Cariyāpiṭaka

Basket of Conduct

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 461 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 101-200 න් 461

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
kn-cp:266.2
83. (මහරජාණෙනි) කළිඟුජනපදය වැසි නැත්තේ ය. දුර්භික්‍ෂ වූයේ ය. මහත් සාදුක් ඇත්තේ ය. එහෙයින් සර්‍වාඞ්ගයෙන් ධවල වූ ඇතුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ උතුම් ඇත්රජු දෙනු මැනව.
kn-cp:266.3
84. බමුණෝ මාගෙන් යමක් ඉල්ලත් නම් එහි කම්පිත නො වෙමි. එය දෙමි. ඇති වස්තුව සඟවාගෙන නො සිටිමි, මා සිත දානයෙහි ඇලෙයි.
kn-cp:266.4
85. යාචක ජනයා මාවෙත පැමිණි කල්හි ප්‍රතික්‍ෂේප කරලීම මට තරම් නො වෙයි. මාගේ දානපාරමිතා සමාදානය නො බිඳේවා, ගුණ විපුලවූ හස්තිරාජයා දෙන්නෙමැයි.–
kn-cp:266.5
86. (සියලු හස්ත්‍යලඞ්කාරයෙන් සරසන ලද) හස්තිරාජයා සොඬින් ගෙන රුවන් කෙණ්ඩියෙහි වූ සුවඳජලය අතැ එව බමුණන්ට හස්තිරාජයා දුනිමි.
kn-cp:266.6
87. සර්‍වධවල වූ හස්තිරාජයා දෙන්නා වූ මට නැවත වරක් සිනේරුවනාවතංස කොට ඇති මහපොළොව කම්පිත විය.
kn-cp:266.7
88. ඒ මඟුලැත්රජු පරිත්‍යාග කිරීම හේතුකොට ගෙන කෝප වූ සිවි රටවැස්සෝ රැස්වූවාහු. (වෙස්සන්තරරජ) වඞ්කපර්‍වතයට යේවයි සිය රටින් (මා) නෙරපූහ.
kn-cp:266.8
89. ඒ සිවි රැටියන් විසින් මා නෙරපන කල්හි කම්පාවක් හැකිළීමක් නැති ව මහාදානය පවත්වනු පිණිස එක්වරයක් ඉල්ලීමි.
kn-cp:266.9
90. මවිසින් යාච්ඤා කරන ලද සියලු සිවිරටවාසීහු මට එක්වරයක් දුන්හ. එවිට මම කන්බෙරය (තම්මැට්) ඝෝෂණය කරවා (සප්තශතක) මහාදානය දිනිමි.
kn-cp:266.10
91. ඉක්බිති මෙ දන්හලෙහි බිය එළවන මහත් ශබ්දයෙක් වෙයි. දන්දීම් හේතුවින් මා නෙරපත්. (එහෙත්) මම නැවතත් දන් දෙමියි.
kn-cp:266.11
92. එකල්හි ඇතුන් අසුන් ද රථයන් ද දැසිදසුන් ද දෙනුන් ද (මුතු මැණික් ආදි) ධනය ද පරිත්‍යාග කොට මහදන් දී නුවරින් නික්ම ගියෙමි.
kn-cp:268.1
93. නුවරින් නික්ම පෙරළා බලත් ම එකල්හිදු සිනේරුවනෝත්තංස කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ ය.
kn-cp:268.2
94. ආජානීය අසුන් සතර දෙනකුන් විසින් උසුලන රථය දන් දී හුදෙකලා ව දෙවැනි කෙනකුන් ද නැති ව සතරමං සන්‍ධියෙහි සිට මද්‍රීදේවියට මෙවදන් කීමි.
kn-cp:268.3
95. (සොඳුර) මද්‍රීදේවිනි, තෙපි කෘෂ්ණජිනාවන් වඩා ගනුව. බාල වූ ඕ සැහැල්ලු ය, මම ජාලිය කුමරුවන් වඩාගනිමි. වැඩිමහලු සොහොයුරු හේ බර ය.
kn-cp:268.4
96. මද්‍රීදේවී තොමෝ කෘෂ්ණජිනා කුමරිය හෙළ පියුමක් මෙන් වඩා ගත්තා ය. මම් ජාලියකුමරු රන්රුවක් මෙන් වඩා ගත්තෙමි.
