26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
28. මහර්ෂි වූ පදුම බුදුන්ට චම්පක නම් නගරය විය අසම නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය මව් තොමෝ අසමා නම් වූ.
29. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. උත්තර යැ වසුත්තර යැ යසුත්තර යැ යි උතුම් තුන් පහයෙක් වී.
30. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. ඒ මෙහෙසි තොමෝ උත්තරා නම් වූ පුත්‍ර තෙම රම්‍ය නම් වී.
31. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. පුරා අට මසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
32. මහත්වීර්‍ය්‍ය ඇති පදුම නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
33. පදුම බුදුන්ට සාල යැ උපසාල යැ යි අගසවු දෙදෙනෙක් වූහ. වරුණ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
34. රාධා යැ සුරාධා යැ යි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘මහාසෝණ’ යැ යි කියනු ලැබෙයි.
35. භිය්‍ය යැ අසම යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. රුචි යැ නන්‍දරාමා යැ යි අගඋවට දෙනමක් වූහ.
36. ඒ පදුම බුදුහු අටපනස්රියන් උස් වූහ. උන් වහන්සේගේ යම වූ කැලුම් හැම දෙස නික්ම යෙයි.
37. සඳකැල්ම හිරුකැල්ම රුවන්ගිනි මිණිකැල්ම යන එහැම කැලුම්හු උතුම් වූ බුදුන්ගේ කැලුම් පැමිණ නටුවාහු වෙති.
38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි, උන් වහන්සේ ඒතාක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
39. පැසුණු ඉඳුරන් ඇති සත්ත්‍වයන් නිඃශේෂයෙන් අවබෝධ කරවා සෙස්සනට අනුශාසනා කොට ශ්‍රාවකයන් සහිත උන්වහන්සේ පිරිනිවියහ.
40. සර්‍පයෙක් දිරූ සැව සෙයින් වෘක්‍ෂයෙක් පුරාණපත්‍රයක් සෙයින් හැම සංස්කාරයන් හැරපියා ඒ බුදුහු ගින්නක් සෙයින් පිරිනිවියහ.
41. ජිනවර වූ පදුම බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. ඒ ඒ පෙදෙස්හි ධාතූහු පතළහ.
අටවැනි වූ පදුම බුද්ධවංශ යි.
9. නාරද බුද්ධවංශය
1. පදුම බුදුන්ට මෑතභාගයෙහි නමින් නාරද නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
2. සක්විතිරජහට ජ්‍යේෂ්ඨ ඖරසපුත්‍ර වූ ඒ බුදුහු පලන් මල්බරණ ඇත්තාහු උයනට එළැඹියහ.
3. එහි විපුල වූ යසස් ඇති මනහර වූ මහත් වූ පවිත්‍ර වූ වෘක්‍ෂයෙක් වී. එතැනට පැමිණ ඒ මහමුරුත{*} රුක්මුල්හි හුන්හ.
4. එහි දී අප්‍රමේය වූ වජ්‍රෝපම (සියුම්) වූ උතුම් නුවණ පහළ වී. එ නැණින් සංස්කාර ධර්‍මයන්ගේ උදයව්‍යය (විදර්‍ශනායෙන්) විමසූහ.
5. එහි දී හැම කෙලෙසුන් නිරවශේෂ කොට ප්‍රහාණය කළහ, පරිපූර්‍ණඅර්‍හන්මාර්‍ගඥානය ලදහ, තුදුස් බුදුනුවණ ද ලදහ.
6. සම්බෝධියට පැමිණ දම්සක් පැවැත්වූහ. කෙළලක්‍ෂයක් සත්නට ප්‍රථමාභිසමය වී.
7. එකල්හි මහමුනිහු මහාද්‍රෝණ නම් නාරජ දමනය කෙරෙමින් දෙවියන් සහිත ලෝකයාට පැනෙමින් පෙළහර පෑහ.
8. එකල්හි එ ධම්දෙසුන්හි දෙව්මිනිසුන් අතුරින් අනූකෙළදහසක් ප්‍රාණීහු හැම සංශය ඉක්ම ගියහ.
9. මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු යම් කලෙක සිය පුතණුවන්ට ඔවා දුන්හු ද, එකල්හි අසූකෙළ දහසක් සත්නට තෘතීයාභිසමය වී.
10. මහර්ෂි වූ නාරද බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෝටිලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
11. යම් කලෙක බුදුහු නිදාන සහිත කොට බුදුගුණ ප්‍රකාශ කළසේක් ද එකල්හි අනූකෙළදහසක් රහත්හු රැස්වූහ.
12. යම් කලෙක වෙරොචන නම් නාග තෙම දන් දුන්නේ ද එකල්හි අසූලක්‍ෂයක් ශ්‍රාවකයෝ රැස්වූහ.
