Buddhavaṁsa

Chronicle of the Buddhas

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1370 segments

පෙන්වන කොටස් 401-500 න් 1370

3. ඒ සුමන බුදුහු කෙලෙසුන් දිනා උතුම් වූ සම්බෝධියට පැමිණ පුරවරයන් කෙරෙහි උත්තම වූ සද්ධර්‍ම සඞ්ඛ්‍යාත නිර්‍වාණ නගරය මැවූ සේක.
4. ඒ බුදුහු (කුශලජවනයාගේ සංචරණයට අනතුරු වැ උපදනා හෙයින්) නිරුතුරු වූ කුටිලභාවකාර දෝෂයන්ගේ විරහයෙන් අකුටිල වූ අකුටිල හෙයින් මැ ඍජු වූ අයම් විතරින් (ලෞකික ලෝකෝත්තර සතිපට්ඨාන වශයෙන්) දිගුපුළුල් වූ සතිපට්ඨාන සඞ්ඛ්‍යාත උතුම් වූ මහාවීථිය මැවූ සේක.
5. ඒ සතිපට්ඨානවීථියෙහි සතර ශ්‍රාමණ්‍යඵල යැ සතර ප්‍රතිසංවිද්ධර්‍ම යැ ෂඩභිඥා යැ අෂ්ටසමාපත්ති යැ යන මේ දහම් නමැති රුවන් අවුණු විදැහූසේක.
6. යම් කෙනෙක් අප්‍රමත්ත වූවාහු පඤ්ච චේතෝඛිල රහිත වූවාහු ලජ්ජා වීර්‍ය්‍ය දෙකින් යුක්ත වූවාහු වෙත් ද ඔවුහු යථෝක්ත වූ ඒ උතුම් ගුණරුවන් සිත් සේ ලබන්නාහ.
7. මෙසේ ඒ ශාස්තෲන් වහන්සේ මේ ක්‍රමයෙන් මහාජනයා නඟාසිටුවනසේක් පළමු කොට (ප්‍රථමාභිසමයෙහි) කෙළසියදහසක් සත්ත්‍වයන් ධර්‍මාවබෝධය කරවූ සේක.
8. මහාවීර වූ සුමන බුදුහු යම් කලෙක තීර්‍ත්‍ථකගණයාහට අවවාද කළසේක් ද ඒ දෙවන ධර්‍මදේශනයෙහි කෙළදහසක් ප්‍රාණීහු ධර්‍මාභිසමය කළාහු යැ.
9. යම් කලෙක දෙවියෝ ද මනුෂ්‍යයෝ ද සමග්‍ර වැ එක්සිත් වූවාහු නිරෝධ ප්‍රශ්නයත් සිත්හි උපන් සැකයත් විචාළාහු ද–
10. එකල්හිදු නිරෝධය ප්‍රකාශ කරන්නා වූ දහම් දෙසුමෙහි නවකෙළදහසක් සත්නට ධර්‍මාභිසමය වී.
11. මහර්ෂි වූ සුමන සර්‍වඥයන් වහන්සේට විගත රාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධී වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.
12. වස් වැස නිම වූ භාග්‍යවතුන් විසින් පවාරණය ඇස්වූ කල්හි තථාගතයන් වහන්සේ කෙළසුවහසක් ශ්‍රාවකයන් හා සමග පවාරණය කළසේක.
13. එයින් මෑත භාගයෙහි නිර්‍මල වූ කාඤ්චනපර්‍වතයෙහි අනූකෙළදහසක් ශ්‍රාවකයන්ගේ දෙවැනි සමාගමය වී යැ.
14. යම් කලෙක සක්දෙව්රජ බුදුන් දැක්මට පැමිණියේ ද එකල්හි අසූ කෙළදහසක් ශ්‍රාවකයන්ගේ තුන් වැනි සමාගමය වි යැ,
15. එසමයෙහි මම් උත්සන්න වූ කුශල සඤ්චය ඇතියෙම් නමින් අතුල නම් වූ මහත් ඍද්ධි ඇති නාගරාජ වීමි.
16. එකල්හි සිය නෑයන් හා සමග නාග භවනයෙන් නික්ම නාගයන්ගේ දිව්‍යතූර්‍ය්‍යයෙන් යුතු වැ සඟුන් සහිත ජිතපඤ්චමාරයන්ට උපස්ථාන කෙළෙමි.
17. කෙළසුවහසක් භික්‍ෂූන් ආහාරපානයෙන් සැතැපීමි. වෙන වෙන වස්ත්‍රසඟළක් පුදා උන් වහන්සේ සරණ කොට පැමිණියෙමි.
18. ඒ සුමන නම් සර්‍වඳයන් වහන්සේ ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙමේ බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.
