Cariyāpiṭaka

Basket of Conduct

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 466

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT81. අන්වද්ධමාසෙ පණ්ණරසෙ පුණ්ණමාසෙ උපොසථෙ පච්චයං නාගමාරුය්හ දානං දාතුං උපාගමිං.
Sinhala BJT81. අඩමසක් පාසා දන්හලට යන්නෙම් මස පිරීමෙන් හා සඳපිරීමෙන් ද යුක්ත වූ පණුරැසී පොහොයෙහි පච්චය නම් මඟුලැතු පිට නැඟී දන් දෙන්නට (දන්හල් කරා) එළඹියෙමි.
Pali BJT82. කාලිඞ්ගරට්ඨවිසයා බ්රාහ්මණා උපගඤ්ජු මං ආයාවුං මං හත්ථිනාගං ධඤ්ඤං මඞ්ගලසම්මතං.
Sinhala BJT82. කලිඟුරට නම් දෙසින් බමුණෝ අටදෙනෙක් මා කරා පැමිණියහ. ඔහු ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණ සම්පන්න වූ මඞ්ගල සම්මත වූ පච්චය නම් හස්තිරාජයා මාගෙන් ඉල්ලූහ.
Pali BJT83. අවුට්ඨිකො ජනපදො දුබ්භික්ඛො ඡාතකො මහා දදාහි පවරං නාගං සබ්බසෙතං ගජුත්තමං.
Sinhala BJT83. (මහරජාණෙනි) කළිඟුජනපදය වැසි නැත්තේ ය. දුර්භික්‍ෂ වූයේ ය. මහත් සාදුක් ඇත්තේ ය. එහෙයින් සර්‍වාඞ්ගයෙන් ධවල වූ ඇතුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ උතුම් ඇත්රජු දෙනු මැනව.
Pali BJT84. දදාමි න විකම්පාමි යං මං යාචන්ති බ්රාහ්මණා සන්තං නප්පතිගූහාමි{1} දානෙ මෙ රමතී{2} මනො.
Sinhala BJT84. බමුණෝ මාගෙන් යමක් ඉල්ලත් නම් එහි කම්පිත නො වෙමි. එය දෙමි. ඇති වස්තුව සඟවාගෙන නො සිටිමි, මා සිත දානයෙහි ඇලෙයි.
Pali BJT85. න මෙ යාචකමනුප්පත්තෙ පටික්ඛෙපො අනුච්ඡවො මා මෙ භිජ්ජි සමාදානං දස්සාමි විපුලං ගජං.
Sinhala BJT85. යාචක ජනයා මාවෙත පැමිණි කල්හි ප්‍රතික්‍ෂේප කරලීම මට තරම් නො වෙයි. මාගේ දානපාරමිතා සමාදානය නො බිඳේවා, ගුණ විපුලවූ හස්තිරාජයා දෙන්නෙමැයි.–
Pali BJT86. නාගං ගහෙත්වා සොණ්ඩාය භිඞ්කාරෙ{3} රතනාමයෙ ජලං හත්ථෙ ආකිරිත්වා බ්රාහ්මණානං අදං ගජං.
Sinhala BJT86. (සියලු හස්ත්‍යලඞ්කාරයෙන් සරසන ලද) හස්තිරාජයා සොඬින් ගෙන රුවන් කෙණ්ඩියෙහි වූ සුවඳජලය අතැ එව බමුණන්ට හස්තිරාජයා දුනිමි.
Pali BJT87. පුනාපරං දදන්තස්ස සබ්බසෙතං ගජුත්තමං තදාපි පඨවී කම්පි සිනෙරුවනවටංසකා.
Sinhala BJT87. සර්‍වධවල වූ හස්තිරාජයා දෙන්නා වූ මට නැවත වරක් සිනේරුවනාවතංස කොට ඇති මහපොළොව කම්පිත විය.
Pali BJT88. තස්ස නාගස්ස දානෙන සිවයො කුද්ධා සමාගතා පබ්බොජෙසුං සකා රට්ඨා “වඞ්කං ගච්ඡතු පබ්බතං.”
Sinhala BJT88. ඒ මඟුලැත්රජු පරිත්‍යාග කිරීම හේතුකොට ගෙන කෝප වූ සිවි රටවැස්සෝ රැස්වූවාහු. (වෙස්සන්තරරජ) වඞ්කපර්‍වතයට යේවයි සිය රටින් (මා) නෙරපූහ.
Pali BJT89. තෙසං නිච්ඡුභ{4} මානානං අකම්පිතමසණ්ඨිතං මහාදානං පවත්තෙතුං එකං වරමයාචිසං{5}.
Sinhala BJT89. ඒ සිවි රැටියන් විසින් මා නෙරපන කල්හි කම්පාවක් හැකිළීමක් නැති ව මහාදානය පවත්වනු පිණිස එක්වරයක් ඉල්ලීමි.
Pali BJT90. යාචිතා සිවයො සබ්බෙ එකං වරමදංසු මෙ සාවයිත්වා කණ්ණභෙරිං මහාදානං දදාමහං.
Sinhala BJT90. මවිසින් යාච්ඤා කරන ලද සියලු සිවිරටවාසීහු මට එක්වරයක් දුන්හ. එවිට මම කන්බෙරය (තම්මැට්) ඝෝෂණය කරවා (සප්තශතක) මහාදානය දිනිමි.
Pali BJT91. අථෙත්ථ වත්තතී සද්දො තුමුලො භෙරවො මහා දානෙන මං{6} නීහරන්ති පුන දානං දදාතයං{7}.
