26. නන්‍දා යැ සුනන්‍දා යැයි අග්‍රශ්‍රාවිකා දෙදෙනෙක් වූහ, ඒ භාග්‍යවත්හුගේ බෝධිය පළොල් යයි කියනු ලැබේ.
27. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට තපුස්ස යැ භල්ලික යැ යන නම් ඇති අග්‍ර–උපස්ථායකයෝ වූහ. සිරිමා යැ සෝණා යැ (යන උපාසිකාවෝ) උපස්ථායිකා වූහ.
28. මහාමුනි වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ අසූරියන් උස ඇති සේක් (නැඟූ) පහන්රුකක් සෙයින් ද පිපිණු සල්රුකක් සෙයින් ද හොබනා සේක.
29. ඒ මහර්ෂී සර්‍වඥයන් වහන්සේට හවුරුදු සියදහසක් ආයු විය. එතෙක් හවුරුදු වැඩ සිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර කතරින්) එතෙර කැරැවූහ.
30. සද්ධර්‍මය බබුළුවා මහාජනයා තරණය කරවා ශ්‍රාවකයන් සහිත වූ ඒ සර්‍වඥයන් වහන්සේ ගිනිකඳක් සෙයින් දිලියෙමින් සිට පිරිනිවි සේක.
31. ඒ අනුභාවසම්පත් ද ඒ පරිවාරයශස් ද පා සඟුළුවන්හි වූ ඒ සක්රුවන් ලකුණු ද යන සියල්ල අතුරුදහන් වී. සියලු සංස්කාරධර්‍මයෝ තුච්ඡ වූවාහු නො වෙද්ද. (සියලු සඞ්ඛතයෝ අනිත්‍ය වූහ’යි සේ යි).
32. පස්මරුන් දිනූ දීපඞ්කර ශාස්තෲන් වහන්සේ නන්‍දාරාමයෙහි පිරිනිවිසේක. එහි මැ උන්වහන්සේ ගේ සර්‍වඥධාතු ස්තූපය සතිස් යොදුන් උස්වූයේ වී යයි.
පළමුවන දීපංකර බුද්ධවංශ නිමි.
2. කොණ්ඩඤ්ඤ බුද්ධවංශය
1. දීපඞ්කර සර්‍වඥයන් වහන්සේට මෑතභාගයෙහි අපරිමිත ලෝක ධාතුයෙහි පතළ ශීලගුණතේජස් ඇති අනන්ත වූ පරිවාර හා ගුණකීර්ති ඇති ගුණගණපරිමාණ විසින් අප්‍රමේය වූ අනභිභවනීය වූ කොණ්ඩඤ්ඤ නම් සර්‍වඥයන් වහන්සේ පහළ වූ සේක.
2. ඒ බුදුහු ක්‍ෂාන්තියෙන් පෘථිවිය හා සම වූහ, ශීලසංවරයෙන් සාගරය හා සම වූහ. සමාධියෙන් මේරුපර්‍වතය හා සමවූහ. (අනන්ත වූ) ඥානයෙන් ගගනූපම වූහ.
3. ඒ බුදුහු හැම කල්හි සියලු සත්නට හිත පිණිස ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග මාර්‍ග සත්‍යප්‍රකාශක වූ (සත්තතිංස බෝධිපක්ඛිය) ධර්‍මය ප්‍රකාශ කළහ.
4. කොණ්ඩඤ්ඤ නම් ලෝකනායකයන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළසියදහසක් සත්නට ධර්‍මාභිසමය වී,
5. එයින් අපරභාගයෙහි දු දෙවිමිනිසුන් ගේ (මහාමඞ්ගල) සමාගමයෙහි අනූකෙළදහසක් සත්නට ද්විතීයධර්‍මාභිසමය විය.
6. යම් කලෙක (යමාමහපෙළහර පෑ) තීර්‍ත්‍ථකයන් අභිමර්දනය කෙරෙමින් දහම් දෙසූ සේක් ද, (එකල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි) ධර්‍මාභිසමය වී.
7. මහර්ෂී වූ කොණ්ඩඤ්ඤ සර්‍වඥයන් වහන්සේට විගතරාගාදි මල ඇති සන්හුන් සිත් ඇති ලාභලාභාදියෙහි තාදී වූ ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ ශ්‍රාවකසන්නිපාත තුනක් වූහ.
