36. ශාස්තෘ වූ පියුමතුරා බුදුන්ට දේවල යැ සුජාත යැ යි අගසවු දෙනමක් වූහ, සුමන නම් උපස්ථායක තෙර කෙනෙක් වූහු.
37. අමිතා යැ අසමා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘සලල’ යයි කියනු ලැබෙයි.
38. විතිණණ යැ තිස්ස යැ යන දෙදෙන අගඋවටු වූහ. හත්‍ථා යැ විචිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
39. අටපනස්රියන් උස් වූ මහමුනිහු උතුම් වූ දෙතිස්මහපුරිස්ලකුණු ඇතියාහු කසුන්ඇගෑයක් බඳු වූහ.
40. ඒ පියුමතුරා බුදුන්ට හාත්පසැ දොළොස් යොදුන් තැන්හි කොඬවරපවුරු යැ කවුළු යැ බිත්ති යැ රුක් යැ ගල්පවු යැ යන මොහු ආවරණ නැති.
41. එකල්හි සියදහසක් හවුරුදු ආයු වී, එතෙක් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැ වූහ.
42. බොහෝ ජනයා සසරින් තරවා සියලු සැක සිඳ ගිනිකඳ සෙයින් දිලිහි ශ්‍රාවකයන් සහිත වූ ඒ පියුමතුරා බුදුහු පිරිනිවිසේක.
43. පස්මරුන් දිනූ පියුමතුරා බුදුහු නන්‍දාරාමයෙහි පිරිනිවියහ, එහි මැ උන් වහන්සේගේ උතුම් ස්තූපය දොළොස්යොදුන් උස්කොට බඳවනලදි.
දස වැනි පදුමුත්තර බුද්ධවංශ යි.
11. සුමේධ බුද්ධවංශය
1. පියුමතුරා නම් බුදුන්ට මෑතභාගයෙහි ලෝකනායක වූ නො ගැටියහැකි වූ උග්‍රතේජස් ඇති මුළුලොවට උතුම් වූ සුමේධ නම් බුදුහු (ලොව පහළ වූ සේක.)
2. පහන් නුවන් ඇති මනා මුව ඇති සිරුරු පමණින් මහත් වූ ඍජුගාත්‍ර ඇති බබළන සිරුරු ඇති හැම සත්නට හිතකර වූ උන් වහන්සේ බොහෝ සත්ත්‍වයන් සංසාරබන්‍ධනයෙන් මුදලූ සේක.
3. යම් කලෙකැ සුමේධ බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුදර්‍ශන නගරයෙහි දම්සක් පැවැත් වූ සේක් ද,
4. එකල්හි උන්වහන්සේ ගේ ධර්‍ම දේශනායෙහි ධර්‍මාභිසමය තුනෙක් වී යැ. කෙළ සුවහසක් සත්නට ප්‍රථමාභිසමය වී.
5. යළි පස්මරුන් දිනූ ඒ සුමේධ බුදුහු කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක. (එකල්හි) අනූ කෙළ දහසක් සත්නට ද්වීතීයාභිසමය වී.
6. යළි අපමණ යසස් ඇති බුදුහු චතුස්සත්‍යය ප්‍රකාශ කළහ, (එකල්හි) අසූ කෙළ දහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
7. මහර්ෂි වූ සුමේධ සර්‍වඥයන් වහන්සේට විගතරගාදි මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
8. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු සුදර්‍ශන නම් නගරවරය කරා එළඹි සේක් ද, එකල්හි ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.
9. යළි දේවකූටයෙහි භික්‍ෂූන්ට කෙළින් සිවුරු අතුළ කල්හි අනූ කෙළක් ශ්‍රාවකයන් ගේ ද්විතීය සමාගමය වී.
10. යළි යම් කලෙක දසබල බුදුහු චාරිකායෙහි වැඩිසේක් ද එකල්හි අසූ කෝටියක් ශ්‍රාවකයන් ගේ තෘතීය සමාගමය වී.
11. එසමයෙහි මම් උත්තර නම් මාණවයෙක් වීමි, මාගේ ගෙහි අසූ කෙළක් ධනය රැස් කරන ලද වී.