19. එකල්හි තථාගත වූ මේ තෙමේ රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
20. තථාගත තෙම අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.
21. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා. (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.
22. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදු වන්නේ යැ.
23. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
24. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.
25. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යැ යි කියනුලැබේ.
26. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
27. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධාඩ්කුරයෙකැ’ යි දෙවිමිනිස්සු සතුටු වූවාහු.
28. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
29. ඉදින් මේ ලෝකනාථයන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
30. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරනාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
31. එසෙයින් මැ අපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ යි.
32. මම් ඒ බුදුනුදුගේ බස් අසා බෙහෙවින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය අධිෂ්ඨාන කෙළෙමි.
33. සුමන මහර්ෂීන් ගේ නගරය මෙඛල නම් විය, සුදත්ත නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ සිරිමා නම් වූ යැ.
34. ඒ බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) චන්‍ද්‍ර යැ සුචන්‍ද්‍ර යැ චටංස යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
35. මොනොවට සැරැසුණු පරිවාර ස්ත්‍රීහු තෙසැටදහසක් වූහ. වටංසිකා නම් අගමෙහෙසියක් වූ යැ. පුත්‍ර තෙම අනුපම නම් වී.
36. ඒ ජිතපඤ්චමාරයෝ සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් දසමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
37. මහත් වූ වීර්‍ය්‍යය ඇති සුමන නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ මෙබල නම් පුරයෙහි දී දම්සක් පැවැත්වූහ.
38. සුමන මහර්ෂීනට සරණ යැ භාවිතාත්ම යැ යන දෙදෙන අග්‍ර ශ්‍රාවක වූහ. උදේන නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
39. සෝණා යැ උපසෝණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. අප්‍රමාණ වූ යශස් ඇති ඒ බුදුහුදු නාගවෘක්‍ෂමූලයෙහි බුද්ධත්‍වයට පැමිණියහ.
40. වරුණ යැ සරණ යැ යන දෙදෙන අග උවටු වූහ. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග උවට වූහ.
41. උසින් ඒ බුදුහු අනූ රියනක් උස් වූවාහු රන් ඇගෑයක් සෙයින් දසදහසක් සක්වළ බැබැළූහ.
42. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි. උන් වහන්සේ ඒතාක් කල් වොරඳමින් බොහෝ ජනසමූහයා (සසරින්) තැරැවූහ.
43. තරවනු නිසියන් තරණය කරවා බෝධනීයයනට ධර්‍මාවබෝධ කළහ. සම්බුදුහු අස්තයට ගිය චන්‍ද්‍රයා සෙයින් පිරිනිවියහ.
44. මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රව භික්‍ෂූහු ද අසදෘශ වූ ඒ බුදුහු ද අප්‍රමාණ වූ ප්‍රභා දක්වා පිරිනිවියහ.
45. ඒ ඥානය ද අතුල්‍ය වී යැ. ඒ රත්නයෝ ද අතුල්‍ය වූහ. එහැම අතුරුදහන් වී. හැම සංස්කාරයෝ රික්තයෝ නු?
46. යශස්ධර වූ සුමන බුදුහු අඞ්ගාරාමයෙහි පිරිනිවියහ. එහි මැ උන් වහන්සේගේ ජිනථූපය සිව්යොදුනක් උස් කොට බඳනා ලද යයි.
සතරවැනි සුමන බුද්ධවංශ යි.
5. රේවත බුද්ධවංශය
1. සුමන නම් බුදුරදුන්ට මෑත භාගයෙහි ලොවට නායක වූ අනුපම වූ අසදෘශ වූ අතුල්‍ය වූ උත්තම වූ රේවත නම් ජිතපඤ්චමාර වූ සර්‍වඥ කෙනෙක් පහළ වූහ.
2. ඔබ ද මහ බඹහු විසින් අයදනා ලදහු ස්කන්‍ධධාතූන් විභාග කරන (වෘද්ධි හානි ආදි) භවාභවයන් ප්‍රහාණය කරන දහම් ප්‍රකාශ කළහ.
3. උන් වහන්සේගේ දහම් දෙසුම්හි තුන් අභිසමය කෙනෙක් වූහ. ප්‍රථමාභිසමය ගණනින් නො කියයුතු වෙයි.
4. යම් කලෙක රේවත මුනිහු අරින්‍දම නම් රජ විනයනය කළාහු ද එකල්හි කෙළ දහසක් ප්‍රාණීන්ට ද්විතීයාභිසමය වී.
5. නරශ්‍රේෂ්ඨ වූ බුදුහු සතියක් මුළුල්ලෙහි සමවත් සුවයෙන් වැඩ සිට ඉන් නැඟී දෙවිමිනිසුන් කෙළසියක් අග්‍රඵලයෙහි විනයනය කළහ.