Sinhala BJT91. ඉක්බිති මෙ දන්හලෙහි බිය එළවන මහත් ශබ්දයෙක් වෙයි. දන්දීම් හේතුවින් මා නෙරපත්. (එහෙත්) මම නැවතත් දන් දෙමියි.
Pali BJT92. හත්ථි{8} අස්සෙ රථෙ දත්වා දාසිදාසං ගවං ධනං මහාදානං දදිත්වාන නගරා නික්ඛමිං තදා.
Sinhala BJT92. එකල්හි ඇතුන් අසුන් ද රථයන් ද දැසිදසුන් ද දෙනුන් ද (මුතු මැණික් ආදි) ධනය ද පරිත්‍යාග කොට මහදන් දී නුවරින් නික්ම ගියෙමි.
Pali BJT93. නික්ඛමිත්වාන නගරා නිවත්තිත්වා විලොකිතෙ තදාපි පඨවී කම්පී සිනෙරුවනවටංසකා.
Sinhala BJT93. නුවරින් නික්ම පෙරළා බලත් ම එකල්හිදු සිනේරුවනෝත්තංස කොට ඇති පෘථිවී තොමෝ කම්පිත වූ ය.
Pali BJT94. චතුවාහිං රථං දත්වා ඨත්වා චාතුම්මහාපථෙ{1}. එකාකියො අදුතියො මද්දිදෙවිං ඉදමබ්රුවිං.
Sinhala BJT94. ආජානීය අසුන් සතර දෙනකුන් විසින් උසුලන රථය දන් දී හුදෙකලා ව දෙවැනි කෙනකුන් ද නැති ව සතරමං සන්‍ධියෙහි සිට මද්‍රීදේවියට මෙවදන් කීමි.
Pali BJT95. “ත්වං මද්දි කණ්හං ගණ්හාහි, ලහුකා එසා කනිට්ඨිකා{2} අහං ජාලිං ගහෙස්සාමි ගරුකො භාතිකො හි සො.
Sinhala BJT95. (සොඳුර) මද්‍රීදේවිනි, තෙපි කෘෂ්ණජිනාවන් වඩා ගනුව. බාල වූ ඕ සැහැල්ලු ය, මම ජාලිය කුමරුවන් වඩාගනිමි. වැඩිමහලු සොහොයුරු හේ බර ය.
Pali BJT96. පදුමං පුණ්ඩරීකං’ව මද්දිකණ්හාජිනග්ගහී අහං සුවණ්ණබිම්බංව ජාලිං ඛත්තියමග්ගහිං.
Sinhala BJT96. මද්‍රීදේවී තොමෝ කෘෂ්ණජිනා කුමරිය හෙළ පියුමක් මෙන් වඩා ගත්තා ය. මම් ජාලියකුමරු රන්රුවක් මෙන් වඩා ගත්තෙමි.
Pali BJT97. අභිජාතා සුඛුමාලා ඛත්තියා චතුරො ජනා විසමං සමං අක්කමන්තා වඞ්කං ගච්ඡාම පබ්බතං.
Sinhala BJT97. මෙසේ ජාතිසම්පන්න වූ සියුමැලි වූ රජදරු වූ අපි සතරදෙන විෂම වූ ද සම වූ ද (උස් පහත්) භූමි ප්‍රදේශයන් ඉක්මවමින් වඞ්කගිරියට ගියම්හ.
Pali BJT98. යෙ කෙචි මනුජා එන්ති{3} අනුමග්ගෙ පටිප්පථෙ මග්ගං තෙ පටි පුච්ඡාම කුහිං වඞ්කතපබ්බතො{4}
Sinhala BJT98. යම් කිසි මිනිස් කෙනෙක් පසු මගැ හෝ පෙර මගැ හෝ එත් ද ඔවුන් අතින් වඞ්කගිරිය කොහි දැයි මාර්‍ගය විචාළම්හ.
Pali BJT99. තෙ තත්ථ අම්හෙ පස්සිත්වා කරුණං ගිරමුදීරයුං දුක්ඛන්තෙ පටිවෙදෙන්ති දූරෙ වඞ්කතපබ්බතො.
Sinhala BJT99. ඒ මිනිස්සු එහි දී අප දැක දුක්පත් වැ බස් පැවසූහ. වඞ්කගිරීය (මෙහි සිට) ඉතා දුර ය යි ඔහු දුක පළ කළහ.
Pali BJT100. යදි සස්සන්ති පවනෙ දාරකා ඵලිතෙ{5} දුමෙ තෙසං ඵලානං හෙතුම්හි උපරොදන්ති දාරකා.
Sinhala BJT100. ඉදින් ඒ දරුවෝ දෙදෙන මහවෙනෙහි වූ ඵලභරිත මහරුක් දකිත් ද ඔහු ඵල හේතුයෙන් හඬත්.
Pali BJT101. රොදන්තෙ දාරකෙ දිස්වා උබ්බිග්ගා{6} විපුලා දුමා සයමෙවොනමිත්වාන උපගච්ඡන්ති දාරකෙ.
Sinhala BJT101. එසේ හඬන දරුවන් දැක සංවේගයට පත් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමී දරුවන්ට සමීප වෙත්.
Pali BJT102. ඉදං අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං සාධුකාරං පවත්තෙසි මද්දී සබ්බඞ්ගසොභනා.
Sinhala BJT102. සියලු අඞ්ගප්‍රත්‍යඞ්ගයන්ගෙන් හොබනා වූ මද්‍රීදේවී තොමෝ අද්භූත වූ රෝමොද්ගමනය වන්නා වූ මේ ආශ්චර්‍ය්‍යය දැක සාධුකාර පැවැත්වූ ය.
Pali BJT103. අච්ඡෙරං වත ලොකස්මිං අබ්භුතං ලොමහංසනං වෙස්සන්තරස්ස තෙජෙන සයමෙවොනතා දුමා.
