14. එසෙයින් කෙලෙස්මල දෙවීමෙහි පොහොසත් අමාවිල ඇති කල්හි ඒ අමාවිල නො සොයා නම් අමෘත සඞ්ඛ්‍යාත තඩාගයාගේ දොසෙක් නො වේ.
15. යම්සේ සතුරන් විසින් අවුරන ලදුයෙක් ගමනට නිසි මඟ ඇති කල්හි ඒ පුරුෂ තෙමේ නො පලායේ නම් ඒ මාර්‍ගයාගේ දොසෙක් නො වේ.
16. එසෙයින් කෙලෙසුන් විසින් හාත්පසින් අවුරන ලදුයේ නිවන් මඟ ඇති කල්හි ඒ මඟ නො සොයා නම් ඒ නිර්‍වාණමාර්‍ගයාගේ දොසෙක් නො වේ.
17. යම්සේ හටගත් ව්‍යාධි ඇති මිනිසෙක් පිළියම් කරන වෙදකු ඇති කල්හි ඒ ව්‍යාධියට පිළියම් නො කරවා නම් ඒ වෛද්‍යයාගේ දොසෙක් නො වේ.
18. එසෙයින් ක්ලේශ නමැති ව්‍යාධීන් විසින් දුකට පැමිණියේ හාත්පසින් පෙළෙන ලදුයේ ඒ මෝක්‍ෂාචාර්‍ය්‍යයා නො සොයා නම් ඒ විනේතෘ වූ ආචාර්‍ය්‍යයාගේ දොසෙක් නො වේ.
19. යම්සේ මිනිසෙක් ගෙලෙහි බද කුණපය ජුගුප්සා කොට හැරපියා සුඛිත වූයේ ස්වෛරී වූයේ ස්වයංවශී වූයේ නික්ම යේ ද,
20. එසෙයින් ම අනේකවිධ කුණපයන් රැස් වූ මේ කුණුකය හැරපියා අපේක්‍ෂා රහිතයෙම් අනර්ත්‍ථී වූයෙම් යන්නෙමි.
21. යම්සේ ස්ත්‍රීපුරුෂයෝ ඔවස් කිළියෙහි කරීස (මල) ය අපේක්‍ෂා රහිත වූවාහු අනර්ත්‍ථික වූවාහු හැරපියා යෙද්ද,
22. එසෙයින් මම නන් වැදෑරුම් කුණපයෙන් පිරුණු මේ කය (ස්ත්‍රීපුරුෂයන්) සිරුරුකිස කොට (හැරපියා) යන කුටියා සෙයින් හැරපියා යන්නෙමි.
23. යම්සේ නැව්හිමියෝ දැදුරු වූ දිය වෑහෙන බිඳුණු නැව අපේක්‍ෂා රහිත වූවාහු අනර්ත්‍ථී වූවාහු හැරපියා යෙද්ද,
24. එසෙයින් මම නව සිදුරු ඇති නිරතුරු මල වැගිරෙන මේ කය නැව්හිමියන් දිරාගිය නැවක් මෙන් හැරපියා යන්නෙමි.
25. යම්සේ මිනිසෙක් රත්නාදි භාණ්ඩ ගෙන සොරුන් සමග යනුයේ භාණ්ඩ අසිඳ ගැනීමෙන් වන බිය දැක හැරපියා යෙත් ද,
26. එසෙයින් මැ මේ කය මහසොරකු වැන්න. කුසල්දහම් වොලොගන්නා බියෙන් මේ කය හැරපියා යන්නෙමි.
27. මම් මෙසේ සිතා නොයෙක් කෙළගණන් ධනය නාථානාථයනට දී හිමවත කරා එළැඹියෙමි.
28. හිමවතට නුදුරු තැන ධම්මක නම් පර්‍වතයෙක් වෙයි. (එහි) මට අසපුයෙක් මොනොවට මවන ලද. පන්සලෙකුදු මොනොවට මවන ලදි.