12. සියලු ධනය නිරවශේෂයෙන් සඟුන් සහිත ලෝකනායකයන් විෂයයෙහි පුදා උන් වහන්සේ ගේ සරණයට පැමිණියෙමි, පැවිද්ද ද රුචි කෙළෙමි.
13. ඒ සුමේධ බුදුහු ද අනුමෝදනා කරන්නාහු ‘මේ තෙම මෙයින් තිස්දහසක් වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන් සේක.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. පස්මරුන් දිනූ මුනිහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතු බෝරුක් වෙත එළැඹෙයි.
17. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝ මැඬ පැදකුණු කොට ඇසැතු බෝ රුක මුල්හි හිඳ බුදු වන්නේ යි.
18. මොවුන් ගේ ජනික මව මායා නම් වන්නී යැ, පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ; ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුනට උපස්ථාන කරන්නාහ.
20. බෙමා යැ උප්පලවණ්ණායැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
22. අසම වූ මහර්ෂීන් ගේ මෙ බස් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝ වැස්සෝ බදැඳිළි වැ නමස්කාර කෙරෙත්.
24. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැද, යට තොටැහි ගෙන මහානදිය තරණය කෙරෙත් ද,
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ පස්මරුන් දිනූ සම්බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමුවන්නම් හ.
27. ඒ බුදුනුදු ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි, දස පාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
28. සූත්‍රාන්තය ද විනය දැ යි නවඞ්ගශාස්තෘ ශාසනය සියල්ල පිරිවහා සර්‍වඥශාසනය හෙබැ වීමි.
29. එහි මම් හිඳුම් සිටුම් සක්මන්හි අප්‍රමත්ත වැ වාස කරන්නෙම් අභිඥාවන්හි පරතෙරට ගොස් බඹලොවට ගියෙමි.
30. මහර්ෂි වූ සුමේධ බුදුන් ගේ නගරය සුදර්‍ශන නම් වී යැ. සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා වී යැ, මව් තොමෝ සුදත්ත නම් වූ.
31. ඒ සුමේධ සම්මාසම්බුදුහු නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට සුචන්‍දනක යැ කොඤ්ච යැ සිරිවඩ්ඪ යැ යි උතුම් වූ තුන් පහයෙක් වී.
32. මොනොවට සරසන ලද අටසාළිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ සුමනා නමු. පුත්‍ර තෙම පුනබ්බ සුමිත්ත නම් වී.
33. පස්මරුන් දිනූ බුදුහු සතර පෙර නිමිති දැක ඇත් යානයෙකින් මහබිනික්මන් කළහ, පුරා අට මසක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
34. මහත් වීර්‍ය්‍ය ඇති සුමේධ නම් ලෝක නායකයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ සුදර්‍ශන උයන්හිදී දම්සක් පැවැත්වූහ.
35. මහර්ෂි වූ සුමේධ බුදුන්ට සරණ යැ සබ්බකාම යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සාගර නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
36. රාමා යැ සුරාමා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ‘කොළොම්රුක’ යයි කියනු ලැබේ.
37. උරුවේල යැ යසව යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. යසෝධරා යැ සිරිමා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
38. අට අසූරියන් උස්වූ මහමුනිහු තරුගණ මැද පුන්සඳ සෙයින් හැම දික් බැබැළ වූහ.
39. යම් සේ සක්විති රජක්හු ගේ මිණිරුවන යොදුනක් තැන් බබළා ද, එසෙයින් මැ උන් වහන්සේ ගේ ආභාරත්නය හාත්පසැ යොදුනක් තැන් පැතිරෙයි.
40. එකල්හි අනූ දහසක් හවුරුදු ආයු පැනෙයි, එතෙක් වැඩසිටි උන් වහන්සේ බොහෝ ජන සමූහය සසර කතරින් තරණය කර වූහ.
41. ත්‍රිවිද්‍යා ඇති ෂඩභිඥා ඇති ඍද්ධිබල ප්‍රාප්ත වූ තාදී ගුණ ඇති රහතුන් ගෙන් මෙ සස්න (මිහිතලය හෝ) ගැවැසීගත්තේ යි.