Sinhala BJT103. වෙසතුරු රජහුගේ පින්තෙදින් මහාවෘක්‍ෂයෝ තුමූ ම නැමීගියහ. මෙය ලෝකයෙහි ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයැ, අද්භූතයැ ද වේ. ලොමුදහගන්වයි.
Pali BJT104. සඞ්ඛිපිංසු පථං යක්ඛා අනුකම්පාය දාරකෙ නික්ඛන්තදිවසෙ යෙව{7} චෙතරට්ඨමුපාගමුං.
Sinhala BJT104. දරුවන් කෙරෙහි අනුකම්පාවෙන් දෙවියෝ මාර්‍ගය හකුළුවාලූහ. නික්මුණු දවස්හි ම සැහැරටට පැමිණියහ.
Pali BJT105. සට්ඨිරාජසහස්සානි තදවසන්ති මාතුලෙ{1} සබ්බෙ පඤ්ජලිකා හුත්වා රොදමානා උපාගමුං.
Sinhala BJT105. එකල මයිල් රජහු වෙත සැටදහසක් රජදරුවෝ වෙසෙත්. ඒ සියලු රජදරුවෝ දොහොත් මුඳුනෙහි තබා හඬමින් වෙස්සන්තර රජු කරා එළඹුණාහ.
Pali BJT106. තත්ථ වත්තෙත්වා සල්ලාපං චෙතෙහි චෙතපුත්තෙහි තෙ තතො නික්ඛමිත්වාන වඞ්කං අගමුං පබ්බත.
Sinhala BJT106. එ රාජසමාගමයෙහි දී චේතරජුන් හා චේතකුමරුන් සමඟ පිළිසඳර කොට ඔහු එයින් නික්ම වඞ්කගිරියට ගියාහ.
Pali BJT107. ආමන්තයිත්වා දෙවින්දො විස්සකම්මං{2} මහිද්ධිකං අස්සමං සුකතං රම්මං පණ්ණසාලං සුමාපය.
Sinhala BJT107. එවිට සක්දෙව්රජ මහර්ද්ධි ඇති විශ්වකර්‍ම දිව්‍යපුත්‍රයා අමතා මනාසේ සකස් කළ අසපුවක් ද සිත්කලු වූ පන්සලක් ද මවාලව යි අණ කෙළේ යි.
Pali BJT108. සක්කස්ස වචනං සුත්වා විස්සකම්මො මහිද්ධිකො අස්සමං සුකතං රම්මං පණ්ණසාලං සුමාපයී”,
Sinhala BJT108. මහර්ද්ධි ඇති විශ්වකර්‍ම තෙම සක්දෙව් රජහුගේ වචනය අසා මනාකොට සකස් කළ අසපුවක් ද සිත්කලු පන්සලක් ද මැවී.
Pali BJT109. අජ්ඣොගහෙත්වා පවනං අප්පසද්දං නිරාකුලං. චතුරො ජනා මයං තත්ථ වසාම පබ්බතන්තරෙ.
Sinhala BJT109. නිශ්ශබ්ද වූ නිරාකුල වූ මහවනයට පිවිස අපි සතරදෙනමෝ එහි ගල් අතර වාස කළම්හ.
Pali BJT110. අහඤ්ච මද්දිදෙවී ච ජාලී කණ්හාජිනා චුභො අඤ්ඤමඤ්ඤං සොකනුදා වසාම අස්සමෙ තදා.
Sinhala BJT110. එකල ජාලිය කෘෂ්ණජිනා යන දෙදරුවන් ද මද්‍රීදේවිය ද මම් ද ඔවුනොවුන් නිසා ශෝකය දුරු කෙරෙමින් ඒ ආශ්‍රමයෙහි වාස කළම්හ.
Pali BJT111. දාරකෙ අනුරක්ඛන්තො අසුඤ්ඤො{3} හොමි අස්සමෙ මද්දී ඵලං ආහරති{4} පොසෙති සා තයො ජනෙ.
Sinhala BJT111. මම අසපුයෙහි දෙදරුවන් රක්මින් එය නො සිස් කෙරෙමින් වෙසෙමි. මද්‍රීදේවී ඵලාඵල ගෙන එයි. ඕ තොමෝ අප තිදෙන පෝෂණය කෙරෙයි.
Pali BJT112. පවනෙ වසමානස්ස අද්ධිකො මං උපාගමි ආයාචි පුත්තකෙ මය්හං ජාලිං කණ්හාජිනඤ්චුභො.
Sinhala BJT112. (මෙසේ) මහාවනයෙහි වාස කරන කල මගියෙක් මා වෙත එළඹියේ ය. හේ ජාලිය කෘෂ්ණජිනා යන මාගේ දරුවන් දෙදෙන ඉල්ලා සිටියේ ය.
Pali BJT113. යාචකං උපගතං දිස්වා හාසො මෙ උපපජ්ජථ උභො පුත්තෙ ගහෙත්වාන අදාසිං බ්රාහ්මණෙ තදා.
Sinhala BJT113. පැමිණි යාචකයා දැක මට සොම්නස් උපන. එකල්හි දෙදරුවන් ගෙන බමුණට දුනිමි.
Pali BJT114. සකෙ පුත්තෙ චජන්තස්ස ජුජකෙ{5} බ්රාහ්මණෙ යදා තදාපි පඨවී කම්පි සිනෙරුවනවටංසකා.
Sinhala BJT114. යම් කලෙක ජූජක බමුණුට තම පුතුන් දිනිම් ද එකල්හි මා දෙනුවහට මහාමේරුපර්‍වතවනයන් මුදුන් මල් කොට ඇති මහා ධරණී තොමෝ කම්පිත වූ ය.