kn-cp:268.5
97. මෙසේ ජාතිසම්පන්න වූ සියුමැලි වූ රජදරු වූ අපි සතරදෙන විෂම වූ ද සම වූ ද (උස් පහත්) භූමි ප්‍රදේශයන් ඉක්මවමින් වඞ්කගිරියට ගියම්හ.
kn-cp:268.6
98. යම් කිසි මිනිස් කෙනෙක් පසු මගැ හෝ පෙර මගැ හෝ එත් ද ඔවුන් අතින් වඞ්කගිරිය කොහි දැයි මාර්‍ගය විචාළම්හ.
kn-cp:268.7
99. ඒ මිනිස්සු එහි දී අප දැක දුක්පත් වැ බස් පැවසූහ. වඞ්කගිරීය (මෙහි සිට) ඉතා දුර ය යි ඔහු දුක පළ කළහ.
kn-cp:268.8
100. ඉදින් ඒ දරුවෝ දෙදෙන මහවෙනෙහි වූ ඵලභරිත මහරුක් දකිත් ද ඔහු ඵල හේතුයෙන් හඬත්.
kn-cp:268.9
101. එසේ හඬන දරුවන් දැක සංවේගයට පත් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමී දරුවන්ට සමීප වෙත්.
kn-cp:268.10
102. සියලු අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගෙන් හොබනා වූ මද්‍රීදේවී තොමෝ අද්භූත වූ රෝමොද්ගමනය වන්නා වූ මේ ආශ්චර්‍ය්‍යය දැක සාධුකාර පැවැත්වූ ය.
kn-cp:268.11
103. වෙසතුරු රජහුගේ පින්තෙදින් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමීගියහ. මෙය ලෝකයෙහි ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයැ, අද්භූතයැ ද වේ. ලොමුදහගන්වයි.
kn-cp:268.12
104. දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දෙවියෝ මාර්‍ගය හකුළුවාලූහ. නික්මුණු දවස්හි ම සැහැරටට පැමිණියහ.
kn-cp:270.1
105. එකල මයිල් රජහු වෙත සැටදහසක් රජදරුවෝ වෙසෙත්. ඒ සියලු රජදරුවෝ දොහොත් මුඳුනෙහි තබා හඬමින් වෙස්සන්තර රජු කරා එළඹුණාහ.
kn-cp:270.2
106. එ රාජසමාගමයෙහි දී චේතරජුන් හා චේතකුමරුන් සමඟ පිළිසඳර කොට ඔහු එයින් නික්ම වඞ්කගිරියට ගියාහ.
kn-cp:270.3
107. එවිට සක්දෙව්රජ මහර්ද්ධි ඇති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා අමතා මනාසේ සකස් කළ අසපුවක් ද සිත්කලු වූ පන්සලක් ද මවාලව යි අණ කෙළේ යි.
kn-cp:270.4
108. මහර්ද්ධි ඇති විශ්වකර්‍ම තෙම සක්දෙව් රජහුගේ වචනය අසා මනාකොට සකස් කළ අසපුවක් ද සිත්කලු පන්සලක් ද මැවී.
kn-cp:270.5
109. නිශ්ශබ්ද වූ නිරාකුල වූ මහවනයට පිවිස අපි සතරදෙනමෝ එහි ගල් අතර වාස කළම්හ.
kn-cp:270.6
110. එකල ජාලිය කෘෂ්ණජිනා යන දෙදරුවන් ද මද්‍රීදේවිය ද මම් ද ඔවුනොවුන් නිසා ශෝකය දුරු කෙරෙමින් ඒ ආශ්‍රමයෙහි වාස කළම්හ.
kn-cp:270.7
111. මම අසපුයෙහි දෙදරුවන් රක්මින් එය නො සිස් කෙරෙමින් වෙසෙමි. මද්‍රීදේවී ඵලාඵල ගෙන එයි. ඕ තොමෝ අප තිදෙන පෝෂණය කෙරෙයි.
kn-cp:270.8
112. (මෙසේ) මහාවනයෙහි වාස කරන කල මගියෙක් මා වෙත එළඹියේ ය. හේ ජාලිය කෘෂ්ණජිනා යන මාගේ දරුවන් දෙදෙන ඉල්ලා සිටියේ ය.
kn-cp:270.9
113. පැමිණි යාචකයා දැක මට සොම්නස් උපන. එකල්හි දෙදරුවන් ගෙන බමුණට දුනිමි.
