39. පවනින් වලා සෙයින් ද හිරුගෙන් පිනිබිඳු සෙයින් ද පහනින් අඳුර සෙයින් ද එබුදුහු සව්වන් හා සමග පිරිනිවියාහ.
40. ජිනවර වූ තිස්ස බුදුහු නන්‍දාරාමයෙහි පිරිනිවියාහ, එහි මැ උන් වහන්සේගේ ජිනස්තූපය තුන් යොත්නක් උස් කොට බඳවන ලද්දේ යි.
සතළොස් වැනි තිස්ස බුද්ධවංශය යි.
18. ඵුස්ස බුද්ධවංශය
1. එ මැ මණ්ඩ නම් කල්පයෙහි අනුත්තර වූ අනුපම වූ අසදෘශ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස නම් ශාස්තෘ කෙනෙක් පහළ වූහ.
2. ඒ ඵුස්ස නම් බුදුරජාණන් වහන්සේ ද සියලු අවිද්‍යාන්‍ධකාර නසා තෘෂ්ණාව හැරපියා සදේවක ලෝකයා අමෘත සඞ්ඛ්‍යාත දහම් කථා ජලයෙන් පිණවමින් දහම් වැසි වැස් වූහ.
3. නකත්මඟුල් දින ඵුස්ස බුදුන් දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමු වන ධර්‍මාභිසමය වී.
4. අනූලක්‍ෂයක් සත්නට දෙ වැනි ධර්‍මාභිසමය විය, අසූලක්‍ෂයක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
5. මහර්ෂි වූ ඵුස්ස බුදුනට ද විමල වූ ශාන්ත සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රව ශ්‍රාවකයන්ගේ සන්නිපාත තුනෙක් වී.
6. සැට ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ප්‍රථම සමාගමය වීය, පනස්ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ ද්විතීයසන්නිපාතය වී.
7. උපාදා රහිත වැ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිඳහළ ප්‍රතිසන්‍ධි ඇති සතලිස් ලක්‍ෂයක් ශ්‍රාවකයන්ගේ තෘතීය සන්නිපාතය වී.
8. එසමයෙහි මම් විජිතාවී නම් ක්‍ෂත්‍රිය වූයෙම් මහරජය හැරපියා ඒ ඵුස්ස බුදුන් වෙත පැවිදි වීමි.
9. ලෝකාග්‍රනායක වූ ඒ ඵුස්ස බුදුරජාණන් වහන්සේ ද ‘මේ තෙම මෙයින් දෙයානූ වන කප්හි බුදු වන්නේ යැ’ යි මට විවරණ දුන්සේක.
10. එකල්හි තථාගතයෝ රම්‍ය වූ කපිලවාස්තු නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
11. තථාගතයෝ අජපල් නම් නුගරුක්මුල්හි හිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලාහෝතෙරට එළැඹෙන්නාහ.
12. ඒ ජින තෙම නිල්දලාහෝතෙර දී කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙල කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නේය.
13. ඉක්බිති මහායසස් ඇති අනුත්තර වූ මහසත් බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි දී බුදු වන්නේය.
14. මොවුන්ගේ ජනිකමව මායා නම් වන්නී යැ, පිය තෙම ශුද්ධෝදන නම් වන්නේ යැ, මේ තෙම ගෞතම නම් වන්නේ යි.
15. (ඔබට) කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙන අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක තෙර කෙනෙක් එ බුදුන්ට උවැටන් කරන්නාහ.
16. ඛේමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇසැතු’ යයි කියනු ලැබේ.
17. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වන්නාහ, යසස්වී වූ ඒ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
18. අසම වූ මහර්ෂීන්ගේ මෙ තෙපුල් අසා ‘මේ තෙම බුද්ධබීජාඞ්කුරයෙකැ’යි සතුටු වූ දෙවිමිනිස්සු–
19. ඔල්වරසන් පවත්වති, අපොළති, සිනාසෙති, දසදහසක් සක්වළ සදේවකලෝකයා බදැඳිලි වැ නමස්කාර කෙරෙයි.
20. ඉදින් අපි මේ ලෝකනාථයන්ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම්හ.
21. යම්සේ මිනිස්සු ගංහෝ තරණය කරන්නාහු ප්‍රතිමුඛතීර්‍ත්‍ථය වැරැද යට තොටැහි ගෙන මහගඟ තරණය කෙරෙත් ද–
22. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මෙබුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමු වන්නම්හ.
23. එ බුදුන්ගේ ද බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපාරමීන් පුරන පිණිස මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
24. සූත්‍රාන්තපිටකය ද විනය ද නවාඞ්ගශාස්තෘශාසනය ද යන සියල්ල පිරිවහා බුදු සස්න හෙබැ වීමි.