Pali BJT115. පුනදෙව සක්කො ඔරුය්හ හුත්වා බ්රාහ්මණසන්නිභො ආයාචිමං මද්දිදෙවිං සීලවන්තිං{6} පතිබ්බතං.
Sinhala BJT115. නැවත ද ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ දෙව්ලොවින් බැස බමුණකු වැනි වෙස් ඇති ව සිල්වත් වූ පතිවත් දහමින් යුත් මද්‍රීදේවිය මාගෙන් ඉල්ලීය.
Pali BJT116. මද්දිං හත්ථෙ ගහෙත්වාන උදකඤ්ජලි පූරිය{1} පසන්තමනසඞ්කප්පො තස්ස මද්දිමදාසහං.
Sinhala BJT116. මද්‍රීදේවිය අත්හි ගෙන දියෙන් (බමුණුගේ) ඇඳිලි පුරවා ප්‍රසන්න වූ චිත්ත සංකල්පනා ඇති ව ඔහුට මද්‍රීදේවිය මම දුනිමි.
Pali BJT117. මද්දියා දීයමානාය ගගනෙ දෙවා පමොදිතා තදාපි පඨවී කම්පි සිනෙරුවනවටංසකා.
Sinhala BJT117. මද්‍රීදේවිය දෙනු ලබන කල්හි ගුවන් තෙලෙහි සිටි දෙවියෝ ද සතුටු වූහ. එකල්හි දු මහාමේරුපර්‍වතවනගහන මුදුන්මල් කොට ඇති මහා මේදිනී තොමෝ කම්පිත වූය.
Pali BJT118. ජාලිං කණ්හාජිනං ධීතං මද්දිදෙවිං පතිබ්බතං චජමානො න චින්තෙසිං බොධියායෙව කාරණා.
Sinhala BJT118. ජාලිය පුත්‍රයා ද කෘෂ්ණජිනා පුත්‍රිකාව ද මද්‍රීදේවිය ද පරිත්‍යාග කරන්නා වූ මම සර්‍වඥතාප්‍රතිලාභය ම කාරණ කොට තැවුල් වශයෙන් නො සිතුයෙමි,
Pali BJT119. න මෙ දෙස්සා උභො පුත්තා මද්දි දෙවි න දෙස්සියා සබ්බඤ්ඤුතං පියං මය්හං තස්මා පියෙ අදාසහං.
Sinhala BJT119. පුත්‍රයෝ දෙදෙන මට අප්‍රිය නො වෙත්. මද්‍රීදේවිය ද අප්‍රිය නො වේ. සර්‍වඥතා ඥානය මට ප්‍රියවෙයි. එහෙයින් ප්‍රිය වූ අඹුදරුවන් දුන්මි.
Pali BJT120. පුනාපරං බ්රහාරඤ්ඤෙ මාතාපිතුසමාගමෙ කරුණං පරිදෙවන්තෙ’ සල්ලපන්තෙ සුඛං දුඛං{2}
Sinhala BJT120. නැවත ද මහාවනයෙහි දී මවුපියන්ගේ සමාගමයෙහි දුක්පත් වැ හඬන කල්හි, සුඛදුඃඛ සල්ලාප කරන කල්හි.
Pali BJT121. හිරොත්තප්පෙන ගරුනා{3} උභින්නං උපසඞ්කමිං තදාපි පඨවී කම්පි සිනෙරුවනවටංසකා.
Sinhala BJT121. බලවත් හිරිඔතප් දෙකින් යුක්ත ව මවුපියන් කරා එළැඹියෙමි. එකල්හි ද මහාමේරුපර්‍වතවනගහන ශෙඛර කොට ඇති වසුධාඞ්ගනා තොමෝ කම්පා වූ ය.
Pali BJT122. පුනාපරං බ්රහාරඤ්ඤෙ නික්ඛමිත්වා සඤාතිභි පවිසාමි{4} පුරං රම්මං ජෙතුත්තර{5} පුරුත්තමං.
Sinhala BJT122. යළි ස්වකීය වූ ඥාතීන් හා සමඟ මහාවනයෙන් නික්ම නගර ශ්‍රේෂ්ඨ වූ උතුම් ජයතුරා නුවරට පිවිසියෙමි.
Pali BJT123. රතනානි සත්ත වස්සිංසු මහාමෙඝො පවස්සථ තදාපි පඨවී කම්පි සිනෙරුවනවටංසකා.
Sinhala BJT123. එකල්හි ද සත්රුවන් වැසි වට. මහමේ වට, මහාමේරු පර්‍වත වන ගහන මෞලි කොට ඇති වසුධාඩ්ගනා තොමෝ කම්පා වූ ය.
Pali BJT124. අචෙතනා’යං පඨවී අවිඤ්ඤාය සුඛං දුඛං සාපි දානබලා මය්හං සත්තක්ඛත්තුං පකම්පථාති.
Sinhala BJT124. චේතනා රහිත සුවදුක් නොදත් මේ මහාපෘථිවී තොමෝ මාගේ දානබලයෙන් සත්වරක් කම්පා වූ ය.
Pali BJTවෙස්සන්තරචරියං නවමං.
Sinhala BJTනවවන වෙස්සන්තර චරියා යි.
Pali BJT10. සසපණ්ඩිත චරියං
Sinhala BJT10. සසපණ්ඩිත චරියාව
Pali BJT125. පුනාපරං යදා හොමි සසකො පවනචාරිකො{1} තිණපණ්ණසාකඵලහක්ඛො පරහෙඨනවිවජ්ජිතො.