29. ඒ අසපුයෙහි පස්වැදෑරුම් (සක්මන්) දොසින් තොර වූ සක්මනක් මැවී. නොහොත් පඤ්චනීවරණ දෝෂයෙන් තොර වූ (පරිශුද්ධතාදි) අෂ්ට ගුණයෙන් යුක්ත වූ අභිඥාබලය ලැබීමි.
30. එහි දි නව දොසෙකින් යුක්ත වූ (ඇඳි) සළුව හැරපීමි. දොළොස් අනුසසෙකින් යුක්ත වූ වැහැරි සිවුරු හැන්දෙමි.
31. අටදොසෙකින් ගැවැසිගත් පන්සල හැරපිමි. දසගුණයෙකින් යුක්ත වූ රුක්මුලට එළැඹියෙමි.
32. වපුට නිපන් රෝපණය කොට නිපන් ධ්‍යානය නිරවශේෂයෙන් හළිමි. නොයෙක් ගුණයෙන් යුක්ත වූ, තුවටුයෙන් ගිලිහී වැටුණු ඵල වැළඳීමි.
33. ඒ අසපුවෙහි හිඳීම් සිටීම් සක්මනින් ප්‍රධන් – වීර්‍ය්‍යය කෙළෙමි. සතියක් ඇතුළත අභිඥාබලයට පැමිණියෙමි.
34. මෙසෙයින් තාපසශාසනයෙහි වශී වූ මා අභිඥා සිද්ධියට පැමිණි කල්හි ලෝකනායක වූ දීපඞ්කර නම් ජිතපඤ්චමාරයන් වහන්සේ උපන්සේක.
35. (ඔබ) පිළිසිඳගන්නා කල්හි ද මව්කුසින් නික්මෙන කල්හි ද බුදු වන කල්හි ද දම්සක් පවත්වන කල්හි ද (මම්) ධ්‍යානරතියෙහි ඇලුනෙම් සතර තැන්හි දෙතිස් පෙරනිමිති නො දිටිමි.
36. පසල් දනවියෙහි ජනයෝ තථාගතයන් පවරා තුටුසිත් ඇත්තාහු ඔබ වඩනා මඟ ශුද්ධ කෙරෙති.
37. එකල්හි මම් සිය අසපුයෙන් නික්ම එදවස් වැහැරි සලමින් අහස්හි යෙමි.
38. හටගත් සොම්නස් ඇති තුටුපහටු වූ ප්‍රමුදිත වූ ජනයා දැක එකෙණෙහිම අහසින් බැස මිනිසුන් විචාළෙමි.
39. තුටුපහටු වූ ප්‍රමුදිත වූ හටගත් සොම්නස් ඇති මහාජන තෙමේ (මාර්‍ගය ශුද්ධ කෙරෙයි. තොප විසින්) අඤ්ජස වටුම අයන සඞ්ඛ්‍යාත වූ මාර්‍ගය කවරක්හට ශුද්ධ කරනු ලැබේ ද?
40. මා විසින් පුළුවුස්නා ලද ඔහු මෙසේ පැවැසූහ: ලොවැ අනුත්තර වූ සම්‍යක්සම්බුද්ධ වූ ලෝකනායක වූ දීපඞ්කර නම් ජිතපඤ්චමාර වූ බුදුහු උපන්හ, ඔබට අඤ්ජස වටුම අයන සඞ්ඛ්‍යාත මාර්‍ගය ශුද්ධ කරනු ලැබේ’ යයි.
41. ‘බුද්ධ’ යනු අසා එකෙණෙහි මට ප්‍රීති උපන. ‘බුද්ධෝ බුද්ධෝ’ යි කියමින් සොම්නස් වින්දෙමි.
42. එහි සිට සතුටු වූයෙම් ප්‍රීතියෙන් විස්මිත සිත් ඇතියෙම් මෙසේ සිතීමි: මේ දීපඞ්කර පින්කෙත්හි කුසල්බිජුවට රෝපණය කරන්නෙමි. ක්‍ෂණසම්පත් නහමක් ඉක්මැ යේවයි.