6. මහර්ෂි වූ රේවත නම් බුදුන්ට විගත වූ රාගාදි මල ඇති මොනොවට කෙලෙසුන් කෙරෙන් මිදුණු ලාභාලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනෙක් වී.
7. යම් කෙනෙක් පළමුවට රැස්වූහු නම් ඔහු ගණනපථය ඉක්මගියාහු. කෙළ සුවදහසක් ශ්‍රාවකයන්ගේ ද්විතීය සමාගමය වී.
8. ඒ රේවත බුදුරදුන්ට අනුව දම්සක් පවත්වන්නා වූ ප්‍රඥායෙන් (ශ්‍රාවකාන්තරයන් හා) අසම වූ යම් වරුණ නම් අගසවු කෙනෙක් වූහු ද එකල්හි උන් වහන්සේ රෝගී වූවාහු ජීවිත සංශයට පැමිණියාහු වූහ.
9. එකල්හි උන් වහන්සේගේ ගිලන් බව පුළුවුස්නට යම් මුනි කෙනෙක් එළැඹියාහු ද ඒ කෙළසුවහස් රහතුන්ගේ තුන් වැනි සමාගමය වී.
10. එසමයෙහි මම් අතිදේව නම් බ්‍රාහ්මණ වූයෙම් රේවත නම් බුදුන් කරා එළැඹ උන් වහන්සේ ගේ සරණයට ගියෙමි.
11. මම් උන් වහන්සේගේ නිරුත්තර වූ ශීලය ද සමාධිය ද ප්‍රඥාගූණය ද යථාශක්තීන් ථොමනය කොට උතුරුසළුව පිදීමි.
12. ලෝකනායක වූ ඒ රේවත බුදුහු ද ‘මේ තෙමේ මෙයින් අප්‍රමේය කල්පයෙහි බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළසේක.
13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝ තෙරට එළැඹෙයි.
15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසැතු බෝරුක වෙත එළැඹෙයි.
16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතු රුක්මුල්හි හිඳ බුදුවන්නේ යි.
17. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ. පිය තෙමේ ශුද්ධෝන නම. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
18. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අගසවු වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් ඒ ජිතපඤ්චමාර බුදුන්ට උපස්ථාන කරන්නාහ.
19. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග උවටු වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග උවට වන්නාහ. යශස්වී වූ ඒ ගෞතම බුදුන්ට හවුරුදු සියයෙක් ආයු වන්නේ යි.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා දෙවිමිනිස්සු ‘මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ උත්තරණය කෙරෙත් ද,
25. එසෙයින් මැ ඇපි හැමදෙනමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
26. මම් ඒ බුදුනුදුගේ වදන් අසා අතිශයින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨාන කෙළෙමි.
27. එකල්හිදු මම් ‘යමක් මා විසින් ප්‍රාර්‍ත්‍ථනා කරනලද නම් ඒ බුද්ධත්‍වය ගනිමැ’යි මේ බුද්ධකාරකධර්‍මය සිහි කොට වැඩීමි.
28. මහර්ෂී වූ රේවත බුදුන්ගේ නගරය සුධඤ්ඤවතී නම. විපුල නම් ක්‍ෂත්‍රිය තෙම පියා විය, මව් තොමෝ විපුලා නම් වූ යැ.
29. ඒ බුදුහු හවුරුදු සදහසක් මුළුල්ලෙහි ගිහිගෙයි විසූහ. සරසන ලද සුදර්‍ශන යැ රතනග්ඝි යැ ආවෙළ යැ යි පින්කමින් නිපන් උතුම් වූ ප්‍රාසාදත්‍රයෙක් වී.
30. මොනොවට සැරැසුණු තෙතිස්දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. අග මෙහෙසි තොමෝ සුදස්සනා නමු. පුත්‍ර තෙමේ වරුණ නම් වී.
31. ඒ ජිතපඤ්චමාරයෝ සතර පෙරනිමිති දැක රථයානයෙන් අභිනිෂ්ක්‍රමණය කළහ. අනූන සප්තමාසයක් ප්‍රධන්වීර්‍ය්‍යය කළහ.
32. මහත් වූ වීර්‍ය්‍යය, ඇති රේවත නම් ලෝකනාථයන් වහන්සේ මහබඹහු විසින් අයදනා ලදහු ශ්‍රීනිවාස වූ වරුණරාමයෙහි දී දම්සක් පැවැත්වූහ.
33. මහර්ෂි වූ රේවත බුදුන්ට වරුණ යැ බ්‍රහ්මදේව යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. සම්භව නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
34. භද්‍රා යැ සුභද්‍රා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. අසමසම වූ ඒ බුදුහු ද නාගවෘක්‍ෂමූලයෙහි දී අධිගම කළහ.