8. කෙළසියදහසක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය ද, කෙළදහසක්හු ගේ දෙවන සන්නිපාතය ද අනූකෙළක් රහතුන්ගේ තුන්වන සන්නිපාතය ද වී.
9. මම් එසමයෙහි විජිතාවී නම් සක්විතිරජ වීමි. මම් සක්වළගල හිමි කොට ඇති මහසයුර ඇතුළු කොට ආධිපත්‍යය පැවැත්වීමි.
10. ලෝකාග්‍රනාථ වූ සර්‍වඥයන් වහන්සේ සමග මහර්ෂී වූ කෙළසියදහසක් රහතුන් වහන්සේ මධුර වූ ආහාරයෙන් සන්තර්‍පණය කෙළෙමි.
11. ලෝකනායක වූ ඒ කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ ද මෙයින් අපරිමේය කල්පයෙහි (මේ තෙමේ) ලොවැ බුදුවන්නේ යයි මට විවරණ දුන් සේක.
12. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් මූ මනරම් නුවරින් නික්ම ප්‍රධන් වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
13. තථාගත වූ බෝසත් අජපල් නම් රුක්මුලැ හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙන්නේ ය–
14. ඒ ජිතපඤ්චමාරයෝ නිල්දලා ගංතෙර හිඳ පායාසය වළඳා දෙවියන් සැරැසූ උතුම් මඟින් බොධිමූලයට පැමිණෙන්නාහ.
15. ඉක්බිති අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසතු රුක්මුලැ හිඳ බුදුවන්නේ යැ.
16. මොවුන්ගේ ජනික මවු තොමෝ මායා වන්නී ය, පිය තෙමේ සුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමේ ගෞතම නම් වන්නේ ය–
17. කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙමේ ඒ බුදුන් උපස්ථාන කරන්නේ යැ–
18. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන අග්‍රශ්‍රාවිකාවෝ වන්නාහ, ඒ භාග්‍යවත්හු ගේ බෝධිය අස්සත්‍ථ යයි කියනු ලැබේ–
19. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍ර–උපස්ථායක වන්නාහ, උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍ර– උපස්ථායිකා වන්නාහ, ඒ ගෞතම යශස්වීන්ට හවුරුදු සියයක් ආයු වන්නේ යයි.
20. අසම වූ ඒ කොණ්ඩඤ්ඤ මහර්ෂීන්ගේ මෙ වදන් අසා දේවමනුෂ්‍යයෝ මේ තෙමේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූවාහු.–
21. ඔල්වරසන් පැවැත්වූහ, අත්පොළසන් දුන්හ, සිනහසුනාහ. දසදහසක් සක්වළ දෙවියන් සහිත වූවාහු කළ ඇඳිලි ඇති ව නමස්කාර කළහ.
22. ඉදින් මේ ලෝකනාථයන් වහන්සේගේ ශාසනය වරදමෝ නම්, අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ–
23. යම්සේ නදියක් තරණය කරන මනුෂ්‍යයෝ හමුයෙහි වූ තොට වැරැදැ යට තොටෙහි ලා ගෙන මහානදිය තරණය කෙරෙත් ද–
24. එසෙයින් මැ ඇපි හැම දෙනමෝ මේ කොණ්ඩඤ්ඤ නම් බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් වහන්සේ හමු වන්නම්හ’යි.
25. මම් ඒ බුදුන් ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි, එ මැ බුද්ධකාරකකාර්‍ත්‍ථය වූ දානපාරමිතාව සිද්ධ කරනුයෙම් (පුරනුයෙම්) සක්විතිරජය බුදුන් විෂයෙහි පිදුයෙමි. මහාරාජ්‍යය පරිත්‍යාග කොට ඔබ සමීපයෙහි පැවිදි වීමි.
26. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ග ශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගාමාධිගමයෙන්) බුදුසසුන හෙබැවීමි.
27. මම් ඒ බුදුසස්නෙහි හිඳීම් සිටීම් සක්මනෙහි ස්මෘති–අවිප්‍රවාස වැ වසනුයෙම් පඤ්චාභිඥයෙහි පරතෙරට පැමිණ (පිළිසඳ විසින්) බඹ ලොවට ගියෙමි.