13. එකල්හි මම් උග්‍රතපස් ඇති ජටිල වූයෙම් පඤ්චඅභිඥාවන්හි පරතෙරට පැමිණියෙම් අහස්හි සරනුයෙම් වීමි.
14. එකල්හිදු මම් සඟුන් සහිත වූ පරිජනයා (උපාසක ජනයා) සහිත වූ අසමසම වූ බුදුන් ආහාරපානයෙන් සතප්වා සඳුනෙන් පිදීමි.
15. ලෝකනායක වූ ඒ නාරද බුදුහු ද ‘මේ තෙම මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
16. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
17. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
18. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
19. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යි.
20. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
21. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අශ්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
22. ඛේමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන් ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබෙයි.
23. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ, උත්තරා යැ නන්‍ද මාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ, යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
24. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ යි දෙව්මිනිස්සු සතුටු වූවාහු–
25. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
26. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
27. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
28. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
29. මම් ඒ බුදුනුගේ බස් අසා මත්තෙහි සිත් වඩා දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
30. මහර්ෂි වූ නාරද බුදුන්ගේ නගරය ධන්‍යවතී නම, සුදේව නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වීය, මව් තොමෝ අනෝමා නම් වූ.
31. උන් වහන්සේ නව දහසක් හවුරුදු ගිහිගෙයි විසූහ, ඔබට ජිත යැ විජිත යැ විජිතාභිරාම යැ යි උතුම් වූ තුන්පහයෙක් වී.
32. මොනොවට සරහනලද තෙසාලිස් දහසක් පිරිවර ස්ත්‍රීහු වූහ, මෙහෙසි තොමෝ විජිතසේනා නමු, පුත්‍ර තෙම නන්‍දොත්තර නම් වී.
33. ලෝකනායක වූ නාරද මුනිහු සතර පෙරනිමිති දැක පියගමනින් මහබිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
34. මහත්වීර්‍ය්‍ය ඇති ලෝකනායක වූ නාරදමුනිඳුහු මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ ධනඤ්ජ ය නම් උයන්හි දම්සක් පැවැත්වූහ.
35. මහර්ෂි වූ නාරදමුනිඳුනට භද්දසාල යැ ජිතමිත්‍ර යැ යි අගසවු දෙනමක් වූහ. වාසෙට්ඨ නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
36. උත්තරා යැ ඵග්ගුනී යැ යි අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය මහාසෝණ (මහමුරුත) යයි කියනුලැබෙයි.
37. උග්ගරින්‍ද යැ වසභ යැ යි අගඋවටුවෝ දෙදෙනෙක් වූහ. ඉන්‍දීවරියැ උන්‍දී යැ යි අගඋවට දෙදෙනෙක් වූහ.
38. අට අසූරියන් උස්වූ සම්බුදුහු රන්ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළ වූහ.
39. එකල්හි උන් වහන්සේගේ සිරුරින් නික්මුණු ව්‍යාමප්‍රභාව දිශානුදිශාවන්හි යොදුනක් මුළුල්ලෙහි දිවරැය නිරතුරු පැතිරෙයි.
40. එසමයෙහි හාත්පසැ යොදුනෙක්හි බුදුරැසින් වතළ කිසි ජන කෙනෙක් පහන් නො දල්වත්.
41. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් සිටුනාහු බොහෝ ජනසමූහයා (සසරකතරින්) තරණය කරවූහ.
42. යම්සේ ගුවන්තලය තාරකාවන් කරණකොට හොබනේ ද, එසෙයින් මැ උන් වහන්සේගේ සස්න රහතුන් කරණ කොට ගෙන හොබී.
43. නරෝත්තතම වූ ඒ බුදුහු සෙසු ප්‍රතිපන්නයන් සංසාරශ්‍රෝතස තරණය කරණ පිණිස දහම්හෙය දැඩි කොට පිරිනිවියහ.
44. අසමසම වූ ඒ බුදුහු ද අතුල්‍ය වූ තේජස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද යන එහැම අතුරුදහන් විය හැම සකරහු සිස්වූවාහු නො ද?
45. ජිනෝත්තම වූ නාරදමුනිහු සුදර්‍ශන පුරයෙහි පිරිනිවියහ. එහි මැ උතුම් වූ ජිනස්තූපය සිව්යොත්නෙක් උස් වූයේ යි.
නවවැනි නාරද බුද්ධවංශ යි.
10. පදුමුත්තර බුද්ධවංශය
1. නාරද නම් සම්මාසම්බුදුනට මෑතභාගයෙහි අකම්ප්‍ය වූ සාගරයට බඳු උපමා ඇති පියුමතුරා නම් ද්විපදෝත්තම සම්මාසම්බුදුහු (ලොව පහළ වූහ.)
2. යම් කපෙක පියුමතුරා සම්මාසම්බුදුහු උපන්සේක් ද, හේ මණ්ඩකලපය බඳු වී යැ. එකප්හි උත්සන්න වූ කුසල් ඇති ජනසමූහය උපන.