43. ඉදින් බුදුනට මඟ ශුද්ධ කරවු නම් මට එක් අවකාශයක් දෙව මම ද වටුම අයන සඞ්ඛ්‍යාත මාර්‍ගය ශුද්ධ කරන්නෙමි.
44. එකල්හි ඔහු මට මඟ ශුද්ධ කරනු සඳහා එක් පෙදෙසක් දුන්හු. එකල්හි මම් ‘බුද්ධෝ බුද්ධෝ’ යි සිතමින් මඟ ශුද්ධ කෙරෙමි.
45. මාගේ මාර්‍ග කොට්ඨාශය කොට නො නිමි කල්හි මහාමුනි වූ පස්මරුන් දිනූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ ෂඩභිඥ වූ තාදී ගුණ ඇති පහවූ රාගාදි මල ඇති සාරලක්‍ෂයක් රහතුන් සමග මඟට පිළිපන් සේක.
46. සතුටු වූ දේවමනුෂ්‍යයෝ පෙරගමන් කෙරෙති, බොහෝ බෙර වයති, සාධුකාර පවත්වති.
47. දෙවියෝ මිනිසුන් දකිති, මනුෂ්‍යයෝත් දෙවියන් දකිති, එ දෙව් මිනිස් දෙපස මැ ඇඳිලි බැඳ තථාගතයන් පසුපස්හි යෙති.
48. දෙවියෝ දිව්‍යතූර්‍ය්‍යයෙන් ද මනුෂ්‍යයෝ මානුෂක තූර්‍ය්‍යයෙන් ද ඒ දෙපක්‍ෂයෙහි වූවෝ වාදනය කෙරෙමින් තථාගතයන් පසුපස්හි යෙති.
49. ආකාශ සඞ්ඛ්‍යාත නහස්හි නොහොත් අහස්හි ද දෙව්ලොව්හි ද වූ දෙවියෝ දිව මදාරා මල් ද පියුම් ද පරසතු මල් ද ඒ ඒ දෙසින් විසුරුවත්.
50. පොළෝ තෙලෙහි වූ මනුෂ්‍යයෝ සපුමල් ද සරල (හොර) කුසුම් ද කොළොම්මල් ද නා– දොඹ– වැටකේ මල් ද ඒ ඒ දෙසින් නඟත්.
51. මම එහි හිසකෙස් මුදා වැහැරි සම්කඩ ද කලල්මත වතුරුවා අධෝමුඛ යැ හොත්මි.
52. බුදුහු මා ඇක්මගෙන අතැවැසියන් සමග වඩනාසේක්වා. නහමක් කලල්හි ඇක්මෙත්වා, ඒ මට බොහෝ කලක් හිත පිණිස වන්නේ යැ.
53. පෘථිවියෙහි හොත් මට මෙබඳු වූ චිත්ත පරිවිතර්‍කයෙක් වී: මම අද කැමැති වූයෙම් නම් මාගේ රාගාදි කෙලෙසුන් දවන්නෙමි.
54. මෙ අත්බැව්හි අප්‍රකට වේශයෙන් දහම් පසක් කිරීමෙන් මට කවර ප්‍රයෝජන ද සර්‍වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලොවැ බුදු වන්නෙමි.
55. තමාගේ බල දක්නා වූ පිරිනිම්යක් වැ එකලා වැ තරණය කිරීමෙන් මට කවර ප්‍රයෝජන ද? සර්‍වඥතාඥානයට පැමිණ දෙවියන් සහිත ලොවැසියන් තරණය කරවන්නෙම්.
56. පුරුෂෝත්තම වූ බුදුන් කෙරෙහි කරන ලද මාගේ මේ අධික සත්කාරයෙන් සර්‍වඥතාඥානයට පැමිණ බොහෝ ජන සමූහයා (සසරින්) තරවමි.
57. සංසාර නමැති ශ්‍රෝතස සිඳ පියා තුන් භවය නසා දහම් නැවට නැඟී දෙවියන් සහිත ලෝකයා තරවන්නෙම්.
