83. (මහරජාණෙනි) කළිඟුජනපදය වැසි නැත්තේ ය. දුර්භික්‍ෂ වූයේ ය. මහත් සාදුක් ඇත්තේ ය. එහෙයින් සර්‍වාඞ්ගයෙන් ධවල වූ ඇතුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ උතුම් ඇත්රජු දෙනු මැනව.
84. බමුණෝ මාගෙන් යමක් ඉල්ලත් නම් එහි කම්පිත නො වෙමි. එය දෙමි. ඇති වස්තුව සඟවාගෙන නො සිටිමි, මා සිත දානයෙහි ඇලෙයි.
85. යාචක ජනයා මාවෙත පැමිණි කල්හි ප්‍රතික්‍ෂේප කරලීම මට තරම් නො වෙයි. මාගේ දානපාරමිතා සමාදානය නො බිඳේවා, ගුණ විපුලවූ හස්තිරාජයා දෙන්නෙමැයි.–
86. (සියලු හස්ත්‍යලඞ්කාරයෙන් සරසන ලද) හස්තිරාජයා සොඬින් ගෙන රුවන් කෙණ්ඩියෙහි වූ සුවඳජලය අතැ එව බමුණන්ට හස්තිරාජයා දුනිමි.
87. සර්‍වධවල වූ හස්තිරාජයා දෙන්නා වූ මට නැවත වරක් සිනේරුවනාවතංස කොට ඇති මහපොළොව කම්පිත විය.
88. ඒ මඟුලැත්රජු පරිත්‍යාග කිරීම හේතුකොට ගෙන කෝප වූ සිවි රටවැස්සෝ රැස්වූවාහු. (වෙස්සන්තරරජ) වඞ්කපර්‍වතයට යේවයි සිය රටින් (මා) නෙරපූහ.
89. ඒ සිවි රැටියන් විසින් මා නෙරපන කල්හි කම්පාවක් හැකිළීමක් නැති ව මහාදානය පවත්වනු පිණිස එක්වරයක් ඉල්ලීමි.
90. මවිසින් යාච්ඤා කරන ලද සියලු සිවිරටවාසීහු මට එක්වරයක් දුන්හ. එවිට මම කන්බෙරය (තම්මැට්) ඝෝෂණය කරවා (සප්තශතක) මහාදානය දිනිමි.
91. ඉක්බිති මෙ දන්හලෙහි බිය එළවන මහත් ශබ්දයෙක් වෙයි. දන්දීම් හේතුවින් මා නෙරපත්. (එහෙත්) මම නැවතත් දන් දෙමියි.
92. එකල්හි ඇතුන් අසුන් ද රථයන් ද දැසිදසුන් ද දෙනුන් ද (මුතු මැණික් ආදි) ධනය ද පරිත්‍යාග කොට මහදන් දී නුවරින් නික්ම ගියෙමි.
93. නුවරින් නික්ම පෙරළා බලත් ම එකල්හිදු සිනේරුවනෝත්තංස කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ ය.
94. ආජානීය අසුන් සතර දෙනකුන් විසින් උසුලන රථය දන් දී හුදෙකලා ව දෙවැනි කෙනකුන් ද නැති ව සතරමං සන්‍ධියෙහි සිට මද්‍රීදේවියට මෙවදන් කීමි.
95. (සොඳුර) මද්‍රීදේවිනි, තෙපි කෘෂ්ණජිනාවන් වඩා ගනුව. බාල වූ ඕ සැහැල්ලු ය, මම ජාලිය කුමරුවන් වඩාගනිමි. වැඩිමහලු සොහොයුරු හේ බර ය.
96. මද්‍රීදේවී තොමෝ කෘෂ්ණජිනා කුමරිය හෙළ පියුමක් මෙන් වඩා ගත්තා ය. මම් ජාලියකුමරු රන්රුවක් මෙන් වඩා ගත්තෙමි.