kn-cp:270.10
114. යම් කලෙක ජූජක බමුණුට තම පුතුන් දිනිම් ද එකල්හි මා දෙනුවහට මහාමේරුපර්‍වතවනයන් මුදුන් මල් කොට ඇති මහා ධරණී තොමෝ කම්පිත වූ ය.
kn-cp:270.11
115. නැවත ද ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ දෙව්ලොවින් බැස බමුණකු වැනි වෙස් ඇති ව සිල්වත් වූ පතිවත් දහමින් යුත් මද්‍රීදේවිය මාගෙන් ඉල්ලීය.
kn-cp:272.1
116. මද්‍රීදේවිය අත්හි ගෙන දියෙන් (බමුණුගේ) ඇඳිලි පුරවා ප්‍රසන්න වූ චිත්ත සංකල්පනා ඇති ව ඔහුට මද්‍රීදේවිය මම දුනිමි.
kn-cp:272.2
117. මද්‍රීදේවිය දෙනු ලබන කල්හි ගුවන් තෙලෙහි සිටි දෙවියෝ ද සතුටු වූහ. එකල්හි දු මහාමේරුපර්‍වතවනගහන මුදුන්මල් කොට ඇති මහා මේදිනී තොමෝ කම්පිත වූය.
kn-cp:272.3
118. ජාලිය පුත්‍රයා ද කෘෂ්ණජිනා පුත්‍රිකාව ද මද්‍රීදේවිය ද පරිත්‍යාග කරන්නා වූ මම සර්‍වඥතාප්‍රතිලාභය ම කාරණ කොට තැවුල් වශයෙන් නො සිතුයෙමි,
kn-cp:272.4
119. පුත්‍රයෝ දෙදෙන මට අප්‍රිය නො වෙත්. මද්‍රීදේවිය ද අප්‍රිය නො වේ. සර්‍වඥතා ඥානය මට ප්‍රියවෙයි. එහෙයින් ප්‍රිය වූ අඹුදරුවන් දුන්මි.
kn-cp:272.5
120. නැවත ද මහාවනයෙහි දී මවුපියන්ගේ සමාගමයෙහි දුක්පත් වැ හඬන කල්හි, සුඛදුඃඛ සල්ලාප කරන කල්හි.
kn-cp:272.6
121. බලවත් හිරිඔතප් දෙකින් යුක්ත ව මවුපියන් කරා එළැඹියෙමි. එකල්හි ද මහාමේරුපර්‍වතවනගහන ශෙඛර කොට ඇති වසුධාඞ්ගනා තොමෝ කම්පා වූ ය.
kn-cp:272.7
122. යළි ස්වකීය වූ ඥාතීන් හා සමඟ මහාවනයෙන් නික්ම නගර ශ්‍රේෂ්ඨ වූ උතුම් ජයතුරා නුවරට පිවිසියෙමි.
kn-cp:272.8
123. එකල්හි ද සත්රුවන් වැසි වට. මහමේ වට, මහාමේරු පර්‍වත වන ගහන මෞලි කොට ඇති වසුධාඩ්ගනා තොමෝ කම්පා වූ ය.
kn-cp:272.9
124. චේතනා රහිත සුවදුක් නොදත් මේ මහාපෘථිවී තොමෝ මාගේ දානබලයෙන් සත්වරක් කම්පා වූ ය.
kn-cp:272.10
නවවන වෙස්සන්තර චරියා යි.
kn-cp:274.1
10. සසපණ්ඩිත චරියාව
kn-cp:274.2
125. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් තණපත් පළා පලවැළ බුදින, මහවෙනෙහි හැසිරෙන අහිංසක වූ සා වැ උපනිම් ද,
kn-cp:274.3
126. එකල්හි වඳුරෙක සිවලෙක මස්කාවෙක මම යැ යන අපි නුදුරු පෙදෙසෙකැ වුසූම්හ. උදය සවස එක්තැන් වැ දක්නා ලැබෙම්හ.
kn-cp:274.4
127. මම් ඔවුනට “පවින් දුරුවවු, කුසල් දහම්හි යෙදී පවතුව” යයි කුශලාකුශලකර්‍මයෙහි අනුශාසනා කෙරෙමි.
kn-cp:274.5
128-129. පොහෝදවස්හි (පුරතුදුස්වක්රැය මඳක්) නුපුන්සඳ දැක ඔවුනට එහිදී ‘අද පොහෝ දිනය වෙයි. දක්‍ෂිණාර්‍හ කෙනකුන්ට දෙන්නට දන් පිළියෙළ කරවු. දක්‍ෂිණාර්‍හ කෙනකුන් කෙරෙහි දනක් දී පෙහෙවස් වසවු’ යයි කී යමි.
