46. සයුරුහි තරඟවැළ යම්සේ ද අහස්හි තරුකැළ යම්සේ ද එසෙයින් එකල්හි ප්‍රවචනය රහතුන් විසින් විසිතුරු විය.
47. ඒ බුදුහු ද අසමසම වෙති, ඒ ගුණයෝද අතුල්‍ය වෙති, එ හැම අතුරුදහන් විය, හැම සංස්කාරයෝ සිස් වූවාහු නොද?
48. ජිනෝත්තම වූ සුජාත බුදුහු ශීලාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේ ගේ සැය තුන් යොත්නක් උස් වී යයි.
දොළොස්වැනි සුජාත බුද්ධවංශ යි.
13. ප්‍රියදර්ශී බුද්ධවංශය
1. සුජාත නම් බුදුන්ට මෑතභාගයෙහි ස්වයම්ඟු (පරෝපදේශ රහිත වැ සියල්ල දත්තා) වූ ලෝකනායක වූ නො ගැටියහැකි වූ අසමසම වූ මහා යසස් ඇති ප්‍රියදර්ශී බුදුහු ලොව පහළ වූහ.
2. අප්‍රමාණ වූ යසස් ඇති ඒ බුදුහු ද සූර්‍ය්‍යයා සෙයින් බබළති, ඔබ සියලු මොහඳුරු නසා දම්සක් පැවැත්වූහ.
3. අතුල්‍ය වූ තේජස් ඇති උන්වහන්සේට ද අභිසමය තුනෙක් වී කෙළ ලක්‍ෂයක් සත්නට ප්‍රථමාහීසමය වී.
4. සුදර්‍ශන නම් දෙව්රජ මිථ්‍යාදෘෂ්ටිය රුචි කෙළේ යැ, බුදුහු ඔහු ගේ දෘෂ්ටිය දුරු කෙරෙමින් දහම් දෙසූහ.
5. යම් කලෙකැ අතුල වූ මහාජනසන්නිපාතයෙක් වී ද එකල්හි අනු කෙළදහසක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය වී.
6. යම් කලෙකැ පුරුෂදම්‍යසාරථිහු ද්‍රෝණමුඛ නම් ඇත්රජ දමනය කළ සේක් ද, එකල්හි අසූ කෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
7. ඒ පියදස්සී බුදුනට ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී, කෙළ ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
8. එයින් මතු අනූ කෙළක් මුනිහු එකට රැස්වූහ, තුන් වැනි සන්නිපාතයෙහි අසූ කෙළක් ශ්‍රාවකයෝ වූහ.
9. එසමයෙහි මම් වේද හදාරවනුයෙම් වේද මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරයට ගිය කාශ්‍යප නම් බ්‍රාහ්මණ වීමි.
10. මම් ඒ බුදුන්ගේ දහම් අසා ප්‍රසාද දැනවීමි, කෙළලක්‍ෂයක් කහවුණුයෙන් සඞ්ඝාරාමයක් නිර්‍මාණය කෙළෙමි.
11. සතුටු වූයෙම් සංවේගයට පැමිණි සිත් ඇතියෙම් අරම උන්වහන්සේට පුදා සරණ ද පන්සිල් ද දැඩි කොට සමාදන් වීමි.
12. ඒ සම්බුදුහු දු සඟ මැද වැඩ හිඳ ‘මේ තෙම මෙයින් අටළොස් කප්සියක්හු ගේ ඇවෑමෙහි බුදුවන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
13. එකල්හි තථාගතයන් වහන්සේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගතයෝ අජපල් නුගරුක්මුල්හි වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙති.
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මගින් බෝමුල් කරා එළැඹෙති.
16. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ බුදුහු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි බුදු වන්නාහ.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
18. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ ජිතපඤ්චමාරයනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
19. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
21. අසම වූ මහර්ෂීන්ගේ මේ වදන් අසා ‘මේ බුද්ධ බීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙව්මිනිස්සු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙත්. දසදහසක් සක්වළ සදේවක ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාල යෙහි මොවුන් හමු වන්නම්හ.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද් ද.
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
26. මම් ඒ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැද වීමි, මත්තෙහි දසපාරමීන් පුරන පිණිස ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
27. පියදස්සී නම් ශාස්තෲන් වහන්සේට ‘සුධඤ්ඤ’ නම් නුවරෙක්වීයැ, ‘සුදත්ත’ නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ. මව් තොමෝ ‘සුචන්‍දා’ නම් වූ.
28. උන් වහන්සේ නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට සුනිම්මල යැ විමල යැ ගිරිබ්‍රහා යැ යි උතුම් තුන් පහයෙක් වී.
29. මොනොවට සරසන ලද තෙතිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ, ‘විමලා’ නම් අගමෙහෙසියක් වූ, කඤ්චනාවේල නම් පුත්‍රයෙක් වී.
30. පුරුෂෝත්තම තෙමේ සතර පෙර නිමිති දැක රථ යානයෙකින් මහබිනික්මන් කෙළේ යැ, සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කෙළේ යි.
