චරියාපිටක පාළි
ඒ භගවත් අර්‍හත් සම්‍යක් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා
1. දාන පාරමිතාව
1. අකීර්ති චරියාව
1. සාරා සඞ්ඛ්‍ය කල්ප ලක්‍ෂයක් තුළ (අප මහ බෝසතුන්ගේ) යම් චරියාවක් වූ නම් ඒ සියල්ල සම්‍යක් සම්බෝධිය හෙවත් සර්‍වඥතාඥානය මුහුකුරු වනු විය.
2. ඉකුත්වූ (සාරාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂ සඞ්ඛ්‍යාත) කල්පයෙහි කුදු මහත් භවයෙහි පුරුදු කරන ලද දානාදි ප්‍රතිපත්තිය හැර පියා මේ භද්‍රකල්පයෙහි චරිතය කියමි. (ශාරීපුත්‍රය) මාගේ වචනය අසව,
3. යම් කලෙක මම අකිත්ති නම් තවුස් ව ඉපිද ජනසඤ්චාර රහිත වූ කරගසින් ගහන වූ මහවනයෙහි පිවිස වාසය කෙළෙම් ද,
4. එකල මාගේ තවුස් තෙදින් තැවුණු සක්දෙව් රජතෙම බමුණු වෙස් ධරමින් පිඬු පිණිස මා වෙත එළඹ සිටියේ ය.
5. පවනින් අඹළ තෙල් ලුණු නැති (පිසූ) කරකොළ මාගේ දොර සිටියහු දැක භාජනයෙන් ගෙන (තමහට ඉතිරි නොකොට) ඔහට දිනිමි.
6. මම් සක්දෙව් රජහට කරකොළ දී භාජනය යටිකුරු කොට තබා නැවත (එදවස) අහර නොසොයා පන්සලට පිවිසියෙමි.
7. දෙවන තෙවන දවස්හි දු හේ මා වෙත එළැඹියේ ය. මම් මසුරු බැවින් නො සැලුණෙම් ලෝභයෙන් නොලැගුණෙම් එසෙයින් මැ දිනිමි.
8. ඒ දානහේතුයෙන් මාගේ ශරීරයෙහි විරූප බවෙක් නැති. දන්දීමෙන් ඇති වූ ප්‍රීති සුඛයෙන් හා අභිරතියෙන් එ තුන් දවස ඉක්මවීමි.
9. ඉදින් යම් හෙයෙකින් (ගුණයෙන්) උතුම් වූ දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් මසකුදු දෙමසකුදු නො සැලෙනුයෙම් නො පසුබස්නෙම් උතුම් වූ දානය දෙමි.
10. එ සක්දෙව් රජුට දන් දෙනුයෙම් යස පිරිවර සම්පත් හෝ (චක්‍රවර්ති සම්පත් ආදි වූ) ලාභයක් හෝ නො පැතීමි. වැළි, බුදුබව පතනුයෙම් ඒ දානමය පින්කම් කෙළෙමි යි.
පළමුවන අකීර්ති චර්‍ය්‍යාව යි.
2. සඞ්ඛ චරියාව
11. තවද අනිකුදු චරිතයක් කියමි. (එද අසව) යම් කලෙක (මම) සඞ්ඛ නම් බ්‍රාහ්මණ වීම් ද එකල (ස්වර්‍ණභූමිය කරා යන්නට) මහමුහුදෙන් එතරවනු කැමැත්තෙම් පටුන බලා ගියෙමි.
12. එ පෙරමඟ ගිමින් තැවුණු රළු බිම්හි වූ කතර අදන්මගට පිළිපන් ස්වයම්භූ අපරාජිත වූ පසේ බුදු කෙනකුන් වහන්සේ දිටිමි.
13. මම එසේ පෙරමඟ එන එ පසේබුදුන් දැක, මෙකරුණ සිතු වෙමි. පින් කැමතියාහට පින් කෙතක් ලැබුණේ යි කියා යි.
14. යම් සේ ගොවිපුරුෂයෙක් මහත් වූ අස්වනු ලැබෙන විපුල වූ ශෂ්‍යඵලදායක කෙතක් දැක එහි බිජුවට නො වපුරා නම් ඒ ගොවියා ධාන්‍ය කැමැතියෙක් නො වේ ද.