Sinhala BJT125. නැවත අනෙකුදු චරියාවක් කියමි. යම් කලෙක මම් තණපත් පළා පලවැළ බුදින, මහවෙනෙහි හැසිරෙන අහිංසක වූ සා වැ උපනිම් ද,
Pali BJT126. මක්කෙටා ච සිගාලො ච{2} උද්දපොතො චහං තදා වසාම එකසාමන්තා සායං පාතො පදිස්සරෙ{3}.
Sinhala BJT126. එකල්හි වඳුරෙක සිවලෙක මස්කාවෙක මම යැ යන අපි නුදුරු පෙදෙසෙකැ වුසූම්හ. උදය සවස එක්තැන් වැ දක්නා ලැබෙම්හ.
Pali BJT127. අහං තෙ අනුසාසාමි කිරියෙ කල්යාණපාපකෙ පාපානි පරිවජ්ජෙථ කල්යාණෙභිනිවිස්සථ.
Sinhala BJT127. මම් ඔවුනට “පවින් දුරුවවු, කුසල් දහම්හි යෙදී පවතුව” යයි කුශලාකුශලකර්‍මයෙහි අනුශාසනා කෙරෙමි.
Pali BJT128. උපොසථම්හි දිවසෙ චන්දං දිස්වාන පූරිතං එතෙසං තත්ථ ආචික්ඛිං{4} දිවසො අජ්ජුපොසථො.
Sinhala BJT128-129. පොහෝදවස්හි (පුරතුදුස්වක්රැය මඳක්) නුපුන්සඳ දැක ඔවුනට එහිදී ‘අද පොහෝ දිනය වෙයි. දක්‍ෂිණාර්‍හ කෙනකුන්ට දෙන්නට දන් පිළියෙළ කරවු. දක්‍ෂිණාර්‍හ කෙනකුන් කෙරෙහි දනක් දී පෙහෙවස් වසවු’ යයි කී යමි.
Pali BJT129. දානානි පටියාදෙථ දක්ඛිණෙය්යස්ස දාතවෙ දත්වා දානං දක්ඛිණෙය්යෙ උපවස්සථුපොසථන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT130. තෙ{5} මෙ සාධූති වත්වාන යථාසත්ති යථාබලං දානානි පටියාදෙත්වා දක්ඛිණෙය්යං ගවෙසිසුං{6}.
Sinhala BJT130. ඔහු මට ‘මැනැවැ’යි කියා ශක්ති පරිදි බල පරිදි දන් පිළියෙළ කොට දක්‍ෂිණාර්‍හයකු සෙවූහ.
Pali BJT131. අහං නිස්සජ්ජ චින්තෙසිං දානං දක්ඛිණානුච්ඡවං යදිහං ලභෙ දක්ඛිණෙය්යං කිං මෙ දානං භවිස්සති.
Sinhala BJT131. මම් හිඳගෙන දක්‍ෂිණාවට හෝ දක්‍ෂිණාර්‍හයනට හෝ නිසි දෙයධර්‍මයක් සිතීමි. ‘ඉදින් මම් දක්‍ෂිණාර්‍හ කෙනකුන් ලබම් නම් දියයුතු කවර වස්තුවක් මට ඇද්ද’යි.
Pali BJT132. න මෙ අත්ථි තිලා මුග්ගා මාසා වා තණ්ඩුලා ඝතං අහං තිණෙන යාපෙමි නසක්කා තිණ දාතවෙ.
Sinhala BJT132. තල මුං මෑ සහල් ගිතෙල් හෝ මට නැත. මම් තණපතින් යැපෙමි. තණපත් (දක්‍ෂිණාර්‍හයනට දෙන්නට) නො හැක්ක.
Pali BJT133. යදි කොචි එති{7} දක්ඛිණෙය්යො භික්ඛාය මම සන්තිකෙ දජ්ජාහං සකමත්තානං න සො තුච්ඡො ගමිස්සති.
Sinhala BJT133. ඉදින් පිඬු පිණිස මා වෙතට කිසිවෙක් ආ නම් මම ඔහුට සිය සිරුර දෙන්නෙමි. (එකල්හි) හෙතෙම නො සිස් වැ යන්නේ යි.
Pali BJT134. මම සඞ්කප්පමඤ්ඤාය සක්කො බ්රාහ්මණවණ්ණිනා{8} ආසයං මෙ උපාගඤ්ජි දානං වීමංසනාය මෙ.
Sinhala BJT134. මා ගේ ඒ අදහස දැන සක්දෙව් රජ බමුණුවෙස් ගත් අත් බැවින් මාගේ දානාධ්‍යාශය විමසන පිණිස මා වසන වන ළැහැබ කරා එළඹියේ ය.
Pali BJT135. තමහං දිස්වාන සන්තුට්ඨො ඉදං වචනමබ්රුවිං සාධු ඛොසි අනුප්පත්තො ඝාස හෙතු මමන්තිකෙ.
Sinhala BJT135. බමුණුවෙස් ගත් ඔහු දැක සතුටු වූයෙම් ‘ආහාර හේතුයෙන් මා සමීපයට ආයෙහි මැනවැ’ යන මෙවදන් කීයෙමි.
Pali BJT136. අදින්නපුබ්බං{1} දානවරං අජ්ජ දස්සාමි තෙ අහං තුවං සීලගුණූපෙතො අයුත්තන්තෙ පරහෙඨනං.
Sinhala BJT136. මම අද තොපට නුදුන්විරූ දනක් දෙමි. තෙපි ශීලගුණයෙන් යුක්ත වූවහු යැ(එහෙයින්) තොප විසින් මෙරමා පෙළෙනු නො නිසි වෙයි.
Pali BJT137. එහි අග්ගිං පදීපෙහි නානා කට්ඨෙ සමානිය අහං පචිස්සමත්තානං පක්කං ත්වං භක්ඛයිස්සසි.