97. මෙසේ ජාතිසම්පන්න වූ සියුමැලි වූ රජදරු වූ අපි සතරදෙන විෂම වූ ද සම වූ ද (උස් පහත්) භූමි ප්‍රදේශයන් ඉක්මවමින් වඞ්කගිරියට ගියම්හ.
98. යම් කිසි මිනිස් කෙනෙක් පසු මගැ හෝ පෙර මගැ හෝ එත් ද ඔවුන් අතින් වඞ්කගිරිය කොහි දැයි මාර්‍ගය විචාළම්හ.
99. ඒ මිනිස්සු එහි දී අප දැක දුක්පත් වැ බස් පැවසූහ. වඞ්කගිරීය (මෙහි සිට) ඉතා දුර ය යි ඔහු දුක පළ කළහ.
100. ඉදින් ඒ දරුවෝ දෙදෙන මහවෙනෙහි වූ ඵලභරිත මහරුක් දකිත් ද ඔහු ඵල හේතුයෙන් හඬත්.
101. එසේ හඬන දරුවන් දැක සංවේගයට පත් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමී දරුවන්ට සමීප වෙත්.
102. සියලු අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගෙන් හොබනා වූ මද්‍රීදේවී තොමෝ අද්භූත වූ රෝමොද්ගමනය වන්නා වූ මේ ආශ්චර්‍ය්‍යය දැක සාධුකාර පැවැත්වූ ය.
103. වෙසතුරු රජහුගේ පින්තෙදින් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමීගියහ. මෙය ලෝකයෙහි ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයැ, අද්භූතයැ ද වේ. ලොමුදහගන්වයි.
104. දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දෙවියෝ මාර්‍ගය හකුළුවාලූහ. නික්මුණු දවස්හි ම සැහැරටට පැමිණියහ.
105. එකල මයිල් රජහු වෙත සැටදහසක් රජදරුවෝ වෙසෙත්. ඒ සියලු රජදරුවෝ දොහොත් මුඳුනෙහි තබා හඬමින් වෙස්සන්තර රජු කරා එළඹුණාහ.
106. එ රාජසමාගමයෙහි දී චේතරජුන් හා චේතකුමරුන් සමඟ පිළිසඳර කොට ඔහු එයින් නික්ම වඞ්කගිරියට ගියාහ.
107. එවිට සක්දෙව්රජ මහර්ද්ධි ඇති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා අමතා මනාසේ සකස් කළ අසපුවක් ද සිත්කලු වූ පන්සලක් ද මවාලව යි අණ කෙළේ යි.
108. මහර්ද්ධි ඇති විශ්වකර්‍ම තෙම සක්දෙව් රජහුගේ වචනය අසා මනාකොට සකස් කළ අසපුවක් ද සිත්කලු පන්සලක් ද මැවී.
109. නිශ්ශබ්ද වූ නිරාකුල වූ මහවනයට පිවිස අපි සතරදෙනමෝ එහි ගල් අතර වාස කළම්හ.
110. එකල ජාලිය කෘෂ්ණජිනා යන දෙදරුවන් ද මද්‍රීදේවිය ද මම් ද ඔවුනොවුන් නිසා ශෝකය දුරු කෙරෙමින් ඒ ආශ්‍රමයෙහි වාස කළම්හ.
111. මම අසපුයෙහි දෙදරුවන් රක්මින් එය නො සිස් කෙරෙමින් වෙසෙමි. මද්‍රීදේවී ඵලාඵල ගෙන එයි. ඕ තොමෝ අප තිදෙන පෝෂණය කෙරෙයි.
112. (මෙසේ) මහාවනයෙහි වාස කරන කල මගියෙක් මා වෙත එළඹියේ ය. හේ ජාලිය කෘෂ්ණජිනා යන මාගේ දරුවන් දෙදෙන ඉල්ලා සිටියේ ය.
113. පැමිණි යාචකයා දැක මට සොම්නස් උපන. එකල්හි දෙදරුවන් ගෙන බමුණට දුනිමි.
