12. එසමයෙහි මම් සුජාත නම් බ්‍රාහ්මණ වීමි. එකල්හි සභුන් සහිත බුදුන් ආහාරපානයෙන් සැතැපීමි.
13. ලෝකනායක වූ ඒ සෝභිත නම් සම්මාසම්බුදුහු ද, ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්සේක.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත තෙමේ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
17. ඉක්බිති ඒ මහායශස් ඇති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
18. මොවුන්ගේ ජනික මව මායා නම් වන්නී යැ පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කෙරෙයි.
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනුලැබේ.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුනට වර්‍ෂ සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
24. ඉදින් ඇපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද –
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
27. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුටු වූයෙම් සංවේගයට පත් සිත් ඇතියෙම් එ මැ අර්‍ත්‍ථයට පැමිණෙනු පිණිස දෘඪවීර්‍ය්‍යය කෙළෙමි.
28. මහර්ෂි වූ සෝභිත නම් බුදුන්ගේ නගරය සුධර්‍ම නම, පිය වූ ක්‍ෂත්‍රිය තෙම සුධර්‍ම නම, මව් තොමෝ සුධර්‍මා නමු.
29. ඒ සෝභිත නම් බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට කුමුද යැ කලීර යැ පදුම යැ යි උතුම් තුන් පහයෙක් වී.
30. මොනොවට සැරසුණු පරිවාරස්ත්‍රීහු සැත්තෑදහසක් වූහ. ඒ මඛිලා නම් ස්ත්‍රිය අගමෙහෙසි වූ. පුත්‍ර තෙම සීහ නම් වී.
31. පුරුෂෝත්තම වූ සෝභිත බෝසත් සතර පෙරනිමිති දැක පහයෙන් අභිනිෂ්ක්‍රමණය කෙළේ යැ. ප්‍රධානචාරය සතියෙකි. ඒ බුදුහු සත්‍යාවබෝධ කරන්නාහු නාගවෘක්‍ෂමූලයෙහි බුදු වූහ.
32. මහත් වූ වීර්‍ය්‍යය ඇති සෝභිත නම් සම්මාසම්බුදුහු බඹහු විසින් අයදනාලදහු උතුම් වූ සුධර්‍ම නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
33. මහර්ෂි වූ සෝභිත බුදුනට අසම යැ සුනෙත්ත යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. අනෝම නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ. නකුලා යැ සුජාතා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ.
34. රම්ම යැ සුදත්ත යැ යන දෙදෙන අගඋවටු වූහ. නකුලා යැ චිත්තා යැ යන දෙදෙන අගඋවට වූහ.
35. අටපනස්රියන් උස්වූ සෝභිත මහමුනිහු උදා වූ දිවයුරු සෙයින් හැම දික් බැබැළවූහ.
36. යම්සේ සුපිපි මහවනය නොයෙක් සුවඳින් සුවඳ කරන ලද ද එසෙයින් මැ උන් වහන්සේගේ සස්න සිල්සුවඳින් සුවඳ කරනලද.
37. යම්සේ සාගරය නම් දර්‍ශනයෙන් අතෘප්තිජනක වේ ද, එසෙයින් මැ ඔබගේ සස්න ශ්‍රවණයෙන් අතෘප්තිජනක වී.
38. එකල්හි අනූදහසක් හවුරුද්දට ආයු විය. එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනතාව සසරකතරින් එතෙර කරවූහ.
39. ඒ බුදුහු සෙසු ජනයන්ට අවවාද අනුශාසනා කොට ගින්නක් සෙයින් තෙද ගන්වා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
40. අසමසම වූ ඒ බුදුහු ද බලප්‍රාප්ත වූ ඒ ශ්‍රාවකයෝ ද යන එ හැම අතුරුදහන් වූහ. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නො ද?
41. සෝභිත නම් වූ උතුම් සම්බුද්ධයන් වහන්සේ සිංහාරාමයෙහි පිරිනිවිසේක. ඒ ඒ පෙදෙස්හි උන් වහන්සේගේ ධාතුහු විසුරුණහ.
සවැනි සෝභිත බුද්ධවංශ යි.
7. අනෝමදස්සී බුද්ධවංශය
1. සෝභිත නම් බුදුන්ට මෑතභාගයෙහි අපමණ වූ යසපිරිවර ඇති ශීලසමාධිප්‍රඥාතේජස් ඇති, කිසිවක්හු විසින් ඉක්මවිය නොහැකි ද්විපදෝත්තම වූ අනෝමදස්සී නම් සම්බුද්ධයන් වහන්සේ ලොව පහළ වූ සේක.
2. ඒ බුදුහු සියලු සංයෝජනයන් සිඳ තුන් භවය වනසා දෙවිමිනිසුන්ට නිවනට යන ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය දෙසූහ.
3. ඒ අනෝමදස්සී බුදුහු මහසයුර සෙයින් නො කළඹාලියහැකි වූහ. පර්‍වතයක්හු සෙයින් නො ගැටියහැකි වූහ. ආකාශය සෙයින් අනන්තයහ. සුපිපි සල්රුකක් සෙයින් සෝභමාන වූහ.