kn-cp:274.7
130. ඔහු මට ‘මැනැවැ’යි කියා ශක්ති පරිදි බල පරිදි දන් පිළියෙළ කොට දක්‍ෂිණාර්‍හයකු සෙවූහ.
kn-cp:274.8
131. මම් හිඳගෙන දක්‍ෂිණාවට හෝ දක්‍ෂිණාර්‍හයනට හෝ නිසි දෙයධර්‍මයක් සිතීමි. ‘ඉදින් මම් දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් දියයුතු කවර වස්තුවක් මට ඇද්ද’යි.
kn-cp:274.9
132. තල මුං මෑ සහල් ගිතෙල් හෝ මට නැත. මම් තණපතින් යැපෙමි. තණපත් (දක්‍ෂිණාර්‍හයනට දෙන්නට) නො හැක්ක.
kn-cp:274.10
133. ඉදින් පිඬු පිණිස මා වෙතට කිසිවෙක් ආ නම් මම ඔහුට සිය සිරුර දෙන්නෙමි. (එකල්හි) හෙතෙම නො සිස් වැ යන්නේ යි.
kn-cp:274.11
134. මා ගේ ඒ අදහස දැන සක්දෙව් රජ බමුණුවෙස් ගත් අත් බැවින් මාගේ දානාධ්‍යාශය විමසන පිණිස මා වසන වන ළැහැබ කරා එළඹියේ ය.
kn-cp:274.12
135. බමුණුවෙස් ගත් ඔහු දැක සතුටු වූයෙම් ‘ආහාර හේතුයෙන් මා සමීපයට ආයෙහි මැනවැ’ යන මෙවදන් කීයෙමි.
kn-cp:276.1
136. මම අද තොපට නුදුන්විරූ දනක් දෙමි. තෙපි ශීලගුණයෙන් යුක්ත වූවහු යැ(එහෙයින්) තොප විසින් මෙරමා පෙළෙනු නො නිසි වෙයි.
kn-cp:276.2
137. මෙහි එව. නොයෙක් දර රැස් කොට ගිනි දල්වව. (එහි පැන) මම මාගේ සිරුර පලහන්නෙමි. පැසුණු එය තෙපි බුදින්නවු යැ.
kn-cp:276.3
138. සක්දෙව්රජ ‘යෙහෙකැ’ යි සතුටුසිත් ඇතියේ නොයෙක් දර රැස් කළේ යැ. අඟුරු ගැබ් කොට මහත් වූ සෑයක් කෙළේ ය.
kn-cp:276.4
139. එහි ඒ ගිනිකඳ යම්සේ වහා මහත් වන්නේ ද එපරිද්දෙන් දල්වී යැ (මම) ධූලි වැකුණු මා ගේ ගාත්‍රයන් (තෙවරක්) සලාපියා එකත්පස් වැ හුනිමි.
kn-cp:276.5
140. යම් කලෙකැ ඒ මහත් වූ දරරැස හාත්පසින් ඇවිළගත්තේ ‘ධම ධම’ යන අනුකරණ කෙරේ ද එකල්හි දැල්සිළු අතුරෙහි වූ (අඟුරුරැස) මැද පැන වැටිණිමි.
kn-cp:276.6
141. යම්සේ ගිම්කලැ සිහිල්දිය නම් යම් කිසිවක්හු විසින් පිවිසියේ (ඔහුගේ) පීඩා පරිදාහ සන්සිඳුවා ද අස්වැසිලි හා ප්‍රීතිය හා උපදවා ද–
kn-cp:276.7
142. එසේ මැ එකල්හි දැල්වුණු ගින්නට පිවිසි මාගේ සියලු ශරීරපීඩා සිහිල්දිය සෙයින් සන්සිඳුවයි.
kn-cp:276.8
143. සිවි යැ සම් යැ මස්පිඩු යැ නහර යැ ඇට යැ හදමස් යැ යන මේ ඇති හුදු සියලු සිරුර (සක්දෙව්) බමුණුට මම දිනිමි’යි.
kn-cp:276.9
දස වැනි සසපණ්ඩිත චරියා යි.