114. යම් කලෙක ජූජක බමුණුට තම පුතුන් දිනිම් ද එකල්හි මා දෙනුවහට මහාමේරුපර්‍වතවනයන් මුදුන් මල් කොට ඇති මහා ධරණී තොමෝ කම්පිත වූ ය.
115. නැවත ද ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ දෙව්ලොවින් බැස බමුණකු වැනි වෙස් ඇති ව සිල්වත් වූ පතිවත් දහමින් යුත් මද්‍රීදේවිය මාගෙන් ඉල්ලීය.
116. මද්‍රීදේවිය අත්හි ගෙන දියෙන් (බමුණුගේ) ඇඳිලි පුරවා ප්‍රසන්න වූ චිත්ත සංකල්පනා ඇති ව ඔහුට මද්‍රීදේවිය මම දුනිමි.
117. මද්‍රීදේවිය දෙනු ලබන කල්හි ගුවන් තෙලෙහි සිටි දෙවියෝ ද සතුටු වූහ. එකල්හි දු මහාමේරුපර්‍වතවනගහන මුදුන්මල් කොට ඇති මහා මේදිනී තොමෝ කම්පිත වූය.
118. ජාලිය පුත්‍රයා ද කෘෂ්ණජිනා පුත්‍රිකාව ද මද්‍රීදේවිය ද පරිත්‍යාග කරන්නා වූ මම සර්‍වඥතාප්‍රතිලාභය ම කාරණ කොට තැවුල් වශයෙන් නො සිතුයෙමි,
119. පුත්‍රයෝ දෙදෙන මට අප්‍රිය නො වෙත්. මද්‍රීදේවිය ද අප්‍රිය නො වේ. සර්‍වඥතා ඥානය මට ප්‍රියවෙයි. එහෙයින් ප්‍රිය වූ අඹුදරුවන් දුන්මි.
120. නැවත ද මහාවනයෙහි දී මවුපියන්ගේ සමාගමයෙහි දුක්පත් වැ හඬන කල්හි, සුඛදුඃඛ සල්ලාප කරන කල්හි.
121. බලවත් හිරිඔතප් දෙකින් යුක්ත ව මවුපියන් කරා එළැඹියෙමි. එකල්හි ද මහාමේරුපර්‍වතවනගහන ශෙඛර කොට ඇති වසුධාඞ්ගනා තොමෝ කම්පා වූ ය.
122. යළි ස්වකීය වූ ඥාතීන් හා සමඟ මහාවනයෙන් නික්ම නගර ශ්‍රේෂ්ඨ වූ උතුම් ජයතුරා නුවරට පිවිසියෙමි.
123. එකල්හි ද සත්රුවන් වැසි වට. මහමේ වට, මහාමේරු පර්‍වත වන ගහන මෞලි කොට ඇති වසුධාඩ්ගනා තොමෝ කම්පා වූ ය.
124. චේතනා රහිත සුවදුක් නොදත් මේ මහාපෘථිවී තොමෝ මාගේ දානබලයෙන් සත්වරක් කම්පා වූ ය.
නවවන වෙස්සන්තර චරියා යි.
10. සසපණ්ඩිත චරියාව
125. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් තණපත් පළා පලවැළ බුදින, මහවෙනෙහි හැසිරෙන අහිංසක වූ සා වැ උපනිම් ද,
126. එකල්හි වඳුරෙක සිවලෙක මස්කාවෙක මම යැ යන අපි නුදුරු පෙදෙසෙකැ වුසූම්හ. උදය සවස එක්තැන් වැ දක්නා ලැබෙම්හ.
127. මම් ඔවුනට “පවින් දුරුවවු, කුසල් දහම්හි යෙදී පවතුව” යයි කුශලාකුශලකර්‍මයෙහි අනුශාසනා කෙරෙමි.
128-129. පොහෝදවස්හි (පුරතුදුස්වක්රැය මඳක්) නුපුන්සඳ දැක ඔවුනට එහිදී ‘අද පොහෝ දිනය වෙයි. දක්‍ෂිණාර්‍හ කෙනකුන්ට දෙන්නට දන් පිළියෙළ කරවු. දක්‍ෂිණාර්‍හ කෙනකුන් කෙරෙහි දනක් දී පෙහෙවස් වසවු’ යයි කී යමි.