4. ප්‍රාණීහු ඒ බුදුන් දර්‍ශනයෙන් මැ සතුටු වෙති. ඔව්හු දේශනා කරන දහම් අසා නිවණට පැමිණෙති.
5. එකල්හි ඔබගේ ධර්‍මාභිසමය සමෘද්ධ වූයේ බොහෝ ජනයාට හිත විසින් පරිපූර්‍ණ වී. ප්‍රථමධර්‍මදේශනායෙහි කෙළසියක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
6. එයින් මෑතභාගයෙහි දෙවැනි ධර්‍මදේශනායෙහි (බුද්ධමහාමේඝය) දහම්වැසි වස්නා කල්හි අසූකෙළක් සත්ත්‍වයෝ ධර්‍මාභිසමය කළහ.
7. එයින් මෑතභාගයෙහිදු (දහම්වැසිදහර) වස්නා කල්හි (දහම්අමාවැස්සෙන්) සත්ත්‍වයන් පිනවන කල්හි අටසැත්තැකෙළක් ප්‍රාණීන්ට තෘතීයධර්‍මාභිසමය වී.
8. මහර්ෂි වූ ඒ අනෝමදස්සී බුදුන්ට ද ෂඩභිඥා බලයට පැමිණි අර්‍හත්ඵලවිමුක්තියෙන් සුපුෂ්පිත (ශෝභාවට පැමිණි) වූ ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
9. එකල්හි ප්‍රහීණ වූ මදමොහ ඇති ශාන්ත වූ සිත් ඇති තාදී ගුණ ඇති අට ලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී.
10. කෙලෙස් අඞ්ගණ රහිත වූ විගත වූ කෙලෙස්රජස් ඇති උපශාන්ත වූ තාදීගුණ ඇති සත් ලක්‍ෂයක් රහතුන්ගේ දෙවැනි සන්නිපාතය වී.
11. ෂඩභිඥාබලයට පැමිණි ක්ලේශපරිනිර්‍වාණයෙන් පිරිනිවි ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත තපස් ඇති ස ලක්‍ෂයක් ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් වැනි ශ්‍රාවකසන්නිපාතය වී.
12. එසමයෙහි මම් නොයෙක් කෙළගණන් යක්‍ෂයන් වසයෙහි පවත්වන මහේශ්වර වූ මහත් ඍද්ධි ඇති යක්‍ෂසෙනාධිපති වීමි.
13. එකල්හි දු මහර්ෂි වූ ඒ උත්තම සම්බුද්ධයන් කරා එළැඹ සඟුන් සහිත, ලෝකනායකයන් වහන්සේ ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
14. එකල්හි ඒ විශුද්ධ වූ ඇස් ඇති බුදුහු ‘මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
15. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
16. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
17. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතුබෝරුක වෙත එළැඹෙයි.
18. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතු බෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
19. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ. පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යි.
20. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන (අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ පස්මරුන් දිනූ බුදුන්ට උපස්ථාන කරන්නේ යි.
21. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
22. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
23. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
24. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
25. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
26. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟතරණය කෙරෙත් ද–
27. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ’යි.
28. මම් ඒ බුදුනුදුගේ බස් අසා තුෂ්ට වූයෙම් සංවේගයට පැමිණි සිතැත්තෙම් දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
29. අනෝමදස්සී බුදුන්ගේ නගරය චන්‍ද්‍රවතී නම් වී යැ. යසවත් නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය. මව් තොමෝ යශෝධරා නමු.
30. උන් වහන්සේ දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. සිරි යැ උපසිරි යැ සිරිවඩ්ඪ යැ යි උතුම් ප්‍රාසාද තුනෙක් වී.
31. මොනොවට සරසනලද තෙවිසිදහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සිරිමා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම උපවාන නම් වී.
32. පස්මරුන් දිනූ බුදුහු සතර පෙරනිමිති දැක සිවිගෙයෙකින් මහබිනික්මන් කළහ. පුරා දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
33. ඒ මහත්වීර්‍ය්‍ය ඇති අනෝමදස්සී නම් බුදුහු මහබඹහු විසින් අයදනාලදහු සුදර්‍ශන නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
34. අනෝමදස්සී නම් බුදුන්ට නිසභ යැ අනෝම යැ යන දෙදෙන අගසවු වූහ. වරුණ නම් තෙර කෙනෙක් අග උවටු වූහ.
35. සුන්‍දරී යැ සුමනා යැ යන අග්‍රශ්‍රාවිකා දෙනමක් වූහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය අර්ජුන (කුඹුක්) යයි කියනුලැබෙයි.
36. නන්‍දිවඩ්ඨ යැ සිරිවඩ්ඨ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. උත්පලා යැ පද්මා යැ යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
37. ඒ සම්මාසම්බුදුහු අටපනස්රියන් උස වූවහ, උදාවූ සූර්‍ය්‍යයා සෙයින් උන් වහන්සේගේ කැලුම් නික්ම යෙයි.
38. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ අනෝමදස්සී බුදුහු එතෙක් සිටුනාහු බොහෝ ජනසමූහයා තරණය කරවූහ.
39. පහවූ රාග ඇති විගත රාගාදි මල ඇති තාදීගුණ ඇති රහතුන් කරණ කොට ගෙන සුපුෂ්පිත ප්‍රවචන ඇති බුදුසස්න බැබැළී.
40. අප්‍රමාණ යසස් ඇති ඒ ශාස්තෲහු ද ඒ අතුල්‍ය වූ ශ්‍රාවකයුගලයෝ ද යන සියල්ල අතුරුදහන් විය හැම සංස්කාරයෝ සිස් වූවාහු නො?
41. පස්මරුන් දිනූ අනෝමදස්සී බුදුහු ධර්‍මාරාමයෙහි පිරිනිවියහ. එහි මැ ඒ බුදුන්ගේ ස්තූපය පස්විසියොත්නෙක් උස් වූයේ යි.
සත් වැනි අනෝමදස්සී බුද්ධවංශ යි.
8. පදුම බුද්ධවංශය
1. ඒ අනෝමදස්සී බුදුන්ට මෑතභාගයෙහි නමින් ‘පදුම’ නම් වූ අසම වූ අප්‍රතිපුද්ගල වූ ද්විපදෝත්තම සම්බුදු කෙනෙක් වූහ.
2. ඒ බුදුන්ගේ ද ශීලය අසම යැ සමාධිය ද අනන්ත යැ උතුම් වූ (අසාධාරණ) ඥානය ද අප්‍රමේය යැ අර්‍හත්ඵලවිමුත්තිය ද අනුපම වේ.
3. අතුල්‍ය වූ තේජස් ඇති ඒ පදුම බුදුන්ගේ ද දම්සක් පැවැත්මෙහි මහත් වූ මොහඳුරු වනසන අභිසමයයෝ තිදෙනෙක් වූහ.
4. ධීර වූ සම්බුදුහු ප්‍රථමාභිසමයයෙහි කෙළසියක් සත්නට සත්‍යාවබෝධය කළහ. ද්විතීයාභිසමයයෙහි අනූකෙළක් සත්නට සත්‍යාවබෝධය කළහ.
5. යම් කලෙක පදුම බුදුහු ස්වකීය පුතණුවන්ට ඔවා දුන්සේක් ද එකල්හි අසූකෙළක් සත්නට තෘතීයාභිසමය වී.
6. මහර්ෂි වූ පදුම බුදුන්ට තුන් ශ්‍රාවක සන්නිපාත කෙනෙක් වූහ. කෙළසුවහසක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වී.
7. කෙළින්සිවුරු (කඨින) අතුරන සමයෙහි කෙළින්සිවුරක් උපන් කල්හි දම්සෙනෙවි සාල තෙරුන් පිණිස මහණහු සිවුර මැසූහ.
8. එකල්හි ඒ විගත රාගාදි මල ඇති ෂඩ්භිඥා ඇති මහත් ඍද්ධි ඇති අපරාජිත වූ තුන් ලක්‍ෂයක් මහණහු රැස්වූහ.
9. යළි මෑතභාගයෙහි ඒ නරශ්‍රේෂ්ඨ වූ බුදුහු මහවනයෙහි වාසයට පැමිණියහ. එකල්හි දෙලක්‍ෂයක් රහතුන්ගේ සමාගමය වී.
10. එසමයෙහි මම් මෘගාධිපති සිංහරාජයෙක් වූයෙමි. මහවෙනෙහි නිරොධසමාපත්තියට සමවන් බුදුන් දුටුයෙමි.
11. (උන් වහන්සේගේ) පාසඟළ මුදුනින් වැඳ ඒ බුදුන් පැදකුණු කොට තුන් යලක් සිංහනාද කොට සතියක් මුළුල්ලෙහි උවටැන් කෙළෙමි.
12. තථාගතයන් වහන්සේ සත්දින උතුම් සමවතින් නැඟී (මෙහි පැමිණෙත්වයි) සිතින් සිතා කෝටියක් භික්‍ෂූන් රැස්කළහ.
13. එකල්හිදු ඒ මහත්වීර්‍ය්‍ය ඇති සම්බුදුහු ඒ භික්‍ෂූන් මධ්‍යයෙහි ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි බුදු වන්නේ යැ’යි ප්‍රකාශ කළසේක.
14. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙයි.
16. ඒ පස්මරුන් දිනූ මහසත් නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතුබෝරුක් වෙත එළැඹෙයි.
17. ඉක්බිති ඒ මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඬ පැදකුණු කොට ඇසතුබෝරුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
18. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා නම් වන්නී යැ’ පිතෘ තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
19. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නාහ.
20. බෙමා යැ උත්පලවර්‍ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ බුදුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබෙයි.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අගඋවටු වන්නාහ උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අගඋවට වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
23. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ බදැඳිලි වැ නමස්කාර කෙරෙත්.
24. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
25. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යටැ තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–