25. මම් එසසුන්හි අප්‍රමාද වැ වාසය කරනුයෙම්. බ්‍රහ්මවිහාරභාවනා කොට අභිඥාවන්හි පාරප්‍රාප්ත වැ බඹලොවට ගියෙමි.
26. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට ද නගරය කසී නම් විය, ජයසේන නම් ක්‍ෂත්‍රිය තෙම පිතෘ විය, මව්තොමෝ සිරිමා නමු.
27. ඒ ඵුස්ස බුදුහු නවදහසක් හවුරුදු ගිහිගෙයි විසූහ. ඔබට ගරුඩපක්‍ෂ යැ හංස යැ ස්වර්‍ණහාර යැයි උතුම් තුන්පහයෙක් වී.
28. මොනොවට සරසනලද තිස්දහසක් පිරිවර අඟනෝ වූහ. කිසාගෝතමී නම් අගමෙහෙසියක් වූ යැ. අනුපම නම් පුත්‍රයෙක් වී.
29. පුරුෂෝත්තම ඵුස්ස බුදුහු සතර පෙරනිමිති දැක ඇත්යානයෙකින් මහබිනික්මන් කළහ. සමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
30. මහත්වීර්‍ය්‍ය ඇති පුරුෂශ්‍රේෂ්ඨ වූ ලෝකාග්‍රනායක වූ ඵුස්ස බුදුහු මහබඹහු විසින් අයදනා ලදහු ඉසිපතන නම් මුවළැව්හි දී දම්සක් පැවැත්වූසේක.
31. මහර්ෂි වූ ඵුස්ස බුදුන්ට සුරක්‍ෂිත යැ ධර්‍මසේන යැ යන දෙදෙන අගසවු වූහ. සභිය නම් උපස්ථායක තෙර කෙනෙක් වූහ,
32. චාලා යැ උපචාලා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වූහ, ඒ භාග්‍යවතුන්ගේ බෝධිය ‘ඇඹලරුකැ’යි කියනු ලැබේ.
33. ධනඤ්ජය යැ විශාඛ යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වූහ. පද්මා යැ නාගා යැ යන දෙදෙන අග්‍රෝපස්ථායිකා වූහ,
34. ඒ ඵුස්ස මුනිහු ද අටපනස්රියන් උස්වූ සේක් දිවයුරු සෙයින් ද පුන්සඳ සෙයින් ද ශෝභමාන වූහ.
35. එකල්හි අනූදහසක් හවුරුදු ආයු පැනෙයි, උන්වහන්සේ එතෙක් වැඩසිටිමින් බොහෝ ජනසමූහයා සසරකතරින් තැරැවූ සේක.
36. අතුල්‍ය වූ යසස් ඇති ඒ ඵුස්ස බුදුහු ද බොහෝ සත්නට ඔවා දී මහජනයා සසර කතරින් තරවා ශ්‍රාවකයන් සහිත වැ පිරිනිවියාහ.
37. ජිනෝත්තම වූ ඵුස්ස බුදුහු ශ්වේතාරාමයෙහි පිරිනිවියාහ. ඒ ඒ ප්‍රදේශයන්හි ධාතු පතළේ යි.
අටළොස් වැනි ඵුස්ස බුද්ධවංශය යි.
19. විපස්සී බුද්ධවංශය
1. ඵුස්ස බුදුන්ට මෑත භාගයෙහි නමින් විපස්සී නම් වූ පසැස් ඇති ද්විපදෝත්තම වූ සම්බුදුරජාණන් වහන්සේ ලොවැ පහළවූසේක.
2. හැම අවිදු අඳුරු බිඳ උතුම් වූ සම්බෝධියට පැමිණියාහු දම්සක් පවත්වන්නට බන්‍ධුමතී පුරයට වැඩිසේක.
3. දම්සක් පවත්වා (මල්බෑ ඛණ්ඩ රාජපුත්‍ර යැ, තිස්ස පුරෝහිත පුත්‍ර යැ යන) දෙදෙනාට සත්‍යාවබෝධය කරවූහ. ගණනින් නො කියහෙන සත්ත්‍ව කෙනෙක් පළමු වැනි ධර්‍මාවබෝධය කළහ.
4. යළි අප්‍රමාණ යශස් ඇති විදර්ශී බුදුහු ඒ ක්‍ෂේම නම් මුවළැව්හි දී සිව්සස් පැවැසූහ. සුවාසූ දහසක් සත්නට ද්විතීයාභිසමය වී.