130. ඔහු මට ‘මැනැවැ’යි කියා ශක්ති පරිදි බල පරිදි දන් පිළියෙළ කොට දක්‍ෂිණාර්‍හයකු සෙවූහ.
131. මම් හිඳගෙන දක්‍ෂිණාවට හෝ දක්‍ෂිණාර්‍හයනට හෝ නිසි දෙයධර්‍මයක් සිතීමි. ‘ඉදින් මම් දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් දියයුතු කවර වස්තුවක් මට ඇද්ද’යි.
132. තල මුං මෑ සහල් ගිතෙල් හෝ මට නැත. මම් තණපතින් යැපෙමි. තණපත් (දක්‍ෂිණාර්‍හයනට දෙන්නට) නො හැක්ක.
133. ඉදින් පිඬු පිණිස මා වෙතට කිසිවෙක් ආ නම් මම ඔහුට සිය සිරුර දෙන්නෙමි. (එකල්හි) හෙතෙම නො සිස් වැ යන්නේ යි.
134. මා ගේ ඒ අදහස දැන සක්දෙව් රජ බමුණුවෙස් ගත් අත් බැවින් මාගේ දානාධ්‍යාශය විමසන පිණිස මා වසන වන ළැහැබ කරා එළඹියේ ය.
135. බමුණුවෙස් ගත් ඔහු දැක සතුටු වූයෙම් ‘ආහාර හේතුයෙන් මා සමීපයට ආයෙහි මැනවැ’ යන මෙවදන් කීයෙමි.
136. මම අද තොපට නුදුන්විරූ දනක් දෙමි. තෙපි ශීලගුණයෙන් යුක්ත වූවහු යැ(එහෙයින්) තොප විසින් මෙරමා පෙළෙනු නො නිසි වෙයි.
137. මෙහි එව. නොයෙක් දර රැස් කොට ගිනි දල්වව. (එහි පැන) මම මාගේ සිරුර පලහන්නෙමි. පැසුණු එය තෙපි බුදින්නවු යැ.
138. සක්දෙව්රජ ‘යෙහෙකැ’ යි සතුටුසිත් ඇතියේ නොයෙක් දර රැස් කළේ යැ. අඟුරු ගැබ් කොට මහත් වූ සෑයක් කෙළේ ය.
139. එහි ඒ ගිනිකඳ යම්සේ වහා මහත් වන්නේ ද එපරිද්දෙන් දල්වී යැ (මම) ධූලි වැකුණු මා ගේ ගාත්‍රයන් (තෙවරක්) සලාපියා එකත්පස් වැ හුනිමි.
140. යම් කලෙකැ ඒ මහත් වූ දරරැස හාත්පසින් ඇවිළගත්තේ ‘ධම ධම’ යන අනුකරණ කෙරේ ද එකල්හි දැල්සිළු අතුරෙහි වූ (අඟුරුරැස) මැද පැන වැටිණිමි.
141. යම්සේ ගිම්කලැ සිහිල්දිය නම් යම් කිසිවක්හු විසින් පිවිසියේ (ඔහුගේ) පීඩා පරිදාහ සන්සිඳුවා ද අස්වැසිලි හා ප්‍රීතිය හා උපදවා ද–
142. එසේ මැ එකල්හි දැල්වුණු ගින්නට පිවිසි මාගේ සියලු ශරීරපීඩා සිහිල්දිය සෙයින් සන්සිඳුවයි.
143. සිවි යැ සම් යැ මස්පිඩු යැ නහර යැ ඇට යැ හදමස් යැ යන මේ ඇති හුදු සියලු සිරුර (සක්දෙව්) බමුණුට මම දිනිමි’යි.
දස වැනි සසපණ්ඩිත චරියා යි.