kn-cp:276.10
උද්දානය:
kn-cp:276.11
යම් කලෙකැ යමෙක් අකිත්ති බ්‍රාහ්මණ වැ සඞ්ඛ බ්‍රාහ්මණ වැ. කුරුරජ වැ ධනඤ්ජය රජ වැ මහාසුදර්‍ශන රජ වැ මහාගෝවින්‍ද බමුණු වැ
kn-cp:276.12
නිමි රජ වැ චන්‍ද්‍රකුමාර වැ සිවිරජ වැ වෙස්සන්තර රජ වැ ශශපණ්ඩිත වැ. ඉපැද ඒ උතුම් දානයන් දුන්නේ නම් එකල්හි ඒ මම් මැ වීමී.
kn-cp:276.13
තෙල පරිත්‍යාගයෝ (මා ගේ) දානපරීෂ්කාරයෝ වෙති. තුලුහු දානපාරමිතා වෙති. (මාගේ) ජීවිතය යදියනට දී මේ දාන පාරමිතාව පිරීමි.
kn-cp:276.14
භික්‍ෂා පිණිස පැමිණි යාචකයා දැක තම සිරුර පරිත්‍යාග කෙළෙමි. දීමෙන් මා හා සමයෙක් නැති. මේ මාගේ දානපරමාර්‍ත්‍ථ පාරමිතාව යි.
kn-cp:276.15
පළමු වැනි අකිත්තිවර්‍ගය යි.
kn-cp:276.16
දානපාරමිතා නිමි.
kn-cp:278.1
2. ශීල පාරමිතාව
kn-cp:278.2
1. මාතුපෝසක චරියාව
kn-cp:278.3
144. යම් කලෙකැ මම් මහවෙනෙහි මාතුපෝසක වූ හස්තිරාජ වීම් ද එකලැ පොළෝතෙලෙහි සිල්ගුණයෙන් මා හා සම වූ කිසිවෙක් නැති.
kn-cp:278.4
145. මහාවනයෙහි දී වනචරපුරුෂයෙක් මා දැක රජුට මෙසේ සැල කෙළේ යැ. “මහරජ තොපට නිසි ඇත්රජෙක් මහවෙනෙහි වෙසේ යැ’යි.
kn-cp:278.5
146. ‘ඔහු ගැනීමෙහි ලා අගලින් අර්‍ත්‍ථයෙක් නැත. ඇතුන් බඳනා ටැඹිනුදු බොරුවළිනුදු ප්‍රයෝජන නො ද ඇති. සොඬින් ගත්කල්හි තෙමේ මැ මෙහි එන්නේ යැ’යි රජුට දැන්වී.
kn-cp:278.6
147. ඔහු ගේ එබස් අසා තුටුසිත් ඇති රජ තෙමේ ද ඇතුන් දමනය කරන මොනවට හික්මුණු නිපුණ ඇදුරකු යැවී යැ.
kn-cp:278.7
148. එ ඇත්ඇදුරු ද (එහි) ගොස් මවගේ යාපනය පිණිස පියුම්විල්හි නෙළුඹල හා නෙළුඹූදැලි උදුරන ඇත්රජු දිටී.
kn-cp:278.8
149. හෙතෙම මා ගේ ශීලගුණය දැන සිරුරුලකුණු විමසී යැ. ඉක්බිති ‘එව පුතැ’යි කියා මා ගේ සොඬ ගත්තේ යැ.
kn-cp:278.9
150. එකල්හි මට යම් පියවිසිරුරුබලයෙක් වී ද, ඒ අද ඇතුන් දහසක්හුගේ බලය හා සුදුසු වෙයි.
kn-cp:278.10
151. ඉදින් මා ගැනීම වෙතට පැමිණි ඔවුනට මම් කිපියෙම් නම් ඔවුන්ගේ මානුෂරාජ්‍යය පවා වැනැසීමට පොහොසත් වීමි.
kn-cp:278.11
152. එතෙකුදුවත් මම් (තමා කෙරෙහි වූ) සිල් රක්නා පිණිස ශීලපාරමිතාව පුරනු පිණිස, මා ටැඹෙහි බැඳ තබන්නහු දැක ද සිත්හි වෙනසක් නො කෙළෙමි.
kn-cp:278.12
153. ඉදින් එහි දී ඔහු පොරොවින් ද තෝමරයෙන් ද මා කොටන්නාහු නම් මා ගේ සිල් බිඳුනා බියෙන් ඔවුනට නො මැ කිපෙන්නෙමි.