42. අපමණ පිරිවර ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු උපධි රහිත වූ මහායසස් ඇති එ හැම රහත්හු ද ඥානාලෝකය දක්වා පිරිනිවියහ.
43. ජිනෝත්තම වූ සුමේධ නම් බුදුහු මේධාරාමයෙහි පිරිනිවියහ, ධාතූහු ඒ ඒ ප්‍රදේශයෙහි පතළාහ යි.
එකොළොස් වැනි සුමේධ බුද්ධවංශය යි.
12. සුජාත බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි සිංහයකුට බඳු පරිපූර්‍ණ හනු ඇති වෘෂභයකුට බඳු සම වට කඳට ඇති ප්‍රමාණ නො කටහැකි වූ නො ගැටිය හැකි වූ සුජාත නම් ලෝකනායකයන් වහන්සේ පහළ වූහ.
2. විගත මල ඇති එහෙයින් මැ ශුද්ධ වූ චන්‍ද්‍රයා යම් සේ ද ප්‍රතාපවත් සූර්‍ය්‍යයා යම් සේ ද, එසෙයින් මැ හැම කල්හි සිරියෙන් බබළන සම්බුදුහු බබළති.
3. සම්බුදුහු උතුම් වූ පරිපූර්‍ණ සම්බෝධියට පැමිණ සුමඞ්ගල නම් නගරයෙහි දී දම්සක් පැවැත් වූහ.
4. සුජාත නම් ලෝකනායකයන් වහන්සේ උතුම් වූ දහම් දෙසන කල්හි ප්‍රථම ධර්‍මදේශනායෙහි අසූ කෙළක් ප්‍රාණීහු ධර්‍මභාවබෝධය කළහ.
5. යම් කලෙකැ අප්‍රමාණ යසස් ඇති සුජාත නම් සම්බුදුහු දෙව්ලොවැ වස් එළැඹි සේක් ද, එකල්හි සත්තිස් දහසක් සත්නට ද්විතීය ධර්‍මාභිසමය වී.
6. යම් කලෙකැ අසමසම වූ සුජාත නම් බුදුහු පියරජහු සමීපයට වැඩිසේක් ද, එකල්හි සැටලක්‍ෂයක් ප්‍රාණීන්ට තුන් වැනි ධර්‍මාවබෝධය වී.
7. මහර්ෂි වූ සුජාත සර්‍වඥයන් වහන්සේට විගතරාගාදිමල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති රහතුන් ගේ සන්නිපාත තුනෙක් වී.
8. අභිඥාබලයට පැමිණි කුදු මහත් භවයට නො පැමිණියවුන් අතුරින් ඒ සැටලක්‍ෂයක් රහත්හු පළමු වැ රැස් වූහ.
9. යළි පස්මරුන් දිනූ බුදුන් ගේ දෙව්ලොවින් බස්නා සන්නිපාතයෙහි පනස් ලක්‍ෂයක් රහතුන් ගේ ද්විතීය සමාගමය වී.
10. ඒ සුජාත නම් බුදුනට යම් අගසවු කෙනෙක් වූවාහු ද, සුදර්‍ශන නම් වූ උන් වහන්සේ නරශ්‍රේෂ්ඨ බුදුන් කරා පැමිණෙන්නාහු සාර ලක්‍ෂයක් පිරිවර හා සමග පැමිණියාහ.
11. එසමයෙහි මම් කොදිව් සහිත සතර දිවයිනෙහි අධිපති වූ අහස්හි හැසිරෙන මහබල ඇති සක්විති රජ වීමි.
12. ඒ මම් ලෝකයෙහි අද්භූත වූ ලොමුදහගන්වන ආශ්චර්‍ය්‍යය දැක සුජාත ලෝකනායකයන් වහන්සේ කරා එළැඹ වැන්දෙමි.
13. සිව්මහදිවයින්හි මහරජය උතුම් වූ සත් රුවන බුදුන් විෂයයෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
14. ආරාමික වූ දනව්වැස්සෝ කරවූවර පුඬු කොට බික්සඟනට චීවරාදි ප්‍රත්‍යය හා සෙනසුන් එළවත්.