උද්දානය:
යම් කලෙකැ යමෙක් අකිත්ති බ්‍රාහ්මණ වැ සඞ්ඛ බ්‍රාහ්මණ වැ. කුරුරජ වැ ධනඤ්ජය රජ වැ මහාසුදර්‍ශන රජ වැ මහාගෝවින්‍ද බමුණු වැ
නිමි රජ වැ චන්‍ද්‍රකුමාර වැ සිවිරජ වැ වෙස්සන්තර රජ වැ ශශපණ්ඩිත වැ. ඉපැද ඒ උතුම් දානයන් දුන්නේ නම් එකල්හි ඒ මම් මැ වීමී.
තෙල පරිත්‍යාගයෝ (මා ගේ) දානපරීෂ්කාරයෝ වෙති. තුලුහු දානපාරමිතා වෙති. (මාගේ) ජීවිතය යදියනට දී මේ දාන පාරමිතාව පිරීමි.
භික්‍ෂා පිණිස පැමිණි යාචකයා දැක තම සිරුර පරිත්‍යාග කෙළෙමි. දීමෙන් මා හා සමයෙක් නැති. මේ මාගේ දානපරමාර්‍ත්‍ථ පාරමිතාව යි.
පළමු වැනි අකිත්තිවර්‍ගය යි.
දානපාරමිතා නිමි.
2. ශීල පාරමිතාව
1. මාතුපෝසක චරියාව
144. යම් කලෙකැ මම් මහවෙනෙහි මාතුපෝසක වූ හස්තිරාජ වීම් ද එකලැ පොළෝතෙලෙහි සිල්ගුණයෙන් මා හා සම වූ කිසිවෙක් නැති.
145. මහාවනයෙහි දී වනචරපුරුෂයෙක් මා දැක රජුට මෙසේ සැල කෙළේ යැ. “මහරජ තොපට නිසි ඇත්රජෙක් මහවෙනෙහි වෙසේ යැ’යි.
146. ‘ඔහු ගැනීමෙහි ලා අගලින් අර්‍ත්‍ථයෙක් නැත. ඇතුන් බඳනා ටැඹිනුදු බොරුවළිනුදු ප්‍රයෝජන නො ද ඇති. සොඬින් ගත්කල්හි තෙමේ මැ මෙහි එන්නේ යැ’යි රජුට දැන්වී.
147. ඔහු ගේ එබස් අසා තුටුසිත් ඇති රජ තෙමේ ද ඇතුන් දමනය කරන මොනවට හික්මුණු නිපුණ ඇදුරකු යැවී යැ.
148. එ ඇත්ඇදුරු ද (එහි) ගොස් මවගේ යාපනය පිණිස පියුම්විල්හි නෙළුඹල හා නෙළුඹූදැලි උදුරන ඇත්රජු දිටී.
149. හෙතෙම මා ගේ ශීලගුණය දැන සිරුරුලකුණු විමසී යැ. ඉක්බිති ‘එව පුතැ’යි කියා මා ගේ සොඬ ගත්තේ යැ.
150. එකල්හි මට යම් පියවිසිරුරුබලයෙක් වී ද, ඒ අද ඇතුන් දහසක්හුගේ බලය හා සුදුසු වෙයි.
151. ඉදින් මා ගැනීම වෙතට පැමිණි ඔවුනට මම් කිපියෙම් නම් ඔවුන්ගේ මානුෂරාජ්‍යය පවා වැනැසීමට පොහොසත් වීමි.
152. එතෙකුදුවත් මම් (තමා කෙරෙහි වූ) සිල් රක්නා පිණිස ශීලපාරමිතාව පුරනු පිණිස, මා ටැඹෙහි බැඳ තබන්නහු දැක ද සිත්හි වෙනසක් නො කෙළෙමි.
153. ඉදින් එහි දී ඔහු පොරොවින් ද තෝමරයෙන් ද මා කොටන්නාහු නම් මා ගේ සිල් බිඳුනා බියෙන් ඔවුනට නො මැ කිපෙන්නෙමි.