5. සුවාසූ දහසක් සත්හු බුදුනට පසුව ලා පැවිදි වූහ, පසැස් ඇති බුදුහු අරමට පැමිණි ඔවුනට දහම් දෙසූසේක.
6. සර්‍වාකාරයෙන් කරුණු එළවමින් වදාරන විපස්සී බුදුන්ගේ දහම් අසා ඒ සුවාසූ දහසක් මහණහු ද උතුම් දහම් දැන (මෙසේ ඔවුන්ගේ) තුන් වැනි ධර්‍මාවබෝධය වී.
7. මහර්ෂි වූ විපස්සී සර්‍වඥයන් වහන්සේට විමල වූ ශාන්ත සිත් ඇති තාදිගුණ ඇති රහතුන්ගේ ශ්‍රාවක සන්නිපාත තුනෙක් වී.
8. අටසැටලක්‍ෂයක් රහතුන්ගේ ප්‍රථම සන්නිපාතය වී යැ, ලක්‍ෂයක් රහත්මහණුන්ගේ ද්විතීය සන්නිපාතය වී.
9. අසූ දහසක් ක්‍ෂීණාස්‍රව භික්‍ෂුන්ගේ තෘතීය සන්නිපාතය වී යැ. එහි මහණගණ මැද සම්බුදුහු අතිශයින් දිලියුණාහ.
10. එසමයෙහි මම් නමින් අතුල නම් වූ පින් ඇති පැහැපත් මහ ඉඳුහ ඇති නාරජ වූයෙමි.
11. එකල්හි මම් නොයෙක් කෙළගණන් නයින් පිරිවරා දිවපසඟවයමින් බුදුන් කරා එළැඹියෙමි.
12. මම ලෝකස්වාමී වූ විදර්ශී සම්බුදුන් කරා එළැඹ දහම්රජ වූ බුදුන් පවරා මිණිමුතු ඈ රුවනින් නිමවන ලද පබළු ඈ සැරැහුමෙන් සරහන ලද රන් පුටුවක් පිදීමි.
13. ඒ විදර්ශී සර්‍වඥයන් වහන්සේ ද සඟ මැද වැඩහිඳ මේ තෙමේ මෙයින් එක් අනූවන කල්පයෙහි බුදු වන්නේ යයි විවරණ දුන් සේක.
14. ඒ තථාගත වූ බෝසත් සිත්කලු වූ කිඹුල්වත් නම් නුවරින් නික්ම ප්‍රධන්වීර්‍ය්‍ය වඩා දුෂ්කරක්‍රියා කොට–
15. තථාගත වූ බෝසත් අජපල් නම් නුගරුක්මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා හෝතෙරට පැමිණෙන්නේ ය.
16. ජිතමාර වූ බෝසත්හු නිල්දලා හෝ තෙර හිඳ කිරිපිඬු වළඳා (දෙවියන්) පිළියෙළ කළ උතුම් මඟින් බෝමුල වෙත පැමිණෙන්නාහ.
17. ඉක්බිති මහායශස් ඇති අනුත්තර වූ මහසත්හු බෝමැඩ පැදකුණු කොට ඇසැතුරුක්මුල්හි හිඳ සම්‍යක් සම්බෝධිය අවබෝධ කරන්නාහ.
18. මොවුන් ගේ ජනිකා මව මායා නම් වන්නීය. ජනකපිය තෙමේ ශුද්ධෝදන නම් වන්නේ ය. මේ තෙමෙ ගෞතම නම් වන්නේ යි.
19. අනාස්‍රව වූ විගතරාග ඇති ශාන්ත වූ සිත් ඇති ඵලසමාපත්තියෙන් සමාහිත වූ කෝලිත යැ උපතිස්ස යැ යන දෙදෙනා අග්‍රශ්‍රාවක වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායකයෙක් ඒ බුදුන්ට උපස්ථාන කරන්නේ ය.
20. බෙමා යැ උප්පලවණ්ණා යැ යන දෙදෙන අග්‍රශ්‍රාවිකා වන්නාහ. ඒ භාග්‍යවත්හු ගේ බෝධිය ඇසැතු යයි කියනු ලැබේ.
21. චිත්ත යැ හත්‍ථාළවක යැ යන දෙදෙන අග්‍රෝපස්ථායක වන්නාහ. උත්තරා යැ නන්‍දමාතා යි අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වන්නාහ. ඒ යශස්වී වූ ගෞතම බුදුනට හවුරුදු සියයෙක් ආයු වෙයි.