15. දස දහසක් සක්වළට ඉසුරු වූ ඒ සුජාත බුදුහු දු ‘මේ තෙම මෙයින් තිස්දහස් වන කප්හි බුදු වන්නේ ය’යි මට විවරණ දුන් සේක.
16. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
17. තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් බෝධි මූලය වෙත එළැඹෙන්නාහ.
19. ඉක්බිති මහා යසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හිදී බුදුවන්නේ ය.
20. මොවුන් ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ඒ බුදුනට ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් උපස්ථාන කරන්නාහ.
22. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ, ඒ භාග්‍යවතුන් ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
24. අසම වූ මහර්ෂීන් ගේ මෙ වදන් අසා ‘මේ තෙම බුදධබීජාඞ්කූරයෙකැ’ යි සතුටු වූ දෙවි මිනිස්සු–
25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇති වැ නමස්කාර කෙරෙත්.
26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
27. යම් සේ මිනිස්සු ගංහෝ තරණය, කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ ජිතපඤ්චමාර සර්‍වඥයන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
29. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සන්තෝෂය දැනැවීමි. දසපාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
30. සූත්‍රාන්තය ද විනය දැ යි නවාඞ්ග ශාස්තෘශාසනය සියල්ල පිරිවහා බුදු සසුන් හෙබැ වීමි.
31. මම් එ සසුන්හි නො පමා වැ වාසය කරනුයෙම් බ්‍රහ්මවිහාරභාවනා වඩා අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.
32. මහර්ෂි වූ සුජාත බුදුන්ගේ නගරය සුමඞ්ගල නම, පිය තෙමේ උග්ගත නම් ක්‍ෂත්‍රිය විය, මව්තොමෝ පභාවතී නමු.
33. ඒ සුජාත බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ශ්‍රී යැ උපශ්‍රී යැ ශ්‍රී නන්‍දා යැ යි උතුම් තුන්පහයෙක් වී.
34. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ, මෙහෙසිය සිරිනන්‍දා නමු, පුත්‍ර තෙම උපසේන නම් වී.
35. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක අශ්වයානයෙකින් මහබිනික්මන් කළහ, පුරා නවමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
36. මහත් වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ සුජාත බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වු සුමඞ්ගල උයන්හිදී දම්සක් පැවැත්වූහ.
37. මහර්ෂි වූ සුජාත බුදුන්ට සුදර්‍ශන යැ දේව යැයි අගසවු දෙනමක් වූහ, නාරද නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ.
38. නාගා යැ නාගසමාලා යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහහුණ’ යයි කියනු ලැබේ.
39. එරුක ද හටගත් රුසිරු ඇතියේ අල්පච්ජිද්‍ර ඇතියේ බොහෝ පත්‍ර ඇත්තේ වෙයි. ඍජු වූ හුණරුක අවටින් මහත් වූයේ දැකුම්කලු වූයේ මනරම් වේ.
40. එක් කඳ වැ වැඩී එයින් ශාඛා බෙදිණ, එරුක මොනොවට බඳනාලද මයූරහස්තයෙන් (මොනරපිළින් කළ හිරවරණක්) සෙයින් හොබී.
41. එරුක්හි කටු නැති, සිදුර ද මහත් නොවී, විසුළ අතු ඇත්තේ අවිරල වූ ගන සෙවන ඇත්තේ මනරම් වී.
42. ඔබට සුදත්ත යැ චිත්ත යැ යන දෙදෙන අග උවටු වූහ, සුභද්‍රා යැ පද්මා යැ යන දෙදෙන අග උවට වූහ.
43. සියලු ආකාරවරයෙන් යුත් වූ හැම ගුණයෙන් සමන්‍විත වූ ඒ බුදුහු උසින් පනස් රියන් වූහු.
44. උන් වහන්සේගේ අසමසම වූ ප්‍රභාව හාත්පසින්ම නික්ම යෙයි. ඔබ ප්‍රමාණ රහිත වූවාහු අතුල්‍ය වූවාහු උපමායෙන් අනුපම වෙත්.
45. එකල්හි අනූදහසක් හවුරුදු ආයු වෙයි, එතෙක් සිටිමින් උන් වහන්සේ බොහෝ ජන සමූහයා සසරකතරින් තැරැ වූහ.