28. කොණ්ඩඤ්ඤ නම් මහර්ෂීන් ගේ නගරය රම්මවතී නම් විය. සුනන්‍ද නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ සුජාතා නම් වූ ය.
29. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) සුචි යැ සුරුචි යැ සුභ යැ යන උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
30. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තුන්ලක්‍ෂයක් වූහ, රුචිදේවී නම් අගබිසොවක් වූ ය, පුත්‍ර තෙමේ විජිතසේන නම් වී,
31. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ රථයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ, පිරිපුන් දසමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.
32. මහත් වූ වීර්‍ය්‍යය ඇති කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනාලදහු දෙවියන්ගේ නගරවරයෙහි දී දම්සක් පැවැත්වූහ.
33. කොණ්ඩඤ්ඤ නම් බුදුනට භද්‍ර ද සුභද්‍ර ද යන අග්‍රශ්‍රාවකයෝ වූහ. අනුරුද්ධ නම් (තෙර කෙනෙක්) උපස්ථායක වූහ.
34. කොණ්ඩඤ්ඤ නම් බුදුනට තිස්සා ද උපතිස්සා ද යන අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. සල්කලණ නම් බෝධිවෘක්‍ෂයෙක් වී යැ.
35. සෝණ ද උපසොණ ද යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. නන්‍දා ද සිරිමා ද යන දෙදෙන අග්‍ර උපස්ථායිකා වූහ.
36. අටඅසූරියනක් උස්වූ ඒ මහාමුනීහු චන්‍ද්‍රයා සෙයින් ද මධ්‍යාහ්නසමයෙහි සූර්‍ය්‍යයා සෙයින් ද හොබිති.
37. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයු පැනෙයි. ඒ තාක් කල් වැඩසිටිමින් ඒ බුදුහු බොහෝ ජන සමූහයා (සසරසයුරින්) තරණය කළහ.
38. පෘථිවි තොමෝ පහවූ රාගාදි මල ඇති රහතුන් කරණ කොට විචිත්‍ර වූ යැ. තාරකාවන්ගෙන් ගුවන්තලය යම්සේ හොබී නම් එසෙයින් උන් වහන්සේ ශෝභමාන වූහ.
39. ගුණපමණ විසින් නො මිනිය හැකි ලෝදමින් නො කැළැඹෙන මෙරමා විසින් අභිභවනය නො කට හැකි වූ මහායශස් ඇති ඒ ක්‍ෂීණාස්‍රවයෝ ද විදුලිය හෙළීමක් මෙන් දක්වා පිරිනිවියාහ.
40. බුදුන්ගේ ඒ අතුල්‍ය වූ ඍද්ධිය ද ඥානයෙන් පරිභාවිත (වඩනාලද) වූ සමාධිය ද යන සියල්ල අතුරුදහන් විය. හැම සංස්කාරයෝ සිස් වූවාහු නො.
41. උත්තම වූ කොණ්ඩඤ්ඤ නම් බුදුහු චන්‍දාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ විසිතුරු සෑයෙක් සත් යොදුන් උස්කොට බඳවන ලද්දේ යි.
දෙවැනි වූ කොණ්ඩඤ්ඤ බුද්ධවංශ යි.
3. මඞ්ගල බුද්ධවංශය
1. කොණ්ඩඤ්ඤ නම් සම්මාසම්බුදුනට මෑත භාගයෙහි මඞ්ගල නම් බුදුහු ලොව අවිඅඳුර නසා දහම් නැමැති දඬවැටපහන දැරූහ.
2. අන් බුදුවරුන් කෙරෙන් අධිකව ඒ මඞ්ගල බුදුන්ගේ අසදෘස වූ ප්‍රභායෙක් විය. සඳහිරු කැලුම් නසා දසදහසක් සක්වළ බැබැළවී.
3. ඒ බුදුහු ද ඉතා උතුම් සතර සත්‍යයන් ප්‍රකාශ කළ සේක. දිව්‍යමනුෂ්‍යාදි ඒ ඒ සත්ත්‍වයෝ සත්‍යරසය පානය කොට අවිද්‍යාන්‍ධකාරය දුරු කෙරෙති.