Sinhala BJT137. මෙහි එව. නොයෙක් දර රැස් කොට ගිනි දල්වව. (එහි පැන) මම මාගේ සිරුර පලහන්නෙමි. පැසුණු එය තෙපි බුදින්නවු යැ.
Pali BJT138. සාධූති සො හට්ඨමනො නානා කට්ඨෙ සමානයි මහන්තං අදාසි චිතකං කත්වා නඞ්ගාර{2} ගබ්භකං.
Sinhala BJT138. සක්දෙව්රජ ‘යෙහෙකැ’ යි සතුටුසිත් ඇතියේ නොයෙක් දර රැස් කළේ යැ. අඟුරු ගැබ් කොට මහත් වූ සෑයක් කෙළේ ය.
Pali BJT139. අග්ගිං තත්ථ පදීපෙසි යථාසො ඛිප්පං මහා භවෙ ඵොටෙත්වා රජගතෙ ගත්තෙ එකමන්තං උපාවිසිං.
Sinhala BJT139. එහි ඒ ගිනිකඳ යම්සේ වහා මහත් වන්නේ ද එපරිද්දෙන් දල්වී යැ (මම) ධූලි වැකුණු මා ගේ ගාත්‍රයන් (තෙවරක්) සලාපියා එකත්පස් වැ හුනිමි.
Pali BJT140. යදා මහා කට්ඨපුඤ්ජො ආදිත්තො’ධම ධමායති{3} තදුප්පතිත්වා පපතිං{4} මජ්ඣෙ ජාලසිඛන්තරෙ
Sinhala BJT140. යම් කලෙකැ ඒ මහත් වූ දරරැස හාත්පසින් ඇවිළගත්තේ ‘ධම ධම’ යන අනුකරණ කෙරේ ද එකල්හි දැල්සිළු අතුරෙහි වූ (අඟුරුරැස) මැද පැන වැටිණිමි.
Pali BJT141. යථා සීතොදකං නාම පවිට්ඨං යස්ස කස්සචි සමෙති දරථපරිළාහං අස්සාදං දෙති පීති ච{5}
Sinhala BJT141. යම්සේ ගිම්කලැ සිහිල්දිය නම් යම් කිසිවක්හු විසින් පිවිසියේ (ඔහුගේ) පීඩා පරිදාහ සන්සිඳුවා ද අස්වැසිලි හා ප්‍රීතිය හා උපදවා ද–
Pali BJT142. තථෙව ජලිතං අග්ගිං පවිට්ඨස්ස මමං{6} තදා සබ්බං සමෙති දරථං යථා සීතොදකං විය.
Sinhala BJT142. එසේ මැ එකල්හි දැල්වුණු ගින්නට පිවිසි මාගේ සියලු ශරීරපීඩා සිහිල්දිය සෙයින් සන්සිඳුවයි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJT143. ඡවි චම්මං මංසංනහරුං{7} අට්ඨිං හදය බන්ධනං කෙවලං සකලං කායං බ්රාහ්මණස්ස අදාසහන්ති
Sinhala BJT143. සිවි යැ සම් යැ මස්පිඩු යැ නහර යැ ඇට යැ හදමස් යැ යන මේ ඇති හුදු සියලු සිරුර (සක්දෙව්) බමුණුට මම දිනිමි’යි.
Pali BJTසසපණ්ඩිත චරියං දසමං.
Sinhala BJTදස වැනි සසපණ්ඩිත චරියා යි.
Pali BJTඅකිත්ති බ්රාහ්මණො සඞ්ඛො කුරුරාජා ධනඤ්ජයො මහා සුදස්සනො රාජා මහාගොවින්ද බ්රාහ්මණො.
Sinhala BJTයම් කලෙකැ යමෙක් අකිත්ති බ්‍රාහ්මණ වැ සඞ්ඛ බ්‍රාහ්මණ වැ. කුරුරජ වැ ධනඤ්ජය රජ වැ මහාසුදර්‍ශන රජ වැ මහාගෝවින්‍ද බමුණු වැ
Pali BJTනිමි චන්ද කුමාරො ච සිවි වෙස්සන්තරො සසො අහමෙව තදා ආසිං යො තෙ දානවරෙ අදා.
Sinhala BJTනිමි රජ වැ චන්‍ද්‍රකුමාර වැ සිවිරජ වැ වෙස්සන්තර රජ වැ ශශපණ්ඩිත වැ. ඉපැද ඒ උතුම් දානයන් දුන්නේ නම් එකල්හි ඒ මම් මැ වීමී.
Pali BJTඑතෙ දානපරික්ඛාරා එතෙ දානස්ස පාරමී ජීවිතං{8} යාචකෙ දත්වා ඉමං පාරමි{9} පූරයිං.
Sinhala BJTතෙල පරිත්‍යාගයෝ (මා ගේ) දානපරීෂ්කාරයෝ වෙති. තුලුහු දානපාරමිතා වෙති. (මාගේ) ජීවිතය යදියනට දී මේ දාන පාරමිතාව පිරීමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTපළමු වැනි අකිත්තිවර්‍ගය යි.
Pali BJTභික්ඛායුපගතං දිස්වා සකත්තානං පරිච්චජිං දානෙන මෙ සමො නත්ථි එසා මෙ දානපාරමීති.
Sinhala BJTභික්‍ෂා පිණිස පැමිණි යාචකයා දැක තම සිරුර පරිත්‍යාග කෙළෙමි. දීමෙන් මා හා සමයෙක් නැති. මේ මාගේ දානපරමාර්‍ත්‍ථ පාරමිතාව යි.
Pali BJTදානපාරමිතා නිට්ඨිතා.