15. එ පරිද්දෙන් ම පින් කැමැති වූ මම පින් කෙත් අතුරින් අතිශයින් උතුම් වූ (ආර්‍ය්‍යශ්‍රාවකයන්ගෙන්) අග්‍ර වූ පසේබුදු කෙනකුන් වන පින්කෙතක් දැක උන් වහන්සේට පූජාසත්කාර නො කෙරෙම් නම් මම පින් කැමැතියෙම් නො වෙමි.
16. යම් සේ රාජමුද්‍රාධිකාර පදවිධර අමාත්‍යයෙක් හෝ සේනාපතියෙක් හෝ ඇතොවුරෙහි ද ඉන් පිටත බලකායාදීන් කෙරෙහි ද රාජානුශාසනය පරිද්දෙන් නො පිළිපදී ද ඔවුනට ධන ධාන්‍ය නොදේ ද හෙතෙම එම මුද්‍රාධිකාර ධූරයෙන් පිරිහේ.
17. එපරිද්දෙන් මම ද පින් කැමැතියෙම් උදාර වූ දක්‍ෂිණාර්‍හයකු දැක ඉදින් ඔබට දන් නොදෙම් නම් පුණ්‍යඵලයෙන් ද පිරිහෙමි.
18. මම මෙසේ සිතා (දුරදීම) වහන්සඟළ මුදාගෙන ඒ පසේබුදුන් වහන්සේ ගේ පා වැඳ (උන්වහන්සේට) පත්කුඩය සහ වහන්සඟළ ද දිනිමී.
19. සඞ්ඛ බ්‍රාහ්මණ වූ මම (ඒ පසේබුදුන්ට වඩා එකල) සියුමැලි ව සුවසේ වැඩී සිටියෙමි. එසේ වුව ද මාගේ දානපාරමිතාව පුරනුයෙම් මෙසේ උන්වහන්සේට ජත්‍රෝපාහනය දිනිමියි.
දෙවන සඞ්ඛ බ්‍රාහ්මණචර්‍ය්‍යා යි.
3. කුරුධම්ම චරියාව
20. තවද අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක (මම කුරුරට) උතුම් වූ ඉඳිපත් නුවර දානාදි වූ දස පින් කිරිය වතින් හෙවත් දශ කුශල කර්‍මපථයෙන් යුක්ත වූ ධනඤ්ජය නම් රජ වූයෙම් ද.
21-22. එකල බමුණෝ (අට දෙනෙක්) කලිඟු රටින් මා වෙත පැමිණියාහු ය. ධන්‍ය ලක්‍ෂණ සම්පන්න වූ මඞ්ගල සම්මත හස්තිරාජයා මාගෙන් ඉල්ලූහ. කලිඟු ජනපදය වැසි නැත්තේ ය, දුර්භික්‍ෂ ඇත්තේ ය, සාදුක් ඇත්තේ ය. එ හෙයින් උතුම් වූ නීලවර්‍ණ වූ අඤ්ජන හස්තිරාජයා අපට දුන මැනවයි අයැද සිටියහ.
23. යාචක ජනයා මා කරා පැමිණ යමක් ඉල්ලූ කල ඒ ප්‍රතික්‍ෂේප කිරීම මට නො නිසි වෙයි. මාගේ පාරමිතාසමාදානය නො බිඳේව යි මහත් වූ මේ මඞ්ගල හස්තිරාජයා දෙමි.
24. ඇත්රජු සොඬින් ගෙන රන් මුවා කෙණ්ඩියෙන් අතපැන් එව ඇත් රජු බමුණන්ට දිනිමි.
25-26. ඒ හස්ති රාජයා දුන් කල්හි ඇමැතියෝ මෙසේ කීහු. ධන්‍ය වූ මඞ්ගල ලක්‍ෂණ සම්පන්න වූ සඞ්ග්‍රාම විජයෙහි ප්‍රධාන වූ තොපගේ උතුම් ඇත්රජු කවර හෙයින් දුන්නහු ද, ඒ ඇතු දුන් කල්හි තොපගේ රාජ්‍යය කුමක් කරන්නේ ද.
27. මා ගේ මේ සිය ශරීරය ද දෙමි, සියලු ශරීරය ද දෙමි. සර්‍වඥතාඥානය මට ප්‍රියවෙයි. එ බැවින් මම හස්තිරාජයා දිනිමි යි.