පළමු වැනි මාතුපෝසක චරියා යි.
2. භූරිදත්ත චරියාව
154. නැවත අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති භූරිදත්ත නම් නාගරාජ වැ උපනිම් ද එකල්හි (මම්) විරූපාක්‍ෂ නම් මහරජු හා සමඟ (තව්තිසා) දෙව්ලොවට ගියෙමි.
155. එහි දී අත්‍යන්තසුඛයෙන් සමර්පිත වූ දෙවියන් දැක දෙව්ලොවට යනු පිණිස ශීල සඞ්ඛ්‍යාත වූ ව්‍රතචර්‍ය්‍යාව සමාදන් වීමි.
156. (මුවදෙවුම් ආදි) සිරුරුකිස කොට යැපෙන පමණ අහරක් වළඳා සතර අඟක් ඉටාගෙන තුඹසක් මතුයෙහි ශයනය කෙළෙමි.
157. (එ සතර අඟ නම්:) ‘යමක්හට සිවියෙන් සමින් මසින් නහරින් හා ඇටයෙන් වේවයි මෙයින් කටයුත්තෙක් ඇත්නම් ඒ දෙන ලද මැ යි හෙතෙම එය ගෙන යේව’යි.
158. අකෘතඥ වූ නෙසාදයා (වැද්දා) විසින් ලකුණු කියනලද ආලම්බන තෙමේ මා අල්වා ගත්තේ ය. හෙතෙම මා පැසෙක්හි බහා ඒ ඒ තැන කෙළවයි.
159. පැසෙහි බහාලන කල ද අතින් මඩනා කල ද ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ආලම්බනයා කෙරෙහි නො කිපී ගියෙමි.
160. ස්වකීය ජීවිතපරිත්‍යාගය තෘණශලාකාවක් පරිත්‍යාගයට ද වඩා ලඝු කොට මට වැටහෙයි. ශීල ව්‍යතික්‍රමය වූ කලි පොළොව පෙරැළීමක් මෙන් මට වැටහීගියේ යැ.
161. නිරතුරු ජාතිසියයක් මුළුල්ලෙහි මා ගේ ජීවිතය පරිත්‍යාග කරනෙම්. සතර දිවයින හෙයිනුදු සිල් නො මැ බිඳිනෙමි.
162. තවද සිල් රක්නා පිණිස සිල් පැරුම් පුරනු පිණිස හැනහැන මා පෙළායෙහි බහාලන ආලම්බනයා කෙරෙහි ද මා සිත තුළ වෙනසක් නො කෙළෙමි.
දෙ වැනි භූරිදත්තචරියා යි.
3. චම්පෙය්‍යානාග චරියාව
167. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති චම්පෙය්‍ය නම් දිව්‍යනාගරාජ වැ උපනිම් ද එකල්හිදු ශීලව්‍රත සමාදානයෙන් යුක්ත වූ ධාර්මිකයෙම් වීමි.
168. එකල්හි දු ධාර්මික වැ පෙහෙවස් සමාදන් වැ සිටි මා අහිතුණ්ඩිකයෙක් අල්ලාගෙන රජගෙදොර ක්‍රීඩා කරවයි.
169. එ අහිතුණ්ඩික තෙමේ නිල්වන් හෝ රන්වන් හෝ ලේවන් හෝ යම් පැහැයක් සිතා ද, ඔහු ගේ සිතට අනුව පවත්නෙමි. සිතූ ආකාර ඇත්තෙම් වෙමි.
170. මම් පොළොව ජලය කෙරෙමි. ජලය ද පොළොව කෙරෙමි. ඉදින් ඔහුට කිපුණෙම් නම් ඇසිල්ලෙකින් ඔහු හළු කොට පියමි.
171. ඉදින් මම් සිතට වසඟ වීම් නම් ශීලයෙන් පිරිහී යන්නෙමි. ශීලයෙන් පිරිහුණහට උත්තමාර්‍ත්‍ථය සිද්ධ නො වේ.