Sinhala BJTදානපාරමිතා නිමි.
Pali BJT2. සීලපාරමිතා
Sinhala BJT2. ශීල පාරමිතාව
Pali BJT1. මාතුපොසක චරියං
Sinhala BJT1. මාතුපෝසක චරියාව
Pali BJT144. යදා අහොසි{1} පවනෙ කුඤ්ජරො මාතුපොසකො න තදා අත්ථි මහියා ගුණෙන මම සාදිසො.
Sinhala BJT144. යම් කලෙකැ මම් මහවෙනෙහි මාතුපෝසක වූ හස්තිරාජ වීම් ද එකලැ පොළෝතෙලෙහි සිල්ගුණයෙන් මා හා සම වූ කිසිවෙක් නැති.
Pali BJT145. පවනෙ දිස්වා වනචරො රඤ්ඤො මං පටිවෙදයි තවානුච්ඡවො මහාරාජ ගජො වසති කානනෙ.
Sinhala BJT145. මහාවනයෙහි දී වනචරපුරුෂයෙක් මා දැක රජුට මෙසේ සැල කෙළේ යැ. “මහරජ තොපට නිසි ඇත්රජෙක් මහවෙනෙහි වෙසේ යැ’යි.
Pali BJT146. න තස්ස පරිඛාය’ත්ථෙ{2} නපි ආළ්හකකාසුයා{3} සමං ගහිතෙ සොණ්ඩාය සයමෙව ඉධෙහිති{4}.
Sinhala BJT146. ‘ඔහු ගැනීමෙහි ලා අගලින් අර්‍ත්‍ථයෙක් නැත. ඇතුන් බඳනා ටැඹිනුදු බොරුවළිනුදු ප්‍රයෝජන නො ද ඇති. සොඬින් ගත්කල්හි තෙමේ මැ මෙහි එන්නේ යැ’යි රජුට දැන්වී.
Pali BJT147. තස්ස තං වචනං සුත්වා රාජාපි තුට්ඨමානසො පෙසෙසි හත්ථිදමකං ඡෙකාචරියං සුසික්ඛිතං.
Sinhala BJT147. ඔහු ගේ එබස් අසා තුටුසිත් ඇති රජ තෙමේ ද ඇතුන් දමනය කරන මොනවට හික්මුණු නිපුණ ඇදුරකු යැවී යැ.
Pali BJT148. ගන්ත්වාන{5} සො හත්ථිදමකො අද්දස පදුමස්සරෙ භිසමුලාලං උද්ධරන්තං යාපනත්ථාය මාතුයා.
Sinhala BJT148. එ ඇත්ඇදුරු ද (එහි) ගොස් මවගේ යාපනය පිණිස පියුම්විල්හි නෙළුඹල හා නෙළුඹූදැලි උදුරන ඇත්රජු දිටී.
Pali BJT149. විඤ්ඤාය මෙ සීලගුණං ලක්ඛණං උපධාරයි එහි පුත්තාති වත්වාන මම සොණ්ඩාය අග්ගහි.
Sinhala BJT149. හෙතෙම මා ගේ ශීලගුණය දැන සිරුරුලකුණු විමසී යැ. ඉක්බිති ‘එව පුතැ’යි කියා මා ගේ සොඬ ගත්තේ යැ.
Pali BJT150. යම්මෙ තදා පාකතිකං සරීරානුගතං බලං අජ්ජ නාගසහස්සානං බලෙන සමසාදිසං.
Sinhala BJT150. එකල්හි මට යම් පියවිසිරුරුබලයෙක් වී ද, ඒ අද ඇතුන් දහසක්හුගේ බලය හා සුදුසු වෙයි.
Pali BJT151. යදිහං තෙසං පකුප්පෙය්යං උපෙතානං{6} ගහනාය මං පටිබලො භවෙ තෙසං යාව රජ්ජම්පි මානුසං.
Sinhala BJT151. ඉදින් මා ගැනීම වෙතට පැමිණි ඔවුනට මම් කිපියෙම් නම් ඔවුන්ගේ මානුෂරාජ්‍යය පවා වැනැසීමට පොහොසත් වීමි.
Pali BJT152. අපි චාහං සීල{7} රක්ඛාය සීලපාරමී පූරිය{8} න කරොමි චිත්තෙ අඤ්ඤථත්තං පක්ඛිපන්තෙ මමාළ්හකෙ
Sinhala BJT152. එතෙකුදුවත් මම් (තමා කෙරෙහි වූ) සිල් රක්නා පිණිස ශීලපාරමිතාව පුරනු පිණිස, මා ටැඹෙහි බැඳ තබන්නහු දැක ද සිත්හි වෙනසක් නො කෙළෙමි.
Pali BJT153. යදි තෙ මං තත්ථ කොට්ටෙය්යුං එරසූහි තොමරෙහි ච නෙව තෙසං පකුප්පෙය්යං සීලඛණ්ඩභයා මමාති.
Sinhala BJT153. ඉදින් එහි දී ඔහු පොරොවින් ද තෝමරයෙන් ද මා කොටන්නාහු නම් මා ගේ සිල් බිඳුනා බියෙන් ඔවුනට නො මැ කිපෙන්නෙමි.
Pali BJTමාතුපොසකචරියං පඨමං{9}.
Sinhala BJTපළමු වැනි මාතුපෝසක චරියා යි.
Pali BJT2. භූරිදත්ත චරියං
Sinhala BJT2. භූරිදත්ත චරියාව
Pali BJT154. පුනාපරං යදා හොමි භූරිදත්තො මහිද්ධිකො විරූපක්ඛෙන මහාරඤ්ඤා දෙවලොකමගච්ඡහං.