තෙවන කුරුධර්‍ම චරිත යි.
4. මහාසුදස්සන චරියාව
28. යම් කලෙක (මම) කුසාවතී නුවර මහත් වූ බල ඇති මහාසුදර්‍ශන නම් සක්විති රජ වූ යෙම් ද,
29. ඒ නුවරදී මම් ඒ ඒ තැන්හි දවසට තුන් වරක් බෙර පියවි කර වීමි. එකල්හි (බ්‍රාහ්මණාදීන් අතුරෙන්) කවරෙක් කුමක් කැමැති වේ ද, කුමක් පතා ද, කවරක්හට කවර ධනයක් මා විසින් දෙනු ලැබේ ද,
30. කවරෙක් සා දුක් ඇත්තේ ද කවරෙක් පවස් ඇත්තේ ද, කවරෙක් මල්දම් කැමැත්තේ ද, නග්න වූ කවරෙක් නානා වර්‍ණයෙන් රඳනා ලද වස්ත්‍රයන් හඳිනු කැමැති වේ ද.
31. කවර මගියෙක් මගදී (වැසි සුළං අව්වෙන් වැළකීම පිණිස) ඡත්‍රයක් රිසි වේ ද, කවරෙක් හොබනා වූ මොළොක් වූ පාවහන් රිසි වේ දැයි උදය දවල් සවස ඒ ඒ තැන මෙසේ ඝෝෂණය කරවීමි.
32. (එසේ) ඒ දානය දස තැනක සියක් තැනක හෝ නො වෙයි. වැළිදු නොයෙක් සිය ගණන් තන්හි යාචකයන් උදෙසා ධනය පිළියෙළ කරන ලදුයේ යි.
33. ඉදින් දහවල වේවයි රාත්‍රියෙහි වේවයි යාචක ජනයා පැමිණේ නම් කැමති පරිද්දෙන් වස්තුව ලැබ ගෙන (පිරුණු) අත් ඇතිව මැ යෙයි.
34. දිවි ඇති තාක් ම මෙබඳු මහදන් දිනිමි. මට අප්‍රිය වූ අමනාප වූ වස්තුවක් මම නො දෙමි. මා සමීපයෙහි වස්තු රැස්කිරීමෙක් නැත්තේ ද නො වේ.
35. යම්සේ රෝගී වූ පුරුෂයෙක් එම රෝදුකින් මිදෙනු පිණිස ධනයෙන් වෙදහු සතුටු කොට විධි වූ පරිද්දෙන් (පිළිපැදීමෙන්) රෝගයෙන් මිදේ ද,
36. එ පරිද්දෙන් ම මම ඒ දන්නෙම් නිරවශේෂ වශයෙන් (සත්‍වයන්ගේ අදහස්) සපුරන පිණිස අඩුසිත පිරීමට යාචකජනයාට දන් දෙමි. එ ද අපේක්‍ෂා රහිතව කිසිවකුදු නො පතමින් හුදෙක් සර්‍වඥතාඥානය අවබෝධ කරගැනීමට දෙමි.
සතරවන මහා සුදර්‍ශන චරියා යි.
5. මහාගෝවින්‍ද චරියාව
37. තවද අනික් චරියාවක් කියමි: යම් කලෙක මම සත් රජුන්ට පුරෝහිත වූ සියලු රජුන් විසින් පුදනු ලැබූ මහාගෝවින්‍ද නම් බ්‍රාහ්මණ වූයෙම් ද,
38. එකල සත්රජයෙහි (රජුන්) මට එළවන ලද යම් පඬුරෙක් වී ද, එයින් මම (කිසිවකු විසින්) ඇළලිය නො හැකි සාගරය වැනි වූ මහා දානයක් දිනිමි.
39. මට ධන ධාන්‍යය ද අප්‍රිය නො වෙයි. මා ගේ වස්තු රැස් කිරීමෙක් නැත්තේ ද නො වෙයි. සර්‍වඥතාඥානය (එ ධනධාන්‍යයට) වඩා මට ප්‍රිය වෙයි. එහෙයින් උතුම් වූ ධනය දෙමි.
පස්වන මහාගෝවින්‍ද චරියා යි.