35. පදුම යැ කුඤ්ඡර යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. සිරිමා යැ යසවතී යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
36. ඒ බුදුහු උසින් අසූ රියනක් නැඟී සිටියාහු ඉන්‍ද්‍රකේතුවක් (දෙව්දුන්නක්) සෙයින් හැම දිශා බැබැළවූහ.
37. ඔබගේ සිරුරෙහි නිපන් නිරුත්තර වූ ප්‍රභාමාලාව රැයිදු දවහල්හිදු හාත්පසැ යොදුනක් මුළුල්ලෙහි පතළහ.
38. එකල්හි සැටදහසක් හවුරුදු ආයු පැනෙයි. ඒ බුදුහු ඒ තාක්කල් සිටුනාහු බොහෝ ජනසමූහයා සසරින් තැරැවූහ.
39. බුද්ධබලය දක්වා ලොවැ අමෘතය ප්‍රකාශ කරන්නාහු ඉන්‍ධනක්‍ෂයෙන් අග්නිය සෙයින් උපාදාන රහිත වූවාහු පිරිනිවියහ.
40. රුවන් සුදුසු ඒ බුදුසිරුර ද නිරුපම වූ එ දහම ද යන සියල්ල අතුරුදහන් වී. හැම සංස්කාරයෝ රික්තයෝ නු?
41. මහාමුනි වූ යශස්ධර වූ ඒ රේවත නම් සම්මා සම්බුදුහු පිරිනිවියහ. ඒ ඒ ප්‍රදේශයෙහි ධාතු පැතුරුණේ විය.
පස්වැනි වූ රේවත බුද්ධවංශ යි.
6. සෝභිත බුද්ධවංශය
1. රේවත නම් බුදුන්ට ඉක්බිති සමාහිත වූ සන්හුන්සිත් ඇති අසම වූ ප්‍රතිපුද්ගලයන් නැති සෝභිත නම් බුදුහු ලොවැ පහළවූහ.
2. ඒ ජිතපඤ්චමාර වූ බුදුහු සිය භවනයෙහි දී (සතියක් තුළ පෘථග්ජන) සිත (බුද්ධත්‍වයට) පරිවර්‍තනය කළහ. සර්‍වඥතාඥානයට පැමිණ දම්සක් පැවැත්වූසේක.
3. ඒ ධර්‍මචක්‍රදේශනායෙහි යටින් අවීචිය පටන් කොට උඩින් භවාග්‍රය දක්වා මෙදෑතුරැ එක් පිරිසෙක් වී.
4. එපිරිස් මැද සම්බුදුහු දම්සක් පැවැත්වූහ. ගණනින් නො කියහැකි (සඩ්ඛායාපථාතික්‍රාන්ත) වූ ප්‍රථමධර්‍මාභිසමය වී.
5. එයින් මෑතභාගයෙහි (තව්තිසාභවනයෙහි) දෙවියන්ගේ සමාගමයෙහි අභිධර්‍මදේශනාව කරන කල්හි (දෙසුම් කෙළවර) නවකෙළදහසක් දෙවියනට ද්විතීයධර්‍මාභිසමය වී.
6. නැවැත රාජපුත්‍ර වූ ජයසේන නම් ක්‍ෂත්‍රිය තෙම (සුන්‍දර නම්) ආරාමයක් කරවා එකල්හි බුදුනට පිදී.
7. චක්‍ෂුර්මත් වූ බුදුහු එරජකුමරුගේ දානය කීර්‍තනය කෙරෙමින් දහම් දෙසූහ. එකල්හි කෙළදහසක් සත්නට තුන් වැනි ධර්‍මාභිසමය වී.
8. මහර්ෂී වූ සෝභිත බුදුන්ට විගතමල වූ සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන්ගේ තුන් ශ්‍රාවකසන්නිපාතයෙක් වී.
9. උග්ගත නම් වූ ඒ රජ නරෝත්තම වූ බුදුන් කෙරෙහි දන් දින. එකල්හි ඒ දානයෙහි කෙළසියක් රහත්හු රැස්වූහ.
10. යළි පුරගණයා නරෝත්තම වූ බුදුනට දන් දින. එකල්හි අනූකෙළක් ප්‍රාණීන්ට ද්විතීය ධර්‍මාභිසමය වී.
11. යම් කලෙකැ පස්මරුන් දිනූ බුදුහු දෙව්ලොව්හි වැස අවතීර්‍ණ වූහු ද එකල්හි අසූකෙළක් ප්‍රාණීන්ට තෘතීය ධර්‍මාභිසමය වී.