇති උග්‍ර වූ විෂ ඇති දෙදිව් ඇති නාගයන්ට අධිපති වූ සඞ්ඛපාල නම් නාරජ වීම් ද.
233. ඔබිනොබ යන මහාජනයා විසින් ගැවැසිගත් මාවතෙකැ සතර මංසන්‍ධියක් සමීපයෙහි වූ (තුඹසක් මතුයෙහි) සතර අඞ්ගයන් ඉටා එහි වාස කෙළෙමි.
234. ‘සිවියෙන් හෝ සමින් හෝ මසින් හෝ ඇටනහරින් හෝ යමක්හට මෙයින් කටයුතු වී නම් (ඔහුට) එ දෙනලද මැ යැ, හෙතෙම ගෙන යේව’යි.
235. රළු වූ දරුණු වූ නිෂ්කාරුණික වූ වැදිපුත්තු (සොළොස් දෙනෙක්) මා දුටුවාහු යැ (ඔහු) දඬුමුගුරු ගත් අත් ඇත්තාහු මා කරා එළඹියාහු යැ.
236. ඒ භෝජපුත්‍රයෝ (මාගේ) නැහැයෙහි ද නඟූටු පෙදෙසෙහි ද පිටකටු සමීපයෙහි ද (හුලින්) විද කදෙහි නඟා මා ගෙන ගියාහු යැ.
237. එකල්හි මම් රිසි වූයෙම් නම්, සයුරු කෙළවර කොට ඇති වන සහිත වූ ගල් සහිත වූ පොළොව නාසා වාතයෙන් දවන්නෙමි.
238. හුලින් විදුනා කල්හි දු අඩයටියෙන් කොටනා කල්හි දූ ඒ වැදිපුත්නට නො කිපියෙමි. තෙල මාගේ ශීලපාරමිතාව යි.
දස වැනි සඞ්ඛපාලචරියා යි.
උද්දානය:
ශීලව නම් හස්තිරාජ යැ භූරිදත්ත නාගරාජ යැ චම්පෙය්‍ය නාගරාජ යැ චූළබෝධි පරිව්‍රාජක යැ මහිසරාජ යැ රුරු මෘගරාජ යැ මාතඞ්ග පණ්ඩිත යැ ජයද්දිසපුත්‍ර වූ අලීනසත්ත කුමාර යැ යන–
මෙ හැම චරියාවෙන් ශීලය ම බල කොට ඇත්තාහ. (පරමාර්‍ත්‍ථපාරමී සඞ්ඛ්‍යාත) ශීලයට පරිෂ්කාර වූවාහු යැ (ශීලපරමාර්‍ත්‍ථපාරමිතා අසම්පූර්‍ණ හෙයින්) සප්‍රදේශ වූවාහු යැ (එහි දී) ජීවිතය රක්‍ෂා කෙරෙමින් ශීලය හාත්පසින් රක්‍ෂා කෙළෙමි.
සඞ්ඛපාලනාගරාජ වූ මා විසින් හැම කල්හි මැ යම් කිසිවක්හට ජීවිතය පරිත්‍යාග කරනලද, එහෙයින් ඕ තොමෝ (මාගේ) ශීලපරමාර්‍ත්‍ථපාරමී නම් වූ යැ.
දෙ වැනි හස්තිනාගවර්‍ගය යි.
ශීලපාරමිතා නිමි.
3. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව
1. යුධඤ්ජය චරියාව
239. යම් කලෙක මම අපරිමිත වු (භෝගපරිවාර) යසස් ඇති යුධඤ්ජය නම් රාජපුත්‍ර වූයෙම් ද හිරුරැස් වැටෙන කල්හි නැසීගිය පිනිබිඳු දැක (අනිත්‍යතාමනසිකාර විසින්) සංවේගයට පැමිණියෙමි.
240. එ පිනිබිඳුවලැ අනිත්‍යතාව මැ පෙරදැරි කොට සංවේගය නැවත නැවත වැඩීමි. මම් මවු ද පියා ද වැඳ පැවිද්දට (අවසර) ඉල්වීමි.
241. නියම්ගම්වැසියන් සහිත වූ රටවැසියන් සහිත වූ රාජපුරුෂයෝ බදැඳිලි වූවාහු (‘නහමක් පැවිදි වෙව’යි) මා අයදිති. (මවුපිය දෙදෙන වැළිත්) පුත, සමෘද්ධ වූ ධනධාන්‍යයෙන් පිරුණු මහපොළොව අද මැ පිළිගනුව.
242. රජු සහිත වු ඇතොවුරු සහිත වූ නියම්ගම් වැසියන් සහිත වු රටවැසියන් සහිත වු මහජනයා බැගෑපත් වැ පරිදේවනා කරන කල්හි අපේක්‍ෂා රහිත වැ පැවිදි වීමි.
243. සියලු පෘථිවියෙහි රාජ්‍යය ද ඥාතිපරිවාර ජනයා ද ඓශ්වර්‍ය්‍යය ද හරනෙම් සම්‍යක්සම්බෝධිය මැ කරුණු කොට නො සිතුයෙමි.
244. මව්පිය දෙදෙන මට ද්වේෂ්‍ය නො වෙති. මහත් ඓශ්වර්‍ය්‍ය ද ද්වේෂ්‍ය නො වෙයි. සර්‍වඥතාඥානය මට ප්‍රිය වෙයි. එහෙයින් රාජ්‍යය හැරපීමි.
පළමුවැනි යුධඤ්ජය චරියා යි.
2. සෝමනස්ස චරියාව
245. නැවත අනෙකක් කියමි: යම් කලෙක මම ඉන්‍ද්‍රප්‍රස්ථ නම් උතුම් පුරයෙහි (මවුපියන් විසින්) පතන ලද ප්‍රිය කරනලද ‘සෝමනස්ස’යයි ප‍්‍රසිද්ධ වූ රාජපුත්‍ර වූයෙම් ද, (එකල් හි මම)
246. සිල්වත් වූයෙම්, (ශ‍්‍ර‍්‍රද්ධාදි) ගුණයෙන් යුක්ත වූයෙම් සුන්‍දර වූ ප‍්‍රඥා ඇතියෙම් ජාතිවෘද්ධ ශිලවෘද්ධයන් පුදනසුලු වූයෙම් (පාපජිගුච්ජන ලක්‍ෂණ) ලජ්ජා ඇතියෙම් සතර සඞ්ග‍්‍රහවස්තුයෙහි දක්‍ෂ වූයෙම් වෙමි.
247. එ කූරුරජුට වල්ලභ වූ කුහක තාපසයෙක් විය. (හෙතෙම) පුෂ්පාරාම ඵලාරාම ද මල්ගොමු ද රෝපණය කොට ජීවත් වෙයි.