6. නිමිරාජ චරියාව
40. තවද අනික් චරියාවක් කියමි: යම් කලෙක මම මිථිලා නම් උතුම් නගරයෙහි පණ්ඩිත වූ පින් කැමති වූ නිමි නම් මහරජ වූයෙම් ද,
41. එකල මම සතර දිශාවට දොර ඇති චතුශ්ශාලාවක් කරවා මෘග පක්‍ෂි මනුෂ්‍යාදීන්ට ද එහි මහදන් පැවැත් වීමි.
42. හඳනා පොරෝනා වතුදු යහනුදු ආහාරපානදු සෙසු නොයෙක් බොදුනුදු නිරතුරු කොට තබා මහදන් පැවැත්වීමි.
43. යම්සේ සේවක පුරුෂයෙක් ධනහේතුයෙන් ස්වාමියාගේ සමීපයට පැමිණියේ කයින් වචනයෙන් සිතින් සතුටු කළ යුතු උපාය සොයා ද,
44. එපරිද්දෙන් මම ද උපනුපන් සියලු භවයෙහි ධනයෙන් සියලු සත්ත්‍වයන් සතප්පා සර්‍වඥතාඥානය (සියලු උත්සාහයෙන්) සොයන්නෙමි. ඒ උතුම් සම්‍යක් සම්බෝධිය විශේෂයෙන් ප්‍රාර්‍ත්‍ථනා කෙළෙමි යි.
සවන නිමිරාජ චරියා යි.
7. චන්‍දකුමාර චරියාව
45. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක (මම) පුෂ්පවතී නුවර ඒකරාජ නම් කසී රජහුගේ ඖරස පුත්‍ර වූ චන්‍ද්‍ර නම් කුමාර වූයෙම් ද,
46. එකල මම (ඛණ්ඩහාලයා කළ) යාග විධානයෙන් මිදුණෙම් යාගාවාටයෙන් නික්ම ගියෙම් අතිශයින් සංවේග උපදවා (වෙස්සන්තර රජුගේ දානය වැනි වූ) මහ දන් පැවැත්වීමි.
47. මම දක්‍ෂිණාර්‍හයන්හට ස පස්රැයක් පමණකුදු පවා නො දී නො පීමි. නො කෑයෙමි. නො බිදීමි.
48. යම් සේ වෙළඳෙක් (මඳ මිලයෙන් විකිණිගෙන) බඩු රැස් කොට යම් තැනෙක ලාභ මහත් වේ ද එතැන්හි ඒ බඩු ගෙන යේ ද,
49. එසේම ස්වකීය පරිභෝගයට වඩා අනෙක් ප්‍රතිග්‍රාහක කෙනකුන්ට දෙන ලද්ද මහත් ඵලවිපාක ඇත්තේ ය. එහෙයින් (තමන් අනුභව නො කොට) අනුන්ට දියයුතු ය. මත්තෙහි විපාකවාර සිය කොටසින් වන්නේ ය.
50. මේ කාරණය දැනගෙන කුදු මහත් භවයෙහි දන් දිනිමි. බුද්ධත්‍වයට පැමිණීම පිණිස දාන පාරමිතායෙන් මඳකුදු නො නැවැත්තෙමි යි.
සත්වන චන්‍ද්‍රකුමාර චරියා යි.
8. සිවිරාජ චරියාව
51. (යම් කලෙක මම) අරිට්ඨ නම් නුවර (ගෝත්‍රයෙන්) සිවි නම් වූ ක්‍ෂත්‍රිය රජ වූයෙම් ද, එකල මම උතුම් ප්‍රාසාදයෙහි හිඳ මෙසේ සිතූයෙමි:
52. ම විසින් නො දෙන ලද යම් කිසි මානුසක දානවස්තුවෙක් නැත. යමෙක් මාගෙන් ඇස ඉල්ලා නම් නො සැලුණු සිත් ඇතිව එය දෙන්නෙමි යි,
53. මා ගේ අදහස දැනගෙන දෙවියන්ට අධිපති වූ සක්දෙව් රජ දෙව් පිරිස්හි හුන්නේ මෙ වදන් කී:
54. මහත් රාජර්ද්ධී ඇති ඒ සිවිරජ තෙම උතුම් පහයෙහි හිඳ තමා දුන් විවිධ (බාහිර) දානය සිතන්නේ නො දිය හැකි ආධ්‍යාත්මික වස්තුවකුදු නො දකී.