22. අසම වූ මහර්ෂි වූ බුදුන් ගේ මෙ වදන් අසා මේ තෙමේ බුද්ධබිජාංකූරයෙකැ’යි සතුටු වූ දේව මනුෂ්‍යයෝ–
23. ඔල්වරසන් පැවැත්වූහ. අත්පොළසන් දුන්හ. සිනහසුණහ. දසදහසක් සක්වළැ දෙවියන් සහිත ලෝකවාසීහු බදැඳිලි වැ නමස්කාර කළහ.
24. ඉදින් ඇපි මෙ ලෝහිමියන් ගේ සස්න වරදමෝ නම් අනාගත කාලයෙහි මොවුන් හමු වන්නම් හ.
25. යම්සේ නදිය තරණය කරන මිනිස්සු හමුයෙහි වූ ප්‍රතිමුඛ තීර්‍ත්‍ථය වැරැදැ යට තොටැහි ලා ගෙන මහගඟ තරණය කෙරෙත් ද,
26. එසෙයින් මැ ඇපි සියල්ලමෝ ඉදින් මේ බුදුන් හරමෝ නම් අනාගතකාලයෙහි මොවුන් හමුවන්නම්හ.
27. මම් ඒ විදර්ශී බුදුන්ගේ බස් අසා බෙහෙවින් සිත පැහැදවීමි. දසපැරුම් මත්තෙහි ව්‍රතාධිෂ්ඨානය කෙළෙමි.
28. මහර්ෂි වූ විදර්ශී බුදුන් ගේ නගරය බන්‍ධුමතී නම් විය. බන්‍ධුමත් නම් ක්‍ෂත්‍රිය තෙමේ පියා විය. මවු තොමෝ බන්‍ධුමතී නම් වූය.
29. ඒ බුදුහු අටදහසක් හවුරුදු ගිහිගෙයි වුසූහ. නන්‍ද යැ, සුනන්‍ද යැ, සිරිමත් යැයි උතුම් වූ තුන් පහයෙක් විය.
30. මොනොවට සැරැසුණු තෙසාලිස් දහසක් පරිවාරස්ත්‍රීහු වූහ. සූතනා නම් ප්‍රසිද්ධ ස්ත්‍රිය අගමෙහෙසුන් බිසෝ වූය. සමවත්තක්ඛන්‍ධ නම් පුතණු කෙනෙක් වූහ.
31. සතර පෙරනිමිති දැක රථයානයෙකින් මහබිනික්මන් කළහ. එ ජිතපඤ්චමාරයෝ පිරිපුන් අටමසක් ප්‍රධන්වීර්‍ය්‍ය කළහ.
32. මහාවීර වූ නරෝත්තම වූ විදර්ශී ලෝකස්වාමීහු මහබඹහු විසින් අයදනා ලද්දාහු මිගදාය නම් උයන්හි දී දම්සක් පැවැත්වූහ.
33. විදර්ශී බුදුන්ට ඛණ්ඩ යැ තිස්ස යැ යන නම් ඇති අග්‍රශ්‍රාවකයෝ දෙදෙනෙක් වූහ. අසෝක නම් උපස්ථායක භික්‍ෂු කෙනෙක් වූහ.
34. චන්‍ද්‍රා යැ චන්‍දමිත්තා යැයි අග්‍රශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වූහ. ඒ බුදුන් ගේ බෝධිය පළොල් යැයි කියනු ලැබේ.
35. පුනබ්බසුමිත්ත යැ නාග යැ යන අග්‍රෝපස්ථායකයෝ දෙදෙනෙක් වූහ. සිරිමා යැ උත්තරා යැ යන අග්‍රෝපස්ථායිකා දෙදෙනෙක් වූහ.
36. විදර්ශී ලෝකස්වාමීහු අසූරියන් උස් වූහ. ඔබගේ ශරීරකාන්තිය හාත්පස සත්යොදුනෙක්හි පැතිරැ සිටුනේ යි.
37. එකල්හි ඒ බුදුන්ගේ ආයුෂ හවුරුදු අසූදහසෙක් විය, එතෙක් කල් වැඩසිටි ඒ බුදුහු බොහෝ ජනසමූහයා (සසර සයුරෙන්) තැරැ වූහ.
38. බොහෝ දෙවියන් ද මිනිසුන් ද සංසාරබන්‍ධනයෙන් මිදැ වූහ. සෙසු පුහුදුවනට (ශාශ්වතෝච්ඡේද විරහිත මධ්‍යමප්‍රතිපදා සඞ්ඛ්‍යාත අමෘතාධිගමයට) මාර්‍ගය ද (කායකිළමථාදි) අමාර්‍ගය ද වදාළහ.