58. මිනිසත් බව යැ ලිඞ්ගසම්පත් යැ (අර්‍හත්‍වයට) හේතුසම්පන්න බව යැ දිවමන් බුදුන් දැකීම යැ පැවිද්ද යැ අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත ගුණසම්පත් යැ ජීවිතපරිත්‍යාග සඞ්ඛ්‍යාත අධිකාර යැ (බුදුකුරුදහම්හි කළ) කුශලච්ඡන්‍ද ඇති බව යැ යන අට දහමුන් එක්වීම හේතු කොට ගෙන,
59. දක්‍ෂිණේය හෙයින් දන් පිළිගන්නා වූ දීපඞ්කර සර්‍වඥයන් වහන්සේ මා හිස්දොර වැඩ සිට මෙවදන් වදාළහ.
60. ජටාධර වූ උග්‍ර වූ තපස් ඇති මේ තවුස්හු බලවු. මෙයින් අප්‍රමේය කල්පයෙහි ලො වැ බුදු වෙයි.
61. එකල්හි තථාගත වූ මේ තෙම කපිල නම් සිත්කලු වූ පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කරක්‍රියා කොට–
62. තථාගත තෙම අජපල් නම් රුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට එළැඹෙයි.
63. ඒ ජිතපඤ්චමාර තෙම නිල්දලා හෝතෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උත්තම මාර්‍ගයෙන් ඇසැතුබෝරුක වෙත එළැඹෙයි.
64. ඉක්බිති ඒ අනුත්තර වූ බෝසත් බෝමැඩ පැදකුණු කොට මහායසස් ඇතියේ ඇසැතුරුක්මුල්හි හිඳ බුදුවන්නේ යැ.
65. මොවුන්ගේ ජනික මව් තොමෝ මායා නම් වන්නී යැ ජනක පිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ යැ. මේ තෙම ගෞතම නම් වන්නේ යැ.
66. අනාස්‍රව වූ විගතරාග ඇති සන්හුන් සිත් ඇති එකඟ වූ සිත් ඇති කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ.
67. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ ජිතපඤ්චමාරයනට උවටැන් කෙරෙයි, ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ.
68. ඔවුහු අනාස්‍රව වූවාහු වීතරාග වූවාහු සන්හුන් සිත් ඇත්තාහු සමාහිත වූවාහු වෙති. ඒ භගවත්හුගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
69. චිත්ත යැ හත්‍ථාළවක යැ යන මොහු අග උවටු වෙති, උත්තරා යැ නන්‍දමාතා යැ යන මොහු අග උවට වෙත්.
70. අසම වූ මහර්ෂීන්ගේ මෙවදන් අසා මේ බුද්ධබීජාඞ්කුරයෙකැ’යි දේවමනුෂ්‍යයෝ සතුටු වූවාහු–
71. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනහසෙති, දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැසියෝ කළ ඇඳිලි ඇත්තාහු නමස්කාර කෙරෙත්.
72. ඉදින් මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
73. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙද්ද,
74. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වම්හ.
75. පූජා පිළිගන්නා වූ දීපඞ්කර නම් බුදුහු මාගේ කර්‍මය ප්‍රකාශ කොට දකුණු පිය නැඟූහ.
76. එහි යම් බුද්ධ පුත්‍ර කෙනෙක් වූවාහු ද ඔහු මා පැදකුණු කළාහු යැ දෙවියෝ ද මිනිස්සු ද අසුරයෝ ද මා අභිවාදන කොට නික්ම ගියාහු යැ.
77. සඞ්ඝයා සහිත වූ ලෝකස්වාමීන් මාගේ දර්‍ශනය ඉක්ම වූ කල්හි ශයනයෙන් නැඟී සිට එකල්හි පලක් බැඳ හුන්මි.
78. එකල්හි කායික චෛතසික සුඛයෙන් සුඛිතයෙම් වෙමි, ප්‍රාමෝද්‍යයෙන් ප්‍රමුදිතයෙමි, ප්‍රීතියෙන් පැතුරුණෙම් පලක් බැඳ හුන්මි.