55. එබැවින් තෙල දානාධ්‍යාසය සත්‍යයෙක් දෝ හෝ අසත්‍යයෙක් දෝ හොයි ඒ සිවිරජුහු විමසමි යි ඔහුගේ සිත යම් තාක් දැන ගනිම් ද ඒ තාක් මොහොතක් බලව.
56. පැසුණු හිස ඇත්තේ රැළි වැටුණු ශරීර ඇත්තේ, මෙකී ජරා යෙන් පීඩිතවූයේ වෙවුළමින් අඳ වෙස් ඇති වැ රජු කරා එළඹියේ ය.
57. එ කල ඒ බමුණු වෙස් ගත් සක් දෙව් රජ වමත ද දකුණත ද ඔසවා හිස මතුයෙහි ඇඳිලි කොට ගෙන මෙවදන් කී:
58. ධාර්මික වූ රට වඩන්නා වූ මහරජාණෙනි, තොප අයැද සිටිමි. තොපගේ දානාභිරතියෙන් ඇති වූ කීර්තිය දෙව් මිනිසුන් කෙරෙහි උස් වැ පැන නැඟිණ.
59. මා ගේ නේත්‍ර සඞ්ඛ්‍යාත වූ දෙනුවන අන්‍ධව ගියේ ය, නැසිණ. එහෙයින් මට එක් ඇසක් දෙනු මැනව. තෙපිදු එක් ඇසෙකින් යැපෙනු මැනවැයි කීයේ ය.
60. මම ඔහු ගේ වචනය අසා සතුටු වූයෙම්, සංවේගයට පැමිණි සිත් ඇතියෙම්, කරන ලද ඇඳිලි ඇතිවැ උපන් සොම්නස් ඇති වැ මෙවදන් කීමි.
61. මම දැන් (ආධ්‍යාත්මික වස්තු පරිත්‍යාග කෙරෙමැයි) සිතා පහයෙන් නික්ම මෙහි ආයෙමි. තෙපි මා ගේ සිත දැනගෙන මෙන් ඇසක් ඉල්ලන්ට ආවහු ද?
62. (අහෝ) විස්මයෙක (ඇස් දෙමැයි) මා සිත තුළ උපන් දානාධ්‍යාසය නිපන. මා මනදොළ පිරිණි. නුදුන් විරූ උතුම් දානය අද යාචකයාට දෙමි.
63. මෙහි එව සීවකය, (නො පසුබට වෙව) වීර්‍ය්‍ය කරව, මාගේ මේ ඇස් දීමෙහි ලා සහාය වෙව, පමා නො වෙව, කම්පා නො වෙව, දෑසම උපුටා යාචකයාට දෙව.
64. ඉක්බිති මා විසින් මෙසේ මෙහෙයන ලද කීකරු වූ සීවක වෙද තෙම (මා) ඇස තල් ලොඳක් සේ උදුරාගෙන යාචකයාට දුන්නේ ය.
65. සම්‍යක් සම්බෝධිය ම කරුණු කොට ඇස් දෙන්නට වෙදහු ලවා ඇස් උපුටන්නා වූ ද, එම උපුටා පියන ලද ඇස් ශක්‍ර බ්‍රාහ්මණයා අත තබන්නා වූ ද, දෙන ලද ඇස් ඇත්තා වූ ද, මාගේ දානාධ්‍යාසය පිළිබඳ වෙනසෙක් නැති.
66. (මා) දෙ ඇස මට අප්‍රිය නො වෙයි. මා විසින් ආත්මය තෙමේ ද්වේෂ කටයුතු ද නො වෙයි. නොහොත් මාගේ ආත්මය මට අප්‍රිය නො වේ. මට බුදු බව ප්‍රිය වේ එ බැවින් ඇස් දුනිමි යි.
අටවැනි සිවිරාජ චරියා යි.
9. වෙස්සන්තර චරියාව
67. ඵුසතී නම් වූ යම් කැත්දුවක් වෙස්සන්තර වූ මට මවු වූ ද ඕ තොමෝ අතීත ජාතියෙහි සක්දෙව් රජහට ප්‍රිය මෙහෙසි වූ ය.