31. මහත් වීර්‍ය්‍ය ඇති පියදස්සී මහමුනිහු මහබඹහු විසින් අයදනාලදහු මනරම් වූ උසභ නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
32. ශාස්තෘ වූ පියදස්සී බුදුන්ට පාලිත යැ සබ්බදස්සී යැ යි අගසවු දෙනමක් වූහ, සෝභිත නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
33. සුජාතා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය කකුධ (කුඹුක්) යයි කියනු ලැබෙයි.
34. සන්‍ධක යැ ධම්මක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. විසාඛා යැ ධම්මදින්නා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහු.
35. අප්‍රමාණ යසස් ඇති දෙතිස් මහපුරිස් ලකුණු ඇති ඒ බුදුහු ද අසූ රියන් උස් වූවා සුපිපි සල්රුකක් සෙයින් පැනෙති.
36. ඒ අසම වූ මහර්ෂි වූ පියදස්සී බුදුන්ට යම්බඳු ප්‍රභාවක් වූ නම් එබඳු ප්‍රභාවක් අග්නි චන්‍ද්‍ර සූර්‍ය්‍ය යන මොවුන්ට නැති.
37. දෙවියනට දෙවි වූ ඒ පියදස්සී බුදුන්ට ද එතෙක් ආයු විය, චක්‍ෂුස්මත්හු අනූදහසක් හවුරුදු ලොවැ වැඩ සිටියහ.
38. ඒ ප්‍රියදර්ශී බුදුහු ද අසමසම වූහ, ඒ ශ්‍රාවක යුග්මය ද අතුල්‍ය වී. එ හැම අතුරුදහන් වී, හැම සංස්කාරයෝ සිස් වූවාහු නො ද?
39. ඒ පියදස්සී නම් බුදුහු ඇසැතු අරම්හි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ ස්තූපය තුන්යොත්නක් උස් කොට බඳවන ලදි.
තෙළෙස් වැනි ප්‍රියදර්ශී බුද්ධවංසය යි.
14. අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි නරශ්‍රේෂ්ඨ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු මහත් වූ මෝහාන්‍ධකාරය නසා උතුම් සම්බෝධියට පැමිණියාහු.
2. මහබඹහු විසින් අයදනාලදහු දම්සක් පැවැත්වූහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා අමායෙන් සැතැප්වූ සේක.
3. ඒ ලෝකනාථයන් වහන්සේ ගේ ද ධර්‍මාවබෝධත්‍රයෙක් වී. කෙළලක්‍ෂයක් සත්නට පළමු වැනි ධර්‍මාවබෝධය වී.
4. යම් කලෙකැ අර්‍ත්‍ථදර්ශී බුදුහු දෙව්ලොවැ චාරිකා කළසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට දෙවැනි ධර්‍මාවබෝධය වී.
5. යළි යම් කලෙකැ බුදුහු පියරජ සමීපයෙහි දහම් දෙසූසේක් ද, එකල්හි කෙළලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය විය.
6. මහර්ෂී වූ ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ට ද විගත රාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී,
7. අටානූදහසක් රහතුන්ගේ ප්‍රථම සමාගමය වී, අටාසූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසමාගමය වී.
8. අනුපාදාවිමුක්තියෙන් කෙලෙසුන් කෙරෙන් මුත් පහවූ රාගාදි මල ඇති මහර්ෂි වූ අට සැත්තෑදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වී.
9. එසමයෙහි මම් උග්‍ර වූ තපස් ඇති පෘථිවියෙහි ශ්‍රේෂ්ඨ යයි සම්මත වූ නමින් සුසීම නම් වූ ජටිලයෙක් වීමී.
10. පරසතු මදාරා දිවකුසුම් දෙව්ලොවින් ගෙනවුත් සම්බුදුන් පිදීමි.
11. මහාමුනි වූ ඒ අර්‍ත්‍ථදර්ශී නම් බුදුහු ද ‘මේ තෙම මෙයින් අටළොස්සියක් වන කප්හි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
12. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
13. තථාගතයෝ අජපාල නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
14. පස්මරුන් දිනූ ඒ බුදුහු නිල්දලාහෝතෙර වැඩහිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ මඟින් බෝමුල වෙත එළැඹෙන්නාහ.
15. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතුරුක්මුල්හි බුදු වන්නේ යි.
16. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
17. ඔබට කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුනට උපස්ථාන කරන්නාහ.
18. ඛේමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ යසස් ඇති ගොයුම් සම්බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
20. අසම වූ මහර්ෂීන්ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුද්ධබීජාංකුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
21. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ සදේවක ලෝකයා කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරේ.
22. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම්හ.
23. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
24. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ ද බස් අසා සතුටු වූයෙම් සංවේ පත් සිත් ඇතියෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
26. ශාස්තෘ වූ අර්‍ත්‍ථදර්ශී නම් බුදුන්ට ශෝභන නම් නුවරෙක් වී යැ’ පිය තෙම සාගර නම් ක්‍ෂත්‍රිය විය, මව් තොමෝ සුදස්සනනම් වූ.
27. ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) අමරගිරි යැ සුරගිරි යැ ගිරිවාහන යැ යි උතුම් තුන් පහා කෙනෙක් වූහ.
28. මොනොවට සරහනලද තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. විශාඛා නම් ස්ත්‍රියක් අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සෙල නම් වී.
29. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
30. මහත්වීර්‍ය්‍ය ඇති නරශ්‍රේෂ්ඨ වූ මහත් යසස් ඇති අර්‍ත්‍ථදර්ශී බුදුහු මහබඹහු විසින් අයදනාලදහු අනෝම නම් උයන්හි දී දම්සක් පැවැත් වූහ.
31. අර්‍ත්‍ථදර්ශී සම්බුදුනට ශාන්ත යැ උපශාන්ත යැ යන දෙදෙන අගසවු වූහ. අභය නම් තෙර කෙනෙක් උපස්ථායක වූහු.
32. ධර්‍මා යැ සුධර්‍මා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුනට බෝධිය ‘සපු’ යයි කියනු ලැබේ.
33. නකුල යැ නිසභ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. මකිලා යැ සුනන්‍දා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
34. අසමසම වූ අසූරියනක් උස් වූ ඒ බුදුහු ද සුපිපි සල්රුකක් සෙයින් ද පුන්සඳ සෙයින් ද බබළයි.
35. එකල්හි ඒ අර්‍ත්‍ථදර්ශී බුදුන්ගේ නොයෙක් කෙළසියගණන් පියවිරැස් උඩ යට දසදිග්හි හාත්පස්හි යොදනක් තැන් පැතිරෙයි.
36. නරශ්‍රේෂ්ඨ වූ හැම සත්නට උතුම් වූ මුනි වූ පසස් ඇති ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද ලක්‍ෂයක් හවුරුදු ලොවැ වැඩ විසූහ.
37. අතුල්‍ය වූ අවභාස දක්වා සදේවක ලෝකයෙහි බැබැළී ඉන්‍ධනක්‍ෂයෙන් අග්නිය සෙයින් ඒ අර්‍ත්‍ථදර්ශී බුදුහු ද අනිත්‍යතාවට පැමිණිසේක.
38. ජිනෝත්තම වූ අර්‍ත්‍ථදර්ශී බුදුහු අනෝමාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ පෙදෙස්හි පතළාහ යි.
තුදුස් වැනි අර්‍ත්‍ථදර්ශී බුද්ධවංශ යි.
15. ධර්‍මදර්ශී බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කප්හි මහත් වූ යසස් ඇති ධර්‍මදර්ශී නම් බුදුහු මොහඳුරු නසා සදේවක ලෝකයෙහි අධික වැ බැබැළුණාහ.
2. අපමණ තේජස් ඇති ඒ ධර්‍මදර්ශී බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි දී කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථම ධර්‍මාවබෝධය වී.
3. යම් කලෙකැ ධර්‍මදර්ශී බුදුහු සඤ්ජය නම් රුසිහු දමනය කළ සේක් ද, එකල්හි අනූ කෙළක් සත්නට දෙ වැනි අභිසමය වී.
4. යම් කලෙකැ සක්දෙව්රජ පිරිස් සහිත වැ බුදුන් කරා එළඹියේ ද, එකල්හි අසූ කෙළක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
5. දෙවියනට දෙවි වූ ඒ ධර්‍මදර්ශී බුදුනට ද පහවූ රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදී ගුණ ඇති රහතුන්ගේ සන්නිපාත තුනෙක් වී.
6. යම් කලෙකැ ධම්මදස්සී බුදුහු සරණ නම් නගරයෙහි වස් එළැඹිසේක් ද, එකල්හි කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
7. යළි යම් කලෙකැ ධර්‍මදර්ශී බුදුහු දෙව්ලොවින් මිනිස්ලොවට වැඩිසේක් ද, එකල්හි දු කෙළසියක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
8. යළි යම් කලෙකැ බුදුහු (සුදර්‍ශනාරාමයෙහි දී හාරිත නම් තෙරණුවන් අගසවු තැන්හි තබමින්) තෙළෙස් ධුතගුණයන් ප්‍රකාශ කළ සේක් ද එකල්හි අසූ කෙළක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
9. එසමයෙහි මම් පුරින්‍දද වූ සක්දෙව් රජ වීම්, දිව ගඳින් මලින් පසඟතුරුරැවින් බුදුන් පිදීමි.
10. ඒ ධර්‍මදර්ශී නම් බුදුහු ද දෙව්පිරිස් මැද වැඩහිඳ මේ තෙම මෙයින් අටළොස් වන කප්සියෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන් සේක.
11. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
12. තථාගතයෝ අජපල් නම් රුක්මුල්හි හිඳ එහිදී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට පැමිණෙන්නාහ.
13. පස්මරුන් දිනූ ඒ ධර්‍මදර්ශී බුදුහු නිල්දලාහෝතෙර දී කිරිපිඬු, වළඳා දෙවියන් පිළියෙල කළ උතුම්මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
14. ඉක්බිති මහත් යසස් ඇති අනුත්තර මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක්මුල්හි බුදුවන්නේ යි.