4. අතුල වූ සම්බෝධියට පැමිණ කළ ප්‍රථම ධර්‍මදේශනායෙහි දී කෙළලක්‍ෂයක් සත්ත්‍වයනට ප්‍රථමාභිසමය වී යැ.
5. සර්‍වඥයන් වහන්සේ ශක්‍රභවනයෙහි දී දහම් දෙසූසේක. නවකෙළදහසක් ප්‍රාණීන්ට දෙවැනි වූ ධර්‍මාභිසමය වී යැ.
6. යම් කලෙක සුනන්‍ද නම් සක්විති රජ සම්බුදුන් කරා එළඹියේ ද එකල්හි සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ උතුම් වූ දහම්බෙරය පහළාහ.
7. එකල්හි සුනන්‍ද සක්විතිහට පරිවාරජනතාව අනූදහසක් විය. එ හැමදෙන නිරවශේෂ වැ ඒහිභික්‍ෂූ වූහ.
8. මඞ්ගල සම්මාසම්බුදුනට ශ්‍රාවකසන්නිපාතයෝ තිදෙනෙක් වූහ. කෙළලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සන්නිපාතය විය.
9. ද්වීතිය සන්නිපාතය කෙළදහසක් ශ්‍රාවකයන්ගේ ද තෘතීය සන්නිපාතය අනූකෝටියක් ශ්‍රාවකයන්ගේ දැ යි එකල්හි පහවූ රාගාදිමල ඇති රහතුන්ගේ සමාගමය වී යැ.
10. එසමයෙහි මම් සුරුචි නම් බ්‍රාහ්මණ වැ මන්ත්‍ර හදාරවනුයෙම් මන්ත්‍ර ධරනුයෙම් ත්‍රිවේදයෙහි පාරප්‍රාප්ත වූයෙම් වීමි.
11. මම් ඒ මඞ්ගල බුදුන් කරා එළැඹ බුදුන් සරණ ගොස් බුදුපාමොක් මහසඟන ගඳින් මලින් පිදුයෙමි. ගඳින් මලින් පුදා ගවපාන භොජනයෙන් සැතැපීමි.
12. ද්වීපදෝත්තම වූ ඒ මඞ්ගල බුදුහු ද මෙයින් අප්‍රමේය වූ කල්පයෙහි මේ තෙම බුදු වන්නේ යයි මා ප්‍රකාශ කළහ.
13. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් වූ සිත්කලු පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
14. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට එළැඹෙයි.
15. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලාහෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තමමාර්‍ගයෙන් ඇසතු බෝරුක වෙත එළැඹෙයි.
16. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායශස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.
17. මොවුන්ගේ ජනිකමව් තොමෝ මායා වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙමේ ගෞතම නම් වන්නේ යි.
18. කෝලිත ද උපතිස්ස ද යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ, ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උපස්ථාන කෙරෙයි.
19. ඛේමා ද උප්පලවණ්ණා ද යන දෙදෙන අග්‍රශාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
20. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති. උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අගඋවට වෙත්. යශස් ඇති ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
21. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දෙවිමිනිස්සු සතුටු වූවාහු–
22. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
23. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
24. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු නම් ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරදැයට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
25. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වම්හ යි.
26. මම් ඒ බුදුන්ගේ බස් අසා අතිශයින් සිත පැහැදැවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතය (පාරමී) අධිෂ්ඨාන කෙළෙමි.
27. එකල්හි උතුම් වූ බුද්ධත්‍වයට පැමිණෙනු පිණිස ප්‍රීති වර්ධනය කෙරෙමින් මාගේ ගෘහය බුදුන් කෙරෙහි පුදා උන් වහන්සේ වෙත පැවිදි වීමි.
28. සූත්‍රාන්තපිටකය ද විනයපිටකය ද යළි සියලු නවාඞ්ගශාස්තෘශාසනය ද ප්‍රගුණ කොට (ලෞකික වූ ආගමාධිගමයෙන) බුදුසසුන හෙබැවීමි.