kn-cp:278.13
පළමු වැනි මාතුපෝසක චරියා යි.
kn-cp:280.1
2. භූරිදත්ත චරියාව
kn-cp:280.2
154. නැවත අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති භූරිදත්ත නම් නාගරාජ වැ උපනිම් ද එකල්හි (මම්) විරූපාක්‍ෂ නම් මහරජු හා සමඟ (තව්තිසා) දෙව්ලොවට ගියෙමි.
kn-cp:280.3
155. එහි දී අත්‍යන්තසුඛයෙන් සමර්පිත වූ දෙවියන් දැක දෙව්ලොවට යනු පිණිස ශීල සඞ්ඛ්‍යාත වූ ව්‍රතචර්‍ය්‍යාව සමාදන් වීමි.
kn-cp:280.4
156. (මුවදෙවුම් ආදි) සිරුරුකිස කොට යැපෙන පමණ අහරක් වළඳා සතර අඟක් ඉටාගෙන තුඹසක් මතුයෙහි ශයනය කෙළෙමි.
kn-cp:280.5
157. (එ සතර අඟ නම්:) ‘යමක්හට සිවියෙන් සමින් මසින් නහරින් හා ඇටයෙන් වේවයි මෙයින් කටයුත්තෙක් ඇත්නම් ඒ දෙන ලද මැ යි හෙතෙම එය ගෙන යේව’යි.
kn-cp:280.6
158. අකෘතඥ වූ නෙසාදයා (වැද්දා) විසින් ලකුණු කියනලද ආලම්බන තෙමේ මා අල්වා ගත්තේ ය. හෙතෙම මා පැසෙක්හි බහා ඒ ඒ තැන කෙළවයි.
kn-cp:280.7
159. පැසෙහි බහාලන කල ද අතින් මඩනා කල ද ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ආලම්බනයා කෙරෙහි නො කිපී ගියෙමි.
kn-cp:280.8
160. ස්වකීය ජීවිතපරිත්‍යාගය තෘණශලාකාවක් පරිත්‍යාගයට ද වඩා ලඝු කොට මට වැටහෙයි. ශීල ව්‍යතික්‍රමය වූ කලි පොළොව පෙරැළීමක් මෙන් මට වැටහීගියේ යැ.
kn-cp:280.9
161. නිරතුරු ජාතිසියයක් මුළුල්ලෙහි මා ගේ ජීවිතය පරිත්‍යාග කරනෙම්. සතර දිවයින හෙයිනුදු සිල් නො මැ බිඳිනෙමි.
kn-cp:280.10
162. තවද සිල් රක්නා පිණිස සිල් පැරුම් පුරනු පිණිස හැනහැන මා පෙළායෙහි බහාලන ආලම්බනයා කෙරෙහි ද මා සිත තුළ වෙනසක් නො කෙළෙමි.
kn-cp:280.11
දෙ වැනි භූරිදත්තචරියා යි.
kn-cp:282.1
3. චම්පෙය්‍යානාග චරියාව
kn-cp:282.2
167. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති චම්පෙය්‍ය නම් දිව්‍යනාගරාජ වැ උපනිම් ද එකල්හිදු ශීලව්‍රත සමාදානයෙන් යුක්ත වූ ධාර්මිකයෙම් වීමි.
kn-cp:282.3
168. එකල්හි දු ධාර්මික වැ පෙහෙවස් සමාදන් වැ සිටි මා අහිතුණ්ඩිකයෙක් අල්ලාගෙන රජගෙදොර ක්‍රීඩා කරවයි.
kn-cp:282.4
169. එ අහිතුණ්ඩික තෙමේ නිල්වන් හෝ රන්වන් හෝ ලේවන් හෝ යම් පැහැයක් සිතා ද, ඔහු ගේ සිතට අනුව පවත්නෙමි. සිතූ ආකාර ඇත්තෙම් වෙමි.
kn-cp:282.5
170. මම් පොළොව ජලය කෙරෙමි. ජලය ද පොළොව කෙරෙමි. ඉදින් ඔහුට කිපුණෙම් නම් ඇසිල්ලෙකින් ඔහු හළු කොට පියමි.
kn-cp:282.6
171. ඉදින් මම් සිතට වසඟ වීම් නම් ශීලයෙන් පිරිහී යන්නෙමි. ශීලයෙන් පිරිහුණහට උත්තමාර්‍ත්‍ථය සිද්ධ නො වේ.