Sinhala BJT154. නැවත අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති භූරිදත්ත නම් නාගරාජ වැ උපනිම් ද එකල්හි (මම්) විරූපාක්‍ෂ නම් මහරජු හා සමඟ (තව්තිසා) දෙව්ලොවට ගියෙමි.
Pali BJT155. තත්ථ පස්සිත්වහං දෙවෙ එකන්තං සුඛ සමප්පිතෙ තං සග්ගං ගමනත්ථාය සීලබ්බතං සමාදියිං.
Sinhala BJT155. එහි දී අත්‍යන්තසුඛයෙන් සමර්පිත වූ දෙවියන් දැක දෙව්ලොවට යනු පිණිස ශීල සඞ්ඛ්‍යාත වූ ව්‍රතචර්‍ය්‍යාව සමාදන් වීමි.
Pali BJT156. සරීරකිච්චං කත්වාන භුත්වා යාපනමත්තකං චතුරො අඞ්ගෙ අධිට්ඨාය සෙමි වම්මික මුද්ධනි.
Sinhala BJT156. (මුවදෙවුම් ආදි) සිරුරුකිස කොට යැපෙන පමණ අහරක් වළඳා සතර අඟක් ඉටාගෙන තුඹසක් මතුයෙහි ශයනය කෙළෙමි.
Pali BJT157. ඡවියා චම්මෙන මංසෙන නහාරුඅට්ඨිකෙහි වා යස්ස එතෙන කරණීයං දින්නං එව හරාතු{1} සො.
Sinhala BJT157. (එ සතර අඟ නම්:) ‘යමක්හට සිවියෙන් සමින් මසින් නහරින් හා ඇටයෙන් වේවයි මෙයින් කටයුත්තෙක් ඇත්නම් ඒ දෙන ලද මැ යි හෙතෙම එය ගෙන යේව’යි.
Pali BJT158. සංසිතො අකතඤ්ඤුනා ආලම්බනො{2} මමග්ගහි පෙළාය පක්ඛිපිත්වාන{3} කීළෙති මං තහිං තහිං.
Sinhala BJT158. අකෘතඥ වූ නෙසාදයා (වැද්දා) විසින් ලකුණු කියනලද ආලම්බන තෙමේ මා අල්වා ගත්තේ ය. හෙතෙම මා පැසෙක්හි බහා ඒ ඒ තැන කෙළවයි.
Pali BJT159. පෙළාය පක්ඛිපන්තෙපි සම්මද්දන්තෙපි පාණිනා ආලම්බනෙ{4} න කුප්පාමි සීලඛණ්ඩභයා මම.
Sinhala BJT159. පැසෙහි බහාලන කල ද අතින් මඩනා කල ද ‘මාගේ ශීලය බිඳෙයි’ යන බියෙන් ආලම්බනයා කෙරෙහි නො කිපී ගියෙමි.
Pali BJT160. සකජීවිත පරිච්චාගො තිණතො ලහුකො කම සීලවීතික්කමො මය්හං පඨවීඋබ්බත්තනා{5} විය.
Sinhala BJT160. ස්වකීය ජීවිතපරිත්‍යාගය තෘණශලාකාවක් පරිත්‍යාගයට ද වඩා ලඝු කොට මට වැටහෙයි. ශීල ව්‍යතික්‍රමය වූ කලි පොළොව පෙරැළීමක් මෙන් මට වැටහීගියේ යැ.
Pali BJT161. නිරන්තරං ජාතිසතං චජෙය්යං මම ජීවිතං නෙව සීලං පභින්දෙය්යං චතුදීපානහෙතුපි.
Sinhala BJT161. නිරතුරු ජාතිසියයක් මුළුල්ලෙහි මා ගේ ජීවිතය පරිත්‍යාග කරනෙම්. සතර දිවයින හෙයිනුදු සිල් නො මැ බිඳිනෙමි.
Pali BJT162. අපි චාහං සීල{6} රක්ඛාය සීලපාරමිපූරියා න කරොමි චිත්තෙ අඤ්ඤථත්තං පක්ඛීපන්තම්හි පෙළකෙති.
Sinhala BJT162. තවද සිල් රක්නා පිණිස සිල් පැරුම් පුරනු පිණිස හැනහැන මා පෙළායෙහි බහාලන ආලම්බනයා කෙරෙහි ද මා සිත තුළ වෙනසක් නො කෙළෙමි.
Pali BJTභූරිදත්ත චරියං දුතියං.
Sinhala BJTදෙ වැනි භූරිදත්තචරියා යි.
Pali BJT3. චම්පෙය්යනාග චරියං
Sinhala BJT3. චම්පෙය්‍යානාග චරියාව
Pali BJT167. පුනාපරං යදා හොමි චම්පෙය්යකො මහිද්ධිකො තදාපි ධම්මිකො ආසිං{1} සීලබ්බතසමප්පීතො.
Sinhala BJT167. තවද අනෙක් චරියාවක් කියමි: යම් කලෙක මම් මහත් ඍද්ධි ඇති චම්පෙය්‍ය නම් දිව්‍යනාගරාජ වැ උපනිම් ද එකල්හිදු ශීලව්‍රත සමාදානයෙන් යුක්ත වූ ධාර්මිකයෙම් වීමි.
Pali BJT168. තදාපි මං ධම්මචාරිං උපවුත්ථං උපොසථං අහිතුණ්ඩිකො{2} ගහෙත්වාන රාජද්වාරම්හි කීළති.
Sinhala BJT168. එකල්හි දු ධාර්මික වැ පෙහෙවස් සමාදන් වැ සිටි මා අහිතුණ්ඩිකයෙක් අල්ලාගෙන රජගෙදොර ක්‍රීඩා කරවයි.