29. මම් ඒ බුදුසසුන්හි අප්‍රමාද වැ වාසය කරන්නෙම් බ්‍රහ්මවිහාර භාවනා වඩා අභිඤාපාරයට ගොස් බඹලොවට ගියෙමි.
30. මඞ්ගල නම් මහර්ෂීන්ගේ නගරය උත්තර නම් විය උත්තර නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය, මව් තොමෝ උත්තරා නම් වූ යැ.
31. ඒ බුදුහු දසදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. (ඔබට) යසවත් යැ ශුචිමත් යැ ශ්‍රීමත් යැ යි උතුම් වූ තුන් ප්‍රාසාද කෙනෙක් වූහ.
32. මොනොවට සැරැසුණු පරිවාරස්ත්‍රීහු තිස් දහසක් වූහ. යසවතී නම් අගබිසොවක් වූ යැ. පුත්‍ර තෙමේ සීවල නම් වී.
33. සතර පෙරනිමිති දැක ඒ ජිතපඤ්චමාරයෝ අශ්වයානයෙකින් අභිනිෂ්ක්‍රමණය කළහ. පිරිපුන් අටමසක් ප්‍රධන් වීර්‍ය්‍යය කළහ.
34. මහත් වූ වීර්‍ය්‍ය ඇති මඞ්ගල නම් සම්මාසම්බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු උතුම් වූ ශ්‍රීවනයෙහි දී දම්සක් පැවැත්වූහ.
35. මහර්ෂීවූ මඞ්ගල නම් බුදුන්ට සුදේව යැ ධර්‍මසේන යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වූහ. පාලිත නම් තෙර කෙනෙක් උපස්ථායක වූහ.
36. සීවලා යැ අශෝකා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ. ඒ භාග්‍යවතුන් ගේ බෝධිය නාගවෘක්‍ෂයෙකැ’යි කියනු ලැබේ.
37. නන්‍ද යැ විශාඛා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. අනුලා යැ සුතනා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ.
38. ඒ මහාමුනීහු අටඅසූරියනක් උස් වූහ. ඒ බුදුන් කෙරෙන් නොයෙක් සුවහස් ගණන් රශ්මීහු නික්මෙත්.
39. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි ඒ තාක් කල් සිටිමින් ඒ බුදුහු බොහෝ ජනසමූහය (සසරින්) තරණය කළහ.
40. යම්සේ සාගරයෙහි තරඞ්ගයෝ ගණනට නො හැක්කාහු ද එසෙයින් මැ උන්වහන්සේ ගේ ශ්‍රාවකයෝ ගණනට නො හැක්කාහ.
41. ලෝකනායක වූ මඞ්ගල නම් සම්මා සම්බුදුහු යම්තාක් සිටියාහු ද එකල්හි ඔබගේ සංක්ලේශමරණයෙක් නැති.
42. මහායශස් ඇති ඒ සම්මා සම්බුදු දහම් නැමැති දඬුවැටපහන ධරා මහදනා සසරින් තරණය කරවා දුම්කෙහෙල්ලක් සෙයින් දිලියී පිරිනිවියහ.
43. සංස්කාරයන්ගේ ස්වභාවය දෙවියන් සහිත ලෝවැසියාට දක්වා ගිනිකඳක් සෙයින් දිලියී අස්තඞ්ගතසූර්‍ය්‍යයා සෙයින්–
44. වෙස්සර නම් උයන්හි දී මඞ්ගල බුදුහු පිරිනිවියහ. එහි මැ (බඳවනලද) ඒ බුදුන්ගේ ස්තූපය තිස් යොදුනක් උස් වූයේ යි.
තුන්වැනි වූ මඞ්ගල බුද්ධවංශ යි.
4. සුමන බුද්ධවංශය
1. මඞ්ගල නම් සම්මාසම්බුදුන්ට මෑතභාගයෙහි (ශීලාදි) සියලු දහම්හි අසම වූ හැම සත්නට උතුම් වූ සුමන නම් බුදුහු (ලොව පහළ වූහ.)
2. එකල්හි ඒ සම්මාසම්බුදුහු ද මෙඛල නම් පුරයෙහි දී සිව්සස් දහම් නැමැති සක් හඬින් යුත් නවාඞ්ගශාස්තෘශාසන සඞ්ඛ්‍යාත අමා බෙරය පහළහ.