3. පියුමතුරා බුදුන්ගේ ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළලක්‍ෂයක් ප්‍රාණීන්ට ධර්‍මාභිසමය වීය.
4. එයින් මෑතභාගයෙහිදු ප්‍රාණීන් පිණවන වර්‍ෂාඍතුහුගේ අන්තයෙහි සත්තිස් ලක්‍ෂයක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
5. යම් කලෙක මහත්වීර්‍ය්‍ය ඇති බුදුහු ආනන්‍ද නම් වූ පියමඟරජුන් කරා එළැඹිසේක් ද, එකල්හි පියරජුන් කරා පැමිණ අමා බෙර පහළහ.
6. අමාබෙර පහළ කල්හි දහම්වැසි වස්නා කල්හි පනස්ලක්‍ෂයක් ප්‍රාණීන්ට තෘතීයාභිසමය වී.
7. හැම සත්නට සරණශීලාදීන් අවවාද කරන සිව්සස් අවබෝධ කරන චතුරෝඝ තරණය කරවන දේශනායෙහි නිපුණ වූ බුදුහු බොහෝ ජනසමූහයා සසරකතරින් තරණය කරවූසේක.
8. පියුමතුරා බුදුන්ට තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථමසමාගමය වී.
9. යම් කලෙකැ අසමසම වූ බුදුහු වේභාරපර්‍වතයෙහි වස්වුසූසේක් ද එකල්හි අනූදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
10. නැවත චාරිකායෙහි නික්මුණු කල්හි ගම්නියම්ගම්දනවියෙන් නික්ම පැවිදි වූ අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තෘතීය සමාගමය වී.
11. එසමයෙහි මම් ජටිල නම් මහරැටි වූයෙම් බුදුපාමොක්සඟනට සිවුරු සහිත උතුම් දනක් දිනිමි.
12. ඒ පියුමතුරා සර්‍වඥයන් වහන්සේ ද සඟමැද වැඩහිඳ මේ තෙම මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි බුදු වන්නේ යැ’යි මට විවරණ දුන්සේක.
13. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන්, නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
15. ඒ පස්මරුන් දිනූ බුදුහු නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
16. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුබෝරුක් මුල්හි හිඳ බුදු වන්නේ යි.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබෙයි.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදුසියයෙක් ආයු වෙයි.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
26. මම් ඒ බුදුනුදුගේ බස් අසා මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි, දස පාරමීන් පුරන පිණිස උග්‍ර වූ දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
27. එකල්හි හැම තීර්‍ත්‍ථකයෝ නසනලද මානදර්‍ප ඇත්තාහු විරූපසිත් ඇත්තාහු නො සතුටු සිත් ඇති වූහ, ඔවුනට කිසි කෙනෙක් සත්කාරාදි පිරියම් නො කෙරෙති, ඔවුන් සිය රටින් නෙරත්.
28. ඔහු හැම දෙන රැස් වැ ඒ බුදුන් වෙත එළැඹියාහ. පසැස්ඇති මහාවීරයන් වහන්ස, නුඹ වහන්සේ ශාස්තෘ වූවහ, සරණ වුව මැනැවැ’යි. (සරණ ගියහ.)
29. හැම සත්නට අනුකම්පා ඇති කාරුණික වූ හිතෛෂී වූ සර්‍වඥයන් වහන්සේ පැමිණි හැම තීර්‍ත්‍ථකයන් පන්සිල්හි පිහිටි වූහ.
30. මෙසේ ඒ බුදුන්ගේ සස්න තීර්‍ත්‍ථකයන් විසින් අනාකූල වූයේ සිස් වූයේ විය, වශී බවට පැමිණි තාදීගුණ ඇති රහතුන් විසින් අතිශයින් විසිතුරු වී.
31. මහර්ෂි වූ පියුමතුරා බුදුන්ගේ නගරය හංසවතී නම, ආනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ වී යැ, මව් තොමෝ සුජාතා නම් වූ.
32. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට නරවාහන යැ යස යැ වසවත්ති යැ යි උතුම් තුන්පහයෙක් වී.
33. මොනවට සරහනලද පරිවාරස්ත්‍රීහු තෙසාළිස්දහසක් වූහ, මෙහෙසි තොමෝ වසුදත්තා නම් වූ, පුත්‍ර තෙම උත්තර නම් වී.
34. පුරුෂෝත්තම වූ පියුමතුරා බුදුහු සතර පෙර නිමිති දැක ප්‍රාසාදය හා සමග මහභිනික්මන් කළහ, සතියක් මුළුල්ලෙහි ප්‍රධන්වීර්‍ය්‍ය කළහු–
35. මහත්වීර්‍ය්‍ය ඇති පදුමුත්තර සර්‍වඥයන් වහන්සේ මහබඹහු විසින් අයදනාලදහු උතුම් වූ මිථිලා නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.