79. එකල්හි මම් පලගින් හිඳ මෙසේ සිතීමි: ‘මම් ධ්‍යානයෙහි වශී වූයෙමි, පඤ්චාභිඥායෙහි පරතෙරට ගියෙමි.
80. දශසහශ්‍රීලෝකධාතුයෙහි මා හා සම වූ ඍෂිහු නැතැ’යි (පඤ්චවිධ) ඍද්ධිධර්‍මයන්හි අචල වූයෙම් මෙබඳු වූ සොම්නස් ලදිමි.
81. මාගේ පලග බැඳීමෙහි ලා දශසහශ්‍රීලෝකධාතු වැසි (මහාබ්‍රාහ්ම) යෝ ‘තෙපි ඒකාන්තයෙන් බුදු වව’යි මහානාද පැවැත්වූහ.
82. පෙර බෝසතුන්ගේ උතුම් පලග බැඳුමෙහි යම් නිමිති කෙනෙක් පැනුණාහු ද අද ඒ නිමිතිහු දක්නා ලැබෙත්.
83. (පෙර බෝසතුන් කලැ) සිහිල් බව පහවැ ගියේ වන, උණුසුම ද සන්හිණ, දැන් ඒ නිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) ඒකාන්තයෙන් බුදුවන්නවු යැ.
84. (පෙර බෝසතුන් කෙරෙහි) දසදහසක් සක්වළ නිශ්ශබ්ද වූවා නිරාකූල වී. ඒ පෙරනිමිත්හු අද දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
85. (පෙර බෝසතුන් කලැ) මහපවන්හු නො හැමූහ, නදීහු නො ගැළූහ. අද ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
86. ගොඩ උපදනාවූ ද දියෙහි උපදනාවූ ද හැම මල්හු එකෙණෙහි පිපුණාහ. දැනුදු එ හැම කුසුමයෝ පිපුණාහු. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
87. ලියහු ද රුක්හු ද එකෙණෙහි පලබර වූහ. දැනුදු එ හැම ලියරුක්හු හටගත් ඵල ඇති වූහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
88. අහස්ගත වූ ද භූමිගත වූ ද (මුතු මැණික් ඈ) රුවන්හු එකෙණෙහි බැබැළූහ. දැනුදු ඒ රුවන්හු බබලති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
89. මිනිසුන් අයත් වූ ද දෙවියන් අයත් වූ ද (ආතත–විතතාදි) තූර්‍ය්‍යයෝ එකෙණෙහි වාදනය වූහ. දැනුදු ඒ උභය තූර්‍ය්‍යයයෝ මැනැවින් නාද වෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
90. විසිතුරු පැහැති සුවඳ කුසුම්හු එකෙණෙහි අහසින් වටහ, දැනුදු ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
91. (පෙර බෝසතුන් කලැ) මහමුහුද හැකිළිණ, දසදහස් ලෝධා සැලිණ, දැනුදු ඒ මුහුදු ලෝකධාතු යන දෙකින් අතිශයින් නාද කෙරෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
92. දස දහසක් ලෝධාහි නිරැවලැ එකෙණෙහි ගිනි නිවිණ, දැනුදු එගිනි නිවීගියේ වන, (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
93. හිරු නිර්‍මල විය. හැම නකත්තරු පෙනුණාහ. දැනුදු එ පෙර නිමිත්හු දක්නා ලැබෙත්. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
94. නො වට කල්හි මැ එකෙණෙහි මැ පොළොවින් දිය පැන නැඟිණි. දැනුදු එ දිය පොළොවින් පැන නැඟෙයි. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
95. තාරකා සමූහයෝ ද නකත් තරු ද සියලු ගගනමණ්ඩලය ද සඳු හා සමග යෙදුණු විසා නකත් ද බබළති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
96. බිලයෙහි හෝනා සත්හු ද ගුහායෙහි හෝනා සත්හු ද ස්වකීය ආසයස්ථානයෙන් නික්මුණාහ. දැනුදු ඔහු ආසයෙන් නික්මුණාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
97. එකෙණෙහි සත්නට උකටලි නො වී යැ. (හැම සත්හු) සතුටු වූහ. දැනුදු එ සියල්ලෝ සතුටු වූවාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
98. ඒ පෙර බෝසතුන් කල රෝගයෝ සන්හුන්හ, සාගිනි ද නැසිණ. දැනුදු ඒ පෙරනිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) ඒකාන්තයෙන් බුදු වන්නවු යැ.