68. සක් දෙව් රජතෙම ඒ ඵුසතී දේවියගේ (දිව්‍යගතික වූ) ආයුඃක්‍ෂය (මරණය) දැක, “සොඳුර, ඵුසතී දේවිය තිට වර දසයක් දෙමි. යමක් තිට කැමැත්තේ ද එය ගනුව”
69. යළි මෙසේ කියනු ලැබූ ඒ දේවී තොමෝ ශක්‍ර දේවේන්‍ද්‍රයාහට මේ වචනය කියූ. “කිමැ මා කළ අපරාධයෙක් ඇත් ද කිමැ ඔබ විසින් මම අප්‍රිය කරනු ලබම් ද. ගසක් උදුරා දමන මහ පවනක් මෙන් සිත්කලු වූ මෙම දෙව්ලොවින් මා ච්‍යුත කරවුදැ” යි.
70. මෙසේ කියනු ලැබූ සක්දෙවිරජ ද යළි ඒ මෙහෙසියට මෙවදන් කී; තී විසින් පව් නොකරන ලද ම ය – තෝ මට අප්‍රිය නො ද වෙයි.
71. තීගේ ආයුෂ මෙපමණෙක් ම ය– ච්‍යුතවන කාලය වන්නේ ය. මා දෙන ලද අතිශයින් උතුම් වූ දශවරය ගනුව.
72. සක්දෙව් රජු විසින් දෙන ලද වර ඇති ඒ ඵුසතී දේවී තොමෝ තුටුපහටු වූවා ප්‍රමුදිත ව මා ඇතුළත් කොට දශවරය ඉල්ලූ ය.
73. ඒ ඵුසතී තොමෝ තව්තිසා දෙව් ලොවින් ච්‍යුත ව අවුත් රාජවංශයෙහි ඉපිද ජේතුත්තර රාජධානියෙහි සඤ්ජය නම් කුමාරයා සමඟ එක් වූ ය.
74. යම් කලෙක මම ප්‍රිය මාතෘ වූ ඵුසතී දෙවියගේ කුස තුළ පිළිසඳ ගතිම් ද, එකල මාගේ දානාධ්‍යාසබලයෙන් මාගේ මව දන් දීමෙහි හැම කල්හි ඇලුණී වුව.
75. ඕතොමෝ නිර්ධන වූ ආතුර වූ ජරායෙන් ජීර්‍ණ වූ යාචක වූ මාර්ගික වූ ජනයා විෂයෙහි ද මහණ බමුණන් විෂයෙහි ද ධනහීනයන් විෂයෙහි ද අයැති නැතියන් විෂයෙහි ද දන් දෙයි.
76. (සඤ්ජයරජු දේවිය ගෙන) නුවර පැදකුණු කරන කල්හි ඵුසතී දේවී තොමෝ දසමසක් මුළුල්ලෙහි ධරා වෙළෙඳුන්ගේ වීථිමැද මා ප්‍රසව කළා.
77. මාගේ නම මවගෙන් ආයේ නො වෙයි. පියාගෙන් ආයේ ද නො වෙයි. මම වෛශ්‍යවීථියෙහි උපන්මි. එහෙයින් මම වෙස්සන්තර නම් වීමි.
78. යම් කලෙක මම උපතින් අටහැවිරිදි ළදරු වූයෙම් ද එකල්හි පහයෙහි හිඳගෙන දන් දෙන්නට සිතුවෙමි.
79. ඉදින් කිසිවෙක් මාගෙන් ඉල්ලා නම් හදවත ද ඇස ද ඇඟමස ද ලේ ද දෙන්නෙමි. දස්බව අස්වා ශරීරය ද දෙන්නෙමි.
80. නො සැලුණු නො හැකුළුණු යථාස්වභාව වූ දානාධ්‍යාසය සිතන කල්හි සිනේරුමහාවනයන් මුදුන්මල් කොට ඇති පෘථිවී තොමෝ කම්පා වූ ය.
81. අඩමසක් පාසා දන්හලට යන්නෙම් මස පිරීමෙන් හා සඳපිරීමෙන් ද යුක්ත වූ පණුරැසී පොහොයෙහි පච්චය නම් මඟුලැතු පිට නැඟී දන් දෙන්නට (දන්හල් කරා) එළඹියෙමි.
82. කලිඟුරට නම් දෙසින් බමුණෝ අටදෙනෙක් මා කරා පැමිණියහ. ඔහු ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණ සම්පන්න වූ මඞ්ගල සම්මත වූ පච්චය නම් හස්තිරාජයා මාගෙන් ඉල්ලූහ.