39. ශ්‍රාවකයන් සහිත වූ ඒ බුදුහු මාර්‍ගඥනාලෝකය දක්වා අමෘතපදය දේශනා කොට ගිනිකඳසෙයින් දිලියෙමින් වැඩසිට පිරිනිවි සේක.
40. උත්තමඍද්ධිය ද උත්තම පුණ්‍ය ද චක්‍රලක්‍ෂණාදීන් මණ්ඩිත වූ බුදු සිරුර ද යන සියල්ල අන්තර්හිත විය. හැම සංස්කාරයෝ තුච්ඡ වූවාහු නු?
41. ජිනවර වූ විදර්ශී බුදුහු සුමිත්තාරාමයෙහි දී පිරිනිවියහ. එහි මැ ඔබ ගේ ස්තූපවරය සත්යොදුන් කොට බඳනා ලද්දේ යි.
එකුන්විසි වැනි විදර්ශී බුද්ධවංශ යි.
20. සිඛී බුද්ධවංශය
1. විදර්ශී නම් බුදුන්ට මෑතභාගයෙහි ද්විපදෝත්තම වූ පස්මරුන් දිනූ අසම වූ අප්‍රතිපුද්ගල වූ සිඛී නම් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ ලොවැ පහළ වූ සේක.
2. මරසෙනඟ මැඩපියා උතුම්වූ සම්බෝධියට පැමිණි සේක් සත්ත්‍වයන්ට අනුකම්පා පිණිස දම්සක් පැවැත්වූ සේක.
3. මුනිශ්‍රෙෂ්ඨ වූ සිඛී බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වන කල්හි කෙළ ලක්‍ෂයක් සත්නට පළමුවන ධර්‍මාභිසමය වී.
4. නැවත ද ගණශ්‍රේෂ්ඨ වූ නරෝත්තම වූ බුදුරදුන් දහම් දෙසන කල්හි අනූකෙළදහසක් සත්නට දෙවෙනි ධර්‍මාභිසමය වී.
5. සදේවක ලෝකයා විෂයෙහි යමාමහ පෙළහර දක්වන බුදුන් දහම් දෙසන කල්හි අසූකෙළදහසක් සත්නට තුන්වැනි ධර්‍මාභිසමය වී.
6. මහර්ෂී වූ සිඛී බුදුරදුන්ට ද විගත වූ කෙලෙස්මල ඇති සන්හුන් සිත් ඇති තාදීගුණ ඇති ක්‍ෂීණාස්‍රවයන් සම්බන්‍ධි වූ තුන් ශ්‍රාවකසන්නිපාත කෙනෙක් වූහ.
7. භික්‍ෂූන් සියදහසක් සම්බන්‍ධී වූ ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය විය. භික්‍ෂූන් අසූදහසක් සම්බන්‍ධි වූ ද්විතීය ශ්‍රාවක සන්නිපාතය වී.
8. භික්‍ෂූන් සැත්තෑදහසක් සම්බන්‍ධි වූ තෘතීය ශ්‍රාවකසන්නිපාතය වී (දියෙහි ඉපදැ) දියෙහි වැඩුණු දිය හා අලිප්ත වූ පියුමක් සෙයින් (ඒ භික්‍ෂු සන්නිපාතය ද) ලොකධර්‍මයන් හා අලිප්ත වූයේ වී.
9. එ සමයෙහි මම අරින්‍දම නම් ක්‍ෂත්‍රිය වූයෙම් බුදුපාමොක් සඟන ආහාරපානයෙන් සන්තර්‍පණය කෙළෙමි.
10. මම් බොහෝ වූ උතුම් වස්ත්‍ර ද, අනල්ප වූ වස්ත්‍ර කෝටි ද දී, බුදුරදුන්ට (රන්දැල් ආදීන්) සරසන ලද හස්තියානයක් දිනිමි.
11. හස්තියානය ප්‍රමාණ කොට (ඇතු උසට) කප්පියභාණ්ඩ පූජා කෙළෙමි. නිරතුරු දැඩිව එළැඹ සිටි මා ගේ මනස පිරීමි.
12. ලෝකාග්‍රනායක වූ ඒ සිඛී බුදුහු දු මේ තෙමේ මෙයින් එක්තිස්වන කල්පයෙහි බුදු වන්නේ ය’යි මට විවරණ දුන්හ.
13. එකල්හි තථාගත වූ බෝසත්හු රම්‍ය වූ කපිල නම් පුරයෙන් නික්ම ප්‍රධන්වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට–
14. එ තථාගතයෝ අජපල් නම් නුගරුක් මුල වැඩහිඳ එහි දී කිරිපිඬු පිළිගෙන නිල්දලා ගංතෙරට පැමිණෙන්නනාහ.