99. එකල්හි කාමරාගය තුනී (පරියුට්ඨාන රහිත) විය. ද්වේෂය ද මෝහය ද නැසිණ. දැනුදු එ සියල්ලෝ ද පහවගියාහ. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
100. ඒ පෙර බෝසතුන් දවස (සත්නට) බියෙක් නො වී. දැනුදු තෙල බිය රහිත බව දක්නා ලැබෙයි. ඇපි එ ලකුණෙන් දනුම්හ, (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
101. (පෙර බෝසතුන් කල) රජස් උඩට නොනැඟිණ. දැනුදු තෙල නිමිති දක්නා ලැබෙයි. ඇපි එ ලකුණෙන් දනුම්හ, (තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
102. (පෙර බෝසතුන් කලැ) අනිටුගඳ පහවගියේ යැ. දිවසුවඳ හැමී යැ දැනුදු එ දිවසුවඳ හමයි. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
103. (පෙර බෝසතුන් කලැ) අරූතල වැසි දෙවියන් තබා හැම දෙවියෝ පැණුනාහ. දැනුදු එ හැම දෙවියෝ පැනෙති (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
104. යම් පමණ නිරයෝ නම් වෙත් ද එ හැම එකෙණෙහි පැනුණාහ දැනුදු එ හැම නරකයෝ දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
105. ඒ පෙර බෝසතුන් කල්හි පවුරු ද දොර කවුළු ද පර්‍වත ද ආවරණ නො වීය. දැනුදු ඔහු නිරාවරණ වෙත්. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
106. එකෙණෙහි මරණ ද ඉපැත්ම ද නො වී. දැන් ඒ පෙර නිමිත්හු දක්නා ලැබෙති. (එහෙයින් තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
107. වීර්‍ය්‍යය දැඩි කොට ගන්ව, නහමක් නවත්ව, පෙරට යව, ඇපිදු තෙල කරුණු දනුම්හ. (තෙපි) නියතයෙන් බුදු වන්නවු යැ.
108. දිවකුරු බුදුන්ගේ ද දසදහසක් සක්වළ දෙවියන්ගේ ද යන දෙපක්‍ෂයෙහි වදන් අසා එකල්හි මම හටු පහටු වූයෙම් සතුටු සිත් ඇත්තෙම් මෙසේ සිතීමි.
109. බුදුවරයෝ ඒකාන්ත වචන ඇත්තාහ. ජින වූ සර්‍වඥයෝ නො සිස් වචන ඇත්තාහ. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, මම් ඒකාන්තයෙන් බුදු වෙමි.
110. යම්සේ අහස්හි දමන ලද කැටක් ඒකාන්තයෙන් බිම වැටේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්තයෙන් වනසුලු ද ශාශ්වවත ද වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.
111. යම්සේ සියලු සත්නට මරණය ඒකාන්ත ශාශ්වත ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ බස ද ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති. නියතයෙන් මම් බුදු වෙමි.
112. යම්සේ රැය ගෙවීම පැමිණි කල්හි හිරු උදාවීම ඒකාන්ත වේ ද එසෙයින් මැ බුදුවරයන්ගේ වචනය ශාශ්වත වෙයි, බුදුවරයන්ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.
113. මෙසේ ශයනයෙන් නික්මුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්ත වේ ද එසෙයින් මැ බුද්ධශ්‍රේෂ්ඨයන්ගේ වචනය ඒකාන්ත ශාශ්වත වෙයි. බුදුවරයන් ගේ අතථ්‍ය බසෙක් නැති, නියතයෙන් මම් බුදු වෙමි.